Saturday 30 October 2021

හයි වේ එක අද්දර බුලත් කඩේ සිට අසූචි පොහොර දක්වා


මීට වසර 10 ට පමණ පෙර මා FB පෝස්ටුවක් පළ කරමින් අසා සිටියේ හම්බන්තොට වරාය අධිවේගී මාර්ගයක් අද්දර අටවා ගත් බුලත් කඩයක්ද යන්නයි. මීට හේතු පාදක වන්නේ ඒ දිනවල එවකට රජයේ ඇමතිවරු නිතරම කියූ කතාවකි. 

"හම්බන්තොට වරායට ආසන්නයේ ලෝකයේ එක් කාර්ය බහුලම නෞකා මාර්ගයක් වැටී තිබෙනවා. මේ නිසා එය  පහසුවෙන් ඉතා ලාබ ලබන වරායක් බවට පත් කල හැකියි".

අධිවේගී මාර්ගයක දිනකට වාහන දහස් ගණනක් ධාවනය වුවත් එහි වැටට එහා පැත්තෙන් දාගන්නා බුලත් කඩේකට ඒවායින් සත පහක ආදායමක් ලැබෙන්නේ නැත. අධිවේගී මාර්ගයක ගමන් ගන්නා වාහනවල මගීන් ගනුදෙනුකරුවන් කරගන්නා ව්‍යාපාරයක් ඇරඹීමට නම් ඒ සඳහා විශාල පසුබිම් ක්‍රියාවලියක් දියත් කල යුතුය. 

ලංකාවට තවත් වරායක් අවශ්‍යව තිබුණු බව මගේ හැඟීමයි. ඒ සඳහා හම්බන්තොට ප්‍රදේශය තෝරා ගැනීමේද කිසිඳු වරදක් මම නොදකිමි. එහෙත් හැමදාම වුනා සේ මෙතැනදීත් ආණ්ඩුව හැමදේම වරද්දා ගත්තේය. 

කොමිස් සහ යටි මගඩි හැරුණු විට මෙවන් ව්‍යාපෘතියක් සාර්ථක කර ගැනීමේ ලා කල යුතු බොහෝ දේ පිළිබඳව ආණ්ඩුවේ වග කිවයුත්තන්ට මෙන්ම ඔවුන්ට ආවැඩූ උගතුන් යයි කියා ගන්නා උදවියටද කිසිඳු හැගීමක් නොවූ බව මගේ වැටහීමයි. 

නව ජාත්‍යන්තර වරායක් ඉදි කිරීමේදී ව්‍යාපෘතිය සඳහා මුදල් අනුමත වූ දින සිට ඉතා බැරෑරුම් අලෙවිකරණ උපාය මාර්ග (marketing strategy) ක්‍රියාවලියක් දියත්කල යුතුය. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් එය කිසිසේත්ම සිදු නොවීය. වරාය විවෘත කිරීමෙන් පසු අවුරුදු කීපයක් වරායට නැව් එන තෙක් දෙවියන්ට කන්නලව් කරමින් සිටීමට සිදු වුයේ මේ නිසාය. ඉඳහිට පැමිණෙන නැවක් පුළුල් හරසරින් පිළිගනිමින් ඔවුන්ව වරාය ගාස්තු වලින් නිදහස් කරමින් එවකට පැවතී රජය මහා විගඩමක් කළේය. 

අඩුම ගණනේ මේ වරාය ඉදි කිරීමේදී නිවැරදි තාක්‍ෂණික ක්‍රමවේදයන් හෝ අනුගමනය කර නොමැති බව පෙනෙන්නේ වරාය විවෘත කිරීමෙන් මාස කිහිපයකට පසු එම පරිශ්‍රයේ විශාල පර්වතයක් (මුහුද යට) තිබෙන බව හඳුනා ගැනීම නිසාය. මෙය ඉවත්කිරීම සඳහා චීනයෙන් ඩොලර් මිලියන 48ක අතිරේක ණයක් ලබා ගැනීමට සිදු වූ බව එකල වාර්තා විය. 

මා චීන ව්‍යපෘති කිහිපයකටම මැලේසියාව සහ දකුණු අප්‍රිකාව නියෝජනය කර ඇති අතර සැම්බියාව, උගන්ඩාව සහ පකිස්ථානය වැනි රටවල චීන ව්‍යපෘති සඳහා යම් ප්‍රමාණයකට දායක වී ඇත. මේ නිසා මට චීනයේ හැසිරීම පිළිබඳව යම් ප්‍රාමාණික දැනුමක් ඇත. 

මා කිසි විටෙකත් චීනයට ඔවුන්ගේ ක්‍රමවේදය පිළිබඳව දොස් නගන්නේ නැත. දුෂිත බවින් යම් අඩුවක් පෙන්වන නායකයන් සිටින ඉතියෝපියාව, රුවන්ඩාව වැනි රටවල් චීන සහයෝගයෙන් පිබිදෙනු අප දකින්නෙමු. පකිස්ථානය සහ මැලේසියාව නව නායකත්ව යටතේ චීන උගුලෙන් මිදීමට යම් තාක් දුරකට වෙර දරයි. 

චීනය අනුගමනය කරන්නේ "ඔබ කොතැන සිටියත් අප දිනුම්" යන ප්‍රතිපත්තියයි. මේ ගැන මම 2013 වසරේදී  "චීනගේ ණය: උගන්ඩාවේ කථාවක්" යන බ්ලොග් ලිපියෙන් සරලව පැහැදිලි කලෙමි. 

නව වරායක් ගොඩනැගීමේදී ක්‍රමවත් සහ ඉතා තීව්‍ර වෙළඳ/අලෙවිකරණ ක්‍රියාවලියක් අනුගමනය කල යුතු බව චීනා දැනගෙන සිටියේ නැද්ද?

ඉතා ඉහල තාක්ෂණ හැකියාවන් ඇති චීනය වරාය ආශ්‍රිත මෙහෙයුම් අවදානම් දර්ශක සිතියම් (operability risk indicator maps) පිළිබඳව දැන සිටියේ නැත්ද?

ඉහත පැනයන් දෙකටම පිළිතුර වන්නේ ඔවුන් මේ සියල්ලම දැන සිටීමට ඇති ඉඩකඩ ඉතා විශාල බවයි. 

නමුත් ඒ පිලිබඳ තොරතුරු ලංකාවට ලබා දීමට ඔවුන් බැඳී නැත. එය ලංකාව විසින් කල යුතු කාර්යයකි. නමුත් ලංකාවේ අදාළ බලධරයන් ඒ පිළිබඳව කිසිඳු තැකීමක් කලේ නැත. ඔවුන් චීනයට අවශ්‍ය දේ කර දුන්නේය. එය චීනාගේ වරදද?

