Follow this Blog

Saturday, 28 July 2018

නොමිලේ අධ්‍යාපනය ඇති කළ ටියුෂන් පන්තිය


ඒ 70 දශකයේ අග භාගයයි. අපේ පුංචි අම්මා තම ප්‍රථම ගුරු පත්වීම ලැබීය. ඒ කුරුණෑගල නගරයෙන් තරමක් ඈත පිහිටි තඹගල්ල ප්‍රදේශයේ පාසලකටය. ඒ වන විට කුඩා කොලු ගැටයකු වූ මට දෙමව්පියන් සමග කිහිප වතාවක් මේ පාසලට යෑමේ අවස්ථාව හිමි විය. 

එය ලංකාවේ සැබෑ තත්වය වටහා ගැනීමට කදිම අවස්ථාවක් විය. බදාම ගැලවී වැටුණු කොට තාප්පවලින් වට වූ පෞරාණික පෙනුමකින් යුත් පන්ති කාමර, කඩා වැටෙන්න ඔන්න මෙන්න වූ මේස පුටු, යටිපතුල අඩක් පොළොවේ ගැටෙන, අන්තයටම ගෙවී ගිය රබර් සෙරෙප්පු පැළැඳි සිසු සිසුවියන්. පාංකඩ වන තරමට දිය වූ ඔවුන්ගේ පාසල් නිල ඇඳුම් ආදී සියල්ල පැවසුවේ ඔවුන්ගේ ජීවන තත්වයේ ඇති කටුක බවය.

“මේ ළමයි හුඟ දෙනෙක් දවසට කන්නේ එක වේලයි. සමහර ළමයි ඉස්කෝලෙට එන්නේ විවේක කාලයේ දී දෙන බිස්කට් දෙක කන්න” පාසලේ විදුහල්පතිතුමා මගේ දෙමව්පියන් සමග පවසනු මට තාම මතකය.

පසු කාලයක මගේ පුංචි අම්මා පැවසුවේ මෙය පළාතේ ඇති හොඳ මට්ටමේ පාසලක් බවත්, මීටත් වඩා පහළ මට්ටමේ පාසල් එම ප්‍රදේශයේ තිබෙන බවත්ය.

මේ අතීත පුවත මට සිහි වූයේ මීට සති කිහිපයකට පෙර රිවිර පුවත් පතේ පළ වූ ලිපියක් කියවීමෙන් පසුව ය. එහි සඳහන් කරුණු අනුව වයඹ පළාතේ පිටිසර පාසල්වල තත්වය වසර 40කට පසුවද වෙනස් වී නැති සේයකි. කුරුණෑගල යනු ලංකාවේ අති දුෂ්කර දිස්ත්‍රික්කයක් නොවේ. එසේ නම් මොණරාගල, බදුල්ල, අම්පාර ආදී ප්‍රදේශවල පාසල්වල තත්වය කෙසේ ඇත්ද?

මගේ පාසල් දිවිය මට සිහිවෙයි. අප කිහිප දෙනෙක් අකුරු කළේ ඉතා අරපරිස්සමෙනි. ඒ අපේ දෙමව්පියන් වෙහෙසී හරි හම්බ කරගන්නා මුදලේ වටිනාකම හොඳින් දන්නා නිසාය. ඒ අතරම තඹගල්ල විදුහලේ දරුවෙක් වසර දහයකටවත් තම පාසල් කටයුතු සඳහා වියදම් නොකරන තරමේ මුදලක් ගෙවා මිළ දී ගත් පාවහන් පැළැඳ පාසල් පැමිණෙන දරුවන් අනේකවත් අප අතර විය. වරක් මගේ එක් සගයෙක් පැවසූ ආකාරයට ඔහු පළඳින මේස් යුගලක් මා පාසල් ගෙන ගිය පොත් බෑගයේ මිල මෙන් පස් ගුණයක් පමණ විය. මේ දරුවන් එක වේලකට වියදම් කරන මුදලින් දුෂ්කර ගමක පවුලක් දින තුන හතරක් යැපෙනු ඇත.

