Follow this Blog

Thursday, 11 May 2017

A meal for who needs a meal...


දානේ 




මැලේසියාවේ කිසිවෙක් බඩගින්නේ නැත. මෙය මම ස්ථිරවම කියමි. ඊට හේතුව මැලේසියානුවෝ දානමය පුණ්‍යකර්මය පිළිබඳව දක්වන උනන්දුවයි. එය වසරේ දින 365 පුරාම ඇති හැඟීමකි. 

"සුප් කිචන්" ගැන ඔබ ගූගල් සෙවුමක් කර බලන්න. මැලේසියාව පුරාම ව්‍යාප්තව ඇති මෙම ස්වෙච්චා ආයතන දිනකට කෑම පැකට් දහස් ගණනක් ආහාර අවශ්‍යය අය අතර බෙදා දෙයි. මෙම ආහාර පතක ඇත්තේ ලංකාවේ ප්‍රමිතියෙන් දුගී මගී යාචකයන්ට දෙන කෑම වේලක් නොවේ. බත් හෝ නූඩල්ස්, විශාල ප්‍රමාණයේ කුකුල් මස් කැබැල්ලක් හෝ මාළු පෙත්තක් සහ එළවලු කිහිපයකි. 

මුදල් ලබා දීමේ, කෑම සකස් කිරීමේ,  සහ කෑම ලබා ගැනීමේ කාර්ය සඳහා ජාතිය, ආගම, දේශපාලනය හෝ වෙන කිසියම්ම භේදයක් අදාළ නොවේ. 

ආහාර ලබා ගැනීමට ඇති එකම සුදුසුකම ආහාර අවශ්‍යතාවය පමණකි. 

මෙම ආහාර ලබා දීමේ ක්‍රියාවලිය කෙරේ මහජනතාවගේ දායකත්වය කෙතරම්ද යත් වසර 2014 දී සකස් කරන කෑම වැඩිවී අපතේ යාම හේතුවෙන් රජය මැදිහත් වී සුප් කිචන් ආයතන කිහිපයක් වසා දැමීමට සිදු විය.  

මේ කෑම ලබාදීම සඳහා දායකත්වය දෙන්නේ කවුරුද කියා කිසිවෙක් කියන්නේ වත් සොයන්නේ වත් නැත. ඒ  තම පියා හෝ දුව හෝ අසල්වාසියා විය හැක. 


දැන් ඔබටත් සිතන්න යමක්..............



    




Monday, 10 April 2017

වෛද්‍ය විද්‍යාල පැනයට ප්‍රයෝගික විසඳුමක්


රජයෙන් SAITM වෛද්‍ය විද්‍යාල ප්‍රශ්ණයට විසඳුමක්  ඉදිරිපත් කළේය. එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) එකහෙළාම ප්‍රතික්ෂේප කරයි. එය ඔවුන්ගේ අයිතිවාසි කමකි. 

එසේම රටේ ගැටළු සහගත තත්වයක් ඇතිවූ විට එයට නොසැලෙන පිළිතුරක් දීම රජයේ යුතු කමකි. එම පිළිතුර දිය යුත්තේ රටේ අනාගත අභිවෘද්ධිය පිළිබඳව සිතාය. ලොව දියුණු යැයි පිළිගන්නා බොහෝ රටවල පාලකයින් සමහර අවස්ථාවල ඉතා කටුක තීරණ ගෙන ඇත. එම තීරණ පසු කලෙක එම රටවල සාර්ථකත්වයට බොහෝ සේ දායක වී ඇත. 

අවාසනාවකට මෙන් බොහෝ නොදියුණු රටවල පාලකයන් ඉතා බැරෑරුම් අවස්ථාවල ගන්නේ රටේ අභිවෘද්ධිය කෙසේ වෙතත් තම දේශපාලන දිවිය රැක ගත හැකි ජනප්‍රිය පන්නයේ තීන්දු හා තීරණය. මෙය ඉතා හැඩි දැඩි නායකත්වයක් ප්‍රදර්ශණය කල ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සිට පසුගිය දශක කිහිපයේ ලංකාවේ බිහි වූ බොහෝ නායකයන්ට පොදුය. 

SAITM වෛද්‍ය විද්‍යාලය කෙරේ රජයේ වෛද්‍යවරුන් දරණ දැඩි ආකල්පයට පාඩමක් ඉගැන්වීම සඳහා ඔවුන්ගේ පෞද්ගලික සේවය තහනම් කල යුතු යැයි රටේ සමහරුන් අතර මතයක් ගොඩනැගෙමින් පවතී. මෙය මුහුණත් සමග තරහ වී නාසය කපා ගනු වැනි වැඩකි. 

ලංකාවේ පෞද්ගලික රෝහල් බොහෝමයක සේවා ලබා දෙන්නේ රජයේ වෛද්‍යවරුන්ය. ඊට අමතරව වෙනත් පෞද්ගලික සායන සහ  තම නිවාස මට්ටමින්ද මේ වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරති. මොවුන් සේවය ලබා දෙන්නේ මේ රටටමය. එබැවින් මෙම සේවය තහනම් කිරීමෙන් රටට වැඩදායක පරිසරයක් නිර්මාණය වෙතැයි සිතිය නොහැක.

කලකට පසු බිහි වූ එකම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බල කරයි. නමුත් මෙහිදී ඇතිවන ගැටලුව නම් ඒ තුලින් තවත් ආර්ථික බරක් රජයේ වියදම් ගොන්නට එකතු වීමයි. පසුගිය ආණ්ඩු මෙන්ම මේ ආණ්ඩුවද අනවශ්‍ය වියදම් රැසක් සිදු කරයි. ඒවා නවතා දැමුවත් ඒ ඉතිරිවන මුදලින් වෛද්‍ය විද්‍යාලයකට මුදල් යෙදවීමට පෙර සිදු කල යුතු ප්‍රමුඛතා ලැයිස්තුවක් ඇත. එබැවින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි ලෙසම SAITM රජයට පවරාගන්නා ලෙස බල කරයි නම්, රජයට කල හැකි, රටට ඉතා වැඩදායි ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඇත. 

රජයේ වෛද්‍යවරුන් පෞද්ගලික සේවයේ යෙදෙන විට ලැබෙන මුදලින් 60%-65% අතර ප්‍රමාණයක් බදු මුදල් ලෙස රජයට ලබා ගැනීම එම විසඳුමයි. මෙම බදු මුදල්, රජයට පවරා ගන්නා වෛද්‍ය විද්‍යාලයේ පැවැත්ම සඳහා ඍජුවම වැය කිරීමට හැකි වන පරිදි නව ආර්ථික නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුය. 

රජයේ සේවය වෙනුවෙන් වෛද්‍යවරයාට සැලකිය යුතු වේතනයක් ලැබෙන බැවින් ඔහුගේ සාමාන්‍ය ජීවන රටාවට මෙමගින් බලපෑමක් ඇති නොවෙයි (ඔහු අධි සුඛෝපබෝගී ජීවන රටාවකට හුරු වී නැත්නම්). එලෙසම මේ යෝජනාවට රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව ඉතා සංවේදීව සිතන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද තම ඉමහත් සතුට පල කරනු ඇතැයි මම සිතමි. ඊට අමතරව එය සරසවි සිසුන්ගේද, ජවිපෙ, පෙරටුගාමී ආදී සමාජවාදී පක්ෂවල මෙන්ම පොදු ජනතාවගේද අමන්දානන්දයට හේතු වනු ඇත. 

මෙහිදී මෙම නව බදු ක්‍රමය නියාමණය කිරීම සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඒකාබද්ධව නිරීක්ෂණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත්වෙයි. රජයේ ලියාපදිංචි සියළු පෞද්ගලික රෝහල්, චැනල් සේවා, සායන සහ ඩිස්පෙන්සරි වලින් රෝගීන් සේවා ලබා ගැනීමට මුදල් ගෙවන විට ඊට රිසිට් පතක් ලබා දීමේ දැනට පවතින නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතුය. එලෙසම එම බදු මුදල් අදාළ ආයතනයෙන් කෙලින්ම අදායම් බදු දෙපාර්තමේන්තුවට ලැබෙන ක්‍රමයක් සැකසිය හැක. 

