Follow this Blog

Saturday, 31 August 2013

Meditation Loving Prisoners


Meditation Loving Prisoners




This is a story by Ven Ajahn Brahm

The Venerable has visited a prison in Australia where hard-core criminals are housed, to conduct a session on "the Benefits of Buddhist Meditation".  He has been surprised to see that the hall was over-crowded with enthusiastic prisoners. 

Thinking that how much these prisoners love meditation and concentration of mind (the essence of meditation in Theravada Buddhism) the Venerable has started his meditation session. 

After about 30 minutes the venerable has observed that the prisoners are becoming restless. While he was thinking for the reason, one prisoner has stood up and reluctantly asked

"When are you going to teach us levitation"

The prisoners have come to the session thinking that they could learn how to levitate by practicing meditation and escape from the prison.

..............................................................................................

The understanding of Buddhism among some of us is not much different.


Thursday, 22 August 2013

To Protect Buddhism in Sri Lanka

බුදු දහම රැක ගැනීමට යුධ වදිමු





"ලංකාවේ බුදු දහම රැකගන්න නම් බෞද්ධ සියලුදෙනා බුදු දහමෙහි හැසිරිය යුතුයැයි" කවරෙකු හෝ පැවසුවොත් ඔහු තරම් අධම, දුෂ්ඨ, කුරුසවාදී, හම්බවාදී, බෞද්ධ විරෝධියකු තවත් නොමැති බව මෙරටේ අද සිටින බුද්ධාගම රැකගැනීමේ පෙරටුගාමින් කියනු ඇත. 

සමහර FB කාටූන් වලත්, යම් යම් අයගේ ප්‍රකාශන වලත් දුටුගැමුණු රජතුමා සොළීන් සමග සටන් නොකලා නම් වෙන්න තිබු ව්‍යසනය ගැන පවසමින් අද සිදුවන දෑ සාධාරණීකරණය කිරීමට උත්සහ දරයි. රජෙකු රටක් පාලනය කරන ආකාරයත් භික්ෂුවක් සමාජයෙහි හැසිරිය යුතු ආකාරයත් පිළිබඳව බුදු දහමෙහි මැනවින් පහදා දී ඇත. විවේක ඇති වෙලාවක මේගැන කියවා මේ දෙකෙහි වෙනස පිළිබඳව කරුණු සාක්ෂාත් කරගැනීම ඔබට බාරය. 

මෑතකදී හටගෙන ඇති මේ බොදු කලහය, මා දකින්නේ බොදු පුනරුදයක් හෝ බුදු දහම රැකගැනීමේ ව්‍යාපාරයකට වඩා හුදෙක් මුස්ලිම්-ක්‍රිස්තියානි විරෝධයක් ලෙසයි. මෙයටඋදාහරණයක් ලෙස  පහත දැක්වෙන සිද්ධිය  ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. 

මීට ටික කලකට පෙර දකුණු ඉන්දියාවේ සංචාරයක යෙදුනු ලංකාවේ බෞද්ධ  භික්ෂුන් වහන්සේලා කිහිප නමකට LTTE හිතවාදී ද්‍රවිඩ ජාතිකයන් පිරිසක් පහර දුන් විට, එම ප්‍රහාරය මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකට බැර කිරීමට මෙම බොදු කලහකාරීන් හාස්‍යජනක උත්සාහයක යෙදුනි. ලොව කොතැනක හෝ බෞද්ධකම ගෑවුණු අයෙකුට හෝ කෙනෙකුට අරියාදුවක් වූ විට එය මුස්ලිම් හෝ ක්‍රිස්තියානි කණ්ඩායමකට බැර කිරීමට අපේ බෞද්ධ වීරයන් පසුබට නොවේ. එයිනුත් මුස්ලිම් වීරෝධය දැන් වෙනදාටත් වඩා පෙරට පැමිණ ඇත.






ඉහල - පහල සමාජය බලන හැටි 

මම කුඩා කල සිටම බොහෝ අවස්ථාවල මුස්ලිම් ජන සමාජය තුලටම ඇතුළුවී අත්දැකීම් ලැබුවෙක්මි. ලංකාවේ පමණක් නොව පකිස්ථානය, බංග්ලාදේශය, සෞදි අරාබිය, ඩුබායි, මැලේසියාව, ඉන්දුනිෂියාව ආදී ඉස්ලාම් ආගමට ප්‍රමුඛතාවය දෙන රටවල් ගණනාවක මම හෝටලයෙන් ඔබ්බට පය තබා එම සමාජය ගැන දැනීමක් ලබාගත්තෙමි.

මෙහිදී මා ලද අත්දැකීම් කෙටියෙන් මෙලෙස ඉදිරිපත් කරමි.

ආගම හෝ ජාතිය කුමක් වුවත් ලෝකයේ කොයි කොනෙත් ධනවත් ඉහල සමාජයේ පැවැත්ම එකම ආකාරයක් ගනී. මුස්ලිම් සමාජයේද මෙහි වෙනසක් නැත. මා මේ සඳහා සුළු උදාහරණ කිහිපයක් දෙන්නම්.

වසර 1999 යේ ජුනි මාසයේදී මට පකිස්ථානයේ PC බුහුර්බන් නමැති හෝටලයේ සති දෙකක් ගත කිරීමට අවස්ථාව ලැබුණි. මෙය මරේ කඳු වැටියේ පිහිටි ඉතා මනරම් තරු පහේ හෝටලයකි. මා සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් සිටි අතර බොහෝ දිනවල උදය හා සවස් වරුවේ හෝටලය ඉදිරිපස ඇති උද්‍යානයේ බැංකුවක් මත ඉඳගෙන විවේක සුව විදීම මගේ පුරුද්දක් විය. 

මා සාමාන්‍යයෙන් ඉඳගෙන සිටින ස්ථානයට හෝටලයේ ප්‍රධාන පිවිසුම මැනවින් පෙනේ. වාහන වලින් පැමිණෙන අමුත්තන් මෙම ස්ථානයෙන් බස්සවන රියන්දුරන් ඉන්පසු රිය රථගාලට ගෙනයයි. හෝටලයේ ලැගුම්ගන්න පැමිණෙන අමුත්තන් මෙතනින් ඇතුළුවන්නේ හෝටලයේ ලොබියටයි. මොවුන් ඉතා ධනවත් පුද්ගලයන් වියයුතුය. මන්ද මෙම හෝටලයේ දවසක අයකිරීම සාමාන්‍ය ලිපිකරුවකුගේ මාසික පඩිය මෙන් දෙගුණයක් පමණ වන බැවිනි. මෙතනින් ඇතුළුවන කාන්තාවන් 99%ම ඇඟ සම්පුර්ණයෙන්ම වාගේ වැසෙන සේ ෂල්වාර්-ඇඳුමකින් සැරසී ෂෝලයෙන්  හිස වසා ගෙන සිටියි. ඉඳහිට බුර්ඛාවකින් ඇඟම  වසාගත් කාන්තාවන්ද පැමිණෙයි.  














