Friday 28 August 2020

රිලවුන්ට එදිරිව රිලව්


කැලේ ගහ කොළ ඉඩෝරෙට කේඩෑරි වෙලා හේබෑ වෙලා ගිහින්. වැවේ වතුර හොඳටම අඩුවෙලා. වතුර බොන්න යන සත්තුන්ව බඩගින්නේ ඉන්න කිඹුල්ලු අල්ලාගෙන කනවා. මේ නිසා අනතුරක් නැති දියකඩිති හොයාගෙන වතුර පිපාසෙන් පෙලෙන සත්තු ඒ මේ අත ඇවිදිනවා. 

ඔය අතරේ වඳුරෝ කීප දෙනෙක් එකතුවෙලා අසරණ වෙච්ච සත්තු ටික වැව අද්දර වැලිතලාවට කොහොම හරි එක් රැස් කළා. 

"කැලේ රජ කළ අලි ඇත්තු ටික කැලේම තිබුණු සරු ගස් ටික ඉවක් බවක් නැතිව කාල දැම්මා. ඒක නිසා තමයි අපිට මෙහෙම උනේ" මහ වඳුරෙක් තත්වේ පැහැදිලි කළා.

"අපි කැලේ ඉන්න නුවණක්කාර රිලව් රංචුව නායක කමට පත්කරගමු" කලින් කතා කරගෙන තිබුණු විදියට නාකි වඳුරෙක් යෝජනා කළා. 

"රිලව් නුවණක්කාරයි කියල කවුද කියන්නේ" අහිංසක හාවෙක් ඇහුවා.

"මේ මුළු කැලේම ඉන්න පොඩ්ඩක් හරි මොළයක් තියෙන ඔක්කොම සත්තු ඒක දන්නවා" කොටියා බොහොම සද්දෙන් ගොරවලා කිව්වා. වලහයි, වඳුරෝ ටිකයි ඒ කතාව අනුමත කරලා ලොකු සද්දයක් දැම්මා. එකත් කලින් ඉඳලම ගහපු සැලැස්මක්. හාවා ලජ්ජාවෙන් බිම බලා ගත්තා.

ඉතින් ඔන්න ඔහොම රිලව් රජ වුණා. 

මුලින්ම වතුර ප්‍රශ්ණේ. රිලව් යෝජනා කළා කිඹුල්ලුන්ට ගල් ගහන්න. එතකොට කිඹුල්ලු ටික වැව දාල පැනල දුවයි කියල රිලව් අනෙක් සත්තුන්ට කිව්වා. කට්ටිය හැමෝම වගේ වැඩේට කැමති වුණා.

එදා හවස සත්තු ටික ඔක්කොම වැව අද්දරට රැස්වුණා. මහ රිළවා ලොකු ගලක් අරන් ඇවිත් මුලින්ම කිඹුල්ලු ඉන්න පැත්තට ඒක වීසි කළා. දැන් ඔක්කොම සත්තු කිඹුල්ලුන්ට ගල් ගහනවා. 

කිඹුල්ලු ටිකට කවදාවත් වෙච්ච නැති මේ වැඩේ ටිකක් අමුතුයි. උන් පොඩ්ඩ පොඩ්ඩ ගල් ගහන සත්තු ඉන්න පැත්තට ඇදුනා. කිඹුල් හමට ගලක් වැදුනට දැනෙනවායෑ. සත්තු ටික හිතුවා කිඹුල්ලුන්ට හොඳටම රිදිලා තමයි මේ වැවෙන් ගොඩටත් එන්නේ කියල. වැවෙන් එලියට ආපු තඩි කිඹුලෙක් ඉස්සරහින්ම ගල් ගගහ හිටපු මුවෙක්ව ඩැහැගෙන වතුරට පැන්නා. අනෙක් කිඹුල්ලුත් උගේ පස්සෙන්ම ආයෙත් වතුරට පැන්නා. පිටිපස්සෙන් ගල් ගහමින් හිටපු සත්තු ටික හිතුවේ කිඹුල්ලු බයවෙලා දිව්වා කියලා. උන් තව ටිකක් ඉස්සරහට ඇවිල්ලා ගල් ගහන්න ගත්තා. බඩගින්නේ හිටපු තව කිඹුල්ලු ටිකක් වටෙන් ඇවිත් ගෝනෙක්වයි වල් උරෝ දෙන්නෙක්වයි අල්ලාගෙන වතුරට පැන්නා. 

ඔය කලබගෑනිය අස්සේ රිලව් ටිකයි, වඳුරෝ ටිකයි, කොටියයි, වලහයි වැවේ අනෙක් පැත්තට ගිහින් හොඳ හැටි වතුර බිව්වා. මොකද කිඹුල්ලු ටික ගල් සෙල්ලම බලන්න ගිහිල්ලනේ. 

දවස් කීපයක් මේ වැඩේ මේ විදියට සිද්ධ වුනා. කැලේ හිටපු සමහර සත්තුන්ට තේරුණා රිලව් කරන්නේ කපටි වැඩක් බව. උන් තැන තැන කියන්න ගත්තා මේ වැඩේට අහුවෙන්න එපා කියල. 

මේ කතාව රිලවුන්ටත් ආරංචි වුණා. රිලව් රංචුව රැස් වෙලා සාකච්චා කළා කලබල වෙච්ච සත්තු ටික ගොනාට අන්දගන්න විදියක්. 

පහුවදා නැට්ට කොට රිලවා කැලේ සත්තු ඉන්න තැන්වලට ගිහින් මෙහෙම කිව්වා "මම කොයිතරම් කිව්වද මහ රිලවට ඔය ගල් ගහන වැඩේ හරියන්නේ නැහැ කියල. ඇහුවේ නෑනේ. අනේ අර කිඹුල්ලු අල්ලගත්ත මුවයි, ගෝනයි, වල් උරෝ දෙන්නයි අනෙක් පොඩි සත්තු ටිකයි ගැන මට හරි දුකයි".

"එකනේ බලන්නකෝ නැට්ට කොට රිලවට කල්පනා වුන තරම් මහ රිලවට තේරිලා නැහැනේ" සමහර සත්තු කියන්න ගත්තා.

"නැට්ට කොටා කොහොමද එහෙම අපේ මහ රිලවා ගැන කියන්නේ. ඌට පිස්සු. මහ රිලවා හැමදාම වැඩක් කරන්නේ හොඳට හොයල බලල" මූණ කැත අළු රිලවා කැලේ පුරා සද්දේ දාගෙන ඇවිද්දා. 

දැන් රිලව් ටික දෙකට තුනට බෙදිලා අනෙක් සත්තු ඉස්සරහ එකාට එකා කෑගහගන්නවා. වලහයි, කොටියයි, වඳුරෝ ටිකයි මේ වාදේ මැද්දට පැනල එහෙටයි මෙහෙටයි බනිනවා. දැන් කැලේ ම ඉන්න සත්තුන්ගේ කතාව මේ වාදේ ගැන. බොහොම අය තර්ක කරනවා කොයි රිලවද හරි කියලා තීරණය කරගන්න බැරුව. 

ඔය අස්සේ තාමත් රිලවු රංචුවේ නුවණ ගැන දැඩි විශ්වාසයකින් ඉන්න මී හරක් ටිකක් එකතුවෙලා හවසට හවසට කිඹුල්ලුන්ට ගල් ගහනවා. 

- මේක මේ පොඩි දරුවන් වෙනුවෙන් ලියපු කතාවක් 



Saturday 22 August 2020

අපේ යුතුකම

වසර 2000 දී පමණ ඩුබායි ගුවන් තොටුපොලේදී ගුවන් යානා පමාවක් නිසා අහම්බෙන් මා සමග කතාබහේ යෙදුනු චීන ජාතිකයෙක් මට අපූරු කතාවක් කීය. එකල මගේ කථන පාලනයේ අඩුපාඩු කම් බොහෝ තිබුණි (අද නම් මම මුල් වරට හමු වූ අමුත්තකුගෙන් කෙසේවත් මෙසේ නොඅසමි).

"ඔබේ රටේ පාලකයන් හරිම අමානුශිකයි, ඔවුන් ඔබේ නිදහස අහුරලා, ඔබලා කතා කිරීමටත් බියයි. ඔබට හිතෙන්නේ නැද්ද කවදා හරි ඔබේ රට මහා විනාශයකට පත්වෙනවා කියා, සෝවියට් දේශයට උනා වගේ?"

මගේ චීන මිතුරා සිනාසුනි. 

