Thursday 24 March 2022

පිටතින් වැසූ පමණින් වණයක් සුව වේද?


මා ලංකාව සම්බන්ධයෙන් කරන කටයුතු පිළිබඳව දන්නා බොහෝ දෙනෙකුට මා සෑහෙන කාලයක සිට ලංකාව පිළිබඳව පළකරන අදහස් විමතියකි. ඔවුන් ඒවා දකින්නේ අතිශයින් ඍණාත්මක ලෙසයි. මම ඒ ගැන විමසන ඔවුන් බොහෝ දෙනෙකුට ඍජුව පිළිතුරු නොදුන්නෙමි. ඔවුන් බොහෝ දෙනෙකුට එකල මා කරන පැහැදිලි කිරීමක් නොතේරෙන බව මට සහතික විය. මෙකලද තවමත් කිහිප දෙනෙකු ඒ ගොඩේ ඇත.

අපට ඇත්ත ඇති සැටියෙන් නොපෙනවා සිටීමට සිදුවන අවස්ථා ඇත. අසාධ්‍ය පිළිකා රෝගියෙකුට විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරන අවස්ථාවක අප රෝගියාට නිතරම කියන්නේ ඔහු හෝ ඇය ඉතා ඉක්මණින් සුව වන බවයි. මන්ද රෝගියා වෙනුවෙන් කල හැකි උපරිමය කරන බැවිනි. එම වදන් රෝගියා තව එක් දිනක් හෝ සතුටින් තැබීමට බලාපොරොත්තු ගෙන එයි. ධනාත්මක චින්තනය යනු එයයි. 

අනෙක් අතට වෛද්‍ය විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්නා ගොඩ වෙදෙක් ඇතුලටම ඔඩුදුවා ඇති විශාල වණයක් පිටතින් තෙල් බෙහෙත් ටිකක් ගා වසා දමයි. ඒ දකින විට අපට ඉහත ලෙසම රෝගියා සැනසිය හැකිද? ඔබ කුමක් කරයිදැයි මම නොදනිමි. එහෙත් මා නම් රෝගියාට තත්වය පැහැදිලිවන තෙක් කෑගසා කියමි. එය ඍණාත්මකද නැත්නම් ධනාත්මකදැයි ඔබම තීරණය කරන්න. 

දැන් මුළු කකුලම කපා දමන තැනට පැමිණ ඇත. එබැවින් එදා නොතේරුණු බොහෝ දෙනෙකුට ප්‍රයෝගිකවම මා පැවසූ දේ පැහැදිලි වී ඇත. මම ඒ ගැන කිසිසේත් සතුටු නොවෙමි.  

කැඩුණු වහල අලුත්වැඩියා කල යුත්තේ වර්ෂාවට පෙරය. දැන් සුළි කුණාටුවද පැමිණ ඇත. 

Sunday 20 March 2022

කිකිළිද බිත්තරේද?


සමාජ වියසනයක් යනු ශිෂ්ඨාචාරය බිඳ වැටීමයි. මානව සමූහයක් එක්ව ජීවත්වීමේදී එම පද්ධතිය ස්ථාවරව පවත්වාගැනීම සඳහා ඔවුන් යම් රීති රාමුවක් සාදාගනී. එම රාමුව සදාචාරය ලෙස ඔබට හැඳින්විය හැක. ශිෂ්ඨාචාරයක් ගොඩනැගෙන්නේ මෙම සදාචාරයට අනුකූලවය. 

සදාචාරය ස්ථාපිත කිරීම සඳහා මානවයා නොයෙකුත් ක්‍රමවේද අනුගමනය කරයි. නායකයෙකුගේ අණ පිළිපැදීම සහ එම අණ වඩාත් බලවත් කිරීම සඳහා නොපෙනෙන සුපිරි බලවේගයක පිහිට පැතීම මුල් අවධියේම ඇතිවී අද දක්වා පැවතීගෙන එයි. මෙම සුපිරි බලය පසුකාලීනව ආගම් බවට පත්වී ආගම කෙමෙන් සියළු දෙනාටම පොදු එකඟතාවයකින් පිළිගත හැකි අණ පනත් එනම් නීතිය බවට පත්විය. එහෙත් තවමත් නීතිය ආගමෙන් පුර්ණ ස්වායත්ත වීමක් බොහෝ සමාජ පද්ධති තුල සිදුවී නැත. රටවල් ගණනාවකම අදටත් පුද්ගලයෙක් උසාවියේ සාක්ෂි දීමට පෙර තමා අදහන ආගමකට අදාළ පොතක අත ගසා දිව්රුම් දීම සිදුවෙයි. ආගමෙන් සම්පුර්ණයෙන්ම ස්වායත්තව තැනූ  "සමාජවාදය" වැනි රීති පද්ධති පවත්වා ගැනීම අපහසු බව මෑත ඉතිහාසය පෙන්වා දෙයි.

සමාජ  වියසනයකදී සිදුවන්නේ ඉතා කෙටි කලකදී මෙම රාමුව බිඳ වැටීමයි. එවිට ආගම සහ නීතිය විසින් බැඳ දමා තිබූ හිංසනය, අන් සතු දේ පැහැරගැනීම, ලිංගික අපචාර ආදී, ඕනෑම සදාචාරාත්මක රාමුවක් විසින් විලංගු දමන මානව හැසිරීම් තවදුරටත් මෙල්ල කිරීමට උපාය මාර්ග නොපවතී. සෑම පුද්ගලයෙක්ම හෝ පවුලක්ම තනි ඒකකයක් බවට පත්වී ස්ව-පැවැත්ම සඳහා කටයුතු කරන තත්වයකට පත්වේ. එවිට ශිෂ්ඨාචාරය බිඳ වැටේ. ලාංකික සාහිත්‍යයෙහි හමුවන "මුරුගසන් වර්ෂාවට තෙමීම" යන සංකල්පය මෙම ශිෂ්ඨාචාරයේ බිඳ වැටීම අර්ථ දක්වයි. 

සමාජ වියසනයකට හේතු පාදක වන කාරණා කිහිපයකි. සමස්ථ සමාජ පද්ධතියටම බලපාන ඉතා දරුණු ස්වභාවික හෝ මිනිසා විසින් නිර්මාණය කල විපතක් ඇතිවීම ඉන් මූලික කාරණයකි. උදාහරණයක් ලෙස මුළු රටටම බලපාන පරමාණු බෝම්බ පිපිරීමකින් පසු හෝ ඉබෝලා වැනි දරුණු වසංගතයක් තුලින් සමාජ වියසනයක් ඇතිවිය හැක. දෙවන කාරණය මෑත අතීතයේදී ලයිබීරියාවේ සමහර පැතිවල විද්‍යමාන විය. 

