Monday, 14 July 2025

බුදුන් දෙසු දහම ආගමක් නොවුනා නම් !


ආගමකින් තොරව ශිෂ්ඨාචාරය ස්ථායිව පවත්වාගෙන යාමට තරම් බුද්ධි මට්ටමකට මානවයා එළඹීමට තව සහශ්‍ර දෙකක්වත් යා යුතුය. මේ ගැන මම කලින් ලිපියෙන් විස්තර කලෙමි.

බෞද්ධ නොවන බොහෝ දෙනා මගෙන් බුදු දහම යනු කුමක්දැයි ඇසු විට මම දෙන කෙටි පිළිතුරක් ඇත. 

"It is the study of the nature of nature" (එය ස්වභාවයේ ස්වභාවය අධ්‍යනයයි).

මෙහි පළමු ස්වභාවය යනු "ස්වාභාවධර්මයයි". දෙවන ස්වභාවය යනු "හැටි" හෝ "විදිය" යන්නයි.

බුදුන් හෝ යම් සමුහයක් විසින් ගොඩ නගන ලද බුදු දහම නම් තර්කනය කට වචනයෙන් සහ ඉන්පසු ලිඛිත මාධ්‍යයෙන් කාල තරණය කරද්දී කෙතරම් වෙනස්කම් වලට භාජනය වුවාදැයි අප දන්නේ නැත. එහෙත් දැනට අපට කියවීමට ලැබෙන අභිධර්මයේ මූලික හරය අධ්‍යනය කළහොත් මට හැඟෙන්නේ මෙවැනි අදහසකි.

අපට විශ්වය සංවේදනය වන්නේ ශරීරයේ ඇති සංවේදක (sensors) පහ සහ එමගින් ජනිතවන සංඥා (අද අපේ දැනුම අනුව විද්‍යුත් ස්පන්දන) මනස ඇතුළත් සංකීර්ණ සැකසුම් ඒකකයකට (processing unit) ගමන් කිරීමෙන් අනතුරුව ඇතිවන ක්‍රියාදාමයක් හේතුවෙනි. මෙම සැකසුම් ඒකකය හදවත ලෙස මුලින්ම හෝ පසු කලෙක හඳුන්වාගෙන ඇති බවක් පෙනෙයි.  ඒ වෙනුවට මොළය ආදේශ කළහොත් මෙය 21වන සියවසේ දැනට පවතින දැනුම තුල 100%ම සාර්ථකව විග්‍රහ කල හැක. 

ඉන් පසු ලද සංඥාවන් මතකයේ ඇති ප්‍රතිරූප සමග සංසන්දනය කිරීමෙන් හඳුනාගැනීමත්, ඒ හා සමගම ඇතිවන හැඟීම් සමග සැකසුම් ඒකකය මගින් ප්‍රතිදානයක් (output) ලබා දීමත් අභිධර්මයේ මැනවින් විග්‍රහ වෙයි. මේ වන විට ඇති දැනුම තුල මේ ක්‍රියාවන් සිදුවන මොළයේ කොටස් පිළිබඳව සෑහෙන ගැඹුරු තොරතුරු ප්‍රමාණයක් විද්‍යාව සතුව ඇත. පිටතින් ලැබෙන සංඥාවකට සැකසුම් පද්ධතිය තුල සිදුවන ක්‍රියාවලිය සහ ඉන් අනතුරුව ලබා දෙන ප්‍රතිදාන, ප්‍රතිපෝෂණ තොරතුරු (feedback information) ලෙස මතකයෙහි තැන්පත් වෙයි. ඊළඟ වර කලින් පිටතින් ලැබුණු සංඥාවම හෝ ඊට ආසන්න සංඥාවක් ලැබුණු විට සැකසුම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මේ යාවත්කාලීන වූ තොරතුරු මතය. කර්මය ලෙස බුදුදහමේ (හින්දු/ජෛන දහම්වල සඳහන් කර්මය නොවේ) සඳහන්වන්නේ මේ feedback loop එක බව මගේ හැඟීමයි.

බුදු දහමේ ඉදිරිපත්කරන මූලික හරය ලෙස මා දකින්නේ අපට සංවේදී වන මුළු විශ්වයම සැකසුම් පද්ධතියේ ඇතිවන සංඥා සමුහයක් බව අවබෝධකර ගැනීමයි. මේ මගින් අපට ලැබෙන සංඥා මතකයේ ගැබ්වූ ප්‍රතිරූපයන් සමග සැසඳීමෙන් පසු ඇතිවන ද්විතීක ක්‍රියාවලිය පාලනය කරගත හැක. 

මෙහිදී වඩාත් වැදගත් වන්නේ පිටතින් ලැබෙන විද්‍යුත් සංඥා වලට අනුරූපී වන නාම-රූප (entities pertinent to the external signals) උපාදානය නොකරගනිමයි. එනම් එම නාම-රූප වෙත නොඇලීමයි. එම නාම-රූප සංඥා පමණක්ම බව අවබෝධකරගැනීමෙන් මේ උපාදානය සෑහෙන්න අඩු කරගත හැක. එය සතුටින් සැනසුමෙන් ජීවත්වීමේ මූලික පදනමයි. බුදුන් දෙසු දහම මා අවබෝධකරගත් ආකාරය තුලින් ලබාගත් ප්‍රයෝගික ලාභය එයයි. මම අද ඉතා තෘප්තිමත් සහ සැනසීමට පැමිණි පුද්ගලයෙකි. 

