Follow this Blog

Tuesday, 29 March 2016

කුණු ඇපල්



ඇපල් ගෙඩියක පිට ඔපයට රැවටීම  සාමාන්‍ය මිනිස් ගතියකි. එලෙස මිලදී ගත් ඇපල් ගෙඩිය, ඇතුලෙන් කුණු වී පණුවන් සිටීයි නම් එය විසිකර දැමීමද සාමාන්‍ය මිනිස් ගතියකි. 

එසේ නොමැතිව ඇපල් ගෙඩියේ පණුවන් ඉවත් කර කන්න යනවා නම් හෝ, දෙවනුව ගත් ගෙඩිය කුණු වී ඇති බැවින් කලින් විසිකළ කුණු ඇපලයේ පණුවන් ඉවත් කර
හාරයට ගැනීමට කල්පනා කරයි නම් එතන මනුෂ්‍යභාවයකට වඩා ඇත්තේ ප්‍රේත ස්වභාවයකි.

අපේ සමාජය අලුත් ඇපල් ගැන හිතන්න පුරුදු වී ඇත්තේම නැත. ඒ ඇපල් අධිරාජ්‍යවාදී පළතුරක් නිසා වන්නට ඇත. ඔවුන් එදා ඉඳන්ම කලේ  ඇපල් ගෙඩිවල ඇති පණුවන් ගණන ගණන් කිරීමයි. ඒ අඩු පණුවන් ගණනක් සිටින ඇපල් කෑමටයි. එහෙත් අවාසනාවකට බොහෝ දෙනෙකුට ගණන්ද බැරිය. 

මට මේ කුණු ඇපල් කථාව මතක් වුයේ පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ ඇතිවූ දෙබසක් කියවීමෙන් අනතුරුවයි. දැන් ආණ්ඩුවේ ඇත්තෙක් නැගිට පෙර ආණ්ඩුවේ කුණු වැඩ ලැයිස්තුවක් කියවන ලදී. ඉන්පසු පෙර ආණ්ඩුවේ ඇත්තෙක් තේජස් හඬින් දැන් ආණ්ඩුවේ කුණු කම් ලැයිස්තුවක් සභා ගත කරන ලදී. පසු දින දෙපැත්තේම හිතැත්තෝ තම තමන්ගේ එකා ඉදිරිපත් කල ලැයිස්තු ගැන පාරම්බාමින් වතපොතේ පොස්ට් පුරවන්න විය. 

එකෙක්ටවත් තමන්ගේ වැරදි හදා ගන්නවත්, එල්ලවන චෝදනා නිශේධ කිරීමටවත් වුවමනාවක් නැත. මන්ද රටේ ජනතාවට අවශ්‍ය අනෙකා කන ඇපල් ගෙඩියේ ඉන්න පණුවන් ගණන වැඩි බව තහවුරු කර ගැනීම පමණි. 


රැවටිල්ලට සීමා නැත 

ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවේ නායකයන් යැයි කියා ගන්නා සියලු දෙනාම පාහේ එදා සිටම කලේ රැවටීමයි. මෙම රැවටීම 70 ගණන්වලදී ත්වරණයට ලක්වී අද වන විට අධි වේගයෙන් වර්ධනය වෙමින් පවතී. දැන දැනම මේ රැවටිම්වල පැටලීමට තරම් සමාජය මුග්ධ වීම තිබෙන අවාසනාවන්තම තත්වයයි.