මීට අමතරව පෞද්ගලික මට්ටමින්, විශේෂයෙන්ම තම නිවසේ සායන පැවැත්වීම සඳහා රජයේ ලියා පදිංචිය මෙන්ම අය කරන ගාස්තුවට අදාළ රිසිට් පත් රෝගීන්ට ලබාදීමද අනිවාර්ය කල යුතුව ඇත. මෙහිදී අදාළ රිසිට් පත් ලබා ගැනීම සඳහා ජාතික මට්ටමින් ජනතාව දැනුවත් කිරීම රජය සතු යුතු කමකි. එමෙන්ම පෞද්ගලික ආයතනයකින් හෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියෙක් එම රෝගය සඳහාම ජාතික රෝහලකට ඇතුල් වන විට ඉහත ලබා ගත් ප්‍රතිකාර දිගුව (treatment history) සමග අදාළ රිසිට් පත්ද ඉදිරිපත් කරන ලෙස නීති පැනවිය හැක. මීට අමතරව යම් නෛතික කරුණක් සඳහා එම ප්‍රතිකාරය පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීමේදී අදාළ රිසිට් පත ළඟ තබා ගැනීමේ වැදගත් කම ජනතාවට තේරුම් කර දිය යුතුය. 

මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී නොයෙකුත් ගැටළු මතු වනු ඇත. එය ඕනෑම නව හඳුන්වා දීමකට සාධාරණය. එහෙත් එය අනිවාර්යයෙන්ම කල යුතුව ඇත. යමක් කල යුතු විට ඇතිවන බාධක ඉබේටම ඉවත්වෙයි. 

******************************************



ලාබ නොලබන ආයතනයක් ලෙස බිහි වූ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අප මරා දමා ඒ බර ජනතාව මත පැටවුයේ ජනතාවගේම ඔල්වරසන් හඬ මැද්දේය. මෙහි විශාලම වාසිය අත් වුයේ මැලේසියාවට, බංග්ලාදේශයට සහ එම රටවල වෛද්‍ය විද්‍යාලවලට ලාංකික සිසුන් යොමු කරන අතර මැදියන්ටය. නැවතත් ඔවුහු ජයග්‍රහණයේ එළිපත්තේ සිටිති. අපොස උසස් පෙළ ප්‍රථිපල වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට නොතේරුණු දහස් ගණනක් දරුවෝ මෙම සරසවි වලින් උගෙන ලංකාවේ පමණක් නොව ලෝකයේ දස දෙස සේවය කරති. ඔවුන් ලෝකයට හොඳ සේවයක් ලබා දෙයි. එසේ නම් මෙහිදී ප්‍රශ්ණය ඇත්තේ ලංකාවේ උසස් පෙළ විභාගයෙන් ළමුන් හලනා ස්වාභාවයේය. එබැවින් ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වීමට උසස් පෙළ ලකුණු මද වූ පමණින් තම දරුවාගේ වෛද්‍ය සිහිනය බිඳ දැමීමට දෙමව්පියන් අකමැති වීම සාධාරණය. 

SAITM ආයතනයේ නිවැරදි කිරීමට බොහෝ දේ ඇත. SAITM පමණක් නොව රජයේ වෛද්‍ය විද්‍යාල වලට පවා යම් ප්‍රතිසංස්කරණ අවශ්‍යව තිබෙන බව පෙනේ. SAITM හි වරද නිවැරදි කර එය උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට රජයට බලපෑම් කලේ නම් ඉදිරියේදී තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීමට තිබුණි. ඒ සමගම වෛද්‍ය උපාධියක් සඳහා ගෙවිය යුතු මුදලද අඩුවන්නට තිබුණි. මැලේසියාවේ සහ ජපානයේ එය එලෙසින් සිදු වුනා නම් ලංකාවේ සිදු නොවීමට හේතුවක් නැත. SAITM රජයට පවරා ගැනීමෙන් බලවත් අසාධාරණයක් සිදු වන්නේ මේ සඳහා වත්කම ඇති දෙමව්පියන්ටය. එබැවින් ඔවුන් වෙනුවෙන්ද විසඳුමක් ලබා දිය යුතුය. 

මේ සඳහා මා යෝජනා කරන්නේ ඉන්දියාවේ ට්‍රිවෙන්ද්‍රම් වැනි නගරයක ලාංකික සිසුන් ඉලක්ක කරගෙන වෛද්‍ය විද්‍යාලයක් පිටුවන ලෙසයි. උදාහරණයක් ලෙස මම අනන්තන්පූරී රෝහල සහ පර්යේෂණ ආයතනය නම් කරන්න කැමැත්තෙමි. මෙම රෝහල අති නවීන අංගෝපාංගයන්ගෙන්, ICU ඒකකකින් සහ ඇඳන් 500 කින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි වෙනමම පර්යේෂණ ආයතනයක්ද තිබේ. මෙහි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශයන්ට අනුකුලව ඉතා පහසුවෙන් වෛද්‍ය විද්‍යාලයක් සෑදිය හැක. ඒ සඳහා මෙම ආයතනයේ හිමිකරුවන් බොහෝ සෙයින් කැමති වනු ඇත. 

ට්‍රිවෙන්ද්‍රම් නගරයට කොළඹ සිට ගුවන් කාලය පැයකි. එය සතියේ දිනක උදෑසන අතුරුගිරියේ සිට බොරැල්ලට පැමිණෙනවාට වඩා අඩු කාලයකි. මෙම ප්‍රදේශයේ ජිවන වියදම ලංකාවට වඩා අඩුය. රජය හෝ ලාංකික ව්‍යවසයකයෙක් ඉදිරිපත්වේ නම් එවැනි වෛද්‍ය විද්‍යාලයකින් ලාංකික සිසුන්ගෙන් අය කරන මුදල පහල මට්ටමකට ගෙන ආ හැක. තවද මෙවැනි ආයතනයකට ප්‍රසිද්ධියක් ලබා දීමෙන් අතරමැදියන්ගෙන් තොරව අන්තර්ජාලය හරහා සිසුන්ට ලියාපදිංචි වීමේ කටයුතු ඉතා ඉක්මනින් කරගත හැකි වනු ඇත. 

නුදුරේදී ලංකාවට ආසන්නයේම, ලංකාවේ නොවන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් පහසුවෙන් ඉහල ප්‍රමිතියේ වෛද්‍ය උපාධියක් ලැබීමට ලාංකික සිසු සිසුවියන්ට හැකි වනු ඇත. ඒ තම අනාගතය පිළිබඳව බියෙන් සැලෙන්නේ නොමැතිවය. ඒ සඳහා ලංකාවේ විනිමය ඉන්දියාවට ඇදී යනු ඇත. ලාංකික "පොදු ජනයාගේ" ජයග්‍රහණය එය යැයි සිතනවා නම් එය සිදු වීම වැළක්විය නොහැක. 







Monday, 6 March 2017

ඔයාගේ caste එක මොකක්ද?


මා වරක් ඉන්දියාවේ වැඩමුළුවක් පවත්වන අතර එක් දිනක් රාත්‍රී භෝජනය සඳහා වැඩසටහනට සහභාගී වූ කිහිප දෙනෙක් මට ආරාධනා කලෝය. සවස හතට පමණ ඇරඹි අපගේ හමුව අවසන් වන විට උදෑසන 2 පමණ වී තිබුණි. පසුදා මුළු දවසම මට දේශණ පැවැත්වීමටත්, එතැන් සිටි අනෙක් යට දේශණවලට සහභාගී වීමටත් නොතිබුණා නම් අප පසුදින දහවල් වන විටත් කතාව අවසන් කර නොතිබීමට ඉඩ තිබුණි. 

එය මා සහභාගී වූ ඵලදායීම සුහඳ සාකච්චාවකි. මුලින් ක්‍රිකට් පිටියට සීමාවී තිබු අපේ කතා බහ කොතැනකදී හෝ ඉන්දියාවේ පවතින කුලවාදය වෙතට යොමුවිය. කතාව රසවත් සහ තිව්‍ර වුයේ එතැන් සිටයි. උපන්දා සිට තමාගේම ජීවන මගෙන් අත්දැකීම් එකතුකර ගත් විවිධ කුල වලට අයත් වූ මේ උගත්, බුද්ධිමත් මහතුන්ගෙන් මම පතපොතින් හෝ අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි කරුණු රාශියක් ඉගෙන ගතිමි.

