Sunday 28 November 2021

ලාංකිකයාගේ තර්ක ඥානය

යා යුතු මග පිළිබඳව මගේ සත දෙක ඉදිරිපත් කිරීමට තවත් ටික කලක් යනු ඇතැයි මට සිතෙයි. ලාංකික ජන මනස වටහා නොගෙන යා හැකි දේශපාලන ගමනක් නැත. එබැවින් තවත් අතුරු කතාවක් ලිවීමට සිත්විය.

සමස්තයක් ලෙස ලංකාවේ බොහෝ දෙනෙක් කරන රැකියාව අනුව උගතුන් ලේබල් කිරීමට හුරුවී ඇත. පිටිසර ගොවියන්, කම්කරුවන්, පදික වෙළෙන්දන් ආදීන් උගත් කමේ පහල කෙලවරේ තබන ඔවුන් ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, උසස් සිවිල් නිලධාරින් ආදිය ඉහල කෙලවරේ තබයි. පසුගිය සමයේ විවිධ පිරිස් දක්වන අදහස් දකින මම සමහර විට විශ්මයට පත්වෙමි. උගතුන්ගේ බෙදීම ඉහත ආකාරයෙන් යයි සැලකුවහොත් උගත්කම තර්ක ඥානයට ප්‍රතිලෝමව සමනුපතික වෙනවාදැයි මට සිතෙයි. මීට මම එක් උදාහරණ ගන්නම්.

රසායනික පොහොර සහ විශේෂයෙන්ම කෘමි, දිලීර සහ වල් නාශක නිසා පරිසරයට හානි සිදු නොවේ යයි කියන කිසිවෙකුත් මට මෙතෙක් හමුවී නැත. නමුත් පසුගිය අඩ සියවසක පමණ කාලය තුල මුළු ලෝකයේම කෘෂි කර්මාන්තය විශාල වෙනසකට භාජනය විය. වැඩිවන ජනගහනයට ආහාර සැපයීමට වැඩි නොවන බිම් ප්‍රමාණයෙන් අධික පලදාවක් ලබාගත යුතු විය. මේ අනුව දෙමුහුන් බහුමුහුන් ආදී වශයෙන් වැඩි දියුණු කල බීජ වර්ග පර්යේෂණාගාර තුලින් එලි දකින්න විය. මේ බිජ හා බැඳුනු පොහොර වර්ග මෙන්ම නොයෙකුත් නාශකද බිහි විය. 1950 ගණන් වල කුඹුරු අක්කරයකින් ලැබුණු අස්වැන්න මෙන් හතර පස් ගුණයක් මේ වන විට ලැබෙන්නේ මේ නව බිජ මෙන්ම ඒ හා බැඳුනු රසායනික පොහොර හා නාශක නිසාය. 

රසායනික වගාව නිසා වන පරිසර හානිය අද වන විට මුළු ලෝකයේම කතා බහට ලක්වී ඇත. එහෙත් එය නතර කිරීමට නම් ජාන තාක්‍ෂණය හෝ වෙනයම් ක්‍රමවේදයක් තුලින් පවතින පලදාව රැකගත යුතුව ඇත. නැත්නම් මිනිසුන් විශාල ගණනක් සාගතයෙන් මිය යාමට හැක. මේ නිසා රසායනික පොහොර භාවිතය  වසර 10-30 අතර කාල වකවානු තුල කෙමෙන් අවම කිරීමට යම් මාර්ග සිතියමක් ගොඩනැගීමට මේ වන විට ලෝකයේ බොහෝ රටවල් උත්සුක වෙයි. මම මේ සඳහා දකුණු අප්‍රිකානු රජයට සහය දෙමි. එම කාර්ය කෘෂි විශේෂඥයන්ට පමණක් කල හැකි දෙයක් නොවේ. ඒ සඳහා බලශක්ති ඉංජිනේරුවන්, IT / Data Science / AI & robotics / statistics ආදී ක්‍ෂේත්‍ර වල නිපුණයන්, කාලගුණ සහ පරිසර විද්‍යාඥයන්, රසායන සහ උද්භිද විද්‍යාඥයන්, ජාන තාක්ෂණ වේදීන්, වෛද්‍යවරුන්, සමාජ විද්‍යාඥයන් සහ නීති විශාරදයන් ආදී රාශියකගේ දායකත්වය අවශ්‍යවේ. 

මේ ගැන කිසිඳු වැටහීමක් නොමැතිව ලංකාවේ රජය එක රැයකින් රසායනික පොහොර සහ නාශක ගෙන්වීම තහනම් කරයි. පරිසරය රැක ගැනීම සහ ජනතාවගේ වකුගඩු ආබාධය තුරන් කිරීම තම අරමුණ බව ජනාධිපතිවරයා පවසයි. රජයේ මැති  ඇමැතිවරුද එයම පුනරුච්චාරණය කරයි. එහෙත් සැබෑ හේතුව රටේ ඩොලර් අර්බුදය සහ චන්ද පොරොන්දුවක් වූ පොහොර නොමිලේ ලබාදීම (සහනාධාරය හෝ ලබාදීම) රජයට කල නොහැකි වීම බව සිහි බුද්ධිය ඇති හැමටම නොරහසකි.