ජාතිකවාදි
න් සහ සමාජවාදින් මෙන්ම ඔවුන්ගේ දරුමල්ලන්ද අවස්ථාවක් ලැබුණු විගස දිවයන්නේ ඔවුන් පට්ට ගසන බටහිර රාජ්‍ය වෙත මිස කොමියුනිස්ට් හෝ සමාජවාදී රටවලට නොවේ. ලංකාවේ සමාජවාදය ඇති කරන්න පොලවේ හැපෙන කුමාර් ගුණරත්නම් පුරවැසිබාවය පැතුවේ ඕස්ට්‍රේලියාවෙන් මිස උතුරු කොරියාවෙන් හෝ කියුබාවෙන් නොවේ. ජාතික චින්තනය පිළිබඳව කෑ මොර දෙන මහාචාර්යවරුන්ද සැබටිකල් ලැබුණු විගස දිව්වේද ඔවුන්ගේ දරුවන් වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටත් වුයේද කොයි දිසාවටදැයි සොයා බලන්න. ජිනීවා-විරෝධය මත සෑහෙන කාලයක් තම දේශපාලන දිවිය ගැට ගසා ගත් සමහර දෙනා බලය හැලුණු මොහොතේ පෙත්සම් කර උඩ තියාගෙන ජිනීවා දුවනු අපි සැවොම දුටිමු. මේ හැම ක්‍රියාවක්ම සාධාරණීකරණය කිරීමට මෙම නායකයන්ට දහසක් හේතු ඇත. එම හේතු පිළිගැනීමටත්, පිළිගැනීමට නොහැකි හේතු අමතක කර දැමීමටත්, නායකයා හේතුවක් නොදුන හොත් තමාම හේතුවක් මවාගෙන නායකයා ගොඩ දැමීමටත් ඔවුන්ගේ අනුගාමිකයෝ සැදී පැහැදී සිටිති.

අනෙක් අතට ජනතාවගේ අයිතිවාසිකම් කාප්පාදු කරමින්, ඔවුන් කෘර ලෙස තලා පෙළමින්,  මහජන මුදල් කොල්ලකමින්, රටේ සම්පත් නොරටුන්ට විකුණමින් ජඩ පාලනයක් ගෙන ගිය  සියලු නායකයන් බලයට පැමිණියේද, දිගටම බලයේ සිටියේද ධාර්මිෂ්ඨ සමාජයක්, දුෂණයෙන් භීෂණයෙන් තොර රටක්, දේශීය චින්තනයක් මහජනයා ඉදිරියේ මවා පාමිනි. අද යහපාලනය නමින් සිදුවන්නේද එහි තවත් පියවරක් පමණි. 







රජයේ ඇඳුම 

මා දේශපාලනය ගැන කිසියම් හෝ අවබෝධයක් ලබන කාලය වන විට සිරිමාවෝ මැතිණියගේ රජය කාලි මෑණියන්ට ඇඳ (හෝ අන්දවා) තිබුණි. එය පත්තිනි මෑණියන්ට ඇඳ සිටි සමය මට මතක නැත.

ජේ ආර් ජයවර්ධන රජය පැමිණියේ සුදු පිරුවට පැළඳි මහෝපාසක ලිලාවෙනි. ක්‍රමයෙන් තම සළු පිළි උනා දැමු රජය 82 කළගෙඩි-ලාම්පු සෙල්ලමෙන් පසු අමු නිරුවත් යකෙකු විය.

ප්‍රේමදාස රජය බලයට පැමිණියේම යක් ඇඳුමිනි. එය දෙවියන්ට වඩා යකුන්ගේ සේවය රටට අවශ්‍ය වූ යුගයක් වීදැයි මම නොදනිමි.

චන්ද්‍රිකා රජය පැමිණියේ සුරංගනා වෙස් ඇතිවය. ඉන් පසු එය යක්ෂ, දේව, රාක්ෂ, බහුභූත, කෝලම්, ආදී නොයෙකුත් වෙස් ගනිමින් අන්තිමේදී කිසිම වැඩක් නොකරම යන්න ගියේය.

ටයි කෝට් පැළඳ පැමිණි කෙටි කාලින යු එන් පී රජය ඇඳුම් මාරු කිරීමට පෙරම ඇදගෙන වැටුණි.

