Sunday 31 July 2022

මෝක්ෂය මෙයයි. නිර්වාණය කුමක්ද?

මට තේරෙන අද්වෛත මොඩලය වචන දෙකක වැකියකින් විස්තර කල හැක. එනම් "මමද ඔබමය" යන්නයි.

සරල උදාහරණයක් ගමු. විශාල රත්තරන් ගොඩක් සලකන්න. එය අර්ථ දැක්විය හැක්කේ රත්තරන් ලෙස පමණි. දැන් මේ රත්තරන් ගොඩෙන් ස්වල්පයක් ගෙන ඉන් මාලයක්, කරාඹුවක් සහ වළල්ලක් සාදමු. දැන් අර රත්තරන් ස්වල්පයට මාලයක්, කරාඹුවක් ආදී වූ හැඳින්වීම් ඇත. ඊට විශේෂණ පදද එකතු කල හැක. දැන් මාලය උණු කර සළඹක් සාදමු. එයට දැන් මාලය යයි නොකියමු. එය සළඹකි. සළඹ උණු කර මුද්දක් සෑදුවොත් එය මුද්ද ලෙස හැඳින්වේ. තරමක් ගැඹුරින් සිතුවොත් මේ සියල්ලටම ඇති එකම සත්‍ය රත්තරන් යන්නයි. මාල, වළලු, මුදු, කරාඹු අවස්ථාව අනුව පෙනෙන මායාවන් පමණි. 

ලොව පවතින්නේ එකම සත්‍යයයි. ඒ බ්‍රහ්මන්. අප දකින අනෙක් මුළු විශ්වයම මායාවක් (බ්‍රහ්ම සත්‍යා ජගත් මිත්‍යා). බ්‍රහ්මන් සහ මහා බ්‍රහ්මයා පටලවා ගන්න එපා (මහා බ්‍රහ්මයා ද්වෛත වේදාන්ත සංකල්පයක්). බ්‍රහ්මන් යනු නිර්ගුණ (property-less), නිර්-අර්ථ (undefinable), නිර්මාන (dimensionless), නිර්ලිංග (non-gender) භූතාර්ථයක් (Dr Nalin ගෙන් සොරාගත් මේ වචනය මම යොදන්නේ තේරුම් ගත නොහැකි යමක් කීමටයි). මුළු විශ්වයම බ්‍රහ්මන් පමණයි. සමහර විද්වතුන් බ්‍රහ්මන් dark matter/dark energy  ලෙස හඳුනාගන්න උත්සහ දරනවා. 

ඔබද මාද පීටර්ද මොහමඩ්ද කියා ඇති වෙනස මාල, වළලු, මුදු, කරාඹු වැනිය. මේ සියල්ලේම ඇත්තේ බ්‍රහ්මන්ය. ආත්මය නම් මේ බ්‍රහ්මන්ය. මම යනු බ්‍රහ්මන් වන අතර ඔබද, පීටර්ද මොහොමඩ්ද බ්‍රහ්මන් වේ. මෙය සමස්ථ බ්‍රහ්මන් ගෙන් වෙනස් නොවේ. අද්වෛත සහ ද්වෛත වේදාන්ත වෙනස්වන්නේ මෙතනදීය. අද්වෛත වේදාන්තය අනුව මාද, ඔබද දෙවියන්ද එකමය. ආත්මය හෙවත් බ්‍රහ්මන් නිර්ගුණ, නිර්-අර්ථ, නිර්මාන, නිර්ලිංග භූතාර්ථයක් බව නැවත මතක් කරගන්න. 

ඊළඟ විස්තරයට පෙර තවත් උපමාවකින් මම මෙය වඩාත් තහවුරු කරන්නම්. බ්‍රහ්මන් මුහුදේ ජලය සේය. මම, ඔබ, පීටර් සහ මොහොමඩ් මුහුදේ නැගෙන රැලි සේය. එක් ක්‍ෂණයකට අපි අර රැල්ල, මේ රැල්ල ලෙස හැඳින් වුවත් එහි ඇත්තේ ජලයමය.