ඈත පිටිසර ගමබිම් වල ගොවියන්, පාර අයිනේ එළවලු ලෑල්ල තියාගෙන වෙලදාම් කරන "නුගතුන්" රජයේ මේ අනුවණ අඥාන තීරණය තම තර්ක ඥානයෙන් මැනවින් තේරම් ගත්තේය. තමන් හරිත විප්ලවයකට කැමති බවත් එය පියවරෙන් පියවර සිදුවිය යුතු බවත් ඔවුන් පුන පුනා පැවසීය. ජාත්‍යන්තර තලයේ වූ බුද්ධිය ඔවුන් සතුව තිබුණි. 

එහෙත් බුද්ධිහීන උගතුන් බොහෝ දෙනෙක් "වකුගඩු නැති කරගන්න රසායනික පොහොර ඉල්ලන මෝඩ ගොවීන්"  යන තේමාව ඇති පෝස්ට් පල කරන්නට හෝ ෂෙයාර් කරගන්නට විය. දේශපළුවා මෙවැනි කතා කියන්නේ තම පැවැත්ම වෙනුවෙනි. එහෙත් මේ මෝඩ අමන උගතුන්? කා වෙනු වෙන්ද??

ඔබ දේශපාලනය කල යුත්තේ මෙබඳු "උගතුන්" සමග බව ධාරණය කරගන්න. 


   
\

Wednesday 24 November 2021

සිංගප්පුරුවෙන් පණිවිඩයක්


මා මැලේසියාවේ ගත කරන සමයේ ඉතා කුළුපඟව ඇසුරු කල වයෝවෘද්ධ සිංගප්පුරු ජාතික මහාචාර්යවරයෙක් විය. පසුගිය සතියේ දිනක කලකට පසු ඔහු Zoom තාක්‍ෂණය ඔස්සේ මා ඇමතීය. ඔහුට අකුණු ආරක්‍ෂණය පිළිබඳව විශේෂ කරුණක් දැනගැනීමට අවශ්‍ය වී තිබුණි. එම කරුණ සාකච්චා කර අවසන්වූ වහාම අපි සිංගප්පුරුවේ සහ මැලේසියාවේ දේශපාලනය ගැන සංවාදයකට එළඹුණි.

"අද පසු පස හැරී බලන විට සිතෙන්නේ, 1965 දී මැලේසියාව අපව මලයානු ෆෙඩරේෂණයෙන් එලවා දැමීම තමයි සිංගප්පුරුවට සිදු වූ හොඳම දේ. එදා ලී පුවත්පත් වාර්තාකරුවන් ඉදිරියේ හඬා වැටුණා". එවකට යොවුන් වියට පා තබන තරුණයෙකු වූ ඔහුට ඒ සිද්ධිය තවමත් මතකය. එය ඔහු මට කිහිප වාරයක්ම කියා ඇත.

"ලී මහජනතාවට කිව්වා ඔහුට රට හදන්න නම් ජනතාව අනිවාර්යයෙන්ම කාරණා දෙකකට එකඟ විය යුතු බව. පළමුවැන්න රටේ වංචාව හා දුෂණය බිංදුවක් විය යුතු බව. අනෙක රටේ ජාතිවාදය බිංදුවක් විය යුතු බව". 

මෙතුමා මට මේ කතාව මුලින්ම කිව්වේ මීට වසර හයකට පමණ පෙරය. එදා රෑ මම "MR and LKY: The Dividing Line" යන මාතෘකාවෙන් ලිපියක් ලිව්වෙමි (පහත comment එකේ ලින්ක් එක ඇත). ඒ මහින්ද රාජපක්ෂ මහතා ලී ක්වාන් යූට සම කිරීමට රටේ කලාකරුවන් කිහිප දෙනෙක් උත්සුක වූ අවධියකි. මම මේ ලිපියෙන් පෙන්වා දෙන්න හැදුවේ යුග දෙකක සිටින මේ නායකයන්ගේ ක්‍රියාන්විත ඉතා පැහැදිලි රේඛාවකින් වෙන් වන බවයි.

මහින්ද රාජපක්ෂට කවදාවත් ලී ක්වාන් යූ ගිය මග යාමට නොහැකිය. මන්ද ඔහු බලයට එන්නේම ජාතිවාදය ඉදිරියෙන් තබා ගෙනය. එසේම ඔහු බලය ගත් දා සිටම ගමන් කලේ කරවටක් දුෂණයේ ගිලීගෙනය.

"ඔබ ලී ක්වාන් යූ ගේ දකින සුවිශේෂී කාරණා මොනවාද?" මේ මා පෙර ඔහුගෙන් අසා නැති පැනයකි. 

"මම ඔහු තුල දකින ශක්තිමත්ම සලකුණ (strongest point) ජනතාවට ඇත්ත කීමට ඔහුට තිබුණු ආත්ම ශක්තියයි. මහතීර්ට එය ගෑවිලාවත් නැහැ" මහාචාර්යතුමා කවදත් මහතීර් විරෝධියෙකි. 