කිසිඳු පාර්ශවයක් පැහැදිලි ජයග්‍රහණයක් නොලබන යුධමය හෝ දේශපාලන තත්වයකදී සමාජ වියසනයක් ඇතිවිය හැක. රුවන්ඩාව, සෝමාලියාව, බොස්නියාව ආදී රටවල යම් කාල සීමාවකදී අපි මේ තත්වය දැක ඇත්තෙමු. 

ඊළඟ කාරණය ආර්ථික බිඳ වැටීමකි. රටක ආර්ථිකයක් බිඳ වැටීමට මූලික වන කාරණා කිහිපයකි. ස්වභාවික විපත්, පාලකයාගේ අනුවණ තීරණ, සමාජ පද්ධතිය තුල සිදුවන දීර්ඝකාලින දුෂණය, භිෂණය, වංචාව, ජාතිවාදය, කුලවාදය, ආගම්වාදය ආදී කරුණු මීට ඇතුලත්වේ. 

සමාජ පද්ධතියේ දීර්ඝකාලීනව සිදුවන අවැඩ සමාජ වියසනයක් ලෙස හැඳින්විය නොහැක. මන්ද එය සිදුවන්නේ ශිෂ්ඨාචාරයේ රාමුව පවතිද්දීය. එබැවින් රටක ජනතාවට සහ සමාජ නායකත්වයට අවශ්‍යතාවය සහ හැකියාව ඇත්නම් මේ තත්වය පාලනය කර ඉන්පසු වෙනස් කල හැකිය. නමුත් සමාජ වියසනයකට පද්ධතිය අවතීර්ණ වූ විට එය ප්‍රතිවර්තනය කල නොහැක. මුළු සමාජ පද්ධතියම ආගධයේ පතුලේ වැදී සුනුවිසුණු වන තෙක් ක්‍රියාවලිය අවසන් නොවේ. 

අද ලංකාවේ තැන තැන ඇතිවන සුළු සුළු මානව ගැටුම් සමාජ වියසනයක මූලික අවස්ථාවේ ගති ලක්‍ෂණ පෙන්වයි. ආණ්ඩුව විසින් විශාල වශයෙන් තව තවත් ණය ගනිමින් (දැන් වෙන කල හැක්කේ කුමක්දැයි මට නොතේරේ) යන ගමනේ ස්වරුපය අනුව ලාංකිකයා දිනෙන් දිනම වැඩිවන සමාජ වියසනයක් කරා ඇදෙන බව පෙනේ. මේ තත්වයට රට අනුගත වන බව මම පැවසුවේ මීට වසරක කිහිපයකට පෙරය. දැන් කුමක් කල යුතුදැයි තනි ඔළුවකින් තීරණ ගැනීම භයානකය. ආණ්ඩුව විසින් ඇතිවන තත්වය තේරුම් ගන්නේ ඉතා දිගු පමාවකින් පසු බව පෙනෙන්නට ඇත. ඔවුන් තුල තවමත් ඇත්තේ බලයේ රැඳී සිටීමේ අභිප්‍රාය පමණක් බව පෙනෙයි. මට වැටහෙන ආකාරයට නම් විපක්ෂයද පවතින තත්වයේ බරපතල කම වටහාගෙන නොමැත. 



Sunday 13 March 2022

පතුලේ නොවැදී බම්ප් විය නොහැකි ඇයි


මට රාජා මොහමඩ් හමුවන්නේ ගිය සතියේ දිනක සරසවියේදීය. පිලිපීන ජාතිකයෙකු වන රාජා ඉස්ලාම් භක්තිකයෙකු බව ඔහුගේ නමින් මා දැන සිටියෙමි. මගේ මග පෙන්වීම යට‍තේ ආචාර්ය උපාධිය හැදෑරීමට ඔහු කලින් කතා කරගත් පරිදි ජොහැනස්බර්ග් නගරයට පැමිණියේ මීට සතියකට පමණ පෙරය. මගේ ගෝලයා උනාට ඔහු මට වඩා බාල වන්නේ වසර කිහිපයකට පමණි. 

කෝපි කෝප්පයක් තොල ගාමින් අපි සෑහෙන වේලාවක් කතා බහේ යෙදී සිටියෙමු. මා දැන් දකුණු අප්‍රිකාවේ ස්ථානගත වුවත් වසර දහයක් පමණ අප මැලේසියාවේ  සිටි බැවින් ඒ අවට රටක සිට පැමිණි රාජා සමග මට කතා කල හැකි බොහෝ පොදු කරුණු විය. ඔහු මට හමුවූ ඉතාම නිදහස් විවෘත මනසක් ඇති පුද්ගලයෙකු බව ටික වේලාවකින්ම ඒත්තු ගියේය. මම ඔහුට ඒ බව කීවෙමි. සිනහවකින් මුව සරසා ගත් රාජා මීට වසරකට පෙර ඔහුව හමු වුනා නම් මගේ මතය අංශක 180 කින් වෙනස් වන බව කීය. මේ රාජාගේ කතාවයි.

"මම කුඩා කල පටන්ම ඉතා දැඩි ඉස්ලාම් භක්තිකයෙක්. පිලිපීනය සම්ප්‍රදායික කතෝලික රටක්. ඒත් මා කුඩා කල සිටම හැදී වැඩුනේ මුස්ලිම් ගමක. මගේ දෙමව්පියොත් දැඩි ඉස්ලාම් භක්තිකයන්. අපි කවදාවත් මුස්ලිම් නොවන ගෙදරකින් වතුර වීදුරුවක්වත් බිව්වේ නැහැ. මුස්ලිම් නොවන අයව වැඩිය ආශ්‍රය කරනවාටත් අපේ දෙමව්පියන් කැමති වුනේ නැහැ. ඔවුන් පැවසුවේ මුස්ලිම් නොවන්නන් "කෆිර්ලා" කියයි. එනම් ඒ පව්කාරයන් ලෙසයි මා තේරුම් ගත්තේ. මම වැඩිහිටියෙක් උනාට පස්සෙත් හැමවිටම එහෙම ඉන්න උත්සහ කළා. නගරයේ ඒ විදියට වෙන්වී ජීවත්වෙන්න අමාරු උනත් අපි එහෙම කළා. කතෝලික පල්ලිවල ඔරසන් ඇහෙනකොට මට තරහ ගියා. මම කනේ පුළුන් ගහගෙන ඉඳල තියෙනවා ඒවා නොඇසෙන්න". රාජා ලොකු පොපොච්චාරණයක් කළේය.