"වෙන්න පුළුවන්" ඔහු කීය. චීන සමාගමක බ්‍රිතාන්‍ය ශාකාවේ නිලධාරියෙක්වන ඔහුගේ ඉංග්‍රීසි බස චතුර විය. 

"අපිට තියෙන වැඩත් එක්ක ආණ්ඩු කරන අය මොනවද කරන්නේ කියල හිත හිතා ඉන්න අපිට වෙලාවක් නැහැ. ඒ අයගේ වැඩ අපි කරන්න යනවා නම් ඒ අය මොකටද? පුරවැසියෙක් විදියට අපේ යුතුකම් අපි කරන්න ඕනේ කියන එක තමයි අපි බොහෝ දෙනෙක් හිතන්නේ. පාලකයෝ වරද්ද ගත්තොත් ඒක අපේ අවාසනාව. එහෙම කියල අපේ යුතුකම් අපි නොකර හිටියොත් කොහොමටත් අපි විනාශ වෙනවා". චීන යාළුවා ඔහුගේ සිනහව නිරතුරුවම මුවෙහි රඳවා ගනිමින්  කියාගෙන ගියේය.

අද වසර 20ට පසු චීනය එදාට වඩා බොහෝ සෙයින් ප්‍රභලය. එය සෝවියට් දේශය පසුපස යන පාටක් නැත. මා දැන් කියන්නේ එදා චීනා කී ජනතාවගේ යුතුකම්වලට මා වෙතින් අඩුවැඩිය පිරවුණු විස්තරයයි. තමා කාට චන්දය දුන්නත්, පත් වූ රජයට තමා කැමති වුනත් නැතත්, සියලු දෙනාගේ යහපත උදෙසා අප සියලු දෙනාටම කල හැකි දේවල් කිහිපයක් තිබේ. ඊළඟ වර රජය විවේචනය කිරීමට පෙර අපි මේ යුතුකම් ඉටු කරන්නේදැයි සිතා බලමු.

1. නිරෝගී ජිවිතයක් ගතකරන්න 

ලංකාවේ ජනතාව භාවිතාකරන බටහිර ඖෂධ හෝ ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් 99% ම පිටරටින් ගෙන්වයි (මා වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න). මේ අනුව ඔබ අසනීපයකට රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් ගන්නා සෑම බෙහෙත් වේලකටම විශාල විදේශ විනිමයක් පිටරටට ඇදී යයි. ඔබ ප්‍රතිකාර ගන්නේ රජයේ රෝහලකින් නම් ඔබට ලැබෙන බෙහෙත් සඳහා ලංකාවේ සෑම පුරවැසියකුම මුදල් ලබා දෙයි. 

මදක් කල්පනා කරන්න. ඔබ කවදාවත් සිතා ඇද්ද නිරෝගීව ජීවත්වීම රටට ඔබගෙන් ඉටුවිය යුතු යුතුකමක් බව? ඔබ ආහාර පාන ගැනීමේදී කෙතරම් සැලකිලිමත්ද? සුප් කැටයේ සිට ක්ෂණික නූඩල්ස් හරහා කෝලා සහ පැණි බීම වර්ග දක්වා ඔබ ආහාරයට ගන්නේ ශරීරයට දෙතිස් වද දෙන විෂ බව ඔබ සිතුවාද? මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නෙක් නම් එහි සිරුරට අහිතකර සීමා පිළිබඳව සිතනවාද? ව්‍යායාම කිරීමට ඔබ කෙතරම් දුරට යොමු වෙනවාද? ගෙදර කාන්තාවන්ගේ සෞඛ්‍යය පිළිබඳව ඔබ කෙතරම් සැලකිලිමත්ද? ලංකාවේ බහුතරයක් කාන්තාවන් වයස 35 ඉක්මවන විට කොන්දේ කැක්කුම්, ස්නායු ආබාධ සහ හිසරදයන්ට ලක් වන බව ඔබ දන්නවාද? ඊට හේතුව ඔවුන් සීමාව ඉක්මවා වෙහෙසකාරී ගෘහස්ත වැඩවල යෙදීම, අවශ්‍ය ව්‍යායාමවල නොයෙදීම (බොහෝ විට නිවසේ අනෙක් අයගෙන් ධෛර්ය ගැන්වීමක් හෝ උපදෙසක් නොලැබීම නිසා), සහ මානසික ආතතිය වැනි කාරණා බව වටහා ගෙනද?

2. දේශීය දේ භාවිතා කරන 

අද ලාංකිකයෙක් උදෑසන අවදිවී මුලින්ම අතට ගන්නේ වෙනත් රටකින් ආනයනය කල දත් බුරුසුවකි. එතැන් සිට රාත්‍රී නින්දට යන තුරු ලාංකිකයා පාරිභෝජනය කරන දෙයින් 80% ට වඩා පිටරටින් පැමිණෙයි. ඉන්දියානුවාගේ හෝ පකිස්ථානුවාගේ නොදකින පරදේශීය දෙයට දක්වන අධික කැමැත්තක් හෝ දේශීය දේ පිළිබඳව දක්වන නොසැලකිල්ලක් මම ලාංකිකයා තුල දකිමි. මේ දීන චින්තනයෙන් මිදෙන තෙක් අපට දියුණුවේ කඩඉම් පසුකිරීම අපහසුය.

ඔබට හැකි නම් අද දින සිට කෝලා බෝතලයකට දෙන මුදල තැඹිලි ගෙඩියකට දෙන්න, සබන් කෑල්ලක් ගනිද්දී එය ස්වදේශීය (ලංකාවේ අමුද්‍රව්‍ය යොදාගෙන සාදන) නිෂ්පාදනයක් දැයි විමසා බලන්න, කොස්සක්, ඉදලක් ගැනීමේදී දේශීය ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තැනූවක්දැයි සොයා බලන්න, ලංකාවේ සාදන පාවහන් යුගලක්, ඇඳුමක් ගන්න, ඔබ ජාතිය වෙනුවෙන් මහඟු සේවයක් කළා වනු ඇත. 

මෙහිදී ඔබගේ ප්‍රධානම කර්තව්‍යයක් විය යුත්තේ රූපවාහිනී දැන්වීම් වලට වහල් නොවීමයි. පර දේ ගෙන්වන බහුජාතික සමාගම්වලට මිලියන ගණනින් වියදම් කර දැන්වීම් දැමීමට හැකියාව ඇත. එය නැවතීමට ඔබට හෝ මට නොහැකිය. එහෙත් ඒවාට නොරැවටී, ගැති නොවී සිටීමට අපට සම්පුර්ණ නිදහස ඇත. අප විසින්ම අපගේ නිවහල් චින්තනය බහුජාතික සමාගම් වලට පවා නොදේ නම්, එය වෙනස් කිරීමට ඔවුනට හැකියාවක් නැත.

3. සුපිරි වෙළඳසැලෙන් ඉරිදා පොළට 

මීට දශක දෙකකට පමණ පෙර ලාංකික ජන ජිවිතයේ විශාල පෙරලියක් සිදුවිය. ඒ මධ්‍යම පන්තියේ තරමක් ඉහලින් සිටි බහුතරයක් හන්දියේ කඩෙන් සුපිරි වෙළඳසැලට මාරු වීමයි. මෙය ප්‍රවාහන පහසුව (බොහෝ දෙනෙකු වාහන හිමිකරුවන් වීම), කාලය ඉතුරු කරගැනීම මෙන්ම සමාජයේ කැපී පෙනීම අරඹයාද සිදුවිය. මේ පිරිසට පහල මධ්‍යම පන්තියේ පිරිසද කෙසේ හෝ එකතුවීමට උත්සහ කරන ලදී. මේ අනුව රටේ මුදල් වියදම් කිරීමේ හැකියාව ඇති විශාල පිරිසක් සුපිරි වෙළඳසැලට මාරු විය. අප නොසිතුවාට මෙය විශාල ආර්ථික සහ සාමාජීය ගැටළුවකට මුල පිරීය.

සාමාන්‍යයෙන් සුපිරි වෙළඳ සැලක විකිණෙන බඩුවකින් 40% ක් එම වෙළඳසැලට හිමිවෙයි. එසේම සුපිරි වෙළඳ සැලක මුල් තැන නිතරම ලැබෙන්නේ බහුජාතික සමාගම්වල භාණ්ඩ සඳහාය. 

