Friday 29 April 2022

අහෝ විපක්ෂය


සුළු උද්ඝෝෂණ කිහිපයක් දැක කපුටෙක් මරා එල්ලනවා කී ඇමති වර්තමානයේ නිකම්ම මන්තිරිය. දැන් සද්ද නැත. ඔහුට සමහර විට ඔහු කී කපුටා ඔහුමදැයි සිතෙනවා විය හැක.

හිරුණිකා ජනපති මැදුර අසල පෑ විරෝධයට එරෙහිව තවත් මන්ත්‍රී කෙනෙක් බේබදු නඩයක් සමග ඇහේ නිවස ඉදිරියට ගියේ අපිට කලොත් අපි ඊට වඩා කරනවා කියමිනි.  දැන් අගමැති නිල නිවසේ තාප්පය උඩට නැග කොල්ලෝ කුරුට්ටෝ හූ කියති. චන්ඩි මන්තිරිට වෙච්ච දෙයක් නැත.

තමන් කියන දේ සර්කියුලර් යැයි පැවසූ ජනාධිපති අන්ද මන්දව එකම කුට්ටම හතර අතේ අනයි. මුළු කබිනට්ටුවම ගෙදර යවයි. ඉන්පසු තවත් විලම්භීතයක් තනයි. දැන් මොකක්දෝ සර්ව ලෝක පුට්ටුවක් සැදීමට තතනයි. 

රොෂේන්ලා, ඇන්තනීලා මරා දැමූ ඝාතකයන් තවමත් නිදල්ලේය. එහෙත් රඹුක්කන ඝාතනයට අණ දුන් කීර්තිරත්න ඇතුළු ඝාතනය සිදුකල කොස්තපල්ලා අද රිමාන්ඩ් බාරයේය. ඔවුන් රෝහල්ගතවීම තේරුම්ගත හැක. රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අනෙකුත් සැකකරුවන් මේ පොලිස්කාරයන්ට ඉතා සුහඳශිලිව සංග්‍රහ කිරීමට ඉඩ ඇත. 

මේ සියල්ල සිදුවන්නේ ජන අරඟලයට පිංසිදුවෙන්නය. මෙතෙක් කල් විපක්ෂයේ පාර්ශව මහා පෙළපාලි, රැලි, උද්ඝෝෂණ පැවැත්වීය. ආණ්ඩුව ඒවා සත පහකට ගණන් ගත්තේ නැත. එහෙත් ජනතාවගේ නැගිටීම රජයට දරන්නට නොහැකි විය. අවශ්‍යතාවය ඇත්නම් කල නොහැක්කක් නැති බව අවසානයේදී රටේ තරුණ පෙළ පෙන්වා දුන්නේය.

ජන අරඟලය එලි බසින්න එළිපත්තේ තිබියදී විපක්ෂයේ මූලික පාර්ශව දෙකම අනාගත්තේය. අසංවිධිත රැළි වලට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවද, ඒවාට සහභාගිවෙන්නනන් වෙත භයානක ප්‍රතිඵල ලැබිය හැකි බවද ඔවුන් කීය. එය දුටු සැනින් මා කීවේ මෙය hero to zero වෙන කතාවක් බවයි. ඔවුන් උත්සහ කලේ තමන් නැතුව ජනතාවට දෙපයින් හිට ගත නොහැකි බව ඒත්තු ගැන්වීමටයි. අරඟලය අසාර්ථක වුවා නම් ඔවුන් "ඕකනේ අපි කිව්වේ" කියා කියනු ඇත. අද ඔවුන් තමන්ද අරඟලය තුල සිටින බව පවසයි. නමුත් ජනතාව ඔවුන්ව අරඟල භූමියට වැද්ද ගන්නෙවත් නැත. මෙය ඇත්තෙන්ම ඛේදවාචකයකි. ඔවුන් අරඟලය තුල මුල සිටම සිටියා නම් එය තවත් ශක්තිමත් වනු ඇත.

අද පාර්ලිමේන්තුව තුල system change එකක් කිරීමට විපක්ෂය දරන්නේ බෙලහීන උත්සාහයකි. ඔවුන්ගේ අනුගාමිකයන් පවා "අපිට තියෙන්නේ ආසන මෙච්චරයි. අරගොල්ලනට අච්චර තියෙනවා" වැනි ශෝකාලාප දොඩවයි. එහෙත් පාර්ලිමේන්තුවේ එක ආසනයක්වත් නැති තරුණ පෙළ දැනටමත් විශාල වෙනස්කම් රැසක් කර ඇත. චන්ඩි දේශපාළුවන් බොහෝ දෙනෙකු දණ ගස්වා ඇත. යහපත් ව්‍යවස්ථාවක් ගෙන ආවොත් එයට එරෙහි වීමට මේ අවස්ථාවේදී බොහෝ දේශපාළුවෝ බිය වෙති. එවන් ලියවිල්ලක් ගෙන ඒමට විපක්ෂයද බිය වූ සේයකි.

මේ ලිපිය ලිව්වේ විපක්ෂයට පහර දෙන්නට නොව ඔවුන් අවදි කිරීමටයි. මේ තීරණාත්මක අවස්ථාවේ ඔබ ගන්නා පියවර රටේ මෙන්ම ඔබේ පක්ෂයේද ඉරණම විසඳනු ඇත. 

Saturday 23 April 2022

නායකත්වය, නාභිගත ඉලක්ක, යා යුතු මග සහ අවසන් අරමුණ


අරඟලයේ භෞතිකව නොසිටින කෙනෙකු ලෙස මට බොහෝ දේ කීමට හැකිය. නමුත් එහි ප්‍රායෝගිකත්වය පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත් බව මගේ හැඟීමයි. 

