Follow this Blog

Monday, 23 May 2016

Before the next storm



ඊළඟ කුණාටුවට පෙර 

වසර 2008 දී මම පකිස්ථාන පර්යේෂණ කණ්ඩායමක් සමග අසාද් ජම්මු කාශ්මීරයේ මුසාෆරාබද් නුවරට ගියෙමි. එහි අරමුණ වුයේ 2005 දී සිදුවූ භූමි කම්පාව නිසා නාය ගිය ප්‍රදේශ වල නැවත නාය යාමකට ඇති ඉඩකඩ හැදෑරීමයි. පකිස්ථානයේ ඉන්දියානු දේශ සීමාවට ආසන්නයේ ඇති ප්‍රදේශයකදී අපි ඉතා සංවේදී ස්ථානයකට පැමිණියෙමු. භූ කම්පනය සමගම අවට කදු පද්ධතියක ඇතිවූ නාය යාම හේතුවෙන් ගම්මාන තුනක් අඩි ගණනාවක් පොළව තුල වැළලී ගියේ කිසිවකුත් ඉතිරි නොකරමිනි. මෙහි ඇති පින්තුරයේ ඔබ දකින්නේ මිනිසුන් 12,000 ට වඩා එකතැන මිහිදන්වූ මේ මරණයේ මිටියාවතයි.


ඉන් පසු ගෙවුණු වසර අටේදී ලංකාවේ ඉඳහිට ඇසෙන සුළු භූ කම්පන පිළිබඳව මම නිතර අවධානය යොමු කලෙමි. සෑම භූ චලනයකදිම කඳු ආශ්‍රිත පස් ස්ථර වල යම් කුඩා පැලුම් ඇතිවීමෙන් ඒවායේ අස්ථාවර වීමක් සිදුවිය හැක. එකවර ඇතිවන අධික වර්ෂා පතනය මේ තත්වය නාය යාමක් කරා ගෙනයාමේ ක්‍රියාරම්භය විය හැක. මෙම සංසිද්ධිය මාගේ මුලික විෂය පථයෙන් පරිබාහිර මාතෘකාවක් වූ බැවින් ඒ ගැන අදාළ පර්යේෂකයන් දැනුවත් කිරීමේ අභිලාෂයෙන් මම මීට වසර කිහිපයකට පෙර මේ ගැන බ්ලොග් සටහන් කිහිපයක් තැබුවෙමි.

පෙර සලකුණක් නොතබාම ඒ ධාරාණිපාතය පැමිණියේය. රටේ දහසකුත් අසරණ වැසියන් පෙළමින් පැන නැගුන ජල ධාරා කඳු කිහිපයක් පහලට රැගෙන ආවේ ගම් බිම් රාශියක් එහි මිනිස් වාසයද සමගම යට කර දමමිනි. අරණායක පමණක් සියයකට කිට්ටු ප්‍රමාණයක් මිය ගොස් ඇත. පස් වලින් යටවී මිය යාම ඉතාමත්ම වේදනාජනක සිදුවීමක් බව එවැනි අවස්ථාවලින් යාන්තම් දිවි ගලවා ගත්තෝ පවසති. 


මේ අවසානය නොවේ. යන්තම් ඇරඹුනා පමණකි. ස්වභාව ධර්මය අස්ථාවර වීමේ බියකරු බව රැදී ඇත්තේ එතැනය.

ලංකාව පමණක් නොව ලොව බොහෝ රටවල් මේ වන විට ගෝලීය දේශගුණික විපර්යාස ගෙන එන පෙර නොදුටු අනතුරු වලට ලක් වෙමින් පවතී. ලංකාව වැනි කුඩා රටකට ඇති ගෝලීය විපර්යාස වැළක්වීමේ හැකියාව ඉතා අඩුය. අපිට කල හැක්කේ ඒවායින් විය හැකි විනාශය අවම කරගැනීමය.