"මුල් යුගයේ කිහිප වරක්ම ඔහු ප්‍රකාශ කළා සිංගප්පුරු ජනතාව බුද්ධිමතුන් නොවන බව. ඔහු කිව්වා ජනතාව බුද්ධිමත් වීමට තව දශක කිහිපයක් ගතවන්නට ඉඩ ඇතැයි කියා. එතෙක් රට හැදීම තමා සහ පිරිසට බාර දී නිහඬව සිටින ලෙස ඔහු ජනතාවට කියා සිටියා. ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි උගත් බුද්ධිමත් පිරිස නිසා ජනතාවට ඔහු පවසන දේ නොපිලිගැනිමට හේතුවක් තිබුණේ නැහැ. ඔබ දන්නවද ලී ගේ දකුණු අත වගේ සිටියේ ලාංකික බුද්ධිමතෙක් (Sri Lankan interlectual)" මාව සනසන්නදෝ ඔහු හැමදාමත් මේ ලාංකික බුද්ධිමතා ගැන පවසයි. 

කතාව තව බොහෝ දුර ගියේය. නමුත් මම ඒ විස්තරය මෙතෙකින් නවතමි. 

මම ලංකාව දෙස බලමි. ලංකාවේ දේශපාලකයන් කලක සිට ජනතාවට බොරු කියයි. බොරු කියන දේශපාලකයන්ව ජනතාව ඉහලින්ම පත්කරගනියි. මේ නිසා බොරු නොකියා සිටීමට උත්සහ කල දේශපාලකයන්ද බොරු කීමට පටන් ගනී. අන්තිමට දේශපාලකයා මෙන්ම ජනතාවද බොරුවට ඇබ්බැහිවී ඇත. මෙහිදී උගතුන්-නුගතුන්, දෙස්-විදෙස් වල වෙසෙන්නන් කියා වෙනසක් නොමැති බව මට පෙනෙයි. ජනතාව කෙතරම් බොරුවට ඇබ්බැහිවී ඇත්ද යත් තමා ප්‍රිය කරන දේශපාලකයා කරන බොරුවෙන් තමන් කෙතරම් පීඩනයකට දුර්භාග්‍යකට පත් වුනත් එය සාධාරණීකරණය කිරීමට ඔවුන් පෙළඹෙයි. 

මේ අවස්ථාවේ ලංකාව මුහුණ දී ඇති ආර්ථික අවපාතය ගැන මුලින්ම ජනතාවට සත්‍ය පැවසුවා නම් ගොවියන් පොහොර ඉල්ලා කෑගසන්නට නොතිබුණි. ගුරුවරුන් වැටුප් විෂමතා පිළිබඳව උද්ඝෝෂණ නොකරන්න තිබුණි. මේ ඇතිවෙමින් පවතින වැඩ වර්ජන රැල්ල ඇති නොවන්න තිබුණි.

එහෙත් මේ සිටින පාලකයන්ට එසේ සත්‍ය පැවසිය නොහැක. මන්ද ඔවුන් ජනතාවට ඇතිවෙන්න බොරු කියමින් මහා සම්පත් විනාශයක් කර ඇති බැවිනි. ඒ මදිවාට එක් ඉහල පෙලේ ඇමතියෙක් රජයට ඕනෑ තරම් මුදල් තිබෙන බවට වහසි බස් දෙඩීමට තරම් අධමයෙක්ද විය. ඒවා පිළිගැනීමට සැදී පැහැදී සිටින ජනතාවක්ද සිටීම ජාතියේ ලොකුම අවාසනාව  නොවේද? 


  


Friday 12 November 2021

ඔබ බුද්ධිමත්ද? සරල පරීක්ෂණයක්



මට හිතෙන ආකාරයට ලෝකයේ බොහෝ නොදියුණු රටවල් මෙන්ම ලංකාවේද ජනතාව තුල "බුද්ධිමත්කම" ජනගහනයේ පරායත්ත පරාමිතියක් ලෙස ශ්‍රිතයකට නැගුවහොත් ඝාතීය ක්ෂයවීමක් (exponential decay) දකින්නට හැකි වනු ඇත. තේරෙන බසින් කියනවා නම් සමාජයේ ඉතා කුඩා කොටසක් අතිශයින් බුද්ධිමත්වන අතර සලකන ජනගහනය වැඩි කරන විට මේ බුද්ධිමත් බව ඉතා වේගයෙන් අඩුවී යයි. අනෙක් අතට ජනතාව අතර "උගත්කම" ඊට වඩා සෙමෙන් අඩු අගයකට පත්වෙයි. ලංකාවේ සාක්ෂරතාවයේ ඉහල අගය නිරුපනය කරන්නේ මේ උගත්කම යන නිර්ණායකයයි. 