අපි අවසන් අරමුණෙන් (final purpose) කතාව අරඹමු. අපි සැවොම අරමුණු කරන්නේ යහපත් රටක් ගොඩ නැගීමයි. අපි ආර්ථිකයේ පතුලට වැටී සිටිමු. මෙයින් එළියට ඒම ඉතා අසීරු, සෙමින් සහ කල්පනාවෙන් කල යුතු කාර්යයකි. නමුත් ඒ ගමන ඇරඹීම සඳහා භූමිය සකස් කල යුතුය. මේ  අරඟලයේ අවසන් අරමුණ ලෙස මා දකින්නේ එම භූමිය බිහිවීමයි. එම භූමියේ නීතිය සියළු දෙනාට සාධාරණ විය යුතුය. ආණ්ඩුවේ මෙන්ම පුරවැසියාගේද දුෂණයන්ට වැට බැඳීම සඳහා ඉතා විධිමත් නීතිමය රාමුවක් මෙන්ම සාමාජිය බැම්මක්ද බිහිවිය යුතුය. මෙම සාමාජීය බැම්ම ඉතා වැදගත්ය. උදාහරණයක් ලෙස බොහෝ මුස්ලිම් සමූහ තුල ඉස්ලාම් ගුණ ධර්ම රැකෙන්නේ මේ සාමාජීය බැම්ම හේතුවෙනි. මේ ගැන අප වෙනත් ලිපියකින් වැඩිදුර කතා කරමු.

මේ අවසන් අරමුණට ළඟාවීමට නම් අපට නාභිගත ඉලක්ක (focused goals/targets) තිබිය යුතුය. සොරුන්, වංචාකාරයන්, දුෂිතයන් ලෙස දරුවන් ඉපදෙන්නේ නැත. ඒ තත්වයට යම් මානවකයෙකු පත්වන්නේ හෝ පත්කරන්නේ සාමාජීය පද්ධතියයි. එසේම මා සැමදාම කියන්නා සේ දුෂිත දේශපාලකයෙක් බිහිකරන්නේ පවතින system එකයි. System එක වෙනස් නොකලොත් අදාළ තනතුරු වලට පත්වන පුද්ගලයාගේ නම පමණක් වෙනස් වී මේ ජරාජීර්ණ වූ ගමන එලෙසම ඉදිරියට ඇදෙනු ඇත. System එක වෙනස් කිරීම ඇරඹිය යුත්තේ ව්‍යවස්ථා වෙනසකිනි. එසේ නම් මේ අරඟලයේ මූලික නාභිගත ඉලක්කය විය යුත්තේ රටට ගැලපෙන, දුෂණයට භීෂණයට තිත තබන නව ව්‍යවස්ථාවකි. කෙසේ නමුත් අප ධාරණය කරගත යුත්තේ ව්‍යවස්ථා වෙනස යනු ඇරඹුම පමණක් බවයි. ගෝඨා එලෙවීම හෝ අකර්මන්‍ය කිරීම, අවංක දක්ෂ සිවිල් සේවයක් ස්ථාපිත කිරීම, සමාජ සංස්ථාව සබුද්ධිමත් කිරීම අනෙකුත් නාභිගත ඉලක්ක ලෙස මම දකිමි. එහි අවසානය සාමාජීය පද්ධතිය සුවපත්වීමයි. 

නායකත්වය යනු කුමක්ද?

Leadership is a process of social influence, which maximizes the efforts of others, towards the achievement of a goal.

නායකත්වයක් නොමැතිව අරඟල ඇරඹේ. එහෙත් අරඟලයක් සඳහා නිශ්චිත අරමුණක් සහ ඉලක්ක බිහි වූ විට ඒ කරා සාර්ථකව යාමට නායකත්වයක් අනිවාර්ය වන බව මගේ හැඟීමයි. මෙහිදී මම කතා කරන්නේ අරඟල නායකත්වය පිළිබඳව පමණි. භූමිය සකස් කල පසු ඇතිවන රටේ ඉදිරි ගමනේ නායකත්වය මේ සමග පටලවා නොගන්න. නායකත්වය යනු පුද්ගලයකු නොව ක්‍රියාන්විතයකි. ඒ සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකු දායක විය හැක. නායකත්වය පවත්වා ගැනීමට දායකවන මේ පිරිසට නායකත්ව මණ්ඩලය යැයි අවශ්‍ය නම් ඔබට ඇමතිය හැක. මේ වන විට අරඟල බිමෙහි මේ නායකත්වය අනිවාර්යයෙන්ම බිහිවී තිබිය යුතුය. අරඟලයේ මෙතෙක් රැදී සිටි අයට මා කියන දෙය වැටහෙනවා ඇත. මෙම නායකත්ව මණ්ඩලයට දැන් නිල පිළිගැනීමක් ලබා දෙන්න. එහි අවශ්‍යතාවය ඊළඟ කරුණේදී මම පහදන්නම්.

වැදගත්ම කරුණ යා යුතු මගයි. එය ප්‍රයෝගික නොවුණහොත් අනෙක් කරුණු කෙතරම් දාර්ශනික වුවත් පලක් නැත. මෙය දුෂ්කර කාලයකි. අපට ගමන යාමට සමහර විට අප ඉතා අකමැති පුද්ගලයන් සමගද අත්වැල් බැඳගත යුතුවෙයි. තමන්ගේ මානසික අවස්ථිතිය හැකිතාක් අවම කරගැනීමට විශාල ශක්තියක් අප සියළු දෙනාටම අවැසි වන්නේ මෙතනදීය. මා දැන් පවසන්නේ මට පෙනෙන යතාර්ථයයි. එය ඔබගේ යතාර්ථය වනවාද නැද්ද යන්න ඔබ තීරණය කරන්න. 

අපට ලාංකීය දේශපාලනයේ හමුවන අති බහුතරයකට යම් පෞද්ගලික ඇජෙන්ඩාවක් ඇත. ඊට අමතරව සමහර පාර්ශව වලට සාමුහික ඇජෙන්ඩාවක් ඇත. ඉලක්ක භූමියට පා තබන තෙක් මේ න්‍යායපත්‍ර පසෙක තැබීමට දේශපාලකයාට බලකළ යුතුය. අරඟලය තුලින් ඇතිවූ විශාලම යහපත මහජනතාව අතට මේ බල කිරීමේ අයිතිය ලැබීමයි. මෙතැන් සිට යන ගමනේ පාලන බලය අරඟල භූමිය නතු කරගැනීම ඉතා වැදගත්ය. මා ඉහත කී නායකත්ව මණ්ඩලය අවැසි වන්නේ ඒ සඳහාය. ඔවුන් ගමනේ ගාමක බලය මෙන්ම පාලක මැදිරියද විය යුතුය. දේශපාලකයා මීට දැඩි අකමැත්තක් දක්වනු ඇත. එහෙත් එය ඔවුන්ට දැන් නොකර බැරිය. මම දකින ඉදිරි පියවර මෙලෙස දක්වන්නම්.

ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා (හෙන්චයියන්ද ඇතුළුව) ඉවත්කිරීම එලෙසටම ඉලක්ක කරගන්න.

නායකත්ව මණ්ඩලය මුල් වී ජාතික කමිටුවක් බිහි ගත හැක. මේ සඳහා දේශපාලන පක්ෂවලට හෝ සිවිල් සංවිධානවලට නොව ඒවායේ සාමාජිකයන් වූ තෝරාගත් පුද්ගලයන්ට ආරාධනා කල හැක. මෙම කමිටුවට ඇතුලත් විය යුතු පුද්ගලයන් ඔබ සියලු දෙනාටම යෝජනා කල හැක. නායකත්ව මණ්ඩලයට තෝරාගත හැක.

නාගානන්ද මහතා හෝ වෙනයම් පාර්ශවයක් ඉදිරිපත්කල ව්‍යවස්ථා ලියවිල්ලක් පාදක කරගෙන ජාතික කමිටුව විසින් කෙටි කාලයකදී නව ව්‍යවස්ථාවක් ගොඩනැගිය හැක.

එය පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ජනමත විචාරණයකින් ස්ථාපිත කල හැක. යහපත් ව්‍යවස්ථාවකට එරෙහිවීමට කිසිවෙක් ඉදිරිපත් නොවනු ඇත. මැතිවරණයකට යාමට අවශ්‍ය මූල්‍යමය සහයෝගය අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. ඒ ගැන මේ අවස්ථාවේදී කරදර නොවන්න. 

මේ ක්‍රියාවලිය අතරතුර කැබිනට් වෙනස්කම්, අන්තර්වාර පාලන, ඔළු ගෙඩි මාරු ආදී නොයෙකුත් විප්‍රකාර ඇතිවනු ඇත. ඒවා පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකර මූලික අරමුණ වෙත පිය නගන්න. 



Tuesday 19 April 2022

මෙය අසභ්‍ය කතාවක්


බොහොම තර්කානුකුලව සිතන මේරි සහ ඇගේ යෙහෙළිය ජොසපිනා කන්‍යා සොහොයුරියන්. ඔවුන් දිනක් ඉතා වැදගත් ගමනක් ගොස් එන විට තරමක් සන්ධ්‍ය වුණා. ඒ දවස්වල කන්‍යාරාමය ඇති ප්‍රදේශයේ ස්ත්‍රී දුෂකයෙක් සැරිසරණ බවට කතාවක් පැතිර තිබුණා. ඔවුන් එක් මංසන්ධියකට පැමිණියා. මෙතැන් සිට කන්‍යාරාමයට යාමට පාරවල් දෙකක් තිබෙනවා. 

"අපි එක පාරක ගියොත්  මිනිහට අපි එක්කෙනෙක්ව අල්ල ගන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා අපි මෙතන ඉඳන් වෙනස් පාරවල්වල යමු". මේරි කිව්වා.

ජොසපිනා බියෙන් ගැහෙමින් හනි හනිකට කන්‍යාරාමය අසලට එන විට දුටුවේ, කොණ්ඩය අවුල් කරගෙන හතිලමින් කන්‍යාරාමයේ දොරකඩ සිටින මේරිවය.

"අනේ දෙයියනේ ඔයාට මොකද වුණේ" ජොසපින කෑගසාගෙන මේරි වෙත දිව ගියා. 

"මම එනකොට කන්‍යාරාමයට කිලෝ මීටරයක් විතර කලින් අර මිනිහා එකපාරටම කැලේ ඉඳන් පාරට දුවගෙන ආව"

"අපොයි දෙයියනේ"

"මම නැවතුණා. මිනිහත් නැවතුණා".

"ඉතින්"

"මම එකපාරටම මගේ ගවුම ඉනෙන් උඩට ඉස්සුවා"

"අනේ දෙයියනේ, ඒ මොන පාපයක්ද" ජොසපිනා ඇස් ලොකු කරගෙන හුස්මක් උඩට ගත්තා.

"ඒ මිනිහා කලිසමේ පටියයි බොත්තම් ටිකයි ගලවල කලිසම පහතට දැම්මා"

"අපොයි, ඉතින් මොකද වුණේ" ජොසපිනාට කලන්තේ හැදෙන්න වගේ ආව.

"ඉතින් අනේ ඔයාට ඕකවත් තේරෙන්නේ නැද්ද?" මේරි කතාව නවතා හුස්මක් ගත්තා.

"ගවුම ඉනෙන් උඩට උස්ස ගත්ත ගෑනියෙකුයි, කලිසම දණහිසෙන් පහලට ගලවගත්ත පිරිමියෙකුයි කිලෝමීටරයක් දුවන කොට මොකද වෙන්නේ කියල" 


-නොවේ-

බඩගින්න තනි නොකරන්න


දිනය අවසන්ය. මට ලංකාව වෙනුවෙන් වදන් අමුණන්න නැවතත් ඉඩ ලැබී ඇත. 

අරඟලයට මුල් පිරූ ඇත්තෝ කව්දැයි මම නොදනිමි. එහෙත් මා ඔවුන්ට ආදරය කරමි. 71 සහ 88/89 කැරලි ඇතිවන්නේ අද ජනතාව පත්ව ඇති ඛේදජනක තත්වයෙන් සියයෙන් එකක්වත් තිබූ පරිසරයක නොවේ. ඒවා අසාර්ථක වුයේද එබැවින් විය හැක. අද මෙතරම් දුර්භාග්‍යයකට රට අද දැමූ පාලකයන් ඉදිරියේත්, නැගී සිටි තරුණ පෙළ සංයමයකින් යුතුව තම උද්ගෝෂණ පෙල ගස්වයි. කපුටන් මරා එල්ලන්න කතා කරන ජොන්ස්ටන් වැනි අමන මුග්ධයන් ඉදිරියේත් ඔවුන්ගේ විනය ස්ථාවරය. ඉතා බොළඳ තර්ක ඉදිරිපත්කරමින් ආගමික වෛරයක් ගොඩ නැගීමට උත්සහ දරන අතින් කා හරක් බලන රාජපක්ෂ වහලුන් ඉදිරියේද මේ අරඟලකරුවෝ නොසැලී සිටිති. එය ඔවුන්ගේ බුද්ධියේ සහ පරිණත ස්වභාවයේ තරම පැහැදිලි කරයි. මම ඔවුන්ට හිස නමා ආචාර කරමි. 