මා මේ ලිපිය ලියන අවස්ථාවේදී මගේ පරිඝණක තිරයේ ඉන්දියාව සතු INSAT චන්ද්‍රිකාවේ දකුණු ආසියාවේ කාලගුණික තත්වය පෙන්වන සිතියම දිස්වේ. ඒ සිතියම අනුව මේ අවස්ථාවේදී ලංකාවේ සිටින ඔබට හොඳින් හිරු පායා පැහැබර දිනක් උදාවී ඇත. එහෙත් ඒ හිරු එළිය ඔබෙන් සඟවන රහසක් තිබේ. එනම් අප සිටින්නේ අතිශයින් අන්තරාදායක භූමියක බවයි. ඒ අවදානම් වර්ෂාව නැවත එනු ඇත. මේ වන විටත් කාලගුණ විද්‍යා වාර්තා වලට අනුව නිරිත් දිග මෝසම් සුළං ප්‍රවාහ රටට ඇතුළු වී ඇත. තෙත බරිත පොළව එම වැසි ජලය ප්‍රතික්ෂේප කළහොත් නැවතත් නගර, ගම් කියා වෙනසක් නොමැතිව ජනතාව විපතට පත් වනු ඇත. මෑත හෝ ඈත අනාගතයේදී සුළු හෝ මාධ්‍ය පරිමාණ භූ කම්පන පොළව සොලවනු ඇත. ඒ පසුපස විනාශය එළඹෙනු ඇත. අප එයට සුදානම්ද?

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සමහර උස් බිම් මේ වන විට මතුපිට ස්ථර ලිහිල් වීමේ තත්වයකට පත්ව ඇතැයි අපට අත්දැකීමෙන් අනුමාන කල හැක. මෙහිදී මා ඉතා තැති ගැන්මකට ලක් කරන කරුණ නම්  උඩරට දුම්රිය මාර්ගයේ ඇති අවදානමයි. මා දකින්නේ මේ මාර්ගය පස් පිඩකින් වැසූ බියකරු බෝම්බයක් ලෙසයි. එම මාර්ගයේ කඳුකරය හරහා ඇති මුළු පථයේ භුමි ස්ථායිතාවය සහ අවට ඇති උස්බිම්වල නාය යාමේ ප්‍රවණතාවයන් පිළිබඳව මනා අධ්‍යනයක් මේ වන විට කර ඇත්දැයි මම නොදනිමි. විශේෂයෙන්ම වටවල, රොසැල්ල ආදී ප්‍රදේශ වලට තියුණු අවධානයක් යොමු කල යුතු බව මගේ හැඟීමයි. නොඑසේ නම් අපට නැවතත් පත්තර පිටු ගණන් ලිවීමේ අවස්ථාවක් උදා වනු ඇත.


ශ්‍රී ලංකාවේ සිටින බොහෝ පරිසරවේදීන් නොදකින තවත් ආන්ත්‍රාවක් මට පෙනේ. කොළඹ සිට දෙහිවල දක්වා මුහුදට සමාන්තරව මාර්ග තුනක් ඇත. මේවා ලංකාවේ ඇති වාහන ගමනාගමනය අධිකම මාර්ග වේ. ඒ අතරින් එක් මාර්ගයක් මුහුදට යාබදවත් අනෙක් දෙක මීටර් 500 - 2000 අතර දුරකින් පවතී. මෙම පාරවල් පවතින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 2 ක් පමණ දක්වා උසකය. සමහර කොටස්වලදී මාර්ගය පවතින්නේ මුහුදු මට්ටමේම වාගෙය.  