හෝටල් කාමරය වෙත පිය නගන ඔවුන් එයින් එලියට පැමිණෙන්නේ යුරෝපීය ලඳුන් පරදවමිනි. බොහෝ දෙනෙක්, කෙටි සයකින් හෝ කොට කලිසමකින් හා දුහුල් ටී ෂර්ට් එකකින් හෝ ස්කිනියකින් සැරසී සිටිති. මෙහි ඉතාම හාස්‍යජනක පැත්ත වන්නේ දිනක් මා පවුලේ පිරිමි සාමාජිකයන්ගෙන් පැහැදිලිවම අඳුනගත් පරිදි බුර්ඛවකින් සැරසී පැමිණි තරුණ කතක් ද ඉහත ආකාරයේ දුහුල් ඇඳුමකින් සැරසී හෝටලයේ උද්‍යානයේ ඇවිදිමින් සිටීමයි. මෙම පිරිමින් මෙන්ම කාන්තාවන්ද මීවිත තොලගාන බව නොරහසකි. 

හෝටලයේ ගත කරන දින කිහිපයෙන් පසු නැවතත් වහනයට නගින්නේ මුළු ඇඟම වසාගත් යුවතියකි. 

මීට වසර කිහිපයකට පෙර මම විද්‍යුත් ඉංජිනේරුවන් සඳහා වාර්ෂික පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කිහිපවරක්ම සෞදි අරාබියේ දහරාන් නගරයේ පිහිටි "King Fahd University of Petroleum and Minerals" සරසවියට ගියෙමි. පළමුවර මා එහි ගිය අවස්ථාවේ මගේ මිතුරු මහාචාර්ය ශ්වෙහ්දී සමග මම ඔහුගේ රියෙන් රාත්‍රී ආහාරය ගැනීම සඳහා ගමන් කරමින් සිටියෙමි. එය බදාදා දිනකි. දහරාන් සිට බහරේන් දක්වා දිවෙන පාලම වෙත  සැතපුම් පහක් පමණ දිග රථ පෝලිමකි. බොහොමයක් වාහන අධි සුඛෝපබෝගී ඛාණ්ඩ වලට අයත් ඒවාය. මේ මොකදැයි මම ශ්වෙහ්දී ගෙන් ඇසුවෙමි. උපහාසාත්මක සිනහවක් මුවගට නගාගත් ශ්වෙහ්දී ඊළඟට පැවසුවේ අපුරු කතාවකි. 

මේ යන්නේ සෞදියේ කෝටිපතියන් සති අන්තයේ මිහිර සොයාගෙනය (සෞදියේ සති අන්තය බ්‍රහස්පතින්දා සහ සිකුරාදාය). බහරේනයේ මෙලොව ඇති සියලුම කම් සැප ඇති බව ඔහු කියා සිටියේය. තමාට අවශ්‍ය ඕනෑම රටක ඕනෑම ජාතියකට අයත් කාන්තාවක්, ඕනෑම වර්ගයේ සුදු පිටියක්, ඕනෑම මත්පැන් වර්ගයක් බහරේනයේදී ඕනෑම වෙලාවක ලබාගත හැක.  අවශ්‍ය වන්නේ මුදල් පමණි. 




තවත් එක උදාහරණයක් දෙනවා නම් ඩුබායි, මැලේසියා, ඉන්දුනීසියා වැනි රටක තරු පහේ හෝටලයක ඩිස්කෝ ටෙක් එකකට (තවමත් මම භාවිත කරන්නේ 80 දශකයේ යෙදුමයිඅහම්බෙන් වත් ඔබට යන්න ලැබුනොත් බලන්න සුපිරි පන්තිය දෙස. ලංකාවේ වුවද මෙබඳු ස්ථානයක ජාති ආගම් බේධ වලින් තොරව සියලුදෙනා ජීවිතයේ මිහිර (ඔවුන් අර්ථ දක්වන අයුරින්) විඳිනු ඔබට දැකිය හැක. 

මා මෙහිදී කීමට උත්සහ කලේ සුපිරි පන්තියේ හැසිරීමෙහි හොඳ නරක පිළිබඳව නොව, එම පන්තිය තුල (නියම වචනය නම් "ඇතුලත" යන්නයි) ආගම හෝ ජාතියට අදාළ කිසිඳු සංස්කෘතික ගැටීමක් හෝ පරතරයක් නොමැති බවයි. අවාසනාවකට මෙම පන්තියේ සමහරෙක් (බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කතෝලික ලෙස වෙනසක් නොමැතිව) මහජනයා වෙත පෙන්වන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් මුහුණකි. ඒ නොයෙකුත් සමාජීය හා දේශපාලන  වාසි තකා ගෙනය. අපි මේ සමාජය වෙත නැවත වරක් පසුව පැමිණෙමු. 

සුපිරි ධනපති පන්තියට මෙන්ම නාගරික දිළිඳු පන්තියටද ආගමික සහ ජාතික වශයෙන් වූ සංස්කෘතික බේදයක් නොදැනේ.  හැමදේටම වඩා ඔවුන්ට බඩගින්න වැදගත්ය. මන්ද මොන දේ කරන්නත් ජීවත් විය යුතු බැවිනි. මේ සමාජය තුල හැමදේම ඉමහත් දුක් පීඩා විඳීමෙන් හරි හම්බ කරගත යුතුය. 

ගහකින් ගෙඩියක් කඩාගෙන කා බඩගින්න නිවාගන්න හෝ ගහක් යට නිදාගෙන රැය පහන් කිරීමට හෝ අහල පහල කැලයක් ඔවුන්ට නැත.  එබැවින්, මුස්ලිම්ද, බෞද්ධද, ක්‍රිස්තියානිද ආදී වශයෙන් සිතීමට ඔවුන්ට කාලයක් නැත. මේ නිසා ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර ගැටීමක් ඇතිවන්නේද නැත.

