Saturday 31 December 2022

ව්‍යාකූල 2023 ලංකාව


වසර 2022 නිම වන්නේ දේශපාලන-පක්ෂ ගැති බොහෝ ලාංකිකයන් විශාල ව්‍යකුලත්වයකට පත්කරමින් බව පෙනෙයි. වඩාත්ම ව්‍යකුලත්වයකට පත්ව ඇත්තේ රාජපක්ෂ ගැති පිරිසයි. එය මහාචාර්ය නලීන් ද සිල්වාගේ සිට පොල් කඩන ජෙමා දක්වා විහිදී යයි. රාජපක්ෂ ගැත්තන්ගේ (රාජපක්ෂ රෙජිමයට චන්දය දුන් සියල්ලන් මේ වර්ගීකරණයට අයත් නොවේ) මූලික ලක්ෂණය නම් සිංහල-බෞද්ධ යනුවෙන් ඔවුන් ගොඩනගා ගෙන ඇති සංකල්පය රාජපක්ෂ රෙජීමයට අනුයාත කිරීමයි. එසේම රනිල් ප්‍රමුඛ එජාපය මීට ප්‍රතිවිරුද්ධ පසට ඔවුන් දමා තිබුණි. දැන් සියල්ල පැටලී ඇත. අනාගතයේදී එජාප-පොහොට්ටු ඒකාබද්ධ වේදිකා තැනෙන්නට ඉඩ ඇත. මේවා ඉදිරියට යාමට එජාප ගැත්තන් කෙසේ වෙතත් රාජපක්ෂ ගැත්තන් හිත හදා ගන්නේ කෙසේදැයි මට සිතාගත නොහැක.

පක්ෂ ගැති වීම තුල මිනිසුන්ගේ තර්ක ඥානය කෙතරම් පහතට ඇද වැටේදැයි මට වැටහුනේ ඇමරිකාවේ වෙසෙන උගත් යයි සම්මත ස්ථරයට අයත් ලාංකිකයෙක් පල කර තිබූ පෝස්ට් එකක් දුටු විටය. අධිවේගී මාර්ග, නෙලුම් කුළුන, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, බලාගාර ආදියට එරෙහි වුවන් LRT ව්‍යාපෘතිය නැවත්වීම පිළිබඳව එරෙහිවීම ගැන ඔහු අවලාද නගා තිබුණි. මිනිසුන් එරෙහි වුයේ රාජපක්ෂ ව්‍යාපෘතිවල කුමන කරුණු අරඹයාද, LRT නැවත්වීමට ඔවුන් විරුද්ධ වන්නේ කුමන කරුණක් අරඹයා ද කියා සිතා ගැනීමටවත් නොහැකි තරමට ඔවුන්ගේ බුද්ධිය රාජපක්ෂ ගැති බාවය විසින් මොට කර ඇත. ඒ ගැන තව දුරටත් කතා කිරීම ඵල නැත. වසර 2023දී ඔවුන් තවත් ව්‍යාකුල වනු ඇත. ඒ රටේ දරුණු බිඳ වැටීමේ අයිතිය කාට පවරන්නදැයි ඔවුන්ට සිතාගැනීමට නොහැකි වීම නිසයි. 

UNP කාරයාට ව්‍යාකුලවන්නට තරම්වත් සිදුවන දේ පිළිබඳව හැඟීමක් ඇතැයි මම නොසිතමි. මට හිතෙන ආකාරයට ඔවුන්ට එකවරම ලොතරැයියක් ඇදුනා  වැනි හැඟීමක් පහළවී ඇත. රනිල් වික්‍රමසිංහ විසින් කරන්නේ අනාගතය විකුණා වර්තමානයට කන්න දීම බව UNP කාරයන්ට තියා බහුතරයක් පොහොට්ටුවන්ටවත් තේරෙන්නේ නැත. ඔවුන් කෙටි කාලීන සහනය සැපතක් කරගෙන ඇත. ඇත්තෙන්ම මේ ගෙවෙන්නේ කලින් තිබුනටත් වඩා භයානක කාල පරිච්චේදයකි. ඔබට මා කියන්නේ කුමක්දැයි හෙට සිටම අවබෝධ වනු ඇත. මන්ද 2023 ඇරඹෙන්නේම අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවයේ විශාල රික්තයක් ඇතිකරමිනි. 

පොහොට්ටුවේ අනුකණ්ඩ (මෛත්‍රී කණ්ඩායම, වීරවංශ කණ්ඩායම, ඩලස් කණ්ඩායම ආදිය) මේ වන විට බහුරූ කෝලම් මඩු පවත්වමින් සිටිති. ඔවුන්ගේ තත්වය "ව්‍යාකුල" යන වදනින් විස්තර කල නොහැක. එය ඇත්තටම ජංජාලයකි. ඊට වඩා ඒ ගැනත් කතාකළ යුතු නැත. ඔවුන් වේගයෙන් අභාවයට යන දේශපාලන සත්වයන් විශේෂයකි. බොහෝ විට 2023දී ඔවුන් කොතැනකට හෝ සක්කයක් ගැසීමට ඉඩ ඇත.

සජබය පත්ව ඇති තත්වයද අනුකම්පාසහගතය. එය දැන් එඩේරා රා බී වෙරිවූ ගව රැලක් බඳුය. සජිත් යනු දේශපාලන විඥානය ඉතා පහල මට්ටමක පවතින පුද්ගලයෙකි. ඔහු ලාංකික හද ගැස්ම උඩු යටිකුරු කර තේරුම් ගන්න උත්සහ කරයි. අඩුම ගණනේ ඔහුට ලාංකිකයා ආකර්ෂණය කර ගත හැකි  "සරලකම" කුමක්ද කියාවත් තේරුම් ගැනීමට නොහැකි වී ඇත. ඔහු නිකම්ම නිකන් පවුඩර් බබෙකි. සජබයේ සිටින අනෙක් පළමු පෙළ නායකයන් තම නායකයාගේ මේ දුර්වලකම අවබෝධ කරගෙන ඇති සේයකි. හිරුණිකා, SF, පාඨලී, ඉරාන්, හර්ෂ වැනි අය මේ වන විට තමන්ට කියා අනන්‍යත්වයක් ගොඩනගා ගනිමින් පවතී. එහෙත් ඔවුන් කිසිවෙක් තවම ජාතික මට්ටමේ නායකයන් ලෙස ජනතාව හඳුනාගෙන නැත. මේ තත්වය අනුව සජබ පාක්ෂිකයා මේ වන විට දැඩි අර්බුදයකට මැදිවී සිටියි. මේ වන විට ඉතාම අඩුවෙන් සමාජ මාධ්‍ය හරහා දේශපාලනය කතා කරන්නේ ඔවුන්ය. බොහෝ විට 2023දී ඔවුන් තවත් නිහඬ වනු ඇත.

තවත් ව්‍යකුලත්වයට පත් වූ කණ්ඩායමක් වන්නේ පෙරටුගාමී පක්ෂයයි. තමන් ගැන අධිතක්සේරුව මොනතරම් භයානකදැයි පෙන්වා දීමට හැකි හොඳම උදාහරණය ඔවුන්ය. මා දන්නා තරමට මේ වන විට පෙරටුගාමී පක්ෂයට නගර සභාවක ආසනයක් දිනාගැනීමත් සෑහෙන අභියෝගයකි. නමුත් ඔවුන් ජන අරගලය තමන්ගේ කරගන්න යාම තුල ඉතා අසරණ තත්වයකට පත්ව ඇති බව වැටහේ. ඔවුන් ජනතා නැගිටීමේ ක්‍රයතාවය සම්පුර්ණයෙන්ම වැරදි ලෙස තේරුම් ගෙන තිබුණි. අරගලය දැවැත්ත මැෂිමක් නම් ඔවුන් එහි කුඩා දැති රෝදයක් පමණක් විය. ඉතා අසාධාරණ ලෙස සිරගත කර ඇති තම සඟයන් බේරා ගැනීමටවත් ඔවුන්ට නොහැකිය. රජයට අවශ්‍ය ආකාරයට දැන් එකිනෙකා ඇතුලට ගනියි. එලියට දමයි. සරසවි වසයි. නැවතත් විවෘත කරයි. පෙරටුගාමින් පෙළපාලි යයි. වසර 2023 දී ඔවුන් තව තවත් දුර්වල වනු ඇත. එය රටේ ප්‍රගතිශීලි බලවේගයන්ට අහිතකර වනු ඇත. භයානකම ප්‍රතිඵලය විය හැක්කේ ඉච්ඡභංගත්වය කරන කොට ගෙන ඔවුන් ප්‍රචණ්ඩත්වයට තල්ලු වීමට ඇති ඉඩ කඩයි.

මේ වන විට ව්‍යාකූල නොවී ඉතා සුක්ෂම සහ සැලසුම් සහගතව රට පුරා සාර්ථක දේශපාලනික මෙහෙවුමක යෙදෙන්නේ ජවිපෙ ඉහල ස්ථරය ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි. අරගලය අවසන්වීමත් සමගම මා පෙන්වා දුන්නේද කල යුත්තේ මෙය බවයි. ජාජබ පිළිබඳව රටේ බොහෝ දෙනෙකුට ගැටළු ඇත. ඒ බොහොමයක් එම පක්ෂයේ මූලිකයා වන ජවිපෙ අතීත ක්‍රියාකාරකම් හා සබැඳේ. මීට අමතරව ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳවද සමහර කරුණු පැහැදිලි නැත. සමහර කාරණාවලදී ඔවුන්ට තාර්කිකව දිනිය හැකි වුවත් ජනතාවට ඔවුන් කියන කරුණ කා වැද්දීමට ඔවුන් තවමත් අසමත්ය. මේ කරුණු කෙසේ වුවත් චන්දයකදී ඔවුන් හැර චන්දය දීමට වෙන කිසිවෙක් නැති තැනට ඔවුන් ජන මනස මෙහෙයවන බව පෙනෙයි. මට සිතෙනා ආකාරයට නම් 2023 ජාතික ජන බලවේගයේ ජයග්‍රාහී වසරයි. මේ වන විට එම ගම්‍යතාවය වෙනස් කිරීමට සමත් පක්ෂයක් හෝ සංවිධානයක් අහලකවත් පෙනෙන්නට නැත. එම ජයග්‍රහණය ඉදිරි වසර කිහිපය කරා ගෙන යා හැකිදැයි අපි බලා සිටිමු.

ජවිපෙ ඉහල ස්ථරය සහ තරුණ නායකත්වය කෙසේ වෙතත් එහි බිම් මට්ටමේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සෑහෙන පිරිසක් තවමත් ව්‍යාකූලව සිටින බව පෙනෙයි. ඔවුන්ව මට සිහිගන්වන්නේ දෙවෙනි ලෝක යුද්ධය අවසන් වී වසර කිහිපයක් යන තෙක් කැලෑ වැදී එකිනෙකා මරාගනිමින් සිටි යුධ සොල්දාදුවන්ය. මේ ජවිපෙ පහලම පෙලට ඉහල සිදුවන පරිණාමය තවමත් ප්‍රක්ෂේපනය වී නැති සැටියකි. ඔවුන් වෙනදා පුරුදු JVP ගැති භාවයෙන් අනෙකුත් පුද්ගලයන් හා ද්වන්ධ මෙන්ම සමුහ සටන් වලටද පිවිසීමට පසුබට නොවෙයි. මේ පිරිස මෙල්ල කරගත්තේ නැත්නම් ජාජබයට 2023 වසරේදී අනවශ්‍ය අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. 

 



Sunday 25 December 2022

කුරක්කන්


මීට වසර 5000 ට පමණ පෙර නැගෙනහිර අප්‍රිකාවේ රටවලින් ආහාරයක් ලෙස එලි දුටු කුරක්කන්, අදද උගන්ඩාව, ඉතියෝපියාව ආදී රටවල හැඳින්වෙන්නේ කුරකනා (coracana) යනුවෙනි. ඉන්දියාවේ සහ මැලේසියාවේ රාගී ලෙසද ලොව අනෙකුත් රටවල African millet, finger millet ආදී නම්වලින් හැඳින්වෙන කුරක්කන් රටවල් කිහිපයකම ප්‍රධාන ආහාර අතරට පැමිණෙයි. 

ලංකාවට කුරක්කන් හඳුන්වා දෙන්නේ කුමන කාලයකදැයි මම නොදනිමි. සමහර විට එය අරාබි වෙළෙන්දන් හෝ යුරෝපීයයන් රැගෙන එන්නට ඇත. කෙසේ නමුත්, ඉතාමත්ම පෝෂ්‍යදායක ආහාරයක් වන කුරක්කන් නුදුරු අනාගතයේදී රටේ ඇතිවිය හැකි සාගතය සමහන් කිරීමට හැකි එක් විශේෂ ආහාරයක් බව කිවමනාය. කුරහන් යනු ඉතා පහසුවෙන් වැවිය හැකි එමෙන්ම කටුක කාලගුණයට ඔරොත්තු දිය හැකි භෝගයක් ලෙස සැලකේ.

මේ ගැන වගකිව යුත්තන්ගේ අවධානය යොමු වේවා. 



            


Sunday 18 December 2022

සාගතයට සැම්බියාව මුහුණ දෙන හැටි

 


ආහාර හිගයකට සැම්බියාව ටැන්සානියාව ආදී රටවල් මුහුණ දෙන ආකාරය පිළිබඳව මම පළමු සාගතය පැමිණීමට පෙර ලිව්වෙමි. ලබන වසරේ මාර්තු වන විට නැවතත් නොනිමෙන සාගතයක් කරා ලංකාව ඇදී යාමට නියමිතය. ඒ නිසා මම නැවතත් ඒ ගැන ලියමි.

සැම්බියාවේ නාගරික ප්‍රජාව විසින් ක්‍රියාවට නගන ක්‍රමවේදය මෙයයි. එක් වීථිය (එය එසේම විය යුතු නැත) පවුල් 10-15 එකතුවී සාමුහික අවබෝධයකින් ගෙවතු වගාව කරයි. එක් නිවසක වම්බටු සහ බණ්ඩක්කා, තවත් නිවසක තක්කාලි සහ මිරිස්, තවෙකෙක බෝංචි සහ මෑ කරල්, දිය සීරාව අධික වත්තක කොහිල සහ කංකුන් ආදී වශයෙන්ද, කිසිවක් වැවිය නොහැකි ගෙවතු කිහිපයක කිකිළියන් 10-15ද, විශාල ගෙවත්තක් සහිත නිවසක එළදෙනුන් කිහිපදෙනෙක්ද ආදී වශයෙන් ඔවුහු වගාව බෙදාගනිති. ගෙවත්තක් ඇත්තෙම නැති නිවාස දෙක තුනක එක් කාමරයක් වෙන්වන්නේ හාල්, පිටි, සීනි, පරිප්පු ආදී වියලි ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමටයි. මේ සඳහා කණ්ඩායම මුදල් එකතු කර අර නිවෙස හිමියාට ලබා දේ. (මෙහි සඳහන් කල ආහාර ද්‍රව්‍ය ලංකාවට අදාලව සඳහන් කලෙමි. එරට අයගේ කෑම බීම රටාව මීට වෙනස්ය).

පලදාව ලැබෙන විට ඔවුන් ඒවා හුවමාරු කරගනිති. මෙහිදී මුදල් වෙනුවට ඔවුන් credit score එකක් භාවිත කරයි (එනම් එක එක නිවසින් මිලට ගත් හා මිලට දුන් අයගේ පොතක් යම් ලකුණු ක්‍රමයක් අනුව නඩත්තු කරයි). මාස 6 ට පමණ වරක් මේ පොත බැලන්ස් කරයි (ගනුදෙනු පියවා අවසන් කරයි).

අප්‍රිකානුවන් මේ ක්‍රමවේදය ඉතා අපූරුවට සාමකාමිව වසර ගණනක් තිස්සේ කරගෙන යයි. ලාංකික ඔබටත් එය කල හැකිද? 



Saturday 17 December 2022

බුදු දහමින් මා ලද පන්නරය

 

කුඩා අවදියේ මා බොහෝ පෝය දිනවල මගේ මව සමග වජිරාරාමයේ සිල් සමාදන් වීමට ගියෙමි. එහිදී වැඩිහිටියන් අතර ඇතිවුන සමහර දෙබස් මට තවමත් යන්තමින් මතකය. පසු කලෙක මම මේ ආවර්ජනා විශ්ලේෂණය කලෙමි. එහිදී මට හැගුනේ මගේ මවද ඇතුළු එතන සිටි කිසිවෙක් තමන් සිල් සමාදන් වන්නේ "ඇයි" කියා සිතාවත් නැති බවයි. ඔවුන් බොහෝ දෙනෙකුට සිල් ගැනීම කාලයක් තිස්සේ කල නිසාම කලයුතු කර්තව්‍යයක් විය. එක් මසක් හෝ සිල් ගැනීමට නොහැකි වුවහොත් ඔවුන් ඊළඟ පොහොය දිනයේදී වරුවක් පමණ පැමිණ සිටින අය සමග එයට හේතු පාදක වූ කරුණ කියමින් විස්සෝප වෙයි.