රැකියාව මත පදනම් වූ කුලවාදය දකුණු ආසියාව පුරා පැතිරී ඇත්තේ වසර දහස් ගණනකට පෙර සිටය. මට ඉන්දියානු මිතුරන්ගේ කරුණුවලින් පෙනී ගියේ යම් යම් කාල වකවානුවලට සාපේක්‍ෂව එහි වාසි සහ අවාසි පැවතුන බවයි. කුලවාදයේ ඇති වාසි මොනවාදැයි ඔබට සිතුනොත් පුදුමයක් නොවේ. ජනගහණය අඩු යුග වලදී සමහර කර්මාන්ත හා ශිල්ප (උදාහරණ ලෙස කම්මල් කර්මාන්තය සහ බෙර වාදන ශිල්පය) නොනැසී පවත්වා ගැනීමට කුලවාදය පිහිට වූ බව ඔවුන්ගේ අදහස විය.

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන කාලය වන විට කුලවාදය වැඩවසම් සමාජ ක්‍රමයේ කෘරතම ඵලය වෙමින් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පිළිලයක් මෙන් ඔඩු දුවා තිබුණි. ඉස්ලාම් ධර්මය නිසා පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ (මේ රටවල් ඉන්දියාවට අයත් වකවානුවේදීම) කුලවාදය ක්‍රමයෙන් වියැකී ගියේය. වජ්‍රයාන බුදුදහමේ අභාෂය නිසා භූතානයේ කුලවාදය හිස එසේව්වේම නැත. කුලවාදයේ නිර්මාතෘ වන හින්දු ධර්මය රාජ්‍ය ආගම වූ නේපාලයේද කුලවාදයේ අඩුවක් නොවීය. පිරිසිඳු, නිර්මල බුදු දහම පවතින ලංකාවේ සිවිල් සමාජය පමණක් නොව භික්ෂු සමාජය තුලටද කුලවාදය තදින් කා වැදී තිබුණි.

නිදහසින් පසු ලංකාවේ කුල ක්‍රමය කෙමෙන් බිඳ වැටීමට හේතු වූ කාරණා කිහිපයක් ඇතිවිය. ඒ අතරින් අධ්‍යාපනයේ නිදහස, 60 දශකයේ ඇරඹි නව වෙළඳ ආර්ථික රටාව, බ්‍රිතාන්‍යය ක්‍රමයේ ආභාෂය, අඳ ගොවි පනත සහ ඉඩම් පනත ප්‍රධාන සාධක වෙයි. 

අද වන විට ලංකාවේ නව පරපුර කුලවාදයෙන් සෑහෙන්න ඈත් වී ඇත. නාගරික සමාජයේ බොහෝ දෙනෙකුට තමාගේ කුලය පිළිබඳව හෝ අදහසක් නැත. දැනට තලතුනා වියේ පසුවන පිරිස් විවාහය යන කරුණ සම්බන්ධව පමණක් තවමත් කුලය යන මාතෘකාව ඉදිරියට ගෙනෙති. හණමිටි කරේ තබාගත් තරුණ පරපුරේ කොටසක්ද ඇතත් එය සුළුතරයකි. ඔවුන් සමහර විට තම ගම් ප්‍රදේශයේදී කුලවාදී මාන්නය අවට සිටින්නන්ට පෙන්වනවා විය හැක. එහෙත් නගරබද ව්‍යාපාරික හෝ අධ්‍යාපන පරිසරයේදී ඔවුන් තම කුලය ගැන දෙඩීමට පවා ලජ්ජා වෙයි. "ඔයාගේ caste එක මොකක්ද?" කියා ඇසීමට තරම් අනුවණ පිරිස් අද ඇත්තේ අතලොස්සකි. මේ පිරිසද ක්‍රමයෙන් වියැකී යනු ඇත.

ලංකාවේ සිදු වුයේ රැකියාව මත පදනම් වූ කුල ක්‍රමය බිඳ වැටී, ඒ වෙනුවට ආර්ථික තත්වය මත පදනම් වූ පන්ති ක්‍රමයක් බිහි වීමයි. කුල ක්‍රමයට වඩා මේ පන්ති ක්‍රමයේ මූලික සාධනීය කරුණක් ඇත. එනම් කුලය උපතින්ම ලැබෙන බැවින් එය කිසිසේත් වෙනස් කල නොහැකි හංවඩුවක් වීමත්, පංතිය කෙනෙකුගේ ධෛර්ය, ඥානය, අධිෂ්ඨානය, කඩිසරකම (වාසනාවද ඇතුළුව) වැනි කාරණා මත වෙනස් කරගත හැකි වීමත්ය.

නමුත් ඉන්දීය රජයේ ක්‍රියා මාර්ගය මීට වෙනස් විය. කුලබේදය  කොතරම් ඔඩු දුවා තිබුනේද යත් ඔවුනට යම් රැඩිකල් තීරණ ගැනීමට සිදු විය. ඒ අනුව 1950 ගණන් වලදී කුලය මත පදනම් වූ කෝටා ක්‍රමයක් නීතිගත විය. උසස් අධ්‍යාපනය, රජයේ රැකියා ලබා ගැනීම සහ උසස් වීම් ලබා දීම ආදී කාරණා වලදී අඩු කුලවල ජනතාවට වැඩි අවස්ථාවක් ලබා දෙන ලදී. මෙය අද දක්වාම ඉන්දියාවේ බල පැවැත්වෙයි.

මෙම කෝටා ක්‍රමය කුල බේදයට සාධාරණ විසඳුමක් වුවා දැයි දැන් බොහෝ දෙනෙක් ප්‍රශ්ණ කරති.  මෙහිදී ඇත්තටම සිදු වුයේ කුල බේදය නීතිගත කිරීමයි. විසි එක් වන ශතවර්ෂයේ දෙවන දශකය පසු කරමින් සිටින අද දවසේද ඉන්දියාවේ කුලවාදය සමාජයේ සියලුම ස්ථරවල ගැඹුරටම මුල් බැස ඇත. ඉන්දියාවේ පමණක් නොව බටහිර රටවල්වල පසුගිය දශක දෙක තුනක් ජීවත් වූ ඉන්දියානුවන් තුල පවා මෙම කුල බේදය ඉහලින්ම පිළිබිඹු වේ. මෙහිදී උගත් බුද්ධිමත් සමාජ ස්ථර කිහිපයක් හැරුණු කොට අනෙක් බොහෝ සමාජ කොටස් තුල කුල බේදය මත පදනම් වූ දැඩි සමාජ වෛරයක්ද පවතී. බිහාරය වැනි නුගතුන් බහුල ප්‍රාන්ත වල මේ සමාජ වෛරය සමහර විට බිහිසුණු සමුහ ඝාතන ආකාරයෙන් එලි බසී.

ඉන්දියානු චිත්‍රපට පවා බොහෝ විට පදනම් වන්නේ මෙම කුලවාදය උත්කර්ෂයට නංවන ආකාරයෙනි (වීරයා අඩු කුලයේ කර ඉහළ කුලයට අයත් ප්‍රධාන කාන්තා චරිතය ඔහුට පෙම් බැඳ වීමෙන්). ඊට හේතුව මෙම චිත්‍රපට බලන බහුතරය අඩු කුලවලට අයත් දුප්පත් ගැමියන් වීමයි. මෙමගින් සිදු වන්නේ කුල පදනම් අතර වෛරය සහ පරතරය තවත් වැඩි වීමයි. එය චිත්‍රපට නිෂ්පාදකයාට හොඳ අනාගත ආයෝජනයකි.

නේපාලයේ පවා කුලවාදය හීන වී ගොස් ඇති අද දවසේ ඉන්දියාව තවමත් වැඩවසම් යුගයේය.

සමාජයේ ඍණාත්මක ආකල්ප දුරලිය හැක්කේ එය ස්ථාපිත කිරීමෙන් නොව එය ක්‍රමයෙන් වියැකී යන පරිදි දීර්ඝ කාලින වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමෙනි. කුලවාදය නිල වශයෙන්ම පිළිගැනීමෙන් ඉන්දියාව කල වරද මීට හොඳ උදාහරණයක් සපයයි.