උගත්කම සහ බුද්ධිමත්කම අතර පැහැදිලි සම්බන්ධතාවයක් නැත. උගත්කමෙන් ඉතා අඩු ජන කුලක බුද්ධිමත්කමේ ඉහල තලයේ සිටිය හැක. එලෙසම ඉතා ඉහල උගත් පරාසයකට අයත් පිරිස් බුද්ධිමත් බවේ පහල අගයන්හි දකින්නට ලැබෙයි. 

ආර්ථික හා සාමාජීය වශයෙන් දරුණු පිරිහීමකට භාජනය වූ රටක් ගොඩනැගීමේ දී බුද්ධිමය නිර්ණයකයේ ඉහලම තලයේ සිටින කුඩා කුලකයට අති විශාල කාර්යභාරයක් පවතී. රටකට අදාළ බුද්ධිමත්කම සහ උගත්කම යන නිර්ණායකවල හැසිරීම වෙනස් කිරීමට (මෙම ශ්‍රිතවල හැඩය වෙනස් කිරීමට) දශක ගණනාවක් ගතවේ. එබැවින් මට හැඟෙන ආකාරයට යුගයේ අවශ්‍යතාවය ජනතාවගේ බුද්ධිය වර්ධනය කිරීමට ශක්තිය වැය කිරීම නොව බුද්ධිමත් අතලොස්ස සාමුහිකව ගන්නා තීරණ පහල බුද්ධි තල කරා කාර්යක්ෂමව සම්ප්‍රේෂණය කිරීමයි. 

"මම බුද්ධිමත්ද?" මේ අප සැමට ඇතිවන ගැටලුවකි. මේ පිළිබඳව මම මීට වසර කිහිපයකට පෙර මැලේසියාවේ මා සේවය කල සරසවියට කෙටි කලකට පැමිණි ඇමරිකානු ජාතික මානසික සෞඛ්‍ය පිලිබඳ මහාචාර්යවරයෙකුගෙන් ඇසුවෙමි. මා බුද්ධිමත් නොවන නිසාදැයි නොදනිමි, ඔහු විස්තර කල කිසිවක් මට නොතේරුනි. පසුගිය සතියේ නැවතත් මට මා දැන් සේවය කරන විට්වොටර්ස්රෑන්ඩ් සරසවියේ සමාජ විද්‍යා මහාචාර්යවරියක් සමග  මේ ගැන සාකච්චා කිරීමට අවස්ථාවක් උදාවිය. ඇය  සරල එහෙත් ඉතා පැහැදිලි පිළිතුරක් දුන්නීය.

ඔබට පහත දැක්වෙන ලක්ෂණ ඇත්නම් ඔබ බුද්ධිමත්ය. එම ලක්ෂණ කොපමණ හොඳින් ඔබට තිබෙනවාද යන කාරණය ඔබගේ බුද්ධියෙහි මට්ටම තීරණය කරයි.

තමා නිවැරදි තමාගේ රාමුවේ පමණක් විය හැකි බව දැන සිටීම. 

වෙනත් අයකුගේ අදහස් එම තැනැත්තාගේ රාමුවට ගොස් විශ්ලේෂණය කිරීමට ඇති හැකියාව.

තමන්ගේ හැකියාවේ සහ දැනුමේ සීමාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබීම. 

තමන්ගේ සිතුවිලි, වදන් හෝ ක්‍රියාවන් ලෙස එළිදැක්වීමේදී පෙන්වන ශික්ෂණය. 

පරිසරය සහ සමාජය පිළිබඳව යමක් හැදෑරීමට ඇති කැමැත්ත.

තමන්ගේ වරදක් පිළිගැනීමට සහ ඉන් පාඩම් ඉගෙනීමට ඇති සුදානම. 

අසාර්ථකවීමක් (failure) හෝ පිළිකෙව් කිරීමක් (rejection) දැරීමට ඇති හැකියාව.

ප්‍රවේසම්කාරිව අවදානමක් ගැනීමට ඇති නායකත්ව හැකියාව (leadership capacity in taking calculated risks).

වෙනසකට ඇති සුදානම (අඩු මානසික අවස්ථිතිය).

යම් අවස්ථාවක ඇති පුළුල් සංසිද්ධිය දැකීම (seeing the big picture).


    

Tuesday 9 November 2021

හෝරාවේ තේමාව-4: යායුතු මගට පෙර වදනක්



මේ වන විට ලංකාවේ ජනතාව අතර විශාල දේශපාලන සුළඟක් ඇරඹී ඇත. එය සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම දුරස්ථ සංනිවේදන හරහා කතා බස් කරන බොහෝ දෙනෙකු තුලින්ද දිස්වේ. මෙම සුළඟ වර්තමානයේ ඉතාමත්ම කැළඹිලි සහගතය (turbulent). එය සුළං කපොල්ලක් හරහා එක් සොඳුරු දිශානතියකට යොමුවේද නොඑසේ නම් සුළි කුණාටුවක්ව තව තවත් අඳුරු ආගාධයකට රටම ඇදගෙන යාවිද යන්න අනාගතය විසින් පවසනු ඇත. ඒ දිශානතියේ තීරණය ලාංකීය දේශපාලන නායකයන් සහ සමාජ ක්‍රියාකාරීන් සතුය. 