නමුත් මේ සිල් සමාදම් වීම තුල මට ලෝකය පිළිබඳව බොහෝ කරුණු රැස් කරගත හැකි විය. නාරද හාමුදුරුවන්ගේ සහ මඩිහේ පඥාසිහ නාහිමියන්ගේ බණ කතන්දරවලට මම බෙහෙවින් ඇලුම් කලෙමි. 

ඒ දිනවල අපේ නිවසේ උදවිය නින්දට යන්නේ මධ්‍යම රාත්‍රියට ආසන්නවය. එතෙක් ලෝකේ රටේ සිදුවීම්, දේශපාලනය, මෙන්ම ආගම පිළිබඳව සාකච්චා, සංවාද, විසංවාද ඇතිවෙයි. එකල රුපවාහිනිය ලංකාවට ආගන්තුක විය. මේ නිසා මිනිසුන්ට කතා බස් කරන්නට බොහෝ කාලය තිබුණි. 

මම බුදු දහමින් නොනැවතී කිතුනු, හින්දු, ඉස්ලාම් ධර්මයන් පිළිබඳවද තොරතුරු එකතු කිරීමට බොහෝ සේ උනන්දු වුනෙමි. එපමණක් නොව හිප්නොටිසම්, මැස්මරිසම්  ආදී මෝහන විද්‍යාවන් පිළිබඳවද හැදෑරුවෙමි. මගේ සීයා සමග එකතුවී යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, හඳහන් බැලීම, සර්ප විසට වෙදකම් කිරීම ආදී කටයුතුවලටද සහභාගී වුනෙමි.   

----------------------------

හයවන ශ්‍රේණියට පමණ පා තබන විට මගේ මේ සුන්දර කාල පරිච්චේදය නිම විය. එතැන් සිට තිබුණේ හැල්මේ දිවිල්ලකි. ගෙවුණු හැම දිනකම මම ජීවිතය උපරිම වින්දෙමි. එහෙත් ආගම-දහම පාසල් විෂයකට පමණක් සිමා විය. මේ අතරම පන්සලට අමතරව හින්දු කෝවිලටත්, කතෝලික සහ මුස්ලිම් පල්ලියටත් සමහර අවස්ථාවල ගියෙමි. එහෙත් ආගම-දහම පිළිබඳව ගැඹුරින් සිතීමට උත්සහ නොකලෙමි. 

----------------------------

මම ආගම-දහම ගැන නැවතත් හිතන්න වුයේ ඉන් වසර 30 ට පමණ පසුවය. මෙවන විට මම ලෝකය පුරාම සමාජ අත්දැකීම් ලබා සිටියෙමි. ජිවිතය හැලහැප්පීම්, වැටීම්, නැගිටීම් අතරින් සෑහෙන දුරක් ඉදිරියට ගොස් තිබුණි. කුඩා කල පටන් රැස් කල තොරතුරුත්, විවිධ රටවලදී දුටු බුදු දහම ඇතුළු අනෙකුත් සියළුම ආගම් පිළිපදින පුද්ගලයන් ඇසුරු කර ලැබුණු අත්දැකීමත් තුලින් මා මනසින් මුහුකුරා ගොස් තිබුණි. 

----------------------------

"අපට ආගමක් හෝ දහමක් අවශ්‍ය ඇයි"? මම මගෙන්ම ඇසුවෙමි. 

මගේ මනසට ලැබුණු එකම පිළිතුර "සතුටින් සහ සැහැල්ලුවෙන් සිටීමට" කියාය. එය ආගමකින් දහමකින් ස්වායත්ත වූ පිළිතුරක් විය. 

මම මේ  පැනය දන්නා හඳුනන බොහෝ දෙනෙකුගෙන් ඇසුවෙමි. ඔවුන් සෑහෙන පිරිසකට මගේ ප්‍රශ්නය තේරම් ගැනීමද ප්‍රශ්නයක් විය. බොහෝ දෙනෙකුගේ පිළිතුර වුයේ තමන්ගේ ආගම නිවරදි නිසා බවයි. සමහරුන් පැවසුවේ ලෝකයට වැඩදායක පුද්ගලයෙකු වීමට බවයි. මේ අතර දෙවියන්ට සේවය කිරීමට, අනෙක් අයට කරදරක් නොමැතිව ජීවත්වීමට ආදී පිළිතුරුද විය.

මේ සෑම පිළිතුරක් ගැනම ගැඹුරින් සිතා බලද්දී මට පෙනී ගියේ ඔවුන් මේ කියන අරමුණට යද්දී ඔවුන්ගෙන් මුලින්ම ගිලිහෙන්නේ සතුට සහ සැහැල්ලුව බවයි. මේ ගැන තවත් ලිපියකින් මම දීර්ඝව සකච්චා කරන්නම්. 

"සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවත්වීමට ආගමක් - දහමක් අවශ්‍යමද? මේ මම ඊළඟට මගෙන්ම ඇසූ පැනයයි. 

මෙම ප්‍රශ්නය මට පුළුල් සහ සුවිසල් ලොවකට දොර විවර කර දුන්නීය.

ආගමක් යනු කුමක්ද? ආගම්, දහම්, ඇදහීම්, විශ්වාස ඇතිවුයේ හෝ ඇති වන්නේ ඇයි? ඒවා සමහර විට ලත් තැනම ලොප් වීමටත් සමහර විට සහශ්‍ර කිහිපයක් පවතින්නත් හේතුවන්නේ කුමන සාධකද? එසේ දිගු කල් පැවති ආගම් කලකදී නැතිවෙන්න හේතු මොනවාද? ආගමක සහ දහමක වෙනස කුමක්ද? ආදී ගැටළු රාශියක් මට ඇති විය. මේ ගැන වැටහීමක් ඇති කරගන්න වසර 12ක් පමණ මම වෙහෙසෙන්නෙමි. මේ මොහොත එහි අවසානය නොවනු ඇත. මේ ගැටලුවලට මා සොයාගත් පිළිතුරුද එම පිළිතුරු කාලයත් සමග විපර්යාසයන්ට භාජනය වූ අයුරුද මගේ බ්ලොග් සටහන් කියවන විට ඔබට මැනවින් අවබෝධ වනු ඇත. සමහර කාරණා මා ලිව්වේ ඉංග්‍රීසි බසින් පමණි. එයද හේතුවක් ඇතිවය. 

----------------------------

ඉහත ගැටළු එකින් එකට පිළිතුරු මවිසින්ම සපයා ගනිද්දී මට මා ඉන්නා බහළුම හෙවත් පෙට්ටිය ගැන ටිකෙන් ටික අවබෝධ වන්නට විය. ආගම යනු මානවයා ඒකරාශී වීම තුලින් ආරක්ෂාව පැතීමක් බව මට අවබෝධ විය. එය ශිෂ්ඨාචාරය පවත්වා ගැනීමේ ලා මහඟු කාර්යයක් කරන බවත් මට වැටහුණි. එම කාර්යභාරයේ ධනාත්මක ඵල මෙන්ම ආගම-දහම දඩමීමා කරගෙන ඒ තුලින් වැජඹෙන තක්කඩියන් නිර්මාණය කරන ඍණාත්මක ඵලද ඔබට එකසේ ලැබෙනු ඇත. 

ආගම යන ලේබලය තුලින් මිනිසා පතන්නේ තනි නොවීම හෙවත් එකම ආකාරයට සිතන ප්‍රජාවක් ඇතිකරගැනීම තුලින් සමාජ-පරිසර රැකවරණය ලබා ගැනීම බවත් තේරුම් ගත් විට මට පෙට්ටියෙන් එළියට පැමිණිය හැකි විය. මෙය ඉතා සුවපත්, සැහැල්ලු, සැනසිලිදායක අත්දැකීමක් විය. තවදුරටත් "මගේ ආගම" හෝ "මගේ දහම" කියා හැඳින්වීමට මට යමක් නොවීය. මේ නිසා මගේ ආගමට කෙනෙක් ප්‍රසංශා කළා, මගේ ආගමට කෙනෙක් ඇතුළු වුනා ආදී වශයෙන් විශේෂ සතුටක් ලැබීමටවත් එහි අනෙක් පස සිදුවන විට දුක් වීමටවත් මට සිතක් පහල නොවන්නේය.

"ඔබ නිරාගමිකද?" සමහරුන් මගෙන් අසයි. 

නිරාගමික යනු තවත් ආගමකි. අද සමාජයේ සිටින නිරාගමික ලේබලය ගසා ගත් පුද්ගලයන් සිදුකරන්නේ තවත් එකම විදියට සිතන සමුහයක් ඇති කරගැනීමෙන් සමාජ-පරිසර රැකවරණය පැතීමයි. මට පෙනෙන ආකාරයට ඔවුන් ආගමිකයන්ටත් වඩා බලවත් චිත්ත පීඩාවකින් පසුවෙයි. ඊට හේතුව ඔවුන්ගේ සමුහය කුඩා වීම සහ අසංවිධානාත්මක වීම නිසා ඔවුන්ට දැනෙන අනාරක්ෂිත බවයි. ආගමිකයාට වගේම නිරාගමිකයාටද හිතේ සතුට සැනසීම මදය. මන්ද නිරාගමිකයාද සිටින්නේ පෙට්ටියක් තුල වීමයි. මෙම පෙට්ටියට පහර වැදීම ඔහුව හෝ ඇයව දුකට පත් කරයි. ඔබ පෙට්ටියෙන් ඉවතට පැමිණි විට කවුරු මොන පෙට්ටි කැඩුවත් මොන පෙට්ටි හැදුවත් එය ඔබට අදාළ දෙයක් නොවන බව වැටහෙනු ඇත.  

----------------------------

මා මෙතෙක් පැවසුවේ අද ලිපියේ නිදාන කතාවයි.

මෙතෙක් දුරක් මා රැස් කරගත් අත්දැකීම් සහ තොරතුරු දෙස පෙට්ටියෙන් පිටතට විත් බලන විට පෙනෙන දසුන අතිශයින් චමත්කාර ජනකය. ඉංග්‍රීසි බසින් මෙම තත්වයට blissful යන පදය යෙදෙයි. ඔබ විසින්ම එය අත්දකින තෙක් ඔබට එහි ඇති අහ්ලාදය විඳගත නොහැක. බුදු දහමේ නියම චමත්කාරය පෙනෙන්නේ බුද්ධාගම නැමැති පෙට්ටියෙන් ඉවතට විත් ඒ දෙස බලන විටය. 

මට ඉතා සරළව මේ කාරණය කීමට හැකි මෙලෙසයි.

"බුදුන් කී දේ අත්විඳීමට නම් ඔබ ඔබේ බෞද්ධකම හලා බුදු දහම දෙස බලන්න". 

මේ නිදහස් මනසින් යුතුව මට වසර 30 ක් ඈත අතීතයට සිත යොමු කරන විට ලංකාවේ බෞද්ධයා පිළිබඳව බොහෝ දේ අවබෝධකරගත හැකි විය. 

----------------------------

මේ වන විට මානව ඉතිහාසය පුර ආගම්, දහම් ලක්ෂ ගණනක් බිහිවන්නට ඇත. ඒවායින් අද වන විට ප්‍රාදේශීය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ඇත්තේ ආගම් දහයකට වඩා අඩු ගණනකි. ලෝක ඉතිහාසය ගත්තත් දීර්ඝ කාලයක් පැවතී ඇත්තේ ඉතා සුළු ආගම-දහම් ප්‍රමාණයකි. බොහෝ ආගම් බිහිවන්නේ යම් කාල-අවකාශ ලක්ෂයක සාමාජීය අවශ්‍යතාවයක් වෙනුවෙනි. එය කාල-අවකාශ වක්‍රයේ පුළුල් පැතිරිමකට භාජනය වෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ එය භාවිතයට ගන්නා පාලකයන්ගේ අවශ්‍යතාවය සහ හැකියාව මතය. ඒ පිළිබඳව මම වෙනමම පොතක් ලිවීමට අදහස් කරගෙන ඇති බැවින් මෙහි වැඩි විස්තර පල නොකරමි.

ලෝකයේ මානවයා ශිෂ්ඨාරගතවන්න වූ කාලයේ සිටම බිහි වූ අප දන්නා ආගම් විග්‍රහ කල හොත් මම හිතන විදියට ඉන් 99.99% ම මරණින් මතු පැවැත්මක් පිළිබඳව කියනවා. මගේ මතය නම් ඊට හේතුව එසේ නොකියන ආගම් බිහි නොවීම නොව, බිහි වූ ආගම් වැඩි කල් නොපැවතීමයි. ආගමක් බොහෝ විට බිහිවන්නේ සමාජ අවශ්‍යතාවයන් සපුරාලීමටයි. අදාළ සමාජ සංස්ථාවේ (නැතහොත් ශිෂ්ඨාචාරයේ) පැවැත්ම ස්ථාපිත කිරීමට උදව් නොවේ නම් එවන් ආගමකට, දහමකට පැවැත්මක් නැත.  

මේ අතින් බලන කල බුදු දහම කිසිසේත්ම කාල - අවකාශ වක්‍රයේ කුඩා වපසරියකින් එපිටට යාමට හැකියාව නොතිබූ දහමක් ලෙස මම දකිමි. මට හැගෙන ආකාරයට බුදු දහම ව්‍යාප්ත වීමට මූලික හේතුව වන්නේ අශෝක රජු විසින් එය තම අධිරාජ්‍යයේ ප්‍රසාරණය සඳහා භාවිතා කිරීම යයි මට සිතේ. එවන විට සියවස් තුනකට ආසන්න කාලයක් තුල බුදුන් දෙසු දහම යම් යම් වෙනස් කම් වලට භාජනයවී ඊට වසර දෙතුන් දාහකට පෙර සිට පැවතී වෛදික දර්ශනයන් සමග මිශ්‍ර වී තිබෙන්නට ඇත. ඊට සියවස් කිහිපයකට පසු අද්වෛත වේදාන්ත ලෙස එළි බසින්නේ මෙම බුදු දහමෙහි වඩාත් සිත්ගන්නා සුළු (විශේෂයෙන්ම පාලක සහ පූජක පක්ෂයට) පිටපත (version එක) බව මට සිතෙයි. 

----------------------------

නොපෙනෙන බලවේගයක් මගින් සමාජ සංස්ථාව ස්ථාවරව පවත්වාගෙන යාම මානව ශිෂ්ඨාචාරයේ මූලිකම පාලක උපකරණයයි. නමුත් මෙහි තිබූ අඩුපාඩුව විවිධ ආගම් අදහන පුද්ගලයන්ට අහඹුව ලැබෙන භාග්‍ය-අභාග්‍ය ගැටලුවක්වීමයි. X-ආගම අදහන පුද්ගලයෙක් ඉතා යස ඉසුරින් ජිවත් වෙද්දී Y-ආගම අදහන පුද්ගලයා ඉතා අවාසනාවන්ත ජිවිතයක් ගත කරයි. මෙය සමහර විට සමාජ පද්ධතියකටම ව්‍යාප්තවේ. එනම් සමස්තයක් ලෙස X-ආගම අදහන සමාජ පද්ධතිය සැප විඳින අතර Y-ආගම අදහන සමාජ පද්ධතිය දුක් විදියි. මෙය අද දක්වාම පවතින ගැටළුවකි. අති බහුතරයක් යම් ආගමක් අදහන රටවල් සමහර විට අන්ත දුප්පත් අතර වෙනත් ආගමක් අදහන රටවල් පොහොසත්ය. මීට එකම විසඳුම ඇත්තේ මරණින් මතු පැවැත්මක් පිළිගනිම තුල පමණි. එවිට, දුක් විදින මිනිසා "මරණෙන් පස්සේ එයා අපායේ, මම දිවිය ලෝකේ" යන ස්වයං-සැනසීමට පත්වේ. අදත් එය එසේමය. 

වසර 20,000 ට වැඩි මානව ශිෂ්ඨාචාර ඉතිහාසයේ මේ සම්බන්ධයෙන් සිදු වූ එකම වෙනස සමාජ පාලනය යම් පමණකට නොපෙනෙන බලවේගය යන උපකරණයෙන් නීතිය යන උපකරණයට මාරුවීමයි. එහෙත් මේ නීතියට පවා තවමත් ආගමේ උපකාරයෙන් මිදීමට නොහැකි වී ඇත. උසාවියේ සාක්කි දෙද්දී තවමත් ආගමික පත පොතේ අත තබා දිවුරීමට බල කරන්නේ මේ නිසාය.  තවමත් මානවයා නීතියට වඩා නොපෙනෙන බලවේගයට බියය. ඊට හේතුව නීතියට නොපෙනෙන තැන් super-human බලවේගයට පෙනෙන බව ඔවුන් විශ්වාස කිරීමයි.

