Tuesday, 30 June 2026

දකුණු අප්‍රිකාවෙන් ඇහෙන අපිට පුරුදු කතාවක්


අද (ජූනි 30 වෙනිදා) දකුණු අප්‍රිකාව පුරා මහා විරෝධතාවයකි. ඒ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් රටේ රැඳී සිටින විදේශිකයන් පලවා හැරීම සඳහාය. දකුණු අප්‍රිකානුවන් විදේශිකයන් (foriegners) ලෙස හඳුන්වන්නේ ඒ අවට සිම්බාබ්වේ, සැම්බියා, මොසැම්බික්, උගන්ඩා, නයිජීරියා ආදී රටවලින් පැමිණෙන පුද්ගලයන්ය.

90 දශකයේ මැද භාගය වන තෙක් දකුණු අප්‍රිකාව යනු සංවර්ධිත රටකි. එය ලෝකයේ වැඩිම ස්වභාවික සම්පත් (රන්, රිදී, ඇලුමිනියම්, තඹ, ප්ලැටිනම්, දියමන්ති, ගල් අඟුරු) ඇති රටවල් වලින් එකකි. සුද්දන්ගේ අපාතේඩ් පාලන සමයේ රට ඉහල සංවර්ධනයක් ලබා ගත්තත් බහුතරය වූ කළු මිනිසුන්ට ලැබුනේ ඉතා පහත් සැලකීමකි. 

සුදු පාලනය පෙරලා කළු මිනිසුන් අතට පාලනය හුවමාරු වීමත් සමගම බොහෝ දෙනා තුල සුබවාදී අදහස් පහල වන්න විය. නෙල්සන් මැන්ඩෙලාගේ පාලනය යටතේ 2000 වසර පමණ වනතෙක් මේ සුබවාදී හැඟීම ක්‍රමයෙන් සාක්ෂාත් වන බව පෙනුනි. නමුත් ඔහුගෙන් පසු පැමිණි කළු නායකයන් විශේෂයෙන්ම ජේකොබ් සූමා යටතේ රට වේගයෙන් පරිහානියට පත් විය. මේ රටේ දේශපාලකයන්ගේ දුෂණ වංචා සැසඳීමේදී ලාංකික අන්ත දුෂිත දේශපලකයාද සුදු චරිතයකි. වසර 10-15 තුල සුර පුරයක් හා සමාන වූ ජොහැන්නස්බර්ග් වැනි නගර අපායවල් බවට පත්විය. විරැකියාව 40% පමණ දක්වා වැඩිවිය. රටේ යටිතල පහසුකම් ඉතා දුර්වල තත්වයට පත්විය.

දේශපාලන සාක්ෂරතාවය අතින් ඉතා පහල මට්ටමක සිටින දකුණු අප්‍රිකානු බහුතර ජනතාවට මේ දුෂිත දේශපාලකයන් පෙන්වුයේ වෙනමම චිත්‍රයකි. ඔවුන්ගේ අභාග්‍යට හේතුව ලෙස විදේශිකයන් තම රැකියාවල් අත්පත් කරගැනීම බව ජනතාවට ඔවුන් ඒත්තු ගැන්වීය. ඔවුන් වෙත පැමිණීමට තිබූ මහජන විරෝධය ඉතා පහසුවෙන් රටේ සිටි අනෙකුත් කළු ජාතික ශ්‍රමිකයන් වෙත හරවා යැවීමට ඔවුන්ට හැකිවිය.

අපි අපේ ගැටළුවලට මුල දෙමළුන් යයිද, දෙමළුන් ඔවුන්ගේ ගැටලුවලට හේතුව සිංහලයන් යයිද කියා මරාගත්තෙමු.

Sunday, 21 June 2026

බැඳීම් නැති මිනිස්සු


මීට වසර දෙකකකට පමණ පෙර මට ලංඩන් නුවරදී අපූරු තරුණයෙක් හමුවිය. රාජකාරි කටයුත්තකට සහභාගී වන බැවින් මගේ නවාතැන් පහසුකම් සඳහා සියළුම බරපැන් දැරුවේ මා සේවය කරන සරසවියයි. මේ නිසා මා නැවතී සිටි හෝටලය තරමක් මිළ අධික වුවත් එහි බර මට දැනුනේ නැත. 

මා එහි සිටි තෙවැනි දින උදෑසන ආහාරයට යන විට භෝජන ශාලාව සෑහෙන දුරට පිරී පැවති අතර ඉතිරිව තිබූ සිව් දෙනෙකුට අසුන් ගත හැකි මේසයක මම හිදගත්තෙමි. ටික වෙලාවකින් ඉන්දීය පෙනුමැති කඩවසම් පුද්ගලයෙක් මගේ මේසය අසල වටපිට බලමින් සිටින අයුරු පෙනුනි. ඔහු ඇඳ සිටි දුඹුරු පැහැති Gucci leather ජැකට්ටුව ඔහු ධනවත් පුද්ගලයකු බව කියා පෑවේය. ශාලාව ඒ වන විටත් පිරී තිබුන බැවින් ඔහුට මා ඉදිරියේ ඇති අසුනක ඉඳගන්නා ලෙස මම ආරාධනාපුර්වකව සඥා කලෙමි. 