මේ සැනසිලිදායක දිවි පෙවෙතට, බොහෝ බෞද්ධයන් සහ හින්දු/ජෛන භක්තිකයන් සිතමින් වෙහෙසෙන බොහෝ දේ අදාළ නැත. දෙවියන් ඇද්ද නැද්ද, මරණින් මතු හෝ මරණයට පෙර පැවැත්මක් ඇද්ද නැද්ද, බාහිර බලවේගයකින් ක්‍රියාත්මක වන කර්ම ඵල ඇද්ද නැද්ද යනු ඉන් කිහිපයකි. යථාර්තය නම් අප කිසිවෙක් මේ ගැන දන්නේ නැති බවයි. ඕනෑම කෙනෙක්ට මේ ගැන ඕනෑම දෙයක් කිව හැක. අපට හැක්කේ එය පිළිගනිම හෝ නොපිළිගැනීමයි. බොහෝ දෙනෙකු කරන්නේ ඒ ගැන සිතමින් බිය, සැක, වේදනාව ආදී ඍණාත්මක හැඟීම් සමග අසහනකාරී ජිවිත ගත කිරීමයි.

-------------------------------------------------

ස්වභාවයේ ස්වභාවය සොයා ගිය එකම තැනැත්තා සිද්ධාර්ථ ගෞතම පමණක් විය නොහැක. බෞද්ධ සහ ජෛන සාහිත්‍යයේ පමණක් යන්තම් සඳහන් වන සිද්ධාර්ථයන්ගේ මුල් ගුරුවරුන් වූ උද්දකරාම පුත්ත, ආලාරකාලාම ආදීන් කිහිප දෙනෙක් සොයාගියේද මේ ස්වභාවයයි. සමහර විට ලොව පුරා මේ ආකාරයේ බුද්ධිමය දේශාටනයේ යෙදුනු පුද්ගලයන් ගණනාවක් සිටින්නට ඇත. ඔවුන් අතරින් සිද්ධාර්ථ ගෞතම සහ ජෛන මහාවීර දේශනා කල දහම් පමණක් චිරාත් කාලයක් පැවතීමට හේතුව කුමක්ද?

එයට කෙටිම පිළිතුර නම් ඔවුන්ගේ සංකල්ප පසු කලෙක 'ආගම්' බවට පත්වීමයි. 

යම් දහමක් දීර්ඝ කාලයක් පැවතීමට නම් එයට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුමය. දහමක රාජ්‍ය අනුග්‍රහය ලැබීමට නම් එය ශිෂ්ඨාචාරයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා රාජ්‍ය තන්ත්‍රයට උපකාරී විය යුතුය. මෙලෙස රාජ්‍ය පැවැත්මට උපකාරී වන්නේ එම දහම තුල මානව හැකියාවන් ඉක්මවා යන සුපිරි බලවේග සහ මරණින් මතු/පෙර පැවැත්ම සඳහන් වේ නම් පමණි. මේ නිසා එම සංකල්ප දහම තුල තහවුරු විය යුතුය. එය සිදුවෙන විට දහම ආගමක් බවට පත්වෙයි. 

ආගම යනු රාජ්‍ය තන්ත්‍රය පවවාගෙන යාමට අත්‍යවශ්‍ය උපකරණයකි. මේ නිසා රාජත්වය ආගම ආරක්ෂා කරයි. යටත් වැසියා දිවිහිමියෙන් ආගම රැකගැනීමට අවි ආයුධ පවා අතට ගනියි. මෙය ශිෂ්ඨාචාරයේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය වෙන අතරම දහම තුලින් අරමුණු වූ මානසික සුවය මානවයා තුලින් වියැකී යාමටද හේතු වෙයි. 

ජෛන මහාවීරගෙන් පසු වසර 150ක් පමණ කාලයක් තුල චන්ද්‍ර ගුප්ත මෞර්ය අධිරාජ්‍යයා එයට අනුග්‍රහය ලබා දුන්නේ නැත්නම් ජෛන දහම ගැන අද කිසිවෙක් කතා නොකරනු ඇත. ගෞතම බුද්ධයන්ගෙන් වසර 200ක් ඇතුලත අශෝක අධිරාජ්‍යයා එයට අනුග්‍රහය නොදුන්නේ නම් සිද්ධාර්ථ ගෞතමගේ සොයාගැනිම්ද කාලයේ වැලි තලා අතර වැළලී යන්නට තිබුණි. චන්ද්‍රගුප්ත මෞර්යට වඩා අශෝක අධිරාජ්‍යයා බලවත් වූ බැවින් බුද්ධාගම ජෛනාගමට වඩා වපසරියක ලොව පුරා ව්‍යාප්ත විය.

ශිෂ්ඨාචාරයේ පැවැත්ම කරනකොට ගෙනම බිහි වූ ඒබ්‍රහමික ආගම් ලොව පුරා පැතිරෙන්නේද ඒවා රාජ්‍ය තන්ත්‍රයට මනා ලෙස උපකාරී වන අයුරින් ආරම්භයේදී මෙන්ම පසුකාලයකදීද සැකසෙන බැවිනි. මේ සඳහා උදාහරණ බොහෝ ඇත. 

ආගම් සම්බන්ධයෙන් මානවයාට ඇත්තේ රැකවරණය ආශ්‍රිත වූ හැඟීමකි. එය රජුන් විසින් තම  (සහ තම සමුහයේ) පැවැත්ම උදෙසා මානව මනස මත පැටවූ ආකල්පමය බලහත්කාරයකි. වර්තමානය දක්වා බොහෝ මානවයන්ගේ හැඟීම නම් ආගම විසින් තම සමුහය රැකගන්නා බවයි. මේ සඳහා සමුහය විසින් ආගම රැකගත යුතුය. මේ සඳහා ඔවුන් නොයෙකුත් ආකාරයෙන් ආගම හා සම්බන්ධ සංකල්ප අති උත්කර්ෂයට නංවයි. එයට එරෙහිවන්නන්ට එදිරිව යුද්ධ ප්‍රකාශ කරයි. බොහෝ විට අතාර්කික සහ අබුද්ධිමත් වන මේ ක්‍රියාදාම තුන්වන පාර්ශ්වයකට විසුලුරූපී වුවත් අදාළ කුලකයට එය ජීවිතයත්-මරණයත් අතර සටනක් වන අවස්ථා එමටය. 