වෛදික පද්ධතිය තුල ඉතා සංකීර්ණ සමාජ-පාලන තන්ත්‍රයක් නිර්මාණය කරගෙන තිබුණි. එය දෙවිවරුන් ගණනාවක් + කර්මය යන නොපෙනෙන බලවේගවලින් සහ ක්‍රමවත් සමාජ ධූරාවලියකින් (social hiarachy) සමන්විත් විය.  

බුදුන් තම අනාත්ම වාදය ඉදිරිපත්කරන්නේ මෙවන් පසුබිමකය. "මම" යනු මතකය නිසා පවතී යයි හැඟෙන නැවත නැවත අළුත් වන සිතිවිලි සමුහයක් (මේ සඳහා ඔබට ඕනෑම වදනක් භාවිත කල හැක) පමණකැයි බුදුන් කියූ බව මගේ හැඟීමයි. මෙය වැරදි නම් මා ඉදිරිපත් කරන ප්‍රවාදයද වැරදි වෙයි. සිත, සිතීම, සිතුවිලි ආදී සියල්ලම මොළය හා සම්බන්ධ ක්‍රියාදාමයකි. මේ නිසා මරණයේදී "මම" යයි අදහස් කරගෙන සිටි භූතාර්තයද නැතිවී යයි. මෙයට එරෙහිව ඔබට ඇදහීමක් ගොඩනැගිය හැක. එනම් මරණින් මතු තවත් උත්පත්තියක් අල්ලා ගන්නා යමක් ඇති බවයි. නමුත් එය ඇදහීමක් පමණකි. එයට මොඩලයක් තැනිය හැකිද යන්න පවා ගැටළු සහගතය. 

----------------------------

මා පසුගිය ලිපි කිහිපයකම පෙන්වා දුන්නේ සමාජය යම් බුද්ධි මට්ටමකට එළඹෙන තෙක් ඉහත සංකල්පය (දහම හෝ දර්ශනය) ඉතා භයානක බවය. එය මේ පිළිබඳව අදහස් පළකල බොහෝ දෙනා අසන ප්‍රශ්නයෙන්ම පිලිබිඹු වෙයි. සාමාන්‍යයෙන් මානව මනස සකස්වී ඇත්තෙම දඬුවමක් නැත්නම් අපට ඕනෑම දෙයක් කල හැකි බවට වන පූර්ව නිගමනයකින්. එය වසර විසි තිස් දහසක සිට සකස්වන්නකි. සමාජයේ බහුතරයකගේ අදහස පෙන්වා දෙන්නේද එයයි. මට පෙනෙන ආකාරයට බුදුන් දෙසු දහම පුරාම ඇත්තේ එසේ ප්‍රතිවිපාක (consequences) දෙන බලවේගයක් නොමැතිව මානවයා සතුටින්, සැහැල්ලුවෙන්, සමාජ-ස්ථාවරත්වය පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි. ඇත්තෙන්ම එය ඉතා අසීරු ගැඹුරු දහමකි. නමුත් මේ ගැඹුර ඇත්තේ අති බහුතරයක් දකින ළිං පතුලේ නොවේ යයි මට සිතෙයි. 

----------------------------

අවසානයේදී කිව යුත්තේ යම් කාල-අවකාශ රාමුවකදී මම තේරුම් ගන්නේ මගේ දැනුම් සම්භාරයට සහ විශ්ලේෂණ හැකියාවට ග්‍රහණය වන පරිමාවයි. එයිනුත් වදනට නැගෙන්නේ මගේ මානසික අවස්ථිතිය තරණය කිරීමට හැකිවන හැඟීම් පෙළයි. මා කුමක් කිව්වත් ඔබ තේරුම් ගන්නේ ඔබගේ දැනුම් සම්භාරයට සහ විශ්ලේෂණ ශක්තියට ගෝචර වන වපසරියයි. එයිනුත් ඔබට කරුණු කාරණා අවබෝධ වන්නේ ඔබගේ මානසික අවස්ථිති රාමුවේ දිග පළල උස අනුවයි. 

මේ නිසා මා ලියන කාරණා  ඔබගේ අවබෝධයෙන් ස්වායත්ත බව ඔබ අවබෝධ කරගනිත්වා. 




Thursday 15 December 2022

බලා පාරුවේ හැඩ ගිලී මියෙන දන



ඉවුරු කඩාගෙන දෙගොඩ තලා ගිය 

ගංගාවක් මැද දියෙන් වැසී යන 

කුඩා දුපතක අතරමංව ඔබ 

මරණය ඈතින් පිහිනා එන කල 


සැඩ ජල කඳ තරණය කරගන්නට 

කැඩී බිඳී සුන්බුන් වූ අතුරිති 

පමණක් දකිනා මාරක මොහොතක 

පහුරක් පාවී අසලට ආකල 


"පහුරේ හැඩයට මා කැමතිම නැත"

"එය බැඳ ඇත්තේ පන් පට වලින්ය" 

"ලී වල වර්ණය ඇසට සොඳුරු නැත"

"සැදූ කෙනාගේ වතගොත කුමක්ද?"


මේ ලෙස සිතමින් දියේ ගිලෙනවද?

දිරච්ච අත්තක එල්ලී යනවද?

සිහි නුවණින් තීරණය ගන්නවද?

පාරුව කුමක්ද වටහා ගත්තද?


Tuesday 29 November 2022

තව වසර 2500 කට පසු මානව බුද්ධියට ගෝචර වන බුදු දහම


මානව සමූහයක් විසින් ශිෂ්ඨාචාරයක් ගොඩ නගයි. මෙය ඒකක දහස් ගණනකින් සැදුම් ලත් තනි පද්ධතියකි. මෙම පද්ධතියේ පැවැත්ම රඳා පවතින්නේ තනි තනි ඒකකයන්ගේ පැවැත්ම මතය. එසේම තනි තනි ඒකකයන්ගේ පැවැත්ම පවතින්නේ පද්ධතියේ පැවැත්ම මතය. එනම් මෙම ශිෂ්ඨාචාරයේ පැවැත්ම එක් එක් ඒකකයේ පැවැත්ම මෙන්ම සමුහයේ පැවැත්ම මතද රඳා පවතී. මේ කාරණය මුලින්ම තේරුම් ගන්න උත්සහ කරන්න.

තනි ඒකකයක යහපත් පැවැත්ම රඳා පවතින්නේ ඔහු හෝ ඇය සතුටින්, සැහැල්ලුවෙන් සිටින සහ සමාජයට පලදායි භූතාර්ථයක් වන විටය. සමස්ත පද්ධතියේ පැවැත්ම පවතින්නේ එය එකකයක් ලෙස අවට පරිසරය සමග (එම ඒකකය පවතින පරිසර පද්ධතිය සහ තනි තනි ඒකක) පවත්වන යහපත් සබඳතාවය මතය. 

යම් කාල-අවකාශ රාමුවක් තුල ශිෂ්ඨාචාරයේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා තනි තනි ඒකකය මෙන්ම සමුහයද ක්‍රියාකළ යුතු සුදුසුම ආකාරයක් හෝ ආකාර කිහිපයක් ඇත. ඒ සඳහා තනි තනි ඒකකය මෙන්ම සමුහයද යොමු කරවීමට ක්‍රම තුනක් ඇතැයි මට සිතෙයි.

1. නොපෙනෙන බලවේගයක් මගින් මෙලොව මෙන්ම මරණින් මතු පැවැත්මද පාලනය කරන බවට පිළිගැනීමක් සමාජය තුල ස්ථාපිත කිරීම 

2. සමාජ සංස්ථාව මගින්ම මෙහෙයවන්නා වූ නීති-විනිශ්චය පද්ධතියක් ස්ථාපිත කර පවත්වාගෙන යාම 

3. තනි තනි ඒකකයේ මෙන්ම සමාජ පද්ධතියේද පැවැත්ම උදෙසා තමාගේ කාර්ය බාරය සෑම මානව ඒකකයක් මෙන්ම සමාජ ඒකකයද අවබෝධ කරගැනීම. 

මානව ශිෂ්ඨාචාරය පවත්නා වසර 20,000 ක ඉතිහාසයෙන් වසර දෙතුන් සියයක් හැර අනෙක් මුළු කාලයම ගත වුනේ පළමු ක්‍රමය හෝ පළමු ක්‍රමය මත දැඩිව රඳා පැවති දෙවන ක්‍රමයෙනි. අදත් ඉතා දියුණු යයි පවසන රටවල පවා නීතිය විමසන්නේ අදාළ ආගමික ග්‍රන්ථයක් මත දිවුරා සිටීමෙන් පසුවයි. මෙම නොපෙනන බලවේගය + මරණින් මතු පැවැත්මේ තවමත් පවතින දැඩි අවශ්‍යතාවය ඔබට මෙයින්ම පැහැදිලි වේ.

මගේ කලින් ලිපියට පිළිතුරු අදහස් සපයන කිහිප දෙනෙක්ම පවසන්නේ මරණින් මතු පැවැත්මක් නැත්නම් අපට ජොලියේ ඕනේ දෙයක් කරන්න පුලුවන්නේද යන්නයි. මට හිතෙන ආකාරයට සමාජයේ අති බහුතරය සිතන්නේ මෙලෙසය. එය එසේ වීමේ කිසිඳු අරුමයක් නැත. අප ජීවිතයේ බලාපොරොත්තුවන ජොලිය කුමක්දැයි බොහෝ දෙනෙකුට වැටහීමක් නැත.

මා සිතන විදියට "මරණින් මතු පැවැත්මක් හෝ එය පවතින ආකාරය තීරණය කරන බලවේගයක් නැත" යන යථාර්තය අවබෝධකරගෙන, තුන්වෙනි ක්‍රමවේදය හරහා සමාජ පද්ධතිය ස්ථාවර කරගැනීම පිළිබඳව පැවසු දහම් කිහිපයෙන් තවමත් රැඳී ඇත්තේ බුදුදහම පමණකි (සහ බුදු දහමේ ආභාෂයෙන් පෝෂණය වූ චීන-ජපන් දහම්).

නමුත් මෙම යථාර්තය අවබෝධයෙන් යහපත් වූ සමාජයක් බිහිවීමට තරම් මානව බුද්ධිය වර්ධනය වීමට තවත් වසර දෙදහස් පන්සියක පමණවත් කාලයක් ගතවනු ඇති බව මගේ හැඟීමයි. මේ අනුව බුදුන් තමන් අවබෝධකරගත් යථාර්තය පවසා ඇත්තේ වසර 5000 පමණ in advance ය.

බුදුන්ගේ කාලයෙන් සියවස් දෙක තුනක් යන විටම පාලකයන්ට සහ පුජ්‍ය-පූජකයන්ට මෙම දර්ශනය සමාජ පාලනයට හිතකර නොවන බව පෙනෙන්නට ඇත. මේ අනුව වසර තුන් හාරදහසක් ස්ථාපිතව තිබූ වෛදික දර්ශනය, සහ ඒ ආශ්‍රිතව ගොඩනැගු කතන්දර බුදුදහම නමින් එලි දක්වන්න ඇත. එය එසේ නොවුනා නම් අශෝක අධිරාජ්‍යයා කිසිසේත් මෙම දහම ප්‍රවර්ධනය කරන්නේ නැත. බුදු දහම මේ දක්වා කාලයක් පැවතුණේ  මෙම වෛදික ප්‍රවිෂ්ඨය නිසා බව මම සිතමි.

වෛදික පෝෂණය ඉවත්කළ විට මට පෙනෙන්නේ බුදු දහම යනු තනිකරම ක්‍රමවේදයකි. ඒ මරණින් මතු පැවැත්මක හෝ නොපෙනෙන බලවේගයක බිය ගැන්වීමකින් තොරව ස්ථාවර මානව ඒකකයක් සහ සමාජ පද්ධතියක් පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයයි. එසේම එයින් ඈත්වන විට තනි තනි ඒකකය මෙන්ම සමාජ සංස්ථාවද බිඳ වැටෙන ආකාරයයි. 

තව වසර 2500 කින් බිහිවන මානවයෙක් සිතන ආකාරයට ඔබටත් සිතිය හැකිද? 



Saturday 26 November 2022

මා සොයා ගිය මගේ ගමනේ නිමාව


බුදු දහම නමින් ඔබ ඉගෙනගත් සියළු දේ මදකට අමතක කරන්න. එසේම මොළය හා සම්බන්ධ වූ මතකය (memory) සහ පරිකල්පනය (imagination) යන හැකියාවන් නැතැයි උපකල්පනය කරන්න. 

දැන් ඔබ කවුද? 

පංචෙන්ද්‍රිය මගින් ලැබෙන සංඥා මත ක්ෂණයෙන් ක්ෂණය වෙනස්වන සිතුවිලි සමුදායක් පමණකි. 

"මම" නමින් භූතාර්ථයක් ඇතැයි යන හැඟීම ඇතිවන්නේ මතකය (අතීතය) සහ පරිකල්පනය (අනාගතය) යන හැකියාවන් නිසාය. 

භෞතික ශරීරයේ පැවැත්ම නැති වූ විට මතකය, පරිකල්පනය මෙන්ම සිතුවිලි සමුදායද නැතිවී යයි. එතෙක් "මම" නමින් ඔබ ගොඩ නගාගෙන සිටි පැවැත්මේ අවසානයද එය වෙයි.  

මට වැටහෙන පටිච්ච සමුප්පාදය මෙයයි. මෙය අවබෝධ කරගත් විට (තේරුම් ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ) මමත්වය අහෝසි වී ඔබ වර්තමානයේ ජිවත්වන (අතීතය  සහ අනාගතය මෙනෙහි කරමින් දුකට පත් නොවන), ඉතා සැහැල්ලු, තෘප්තිමත් සහ ප්‍රීතිමත් කෙටි කාලීන පැවැත්මක් බවට පත්වෙයි. 

මේ සරල සංසිද්ධිය තේරුම් ගත නොහැක්කේ ඔබ මරණින් මතු පැවැත්මක් ගැන ඉතා ස්ථාවර පදනමක් ප්‍රාථමිකවම ඇති කරගන්නා බැවිනි. බුදුන් තම මූලික ඉගැන්වීම් තුලින් පැවසුවේ එවැනි පැවැත්මක් නොමැති බවයි. එහෙත් බුදුන්ට වසර දෙතුන් දහසක පෙර සිට පැවත ආ වෛදික මතවාද ඉතා කෙටි කාලෙකින් නැවතත් බුදු දහමට එක්වී ඇති බව මගේ වැටහීමයි. එය එසේ නොවුනා නම් බුදු දහමට දශක කිහිපයකට වඩා පැවැත්මක් තිබෙන්නේ නැත. වෛදික මූලධර්ම ගොඩ නැගෙන්නේම ශිෂ්ඨාචාරයේ පැවැත්ම ස්ථාවර කරගැනීම සඳහාය. එය රජුන්ට සහ පූජ්‍ය-පූජකයන්ට අත්‍යවශ්‍ය උපකරණයකි. මේ වෛදික ප්‍රවිෂ්ඨය බුදුදහමට අවතීරණය වී නොතිබුනා නම් අශෝක අධිරාජ්‍යයා එය ප්‍රවර්ධනය කරන්නේ නැත. 

බුදු දහම නමින් අද අපි සියළු දෙනාම ඉගෙන ගන්නේ ඉතා සුළු වෙනසකට බඳුන් වූ වෙදාන්තයයි. මම එහි වරදක් නොදකිමි. එය ශිෂ්ඨාචාරයේ පැවැත්ම උදෙසා අවශ්‍ය වෙයි. 

බුදුන් කියූ යථාර්තය අවබෝධ කරගෙන ස්ථාවර ශිෂ්ඨාචාරයක් පවත්වා ගත හැකි බුද්ධි මට්ටමකට මානවයා එළඹීමට තවත් වසර දෙදහසක් වත් යා යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි. එතෙක් ඔබ වේදාන්ත මොඩලයට අනුයුක්ත වීමේ වරදක් නැත. 



            




Wednesday 23 November 2022

පලිඟු බෝලයෙන් පෙනෙන ඊළඟ කතාව



"රනිල් ජන මනස කියවාගෙන ඇත - බහුතරයක් ජනතාව රනිල් කියවාගෙන නැත"

මාස තුනකට පෙර මා කී අනාවැකි සනාථ වෙමින් පවතී. රනිල් යටතේ ටිකෙන් ටික රට යථා තත්වයට පත්වනවා යන මායාව බහුතරයක් ජනතාව වෙලාගෙන ඇත. උද්ඝෝෂණ, පෙළපාලි, වැඩ වර්ජන, වීථි සටන් පුස්සක් බවට පත්වෙමින් ඇත. සිංහල-බෞද්ධ අභිමානය යැයි කියාගෙන වසර 70ක් 80ක් ඔසවාගෙන ආ වික්ටෝරියානු සංස්කෘතියේ අංග එකින් එක ගලවා ඉන්දියන් සාගරයට විසිකිරීමට වැඩ සැලසෙමින් පවතී. ඉන්දු-ඇමරිකන් සහයෝගීතාවය සුමටව සහ සුවපහසු සහිතව ලංකාව නතු කරගනිමින් සිටියි. චීනය යන යකා කොරහත් බිඳගෙන යන තත්වයක් මතුවෙමින් ඇත. 