"ගිය වසරේ ජූලි මාසයේ, එක දිනකින් ඒ සියල්ලම වෙනස් වුනා. ෆැබියන් සුළි කුණාටුව අප සිටි නගරය විනාශ කර දැමුවා. යන්තම් දිවි බේරාගත් මගේ පවුලට උස් බිමක වූ කතෝලික පල්ලියක රැකවරණය ලැබුණා. එහි ශාලාවේ සියළු දෙනාම එකට සිටියේ. එහි මුස්ලිම්, කතෝලික, හින්දු, දුප්පත්, පෝසත්, බාල, මහලු, කාන්තා, පුරුෂ සියලු දෙනාම සිටියේ එකම මට්ටමක. මගේ දරුවන් බඩගින්නේ හඬන විට හින්දු මවක් ඇගේ දරුවන්ට කවන පිගානෙන්ම මගේ දරුවන්ටත් කෑම කැව්වා. කිරි වීදුරුවක් පවා දරුවන් සැම දෙනාටම බෙදා දුන්නා. කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියෝ තමන්ට තිබුණු ආහාර උයා හැමටම බෙදා දුන්නා. හැමෝම තමන්ගේ දේවල් බෙදා ගත්තා. තුවාල ලැබූ, අසනීප තත්වයෙන් සිටි සියලු දෙනාවම අපි ඔක්කොමලා බලා ගත්ත. කිසිවෙක් මියගියේ නැහැ". රාජා පමණක් නොව අසාගෙන සිටින මමද දැන් හැඬුම්බරය. 

"අප සිටි පල්ලියට මුලින්ම ආධාර බෝට්ටුවක් ආවේ දින පහකට පසුවයි. එවන විට එතැන සිටියේ 200 ක පමණ තනි පවුලක්. මුලින්ම ලැබුණු ආහාර අපි කුඩා දරුවන්ට සහ වැඩිහිටි මව්වරුන්ට බෙදා දුන්නා. එදා රෑ හමුදා බෝට්ටු වලින් පැමිණ අපව රැගෙන ගියා. බොහෝ දෙනෙක් වෙන් වද්දී එකිනෙකා බදාගෙන ඇඬුවා". 

"සුළි කුණාටුව දෙවියන්ගේ පණිවිඩය රැගෙන ඇවිත් තිබුණා කියා මට සිතෙනවා. මා පමණක් නොව පවුලේ සියලු දෙනාම වෙනස් වී තිබුණා. පරම්පරා ගණනාවක් නොවෙනස්ව පැවතුනු බැම්මක් දවස් පහකින් බිඳ වැටී තිබුණා". 

රාජාගේ පණිවිඩය ඔබට ලැබුනාද? 



Thursday 10 March 2022

පැතිරෙන ගින්න


ආණ්ඩුව අර්බුදය විසඳන්න හදන්නේ ඉන්දියාවෙන් ලැබෙන credit line එකෙනි. එහි අවසානය රුපියල කිසිඳු වටිනා කමක් නැති කඩදාසියක් බවට පත්වීමයි. මේ නිසා මුදල් අතේ ඇති සියලු දෙනාම දැන් ඩොලර් ගන්න පොරකන බව සැලයි. පළමුදා රුපියල් 198 තිබූ ඩොලරය පෙරේදා 230 විය. ඊයේ 260 විය. තව දින කිහිපයකින් සමහර විට රුපියල් 500 ඉක්මවා යනු ඇත. මෙය වෙනිසියුලාවේ, අර්ජෙන්ටිනාවේ, ලෙබනනයේ, ඉරානයේ, සිම්බාබ්වේහි සිදු  වනවා මම දුටිමි. ඒ ගැන ලිව්වෙමි. නැවත නැවතත් ලිව්වෙමි. අනාගත වාක්‍ය වර්තමානය වෙමින් පවතී. එය ඛේදජනකය. 

කොතරම් නොලියා ඉන්න සිතුවත් මගේ ඇඟිලි ඊට ඉඩ නොදේ. ගතින් සැතපුම් දහස් ගණනක් ඈත සිටියද සිතින් ලංකාවේ ජීවත්වීම ඇත්තෙන්ම කරුමයකි. 

භාවනාවට කාලය එළඹ ඇත. 

Wednesday 9 March 2022

ආර්ථික ඔස්තාර්ලටත් පැටලෙන තැනක්

 


මහා බැංකුව පවසන ආකාරයට විදේශ සේවා නියුක්තිකයන් සඳහා ඔවුන් රුපියල් 38 ක අමතර ගෙවීමක් කරනු ලැබේ. මෙම ප්‍රකාශය අර්ථවත් වීමට නම් එම වැඩිපුර මුදල දවසේ පවතින ඩොලරයේ අගයට එකතුවිය යුතුය. 

නමුත් මෙහිදී බැරෑරුම් එහෙත් සරලව තේරුම්ගත හැකි ගැටළුවක් මතුවෙයි. බැංකුවක් පවතින්නේ ඔවුන් මුදල් මිළදී ගැනීම හා විකිණීම අතර ඇති ලාභය තුලිනි. සාමාන්‍යයෙන් මෙම ලාභය 3%-5% අතර අගයක පවතී. ඩොලරයේ අනුපාතය යම් අගයක පවත්වා ගෙන යන අතර එයට 15% -20% වැඩිපුර ගෙවා මිළදී ගත් විට එය ලාභයක් තබාගෙන විකිණීමට නම් පවතින විකුණුම් මිළටද මේ ප්‍රතිශතයම එකතු කල යුතුය. එවන් මුදලකට ඩොලර් ගන්නේ කවුද?

උදාහරණයක් ලෙස ඩොලරය රුපියල් 230 ට මිළදී ගෙන රුපියල් 235ට විකුණන බැංකුවක් සලකමු. ඔවුන් ලැබෙන එක් ඩොලර් කොටසකට පමණක් රුපියල් 268 බැගින් ගෙවා මිළදී ගනී. දැන් ඉන් ලාභයක් ලබන්න නම් එම මුදල් කොටස ඩොලරය රුපියල් 273 බැගින් විකිණිය යුතුය. ඩොලරය රුපියල් 235ට විකිනීමට තිබියදී එයට රුපියල් 273ක් ගෙවන්නේ කවුද?