සෑහෙන කාලයකට පසුත් නැව් එන්නේ නැති විට රජය දශක කිහිපයක් තිස්සේ ප්‍රතිනැව්ගත කිරීම සඳහා කොළඹ වරායට පැමිණි නැව් බලහත්කාරයෙන් හම්බන්තොටට හරවා යැවීය. මා දන්නා තරමින් මේ සඳහා වරාය ගාස්තු ඉතා පහල මට්ටමකට දැමීය. හරවා යවන නැව් සමාගම්ද මේ නිසා කිසිඳු පැමිණිල්ලක් කලේ නැත. රජය මෙන්ම රජය  වෙනුවෙන් අතින් කා හරක් බැලු උදවියද ප්‍රති අපනයනය සඳහා හම්බන්තොට වරායේ ගොඩ ගසා තිබූ වාහනවල චායාරූප උජාරුවෙන් ප්‍රචාරණය කරන ලදී. නමුත් මේ අමන ක්‍රියාවලිය නිසා ලංකාවට සිදු වූ සමස්ත පාඩුව පිළිබඳව කිසිවෙකුටත් වගක් නොවීය. 

මේ උගුලෙන් ලංකාව ගලවා ගැනීමට අපට ඉම්රාන් ඛාන් කෙනෙක් බිහි නොවීය. උගන්ඩාවේ සහ සැම්බියාවේදී ලද අත්දැකීම් මත මා දැඩි සේ විශ්වාස කරන්නේ ලංකාවේ ප්‍රධාන දේශපාලකයන් සියල්ලම මේ ගනුදෙනුවේ කොටස් කාරයන් බවයි. මේ අනුව චීනය බලාපොරොත්තු වූ පරිදිම එක අවස්ථාවක වරාය පිලිබඳ අයිතිය චීනයට පවරා දීමට සිදුවිය. මේ සඳහා බලයේ සිටින්නේ කවර පක්ෂයද යන්න වැදගත් නොවේ. මේ බව වෙනත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද ඔබට පැහැදිලිව දැකිය හැක. 

මෙම වරාය ජාත්‍යන්තර නෞකා කේන්ද්‍රස්ථානයක් කිරීමට චීනයට නොහැකිද? 

ඇත්තෙන්ම මේ සඳහා චීනයට වෙළඳ සැලැස්මක් හෝ බැරෑරුම් වැඩපිළිවෙලක් අවශ්‍ය නැත. අවැසි වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂ බලධාරියකුගේ එක දුරකථන ඇමතුමක් පමණි. චීන ධජය යටතේ ක්‍රියාත්මක වෙන වෙළඳ නෞකා එක් ලක්ෂ තිස් දහසක් පමණ තිබේ. මීට අමතරව තවත් නෞකා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් චීනයේ ඍජු  බලපෑම යටතේ ක්‍රියාත්මක වේ. මේ නැව් වලින් සියයට දශම එකක් හම්බන්තොට වරායට පැමිණෙන ලෙස අණ කල හොත් එය ලෝකයේ කාර්ය බහුලතම වරායක් වනු ඇත. 

අප දශකයක් පුරා (කවුරු බලයේ සිටියත්) ඉතා දීන අනුවණ ගමනක් පැමිණ ඇත. චීනය ඔවුන් අපේක්ෂා කළ ඉලක්ක සියල්ල සපුරාගෙන ඇත. ලංකාව ඔවුන්ට තවත් එක් කුඩා දුෂිත පාලකයන් පිරි රටක් පමණි. චීන තානාපති කාර්යාල නිලධාරියෙකුගේ දුරකථන ඇමතුමක් හමුවේ ලංකාවේ මහජනතාවට වීරයන් වූ ඇමතිවරු බලු කුක්කන් සේ දිවගෙන යයි. හෙට මේ ඇමතුම ලැබෙන්නේ ජනාධිපතිවරයාට විය හැක. 

චීන ණය උගුලේ විශේෂත්වය නම් ඔවුන් යම් අවස්ථාවක, ණය බරින් මිරිකී සිටින අසරණයා තමන්ගේ යටත් විජිත වාසියකු බවට පත් කරගැනීමයි. මා කිහිප වරක්ම පැවසුවා සේ අප පිළිකා රෝගයට ගොදුරු වී හමාරය. ඉතාම අවංක, නැණවත් පිරිසක් හෙට පාලනය බාරගත්තද ඔවුන්ට කල හැක්කේ මරණය කල් දැමීම පමණකි


           


Thursday 21 October 2021

ලාංකීය දේශපාලනය සහ ජවිපෙ


ඒකාධිපති පාලනයක් යටතේ රටක් කඩා වැටෙන විට සහ ඉතා දුර්වල පාලන තන්ත්‍රයක් යටතේ රටක් කඩා වැටෙන විට දකින්න ලැබෙන ලක්ෂණ වෙනස්ය. යම් සිතීමේ හැකියාවක් ඇති සියළු ලාංකිකයන් රටේ අනිවාර්යයෙන්ම ඇතිවන ආර්ථික සහ සාමාජීය බිඳ වැටීම ගැන පසුගිය වසර තුල අනාවැකි පළකළේය. එය දැන් සැබෑ වෙමින් පවතී. එහෙත් ඔවුන් බහුතරයකට වැරදුන කරුණක් ඇත. එනම් මේ බිඳ වැටීම ඒකාධිපති ස්වරූපයකින් සිදුවෙතැයි පලකල අනාවැකියයි. 

මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඉතා දුර්වල අඳබාලයෙක් හිට්ලර්ගේ වෙස් මුහුණක් දාගෙන කරන විගඩමකි. ගැසට් ගැසීමේ සිට, ගන්නා සියලු තීන්දු තීරණ වෙනස් කරමින්, ව්‍යාපාරික ප්‍රජාව ඉදිරියේ බයාදු ලෙස යටහත් පහත් වෙමින්, ලොව පුරා ණය යදිමින්, වෘතිය සමිති ඉදිරියේ නිවට නියාලු ගති පෙන්වමින් මේ වන විට ප්‍රදර්ශනය කරන්නේ බලාපොරත්තු වුවාට වඩා ඉතා දුබල නායකත්වයකි. එම කඳවුර තුල පැහැදිලිවම දැකිය හැක්කේ "රිලවුන්ට එදිරිව රිලවුන්" නාටකය පමණි. එක් අතකින් එය රටට අඩු අයහපතක් කරන බව මට හැඟෙයි.  අනෙක් අතින් ඔවුන් නෑදෑ හිත මිතුරන් සහ තම පවුල වෙනුවෙන් නීතිය සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය කර ඇත. මෙය භයංකාර තත්වයකි.