---------------------------------------

මේ බංකොලොත් හිඟන දීන තත්වයට පාර කැපුවේ රාජපක්ෂලා බව අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් තවමත් බහුතරයක් රාජපක්ෂ ගැත්තන්ට පහළවී නැත. එම තත්වය රනිල් විසින් ඉතා සුක්ෂමව උත්ප්‍රේරණය කරන බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් රනිල්වාදීන්ට නැත. 

ලංකාවේ බහුතරයක් ඉදිරියේ සිදුවන ව්‍යසන ඉවකරගැනීමට සමත් පිරිසක් නොවේ. ඒ වෙනුවට ඔවුන් ලැබෙනා ඉතා සුළු පහසුකමක් වෙනුවෙන් රටට හෙණ වැදුනත් කම් නැතැයි සිතන ජාතියකි. රනිල් මේ ජන විඥානය මැනවින් හඳුනා ගෙන ඇත.

---------------------------------------

ලංකාවේ නාගරික මධ්‍යම පංතිය නැගී සිටියේ ගැඹුරු පද්ධති-ප්‍රතිපත්ති වෙනසකට නොවන බව මගේ හැඟීමයි. ඔවුන් වියරු වැටුණේ තමන් ගතකල සුව පහසු දිවිපෙවෙත කඩා වැටුණු හෙයිනි. රනිල් මේ ජන මනස මැනවින් කළමනාකරණය කළේය. රට බංකොලොත් බව රජය ප්‍රකාශ කර ඇත. මේ අනුව දැන් ලංකාව සියළු ණය හිමියන්ට ණය හෝ පොලිය ගෙවීම අත් හිටුවා ඇත. මේ නිසා ඉතිරි වන මුදලින් ඉන්ධන, ගෑස්, සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා කෙසේ හෝ යාන්තමින් හිග පියවයි. මේ නිසා දැන් මධ්‍යම පංතියට අරගලය අමතකවී ඇත. සමහරුන්ට එය අරහං වී ඇත. 

නමුත් ගෙවෙනා සෑම පැයකම ලංකාව ගෙවිය යුතු ණය හා පොලිය වේගයෙන් ඉහල යයි. එක් අවස්ථාවකදී තව දුරටත් මේ ගමන යා නොහැකිව රට සමාජ ව්‍යසනයකට ඇද වැටෙයි. ලංකාව සතු වත්කම් විකිණීමෙන් මේ ලක්ෂයට ලඟා වීම යම් තරමකට පමා කරගත හැක. ලාංකිකයා දිය සැලිය නටන තෙක් එහි කෙලින කකුළුවා වැනි බව රනිල් දනී. 

"විකිණිය යුත්තේ ලාභ ලබන ආයතනයි" ඔහු දැන් හඬ නගා පාර්ලිමේන්තුවේදීම පවසයි. ජනතාව මීක් නැත. මන්ද දැන් ඔවුන්ට යාන්තම් ඉන්ධන බින්දුවක්, ගෑස් සිලින්ඩරයක්, ආහාර ටිකක් අහස උසට මුදල් ගෙවා හෝ මිලදී ගත හැක. 

"නැවතත් අරගලයක් පැමිණිය හොත් හදිසි නීතිය දමා, හමුදාව යොදවා එය මර්දනය කරනවා" නැවතත් ඔහු කියන්නේ පාර්ලිමේන්තු ගැබ දෙවනත් කරමිනි. සමහර මිනිසුන් මෙයට හුරේ දමා පෝස්ට් පලකරනු දුටුවෙමි. ඔවුන්ට දැන් අරගලය කරදරයකි. අරගලය ඇරඹුණේ කුමන කාරණයක් පාදක වීමෙන්ද කියාවත් ඔවුන්ට මතකයක් නැත. මේ පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයයි. 

මෙතෙක් කිසිම ජනාධිපතිවරයෙක් විවෘතව පැවසීමට මැලි වූ ඉහත කරුණු ඔහු දැන් නිබයව පවසයි. ලංකාවේ බහුතරයක් දීන මනසින් යුතු බව ඔහු කියවාගෙන ඇත. 

ඉදිරියේදී සියල්ල විකුණා අවසන් වුවත් ජනතාවගේ බඩගින්න නිවීම අපහසු බව රනිල් දනී. එවිට සුළුතරයක් ඔහුට එරෙහිව නැගී සිටියහොත් කල යුතු දෙයට ඔහු සුදානම් වෙයි. එවිට බහුතරයක් දීන මනස් ඔහු සමග සිටින බවටද ඔහු වග බලා ගනී. 

-----------------------------------------

ඊළඟ චන්දය හෝ චන්ද පෙළ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විශිෂ්ඨ ආකාරයෙන් ජයග්‍රහණය කරන බව මගේ හැඟීමයි. ඒ ජවිපෙ ප්‍රතිපත්ති හෝ ඉදිරි වැඩපිළිවෙල සලකා නොවේ. ඔවුන් මේ වන විට දියත්කර ඇති ක්‍රියාන්විතය සලකා බලාය. ලංකාවේ සියළුම පක්ෂ අභ්‍යන්තර ගැටළු විසඳ ගැනීමට එකිනෙකා කුළල් කාගන්නා අතර ජවිපෙ ඉතා සුමටව මහජනතාව දැනුවත් කරමින් සිටියි. මෙය මේ අවස්ථාවට උචිතම ක්‍රියාන්විතයයි. මැතිවරණයක් පැමිණෙද්දී ඔවුන් පැහැදිලිවම අනෙක් පක්ෂවලට වඩා ඉදිරියෙන් සිටිනු ඇත. අභියෝගය වන්නේ ඇත්තෙන්ම චන්ද දිනීම නොව ඊට පසු කරන්නේ කුමක්ද යන්නයි. 

අනෙකුත් විකල්ප බලවේගවලටද තවමත් කාලය ඇත. ඔවුන් ජවිපෙන් ස්වායත්තව තම මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමේ කිසිඳු වරදක් නැත. සිදුවිය හැකි හොඳම දේ ජාතික ජන බලවේගය සහ ප්‍රගතිශීලි විකල්ප කණ්ඩායමක් අතර මූලික ගැටුම ඇතිවීමයි. අසූචි ආයුධ ලෙස භාවිතා කරන විමල් වීරවංශ සහ හරීන් ප්‍රනාන්දුගේ වාදයක් වෙනුවට ප්‍රතිපත්ති  සහ වැඩපිළිවෙලවල් ආයුධ කරගත් චතුරංග අබේසිංහගේ සහ පැතුම් කර්නර්ගේ සටනක් බැලීමට මම පෙරුම් පුරමි. 




     

Thursday 17 November 2022

අපි නිර්මාණිලාව තනි නොකරමු



මියගිය නිර්මාණි ජිවත් වූ නිර්මාණිට වඩා බලවත් බව කවුදෝ මගේ FB පිටුවේ සඳහන් කර තිබුණි. එය සැබෑවකි. ජිවත් වුවත් මළකඳන් වැනි මිනිසුන් අතර මියගිය පසු තවත් උස් හඬින් හදවත් අමතමින් යුග පෙරලි කරන චරිතද කලාතුරකින් දැකිය හැක. 

නිර්මාණිගේ මරණයට පසු අපට දැක ගන්නට ලැබුණේ ඇයගේ දර්ශණයට ඉඳුරාම පටහැනි හෘද සාක්ෂියක් ඇති එවුන්ගේ මානසික කම්පනයයි. නොඑසේ නම්, වැරදි තීරණ ගෙන, ඒවා සාධාරණීකරණය කරමින්, ඒවා පාරාවළලු වෙමින් පැමිණෙන විට ඉන් මිදීමට පඹ ගාල් අතර දුවමින්, ඒවායේ පැටලෙමින්, පණ අදින සමහරුන්ගේ විලාපයයි. 

මිසරය, ග්‍රීසිය, රෝමය, චීන මින්ග් අධිරාජ්‍යය ආදී දැවැත්ත ශිෂ්ඨාචාර ඒවායේ අවසානයට ලඟා වන විට තිබූ සමාජ හැසිරීම් රටාවල ඉතා කිට්ටු සමානකම් ඇත. ඓතිහාසික මුලාශ්‍ර විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ මේ ශිෂ්ඨාචාර කෙලවරට පැමිණෙන විට සමාජය අතිශයින් විෂමාචාර තත්වයකට පත්වී ඇති බවයි. සමහර විට සමාජය ඒ තත්වයට පත්වුන නිසා ශිෂ්ඨාචාරය විනාශ වුවාද විය හැක. 

පාලක ස්ථරය සහ ඔවුන් අවට සිටි ප්‍රභූ පැලැන්තිය අසීමාන්තිකව ධනය සහ බලය හඹා යමින් බහුතර ජනයා පෙලන්න විය. ඔවුන්ගේ ජරා ජීර්ණ ජිවිත ක්‍රියාවලිය සහ තාඩන පීඩන හමුවේ ජනතාව නැගී සිටීම යම් තරමකට පමා කලේ ආගම පලිහක් ලෙස යොදාගත් පූජක පන්තියයි. ඔවුහු පාලකයාට දේවත්වයක් ආරෝපණය කරමින් සහ නොයෙකුත් අළුත් මිත්‍යා මතවාද වපුරමින් ජනතාව භීතියට පත්කළහ. මේ වෙනුවෙන් ඔවුන්ට බොහෝ යස ඉසුරු පාලක පැලැන්තියෙන් ලැබුණි. ඔවුන්ගේ මතවාද වැපිරීමට සමාජය තුලම සුළුතර පිරිසක් විය. ඔවුන් බොහෝ දෙනෙක් බුද්ධි හීන අඳබාලයන් විය. ඔවුන්ව මිත්‍යා මතවාද තුලින් බියවැද්දීම පහසු විය. අනෙක් පිරිස පූජකයන්ගෙන් යම් යම් ලාබ ලැබූ අධම තක්කඩියන් විය. ඔවුන් දෙපිරිසම පුජකයන් සහ පාලකයන් වෙනුවෙන් ජනතාව මිත්‍යාවේ වලලා තැබීමට උපරිම උත්සහයක් දැරීය. අවසානයේදී සියළුම දෙනා සමගින් මේ ශිෂ්ඨාචාර වැනසී ගියෝය. 

ඒ දැවැත්ත සමාජ පද්ධතිවලට අලඟු තියන්නවත් නොහැකි ලංකාව, අද පත්ව ඇත්තේ තවත් කුඩා කෙටි කාලීන ශිෂ්ඨාචාරයක අවසානයට බව මට හැඟෙයි. 

පසුගිය දොළොස් වසරක පමණ කාලය තුලදී බුදු දහම සහ සිංහල සංස්කෘතිය රාජපක්ෂ දේශපාලනය සමග සාර්ථකව පූට්ටු කිරීමට රාජපක්ෂලා වටා සිටි හෙංචයියන් සමත්විය. මොවුන් අතර දේශපාලකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් මෙන්ම ඉහල පෙලේ වෘත්තිකයන්ද සිටියෝය. මෙම පූට්ටුව ජනගත කිරීමට රාජපක්ෂලාගේ සොරකම් මත යැපුණු මාධ්‍ය ජාලයන් කිහිපයක්ම විය. එහි උච්චතම අවස්ථාව එළැඹෙන්නේ 2019 ජනාධිපතිවරණය සමයේය. නාග ධාතු, වලින් ඇරඹුන ගමන සාරි අන්දන බෝගස් සහ චෛත්‍ය, රහතන්වහන්සේලා, බුදුවරුන්, මුක්කුන්වහන්සේලා, සඳ කුමරුන්, ප්‍රියමාලිලා හරහා දැන් කිරුළු පලන් දියසේන දක්වා පැමිණ ඇත. මේ ගමන මෙතෙකින් නතරවන්නේ නැත. මෙය දැන් බෝවෙන ලෙඩක් තරමට උත්සන්න වී දේව බලයෙන් ෆෝන් චාර්ජ් කරන, ක්‍රීඩා තරඟ දිනවන පාෂ්ටර්ලාද බිහිවෙමින් පවතී. කාඩිනල්වරයා පවා මේ තත්වය ඇති කිරීමට මුලදී සෑහෙන සහයෝගයක් දුන්නේය. 

මෙලෙස පිස්සන්, තක්කඩියන්, සොරදෙටුවන් පසු පස සාදු කියමින් යාමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බව කෙනෙකුට තර්ක කල හැක. එහෙත් එහි ප්‍රතිඵලය අත් විඳීමට සිදුවන්නේ මුළු සමාජයටම බව අප අමතක කල යුතු නැත. දැන් දැන් සාදුන්වහන්සේලා කාන්තාවන්ගේ ඇඳුම, පාසැල් දරුවාගේ ලිංගික අධ්‍යාපනය, පවුලක දරුවන් ගණන තීරණය කිරීම පමණක් නොව අඹු සැමි යුවලක් සයනයේදී කටයුතු කල යුතු ආකාරය ගැනද අණ සහ උපදෙස් දීමට ඉදිරිපත්වී ඇත. 

අබුද්ධික, නිවට, නොන්ජල් බහුතරයක් සිටින සමාජයක සිතන්නට හැකි පුළුල් මනසක් ඇති සුළුතරය අසරණ වෙයි. ඔවුන්ට එවිට ගත හැකි ක්‍රියාමාර්ග ඇත්තේ දෙකකි. එකක් නම් රට හැර යාමයි. එයින් සමාජ පද්ධතියේ කඩා වැටීම තවත් ඉක්මන් කරයි. දෙවැන්න බහුතරයක් අබුද්ධිමත් ප්‍රජාව දැනුවත් කර ඔවුන් නැවතත් ප්‍රකෘති සිහියට ගැනීමයි. මෙය කිරීමට ගිය විගසින් මෙම අබුද්ධික බහුතරය මෙලෝ තේරුමක්  නැති ඉතා අමනෝඥ සහ විකටරූපී තර්ක නගමින් අපහාස අවලාද කිරීමට පටන් ගනියි. ඔවුන් මිත්‍යාවට එරෙහිවන්නාට බුදු දහමට ගරහනවා යයි කියමින් වෛර කරන්නේ ඇත්තටම බුදු දහම පිළිබඳව හැඟීමකින් නොව ඔවුන් බුදු දහම හා පූට්ටු කල තම දේශපාලන පක්ෂය බිඳ වැටේ යයි ඇති බිය නිසාය. බොහෝ දෙනෙකු මෙය අවිඥානිකව සිදු කරයි. 

මා දකින ආකාරයට මෙහි ඊළඟ පියවර බෞද්ධ-තලේබාන් රාජ්‍යයකි. නිර්මාණිලා වෙහෙස වුයේ මේ ගමන නැවත්වීමට යයි මට සිතෙයි. 

අපි නිර්මාණිලාව තනි නොකරමු. එසේ නොමැති නම් හැකි සියලු දෙනාම රටින් පිට වී ගිලෙන නැව දෙස බලා සිටිමු. 



Wednesday 2 November 2022

කල යුත්තේ කුමක්ද? මට හිතෙන හැටි



දිගු ලිපියක් ලිවීමට කල් ගතවන බැවින් කෙටියෙන් කියමි.

ඔබට වසන්ත ඇතුළු වද බන්ධනයට ලක්වන පිරිස මුදා ගැනීමේ අවංක චේතනාවක් ඇත්නම් ජූලි චංග්, IMF/WB නියෝජිතයන් සහ බටහිර, ජපානය, ඉන්දියාව ඇතුළු  හැකි සෑම රටකම තානාපතිවරුන් හමු වී සාකච්චා කරන්න. ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කරන්න. හැකි සෑම අවස්ථාවකම ලැබෙන තීන්දු පිළිබඳව නොසිතා නීතිය හමුවට ඔබේ දුක් ගැනවිලි ගෙන යන්න. ඒ ගැන අන්තර්ජාතික මාධ්‍ය අමතන්න.

ඔබට රටේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය නම් අඩුම තරමින් සිතන්න හැකි බුද්ධියක් හා යම් තර්ක ඥානයක් තිබෙන පිරිස්වත් හැකිතාක් එකතුවන්න. ඔබේ මතවාදීමය හෝ න්‍යායාත්මක වෙනස්කම් ටික කලකට ලාච්චුවට දමා වසන්න. චන්දයක් පැමිණෙන තෙක් හැකි සෑම අයුරකින්ම සිදුවූ සහ සිදුවන දුෂණය, භිෂණය, වංචාව, තක්කඩිකම් ගැන ජනතාව දැනුවත් කරන්න. මේ සඳහා සමාජ මාධ්‍ය, කුඩා රැස්වීම්, සමූහ සාද, මාධ්‍ය සාකච්චා, කලා වේදිකාව ආදිය පමණක් නොව කඩමණ්ඩිය, කන්තෝරුවේ කෑම පැය, පොදු ප්‍රවාහන භාවිත කරන අවස්ථාව, මංගල-අවමංගල උත්සව, බණ ගෙදර, දානේ ගෙදර ආදී සමාජය හමුවන සෑම අවස්ථාවක්ම යොදාගන්න.  