ජාත්‍යන්තරව කරන ලද සමීක්ෂණ වලින් පෙනෙන්නේ සමාජයේ බහුතරයක් සුපිරි වෙළඳසැලකට ගිය විට බඩු ගැනීමට අවශ්‍ය කාලයට වඩා දෙතුන් ගුණයක කාලයක් නිකරුනේ වැය කරන බවයි. එසේම ඔවුහු ඇසුරුම් සහ ප්‍රදර්ශන මගින් කෙරෙන පෙළඹවීම් මත අවශ්‍ය නොවන බඩු රාශියක් සඳහාද මුදල් වැය කරති. 

අවසානයේදී රටේ ජනතාවට මෙමගින් විශාල පාඩුවක් සිදුවන අතර රටේ මුදල් සමාජයේ ඉතා සුළු කොටසක් අතට එක් රැස්වෙයි. ඒ සමගම සුළු ව්‍යාපාර මගින් මුදල් උපයාගත් පහල මධ්‍යම පන්තියේ විශාල පිරිසකගේ ජීවිකාවද බිඳ වැටී ඇත. 

සුපිරි වෙළඳ සැලෙන් නික්මී හන්දියේ ධර්මදාස ස්ටෝර්ස් එකටත් සති හෝ දිනපතා පොළටත් නැවත සංක්‍රමණය වීමට කාලය එළඹ ඇත. 

4. ඔබේ සේවය හරියට කරන්න 

ලොව කිසිඳු රටකට වඩා විශේෂත්වයක් මම ජපානය සහ ජර්මනිය යන රටවල දකිමි. ඒ සමාජයේ ඉතාම පහල ස්ථරයේ සිට ඉහලම තැනට යන තුරු සියළු දෙනාම පාහේ තමාගේ ජීවිකා වෘතිය හැකිතාක් නිවැරදිව සහ යහපත් ආකාරයෙන් ඉටු කිරීමට උත්සහ දැරීමයි. මෙහි යහඵල සමාජයේ සියලුදෙනාම භුක්ති විඳිති.  

දැන් ඔබ සිතන්න. ඔබ රජයේ සේවකයෙක් හෝ පෞද්ගලික අංශයේ සේවකයෙක් නම් ඔබ ලබා ගන්නා පඩියට කොපමණ සාධාරණයක් ඉටු කරනවාද? ඔබ ස්වයං ව්‍යාපාරයක යෙදෙන්නෙක් නම් තම පාරිභෝගිකයාට හෝ සේවාලාභියාට ගන්නා මුදලට සරිලන සේවයක් ලබා දෙනවාද? බොහෝ දෙනෙකුට මේ පැනයට හිතට අවංකව "ඔව්" යන පිළිතුර ලබා දිය නොහැකි වනු ඇත. 

මා පෞද්ගලිකවම දන්නා පරිදි බොහෝ ආයතනවල කිසිම වැඩක් නොකරන හෝ වැඩ ඉතා නොසැලකිල්ලෙන් කරන පිරිස අතර වෘතිය සමිති නායකයන් මුල් තැන ගනී. එසේම ආයතනය, පරිපාලනය හෝ රජය විවේචනය කිරීමේ ප්‍රමුඛතාවය ගන්නේ තමන්ගේ සේවය ඉතා අයහපත් අන්දමින් කරනා පිරිසයි. මේ ගැන ස්වයං-අවබෝධයකට පැමිණ ඔබේ පිළිවෙත් වෙනස් කරගන්න.

5. නාස්තිය පිටුදකින්න 

මා විසින් රචිත "ධනවතෙකු වීමේ මග" පොතෙහිද පරිච්ඡේද කිහිපයකම අවධාරණය කල පරිදි පුද්ගලයෙකුගේ, පවුලක හෝ රටක පරිහානිය සීඝ්‍රගාමී කිරීමේ ප්‍රධානම සාධකයක් නම් නාස්තියයි. මෙතෙක් මා සංචාරය කර ඇති රටවලදී මා දුටු විශේෂ රටාවක් නම් රටක සිදුවන නාස්තිය එම රටෙහි දිළිඳු කමට අනුලෝමව සමානුපාතික වන බවයි. එනම් අඩුවෙන්ම නාස්තියක් ඇත්තේ ලොව ධනවත්ම රටවල වන අතර වැඩියෙන්ම නාස්ති කරන්නේ ලොව දිළිඳුම රටවල්ය. 

මුලින්ම ඇතිවන්නේ නාස්තියද දිළිඳුකමද යන්න මම නොදනිමි. එහෙත් නාස්තිය වලකාගත නොහැකි රටක් දියුණු වේ යයි සිතීම නම් මුලාවක් බව පමණක් මට වැටහේ. ආහාර පාන, ජලය, විදුලිය, ලිපි ද්‍රව්‍ය, රෙදිපිළි ආදී මෙකී නොකී දහසකුත් දෑ ලාංකිකයා නිරන්තරයෙන් නාස්තිකර දමයි. මා කියන දේ වටහා ගැනීමට නම් ඔබ බුෆේ ක්‍රමයට ආහාර බෙදාගෙන භුක්ති විඳිය හැකි ස්ථානයකට හෝ උත්සවයකට ගොස් බලන්න. 

විශේෂයෙන්ම, බොහෝ දෙනෙක් තම සේවා ස්ථානයේ කරන නාස්තිය මොන තරම්දැයි සිතා බලන්න. 

ඔබ භාවිතය සඳහා අතට ගන්නා ඕනෑම දෙයක් එහි උපරිමය දක්වා ප්‍රයෝජනයට ගන්න. එසේ නොහැකි නම් එයට අත නොතබන්න. තමන්ට අවැසි තරමින් පමණක් ඕනෑම දෙයක් ලබා ගන්න. 

ඉහත සඳහන් පස් වැදෑරුම් ක්‍රමවේදය සඳහා ඔබට කිසිවෙකුගේ අනුග්‍රහයක් හෝ රජයේ මැදිහත්වීමක් අවශ්‍ය නොවේ. ඒ සෑම කරුණක්ම ඔබට පෞද්ගලික මට්ටමින් කල හැකි දේවල්ය. එය ක්‍රමයෙන්, පවුල, ගම, නගරය හරහා රටටම ව්‍යාප්ත වනු ඇත. 

මේ සියල්ල කිරීම සඳහා සිත සකස් කරගැනීමට ඔබට තව එක් දෙයක් අවශ්‍යවේ. එනම් තම ඊර්ෂ්‍යාව දුරලීමයි. ඊර්ෂ්‍යාව ඔබගේ මානසික සහනය වනසා දමයි. මමත්වය ඉස්මතු කරයි. අනෙකාට වින කැටීමට ක්‍රමයක් ඇත්තෙම නැත්නම් අවවාද අනුශාසනා දෙන මුවාවෙන් හෝ අනෙකාට පහරදීමට ඊර්ෂ්‍යාව ඔබව පොළඹවයි. මේ ඊර්ෂ්‍යාව පිරි ලාංකික චරිත මට ජීවිතයේදී අනන්තවත් හමුවී ඇත. ලෝකයේ කොතැනක සිටියත් ලාංකිකයාට දුරු කරගැනීමට අසීරු මේ ජානගත ගුණය කෙසේ හෝ සහමුලින් උපුටා දැමීමට ඔබත් අධිෂ්ඨාන කරගන්න. අළුත් ලොවක් එතනින් බිහිවනු ඇත. 


Sunday 16 August 2020

මම


අවදියෙන් සිටින "මම". නිදා ගෙන සිහින දකින "මම". සිහින නොමැති තද නින්දේ වෙසෙන "මම". මේ මමම බව මට වැටහේ. එසේ නම් මේ "මම" කවුද? 

මිනිසා වසර දස දහස් ගණනක් තිස්සේ වද වූ එක් පැනයක් ඇත. එනම් තමා කවරෙකුගේ නිර්මාණයක්ද යන බවයි. මේ නිර්මාණකරු පිළිබඳව ඔවුන් ආකෘති විශාල ප්‍රමාණයක් නිර්මාණය කරගෙන ඇත. 

නිර්මාණකරු පිළිබඳව බොහෝ සෙයින් උනන්දු වන මිනිසා නිර්මාණය පිළිබඳව සිතන්නත් අකමැතිය. අඩුම ගණනේ -"මම" යයි මම අර්ථ දක්වාගන්නා "මම" කවුද?- යන්නට යම් තාර්කික පදනමක් මත ආකෘතියක් ගොඩනගා ගැනීමට පවා උත්සුක වී ඇත්තේ සාමාජීය සංකල්ප අතලොස්සක පමණි. 