රටෙහි විපක්ෂය යයි කියා ගන්නා හරිත සංසදය (සජබ-එජාප) තුල ඇත්තේ ආණ්ඩුවටත් වඩා දුර්වල පැවැත්මකි. අසමගියට අමතරව මේ පාර්ශව දෙකෙහිම නායකත්වයෙහි ඇති විසුලුරූපී බව මනාවට දිස්වෙයි. සජබ නායකත්වය කිසිසේත්ම රටක නායකත්වයට නුසුදුසු අනුවණ දුර්වල චරිතයක් බව ගෙවෙන සෑම දිනකම ඔප්පුකර පෙන්වයි. තම මුහුණ අවශ්‍ය අනවශ්‍ය හැම තැනකම ප්‍රදර්ශනය කිරීමට යාමත්, නැති පාණ්ඩිතත්වයක් පෙන්නුම් කිරීමට යාමත්, අඳබාල පෙනුමත් මෙහි නායකත්වයේ දුර්වලතාය. නමුත් එහි යම් ඉහල ධනාත්මක හැකියාවන් ඇති, එහෙත් කිසිඳු සමගියක් නැති දෙවන පෙළක් ඇත. 

එජාප නායකත්වය මහ පොළවේ යථාර්තය තේරුම් ගත නොහැකිව මිය පරලොව ගිය ප්‍රේතාත්මයකි. ඊට වඩා දෙයක් ඒ ගැන කිව නොහැක. එහි දෙවන පෙලද ඉතා දුර්වල මහජනතාවගේ අවමානයට පාත්‍ර වූ පිරිසකගෙන් සමන්විතය. 

මගේ සරසවි සිසු ජීවිතයේදී මා ඇතුළු මා දන්නා හඳුනන බොහෝ මිතුරු මිතුරියන් ඉතාම අප්‍රිය කල දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. සරසවිය තුල ජවිපෙ සාමාජිකයන්ගේ තිබූ මර්දනකාරී දරදඬු පිළිවෙතත්, රට තුල ඔවුන් ගෙනගිය භීෂණකාරී වැඩ පිළිවෙලත් ඔවුන්ව අපට අප්‍රසන්න කරලීය.  පසු කාලීනව ඔවුන් තුල දක්නට ලැබුණු වැල යන අතට මැස්ස ගැසීමේ පිළිවෙත (රටේ යම් අවස්ථාවක පවතින රැල්ලට අනුව පිහිනීම) ඔවුන්ගේ දරුණු ඇද වැටීමට හේතු වූ බව මට සිතෙයි. මා මේ පිළිබඳව ලියන්නේ වෙන කෙනෙකුගේ නොව මගේම අත්දැකීමෙන් ලබා ගත් දැනුම ආශ්‍රයෙනි. 

නමුත් වර්තමානය සහ මෑත අතීතය දෙස බලන විට තවමත් දුෂණය-භිෂණය-වංචාව පිළිබඳව කුණු නොතවරුණු එකම ප්‍රධාන පක්ෂය ජවිපෙයි. ඔවුන්ට එරෙහිව අනෙකුත් පක්ෂ කරපින්නා ගත් උදවිය පවසන කතා ඉතා විහිළු සහගතය. එම පෙරමුණේ නායකයන්ගේ සිරුරේ ස්වභාවය, පවුල් ජීවිතය, පක්ෂයේ වත්කම් සහ වියදම්, මෙන්ම අයර්ලන්තයේ ගෙවල් පිළිබඳවද මේ පිරිස් අවලාද නගන්නේ ඔවුන්ගේ අසරණකමට යයි මට සිතෙයි. තමන්ගේ නායකයන් බිලියන ගණනින් මහජන මුදල් වංචා කරමින් සුරසැප විඳිමින් ජනතාවටම කොකා පෙන්වද්දී මේ වහල් මනසින් යුත් මුග්ධයන්ට කර කියාගත හැකි දෙයක් නැති සේයකි. ඔවුන් රැකගන්න හදන්නේ තමන්ගේම ඉහ මොළ සූරා කන තක්කඩියන් රැලක් බව සමහර උගතුන්ට පවා නොතේරීම පුදුම සහගතය. 

ලංකාව යනු පිළිකාවෙන් පෙලෙන රෝගියෙකි. පිළිකාව ආපසු හැරවීම ඉතා අපහසුය. අඩුම ගණනේ යම් අවස්ථාවකදී නිවැරදි වෛද්‍ය තීරණ ගැනීමෙන් රෝගියාගේ මරණය පමා කරගත හැක. එහෙත් මේ තීරණ ක්‍රියාවේ යෙදවීම ඉතා කටුක සහ වේදනාත්මක කාර්යයක් වීම වලකනු නොහැක. 

මා දකින ආකාරයට ලංකාව ආගාධයට යන මග අහුරාලීමට නම් ජවිපෙ එම ක්‍රියාන්විතයේ අනිවාර්ය කොටස් කරුවෙකු විය යුතුය. ඊට හේතු වන කාරණා කිහිපයක් මම දකිමි.

දැනට ලංකාවේ පවතින අන්ත දුෂිත වූ ප්‍රධාන පක්ෂවලින් ස්වායත්ත වූ, රට පුරාම විහිදුනු දේශපාලනික මෙහෙයුම් ජාලයක් පවතින එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. මෙබඳු සංකීර්ණ මෙහෙයුම් ජාලයක් නොමැතිව දේශපාලනය කිරීම අති දුෂ්කර කාර්යයකි. 

ජවිපෙ වටා ගොඩ නැගුණු බුද්ධි ජාලයක් පවතී. මෙය රටේ පවතින ගැටළු විසඳීමට සහ අනාගත වැඩ පිළිවෙල ගොඩනැංවීම සඳහා අතිශයින් වැදගත්වෙයි.

පදනම් විරහිත මඩ හැරුණු විට ජවිපෙ ට එල්ල කල හැකි දුෂණ චෝදනා ඉතා අල්පය. 

කෙසේ නමුත් ජවිපෙන් සැබෑවටම ප්‍රශ්ණ කල යුතු කරුණු රාශියක් ඇත. 

ඔවුන්ගේ අධ්‍යාපන, ආර්ථික සහ විදේශ කටයුතු පිළිබඳව දැක්ම සහ ප්‍රතිපත්තිය කුමක්දැයි නිවැරදිව පැහැදිලි කල යුතුව ඇත.