රටේ උන්නතිය සඳහා අවධානය යොමු කල යුතු වැදගත්ම අංග 12 ක් හෝ 15 ක් අර්ථ දක්වා ගන්න (අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, සන්නිවේදන ක්‍රමවේද, පර්යේෂණ සහ නව නිපැයුම්, කෘෂිකර්මය සහ වාරි කර්මය, පරසර සංරක්ෂණය ආදී). ඉන් පසු එම අංශ දියුණු කිරීමේ මාර්ග පිළිබඳව සංවාදයක් ගොඩනගන්න. රටේ මේ වන විට ඉතා දරුණු තත්වයකට පත්ව ඇති ඍණාත්මක මනෝභාවයන් වෙනස් කිරීමට මෙය බෙහෙවින් ඉවහල් වනු ඇත.

මම නැවතත් කියමි. සාම්ප්‍රදායික උද්ඝෝෂණ නැවත නැවතත් කිරීම තුලින් අරගලය දිනා දුන් බොහෝ දේ ඔබට නැවතත් අහිමි වනු ඇත. මිනිසුන් වේගයෙන් අරගල බිමින් ඈත්වෙමින් පවතී. ඒ බව ඔබට සමාජ වටපිටාව තුලින් නිරීක්ෂණය කල හැකිය. එදා ගෝල්ෆේස් එකට පැමිණ ඔබ වෙනුවෙන් මැරයන්ට පහර දුන් ජනතාවම ඊළඟ උද්ඝෝෂණයේදී ඔබට පහරදීමට හැක. 

රනිල් ලාංකීය ජන මනස හැසිරෙන ආකාරය කියවා ඇත. නමුත් සමාජයේ බොහෝ  දෙනෙක් රනිල්ව කියවා නැත. 

Friday 28 October 2022

ආචාර්ය උපාධිය වෙනස් සෙල්ලමකි


සමාජ මාධ්‍ය තුලින් මා හඳුනාගත් ලංකාවේ තරුණ උපාධිධාරියෙක් ඊයේ මා අමතා උපකාරයක් ඉල්ලීය. ඒ මා මැලේසියාවේ කලින් සේවය කල සරසවියේ PhD උපාධිය සඳහා අයැදුම් කිරීමේදී ඇතිවූ ගැටළුවක් පිලිබඳවය. එම සරසවියේ විද්‍යුත් ඉංජිනේරු ආචාර්‍ය උපාධියට ලියාපදිංචි වීමට නම් විද්‍යුත් ඉංජිනේරු හෝ භෞතික විද්‍යා විශේෂවේදී උපාධියක් සෑහෙන ඉහල CGPA අගයක් සමග ලබාගෙන තිබිය යුතුය (මෙම සරසවියේ QS ලෝක ශ්‍රේණිගත කිරීම 123 වේ). මා ඇමතු උපාධිධාරියාට එම සුදුසුකම් තිබුණේ නැත. 

ප්‍රතිපත්තියක් ලෙස මා එවැනි අවස්ථාවලට මැදිහත් නොවන බව මම ඔහුට කාරුණිකව පැවසුවෙමි. ඔහු ඉන්පසු මා සමග වචනයක්වත් කතා කලේ නැත. මගේ තීරණයට හේතු පාදක වූ අතීත කතාව ඔහු වෙනුවෙන් මම මෙසේ ලියා තබමි.

------------------------------------------

මීට වසර 10 ට පමණ පෙර මම මේ උපකාරය තවත් ලාංකිකයෙකුට කලෙමි. අවශ්‍ය උපාධි පථය ඔහුට නොතිබූ අතර ඔහුගේ CGPA අගය අවශ්‍ය අවමයට වඩා ඉතා පහලින් විය. සාමාන්‍යයෙන් අධීක්ෂකවරයාට (supervisor) යම් පශ්චාත් උපාධි (විශේෂයෙන් PhD) අයදුම්කරුවෙකුගේ සුවිශේෂී දක්ෂතා ඇති බව හැඟේ නම් ඔහු හෝ ඇය වෙනුවෙන් විශේෂ සලකා බැලීමක් සඳහා පශ්චාත් උපාධි කමිටුවට මැදිහත්විය හැක. නමුත් මෙහිදී තමා අයදුම්කරුගේ දක්ෂතාවය පිළිබඳව වගකියන බව අධීක්ෂක මහාචාර්යවරයා විසින් ලිඛිතව දැනුම් දිය යුතුය. මේ අයදුම්කරු ලාංකිකයෙකු වන බැවින්ද, තිබූ දැන හැදුනුම්කම් වෙනුවෙන්ද, ඔහු MSc දෙකක්ම කර තිබූ නිසාද මම ඔහු වෙනුවෙන් මැදිහත් වුනෙමි. 

නමුත් ටික කලකින්ම මට වැටහුණේ ඔහු ආචාර්‍ය උපාධි භුතාර්ථයක් (PhD entity) නොවන බවයි. කෙනෙකුට ශාස්ත්‍රපති (MSc/MA /MBA) උපාධි දහයක් ගත හැකි වුවත් එය PhD උපාධියක් කරා යාමට ඔහුට/ඇයට හැකි බව පවසන්නේ නැත. එය වෙනමම කලාවකි. කැපවීම සහ දැරීමේ හැකියාව, විශ්ලේෂණ ශක්තිය, විෂය පිළිබඳව ඉතා ගැඹුරින් මුලික දැනුම තිබීම ආදී කාරණා රාශියක් ඊට බලපායි. CGPA හෝ GPA අගය මේ හැකියාව මැන බැලීමේ සුදුසුම පරාමිතිය නොවුවත් එය ඒ සඳහා ඉහල දායකත්වයක් දක්වයි.

මෙම පුද්ගලයාට ඔහුගේ අඩු පාඩු  නොහැඟෙන ආකාරයෙන්, කල යුතු දේ කියා දීමටත් ඔහු වෙනුවෙන් පත්‍රිකා පවා සකස් කරදීමටත් මම උත්සුක වුනෙමි. නමුත් වසර තුනක් පමණ මගෙත් ඔහුගේත් කාලය අපතේ යැවීමෙන් පසු ඔහු කිසිවෙකුටත් නොකියාම ලංකාවේ සරසවියක PhD උපාධියට ලියාපදිංචි වූ බවත් මැලේසියාවේ සරසවියේ කටයුතු අතහරින බවත් එකවරම මට දැනුම් දුන්නේය. මේ සිදුවීමට දැන් වසර හතක් පමණ ගතවී ඇත. මා දන්නා තරමින් ඔහු මෙතෙක් තම අධ්‍යන කටයුතු පැත්තෙන් කිසිඳු ප්‍රගතියක් අත්කරගෙන නැත. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම සහ ජිවිතයේ විශාල කාලයක් නාස්ති කරගැනීම පමණක් සිදුවී ඇත. 

පසු කලෙක මම මේ තත්වය තවත් (මා යටතේ නොවන) සිසුන් රාශියක් තුලින් දැක ඇත්තෙමි. මම මුලින්ම මේ තැනැත්තාට ඔහුගේ අඩු CGPA අගය පෙන්වා ඔහුගේ නොහැකියාව කියා දුන්නා නම් ඔහුගේ මුදල් සහ කාලයත් මගේ කාලය සහ මැලේසියාවේ සරසවියේදී මා පත්වූ අපහසුතාවයත් නොවන්න තිබුණි. ඔහු මට ඉතා වැදගත් පාඩමක් කියා දුන්නේය. 


නව-ශිෂ්ඨාචාරකරණය



සුද්දා අප්‍රිකාවට පැමිණෙන විට එහි සිටියේ ගෝත්‍රවලට බෙදුණු මානව සමුහ ගණනාවකි. මේ සෑම ගෝත්‍රයකටම තමන් විසින් අර්ථ දක්වා ගත් දෙවියෙකු හෝ දෙවිවිවරු විය. සමුහයේ ආරක්ෂාව, රැකවරණය සහ අභිවෘද්ධිය මේ දෙවියාගේ කාර්යභාරය විය. මෙම ගෝත්‍රිකයන් අතර භූමිය සහ සම්පත් අරඹයා නිතර කළහ  ඇතිවිය. ඒ ගැටුම්වලදී දෙවියාට ඉහල මූලිකත්වයක් හිමිවිය.

අප්‍රිකාවට මුලින්ම සුද්දා පැමිණෙන කාලයේ යුරෝපයේ සමාජ හැසිරීම අප්‍රිකානු සමුහයන්ට වඩා වැඩි වෙනසක් නොවීය. ඔවුන්ටද මැද පෙරදිගින් ආනයනය කර තමන්ට රිසි පරිදි අර්ථ දක්වා ගත් දෙවියෙක් විය. මේ දෙවියා අප්‍රිකානු දෙවිවරුන්ට වඩා තත්වයෙන් ඉහල බව ඔවුන් උපකල්පනය කළහ. මේ සඳහා ඔවුන්ට තුවක්කු සහ වෙඩි බෙහෙත් උපකාරී විය. 

මේ අනුව තමන් දෙවියන්ගේ නාමයෙන් කරන මිනීමැරුම් සහ භූමි මංකොල්ලය අප්‍රිකානුවන්ගේ ගෝත්‍ර අතර කෙරෙන සටන් වලට වඩා ශ්‍රේෂ්ඨ සහ ශිෂ්ඨ සම්පන්න බව යුරෝපියයා නිගමනය කළේය. නග්නව හෝ සතුන්ගේ සම් පෙරවාගෙන, නොයෙකුත් දේව සහ මළගිය භූතාර්ථ යදිමින්, දඩයමෙන් ජීවිකාව ගතකල අප්‍රිකානුවන් "ශිෂ්ඨසම්පන්න" කිරීම තම පරම යුතුකම සහ අයිතිය බවට සුද්දා ස්වයං-තීරණයකට එළඹියේය. එතැන් සිට ගතවූ ශතක කිහිපය තුල "ශිෂ්ඨාචාරකරණයේ" නාමයෙන් යුරෝපියයා මානව ඉතිහාසයේ මෙතෙක් හමුවන ම්ලේච්ඡතම, කෲරතරම සහ අශිලාචාරාම ක්‍රියාන්විතය මෙහෙයවීය. මේ ශිෂ්ඨාචාරකරණයේ මූලික අරමුණ වුයේ භූමිය සහ සම්පත් මංකොල්ලය බව අද කුඩා දරුවෙකුට වුනත් පැහැදිලිය.

වසර දෙතුන් සියයකට පසු අද .....! භූමි-සම්පත් මංකොල්ලය එලෙසමය. ක්‍රමවේදය වෙනස්ය. එදා ශිෂ්ඨාචාරකරණය අද නව-ශිෂ්ඨාචාරකරණය (neo-civilizing) ලෙස කරලියට පැමිණ ඇත. 

බටහිර ලෝකය පසුගිය දශක කිහිපයක සිට නව-ශිෂ්ඨාචාරකරණය ක්‍රියාවේ යොදවයි. නමුත් මෙය ඉතා උද්වේගකර ත්වරණයකට භාජනය වන්නේ මීට වසර 15 කට පමණ පෙර සිටය. ඒ චීනයේ ජාත්‍යන්තර හැසිරීමට සමගාමීවය. 

දීර්ඝ කාලීනව ඌන සංවර්ධිත තත්වයේ පවතින රටවල් අති බහුතරයක දුෂණය, සොරකම, වංචාව, භීෂණය සහ නීතියේ ආධිපත්‍ය අස්ථාවර වීම සුලබව දකින්නට ලැබෙන තත්වයකි. මෙයට දේශපාලුවා ප්‍රමුඛ රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන්  ඇතුළු රටේ බහුතරයක් ජනතාවම වග කිව යුතු වෙයි. මෙම තත්වයෙන් එම රටවල් මුදා ගැනීම තම පරම යුතුකම සහ අයිතිය බවට බටහිර ලෝකය සිතයි. ඒ සඳහා ඔවුන් අද තුවක්කුව, කඩුව සහ කසය වෙනුවට ආර්ථික සම්බාධක, ණය සහ ආධාර, මාධ්‍ය සහ නොයෙකුත් ජාත්‍යන්තර ආයතන මෙන්ම ජාත්‍යන්තර අධිකරණයද යොදා ගනී. සමහර අවස්ථාවල පරණ පුරුදු ක්‍රමයට දෙවියන්වද නව-ශිෂ්ඨාචාරකරණය උදෙසා යොදාගන්න අවස්ථා නැත්තේම නැත. නව-ශිෂ්ඨාචාරකරණය කල රටක් තමන්ට නතුකරගැනීම වඩාත් පහසු බව ඔවුන්ගේ විශ්වාසයයි.

චීනය අවශ්‍ය රටවල් තමන් නතු කරගන්නේ ඉහත සඳහන් කල ක්‍රමවේදයට ප්‍රතිවිරුද්ධ ආකාරයටයි. ඔවුන් රටක් හැකිතාක් දුෂණයට යොමු කරයි. එය සියළු දේශපාලන පක්ෂ, රාජ්‍ය තන්ත්‍රය සහ ව්‍යාපාරික ප්‍රජාව දක්වා ව්‍යාප්ත කරයි. ඔවුන් මෙය සිදුකරන ආකාරය පිළිබඳව අප නොයෙක් වර සාකච්චා කර ඇත.

උගන්ඩාව, සැම්බියාව, කෙන්යාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, වැනිසියුලාව, ඉක්වදෝරය, පේරු: මේ චීන ණය මත වසර දහයක් පමණ ගමන් කල රටවල්ය. ඒ සියල්ලටම පොදු වූ කාරණයක් ඇත. එනම් එම රටවල දුෂණය, භිෂණය සහ වංචාව උස්මුරුත්තාවට ගොස් තිබීමයි. ඔවුන් නහයෙන් ඉහලට වතුර ගලන මට්ටමට පත්වී ඇත. 

වරක් මා සේවය කරන සරසවියට පැමිණි කැනේඩියානු මහාචාර්යවරයෙක් අපූරු කතාවක් කීය.

"යුරෝපියයා වෙනුවට චීනා අප්‍රිකාවට පැමිණියා නම්, තවමත් අප්‍රිකානුවන් ගෝත්‍ර වලට බෙදී සැතපුම් ගණන් ගැඹුරු පතල්වල එකිනෙකා මරාගනිමින් ජීවත් වනු ඇත". 

මෙතැන් සිට කතාව (ලංකාව දෙසට) ඊළඟ ලිපියෙන් ලියන්නම්.  


කල යුතු දේ සාකච්චා කරන්න පෙර - සිදු වූ දේ ගැන මතකය අවදි කරමු.



අරගලය සමච්චලයට ලක් කරන පිරිස් පිළිබඳව මට ඇත්තේ දැඩි අනුකම්පාවකි. අරගලයේ යහපත් ඵල බොහෝය. ඒවා කාටත් නොදැනීම දිනපතා ලැබෙමින් පවතී. අරගලයට සමච්චල් කරන්නන්ටද එම යහ ඵල භුක්ති විඳීමට ලැබෙන බව ඔවුන්ට නොතේරෙයි. දැන් ජනතාව අඩසියවසකට පසු හෙමින් හෙමින් නිදි ගැට හරිමින් සිටියි. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන රැසක කටයුතු ඉතා සෙමෙන් වුවත් දේශපාලුවාගේ ග්‍රහණයෙන් මිදෙමින් පවතී. වෙනදා ජනතාව ඉදිරියේ මහා බලසම්පන්නව පෙනී සිටින දේශපාළුවා අද පන්සලක පිංකමකට යාමටද දෙවරක් සිතයි. ඔවුන් සෑහෙන  තරමකට ජනතාවට බිය වී ඇති සෙයකි. තක්කඩි රාජපක්ෂලාගේ බලය ක්‍රමයෙන් වියැකී යයි. ජෝන්ස්ටන්ලාගේ, රෝහිතලාගේ, මහින්දානන්දලාගේ කටවල්වලට යම් තරමකට ඉබි යතුරු වැටී ඇත. තවමත් දොඩවන්නේ මොලේ කලඳක් නැති තිස්ස කුට්ටිලා, සනත් නිශාන්තලා වැනි අමනයන් අතලොස්සකි. 