අප දෙදෙනාම නිහඩව ආහාර අනුභව කල අතර ටික වෙලාවකින් ඔහුගේ ජංගම දුරකතනය නාද වන්න විය. මා මවිතයට පත්කරමින් ඔහු සිංහලෙන් කතා කරන්න විය. එය ව්‍යාපාරික ඇමතුමක් යයි මට හැගුනු අතර ඔහු ව්‍යක්ත සිංහල භාෂාවෙන් සංවාදයේ යෙදුනි. 

"ඔබ ලංකාවෙන් නේද?" ඔහුගේ සංවාදය අවසන් වූ පසු මම ඇසුවෙමි.

ඔහුද තරමක මවිතයට පත්වී මා පිළිබඳව විමසීය.

"මම දකුණු අප්‍රිකාවෙන් නමුත් මගේ මව් බිම ලංකාව" මම ඔහුට කීවෙමි. ඉතා කෙටි වෙලාවකින් අපි සුහඳ පිළිසඳරකට පිලිපන්නෙමු.

ඔහු පදිංචිව සිටින්නේ කොල්ලුපිටියේ apartment එකකය. එය ප්‍රසිද්ධ අති සුඛෝපභෝගී මහල් සංකීර්ණයකි. ඔහු ඇවිත් තිබුනේ ලංඩන් බැලීමට යයි පැවසීය. එය ඔහුගේ ප්‍රථම එංගලන්ත සංචාරය විය. ඔහුගේ ලංකාව සහ ලෝකය පිළිබඳව දැනීම විශිෂ්ඨ විය. දැනුමට අමතරව තම අදහස් සහ ආකල්ප අනුවත් ඔහු ඉතා සොඳුරු මිනිසෙකු බව මට වැටහුණි. 

ඉතා කෙටි කලකින් බොහෝ සේ ලෙන්ගතු වූ බවින් මම සාමාන්‍යයෙන් පුරුද්දක් ලෙස ආගන්තුකයෙකුගෙන් නොඅසන පැනය ඔහුගෙන් ඇසුවෙමි. 

"ඔබගේ ජීවන වෘත්තීය කුමක්ද?"

සිනහවකින් මුව සරසා ගත් මගේ මිතුරා ටික වෙලාවක් මා දෙස බලා සිටියේය. 

"මම ලේඛකයන්ට ලිපි ලියා දෙනවා, ගීත රචකයන්ට ගීත ලියා දෙනවා, තිර පිටපත් රචකයන්ට තිර පිටපත් ලියා දෙනවා, කථිකයන්ට කතා ලියා දෙනවා".  ඔහු එය කියූ රිද්මයට මටද හිනා පහළවිය. 

"ඔබ ඔය කලා නිර්මාණ ලබා දෙන උදවිය කවුද?" නොඇසිය යුතු ප්‍රශ්නයක් මගෙන් පිට විය. 

"ඒක නම් කියන්න බැහැ. මගේ සෑම ගනුදෙනුකරුවෙකු සමගම  පවතින ගිවිසුම එයයි. ඔවුන් මුදල් ගෙවන්නේ නිර්මාණයටම නොවේ, එහි නිර්මාණකරු සහ නිර්මාණය ලබාගන්නා පුද්ගලයා පිළිබඳව ඉඟියකින් හෝ කිසිවෙකුටත් නොපවසන බවට වන විශ්වාසයටයි."

ඔහුගේ බොහෝ ගනුදෙනු කරුවන් ඔහුට කිසිදාක මුණගැසී නැත. සියල්ල සිදුවන්නේ අන්තර් ජාලය  හෝ දුරකත සංවාද හරහාය. 

"ඔබට ඔබගේ නිර්මාණ වෙනත් අයෙකුගේ නමින් ප්‍රසිද්ධ වෙනවා දකින විට කණගාටුවක් ඇතිවන්නේ නැද්ද?"

"අපොයි නැහැ. මට ඒ නිර්මාණ සමග කිසිම බැඳීමක් නැහැ. ඒවා මට තවත් නිෂ්පාදනයක් පමණයි. මගේ ගනුදෙනුකරු එයින් තෘප්තිමත් වෙනවා වගේම මට ලැබෙන සැලකිය යුතු මුදලින් මම ඉතා සැහැල්ලු සුඛෝපබෝගී ජිවිතයක් ගත කරනවා. 

එදින ආහාරයෙන් පසු අපි එකිනෙකාට සුබපතා සමුගත්තෙමු. මම පසුදින දකුණු අප්‍රිකාව බලා පැමිණුන අතර ඔහු එදිනම සවස ලංකාව බලා පියාසර කරන බව කීය. අපි දුරකථන අංක හෝ ඊමේල් හුවමාරු කරගත්තේ නැත. ඒ තබා ඔහු පැවසුවේ තමන්ගේ සැබෑ නම දැයි යන්නවත් මම නොදනිමි.