Sunday 29 May 2022

නේපාලයට අධ්‍යාත්මික නගරයක් (Spiritual City for Nepal)


සුන්දර ජලාශයක් වටා ඇති කඳු වළල්ලක්. ඒ ආශ්‍රිතව බිහි වූ විශාල හරිත නගරයක්. නගරයේ පැවැත්ම 100% පුනර්ජීවන බලශක්තිය මත. නගරයට ඇතුල්වන ස්ථානයෙන් ඔබේ පොසිල ඉන්ධන දහනයෙන් ක්‍රියාත්මක වන වාහනයේ ගමන අවසන් වෙයි. විශාල වාහන නැවතුමක ඔබට රථය ගාල් කර විදුලියෙන් දුවන වාහනයක්, ඔබ සිටින දින කිහිපයට කුලියට ගෙන නගරයට ඇතුළු විය හැක. නොඑසේ නම් ඉතා නිවැරදි කාල සටහනකට ක්‍රියාත්මක වන විදුලි බස් රථයක ඔබට ගමන් කල හැක. මීට අමතරව ඔබ නවතින හෝටලයෙන් හෝ වෙනත් ස්ථාන කිහිපයකින්ම ඔබට බයිසිකලයක්, විදුලි ස්කූටරයක් හෝ සෙගවේ රථයක් කුලියට ගත හැක.

මුළු නගරයේම ඇත්තේ ලෝකයේ බොහෝ ආගම් හෝ ආගමික අනුඛණ්ඩ වලට අයත් ධර්මයතනයන්ය. ඒවා ඉදි කෙරෙන්නේ මෙන්ම නඩත්තු කෙරෙන්නේද එම ආගම් හෝ ආගමික අනුඛණ්ඩ වලට අයත් පුද්ගලයන් හෝ ආයතන මගිනි. රජයෙන් භූමි භාගය සපයා දෙයි. මේ ධර්මායතන ඒ ඒ රටවල අදාළ ආගමට අයත් ගෘහ නිර්මාණ ශිල්පය මත බිහි වී ඇත. සෑම ආයතනයකම විශාල පිරිසකට දීර්ඝ කාලයක් රැඳී සිටීමට නේවාසික පහසුකම් ඇත. ධර්මයතනයක් ගොඩනැගීමට ඉදිරිපත් වන පාර්ශවයකට සපුරා ලිය යුතු සරල කරුණු කිහිපයකි. කිසිඳු අවස්ථාවක තම පරිශ්‍රයෙන් පිටතට ආගමික වතාවත් සම්බන්ධයෙන් ඇතිවන ශබ්ද පිට නොවිය යුතුය. නගරය තුල සත්ව ඝාතන සිදු නොවිය යුතුය (මාංශ නගරයෙන් පිටත සිට ගෙන විත් පිසීමට බාධාවක් නැත). නගරයේ ඇති ජලාශය සියළුම ආගමික වතාවත් උදෙසා සාමකාමිව භාවිතා කල යුතුය. ගොඩනැගිලි ඉදිකිරීමේදී අවම රුක් ඉවත්කිරීමක් සිදුවිය යුතුය. හැකිනම් ඊට සමාන ගණනක් හෝ වැඩි ගණනක් රුක් රෝපණය කල යුතුය. 

නගරයේ සියළු මංමාවත් හා සමාන්තරව බයිසිකල්, සේගවේ සහ පා ගමන් කරුවන් සඳහා මාවතක් ඇත. ඕනෑම ආගමකට අදාළ ආහාර ගැනීම සඳහා වූ භෝජනශාල නගරයේ ඇත. ආගමික ආයතන වලින් ස්වායත්ත කුඩා පියමං පද්ධතියක් සහිත විශාල වනාන්තර පෙදෙසක් නගර මධ්‍යයේ පවතී. ඒ තුල භාවනා හෝ නිදහස් සුවය ලබා දෙන කුටි පද්ධතියකි. ඕනෑම අයෙකුට එහි අධ්‍යාත්මික සුවය ලැබිය හැක. 

එමෙන්ම නගරයේ ඇති ජලාශයට යාබදව විවෘත සාකච්චා මණ්ඩපයක් ඇත. එහි දවස පුරා ඕනෑම ආගමකට අයත් විද්වතුන්ට සාකච්චා පවත්වන්නටත් අනෙක් අයට ඒවා නැරඹීමටත් ඉඩපහසුකම් ඇත. 

