Sunday 28 March 2021

අනුරාධපුරයේ මහා සෑ ත්‍රිත්වයේ පිහිටීමට රණවිරු මහා සෑයේ බලපෑමක් ඇත්ද?

මා මේ ලියන්නේ මට කිසිසේත්ම අවබෝධයක් නොමැති කරුණක් සම්බන්ධවයි.

ගිය සිකුරාදා අප සරසවියේ මහාචාර්යවරුන් කිහිප දෙනෙකු අතර ඇතිවූ සතුටු සාමිච්චියකදී ඊජිප්තුවේ මූලික පිරමිඩ තුන පිළිබඳව කතා බහක් ඇතිවිය. එහිදී එක් මහාචාර්යවරයෙක් කියා සිටියේ මෙම පිරමිඩ තුන මගින් මානවයාට ගෝචර නොවන යම් බලවේගයන් අතර අන්තර් සම්බන්ධිත සංවේදනයක් සිදුවන බවයි. මම සාමාන්‍යයෙන් මෙවැනි අද්භූත කතා පිළිබඳව සැලකිල්ලක් නොදැක්වුවත් සංවාදය රසවත් වූ බැවින් අවධානය යොමු කරගෙන සිටියෙමි. 

මෙහිදී කිහිප දෙනෙකුගේම මතය වුයේ මෙම ශිෂ්ඨාචාරය පැවති වසර 3000 පමණ කාලය තුල (මෙම ශිෂ්ඨාචාරය අවසන් වී තවමත් ගතව ඇත්තේ වසර දෙදහසක් පමණ වේ) කිසිදු පාලකයෙක් මෙම පිරමිඩ තුනට යන්තමින් හෝ සමාන ප්‍රමාණයෙන් වෙනත් පිරමිඩ සාදා නැති බවයි. ඊට හේතුව මේ සන්නිවේදන ජාලයට එයින් බලපෑමක් ඇතිවිය හැකි වීම බව ඔවුන්ගේ මතය විය. මෙම සන්නිවේදන අද දක්වාම කෙරෙන බවත් තව වසර දහස් ගණනක් එලෙසම පවතින බවත් ඔවුන්ගේ මතය විය. 

මගේ පුදුමයට මෙන් එතන සිටි සියලුම වියතුන් පාහේ මේ කතාව තරයේ විශ්වාස කරන බව මට වැටහුණි. ඊළඟට ඇසුණු කතාවෙන් මගේ පුදුමය විශ්මයක් බවට පත්විය. 

මුලින් කතාව පටන් ගත් මහාචාර්යවරයා පැවසුයේ මෙම පිරමිඩවල වඩා සාර්ථක වූ නිර්මාණයක් ශ්‍රී ලංකාවේ පවතින බවයි. ඒවායේ ව්‍යුහයන්ගේ (structures) හැඩය සහ මාන අනුව ඇතිවූ වැඩි කාර්යක්ෂමතාවය නිසා ඒවා වඩා කුඩාවට සකසා අවශ්‍ය කාර්ය කරගැනීමට හැකිවූ බව ඔහුගේ අදහස විය. මට වැරදීමකින් ශ්‍රී ලංකා යන වචනය ඇසුනා දෝ යයි සිතමින් සිටින විට ඔහු ඉතා අපහසුවෙන් තම දුරකතනයේ වූ ගූගල් සෙවුම ආශ්‍රයෙන් (යැයි මම සිතමි) රුවන්මැලි සෑය, උච්චාරණය කරද්දී මට නොවැරදුනු බව පසක් විය. එතැන සිටි සියලු දෙනාම මා මැලේසියානුවෙක් යැයි සිතා සිටි බැවින් ඔවුන් මගෙන් මේ ගැන කිසිවක් නොවිමසීය. 

