Friday 28 June 2019

යුනිවසිටි රෑන්ක් මොකටද?


මීට වසර දෙකකට පමණ පෙර මම ජාත්‍යන්තර සමුළුවක් ඇමතීම සඳහා ලංකාවට පැමිණියෙමි. එම සමුළුව පැවතෙන අතර එක් විවේක අවස්ථාවකදී සහභාගී වූ කිහිප දෙනෙකු සමග මම සුහඳ පිළිසඳරක යෙදුනෙමි. මෙහිදී මාතෘකාව සරසවි ලෝක ශ්‍රේණිගත කිරීම වෙත ඇදී ගියේය. එවකට මා මැලේසියාවේ පුත්‍රා සරසවියේ සේවය කල අතර ඉහළ ශ්‍රේණිගත වීමක් අරඹයා අප දරණ උත්සාහයන් සහ කැපවීම පිළිබඳව මම කෙටි විස්තරයක්  කලෙමි. මෙය අසා සිටි එක් කාන්තාවක් මෙසේ කීවාය.

"ඕක මහා විකාරයක්. අපිට දැනිලාවත් තියෙනවද අපි පාස් අවුට් වුන යුනිවර්සිටි එකේ රෑන්ක් එක. කවුද ඕව අහන්නේ. බොරු වැඩ" ඇයගේ කටහඬේ වුයේ දරුණු උපහාසයකි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් උපාධිය රැගෙන, ලංකාවේ රජයේ මුදලින් බ්‍රිතාන්‍යයේ වසරක පුහුණුව ලබා තරමක් දුර ප්‍රදේශයක රජයේ රෝහලක සේවය කරනා විශේෂඥ වෛද්‍යවරියක් බව මම පසුව දැන ගතිමි. 

මට ඇයගේ කතාව සම්පුර්ණයෙන්ම සත්‍ය බව ක්‍ෂණයකින් වැටහුණි. 

ලංකාවේ රජයේ සරසවියකට ඇතුල් වීම සඳහා ඇත්තේ ඉතා බිහිසුණු තරඟයකි. වෛද්‍ය අංශයෙන් නම් මේ තරඟයෙන් ජය ගෙන ඇතුළුවන සියල්ලන්ටම උපාධියෙන් පසුව රජයේ රැකියාව ලැබෙයි. ඉන්පසු පශ්චාත් උපාධිය සඳහා මෙරට සරසවියකට ඇතුළු වීමට අපහසුවක් නැත. එය සමත් වූ පසු පොදුරාජ්‍ය මණ්ඩලීය රටක කෙටි පුහුණුවක් ලබා ගැනීමටද රජයෙන් මුදල් ලබා දෙයි.

මේ තත්වය යටතේ ලංකාවේ සරසවි ශ්‍රේණිගත කිරීමක් පිළිබඳව කතා කිරීම පැහැදිලිවම විකාරයකි. නැත්නම් බොරු වැඩකි. ලංකාවේ පවතින පසුබිම අනුව  ලංකාවේ සරසවියක ඉගෙන ගෙන, රජයේ ආයතනයක සේවය කරන අයෙකුට සරසවියේ තත්වය කුමක්ද යන්න අදාළ වන්නෙම නැත.  

එහෙත් මේ තත්වය ලංකාවේ සියලු දෙනාටම අදාළද?

අපි මැලේසියාව දෙසට හැරී බලමු.

මා දස වසරක් සේවය කල පුත්‍රා සරසවිය පුර්ණ විශ්ව විද්‍යාලයක් ලෙස බෞතිස්ම ලබන්නේ වසර 1997 දීය. මා 2009 වසරේ එහි සේවයට බැඳෙන විට එහි ලෝක ශ්‍රේණිගත කිරීම 700-800 අතර විය. 1997 සිට වසර 12 තුල එය ලබා තිබූ ප්‍රගතියේ ප්‍රමාණය ඔබට සිතාගැනීමට නම් දශක ගණනාවකට පෙර ලංකාවේ ඇරඹි සරසවි පිළිබඳව සලකා බැලීම සුදුසුය. වසර 2009 වනවිට එම එක සරසවියක්වත් ශ්‍රේණිගත කිරීමට පවා ලක්ව තිබුනේ නැත. 