උත්පත්තියක් යනු ආත්මය පංච කෝෂයක් තුලට ඇතුළු වීමයි. මෙය ජලය බඳුනකට පුරවනවා වැනිය. පංච කෝෂ යනු; අන්නමය කෝෂ (ආහාර මගින් ඇතිවන සිරුර), ප්‍රාණමය කෝෂ (ජීව ශක්තිය), මනෝමය කෝෂ (මනස), විඥානමය කෝෂ (ඉංග්‍රීසි බසින් conscouseness ලෙස හැඳින්වෙන මේ අද්වෛත වෙදාන්තයේ එන විඥාණය සිංහලෙන් තර්ක ඥානය ලෙස හඳුන්වා දිය හැක), ආනන්දමය කෝෂ (ඉංග්‍රීසි බසින් blissfullness ලෙස හැඳින්වෙන මේ සංකල්පය සිංහලෙන් දිව්‍යමය සතුට හෝ ආනන්දජනක බව ලෙස හැඳින්විය හැක).

ජීවීන් ලෙස අප හඳුන්වන භූතාර්ථයන්ට බොහෝ විට පංච කෝෂ ඇත. සමහර භූත, ප්‍රේත, පහල තලයේ දේව කොටස්වලට අන්නමය කෝෂය හෝ අන්නමය සහ ප්‍රාණමය කෝෂ නැත. සමහර ඉහල දේව ගණයන්ට ඇත්තේ විඥානමය සහ ආනන්දමය කෝෂ පමණි, ඉහලම බඹ තලවල ඇත්තේ ආනන්දමය කෝෂය පමණි. ආත්මයක් කෝෂ තැනීම අත්හල විට එය සමස්ථ බ්‍රහ්මන් හා බද්ධ වේ. ඉන්පසු එයට අර්ථ දැක්වීමක් නැත. එය බ්‍රහ්මන්මය. මෙය මෝක්‍ෂය නම් වේ. 

අද්වෛත වේදාන්තයට අනුව අපට පංචෙන්ද්‍රියයන්ට නතුවන හෝ නොවන ජීවින්, භූත, ප්‍රේත, දෙව් බඹුන් ඇතුළු සියළුම දේ (බ්‍රහ්මන් හැර) යථාර්තයන් නොවේ. ඒවා මායවන්ය. මරණය හෝ චුතවීම නම් සංසිද්ධියේදී ආත්මය එක් කෝෂ පද්ධතියක් හලා තව එකක් අල්ලා ගනී. කර්මය නම් ස්වභාවික රීතිය බලපැවැත්වෙන්නේ පංච කෝෂ මත මිස ආත්මය මත නොවේ (නිර්ගුණ භූතාර්ථයක් මත කිසිවක් බලපැවැත්වෙන්නේ නැත). මරණයෙන් මතු ඊළඟ කෝෂ පද්ධතිය තීරණය වන්නේ කෙසේද යන ආකෘති හැසිරීම මම මේ වන විට හදාරමින් සිටිමි. 

දෙවියන්, ප්‍රේතයන් ආදී භූතාර්ථයන්ද මායාවේම කොටස් බැවින් ගනුදෙනු ඇතිවන්නේ එම භූතාර්ථයන් සහ පංච කෝෂ අතර පමණි. ආත්මයට කිසිම බලපෑමක් කිරීමට මේ මායාවන්ට නොහැක.

දුකට හේතුව මනස විසින් පංච කෝෂ "මම" යයි  වැරදියට වටහා ගැනීමයි. සියළු ගුණ බලපැවැත්වෙන්නේ පංච කෝෂ මතයි (සතුට, වේදනාව, දුක, භීතිය, ආදී). අප අවදියෙන් සිටින විටද, තද නින්දේ සිටින විටද, සිහින දකින විටද ආත්මය හෙවත් "මම", මම යයි මගේ මනස හඳුනා ගත් මම දෙස බලා සිටියි. මෙය අප චිත්‍රපටියක් බලනවා වැනිය. චිත්‍රපටයේ මිනිසුන්ට, සතුන්ට නොයෙකුත් දේ සිදුවේ. නමුත් භෞතිකව මට එය බලපාන්නේ නැත. අප චිත්‍රපට බලන්නේ මේ නිසාය. මේ ලෙසම "මම" හා පංච කෝෂ අතර පරතරය අවබෝධ කරගත හැකි නම් "දුක" එතකින්ම නිම වේ. 