රෙජීමය රඹුක්කනින් මිනිස් බිල්ලක් ගෙන ඇත. එපුර වැසියන් නැගී සිටියේ බඩගින්නට එදිරිවය. ගාලු මුවදොර අරඟලකරුවන්ගේ සංයමය අපට කොළඹින් ඈත සිටිනා එදා වෙල හම්බ කරගෙන කන අසරණ ගැමියාගෙන් බලාපොරොත්තු විය නොහැක. එවන් පිරිසකට ජීව උණ්ඩ යොදා වෙඩි තැබීම පොලිසියේ අභිමතය වීමට කිසිසේත්ම ඉඩකඩ නැත. කපුටන් මරා එල්ලන්න කතාකළ අමනයන් මේ පසුපස සිටීමට බොහෝ දුරට ඉඩ ඇත. ඒ වෙඩි තැබුවේ රඹුක්කන වැසියකුට පමණක් නොව මුළු අරඟලයටමය. ඔබ නිහඬ වුවහොත් ඊළඟ උණ්ඩය ඔබ වෙත එල්ල කිරීමට ඔවුන් පසුබට නොවේ. 

ජන අරඟලයක් හැකි විගසින් අවසන් කල යුතුය. පැහැදිලි අරමුණකට ලඟා විය යුතුය. හැකි සෑම අයුරකින්ම පවතින නීති රාමුව තුල ආණ්ඩුවට පහර දිය යුතුය.

තවමත් ආණ්ඩුවට කඩේ යන ඔබේ මුග්ධ මිතුරන්ට පිළිතුරු දීමට උත්සහ නොගන්න. හැකි නම් තණකොල මිටියක් ගෙදරට යවන්න. නොඑසේ නම් ඔවුන්ගේ පෝස්ට් වලට තණකොළ මිටියක පින්තුරයකින් පිළිතුරු දෙන්න.  

අරඟලය පැහැදිලි අරමුණකට නාභිගත කරන්න. 

ඔබේ පළාත නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරයාගේ නිවස අසල උද්ඝෝෂණය කරන්න. ඔහු ඇමතිවරයෙක් නම් එම තනතුරින් ඉල්ලා අස්වන තෙක් විරෝධය පාන්න. 

පාලකයා ජන මතයට හිස නමන තෙක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන්න. රට සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය කරන්න. 



Sunday 17 April 2022

හෝරාවේ ඉලක්කය

අප බොහෝ දෙනෙක් ජන අරගලය සමග හදවතින් බද්ධය. මේ අරගලය ඕපපාතික නැත. එය බිහිවන්නේ වසර ගණනාවක සිට කෙමෙන් වැඩී පසුගිය දෙවසර තුල අතිඋත්ක්‍රමනයකට බඳුන් වූ දේශපාළුවාගේ දුෂණය, භීෂණය වංචාව හේතුකරගෙනය. සමහර දේශපාලන පක්ෂ මෙන්ම පුද්ගලයන්ද මේ තත්වය පිළිබඳව සෑහෙන කලක සිට අනාවැකි පළකළත් බහුතරයක් ජනතාවට එය වැටහුණේ තම එළිපත්තට ව්‍යසනයේ ඵල වැටෙන්න වූ විටයි. එහි අවුලක් නැත. එය ලොව කොතනත් ස්වභාවිකව සිදුවෙන සංසිද්ධියකි. සමහර උදවියට තවමත් වැටහීමක් නැත. මානසික අන්ධයන් කොහෙත් සිටීමද ස්වභාවිකය. 

අරගලයකට පසු රටක අනාගතය තීරණය වන්නේ අරගලය ඇරඹි ආකාරය මත නොව එය නිම වූ ආකාරය අනුවයි. එබැවින් ආරම්බය කොතනකින්, කොයි ලෙසකින් සිදු වුනත් අප අර්ථවත් අවසානයක් කරා යා යුතුය. යහපත් අවසානය නාගානන්ද-ජවිපෙ-43 සේනාංකය ආදී පාර්ශව විසින් ගෙනවිත් ඇති ව්‍යවස්ථා හෝ ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතු කාරණා මත පාදක විය හැකි නව ලේඛනයක් බව මගේ හැඟීමයි. මෙහිදී ඉදිරිපත් කිරීම මිස ඉදිරිපත් කරන්නා දෙස බැලීම අනුවණ කමකි. 

රටක් බුන්වත් කල රාජපක්ෂ පන්නයේ රෙජිමයක් රාජ්‍ය මර්දන යාන්ත්‍රණය හරහා ප්‍රචණ්ඩත්වය මුදා නොහැර බලය අතහැරි රටක් ඇත්දැයි මම නොදනිමි.  මේ අනුව ප්‍රචණ්ඩත්වය අරගල භූමියට කුමන මොහොතක හෝ අවතීර්ණය වීමේ අවදානමක් පවතී.  

ඉහත කරුණු දෙක මත මට පැවසිය හැක්කේ මෙයයි. මේ අවස්ථාවේදී රාජපක්ෂ විරෝධී සියළු පාර්ශවයන්ට සමාන්තර අරගල භූමි ගොඩනැගීමට සහයෝගය දීමත්, හැකි සෑම කරුණකදීම ක්‍රියාවලියන් සමපාත කිරීමත් අත්‍යවශ්‍ය කරුණකි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට මෙන්ම රාජ්‍ය මර්දන ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටීමටද මේ සියළු පාර්ශවයන්ගේ සමාන්තර නැගී සිටීම ඉතා වැදගත් බව මගේ හැඟීමයි. 