මේ අන්ත දෙකේ පන්ති දෙකම තම අධ්‍යාපනය ලබන්නේ නොමිලයේය. ඒ මීට දශක හතකට පෙර සිදු වූ වරදක ප්‍රතිඵලයක් ලෙසය. ඒ වරද “නිදහස් අධ්‍යාපනය” යන දෝෂ සහගත පරිවර්තනයෙන් අපි හඳුන්වමු. මේ වරද ගැන කතා කරන්න තබා සිතන්නවත් ලංකාවේ දේශපාලකයන් සහ වියතුන් අකමැතිය. ඒ ඔවුන් කෙරේ මහජන උදහස ඇතිවේ යැයි ඇති බිය නිසා ය. එහෙත් වරද වරදමය. එය කෙදිනක හෝ විවෘතව සාකච්ඡා කළ යුතු ය.

ඉංග්‍රීසියෙන් “freedom of education” සහ “free education” යනුවෙන් යෙදුම් දෙකක් නිතර භාවිත වෙයි. මෙහි පළමු පදයෙහි අර්ථය අධ්‍යාපනයේ නිදහසයි. අදටත් ලොව සමහර රටවල සහ සමහර සමාජ ව්‍යුහ තුළ අධ්‍යාපනයේ නිදහස සීමා වී ඇත. කාන්තාවක වීම, අඩු කුලයේ ඉපදීම, ජාතිය හෝ ආගම අනුව බාධා පැනවීම, මුදල් නොමැතිකම, අධ්‍යාපන පහසුකම් හෝ ගුරුවරුන් නොමැති වීම, විෂම දේශපාලන මත දැරීම ආදී කරුණු රාශියක් මත තමාට අවශ්‍ය හෝ තමා කැමති අධ්‍යාපනයක් ලැබීමට ඇති නිදහස අහුරා දමනු ලැබූවන් අපි දකින්නෙමු. මෙය අධ්‍යාපනයේ නිදහස මරා දැමීමකි.

ශිෂ්ට සම්පන්න සමාජ ක්‍රමයක් බිහිකිරීමට නම් අධ්‍යාපනයේ නිදහස අනිවාර්ය අංගයක් විය යුතුය.

දෙවන පදයෙන් කියැවෙන්නේ මුදලක් අය නොකර අධ්‍යාපනය ලබා දීමයි. මෙය සිංහලට පරිවර්තනය විය යුත්තේ “නොමිලයේ අධ්‍යාපනය” ලෙසටයි. ලංකාවේ රජය මගින් ක්‍රියාත්මක කරන්නේ මේ නොමිලයේ අධ්‍යාපනයයි. මෙයට නිදහස් අධ්‍යාපනය යැයි පැවසීම දේශපාලන වුවමනාවක් බව අපගේ වැටහීමයි. “නොමිලේ අධ්‍යාපනයට අත නොතබව්” යනු ලජ්ජා සහගත සටන් පාඨයකි. “නොමිලේ” යන්න “නිදහස්” වූ විට සටන් පාඨයට යම් ගැම්මක් ඇති වේ. මේ හැරෙන්නට නිදහස් අධ්‍යාපනය යනු කිසිදු අර්ථයක් නැති බොල් පාඨයකි.

වසර 70ක නොමිලයේ අධ්‍යාපන සැපයුමකින් පසු අප අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ මොනවාද? රටේ බහුතරයක් පාසල් තවමත් ඇත්තේ පහසුකම් අතින් මැලේසියාව වැනි (මීට වසර 30-40 කට පෙර අපට වඩා ඉතා පසුගාමිව සිටි) රටකට සාපේක්ෂව ඉතා ප්‍රාථමික මට්ටමකය. ඉඳහිට දුෂ්කර පළාතක පාසලකින් උගෙන ඉහළින් විභාග සමත්වන සිසුවෙකු ගැන පත්තර පිටු පුරා විස්තර පළ වුවත්, යතාර්ථය නම් මේ පළාත්වල බොහෝ දෙනෙක් ඉතා අඩු වයසින් පාසල් අධ්‍යාපනය නිමා කරන බවය. 

දුෂ්කර පැතිවල පාසල් පමණක් නොව කොළඹ අහස සිඹින යෝධ ගොඩනැගිලි පෙනෙන මානයේ වූ කොටුවිල ගාමිණි විද්‍යාලය වැනි පාසලක පවා තත්වය එතරම් වෙනස් නොවන බව අපගේ හැඟීමයි.