බොහෝ දෙනෙක් ජාති ආගම් කුල මළ තියා තම පියා කවුද කියා වත් නොදන්නා සමාජයක ඇති සොඳුරු බව නම් කිසිඳු බේදයකින් තොරව මොහොමඩ්ටත්, බෙන්ජමින්ටත්, සිරිපාලටත් එක පත බෙදාගෙන කා පොලිතින් වහල යට රැය පහන් කිරීමට හැකිවීමයි. 



රැක ගැනීම සහ අහිමිවීම 

අප බොහෝ දෙනෙක් අයත් වන සමාජයේ පහල මධ්‍යම පන්තියේ සහ ගැමි සමාජයේ සිතුම් පැතුම් රටාව ඉහත සමාජ ස්ථර දෙකෙම්ම බොහෝ ඈතය. අපට "අහිමි වීම" යන භීතියත් "රැක ගැනීම" යන තෘෂ්ණාවත් තදින් පවතී. කුමන ආගමකට අයත් වුවත් මෙම තත්වය එලෙසමය. 

බෞද්ධ පරිසරයක ජීවත් වන්නෙකුට ඉස්ලාම් ධර්මයේ පැතිරීමත් සමග අහිමි වෙතැයි සිතෙන බොහෝ දේ ඇත. එසේ සිතීමට පාදක වන හේතු කාරණාද  ඇත. මම ඉන් කිහිපයක් ගැන සඳහන් කරමි. මෙහිදී මා උත්සහ ගන්නේ ආගම් අතර සාමාජියව ඇති වෙනස තේරුම් කිරීමට මිස කුමන ආගම හරිදැයි තර්ක කිරීමට නොවේ. 

බුදු දහමේ ප්‍රධාන අන්තර්ගතයක් නම් සියලු සත්වයන්ට මෛත්‍රී කිරීමයි. මේ අනුව මස් මාංශ අනුභව කරන බෞද්ධයාද, අනුන්ට හිරිහැර කරන, අනුන් නසන, සත්ව හිංසනයේ යෙදෙන බෞද්ධයාද තමා කරන්නේ නොකළ යුත්තක් බව හදවතින් දකී. මේ තත්වය මත මිනිස් හෝ සත්ව හිංසනය කුමන කරුණක් අරම්භයා සිදු කලද ඒ සඳහා සමාජයෙන් බැදී විශාල පවුරක් ඇත. 

වරදකරුවෙකුට වුවත් ප්‍රසිද්ධියේ ගල්ගසා හෝ බෙල්ල කපා මරාදැමීම, අත් පා කැපීම, කසපහර දීම වැනි දඬුවම් බෞද්ධ සමාජය පිළිකෙව් කරයි. බල්ලෙක් බළලෙක් දකින විට ගඩොල් බාගෙකින් දමා ගැසීම බෞද්ධ දරුවෙකු අතින් සිදුවෙනවා දැකීම උගහටය. එසේ කලත් එම දරුවා බෞද්ධ සමාජයේ උදහසට ලක්වීම සාමාන්‍ය දෙයකි.  

නමුත් ඉස්ලාම් ධර්මයෙහි සත්ව ඝාතනය මෙන්ම සත්ව ඝාතනය සිදු කරන ආකාරය ගැනද කුඩා කල සිටම උගන්වයි. වරදකරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දීම, තම ආගම පිළිනොගන්නා අයගේ සිත් තුලට ත්‍රස්තය ඇතුළු කිරීම, ඔවුන්ට ශාරීරික පීඩා ගෙනදීම වැනි කරුණු, ධර්මයට අදාළ මුලික පොත පතේම අන්තර්ගතය. ඉස්ලාම් භක්තිකයා හැසිරෙන සමාජය බෞද්ධ සමාජයට බොහෝ වෙනස්ය. බෞද්ධයෙකුට එවන් පරිසරයක ජීවත් වීම ගැන සිතීම පවා කටුක හැගීමකි. 

ලංකාවේ පහල මධ්‍යම නාගරික පන්තිය තුල ජීවත්වෙන මුස්ලිම් ජාතිකයාට මෙම ඉස්ලාම් සංකල්ප සියල්ල ක්‍රියාවේ යෙදවීම උගහටය. ඊට හේතුව බහුතරයක් වන ඉස්ලාම් නොවන සමාජය ඔවුන් වටා  පවුරු බැඳ ඇති බැවිනි. එහෙත් ලංකාවේම බහුතරය මුස්ලිම් වන නැගෙනහිර ප්‍රදේශයේද, මුස්ලිම් රාජ්‍යයන් වන පකිස්ථානය, ඇෆ්ඝනිස්තානය, ඉරාකය, ඉරානය, සහ අනෙකුත් මැද පෙරදිග රටවල් වල තත්වය මීට හාත්පසින්ම වෙනස්ය. මෙම රටවල ඉස්ලාම් ධර්මයේ අන්තර්ගතයට පිටින් පෞද්ගලික ජීවිතය හෝ ගෙනයා නොහැක. සරල උදාහරණයක් ලෙස තම කාමරයේදී බුදුන් වැඳීමේ "වරදට" නීතියෙන්ම කස පහර නියමවූ ලාංකිකයා පිළිබඳව සඳහන් කල හැක. 

ඉස්ලාම් සහ බෞද්ධ සමාජ අතර ඇති තවත් නොගැලපීමක් නම් කාන්තාවට සමාජයේ සහ පවුල් සංස්ථාව තුල ඇති අයිතිය හා වගකීමයි. බෞද්ධ සමාජයේ කාන්තාව නිවසේ මෙන්ම පන්සලේද මුල් තැනක් ගෙන කටයුතු කරයි. සංවරශීලීව, එහෙත් කාන්තාවකට උරුම ලාලිත්‍ය විදහා දක්වමින් ඇඳුම් පැළදුම් තෝරාගැනීමට ඇයට බාධාවක් නැත. ඇය ස්වාමියාට යටත් විය යුතු, තමා අතින් සිදුවන සුළු වරදකට කොටුවකින් තැලුම් කෑ යුතු දෙවන පන්තියේ පුරවැසියෙකු නොවේ. 

බුදු දහම පවුල් සංස්ථාවේ යහ මග විස්තර කරද්දී බිරිඳ සහ සැමියා අතර අන්‍යෝන්‍ය අවබෝධයක් සහ ගෞරවයක් තිබිය යුතු බවත් පවුලේ කටයුතු වලදී දෙදෙනාම සමසේ වගකීම් දැරිය යුතු බවත් පවසයි. මෙම බොදු මගින් බැහැරව කටයුතු කරන ඇතැම් බෞද්ධයන් දැකිය හැකි වුවත් සමස්ත බොදු ජනතාවගෙන් බහුතරයක් කාන්තාවට සමාජයේ සහ පවුලේ ඉහල තැනක් දෙන බව එදිනෙද ලාංකික ජීවිතයේදී පැහැදිලි වේ. මෙම තත්වය අහිමි වීම බොදු සමාජයට හිතකර නොවනු ඇත. 