සුළි සුළඟකදී මුහුදු රළ මීටර් 10 ට වඩා ඉහල යන අවස්ථා විරල නොවේ. දවස් කිහිපයක සිට පවතින තද වර්ෂාවක් සමග සුළි සුළඟක් කොළඹ දෙසට ඇදුණොත් ඇතිවන තත්වය ඔබට දැන් සිතා ගත හැක. දිවයින් මධ්‍යයේ සිට ගලන වැසි දිය දහරා සමග මුහුදු මට්ටමේ ඇතිවන ඉහළ යාම මෙම මාර්ග වල සහ ඒ අවට ජාල මට්ටම මීටර් ගණනාවක් ඉහලට නංවනු ඇත. මෙය මහා ඛේදවාචකයක් අපට උරුම කර දෙනු ඇත. මේ තත්වයට විසඳුමක් අප ළඟ තිබිය යුතුය. විසඳුමට පෙර ප්‍රශ්ණයක් තිබෙන බව අවබෝධ කරගත යුතුය. 


පසුගිය මාර්තු මාසයේදී කොළඹදී පැවති ස්වභාවික සංසිද්ධි වලින් සිදුවන විපත් පිලිබඳ ජාත්‍යන්තර සමුළුවේදී මම සිදුවන අන්තරාය අවම කරගැනීමට පස් වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කලෙමි. එම කාරණා පිතුරයේ ඇති පිරමිඩයෙන් දැක්වේ.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, කාලගුණය පිළිබඳව සැහෙන කාලයක් ඉදිරියට නිවැරදි සහ සවිස්තරාත්මක අනාවැකි පලකල යුතු බව නොකිව මනාය. මේ සඳහා ඔවුන්ට නවීන තාක්ෂණය සහ අවශ්‍ය මෘදුකාංග ලබාදීම මෙන්ම එහි නිලධාරීන්ව නිරන්තරයෙන් විදේශ පුහුණු වීම් වලට සහභාගී කරවීම රජය සතු යුතු කමකි. නොඑසේ නම් ඔවුන් "හෙට පෙර භාගයේදී හෝ අපර භාගයේදී තද වැසි හෝ මද වැසි ඇතිවීමට ඉඩ ඇත" යනුවෙන් ඉදිරියටත් පවසනු ඇත.

ස්වභාවික විපත් පිළිබඳව අනාවැකි පළකිරීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් අදාළ කාර්යයක් නොවේ. රටේ ජනතාවද මේ සඳහා යම් කාර්යභාරයක් සිදු කල යුතුය. උදාහරණයක් ලෙස පහත දැක්වෙන සිදුවීම් පරිසරයේ දකින්නට ලැබේ නම් එය ළඟදීම සිදුවිය හැකි නාය යාමක පෙර නිමිත්තක් බව ඔබ පසක් කරගත යුතුය. ඉන් පසු ඒ ගැන අවට ප්‍රජාව දැනුවත් කල යුතුය.


පෙර වියලි ස්වභාවයෙන් තිබු පසෙහි එකවර දිය සීරා මතුවීම හෝ පස තෙත භරිත වීම. 

ගෙබිම, ගෙවත්තේ, පාරක, පදික වේදිකාවේ හෝ පිට්ටනියක ඉබේ පැලුම් ඇතිවීම, කොටසක් ගිලා බැසීම හෝ ඉහලට නෙරා ඒම.

නිවසේ බිත්ති ඉරිතැලීම, පැලුම් මතුවීම හෝ ගොඩනැගිළි අත්තිවාරම සහ අවට පස අතර පරතරයක් ඇතිවීම.

නිවසේ දොර ජනෙල් කිහිපයක් ඇරීමට හෝ වැසීමට අපහසු වනසේ තදවන ස්වභාවයක් එකවර ඇතිවීම.  

විදුලි හා දුරකථන කණු, උස ගස්, කොන්ක්‍රීට් කුළුණු ආදිය හේතුවක් නොමැතිව ඇලවීම. 

ළිං වල ජල මට්ටම එකවර බොහෝ සෙයින් අඩුවීම හෝ වැඩිවීම.

උස් බිම් වල සිට කුඩා ගල් කැට නිතර පහලට රූරා පැමිණෙන ස්වභාවයක් ඇතිවීම. 