මා දුටු ආකාරයට සාමාන්‍ය මනුෂ්‍ය ඇඳුමකින් සැරසී ප්‍රථම වරට බලයට පැමිණියේ මහින්ද රජයයි. එම රජයට ප්‍රථම වසර පහ තුලදී රටේ විශාල කර්තව්‍යයක් සිදු කිරීමට හැකි වුයේද මේ මිනිස් ඇඳුම නිසා බව මගේ හැඟීමයි. අවාසනාවට ඊළඟ වකවානුවේදී, මස් කටු වලට ඉව අල්ලමින් සිටි සුනඛ රැළක් එකතු වී මේ 'මිනිසාව' බලහත්කාරයෙන් රජාට ඇන්ද වීය. රජා සිතන්නේ රටේ සියලු දේ තමාගේ බවයි. මෙය කොයි රජාටත් අදාලය. එබැවින් ඔහු සිතැගි පරිදි රටේ සම්පත් තමාගේ සුඛ විහරණයට යොදා ගත්තේය. අන්තිමට සිදු වුයේ රජාට රජකමද අහිමි වී ගෙදර යාමට සිදුවීමයි. අද ඒ සුනඛ රැළම එකතු වී කලින් රජාට ඇන්දවූ මේ මිනිසාව ගොනාට අන්දමින් සිටියි. මෙය තවත් ඛේදවාචකයකි.

ටයි-කෝට් / සරම්-බැනියම් ඇඳගෙන පැමිණි රනිල්-සිරිසේන රජය ඉතා කෙටි කලකින් කවටයාට ඇඳ ඇති සේයකි. නිකම්ම කවටයෙක් නොව කපටි, මෝඩ, තක්කඩි ජෝකරයෙකි. මට පෙනෙන හැටියට මේ රජය හතර අතට ගොනුන් බැඳී ගැලක් මෙනි. හැම ගොනාම තමන්ට රිසි අතට ගැල ගෙනයාමට වෙර දරයි. ගැල එතැනමය. එහෙට මෙහෙට පැද්දීම නිසා ඇණ මුරිච්චි බුරුල් වෙමින් පවතී. කොයි වෙලේක හෝ ගැලම කඩා ගෙන වැටෙනු ඇත.  


මේ යතාර්ථය තේරුම් ගැනීමට සමත් කී දෙනෙක් මේ ලිපිය කියාවාවිදැයි මම නොදනිමි. එහෙත් මෙය ඒ මානසික නිරවද්‍යතාව රටට අත්‍යාවශ්‍ය මොහොතකි.  කළු දේ කළු ලෙසත්, සුදු දේ සුදු ලෙසත්, ලොව කළු සහ සුදු මිස කළු හෝ සුදු නොවන බවත් පැහැදිලිව ධාරණය කරගැනීමට කාලය එළඹ ඇත.

මා සැමදා පවසන්නා සේ වැදගත් වන්නේ ඔළු ගෙඩි තුල ඇති දේ වෙනස් කිරීම මිස ඔළු ගෙඩි වෙනස් කිරීම නොවේ. දෙවැන්න අවශ්‍ය වන්නේ පළමුවැන්න සිදු නොවන විටයි. 





වෙනසක ඇරඹුම

මෑත ඉතිහාසයේ නොයෙකුත් සාධනීය ගුණාංග සහිත තරුණ දේශපාලකයන් කිහිප දෙනෙක් සෑම පක්ෂයකින්ම බිහිවෙනු මම දැක්කෙමි. එහෙත් කුඩු කාරයන්, එතනෝල් කාරයන්, බුද්ධි හීන නළු නිලියන් හා ජනමාධ්‍ය මුදලාලිගේ ගෝල බාලයින් විශාල මනාප ප්‍රමාණයක් සහිතව පත් කර ගැනීමෙන් රටේ ජනතාව විසින්ම මෙම සුබවාදී දේශපාලකයන්වද පරණ මඩ ගොහොරුවටම තල්ලු කර දැමීය. සාධාරණ මනුෂ්‍යයෙකුට දේශපාලන ගමනක් නොමැති බව ජනතාව විසින්ම ඔප්පු කර පෙන්වීය. සමන්ත විද්‍යාරත්න වැනි කිහිප දෙනෙකු තවමත් දේශපාලන පණනල ගැට ගසා ගෙන ඇතත් ඒ තව කොපමණ කාලයකටදැයි මම නොදනිමි.