සිදුවිය යුතුව තිබුණේ කුමක්ද?

ක්‍රමවේදය සකස් විය යුතුව තිබුණේ ආදායම් ප්‍රමාණය මත පදනම් වූ ගාස්තු අයකිරිමකිනි. එවිට සම්පුර්ණයෙන්ම නොමිලයේ අධ්‍යාපනයේ සිට සෑහෙන ඉහළ ගාස්තුවක් දක්වා පුළුල් පරාසයක මෙම අයකිරීම ව්‍යාප්ත වන්නට තිබුණි. කළමනාකරණ පහසුව සඳහා මෙය ගාස්තු තල කිහිපයකට සීමා කළ හැකිය. ඇතුළුවීමේ විභාග පදනමකින් තොරව දිවයිනේ ඉහළ පෙළේ විදුහල් ලෙස වර්ගීකරණය කළ පාසල්වලට ඇතුළත් වූ සිසුන්ගෙන් අමතර අය කිරීමක් ලබාගැනීමෙන් ඒ පාසල්වලට ඇතිවන ඉල්ලුම අඩු කරගත හැක.

මෙහි දී සමහරුන් ආදායම් මට්ටම අඩු කර පෙන්වීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කිරීම වැළක්විය නොහැක. ඒ අප සමාජයේ ඇති වගකීම් විරහිත ස්වභාවය නිසාවෙනි. එහෙත් එම අඩුපාඩුකම් මධ්‍යයේ වුවද රජයට සැලකිය යුතු ආදායමක් මෙයින් ලැබේ. ඊළඟට කළ යුතුව තිබුණේ මෙම ආදායම භාණ්ඩාගාරයේ වෙනමම ගිණුමකට බැර කර එය අධ්‍යපනයේම උන්නතිය උදෙසා යෙදවිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීමයි.

මෙමගින් ලංකාවේ දුෂ්කර පැතිවල පාසල් බොහෝ සෙයින් ඉහළට නගා සිටුවිය හැකිව තිබුණි. එසේ නම් අද “දුෂ්කර පාසල්” යන යෙදුම අතීතයට පමණක් වලංගු පදයක් වන්නට තිබුණි. එහෙත් එය එසේ වූයේ නැත.

නොමිලයේ අධ්‍යාපනය නිසා සමාජයේ පහළම ස්ථර අන්ත අසරණ වන විට මධ්‍යම පන්තිය තුළ තවත් අනිසි විකෘති ගමනක් ආරම්භ විය.

සීමිත වූ සරසවි පිවිසුම් අවස්ථා ගණනට තරග කිරීමට නම් තම දූ දරුවන් අශ්වයන් බවට පත්කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවට දෙමාපියන් තුළ හැඟීමක් ඇති විය. බොහෝ මධ්‍යම පාන්තික දෙමව්පියන්ට පාසල් ගාස්තුවක් ගෙවීමේ හැකියාව තිබේ. එහෙත් අධ්‍යාපනය නොමිලයේය. මේ නිසා ඔවුහු තම දරුවන්ට මුදල් වියදම් කර අමතර අධ්‍යාපනයක් ලබා දී තරගය දිනවීමට හැකි බව අවබෝධ කර ගත්හ. ඒ වෙනුවෙන් ටියුෂන් ව්‍යාපාරය බිහි විය. මේ තරගයට මුහුණ දීම උදෙසා පහළ මධ්‍යම පාන්තිකයන් ද ඉතා අසීරුවෙන් කෙසේ හෝ තම දරුවන් ද ටියුෂන් රැල්ලට එකතු කරන්න විය. මෙය ඈත එපිට ගම්මාන දක්වා පැතිර ගියේය. අන්තිමේදී දුෂ්කර යයි සම්මත පැතිවල සිටිනා පොහොසතුන්ගේ දරුවන් නගරයට විත් ටියුෂන් ගෙන දුෂ්කර පළාත් වලින් විභාගයට ලියන්න විය. මෙය තවත් සමාජ විකෘතියක ඇරඹුමක් විය. 