අස්වාභාවික ලෙස ගස් වැල් එකට ඇතිල්ලෙන හෝ ගල් පර එකට ගැටෙන ශබ්ද ඇතිවීම 


කොපමණ අනාවැකි පළ කලත්, ඒවායින් ප්‍රයෝජන ගන්න ආකාරය පිළිබඳව දැනුවත් නැත්නම් එම අනාවැකි වලින් පලක් නොවේ. මේ නිසා රජය මෙන්ම රජයේ නොවන ආයතනද මාධ්‍ය සමග ඒකාබද්ධව ප්‍රජාව දැණුවත් කිරීමේ නිරන්තර ක්‍රියාවලියක යෙදිය යුතුය. මෙහිදී එක් එක් අධ්‍යාපන සහ වයස් මට්ටම් කාණ්ඩ වශයෙන් බෙදා, වෙන වෙනම ඔවුන් ආමන්ත්‍රණය කිරීම වැදගත් වේ. මෙහිදී අප සැලකිය යුතු වැදගත් කරුණක් නම් ව්‍යාජ හෝ විකෘති දැනුම මහජනතාව අතරට පත් වීම වැලැක්වීමයි. උදාහරණයක් ලෙස පසුගිය වකවානුවේ ජංගම දුරකථන වලට අකුණු ඇදගන්නවා යයි ප්‍රචාරය වූ සාවද්‍ය මතය දැක්විය හැක. එය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට මහජනතාව දැණුවත් කල මාධ්‍ය සහ විද්වත් පර්ෂදයට අප කෘතඥ විය යුතුය.

ස්වභාවික විපත් ආරක්ෂණය පිළිබඳව ජනතාව කොපමණ දැනුවත් කලත් එවැනි අවදානමක් ඇතිවූ විගස බොහෝ දෙනෙකුට ඒවා අමතකවී තමාගේ අභිමතය පරිදි ක්‍රියා කරයි. උදාහරණයක් ලෙස 2011 දී බැංකොක් නුවර ජල ගැලීම ඇති වූ විට බොහෝ දෙනෙක් අහස් මාර්ග වල මුව විටෙහි වාහන නවත්වා පලා ගොස් තිබුණි. මේ නිසා පොළවට ඉහලින් පවතින මෙම මාර්ග වලට ඇතුළු කර බේරාගත හැකිව තිබු බොහෝ වාහන මෙන්ම ජීවිතද නිකරුනේ විනාශ විය. මෙවැනි අවස්තාවක ප්‍රජාව තුල අණ දිය යුත්තේ කවුරුදැයි රජය විසින් ජනතාව පුර්ව දැනුවත් කිරීමකට ලක් කල යුතුය. තවත් උදාහරණයක් ලෙස කන්දක් නාය යාමේ පෙරනිමිති එකවරම ඇති වුව හොත් අවට සිටින ජනතාව පිළිපැදිය යුත්තේ කවුරුන් විසින් දෙනු ලබන උපදෙස්ද කියා මුලික දැනුවත්වීමක් තිබිය යුතුය. 


පසුගිය දින කිහිපයෙහි කඳු නාය යාමෙන් ආපදාවට පත් වූ බොහෝ දෙනෙකුට එම ස්ථාන වලින් ඉවත් වන ලෙස පොලිසිය හෝ වෙනත් ප්‍රජා නායකත්වයක් මගින් මාස ගණනාවකට පෙර දැනුම් දී තිබු බව කියවේ. එහෙත් දිවි ගලවාගත් බොහෝ දෙනෙකු අසන පැණය නම් "තම නිවාස අත හැර කොහෙට යන්නද? ගිහින් මොනවා කරන්නද?"  යන්නය. මෙය ඉතා තාර්කික ප්‍රශ්නයකි. බොහෝ ගම්බද පිරිසකගේ ජිවන රටාව (විශේෂයෙන්ම මුල්‍ය උත්පාදක මාර්ගය) තමා ජිවත්වන පරිසරය හා බද්ධ වී පවතී. ඔවුන් එම ස්ථානවලින් ඉවත් කිරීමේදී ඔවුන්ගේ පැවැත්ම සඳහා ආදේශක ලබා දීම අත්‍යවශ්‍ය කරුණකි. 