අපි වෙනස ඇරඹිය යුත්තේ මෙතන සිටයි. පවතින රටාව වෙනස් කල නොහැකි යැයි ඔබ සිතන තාක් කල් එය වෙනස් කල නොහැකිය. ඔබ
වෙනස පටන් ගත යුත්තේ ඔබ තුලින්මය. පළමුවෙන්ම ඔබගේ කොළ, නිල්, රතු කණ්නාඩි ගලවා පසෙකින් තබන්න.

ඉන් පසු සිතන්න.

තමා ඔසවාගෙන යන දේශපාලන පක්ෂයේ හෝ දේශපාලකයාගේ නොපනත්කම් ගැන මැදහත් සිතින් සිතන්න. ඔහු ඔසවාගෙන යෑමෙන් ඔබට හෝ රටට වැඩක් වේදැයි සිතන්න. ඔහුගේ සැබෑ ගුණ පිළිබඳව ඉන් පසුව සිතන්න. ඔහුගේ අගුණ දුරු කිරීමටත් ගුණ වර්ධනය කිරීමටත් තමාගේ මට්ටමින් කල හැක්කේ කුමක් දැයි කල්පනා කරන්න.

මේ ආකාරයටම තමා පහර දෙන තැනැත්තාගේ හෝ පක්ෂයේ ගුණ නුගුණ දෙස
ත් විවේචනාත්මකව බලන්න. ඔබගේ සිතිවිලි වල සමබරතාවයක් ඇති වී ඇතැයි ඔබට හැගීමක් ඇතිවන තෙක් සිතන්න. ඔබගේ චෛතසික සමබරතාවය ලඟා වී ඇත්දැයි පහත දැක්වෙන පරිදි අත්දකින්න.

වතපොතේ ඔබ ඔසවාගෙන යන දේශපාලකයාගේ ගුණ වයන පොස්ටුවක් දුටු විට ඔබගේ සිතට මහත් වින්දනයක් හා ගැම්මක් ඇතිවේද, ඔබ පහර දෙන දේශපාලකයාගේ එවැනි පොස්ටුවක් දුටු විට ඔබට ක්‍රෝධයක්
හා සාංකාවක් දැනේද, ඔබගේ මනස තවමත් සමතුලනය වී නැත.

ඔබ සමබර වූ විට ඔබ අවට සිටින
ය සමග මැදහත් සිතින් සාකච්චා කරන්න. වතපොතේ කිසිවෙකුත් ඔසවා තබන හෝ කිසිවෙකුත් අපහාසයට ලක් කරන පොස්ටු ෂෙයාර් කිරීමෙන් වලකින්න. ඔබ දෙස අන්‍යයන් වෙනදා නොමැති ගෞරවයකින් බලනු ඔබටම අත්දැකිය හැක. දින කිහිපයකින් ඔබගේ ප්‍රතිරුපයේ පැහැදිලි වෙනසක් දැකගත හැකිවනු ඇත.

දැන් මේ වෙනස ඔබ අවට සමාජය වෙතටද ඇතුළු කරන්න. කිසි විටෙකත් අන් අයගේ මත බිඳ හෙලීමට හෝ ඔබගේ මතයන් බලහත්කාරයෙන් ඔවුන්ගේ හිත වලට ඇතුළු කිරීමට උත්සහ ගන්න එපා. ඒ වෙනුවට ඔවුන්ට මැදහත්ව සිතීමේ වටිනාකම කියා දෙන්න. මේ ජිවන පාඩම ඔවුනට තම එදිනෙදා කටයුතු වලදී මෙන්ම ඊළඟ චන්දයේදී නිවැරදි තීරණ ගැනීමටද උපකාරී වනු ඇත. 