"අහිමි වීම" මෙන්ම "රැක ගැනීමද" මුස්ලිම් ව්‍යාප්තිය ඉදිරියේ බෞද්ධයාට මනසේ සීනු හඬවයි. ඉරානය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ අද මුස්ලිම් වන බොහෝ ප්‍රදේශ, මාල දිවයින, ඉන්දුනීසියාව මීට සියවස් කිහිපයකට පෙර බෞද්ධ රටවල්ය. මෙම රටවල මුස්ලිම් ධර්මය පැතිරෙව්වේ ඉතා දරුණු බෞද්ධ සංහාරයක් සිදුකරමින් බවට ඓතිහාසික සාධක එමටය. 

තමා යටපත් කරගන්නා ප්‍රදේශ වල සංස්කෘතික උරුමයන් සම්පුර්ණයෙන්ම උදුරා විනාශ කර දැමීම ඉස්ලාම් ආක්‍රමණයේ ස්වභාවයයි. මෙහිදී පිළිම කැඩීම, පන්සල් ආරාම ගිනි තැබීම පසෙක තැබුවත්, දැනුම විනාශ කිරීම පිළිබඳව බෞද්ධයා තුල ඉස්ලාම් ධමය කෙරේ භීතියක් සහ කලකිරීමක් ඇතිවීම වැළක්විය නොහැක. විශේෂයෙන්ම ඇලෙක්සන්ද්රියාවේ සහ නාලන්දාවේ පුස්තකාල ගිනිබත් කිරීම අහස පොලොව නුහුලන අපරාධයක් යැයි බෞද්ධයාට හැඟේ නම් එය අසාධාරණ නොවනු ඇත. මසකට වඩා කාලයක් මෙම පුස්තකාල වල පොත්පත් ගිනිගෙන දැවුනු බව ඉතිහාසයෙහි කියැවේ.  

එම සිද්ධීන් දෙක මුස්ලිම් ප්‍රජාව පමණක් නොව මුළු මහත් මිනිස් වර්ගයාගේම ඥාන සම්භාරය වසර තුන් හාර දහසකින් පිටුපසට ගෙන ගියේය. 

මේ තත්වය මත තමා ජීවත්වන පරිසරය අහිමි වෙතැයිද වසර දහස් ගණනක් තමා රැකගත් දේ විනාශ වෙතැයිද ලාංකික බෞද්ධයා තුල භීතියක් ඇතිවීම සාධාරණය.


ආගම පාලකයාගේ දරුණුම ආයුධයයි 






ධර්මයේ නාමයෙන් විනාශ කිරීම

20 වන සියවසේ මුල් භාගය දක්වාම යුරෝපීය ක්‍රිස්තියානුවා කඩුවේ බලයෙන් තම ආගම පැතිරවීය. ඔවුන් අදහන ජේසුස් වහන්සේගේ ධර්මයෙහි (නව ගිවිසුමේ) කිසිඳු තැනක ආගම පැතිරවීමට බලය යෙදවීකම් ගැන සඳහන් වන්නේ නැත. තම වම කම්මුලට පහර දුන් විට දකුණු කම්මුල පෙන්නවන්න යයි කියූ ශාස්තෘ වරයෙකුගෙන් තම ධර්මය කඩුවේ බලයෙන් පතුරවන්නැයි පැවසීමක් බලාපොරොත්තු විය නොහැක. 

එසේ නම් යුරෝපීයයා ත්‍රස්තවාදයෙන් තම ආගම පැතිරවුයේ ඇයි...? ඉතිහාසය පැහැදිලිකරන අයුරෙන් ඔවුන්ගේ අරමුණ වුයේ අනෙකුත් ජාතින් ආර්ථික වශයෙන් සුරා කෑමයි. මේ සඳහා එදා ඔවුන් ආගම පෙරට දැමිය. අද ඔවුන් වෙනත් බොහෝ දෑ උපයෝගී  කරගනී. 

වෙනත් අරමුණක් සඳහා ආගමේ නොතිබුන දෙයක් ආගමේ නාමයෙන් ක්‍රියාත්මක කිරීම, එම අරමුණ සඳහා වෙනත් ක්‍රම වේධ ඇතිවීමත් සමගම නැතිවේ. නොඑසේ නම් ශිෂ්ඨාචාරය ශිෂ්ඨ සම්පන්න වන විට කෘර ක්‍රියා මාර්ගවලින් ඈත්වීමට සමාජය විසින්ම බලපෑම් කරයි.   

එහෙත් ඉස්ලාම් ධර්මයෙහි මුලික හරයෙහිම ත්‍රස්ත බලයෙන් ආගම ව්‍යාප්ත කිරීම ඇතුලත්වේ. මේ නිසා ලෝකයෙහි වෙනස්වීමත්  සමගම ඉස්ලාම් සමාජීය ක්‍රියා පටිපටයෙහි විශාල වෙනසක් ඇතිවෙයි කියා අපට බලා පොරොත්තු විය නොහැක. 

අනෙක් පැත්තෙන් ක්‍රිස්තියානි මූලධර්ම වාදයද 80 දශකයේ සිට සමාජයේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වෙමින් පවතී. සමාජයේ දුර්වලතා මැනවින් හදුනාගෙන ඇති මෙම ක්‍රිස්තියානි මූලධර්ම වාදීන්  "දුප්පත්කම" නමැති පොදු සමාජ සාධකය ඔවුන්ගේ වහසිය තකා සුක්ෂම ලෙස භාවිතා කරයි.  


ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රැකගනී

ඉහත තත්වයට අපි මුහුණ දෙන්නේ කෙසේද? 

එය බුදු දහමෙහිම ලියවී තිබේ. "ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රැකගනී". 

මේ කියමන අද බොහෝ දෙනෙකුට තේරුම් ගන්න නොහැකි අපබ්‍රන්සයක් බව ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් පැහැදිලිවේ.

මට මතක ඇති කාලයේ ලංකාවේ තෙවරක් බෞද්ධ පුනරුදයන් ඇතිවිය 

පළමුව මා පෙර-පාසල් යන කාලයේ ති පුජ්‍ය නාරද සහ ති පුජ්‍ය මඩිහේ පඥාසීහ ස්වාමින් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ඇතිවිය

දෙවන බොදු පුනරුදය ඇති වුනේ ඊට වසර හත අටකට පසු පුජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

ඊළඟ අවස්තාව එළඹීමට තව දශක දෙකකට වඩා ගතවිය. එවර නායකත්වය ලැබුනේ ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේගෙනි.