*********************************

මම යමක් ඔබගෙන් අසමි. 

ඔබ අද දින කුලවාදය වියැකී යන ලංකාව පිළිබඳව සතුටු වනවාද නොඑසේ නම් ඉන්දියාවේ මෙන් එය ස්ථාපිත වූ ලංකාවක් නොලැබීම ගැන දුක් වෙනවාද?

ඔබේ පිළිතුර දුප්පත්කම කෙරේද අදාළ කරගන්න.

කුලවාදය, දුප්පත්කම, චන්ඩිකම, ගෝත්‍රවාදය උත්කර්ෂයට නංවන සමාජයක් ඔබට අවශ්‍ය නම් එය ඔබගේ තේරීමයි....

ඔබ වැපුරූ ධාන්‍ය ඵල ලන විට, ඔබම නෙලාගන්න. අමු වපුරා වී අස්වැන්නක් ලැබුණේ නැතැයි කියමින් අන් යට දොස් නොතබන්න. 





Thursday, 23 February 2017

දුප්පතාණෙනි...! දුප්පතෙකු සේම සිටිනු මැනව....



මහාචාර්ය යමමොටෝ වයෝවෘද්ධ විද්‍යාඥයෙකි. පසුගිය සතියේ ජපානයේ කල සංචාරයේදී මට ඔහුව හුමුවුණේ වැඩමුළුවක දිවා භෝජන විරාමයේදීය. වාසනාවකට අප දෙදෙනා තරමක වෙනස් විෂය පථ වලට අයත් වූ බැවින් අපේ කථාව විද්‍යාවෙන් ඈතට ගියේය.

"ඔබේ රටේ දුප්පතුන් ප්‍රතිශතයක් ලෙස කීයද?" මම ඔහුගෙන් ඇසුවෙමි.

"එහෙම කට්ටියක් අපේ රටේ නැහැ" යමමොටෝ මහතා මෘදු ස්වරයෙන් කිවේය. වියපත් ඔහුගේ කටහඬේ ඇත්තේ වෙව්ලන ස්වරයකි.

"ඔබ කොහොමද එහෙම කියන්නේ. ඕනෑම රටක දුප්පතුන් ප්‍රතිශතයක් සිටිනවා".

"ජපන් ජාතිකයන්ගේ අදහස අනුව දුප්පතා යනු අනෙකෙකුගේ ආර්ථික පිහිටෙන් ජිවත්වන පිරිසක්. අපේ රටේ එහෙම අය දැන් නැහැ"

"කලින් හිටියද?"

"ඔව්, මට මතක ඇති කාලය වන විට මගේ පිය සහ මව දුප්පතුන්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපේ රට ආර්ථික වශයෙන් බිමට සමතලා වුනා", යමමොටෝ මහතා ඉතා සෙමෙන් වචන ගලපයි.

"අපි කෑවේ බිව්වේ රජයෙන් නොමිළේ ලැබුණු ආහාර පාන. ඒ සඳහා අපේ පවුලට සළාක පොතක් දීල තිබුණා. ඇදුම් පැළදුම් පවා සලාකයට අපට ලබා දුන්නා. අපේ තාත්තා මේ ගැන බොහොම ලජ්ජා වුණා. වරක් ඔහු මිතුරෙකු සමග රණ්ඩුවකට පවා පැටලුනා ඔහුව දුප්පතෙකු යයි ඇමතූ නිසා".

"අපේ වැඩිහිටියෝ ඉතාම මහන්සි වෙලා වැඩ කළා. මා කුඩා කාලේ වෘතිය සමිති හෝ වැඩ වර්ජන කියා දෙයක් අසා තිබුණේවත් නැහැ. මම ඒවා ගැන ඉගෙන ගත්තේ රුසියානු පරිවර්තන කියවලා".

"ටික කාලෙකට පස්සේ රජයෙන් ඉල්ලීමක් කළා ඇති හැකි තත්වයට පත්වන අය සළාක පොත් නැවත බාර දෙන ලෙස. අපේ ගමෙන් මුළින්ම සලාක පොත බාර දුන්නේ මගේ පියා. ඒ ගැන ඔහු මැරෙන තුරුම උදම් ඇනුවා. 1950 ගණන්වල මැද භාගේදී මේ සළාක ක්‍රමය සම්පුර්ණයෙන්ම නැති කළා. ඒ තමයි රටේ දුප්පතුන්ගේ අවසන් වීම. ගමේ හැමෝම එදා උත්සව පැවැත්වුවා".

70 දශකයේ අග භාගයේදී ලංකාවේ සළාක කූපනය හෙවත් හාල් පොත අහෝසි කළදා මට තවමත් මතකය. ගුවන් විදුලිය හරහා අයවැය කියවීම අසා සිටි බොහෝ දෙනා මේ ප්‍රවෘතිය කණ වැකෙත්ම දරුණු ලෙස උරණ වුහ. අපගේ අසල්වැසියෙක් මිදුලට පිවිස "ඔය කාලකණ්නි මිනිහගේ ඔලුවට හෙණ හතක් පාත්වෙන්න ඕනේ" කියමින් එවකට සිටි පාලකයාට මහා හඬින් සාප කරන්න විය.



දුප්පත්කම යනු දකුණු ආසියාතික දේශපාලනයේ කප් රුකයි. මා දකින්නේ මෙය සමාජවාදය විසින් ලොවටම කියා දුන් පාඩමක් ලෙසයි. අපේ සෑම දේශපාලකයෙක්ම සටන් වදින්නේ දුප්පතුන් වෙනුවෙනි. ඒ දුප්පත්කම රැකගැනීම සඳහාය. එසේ නොමැතිව දුප්පත්කම තුරන් කිරීම සඳහා නොවේ.

ජපනාට දුප්පත්කම ලැජ්ජාවකි. ලාංකිකයාට එය ආයුධයකි.  

"අපි දුප්පතුන් වෙනුවෙන් මරණය තෙක් සටන් කරමු". 

"දුප්පතාට නොමිළේ දෙන දෙයට අත නොතබනු".

"අපේ ශක්තිය දුප්පත් කමයි".

මේ, ලාංකික දේශපාලකයා දුප්පත්කම උත්කර්ෂවත් කරන සටන් පාඨයි. දුප්පත්කම ආභරණයක් බැවින් එය සදාකාලිකවම ගෙලේ එල්ලාගෙන සිටීමට ඔවුන් ජනතාව පොළඹවයි. 

දුප්පත්කම තදින්ම උත්කර්ෂයට නංවන දේශපාලකයන් සහ ඉහළ පෙලේ වියතුන් කිහිප දෙනෙකුගේ දරුවන් මම පෞද්ගලිකවම හඳුනමි. ඔවුන්ගෙන් සමහරෙක් ඇමරිකාවේය, නැත්නම් යුරෝපයේ, කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේය. ලංකාවේ සිටියත් තරු පහෙන් පහළට සුළු වෙලාවකට හෝ බසින්නේ ඔවුන්ටත් දේශපාලනය කිරීමට අවශ්‍ය නම් පමණි. 

ජපානයත් ලංකාවත්, පටන්ගත් ස්ථානයත් අද සිටින ස්ථානයත් අතර වෙනස තීරණය කිරීමට මේ කාරණය බෙහෙවින් පාදක වන්න ඇති බව මගේ හැඟීමයි.

දේශපාලකයාට දුප්පත්කම ආරක්ෂා කරගත යුතුවන්නේ ඔහුට සාධනීය දේශපාලනයක් කරගැනීමට තරම් හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති වූ විටය. සාධනීය දේශපාලනය කටුකය. එය කල් ගත වන ව්‍යාපෘතියකි. ජපානය මේ සඳහා දශකයක පමණ කාලයක් ඉතා දුෂ්කර ගමනක් ගියේය. සිංගප්පුරුවට, තායිවානයට සහ දකුණු කොරියාවට ඊට වඩා අඩු දුෂ්කරතාවයකින් දශක තුනක් පමණ ගත කරන්න සිදු විය. මැලේසියාව, තායිලන්තය, වියට්නාමය තවමත් ගමන් කරයි. මන්ද ඔවුන්ගේ දේශපාලනයේ යම් කොටසක් තවමත් දුප්පතුන් මත යැපෙන බැවිනි.