ඔවුන් සමජවාදයෙහිම එල්ලී සිටිනවාද නැත්නම් වෙනත් රටට ගැලපෙන දේශීය දේශපාලනික ක්‍රමවේදයක් හඳුන්වා දෙනවාද යන්න ඇසිය යුතුය.   

ඔවුන්ගේ ජාති-ආගම් පිළිබඳව ඇති ප්‍රතිපත්තිය කුමක්ද යයි ඇසිය යුතුව ඇත.

නීතිය හා රටේ ව්‍යවස්ථාව පිළිබඳව ඔවුන්ගේ ස්ථිර අදහස කුමක්දැයි ඔවුන් ඍජුවම ප්‍රකාශ කල යුතුය. 

ජවිපෙ නායකත්වය තාප්පයට තද කර ඇසිය යුතු ප්‍රශ්න මේවාය. ඔවුන්ගේ පසුගිය දශක දෙකහමාරක කාලය තුල හැසිරීම මේ පිළිබඳව ජනතාව තුල අපැහැදීමක් ඇතිවීමට මූලික හේතුවක් වූ බව මගේ හැඟීමයි. 

නමුත් අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂවල මානසික වහලුන් බවට පත් වූ උදවිය කරන්නේ ජවිපෙ ලබා ගත් 3% චන්ද ප්‍රතිශතය පිළිබඳව ඉතා බොළඳ හා ලාමක ආකාරයෙන් උසුළු විසුළු කිරීමයි. ලංකාවේ 97% නිවැරදි දේශපාලන තීන්දු ගත්තා නම් අද වන විට මෙය පාරාදීසයක් වන්නට තිබුණි. අද ඔබ ජීවත්වන අඳුරු ආගාධය මේ බහුතරයක් මෝඩයන්ගේ තීරණ වල ප්‍රතිඵලයකි. 



Saturday 16 October 2021

ලාංකීය දේශපාලනයේ නාගානන්ද සලකුණ


මා පළමු සහ අවසන් වරට ලංකාවේ දේශපාලකයෙකු වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල කතා කලේ නාගානන්ද මහතා වෙනුවෙනි. ඒ සංජය ඇල්විටිගල සහෝදරයාගේ ඇරයුමක් පරිදිය. එතෙක් මෙතක් මා නාගනන්ද මහතා සමග කතා කර ඇත්තේ එකම එක වතාවකි. එයද විනාඩි කිහිපයක දුරකථන ඇමතුමකට සීමා විය. මේ අනුව මම ඔහුට සහයෝගය දීමට තීරණය කලේ තනිකරම ඔහු ඉදිරිපත්කල අදහස් හැදෑරීමෙන් පමණි. මම අදටත් ඒ පිළිබඳව සතුටු වෙමි. 

නාගානන්ද මහතාට සහයෝගය පළකරමින් මා එළිදැක්වූ පළමු වීඩියෝවෙන් පසු බොහෝ දෙනෙකු මට දිගට හරහට අපහාස උපහාස කරන්න විය. තම ජිවිත කාලය පුරාම දේශපාලකයා නමින් සුදු රෙදි පොරවා ගත් සොරුන්, මංකොල්ලකාරයන්, වංචනිකයන් සහ තක්කඩින්ට රැවටුණු, අදටත් රැවටෙන පිරිස්, මා හොරෙකුට හසුවී ඇති බව පැවසීය. ඔවුන් බොහෝ දෙනෙක් නාගානන්ද මහතා ගැන අසා තිබුණේද ඊට දින කිහිපයකට පෙරයි. දහනව වන ශතවර්ෂයේදී වහල් බවින් මිදීමට ඇමරිකාවේ වහලුන් තුල වූ දැඩි අකමැත්ත පිළිබඳව මා බොහෝ දේ කියවා තිබුණි. එහෙත් ඒවායේ නිරවද්‍යතාවය පිළිබඳව මට පැහැදිලි සහතිකයක් ලැබුණේ මේ කාලයේදීය. 

නාගානන්ද මහතාගේ දේශපාලන සංක්‍රාන්තිය සහ ඉන් පසු සිදු වූ සියළුම දේ මා දකින්නේ බෙහෙවින් ධනාත්මකවය. ඔහුට මැතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වීම සහ ගෝඨාභය රාජපක්ෂ අභියෝගයකින් තොරව ජය ගැනීමද දිගු කාලීනව ජනතාව ලැබූ ජයග්‍රහණයන්ය. නොඑසේ නම් ගෝඨාභය අදටත් වීරයෙකි. වෙන කවුරු බලයට පත් වුනත් ගෝඨාභයව බලයට ගෙන ඒමේ සිහිනය ජනතාව අතහරින්නේ නැත. මේ අනුව ඔවුන්ට සත්‍යාවබෝධය තව දශකයකින් පමණ පිටුපසට යාමට ඉඩ තිබුණි. 

නාගනන්ද මහතා විසින් සිදුකල සමාජ පරිවර්තනය තවමත් බොහෝ දෙනෙකුට නොපෙනේ. මා දන්නා ඉතිහාසයේ පුද්ගලයෙකු හෝ පක්ෂයක් වෙනුවට වැඩ පිළිවෙලක් කරලියට නැංවුයේ ඔහුය. 

ඔහු නීතිවේදියකු බැවින් ඔහුගේ දැනුම සහ අවධානය, "නීතිය" යන සංකල්පයෙන් ඔබ්බට නොයන බවට ඔහු වටා රොක් වුනු පිරිස් අතරින්ද සංවාදයක් මතුවිය. මේ පිළිබඳව මටද ගැටළු තිබුණි.

පසු කලෙක මම මේ පිළිබඳව ස්වයං-විග්‍රහයක නිරත වුනෙමි. 

මා ඉතා ධනවත් රටවල සිට ඉතාම දුගී රටවල් දක්වා සංචාරය කර ඇති බැවින් මට රටක ඇති පහසුකම් සහ යටිතල ව්‍යහය පිළිබඳව හොඳ අවබෝධයක් ඇත. මා දකින ආකාරයට වැඩි දියුණු කිරීමට බොහෝ කාරණා තිබුනත් ලංකාවේ යහපත් පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන පද්ධතියක්, රෝහල් පද්ධතියක්, මහා මාර්ග පද්ධතියක්, සිවිල් සේවා යටිතල පහසුකම් පද්ධතියක් මෙන්ම අද වන විට වැදගත්වන අන්තර් ජාල සහ සංනිවේදන පද්ධතියක්ද ඇත. 