Tuesday 8 March 2022

භාගෙට ෆ්ලොටින් ජරමරේ


ආර්ථික විද්‍යාව ගැන මට ඇත්තේ ඉතා සාමාන්‍ය වූ දැනුමකි. මේ නිසා මම අද සවස අප සරසවියේ මට සමීප එසේම මා නිසාම ලංකාව ගැන සෑහෙන දැනුමක් ඇති ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් අමතා යම් පමණකට තොරතුරු ලබා ගතිමි. 

සඳුදා වන විට ඩොලරය මහා බැංකුව මගින් රුපියල් 198-202 වැනි අගයකට රඳවාගෙන සිටි අතර කළු කඩයේ එය රුපියල් 260 -280 අතර  විය.

අගහරුවාදා දැනගන්න ලැබුණේ හතරබීරි  කතාවකි. රුපියල පා කර ඇත. මහා බැංකුව විසින් ඩොලරය සඳහා රුපියල 225-230 අතර මිලක් තබාගැනීමට  බැංකුවලට උපදෙස් දී ඇත. ඔබ මෙය කියවන අවස්ථාවේ සමහර විට මේ උභතෝකෝටිකය මහා බැංකුව මගින් විසඳා තිබිය හැක. කෙසේ වෙතත් මෙය රුපියල භාගෙට පා කල අවස්ථාවක් ලෙස  දැක්විය හැක.

ඩොලරය පා කිරීමේ වාසි කිහිපයකි.

ලංකාවේ අංක එකේ ආදායම් මාර්ගයක් වන විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය මේ නිසා ඉහල යයි. නමුත් උණ්ඩියල් ක්‍රමයට මුදල් එවන්න හුරු වූ විදේශ සේවා නියුක්තිකයාට නැවත බැංකු හරහා මුදල් එවීමට තව ටික කාලයක් ගතවේ. 

දේශීය අමුද්‍රව්‍ය මත පමණක් පදනම් වූ නිෂ්පාදන අපනයනකරුවන් වාසියක් ලැබේ. මේ නිසා ඔවුන් දිරිගැන්වෙන අතර යම් කාලයකට පසු ඔවුන් වෙතින් ඉහල නිෂ්පාදනයක් බලාපොරොත්තු විය හැක.

ලංකාවට පැමිණෙන සංචාරයකයන්ට තම ඩොලරය සඳහා ඉහල අගයක් ලැබෙන බැවින් ඔවුනට ලංකාවට පැමිණීම දිරිමත් වෙයි. 

ඩොලරය පා කිරීමේ අවාසිද බොහොමයකි.

දැඩි ආනයන සීමා යටතේ වුවද ලංකාවේ ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයක් පමණ වේ. මේ නිසා රටේ බඩු මිල ඉතා වේගයෙන් වැඩිවෙයි. විශේෂයෙන්ම ඉන්ධන සහ ඒ හා බැඳුනු අනෙකුත් භාන්ඩ හා නිෂ්පාදන මිල ඉතා ඉහල අගයකට පත්විය හැක. එය ජනතාවට දැරිය නොහැකි අගයක් වනු ඇත.

රජයට තම බදු ප්‍රතිශතය වහා ඉහල දැමීමට සිදුවෙයි.

ලංකාවේ බහුතරයක් අපනයන නොයෙකුත් ආනයනිත භාණ්ඩ/ද්‍රව්‍ය මත පදනම් වේ. උදාහරණයක් ලෙස තේ වගාව සඳහා පොහොර සහ සැකසීමේ අවශ්‍යතා ආනයනය කරයි. මේ නිසා ඔවුන්ට වැඩි වාසියක් අත් නොවේ. 

----------------------------------------

රුපියල අඩ වශයෙන් පා කිරීමෙන් විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලංකාවට මුදල් එවීමේ සැලකිය යුතු වෙනසක් සිදු නොවේ. රුපියල් 270 ලබා ගත හැකි ඩොලරයට ඔවුන් රුපියල් 230 ලබා ගන්න සුදානම් වන්නේ නැත. 

සංචාරකයාටද දැනෙන තරම් වාසියක් නැත.

එහෙත් ඩොලරය පා කිරීමේ අවාසි සියල්ලම රටට ලැබෙයි.  

රට........ කබලෙන් ලිපට

Wednesday 2 March 2022

සුව නොවූ මගේ උණ


Deadline මත දිවෙන මගේ ජීවිතයට විරාමයක් දෙන්නේ ලංකාවයි. පෙර කල කුඩා ඉස්පාසුවක් ලැබුණු විට මා ලොව වටා පුවත් කියවීමට ඒ කාලය වැය කලෙමි. එහෙත් පසුගිය මාස කිහිපයේ හැමවිටම එම කාලය මා  උපයෝගී කරගත්තේ සිංහලෙන් යමක් කොටන්නය. 

සිම්බාබ්වේ, සැම්බියාව, පකිස්ථානය, උගන්ඩාව, වැනිසියුලාව, අර්ජෙන්ටිනාව ආර්ථික වශයෙන් ආගාධයට පත්වන අවස්ථා මම මැනවින් නිරීක්ෂණය කර ඇත්තෙමි. ලෝකයේ රටවල් පිළිබඳව ඇතුලත තොරතුරු ලබා ගැනීමට බොහෝ ලාංකිකයන්ට නොමැති අවස්ථාවක් මට ඇත. එනම් විවිධ රටවලින් පැමිණි සිසු සිසුවියන් සහ අධ්‍යයන සඟයන් මා සමග ඉතා සමීපව කටයුතු කිරීමයි. ඔවුන්ගෙන් සමහර දෙනා අදාළ රටවල්වල රජයේ ඉහල නිලධාරින් හෝ ඔවුන්ගේ දරුවන්ය. කිහිප දෙනෙක් දේශපාලන අධිකාරියේ ඉහලම තැන් හා සම්බන්ධය. මේ නිසා මට බොහෝ දෙනෙක් නොදකින තොරතුරු ලබාගත හැකිය. මීට අමතරව රටවල් කිහිපයකම මගේ විෂය පථයට ඍජුවම අයත් නොවූ ව්‍යපෘති කිහිපයකට මම දායකවෙමි. එයද හොඳ අභ්‍යන්තර තොරතුරු ගඟුලකි.

ලංකාවේ සිදුවන විපත පිළිබඳව මට සෑහෙන්න අවබෝධය ලැබුණේ උගන්ඩානුවන් ගෙනි. 