ඉහත ආකාරයෙන් ආගම වෙනුවෙන් මරණයට වුවත් සුදානම් බොහෝ දෙනාට එම ආගම හා අදාළ මූලික දහම පිළිබඳව මෙලෝ අවබෝධයක් හෝ හැඟීමක් නැත. ඔවුන්ගේ එකම අභිලාශය ආගම රැකගැනීම තුලින් තමන් රැකීමයි. සියවස් ගණනක් යම් ආගමක් වෙනුවෙන් සටන් කල සමුහයක් බලහත්කාරයෙන් වෙනත් ආගමකට යොමු කල විට ඔවුන් නව ආගම වෙනුවෙන් පෙර ආකාරයෙන්ම මරාගන්නේ මේ නිසාය. 


                        


Saturday, 12 July 2025

ආගම සහ ශිෂ්ඨාචාරය

 


මුලින්ම අපි මේ වදන් දෙක අර්ථදක්වා ගත යුතුය. ඔබට මේ සඳහා නොයෙකුත් අර්ථදැක්වීම් අන්තර්ජාලයෙන් ලබා ගත හැක. එහෙත් මේ ලිපියට පදනම් වන්නේ පහත දැක්වෙන අර්ථදැක්වීම්ය. 

ශිෂ්ඨාචාරය යනු තිරසාර ලෙස සමුහ ගතව පවතින්නා වූ මානව කුලකයක හැඩතලයයි. තවත් එක් සත්ව කොට්ඨාශයක් ලෙස මානවයාද මුලින් තනි තනිව හෝ පවුල් ඒකකයක් ලෙස ජීවත්වන්නට ඇත. නමුත් රාශිගතව ජීවත්වීමේ වාසි අවබෝධ වන විට ඔවුන් ක්‍රමයෙන් තම සමුහය වැඩිකරගන්නට ඇත. සත්ව ලෝකයේද තනිව ජිවත්වන දිවියන් වැනි සතුන්ද, පවුල් ඒකකයක් ලෙස ජිවත්වන සිංහයන් වැනි සතුන්ද, රැලක් ලෙස ජිවත්වන මුවන් වැනි සතුන්ද දැකිය හැක. සාමාන්‍යයෙන් තිරසාර පැවැත්මකට සත්ව රැලක සිටින සාමාජිකයන් ගණන 150 ට පමණ සිමා විය යුතු බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත (මෙය Dunbar’s Number නම් වේ). මෙය ආරම්බයේදී මානවයාටද අදාළ වන්නට ඇත.

සමුහයක ප්‍රමාණය වැඩි වන විට නොයෙකුත් ගැටළු මතුවේ. ආහාර සහ භූමිය සඳහා තරඟය; තමාට වැඩි වාසි අත්පත් කරගැනීමට ස්වභාවයෙන්ම මානවයා තුල ඇතිවන ලෝභය; කෝපය, වෛරය, ආත්ම අභිමානය වැනි මානව හැඟීම් සමග ඇතිවන අන්තර් පුද්ගල සහ අන්තර් උපකුලක ඝට්ටන මෙම ගැටළු වෙයි. මේ නිසා මානව සමුහයක තිරසාර පැවැත්මට විශාල අමතර ශක්තියක් වැය කිරීමට සිදුවෙයි. නායකත්වයක අවශ්‍යතාවය ඇතිවන්නේ මේ විසිරෙන සමූහය ඒක තැන් කොට තබා ගැනීමටයි. 

සමූහ පැවැත්මක් තිරසාරව පවත්වා ගැනීමට දැඩි අණ කිරීම්, අවවාද කිරීම්, බිය ගැන්වීම්, දඩුවම් පැමිණවීම් ආදී කර්කශ ක්‍රියාවන් උපයෝගී කරගැනීමට නායකත්වයට සිදුවෙයි. මානවයා තුල සහජයෙන්ම තවත් මානවයකුගේ බලපෑමට යටත් වීමේ අකමැත්තක් ඇත. එය මොළයේ ක්‍රියාකාරිත්වය මත ඇතිවන තත්වයකි. මේ නිසා මානව පාලනය සඳහා මිනිස් බලය ඉක්මවා ගිය සුපිරි බලයක අවශ්‍යතාවය පැන නගී. මිනිසාට නොතේරෙන, නොහැඟෙන බලවේගයක ආධාර උපකාර නායකත්වයට ලබා ගැනීමට සිදුවන්නේ මේ පසුතලය තුලයි. 

කඳු, පර්වත, ගංගා, දියඇලි, විශාල වෘක්‍ෂ, ඉර හඳ ආදී තමාට වඩා බෙහෙවින් ප්‍රමාණාත්මකව විශාල හෝ ආලෝකය ගෙන එන වස්තූන් කෙරේ බිය මුසු ගෞරවයක් ඇතිවීම මානවයා තුල 21 වෙනි ශතවර්ෂයේදී පවා දැකිය හැක. ඔවුන් එම වස්තුන්ගෙන් ආරක්ෂාව යැදීම සහ යස ඉසුරු පැතීම අදත් සිදුවේ. එසේ නම් මීට වසර 80,000 කට පෙරද තත්වය එසේම පවතින්නට ඇත. මෙම මානව විශ්වාසයන් ආගම් ලෙස හැඳින්විය නොහැක.  