අද දින ලංකාවේ විද්‍යුත් පුවත්පත් බලන විට දුටු සඳහිරු සෑය හා සම්බන්ධ පුවත එකවරම මගේ මතකය වසර දෙක තුනක් පසුපසට ගෙන ගියේය. දිනක් මගේ දුරකතනයට ලංකාවෙන් ඇමතුමක් ලැබුණි. එකල අපි මැලේසියාවේ පදිංචිව සිටියෙමු. දුරකතනයෙන් ඇමතු මහතා (මට ඔහුගේ නම මතක නැත) ඇසුවේ ලංකාවේ ඉදිවන රණවිරු මහා සෑය මගින් අනුරාධපුරයේ ඇති මූලික දාගැබ් තුනේ පිහිටීමේ හැඩ තලයන්ට හානියක් නොවන්නේද යන්නයි.  සාමාන්‍යයෙන් මෙවැනි කරුණු දේශපාලනය හා සම්බන්ධ වන බැවින්ද මා ඇත්තටම ඒ ගැන කිසිවක් නොදැන සිටි බැවින්ද එම මහතා තුන් හතර විදියකින් ඇසූ එකම පැනයට මම කිසිවක් කිව නොහැකි බව ප්‍රකාශ කලෙමි. 



Saturday 27 March 2021

අමරණීය පානය


හූ මින්ග් රජු ඉතා කෘර පාලකයෙක් විය. වයස අවුරුදු 20 දී සිහනසුනට පත් වූ ඔහු ධනවත් සිටුවරුන්ගෙන් මෙන්ම දිළිඳු ගොවියන් ගෙන්ද ඉතා අසාධාරණ ලෙස බදු අය කළේය. බදු ගෙවිය නොහැකි ගොවියන් පවුල් පිටින් මරා දැමිය. ඔහු වසරේ වැඩි කාලයක් තම අධිරාජ්‍ය විශාල කරගැනීම සඳහා ගම් නියම ගම් ගිනිබත් කරමින්, අසරණයන් වහල්භාවයට පත් කරගනිමින්, ආක්‍රමණයේ යෙදුනේය. ඉහල පෙළේ සෙනෙවිවරුන් පවා ඔහුට වඩා දක්ෂ බව හැඟී ගියහොත් ඔහු සුක්ෂම ලෙස ඔවුන්ව අපරාධවලට පටලවා හිස ගසා දැමිය. කෙමෙන් ඔහුට, මතුපිටින් නොපෙන්නුවත් සිත යටින් අකමැති වූ සතුරන් විශාල ගණනක් බිහිවන්න විය. මෙය ඉවෙන් වැටහුණු හූ මින්ග් තදබල අසහනයකින් පෙලෙන්න විය. මේ නිසාම ඔහුගේ සැකය දිනෙන් දින උත්සන්න විය.

හූ මින්ග් රජුට ඉතා සට කපට උපදේශකයෙක් සිටියේය. ඔහු රජුගේ මානසික තත්වය වටහාගෙන රජුට කදිම උපදේශයක් දුන්නේය. 

"කඳුකරයේ වෙසෙන සාධුවරුන් කිහිප දෙනෙකු ලඟම අමරණීය වන පානයක් තිබෙනවා, එය පානය කළහොත් ඔබ සදාකාලිකවම මේ මුළු ලෝකයටම එකම අධිරාජ්‍යයා වනවා" උපදේශකයා කීය. 

මේ බව කන වැකුණු වහාම හූ මින්ග්, කඳුකරය පීරා සාධුවරයෙකුගෙන් අමරණීය පානය පැහැරගෙන එන ලෙස දන්වා සේනා පිටත් කර හැරියේය. මේ දරුණු සෙබළුන්ද කඳුකරයේ සිටින සාධුවරුන් අල්ලා ඔවුන්ගෙන් අමරණීය පානය තමන්ට ලබා දෙන ලෙස අණ කරන ලදී. තමා ළඟ එසේ පානයක් නොමැති බව පවසන සියළු සාධුවරුන් ඔවුහු මරා දැමුහ. 

මේ විනාශය දරා ගැනීමට නොහැකි වූ නැණවත් රටවැසියන් පිරිසක් කඳුකරයේ ඈත පෙදෙසක වෙසෙන ලූ ජයන් නම් ධ්‍යානලාභී සාධුවරයා හමුවී මේ ව්‍යසනයෙන් මානව සංහතිය ගලවා ගන්නා ලෙස ඉල්ලා සිටින ලදී. ලූ ජයන් තුමා ඔවුන්ට කියා සිටියේ තමා ළඟ අමරණීය පානය ඇති බව සෙබළුන්ට පවසන ලෙසයි. 

සෙබළුන් පැමිණි විට ලූ ජයන් තුමා කියා සිටියේ, තමා ළඟ අමරණීය පානය ඇති නමුත් එහි ඵල ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම එය තම පූජා භූමියේ ඇති ඉපැරණි රොන්ෂු ගස පාමුලදී පානය කල යුතු බවත්ය. 