"මුලින්ම ඔවුන් විදේශ ණය මුදල් වලින් 10%-15% වගේ ප්‍රමාණයක් යටිමඩි ගහගත්තා. නමුත් චීනයෙන් ණය ලබාගන්න පටන්ගත්තට පස්සේ හැම දෙයක්ම වෙනස් වුණා. එක පැත්තකින් චීනය ඩොලර් මිලියනයක් ඕන වැඩේට මිලියන 4 ක් ණය දුන්න. ඒ මුදලින් 80% විතර කට්ටියම යටිමඩි ගැහුවා. පාරවල් සහ පාලම් තරම් මුදල් හොරකම් කරන්න පුළුවන් ව්‍යපෘති තවත් නම් නැහැ" මේ උගන්ඩාවේ ඉහලම රජයේ තනතුරක් දරණ කෙනෙකුගේ ප්‍රකාශයකි. 

ලංකාවේ යම් යම් කටයුතුවලට සම්බන්ධ වන විට එහි රඟ දැක්වෙන්නේද උගන්ඩාවේ කතා පිටපතම බව මට මැනවින් පැහැදිලිවිය. නීතියේ හා සදාචාරයේ රාමුව තුල හිඳගෙන මම මේ පිළිබඳව ලාංකිකයාට හඬගා කීවෙමි. ඔබට මගේ බ්ලොගයේ ලියා ඇති කරුණු decode කරගත හැකි නම් එහි විසල් පින්තුරයක් දැකිය හැක.

දැන් බොහෝ දෙනෙක් අද රට පත්වී ඇති තත්වයට වසර 75ක පමණ අතීතය වගකිව යුතුයැයි පවසයි. නමුත් ඇත්තෙන්ම මේ ව්‍යසනය ඇරඹෙන්නේ 2010 වසරේදී පමණය. ඊට පෙර කාලය බොහෝ දියුණුවෙමින් පවතින රටවලට පොදු රටාවක් විය. ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය, වියට්නාමය, තායිලන්තය ආදී රටවල් 2010 පමණ වනතෙක් පැමිණි මගත්, ලංකාවේ මගත් අඩුවැඩි වශයෙන් සමාන විය. ඉන් පසු ඒ ඒ රටේ පාලකයාගේ දක්ෂතාවය හෝ අදක්ෂතාවය මත ඔවුන් වෙනස් මගවල ගියහ. ලංකාව තිස් වසරක යුද්ධය, දුෂණය හා භීෂණය සමග, ආර්ථික වශයෙන් සතුටුවිය නොහැකි, එහෙත් බිය විය යුතුද නැති, යම් ස්ථාවරත්වයක් ලඟා කරගෙන සිටියේය. 

නමුත් චීනාගේ සම්ප්‍රාප්තියත් සමගම බොහෝ දේ වෙනස් විය. පොලියට ණය, පොලිය සමග වාරිකය ගෙවීමට පොලියට ණය, ආදී වශයෙන් ණය මතම පදනම් වූ ආර්ථිකයක් බිහි විය. මේ ගැන මම අනෙක වර ලියා ඇත. 2010 දී ඇරඹි අභාග්‍යයේ වන්දනා ගමන ගතවන සෑම වසරකම වේගවත් විය. එය 2015-2019 යුගය තුල කිසිසේත්ම යහපත් වුයේ නැත. ඊට හේතුව ඉතා සරළය. සංදර්ශණ වේදිකාවෙන් පිටුපස ඔවුන් එක මත්පැන් වීදුරුව තොලගාන කලණ මිතුරන්ය. මෙය මා පෞද්ගලිකවම දන්නා කරුණකි. චීනය ඔවුන් එකම පොදියකට තබා ගැටගසා ඇත. අද කියාද වෙනසක් නැත.

නොසිතූ මොහොතක කඩා වැදුණු කොවිඩ් කුණාටුව අභාග්‍යයේ ගමනාන්තය වසර කිහිපයකින් කෙටි කළේය. අවාසනාවට පාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් කොවිඩ් උවදුර පවා තම මඩිය තර කිරීමට යොදාගත්හ. හොරා කන එකාට එය ඇබ්බැහියක් වෙයි. එය මරණ මංචකයේදීවත් ඔවුන්ට නවතා ගත නොහැක. 

රටට වූ ඉතාම අභාග්‍යසම්පන්න කාරණය නම් ජනාධිපතිධූරය දේශපාලන කිරිදරුවකුගේ අතට යාමයි. ඔහු දැන් නුවර පෙරහැර බලන්න ගොස් දෙමව්පියන් මගහැරී අතරමන් වූ දරුවෙකුට සමානය. ඔහුගේ කතාව සහ සිරුරු බස පවසන්නේ ඔහු අන්දමන්දව සහ වික්ෂිප්තව ඇති බවයි. ඉදිරි මාස කිහිපයේදී ඔහුගේ මේ වික්ෂිප්තබාවය කුමන පසෙකට හැරෙයි දැයි මට අනුමාන කල නොහැක. සමහර විට ඔහු ඉච්චා භංගත්වයට පත්වී බියගුළු ලෙස මුළු ගැන්වෙනු ඇත. නොඑසේ නම් ඉතා රෞද්‍ර වියරු ස්වභාවයකට පත්වනු ඇත. ඉන් කුමන තත්වය ඇති වුවත් මෙය අතිශයින්ම දරුණු ඛේදවාචකයකි.

රට අද පවතින තත්වය පිළිබඳව ලාංකිකයන් කී දෙනෙකුට මනා වැටහීමක් ඇත්දැයි මම නොදනිමි. එය "ගෑස් නැහැ, තෙල් නැහැ, කිරිපිටි නැහැ, ලයිට් නැහැ" ආදී වූ ද්‍රව්‍ය සහ සේවා අහේනියට වඩා ඉතා බැරෑරුම් සහගත තත්වයකි. 

