Saturday 25 January 2020

වෙනසක් නොවූ වෙනස - The change that didn't change


ලංකාවේ ගත කල පසුගිය දෙසතිය තුල මම බොහෝ දෙනෙකු සමග ලංකාවේ වෙනස ගැන සුහදව කතා කලෙමි. අප බොහෝ දෙනෙකු වෙනසක් පතා තිබුණි. වෙනස සිදු කරතැයි සිතූ පුද්ගලයාගේ මිස අප පැතූ වෙනසෙහි වැඩි වෙනසක් තිබී නැත. දෙමසක් තුල බොහෝ දෙනෙක් වෙනස් වී ඇත. වෙනස සිදු විය යුත්තේ එක් පුද්ගලයෙකුගේ නොව අප සියළු දෙනා තුලම බව සියළු දෙනාටම පාහේ අවබෝධ වී ඇත. එහෙත් "අප සියළු දෙනා" අතිශයින් සුළුතරයක් වන ශ්‍රී ලංකාවේ, අප පතන වෙනස සිහිනයක් පමණක්ම බවද අප බොහෝ දෙනෙක් වටහාගෙන තිබේ.


---------------------------------------


"සමාජ අසාධාරණය උතුරා යන සමාජයක අවි දරාගත් අරගලයකට තරුණ පෙළ තල්ලුවීම වළකාලන එකම සාධකය දේශපාලන අපේක්ෂාවයි".


ලෝක ඉතිහාසයේ යම් යම් කාල වකවානු තුල නෙල්සන් මැන්ඩෙලා, අවුන් සාන් සුකී, ෂික් හසිනා-කලීඩා ෂියා, සහ මෑතකදී ඉම්රාන් ඛාන් වැනි අය මේ සාධකය බවට පත් වුහ. ලංකාවේ මේ කර්තව්‍යයෙහි ලා දැවැත්ත සේවයක් කල සෞම්‍ය මුර්ති තොණ්ඩමාන්, සහ අශ්රොෆ් වැනි දේශපාලකයන් කිසිදාක මේ සඳහා ඇගයීමට ලක් වුනේ නැත. ලංකාවේ කඳුකරයේ සහ නැගෙනහිර ලේ විලවල් බිහිවීම ඔවුන් වෙතින් අවහිර විය. ඒ ගැන කිහිප දෙනෙකු ලියු ලිපි අතලොස්සක් අපට පසුගිය දශක කිහිපය තුල දැක ගත හැකි විය. නමුත් ඒවා සමාජ අවධානයට යොමු වුයේ නැත. 


ජාත්‍යන්තරය තුල මෙන්ම ලංකාවේද මේ බොහෝ දෙනෙක් කටයුතු කලේ තමන්ගේ වාසිය උදෙසා මිස අඩුම ගණනේ තමන්ගේ ජනතාව ගැනවත් සිතා නොවන බව මම පෞද්ගලිකව විශ්වාස කරමි. එහෙත් ඔවුන්ගෙන් සිදු වූ සේවය ඔවුන්ගේ අරමුණුවලට ලඝු කල යුතු නැත.


රටක තරුණ පෙළ ප්‍රමුඛ කරගත් රැඩිකල් ජනතාව අවි අතට ගැනීම වලකා ගැනීමෙහි ලා පවතින රජය මෙන්ම විපක්ෂයද එක හා සමාන වගකීමක් උසුලයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක සමාජ අසාධාරණය තුනී වන විට මේ සාධකය උදෙසා විපක්ෂයේ කාර්යභාරය තුනී වෙයි. එය ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරන විට ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාවය දැඩිව දැනීමට පටන් ගනී. ලංකාවේ පසුගිය දශක පහ තුල ඉතිහාසය හදාරණ අයෙකුට මේ බව මනාව පැහැදිලි වෙයි.

පසුගිය දශකයක පමණ කාලය තුල ලංකාවේ දේශපාලනය කුණු වී ඕජස් ගලන තුවාලයක් වූ බව දේශපාලන අභ්‍යන්තරය පිළිබඳව හොඳින් දන්නා අතලොස්සට රහසක් නොවීය. මේ තුවාලය, තම බඩ වියත රැකගන්නා එකම මාර්ගය කරගත් හිඟන්නන් පිරිසක් විසින්, එය ඖෂධ නොගල්වා මැනවින් වසා තැබීමට උත්සුක වුහ. දේශපාලන පක්ෂ පාට වලින් තොරව, ජනමාධ්‍ය, පුජ්‍ය පක්‍ෂය, කූඨ ව්‍යාපාරිකයන් සහ පවතිනා කුමන රජයකින් වුවද වංචා සහගත ලාබයන් ලැබූ පිරිසක් මේ හිඟන්නාගේ චරිතයට පණ පොවන ලදී. 