සියයට සියයක්ම දුප්පත්කම මත යැපෙන ලාංකික දේශපාලනය තවත් චිරාත් කාලයක් මේ ගමන යනු ඇත.









Saturday, 21 January 2017

ක්‍රෝටන් කොළ, කොස් කොළ සහ ජනතාව




අසූව දශකයේ පැවති ජනපතිවරණ වේදිකාවේ ජනාධිපති අපේක්‍ෂක රණසිංහ ප්‍රේමදාස මහතා ඉතා ආකර්ෂණීය ලෙස දේශපාලන පොරොන්දුවක් ඉදිරිපත් කළේය.

"මේ රටේ හාමතේ ඉන්න උදවියට මම පාන් කන්න දෙනවා 
පාන් කන අයට බත් පිගානක් දෙනවා 
බත් කන අයට බුරියානි එකක් දෙනවා 
බුරියානි කන අයට අතුරුපසට කෙසෙල් ගෙඩියක් දෙනවා ....."

රටේ සෑම ස්ථරයකම ආර්ථික තත්වය නගා සිටුවන බව එදා ප්‍රේමදාස මහතා පැවසුවේ එලෙසයි...

තවත් තැනකදී ප්‍රේමදාස මහතා මෙසේ කිවේය.

"කකුල පිච්චි පිච්චි ඇවිදින අප්පුහාමිලට මම සෙරෙප්පු දෙනවා 
සෙරෙප්පු දාපු සිරිපාලට සපත්තු දෙනවා"

ප්‍රේමදාස මහතා කකුලේ ඇඟිලි තුඩු වලින් ඉස්සෙමින් තම රළු, ග්‍රාම්‍ය කටහඬින් මේ කරුණු ඉදිරිපත් කරන විට මහජනතාව ඔල්වරසන් හඬ දෙමින් ඔහුට චන්දය ප්‍රකාශ කිරීමට පෝලිම් ගැසුනේය. ඔහු තම පොරොන්දු ඉටු කලාද නැද්ද යන්න මම විග්‍රහ කිරීමට උත්සහ නොකරමි.

ඊට දශක දෙකකට පසු එම පක්ෂයේම ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ මහතා මේ කාරණය කිව්වේ මෙලෙසයි. 

"අපි මේ රටේ නංගිලාට මල්ලිලාට රත්තරං බ්‍රේස්ලට් දෙනවා 
බුලත් විට කන මාමලාට චුවින්ගම් හපන්න දෙනවා 
අමුඩේ ගහගෙන මඩේ බහින ගොවි රාළලාට ඩෙනිම් කලිසම් අන්දනවා"

මෘදු කටහඬින්, ඕලාරික ස්වභාවයෙන් මේ කතාව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ අනාගත්තා පමණක් නොව ජනතාව ඉදිරියේ පෞරුෂයෙන් තොර කවටයෙකු බවට පත් විය.

මේ සිද්ධිය මට මතකයට නංවන්නේ මෑතකදී ඇතිවූ ආදේශක ආහාර පිළිබඳ කථිකාවතයි.

මා කිහිප විටක් පවසා ඇති ආකාරයට ලංකාවේ මිනිසුන් මූලික අවශ්‍යතා සපුරා ගැනීමේදී කරන වැරදි කිහිපයක් මුළු රටේම ආර්ථිකය බිඳ දැමීමට හේතුවෙයි. කාන්තාවගේ ප්‍රධාන ඇඳුම (රජයේ සේවය සඳහා නිල ඇඳුම) වන සාරිය 100% ක් ආනයනය කරයි. රටේ සම-ප්‍රධාන ආහාරය වන පාන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් කෑම වර්ග සාදන තිරිඟු පිටි 100% ක් ආනයනය කරයි. ලැයිස්තුව බොහෝ දිගය. මේ ආකාරයට රටකට ඉදිරියට යා නොහැක. එක්කෝ අප මෙම පුරුදු වෙනස් කරගත යුතුය නො එසේ නම් පුරුද්ද පවත්වාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය /නිමි ද්‍රව්‍ය මෙරටේ නිෂ්පාදනය කරගත යුතුය.

මේ අනුව නියඟයක් ඇතිවුනා හෝ නැතිවා හෝ අප දේශීයව ලබාගත හැකි ආදේශක ආහාර වලට සංක්‍රමණය වීම ජාතික අවශ්‍යතාවයකි. මෙහිදී කොස් පොළොස්, දෙල්, බතල, මයියොක්කා, ගහල, කොමඩු වර්ග ආදී මෙම කාර්ය සඳහා යොදාගත හැකි ආහාර භෝග වර්ග රාශියක් ලංකාවේ ඇත. මේවායින් සමහර භෝග සඳහා ජලය අවශ්‍ය වන්නේ ඉතා ස්වල්ප වශයෙනි. 

කෘෂි ඉංජිනේරු පර්යේෂණ අංශයේ යුතුකම වන්නේ මෙම ආහාර භෝග ඕනෑම තත්වයක් යටතේ වගා කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කිරිමත් ජනතාවට පහසුවෙන් ආහාර සකස් කරගත හැකි ආකාරයෙන් මූලික ඵලදාවට අගය එකතු කිරීමත්ය. උදාහරණයක් ලෙස; බතල පිටි වලින් පාන් සහ වෙනත් බේකරි නිෂ්පාදන සෑදිය හැකි පරිදි වැඩි දියුණු කිරීමට මීට වසර 25ට පමණ පෙර ලංකාවේ තාක්‍ෂණවේදීන් සමත් විය. එහෙත් තිරිඟු පිටි ආනයන මාෆියාව විසින් මෙම සොයා ගැනීම යටපත් කරන ලදී. මෙක්සිකෝවේ සහ කොලොම්බියාවේ මයියොක්කා පිටි වලින් පාන් පමණක් නොව පිට්සාද සාදනු මම දැක ඇත්තෙමි. එම ආහාර තිරිඟු පිටි නිෂ්පාදන වලට වඩා බොහෝ සෙයින් රසවත්ය. 

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ මේ පිළිබඳව ඉතා සුභදායි දේශපාලන දැක්මක් තිබුණේය. එහෙත් එම රජයේ සමහර අදුරදර්ශී ප්‍රතිපත්ති නිසා මෙයින් නිසි ඵල නෙලා ගැනීමට නොහැකි වූ බව මගේ හැඟීමයි. 

පසුගියදා මෙම රජයේ අමාත්‍යංශ නිලධාරීහු තම අගමැතිවරයා අනුගමනය කරමින් මෙම මහඟු කර්තව්‍ය පුර්ණ විකටාංගයක් බවට පත් කලෝය. 

නියගයට මුහුණ දීමට නම් ක්‍රෝටන් කොළ, කොස් කොළ, තේ දළු ආහාරයට ගැනීමට ජනතාව හුරු කරවිය යුතු බව ඔවුන් පවසයි. මෙය මහා විකාර සහ හාස්‍යජනක ප්‍රකාශයකි. නියගයකට ඔරොත්තු දෙන ක්‍රෝටන්, කොස්, තේ වර්ග සොයා ගැනීම ලෙහෙසි නැත. අනෙක් අතට තේ දළු කෑමට වඩා කාර්ගිල්ස් එකකින් බාස්මතී සහල් මිලදී ගැනීම ලාබ දායක වනු ඇත. ක්‍රෝටන් කොළ, කොස් කොළ කෑමට පෙර මේ රටේ වැඩි දියුණු කර භාවිතය ප්‍රචලිත කල යුතු ආහාර වර්ග බොහෝ ඇත. 

සමස්ථයක් වශයෙන් මා දකින්නේ මේ රටේ දේශපාලන දර්ශණය පූර්ණ ප්‍රතිශෝධනයකට ලක් කිරීමට කාලය එළඹ ඇති බවයි. දේශපාලකයාට රුපියල් මිලියන සිය ගණනක් වටිනා වාහන ආනයනය කරමින්, එය සාධාරණීකරණය කරමින් සිටිනා කාලයක මහජනතාවට කොස් කොළ කෑමට සුදානම් වන්න යැයි පැවසීම සමාජය තුලින් පාලකයා කෙරෙහි දරුණු වෛරයක් ඇති කිරීමට හේතු වන බව සියල්ලෝම සිහි තබා ගැනීම යෙහෙකිය. 