පෞද්ගලිකව මගේ මතය නම් "මගේ නිර්මාණකරු" පිළිබඳව සෙවීමට ප්‍රථම "මම" පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම තුල අපට අත්වන යහඵල බොහෝ ඇති බවයි. එහෙත් මෙහිදීද අපට කල හැක්කේ නිර්මාණකරු පිළිබඳව මෙන්ම "මම" පිළිබඳවද ආකෘතියක් තනා ගැනීම පමණි. එහි හරි - වැරදි බව සාක්ෂාත් කරගත හැකි එකම ක්‍රමවේදය ස්වයං-අත්දැකීමයි. 

විද්‍යාව යනුවෙන් අප කරන්නනේ යම් සංකල්පයක් පිළිබඳව ආකෘති තැනීමයි. මේ පිළිබඳව මම මීට පෙර පල කල ලිපියකින් පැහැදිලි කලෙමි. ගොඩනගා ගත් ආකෘතිය ආශ්‍රයෙන් විශ්වීය සංකල්ප පැහැදිලි කරගැනීමත් ඒ තුලින් පැවැත්මට අවශ්‍ය මෙවලම් තනා ගැනීමත් (තාක්ෂණය) මිනිසා විද්‍යාවේ නාමයෙන් කරයි. යම් ආකෘතියක් මේ කාරණා දෙක සපුරාලීමට අසමත් වන විට මිනිසා තම ආකෘතිය අවශ්‍ය පරිදි වෙනස් කරගනී. ඉන් පසු නව ආකෘතිය ඔස්සේ කලින් ආකෘතිය අසමත් වූ කරුණු වලට පිළිතුරු දීමට උත්සහ කරයි. එය වසර මිලියන දෙකක පමණ සිට පවතින විද්‍යාවේ නිරන්තරයෙන් වෙනස්වන සුළු ස්වභාවයයි. එබැවින් විද්‍යාව "බොරුවක්", "පට්ටපල් බොරුවක්" ආදී වශයෙන් කරන ප්‍රකාශවල වැදගම්මක් හෝ තේරුමක් නැත.

මිනිසා තමාගේ යහපත තකා විද්‍යාව තනන ආකෘති නිරතුරුවම වෙනස් කරද්දී මිනිසා විසින්ම ආගම නමින් තනා ගත් ආකෘතිය වෙනුවෙන් තමන් වෙනස් වීමට උත්සහ දරයි. විද්‍යාවේ සහ ආගමේ ප්‍රධාන වෙනස මෙයයි. නමුත් ආගම නමින් පවතින ආකෘතියද කාලය සමග සෙමෙන් වෙනස් වේ. එය බොහෝ විට සිදුවන්නේ බහුජනයාගේ යහපත සඳහා නොව පාලකයන්ගේ හෝ පූජකයන්ගේ අවශ්‍යතාවය වෙනුවෙනි.

අපි දැන් නැවතත් "මම" වෙත පැමිණෙමු. 

අප අවදි ලෝකය, ස්වප්න ලෝකය සහ ගැඹුරු නින්ද යන අවස්ථා තුනෙන් අවදි අවස්තාව පමණක් සැබෑ ලෝකය හෙවත් යථා ලෝකය ලෙස හඳුන්වමු. නමුත් මෙම අර්ථ දැක්වීමේ අර්ථයක් ඇත්දැයි ගැඹුරට සිතා බැලිය යුතුය. 

අපි දැන් රත්‍රං කැටයක් ගැන සිතමු. එයින් ඔබට මාලයක් තැනිය හැක. මාලය උණුකර වළල්ලක් තැනිය හැක. වළල්ල උණු කර පා සළඹක් තැනිය හැක. මාලය, වළල්ල, සහ පා සළඹ යනු එකක් නොවේ. නමුත් එකක් නොවේද නොවේ. මන්ද ඒ තුනේම ඇත්තේ එකම රත්‍රං ටික බැවිනි. රත්‍රං යනු මාලය, වළල්ල හෝ පා සළඹ නොවේ. එහෙත් ඒවා නොවේද නොවේ. මන්ද හැඩ තුනකින් අපිට පෙනෙන්නේ එකම රත්‍රං ටික බැවිනි. 

දැන් මම ආකෘතියක් ගොඩ නගමි. "මම" නැමති භූතාර්ථය රත්‍රං ලෙසටත්, මාලය, වළල්ල, සහ පා සලඹ; අවදි, ස්වප්න සහ ගැඹුරු නින්ද යන අවස්ථා තුනටත් අපි උපමා කරමු.

"ඔබ මම යයි හඳුන්වා ගන්නා මම පෙන්වන්න" යයි මා ඔබට පැවසුවහොත් ඔබ බොහෝ දෙනෙක් නිසැකවම තම සිරුර දෙසට ඇඟිල්ල දිගු කරනු ඇත. එහෙත් ඔබ ඒ පෙන්වන්නේ පංචෙන්ද්‍රියට ගෝචරවන ආහාරමය කෝෂයයි. 

මෙහි සිමා මායිම් තම සිරුර ලෙස ඔබ සනිටුහන් කරගන්නේ ඔබගේ ඇසට සංවේදනය වන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඉතා කුඩා කොටස (දෘශ්‍ය පරාසය) අනුසාරයෙනි. යම් හෙයකින් ඔබට විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තව පුළුල් පරාසයක සංඛ්‍යාත සංවේදනය වේ නම් ඔබ "මම" යයි කියාගන්නා ප්‍රපංචයේ හැඩතල බොහෝ සෙයින් වෙනස් වනු ඇත. බොහෝ විට මෙහිදී ඔබට "මම" හා "මම නොවන" ලෙස ඔබ කරන විබේදනය අතිශයින් සංකීර්ණ ගැටළුවක් වනු ඇත.

ස්පර්ශ සංවේදනය සම්බන්ධයෙන් පවා අපට මේ ගැටළුවම ඇතිවේ. උදාහරණයක් ලෙස වාතය අපේ ස්පර්ශයට සංවේදනය වන්නේ නැත. ඊට හේතුව වාතය කියා යමක් නොමැතිවීම නොව වාත අංශු මගින් මොලයට සංවේදනය වන තරම් විශාල විද්‍යුත් සංඥාවක් ඇතිකිරීමට නොහැකි වීමයි. එහෙත් වායු අණු වේගයෙන් පැමිණ සමේ ගැටෙන විට අපට දැනේ. මෙය අපි සුළඟ නමින් අර්ථ දක්වමු.

මේ ආකාරයටම අපගේ සිරුර වටා සිරුරට අයත් යයි අපට අර්ථ දක්වා ගත හැකි අණු, පරමාණු, ඉලෙක්ට්‍රෝන රාශියක් පවතී. මේවා අපට සංවේදී වනවා නම් අපගේ සිරුර මීට වඩා පුළුල් වනු ඇත. මින් හැඟෙන්නේ ආහාරමය කෝෂය සම්පුර්ණයෙන්ම අපගේ සංවේදන පද්ධතියට සාපේක්ෂ අර්ථ දක්වා ගැනීමක් බව අපට තේරුම් යා යුතුය.

මේ අනුව ආහාරමය කෝෂය "මම" නොවන බව ඔබට අවබෝධ වනු ඇතැයි මම සිතමි.

එසේනම් "මම" යනු මනසද?

මනස සහ සිතුවිලි ක්‍රියාදාමය (thought process) යනු මොළය හා සම්බන්ධ සිද්ධාන්තයකි. මෙන්ම මනසද සෑම නිමේෂයකදිම අලුත්වෙයි. මම යයි මා හඳුන්වන ප්‍රපංචයේ කය සහ මනස මීට වසර 5 කට පෙර තිබූ කය සහ මනසට වඩා සම්පුර්ණයෙන්ම වෙනස්ය. මේ අනුව කය මෙන්ම මනසද "මම" විය නොහැක.

ඊළඟට "මම" හා සම්බන්ධ අනෙකුත් වැදගත්ම සංසිද්ධිය නම් මතකයයි.

මතකය මොලය හා පමණක් සම්බන්ධ සංසිද්ධියක් ලෙස සැලකීම සම්පුර්ණයෙන්ම වැරදිය. මතකය කොටස් දෙකකි. එනම් සිතිවිලි මතකය (thought memory) සහ ජානමය මතකයයි (genetic memory). මට මතක ඇති කුඩා කාලය, නෑදෑ හිතවතුන්, ආගිය තැන්, උගත් පාඩම් ආදිය සිතිවිලි මතකයි. එය මොලයේ කොටසක් හා සම්බන්ධය.