සමාජයේ ඉහල ඇවරියේ ප්‍රියසාදවලදී, සුපිරි පාසැල් "බිග් මැච්වල" VIP ටෙන්ට් එකේදී, ගොල්ෆ් පිටියේ අවන්හලේදී මේ තුවාලයේ වෙළුම් පටි තාවකාලිකව ඇරෙන නමුත් ඒ දසුන් බහුතර ජනතාව අතරට නොයාමට අදාළ සියල්ලෝම වග බලා ගත්හ. 


රංජන් රාමනායකගේ හඬ පටි වලින් ජනගත වන්නේ මෙතෙක් සුදු පිරුවට වලින් වසා ගෙන සිටි මේ තුවාලයේ සැබෑ ස්වරූපයයි. තවමත් බහුතරයකගේ අවධානය යොමු වී ඇත්තේ මේ ඔඩු දුවා ඇති තුවාලයේ දරුණු තත්වය පිළිබඳව නොව පෞද්ගලික ජීවිත හා බැඳුනු අවශේෂ කුණු රසයටයි. එහෙත් වියත් තාරුණ්‍ය ඉතා ඉක්මණින් යථාර්තය තේරුම් ගනු ඇත. බැඳුම්කර පිලිබඳ වෝහාරික ගිණුම් වාර්තාව මේ යථාර්තාවබෝධය අධි ත්වරණයකට ලක් කර ඇතැයි මට සිතේ. 


ඒ අනුව මේ එළඹෙන්නේ ඉතිහාසයේ අති භයංකාර හෝරාවකි. තාරුණ්‍ය ඉච්ඡ බංගත්වයට පත්වීම රටක පුර්ණ විනාශයක මූලාරම්භයයි.  තාප්පාලංකාරයට මෙන්ම පුරන් කුඹුරු වැපිරිමටද යෙදුනු අත් තුවක්කුව දෙසට යොමු නොවීමට වග බලා ගැනීම ප්‍රමුඛතම සමාජ කාර්යභාරයක් වී ඇති බව මගේ හැඟීමයි.  


මට අවබෝධ වන පරිදි ලංකාවේ මේ වන විට අවි රැගත් අරගලයකට තාරුණ්‍ය තල්ලු වීමට ඇති එකම බාධාව ගෝඨාභය රාජපක්ෂ නැමැති පවුර පමණකි. පසුගිය දෙමස තුල ඇතිවූ තාරුණ්‍යයේ ධනාත්මක රැලි ගෝඨාභය නැමැති සාධකය කරන කොට ගෙන බිහිවිය. එහෙත් ඔහු වටා සිටින බහුතරයක් වියත්-නොවියත් සිව් රඟ සේනා මේ ඕජස් ගලන තුවාලයේම සැරිසරන ඉහඳ පණුවන් බව මේ වනවිට පිළිගත් දැනුමක් ලෙස සමාජ ගතවෙමින් පවතින බව දැකිය හැක.

විපක්ෂය නමින් ලංකාවේ පවතින කොමඩියේ රඟන්නේද නොයෙකුත් පැහැයෙන් තාවකාලික වර්ණ ගැන්වූ ඉහඳ පණුවන්ම බව කිසිවෙකුටත් රහසක් නොවේ. 


අපි අතලොස්සක් මේ එළඹෙන මාරක තත්වය දුර තියා දුටුවෙමු. ඒ වැලැක්වීමට අපට හැකි අයුරින් මෙන්ම අපට නිවැරදි යැයි හැඟුණු අයුරින්ද පියවර ගැනීමට අපි උත්සුක වූයෙමු. එය අසාර්ථක විය. එහෙත් ඒ ගත් පියවර පිලිබඳව අදටත් මම ඉත සිතින් සතුටු වෙමි. 


මෙතැන් සිට කල යුත්තේ කුමක්දැයි කියා තීරණය කිරීම හෝ විය යුත්තක් වෙද්දෙන් කියා බලා සිටීම ලාංකික ඔබට බාරය. 

----------------