නගරයේ අධ්‍යාත්මික කරුණු සඳහාම විශේෂිත වූ විශාල පුස්තකාලයක්ද, ජාත්‍යන්තර සරසවියක්ද, රෝහලක්ද, හෝටල් සංකීර්ණ කිහිපයක්ද, අනෙකුත් සේවා ස්ථානද පවතී. 

එය ලෝකයේ ඉදිවන ප්‍රථම සර්ව ආගමික අධ්‍යාත්මික නගරයයි. ලොව දස දෙසින් එයට සංචාරකයන් ඇදී එයි. 

නගරය ඉදිවන්නේ ජාත්‍යන්තර ගුවන්තොටුපලකට තරමක් ආසන්නයේය. ගුවන් තොටුපලේ සිට නගරය දක්වා ඉතා පුළුල් අධිවේගී මාර්ගයකි. ඊට අමතරව රටේ අනෙකුත් ප්‍රධාන නගරද මෙම අධ්‍යාත්මික නගරයට පුළුල් මාර්ග පද්ධතියකින් සම්බන්ධ වේ. 

------------------------------------------

මේ මීට වසර පහළොවකට පමණ පෙර මා ගොඩනැගූ දීර්ඝ ව්‍යපෘති යෝජනාවක සම්පිණ්ඩනයයි. එය ගොඩනැගුවේ ලංකාව උදෙසාය. එවන විට මත්තල ගුවන්තොටුපල පිළිබඳව පවා කිසිවෙකු තුල අදහසක් තිබුනේද නැත. මම යෝජනාව ඇමතිවරුන් කිහිපදෙනෙකුටම ඉදිරිපත් කලෙමි. ඒ කිසිවෙකුට මෙය ගණනකටවත් ගත්තේ නැත. 

මේ දිනවල නේපාලයේ ගත කරන මට මේ ඩොලර් ආකර්ෂක යාන්ත්‍රණයට සුදුසුම රට නේපාලය යයි හැඟුනි. එය මම දින කිහිපයකට පෙර පහල පිංතුරයේ රතුපාට ජැකට්ටුවකින් සැරසී සිටින ධුලිකේල් ප්‍රදේශයේ නගරාධිපති වරයාට ඉදිරිපත් කලෙමි. තරුණ ජවයක් සහිත මේ නගරාධිපතිවරයා අදහසට ඉතා ඉහලින් කැමැත්ත පළකළේය. නමුත් මගේ මිතුරු ශර්මා මේ පිළිබඳව ඔහුගේ යහළුවන් සමග පැවසීම නිසා මේ වන විට පෝහාරා ප්‍රාන්තයේ මහා ඇමැතිවරයාද දැන් ව්‍යාපෘතියට දැඩි උනන්දුවක් දක්වයි. ඔහු සමග මේ ගැන සාකච්චා කිරීමට අපි තව දින කිහිපයකින් පෝහාරා ප්‍රදේශයට යාමට බලාපොරොත්තු වෙමු. 




Tuesday 24 May 2022

ගෝල්ෆේස් අරගලය ගැන අවසාන වදන් පෙළ

මැයි මස 12 වන දින වන විට ගෝඨාභය රාජපක්ෂ සිටියේ තදින්ම තාප්පයට සිරවෙලාය. මේ වෙලාවේ කල යුතු දේ ගැන කිහිප දෙනෙක්ම අදහස් පළකළේය. ඒ පිළිබඳව මා ලිපියක් පළකලේ ඊට දින කිහිපයකට පෙරයි. ඒ අවස්ථාවේ #GoHomeGota පියවරක් පස්සට ගෙන යම් පැහැදිලි කොන්දේසි යටතේ ව්‍යවස්ථාවේ කළ හැකි උපරිම යහපත සිදුකර, ගෝඨාභය ඉවත්ව මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ලිඛිත පොරොන්දුවක් ගෙන ජවිපෙ ප්‍රමුඛ කෙටිකාලීන රජයක් පිහිටුවීම රට වෙනුවෙන් ගත යුතුව තිබූ හොඳම පියවර බව අදටත් මගේ හැඟීමයි. 

පාර්ලිමේන්තුවේ ආසන කිහිපයක් තබාගෙන එය කල නොහැකි බවට එකල සෑහෙන දෙනෙක් තර්ක කරනු දකින්නට ලැබුණි. ඔවුන් බොහෝ දෙනෙකුට පවත්නා වාතාවරණය අවබෝධ කරගැනීමට ඉවක් නොමැති විය. ජවිපෙට මේ යථාර්තය තේරුම් ගන්න අවශ්‍යතාවයක් නොවීය. සජිත් තම යෝජනාව ඉදිරිපත්කිරීමට පමා උනා වැඩිය. ආතක් පාතක් නැතිව පිං ආසනයකින් පාර්ලිමේන්තුවට පැමිණ සිටි රනිල් කිසිම කොන්දේසියක් නැතිව අගමැතිකමට ඉදිරිපත්විය. එය ලෝකෙන්ම වසන් වී සිටි රාජපක්ෂලාට life-line එකක් විය. 

රනිල් ආවත් නැතත් ලැබෙන්න තිබූ සිඟමන් ටිකක් ලැබුණා ඇරෙන්න රනිල් නිසා රටට ලැබුණු දෙයක් නැත. මිනිසුන් සඟවාගෙන සිටින ඩොලර් ටික මාරු කරගන්න කල් ඩොලරයේ අගය බලෙන් අඩු අගයක රඳවා ගෙන ඇත. ඉන්ධන හිගයට අමතරව එහි මිල අහස උසට ඉහල යමින් ඇත. ඊට සමගාමිව රට අති උද්ධමනයක් කරා ඇදී යමින් පවතී. සාගත කුණාටුව දැනටමත් ඇරඹී ඇත. සමාජ සංස්ථාව ගත වන සෑම දිනකම බිඳ වැටෙයි. අරගලයට උරදුන් තරුණ පිරිස් එකා දෙන්නා බැගින් දඩයම් කෙරමින් පවතී. ඒ අතරට මාධ්‍යවේදීන්ද දැන් දැන් ඇතුළත් වෙමින් ඇත. 

"ගෝඨාභය යන්නෙත් නැහැ, 21 ගේන්නෙත් නැහැ. දැන් මොනවද පඬියෝ කරන්න කියන්නේ" යයි රනිල් පසුපස යන අතලොස්ස දැන් වහසි බස් දොඩයි.  ගෝඨාභය යවන්නත්, 21 ගේන්නත්, ආණ්ඩුව කෙටි කලකින් විසුරුවා හරින්නත් කොන්දේසි පනවන්න ඉතා කදිම අවස්ථාවක් තිබෙද්දී ඒ මැද්දට කඹය කඩා ගත් හරකා මෙන් පැන්න රනිල් සියල්ල අවුල් කල බව මේ පුද්ගලයන්ට දැන් අමතකය. අවස්ථාවෙන් ඵල නෙලා නොගත් විපක්ෂයේ අනෙකුත් පක්ෂද මේ තත්වයට තදින්ම වග කිව යුතුය. 

දැන් මට පලිඟු බෝලයෙන් පෙනෙන්නේ එක දෙයකි. ඊළඟ අරගලය සැබවින්ම දාස් කැපිටාලයේ අර්ථ දැක්වෙන විප්ලවය විය හැක. තමන් බැඳි යදම් හැර තමන්ට නැතිවන්න කිසිවක් නැති විට මිනිසුන් තමන් බැඳි යදමට එරෙහිව නැගී සිටිනු ඇත. එය ගෝල්ෆේස් අරගලය තරම් සොඳුරු වන්නේ නැත. ඒ නැගිටින්නේ බඩගින්න සහ දරිද්‍රතාවයෙන් සැබවින්ම පීඩිත වූ වියරු වැටුණු මිනිසුන්ය. එය මැයි 9 වනදා සවස් වරුවට වඩා අතිශයින්ම වියරු සහ කෲර විය හැක. එයට නායකත්වය දීමට ජවිපෙට තව දුරටත් හැකියාවක් ඇද්දැයි මට බලවත් සැකයක් ඇත. 

නුදුරු අනාගතයේ අරගලයේ නාමයෙන් ලක් පොළවේ සැලෙන සෑම ලේ බිඳුවකටම රනිල් ඇතුළු මුළු පාර්ලිමේන්තුවම වග කිව යුතුය.  


Thursday 19 May 2022

මා දුටු ඔබ නුදුටු සිහිනය

"රනිල් ආවොත් සල්ලි දෙන්න රටවල් තුන හතරක් බලාගෙන ඉන්නවා". 

මේ සිහිනය බොඳවී යද්දී ඒ කතාව කිව්ව කට්ටියත් දැන් තම තමන්ගේ පෝස්ට් ඉවත් කරගනිමින් සිටිති. ඇති හැකි රාජ්‍යයන් ආධාර දෙන්නේ පුද්ගලයන්ට නොව මනාව සැකසු මාර්ග සිතියමකට බව ලංකාවේ සිටින උගතුන්ට පවා නොතේරීම අවාසනාවකි. 

මට රනිල් වික්‍රමසිංහ සමග පෞද්ගලික විරසකයක් නැත. නමුත් මේ අවස්ථාවේදී රටේ සුක්කානම ලබා දීමට තිබූ වැරදීම පුද්ගලයා ඔහු යයි මට සිතෙයි. රනිල් යනු දේශපාලන අනාගතයක් නැති මහල්ලෙකි. ඔහුගෙන් පසු එජාපයට කුමක් වුවත් ඔහුට වගක් නැති බව ඔහු මෙතෙක් සාධක සහිතව පෙන්වාදී ඇත. ඔහුට දේශපාලන භුමිය සඳහා අනුප්‍රප්තිකයෙකු නැත. මෙවන් පුද්ගලයෙක් අවශ්‍යවන්නේ රටක් ඉහල ගියරයක ගමන් කරන විටයි. රීම් එකෙන් යන රටක් මෙවන් අයෙකුට ලැබුණු විට ඔහු කරන්නේ තමන්ගේ හිසේ මෙතෙක් තිබූ නොයෙකුත් fancy අදහස් අත්හදා බැලීමයි. මේවා අසාර්ථක වුවහොත් "ඔන්න ඔහේ තමුසෙලාම කරගන්නවා" යයි පවසා පැත්තකට වීමට ඔහුට කිසිඳු පැකිලීමක් තිබිය නොහැක. එවිට රට ගොඩ ගත නොහැකි තරම් විනාශ වී තිබෙනු ඇත. රනිල්ට අගමැතිකම යාම පිළිබඳව පාර්ලිමේන්තුවේ සිටින කිසිම පාර්ශවයකට අත සෝදාගැනීමට නොහැකිය. සියල්ලෝම පවට කරගැසිය යුතුය.

මා දුටු බියකරු සිහිනය සැබෑ වෙමින් පවතී. රටේ ඉතා දරුණු භාණ්ඩ අහේනියක් ඇති විටෙක වැටුප් ගෙවීම සඳහා මුදල් අච්චු ගැසීමත් සමගම අති-උද්ධමනයක් ඇතිවීම වැළක්විය නොහැක. දැන් මෙය නොකර බැරි දෙයක් වී ඇත. අති-උද්ධමනය බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සමස්ත සමාජ සංස්ථාවේ බිඳ වැටීමකට මග පාදනු ඇත. ඊළඟ තෙමස තුල ලාංකික ජනවිඥානය උඩු-යටි කුරු විය හැක.

දැනට මා දකින එකම ඉතා කෙටි කාලින විසඳුම නම් දේශපාලනයෙන් නොකිලිටි වූ අන්තර්ජාතික සම්බන්ධතා ඇති කමිටුවක් පත්කර ඔවුන් හරහා පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර ලබා ගැනීමයි. මැදපෙරදිග, ජපානය, කොරියාව, ඇමරිකාව, කැනඩාව, මැලේසියාව, ඉන්දියාව, ආදී රටවල මෙන්ම යුරෝපයේද මෙබඳු පරිත්‍යාගශීලින් ඇත. නමුත් මේ පුද්ගලයන් හෝ ආයතන කරා ළඟාවීමට සියළු දෙනා අතර සාමුහික එකඟතාවයක් තිබිය යුතුය. ආගම්-ජාති වාද වලින් ඔළු පුරවාගත් උද්දච්ච ජන සමුහයකට සිඟමන් යැදිය නොහැක. 



Friday 6 May 2022

අබන්ගාගේ කතාව - උ.ගැ. ධනවතෙකු වීමේ මග


අප්‍රිකාවේ කඳුකර කැළෑ පෙදෙසක වෙසෙන ලුගුරු නම් කුඩා දේහධාරී ගෝත්‍රයකට කඳු පාමුළ සැවාන පහත් බිම් වාස භූමිය කරගත් වෙනත් ගෝත්‍රයකින් නොසිතු ලෙස ප්‍රහාරයක් එල්ල විය. එයින් ගම් වාසින් කිහිප දෙනෙකු මිය ගිය අතර ලුගුරු නිවාස කිහිපයක්ම ගිනි තබා විනාශ කිරීමට සැවානාවේ සිට පැමිණි ගෝත්‍රිකයෝ සමත් විය.

මෙම සැවාන භූමියේ වැසියන් විසල් දේහධාරින්ය. ඔවුන් යුධ වැදුනේ තියුණු තුඩු සහිත දිගු හෙල්ල විශේෂයකිනි.

ලුගුරු ගෝත්‍රික නායකයා දිනක් දුටුවේ තම තරුණ පුත් අබන්ගා දිගු ලීයක කෙලවරට තියුණු තලයක් තබා සවිමත් ගස් පට්ටයකින් එය බඳිමින් සිටින ආකාරයයි. ගෝත්‍ර නායකයා තම පුත්‍රයාගෙන් ඔහු කරන කාර්ය පිළිබඳව විමසීය.

සිය පියා දෙස බලු අබන්ගා මෙසේ පැවසුවේය.

"ඔවුන් ළඟ මේ ආයුධය තියෙනවා. ඒ වගේම ඔවුන් බොහොම ශක්තිමත්. ඊළඟ වතාවේ ඔවුන් ආවොත් මුහුණ දෙන්න නම් මේ හෙල්ලයක් හැම ලුගුරු තරුණයෙක් ලඟම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි, අපි පුළුවන් තරම් හොඳින් කාල බීල ඔවුන් වගේ උස් මහත් වෙන්න ඕනේ".

දිගු සුසුමක් ගත් ගෝත්‍ර නායකයා මෙසේ කිවේය.

"අබන්ගා, මේ අහන්න, ඔවුන් පරම්පරා ගණනාවක ඉඳන් හෙල්ලෙන් සටන් කරන්න පුරුදුවෙලා තියෙන්නේ. උඹලට තව අවුරුදු ගණනක් පුරුදු උනත් ඔවුන් වගේ හෙල්ල හසුරුවන්න පුළුවන් වෙන එකක් නැහැ. ඒ වගේම තමයි ඔවුන් උස මහත නිසා ඔවුන්ට සැවානා බිම් වල වේගයෙන් දුවන්නත් සතුන් සමග පොර බදන්නත්  පුළුවන්".

අබන්ගාට අසල තිබු සුවිසල් ගසක් පෙන්වූ ගෝත්‍ර නායකයා,

"අපිට තියෙන කුඩා ඇඟවල් නිසා අපිට අර වගේ විශාල ගස් නගින්නත් ගස් අතර වේගයෙන් ගමන් කරන්නත් පුළුවන්. නමුත් ඔවුන්ගේ උස මහත ඇඟවල් එක්ක ඔවුන්ට එහෙම කරන්න අපහසුයි. ඒ වගේම තමයි අපි මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන්ම දක්ෂයි ඈත ඉඳන් බට හීයෙන් විදින්න. ඒක තමයි අපේ සටන් කලාව".

"කලින් පාර අපිට පහර දීලා ඉවත් වෙන්න සැවාන මිනිසුන්ට හැකි වුනේ අපි එහෙම පහර දීමක් කොහොමවත්ම බලාපොරොත්තු වෙලා තිබුනේ නැති නිසයි. දැන් අපි ඒකට සුදානම්. ඔය හෙල්ලවල් හදන එක පැත්තකට දාල හී බට අරන් ලැහැස්ති වෙමු. ඔවුන් නැවත පැමිණුනොත් ඔවුන්ව ගස් අතරට රැගෙන යන්න උපායක් කල්පනා කරමු".

"අබන්ගා, මේක හොඳට අහගන්න, කිසිම අවස්ථාවක සතුරාගේ සටන් කලාවට අනුකුලවත්, සතුරාට හුරු භූමියේත් සටනක් පටන් ගන්න එපා. හැම විටම සතුරා අපට හුරු භූමියකට රැගෙන් විත් අපේ සටන් කලාවෙන් ඔහුට පහර දෙන්න"

-උ.ගැ. ධනවතෙකු වීමේ මග: Chandima Gomes