පුත්‍රා සරසවිය රජයේ විශ්වවිද්‍යාලයකි. එහෙත් එහි ඉගෙන ගන්නා සියළුම සිසු සිසුවියන් මුදල් ගෙවිය යුතුය. මැලේසියානු සිසුවෙකුට මෙම මුදල සමාසිකයක් සඳහා රුපියල් 40,000 ක් පමණ වෙයි. මෙම මුදල ගෙවීම සඳහා දක්ෂතම සිසුන්ට පුර්ණ ශිෂ්‍යත්වද සමහරුන්ට අර්ධ ශිෂ්‍යත්වද රජයෙන් ලැබේ. මීට අමතරව පෞද්ගලික අංශයෙන්ද දක්ෂ සිසුන් සඳහා ඉතා ආකර්ෂණිය ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙයි. විදේශීය සිසුන් ගෙවිය යුතු මුදල දේශීය සිසුන් ගෙවන මුදල මෙන් මෙන් දස ගුණයක් පමණ වෙයි. එනම් සමසකට රුපියල් ලක්ෂ 4 ක පමණ මුදලකි. මෙම විදේශීය සිසුන්ගෙන් ද්විත්ව වාසියක් සරසවියට ලැබේ. ඒ ගැන අපි පසුවට කතා කරමු.

පුත්‍ර සරසවියේද මම සිසුන් කෙරේ බලපාන ගැටළු රාශියක් දැක ඇත්තෙමි. නේවාසිකාගාරවල තත්වය, පුස්තකාලයේ අඩු පාඩු, වැසිකිළි ප්‍රමාණවත් නොවීම, විෂය නිර්දේශ යාවත්කාලින නොවීම ආදී ප්‍රශ්ණ එහි ඇත. ඒවාට නිරන්තරයෙන් විසදුම්ද ඉදිරිපත්වෙයි. සිසු-ගුරු සිසු-පාලක හමුවීම් නිතර සිදුවේ. එහෙත් මා සිටි දස වස තුල එක පැයකවත් සිසු උද්ඝෝෂණ, පන්ති වර්ජන තර්ජන එහිදී මා දැක නැත. ඒ වෙනුවට මා නිතරම දකින්නේ පාඩමෙන් පරිබාහිර අවස්ථාවල ඔවුන් දේශීය හෝ ජාත්‍යන්තර තරඟ සඳහා සුදානම්වන ආකාරයයි.

2010 වනවිට සරසවිය මගින් අපට "Vision -2020" නමින් නව දැක්මක් ඉදිරිපත් කරන ලදී. එහි මූලික ඉලක්කය වුයේ 2020 වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේදී පළමු සරසවි 200 අතරට පුත්‍රා සරසවිය පැමිණීමයි. මේ සඳහා බොහෝ කඩුළු සහ ඉලක්ක ආචාර්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණි. වඩාත්ම බර පැටවුනේ මහාචාර්යවරුන් වෙතටයි. ඉතා ඉහල තත්වයේ සඟරාවල පර්යේෂණ පත්‍රිකා පළ කිරීම, තම ජාත්‍යන්තර සබදතා ජාලය තුල පුත්‍රා සරසවිය ජනප්‍රිය කරවීම, සියළු ආචාර්යවරුන් ජාත්‍යන්තර ව්‍යපෘති සහ උපදේශක කටයුතු වලට සහභාගී වීම, දේශීය වශයෙන් ඉහල වැදගත්කමක් ඇති කරුණු වලදී පුත්‍රා සරසවිය වෙනුවෙන් පෙනී සිටීම ආදී වශයෙන් මෙම ඉලක්ක ඉදිරිපත් විය. 