අරගලකරුවන් නිසා රටේ ආර්ථිකය බිඳ වැටුණු බව කියමින් පෝස්ට් පලකිරීමට තරම් මුග්ධ අඥාන වූ අතලොස්සක්ද සිටීම ඛේදජනකය. අරගලය ඇරඹෙන්නේ එවන විටත් කඩා වැටී හොම්බෙන් ගොස් තිබු ආර්ථිකයට වගකිව යුතු වූ තක්කඩි දේශපාළුවාට එරෙහිව බව තේරුම් ගන්න තරම් ඔවුන්ට බුද්ධියක් නැත. 

ජන අරගලය පාලක පක්ෂයට පමණක් නොව විපක්ෂයටද දැඩි අභියෝගයක් එල්ල කළේය. තමන්ගේ සහයෝගයෙන් තොරව ලංකාවේ ජන පිබිදීමක් සිදුවිය නොහැකි බව ප්‍රධාන විපක්ෂ දෙකම සිතා සිටි බව මගේ හැඟීමයි. අරගලය පිළිබඳව ඔවුන් ආරම්බයේදී කල ඍණාත්මක ප්‍රකාශන එයට සාක්ෂි දරයි. කිසිම විටෙක අරගලයේ නායකත්වය ගැනීමට ඉදිරිපත් නොවූ විපක්ෂය දිගින් දිගටම "හරි ගියොත් අපේ, වැරදුනොත් තොපේ" mode එකේ සිටියේය. මෙය අදටත් ඔවුන්ට දැඩි අවාසියක් ගෙන දෙයි.

Saturday 22 October 2022

ආගමික, නිරාගමික සහ පෙට්ටියෙන් එළියට


"අහන්න ඔබගෙන්ම ඒ ඇයි කියා".

මා ආචාර්ය උපාධිය සඳහා පර්යේෂකයෙකු අධීක්ෂණය කරන විට ඔහුට හෝ ඇයට නිතරම දෙන මාර්ගෝපදේශයයි ඒ. 

ඉතා පුළුල් පරාසයක ජාති, ආගම් සහ සමාජ ස්ථර හරහා පැමිණෙන සිසු සිසුවියන් රාශියක් අධීක්ෂණය කර ඇති මට මේ උපදේශය ක්‍රියාවේ යෙදවීමට බියවන බොහෝ අය හමු වී ඇත. ඔවුන්ගේ ආගමික පසුබිම තුල මේ පැනය කිසි විටෙක තමාගෙන් ඇසීමට නොහැකිවන සේ කටට ඉබි යතුරු දමා ඇත.

ඔවුන් පමණක් නොව මාද කුඩා කල පටන් මේ වාරණයට ලක් වුවෙක්මි. මට කුඩා සන්ධියේ අප පවුල නඩයක් සමග කතරගම වන්දනාවේ ගියා මතකය. වැඩිහිටි කන්ද නගිද්දී හොඳටම හන්ටර් වූ මම "ඇයි අම්මේ මේ දෙයියෝ අර පහල දේවාලේ ඉන්නේ නැතුව කන්දක් උඩ ඉන්නේ. අපෙත් කකුල් කැඩෙනවා දෙයියෝ බලන්න ගිහින්" කීවෙමි.

මගේ මවටත් පෙර පුළුවන් තරම් ඇස් ලොකු කරගනිමින් මා දෙස බැලූ පුංචි අම්මා "අපෝ මේකාගේ කට. කොහේ ගියත් මේ වක්කඩේ වහගෙන ඉන්න බැහැ. මේක දෙවියන්ගේ අඩවිය කියල මේ කොල්ලට වගක් නැහැ නෙව". 

කොහොමත් ඒ කාලයේ පාසලේදී මගේ රෙකොර්ඩ් එකත් අන්තිම සවුත්තු වූ බැවින් පවුලේ උදවිය මා දෙස කුමන දෙයකට උනත් බලන්නේ "මූ නම් ලොකු වෙන කොට IRC කාරයෙක් වෙන එක ෂුවර්" ලුක් එකකිනි. බොහෝ දෙනෙක් මට එය පවසාද ඇත. අප කන්ද බසින විට මගේ නැගණිය පඩි කිහිපයක් පෙරලී වැටුණු අතර, එයටද පුංචි අම්මලා, මාමලා මගේ කට සම්බන්ධ කලෝය. 

සුනිල් අයියා නමින් අප හඳුන්වන ඥාති සහෝදරයාත්, සීයාත් (මවගේ පියා) සහ පස් වන ශ්‍රේණියේදී පන්ති බාර ගුරුතුමාත් (මයුරපාල සර්) නොසිටින්නට බොහෝ විට මගේ ජීවිතය IRC කාරයෙකුගෙන් කෙලවර වන්න තිබුණි. නමුත් මේ තිදෙනා නිසා වයස 12 වන විට මම "ඩබ්ලිව් ඒ ද සිල්වාගේ ලක්ෂ්මි (හෙවත් නොනැසෙන රැජින) නවකතාවට වඩා මැක්සිම් ගෝර්කිගේ අම්මා හොඳයි කියන්නේ ඇයි?" කියා ඇසීමට තරම් පැසී තිබුණි (මට ඒ දවස්වල කොහොමටත් රුසියානු පරිවර්තන ඇල්ලුවේ නැත). 

කුඩා කල ලද අත්දැකීම් නිසාම මම මගේ සෙවනේ වැඩෙන පර්යේෂකයන් දෙස ඉතා කාරුණිකව අවධානය යොමු කරමි. ඔවුන් බොහෝ දෙනෙකුට "ඇයි" කියා ඇසීමට හුරු කරවීම සඳහා වසර දෙකක් පමණ ගතවේ. 

-------------------------------------------

ආගම් ඇතිවීම ගැන මා දකින ආකාරය පිළිබඳව මම ලිපි කිහිපයක්ම ලියා ඇත. මේ නිසා ඒ ගැන නැවතත් දීර්ඝ වශයෙන් ලිවීමට සිත් නොදෙයි. මේ අදහස් සම්පිණ්ඩනය කළහොත්; 

පරිසරයට ඇති බිය නිසා පවුලක් හෝ කුඩා සමුහයක් වශයෙන් සිටියදී පෞරුෂයක් සහිත වස්තුන්ගෙන් (ඉර හඬ, පර්වත, කඳු, විශාල රුක්ෂ ආදිය) ආරක්ෂාව පැතූ මානවයා, හේතූන් කිහිපයක් මත පසුව පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන බලවේගයක් හෝ බලවේගයන් වෙත තම විශ්වාසය තැබිය. එය වඩා සුරක්‍ෂිත ඇදහීමක් විය. ශිෂ්ඨාචාරය ගොඩනැගෙද්දී ස්වභාව ධර්මයෙන් ඇතිවන පීඩාවන් සමනය කිරීමට අමතරව මානව පාලනය සහ කළමනාකරණය සඳහා මෙම ඉන්ද්‍රිය ගෝචර නොවන බලවේගය අත්‍යවශ්‍ය විය. මේ අනුව බලවේගය-පුජකයා-පාලකයා යන ත්‍රිත්වය ශිෂ්ඨාචාරයක් පැවතීමේ මූලික අඩිතාලම බවට පත්විය. බලවේගය සඳහා දෙවියා, දෙවිවරු වැනි පුද්ගල ආදේශ කිරීම් මෙන්ම කර්මය වැනි ක්‍රියාවලියන් ආදේශයද සිදුවී ඇත.  මිනිසාට අදටත් තේරුම් ගත නොහැකි භෞතික සිරුරෙහි පැවැත්මේ අවසානය හෙවත් මරණය සහ ඉන් මතු පැවැත්ම, බලවේගය යන සංකල්පය පවත්වාගෙන යාමට විශාල වශයෙන් උපකාරී විය. 

ලොව මෙතෙක් බිහි වූ සෑම ආගමක්, දහමක්, දර්ශනයක්ම (මින් ඉදිරියට මේ සියල්ල ආගම යනුවෙන් හඳුන්වමි) පහල වන්නේ යම් සාමාජීය අර්බුදයකට විසඳුම් සෙවීමට බව මගේ හැඟීමයි. ලොව මෙවැනි සංකල්ප අනන්තවත් බිහිවී ඇත. එහෙත් ඒවායින් දිගු කාලීනව රැඳී ඇත්තේ අතලොස්සකි. මේ ලෙස දිගු කාලීනව පැවතීමේ රහස ඉතා පැහැදිලිය. ආගමක් දහමක් ඉදිරියට ගෙන යන්නේ පාලකයා සහ පූජකයාය (පූජ්‍ය-පූජක වැනි යෙදුම් හා නොගැටෙන්න. අදාළ සංකල්පය සමාජයට පැහැදිලි කරන්නා පූජකයා ලෙස මම හඳුන්වමි). ඔවුන්ට සමාජ පාලනය පහසු වන පරිදි කාලනුරූපීව වෙනස් කරගත හැකි සංකල්ප දිගු කල් වැජඹෙයි. 

සමාජය හොඳ-නරක අර්ථ දක්වන්නේ එම සමාජයේ පැවැත්ම තහවුරු වන ආකාරයටය. මේ අනුව හොඳ-නරක අදාළ කාල-අවකාශ රාමුවට සාපේක්ෂය. 

ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා පහසුකම් නොතිබූ යුගයක අර්ධ-කාන්තාර බද පෙදෙසක ජීවත්වන සමාජයකට නිර්මාංශ ආහාර මත යැපෙන්න යයි පවසන දර්ශනයක් ප්‍රයෝගික නැත. 

සතුරු බලපෑම් උග්‍රව පවතින අවස්ථාවක සියල්ලට වඩා සමුහය පොදු අරමුණකට යොමු කිරීම සාර්ථක නායකයෙකුගේ අවශ්‍යතාවයයි. එවිට සමුහය එකට බැඳ තබන දේව සංකල්පයට එරෙහිව යන මව-පියා-සොයුරු සොයුරියන් පවා ඝාතනය කිරීම නිවැරදි බව ඔවුන් පවසනු ඇත. 

සමහර අති දුෂ්කර කාලවකවානුවල හෝ අවස්ථාවල  අන්‍යන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ දේ සොරා ගැනීම හෝ වංචා කිරීම, බොරු කීම යනාදිය වැරදි කරුණු නොවන බව පවා සමහර ආගම්වල සඳහන් විය. 

සාමාන්‍යය කාල වකවානුවල බොහෝ රටවල ගැහැණු-පිරිමි අනුපාතය 50:50ට ආසන්නවේ. එවිට විවාහය හෝ කායික සම්බන්ධය එක් ගැහැනියකට එක් පිරිමියෙක් ලෙස සම්මතයක් වීම සමාජ තුලිතතාවය රැකගැනීමට හේතුවෙයි. නමුත් දීර්ඝ කාලීන යුදමය වාතාවරණයකදී මේ සමතුලිතතාවය බිඳී ගැහැණු ගහණය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවිය හැක. එවිට සමුහයේ පැවැත්ම සඳහා එක් පිරිමියෙකුට එක් ගැහැනියකට වඩා තමා සන්තකයට ගැනීම සමාජ අවශ්‍යතාවයක් විය හැක. මේ අනුව බහු භාර්යා සේවනය සමාජ සම්මතයක් බවට පත්වේ. එසේම කිසිම ආගමක් රජවරුන්ට අන්තත්පුර පවත්වාගෙන යාමට බාධා කර නැත. 

අවට සිටින අනෙක් මානව වර්ග සමග නිතරම ගැටුම් ඇතිවන සමාජ ව්‍යුහ තුල බිහි වූ සෑම ආගමකම පාහේ නූතන සමාජය විසින් ප්‍රතික්ෂේප කරන බොහෝ සංකල්ප දැකිය හැක. තමන් යටත් කරගන්නා බිම් කඩක සිටින මිනිසුන් වහලුන් ලෙස යොදවා ගැනීමේ හැකියාව, එබඳු යටත් වැසි කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අවශ්‍ය ආකාරයකට යොදා ගැනීම, යටත් වැසියන් තම ආගමට බලහත්කාරයෙන් හරවා ගැනීම හෝ නොඑසේ නම් මරා දැමීම මීට උදාහරණ කිහිපයකි. මේ සියල්ල දෙවියන්ගේ නියම ආකාරයෙන් ඉදිරිපත්කර ඇත. ඒ අනුව මෙම ක්‍රියා "හොඳ" කටයුතු බවට එකල සම්මත වී තිබුණි. 

මේ ලෙස හොඳ-නරක අර්ථ දැක්වෙන්නේ සමාජ අවශ්‍යතාවයන් මතය. මේ හොඳ-නරක කිසිවක් ඊට අදාළ නොවන කාල-අවකාශ රාමුවක් තුල විග්‍රහ කිරීම පලක් නැති බව මගේ හැඟීමයි. ලොව බොහෝ ගැටළු ඇතිවන්නේ එක් කාල-අවකාශ රාමුවකට අයත් හොඳ-නරක තවත් කාල-අවකාශ රාමුවකට බලහත්කාරයෙන් ඇතුලත් කිරීමට යාමෙනි.

-------------------------------------------

මගේ ලිපි කියවා ඇති බොහෝ දෙනෙක් මා නිරාගමිකයෙක්දැයි අසයි. මම ඔවුන්ට ඉතා සරල පිළිතුරක් දෙමි. 

"ඔබට මා නිරගමිකයෙක්ද යන ගැටලුව ඇතිවන්නේ ඔබ ඔබව ආගමිකයෙක් කියා ලේබල් කරගෙන සිටින නිසාය. ඔබ ඔබේ ආගමික ලේබලය ගැලවුවහොත් නිරාගමික සංකල්පයද ඒ සමගම මැකී යනු ඇත." 

මා හැමදාම පවසන පරිදි සියලුම ආගම් මොඩලයන්ය. මේ මොඩලය ඇත්තේ මරණින් මතු පැවැත්ම සහ එම පැවැත්මෙහි ස්වභාවය පාලනය කරන බලවේගය උදෙසාය. මොඩලයක් යනු අප නොදන්නා යමක් විස්තර කිරීමට උපකල්පනය කරන සංකල්පයකි. සියළු ඒබ්‍රහමියන් ආගම්වල මෙය ඉතා සරලව සහ පැහැදිලිව කියා ඇත. එනම් මරණින් මතු "ආත්මය" නමින් යමක් පවතින අතර එය දිව්‍ය තලයට යනවාද නිරයට යනවාද යන්න දෙවියන්වහන්සේ නම් බලවේගයක් මගින් තීරණය කරයි. 

මේ මරණින් මතු පැවැත්මද, දෙවියන් වහන්සේද, උපකල්පනයන් පමණකි. හින්දු ධර්මය ඇතුළු අනෙකුත් බොහෝ ඉන්දීය දර්ශන තුල (බුදු දහම හැර) "ආත්මය" නමින් යමක් මරණින් මතු පවතින අතර එය තවත් ජීවයක් අල්ලා ගැනීමෙන් පුනරුත්පත්තිය නම් සංසිද්ධිය ඇතිවේ. මෙම පුනරුත්පත්තිය සිදුවන ඊළඟ ජිවය සහ ඉන්පසු එහි පැවැත්ම "කර්මය" නම් ක්‍රියාන්විතයක් මගින් පාලනය වේ. මෙහිදීද මෙම ආත්මය සහ කර්මය උපකල්පන පමණකි. 

මේවා සියල්ල මොඩලයන් බැවින් එහි සත්‍ය-අසත්‍යතාවය පිළිබඳව කිසිවෙකුටත් සහතිකයක් දීමට නොහැක. 

ඉහත මොඩලය ශිෂ්ඨාචාරයේ යම් කාල අවකාශ ලක්ෂයකට අදාළ "හොඳ-නරක" අර්ථදක්වා ගැනීමටත් ඒවා ක්‍රියාවේ යෙදවීමටත් අත්‍යවශ්‍ය වේ. මේ මොඩලයේ බලපෑම නොමැතිව කිසිවෙක් ආගම විසින් අර්ථ දක්වන හොඳ-නරක පිළිගැනීමට මැලිවනු ඇත. මේ අනුව ආගම් මොඩල ශිෂ්ඨාචාරයේ පැවැත්මට අතිශයින් උපකාරී වී ඇති බව මගේ මතයයි. 

ආගමික මොඩලය ඉවත දමන විට මානව පාලනය සහ කළමනාකරණය සඳහා නීතියට එහා ගිය යාන්ත්‍රණයක් අවශ්‍යවේ. මෙය බොහෝ විට ඉතා ම්ලේච්ඡ මුහුණුවරක් ගැනීම ඉතිහාසය පුරාම දැකිය හැක. මා ඕ සේතුං, ජෝශප් ස්ටර්ලින් ලා තුලින් අප දුටුවේ මේ ම්ලේච්ඡත්වයයි. 