නමුත් මීට වඩා අතිශයින් විශාල මතකයක් අපගේ සිරුරේ සෑම සෛලයක් පාසාම ඇත. එය වසර මිලියන ගණනකට පෙර අපේ මානව/වානර මුතුන් මිත්තන් තුල තිබූ ගතිගුණ පිළිබඳව පවා දත්ත ගබඩා කරගෙන ඇත. ගස්ලබු කැබැල්ලක් ලේනෙකු අනුභව කල විට එය ලෙනෙකුගේ ශරීරයක් බවට පත්වේ. කාන්තාවක් අනුභව කල විට කාන්තා ශරීරයක් බවට පත්වේ. පුරුෂයකු අනුභව කල විට පුරුෂ ශරීරයක් බවට පත්වේ. මෙය මෙලෙස සිදුවන්නේ ජාන මතකය නිසාවෙනි. මේ මතකයන් දෙකම මරණයත් සමගම දිරාපත් වී මුලද්‍රව්‍ය බවට විභේදනය වෙයි. එසේනම් "මම" යනු කය හෝ මනස විය නොහැකි බව තවදුරටත් සනාථ වෙයි. 

මේ කය සහ මනසින් ස්වායත්ත "මම" නම් භූතාර්ථය  අපට විඥානය (consciousness) නමින් හැඳින්විය හැක. නමුත් විඥානය සඳහා විවිධ ආගම්වල විවිධ අර්ථදැක්වීම්  තිබෙන බැවින් මෙම වදන ව්‍යාකූල විය හැක. එබැවින් මම මෙම "මම" නැමැති භූතාර්ථය සඳහා පරිඥානය නමැති නව වදනක් භාවිතා කරමි. මෙම පරිඥානය කලින් උපමාවෙහි වූ රත්‍රං වලට ආදේශ කරන්න. නමුත් සැබවින්ම මෙම රත්‍රං උපමාව සහ පරිඥානය අතර විශාල වෙනසක් ඇති බව දැන් මම පවසමි. 

රත්‍රං යනු ගුණ සහිත පදාර්ථයකි. එය අපගේ දැනුම් සම්භාරය සහ විශ්ලේෂණ ශක්තිය තුල අර්ථ දැක්විය හැක. කය සහ මනසද එසේ ගුණ දැක්විය හැකි භූතාර්ථයන්ය. ගැහැණු-පිරිමි, උස-මිටි, සුදු-කළු, ආදී වශයෙන් කය අර්ථ දැක්විය හැක. සන්සුන් - චංචල, ද්වේශසහගත-ශාන්ත, උඩඟු-නිහතමානි ආදී වශයෙන් මනසද අපි ගුණ වශයෙන් වර්ග කරමු. 

එහෙත් "මම" හෙවත් පරිඥානය එසේ අපේ දැනුම් සම්භාරය තුල විස්තර කල නොහැකි නිර්ගුණ (property-less), නිර්-මාන (dimensionless), නිර්-අර්ථික (undefinable), වෙනත් වචන වලින් කිවහොත් මිනිසාගේ ප්‍රඥාවට ගොදුරු නොවන (beyond human wisdom) භූතාර්ථයක් ලෙස මම ආකෘතියක් ගොඩ නගමි. 

-----------------------------------

දිනක් පියෙක් තම පුතාද කැටුව සිනමා පටයක් නැරඹීමට ගියේය. ඒ යන අතරමගදී ජිවිතේ පළමු වරට සිනමා ශාලාවකට පියනගන පුතාට පියා විසින් සිනමා දර්ශනය පිළිබඳව විස්තරයක් කරන ලදී. මෙහිදී අප චිත්‍රපටය කියා නරඹන්නේ තිරයක් මත මැවෙන රූප බව ඔහු පුතාට පැවසීය. 

ඔවුන් ශාලාවට පියනගන විටත් සිනමා පටය ඇරඹී තිබුණි. අඳුරේම ගොස් ආසන දෙකක ඉඳගත් ඔවුන් සිනමාව නරඹන්න විය. 

"තාත්තේ තිරය තියෙන්නේ කොහෙද?" පුතා හෙමින් පියාගෙන් ඇසීය.
"ඔය රූප වලට පිටිපස්සේ පුතේ"
"ඒ කියන්නේ අස්සයෝ පිටේ ඉන්න මිනිස්සුන්ට වඩා ඈතින් පෙනෙන කඳු වැටියද? 
"නැහැ පුතේ ඒවටත් පිටිපස්සෙන්"
"කඳුවලට එහායින් තියෙන ඒවා අපිට පෙනෙන්නේ නැහැනේ. ඒ නිසා තිරය අපිට පෙනෙන්නේ නැතුව ඇති"
"නැහැ පුතේ. ඔය ඔක්කොම අපිට පෙනෙන්නේ තිරය මත තමයි"
"ඒ කියන්නේ මේ අස්සයෝ, මිනිස්සු, ගහ, කොළ ඔක්කොම තිරයද?" 

දරුවා තේරුම් ගැනීමට ඉතා අසීරු සංකල්පයක පැටලී ඇත. ඔහු තමා දන්නා සියළුම දැනුම සහ විශ්ලේෂණ හැකියාව යොදාගෙන තිරය සොයයි.

මේ අතර චිත්‍රපටයේ විරාමය ලැබුණි. රූප අතුරුදන්වී ආලෝකය දැල්වෙන්න විය. දැන් දරුවාට තිරය හොඳින් පෙනෙයි. ඔහු තිරය සහ චිත්‍රපටය හොඳින් අවබෝධ කරගත්තේය. 

විරාමයෙන් අනතුරුව සිනමා පටය නැවත පටන් ගැනුනි. දැන් ඔහුට තිරය පිළිබඳව කිසිඳු ගැටළුවක් නැත. 

-------------------------------------

- මෙහි ඇති ලියා ඇති කරුණු මීට වසර දහස් ගණනකට පෙර ගොඩනැගුනු සංකල්ප මිස මගේ අයිතියක් නොවන බව පවසමි.



Wednesday 12 August 2020

මායා

“ඔබ මා දකින්නේ කොතනද?” මා පිරිසකගෙන් ඇසුවහොත්, බොහෝ දෙනෙකු මා සිටින දෙසට ඇඟිල්ල දිගුකර පෙන්වනවා ඇත. 

ඇත්තටම මා සිටින්නේ ඔබ තුල මිස ඔබ ඇඟිල්ල දිගුකර පෙන්වන තැන නොවේ. 

අප දන්නා සරළ භෞතික විද්‍යාවට අනුව මගේ සිරුරෙන් පරාවර්තනය වන ආලෝකය ඔබගේ අක්‍ෂි කාචයෙන් වර්තනය වී දෘෂ්ටිවිතානයේ ප්‍රතිබිම්බයක් සාදයි. මෙම ප්‍රතිබිම්බයේ ආලෝක පැතිරුමට අනුරූපව ඊට සම්බන්ධ දෘෂ්ටි ස්නායු අග (අක්ෂි කෙලවර) විද්‍යුත් සංඥාවක් නැත්නම් කුඩා වෝල්ටීයතා ස්පන්දයක් ඇති වේ. මෙම විද්‍යුත් සංඥාව ප්‍රතිබිම්බය හඳුනාගැනීමට අදාළ තොරතුරු මොළයේ යම් කොටසක් වෙතට ස්නායුවක් මගින් ගෙනයයි. 

විද්‍යුත් සංඥා ආකාරයෙන් මොළය වෙතට පැමිණෙන තොරතුරු එහිදී සංකීර්ණ සැකසුමකට ලක් වේ.  මෙහිදී අදාළ ප්‍රතිබිම්බය ඔබගේ මතක පද්ධතියේ (memory system) ඇති තොරතුරු සමග සසඳනු ලැබේ. මා ඔබ නිතරම දකින කෙනෙක් නම් මගේ තොරතුරු ඔබගේ මතක පද්ධතියේ ඉහළ ම ස්ථරවල පවතී. එබැවින් ඉතා ඉක්මනින් සැසඳීමේ ක්‍රියාවලිය අවසන් වේ. එනම් නිමේෂයකින් ඔබ මා හඳුනා ගනී. 