Thursday 28 July 2022

ඉහිරුණු තීන්ත පැල්ලම

මීට දොළොස් වසරකට පමණ පෙර මට චීනයේ ශාන්ෂි ප්‍රාන්තයේ (Shanxi Province) ඇති ශුංග්ලින් පන්සල (Shuanglin Temple) වෙතට යාමේ භාග්‍ය උදා විය. UNESCO ලෝක උරුමයක් ලෙස නම් කර ඇති එහි මින්ග් රාජවංශයට (Ming Dynasty) අයත් කලා කෘති ගණනාවක් ඇත. මුලින් හමුවන සෑම මුර්තියක්, සිතුවමක්ම චායාරූප ගත කරන බොහෝ දෙනෙකු ටික වෙලාවකින් එය අත හැර දමන්නේ මෙය නිමක් නොවන කාර්යයක් ලෙස වැටහෙන බැවිනි. 

පන්සලේ එක් කෙළවරක ඇති බෝධිසත්ව රූපයක මුහුණේ මුර්ති ශිල්පියාට වැරදීමකින් රතු තීන්ත පාරක් ඉහිරී ඇත.

පන්සලේ සංචාරයෙන් පසු බස් රථය තෙක් පිරිස සමග පැමිණෙන මග පෙන්වන්නිය පිරිසගෙන් පැනයක් අසයි. මෙය ඇය දිනපතා පැමිණෙන සෑම නඩයකින්ම අසන දෙයක් විය හැක. 

"ඔබ මේ පංසලේ දැකපු හොඳටම මතක ඇති දේ කුමක්ද?"

"එක පිළිමයක මුහුණේ වැරදීමකින් තීන්ත පාරක් වැක්කෙරී ඇත" මේ අති බහුතරයකගේ පිළිතුරයි.

ඉන් පසු එම මග පෙන්වන්නිය අපූරු විස්තරයක් කරමින් එය වැරදීමක් නොව අධිරාජ්‍යයාගේ අණ පරිදි මුර්ති ශිල්පියා සිතා මතාම කල දෙයක් බව පවසයි. පන්සලෙන් පිටවන අයට පෙනෙන ලෙස එකල අධිරාජ්‍යයා පුවරුවක් සවිකර තිබූ බවට ඉතිහාසයේ සඳහන් වෙයි. එහි ලියා තිබී ඇත්තේ 

"ඔබ දුටු දහස් ගණනක් අති අලංකාර මූර්ති වලින් ඔබට මතක ඇත්තේ ඉහිරුණු තීන්ත පැල්ලම පමණයි. මින් පසු මා කල නරක දෙයක් දුට විට මෙය මතක් කරගන්න".

දහසක් තීන්ත පැල්ලම් අතර එක හොඳ පිළිමයක්වත් නොසාදන නුතන පාලකයාගේ සිට මින්ග් රාජවංශය වෙත අපි පිය නගමු.


  


Wednesday 20 July 2022

ඔබට සුබ අනාගතයක් - Adiós


මේ ලිපිය මා ලියන්නේ දෛවෝපගත දිනකය. පාර්ලිමේන්තුවේ එකඳු ආසනයක්වත් දිනාගත නොහැකි වූ පක්ෂයක පුද්ගලයෙක් රටේ විධායක ජනාධිපති ලෙස දිව්රුම් දෙන දිනයකය. සමහර විට දිගු කලකට මා ලංකාවේ දේශපාලනය පිළිබඳව ලියන අවසන් ලිපිය මෙය විය හැක. 