මතක තබාගන්න දුෂිතයා බිහි කලේ පවතින ක්‍රමවේදයයි. එම ක්‍රමවේදය වෙනස් කල විට දුෂිතයා ඉබේටම නිශේධ වී යයි. 


  

Friday 15 April 2022

අරඟලය මෙතැන් සිට


බොහෝ දේශපාලන පක්ෂ මෙන්ම සමහර නිර්දේශපාලනික පාර්ශවද බලාපොරොත්තු නොවූ මුහුණුවරකින් ජනතා නැගිටීම දිනෙන් දින වර්ධනය වෙයි. මීට හේතුව බොහෝ දෙනෙකුට තවමත් අවබෝධ වී නැති බව මට සිතෙයි. මෙතෙක් පැවති බොහෝ ජන නැගිටීම් දේශපාලන නායකත්වයක් විසින් ජන මනස අවදි කිරීම හරහා සිදුවිය. එහෙත් මෙම නැගිටීම සිදුවන්නේ ජනවිඥානයේ සිදුවූ ස්වයං පෙරලියක් හේතුවෙනි. ඒ තත්වය අවබෝධ කරගැනීමට ලංකාවේ මධ්‍යම පාන්තික නිවසක සතියක් දිවි ගෙවීම ප්‍රමාණවත්ය. 

සිදුවන පෙරලිය කල් තබා forecast කරගැනීමට ජවිපෙට නොහැකිවීම අවාසනාවකි. ඔවුන් මේ සටනෙහි පෙරමුණේ සිටිය යුතු විය. තමාගේ සහභාගිත්වයක් හෝ සහයෝගයක් නොතිබූ ජන අරඟලයක් දේශපාලනිකද, නිර්දේශපාලනිකද කියා අර්ථ දැක්වීමට ඉදිරිපත්වීම ජවිපෙ විසින් නොකළ යුතුව තිබූ දෙයක් විය. දැන් කල යුතුව ඇත්තේ ඔවුන් සමාන්තර සටනක් ඇරඹීමයි. එක් අවස්ථාවක මේ සමාන්තර අරඟල සමපාත වනු ඇත. 

ඊළඟට සිදුවන්නේ හෝ සිදුවිය යුත්තේ කුමක්දැයි අප සියළුදෙනාගේම දැනුම සහ බුද්ධිය අනුව විවෘතව සාකච්චා කල යුතුව ඇත.

රාජපක්ෂලාට, ඔවුන්ගේ සහචරයන්ට සහ අන්‍යෝන්‍ය-අවබෝධය මත රාජපක්ෂලා සමග කටයුතු කරන විපක්ෂයේ අපතයන් පිරිසටද රාජපක්ෂලා බලයෙන් පහවීම මාරාන්තිකය. ඔවුන් සොරා කෑ ධනය අති විශාලය. එසේම ඔවුන් බොහෝ දෙනෙක් දරුණු අපරාද ගණනාවකට සම්බන්ධය. මේ නිසා බලයෙන් පහවී ඔවුන්ට යහතින් දිවිගෙවීමට නොහැක. එබැවින් ඔවුන් ලෙහෙසියෙන් බලය අතහරිතැයි උපකල්පනය කිරීම විශාල වරදක් වනු ඇත.

මේ නිසා මා දකින පළමු විසඳුම නම් ව්‍යවස්ථාව විශාල වෙනසකට ලක් කිරීම හෝ නව ව්‍යවස්ථාවක් ගෙන එම සඳහා පාර්ලිමේන්තුවට බල කිරීමයි. අති විශාල ජන බලයක් හමුවේ රාජපක්ෂලා තනි කර පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්ත ලබා ගැනීමට හැකි බවට මම දැඩි සේ විශ්වාස කරමි. විශාල ජන බලයක් හමුවේ රටින් පැනයාමට හැකි යැයි රාජපක්ෂලාට ඇති ආත්ම විශ්වාසය ඔවුන්ගේ සමීපතම සඟයන්ට පවා නැත. ඔවුන් ලෝකල් හොරුන්ය. මේ නිසා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම ඉතා අපහසු කාර්යයක් වෙතැයි මම නොසිතමි. 

මේ හදිස්සියේ ව්‍යවස්ථාවක් ගොඩනැගීම කෙතරම් ප්‍රායෝගිකදැයි මෙහිදී මතුවන ගැටළුවකි.  මට හැඟෙන ආකාරයට නාගනන්ද මහතා ගොඩනැගූ ව්‍යවස්ථාව මේ අවස්ථාවේ ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. එයට බොහෝ දෙනෙකු යම් පමණකට අකමැති වුයේ එහි අඩංගු කරුණු පිළිබඳව නොව, එය යථාර්තයක් බවට පත් කරගැනීමට තිබූ ප්‍රායෝගික ගැටළු නිසාය. දැන් එයට ඉතා සුදුසු භූමියක් නිර්මාණය වී ඇත. මෙම ව්‍යවස්ථාව පාදක කරගෙන නව ව්‍යවස්ථාවක් ගොඩනැගීම ඉතා ඉක්මනින් කල හැක. 

මේ මගේ අදහසයි. ඔබගේ අදහස්ද ඉදිරිපත් කරන්න. අරඟල භූමියට අපගේ දායකත්වය සෑම අයුරකින්ම ලබා දෙමු. 


Wednesday 13 April 2022

මේ ඔබටයි


ඔබ තවමත් රාජපක්ෂ-පාක්ෂිකයෙකු නම් මේ ලියන්නේ ඔබටයි. වසර කිහිපයක් ලංකා මාතාවට අහිමිව සිටි ඔබ නැවතත් දිනා ගැනීම හෝරාවේ ඉහලම අවශ්‍යතාවය වී ඇත. ඔබ නැතිව මේ ගමන යා නොහැකිය. එබැවින් මේ වදන් පෙළ විමසිල්ලෙන් සහ ඉවසීමෙන් කියවන ලෙස මම ඔබට බැගෑපත්ව ආයාචනා කරමි. 