Tuesday, 10 January 2017

සුදු සුදු ලෙසත්, අළු අළු ලෙසත්, කළු කළු ලෙසත්....




මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දකුණු අධිවේග මාර්ගය සාදා නිම කළේය. ඒ පිළිබඳව බොහෝ වාද විවාද ඇතිවිය. වසර කිහිපයකට පසු මහා කඳු පවා නාය ගිය අධික වර්ෂාපතනයක් ඇතිවිය. අධිවේග මාර්ගයේ ස්ථාන කිහිපයක කාපට් තට්ටුව ගැලවී ගොස් තිබුණි. මහින්ද විරෝධියෝ ආසියාවේ ආශ්චර්යය යැයි සරදම් පාමින් එම ගැලවී ගිය කාපට් තට්ටුවල පින්තුර දැමීය. 

අධිවේගී මාර්ගය සැදීමේදී එයට අසාධාරණ ලෙස ඉතා අධික මුදලක් වැය කිරීම අපි දැඩිව විවේචනය කළෙමු. එහි තිබු වරද මා දකින තරමින් එයයි. එහි තාක්‍ෂණයේ විශාල ගැටළු සහිත ක්‍රමවේදයක් තිබුණේ නැත. යුරෝපයේ සහ ඇමරිකාවේ පවා මිනිසුන් අතින් වූ නිමැවුම් ස්වභාව ධර්මයාට අවනත වී සුන්බුන් වන අයුරු අපි අනන්තවත් දකිමු.

තමා සුදු යැයි සම්මත කරගත් චරිතය තාර නෑවත් පෙනෙන්නේ සුදටය. කළු චරිතය කිරෙහි ගිලී සිටියත් කළුමය.

මේ මිනිසුන් සුදු සහ කළු ලෙස බෙදීම දේශපාලනයෙන් පටන්ගෙන ලංකික ජන විඥාණයේ සෑම අස්සකට මුල්ලකටම ඇදී ගිය මනෝ භාශිකයකි.  ලංකාවේ අප දකින සමාජීය සහ ආර්ථික වශයෙන් පිරිහීමේ ප්‍රධාන මූලය මෙය යැයි මට සිතේ.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය පිළිබඳව මම දැඩි විවේචනාත්මක ලිපි කිහිපයක්ම පළ කලෙමි. මා දකින ආකාරයෙන් එහි සිදුවූ විශාලම වරද නම් ජාත්‍යන්තර වරායක් ගොඩනැගීමේදී අනුගමනය කල යුතු ව්‍යාපාරික ක්‍රමෝපායන් කිසිවක් කෙරේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොකිරීමයි. මෙබඳු වරායක් ගොඩනැගීමේදී යෝජනාව අනුමත වූ වහාම අළෙවි ව්‍යාපෘතිය (marketing campaign) ඇරඹිය යුතුය. මේ සඳහා නාවුක අළෙවි කළමනාකරණය පිලිබඳ හසළ දැනුමක් සහිත අළෙවි ප්‍රවර්ධන කණ්ඩායමක් යෙදවිය යුතුය. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් මේ කිසිත් සිදු වුයේ නැත. ප්‍රතිඵලය වුයේ හම්බන්තොට වරාය අධිවේගී මාර්ගයට පිටතින් ඉදිකළ බුලත් විට කඩයක් වීමයි (අධිවේගී මාර්ගයේ වාහන දහස් ගණනක් දිනකට ගමන් කලත් බුලත් විට කඩයට වෙළදාමක් ලැබෙන්නේ නැත). 

ඉන් පසු මෙම වරාය විවෘත කිරීම තම පදවි ප්‍රාප්ති සැමරුම් උළෙල හා සමගාමිව සිදු කල යුතු බැවින් (මා දන්නා තරමට) බොහෝ භෞතික කරුණු අමතක කර ජැටියට ජලය ඇතුළු කළේය. මෙහි ප්‍රතිඵලය වුයේ ජලය නොමැතිව පහසුවෙන් ඉවත් කල හැකිව තිබු වරාය මුව විටෙ වූ ගල්පරය සඳහා ඩොලර්  මිලියන 42ක් මහජන මුදලින් වැය වීමයි. මෙය එම රජය අතින් සිදු වූ බරපතල වරදකි. 


මේ කරුණු හැරුණු විට හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මා දකින්නේ කල්ගත වී හෝ සිදු කෙරුණ හොඳ ආයෝජනයක් ලෙසටයි. ඉහත කරුණු දෙක නිසා ඇද වැටුණු මේ ව්‍යාපෘතිය කෙලින් කරලීමට බහුවිද ක්‍රමවේදයන් තිබෙන බව මගේ මතයයි. වරාය චීනය සතු කිරීම එහි කළු පැහැම කෙළවරයි. ඒ වෙතට යාමට පෙර ගත යුතු ක්‍රියා මාර්ග රාශියක් තිබුණි. මහින්ද රාජපක්ෂ රජයෙන් මේ සඳහා කිසිඳු උත්සහයක් ගත බව මට නොපෙනුණි. ඔවුන්ට අවශ්‍ය වුයේ පෙර කොළඹට පැමිණි වාහන රැගත් නෞකා බලහත්කාරයෙන් හම්බන්තොට වරායට පිටත් කිරීමයි. ඉන්පසු මේ නෞකා වලින් ගොඩබාන වාහන රූගත කර විශාල ප්‍රවෘතියක් බවට පත් කිරීමයි. කිහිපවරක්ම වරායට පැමිණෙන නැව් නැටුම් ගැයුම් වැයුම් සමගින් පිළිගත්තේද සංදර්ශනයක් සඳහාම පමණකි. 
  

"ඔය යුද්දේ දිනුවේ රාජපක්ෂයෑ, හමුදාවේ සොල්දාදුවොනේ" මේ රාජපක්ෂ විරෝධී කඳවුරේ සංකල්පයයි.

පශ්චාත් යුධ සමයේ සිදුවූ වැරදි වෙනුවෙන් තිස් වසරක් තිබු යුධය නිමා කිරීමට මහින්ද රාජපක්ෂ චරිතය විසින් සිදු කල අසමසම කර්තව්‍ය මකා දමනවා නම් එය නැවතත් ජාතියක් වශයෙන් අප සිදු කරගන්නා විශාල වරදකි. මන්ද එබඳු ලඝු කිරීමකින් සිදුවන්නේ අප නැවතත් රටක් ලෙස පරාදීන චින්තනයකට අනුගත වීමයි. එය අනාගතයේදී නිර්භීත නායකයෙක් බිහි වීමට ඇති මං ඇහිරීමක් වනු ඇත. සිංහයන් දහසක හමුදාවකට එක් බූරුවෙක් නායකත්වය දුන හොත් සටන කෙලවර වන්නේ සිංහයන් සමග බූරුවාගේද දිවි කෙලවර වීමෙනි.  එහෙත් එක් සිංහයෙක් නායකත්වය දෙන බූරු හමුදාවකට සටනක් අපහසුවෙන් හෝ ජයගත හැකි වනු ඇත. 

"මොනවා නැතත් යුද්දේ දිනෙව්ව නායකයා බලයේ ඉන්න ඕනේ" මේ රාජපක්ෂවාදී කඳවුරේ තර්කයයි. 

තම නායකයාට ඇති ලැදියාව නිසාම ඔහුගේ  සාර්ථකත්වය පිළිබිඹු කල යුද්ධය අවසන් වූ පසුත් ඒ තුලම ජීවත්වීම මානසික විශාධියකි. ලංඩනයේ හෝ මදුරාසියේ කොටි කොඩිය වනමින් තරුණයෙක් කෑගසන විට "මගේ අම්මෝ යුද්ධය ආයෙත් එනවෝ. මහින්ද රාජපක්ෂ නැතිව බැරියෝ" කියමින් වතපොතේ විලාප දෙන්නේ මේ මානසික අසංතුලිත තත්වයෙන් පෙලෙන්නවුන්ය. ජාතියක් වශයෙන් ඉදිරියට යාමට නම් අප මේ මානසික ව්‍යාධියෙන් මිදිය යුතුය. 