යා යුතු මග ගැන මගේ අදහස් පැවසීමට පෙර සියල්ලෝම අවබෝධ කරගත යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් කල යුතුව ඇති මට සිතෙයි. 

මේ අවස්ථාවේ යම් දේශපාලන පක්ෂයකට හෝ සිවිල් සංවිධානයකට කල හැකි මුග්ධතම ක්‍රියාව නම් තමා පිළිබඳව අධි තක්සේරුවකට පත්වීමයි. බහුතරයක් ජනතාව මේ අවස්ථාවේ ආණ්ඩුවට එරෙහිව දක්වන්නේ ආවේගශීලී ප්‍රතික්‍රියාවක් (impulsive reaction) මිස නැණවත්ව කරුණු වටහා ගැනීමකින් කරන නිගමන නොවන බව අප වටහාගත යුතුය. ආණ්ඩුවේ මහින්ද පාර්ශවයට මෙම තත්වය සමනය කිරීම අපහසු දෙයක් යයි මම නොසිතමි. එයට එරෙහිව බැඳී එකම පවුර ගෝඨාභය පාර්ශවයේ දේශපාලන අපරිණතභාවයයි. 

යම් ක්‍ෂේත්‍රයක නිපුනත්වයක් හෝ අත්දැකීමක් නැති පුද්ගලයෙකු එම ක්‍ෂේත්‍රයේ ඉහලම පුටුවට ගෙන ඒමේ අනිසි විපාක මේ වන විට එම පුද්ගලයා පමණක් නොව රටේ සියළුම කණ්ඩායම් අත්විඳිමින් සිටිති. මෙයින් උගත යුතු විශාල පාඩමක් ඇත. ඔබ දේශපාලනය, නීතිය වැනි විෂයයන් සඳහා කෙතරම් හොඳ නිපුණයෙකු වුවත් ඒ පිළිබඳව ප්‍රයෝගික අත්දැකීම් අඩු නම් ඒ අභාෂය සහිත පිරිසක් හා එකතු වීම ඉතා වැඩදායක වෙයි. එයින් ඔබගේ අගය තවත් වැඩි වනවා මිස අඩුවීමක් සිදු නොවේ. 

ඕනෑම රටක සාර්ථකව දේශපාලනය කිරීමට නම් ඒ සඳහා පිටිසරම ගමක හේන් ගොවියා දක්වා විහිදුනු ජාතික මට්ටමේ මෙහෙයුම් ජාලයක් (operational network) අවශ්‍යවේ. මෙබඳු සාමාජීය ජාලයක් ගොඩනැගීමට දශක ගණනාවක් ගතවේ. 

මා දකින ආකාරයට මේ වන විට ලංකාවේ රට ගොඩනැගීමේ අවංක චේතනාවෙන් ඉදිරියට පැමිණි පක්ෂ සහ පුද්ගල චරිත කිහිපයක්ම ඇත. ඔවුන්ගේ අවසන් ඉලක්ක බොහෝ දුරට සමාන වන අතර යා යුතු මාර්ගයන්හි වෙනස් කම් ඇත. මේවා විවෘත වේදිකාවක සාකච්චා කර යම් එකඟතාවයන්ට පැමිණිය යුතුය. 

ගල් වැලි දුහුවිලි රැඳුනු අපිරිසිඳු බඳුනකට මී පැණි වත් කල විට එය ආහාරයට ගත නොහැකි තත්වයකට පත්වේ. බොහෝ විට මෙවැනි ද්‍රව්‍යයක් විසි කර දැමීමට සිදුවෙයි. කලාතුරකින් එම ද්‍රව්‍යයේ වටිනාකම නිසාම එය පෙරණයන් කිහිපයකින්ම පෙරා පිරිසිඳු බඳුනකට රැස් කිරීමෙහි අවශ්‍යතාවයක් පැන නගින අවස්ථා ඇත. ප්‍රධාන දේශපාලන ධාරාවේ වූ ඉතා අතලොස්සක් වූ පුද්ගලයන් කිහිප දෙනෙකු ගැනද මා දකින්නේ මේ ආකාරයටයි. නායකත්වයේ සහ වටාපිටාවේ වූ දුෂිත ස්වභාවය නිසාම ජරාජීර්ණ වුවත් මොවුන් තුල වූ අත්දැකීම් සහ දැනුම නිසා පිරිසිඳු නායකත්වයක්-පක්ෂයක් යටතේ මොවුන් පුනරුත්ථාපනය කල හැකි බව මගේ වැටහීමයි. 

 

 

Wednesday 3 November 2021

හෝරාවේ තේමාව-3: 2019 විප්ලවය

වසර 2019 ජනාධිපතිවරණය දෙස මා බලන්නේ ඉතා සුබවාදීවය. තව වසර දහයකින් ආපසු හැරී බලන ඔබට මා කියන දෙය වැටහෙනු ඇත.