ආර්ථිකය වේවා, අධ්‍යාපනය වේවා, සංචාරක ව්‍යාපාරය වේවා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමක් සිදුකරන්නේ කාරණා දෙකකටය. එනම් ශ්‍රේණිගත වන රටට තමා පිළිබඳව ඇගයීමක් ලබාගෙන දොස් නිදොස් කරගැනීමටත් අනෙක් රටවලට ශ්‍රේණිගත වන රටේ තත්වය පිළිබඳව යම් තක්සේරුවක් ලබා ගැනීමටත්ය. නමුත් ලංකාවේ ආර්ථික ශ්‍රේණිගත අංකනය අඩුවන විට ආණ්ඩුව කලේ ශ්‍රේණිගත කරන ආයතනවලට තදින් දොස් පැවරීමයි. මෙය දරුවා තම අදක්ෂතාවය නිසා විභාගය අසමත් වූ විට ගුරුවරයාට පස් පඩංගුවේ බැනීම වැනිය. අපි ශ්‍රේණිගත කරන ආයතනවලට දොස් පැවරීම අනෙක් රටවල් දකින්නේ අපගේ නොහැකියාව සහ විනය මද කමක් ලෙසය. මෙය අපට ශ්‍රේණිය පහල යාමෙන් ලැබෙන ඍණාත්මක අවධානය දෙගුණ කරවයි.

එක දිගටම වසර දෙකක් ලංකාව ඉදිරියට ආවේ අධික පොලියට විදේශ ණය ගැනීම සහ මුදල් අච්චු ගැසීම යන කාරණා දෙක මතය. ශ්‍රේණිගත කරන ආයතන පෙන්වා දුන්නේ එය අතිශයින් බියකරු ගමනක් බවයි. නමුත් ආණ්ඩුව කලේ පණිවිඩකරුවාට වෙඩි තැබීමයි. චීනය සහ දියුණු රටවලින් ණය ලබා නොදෙන තැන ආණ්ඩුව විසින් ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය, නයිජීරියාව ආදී අපටත් වඩා ඒක පුද්ගල ආදායම අඩු රටවල්වලින් සිඟමන් ඉල්ලන්න විය. දැන් අපිට නුදුරු දිනෙක ඉන්දියාවට සහ බංගලාදේශයටද ණය ගෙවීමට ඇත. කෙතරම් පිංසේන්ඩු වුවත් දැන් ලංකාවට අධික පොලියටවත් ණය දෙන්න රටක් නැත. ලංකාවේ මුදල් ඇමති අවට රටවල්වලට හිසරදයක් වී ඇත. සමහර විට ඊළඟ ණය වෙනුවෙන් අපිට රටේ මිල කළ නොහැකි දේපලක් පවරා දීමට සිදුවනු ඇත.

ලංකාවට ඖෂධ, කිරිපිටි හෝ වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ගෙන ඒමට යන්තම් ඉතිරි කරගෙන ඇති මුදල ගෙවා හෙට ඩීසල් නැවක් නිදහස් කරගනු ඇත. තව දින කිහිපයක් එයින් රට දුවනු ඇත. ඉන් පසු එළඹෙන සතියේ එසේ වෙන යමකට වෙන් කල මුදල්ද නැත. රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ලැබීමේ මගක් පෙනෙන තෙක් මානයක නැත. රට මෙතෙක් ඉදිරියට දිව්වේ කඳ මහත මැති ඇමතිවරුන් කල කී දෙයින් නොව විදේශවල කඹුරන සහෝදර සහෝදරියන්ගේ දහදිය මතින් බව මේ ආණ්ඩුවට අමතක විය. රට ඔසවාගෙන යන දෑත් මිනිස් බෝම්බ ලෙස නම් කෙරුණි. අද මේ නිසා ඔවුන් අතිශයින් කලකිරී ඇත. ඔවුන්ගේ මුදලට නියමිත වටිනා කම දීමට ආණ්ඩුව මැලිවී ඇත. 

පසුගිය වසර දෙක තුල රටේ දුර්භාග්‍යය කූටප්‍රාප්තියට පත්වීමට මූලිකවන හේතු තුනක් මම දකිමි. මේ මූලික කාරණා තුලට මම කොවිඩ් ඇතුලත් නොකරමි. කොවිඩ් යනු උත්ප්‍රේරකයක් පමණි. 

ප්‍රධාන රෝග කාරකය වන්නේ රටේ පාලනය අතට ගත් අතලොස්සක් වූ නුගත්, තක්කඩි, ඉතා බුද්ධි හීන මැති ඇමතිවරුන් පිරිසයි. හොරකම, මැරකම සහ ස්වාමියා වෙනුවෙන් බිරීම යන කරුණු තුනෙන් පිට ඔවුන්ට රාජ්‍ය පාලනය පිළිබඳව කිසිඳු අවබෝධයක් නැත. පාර්ලිමේන්තුව පාලනය කරන්නේද මේ සුළු පිරිසයි. ඔවුන්ගේ ප්‍රධානම රාජකාරිය බවට පත්වී ඇත්තේ කෙසේ හෝ ජනතාවට බොරු චිත්‍රයක් පෙන්වමින් පාලක පවුල රැකගැනීමයි. 

ඊළඟ කාරණය නම් යම් බුද්ධියක් සහ හැකියාවක් ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ රටේ වියතුන් යයි කියා ගත් පිරිස් ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් නිහඬව සිටීම හෝ පාලක රෙජීමයට කඩේ යාමයි. අද සුළුතරයක් හැරුණු විට ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පාලක රෙජිමයට දොස් පවරනු දක්නට ලැබේ. එහෙත් ඔවුන් පමා වුවා වැඩිය. බොහෝ දෙනා ඔවුන් දෙස දැන් හෙලන්නේ සැක මුසු බැල්මකි. ඔවුන් ආණ්ඩුවේම තවත් උප්පරවැට්ටියක්දැයි බොහෝ දෙනෙකුට සැක පහළවී ඇත. 

තුන්වන කාරණය නම් කිසිම එල්ලයක් නැති එමෙන්ම වියත් බවක් නොපෙන්වන ප්‍රධාන විපක්ෂයයි. තුන් හතර දෙනෙක් හැරෙන්නට, පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතත් ඔවුන්ගේ කතාබහ සහ හැසිරීම ඉතා ග්‍රාමය සහ බොළඳ ආකාරයක් පෙන්නුම් කරයි. ඔවුන් ඒ ඒ අවස්ථාවේ ප්‍රේක්ෂකයාට වින්දනයක් ඇතිකිරීම සඳහා කුමක් හෝ කියා කෑගසනු විනා රටේ යථා තත්වය ඉස්මතු කරමින් යායුතු මග පිළිබඳව ආණ්ඩුවට බලකිරීමක් කරනු අප දැක නැත (අර තුන් හතර දෙනා හැරෙන්නට). 