ලිපිය බොහෝ දිගු වීම වැලක්වීමට, මෙහිදී මම සෝම හිමියන්ගේ සමයේ ඇතිවූ බොදු පුනරුදය ගැන පමණක් කතා කිරීමට සිතුවෙමි.


සෝම හිමි ගිය මග 


සෝමහිමිගේ පැමිණීම සිදුවන්නේ ත්‍රස්ත භීතියෙන් සමාජය වෙලාගත් කාල පරිච්චේදයකදීය. එය පන්සලක පින්කමකට වත් රාත්‍රී 8 න් පසු කිසිවෙක් පාරට බැසීමට අකමැති කාලයක් විය.  මේ පසුබිමෙහි ඇති බාධකයන්ගෙන් පසුබට නොවූ එතුමා හැමවිටම පවතින පරිසරයට බැන වදිමින් සිටිනවා වෙනුවට එය තම උදව්වට හරවා ගත්තේය. උදාහරණයක් ලෙස රුපවාහිනිය නමැති නුතන සමාජ මෙවලම එතුමා තම ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මැනවින් උපයෝගී කරගත්තේය. 

ඉස්ලාම් ධර්මයෙහි ඇති ආක්‍රමණකාරිත්වයත් ක්‍රිස්තියානි මූලධර්මවාදයේ ඇති සටකපට භාවයත් එතුමා මැනවින් තේරුම් ගෙන සිටියේය. නමුත් එතුමා පල්ලි දේවස්ථාන කඩා බිඳ දමමින් රෞද්‍රකාරී මගකට පිය නැගීමට වත් බුද්ධාගම රැකගැනීමට කියා දේශපාලකයින්ට වන්දි බට්ට කම් කිරීමට වත් සිතුවේ නැත.

ලංකාවේ මුස්ලිම් වරුන්ගේ නැගී ඒමට ප්‍රධාන හේතුව ඔවුන්ගේ ආර්ථික වර්ධනය බව සෝම හිමි බොහෝ විට විග්‍රහ කළේය. මෙම ආර්ථික වර්ධනයට ප්‍රධානම හේතුව ලෙස බහුතර මුස්ලිම් ප්‍රජාව සුරා සුදුවෙන් තොරවීම ලෙස එතුමා දැක්වීය. එලෙසම සමුහයක් ලෙස මුස්ලිම්වරුන් සහජීවනයෙන් කටයුතු කිරීම එතුමා පැසසිය. 

බෞද්ධ ධර්මයේද ප්‍රධාන මුලධර්ම ලෙස සැලකෙන මෙම හර පද්ධතීන් තම සමාජයේද ස්ථාපිත කරගත යුතු බව සෝම හිමි බෞද්ධ ජනතාවට තරයේ කියා සිටියේය. එතුමා කිසි විට මුස්ලිම් ආර්ථිකය කඩා බිඳ දැමීමට අනුශාසන කලේ නැත. ඒ වෙනුවට එතුමා පැවසුවේ මුස්ලිම් වරුන්ගෙන් ආදර්ශයක් ලබාගෙන තම ආර්ථික රටාවද දියුණු කරගන්න ලෙසයි. මේ නිසා එදා මුස්ලිම්වරුන්ද බොහෝ දෙනෙක් සෝම හිමිගේ ශ්‍රාවකයන් බවට පත්විය.  

දිවයිනේ බොහෝ ප්‍රධාන පන්සල්, පාලකයන්ගේ සහ ධනපති පන්තියේ අනුග්‍රහය ලබමින් වස්තුව ගොඩගසා ගැනීමත්, බොහෝ සංඝයා වහන්සේලා කාමභෝගී ජීවිත ගත කිරීමත් එතුමා හෙලා දැක්කේය. පන්සල විසින් වස්තු ගොඩගසා ගැනීමේ මෙම ක්‍රමය රජ කාලේ පටන් අප රටේ පැවතියේය. මෙය බුදු දහමට නොගැලපෙන බවත්, ජනතාව බුදු දහමින් ඈත්වීමට මුලික හේතුවක් වන බවත් පළමුවරට ප්‍රකාශ කිරීමට තරම් කශේරුකාවක් තුබුණේ එතුමාට පමණකි. 

ආර්ථික සිහින පෙන්වමින් රටේ දුගී ජනතාව බිලිබා ගැනීමට ක්‍රිස්තියානි මූලධර්ම වාදීන්ට හොඳ හේතුවක් වන්නේ මෙම සංඝයා වහන්සේලාගේ වස්තු තණ්හාව බව හැමටම පැහැදිලිව පෙනෙන කරුණකි. ප්‍රධාන පන්සල් වල ඉඩකඩම් වස්තුව පොදි ගැසෙද්දී ඈත ගමේ පන්සලේ හාමුදුරුවරු, ධර්මය බෙදීම පසෙක තබා බඩවියත රැකගන්න හේන් කොටනු අප අනන්තවත් අසා ඇත. 

මේ පිටිසර පන්සල් වල සිටින හොඳ ධර්ම කථිකයන් තෝරාගෙන එතුමන්ලාගේ පවුල් වලට ආර්ථික වරදාන දෙන පොරොන්දුව පිට, සිවුරු හරවා පාෂ්ටර්වරුන් බවට පත් කරගත් අවස්ථා එමටය. මෙබඳු සිද්ධීන් කිහිපයක් මම පෞද්ගලිකවම දනිමි.

සෝම හිමි මෙහිදී යුධ වැදුනේ මෙම මුලධර්මවාදී ක්‍රිස්තියානින් සමග නොව ඔවුන්ගේ නොදැහැමි ක්‍රියාවන් වලට පාර කපන සමාජ ක්‍රමයට එරෙහිවයි. 

සෝම හිමිගේ බණ දේශනා, අනුශාසනා  සහ  ශාසනීය පුණ්‍යක්‍රියා මාර්ගවල ප්‍රතිපල 2000 වසර වනවිට මල් ඵල ගනිමින් පැවතුනි

තරුණ පිරිස් විශාල වශයෙන් පන්සල වෙත නැඹුරු වෙමින් තිබුණි.