එක රැයෙන් ඇතිවන විප්ලව බොහෝ විට එක රැයින්ම කෙලවර වේ. එහෙත් සමාජයේ පුද්ගල මට්ටමින් පටන්ගෙන ක්‍රමයෙන් වර්ධනය වන යහපත් වෙනස් වීම් දීර්ඝ කාලින සුභ ප්‍රතිඵල ලබා දෙයි. 







Monday, 21 March 2016

බුද්ධිය ඔහේ ගැලුවාවේ ......




ඒ පර්වේෂ් මුෂාරෙෆ් මහතා පකිස්ථානයේ ජනාධිපති පදවිය හෙබවූ සමයයි. එවකට මම පකිස්ථානු ගුවන් හමුදාවේ විද්‍යුත් චුම්බක ආරක්ෂණය පිලිබඳ උපදේශකයෙකු වශයෙන් කටයුතු කල බැවින් නිතර පකිස්ථානයට ගියෙමි. ඔවුන් ඒ දිනවල බෙල් හෙලිකොප්ටරයට ආදේශක යානයක් තැනීමට ව්‍යාපෘති සැලසුමක් ගොඩ නගා තිබුණි. ඒ වන විට පකිස්ථානයට කිසිම බල කඳවුරක් සමග හොඳ සම්බන්ධතාවයක් තිබුනේ නැත. එබැවින් මෙම ව්‍යාපෘතියට තාක්ෂණික දැනුම ලබා ගැනීම ඔවුන්ට බලවත් ගැටළුවක් විය. 

මේ අවස්ථාවේදී මුෂාරෙෆ් මහතා ව්‍යපෘති නියමුවන් සමග විශේෂ හමුවක් කැඳවිය. එහිදී එළඹී තීරණයකට අනුව ලොව පුරා රටවල දර්ශනපති (PhD) උපාධිය ආසන්නයේ සිටින හෝ පශ්චාත් දර්ශනපති ධුරවල සිටින හෙලිකොප්ටර් හා ගුවන්යානා ආශ්‍රිතව පර්යේෂණ කරන පකිස්ථානුවන් 100ක් පමණ තෝරාගෙන ඔවුන් හා පෞද්ගලිකව අදහස් හුවමාරු කරගන්න ලදී. පසුව ඉන් 20ක් පමණ තෝරා ගත් අතර ඉස්ලාමාබාද් හි පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට ලොව පුරා අයදුම්පත් කැඳවන ලදී. මෙහිදී තෝරා ගැනුනේ කලින් සඳහන් කල පකිස්ථානුවන් පමණි.

වසර දෙකක් තුල පකිස්තානු ගුවන් හමුදාව සැලසුම් කල හෙලිකොප්ටර් යානය සාදා නිම කළේය.

ඉන් දශකයකටත් පසුව අපි ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට පකිස්ථානය සහ ඉන්දියාව දෙස බලමින්, බලවතුන්ගේ ගෝරනාඩු වලට බියේ හැකිළෙමින් සිටිමු. ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරටම ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආදායම් සහ අධ්‍යාපන ව්‍යුහයන් සහිත රටවල්වේ.

අපිට කොතනකදී හෝ වැරදී ඇත. භූමියෙන් කුඩා වීම අප ප්‍රශ්නයක් කරගෙන ඇත. නමුත් භූමි ප්‍රමාණයෙන් මෙන්ම ජනගහනයෙන්ද අපට වඩා කුඩා සශ්‍රීක රාජ්‍යයන් ලොව බොහෝ ඇත (සිංගප්පුරුව, බෙල්ජියම, හොංකොං, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය ආදී). සිදුවී ඇත්තේ අපි වර්තමානය පිළිබඳව කුඩාවට සිතමින්, සුවිසල් අතීතයක සිහින අතර ජීවත්වීමයි.