රනිල් වික්‍රමසිංහ රජයට තම ව්‍යාපාරික හැකියාව පිළිබඳව අංශු මාත්‍රයක විශ්වාසයක් නැති සේයකි. ඔවුන් රටේ සියලුම ව්‍යාපෘති කළමනාකරණ මට්ටමින් හෝ වෙනත් රටකට ලබා දීමට උත්සුක වෙයි. හම්බන්තොට වරාය චීනයට පවරා ගැනීම මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම තිබු චීන සැලැස්මයි (මේ පිළිබඳව මම පෙර ලිපි කිහිපයකම සඳහන් කලෙමි). නොඑසේ නම් ඔවුනට මෙම ව්‍යාපෘති ක්‍රියාන්විතයේ ඇති අඩුපාඩු මගහරවා ගැනීම සඳහා ලංකා රජයට උපදෙස් දීමට හෝ බල කිරීමට අවස්තාව තිබුණි. එහෙත් ඔවුන් එය සිදු කලේ නැත. මා බොහෝ අප්‍රිකානු රටවල දැක ඇති පරිදි ඔවුන් එය කිසි විටෙක කරන්නේද නැත. ඔරුව මොන පිට පෙරළුණත් ඔවුන් ජයග්‍රහණය කර ඇත. 

තරුණ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන එන විට මම තරුණ වියට පා තබමින් සිටියෙමි. එම ධවල පත්‍රිකාවට එරෙහිව නැගී සිටි බොහෝ දෙනෙකුට එහි වුයේ කුමක්දැයි යන්න පිළිබඳව දැනුමක් ඇතැයි මම නොසිතමි. ඒ පිළිබඳව පැහැදිලි තත්ව විශ්ලේෂණයක් ලබා දීමට එදා රනිල් වික්‍රමසිංහට වුවමනාවක් තිබුනේ නැත. ඔහු සිතුවේ ඔහුට ඔහු නිවැරදියි සිතන ඕනෑම දෙයක් කල හැකි බවයි.  

අද වියපත් රනිල් වික්‍රමසිංහ කටයුතු කරන ආකාරය එදාට වඩා අංශු මාත්‍රයකින්වත් වෙනස් වී නැත. එට්කාව මෙන්ම හම්බන්තොට ඉඩම් චීනයට පවරාදීම පිළිබඳවත් රටේ විශාල කලබගෑනියක් සිදුවෙමින් පවතී. රනිල් වික්‍රමසිංහට ඒ පිළිබඳව වගක් නැත. තමා කරන දේ නිවැරදිය යන උඩඟු මතයෙන් පහලට බැස ජනතාවට කරුණු පැහැදිලි කිරීමට ඔහුට කිසිඳු වුවමනාවක් නැත. මැදිවිය පසුකල මම එදා මෙන්ම අදත් මේ විගඩම දෙස බලා සිටිමි. වෙනස නම් එදා රූප රාමුව තුලම සිට එය නැරඹු මා අද සැතපුම් දහස් ගණනක් එපිට සිට එය සිදු කිරීමයි. 

ලංකාවේ ඇගළුම් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ පුරෝගාමී වු, කලකට පෙර අග්‍රගණ්‍ය ව්‍යාපාරික ආයතනයක් මේවන විට අප්‍රිකානු රටවල් දෙකක දැවැන්ත ප්‍රමාණයේ කර්මාන්ත කලාප කිහිපයක් බිහිකර ඇත. ඒ සඳහා මෙම ආයතනයට විශාල බිම් ප්‍රමාණයක් එම රටවල් මගින් කල් බදු ක්‍රමයට ලබා දී ඇත. මෙම කර්මාන්ත කළාප මගින් මෙම ලාංකිකයා (ආයතනයේ හිමිකරු) එම රටවල බිහි කර ඇති රැකියා සහ අනෙකුත් උප-ව්‍යාපාරික අවස්ථා දුටුවහොත් ඔබ හූල්ලනු ඇත. 

දැනට ලංකාවේ ඇති ඉහළම තලයේ ඇගළුම් කර්මාන්තයටම අදාළ ආයතනයක් ඉන්දියාවේ විශාකපට්නම්හි හෙක්ටෙයාර 3000 ක පමණ වපසරියකින් යුත් කර්මාන්ත කලාපයක් බිහි කර ඇති බව ඔබ නොදන්නවා විය හැක. මම ඔවුන්ගේ අකුණු ආරක්ෂණ උපදේශක වරයා ලෙස මීට වසර හත අටකට පෙර කිහිප වරක් එහි ගොස් ඇත්තෙමි. ආන්ද්‍රා ප්‍රදේශ රජය මෙම ආයතනයට කල් බදු ක්‍රමයට මෙම ඉඩම් දුන්නා පමණක් නොව විශාකාපට්නම් නගරයේ සිට කර්මාන්ත පුරය දක්වා වූ මහාමාර්ගය, ජල සැපයුම, අප-ජලය බැහැර කරන පද්ධති ආදී සියලුම පහසුකම් සපයා ඇත. ඒ වෙනුවෙන් මෙම ප්‍රදේශයට ඍජු හා වක්‍ර රැකියා ලක්ෂ ගණනක්ද, දහස් සංඛ්‍යාත උප-ව්‍යාපාර අවස්ථාද මෙම ආයතනය විසින් ලබා දී ඇත. 

ලාංකිකයන් වෙනත් රටවල කර්මාන්ත කළාප බිහි කරන විට ඒ රටවල ජනතාව ඔවුන් සිප වැළඳ ගනිද්දී, වෙනත් රටකින් ලංකාවේ ආයෝජනය කරන්න පැමිණෙන ආරංචියටම පළාත් වාසිහු ගල් මුල් ප්‍රහාරයන් එල්ල කිරීම අරඹති. මෙහි වරද මා දකින්නේ ජනතාවගේ නොව දේශපාලකයගේය. 

මෙම කර්මාන්ත කළාපය සඳහා ඉඩම් දෙනු ලබන පදනම කුමක්ද, ඒ සඳහා ලබාදෙන යටිතල පහසුකම් මොනවාද, ව්‍යාපෘතිය මගින් සිදුවන පාරිසරික බලපෑම පිළිබඳ අධ්‍යන වාර්තාව කුමක්ද, ව්‍යාපෘතියට කොපමණ චීන ජාතිකයන් පිරිසක් පැමිණෙනවාද, ලාංකිකයන්ට කොපමණ රක්ෂා සහ ව්‍යාපාරික අවස්ථාවන් ලැබෙනවාද, ආදී කරුණු රාශියක් රනිල් වික්‍රමසිංහ රජය පසින් පැහැදිලි කලයුතු වෙයි. එමෙන්ම විරුද්ධ පක්ෂය ජනතාව කුපිත කරවන්නේ නැතුව නිවැරදි සහ නිර්දය ලෙස රජය ප්‍රශ්න කල යුතු වෙයි. මෙය අද සිදු වනවාදැයි ඔබම සිතන්න. 


පසුගිය කාලයේ මා බෙහෙවින් ඇලුම් කල කථිකයන් සිටින පක්‍ෂයක් නම් ජනතා විමුක්ති පෙරමුණයි. දීර්ඝ කාලීනව පැවතුන සියලු පක්ෂවලට තම අතීත කතාවේ කළු පැහැති පැල්ලම් ඇත. ජවිපෙටද එසේමය. එහෙත් වර්තමානයේ අනෙක් සියලුම ප්‍රධාන පක්ෂ මඩ ගැසීම සහ මඩ සෝදා ගැනීම තම පරම ක්‍රියාන්විතය ලෙස සලකමින් පිළුණු වූ සහ ඇල් මැරුණු දේශණා පවත්වද්දී ජනතා විමුක්ති පෙරමුණ පමණක් යම් පමණකට හෝ හෙට දිනය වෙනුවෙන් කලයුතු දෙය පිළිබඳව යම් කතිකාවතක් ගොඩ නගමින් සිටියි. එහෙත් ඔවුන්ද තම ජනප්‍රිය "නැහැ-බැහැ-එපා" සංකල්පයෙන් ඔබ්බට පිය නැගිය යුතුව ඇත.