මා දන්නා බොහෝ දේ ලිවිය නොහැක. එයට හේතු ඇත. නමුත් ජනතා මෙහෙවරක් ලෙස මම සෑම විටම ඔබට යම් ඉඟියක් දීමට උත්සහ කලෙමි. එය කියවා ගැනීමට සමහර සහෘදයන් සමත් විය. 

රනිල්; ඔහු යන්නේ රාජපක්ෂලා සිතන ගමනවත් අරගලකරුවන් සිතන ගමනවත් නොවේ. රනිල්ට ස්වාමියෙක් ඇත. ඔහුගේ ගමන එම ස්වාමියා විසින් pre-program කරන ලද්දකි. ඒ සඳහා ඔහුට ජනතා ප්‍රසාදයක් හෝ පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නැත. මන්ද ඔහු පත්වන්නේ මේ කිසිවක් නොමැතිවය. මේ නිසා ඔහු ජනතාවටවත් පාර්ලිමේන්තුවටවත් වග කිව යුතු නැත. එය රනිල්ගේ ගමනටම ඉඳිකළ ස්වර්ණමය මාර්ගයකි. 

මේ ගමනට මම පෞද්ගලිකව දැඩි ලෙස බිය වීමි. මේ නිසාම එයට එරෙහිව මට හැකි අයුරින් හඬ නැගුවෙමි. එම හඬ අද මම නිහඬ කරමි. අද ඇති දේශපාලන ගතිකය තුල රනිල්ගේ ගමනට බාධා කිරීම ලාංකිකයාට අතිශයින්ම භයංකාරය. මේ බව අරගලය තේරුම් නොගන්නා බව මට සහතිකය. එය ඔවුන් අනාගතයේදී දුෂ්කර මාර්ගයෙන් තේරුම් ගනු ඇත. යථාර්තය තේරුම් ගැනීමට තරුණ ජවය මැලිය. එය දැඩි අවාසනාවන්ත තත්වයකි. 

ඔබ වියට්නාමය සහ පිලිපීනය ගැන අධ්‍යනය කරන්න. මේ රටවල් දෙකේම නායකයන් ඇමරිකන් ගැති විය. වියට්නාම් ජාතිකයන් ඉතා ඉක්මනින් ඇමරිකන් ගැතිබාවය වැළඳ ගත් අතර පිලිපීන වැසියන් කොටසක් එයට දැඩි ලෙස විරුද්ධ විය. අද වියට්නාම් වැසියන් බොහොමයක් සතුටින් ජිවත් වෙයි. ඔවුන් තම සංස්කෘතිය සහ සාම්ප්‍රදායික ආගම (බුදු දහම) ඇමරිකන් ගැති බාවය වෙනුවෙන් අත හැරියේය. ඒ වෙනුවට ඔවුන්ට හොඳ ගෙවීමක් ලැබුණි. අද වියට්නාමය වේගයෙන් දියුණු වෙයි. ඔවුන්ට ඇමරිකන් විසා ලබාගැනීම පවා  ඉතා පහසුය. පිලිපීනයේ තත්වය තරමක් වෙනස්ය. 

ඔබ 2500 මෙව්වා එක ගැන ආඩම්බර වුනා පමණකි. එයින් කිසිවක් උකහා ගැනීමට හෝ එම එඩියෙන් ඉදිරියට යාමට උත්සහ කලේ නැත. අද ඔබ පමා වැඩිය. කාලකන්ණි නායකයන් රොත්තක් මත බලාපොරොත්තු තබා ඔබ හිඟන්නන්ගේ තත්වයට පත්ව ඇත. තව දුරටත් ඔබට bargaining powers නැත. මේ බව අවබෝධ කරගන්න. රනිල් පසුපස යන්න. ඔබගේ 2500 ක ආඩම්බරය සහ සංස්කෘතිය අකුළා ඉන්දියන් සාගරයට දමන්න. ජීවත්වීමට මුල් තැන දෙන්න. සමහර විට ඔබගේ මී මුණුපුරන් නැවතත් ඔය අතීත ශ්‍රී විභූතිය ගැන සිතනු ඇත. ඔවුන් වෙනුවෙන් යමක් ලියා තබන්න. 