එසේ නම් ලංකාවේ ඇත්තටම ඇති ගැටළු මොනවාද? මට පෙනෙන්නේ කාරණා දෙකකි. 

අධ්‍යාපන ක්‍රමවේදය ඉහල සිට පහලටම ගැටළු සහගතය 

මුළු රටම වෙලාගත් දුෂණය, භිෂණය සහ වංචාව සමාජයේ ගැඹුරටම ඔඩු දුවා ඇත 

පාසැල් සහ සරසවි යනු අධ්‍යාපනය නොවේ. ඒවා අධ්‍යාපනයට අවශ්‍ය යටිතල පහසුකම්ය. අධ්‍යාපනය යනු පුරවැසියෙකුගේ දැනුම, විශ්ලේෂණ හැකියාව, දක්ෂතා සහ යහපත් පැවැත්ම වැඩි දියුණු කිරීමෙහිලා පහසුකම් සැපයීමයි. අධ්‍යාපනයේ මූලික පරමාර්ථය ලොවට වැඩදායක පුරවැසියෙකු බිහි කිරීමයි. අපේ රටේ ඇති "තොරතුරු රැස් කිරීම සහ වමාර දැමීම" මත පදනම් වූ ක්‍රමවේදය අධ්‍යාපනය ලෙස හැඳින්වීමට හැකි දැයි ප්‍රශ්න කිරීමට කාලය උදාවී ඇත.  

රටේ පවතින ගැටළු රට තුල විසඳා ගැනීමට තරම් හැකියාවක් ඇති පුරවැසියන් බිහි නොවීම, යහපත් තීරණ ගැනීමට නොහැකි අසතුටින් අසහනයෙන් පෙලෙන මානසික රෝගීන් බිහිවීම, සහ මේ අවැඩදායක ඵල ඊළඟ පරම්පරාවලට සම්ප්‍රේෂණය වීම අධ්‍යාපනය අයහපත්වීමේ ප්‍රතිඵලය. 

ඊළඟ කාරණයට මූලිකම හේතුව රටේ නීතිය වල් වැදීමයි. නීතිය යනු උසාවියේදී අප දකින ක්‍රියාන්විතය පමණක් නොවේ. නීති සහ ප්‍රතිපත්ති බිහිකිරීමේ යාන්ත්‍රණය,  පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, යුක්තිය පසිදලීමේ ක්‍රමවේදය, මෙන්ම සමාජය තුල පුරවැසියාගේ යහපත් හැසිරීමද නීතිය යන විෂයයට අදාළ වෙයි. 

රටක නීතිය බිඳ වැටෙන විට මුළු සමාජයම බිඳ වැටෙයි. සොරකම, භීෂණය සහ වංචාව සමාජයේ සෑම අහු මුල්ලකටම පැතිරෙයි. මෙහි ප්‍රතිඵලය සමස්ත සමාජ සංස්ථාවම කඩා වැටීමයි. එය අධ්‍යාපනයටද බලපායි. 

පාසල් සහ සරසවි පද්ධතියක් තිබුණාට අධ්‍යාපනය බිඳ වැටෙයි. මහාමාර්ග පද්ධතියක් තිබුනාට ප්‍රවාහනය බිඳ වැටෙයි,  රෝහල් පද්ධතියක් තිබුණාට සෞඛ්‍ය සේවය කඩා වැටෙයි. සිවිල් සේවා යටිතල පහසුකම් පද්ධතියක් තිබුනාට සිවිල් සේවය කඩා වැටෙයි, අන්තර්ජාල සහ සංනිවේදන පද්ධතියක් තිබුනාට එහි සේවය සාමාන්‍ය ජනතාවට ලබාගත නොහැකි තත්වයක් උදා වෙයි. අද ලංකාව පත්ව ඇත්තේ එතැනටයි. 

මේ අනුව නගානන්ද මහතාගේ අවධානයෙහි වරදක් නොමැති බව මට පෙනෙයි. නීතිය යලි ස්ථාපිත කිරීම තුලින් රටේ බොහෝ අංශ පුනරුත්තාපනය වෙයි. එය සමාජය ගොඩනැගීමේ අඩිතාලමයි. ඊට අමතරව අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීමද වැදගත් කාර්යභාරයකි. එතුමා ඒ පිළිබඳවද කතා කල බව මගේ මතකයි.

මෙතැන් සිට කොයි බටද?

මේ වන විට රට තුල විශාල කඩා වැටීමක් ඇත. බොහෝ දෙනෙකු මෙහිදී දකින්නේ ආර්ථික කඩා වැටීමයි. නමුත් ඊට වඩා බොහෝ සෙයින් දරුණු අවපාත කිහිපයක් ඇත. සිවිල් පරිපාලනය දුර්වල වීම, නීතියේ ආධිපත්‍ය පිරිහීම සහ සමාජයේ තීරණ ගැනීමේ යාන්ත්‍රණය ආගම් නායකයන් අතට පත්වීම මා දකින ආකාරයට වඩාත් අහිතකර තත්වයන්ය. තවමත් මේ ආයතන කඩා වැටි නැත (එසේ වූ විට රටම අසමත්වෙයි), එහෙත් එසේ වීමේ දැඩි අවදානමක් ඇත. 

නාගනන්ද මහතා දුර දක්නා නුවණින් යුතු තම වෘත්තියේ හසල අත්දැකීම් ඇති පුද්ගලයෙකි. එහෙත් රාජ්‍ය පාලනය සඳහා මීට වඩා අති පුළුල් පරාසයක වූ යාන්ත්‍රණයක් සහ දේශපාලන ව්‍යක්තභාවයක් අවශ්‍යවේ. එය ඇති තැන්වල වෙනත් බොහෝ දුර්වලතා පවතී. එහෙත් අප අකමැති පුද්ගලයන් සහ පක්ෂ සමග පවා යම් මැදහත් ස්ථාවරයකට පැමිණීම දේශපාලනයේදී නොකරම බැරි දෙයකි. නමුත් එහි ඇති වැදගත්ම කරුණ අපගේ මුඛ්‍ය පරමාර්ථය ගනුදෙනුවේ අංගයක් නොකරගනිමයි. මේ අනුව එකතුවන සියලුම දෙනා නීතියේ ආධිපත්‍ය ස්ථාවර කල යුතු බව අනිවාර්යයෙන් පිළිගත යුතුය. මේ සඳහා මේ එකතුවන සියුලු දෙනාගේ මෑත ඉතිහාසයේ ක්‍රියාකාරකම් සැලකිල්ලට ගත යුතුව ඇත.  