නවසිය අනුව දශකයේ දෙවන භාගය මා වැඩිපුරම ගතකලේ ස්වීඩනයේය. එවකට ස්වීඩන රජයේ අමාත්‍යවරියක වු මෝනා සලීන් ඊළඟ අගමැති ලෙස පත් වෙතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබාගෙන සිටියේය. එහෙත් අවාසනාවකට, ඇයට එරෙහිව, එවකට ස්වීඩනයේ ප්‍රමිතියෙන්, ඉතා බරපතළ වූ චෝදනාවක් නැගුණි. එනම් තම සේවා කටයුතු සඳහා ලබාදී තිබූ ණයවරපතින් ඇය තම පෞද්ගලික කටයුතු සඳහා ක්‍රෝනර් 50,000 ක් (ඩොලර් 6500 පමණ) වියදම් කර ඇති බවයි. එම චෝදනාව පිළිගත් මෝනා සලීන් එම මුදල දඩ මුදලකුත් සමග ගෙවා දැමුවත්, එම සිද්ධිය ඇයට අගමැතිධුරය අහිමි කිරීමට ප්‍රධාන හේතුවක් විය. 

මෙම කතාව මා මෙහිදී ඉදිරිපත් කලේ වෙනත් විශේෂ යමක් අවධාරණය කිරීමටය. මෙම සිද්ධිය ඇතිවූ සමයේ මෝනා සලීන් ගේ විරුද්ධවාදීහු ඇයව උපහාසයට ලක් කරමින් ප්‍රවෘති පත්‍ර වල නොයෙකුත්  ලිපි සහ කාටුන් පළ කලෝය. එම කාටූන් වල බොහෝ විට තිබුණේ ඇය විශාල බඩු මල්ලක් ඔසවාගෙන ණයවර පත පෙන්වමින් ගෙදර යන ආකාරයයි. ලිපි වලින් විග්‍රහ කෙරුණේ මෝනා සලීන් ගේ ක්‍රියා කලාපය ස්වීඩන් ජාතිකයන්ගේ ජන විඥානය දුෂණය කිරීමට ඉවහල් විය හැකි ආකාරය පිළිබඳවයි. කිසිම ආකාරයකින් ඇයගේ පෞද්ගලික ජීවිතය, ලිංගික ප්‍රවණතා, ශරීර අංගෝපාංග පිළිබඳව ජනමාධ්‍ය තුල හෝ එදිනෙදා කතා බහේදී සඳහන් වුයේ නැත.

එහෙත් ලංකාවේ......

එකයි අපි වෙනස් කියන්නේ 

Thursday, 5 January 2017

අශ්වයා ගිය පසු ඉස්තාලය රෙපෙයාර් කිරීම හෙවත් ලංකාවේ වොක්ස්වැගන් කම්හල



පසුගිය මහා මැතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා චන්ද පොරොන්දුවක් දෙමින් කුරුණෑගල වොක්ස්වැගන් මෝටර් රථ නිපදවන කම්හලක් ඉදිකරන බවට ප්‍රතිඥා දුන්නේය. මෙහිදී කුරුණෑගලම මේ සඳහා තෝරාගැනීම දේශපාලන උපායක් පමණකි. පසුගියදා මහා ශබ්ද පූජා මැද්දේ මෙම කම්හලට මුල්ගල තබන ලද්දේ වොක්ස්වැගන් ආයතනයේ කිසිවෙකුගේත් සහභාගිත්වයෙන් තොරවය. මේ ගැන බොහෝ තැන්වල කසු කුසු ඇසෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු ලෙසම අනාගත්තේය. 

- 2015 අවුරුද්දේදී වොක්ස්වැගන් කර්මාන්තයක් ආරම්භ කිරීමට තීරණය කළද, ජාත්‍යන්තරයේ එම කර්මාන්තය බිඳ වැටීමකට ලක්වෙමින් පැවති නිසා අවසානයේ වෙස්ටර්න් ඔටෝ මොබයිල් සමාගම එක්ව මෙම කටයුත්ත ආරම්භ කළ බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. - දෙරණ 06/01/2017

ජාත්‍යන්තරයේ එම කර්මාන්තය බිඳ වැටේ නම් එය අපි පටන් ගන්නේ කුමකටද?

කාල් බෙන්ස් 1886 දී තුන්-රෝද කාරය සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමෙන් ඇරඹි මෝටර් රථ කර්මාන්තය, අද දැවැන්ත ප්‍රමාණයේ පරිවර්තනයක එළිපත්තට පිවිස ඇත්තේය. පෙට්‍රල් හෝ ඩීසල් යන ඉන්ධන යොදාගෙන, සම්ප්‍රදායික එන්ජිමක් පණ ගන්වා, රෝද හතරක් උඩ දුවන "කාරය" තව ටික කලෙකින් "පන්ච් කාර්ඩ්" යුගයේ පරිඝනකයක් බවට පත්වනු ඇත (කී දෙනෙක් මේ පරිඝනක දැක ඇත්දැයි නොදනිමි). දැනටමත් හයිඩ්‍රජන්, සුර්ය කෝෂ වැනි බලශක්තින්ද, සුපිරි ධාරිත්‍රක (super capacitor) වැනි බලශක්ති ගබඩා කරන නව තාක්‍ෂණද යතාර්ථයක් බවට පත්ව ඇත. සම්ප්‍රදායික එන්ජින් රහිත, ගොඩබිමින් සහ ගුවනින් යා හැකි මෝටර් රථ දැන් පරීක්ෂණාගාරයෙන් එලියට විත් ප්‍රදර්ශණ කුටි වෙත පිය නගමින් ඇත. නුදුරු අනාගතයේම ඒවා සාමාන්‍ය ජනතාව අතරට යනු ඇත.

මීට වසර හයකට පමණ පෙර, මම ස්වභාවික ව්‍යසන නිරීක්ෂණය කල හැකි ඩ්‍රෝන යාත්‍රාවක් සඳහා ව්‍යාපෘති යෝජනාවක් ගොඩනැගුවෙමි. එම ව්‍යාපෘතිය සඳහා මා ඇස්තමේන්තු කල මුදල ඩොලර් 70,000 කි. එය ඉතා හොඳ යෝජනාවක් ලෙස අනුමත විය. එහෙත් මා ඊට සමගාමිව එම පර්යේෂණ අරමුදල සඳහාම තවත් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර තිබුන බැවින් (එවකට මැලේසියාවේ ක්‍රමවේද පිළිබඳව මගේ තිබු නොදැනුවත් කම නිසා) මට ඉන් එකක් පමණක් තෝරා ගැනීමට සිදු විය. පෙර වාසනාවකට මම මෙම ඩ්‍රෝන ව්‍යාපෘතිය හලා දමා අනෙක තෝරා ගතිමි. 

ඊට වසර තුනකට පසු මෙම පර්යේෂණ මාලාවම උපාධි අපේක්ෂක සිසුවෙක් තම අවසන් වසර ව්‍යාපෘතිය ලෙස තෝරාගෙන ඩොලර් 600 වැනි මුදලකින් ඉතා අගනා ආකාරයෙන් නිම කළේය. අද එම ඩ්‍රෝන යානය ඩොලර් 70 කට වෙළඳ පොලෙන් මිළදී ගෙන තව ඩොලර් 50 ක් වියදම් කිරීමෙන් පසු මගේ යෝජනාවට වඩා වැඩි ඵලදායි තාවයකින් යුතු නිරීක්‍ෂණ පද්ධතියක් නිම කල හැක. 

එදා උපාලි විජේවර්ධන මහතා මෝටර් රථ නිපදවන විට එවකට පැවති රජය ඔහුට සහයෝගය දුන්නා නම් (අඩු තරමින් කකුලෙන් නොඇද්දා නම්) අද අපි දකුණු කොරියාවට ආසන්නය. එහෙත් අද මෝටර් රථ සාදන්න යාමෙන් අප නතර වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයට නුදුරෙනි. 

අඩුම ගණනේ ඊළඟ වසර පහ තුල ලෝක ආර්ථිකයේ සහ තාක්‍ෂණයේ හැසිරීම ගැන ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමෙන් පසු ව්‍යාපෘතියක් එළිදැක්වීමේ සිරිතක් ලාංකික දේශපාලකයාට එදා තිබුනෙත් නැත. අදත් නැත.