මා ලංකාවේ සේවය කරන කල්හි උපදේශන (consultancy) කටයුතු වලට සහභාගී වීමට එරෙහිව එකට සිටින සඟයන්ම අවි අමෝරාගෙන එන අවස්ථා අනේකවත් මම දැක ඇත්තෙමි. එහෙත් මැලේසියාවේ තත්වය ඊට සාපුරාම වෙනස්ය. එකෙකුට අවස්ථාව ලැබුණු විට ඔහු කාක්කාට ආහාරයක් ලැබුනාසේ මුළු රෑනටම අඬගසයි. සරසවිය පාලක මණ්ඩලයද උපදේශන කටයුත්තෙන් තම සේවකයා අමතරව ලබන මුදල ගැන නොව සරසවියට ඉන් ලබාගත හැකි කීර්ති නාමය පිළිබඳව විමසිලිමත් වෙයි. 

වසර 2019 වන විට පුත්‍රා සරසවිය ලෝක ශ්‍රේණිගත කිරීමේ 159 වන ස්ථානයට පත්විය. අප සැමගේ උත්සාහයන් මල් පල ගැන්විණි. අද මා සත් සමුදුරෙන් එතෙර සිටියත් පුත්‍රා සරසවියේ සාර්ථකත්වය ගැන ඉතා සතුටටත් ආඩම්බරයටත් පත්වෙමි. ඒ මාද එහි සුවිශේෂී කොටස්කාරයෙකු වන බැවිනි. මගේ ඊළඟ ඉලක්කය දැන් මා සේවය කරන දකුණු අප්‍රිකාවේ විට්වොටර්ස්රෑන්ඩ් සරසවියද මෙම මාර්ගයේම ගෙනයාමයි. 

ඇයි පුත්‍රා සරසවියට අවශ්‍ය වුනේ ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියටම යන්න? මීට උත්තරය ලංකාවේ සරසවිවලට එය අවශ්‍ය නැත්තේ ඇයිද යන්නටද පිළිතුරු සපයයි. 

අද ලෝකයේ බොහෝ රටවල ඉහල තත්වයේ රැකියාවක් ලබා ගැනීමට ගිය විට අසන මූලික ප්‍රශ්ණයක් වන්නේ ඔබ ඉගෙන ගත් සරසවියේ රෑන්ක් එක කුමක්ද යන්නයි. ජාත්‍යන්තර තලයේ ගැවසෙන අයෙකුට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇත. පශ්චාත් උපාධියක් සඳහා යම් සරසවියකින් ශිෂ්‍යත්වයක් ලබා ගැනීමේදීද ලෝක සරසවි ශ්‍රේණිය ඉදිරියට පැමිණෙයි. මේ නිසා දක්ෂ සිසුන් සරසවියක් තෝරාගැනීමේදී ලෝක සරසවි ශ්‍රේණිය තම මූලික සාධකය කරගනී. විශේෂයෙන්ම මුදල් ගෙවා ඉගෙන ගන්නා පිරිස මේ පිලිබන්දව දැඩි අවධානයක් යොමු කරයි. මේ නිසා ඉහල ශ්‍රේණියක පවතින සරසවියකට සිසුන්ගෙන් ඉහල මුදලක් අයකළ හැකි අතර දක්ෂ සිසුන් ආකර්ෂණය කරගැනීමේදී අනෙක් සරසවිවලට හොඳ තරඟයක් ලබා දිය හැක. ලෝක සරසවි ශ්‍රේණියේ ඉහලට යාම තම රටටද ඉතා හොඳ කීර්තියක් අත්පත් කරදෙයි. 

මෙහිදී විදේශීය සිසුන් විශාල කාර්යභාරයක් සිදුකරයි. ඔවුන්ගෙන් ලැබෙන මුදල රටට ලැබෙන විදේශ විනිමයක්ද වන්නේය. සරසවියේ කීර්තිනාමය ලොවපුරා රැගෙන යන මූලික පණිවිඩ වාහකය ඔවුන්ය. මීට අමතරව විදේශීය සිසුන් හා දේශීය සිසුන් අතර ඇති අනුපාතය ලෝක සරසවි ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියේදී සලකන මූලික අංගයකි. ශ්‍රේණිය වැඩිවන සරසවියකට විදේශීය සිසුන් වැඩි වශයෙන් පැමිණේ. ඒ සමගම සරසවියේ ශ්‍රේණිය ඉහල යයි. මෙය ධනාත්මක චක්‍රයක ක්‍රියාත්මක වෙයි.