මෙතෙක් මා ලංකාවේ දේශපාලනය ගැන පැවසූ දේ කියවූ ඔබට බොහොම ස්තුතියි





Saturday 16 July 2022

වසර 2500 ක මෙව්වා එක


ලාංකිකයා ඒකාධිපති ලක්ෂණ සහිත රජෙකු යටතේ සිටි වසර 2500 පමණ කාලය හා සසඳන විට මහජන නියෝජිත ක්‍රමය යටතේ සිට ඇත්තේ වසර 75 ට අඩු කාලයකි. ජන සමුහ විඥානය පිළිබඳව හැදැරීමේදී අපට වැටහෙන කරුණ නම්  ඔවුන්ගේ මානසික විභවය වෙනස් කිරීමට මේ සුළු කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. යුරෝපයේ රටවල් බොහොමයක මේ කාලය වසර 1000-1500 ක් පමණ වන අතර ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රටවල රජ ආණ්ඩු පැවතුනෙම නැත. යුරෝපයේ රාජාණ්ඩු පෙරලුණේ බොහෝ විට මිනිසුන් එයට එරෙහිව නැගී සිටි බැවිනි. නොඑසේ නම් පළවන සහ දෙවන ලෝක යුධවල කුරිරු අත්දැකීම් එයට බලපෑවේය. චීනයේ සහ රුසියාවේ රාජාණ්ඩු පිළිබඳව ජන විඥානය වෙනස් කෙරුණේ අතිශයින් දරුණු මර්දනයක් තුලිනි.

එහෙත් ලාංකිකයා කිසි දිනෙක රජෙකු එපා කිව්වේ නැත. ඔවුහු රජුන් යටතේ යම් පමණක වහල් - සුරක්ෂිතභාවයක් ඇතුව දිවි ගෙවීමට පුරුදුව සිටියහ. ඇමරිකාවේ වහලුන් පිළිබඳවද අප්‍රිකාවේ නොයෙකුත් ගෝත්‍ර පිළිබඳවද කල අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක් ඒකාධිපති ස්වරුපයේ පුද්ගලභාවයකට නතුවී සිටි ජන සමුහයක් එම ඒකාධිපති ක්‍රමයේ වද වින්දන වලට හුරුවෙමින් එයද සැපතක් බව විඥානගත කරගන්නා බවයි. ලංකාවේ උගත්-නූගත් වෙනසකින් තොරව මේ මනෝභාවය ජනගත වී ඇති බව පැහැදිලිව නිරීක්ෂණය කල හැක. 

ඇමරිකාවේ වහළුන් නිදහස් කරගැනීම සඳහා සටන් කල සමහර නායකයන්ට වහලුන් අතින්ම මිය යාමට සිදු වුනේ මේ නිසාය. මහාචාර්ය නලීන් ද සිල්වා, විමල් වීරවංශ වැනි අය ආමන්ත්‍රණය කලේ ලාංකිකයාගේ මේ සැඟවුණු මනෝභාවයටයි. ලංකාවට අත පොවන විදේශ බලවතුන් පවා මේ වන විට මේ ලාංකික සමුහ මානසිකත්වය හොඳින් හදාරා ඇති බව මම පෞද්ගලිකවම දනිමි. ඔවුන් තමන්ට වාසියක් ඇත්නම් නිරතුරුවම ඔබටත් නොදැනී මේ නිලය විටින් විට අල්ලනු ඇත.

ලංකාවේ මේ රාජාණ්ඩු ක්‍රමය වෙනස් කලේ සුද්දාගේ උවමනාවටය. එබැවින් තවමත් ලාංකිකයාගේ පෞද්ගලික විඥානය මෙන්ම සාමුහික ජන විඥානය තුලද රජෙක් නොමැතිවීමේ සාංකාව හොල්මන් කරයි. මේ නිසා ඔවුන් නැවතත් රාජපක්ෂ පන්නයේ පාලකයෙකු සෙවීම අතහරී යයි මම සිතන්නේ නැත. මෙය වැලක්වීමට නම් අති විශාල ප්‍රයත්නයක් දැරිය යුතුය. 