ඔබ මා දකින්නේ වසර 10 ට පමණ පසුව නම් කාරණා දෙකක් නිසා ඔබට මාව පහසුවෙන් හඳුනාගත නොහැකි වනු ඇත. පළමු කාරණය නම් කාලයත් සමග මා පිළිබඳව තොරතුරු මතක පද්ධතියේ පහළ ස්ථරවලට තල්ලු වී තිබීමයි. එවිට එම තොරතුරු සොයා ගැනීමට මොලයේ සැකසුම් ඒකකයට (processing unit) වැඩි කාලයක් ගත වේ. දෙවැන්න, දීර්ඝ කාලයක් ගත වී ඇති බැවින් මගේ හැඩරුව වෙනස් වී තිබීමට ඉඩකඩ වැඩි වීමයි. මේ නිසා මගේ ප්‍රතිබිම්බයෙන් එන විද්‍යුත් සංඥාව මා පිළිබඳව ඔබගේ මතකයේ ඇති තොරතුරු හා නොගැලපීමට ඉඩ ඇත.

මා ඔබ ඉදිරියේ නොමැතිව වුවද යම් උපක්‍රමයක් මගින් ඔබේ දෘෂ්ඨි විතානයේ මගේ ප්‍රතිබිම්බයක් සෑදිය හැකි නම් ඔබට මා සැබෑවටම ඉන්නවා සේ පෙනෙයි. මේ වන විටත් භාවිතයේ තිබෙන උපැස් යුවලක් ලෙස පැළඳිය හැකි අත්‍ය යථාර්තික (virtual reality) උපකරණය මගින් ඔබට මේ අත්දැකීම විඳිය හැක.

දැන් අපි මෙලෙස සිතමු. යම් උපක්‍රමයක් මගින් දෘෂ්ටි ස්නායු කෙලවර මාගේ ප්‍රතිබිම්බයට අදාළ විද්‍යුත් සංඥාව සෑදිය හැකි යැයි සිතන්න. මෙය එම ස්නායුව අගට සවිකරන විද්‍යුත් ස්පන්දකයකින් හෝ විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරන උපකරණයක් මගින් සිදුකිරීමට හැකියාව ඇත. දැන් ඔබට සම්පුර්ණයෙන්ම දෑස වසාගෙන සිටියත්  මාව පෙනේ. මා ඔබ ඉදිරිපිට සිටීම හෝ මගේ සිරුරෙන් පරාවර්තනය වන ආලෝකය ඔබේ දෘෂ්ටි ස්නායු කෙලවර ප්‍රතිබිම්බ සෑදීමක් දැන් අවශ්‍ය නොවේ.  

ඉහත විද්‍යුත් සංඥාව දෘෂ්ටි ස්නායු කෙලවර සිට ස්නායුව දිගේ මොළයේ යම් ස්ථානයකට ගමන් කරයි. දැන් දෘෂ්ටි ස්නායුවේ අක්ෂි කෙලවර වෝල්ටීයතා ස්පන්දය ඇතිකරනවා වෙනුවට එය කෙලින්ම ස්නායුවේ මොලය කෙලවර කොටසේ ස්ථානගත කළ හැකි යැයි සිතන්න. දැන් ඔබට මාද නොමැතිව, දෑසද නොමැතිව, දෘෂ්ඨි විතානයේ සිට මොලය දක්වා දිවෙන ස්නායුවද නොමැතිව මා ඔබ ඉදිරියේ සිටින බව දැකිය හැක. 

සරලව පවසතොත් ඔබ දකින මුළු විශ්වයම මොලය තුල ඇතිවන විද්‍යුත් සංඥා දාමයක් බව ඔබට තේරුම් යා යුතුය. 

දැකීම පමණක් නොව සියලුම සංවේදකවලට අදාළ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වන්නේද ඇසේ සිදුවන ක්‍රියාකාරිත්වයට සමාන ආකාරයෙනි. 

උදාහරණයක් ලෙස ඔබ මගේ අතක් අල්ලන විට එය අත ලෙස හැඟෙන්නේ ඔබේ සමේ ඇති ස්නායු මගේ අතේ ඇති දෘඩතාවය පිළිබඳව තොරතුරු ඔබගේ මොළයට සපයනු ලබන බැවිනි. මගේ අත ඔබ අල්ලන විට ඇතිවන මේ විද්‍යුත් සංඥා ඉබේටම ඇති වුවහොත් හෝ යමෙකු විසින් ඇති කරයි නම් ඔබට මගේ අත එතන නොතිබුණත් අත අල්ලනවා යන හැඟීම ඇති වේ.

අපි සැබවින්ම අතරමං වන ස්ථානයට පැමිණෙන්නේ මෙතනදීය.

මට සංවේදනය වන මුළු විශ්වයම පවතින්නේ මා තුල පමණද? 

මගෙන් ස්වායත්ත විශ්වයක් ඇත්ද? 

මා සංවේදනය කරන්නේ මායාවක්ද? 

ඊළඟ වැදගත්ම පැනය නම් මේ මායාව සංවේදනය කරන "මම" කවුද? 

සලායතනවලින් (සිත-කය) ඇති කරන චිත්‍රපටය නරඹන එම සලායතන වලින් ස්වායත්ත වූ "මම" නම් භූතාර්ථයක් ඇද්ද? ඒ කවුද? 

අනෙක් අතට මුළු ලොවම මායාවක් නම් අප කතා කරන දෘෂ්ටිවිතාන, ස්නායු, මොළය, මතක පද්ධති ආදී මගේය කියන සියලු දෙයම ද මායාවන් වන්නේද? 

“මම”ද ඒ මායාවේම කොටසක්ද? එසේ නොමැති නම් "මම" නිරපේක්ෂ යථාර්ථයේ කොටසක්ද? 

හමුවෙමු නැවතත් ...

Saturday 8 August 2020

මණ්ඩුක කතා වස්තුව


කමත් එක රටක, තරමක වත් පොහොසත් කමක් තිබුණු ගොවියෙක් හිටිය මණ්ඩුක කියල. මණ්ඩුකට හිතේ ලොකු බයක් තිබුන තමන්ගේ ගේ කොයි වෙලාවක හරි හොර හතුරෝ බිඳී කියල. 

මිනිහගේ වත්ත මායිමේ රූස්ස නුග ගහක් තිබුනා. මේකට අධිපති රුක් දෙවි කෙනෙක් ඇතියි කියල හිතුව මණ්ඩුක, හැමදාම උදේ හවස නුගේ ළඟ පහනක් තියල රුක් දෙවියන්ට පිං දීල එහෙම ඉල්ලා හිටිය එයාව හොර හතුරන්ගෙන් ආරක්ෂා කරල දෙන්න කියලා. 

ඇත්තටම මේ නුගේට අධිපති රුක්ෂ දේවතාවෙක් හිටිය. මේ දෙයියා මණ්ඩුක ගැන බොහොම පැහැදිලා දවසක් මිනිහා ඉදිරියේ පෙනී හිටියා. බය බිරාන්ත වෙලා බලාගෙන ඉන්න මණ්ඩුකව අමතලා රුක් දෙවියෝ මෙහෙම කිව්වා.

"එම්බා නරය. මම තා පිළිබඳව බොහෝ සේ පැහැදී සිටිමි. සොර සතුරන්ගෙන් ආරක්ෂාවීම සඳහා මම නුඹට බලගතු රන් කඩුවක් දෙමි. සොර සතුරන් පැමිණියහොත් මෙයින් පහර දෙනු. එම කඩු පහරවල් වදින ඔවුන්ගේ හිස් සත් කඩකට පැලී යනු ඇත".

මෙහෙම කියල දෙවියෝ අපූරුවට දිලිසෙන රත්‍රන් කඩුවක් මණ්ඩුකට දීල නොපෙනී ගියා. 

එදා ඉඳන් මණ්ඩුකට තිබුන ලොකුම හිසරදය තමයි මේ රත්තරන් කඩුව පරිස්සං කරන එක. මිනිහා ඒක පෙට්ටගමේ යටම හංගලා. ඊට උඩින් වී දාල. ඊටත් උඩින් පරණ ලී කෑලි අතුරලා පෙට්ටගම වහල ලොකු ඉබ්බෙක් දැම්ම. ඊට පස්සේ පෙට්ටගම උඩ පැදුරක් එලාගෙන එකේ තමයි රෑට මිනිහා නිදා ගන්නේ. තමන්ගේ අඹු දරුවෝ ගැනවත් විස්වාසයක් නැති නිසා දවස තිස්සෙම පෙට්ටගම වටේට කැරකි කැරකි ඉන්නවා. 