මෙම මැතිවරණයට බහුතරයක් ජනතාව පියනැගුවේ දැඩි ජාතිවාදී ස්ථාවරයක සිටගෙනය. ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගේ එකම දියසෙන් කුමරා විය. ගෝඨාභය ඇතුළු සියලු රාජපක්ෂවරු මෙන්ම ඔවුන් වටා එකතු වූ වාසුදේව-දිනේෂ් හැර අන් සියළුම කථිකයන් තුලද තිබුණේ එක් මූලික චේතනාවක් බව මම සිතමි. එනම් තමන් මත පැටවී තිබූ නඩු හබ වලින් මිදීමයි. ආණ්ඩුව පිහිටවීමත් සමග ලැබෙන නිල-බල-අයථා ධනය දෙවන කාරණය වන්න ඇත. වර්තමානය වන විට මේ දේශපාළුවෝ ඒ බව සනාථ කර ඇත. මේ අවස්ථාව නොලැබුණා නම් ඔවුන් තවමත් ජනතාව අතර වීරයන්ය. 

එජාප-සජබ-පොහොට්ටු-ජාතිය මත බෙදුණු බොහෝ කුඩා පක්ෂ මෙතෙක් කලේ තනිකරම ඩීල් දේශපාලනයක් බව යම් පමණක හෝ බුද්ධි මට්ටමක් ඇති සැමටම දැන් වැටහී තිබිය යුතුය. මේ ඩීල් දේශපාලනය නොවන්න 2018 වන විට පොහොට්ටුවේ බොහෝ දේශපාලකයන් සිටිය යුත්තේ සිපිරි ගෙදරය. එසේම අද වන විට යූඑන්පී - සජබ වැඩි හරියක්ද ඔවුන් සමග එකට සිරබත් කෑ යුතුය. නමුත් අවසානයේ සිර ගෙදර සිටින්නේ මේ දෙකටම අයත් නොවූ කටට තිරිංග නැතිව දෙපැත්තේම සොරකම් ගැන දෙඩවූ රංජන් රාමනායකය. ඔහුට අඩු වුයේද බුද්ධියයි. 

ජනතා විමුක්ති පෙරමුණට මහජනතාවට සමීප විය යුතු ආකාරය පිළිබඳව එවකට හරි වැටහීමක් නොතිබුණු බව මට සිතෙයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය මා දන්නා හඳුනන බොහෝ දෙනෙකු දැන සිටියේද නැත. එසේම ඔවුන්ට තමා පිළිබඳව යම් අධි තක්සේරුවක් තිබූ බවත් මට සිතෙයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති  පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කරන විට මට ඔවුන්ගේ අරමුණු පිළිබඳව පැහැදීමක් ඇතිවෙයි. එය 2019 දී මට තිබුනේ නැත. ඒ එවකට ඔවුන්ට ජන හද හඳුනා ගත නොහැකි වූ නිසා යයි මම සිතමි.  

නාගානන්ද කොඩිතුවක්කු, ගාමිණි විජේසිංහ, මහේෂ් සේනානායක, කොලොන්නේ වැනි පුද්ගල චරිත ප්‍රධාන පක්ෂ වලින් ස්වායත්තව නැගී ආහ. මා සිතනා ආකාරයට මේ පිරිස රට හැදීමේ යම් අවංක චේතනාවකින් ඉදිරියට පැමිණි අයයි. ප්‍රයෝගිකත්වය පිළිබඳව යම් ගැටළු පැවතුනත් ඔවුන් ඉදිරිපත් කල බොහෝ කරුණු ඉතාමත්ම සාධනීය විය. නමුත් මේ සෑම කෙනෙකු තුලම තමා පිළිබඳව අධි තක්සේරුවක් වූ බව මට සිතෙයි. ඔවුන් වටා එකතු වූ, විශේෂයෙන්ම විදේශගත ලාංකියයන්, මේ චරිත අනිසි ලෙස මානසිකව ඔසවා තබා නොමග යැව්වාදැයි මට විටෙක සිතෙයි. කෙසේ නමුත් ඔවුන් විසින් නව සමාජ පරිවර්තනයක් සිදු කල බව නම් අප අවිවාදයෙන් පිළිගත යුතුය. ඔවුන් ජනතාවට දුන් ගැම්ම අපතේ නොගිය බව මගේ විශ්වාසයයි. 

මෙතැන් සිට අපි කොයිබටද? අපි ඊළඟ ලිපියෙන් ඒ ගැන කතා කරමු. 



              


හිස් අපි


දෙදහස දශකය මුල් භාගයේ මම වසර කිහිපයක් ජාතික විද්‍යා සහ තාක්ෂණික කොමිසම යටතේ වූ තරුණ විද්‍යා සංසදයේ සභාපති ලෙස කටයුතු කලෙමි. මේ කාලයේදී අපි ජාන තාක්ෂණ යොදා වැඩි දියුණු කල බීජ සහ බෝගවල හොඳ නරක පිළිබඳව විවාද-සංවාද කිහිපයක්ම සංවිධානය කළෙමු. 