අදින් වසර 20,000ට පමණ පෙර ශිෂ්ඨාචාරයන් ස්ථාපිත වීමත් සමගම නායකත්වයට සමූහ පරිපාලනය සඳහා ඉහත මානව විශ්වාසයන් ඉතා ප්‍රයෝජනවත් වන්නට ඇත. මේ අනුව සමූහයේ ඇදහීම්වල නාමයෙන් නායකත්වය ඔවුන්ට අණ දෙන්නට ඇත. උදාහරණයක් ලෙස "හපී" නමින් හැඳින්වුන නයිල් නදී දෙවියාගේ නාමයෙන් පාරාවෝ මිසර වැසියන් වගා කල යුතු ආකාරය පිළිබඳව අණ පණත් ඉදිරිපත් කලෝය.  

මෙලෙස ගාම්භීරත්වයට ඔසවන ලද යම් වස්තුවක් හෝ නොපෙනෙන, නොහැඟෙන බලවේගයක් කරන කොටගෙන ශිෂ්ඨාචාරය ස්ථායිකරණය කරගැනීමට ඉවහල්වන සේ ගොඩනගා ගන්නා සංකල්පය අපට ආගමක් ලෙස අර්ථ දැක්විය හැක.  

ඉර හඳ හැරෙන්නට අනෙක් සියළුම භෞතික වස්තූන් කාලයත් සමග හෝ මානවයාගේ ක්‍රියාකාරිත්වය මත වෙනස් වීමට හැකියාව ඇත. මෙය එම වස්තූන්ගේ ගාම්භීරත්වයට අභියෝගයක් විය. මේ නිසා බොහෝ බලවත් ශිෂ්ඨාචාර බිහිවීමත් සමගම ආගමික සංකල්පයේ කේන්ද්‍රය නොපෙනෙන බලවේගයක් බවට පත්වන්නට ඇත. මේ අනුව මැදපෙරදිගින් සොරෝස්ට්‍රියම් (සරතෘශ්‍ය වාදය), දකුණු-මධ්‍යම ආසියාවෙන් හින්දු සහ ඈත පෙරදිගින් ශාමනිස්සම් (shamanism) ආදී ආගම් බිහිවන්නට විය. මේ සියල්ලේම කේන්ද්‍රගත සංකල්පය නොපෙනෙනා බලවේගයකින් (දෙවියෙක් හෝ දෙවිවරු, භූතාත්ම ආදිය) පිහිට පැතීමයි. මුලින්ම පාලකයා නොපෙනෙන බලවේගය සහ පාලිත සමුහය අතර සම්බන්ධිකාරක විය. එනම් රජවරු දේව අණ ලබාගෙන සමුහය මත අණ පනත් පනවන්න විය. පසු කාලයක පාලකයාගේ පහසුව සඳහා මේ සම්බන්ධීකරණය තවත් ස්ථරයකට මාරුවිය. එනම් පුජක පක්ෂයයි. දෙවියන් පුජකයන් සමග ගනුදෙනු කල අතර පුජකයා පාලකයා සමග ගනුදෙනු කළේය. මේ ආකාරයෙන් පාලකයාට මානව සීමා ඉක්මවා ගිය සුපිරි බලයකින් තම යටත් වැසි සමුහය පාලනය කරගත හැකි විය. බොහෝ විට දෙවියන්ගේ අණ වන්නට ඇත්තේ පාලකයාගේ සහ පුජකයාගේ අවශ්‍යතාවයයි. පසු කලෙක ආගම් බවට පත් වූ, ස්වභාව ධර්මයේ ස්වභාවය සොයා ගිය ශාස්තෘවරුන්ගේ දහම් ඉදිරියට ගෙනයාමට පිහිටවා ගත් "පුජ්‍ය" පක්ෂයද මේ පූජකයාගේ කර්තව්‍යයම වෙනත් විවිධ ආකාරයෙන් සිදුකරමින් පවතී. 

මේ නොපෙනෙන සුපිරි බලවේගය - පුජකයා - පාලකයා - පාලිතයා දාමය අද දක්වාම ලෝකයේ 95% රාජ්‍යයන්හි බලපැවැත්වෙයි. වෙනත් විදියකින් පැවසුවහොත් අද දක්වාම ශිෂ්ඨාචාරයේ මූලික මෙහෙයුම් කේන්ද්‍රය ආගමයි. ආගමෙන් ස්වායත්තව, තාර්කිකව සිතමින් ශිෂ්ඨාචාරය පවත්වා ගැනීමට හැකි මට්ටමට මානව බුද්ධිය වර්ධනය වීමට තව වසර 2000ක් වත් යා යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි. 

පසුගිය වසර 200 ක පමණ කාලයක සිට ආගමින් යම් තරමකට ස්වායත්ත වූ බල කේන්ද්‍රයක් බිහිවිය. එය "නීතිය" නම් වෙයි. නමුත් මේ නීතියේ පවා අද දක්වාම ආගමික නෂ්ඨාවශේෂ දක්නට ලැබේ.













Monday, 7 July 2025

මේ වඳුරෝ ටික කාන්තාරේ මරා ගන්න දැම්ම නම් ...


වික්ටර් ඔස්ට්‍රොව්ස්කි යනු මොසාඩ් සංවිධානයේ සේවය කල බුද්ධි නිලධාරියෙකි. ඔහු 1986දී ඊශ්‍රායල් ඔත්තු සේවයෙන් ඉවත්වී කැනඩාවට සංක්‍රමණය කළේය. එහිදී ඔහු ක්ලෙයාර් හෝයි නම් කැනේඩියානු ලේඛිකාව සමග එකතුව තම ජීවිත අත්දැකීම් ඇතුළත් "By Way of Deception" යන කෘතිය ලිව්වේය. එය ලාංකිකයාට වැදගත් වුයේ එම ග්‍රන්ථයෙහි ලංකාව පිළිබඳව කිහිප තැනකම සඳහන්වන බැවිනි.