ශීල ව්‍යාපාර, බණ භාවනා,  දාන මාන පිංකම් වලට දහස් ගණනින් ජනතාව සහභාගී වන්න විය. මේ පිරිසෙන් වැඩි දෙනෙක් තරුණ පරපුරට අයත් විය.

සරසවියේ පටන් පෞද්ගලික ආයතන දක්වා  අය්යා  - මල්ලී, අක්කා - නංගී සංස්කෘතියක් බිහිවන්න විය. පෙරදා තිබු "චෙරියෝ", "බායි" වදන් වෙනුවට "බුදු සරණයි" යනුවෙන් සමුගැනීමේ කලාවක් බිහිවිය. 

ජනතාව කෝවිල් ගානේ ගොස් නොපෙනෙනා ඉන්දියන් දෙවිවරුන්ට අල්ලස් දෙනවා වෙනුවට පන්සලේදී හෝ අනාථ නිවාසයකදී  දානයක් දීමට පුරුදු විය. 

උපන්දින සාදයේදී හෝ ප්‍රිය සම්භාශනයේදී මත්පැන් ඈත්වෙමින් පැවතුනි. බොහෝ දෙන මස් මාංශ භාවිතය අඩුකරමින් සිටියේය. මා මේ පවසන්නේ කවුරුවත් කී දේ නොව මා හැසිරෙන සමාජයේ ඇසින් දුටු දේය.

මෙහිදී මා දකින වැදගත්ම ධනාත්මක සාධකය නම් බොදු කටයුතු සඳහා ඇතිවූ පහල මධ්‍යම පාන්තිකයන්ගේ විශාල සහභාගීත්වයයි. 

ජනතාව බුදු දහමට නැඹුරු වන විට, දැහැමි සිතුවිලි ඇතිවන විට, මත් පැනින් ඈත්වන විට, දුසිරිතෙන් මිදෙන විට, වඩා යහපත් මනසකින් සියලු කර්තවයන් වලට යොමුවීමට හැකිවේ. එවිට ආර්ථිකය ඉබේටම දියුණු වේ. හොඳ ආර්ථිකයක් ඇති විට දනට පිනට වැඩියෙන් යොමු වීමටත්, බෞද්ධ කටයුතු වලට වැඩි ධනයක් වැය කිරීමටත්, සෞඛ්‍ය සම්පන්න ඵලදායි දු දරු කැළතක් බිහි කිරීමටත් හැකිවේ. මෙය ධන චක්‍රයක (positive cycle) පිහිටන අතර නිවැරදි බොදු සංස්ථාවක් රට තුල ස්ථාපනය වේ. 

බොදු පුනරුදයක් ලෙස මා දකින්නේ ඉහත තත්වයක් ඇතිවූ විටයි.
















සෝම හිමිගේ නික්ම යාම 

කාලීන බණ යයි නමක් යොදා කුණුහරුප වැලක් කියාගෙන ජනතාව අතරට පහත් වූ පිටකොටුවේ හාමුදුරුවෝ අද බටහිර රටක යෙහෙන් වැජබෙන්නේද (නැවත ලංකාවට පැමිණියේදැයි නොදනිමි), රුපවාහිනියේ දසුන් මවා, එක රැයෙන් ජනප්‍රියවී අසපු, අර උයන් මේ උයන් ලෙස නම් කරගත් ප්‍රාසාද වල සුර සැප විඳිමින් සිටින හාමුදුරු නළුවන්ට මුදල් ලැබෙන්නේද, හාමුදුරුවරු දේශපාලන මඩ ගොහොරට තල්ලුවන්නේද අහම්බෙන් නොවේ.

මේ පිළිබඳව මා තව දුරටත් නොලියන්නේ ඒ ගැන පහත ලිපියේ මා විස්තරාත්මකව සඳහන් කර ඇති බැවිනි. 


නාරද හිමියන්ට හෝ මඩිහේ පඥාසීහ හිමියන්ට වඩා පුළුල් වපසරියකින් ජනතාව අතරට යාමට අරියධම්ම හිමිටත් ඊටත් වඩා සෝම හිමිටත් හැකිවිය. මාධ්‍යයේ දියුණුව මීට බොහෝ සෙයින් හේතු වන්න ඇත. මේ නිසාම ඔවුන්ගෙන් සිදුවන ජනතාව අවදී කිරීමේ ක්‍රියාවලිය පෙරට වඩා බොහෝ සෙයින් ප්‍රභල විය. එය විශේෂයෙන්ම ක්‍රිස්තියානි මුලධර්ම වාදීන්ට දරුණු පහරක් විය.   

අරියධම්ම හිමි මෙන්ම සෝම හිමියන්ගේද අකල් නික්ම යාම සිදුවන්නේ මේ පසුබිම තුලය.













පසු ශෝධනය 

සෝම හිමිපාණෝ නික්ම ගියහ. එහෙත් එතුමා වැපිරූ කෙත්වතු ඉතිරිවිය. අන්‍යාගමික මුලධර්ම වාදයන්ගේ ව්‍යාප්තියට මෙම කෙත්වතු මහත් බාධාවක් වන බව ඔවුන්ට වැටහෙන්න ඇත. අතු ඉති කපා ගස වනසනවාට වඩා කඳ හාරා පනුවන් ඇතුළු කිරීම පහසු බව ඔවුන් තේරුම් ගන්නේ මෙතනදීය. 

බොහෝ විට මුලධර්ම වාදීන්ගේ ව්‍යපෘති සාර්ථක විය. ඉඳ හිට අසාර්ථක විය. වසර 2010 පමණ වන විට බටහිර ලෝකය පුරා මුස්ලිම් විරෝධී රැල්ලක් පැතිරෙන්න විය. ඊට හේතු රාශියකි. මේ සමගම ක්‍රිස්තියානි මුලධර්ම වාදීන්ට තම කාර්යාවලියට (job list) තව එක ඉලක්කයක් එකතු කිරීමට සිදුවිය (ඔවුන් කටයුතු කලයුත්තේ මුදල් යොදවන්නන් සාදන වැඩසටහනට අනුවය). එනම් ඉස්ලාම් ආගමට එරෙහිව ක්‍රියා කිරීමයි.