මෙහිදී ජාන තාක්‍ෂණයේ යහපත් ඵලයක් ලෙස ඉහලින්ම සාකච්චා වුයේ එමගින් පලදාව වැඩිකරගන්න අතරතුරම රසායනික පොහොර සහ කෘමි-දිලීර නාශක භාවිතය ඉතා අවම මට්ටමකට පත් කරගත හැකි බවයි. එහි ඍණාත්මක පැත්ත ලෙස ඉදිරිපත් වුයේ ජාන තාක්ෂණයෙන් නිපදවන භෝගයන්හි පලදාව මිනිස් සිරුරට කෙතරම් අහිතකරදැයි එවන විට පර්යේෂණ පවත්වා නොතිබීමයි. 

විදුසර වැනි පුවත්පත් වලින්ද මේ පිළිබඳව කතා බහ කරලියට ගෙනෙන ලදී. නමුත් එම සංවාදය ක්‍රියාන්විතයක් ලෙස  ඉදිරියට ගෙන යාමට හෝ ඒ පිළිබඳව ගැඹුරින් හැදෑරීමට පාර්ශව කීයක් උත්සහ ගත්තාදැයි මම නොදනිමි. මැලේසියාව, තායිලන්තය වැනි රටවල් එම දශකයේදී ජාන තාක්‍ෂණය අතින් වේගයෙන් ඉදිරියට ගියේය.අප දැන් කාලයක සිට ආනයනය කරන්නේ බොහෝ සෙයින්ම මෙම රටවල ජාන තාක්‍ෂණය යොදාගෙන නිපදවූ ආහාරය.  

ජාන තාක්ෂණයෙන් නිපදවූ ආහාරවල හොඳ නරක පිළිබඳව මට වැටහීමක් නැත. නමුත් මට පෙනෙන එකම කාරණය අද ලාංකිකයා රසායනික වගාවෙහි ගිලී සිටින අතරම පිටරටින් ගෙන එන ජාන තාක්‍ෂණය යෙදූ ආහාර රිසි සේ බුදින බවයි. 

වසර විස්සක් පමණ යන්න තිබූ ගමනක් එක රැයකින් යන්න ගොස් දැන් අපි ඒ තියෙන ටිකත් නැති කරගෙන ඇත්තෙමු.   



Tuesday 2 November 2021

හෝරාවේ තේමාව-2: ඇලඩින්ගේ පහන නොපතන්න

 


"අපි මහා ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ මහත්තයෝ. අපි කිසි දෙයක් නිකං ඉල්ලන්නෙත් නැහැ. අපිට පොහොර ටික ගන්න වැඩ සලස්සන්න. එතනින් එහාට කරන ටික අපි දන්නවා" මේ පසුගිය සතියක මා යූ ටියුබයේ නැරඹු ගොවි සටනකදී කාන්තාවක් හඬමින් පැවසූ වදන් කිහිපයකි. එය ඇත්තෙන්ම සෑම ගොවි විරෝධයකම (පක්ෂ විසින් සංවිධානය නොකළ) මා දුටු පොදු ලක්ෂණයකි. මේ වදන් මා දකින්නේ ඝන මේඝයක ඇතිවූ රිදී ඉරක් පරිද්දෙනි.

තමා පැමිණි පසු ලංකාවේ සියලුම ගැටළු අසුරු සැණෙන් විසඳනවා යයි කියන සෑම දේශපාලුවාම අමු හොර තක්කඩියෙකි. දශක ගණනාවක් ඔවුන්ට රැවටුන මෝඩ ජන ගහණය තවමත් අඩුවී නැති බව ඔවුන් සිතන අයුරකි. පිළිකා රෝගියෙක් නිට්ටාවටම සුව කිරීම අතිශයින් උගහටය. කල හැකි උපරිමය තාවකාලිකව මරණය කල් දමා ඉන්පසු රෝගියාගේ තත්වය අනුව පිළියම් යෙදීමයි. මෙය අති දුෂ්කර කාර්යයකි. එයට කෙටි කාලින මෙන්ම දීර්ඝ කාලින වැඩ පිළිවෙලක් අවශ්‍යය.

අප දශක කිහිපයක සිට විදේශ ණය සහ මුදල් අච්චු ගැසීම මත දිවි රැකගත් ජාතියකි. පසුගිය වසර දෙක තුන තුලදී මේ තත්වය අතිශයින් තීව්‍ර වී අද වන විට ඛේදවාචකයේ කුඨප්‍රාප්තියට රට පත්වී ඇත. 