අද වන විට තම දරුවන් ටියුෂන් පන්තිවලට නොයවන දෙමව්පියන් ඇත්නම් ඒ ඉතාම අතලොස්සකි. සමහරුන් මේ සඳහා ඉතා විශාල මුදලක් නොමසුරුව වැය කරන අතර සමහර දෙමව්පියන් මේ වෙනුවෙන් සතියට වේල් කිහිපයක් නිරාහාරව සිටින බව අපි පෞද්ගලිකව දනිමු. මේ පිරිසට නොමිලයේ අධ්‍යාපනය වෙනුවට මුදල් ගෙවා ලබන පාසල් අධ්‍යාපනයක් හඳුන්වා දීමට ගියහොත් එයට එරෙහිව රජය පෙරළෙන තරමට විශාල ජන රැල්ලක් බිහිවනු ඇත. එහෙත් තමා දැනටත් ලබන්නේ මුදල් ගෙවා ලබන අධ්‍යාපනයක් බව ඔවුන් නොසිතති. ඔවුන් මුදල් ගෙවා නොවිධිමත් ලෙස අධ්‍යාපනය ලබන්නේ ය.


ටියුෂන් ක්‍රමය තුළ නැවතත් බැට කන්නේ සමාජයේ පහළම කොටසයි. එදිනෙදා වේල සරිකර ගැනීමත් විශාල අභියෝගයක් වන මේ පන්තිය තුළ තම දරුවාට අමතර ඉගැන්වීම් සඳහා වියදම් කිරීම සිහිනයක් පමණි. පාසලේ අධ්‍යාපනයද ඉතා පහළ මට්ටමක පවතී. මේ නිසා අවසානයේ දී සමස්ත දුප්පත් පන්තියම සදා දුප්පතුන් ලෙස කාල-අවකාශයේ ඉදිරියට පිය තබයි. බොහෝ දේශපාලුවන්ගේ පැවැත්ම රඳා පවතින්නේ මේ දුප්පත් සමාජ පන්තිය දුප්පතුන් ලෙසම සිටිනා තාක් ය. එබැවින් ඔවුන් නිරන්තරයෙන් දුප්පත්කම උත්කර්ෂයට නංවයි.

ටියුෂන් ගුරුවරයා බිහිවන්නේ අධ්‍යාපනය හෝ දැනුම සිසු පරපුරට ලබාදීමට නොවේ. ඔහුගේ කාර්යභාරය විභාග තරණය කරවීමයි. දක්ෂ අසුන් පුහුණු කරන්නෙකු සේ ඔහු සිසු සිසුවියන් විභාග තරණ ක්‍රමවේදයන් කෙරේ යොමු කරවයි. මේ ක්‍රමයෙන්  බිහිවන්නේ වේගයෙන් දිවයන අසුන් සහ දිවගත නොහැකිව ඇදවැටී වෙඩි පහර කා මිය යන අසුන් යන දෙවර්ගය මිස යහපත් මනුෂ්‍යයන් නොවෙයි. 

මෙම සමාජ විකෘතියේ එක් උච්චස්ථානයක් වන්නේ මෙතෙක් කල් දුෂ්කර පළාත් ලෙස ලේබල් කල ප්‍රදේශවල සරසවි පිවිසුම් කඩයිම් ලකුණු අනෙක් ප්‍රදේශ වලට ආසන්න වීම හෝ ඊටත් වඩා වැඩිවීමයි. මෙහි ප්‍රතිඵලය දුප්පතාට කිසිම ආකාරයකින් සරසවි පිවිසුමක් ලබා ගත නොහැකි වීමයි. මෙම සමාජ විකෘතිය ඉදිරියේදී ඉතා අහිතකර ප්‍රතිඵල රටට අත් කර දෙනු ඇත.

මේ තත්වයට වග කිව යුත්තේ ටියුෂන් ගුරුවරයා නොවේ. ඔහු සිදු කරන්නේ සමාජයේ ඇති ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීමයි. ඉල්ලුම මෙන්ම සැපයුමද නීත්‍යනුකුලය (ටියුෂන් ගුරුවරයා අදායම් බදු ගෙවනවා නම්). 

කොළඹින් ආවත්, ගිරාදුරු කෝට්ටෙන් ආවත් අද රජයේ සරසවි වල නොමිලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් 99% කට වඩා මෙම ටියුෂන් ක්‍රම වේදයෙන් බිහිවූ දරුවන් බව පෙනෙයි.  ඔවුන් බොහෝ දෙනෙකු කරන කියන දෙයින් ගම්‍ය වන්නේ ඉතා සරල කාරණයකි. 