ඊශ්‍රායලය එකම කාල වකවානුවකදී ශ්‍රී ලංකා රජයේ හමුදාවටත්, LTTE සටන්කරුවන්ටත්  තම රටට අයත් ජුඩියන් කාන්තාරයේ කොටසක සටන් පුහුණුව ලබා දුන්නේය. ඒ එකිනෙකට කිලෝ මීටර් කිහිපයක් ඈතින් වූ කඳවුරු දෙකකදීය. මේ දෙපිරිසම මේ ගැන කිසිවක් නොදැන ඊශ්‍රායලයට ඉහළ ගෙවීමක් කර මේ සේවය ලබාගත්තෝය. එකල ලලිත් ඇතුළත්මුදලි ඇමතිවරයා තම හමුදාවට ඊශ්‍රායලය යුධ අවි පුහුණුව ලබා දෙන බව මාධ්‍ය සාකච්චා වලදී උජාරුවෙන් පැවසීය. 

එක් අවස්ථාවක ඊශ්‍රායෙල් හමුදා ප්‍රධානියෙක් මෙලෙස කියා ඇත. "Why don't we let these two groups of monkeys kill each other in the desert. It could have sapred 1000s of innocent civilians in Sri Lanka" (මේ වඳුරු කණ්ඩායම් දෙක මේ කාන්තරයෙදීම එකිනෙකා මරාගන්න සැලැස්සුවා නම් ලංකාවේ අහිංසක සිවිල් වැසියන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට තිබුණා).

ඒ කතාවේ යම් ගත යුත්තක්ද ඇති බව මගේ හැඟීමයි.  

ඊශ්‍රායල් නිලධාරීන් විසින් ලංකාවට ලබාදෙන ණය සහ ආධාර මුදල්වලින් කොටසක් ඊශ්‍රායලයෙන් අවි ආයුධ ගැනීම සඳහා යෙදවීම පිණිස ලෝක බැංකුව සහ අනෙකුත් donorsලා අන්දන ආකාරය, ලංකාවේ දේශපාලකයන්ට ඉගැන්වූ බව ඔස්ට්‍රොව්ස්කිගේ පොතේ සඳහන් වන තවත් කාරණයකි. 

තවත් වරෙක ලංකාවෙන් පුහුණුවීම් පාඨමාලාවකට පැමිණි රජයේ නිලධාරීන් පිරිසකට ඉතා සංකීර්ණ රේඩාර් උපකරණයක ක්‍රියාකාරිත්වය කියා දුන්නේ වැකියුම් ක්ලිනරයක ඇතුළත පෙන්වීමෙන් බවද ඔස්ට්‍රොව්ස්කි ලියා ඇත. මේ කරණා පිළිබඳව පසුව ඊශ්‍රායලයෙල් නිලධාරීන් ඇතිවෙන්න සිනාසෙමින් විනෝද වූ බව ඔස්ට්‍රොව්ස්කි පවසයි. 

මේ වාර්තාවන එක කරුණකි, බිබිලේ පැණි දොඩම් වලට වූ දේ ගැනත්, ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස (මගේ පාසල් සඟයා) ගේ අවසානය පිළිබඳවත් අපි වෙනත් වෙලාවක කතා කරමු. 

Thursday, 3 July 2025

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මාෆියාව

2025 මැයි මස 24 වනදා ඉන්දීය රහස් පොලිසිය විසින් කර්නාටක ප්‍රාන්තයේ ජාතික වෛද්‍ය කවුන්සිලයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ එම ප්‍රාන්තයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සඳහා පිළිගැනීමේ සහතිකයක් නිකුත්කිරීමට ඉන්දීය රුපියල් මිලියනයක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙනි. මේ වන විට මෙම වෛද්‍ය නිලධාරියා තවත් වෛද්‍ය විද්‍යාල කිහිපයකින් මේ ආකාරයටම ඉන්දීය රුපියල් මිලියන 4.5 පමණ ලබාගෙන ඇති බව සොයාගෙන ඇත. 

මෙය අහඹු සිදුවීමක් නොවේ. පසුගිය දශකය තුලදී ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය වැනි රටවල් කිහිපයකම ජාතික වෛද්‍ය කවුන්සලය නියෝජනය කරන වෛද්‍ය නිලධාරීන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් අල්ලස් හෝ කප්පම් ලබාගැනීම නිසා සිර අඩස්සියට පත්වූ අවස්ථා ගණනාවක් වාර්තාවේ. 

ලෝකයේ දියුණු රටවල් බොහෝමයක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇත. එහෙත් PMC කියූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ රුසියාව, ලැට්වියාව, බංගලාදේශය, නේපාලය, ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය ආදී රටවල් කිහිපයකි. ඊට හේතුව මේ රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර දකුණු ආසියාතික සිසු සිසුවියන් බඳවා ගැනීම සඳහා ඇති තරගයයි.  