චීනයේ හැසිරීම මා රටවල් ගණනාවකම හොඳින් අධ්‍යනය කර ඇත. මේ ගැන මම ලිපි කිහිපයක්ම ලියා ඇති බැවින් තව දුරටත් විස්තර කිරීමට නොයමි. චීන ණය උගුලක් නැති බව සමහරු තර්ක කරති. එය තීරණය වන්නේ ඔබ උගුල අර්ථ දක්වන ආකාරය මතය. ලෝක ආර්ථික ශ්‍රේණිගත කිරීම් වල ලංකාව පහලටම කඩා වැටීම සහ චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම අහම්බයන් හෝ හදිසි කෝපයේ ප්‍රතිඵලයක් නොවේ. හොඳින් දෑස් හැර බැලුව හොත් ඔබට පැහැදිලිවම පෙනෙනු ඇත -චීනයෙන් හැර දැන් කිසිඳු රටකින් ලංකාවට ණයක් ගත නොහැකි බව-. අප චීනයේ වහලෙකු බවට පත්වී ඇත. මේ තත්වයට පත්වීම උගුලක්ද නැත්ද යන්න තීරණය කිරීම මම ඔබට බාර කරමි. 

ඉහත ජාත්‍යන්තර ගැටලුවට අමතරව මේ වන විට ලංකාවේ කෘෂිකර්මය කඩා වැටි ඇත. බොහෝ නිෂ්පාදන ක්‍රියාවලියන් අඩපනය. කුසලතා ඇත්තෝ (skilled force) විශාල වශයෙන් රට හැර යති. ජනාධිපති සමාව සහ නීතිපතිගේ අනිසි ක්‍රියාන්විතය මූලික කරගෙන අනීතිය රට පුරා හිස ඔසවමින් පවතී. මේ තත්වය ආපසු හැරවීමට පෙර එයට විරාමයක් තැබිය යුතුය. එයම අති දුෂ්කර ව්‍යායාමයක් වනු ඇත.  රට වෙනුවෙන් අවංකවම පෙරට එන පිරිස මෙන්ම රටේ සමස්ත ජනතාවද මේ යථාර්තය අවබෝධ කරගත යුතුය. 


හෝරාවේ තේමාව -1: වෙනසක් සොයන ඔබට


මේ වන විට ලංකාව නිදහසින් පසු ඇතිවී තිබෙන දරුණුතම ආර්ථික කඩා වැටීම හමුවේ සිටින බව වටහා ගත් කුලකය දිනෙන් දින ඉහල යනු පෙනෙයි. ඔබ මේ කුලකයට අයත් නැති නම් එහි වරදක් නැත. රටක සියලු දෙනාටම එකම මට්ටමක දැනුම් සම්භාරයක්, විශ්ලේෂණ ශක්තියක් සහ මානසික අවස්ථිතියක් නැත. මේ නිසා එකිනෙකා දකින දේ වෙනස්ය. මේ කෙටි සටහන් පෙළ ලියවෙන්නේ මා ඉහත සඳහන් කල කුලකය වෙතටයි.

අදට වඩා දරුණු සාමාජීය කඩා වැටීම් (sociatal collapses) සිදුවූ අවදි කිහිපයක් ලංකාවේ ජිවත් වූ කාලය තුල මා පසු කර ඇත. නමුත් ඒ සෑම අවස්ථාවකම ආර්ථිකය යම් පමණකට සවිමත්ව තිබුණි.

මේ ඇතිවී ඇති ආර්ථික අවපාතය සමග සාමාජීය බිඳ වැටිමක්ද සිදුවුව හොත් එය වෙනත් රටවල පුරවැසියන් නොවන සියලු දෙනාගේ ඉතා අභාග්‍යමත් කාලයක් වනු ඇත. සාමාජීය ව්‍යසනයකට හේතු වන්නේ රටක සිවිල් නීති පද්ධතිය බිඳ වැටීමයි. එය සමාජයෙන් මතුවන නැවැත්විය නොහැකි සොරකම් සහ මංකොල්ලකෑම්, අසීමිත මත් ද්‍රව්‍ය ව්‍යාප්තිය, පොලිසියේ රැකවරණය මහජනතාවට අහිමි වීම, ජාතිවාදී අරඟල, ත්‍රස්තවාදී ක්‍රියා ආදී වශයෙන් හිස එසවිය හැක.

රටක ආර්ථිකය යම් සීමාවකට වඩා පහලට ගිය විට ජනතාවගේ ක්‍රෝධය, වෛරය සහ විරෝධය කෙලින්ම එල්ල වෙන්නේ පාලකයා වෙතටය. මෙය ඔවුන්ගේ අවසානය විය හැක. නමුත් මේ අවසානය යම් කාලයකට කල් දමාගත හැකි අවසාන තුරුම්පුව පාලකයා විසින්ම සිවිල් සමාජය බිඳ වැට්ටවීමයි. එවිට ඔවුන්ට පවතින නීති රාමුවෙන් පරිබාහිරව මර්ධන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කල හැක. මේ තත්වය අප අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ රාජ්‍යයන් කිහිපයකම දැක ඇත. එවන් තත්වයකට ලංකාව ඉතා ආසන්නයෙන් පවතින බව මට ඉවෙන් මෙන් දැනෙයි.

කල්පනාකාරී වන්න. පැහැදිලි වෙනසකට ජන විඥානය යොමුවෙමින් පවතින මේ අවස්ථාවේ එය වෙනතකට යොමු කළ හැකි අවස්ථාවාදී උපක්‍රම වල ගොදුරක් නොවන්න.