අවසාන කරුණ නම් තාක්ෂණ උපයෝගිතාවයයි. අධික වර්ෂාව ඇතිවන හැම අවස්ථාවකම ගං වතුර කළාප වලින් මිනිසුන් ඉවත් කරනවාට වඩා ඔවුන්ට උභයජීවී නිවාස (amphibious houses) ලබාදීම හෝ එවන් නිවාස තනා ගැනීම සඳහා තාක්ෂණික පහසුකම් ලබාදීම වැදගත් වේ. ලංකාවට ගැලපෙන උභයජීවී නිවාස පිළිබඳව මේ දක්වා පර්යේෂණ පවත්වා ඇත්දැයි මම නොදනිමි. මේ ආකාරයෙන්ම, අකුණු ආරක්ෂණ පද්ධති පිළිබඳවත්, දැඩි සුළං ඇතිවන ප්‍රදේශ වල ඒවාට ඔරොත්තු දෙන ගොඩනැගිලි සැදීම පිළිබඳවත්, නාය යාම් නවතා ගැනීමේ නව තාක්ෂණය පිළිබඳවත් අවධානය යොමු කිරීම සියළු අදාළ පාර්ශව සතු යුතු කමකි.


වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගතහොත් ස්වභාවික ව්‍යසන (natural hazards) කියා දේවල් මේ ලෝකයේ නැත. ඇත්තේ ස්වභාවික සංසිද්ධි (natural events) සහ මානුෂිය විපත්ය (human disasters). ස්වභාවික සංසිද්ධි විපත් බවට පත් කරගන්නේ මනුෂ්‍යයා විසින්මය. එබැවින් ඒවා වලක්වා ගත යුත්තේද මනුෂ්‍යය විසින්මය.

*************



Friday, 13 May 2016

Lightning and Mobile Phone



ජංගම දුරකථන සහ අකුණු

අකුණක් යනු වලාකුළක සිට පහතට පැමිණෙන ආරෝපණ ධාරාවක් පොළවේ ඇති යම් වස්තුවක් හරහා භූගත වීමයි. එබඳු ධාරාවක් ගලා යන වස්තුව අකුණු පහරකට ලක් වුනා යයි කියනු ලැබේ. මෙම ධාරාව ඉතා කෙටි කාලයකදී ගැලුවත් එහි තිව්‍රතාවය ඉතා අධික බැවින් (සාමාන්‍ය ගෘහ පරිපථයක ගලන ධාරාව මෙන් 3000 ගුණයකින් පමණ විශාල) අකුණු ප්‍රහාරයට ලක්වන යමක් විශාල හානියකට පත්විය හැක.

මෙහිදී පොළව කරා පැමිණි ආරෝපණ ධාරාව කුමක් හරහා භූගත වේදැයි තීරණය කරන්නේ ආරෝපණ ධාරාව පොළවේ සිට මීටර් 50-100 පමණ ඉහල ඇති විටයි.

යමකට අකුණක් වදින ඉඩකඩ වැඩිවීමට ප්‍රධාන කාරණා හතරක් බලපායි.

එනම් එහි උස; සාමාන්‍යයෙන් උස වැඩි යමකට අකුණු වදින ඉඩකඩ වැඩිය.
එහි සන්නායකතාවය; සන්නායකතාවය අධික ලෝහ කුළුණු වැනි දෙයට අකුණු වදිනවා වැඩිය.
එහි තියුණු තුඩු සහ දාර තිබීම; එවැනි වස්තුවකට අකුණු වැදීමට ඇති ඉඩකඩ වැඩිය.
ඒ අවට පසෙහි සන්නායකතාවය; පසෙහි සන්නායකතාවය වැඩි නම් අකුණු වැදීමට ඇති ඉඩකඩද වැඩිය.