අතීතය ඇත්තේ පාඩම් ඉගෙන ගැනීමට මිස එය සදාතනික නිවහන කරගැනීමට නොවේ.

අපි යුක්රේනයෙන් ඇන්ටනොව් ප්‍රහාරක යානා 30 කට වඩා මිලදී ගන්න ඇත. ඊශ්‍රායලයෙන් කෆීර් යානා රාශියක් මිළදී ගෙන ඇත. එම නව ප්‍රහාරක යානා දෙකක මිල පර්යේෂණ කටයුතු සඳහා යොදවා තව යානාවක් මිළදී ගන්නා මුදලින් ලොව සිටින ශ්‍රී ලාංකික ගුවන් යානා විශේෂඥයන් කිහිප දෙනෙකුගේ සහය තාවකාලික පදනමක් යටතේ ලබා ගත්තා නම් අපිට අද ප්‍රහාරක යාන මිළදී ගැනීමට රට රටවලට වැඳ වැටෙන්න අවශ්‍ය වන්නේ නැත.

මා ඉහත තත්වය විග්‍රහ කරන්නේ මනෝමය සංකල්පයක් ලෙස නොව ඉතා යතාර්ථවාදීව භෞතික සහ මුල්‍යමය කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.


ලිපියේ මේ කොටස ලියන මොහොතේ මා සිටින්නේ ඉන්දියාවේ බැංගලෝර් නගරයේය. ඒ ඉන්දීය මධ්‍යම බලශක්ති ආයතනයේ (CPRI) පිරිසකට අධිවෝල්ටීයතා තාක්ෂණය පිළබඳව වැඩමුළුවක් පැවැත්වීම සඳහාය. 1960 ගණන්වල කුඩා පර්යේෂණාගාරයක් ලෙස ඇරඹුන මෙම ආයතනය අද වනවිට ලෝකයේ ඇති විශාලතම අධිවොල්ටියතා පර්යේෂණාගාර වලින් එකක් බවට පත්ව ඇත. ඔවුන් බොහෝ සෙයින් ඉදිරියට ගොස් ඇත.

මම අතීතය දෙස හැරී බලමි.

ලංකාවේද පේරාදෙණිය සහ කටුබැද්ද සරසවි වල සෑහෙන කලකට පෙර අධිවොල්ටියතා පර්යේෂණාගාර ඇරඹුණි. වසර 2000 ගණන්වල මුල් භාගයේ මට පර්යේෂණ මාලාවක් පැවැත්වීම සඳහා අධිවොල්ටියතා පහසුකම් අවශ්‍ය විය. එවකට මා සේවය කලේ කොළඹ සරසවියේ භෞතික විද්‍යා අංශයේය. එහි මෙම පහසුකම් නොතිබූ බැවින් කටුබැද්ද සරසවියේ හිතවත් මහාචාර්ය රොහාන් ලූකස් මහතාගෙන් මම මේ සඳහා අවසර ඉල්ලුවෙමි.

"කිසිම ප්‍රශ්නයක් නැහැ චන්දිම, ඔයාට ඕනෑම වෙලාවක ඇවිත් වැඩේ කරගන්න" කවදත් පරිත්‍යාගශීලී මහාචාර්යතුමා මට පැවසුවේය.

දිනයක් නියම කරගෙන, මගේ සිසුවාද කැටුව කටුබැද්ද සරසවියට ගිය මා දුටුවේ වළලු කරට පමණ වතුර ගලා තිබු අධිවොල්ටියතා පර්යේෂනාගාරයයි.

"සර්ලට ඕනෙ නම් මේකේ වතුර අස්කරගෙන පොඩ්ඩක් ඔයිල් කරලා වැඩේ පටන් ගන්න පුළුවන්" එම පර්යේෂණාගාරය බාරව සිටි තාක්ෂණ නිලධාරියා පැවසීය.