මේ රටවල්වල ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට තම දරුවන් යැවීමට තරම් වත්කමක් දකුණු ආසියාතික මධ්‍යම පන්තියේ බහුතරයක් පවුල්වලට නැත. එහෙත් තම ගේදොර ඉඩකඩම් යාන වාහන විකුණා හෝ මේ සඳහා මුදල් එකතු කරගැනීමට සමත් සෑහෙන පිරිසක්ද මේ රටවල ඇත.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෝ එය පවතින රට කුමක් වුවත් මේවායේ හිමිකරුවන් තරඟ කරන්නේ මේ දෙමව්පියන් තම දැලට හසු කරගැනීමටයි. මෙහිදී ඔවුන්ට පවතින මූලික කඩඉම නම් තම වෛද්‍ය විද්‍යාලය කළාපයේ රටවල වෛද්‍ය කවුන්සල මගින් පිළිගැනීමයි. මේ සඳහා එම රටවල ජාතික වෛද්‍ය කවුන්සලය මගින් පත්කළ වෛද්‍ය නිලධාරී කමිටුවක් ඇත. බොහෝ රටවල මෙම කමිටුවල සාමාජිකයන්ට මෙය හොඳ ආදායම් මාර්ගයක් වනවා ඇත. මේ නිසා ඔවුන් වෛද්‍ය කවුන්සිල නිලවරණයට රටේ ප්‍රධාන මැතිවරණ වලට වඩා ඉහල තැනක් දෙන බව පෙනෙන්නට ඇත. 

පසුගිය සමයේ කළාපයේ රටවල ඇති වූ නඩු කටයුතු සහ පුවත්පත් වාර්තා අධ්‍යනය කල විට පැහැදිලිවන්නේ දැන් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ස්වායත්ත වූ මාෆියාවක් මෙම සංදර්භය පාලනය කරන බවයි. ඔවුන් එක පැත්තකින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ඉහල මුදලක් අයකරයි. ඒ එම වෛද්‍ය විද්‍යාලයේ පැවැත්ම තහවුරු කිරීමට සහ එයට සිසුසිසුවියන් ඇදගැනීම සඳහාය. අනෙක් පැත්තෙන් ඔවුන් වෛද්‍ය කවුන්සිල්වල නිලධාරීන්ට හොඳින් සලකමින් තමන්ට ගෙවීම් කරන වෛද්‍ය විද්‍යාලවල පැවැත්ම තහවුරු කර දෙයි. තම රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති නිසා තම දරුවන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශවලට යවන රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීමට ඉඩ නොතැබීමද මෙම මාෆියාවේම අංගයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. 

මෙම ව්‍යාපාරයේ තවත් නොපෙනෙන පැත්තක් ඇත. වෛද්‍ය අධ්‍යාපනයට දරුවන් විදේශ ගත කිරීම සඳහා බොහෝ රටවල මගපෙන්වීම් කරන්නේද මේ වෛද්‍ය කවුන්සිල්වල සිටින දොස්තරවරුන්ම බව වාර්තාවේ. මේ සඳහා ඔවුහු වෛද්‍ය විද්‍යාල මාෆියාවේද අනුග්‍රහය සහිතව තරු පහේ හෝටල්වල මගපෙන්වීමේ සමුළු පවත්වති. වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශ ගතවන සෑම දරුවෙකුම ගෙවන මුදලින් 10%-15% පමණ මෙම වෛද්‍යවරුන්ට ලැබෙන බව වාර්තාවෙයි. මෙම වෛද්‍යවරුන්ගේ දරුවන් බොහෝ විට අධ්‍යාපනය ලබන්නේ දියුණු රටවල වෛද්‍ය විද්යලවලයි. ඒ ඔවුන්ට ඒ සඳහා ඇතිවෙන්න මුදල් ලැබෙන බැවිනි. 

මේ ගැන දැන් ඉන්දියාවේ සංකීර්ණ රහස් පොලිස් පරීක්ෂණ මාලාවක් දියත්වෙයි. එහි ප්‍රතිඵල ලැබෙන විට බොහෝ ඈත ඇති අක්මුල්ද මතුවිය හැකි බවට සමහරු සැක පහල කරති. 



Tuesday, 27 May 2025

මේ KDU MC එක ගැන නොවේ

වසර 2005-2010 සමයේ මම පකිස්ථාන ගුවන් හමුදාව සඳහා අකුණු ආරක්ෂණ සහ විද්‍යුත් චුම්බක යුදකරණය පිලිබදව උපදේශන ලබා දුනිමි. ඒ කාලයේ මම මාස තුන හතරකට වරක් පකිස්ථානයට සංචාරය කල අතර එහිදී එරට බොහෝ සැඟවුණු කරුණු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණි. 

පකිස්ථානයේ 1977 සිට පවත්වාගෙන යන ඉතා සංකීර්ණ වූ වෛද්‍ය විද්‍යාලයක් ඇත. ඒ රාවල්පින්ඩි නගරයේ ඇති Army Medical College සරසවියයි. එවකට මෙයින් වසරකට වෛද්‍යවරුන් 300 පමණ බිහි කෙරුණු අතර ඔවුන් හමුදා රෝහල්වලට පමණක් නොව හමුදාව මගින් පවත්වා ගෙන ගිය සිවිල් රෝහල්වලටද අනුයුක්ත කරනු ලැබීය. 

එවකට පකිස්ථානයේ ජනාධිපති වූ පර්වේෂ් මුෂරෙෆ් මහතා මා කිහිප වරක්ම මුණ ගැසී ඇත. ඔහු ප්‍රකාශ කල ආකාරයට මෙම හමුදා වෛද්‍ය විද්‍යාලය පකිස්ථානයට අත්‍යවශ්‍ය සේවාවක් කරනවා පමණක් නොව රජයට තවත් විශාල අතදීමක් කරයි. එනම් එරට වෛද්‍යවරුන් යම් අවස්ථාවක වැඩ වර්ජනය කල හොත් එම අඩුව පිරවීමට හැකි විශාල වෛද්‍ය බලකායක් රජය සතුව ඇත. මේ නිසා පකිස්ථානයේ වෛද්‍යවරුන් ලෙහෙසියෙන් වැඩවර්ජනයකට යාමට නොසිතයි. 