 



Friday 15 October 2021

ජනතාව පිනවූ නායකයෝ

මේ කියන්නේ මම දකින කතාවයි. එය ඔබ දකින කතාව නොවන්නට ඉඩ ඇත. 

මෑත කාලීන ලෝක ඉතිහාසය දෙස බලද්දී මට අපැහැදිලි, ඇදවූ සීමා ඉරකින් වෙන්වුන ගොඩවල් දෙකකට බොහෝ රාජ්‍ය නායකයන් බෙදිය හැක. එනම් තමා නිවැරදි යයි තීරණය කල දැක්මක් ඔස්සේ රටවල් ගෙන ගිය අය සහ බහුතරයක් ජනතාව පිනවීම වෙනුවෙන්ම තම දේශපාලනය කල උදවියයි. මෙයින් පලවෙනි කොටස බොහෝ විට රටවල් ගොඩගත් අතර තව පිරිසක් රටවල් විනාශ කර දැමිය. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ බොහෝ රටවල්, ජපානය, සිංගප්පුරුව, පළමු කොටසට අයත් නායකයන් සිටි රටවල්ය. මැලේසියාවේ මහතීර් මොහොමඩ් මේ ගොඩට අයත් වන අතර ඔහුගෙන් බොහෝ යහපත් දේද සමහර අයහපත් දේද සිදුවිය. මේ ගොඩේ සිටි දරුණුතම පුද්ගලයා හිට්ලර්ය.

දෙවෙනි කොටසට අයත් දේශපාලකයන්ගෙන් දියුණු වූ රටක් පිළිබඳව මම දන්නේ නැත. මේ පාලකයන් බොහෝ දෙනෙක් තම රට අගාධයට යන බව ඇස් පනාපිට පෙනියදීත් ජනතාව මුලාවට පත්කරමින් ඉදිරියට ඇදුනේය. මේ බොහෝ නායකයෝ ජනතාවගේ අවිඥානික මානසිකභාවය තමන්ගේ වාසියට හරවා ගත්තෝය. මුලදී රටේ සම්පත් විකුණමින් හෝ විදේශ ණය ලබා ගනිමින් ඔවුහු ජනතාවට නොමිලේ බොහෝ දේ ලබා දුන් අතර ඉතා විශාල ධනස්කන්ධයක් සොරා කෑහ. රට ගොඩගත නොහැකි තැනකට ඇද වැටී  ජනතාව තමන්ට එරෙහිවන විට ඔවුන් දරුණු ඒකාධිපති ස්වරුපයකට පත්වීම සාමාන්‍යයෙන් අපට දකින්න ලැබෙන ප්‍රවණතාවයයි.  පොල්පෝට්, එර්ශාඩ්, මාර්කෝස්, මුගාබේ, චාවේස් මීට හොඳම උදාහරණය. ඔවුන්ගෙන් තවත් බොහෝ දෙනෙක් රට තවත් තමා වැනිම කෙනෙකුට බාර දී දියවී යනුද අපි දැක ඇත්තෙමු. 

මේ දෙපිරිසට අමතරව මේ කොටස් දෙක අතර දෝලනය වූ පාලකයෝද සිටියේ නැතුවාම නොවේ. 

මා කියවා ඇති සහ දන්නා ලංකා ඉතිහාසයේ තමන්ගේ දැක්ම අනුව රට පාලනය කල නායකයන් මම දකින්නේ දෙදෙනෙකි. ඔවුන් අධ්‍යාපන මට්ටමින් මෙන්ම දේශපාලන ක්‍රමවේදයෙන්ද අන්ත දෙකක සිටි දෙදෙනෙකි. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධනයි. ඔවුන්ගේ කතාව ඉතිහාසයට එක්ව ඇති බැවින් එහි හොඳ-නරක තීරණය කිරීම ඔබට බාරය.

ලංකාව අද පවතින දුක්ඛිත තත්වයට පත් වීමට මුල් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ජනතාව පිනවීමට තම තීරණ අරගත් හෝ වෙනස් කල දේශපාලකයන් බව මම විශ්වාස කරමි. අද වන විට එහි කූඨ ප්‍රාප්තියට අප පැමිණ ඇත. මා අද දකින්නේ ඇත්තෙන්ම  "එදා වේල ටුවර්ස්" පාලනයකි. ඔවුන් සැමදා උදෑසන එදින ජනතාව අන්දන ආකාරය පිළිබඳව කල්පනා කරන බව පෙනේ. ගැසට් රිවර්ස් කිරීම එයට කදිම උදාහරණයකි. 

මට හැඟෙන ආකාරයට තව දුරටත් ජනතාව පිනවීමට ඔවුන්ට හැකියාවක් නැත. ඒ රටේ මුදල් අවසන් වී ඇති බැවිනි. මේ එළඹෙන්නේ පිනවීම මර්දනයෙන් විස්තාපනය වන කාලයයි. දෙවන කාණ්ඩයේ බොහෝ පාලකයන් වෙතින් අපි මේ අවස්ථාව දැක ඇත්තෙමු. 

දශක ගණනාවක් ලංකාව මුහුණ දෙන ඉතා අයහපත් ජාතිවාදී මානසිකත්වයට (ජාති බේදයකින් තොරව පැතිරී ඇති) එක් මූලික සාධකයක් වන්නේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයි. සිංහල බෞද්ධ ජනතාවගේ තාවකාලික ආශ්වාදය සඳහා ඔහු ගත් පියවර ජාතිවාදී සහ අවස්ථාවාදී දෙමළ නායකයන්ට ඉනිමං බැඳීමක් විය. සෑහෙන කාලයක් යුරෝපයේ ජිවත් වූ, ඔක්ස්ෆර්ඩ් සරසවියේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ බණ්ඩාරනායක, ඔහුගේ තීරණ වල අයහපත් ඵල ගැන දැන නොසිටියා යැයි මම නොසිතමි. බලයට ඇති කෑදරකම නිසාම ඔහු බෞද්ධ නායකයන්ට නොවිය යුතු පොරොන්දු වූ බව මගේ හැඟීමයි. 

මේ කතාව ලිවීමට පෙර මගේ හිතවතුන් කිහිප දෙනෙකු සමග මේ ගැන සාකච්චා කල අතර එහිදී කීප දෙනෙකුගේම අදහස වුයේ ආර් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම සවිමත් දැක්මක් ඇතිව සිටි නායකයෙකු බවයි. නමුත් මගේ මතය නම් රාජපක්ෂලාට සහ බණ්ඩාරනායකට පසු ජනතාව පිනවීමට වැඩිපුරම ප්‍රතිපත්ති වෙනස් කල පාලකයා ප්‍රේමදාසය. කෙටි උදාහරණ දෙකක් දෙනවා නම්; තමාගේම අනුග්‍රහයෙන් ඇරඹු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඔහු රජයට පවරා ගත්තේ ජේවීපීය වෙතට නැඹුරු වූ ජනතාව පිනවීමටයි. එහි ප්‍රතිඵලය ලෙස මැලේසියාවේ ඉදිවූ IMU සරසවියට මේ දක්වා ලාංකිකයන් වෙතින් ඇදී ගිය ඩොලර් මිලියන හෝ බිලියන ගණන කිසිවෙකුටත් පෙනෙන්නේ නැත. අනෙක් උදාහරණය නම් ඉතා විශාල ආයෝජනයක් සහිතව පටන් ගත් මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයයි. ලාංකිකයාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉතා හොඳ පිලියමක් වූ මේ ආයෝජනය ඔහු හාමුදුරුවරුන්ගේ විරෝධය හමුවේ හකුලා ගත්තේය. මෙම හාමුදුරුවරු එවකට මාෆියාවක් වූ ටින් කල සාඩින් ආනයනකරුවන්ගේ ආයෝජනයක් බව පසුව හෙළිවිය. 


        


Friday 8 October 2021

ඇන්ජෙලා ම'කල් කාගේ නිර්මාණයක්ද?


ජර්මනියේ පමණක් නොව ලොව බොහෝ දෙනෙකුගේ ඔල්වරසන් මැද ඇය නික්ම ගියාය. ඇය දැන් තවත් එක් සාමාන්‍ය ජර්මානු කාන්තාවක සේ නිදහසේ සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගෙන ට්‍රැම්ප් රථයක නැගී ගෙදර යන අයුරු පුවත්පත්වල පලවෙයි. ලංකාවේ බොහෝ දෙනෙකු ජර්මන් චාන්සලර් කෙනෙකු ගැන දන්නේ ඇන්ජෙලා ම'කල් පමණි. සමහරු හෙල්මුට් කෝල් සහ හෙල්මුට් ෂ්මිට් ගැන අසා ඇත.

මේ දිනවල මුහුණට මුහුණ මුණගැසී කෙරෙන සතුටු සාමිච්චි ඉතා අල්පය. මේ දුලබ අවස්ථාව අද මට ලැබුණේ අප සරසවියේ උපකුලපතිතුමා විසින් වාර්ෂිකව පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයේදීය. කෙටි කාලයකට දකුණු අප්‍රිකාවට පැමිණ සිටින මහාචාර්යවරුන් දෙදෙනෙක් මා සමග දිගු සල්ලපයකට වැටුනේය. ඔවුන් අර්න්ස්ට් සහ ජොහෑන් විය. 

"පසු - ඇන්ජෙලා ම'කල් ජර්මනිය ගැන ඔබේ අදහස කුමක්ද?" මගේ පැනය බොහෝ දුර යන කතාවකට මග පෑදීය. 

කෙසේ නමුත් මගේ පැනයෙහි කිසිඳු හරයක් නොමැති බව මට පසුවට ඔවුන් දැක්වූ අදහස් වලින් වැටහුණි. ජර්මානුවන්ට ඇන්ජෙලා තවත් එක් යහපත් පාලිකාවක් පමණක් බව ඔවුන්ගේ අදහස් පිළිබිඹු කළේය. 

"ඇන්ජෙලා ම'කල් පමණක් නොව ජර්මනියෙහි පාලනය බාරගත් සියළුම පාලකයන් අහම්බයන් නොවේ. ඔවුන්ව නිර්මාණය කලේ ජර්මන් ජනතාවයි". එය ජර්මානු විද්වතුන් දෙදෙනාම එකඟවූ කාරණයකි. 

"ඔබ සිතනවා නම් මේ පාලකයන් උපතින්ම ශාන්තුවරුන් කියා එය ඔබ කරනා ඉතා වැරදි නිගමනයක්" ජොහෑන් පැවසීය. 

"දෙවන ලෝක යුද්ධයට පෙර සිටි පාලකයන් ගැන මට කිව නොහැකියි. එහෙත් ඉන් පසු පැමිණි සියළු නායකයන් තුල යහපත-අයහපත දෙකම තිබුනා. ජනතාව දේශපාලකයන් තෝරාගන්න කොට පැහැදිලිව දැනගෙන සිටියා ඔවුන්ගේ මේ දෙපසම ගැන. හිට්ලර්ගේ පාලනය ජර්මානුවන්ට ඉතා හොඳ පාඩමක් කියා දී තිබුනා. එනම් කිසිම නායකයෙකු දෙස සර්ව සුභවාදිව නොබලන ලෙස.  ඔබ කෙනෙකුට චන්දය දීමයි, ඔහු කරන කියන හැමදේම අනුමත කිරීමයි කියන්නේ නුවණ සහ අනුවණ අතර ඇති වෙනසයි."

අර්න්ස්ට් එතැන් සිට මේ කාරණය තවත් සරලව විස්තර කළා. "මම හැම මැතිවරණයකදීම චන්දය භාවිතා කලේ මගේ මනාපය ලබාදුන් කෙනාගේ යහපත් පසටත් වඩා අයහපත් පස ගැන හොඳ අවබෝධයකින්. මේ නිසා ඔවුන් අයහපත් පසට බරවෙන විට අපි සාමුහිකව එයට විරුද්ධ වුනා. මේ විරෝධය අප ඊළඟ මැතිවරණයේදී තමාට විරුද්ධව චන්දය දෙනවා යන පණිවිඩය නොව එසේ සිදුවිය හැකි බවට අනතුරු හැඟවීමක් බව නැණවත් පාලකයන් තේරුම් ගත්තා. මේ නිසා ඔවුන් වඩාත් යහපත් වුනා. එය නොතේරුම් ගත් මෝඩයොත් නොසිටියාම නොවෙයි. ඔවුන් ආ වේගයෙන්ම නැති වී ගියා. මේ විදියට මගේ ජිවිත කාලය තුල ජර්මනියේ බලයට පැමිණි හැම පාලකයෙක්ම සමස්තයක් ලෙස කලින් කෙනාට වඩා යහපත් වූ බව මගේ පෞද්ගලික මතයයි."

ඔබේ රටේ හොර, තක්කඩි, මිනීමරු පාලකයන් නිර්මාණය කලේ කවුදැයි ඔබ දැන් ඔබගෙන්ම අසා දැනගන්න. 

Monday 4 October 2021

ධනාත්මක විවේචනය හෙවත් හීන් නූලෙන් රිදවීම


"ඔයාට මම මේක කියන්නේ තියෙන හිතවත්කමට. ඔයා අර විදියට කරපු එක හරිම වැරදියි. ඔයාට තිබුනේ මේ විදියට කරන්න". 

බොහොම සෙනෙහෙබර විලාශයෙන් තමන්ට කිසිසේත්ම අදාළ නොවන කාරණයක් ඇදගෙන ඔබව වරදකාරී හැගීමකට (guilty feeling) කොටු කරන ඒ යෙහෙළිය ඔබට මතකද? 

අපි වෙනත් තැනකින් කතාව පටන් ගනිමු. 

ඉරිසියාව සහ කුහකකම මේ දිනවල අපිට නිතර ඇසෙන වදන් දෙකකි. මේවායේ අර්ථ දැක්වීම් මොනවාදැයි ඔබ සිතා ඇත්ද?

ඉරිසියාව යනු තමන්ට නැති දෙයක් වෙනත් අයෙක්ට ලැබෙනවා දැකීමට ඇති අකමැත්තයි.

කුහකකම යනු තමන්ට ඇති දෙයක් වෙනත් අයෙක්ටත් ලැබෙනවා දැකීමට ඇති අකමැත්තයි.

මේ මනෝභාවයන් දෙකම පුද්ගලයෙකුගේ සැනසුම නසන මූළික කාරණා බව අපි සැවොම දනිමු. මානව ඉතිහාසය ඇරඹු දා පටන්ම ඉරිසියාව සහ කුහකකම අඩු වැඩි වශයෙන් මිනිසා තුල තිබෙන්නට ඇතැයි මට සිතෙයි. මේ ඍණාත්මක මානසික තත්වයන් මිනිසා විවිධ ක්‍රියාන්විතයන්ට යොමු කරවයි. එය සුළු සිත් රිදවීමක සිට ගම් බිම් ගිනිබත් කරමින් දියත් වූ මහා ජන සංහාර දක්වා විශාල පරාසයක විහිදෙයි. හීන් නූලෙන් රිදවීම මේ පරාසයේ එක අවස්ථාවකි. 

අපි කතාව පටන් ගන්නේ කාන්ත-වාචික මූලයක් සහිත පැනයකිනි. ඊට හේතුව මෙලෙස ව්‍යංග කරුණාවක් හරහා කෙරෙන දරුණු සිත් රිදවීම් ගැහැණු පාර්ශවය අතර සුලබ වීමයි. එහෙත් පිරිමි පාර්ශවය තුලද මේ ගතිගුණය ඇත්තන් නැතුවාම නොවේ. 

අවවාද, උපදෙස්, ධනාත්මක විවේචන ආදී යෙදුම් වලින් වසාගත් සිත් රිදවීම් කිරීමට යමෙක් පෙළඹෙන මූලික කාරණා කිහිපයකි. තරුණ වියේදී පෙම්වතෙකු නොමැතිවීම, පවුල් පසුබිමෙහි ගැටළු, තමා තුල ඇති නොහැකියාවන් ආදිය ඉරිසියාවට හේතුවන අතර තමා තුල අන් අයට නොමැති විශේෂ හැකියාවන්, වත්කම්, රූප සම්පත්තිය ආදී කාරණා ඇතැයි සිතීම කුහකත්වයට හේතුවෙයි. මැදිවියට පැමිණෙන විට පවුල් ආරවුල්, දරුවන් නොමැති වීම හෝ දරුවන් අඩු ප්‍රගතියක් පෙන්වීම, සමාජයේ කැපී පෙනෙන චරිතයක් වීමට නොහැකිවීම ආදී කාරණා මේ ගොන්නට එකතුවෙයි.

ඉහත හේතු නිසා බොහෝ දෙනෙක් මානසික රෝගයන්ට ගොදුරුවන අතර පසුගාමී සමාජ පසුබිමක හැදී වැදුණු අයෙකුට කුමන රටක සිටියත් මේ ආබාධිත තත්වයන් අවබෝධ කරගැනීම අසීරු වෙයි. මොවුන් බොහෝ විට ඉතා පරිත්‍යාගශීලී, ආගම ධර්මයට නැඹුරු, සුහදශීලී පුද්ගලයන් ලෙස පෙන්වීමට උත්සහ කරන අතර එම ප්‍රතිරූපයම තමන්ට කිට්ටු නෑදෑ හිත මිතුරන් රිදවීමට භාවිතා කරයි. 

මට ජිවිතයේ හමුවූ මේ හීන් නූල් රිදවන්නන් පිළිබඳව දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ මොවුන් බොහොමයක් බුදුවරුන්, රහතුන්, සාධුවරුන්, පාෂ්ටර්වරුන් ආදී නොයෙකුත් ස්වරුපයන්ගෙන් පෙනී සිටින්න වංචාකරුවන් පසුපස යන්නන් බවයි. එය ඔවුන්ගේ මානසික දුර්වලතාවයේ හේතුඵලයක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. 

ඔබට නිතරම බණ දේශනා කරන හෝ දේව භක්තිය පිළිබඳව අනවශ්‍ය ප්‍රමාණයෙන් කියවන හිත මිතුරියන් ඇත්නම් ඔබ කල්පනාකාරී වන්න. විශේෂයෙන්ම ඔවුන් අවශ්‍ය අනවශ්‍ය හැම දෙයකටම ඔබට අවවාද, අනුශාසනා දීමට අනාරාධිතවම ඉදිරිපත්වේ නම් ඒ ගැන වඩාත් සුපරික්ෂාකාරී වන්න. ඔවුන් බොහෝ විට ගොදුරු කරගන්නේ සංවේදී සිත් ඇති අයවයි. ඔබ ඔවුන්ට අවනත වන තරමට ඔවුන් ඔබව මානසිකව බිඳ දමයි. ඔවුන්ගේ සතුට ඔබගේ සන්තාපයයි. 

හීන් නූලෙන් තම හිතවතුන් රිදවන්නන් සමාජයේ සියළුම ස්ථරවල දැකිය හැක. මට මේ චරිතය සරසවියේදී මෙන්ම වැඩබිමේ දීද කිහිපවරක් මුණගැසී ඇත. වර්තමාන තාක්ෂණය මේ චරිතයට ඉතා පහසු වේදිකාවක් තනා දී ඇත. WhatsApp, Zoom, FB, Twitter ආදී විද්‍යුත් මාධ්‍ය තුලින් ඔවුන් ඉතා පහසුවෙන් තම ඉලක්ක සපුරා ගනී.