පසුගිය වසර 40 පමණ කාලය තුල ලාංකීය දේශපාලනයට පැමිණි බහුතරයක් ටික කලකින් දුෂිත සොරුන් බවට පත් වූ බව සියල්ලන්ටම නොරහසකි. නමුත් වසර 2010 පසු මේ දුෂණය සහ වංචාව අති ධාවනකාරී මාර්ග පථයකට පිළිපන්නේය. එය චීන ණය කෙරේ ලොබ බැඳී බොහෝ රටවල්වලට පොදු වූ කරුණක් විය. මේ ගැන මා අනෙක වතාවක් ලියා ඇති බැවින් තව දුරටත් ඒ ගැන කතා කිරීමෙන් පලක් නැත. 

පසුගිය දොළොස් වසර තුල රාජපක්ෂලා, ඔහුගේ සහචරයන් සහ සමහර යහපාලන දේශපාලුවන් සොරා කෑ රුපියල් ට්‍රිලියන ගණනක් වූ මහජන ධනය පිළිබඳව ඔබට නොඇසුනා, ඔබ නොදැක්කා, ඔබ නොපිලිගත්තා විය හැක. එහෙත් එම දුෂණ රැල්ලේ ඵලයන්ගෙන් රටේ අවශේෂ ජනතාවට මෙන්ම ඔබටද අත්මිදිය නොහැක. රාජපක්ෂ-පාක්ෂිකයෙකු කියා ඔබට ඒ අමිහිරි අත්දැකීම්, අත්විඳීම් යථාර්තයක් නොවන්නේ නැත. 

රට අගාධයට වැටීම ඔබට කෝවිඩ් වසංගතයට ලඝු කල නොහැක. ලංකාව මුහුණ පෑ තත්වයම ඊටත් වඩා දරුණුව අත්විදි බොහෝ රටවල් (සමහර විට සියලුම රටවල්) ලංකාව මෙන් ආර්ථික ව්‍යසනයකට ගොදුරු වී නැත. උදාහරණයක් ලෙස අපට බංග්ලාදේශය සහ ඉන්දියාව ණය ආධාර දීමට තරම් ඉහල තැනක ඇත.  

ඔබගේ මානසික අවස්ථිතිය බිඳ දමා නිදහසේ සිතීමට ඔබ මෙතෙක් සිරකරගෙන සිටි ඔබේ බුද්ධියට දැන් ඉඩ දෙන්න. 

අපට දැන් මේ අවාසනාවන්ත තත්වයෙන් ගොඩ ඒමට සිදුවී ඇත්තේද මේ සොරමුල හරහාමය. අනෙක් මාර්ගය වැටී ඇත්තේ දරුණු ලේ වැගිරීමක් හරහාය. ඒ මග නොයාමට නම් රටේ අති බහුතරයක් ජනතාව ව්‍යවස්ථා වෙනසක් සඳහා මේ සොරමුලට තියුණු පීඩනයක් එල්ල කල යුතුය. ජනතාව මේ සඳහා දේශපාලකයාගෙන් ස්වායත්තව එක් රොක් වෙමින් ඇත. රාජපක්ෂලා ඇතුළු අන්ත දුෂිත හොරු රැල ඇමතිධූර අත හරී කියා හෝ මහා බැංකුවේ අධිපති ඉල්ලා අස්වෙයි කියා මීට සති කිහිපයකට පෙර කිසිවෙකුත් බලාපොරොත්තු වුයේ නැත. එහෙත් නිර්පාක්ෂික ජන බලයට එය කල හැකි විය. 

මේ වන විට අරඟල භූමියට කිසිඳු දේශපාලකයෙකුට පය තැබීමට තරම් ධෛර්යයක් නොමැති බව පෙනෙයි. මම මේ ගැන කල් තබාම අනතුරු ඇඟවුයෙමි. ජන බලය පක්ෂ දේශපාලනය අභිබවා ගොස් ඇත. නමුත් ඔබ රාජපක්ෂ-පාක්ෂිකයෙකු ලෙසින් සිටිනා තාක් කල් පවත්නා පද්ධතිය වෙනස් කිරීමට රාජපක්ෂලා මෙන්ම විපක්ෂයේ ජනාධිපති සූට් මසන දේශපාලකයන්ද මැළිවනු ඇත. ඔවුන්ට මේ නිධානය අතහැර දමා යාම ඉතා අසීරුය. 

තාවකාලික සැපයට ලොබ වූ චීවරධාරීන්, පුජකයන් සහ අපතයන් සුළුතරයක් සදාකාලිකවම දේශපාලකයාට කඩේ යනු ඇත. ඒ අධමයන් අපි අමතක කර දමමු. අපි සියල්ලෝම එකතුව පාර්ලිමේන්තුව තුලින් පුර්ණ සිස්ටම් චේන්ජ් එකක් ඇති කිරීමට දේශපාලකයාට බල කරමු. එමගින් නොවැලක්විය හැකි ලේ හැලීම වලක්වා ගනිමු. 

ඔබගේ දරු මුණුබුරන් වෙනුවෙන් ඔබගේ රාජපක්ෂ-පාක්ෂිකත්වය බිඳ දමා අරඟල භූමියේ අත්වැල් බැඳගන්න. ලක්මව ඔබ එනතුරු දෑත් විදහා බලා සිටින්නීය. 




Monday 11 April 2022

නික්ම යන අතර


ලංකාවේ ගතකල ඉතා අවිවේකී දින දහයක් අවසන්විය. මේ ලියන්නේ ජොහැනස්බර්ග් නගරයට යන අතරතුර කටාර් ගුවන් තොටුපලේ සිටයි. ලංකාවේ සිටි කෙටි කාලය තුල මම රටෙහි සැබෑ තත්වය සැබවින්ම අත්වින්දෙමි. අරඟලකාරයන් මෙන්ම අරඟල කාරකයන් සමගද සංවාදයේ යෙදුනෙමි. ඒ තුලින් මා ලද අවබෝධය මෙලෙස ලියා තබමි.

මේ මොහොතේ අරඟලය කේන්ද්‍රගතවී ඇත්තේ ගෝඨාභය විරෝධය වටාය. ඒ නිසා එම චරිතය පිළිබඳව කියවීමකින් ලිපිය අරඹන්නට සිතුවෙමි.

යුධ සමයේ ගෝඨාභය වටා රොක් වූ think tank කිහිපයක් විය. එහි සාමාජිකයන් වුයේ කිසිඳු දේශපාලන ලාභයක් හෝ ස්වාර්ථයක් නොපැතූ උණ කාරයන් පිරිසකි. ඔවුන් යුධ කටයුතුවලට අදාළ නොයෙකුත් ක්ෂේත්‍රයන්හි නිපුණයන් විය. ගෝඨාභය ඔවුන්ට ඉතා සාවධානව ඇහුම්කන් දුන්නේය. ඉන්පසු ඔහු ඍජු ඉක්මන් තීරණ ගත්තේය. ඔහුගේ අණ රාජ අණ විය. යම් මර්මස්ථානයකට රේඩාර් පද්ධතියක් අවැසි යයි තීරණය වූ විට ඔහු ඒ සඳහා පැහැදිලි අණක් දුනි. කියූ කාලය තුල, අදාළ specifications අකුරටම පවතින රේඩාර් පද්ධතියක් සඳහන් කල ස්ථානයේ ස්ථාපිත විය. රේඩාර් පද්ධතිය සඳහා නියම මිළ ඩොලර් මිලියනය නම් සමහර විට එයට ඩොලර් මිලියන එකහමාරක් වැය වන්නට ඇත. අමතර මිලියන භාගය ගියේ කොතනකටදැයි මම නොදනිමි. කෙසේ නමුත් අවශ්‍ය උපකරණය, අවශ්‍ය දිනට, අවශ්‍ය ස්ථානයේ ස්ථාපිත විය. මේ කරුණු මට දෙවෙනි, තුන්වෙනි පාර්ශව වලින් ලැබුණු information නොවේ.

සංසරණය වූ තොරතුරු අනුව ගෝඨාභය ජනාධිපතිවරණයට පැමිණෙන්නේ කැමැත්තකින් නොවේ. මා සිතන ආකාරයට මේ සඳහා ඔහුට බලපෑ කාරණා දෙකක් තිබුණි. පළමුවැන්න නම් තමාට එරෙහිව ගොනු වූ නඩු හබ වලින් නිදහස් වීමයි (එම චෝදනාවල හරි-වැරදි කීමට මම නොදනිමි). දෙවැන්න නම් රට දියුණු කිරීමට ඔහු තුල වූ අවංක උවමනාවයි. 

අවාසනාවට දේශපාලනය යනු වෙනස් පන්දු කෙළියක් බව ගෝඨාභය අවබෝධ කරගෙන නොතිබුණු බව පෙනෙයි. 

ගෝඨාභය ජනාධිපති වූ පසු සියල්ල ඔහු නොසිතූ ලෙස වෙනස්විය. දේශපාලන කරලියේ ඔහු අත දරුවකු විය. ඔහුගේ මේ නොමේරූ ස්වභාවය ඔහු වටා සිටි අන්ඩපාලයන් මැනවින් කළමනාකරණය කළේය. තම අණසක පතුරනවා වෙනුවට ඔහු ජොන්ස්ටන්ලා සහ අනෙකුත් රාජපක්ෂලාගේ රූකඩයක් බවට පත්වී ඇත. රට වේගයෙන් අගාධයේ පතුලට යන බව තේරුම් ගැනීමටවත් ඔහුට ඉඩක් නොදී ඇති බව මට වැටහෙන කරුණයි. ඔහුව කොතරම් විසුළුරූපී තත්වයකට පත් කර ඇද්දැයි ඔබට වටහා ගැනීමට ඇති හොඳම උදාහරණය පසුගියදා ඔහුව කිසිඳු හේතුවකින් තොරව පාර්ලිමේන්තුවට රැගෙන විත් ජොන්ස්ටන් ප්‍රමුඛ කිහිප දෙනෙක් විසින් කරන ලද බම්මන්නාට ඇන්දවීමයි. ඔහුට කතා කරන්න කරුණු සපයන, ප්‍රසන්නව සිනාසෙන්න, ඇඟේ ඉරියව් සකස් කරගන්න උපදෙස් දෙන අයම ඔහුට ඒවා කරගත නොහැකිව වේදිකාව මත අනාගනිද්දී වේදිකාව පිටුපස සිට ඔච්චම් කරමින් සිනාසෙයි.

මේ වන විට ආණ්ඩුව තුල මෙන්ම විපක්ෂයේද ඇත්තේ අති සංකීර්ණ තත්වයකි. ආණ්ඩුවේ සිටින තක්කඩියන් බහුතරයකට තම අනාගතය අස්ථිරය. මේ නිසා ඔවුන්ට ගෝඨාභයගේ පැවැත්ම අත්‍යවශ්‍යය. එය මැක්කාට බල්ලාගේ අවශ්‍යතාවය වැනිය. විපක්ෂයේ සිට ජනාධිපති සූට්‌ මසන කිහිපදෙනෙකුටද මේ අවස්ථාවේ ගෝඨාභයගේ නික්ම යාම අවාසි සහගතය. ඔවුන්ට තම ඇඳුම සකස්කරගැනීමට තව කල් අවශ්‍යය. අනෙක් අතට බැසිල් හා ඔහුගේ හෙන්චයියන් බොහෝ විට ගෝඨාභයගේ නික්ම යාම පතනවා විය හැක. ඒ ඔවුන් තුල බැසිල් ජනපති ලෙස නම් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කැමැත්ත ලබා ගත හැකි යයි පවතින දැඩි විශ්වාසය නිසාවෙනි. 

ජනතාවගේ පසින් #Gotagohome ව්‍යාපාරය ඉතා වැදගත්ය. ගෝඨාභයගේ ඉලක්ක හෝ අරමුණු කෙසේ වෙතත් කිසිවක් කරගත නොහැකි රූකඩයකින් රටකට ඇති කිසිම වැඩක් නැත. ගෝඨාභය ඉවත්කිරීම තුලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මුළු රාජපක්ෂ පවුලම නෙරපා හැරිම (බොහෝ විට දඟ ගෙයි ලැම) බව පෙනෙයි. නමුත් ඔවුන් අතිශයින්ම කල්පනාකාරී විය යුත්තේ ඔවුන් තවත් රාජපක්ෂ කෙනෙකුගේ මනදොළ පුරවන ඉත්තන් බවට පත්වී නොසිටිමටයි. 