මේවන විට රටේ ඉහලම පුද්ගලයන් කිහිප දෙනෙකුට මුස්ලිම්වරුන්ගේ බිඳ වැටීමේ විශාල අවශ්‍යතාවයක් ඇත (ඒ ගැන විස්තර කිරීමට තරම් මම නිර්භීත නොවෙමි). බටහිර යාන්ත්‍රණයෙන් පණගැන්වෙන මුස්ලිම් විරෝධී ගෝලීය සිතුවිලි ව්‍යාප්තවාදය, රූපවාහිනිය සහ ඉන්ටර්නෙට් හරහා ලාංකික බෞද්ධයාගේ දොරකඩටම පිවිසෙන්නේය. කඳ පණුවා පාර්ලිමේන්තුව ඇතුලේ සිටම බෞද්ධ සාරධර්ම කා දමයි.ක්‍රිස්තියානි මුලධර්ම වාදියාට මෙවන් අවස්ථාවක් තවත් ලැබෙන්නේ නැත. 

බෞද්ධ නාමය ගා ගත් (හෝ නා ගත්) බල සේනාවන්, බලකායන් රට තුල මතුවන්නේ මේ පසුබිම තුලය. ජනතාවට අපැහැදිලි (දන්නා අයට පැහැදිලි) හේතුවක් මත ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය මැනවින් ලැබේ. එමතු නොව රටේ ජනතාවගෙන්ද නොමසුරු ඔල්වරසන් නද මේ බලසේනා වලට ලැබේ.


බලසේනාවන් ඉටු කරන්නේ කාගේ උවමනවද?






එදා මල් වට්ටිය දෝතින් දරාගෙන පන්සලට පියනගන්න පුරුදු වෙමින් සිටි තරුණ පිරිස් අද ගල් මුගුරු අතැතිව හාමුදුරු-වීරයා සමග පාරවල් ගානේ දුවයි.

කහ සිවුරු දරන්නෝ, රුපවාහිනී කැමරාව අභියස, කිසිඳු හිරිකිතයකින් තොරව පරුෂ වදන් කියමින්, ද්වේශය, වෛරය අභිනය කරමින් යකා නටති. කඩ සාප්පු වලට ගල් ගසති. අන්‍යාගමික යන්ට පමණක් නොව බෞද්ධයන්ටත් තර්ජනය කරති. මාතෘ සායන වලට කඩා පනිමින් ස්ත්‍රී වර්ගයාගේ මානුෂික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරති.  සිරුරට පැට්‍රොල් දමා ගිනි තිය ගනිති 

මේ විප්‍රකරයන්ගේ වාසිය කාටද?

අද මේ සිදුවන්නේ මුළු මහත් ථෙරවාද බෞද්ධ සංස්ථාවම විනාශ කිරීමේ ක්‍රියාවලියක එක පරිච්චේදයකි. අනෙක් පරිච්චේද මියන්මාරයේදී සහ තායිලන්තයේදී ලියැවේ.  

ථෙරවාද සංඝ සමාජය තුල තවත් මනුෂ්‍ය වර්ගයකට එරෙහිව යුධ වැදීමක් තිබුනෙම නැත. එය බුදු දහමේ හරයයි. රජුන් සිටින්නේ සටන් කරන්නය. බෞද්ධ භික්ෂුව මෙම කාර්ය භාරය බාර ගැනීමත් සමගම ථෙරවාද බෞද්ධ සංස්ථාව විනාශ වීම වැළක්විය නොහැක. ක්‍රිස්තියානි මුලධර්මවාදියා මෙය මැනවින් වටහා ගෙන ඇත. 

එක පල්ලියක් කැඩෙන විට පල්ලි දහයක් හදා ගැනීමට මුලධර්ම වාදියාට  මුදල් ලැබේ.

එහෙත් ආගමික යාඥාවක් මැද්දට පැන බැන වැදී, ගල් මුල් ගසා එය කඩා කප්පල් කරන විට, "ථෙරවාදී බෞද්ධයාගේ යක්ෂ වේශය නිරාවරණය වේ" යැයි කියා පණිවිඩයක්  ලොවට පියා සැලෙන්නේ ඇසුරු සැනෙනී. මුලධර්මවාදියාගේ අවශ්‍යතාවයද එයමය. 

බේබදුකමට උසාවියේ සාක්ෂි සහිත සිවුරු දරන්නෙක් බෞද්ධයාගේ වීරයා ලෙස කරලියට ගෙන එන්නේද මේ ක්‍රිස්තියානි මුලධර්ම වාදී කල්ලියමය. වීරත්වයේ හිනි පෙත්තට නංවා, මාධ්‍ය ඉදිරියේ වීරයා නිරුවත් කල විට, කඩා වැටෙන්නේ වීරයා පමණක් නොව ඔහු නියෝජනය කරන ථෙරවාදී බුදු දහමම බව ඔවුන් දනී. 

ගමට මුදල් වංචා කර, හතර අතේ ණයවී, තම පක්ෂයෙන්ද නෙරපා දැමු, සිවුරු දරාගත් ප්‍රාදේශීය දේශපාලකයෙක් ගිනිතියාගෙන මියගිය පමණින් හරක් මස් කෑම නතර කල පුද්ගලයෙක් ඇති දැයි මම නොදනිමි. එහෙත් නිහාල් නෙල්සන් මහතාගේ "එපා එපා මස් කන්නට කිරි අම්මාගේ" සින්දුව අසා හරක් මස් කෑම අත හල පොඩිත්තෝ ගණනාවක් මා හට හමු වී ඇත. නිහාල් නෙල්සන් මෙම සින්දුව ගායන කරන්න ඇත්තේ සංගීත රසය ජනතාවට ලබා දීමට මිස, ජනතාව හරක් මස් කෑම නතර කිරීමට යයි මම නොසිතමි. එහෙත් එම ගීතයේ (එය බයිලාවක් බව අමතක නොකරන්න) හා වීඩියෝවේ අනුවේදනීය බව බොහෝ දරුවන්ට හරක් මස් කෑම එපා කරවුයේය. 

එහෙත් ගිනි තබාගත් හාමුදුරුවෝ මුළු ලෝකයාම ඉදිරියේ බුද්ධාගමත් ලංකාවත් හැල්ලුවට ලක් කළේය. මේ ගැන රටවල් ගණනවක පළුවූ වාර්තා කියවීමෙන් මා ඉතා කනගාටුවට පත් විය. කිසිඳු හේතුවක් උදෙසා තමාගේ වුව ජීවිතය විනාශ කිරීමට භික්ෂුවකට කැප නැත. අවාසනාවකට එම භික්ෂුව මෙම අකටයුත්ත සිදු කලේ වෙසක් පුන් පොහෝ දින දළදා මැදුර ඉදිරිපිටය. කිසිවෙකු මෙම ක්‍රියාව අනුමත කරනවා නම් මා දකින්නේ ඒ උම්මන්තකයකු ලෙසටය. 




