එසේම මුෂරෙෆ් මහතාගේ ඉතා කිට්ටුවන්ත අමාත්‍යවරයෙකු වූ අතාවුර් රහ්මාන් මහතා පැවසුවේ, ඔවුන් එවන විට ඉතා නවීන අංගෝපාංග වලින් සමන්විත සිවිල් වැසියන් සඳහා වූ මුදල් අය කරන (ඔහු පැවසූ ආකාරයට ඉතා සාධාරණ මුදලක්) රෝහලක් තැනීමට සියළු කටයුතු සම්පාදනය කර ඇති බවත් එය සම්පුර්ණයෙන්ම හමුදා පරිපාලනය යටතේ operate වන බවත්ය.

හමුදා වෛද්‍ය විද්‍යාලයට සිවිල් වැසියන්ටද සීමිත කෝටාවක් සඳහා අයදුම් කල හැක. මට පසු කාලයක අවබෝධ වුයේ මෙහිදීද මෙම කෝටාවෙන් වැඩි හරියක්ම ලබා දෙන්නේ හමුදා නිලධාරීන්ගේ දූ දරුවන්ට හෝ ලඟම ඥාතීන්ට බවයි. 

මීට අමතරව මට එහිදී දැනගත හැකි වුයේ පකිස්ථානයේ හමුදාව මගින් කෙලින්ම පාලනය වන සරසවි රාශියක් මෙන්ම හමුදාවට වක්‍රාකාරයෙන් පරිපාලන බලතල ඇති බැහ්රිය වැනි සරසවිද කිහිපයක්ම ඇති බවයි. ඒවායින් ඩිප්ලෝමා හෝ උපාධි පාඨමාලා හරහා දුම්රිය සේවයට, මහජන ගමනාගමනයට, හෙද සහ වෙනත් රෝහල් සේවාවන් වලට, වරාය සහ ගුවන් තොටුපළ සේවාවන්වලට අදාළ හමුදා නිලධාරීන් පුහුණු කරනු ලබන අතර ඔවුන් සිවිල් ඇඳුමින් සිවිල් සේවාවන් සඳහා අනුයුක්ත කර ඇත. නමුත් ඔවුන් මේ සිවිල් රාජකාරිවල යෙදිය යුත්තේ දවසේ දෛනික හමුදා පුහුණුවෙන් පසුවය.  

අවාසනාවකට මේ සාකච්චාවෙන් මාස කිහිපයකට පසු මුෂරෙෆ් මහතා ජනාධිපතිකමින් පහවූ අතර රෝහල් ව්‍යාපෘතියට කුමක් සිදු වුණාදැයි මම නොදනිමි. 



ආගම රැකගැනීම


පරම්පරාවෙන් දායාද වූ ධන සම්පත් ඇති මණ්ඩුක නම් මානවකයෙක් පෙර කල සිටියේය. ඔහුට තම වස්තුව සොර සතුරන් කොල්ල කතැයි තද බල බියක් තිබුණි. මේ නිසා ඔහු අසල තිබූ විශාල ගසකට පහන් පූජා පවත්වමින් එම වෘක්ෂයට අධිපති රුක් දෙවියන්ගෙන් තමාට ආරක්ෂාව අයද සිටියේය. මේ මානවකයා ගැන පැහැදුණු රුක් දෙවියා දිනක් ඔහු ඉදිරියේ පෙනී සිට ඔහු අතට අලංකාර රත්තරන් කඩුවක් දුන්නේය. "ඕනෑම සොර සතුරෙක් ආ විට මේ කඩුවෙන් පහර දෙනු. එහි හුළඟ පවා වදින සතුරන් විනාශ වී යන්නේය" කියා රුක් දෙවියා නොපෙනී ගියේය.

එදා පටන් මණ්ඩුක මානවකයා දැඩි මානසික පීඩනයකට පත්විය. ඒ රත්තරන් කඩුව සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්නේ කෙසේද කියාය. තම නිවසේ පෙට්ටගමෙහි පතුලේ කඩුව තැන්පත් කල මණ්ඩුක ඊට උඩින් වී දමා එය සැගවීය. ඉන්පසු පෙට්ටගමට  විශාල ඉබ්බෙක් දමා වැසූ මණ්ඩුක එතැන් පටන් දවස පුරාම පෙට්ටගම වටේ කැරකෙමින්, රාත්‍රියට ඒ මත නිදා ගනිමින් කඩුව ආරක්ෂා කිරීමට පටන් ගත්තේය. කාලය නොමැති කමින් රුක් දෙවියාට කල පහන් පුජාවද නැවතුණි. ඉඳහිට වී ටික ඉවතට ගෙන කඩුව දෙස බලා සතුටුවන මණ්ඩුක වසර ගණනාවකට පසු පෙට්ටගම උඩම සිය දිවි සැරිය නිමා කළේය. 

ලංකාවේ සෑහෙන පිරිසකට ආගම යනු රත්තරන් කඩුවකි. ඔවුන්ට ආගමක් අවශ්‍යවන්නේ එය රැක ගැනීමටයි. එය රැක ගැනීම සඳහා මේ මණ්ඩුකලා මාරාවේශයෙන් මෙන් සමාජය සමග සටනට බසිති. තම චිත්ත සමාධිය, සිතේ සැනසීම, මෙන්ම තර්කගෝචර, බුද්ධිමත් මනෝභාවයන්ද පසෙක ලා සිතෙන් මවා ගත් සතුරන් සමග යුධ වදිති. සමාජයේ පහලම ස්ථරයන් අන්‍ය ආගමිකයන්ගේ දේපලවලට ගල් මුගුරුවලින් පහර දෙද්දී ඊට තරමක් ඉහළ උගත්කමක් ඇති ස්ථර සමාජ මාධ්‍ය හරහා තමාගේ තරමට කිසිසේත්ම නොගැලපෙන ඉතා සැහැසි ස්වභාවයක් ප්‍රදර්ශණය කරයි. ආගම නිසා යැපෙන්නන්ද ගින්නට අවශ්‍ය ඉන්ධන සපයමින් මේ අවස්ථාවෙන් උපරිම ලාබ ලැබීමට උත්සුක වෙයි. 