මිනිසෙක් අකුණු පහරකට ගොදුරු වීමටද ඉහත සාධක බලපායි. මෙහිදී ඔහු අත තිබෙන ජංගම දුරකතනයක්, ලෝහ භාණ්ඩයක් හෝ ඔහු පැළඳ සිටින වස්ත්‍රයේ ඇති ලෝහ කොටසක් නිසා අකුණක් වැදීමේ සම්භාවිතාවය වැඩි වීමට කිසිඳු ඉඩකඩක් ඇතැයි ප්‍රකාශ කිරීමට තරම් විද්‍යාත්මක සාධක නොමැත. මෙහිදී ජංගම දුරකථනය සන්නිවේදනයෙහි නිරත වුවාද නැත්ද යන්නද බල නොපායි.

අනාරක්ෂිත නිවෙසක් තුල හෝ ගසක්, උස කුළුණක් වැනි යමක් ආසන්නයේ සිටින අයෙකුට එම වස්තුවට වදින අකුණක පැති ප්‍රහාරයක් වැදිය හැක. මෙබඳු අවස්ථාවක අකුණු ධාරාව අසල සිටින්නාගේ සිරුර මතට ප්‍රගමනය වන්නේ කෙටි විද්‍යුත් පුලිඟුවක් ආකාරයෙනි. උදාහරණයක් ලෙස නිවසකට අකුණක් වැදුණු විට බිත්ති දිගේ ගලන අකුණු ධාරාවෙන් කොටසක් අසල සිටින පුද්ගලයකුගේ හිසට විද්‍යුත් පුලිඟුවක ආකාරයෙන් පැනිය හැක. අකුණු සහිත කාලගුණයක් පවතින විට අකුණු ආරක්ෂණයෙන් තොර නිවසක සිටින අයෙක් බිත්තිවලින් මීටර් 2 ක් වත් ඈත්වී සිටින ලෙස උපදෙස් දෙන්නේ එබැවිනි.


මෙහිදී අකුණු පැති පහර වැදීමට ඇති ඉඩකඩ වැඩිවීමට තම සිරුර හා සම්බන්ධව ඇති ලෝහමය කොටසක බලපෑමක් ඇත්ද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් දීමට තරම් පරීක්ෂණ තවමත් සිදු කර නොමැත. එහෙත් මිනිස් සිරුරේ ප්‍රමාණය සහ සන්නායකතාවය හා සසඳන කල ජංගම දුරකතනයක ඇති ලෝහ කොටස් වලින් මේ සඳහා බලපෑමක් ඇතිවේ යැයි  සිතීමට තරම් විද්‍යාත්මක සාධක නොමැත.

කෙසේ නමුත් බල ගැන්වීම සඳහා (charging) නිවසේ විද්‍යුත් පරිපථයට සම්බන්ධ කල ජංගම දුරකතනයක් භාවිත කිරීම අකුණු සහිත කාලගුණයකදී බොහෝ අහිතකර ප්‍රතිඵල ලබාදිය හැකිය. දුරකථනය භාවිත නොකලත් එවැනි අවස්තාවක දුරකථනයට හානිකර තත්වයක් ඇතිවිය හැකි බැවින් අකුණු සහිත පරිසරයක ඔබේ ජංගම දුරකථනය බලගැන්වීම සඳහා එය නිවසේ විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමෙන් වළකින්න.

මේ අනුව අකුණු සහිත පරිසරයක වයර් මගින් ඇති සම්බන්ධයකින් තොර ජංගම දුරකතනයක් භාවිත කිරීමේ කිසිඳු ආන්ත්‍රාවක් ඇතැයි මට නම් නොහැඟෙයි.