මේ බව දැන් වූ විට ඉතා අකමැත්තෙන් වුවත් අමරණීය වීමට ඇති ලෝභය නිසා මෙම සාධුවරයාගේ භූමියට යාමට හූ මින්ග් කැමති විය. තමා අමරණීය වූ වහාම තමාව ඔහුගේ දෙපා මුලට ගෙන්වා ගැනීමෙන් කල අවමානයට සාධුවරයාගේ හිස ගසා දැමීම හූ මින්ග්ගේ අභිප්‍රාය විය. 

පූජා භූමියට ගිය හූ මින්ග් රජුට රොන්ෂු ගස මුලදී ලූ ජයන් තුමා විසින් ශාක පොතු තම්බා සකස් කල ඉතා තිත්ත පානයක් ලබා දෙන ලදී. ලූ ජයන් තුමා කියූ වත්පිළිවෙත් පිළිපැද ඉතා අපහසුවෙන් තිත්ත දියරය පානය කල හූ මින්ග් ඊළඟට ලූ ජයන් තුමාගෙන් ඇසුවේ තමා අමරණීය බව ඔප්පු කරන්නේ කෙලෙසද යන්නයි. 

ලූ ජයන් තුමා ඉතා යටහත් පහත්ව මෙලෙස කියා "නරෝත්තමයාණෙනි ඔබගේ ගෙලට කඩු පහරක් එල්ල කරන ලෙස ඔබගේ සෙබළෙකුට අණ කරන්න" 

තම අණින්ම හූ මින්ග්ගේ ගෙලට කඩු පහරක් එල්ල වූ අතර ඉන් ඔහුගේ ගෙල සිඳී හිස බිමට පතිත විය. මේ සමගම එතෙක් කලක් මුළු රටටම තිබූ හිසරදයක් නිමා විය. 



Friday 12 March 2021

ඝර්ෂණ භූතයෝ

මේක ඒ දවස්වල මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න මැතිතුමා පළමු වසර භෞතික විද්‍යා සිසුන්ට පවසන ජනප්‍රිය කතාවක්. 

විද්‍යාඥ පීටර් විසින් මතුපිටක ඝර්ෂණය පැහැදිලි කිරීමට මොඩලයක් ගොඩනැගීය. ඔහුගේ මතය අනුව ඕනෑම මතුපිටක ඇති සියුම් සිදුරුවල මිලියන ගණනක් වූ ඝර්ෂණ භූතයන් ජීවත්වෙයි. ඔවුන් තම වාසස්ථාන හරහා යමක් ගමන් කිරීමට දැඩිසේ  විරෝධය දක්වයි. මේ නිසා මතුපිටක් මත තව මතුපිටක් ඇතිල්ලෙන විට ඔවුන් වාසස්ථාන වලින් එලියට පැමිණ ගමන් කරන වස්තුව නවතාලීමට බලයක් යොදයි. මෙය ඝර්ෂණ බලය නම් වේ.

ඔහුගේ අදහසට විරුද්ධව අනෙක් විද්‍යාඥයන් ප්‍රශ්න රාශියක් අසන්නට විය. 

"එතකොට සුමට මතුපිටක ඝර්ෂණය අඩු ඇයි"

"එහෙම තැනක සිදුරු අඩු නිසා ඉන්න පුළුවන් භූතයන් ගණන අඩුයි" පීටර් ඉතා සරලව පිළිතුරු දෙයි 

"එතකොට අපි තෙල් තට්ටුවක් මතුපිට ආලේප කලාම ඝර්ෂණය අඩුවෙන්නේ ඇයි"

"අපොයි එතකොට භූතයෝ වැඩිදෙනෙක් තෙල් තට්ටුවේ ගිලිලා මැරෙනවා"

"අපි මුලින් බලය වැඩි කරනකොට ඊට සමානුපාතිකව ඝර්ෂණ බලය වැඩිවෙලා උපරිමයකට ලඟාවෙන්නේ ඇයි" 

"ඒක තේරුම් ගන්න හරි ලේසියි. මුලින්ම එන්නේ වසස්ඨාන වලින් එළියේ ඉන්න භූතයෝ. ඒ අයට නවත්ත ගන්න බැරි වෙනකොට ගෙවල් ඇතුලේ ඉන්න කට්ටියත් ටික ටික එකතුවෙනවා උදව්වට. ඉන්න ඔක්කොම භූතයෝආවට පස්සේ තවත් බලය වැඩි වෙන්නේ නැහැනේ" 

"මුලින් යොදන බලයත් එක්ක ඝර්ෂණ බලය වැඩිවෙලා උපරිමයකට එනවා (ස්ථිතික ඝර්ෂණය). ඊට පස්සේ මතුපිට මත අනෙක් මතුපිට ගමන් කරන්න පටන් ගත්තම ඝර්ෂණ බලය ටිකක් අඩුවෙනවා (ගතික ඝර්ෂණය). ඒ මොකද?"

"ආ ඒකද? කොච්චර මහන්සි උනත් නවත්තගන්න බැහැ කියල තේරුණාම සමහර කම්මැලි භූතයෝ වැඩේ අල්ල දාල ගෙවල් වලට යනවා". 

මේ ආකාරයට මොන ප්‍රශ්ණේ ගෙනාවත් පීටර් තර්කානුකුලව ඒවාට උත්තර දුන්න. 

අදටත් පීටර්ගේ ඝර්ෂණ මොඩල් එක මේ නිසා වලංගුයි. 



Monday 8 March 2021

මම - අද්වෛත වේදාන්තය තුලින්

 

අද්වෛත වේදාන්තයේ මම නොවන, මගේ වන, කෝෂ පහක් ගැන සඳහන් වනවා. එනම් අන්නමය කෝෂ (ආහාර කෝෂය), ප්‍රාණ කෝෂ, මනෝමය කෝෂ, විඥාන කෝෂ (තීරණ ගැනීමේ බුද්ධිය), ආනන්දමය කෝෂ ලෙසින්. මේ ගැන විස්තර අප පසුවට කතා කරමු. මම යනු මේ කෝෂ 5 ට ස්වායත්තවූ භූතාර්ථයක්. යමෙකුට එයට ආත්මය යැයි කිව හැකියි. ආත්මය සදාතනිකයි. පංච කෝෂ එක් එක් ජිවිත කාලයට අනුව ගොඩනැගෙන අධි-ගතික (extremely dynamic) භූතාර්ථයක්. එනම් මෙම පංච කෝෂ කාල අවකාශයේ වේගයෙන් වෙනස් වනවා. එහෙත් "මම" මමමයි. කුඩා කල තිබුණාට වඩා මගේ පෙනුම, මගේ ප්‍රාණ ක්‍රියාවලිය (හුස්ම ගැනීමේ සහ හදවත ගැසීමේ වේගය, ආහාර ජීර්ණ ක්‍රියාවලිය, සෛල වැඩෙන සීඝ්‍රතාවය ආදිය), මගේ සිතුවිලි, මගේ බුද්ධිමය හැකියාව, මට හැගීම් දැනෙන ආකාරය දැන් බොහෝ සෙයින් වෙනස්. නමුත් මම නැමැති යමක් වෙනස් නොවී පවතිනවා. 

"මම" හෙවත් ආත්මය නිර්ගුණ, නිර්හැඩ, නිර්ලිංග, නිර්කාල, නිර්මාන භූතාර්ථයක්. එනම් හොඳ-නරක, ශරීරයේ ස්වරුපය, ගැහැණු-පිරිමි බව කාලය ගතවීම පිලිබඳ සංකල්පය, මිනිසකුට නම් ත්‍රිමානය (විවිධ සතුන්ට විවිධ මාන ප්‍රත්‍යක්ෂ වේ) ආදී කරුණු "මම" විසින් ගොඩ නගා ගන්නා කෝෂ වලට මිස "මම" නැමැති භූතාර්ථයට අදාළ නොවේ.     

මරණයේදී මේ කෝෂ පහ "මම" විසින් අත්හරිනවා. ඉන් පසු කර්ම විපාක අනුව තවත් කෝෂ පද්ධතියක් ඇති කරගන්නවා (උපාදාන කරගන්නවා). එය කෝෂ පහක් හෝ ඊට අඩු ප්‍රමාණයක් සහිත පැවැත්මක් විය හැකි. උදාහරණයක් ලෙස තවත් මිනිසෙකු නම් කෝෂ පහක්ද, දේව උත්පතියක් නම් කෝෂ තුනක්ද, ඉතා ඉහල තල වලදී ආනන්දමය කෝෂය පමණක්ද විය හැකියි. මෝක්ෂය හෙවත් විමුක්තිය ලබද්දී මෙම කෝෂ පහම අතහරිනවා. 