රටක සිටින මණ්ඩුකලා වැඩිවෙන තරමට දූෂිත පාලකයන්ට රාජ්‍ය පාලනය පහසුය. බල්ලෙකු දෙසට මස් කට්ටක් විසිකරන්නා සේ මෙම දේශපාලකයන් මේ ආගමික උම්මාදයෙන් පෙලෙනා දන වෙත රත්තරන් කඩු මවා පෙන්වයි. මේ තුලින් ඔවුන් සමාජයේ සැබෑ සතුරන් වන තමන්ව සඟවා මවා ගත් සතුරන් වෙතට ජනතාවගේ වෛරය සහ ක්‍රෝධය හරවා යවයි. 

මෙය දිගින් දිගටම සිදුවෙන විට ශිෂ්ඨාචාරයක් ලෙස රටක් බරපතල ආගාධයකට පතිත වෙයි. මෙය දශක ගණනාවක් අත්දැකීමෙන්ම දැන දැනත් සමාජයක් නැවත නැවතත් ස්ව-කැමැත්තෙන්ම මණ්ඩුකලා බවට පත්වෙයි නම් ඒ රට පිළිබඳව තව දුරටත් කම්පා විය යුතු නැත. 


           


Monday, 26 May 2025

පිස්සා කවුද?


මීට වසර කිහිපයකට පෙර අසල්වැසි රටකදී විදේශිකයෙකු සහාසික ලෙස මරා දමන ලදී. ඒ තම ආගමට සම්බන්ධ වගන්තියක් ඇති පෝස්ටරයක් ඉරා දැම්මා කියාය. මෙම ආගමික අන්තවාදීන් කෘර ලෙස එම විදේශිකයාව ඝාතනය කරද්දී එය වළකාලන්නට එතන සිටි තවත් ස්වදේශිකයෙක් උත්සහ ගත්තේය.  ඉතා දරුණු මානසික තත්වයක සිටි අන්තවාදීන් ඔවුන්ගේම ආගමට අයත් එම පුද්ගලයාටද පහර දුන් අතර පසුව ඔහුව උම්මත්තකයෙක් යැයි කියා අසල පිහිටි රෝහලක මානසික ප්‍රතිකාර ඒකකයට බාරදෙනු ලැබීය. එහි සිටි වෛද්‍යවරු සිදුවී ඇති අවාසනාවන්ත සිද්ධිය දැනගත් පසු එම පුද්ගලයාව ආරක්ෂා සහිතව ඔහුගේ නිවසට පිටත් කර හැරියේය.

වසර කිහිපයකට පසු මෙම පුද්ගලයා එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් වූ අතර ආගමික අන්තවාදීන් ගණනාවක් මරණ දඩුවම ලදහ. අවසාන තීන්දුව ලැබෙන්න ආසන්න වන විට එම ආගමික අන්තවාදීන් ඒ අවස්ථාවේ උම්මත්තක තත්වයක සිටි බව ඔප්පු කිරීමට විත්තියේ නීතිඥයෝ උත්සහ ගත්හ. එහෙත් එය ව්‍යවර්ථ විය.

මට මේ කතාව කීමට සිත් වුයේ "උමතුබව" අර්ථ දැක්වීමේ ඇති අපහසුතාවය පෙන්වීමටය. ආගම සහ උම්මත්තකභාවය බොහෝ විට එකිනෙකට අත්වැල් බැඳගත් සංකල්ප දෙකකි. 

කෙනෙක් මැටි පිඩකින් බලිරූපයක් සාදාගෙන එයට උදේ සවස වැඳ පුදන්න වූ විට අපි ඔහු "උම්මත්තකයෙකු" ලෙස හඳුන්වමු.  මේ ක්‍රියාවට තවත් දෙතුන් දෙනෙක්, විස්සක් තිහක්, සීයක් දෙසීයක් එකතු වුවහොත් අපි ඔවුන් "භක්තිකයන්" ලෙස හඳුන්වමු. මේ ආකාරයටම යම් පුද්ගලයෙක් කොන්ක්‍රීට් කනුවකට ගල් ගසමින් තමන් යක්ෂයාට පහර දෙන බව පැවසුවහොත් අපි ඔහුට "පිස්සෙක්" යයි කියමු. නමුත් මෙය මිලියන ගණනක් දෙනා කරන විට අපි ඔවුන්ට "ආගමික බැතිමතුන්" යයි කියමු. 

මෙලෙස පිස්සා බැතිමතා වෙන අවස්ථා අපේ සමාජයේ අනන්තවත් ඇත. බැතිමතා වූ කලින් පිස්සා හැමවිටම අනෙක් අයව දකින්නේ, අපතයන්, අධමයන්, හෝ සමහර විට පිස්සන් ලෙසය. 

දැන් ගැටළුව නියම පිස්සා කවුද යන්න තීරණය කිරීමයි.

මේ පිස්සා-බැතිමතා ද්විත්වය ඉතා සූක්ෂමව තම ලාබ ප්‍රයෝජන සඳහා යොදාගන්නා පිරිසක් වෙයි. ඒ දේශපාලකයාය. මේ ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු.