Follow this Blog

Thursday, 23 February 2017

දුප්පතාණෙනි...! දුප්පතෙකු සේම සිටිනු මැනව....



මහාචාර්ය යමමොටෝ වයෝවෘද්ධ විද්‍යාඥයෙකි. පසුගිය සතියේ ජපානයේ කල සංචාරයේදී මට ඔහුව හුමුවුණේ වැඩමුළුවක දිවා භෝජන විරාමයේදීය. වාසනාවකට අප දෙදෙනා තරමක වෙනස් විෂය පථ වලට අයත් වූ බැවින් අපේ කථාව විද්‍යාවෙන් ඈතට ගියේය.

"ඔබේ රටේ දුප්පතුන් ප්‍රතිශතයක් ලෙස කීයද?" මම ඔහුගෙන් ඇසුවෙමි.

"එහෙම කට්ටියක් අපේ රටේ නැහැ" යමමොටෝ මහතා මෘදු ස්වරයෙන් කිවේය. වියපත් ඔහුගේ කටහඬේ ඇත්තේ වෙව්ලන ස්වරයකි.

"ඔබ කොහොමද එහෙම කියන්නේ. ඕනෑම රටක දුප්පතුන් ප්‍රතිශතයක් සිටිනවා".

"ජපන් ජාතිකයන්ගේ අදහස අනුව දුප්පතා යනු අනෙකෙකුගේ ආර්ථික පිහිටෙන් ජිවත්වන පිරිසක්. අපේ රටේ එහෙම අය දැන් නැහැ"

"කලින් හිටියද?"

"ඔව්, මට මතක ඇති කාලය වන විට මගේ පිය සහ මව දුප්පතුන්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපේ රට ආර්ථික වශයෙන් බිමට සමතලා වුනා", යමමොටෝ මහතා ඉතා සෙමෙන් වචන ගලපයි.

"අපි කෑවේ බිව්වේ රජයෙන් නොමිළේ ලැබුණු ආහාර පාන. ඒ සඳහා අපේ පවුලට සළාක පොතක් දීල තිබුණා. ඇදුම් පැළදුම් පවා සලාකයට අපට ලබා දුන්නා. අපේ තාත්තා මේ ගැන බොහොම ලජ්ජා වුණා. වරක් ඔහු මිතුරෙකු සමග රණ්ඩුවකට පවා පැටලුනා ඔහුව දුප්පතෙකු යයි ඇමතූ නිසා".

"අපේ වැඩිහිටියෝ ඉතාම මහන්සි වෙලා වැඩ කළා. මා කුඩා කාලේ වෘතිය සමිති හෝ වැඩ වර්ජන කියා දෙයක් අසා තිබුණේවත් නැහැ. මම ඒවා ගැන ඉගෙන ගත්තේ රුසියානු පරිවර්තන කියවලා".

"ටික කාලෙකට පස්සේ රජයෙන් ඉල්ලීමක් කළා ඇති හැකි තත්වයට පත්වන අය සළාක පොත් නැවත බාර දෙන ලෙස. අපේ ගමෙන් මුළින්ම සලාක පොත බාර දුන්නේ මගේ පියා. ඒ ගැන ඔහු මැරෙන තුරුම උදම් ඇනුවා. 1950 ගණන්වල මැද භාගේදී මේ සළාක ක්‍රමය සම්පුර්ණයෙන්ම නැති කළා. ඒ තමයි රටේ දුප්පතුන්ගේ අවසන් වීම. ගමේ හැමෝම එදා උත්සව පැවැත්වුවා".

70 දශකයේ අග භාගයේදී ලංකාවේ සළාක කූපනය හෙවත් හාල් පොත අහෝසි කළදා මට තවමත් මතකය. ගුවන් විදුලිය හරහා අයවැය කියවීම අසා සිටි බොහෝ දෙනා මේ ප්‍රවෘතිය කණ වැකෙත්ම දරුණු ලෙස උරණ වුහ. අපගේ අසල්වැසියෙක් මිදුලට පිවිස "ඔය කාලකණ්නි මිනිහගේ ඔලුවට හෙණ හතක් පාත්වෙන්න ඕනේ" කියමින් එවකට සිටි පාලකයාට මහා හඬින් සාප කරන්න විය.



දුප්පත්කම යනු දකුණු ආසියාතික දේශපාලනයේ කප් රුකයි. මා දකින්නේ මෙය සමාජවාදය විසින් ලොවටම කියා දුන් පාඩමක් ලෙසයි. අපේ සෑම දේශපාලකයෙක්ම සටන් වදින්නේ දුප්පතුන් වෙනුවෙනි. ඒ දුප්පත්කම රැකගැනීම සඳහාය. එසේ නොමැතිව දුප්පත්කම තුරන් කිරීම සඳහා නොවේ.

ජපනාට දුප්පත්කම ලැජ්ජාවකි. ලාංකිකයාට එය ආයුධයකි.  

"අපි දුප්පතුන් වෙනුවෙන් මරණය තෙක් සටන් කරමු". 

"දුප්පතාට නොමිළේ දෙන දෙයට අත නොතබනු".

"අපේ ශක්තිය දුප්පත් කමයි".

මේ, ලාංකික දේශපාලකයා දුප්පත්කම උත්කර්ෂවත් කරන සටන් පාඨයි. දුප්පත්කම ආභරණයක් බැවින් එය සදාකාලිකවම ගෙලේ එල්ලාගෙන සිටීමට ඔවුන් ජනතාව පොළඹවයි. 

දුප්පත්කම තදින්ම උත්කර්ෂයට නංවන දේශපාලකයන් සහ ඉහළ පෙලේ වියතුන් කිහිප දෙනෙකුගේ දරුවන් මම පෞද්ගලිකවම හඳුනමි. ඔවුන්ගෙන් සමහරෙක් ඇමරිකාවේය, නැත්නම් යුරෝපයේ, කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේය. ලංකාවේ සිටියත් තරු පහෙන් පහළට සුළු වෙලාවකට හෝ බසින්නේ ඔවුන්ටත් දේශපාලනය කිරීමට අවශ්‍ය නම් පමණි. 

ජපානයත් ලංකාවත්, පටන්ගත් ස්ථානයත් අද සිටින ස්ථානයත් අතර වෙනස තීරණය කිරීමට මේ කාරණය බෙහෙවින් පාදක වන්න ඇති බව මගේ හැඟීමයි.

දේශපාලකයාට දුප්පත්කම ආරක්ෂා කරගත යුතුවන්නේ ඔහුට සාධනීය දේශපාලනයක් කරගැනීමට තරම් හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති වූ විටය. සාධනීය දේශපාලනය කටුකය. එය කල් ගත වන ව්‍යාපෘතියකි. ජපානය මේ සඳහා දශකයක පමණ කාලයක් ඉතා දුෂ්කර ගමනක් ගියේය. සිංගප්පුරුවට, තායිවානයට සහ දකුණු කොරියාවට ඊට වඩා අඩු දුෂ්කරතාවයකින් දශක තුනක් පමණ ගත කරන්න සිදු විය. මැලේසියාව, තායිලන්තය, වියට්නාමය තවමත් ගමන් කරයි. මන්ද ඔවුන්ගේ දේශපාලනයේ යම් කොටසක් තවමත් දුප්පතුන් මත යැපෙන බැවිනි.

සියයට සියයක්ම දුප්පත්කම මත යැපෙන ලාංකික දේශපාලනය තවත් චිරාත් කාලයක් මේ ගමන යනු ඇත.









11 comments:

  1. ජපානයේ හෝම්ලස් මිනිස්සු තියා හෝම්ලස් බල්ලොවත් අපි දැකල නැහැ.

    ජපානයේ දුප්පතුන් ඇත්තේ නැහැ. හැබැයි දුප්පත් නොවී සිටින්න ජපන් මිනිස්සු කරන කැප කිරීම ඉතාමත් ඉතාමත් ඉතාමත් ඉහලයි. විශ්වවිද්‍යාල ඉදිරිපිට පවා ගස් වල පලතුරු ඉදිලා බිම වැටිලා කුණුවෙලා යද්දී ළමයි සුපර් මාර්කට් එකෙන් සල්ලි දීල ඒ පලතුරු අරගෙන කනවා මුලින් දැක්කම දැනෙන්නේ හරිම වෙනසක්.

    මිනිසෙකු නම් මන්සිවෙලා හම්බුකරගෙන කන්න ඕනේ බව ඔවුන් ඉගෙන ගන්නේ ඉතා කුඩා කාලේ.

    ජපානයේ තිබෙන උඝ්‍ර ධනවාදය සුන්දර නැහැ. නමුත් මම හිතන්නේ එය සමාජවාදයට වැඩිය සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. http://www.japantimes.co.jp/news/2016/04/26/national/social-issues/hidden-poverty-growing-abe-particularly-among-young-single-mothers/

      Please read the above article regarding the poverty in Japan

      Delete
    2. I have seen homeless people in Tokyo.

      Delete
    3. Gishara and centurion:

      ජපානයේ දුප්පතා සහ ලංකාවේ දුප්පතා කියන්නේ බොහොම වෙනස් දෙන්නෙක්. අනෙක් කාරණේ තමයි මෙතන වැදගත් වෙන්නේ ජපනාගේ දුප්පතෙක් නොවීමට ඇති උත්සාහය සහ අවශ්‍යතාවය අගය කිරීමයි. පිනට හැම දෙයක්ම ලැබෙන්න ඕනේ කියන, මෙතෙක් පිනට ලැබුන දේ හැමදාම ලැබෙන්න ඕනේ කියන, ලාංකික චින්තනයෙන් අපි මිදෙන්න අවශ්‍යයි නේද?

      ඔබගේ අවධානය පිණිසයි

      Delete
    4. Of course, totally agree with that and with the article. My comment was only for Kenyusha's comment. Thanks.

      Delete
  2. අද ඉඳල ජපානෙ Premium Friday කියල අලුත් කොන්සෙප්ට් එකක් හඳුන්වල දෙනවා. ඒ කියන්නෙ සෑම 4වෙනි සිකුරාදාවකම හවස 3 ට වැඩ ඉවර කරල ගෙදර යන්න. දැන් 3:15යි අපේ ඔෆිස් එකේ එකෙකුටවත් ගානක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. මොන ? සෙනසුරාද ඉරිදත් වැකේෂන් එකෙත් ඇවිත් හැමදාම රෑ 11 විතර වෙනකම් ෆන් එකේ වැඩකරන අපේ ප්‍රොෆෙසර් වගේ අය හවස 3 ට යවන්න නම් යන්න නම් ඉතින් කවුරුහරි ගහල එලවන්න ඕනේ.

      බොස් කොයි වෙලාවක වත් කියන්නේ නෑ please work කියල. හැමතිස්සෙම කියන්නේ please enjoy this work කියන එක.

      Delete
  3. සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැඟිටියව් අන්තිම සටනට සැරසියව්! අන්තිම සටනට, අන්තිම සටනට, අන්තිම සටනට සැරසියව්!!

    මෙතන මේ අන්තිම සටන කියන්නෙ දුප්පත්කම නැතිකරගන්න අන්තිම සටනට එහෙම නෙවෙයි. තියෙන එකා මරාගෙන කන අන්තිම සටනට....:)

    ReplyDelete
  4. දුප්පතා යනු අනෙකෙකුගේ ආර්ථික පිහිටෙන් ජිවත්වන පිරිසක්. athha

    ReplyDelete
  5. මහා ලොකුවට කයිවාරු ගැහුවට අපේ ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ අභිමානයක් නැහැ. ඒ නිසා ඒ මිනිස්සු තමුන් උපන් තැනින් අඩියක් ඉහලට තියන්න හීනෙන්වත් හිතන්නේ නැති තරම්. ඒ පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ට නිකම් ලැබෙන බොහෝ දේවල් නිසා කියලයි මගේ අදහස.

    ජීවත් වෙන්න අවශ්‍ය මූලිකම අවශ්‍යතාවයන් දෙකක් හෙවත් සෞක්‍ය සහ අධ්‍යාපනය කියන සේවාවන් දෙකම නොමිලේ ලැබෙන නිසා මිනිස්සු ඔහේ ජීවත් වෙන්න පුරුදු වෙලා. ඒත් මිනිස්සුන්ට ඔය සේවාවන් දෙක මුදලට ගන්න සිද්දවුනානම් අද වෙද්දී ලංකාව බොහොම සැලකියයුතු මට්ටමකට දියුණු වෙලා. එහෙම උනානම් මිනිස්සු දුප්පත්ව ඉපදුනත් දුප්පත්ව මැරෙන්නේ නැති වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි. නොමිලේ ලැබෙන මිනිස්සු කවදාවත් උපයන්න මහන්සි වෙන්නේ නැහැ. සියල්ල මුදලට ලැබෙන රටවල මිනිස්සු තමුන්ගේ කාලය එක විනාඩියක් අපතේ යවන්නේ නැතුව සෑම තත්පරයක්ම තමුන්ගේ හෙට දවස වෙනුවෙන් ආයෝජනය කරනවා. ඒ නිසා ඒ මිනිස්සු තනි තනිව අඩියෙන් අඩිය ඉහල නගිනවා.. එහෙම තනි තනිව ඉහල නගින ජාතීන් තමා අද වෙද්දී ලෝකේ දියුණු රටවල් වෙලා තියෙන්නේ. අපේ මිනිස්සු තමුන්ගේ හෙට දවස වෙනුවෙන් එක තත්පරයක් වැය නොකර රජය විසින් රටවල් දියුණු කරනකම් බලන් ඉන්නවා. මොන තරම් විහිලුවක්ද ඒක. ඒ විතරක් නම් මදැයි. උන් රට දියුණු කරන්න පාර්ලිමේන්තු යවන්නෙත් නොම්බර එකේ මී නාම්බෝ. ඉතින් කවද නැතිවෙයිද දුප්පත්කම.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම එකඟයි.

      මම මේ රටේ ඉතාමත්ම මහන්සි වෙනවා මුදල් සොයන්න. හැබැයි ඒ වගේම බොහොම අභිමානයෙන් ජිවත් වෙනවා මම උපයන මුදලෙන් මම වියදම් කරන නිසා. ලංකාවේ වගේ අවුරුද්ද පුරාම හොඳ දේශගුණයක් මෙහෙ නැහැ. සීත කාලෙට -40 ච විතර උෂ්ණත්වය බහිනවා. ඒත් අපි වැඩට යනවා. අපිට කිසි දෙයක් නිකම් ලැබෙන්නේ නැහැ. කවුරුවත් කිසිම දෙයක් නිකන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. හදිස්සියේ රස්සාව නැතිවෙලා ඩෝල් එකෙන් ජිවත් වෙන්න සිදු උනත් හැකි ඉක්මනින් එකෙන් මිදෙනවා. මොකද ආණ්ඩුවෙන් නිකන් කන එක ලැජ්ජාවක් නිසා.

      1950 ගණන් වල නිකන් දුන්න දේ අදටත් නිකන්ම ඕනේ කියල කෑගහන ජාතියක් කවදා දිවුණු වෙයිද කියල හිතෙනවා

      Delete