පෙනෙන විදියට අපගේ කාර්යය හය මාසයකින් වත් නිම කල නොහැක. අපි දෙදෙනා කිසිත් නොදොඩා හැරී ආවෙමු.

අපට අවශ්‍ය පහසුකම් ඇති ඊළඟ සහ අනෙක් එකම ස්ථානය පේරාදෙණිය සරසවියයි. එවකට එහි සේවය කල තවත් මගේ ඉතා කිට්ටු ජෙෂ්ඨයෙකු වූ මහාචාර්ය ජීවන් හූල් මහතාට මම අවශ්‍යතාවය පැවසුවෙමි. එවකට එතුමා එහි අධිවොල්ටියතා පර්යේෂණාගාරය බාරව සිටියේය.

"හරි චන්දිම, ඔයා මේකේ ටෙක්නිකල් ඔෆිසර් එක්ක වෙලාවක් කතා කරගෙන ඇවිත් වැඩේ කරගන්න".

මගේ ගෝලයාත් මාත් උදෑසනින්ම පේරාදෙණිය බල පිටත් වුනෙමු. තාක්ෂණ නිලධාරියා කලින් පොරොන්දු වූ ආකාරයෙන් විද්‍යාගාරය අසල නොසිටි බැවින් අපි ඔහු ගැන විපරම් කිරීමට විද්‍යුත් ඉංජිනේරු අංශයට ගියෙමු. අපගෙන් පැමිණි කාරණය විමසු එතන සිටි නිලධාරියෙක් අපව අංශ ප්‍රධානියා වෙත යවන ලදී.

"ඔයගොල්ලන්ට එහෙම ප්‍රොෆෙසර් හූල් එක්ක විතරක් කතා කරගෙන ඇවිල්ලා මෙතන වැඩ කරන්න බැහැ. එකට මගෙන් පර්මිෂන් ගන්න ඕනේ".

ඒ පර්මිෂන් එකට තව පැය තුනක් ගියේය. ඉන් පසු එම ලියවිල්ල රැගෙන පර්යේෂණාගාරය වෙතට ගිය අපිට එහි තාක්ෂණ නිලධාරීන්ගෙන් ලැබුණේද සීතල ප්‍රතිචාරයකි. එදා වැඩක් කෙරුනේ නැත.

අපගේ මුළු පර්යේෂණ මාලාවටම යන්න ඇත්තේ පැය 3-4 කාලයකි. එහෙත් මාත් මගේ සිසුවාත් දින ගණනාවක් පේරාදෙණියට ගියෙමු. හැමදාමත් පැය ගණනක් පර්මිෂන් එක දෙන තෙක් අපිට බලා සිටින්නට සිදු විය. පර්යේෂණය අවසන් වන විට පර්යේෂණද අපිට එපාවී තිබුණි. මගේ සිසුවා අද ඇමරිකාවේ PhD උපාධිය ලබා එහිම සේවය කරන බව ආරංචිය. ඔහුට ලංකාව එපා වුනේ මේ නිසාදෝ වත් දැයි නොදනිමි.

අපට මුහුණ පෑමට සිදු වූ සියලුම අතවරයන්ට හේතුව මහාචාර්ය හූල් සහ පරිපාලනය අතර වූ අසමගියක් බව පසුව අපට දැන ගන්න ලැබුණි. මේ අපේ රටේ සැබෑ තත්වයයි.

එකම ප්‍රමාණයෙන් ඇරඹුන CPRI සහ ලංකාවේ සරසවි වල අධිවොල්ටියතා පර්යේෂණාගාර අද අහසට පොලව වැනි තල දෙකකය. ලංකාවේ හැටි එහෙමය.   

ඉන්දියාව විද්‍යා හා තාක්‍ෂණ කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතා දුර දැක්මක් ඇති ප්‍රතිපත්තියකි. ජාත්‍යන්තර දැනුම සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන්නේ පහත දැක්වෙන උපාය මාර්ගයයි.