දැන් රුක් දෙවියාට පහන් තියන්න යන්න වෙලාවකුත් නැහැ. වගා කටයුතු බලා කියාගන්න විදියකුත් නැහැ. ඉතින් ඔහොම අවුරුදු ගානක් ඉඳල රත්තරන් කඩුවක හිමිකාර දුප්පත් ගොවියෙක් විදියට මණ්ඩුක මිය පරලොව ගියා.

- මේ විසි එක් වෙනි සියවසේ සිටින මණ්ඩුකලාටයි. 


Thursday 6 August 2020

පෙනෙන දෑසින් එපිට


ශ්‍රී ලාංකික ජනතාව මැතිවරණ උණුසුමෙන් රත් වී තිබෙන මොහොතක ලෝකයේ තවත් තැනක අමිහිරි ඛේදවාචකයක් සිදුවිය. තව ටික දිනකින් එය අතීතයට එක්වූ තවත් සිදුවීමක් වනු ඇත. නමුත් මේ සිදුවීමෙන් අප උගත යුතු පාඩම අමතක කර දැමුවහොත් එය නැවත වරක් නව මුහුණුවරකින් සමහර විට අපේ රටේම ප්‍රතිරූපනය විය හැක.

මා කිහිප අවස්ථාවක ජාතික බලශක්ති ප්‍රතිපත්ති ගොඩනැගීමෙහිලා (ලංකාවේ නොවේ) දායක වී ඇත. එසේම මැලේසියාවේදී මගේ අධීක්ෂණය යටතේ සිසුන් කිහිප දෙනෙක්ම සෞඛ්‍ය සත්කාර අපද්‍රව්‍ය (healthcare waste) පිළිබඳව පර්යේෂණ තුලින් තම පශ්චාත් උපාධි ලබාගන්නා ලදී. 

බලශක්ති ප්‍රතිපත්ති ගොඩනැගීමේදී වැඩිම කාලයක් යොමුකරන අංශය පිළිබඳව යමෙක් ඇසුවහොත් මට දිය හැකි සරලම පිළිතුර අපද්‍රව්‍ය බැහැරකරණය යන්නයි. එය විදුලි බලාගාරයක ප්‍රාග්ධනයෙන් සහ මෙහෙයුම් පිරිවැයෙන් විශාලම කොටසකට හිමිකම් කියයි. න්‍යෂ්ඨික බලගාරයකදී මේ තත්වය වඩාත් තීරණාත්මක වෙයි.

සෞඛ්‍ය සත්කාර අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අප දීර්ඝ කාලින සමීක්ෂණයක් කල අතර එහිදී හෙලිවුයේ. යුරෝපයේ සහ වෙනත් දියුණු රටවල සෞඛ්‍ය සත්කාර ආයතනවලට ඇති විශාලම හිසරදය අපද්‍රව්‍ය බැහැර කිරීම බවයි. ඒ රටවල ඇති සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ඔවුන්ට විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවෙයි. නමුත් මැලේසියාව, චීනය, ඉන්දුනීසියාව වැනි රටවල මෙම ප්‍රමිතීන් වලින් රිංගා යාමට සෞඛ්‍ය සත්කාර අංශයට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

මා ඊළඟට කියන්න යන දේ මුලින්ම ලිව්වේ මීට වසර පහළොවකට පමණ පෙර විදුසර හෝ දිවයින පුවත්පතටය. වසර 2000ට ආසන්න වකවානුවක පකිස්ථානයේ පැවතී න්‍යෂ්ඨික බලාගාර ආරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රනයකදී මට බෙල්ජියම් ජාතික විද්‍යාඥයෙක් හමුවිය. සති දෙකක් පමණ කාලයක් බුහුර්බාන් කදුකරයේ ඉතා මනරම් හෝටලයක නේවාසිකව පැවති මෙම වැඩසටහනේදී මට ඔහු ඉතා සමීප මිතුරෙකු විය. ඔහුගේ නම මතක තබා ගත නොහැකි තරම් සංකීර්ණය. එබැවින් මම ඔහු ක්‍රිස් නමින් හඳුන්වන්නම්. ක්‍රිස් න්‍යෂ්ටික බලාගාර අධික්ෂණය පිළිබඳව ජාත්‍යන්තර කමිටු කිහිපයකම සාමාජිකයෙකි. ඔහු කී බොහෝ කාරණා සාරාංශ ගත කරනවා නම් මෙසේය.

සෝවියට් දේශයෙන් බිඳී ගිය රටවල කිහිපයක්ම න්‍යෂ්ඨික විදුලි බලාගාර සහ න්‍යෂ්ඨික අවි වලට හිමිකම් කියයි. මේ බොහෝ රටවල් පසු කාලයක ආර්ථික අවපාතයන්ට ගොදුරු විය. මේ නිසා න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරණය ඔවුනට දරා ගත නොහැකි තරම් වියදම් අධික ක්‍රියාවලියක් බවට පත්විය. 

ඉන් පසු ක්‍රිස් පැවසු සෑම කාරණයක් සඳහාම ඔහු කිහිප විටක් "මම කියන මේ කිසිම දෙයක් තහවුරු වෙලා නැහැ" යයි කීමට වගබලා ගත්තේය. 

මෙවන් වාතාවරණයක න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කිරීමට ලාබදායි ක්‍රමයක් ඔවුන් සොයාගැනීමට ඇති බව ක්‍රිස්ගේ අදහසයි. එනම් ජිවිතාන්තයට ආසන්න වූ නැවක් කුලියට ගෙන එයට එම අපද්‍රව්‍ය පැටවීමයි. ඉන්පසු එම නෞකාව දුර බැහැර මුහුදු සීමාවකදී හදිසි අනතුරක් සේ හඟවමින් එය ගිලවා දැමීම හෝ නැව අතහැර පලා යාමට නැවේ කපිතාන්වරයා එකඟ කරවා ගැනීම ඔවුන්ගේ ක්‍රමවේදයයි. චීනය, යුරෝපය හෝ ඇමරිකාවද මෙම ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැති බවට සහතිකයක් දිය නොහැකි බව ක්‍රිස් පැවසිය. 

"මේ බොහෝ නෞකා කෙලවර වෙන්නේ නුඹලාගේ රටවල් ආසන්නයේ" කියමින් අවසානයේදී ක්‍රිස් සිනාසෙන්න විය. ඔහු එය ඇත්තටම අදහස් කලාද නැත්නම් විහිළුවක් කළාදැයි මම නොදනිමි. 

මා පසු කාලයක දැනගත් කරුණක් නම් මෙලෙස පාවෙන සහ අබලි නැව් ඇදගෙන විත් යකඩ බවට පත්කර විකිණීම කරච්චි නගරයේ පවතින බහු-මිලියන ව්‍යාපාරයක් බවයි. එය ලංකාවේත් සිදු කෙරෙනවාදැයි මම නොදනිමි.

සෞඛ්‍ය සත්කාර අපද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ ක්‍රමවේදය වෙනත් ආකාරයකින් සිදුවෙතැයි මට සිතේ. ඒවා තම රටවලදී බැහැර කිරීමේ මිල අධික ක්‍රමවේදයන් අනුගමනය කරනවා වෙනුවට ඒවා නැවක පටවා දුප්පත් රටකට එවීම ලාබදායකය. මුදල් ලැබේ නම් ඕනෑම කුණු ගොඩක් බාරගන්නා රටවල් ඕනෑතරම් ඇත. සමහර සංස්පර්ශක (contagious) රෝගීන් සඳහා භාවිතා කර ඉවතලන ඇඳන්, මෙට්ට, කොට්ට, ඇතිරිලි, රෙදිපිළි ආදිය පරිත්‍යාග වශයෙන් නොදියුණු රටවලට ලබා දීමද ලාබදායි ක්‍රමයකි. මේ ක්‍රමවේදය වසර දෙසියයකට පමණ පෙර ඉතා සාර්ථක ලෙස අත්හදා බැලූ ඇමරිකාවට පැමිණි සුදු ආක්‍රමණිකයෝ ස්වදේශීය රතු ඉන්දියානුවන් ලක්ෂ ගණනක් වසුරිය වැනි රෝගවලට ලක් කර මරා දැමුහ.

මෙතනින් මම නවතිමි. ඉතිරිය ඔබට බාරය. 



Saturday 1 August 2020

මැතිවරණය ගැන වදනක්



පුර්ව මැතිවරණ සමය යනු සාමාන්‍යයෙන් දේශපාලකයා සිල් ගන්නා පුණ්‍ය කාලයයි. උපන්ගෙයි මෝඩ අමනයන් මහා ප්‍රාඥයන් සේ පඬි බස් දොඩන,  අමු බේබද්දන් අමද්‍යප සංගම් සභාපතිවරුන් සේ හැසිරෙන, මිනීමරු අපරාධකාරයන් පන්සල්වල ඇබිත්තයන් වන, හොර තක්කඩි වංචාකාරයන් මහා දානපතියන් වන මේ වකවානුව එකම නාඩගම් මඩුවකි.