ලංකාවේ රජයේ සරසවි වලට ඉහල ශ්‍රේණිගත කිරීමකට උත්සහ කිරීම සඳහා විශාල අවශ්‍යතාවයක් පවතින බවක් මට නම් නොපෙනේ. මේ සඳහා සමහර සිසුන්ට (විශේෂයෙන්ම විදේශ ශිෂ්‍යත්ව ලබා පශ්චාත් උපාධි සඳහා යාමට බලාපොරොත්තුවන පිරිසට) විශේෂ උනන්දුවක් ඇත. එහෙත් ඔවුනට කළහැකි දෙයක්ද නැත. අනෙක් අතට පෞද්ගලික සරසවි වලට මේ පිළිබඳව ඉදිරියේදී දැඩි අවධානයක් එල්ල කිරීමට සිදුවනු ඇත. අවසාන ප්‍රතිඵලය වන්නේ ලංකාවේ පෞද්ගලික සරසවි තව ටික කාලයකින් රජයේ සරසවි අභිබවා වේගයෙන් ඉදිරියට යාම වනු ඇත. 



Monday 17 June 2019

කළු සහ සුදු


මා පිලිප් ශාන්ත යන මාධ්‍යවේදියා හදුනාගත්තේ ටික කලකට පෙරය. ඒද වතපොත හරහාය. ඔහුගේ වතපොත භාවිතය තුල මම දැඩි රාජපක්ෂ විරෝධයක් දුටුවෙමි. මේ රජයද නොහොඹිනා අකටයුතු කම් කරද්දී ඔහු ඊට එරෙහිවද වත්පොතේ පෝස්ට් පළ කරන්න විය. මේ සමගම ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක් තම මත ඵලකරමින් ඔහුට සමච්චල් කරන්න විය. ඒ "තේරුණේ දැන්ද?" යන්න ගම්‍ය වන ලෙසටයි. 

"වෙනස සැපද?" මේ පසුගිය කාලය පුරාවටම අපි වතපොතේ දුටු සම්ච්චලයකි. 

පිලිප් ශාන්තගේ වතපොත මිතුරන් නිරූපනය කරන්නේ අද ලෝකයේ වැඩි දෙනෙකුගේ මානසික-පද්ධතියේ ස්වභාවයයි. ඔවුන් ලොව දකින්නේ කළු හෝ සුදු ආකාරයටයි. දේශපාලනය, ආගම, ජාතිය, ආදී මෙකී නොකී දෑ වෙනුවෙන් මිනිසුන් ගහ මරා ගන්නේද, සිත් තැවුල්, පසුතැවීම්, ක්‍රෝධ, ද්වේෂ ආදී ඍණ චින්තනයන්ගෙන් මනස පුරවා ගන්නේද මේ නිසාමය. 

මේ ලොව කළු සහ සුදු මිස, කළු හෝ සුදු නොවන බව බොහෝ දෙනෙකුට නොතේරෙයි. ඒ කළු සුදු අන්ත දෙක අතර අනන්ත වූ අළු පැහැයේ ශේෂයන් පවතියි. මේ බව තේරුම් ගැනීමට නොහැකි වීම දුක්ඛ දෝමනස්ස පමණක් කර ගසා ගත් අතෘප්තිකර, අසහනකාරී, සහ අසතුටින් පිරි ජීවිතයකට මග පාදයි.

දේශපාලනික මතිමතාන්තර ගත් කල ලංකාවේදී මා ජිවිත කාලය පුරාවටම බොහෝ විට දුටුවේ, ශ්‍රී ලංකා කාරයන්, යූ එන් පී කාරයන්, ජේ වී පී කාරයන් පිරිසකි. පසුව එය එක එක දේශපාලකයා බදා ගැනීම දක්වා ඔඩු දුවන්න විය. මේ අප දකින්නේ රටක් ඛේදවාචකයකට යන ගමනක මුල් පියවරකි. 