හිස් තුවක්කු ඇත්තන්ට පතරොම් ලබා දීම 

අද ක්‍රියාත්මක වන මේ බල සේනා මුස්ලිම් අන්තවාදීන්ට තොග වශයෙන් උණ්ඩ මූනිස්සම් ලබා දෙමින් සිටියි. 

ලංකාවේ ඉස්ලාම් භක්තිකයන් සුළුතරයක් ඇති බැවින් ඔවුන්ට පහරදී බිය වද්දා යටපත් කිරීමට හැකිවෙතැයි සංකල්පයක් සිංහල බෞද්ධ ජනතාව තුල ඇති කිරීමට මෙම බලවේග වලට අද හැකියාව ලැබී ඇත. මෙය ඉතා බොළඳ සිතිවිල්ලකි. 

ඉස්ලාම් ධර්මය ඇතුළතින්ම මතුවන ආක්‍රමණකාරී ස්වභාවය ලොව පුරා සිටින මුස්ලිම්වරුන් ආයුධ සන්නද්ධ කිරීමට සමත් වී ඇත. 

මෙම යුධ සුදානම විටෙක නොයෙකුත් කාරණා ආරම්භයා බාහිර සතුරන්ට පහරදීමටත්  විටෙක තම තමන් මරා ගැනීමටත් ඔවුන් යොදවයි. මෙම තත්වය මා දකින්නේ ඉස්ලාම් සමාජයට පතිත වී ඇති ශාපයක් ලෙසටයි. මුස්ලිම් ලෝකයේ ඉතා ඉහල ප්‍රතිශතයක් අදවන විටත් අන්ත දිළිඳු නුගත් සමාජයක දිවි ගෙවන්නේ මේ යුධවාදී මානසිකත්වය නිසාය. බටහිර ධනවාදය ඇතුළු ක්‍රිස්තියානි මූලධර්ම වාදය කිසිවිටෙකත් ඉස්ලාම් සමාජයට මෙම අයහපත් වාතාවරණයෙන් මිදීමට ඉඩ නොදේ. එසේ මිදීමේ ස්වභාවයක් ඇතිවන විට ඉස්ලාම් ධර්මයට නොයෙකුත් කෙනෙහිලිකම් කරමින් ඔවුන් නැවතත් යුධවාදී මානසිකත්වයට තල්ලු කිරීම ලොව පුරා විසිරි සිටින බටහිර ධනවාදයට හිතැති (එම යාන්ත්‍රණයේ පඩි ගෙවීම් පත්‍රයට ඇතුලත්) අයවලුන්ගේ වගකීමයි. මෙම තත්වය තේරුම් ගැනීමට නොහැකි තත්වයකට ඉස්ලාම් ධර්මය විසින්ම භක්තිකයන්ගේ සීතිමේ හැකියාව විලංගු දමා සීමා කර ඇත.

මේ තත්වයෙන් මුස්ලිම්වරුන් මිදවීම හෝ ඔවුන් තව තවත් මඩේ එබීම බෞද්ධයාගේ කර්තව්‍යයක් නොවේ. එහෙත් මේ තත්වයේ දරුණුකම තේරුම් ගැනීම බෞද්ධයාගේ සෞඛ්‍යට බෙහෙවින් හිතකර වනු ඇත. ඉස්ලාම් අන්තවාදයට අවශ්‍ය ලොව කොතැනක හෝ ඉස්ලාම් ධර්මයට කෙනෙහිලි කමක් ඇතිවීමයි. එය ඔවුන්ගේ යුධ න්‍යායපත්‍රය දිගටම පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය කරුණකි. 

බළසේනා වල ක්‍රියාකාරකම් එක පැත්තකින් මෙම ගෝලීය මුස්ලිම් අන්තවාදයට අවශ්‍ය පතරොම් ලබා දෙමින් ඉලක්කයන්ද සකසා ලයි. අනෙක් පැත්තෙන් සක්කිර් නායික් ආදී ඉස්ලාම් කථිකයන්ට බෞද්ධ දර්ශනයේ කිසිසේත් නොමැති බිහිසුණු පැතිකඩක් ලෝකයට නිරාවරණය කිරීමට අවශ්‍ය පින්තාරු සායම් සපයා දෙයි. 

අද ශ්‍රී ලාංකීය බෞද්ධයා සිටින්නේ "අපි චන්ඩි" යන බොළඳ සිහිනයකය.  

එහෙත් සිංහල බෞද්ධයා නොදන්නා හෝ නොසිතන ඉතා දරුණු පැත්තක් මෙහි ඇත.

බොහෝ රටවල පවතින ඉස්ලාම් සමාජය ත්‍රස්තවාදයේ තෝතැන්නකි. ඔවුන්ට ලෝකයේ ඕනෑම තැනකට ආයුධ ප්‍රවාහනය කිරීම ඉතා පහසු කාර්යයකි. රටක්, සමාජයක් අස්ථාවර කිරීමට එම ප්‍රදේශයේ විශාල මුස්ලිම් ජනගහනයක් සිටීමද ඔවුනට අවශ්‍ය නොවේ.





ඉස්ලාම්-ජිහාඩ් බලවේග සටන් කරන්නේ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් මෙන් ප්‍රදේශයක් අත්පත් කරගන්න නොවේ. එලෙසම ඔවුහු යම් නිශ්චිත නායකත්වයක් යටතේ නිශ්චිත අරමුණකට සටන් කරන්නෝද නොවේ.  ඔවුන්ගේ අරමුණ මුස්ලිම් දහමට විරුද්ධ වන පිරිස හැකිතාක් මර දැමීම සහ එම අයවලුන්ගේ සමාජ එහෙම පිටින්ම විනාශ කර දැමීමයි. මා දකින ආකාරයට අද ලංකාවේ පවතින මුස්ලිම් ව්‍යාප්තිය, ඔවුන්ගේ ධන බලය, දේශපාලන බලය සහ පාතාලය හැසිරවීමේ හැකියාව අනුව ඉතා කෙටි කලකින් මේරට අපායක් කිරීමට ලෝක මුස්ලිම් බලවේගවලට හැකිවනු ඇත.

අප රටේ බල සේනාවෝ මේ වන විට කාල තුවක්කු සහ මිසයිල වලින් පරිපුර්ණ වූ මෙම මුස්ලිම් ත්‍රස්ත යාන්ත්‍රණයට නොනවත්වා කැටපෝල් ප්‍රහාරයන් එල්ල කරමින් සිටිතී.


විය හැක්කේ කුමක් දැයි, නුවණැසින් දකින්න..............