දැනට සිටින සහ ළඟදී තනතුරු අතහැරිය ඇමතියන් සියළු දෙනාම පාහේ කිසිඳු දැක්මක් හෝ ප්‍රතිපත්තියක් නැති ගන්ධබ්බයන් පිරිසකි. ඔවුන් බලා සිටින්නේ තමන්ට තව ටික දිනක් හෝ සොරා කෑමට හැකි ගර්භාෂයක් ගැන ඉව අල්ලමින්ය. විපක්ෂයේ සිටින බහුතරයක්ද මීට නොදෙවෙනිය. කවුරු කෙසේ කීවත්, පැතුවත් ඉදිරියේ යම් කාලයක් රට ඉදිරියට ගෙන යා යුත්තේ මේ අසමත්ජාතියන් (අසමජ්ජතියන්) සමගය. 

රට මේ වන විට ආර්ථික සහ සාමාජීය පුපුරා යාමකට ආසන්නය. නමුත් තවමත් සෑහෙන පිරිසකට රාජපක්ෂලා සමග මෙම ගමන යාමට නොහැකි බව නොපෙනෙයි. රාජපක්ෂලා කරලියෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කල යුතුය. පිළිකාව ඉවත් නොකර පිටත ඇති වණයට පැලැස්තර දැමීමෙන් පලක් නොමැත. 

විය යුත්තේ කුමක්දැයි මට හැඟෙන සංකල්පය නිවෙසට ගිය පසු මා ලියා ඉදිරිපත් කරන්නම්. 


Thursday 7 April 2022

ඉන් ඉක්බිති ...

බොහෝ දේ පොතේ විදියටම සිදුවෙයි. ආර්ථික වියසනය සිදුවී දැන් මාස හයක් ඉක්ම ගොස් ඇත. ඉන් අනතුරුව පැමිණෙන සමාජ වියසනය පමා කිරීමට ඇති එකම පවුර බිහිවී ඇත. ඒ මහජනතාව තුල ඇති ඉහල සාක්ෂරතවයයි. නූගත් සමාජයක් බිඳ වැටෙන විට මුලින්ම ඇතිවන කඩ සාප්පු ගිනි තැබීම්, මංකොල්ලකෑම් වැනි කාරණා ඉහල සාක්ෂරතාවයක් ඇති රටක සිදුවීමේ සම්භාවිතාව අඩු බව සමාජ මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි. එය දැන් සාක්ෂාත් වෙමින් පවතී. පොතේ තිබුණාට, බොහෝ දෙනෙක් මෙවන් යම් දුරකට සබුද්ධික සහ සංයමයකින් යුත් සමාජ නායකත්වයක් බිහිවෙතැයි බලාපොරොත්තු වුවේ නැත.

ජනතා නායකත්වය සබුද්ධික වුනාට ආණ්ඩුව අබුද්ධිකය. දැන් සමස්ත ආණ්ඩුවම රාජපක්ෂ නඩය සහ ඔවුන්ගේ ඉඳුල් පතට කෙලහලන ජොන්ස්ටන් සහ රත්තරන් වැනි මන්ද බුද්ධික මැරයන් කිහිප දෙනෙකුට ලඝු කල හැක. ඔවුන් මොර දෙන්නේ සිදුවන්නට යන දේ පිළිබඳව මෙලෝ අවබෝධයක් නොමැතිවය. සබුද්ධික ජන සමුහයක් වියරු වැටෙන විට එය ඉතා බිහිසුණු මුහුණුවරක් ගනී. එය පැරකුම් සමුදුරේ වේල්ල බින්දා හා සමාන වනු ඇත. අද හෝ හෙට රතු ඉර පනිනු ඇතැයි මට සිතෙයි. 

"බය වෙන්න එපා ස' මම දෙන්නම් නියමෙට" ආදී වශයෙන් දෙකයි පනහේ බාල කතා කියමින් රාජපක්ෂලාව සනසන ජොන්ස්ටන්ලා තමන් ලෝකල් හොරුන් බවවත් තේරුම් ගෙන නැත. රාජපක්ෂලා තම චංචල දේපල මේ වන විටත් රටින් පිට කර ඇතැයි මට සිතෙයි. ඔවුන්ගේ පවුල්ද දැනටමත් රටින් පිටවී ඇති බවට රාවයක් පවතී. ඔවුන් බලය අත හරින්නේ ඈත එපිට දේශයක සිටය. ජොන්ස්ටන්, රත්තරන්, කෙහෙළිය, බන්දුල ආදීන් සිරිසංඝබෝ චරිතයට පණ දෙනු ඇත. 

රාජපක්ෂලා පිටරටකට ගොස් සතුටින් සාමයෙන් ජිවත් වීමට සිතනවා නම් එය බොඳවන සිහිනයකි. මේ වන විටත් බොහෝ රටවල වෙසෙන ලාංකිකයෝ ඔවුන්ව සාදරයෙන් පිළිගැනීමට සැදී පැහැදී සිටිති. ශාරීරික හානි කෙසේ වෙතත් ඔවුන්ට දැඩි මානසික පීඩනයකින් ජිවිතයේ ඉතිරි කාලය ගත කිරීමට සිදුවනු ඇත. 

අප මේ ගත කරන්නේ සංක්‍රාන්තික හෝරාවකි. මේ සමුද්දේශ රාමුවේ සිට ඔබට අනාගත වැඩපිළිවෙල හෝ නායකත්වය නිර්ණය කල නොහැක. සුනුවිසුණු වන දේශපාලන අධිකාරිය සහ දුෂිත දේශපාලකයාගේ ඉරණම දකින අනෙකුත් අමන දේශපාලුවන් බියෙන් තැති ගෙන ඉබේටම දේශපාලන කරලියෙන් විසිවනු ඇත. අභීත, අවංක පිරිස පමණක් ඉදිරියට පියමන් කිරීමට දිරිය ලබනු ඇත. 

ඉන් ඉක්බිතිව අප කුමක් කල යුතුදැයි සිතමු.