අපි කඩේකින් අඹ ගෙඩියක් මිලදී ගන්නා විට හොඳම ගෙඩිය තෝරා ගැනීමට උත්සුක වමු. එහෙත් සමහර විට එය කපා බලන විට පණුවන් පිරී පවතී. අඹ විශාරදයන්ට පවා මේ අත්දැකීම ලැබෙයි.  එවිට අප කරන්නේ එම ගෙඩිය විසිකර අළුත් ගෙඩියක් ගැනීමයි කලින් ගෙඩියට කොතරම් මිලක් ගෙව්වත් එහි පණුවන් ඇත්නම් එය විසිකළ යුතුය. අළුතෙන් ගන්නා අඹය තුලද පණුවන් සිටියි නම් එය අවාසනාවකි. කිසිවෙක් පනුවන් ඇති අඹයක්ම තෝරා ගනිතැයි මම නොසිතමි. එය අවාසනාව කියා අපට නැවතත් පණුවන් සිටින නව අඹය කෑමට නොහැක. එය ඉවත දමා කලින් විසිකළ පරණ අඹය නැවත අහුලාගෙන පණුවන් සිටින හරිය ඉවත් කර කෑමට ගැනීමද සාමාන්‍ය මිනිස් ස්වභාය නොවේ. අඹ කෑමට අවැසි නම් අපි හොඳ අඹයක් සොයා ගෙනම යා යුතුය. 

පවතින රජය කෙතරම් අසාර්ථක වුවත් ඒ තුලින් ඇති වුන ජනතා පිබිදීම දෙස මම සතුටු සිතින් බලමි. සාමාන්‍යයෙන් මා දන්නා ඉතිහාසය තුල ලංකාවේ කළාකරුවන්, වෘතිකයන්, සරසවි ඇඳුරන් ආදීන්ගේ දේශපාලන හැසිරීමේ පැහැදිලි රටාවක් පැවතුනි. 

චන්දයකට පෙර ඔවුන් බොහෝ දෙනෙකු ශක්තිමත් පක්ෂයට ආවඩන්නේය. ඉන්පසු එම නලාකරුවන් පත්වන රජයේ දහසක් වැරදි ඇස් පනාපිට සිදුවෙද්දී ගොළු බිහිරි අන්ධයන් සේ හැසිරෙන්නේය. ඒ රජයෙන් ලැබෙන දහසකුත් වරප්‍රසාද භුක්ති විඳීමට ඇති කෑදරකම නිසාය. එතැනින්ද නොනැවතී සමහරු ඉතා දීන ආකාරයෙන් පාලකයාට ප්‍රශස්ති ගී ගායනා කරන්නද පෙළඹෙති. නැවතත් චන්දයක් ලංවන විට ඔවුහු ඊළඟට පෙනෙන ශක්තිවන්තයාගේ ඔඩොක්කුවට පනිති.

එහෙත් පසුගිය වකවානුවේදී ප්‍රථම වරට මේ තත්වය වෙනස්විය. පත්ව වසර දෙකක් ඉක්ම යන්නටත් පෙර මේ රජයට එරෙහිව අවි එසවූයේ රජය පත්කළ පිරිසමය. අදටත් විපක්ෂය නොයෙකුත් නර නාටක විප්‍රකාර කරමින් රජය පවත්වාගෙන යාමට අනියමාර්ථයෙන් උපකාර කරන අතර රජයට එරෙහිව අර්ථාන්විත අරඟලයක් කරන්නේ මේ රජය පිහිටුවන්න ඉදිරිපත් වූ පිරිසයි. අඩුම ගානේ, අඹය කුණුවී ඇති බව ඉක්මනින් වටහා ගැනීමට මේ පිරිසට හැකිවීම අගය කල යුතුය. පසුගිය රජය තුල මේ කර්තව්‍ය නියම කාලයේදී සිදු වුනා නම් බොහෝ දේ මීට වඩා යහපත් වන්නට තිබුණි. 