-------------------------------------------

මරණය යනුවෙන් අප හඳුන්වන සංසිද්ධියෙන් ඔබ්බට "මමය" හෝ "මාගේය" කියා හඳුන්වාදිය හැකි යම් භූතාර්ථයක් පවතී නම් එය භෞතික ශරීරයෙන් ස්වායත්ත වූ යමක් විය යුතුය. මගේ පෞද්ගලික හැඟීම නම් එබඳු යමක් නොපවතින බවයි. පංචස්කන්ධය සහ ඒ ආශ්‍රිතව ඇතිවන මනස-සිතුවිලි-කල්පනාව (mind-thoughts-intellect) යන එකිනෙක බැඳුනු සංසිද්ධි ත්‍රිත්වය මොලයේ ක්‍රියාකාරිත්වය අවසන්වීමත් සමගම නැතිවී යයි. ඉපදීමේ සිට මරණය දක්වා සිදුවන ජීවත්වීම නැමැති ක්‍රියාවලිය තුලදී සංවේදන පද්ධතිය (sensing system), ඉහත සංසිද්ධි ත්‍රිත්වය, සහ ප්‍රතිදාන පද්ධතිය (output system) එකිනෙකට පරායත්ත වූ අනුක්‍රමික ක්‍රියාදාමයක් (sequential process) හරහා ප්‍රතිපෝෂණ පුඩුවක (feedback loop) ගමන් කරයි. සංවේදන පද්ධතියෙන් ලැබෙන සංඥා සැකසීමෙන් (processing) අනතුරුව අවට ලෝකය හා ගනුදෙනුව උදෙසා ප්‍රතිදාන පද්ධතියට දැනුම් දෙන්නේ මනස-සිතුවිලි-කල්පනාව යන සංසිද්ධි ත්‍රිත්වයයි. මේ අනුව අප අවට ලෝකයට කරන බලපෑම තීරණය වන්නේ සංසිද්ධි ත්‍රිත්වය මතයි. 

උදාහරණයක් ලෙස කෙනෙකු මට යම් කාරණයකට දොස් පවරන විට සවන් නැමැති සංවේදන පද්ධතිය හරහා එය මට ඇසේ. මනස-සිතිවිලි-කල්පනාව යන සංසිද්ධි තුලින් මේ පිළිබඳව මා ගතයුතු පියවර තීරණය කරයි. එය මට බනින පුද්ගලයාට පෙරලා බැනීම, ඔහුට පහර දීම, කිසිත් නොකියා සිටීම, එතනින් ඉවත්වීම ආදී ප්‍රතිදාන ගණනාවකින් එකක් හෝ කිහිපයක් විය හැක. මේ අනුව මනස-සිතිවිලි-කල්පනාව පාලනය කරගැනීමෙන් තමන්ට හා සමාජයට වඩාත් යහපත් ප්‍රතිදානයක් ලබා දිය හැක. 

මේ ගැන වසර 2500ට පමණ පෙර ගෞතම බුද්ධ නම් තැනැත්තෙක් ඉතා සරලව විස්තර කර ඇත. එම විස්තරය පටිච්ච සමුප්පාදය නම් වේ. ඔහු ඉතා ඍජුවම "මම" හෝ "ආත්මයක්" කියා යමක් නැති බව ප්‍රකාශ කළේය. සමහර විට ඊට පෙර සහ ඊට පසුව විසූ පුද්ගලයන් ගණනාවක් මේ බව පෙන්වා දෙන්න ඇත. 

මෙම සංකල්පය ශිෂ්ඨාචාරයේ පැවැත්ම දැඩි අභියෝගයකට ලක් කරයි. මනස-සිතිවිලි-කල්පනාව පාලනය කරගැනීම තුලින් සමාජයේ අභිවෘද්ධියට හේතුවන ප්‍රතිදාන ලබා දීම යන කාරණය වෙනුවට මරණින් මතු පැවැත්මක් නැත යන කෙලවර පමණක් අති බහුතරයක් මානවයා විසින් අල්ලා ගැනීමට ඉඩකඩ ඇත. මේ සමගම සහශ්‍ර ගණනාවක් සිදු වූ එලොව පැවැත්ම සහ මනුෂ්‍යත්වය ඉක්ම වූ සුපිරි පාලක බලය මගින් සිදු කල මානව කළමනාකරණය බිද වැටේ. මරණින් මතු පැවැත්මක් හෝ මානව විඥානයට ගෝචර නොවන තීරක බලවේගයක් නොමැති වීම තුල පාලකයාගේ සහ පූජ්‍ය/පූජකයාගේ පැවැත්ම දැඩි අභියෝගයකට ලක්වේ. 

මේ නිසා ටික කලෙකින්ම නැවතත් මරණින් මතු පැවැත්ම සහ කර්මය නම් එවකට සහශ්‍ර කිහිපයක් ඉන්දියාවේ පැවති සංකල්ප බුදුදහම තුලට ඇතුල් කරන්නට ඇත. මා සිතන ආකාරයට බුදුදහම මෙතෙක් කල් පැවතීමටත් මේ කාරණයම පැවසූ සමහරුන්ගේ දහම් පිළිබඳව ඉතිහාසයේ කිසිඳු සලකුණක් නොතිබීමටත් හේතුව මෙලෙස බුදුදහමට මරණින් මතු පැවැත්ම ඇතුළු වීමයි. 

අදටත් බෞද්ධ විශාරදයන් (Buddhist scholars) මරණින් මතු පැවැත්ම ගැන විස්තර කිරීමේදී දැඩි අපහසුතාවයකට පත්වේ. "ආත්මය" යනු මරණින් මතු පැවැත්මයි. එක තැනකදී බුදුන් වහන්සේ ආත්මයක් නැත යයි පැවසූ බව කියන අතරම තව තැනකදී මරණින් මතු එම තැනැත්තාට අයත් යමක් මගින් තවත් තැනක උත්පත්තියක් හටගන්නා බව පවසයි. එනම් මරණින් මතු පැවැත්මක් තිබෙනා බව ඔවුන්ට පිළිගැනීමට සිදුවේ. මෙය පරස්පරය. මේ සඳහා භෞතික ශරීරයෙන් ස්වායත්ත වූ "සිත" නම් යමක් පවතින බවට ඉතා දුර්වල උපකල්පනයක් කිරීමට (මොඩලයක් ගොඩනැගීමට) මෙම බෞද්ධ විද්වතුන්ට සිදුවේ.  

මා සිතන ආකාරයට බුදුන් ඉදිරිපත්කල මොඩලය සමස්ථ සමාජයම අවබෝධ කරගැනීමට තරම් බුද්ධි වර්ධනයකට තව සහශ්‍ර දෙකක්වත් ගතවනු ඇත. එතෙක් දැන් පවතින බුදුදහමේ මොඩලය තවදුරටත් පැවතීම යහපත් වනු ඇත.  

-------------------------------------------

ඔබ ආගමික හෝ නිරගමික ලෙස ලේබල් ගතවී ඇත්නම් ඔබ ඉන්නේ බහාළුම් ගතවය. එනම් පෙට්ටියක් තුලය. ඔබගේ නිම්තෙර පෙට්ටියේ බිත්ති හයයි. ඔබ එහි සුරක්ෂිතය. එහෙත් එය ඉතා අසහනකාරී කූඩුගත සිරකරුවකුගේ ජීවිතයකි. ඔබ පෙට්ටිය තුල ජිවිතයට කැමති නම් ඒ සඳහා ඔබට පරම අයිතියක් ඇත. මම එයට අභියෝග නොකරමි. 

එහෙත් ඔබ පෙට්ටියෙන් එලියට පැමිණීමට කැමති නම් ඔබට ඉතා සුන්දර වචනයෙන් විස්තර කල නොහැකි ආනන්දජනක (blissful) හැඟීමක් ඇතිවනු ඇත. එය ඇත්තෙන්ම සැබෑ විමුක්තිය බව මට හැඟේ. ආගම මොඩලයක් පමණක් බව අවබෝධ කර ගත් විට ඔබට ඕනෑම අවස්ථාවක ඕනෑම මොඩලයක් තුලට ගොස් එහි අහ්ලාදය අත්විදිය හැක. මේ ආනන්ද ජනක තත්වය (blissful state) පිළිබඳව අප තව දිනෙක කතා කරමු. 

-------------------------------------------

කිසිවෙක් ආගමක් ඇදහීම, පිළිගනිම, පිළිපැදීම හෝ නොඇදහීම, නොපිළිගැනීම සහ නොපිලිපැදීම සම්පුර්ණයෙන්ම ඒ තැනැත්තා සතු පරම අයිතියකි. 

නමුත් ඔබට හැකි නම් අසන්නට ඔබගෙන්;

"ඇයි මට ආගමක් අවශ්‍යය" හෝ "ඇයි මට ආගමක් අනවශ්‍යය" කියා ඔබගෙන් සමාජයට සහ පරිසරයට මෙන්ම ඔබටද ලැබෙන බොහෝ අහිතකර ප්‍රතිදාන බෙහෙවින් අඩු කරගත හැකි වනු ඇත. 




Saturday 17 September 2022

රනිල්-රාජපක්ෂ ජුන්ටාව සහ අනාගත අරගලය

අරගලය බොහෝ වෙනස්කම් කර ඇත. ඒවා අදෘශ්‍යමානයේ සිට ක්‍රමයෙන් දෘශ්‍යමානයට පිවිසෙමින් පවතී. අරගලයට භෞතිකව මෙන්ම සංකල්පීයවද සහභාගී වූ අති බහුතරයකට වුයේ එක් ආන්තික අරමුණකි. එනම් සමාජ-සාධාරණත්වයක් සහිත සමාජ-දේශපාලන ව්‍යුහයක් ගොඩනැගීමයි. ඒ සඳහා යා යුතු මග, ගත යුතු ක්‍රියා මාර්ග සහ එම ක්‍රියාමාර්ග ගත යුතු කාලය සහ තීව්‍රතාවය පිළිබඳව බොහෝ වෙනස් අදහස් සහ මතවාද විය. එහෙත් ආන්තික අරමුණ සමාන වීම තුල ලැබූ යහ ඵල බොහෝමයකි. මේ ලිපිය ඒ පිළිබඳව නොවේ.

රාජපක්ෂ රෙජීමයට එරෙහි අරගලයට වඩා රනිල්-රාජපක්ෂ ජුන්ටාවට එරෙහි අරගලයේ ක්‍රියාන්විතය විශාල වශයෙන් වෙනස් කල යුතුය. රාජපක්ෂ රෙජීමය යනු සොරකම, මංකොල්ලය සහ තක්කඩිකම සංකලනය වූ පාලන තන්ත්‍රයකි. එහි භිෂණය තිබුණ අතර එය වසා ගැනීමට දේශපාලකයා දැඩි උත්සහයක් ගත්තේය. දැන් පවතින "ආණ්ඩුව" ඒ සමුහයමය. මේ නිසා ඉහත නුහුගුණ මේ ආණ්ඩුව තුලද එලෙසම පවතී. රනිල් සහ එජාප දාමරිකයන් හරහා එයට ඉතා භයංකාර අංග ලක්‍ෂණ දෙකක් එකතු විය. එනම් කපටි-කෛරාටික දේශපාලන බුද්ධිය සහ දයා විරහිත සහ අසංවේදී ඝාතන මානසිකත්වය යන කරුණු දෙකයි. ඒ අනුව රනිල්-රාජපක්ෂ ජුන්ටාවට මුහුණ දීම එතරම් පහසු නැත. ඒ සඳහා ඔබ ස්මාර්ට් අරගලයකට පිවිසිය යුතුය. ස්මාර්ට් අරගලයක ලක්ෂණ පිළිබඳව අපි ඊළඟ ලිපියෙන් සාකච්චා කරමු.

අරගලයක සාර්ථකත්වය රඳා පවතින්නේ අරගලකරුවාට කෙතරම් ගැඹුරකට යතාර්ථය තේරුම් ගැනීමට හැකියාව ඇතිද යන කරුණ මතයි. ලංකාවේ වර්තමානය කලාපීය සහ ගෝලීය භූ දේශපාලනයෙන් ස්වායත්ත කොට සමාජ-ආර්ථික විසඳුම් ඉදිරිපත්කිරීම විහිළු සහගතය. මේ නිසා අපි යථාර්තය තේරුම් ගනිමු. ලංකාවට මේ වන විට ඇති ණය බරත්, විදේශ ආධාර සහ තව දුරටත් ගතයුතු ණය මත යැපීමත්, අපනයන සහ සංචාරක ව්‍යාපාරය මත පදනම්වූ ආර්ථිකයත් නිසා අපට අනිවාර්යයෙන්ම ඉන්දු-ඇමරිකාවාදී හෝ චීන-රුසියාවාදී නැඹුරුවකට යා යුතුවම ඇත. මට පෙනෙන්නේ මේ වන විට අපට පළමු කණ්ඩායම තෝරා ගැනීම අනිවාර්ය වී ඇති බවයි. ජනතාව ඉල්ලන නායකත්වය ඉන්දු-ඇමරිකා එකඟත්වයෙන් ලබා ගත යුතුව ඇත. 

----------------------------------------

මහජන මතයට එරෙහිව තමාට නතුවන රූකඩ පාලකයෙක් අනෙක් රටවල පැල කිරීමට යාමේ අමිහිරි අත්දැකීම් ඇමරිකාව ලැබුවේ මීට වසර 50ට පමණ පෙර වියට්නාමයේදීය. මේ නිසා පසු කාලයක ඔවුන් හැම විටම උත්සහ කලේ මහජනතාවගේ කැමැත්ත සහිත තමාට අවශ්‍යදේ කරගත හැකි නායකයන් අවශ්‍ය රටවල බිහි කිරීමයි. අනූව දශකයෙන් පසු ජනතාවගේ හිත දිනා ගන්නා අතරම තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර දිය හැකි බුද්ධිමත් පාලකයන් කෙරේ ඇමරිකාව වඩ වඩාත් නැඹුරු වන්නට විය. මේ අතරින් පාලකයා වුමනාවට වඩා ස්මාර්ට් වන්නට ගියහොත් හෝ ඇමරිකාවට කිසිඳු වැඩක් නැති ගොබ්බයෙකු වුවහොත් මහජන විරෝධයෙන්ම ඔවුන් ඉවත් කිරීමටද ඇමරිකාව වගබලා ගනී. පර්වේෂ් මුෂරෙෆ්, ඉම්රාන් ඛාන්, හොස්නි මුබාරක් too smart වීම නිසා ඇමරිකාවේ ගිලටීනයට අසු වූ පාලකයන්ය. දෙවෙනි කාණ්ඩයට හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂයි. ඇමරිකානු පුරවසියෙකුද වන ඔහු ජනධිපතිවරණයට ඉදිරිපත් වූ විට ඊට බාධාවක් වූ එම ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන්ද ඔහුව ගලවා ගැනීමට ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපත් විය. ඔවුන් ප්‍රකාශ කලේ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ඇති බවයි. නමුත් පසු කලෙක හෙළිවූයේ මේ ඉවත්කිරීම බලාත්මක වී ඇත්තේ ඊට මාස ගණනාවකට පසු බවයි. 

ඇමරිකාවෙන් දෙනු ලැබූ උපදෙස් සහ අනෙකුත් රාජපක්ෂ සහෝදරයන්ගේ චීන ගැති බව අතර ගෝඨාභය අසරණ වූ බව මගේ හැඟීමයි. ඔහුගේ උපන්ගෙයි උද්දච්චකම සහ දේශපාලන නූගත්භාවය අතරද ඔහු සිරවිය. ඉන් මිදීමට ඔහු ගත් සියළු පියවර අතිශයින්ම ගොබ්බ සහ අමන තීරණ විය. එහි ප්‍රතිඵලය දැන් ඉතිහාසයට එකතු වී හමාරය. 

----------------------------------------

චීනය තමන්ට අවශ්‍ය රූකඩ පත්කරගන්නේ ඇමරිකාවට වඩා වෙනස්ම ආකාරයකටයි. ඒ රටේ සියළු දේශපාලකයන්, දුෂකයන් සහ වංචනිකයන් බවට පත්කිරිමෙනි. මේ තත්වය අනුව පක්ෂ පාට බේදයකින් තොරව දේශපාලකයන්ට එකිනෙකා මත පරායත්ත වීමට සිදුවේ. අද අප අත්දකින්නේ මේ අවාසනාවන්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයයි. ගෝඨාභයට මේ බව අවබෝධ කර ගැනීමටවත් බුද්ධියක් තිබුණේ නැත. අවසානයේදී ඔහු තනිවිය.

ඇමරිකානු තානාපතිනිය දැන් ලංකාවේ සියළුම කටයුතුවලට අත පොවයි. මැති ඇමතිවරුන් දැන් සමාජයට දැඩි බියක් දක්වයි. ඔවුන් යාමට සිතන්නේ වත් නැති ගොවි සමිති රැස්වීම් වලට පවා ජූලි චැන්ග් පිය නගයි. මෙය වියට්නාම් ක්‍රමවේදය බව මගේ වැටහීමයි. එනම් රටේ ජනතාව සංස්කෘතිකව සහ ආකල්පීයව ඇමරිකානු පක්ෂපාතී (US loyal) මානසිකත්වයකට රැගෙන ඒමයි. ඉදිරියේදී ඇමරිකානු තානාපති කාර්යාලය, ඊට අදාළ ආයතන, හෝ පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් සංස්කෘතික ප්‍රසංග, ක්‍රීඩා තරඟාවලි, යොවුන් කඳවුර, අධ්‍යාපනික සහ කාර්මික පුහුණු වැඩසටහන් ආදිය රට පුරා දියත්වනු ඇති බව මගේ හැඟීමයි.