එහෙත් මෙවර තත්වය ඊට වඩා සෑහෙන වෙනස්ය. බොහෝ දේශපාලුවන් පසුගිය සති කිහිපයක සිට හැසිරෙන්නේ පූර්ව මැතිවරණ සමයකට වඩා ජයග්‍රාහී පශ්චාත් මැතිවරණ මානසිකත්වයකිනි. ඔවුන් මැතිවරණ නීති රීති තියා රටේ සිවිල් හා අපරාධ නීති පිළිබඳව පවා තුට්ටුවකට මායිම් නොකරන සේයකි. මහජන මුදල්, රටේ උරුමයන් සහ පරිසරය මහජනතාව ඉදිරිපිටම විනාශ කර දමමින් මේ දේශපාළුවෝ ඒ පිළිබඳව නොයෙකුත් අමන වදන් පවසති. විරුද්ධ පාක්‍ෂිකයන්ට මඩ ගැසීමේදී ඔවුන් වැටිය හැකි පහත්ම තත්වයට වැටී ඇත. වේදිකාවේ පෙනෙන්නේ රටේ පාලනය සඳහා නියෝජිතයන් තේරීමේ ක්‍රමවේදයකට වඩා රටේ ලොකුම හොරා සහ ලොකුම බොරුකාරයා තේරීමේ තරඟයක් පැවැත්වෙන ආකාරයකි. වෙනස් නොවී ඇති එකම දර්ශනය නම් මල්වට්ටි බෞද්ධයාගේ සිට කුරුස කතෝලිකයා දක්වා සියළුම දේශපාලුවන්ගේ අත බැඳී කඹ වැනි පිරිත් නූල් ගොන්නයි. 

බොහෝ දෙනෙකුට නොපෙනෙන කටුක යතාර්ථය නම් ශ්‍රී ලංකාව මේ වන විට ඇත්තේ ආර්ථික සහ සාමාජීය ගිනි කන්දක් උඩ බවයි. මතුපිටින් පෙනෙන දුම් රොටුවලට පහලින් ලෝදිය විලක් කැකෑරෙමින් පවතී. කවුරුන් බලයට පැමිණියත් කෙටි කලකින් එය පුපුරා යාමට නියමිතය. දීර්ඝ කාලයක් තුල රට පාලනය කල සියළුම ලාංකික දේශපාලකයන්ගේ අමනකම් හේතුවෙන් මේ වන විට රටේ නය බර නාසයෙන් ඉහලට පැමිණි ජලකඳක් බවට පත්වී ඇත. ලංකාව ගෙවිය යුතු නය සහ පොලී වාරිකය සලකා බලන විට රටේ ආදායම යනු විහිළුවකි.  හෙට දින සිට රටේ ආර්ථික දුෂණය සහ නාස්තිය 100% ක් නවතා දැමුවත් රටවැසියා ඉතා දුෂ්කර දශකයක් තරණය නොකර ලංකාව ගොඩ නැගීම සිහිනයක් බව ආර්ථිකය හා ගණිතය පිළිබඳව සරල දැනුමක් ඇති අයෙකුට පහසුවෙන් ගණනය කර පෙන්විය හැක. නමුත් බොහෝ දේශපාළුවන් මේ යතාර්ථය යන්තමින් හෝ අනාවරණය කරන ආකාරයක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ආණ්ඩු පක්ෂය සුරංගනා ලෝක මවන අතර විපක්ෂයේ සමහර දේශපාලුවෝ ඇලඩින්ගේ පුදුම පහනේ භූතයාට කවට ඇඳුම් අන්දවමින් සිටිති. 

ලංකාවේ මෑත කාලයේදී සිදුවූ විශාලම විපත්තිය නම් දේශපාලුවා තම නොහැකියාවේ විලි වසා ගැනීමට ජාතිවාදී කඩතුරාව ඉවක් බවක් නැතිව භාවිතා කෙරිමයි. එහි ප්‍රතිඵල වී ඇත්තේ ජාති-ආගම් බේදයකින් තොරව මෙම වෛරී විඥානය ජනතාව තුල ජාන ගතවීමයි. තමන්ගේ නොහැකියාවට හේතුව අනෙකා බවට ස්වයං-රාමුවක් සකසා ගැනීම අනාදිමත් කාලයක සිට පවතින මිනිස් ගුණයකි. මේ මනෝ විද්‍යාව තේරුම් ගත් පාලකයන් සහ පූජකයන් එකිනෙකා අත්වැල් පටලවාගෙන ජනතාව තම අශ්වයන්, බූරුවන් හෝ කොටළුවන් කරගැනීමට ඇත්තේ දීර්ඝ අතීතයකි. ලොව පුරා ඇතිවූ යුද්ධ සහ ආක්‍රමණ සහ ඉන් මියගිය මිලියන හෝ බිලියන ගණනක් සාමාන්‍ය වැසියන් මෙම ව්‍යායාමයේ ප්‍රතිඵලයන්ය. 

යම් යම් කාල වකවානු වලදී මෙම ජාතිවාදී ජන විඥානයේ විනාශකාරී ස්වභාවය තේරුම් ගත් සමහර රටවල පාලක ප්‍රජාව අඩුම තරමේ තම පාලන ප්‍රදේශය තුල සිටින ජන සමුහ අතරවත් මෙම මනෝභාවය සමනය කිරීමට උත්සුක විය. එවිට එම රටවල් කෙටි කලකදී දියුණුවට පත්විය. පසුගිය සියවස තුල යුරෝපය සහ පසුගිය අඩ සියවස තුල සිංගප්පුරුව මීට උදාහරණ දෙකකි.  

මේ වන විට මා දකින පරිදි රටේ ඇති දුක්ඛිතම ව්‍යසනයක් නම් සමාජයේ යම් තරමක හෝ උගතුන් ලෙස නාමකරණයට ලක්වූ විශාල පිරිසක් දේශපාලුවා වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල පලකරන අදහස්ය. ප්‍රතිවාදී පිල් වලට ඉතා පහත් ලෙස මඩගැසීම සහ තම පිලේ කටයුතු මන්දබුද්ධික ආකාරයෙන් සාධාරණීකරණය කිරීම තුලින් ඔවුන් තමන්ගේ ප්‍රතිරුපයත් රටේ අනාගතයත් යන දෙකම විනාශ කර දමයි. පුර්ව-ඩිජිටල් යුගයේ සරසවි දේශපාලනය තුල කැන්ටිමේ මේසයක් මතට නැග සිදුකල වාදයකදී තරම්වත් ප්‍රතිපත්තිමය අරඟලයක් දැන් සමාජ මාධ්‍යයක දකින්නට නැත. සමාජ මාධ්‍ය පරිශීලනය කරන බහුතරයක් නොමේරු අවියත් පුද්ගලයන්, වර්තමාන ග්‍රාමය භාෂාවෙන් පවසතොත්, කඩේ යාම, කිලිටි රෙදි සේදීම, අතින් කා හරක් බැලීම හෝ ඇඟේ හලා ගැනීම මම ප්‍රශ්න නොකරමි. එය පුර්ව-ඩිජිටල් යුගයේද එකලට අදාළ සංනිවේදන මාධ්‍ය ඔස්සේ සිදුවිය. එහෙත් ඉහත සියළුම බාල වර්ගයේ ක්‍රියාවන් වියත් යයි සම්මත පිරිස අතින්ද සිදුවීම අතිශයින් ඛේදජනකය.  

ලංකාවේ යම් අවංක බුද්ධිමත් දේශපාලකයෙක් මෙම මැතිවරණය සඳහා තරඟ වැදී සිටියි නම්, ඔහුට හෝ ඇයට මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව පැවතිය හැකි එකම සංකල්පය එය ජනතාව වෙනුවෙන් තමා විසින් පැළඳිය යුතු වේදනාකාරී කටු ඔටුන්නක් බවයි. එසේ සිතන බවට තම කතාවෙන්, අභිනයෙන් සහ ක්‍රියාවෙන් හඟවන අපේක්ෂකයෙකුට ඔබේ චන්දය ලබා දීම මේ අවස්ථාවේදී ඔබට කළ හැකි එකම සත් ක්‍රියාවයි.