කාලාන්තරයකට  පසු සිදුවූ මේ යහ ඵලය සුදු  ලෙසින් දැකීමට සමහරුන්ට අපහසුය. එය ඔවුන්ගේ වරද නොවේ. දශක ගණනාවක් පුරා ඔවුන් දුටු දේ ඔවුන්ගේ මනස තුල සම්මතයක් වී ඇත. එය බිඳීම අපහසුය. "දැන්ද තේරුණේ" යන උපහාසයෙන් ඔබ්බට ගොස් පවතින වාතාවරණයෙහි  ධනාත්මක පස දැකීම ඔවුන් විසින්ම ගොඩ නගාගත් කොටු පවුරු මගින් වළක්වා ඇත.  

එහෙත් සමාජගත වන යහ ඵල වළක්වාලීමට මේ මනසට විලංගු දාගත් උදවියට අපහසු වී ඇති බවක් දැන් පෙනේ. කවදාවත් නැති තරම් උද්යෝගයක් අද system change එකක් වෙනුවෙන් මතුවී ඇත. මේ system change එක මෙතෙක් කල් පැවති ඔළු ගෙඩි වෙනස් වීම වෙනුවට ඔළු ගෙඩි ඇතුළ වෙනස් වීම බව තේරුම් ගැනීමටද සමහරුන්ට අපහසුය. ඔළු ගෙඩි ඇතුළ වෙනස් කිරීම පහසු නැත. ඒ සඳහා බොහෝ දේ වෙනස් කල යුතුය. එයට ජනතා කැපවීමක් අවශ්‍යම මොහොත උදා වී ඇත. 



දැන් සෑහෙන කලක සිට බටහිර යුරෝපීය, උතුරු ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු රටවල සමාජීය මට්ටමින් හොඳ කල දසාවක් පවතී. මීට ප්‍රධාන හේතුවක් දෙස මා දකින්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ රටවල ජන මනස තුල සිදුවූ, ලොව කළු සහ සුදු ලෙස දැකීමේ ප්‍රවණතාවයයි. මේ තත්වයට මනස ලඟා කරගැනීම සඳහා ඔවුන්ට ඉතා ඉහල මිලක් ගෙවීමට සිදුවිය. ඒ මිලියන ගණනක ජීවිත විනාශයකි. 

ලංකාව මෙන්ම දියුණු වෙමින් පවතින බොහෝ රටවල පිරිස් මේ සංවර්ධිත රටවලට ඇදී යන්නේ මේ යහපත් වාතාවරණය නිසාය. එහෙත් අවාසනාවකට එලෙස එතෙර යන බොහෝ ලාංකිකයන්ද ඒ රටවල ඇති මේ ධනාත්මක මානසික පද්ධතියට අනුගත වීමට උත්සාහ නොකරන සේයකි. වතපොතේ ඔවුන් පළ කරන පෝස්ට් මෙන්ම කොමෙන්ටු වලින්ද මේ බව තහවුරු වෙයි. 

අනෙක් අතට තම ආගම පුර්ණ ලෙස සුදු යයිද අනෙකුත් සියළුම ආගම් කළු යැයිද සිතන ජනතාවක් සිටින රටවල් අද වන විට පත්ව ඇති ඛේදවාචකය අප සියලු දෙනාම දනිමු.  

අප රටේ "රණවිරුවා" යන නාමයද මේ සුදු කළු අන්ත දෙකට පාපන්දුවක් මෙන් විසි කරන වදනකි. 

හමුදා සොල්දාදුවා යනු තවත් එක් රැකියාවක් කරන මනුෂ්‍යයෙකි. ඔහුගේ රැකියාවේ මුලික අංගයක් වන්නේ ඉහළින් එන අණට කීකරු වීමයි. මෙය බොහෝ රැකියා වලට පොදු කරුණකි. මීට අමතරව වෙනත් සියළුම මනුෂ්‍යයන් මෙන් හමුදා සෙබළා අතරද සුදු සහ කළු අඩු වැඩි වශයෙන් පවතින චරිත ඇත. එම වර්ණ සංකලනය කාලය හා පරිසරය අනුවද වෙනස් වෙයි.