මට පෙනෙන්නේ ඉදිරි වසර තුල චීනය ලංකාවෙන් ඈත් වනු ඇති බවයි. යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ ඔවුන් ලංකාවෙන් මස් රාත්තලම ඉල්ලනු ඇත. මෙහිදී අප වඩ වඩාත් ඉන්දු-ඇමරිකා ගැතිභාවයකට පත්වනු ඇත. මැලේසියාවේ මොහොමඩ් නජීබ් පාලනයෙන් පසු චීන ණය දාමයෙන් ඉවත්වීමට දරනු ලැබූ උත්සහයේදීද මෙවැනිම තත්වයක් ඇතිවිය. එහෙත් මැලේසියාව ලෝකයේ ඉහල පෙලේ පෙට්‍රෝලියම් නිෂ්පාදකයෙකු වූ බැවින් ඔවුන්ට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයේ සහය ඇතිව ඉතා සුක්ෂමව මෙම කාර්ය සිදුකල හැකි විය (ඇත්තෙන්ම එය තවමත් සිදුවෙමින් පවතී). නමුත් ලංකාව වැනි බංකොලොත් රාජ්‍යයක් කුමන තත්වයකට වැටේදැයි මට වැටහීමක් නැත. මීට අමතරව මැලේසියාවට වඩා ලංකාවේ භූ පිහිටීම මත ඇතිවන කලාපිය දේශපාලන සංකීර්ණතාවය බරපතලය. 

----------------------------------------

අප කැමති වුවත් නැතත් ඉන්දු-ඇමරිකා අවශ්‍යතා සපුරාලමින් අපට ඔවුන් පෙන්වන මග යායුතුව ඇති බව මගේ වැටහීමයි. මෙහිදී ඉන්දියාවේ කාර්යභාරය පිළිබඳව මනා තක්සේරුවක් නිරන්තරයෙන් කල යුතුව ඇත. එය පිහි දාරයක ඇවිදිනවා වැනි අවදානම් ගමනකි.

ඒ ගමන යාමට සිටිය යුතු නායකයා රනිල් නොවන්නේ ඇයි?

රනිල් වික්‍රමසිංහ යනු අසාර්ථක බව එක්වරක් දෙවරක් නොව හයවරක්ම පෙන්වූ නායකයෙකි. ලංකාවේ අගමැතිවරයා ලෙස ඔහු කරන්න ගොස් එවකට සිටි ජනාධිපතිවරයාගේ විරුද්ධවීම මත ඔහුට කරගත නොහැකි වූ එක යහපත් කාර්යයක් කිසිවෙකුටත් පෙන්විය හැකිද? 

මා දකින ආකාරයට රනිල්ගේ එකම අභිප්‍රාය ජනාධිපති පුටුවේ හැකි තරම් කාලයක් වැජඹීමයි. ඔහුට නැවතත් චන්දයක් දිනා නගර සභාවකටවත් තේරී පත්වීමට නොහැකි බව ඔහු දනී. එසේම පක්ෂ බේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සිටින අති බහුතරයක් මන්ත්‍රීවරුන්ට නැවතත් චන්දයකින් දිනිය නොහැකි බව ඔවුන් දන්නා බවද රනිල් දනී. එසේම යම් පමණකට හෝ සාධාරණ වූ රජයක් යටතේ මොවුන් බොහෝ දෙනෙකුගේ අනාගතය සිපිරිගෙය බව ඔවුන් දන්නා බවද රනිල් දනී. ඔහු කරන්නේ මේ පාර්ලිමේන්තුවේ පවතින වියවුල් මානසිකත්වය කළමනාකරණය කිරීමයි. 

චොකා මල්ලිලාගෙන්, සනත් නිශාන්තලාගෙන්, ප්‍රසන්න රණතුංගලාගෙන් සැදුම් ලත් මෙගා ඇමති මණ්ඩලයකින් රටක් සංවර්ධනය කරනවා තියා එය පවත්වාගෙන යාමද විශාල අභියෝගයකි. ඔවුන් දන්නේ සොරකම පමණි. රනිල්ද මේ බව දනී. නමුත් දේශපාලන අනාගතයක් නැති ඔහුට එහි වගක් නැත. 

රාජපක්ෂලාට නොතිබුණු කපටි-කෛරාටික දේශපාලන බුද්ධිය තමා සතු බව රනිල් පැමිණි විගසින් පෙන්නුම් කළේය. එතෙක් රටේ තිබුණු ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය බොහෝ ද්‍රව්‍යවල මිල ඔහු ඉතා විශාල ප්‍රමාණයකින් වැඩි කළේය. මේ අනුව පහල මධ්‍යම පන්තිය සහ ඉන් පහල සියළුම ජන ස්ථරවල ක්‍රය ශක්තිය විශාල වශයෙන් අඩුවිය. අද ඇත්තේද එදා රටේ තිබුණු ද්‍රව්‍ය සංචිත ප්‍රමාණයම හෝ ඊට අඩු ප්‍රමාණයකි. එහෙත් අද පෝලිම් නැත. බඩු නැතැයි කියා කාටවත් පැමිණිලි කල නොහැක. එහෙත් තිබෙනා ද්‍රව්‍ය මිළදී ගැනීමට මුදල් නැත. සාමාන්‍යයෙන් ලාංකික ජනතාව කරන්නේ යමක් ඉතා සුළු ප්‍රමාණයෙන් හෝ ලබා ගත හැකි වේ නම් ඉන් සෑහීමකට පත්වීමයි. මේ නිසා පහල මධ්‍යම පන්තිය සහ ඉන් පහල පන්තිවල අරගලය දියවී ගොස් ඇත. 

ඉහල මධ්‍යම පන්තිය සහ ඉන් ඉහල පන්ති "අපිට නම් ඉතින් කොහොම හරි කරගන්න පුළුවන්. අරයල පව් නේ" මානසිකත්වයෙන් පසුවෙයි. ඔවුන් බොහෝ දෙනෙක් පවතිනා තත්වය පිළිබඳව ඇත්තෙන්ම සතුටු වෙති. "දැන් පෝලිම් නැහැ, තර්ඩ් ක්ලාස් මිනිස්සු සුපර් මාර්කට් වලට එන්නේ නැහැ. පාරේ වාහන අඩු නිසා කූල් එකේ වැඩට යන්න පුළුවන්" මේ ඔවුන්ගේ සමාජයේ කතිකාවතයි. එසේම ඔවුන් පවුල් පිටින් එතෙර පදිංචියට යයි. නැත්නම් තම තරුණ දූ පුතුන් රට පටවයි. "They have no future here අනේ" මේ ඔවුන් නිතර පවසන වදන් පෙළකි.

----------------------------------------

මෙවැනි දුෂිත දේශපාලකයන් ආණ්ඩු කරන රටක් ඉතා වේගයෙන් අස්ථායි වන බව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍ය දනී. එය ඔවුන්ගේ බල ව්‍යපෘති ක්‍රියාවේ යෙදවීම සඳහා විශාල බාධාවකි. මේ නිසා ඔවුන් කරන්නේ තම අවශ්‍යතාවයන් ඉක්මනින් ඉටු කර දිය හැකි රටට කිසිඳු වැදගම්මක් නැති පුද්ගලයන් කෙටි කාලීනව පත්කරගැනිමයි. මෙය මීට දශක දෙකක තුනකට පෙර ලතින් ඇමරිකානු රටවලද (banana republics ලෙස හඳුන්වන රටවල්), මේ දක්වා බොහෝ මැදපෙරදිග රටවලද ක්‍රියාත්මක කරයි. 

රනිල්-රාජපක්ෂ ජුන්ටාව දිගටම සිටීමේ බරපතල අනතුර මෙයයි. 

මා දකින ආකාරයට අප හැකි විගසින් නව නායකත්වයක් සහ දැක්මක් බිහි කරගත යුතුය. අප කෙතරම් අකමැති වුවත් මෙම නායකත්වයට ඇමරිකාවට අවශ්‍ය දේ කිරීමට සිදුවනු ඇත. ඒ පිළිබඳව ජනතාව දැනුවත්වීම වැදගත්ය. මෙතෙක් කිසිඳු පලක් නොවූ දෙලොවටම වැඩ නැති පුහු දේශාභිමානී විලපයන්ට දැන්වත් අප තිත තැබිය යුතුය. "පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මගේ රට" කියමින් පපුවට ගසා ගෙන මුළු රටම මංකොල්ල කා, කාබාසිනියා කල දේශපාලනයෙන් දැන්වත් ඈත්වී ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුය. දුෂණයෙන් භීෂණයෙන් තොර වූ ලී ක්වාන් යූ පන්නයේ හෝ අඩුම ගණනේ දැලි පිහියෙන් කිරි කෑමට හැකි පර්වේෂ් මුෂාරෆ් පන්නයේ නායකත්වයක් බිහි කරගත යුතුය. අනෙක් අතට මුෂාරෙෆ්ට අත්වූ ඉරණම එම නායකයාට නොලැබෙන ආකාරයට වෙනස් කල ජන මනසක් බිහි කල යුතුය. 

මේ නායකත්වය බිහිවන්නේ කොතනින්ද යන්න අප සියළු දෙනාම තමන් සිටිනා පෙට්ටිවලින් එලියට විත් සාකච්චා කල යුතුය. 






 

Friday 9 September 2022

බුද්ධිය ඇති උන් නැති උන් වෙනුවෙන්



ගී කියන උන් ගීත ගයපල්ලා 

ගී ලියන උන් ගීත ලියපල්ලා 

කවි ගොතන උන් පදවැල් ගොතපල්ලා 

කෙටිකතා නවකතා ලියන උන් 

පෑන මැනවින් හසුරුවාපල්ලා 

වේදිකාවේ නටන උන් 

පුංචි තිරයේ රඟන උන් 

නටල රඟලා රටටම කියපල්ලා                                                                                                                              

දේසපාළුවා අත්වැල් බැඳගෙන 

රටේ සම්පත් කොල්ල කන හැටි 

වහල් බැම්මෙන් ජනමනස වෙලලා 

බුද්ධි හීනයෝ බිහිකරපු හැටි 

කියා දීපල්ලා 

මැටි පිරුණු හිස් කබල් සොලවා 

ඇත්ත ඇති සැටියෙන් තේරෙන තෙක් 

කරුණු කියපල්ලා 


වේ හුඹස් අභියසද කුදු වන අමනයන්




 


Friday 12 August 2022

අරගලය නිම විය

 


ගෝල්ෆේස් අරගලය නිම විය. ඒ ගැන වැටෙන පෝස්ට් නිමක් නැත. ඒවා ලංකාවේ ජන විඥානය කියාපාන කැඩපත් වැනිය.

අරගලය සාර්ථකද අසාර්ථකද යන්න තීරණය වන්නේ අරගලය තුලින් ඔබ බලාපොරොත්තු වූ හෝ නොවූ ප්‍රතිදාන මතය. එහි මුඛ්‍ය සටන් පාඨය වූ "Go home Gota" යන්න අරගලයේ අරමුණ කරගත් පිරිසට මෙය අති විශිෂ්ඨ නිමාවකි. System change එකක් වෙනුවෙන් අරගලයට එක්වූ පිරිසට එහි ප්‍රතිඵලය ඉතා අසතුටුදායකය. මේ අන්ත දෙක අතරේ අරගලයේ යහ ඵල කිහිපයක්ම ඇත. System change එකක් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කී සමහරුන්ගේ ඇත්තම අරමුණ වී තිබුණේ Coruption-ownership change එකකි. එනම් උඹලා කැමති හොරා වෙනුවට අපි කැමති හොරා රජකිරීමයි. 

මා දකින ආකාරයට අරගලයේ අග්‍ර ඵල දෙකකි. ඉන් පළමුවැන්න ලංකික ජන විඥානය ප්‍රායෝගිකවම අවබෝධ කරගැනීමට ඒ සඳහා උනන්දුවන අයට ලැබුණු අවස්ථාවයි. එය ලංකාව ගොඩ දැමීමට උණක් යන්තමට හෝ තවමත් ඇති සියළු දෙනාටම අනාගතයේදී බොහෝ සෙයින් උපකාරී වනු ඇත. 

දෙවැන්න ලංකාවේ ක්‍රියාකාරී අති බහුතරයක් දේශපාලකයන් එකම ජාලයක ඉත්තන් බව ස්ථිර වශයෙන්ම සාක්‍ෂාත් වීමයි. 

------------------------------------------

බොහෝ දෙනෙකුට දැන් අරගලය ඇරඹෙන්න හේතු පාදක වූ කරුණු මතක නැත. සමහරු දැන් කතාකරන්නේ එය අසුරු සැනෙකින් ඕපපාතිකව පහල වුවා සේය.

කෙටියෙන් කියන්නම්. අරගලය ඇරඹීමට පෙර රටේ කිලෝ මීටර ගණන් දිග තෙල්, ගෑස් පෝලිම් විය. සාගතය හිස ඔසවා තිබුණි. සංචාරක ව්‍යාපාරය පමණක් නොව රටේ සෙසු බොහෝ කර්මාන්ත බිඳ වැටී තිබුණි. උද්ධමනය ඉතා ඉහල අගයක තිබුණි. මාස කිහිපයක සිට රට ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබුණි.

අරගලයෙන් විනාශ වෙන්න තරම් දෙයක් රටේ ඉතිරි වී තිබුණේ නැත.

අරගලයේ මූලිකත්වය ගත්තේ දේශපාලන මෙන්ම සාමාජීය වශයෙන්ද පරිනත නොවූ තරුණ ජවයකි. එයට නායකත්වයක්, මාර්ග සිතියමක්, පැහැදිලි අරමුණක් සහ ඉලක්ක ලබා දිය යුතු විය. නමුත් එය කල යුතුව තිබූ අත්දැකීම් බහුල ක්‍රියාකාරී දේශපාලන ප්‍රවාහ එය මග හැරියෝය. ඒ ගැන මම කිහිප වරක්ම ලිව්වෙමි. 

------------------------------------------

දේශපාලකයන්ට පවරා ඇති නඩු, නීතිපති විසින් තාක්‍ෂණික හේතු මත ඉවත් කරගත් නඩු, කෝප් කමිටු වාර්තා සහ වෙනත් අනේක කොමිෂන් වාර්තා අනුව මේ රටේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අති බහුතරයක් දේශපාලුවන් මහජන මුදල් ගසා කා ඇති බව සක් සුදක්සේ පැහැදිලිවේ. නොඑසේ නම් රුපියල් ට්‍රිලියන ගණනක මුදල් බහිරවයා ගිල්ලා විය නොහැක. WWE සහ ලංකාවේ පාර්ලිමේන්තුව අතිශයන්ම සමාන වන්නේ මේ හේතුව නිසාය. ඔවුන් එක් පවුලකි. එකෙකුට එකෙක් නැතුව බැරිය. 

ලංකාවේ බහුතරයක් ජනතාවගේ දැනුම් සම්භාරය තුල මේ ගැන දත්ත ඇත. නමුත් මට දැනෙන ආකාරයට මේ දැනුම විශ්ලේෂණය කර තේරුම් ගැනීමට තරම් තර්ක බුද්ධියක් බොහෝ දෙනෙකු සතුව නැත. එය උගත්-නුගත් කියා වෙනසක් නැතිව සමාජය තුල පිළිබිඹු වේ. තේරුම් ගන්නා සුළුතරය අතර පවා තේරුම අවබෝධය කරා ගෙන යාම පිණිස මානසික අවස්ථිති පවුර තරණය කර ගත හැකි අය සිටින්නේ අතලොස්සකි. 

අරගලය ඇති වන්නේ තමා පෙළන, තම ධනය සොරා කන, පාලක පැලැන්තියට එරෙහිව පද්ධති වෙනසක් සඳහා බව ලංකාවේ බහුතරයක් පාලිතයන්ට වැටහෙන්නේ නැත. අරගලය සමච්චලයට ලක් කරමින් පෝස්ට් පලකරන කිසිවෙක් රටේ යස ඉසුරින් වැජබෙන ධනපතියන් නොවන බව නම් ඉතා පැහැදිලිය. පාලකයාගේ හොර තක්කඩි අමන කම් හේතුවෙන් දරිද්‍රතාවය හිස මත තබාගෙන, බසයක පා පුවරුවේ එල්ලී යන පහල මධ්‍යම පාන්තිකයා, තම පීඩකයා වෙනුවෙන් පෙනී සිටින සමාජයක, system පෙරලන්නට පෙර, පෙරලන්න ඇති දේ බොහෝය.