"අපි ජිවිතයේ වෙන කිසිඳු ආශ්වාදයක් නොලබා අධි වේගයෙන් දුව ගොස් ඉතා උස කඩුල්ලක් පිනූ අසුන් වෙමු. දැන් ඉතින් අපේ ජිවිතයේ ඉතිරි කාලය සමාජය විසින් නඩත්තු කල යුතුය". 

මේ සරසවි සිසුන් නිතර දැක ඇති වෘතියවේදියා අසුන් පුහුණු කරන්නාය. එබැවින් ඔවුන්ද මේ අසුන් පුහුණු කරන්නෙකු බවට පත්වෙයි.  ලංකාවේ සරසවි සිසුන්ගෙන් වැඩි පිරිසක් අමතර ආදායමක් සඳහා ටියුෂන් වෘතිය තෝරාගෙන ඇති බව නොරහසකි. 

ලෝකයේ අන් රටවල සරසවි සිසුන් ඉගෙනීමට කරන කැප කිරීම් ඔවුන් අසා වත් නැත. ඇඟ පත වෙහෙසා කරන වෙනත් අර්ධ-කාලින රැකියාවක් පිළිබඳව ඔවුන්ට සිතීමත් පිළිකුලකි. ඔවුන් ධනවතුන් ලෙස පට්ට ගහන සමාජයේ දරුවන් වෙනත් රටවල අධ්‍යාපනය සඳහා පැමිණ ආපනශාලා, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳසැල් වල සේවය කරන බව මේ සරසවි සිසුන්  අමතක කරති. ලොව සෑම සමාජ ක්‍රමයක මෙන්ම සරසවි පද්ධති වලද අසාධාරණකම්, අඩුපාඩුකම්  පවතී. බොහෝ විට ඒ තමන් විසින් මුදල් ගෙවා අධ්‍යාපනය ලබන ආයතන වලය. එහෙත් එම සිසුන් බොහෝ දෙනෙක් මෙම තත්වයන්ට දක්වන වියත්, අර්ථවත්, නම්‍යශීලි ප්‍රතිචාරයන් ලංකාවේ දකින්නට නැත. ලංකාවේ සිසුන්ට අභිමානය ඇත්තේ තම සරසවිය ගැන නොව තම වීදි සටන් ජයග්‍රහණ පිලිබඳවය. 

ඉහත මානසික ව්‍යකුලතාවයට ප්‍රධානම හේතුව මේ සිසුන් වසර 18 ක් පමණ විභාග ජයමග ඔස්සේ හැල්මේ දිවීමයි. එම මාර්ගයේ කෙලවරවල පමණක් "අධ්‍යාපනය" යන බෝර්ඩ් ලෑලි සවිකර ඇත.  

ලංකාවේ බොහෝ විට සිදුවන්නේ ගැටළුවක නැට්ටෙන් අල්ලා ඇඹරීම හෙවත් ඉලුක් පඳුරේ කොළ ටික කැපීමයි. 

අපි බොහෝ සේ වෙහෙසවී LTTE ත්‍රස්තවාදය නැති කළෙමු. එහෙත් එම ත්‍රස්තවාදයට පාදක වූ ඉලුක් මුල් ටික තවමත් පස් යට ඇත. විජයකලාලා වතුර දමන්නේ මේ මුල් ඇති බව දන්නා නිසාය. මහා වැස්සකට පසු නැවතත් ඉලුක් පඳුරු සරුවට දළු ලා වැඩෙනු ඇත. එවිට අපි නැවතත් විසි කැති සොයමින් දුවනු ඇත.

සිටින-සිටිය බොහෝ දේසපාලුවන්ගේ අධීක්ෂණයෙන් දියත්වන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මැඩීමට පාලකයන් උත්සහ කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරවීමෙනි. මත්ද්‍රව්‍ය වරදට අසුවන්නේ හාල්මැස්සන් සහ කුනිස්සන්ය. ඉඳහිට හසුවන බලයා තෝරාද නීතියේ කුමන හෝ සිදුරකින් එලියට පනී. මෝරුන් තල්මසුන් කිසිදාක දැලකට පැටලෙන්නේ නැත. අන්තිමට හාල්මැස්සන් කුනිස්සන් මරා දමා ප්‍රශ්න විසඳෙන තෙක් අපි බලා සිටිමු.