එහෙත් බොහෝ දෙනෙකුගේ මතය වන්නේ අකුණු සහිත කාලගුණයකදී ජංගම දුරකථන භාවිතය නොසුදුසු බවයි. මේ සඳහා ඔවුන් උදාහරණ ලෙස ජංගම දුරකථන භාවිතා කරන අතර අකුණු ප්‍රහාරයන්ට ලක්වූ කිහිපදෙනෙකුගේ තොරතුරු ලබාදෙයි. මා ඔවුන්ට ලබා දෙන සරළම පිළිතුර වන්නේ අද සමාජය ජංගම දුරකථන භාවිතා කරන ප්‍රවණතාවයේ හැටියට දුරකථන සංවාදයක නොයෙදෙන අයෙකුට අකුණක් වැදීම නම් පුදුමයට කරුණක් විය හැකි බවයි.


Chandima Gomes
Professor of Electrical Engineering, Universiti Putra Malaysia
Former Head, Center for Electromagnetic and Lightning Protection, Malaysia
Chief Adviser, African Center for Lightning and Electromagnetics, Uganda 

Saturday, 7 May 2016

The Ugly Face of Ragging in SL Universities

නවක වදයේ පිළිකුල් මුහුණ 


කොළඹ සරසවියේම බොහෝ පීඨ හා වෙනත් ලාංකීය සරසවි සැලකූ විට අසූව මැද භාගයේ පවා විද්‍යා පිඨයේ තිබුණේ එතරම් දරුණු නවක වදයක් නොවේ. එදා විද්‍යා පීඨයේ පැවති ප්‍රමාණයෙන්, දරුණුම නවක වදයට ලක්වූ දෙතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්මි. ශාස්ත්‍ර පීඨයේ පැවති අමානුෂික මෙන්ම පිළිකුල් සහගත වද හිංසා විදීමට තරම් මා අවාසනාවන්ත නොවුනත් අප අතර සිටි රඹුක්කන සහෝදරයාට එම වාසනාව හිමි නොවීය. මා එම පීඨයේ තිබූ සැබෑ තත්වය දැනගත්තේ ඔහුගෙනි. ඒ අවාසනාවන්ත සහෝදරයා ඉන් මාස කිහිපයකට පසු පිළිකාව හේතුවෙන් අප අතරින් වියෝ විය.

ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් අධ්‍යනය කිරීම අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හතරකට අවශ්‍ය කළමනා සපයයි. 

නවක වදය තුලින් මා ලැබූ හරයන් කිසිවක් නැත. ඉතිරි වුයේ තවමත් මට නවක වදය දුන් පිරිස පිළිබඳව නොසතුටක් පමණි. එමගින් කිසිවෙකුටත් ධනාත්මක යමක් ලැබෙතැයි මම නොසිතමි. ලැබුණත්, නවක වදය නිසා මේවන විට අපට අහිමි වූ ජිවිත සහ අංගවිකල මෙන්ම දීර්ග කාලින මානසික ආබාධයන්ට ලක්වූ සොහොයුරු සොහොයුරියන් ගැන සිතන විට, ඒ ලැබෙන කිසිවක් මේ අහිමි වීම් වලට අලගු වත් තැබිය හැකියැයි මම නොසිතමි.   

නවක වදය මුවාවෙන් රජය (පවතින හා පැවති) සිසු අයිතීන් දඩයම් කරන බව ඔබ පවසනවා නම් එයටද වග කිව යුත්තේ නවක වදය දෙන පරපීඩකයන්මය. ඔවුන් තමා දඩයම් කර ගැනීමට තමාම උගුල අටවාගෙන රජයට එය ක්‍රියාත්මක කරන ලෙස ආරාධනා කරයි. 

නවක වදය දෙන්නන්ට නිතිය මගින් දඬුවම් ලබාදීම පමණක් මෙම පැනයට විසඳුම නොවේ. මෙම තත්වය දරුණු මානසික ව්‍යාකුලතාවයක් බව අප වටහා ගත යුතුය. එබැවින්, නවක වදය ලබා දෙන්නන් මෙන්ම ඒ සඳහා උත්සහ දරන්නන්ද සුදුසු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කෙරේ යොමු කිරීම සරසවි පාලකයන් සතු වගකීමකි. 


- චන්දිම ගෝමස්