එහෙත් එය වැළක්විය යුතුද? මේ පැනයට ඔබම පිළිතුරු සොයා ගන්න. 


                 

Tuesday 12 July 2022

මට පෙනෙන අනාගතය


සියල්ල එලෙසින්ම සිදුවෙමින් පවතී. කලක් මහා බලවතුන් ලෙස ජනතාව පෙළු අමනයෝ දැන් ජනතාවට බියේ තැනින් තැනට දිව යති. ඔවුන් කල වරදට ලොව කොතැනක සිටියත් දඬුවම් විඳිය යුතුය. ඒ ඔවුන් හා ඇති වෛරයක් නිසා නොව අනාගතයේ බිහිවන පාලකයන්ට ආදර්ශයක් ලෙසටයි.

මේ දිනවල ඇමරිකා-ඉන්දියා තානාපතිවරුන්ට උදාවී ඇත්තේ කාර්ය අධික සමයකි. ලොවට රහසක් වුවාට, යම් දේශපාලන නායකත්ව විභවයක් ඇති සෑම දෙනෙකුටම මේ වන විට ජූලි පෞද්ගලිකව කතා කර ඇතැයි ආරංචි වෙයි. දැන් සියලු දෙනාම ජූලි විසින් දැනුවත් කර ඇති පරිදි තම තමන්ගේ කාර්ය භාරය කුමක්දැයි වටහාගෙන ඇතැයි සිතමි. මේ වන විට නායකයාව තෝරාගෙන ඇති බව සැලයි. එසේම රාජපක්ෂලාට විය යුත්තේ කුමක්ද යන්නත් ජූලි විසින්ම තීරණය කරනු ඇත.

ඇමරිකාව අපට දීමට යන සමාජ-ආර්ථික-දේශපාලන මොඩලය කුමක්දැයි මට තවම නොවැටහේ. නමුත් එය රටේ ජනතාවට සෙමෙන් සෙමෙන් යහපත් තත්වයක් උදා කරනු ඇත. ඒ සඳහා අප ගෙවිය යුතු ගාස්තුව පිළිබඳවද අනාගතයේදී සෙමෙන් සෙමෙන් වැටහෙනු ඇත. ඒ කෙසේ නමුත් මා කලින් කීවා සේ ඔබගේ අර "උතුම්ම - නිර්මලම- පාරිශුද්ධම" අරවද මේවද ටික නම් අකුළා ඉන්දියන් සාගරයට වීසි කිරීමට අනිවාර්යෙන්ම සිදු වනු ඇත. 

   

Monday 4 July 2022

ඌරු මීයන්


අසූචි නැවකට අසුචිද නොගෙන ඩොලර් මිලියන හතක් ගෙවන විට වචනයක් පැවසීමට කොන්දක් නොතිබූ මිනිසුන් 

බිලියන ගණනින් මහජන සම්පත් කොල්ල කා ඇති බව පෙනෙන විට වරදකරු තම වහල් හිමියා නම් ඇස් පියාගෙන සිටි මිනිසුන් 

කොවිඩ් උවදුරෙන් පවා මුදල් ගසා කෑ නොමිනිසුන් වෙනුවෙන් පෙනී සිටි මිනිසුන් 

විදේශයක රළු කර්කශ පොළවේ තමන්ගේ දාඩිය මහන්සියෙන් ලාංකිකයා උපයාගත් ඩොලර් ලංකාවට එවන්නේ නැතැයි කියා පස් පඩංගුවේ බනින විට .....

කුමකටද මොවුන්ගේ බුද්ධිය සහ උගත්කම?  

ඌරු මීයන් ගහන වත්තක ඔවුන් වඳ නොකර බතල හිටවා කෙතරම් පොහොර දැම්මත් ඵලක් නොවන බව නොතේරෙයි නම් ......