මේ කණ්ඩායම් තුන අවබෝධ කරගැනීමට නොහැකි වූ බහුතරයක් ජනතාව අද සිදුවී ඇති විපතට වග කිව යුතු යයි මම නොකියමි. ලංකාව වැනි රටක ජනතාව තුලින් විශාල දේශපාලන සාක්ෂරතාවයක් අපට බලාපොරොත්තු විය නොහැක. ඔවුන් බොහෝ දෙනෙකුගේ දේශපාලන බුද්ධිය සහ අධ්‍යාපන තත්වය අතර කිසිඳු සම්බන්ධයක් නැත. ඉහල උගතුන් තුල දේශපාලන බුද්ධිය අවම තත්වයක පවතිනු මම දැක ඇත්තෙමි. දේශපාලන බුද්ධිය යනු මම කැමති පක්ෂයට එයත් කැමති විය යුතුය යන්න නොව, කුමන පක්ෂයකට චන්දය දුන්නත් දේශපාලකයා ගන්නා පියවර පිළිබඳව සිහි බුද්ධියෙන් විශ්ලේෂණය කිරීමට ඇති හැකියාවයි.

මට සරල උදාහරණයක් දිය හැක. කොවිඩ් උත්සන්න වූ මුල් කාලයේ රට පුරාම ජනතාවට මුඛ ආවරණ පැළඳීම නීතිගත කළේය. මේ අවස්ථාවේ ජනාධිපතිවරයා මුඛ ආවරණ නොමැතිව ජනතාව අතරට යන අවස්ථා කිහිපයක් විය. මෙම හැසිරීම විවේචනය කරමින් මා මෙන්ම තවත් කිහිප දෙනෙක්ම සමාජ මාධ්‍යවල පෝස්ට් පළකළේය. සිදු විය යුතුව තිබුණේ බුද්ධියක් ඇති සියලු දෙනාම එයට විරුද්ධව මත පළකිරීමයි. එය ආණ්ඩුව පෙරලීමක් නොව සිදු වූ වරද නිවැරදි කරගනිමින් පොදු ජනතාවට ආදර්ශයක් දීමට රජයට බලකිරීමකි. නමුත් සිදු වුයේ ආණ්ඩුවට පක්ෂ වූ බහුතරයක් පෝස්ටුවට විරෝධය පළකිරීමයි. එසේ විරෝධය පලකල උදවියම පසු කලක උත්සව සමයේ ජනතාව අතර කිහිප දෙනෙකු මුඛ ආවරණ නොමැතිව සිටින චායාරූප පළකර ඒ මිනිසුන්ට පහත් අන්දමින් අපහාස කර තිබුණි. 

මේ තත්වය ආණ්ඩුවේ සියලුම කටයුතු වලදී පොදු දර්ශනයක් විය. සමහරුන් කෙතරම් ආණ්ඩුවට ගැති වුවාදැයි යන්න පෙන්වීමට හොඳම උදාහරණය ගැසට් රිවර්ස් කිරීමේදී ඔවුන් පත් වූ ඉරණමයි. යම් කරුණක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගත විට, එහි හොඳ නරක නොවිමසා කෙසේ හෝ එය සාධාරණීකරණය කිරීමට මේ පාක්ෂිකයෝ දිවා රෑ නොබලා යුහුසුළු විය. දින කීපයකින් රජය එම මතය අංශක 180 කින් හැර වූ විට ඔවුන්ද ඉතා විහිළු සහගත ලෙස තම මතය වෙනස් කිරීමට උත්සහ ගත්තේය. මේ බොහෝ දෙනා සමාජයේ උගත් යයි කියා ගත් පිරිසකි. මේ අතර එසේ කිරීමෙන් තමන්ට ආණ්ඩුවෙන් පෞද්ගලිකව වාසියක් ලැබෙතැයි බලාපොරොත්තු වූ අතලොස්සක්ද විය. නමුත් බහුතරයක් කිසිම හේතුවක් නොමැතිව අතින් කා හරක් බලන පිරිසක් විය. ඔවුන්ගේ විචාර බුද්ධිය ඛේදජනක ලෙස පිරිහී තිබෙයි. 

දැන් සියළුම දෙනා පමා වී වැඩිය. 

මට සමාජ මාධ්‍ය තුලින් ලාංකීය සමාජයේ කුලක කිහිපයක් පෙනෙයි. ආණ්ඩුවට ඉතා තදින් බැඳී සිටි පිරිස දෙකට බෙදී ඇත. ඉන් සුළුතරය මේ වන විට යම් මනෝ භ්‍රාන්තික ස්වභාවයකට පත්වී ඇත. ඔවුන් රටේ අභාග්‍ය පිළිබඳව වූ කිසිම පුවතක් කතාවක් ඇසීමට, කියවීමට, බැලීමට දැඩි අකමැත්තක් දක්වමින් තමාම මවා ගත් සුන්දර ලෝකයක ජීවත්වෙයි. අනෙක් පිරිසෙන් වැඩි කොටසක් ඉච්චා භංගත්වයට පත්ව ඇත. මේ කුලකය මානසිකව ඉතා අසරණ තත්වයකට පත්වී ඇති සේයකි. 

ආණ්ඩු විරෝධී කඳවුරුවල සිටි පිරිසද දෙකට බෙදී ඇත. ඉන් බහුතරයක් ප්‍රීතියෙන් පිනා ගොස් ඇත. ඔවුන්ගේ සමාජ මාධ්‍ය හැසිරීමෙන්, කතාබහෙන් සහ සිරුරු බසින් පෙනෙන්නේ එම කුලකයට ව්‍යසනය ඉතා ප්‍රබෝධමත්ව කතා කල හැකි මාතෘකාවක් වී ඇති බවයි. 

ආණ්ඩුවට සහයෝගය දුන් කුලකයෙන් ඉතා කුඩා කොටසක්, ආණ්ඩු විරෝධිව සිටි කුලකයෙන් කුඩා කොටසක් සහ සමාජයේ ඉතා කුඩා සුළුතරයක් වන ගතික මතධාරීන් (අවස්ථාවට අනුව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණ ගන්නා පිරිස) එකතු වූ විට ලැබෙන, සමස්ත සමාජයෙන් ඉතා කුඩා සුළුතරයක් වන පිරිස හතරවන කුලකයයි. ඔවුහු පවතින තත්වයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීමට උත්සහ ගනිමින් සිටිති. 

පතුලට වැටෙන රට ගොඩ ගැනීමට කවදා හෝ උර දෙන්නේ මේ හතරවන කුලකයයි. රට වෙනුවෙන් අවැසි නායකත්වය එතැනින් ගොඩ නැගෙනු ඇත. 