මෙම අද්වෛත වේදාන්ත මොඩලය තේරුම් ගැනීම පහසුයි. මේ තුලින් මරණයේදී සිදුවන ක්‍රියාවලිය පහසුවෙන් විස්තර කල හැකියි. මම සවන් දුන් බොහෝ බෞද්ධ ධර්ම දේශනා වලදී ස්වාමින්වහන්සේලා දැන හෝ නොදැන විස්තර කලේ මේ අද්වෛත වේදාන්ත සංකල්පයයි. 


Sunday 7 March 2021

මම කවුද? වේදාන්තය හා බුදුදහම දෙන පිළිතුරු

ආගම සහ විද්‍යාව යන කාරණා දෙකම බිහිවන්නේ සමාන මානව මනෝභාවයන් තුලින්. ආගම "මම කවුද" සහ විද්‍යාව "ලොව කුමක්ද" යන කුතුහලයන් මතත් මේ දෙකම "අපට ප්‍රත්‍යක්ෂ වන ජීවිතය සැපවත් කරගැනීම" යන සිතුවිල්ල මතත් බිහිවෙනවා. ආගම සහ විද්‍යාව යන කාරණා  දෙකේ සමානකම් සහ වෙනස්කම් මම කලින් කතා කර තිබෙනවා .

පහුගිය කාලයේදී මගේ අවධානය බොහෝ සෙයින් යොමු වුණේ "මම කවුද" යන පැනයට බුදු දහම සහ අද්වෛත වේදාන්ත සංකල්ප විසින් ලබා දෙන එකිනෙකට ඉතා සමාන එහෙත් පැහැදිලිවම වෙනස් පිළිතුරු දෙක පිළිබඳවයි.

මේ ගැන නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර අපූරු උපමාවක් ඉදිරිපත් කරනවා. අද්වෛත වේදානතයේ මම යනු කපු නූලක්. එහි ජිවිත නැමැති පබළු ඇමිණෙනවා. බුදුදහමේ මම යනු කෙඳි අඹරා සෑදෙන කඹයක්. මේ උපහැරණය මම තවදුරටත් ඉදිරියට ගෙන යයි නම් මෝක්ෂය යනු නූල නැවතත් පුළුන් බවට පත් කර එය විශාල සදාතනික පුළුන් ගොඩක් හා එක් කිරීමයි. එවිට තවදුරටත් පබළු ඇමිණීමට නූලක් නැහැ. නූලට අයත් පුළුන් යයි කීමට යමක් ඇත්තෙත් නැහැ. එය විශාල පුළුන් ගොඩක කොටසක් බවට පත්වී අවසානයි. 

නිර්වාණය යනු කඹයේ කෙඳි වෙන්කර තවදුරටත් කෙඳි සැපයීම නැවැත්වීමයි. එවිට තව දුරටත් කඹයක් පවතින්නේ නැහැ. 

මෙහිදී දර්ශන දෙක වෙනස් වන්නේ "මම" නැමැති භූතාර්ථයේ පැවැත්ම සම්බන්ධයෙන් පමණයි. "ආත්ම" සහ "අනාත්ම" සංකල්ප ඇතිවන්නේ මේ පදනම මතයි. මෙහිදී මරණින් මතු පැවැත්ම අද්වෛත වේදාන්ත සංකල්පයෙන් පැහැදිලි කරගැනීම ඉතා සරලයි. නමුත් බුදුදහම මේ සංසිද්ධිය පැහැදිලි කරන ආකාරය තවමත් මට අපැහැදිලියි.

අවසානයේ මම දකින්නේ මේ සංකල්ප දෙකම තමන් විසින් ප්‍රත්‍යක්ෂ කරගන්නා තුරු මොඩලයන් දෙකක් පමණක් වන බවයි. මේ නිසා තමන්ට අවශ්‍ය මොඩලය තෝරාගැනීම හෝ මොඩලයක් තෝරා නොගෙන සිටීම සෑම දෙනෙකුගේම අයිතියයි.