අධ්‍යාපන ප්‍රශ්නයද එසේමය. කඩුල්ල පැන්න සරසවි සිසුන් අයාලේ යයි. කඩුල්ලේ වැදී බිම වැටුන සෙසු දරු පරපුර ත්‍රී වීලර් එලවයි. රජයට පෙනෙන පරිදි ප්‍රශ්නයට විසඳුම් දෙකකි. එකක් සරසවි උද්ඝෝෂණ කුමන ආකාරයෙන් හෝ  මැඩ පැවැත්වීමයි. අනෙක ත්‍රී වීලර් තහනම් කිරීමයි. පළමු එක දැනටමත් කෙරේ. දෙවෙනි එකත් ක්‍රියාත්මක වුවහොත් පුදුම නොවන්න.




2 comments:

  1. නිකෝල් , නේතන් සහ ලංකාවේ සරසවි සිසුන්




    යෝක් විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේදී මට නිකෝල් කැප්‍රියෝටි හමු විය​. කැපචීනෝ කෝප්පයක් ගත් ඇය මගේ මේසයට ආවාය​.

    "කොහොමද මැප් ගේ පරියේෂණ වැඩ ? මම ඇසුවෙමි.

    ඇල්ස්ටෙයාර් මැප් පරියේෂණ මනෝ විද්‍යා මහාචාර්‍යවරයාය​. නිකෝල් ඔහු යටතේ මනෝ විද්‍යා පරියේෂන විශයක් කරන්නීය​. ඇල්ස්ටෙයාර් මැප් අමුතු අන්දමේ චරිතයකි. ඔහු බොහෝ සෙයින් විහිළු කරයි. එහෙත් ඔහු සිටින්නේ දුකෙන් බව මගේ සිත කියයි.

    " මහාචාර්‍ය මැප් ගේ හැටි දන්නවානේ ? නිකොල් සිනාවක් පාමින් කියන්නීය​.

    ඔහු සමග වැඩ කිරීම විනෝද ජනකය​. නමුත් විභාග ප්‍රතිඑල දෙන විට ඔහු ඉතා තදය​. මේ නිසා සිසු සිසුවියන් විභාග කාලයට ආතතියෙන් යුතුව මුහුණ දෙති.

    "මම විභාගයට නියමිත පොත් සල්ලි දීලා ගත්තේ නෑ . ඔන් ලයින් පොත් අඩු මිලට ගත්තා ඒවා වලින් තමයි ඉගෙන ගන්නේ " නිකොල් කීවාය​.

    නිකොල් වැනි සිසුවියන් ඉගෙන ගන්නේ අතිරේක රැකියා කරමිනි. උදේ දේශන වලට එන ඇය සවස් වරුවේ බේ විව් හි ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හලක සේවය සඳහා යන්නීය​.

    උසස් අධ්‍යාපනය සඳහා නිකොල් කැප්‍රියෝටි වැනි සිසුවියන් මෙන්ම පිත්සා බෙදා හරිමින් නේතන් වැනි සිසුන් කරන අරගල මම දුටුවෙමි. නේතන් උස සිසුවෙකි. ඔහු දෙමාපියන්ට බරක් නොවී තම අධ්‍යාපනය කරගෙන යයි. මෙවැනි සිසු සිසුවියන් දකින විට හරකුන් මෙන් දක්කාගෙන ගොස් පාරවල් බ්ලොක් කර ගෙන උද්ඝෝෂණයේ යෙදෙන ලංකාවේ සරසවි සිසුන් කෙතරම් ලාමකද කියා සිතේ.

    ලංකාවේ සරසවි සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබේ.

    " ඔබ දන්නවාද ලංකාවේ සරසවි සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබෙන බව ? මම නිකොල්ට කීවෙමි.

    " විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ... ඇය ප්‍රතිරාව කලාය​.

    Read More : http://transyl2014.blogspot.com/2016/07/blog-post_18.html

    ReplyDelete