Tuesday 1 March 2022

රංජන් රාමනායක සිහි ගන්වන අතීතය


මේ වසර 25කට පෙර කතාවකි. අප පශ්චාත් උපාධිය හදාරමින් සිටිය කාලයයි. ස්වීඩනයේ සිට මහාචාර්යවරයෙක් කෙටි කලකට ලංකාවට පැමිණියේ කොළඹ සරසවියේ සිසුන්ට පර්යේෂණ සඳහා උදව් කිරීමටය. ඔහුට කොළඹ සරසවිය මගින් නවාතැන් පහසුකම් සපයා දුනි. මේ සඳහා මූලිකත්වය ගත්තේ කොළඹ සරසවියේ කථිකාචාර්යවරයෙකි. මේ කටයුතුවලට උදව් කිරීමට එදා පශ්චාත් උපාධිය හදාරමින් සිටි සිසුවෙක් ඉදිරිපත්විය.

ස්වීඩනයේ සිට පැමිණි මහාචාර්යවරයාගේ බිරිඳ නවාතැනෙහි වැසිකිළි පහසුකම් පිළිබඳව නොසතුටින් සිට ඇත. මේ නිසා අර සිසුවා හමුවුන විට තම කුළුපඟ කම නිසාම මහාචාර්යවරයා "මගේ බිරිඳ කියනවා මෙතන ටොයිලට් නම් අන්තිමයි කියල" යයි ඉතා සැහැල්ලුවෙන් කියා ඇත. 

සිසුවා හැරෙන තැපෑලෙන් ගොස් කථිකාචාර්යවරයාට කියා ඇත්තේ "හපෝ අන්න අරයගේ නෝනා කියනවා සර් හොයල දීපු තැන ටොයිලට් අන්තිමයි කියල".

මෙයින් නොසතුටට පත් කථිකාචාර්යවරය කියා ඇත්තේ "එයාගේ නෝනා ඔච්චර ලොකු විදියටද හිතාගෙන ඉන්නේ" කියාය. සිසුවා කෙලින්ම ගොස් මේ කතාව ස්වීඩනයේ සිට පැමිණි මහාචාර්යවරයාට කිව්වේය. 

මේ කතාව අකුරක් නෑර මා දන්නේ එහි සියලු ජවනිකා තුල මාද පසෙකින් සිටි නිසාය.

අද ඒ කථිකාචාර්යවරයා ලංකාවේ සුපතල මහාචාර්යවරයෙකි, ස්වීඩනයේ සිට පැමිණි කෙනා ලොව සුපතල මහාචාර්යවරයෙකි. අර සිසුවා මෙන්ම මා ද මහාචාර්යවරුන්ය. බැලූ බැල්මට හරිම අපූරුය.

නමුත් අද වනතුරුත් අර කථිකාචාර්යවරයා සහ ස්වීඩනයේ සිට පැමිණි මහාචාර්යවරයා එකිනෙකාගේ මූණ බලන්නේවත් නැති තරම් අමනාපයකින් පසුවෙයි.  මෙය පෞද්ගලික අමනාපයකින් ඔබ්බට ගොස් ලංකාවට ලැබෙන්න තිබූ තව බොහෝ යහපත් දේද නැතිකර දැමීය.

මේ සිසුවා නොහොත් මගේ සඟයා අවබෝධ කරගැනීමට මට තවත් වසර දහයක් පමණ ගතවිය. ඒ වන විට ඔහු නිසා මගේ ජිවිතයටද සමීපව සිටි හිතවතුන් කිහිප දෙනෙකුම අහිමි වී තිබුණි. 

මම මේ චරිතයට අතිශයින් බියවෙමි. ඊට හේතුව ඔවුන් බොරු නොකියන  ඝාතකයන් වන බැවිනි. 

අප ජීවිතයේදී හිතවතුන් සමග බොහෝ දේ පවසයි. ඒ හිතවත්කමට සහ කතා බහ කරන අවස්ථාවේ ඇතිවන පරිසර තත්වය අනුවය. එය අසා සිටින්නෙක් ඒ වදන් වලින්ම එම  කතාව තවත් තැනෙක කී විට මුල් කතාවේ සන්දර්භය සම්පුර්ණයෙන්ම වෙනස්විය හැක. 

හිතන්න ඔබ යම් අවස්ථාවකදී එතන නොසිටින ඔබේ හොඳම යහළුවා පිළිබඳව "ඕකා මහා තක්කඩියා" යයි පවසයි. මෙය ඔබ පවසන්නේ යහළුවා පිළිබඳව කිසිඳු තරහකින් නොව, ඔහුගේ හුරුබුහුටි කමක් ඇගයීමට විය හැක. එහෙත් එතන සිටින අයෙක් අර යහළුවාට "අන්න අරය ඔක්කොම ඉස්සරහ ඔයාට තක්කඩියා කිව්වා" යයි කීවොත් එහි ප්‍රතිඵලය කුමක් වෙයිද? යහළුවා ඔබෙන් මේ ගැන ඇසුවත් ඔබට එය පිළිගන්න සිදු වෙයි. මක් නිසාද ඔබ එසේ කියූ බැවිනි. කේලම්කරුවා මත වරදක් පැටවෙන්නේ නැත. 

මේ කේලමා ඉතා භයානකය. බොරු කියන කේලම්කාරයෙක් ඔබට වරදකරු කල හැක. නමුත් මේ පුද්ගලයා හැම විටම සුදනා වෙමින් ඔබව පෝරකයට ගෙන යයි. මා ඔහු බොරු නොකියන ඝාතකයා ලෙස හඳුන්වන්නේ මේ නිසාය. 

මට මේ කතාව සිහිවන්නේ රංජන් රාමනායක සිපිරිගෙයින් මුදවා ගැනීමට අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයකට හවුල්වීම සඳහා ආරාධනාවක් ලැබී ඇති බැවිනි. රංජන් රාමනායක ලාංකික දේශපාලනය ගැන කල කී දේ සහතික ඇත්තය. ඒ සඳහා ඔහු දැක්වූ එඩිතර බව (අනුවණකම නිසා හෝ)  ඉහලින්ම අගය කල යුතුය. නමුත් ඔහු විසින් මෙරට තුල ජිවත්වන යහපත් චරිත ගණනාවකටම කල අපරාදයට නම් ඔහුට දඬුවම් ලැබිය යුතුය. පෞද්ගලිකව කරන කතා පටිගත කර සමාජයට මුදාහැරිය රංජන් රාමනායක මට සිහි කරන්නේද අර සිසුවාමය.