එහෙත් ලංකාවේ බොහෝ දෙනෙක් සොල්දාදුවාගේ වර්ණය තීරණය කරන්නේ ඔහු ක්‍රියාත්මක වන කාලයට අදාළ රජය තමා දකින ලෙස සුදුද කළුද යන කරුණ මතයි. 

ජවිපෙ කළබල පැවතී 88/89 සමයෙන් අනතුරුව අපි නැවතත් සරසවියට පියනැගු කාලයේ අපගේ හිතවතියක් හමුදාව පිළබඳව දැක්වූ අදහස් මට තවමත් මතකය.

"මට පේන්න බැහැ ඔය කුළියට මිනී මරණ හමුදාව". ජවිපෙ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට හමුදාව ක්‍රියා කල ආකාරය සහ එවකට ඇයගේ දේශපාලන නැඹුරුතාවය මෙම අදහසට හේතු වන්නට ඇත. හමුදාව විසින් කැරලිකරුවන් මැඩ පැවැත්වීමට අමතරව බහුතරයක් සිංහල වන අහිංසක මිනිසුන්ටද තද බල ලෙස පීඩා කිරීම ඒ කාලයේදී අපි සියළු දෙනා අත් දුටුවෙමු. ඒ හමුදාවේ සැටිය. මෙය ලොව කොතනටත් පොදුය. 

ඊට වසර ගනනාවකට පසු එම හමුදාවම LTTEයට එරෙහිව යුධ වදිද්දී ඇය ඔවුන් වෙනුවෙන් බෝධි පුජා පැවැත් වුවාය. එම යුධයට මැදිවූ බහුතරයක් වූ දෙමළ ජනතාවට එම හමුදාවෙන් කිසිඳු පීඩාවක් සිදු නොවූ බව ඇය තරයේ විශ්වාස කරන්නීය. එවකට පැවතියේ ඇය ආදරය කරන නායකයාගේ රජයයි.

එම රජය විසින්ම කල අණ දීම් වලින් සිංහල බහුතරය සිටින ප්‍රදේශවල උද්ඝෝෂණ වලට වෙඩි තබා මිනිසුන් ඝාතනය වත්දී ඇය මෙන්ම එම පාර්ශවයේ අනෙක් අයද මුණිවත රැකීය. විරුද්ධ පාර්ෂවයේ ඇත්තෝ මහා හඬින් රජයට එරෙහිව ඝෝෂා කළහ.

එම රජය පෙරලී නව රජයක් බලයට පත් විය. හමුදාව හෝ පොලීසිය වෙනස් වුයේ නැත. ඔවුහු කලින් කල දෙයම කරති. දැන් පෙර කල සොල්දාදුවාට රණවිරුවා යයි උපහාර දැක වූ උදවියම ඔහුට අළුගෝසුවා යන නම පටබඳිමින් සිටියි. කලින් සොල්දාදුවා නිර්ධය ලෙස විවේචනය කල උදවිය දැන් ඔහු "රණවිරු" වේදිකාවේ ඔසවා තබමින් සිටියි. 

රජයේ වැටුප් ලබන අන් කිසිඳු ශ්‍රමිකයෙකුට වඩා හමුදා සොල්දාදුවා තම රැකියාව හරි ආකාරයෙන් කරන බව බොහෝ කාරණා වලදී ප්‍රත්‍යක්ෂ වෙයි. මෙය ඔහුගේ රැකියාවේ ස්වභාවය මත සිදු වන්නකි. සොල්දාදුවා ඉහලින් ඔසවා තබන කිසිවෙකුත් මේ සොල්දාදුවගේ සුදු පසින් යමක් තම ජීවිතයට ලබා ගැනීමට උත්සහ දරතැයි මට නම් නොසිතේ. සාමාන්‍ය ජන සමාජයේම කොටසක් වන සොල්දාදුවාගේ කළු පසෙහි සුදු හුණු ගෑම වෙනුවට ඔහුගේ සුදු පසින් යමක් ජීවිතයට එක් කර ගැනීමට අප සිතනවා නම් එය ජීවිතයේ සාර්ථකත්වයට රුකුලක් වනු ඇත.