යම් ව්‍යාපෘතියක් සඳහා තාක්ෂණ දැනුම අවශ්‍ය වූ විට ඔවුන් මුලින්ම ඉන්දියාවේ සිටින විද්‍යාඥයන්ගේ සහය ලබාගනී. ඔවුන් තුල දැනුම නොමැති විට තෝරාගත් පිරිසකට වෙනත් රටක පුහුණුව ලබා දී කෙටි කලකින් අවශ්‍යතාවය සපුරා ගත හැකිදැයි ඔවුන් සොයා බලයි. මෙම විසඳුම නොතිබේ නම් ඔවුන් වෙනත් රටවල සිටින ඉන්දියානු සම්භවයක් ඇති අදාළ උගතුන්ගෙන් අවශ්‍ය තාක්ෂණය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි. එයත් අපහසු කල ඔවුන් පකිස්ථානය හැර කළාපයේ වෙනත් රටවල සිටින විද්‍යාඥයන්ගෙන් තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට උත්සහ කරයි. එම විකල්පයත් නොමැති කල පමණක් ඔවුන් බටහිරට යොමු වේ. 

ඉන්දියාව බුද්ධි ගලනය නවතාලන්න උත්සහ කලේ නැත. ඒ වෙනුවට ඔවුන් ගැලූ බුද්ධිය ප්‍රවර්ධනය වන තුරු සිට එහි ඵල නෙලා ගැනීමට උත්සුක විය.

ලංකාවේ අපි

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු උදෙසා පිටරට සිටින විද්‍යාඥයන්ගේ දායකත්වය ලබාගැනීමට යැයි පවසමින් ජාතික විද්‍යා පදනම (NSF) මගින් වසර 2011 දී "Global Forum of Sri Lanka" නමින් පදනමක් පිහිටවිය. 2011 දෙසැම්බරයේදී  මේ පදනම මගින් විශාල මුදලක් වැය කරමින් කොළඹදී දැවැත්ත සමුළුවක් පැවැත්විය. ඉන් පසු එම පදනමේ සාමාජිකත්වය ලබා ගත් අයට යම් යම් ව්‍යාපෘති ගැන විස්තර දන්වමින් ඉඳහිට ඊ මේල ලැබෙන්න විය. වසරක් පමණ යන විට මෙම විද්‍යුත් තැපෑල සාමාජිකයන්ගේ උපන් දින සැමරුම් දන්වා එවීමට පමණක් සිමා විය. අද එයත් නැත.

කුණු ප්‍රශ්ණය එතැනමය, රජරට වකුගඩු ප්‍රශ්ණය වෙනත් ප්‍රදේශ වලටද පැතිරෙමින් පවතී, බලශක්තිය අර්බුධයක් බවට පත්ව ඇත, නාය යාම් වලක්වා ගැනීමේ මනා ක්‍රමවේදයක් හෝ නුතන තාක්ෂණයක් අපිට නැත, ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය සහ ක්‍රියාකාරිත්වය තීරණය කරන්නේ ඩෙංගු මදුරුවාමය, සියවස් දෙකක පමණ පටන් තේ වැව්වත් නිමි තේ තාක්ෂණයක් අපිට නැත. තව කියාගෙන යන්න හැකි මුත් එමගින් සිතට දැනෙන දුක වැඩි වනවා පමණි.

ගිනි ගොඩේ දැවෙන විට එයට බනිමින් අපි මඩ ගොඩට පනිමු. මඩ ගොඩේ දුගඳ උහුලන්නට නොහැකි විට අපි නැවතත් ගිනි ගොඩට පනිමු. දශක ගණනාවක් තිස්සේ මේ තේරීම් දෙකෙන් ඔබ්බට යා ගත නොහැකිව, එකිනෙකාටත්, අසල්වැසියාටත් බැන වදිමින් අපි සදා දුක් ගොඩක සිටින්නෙමු.

නිල් වන් තණ බිමකට පිය නගන්න ජාතියට වාසනාව ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා හැර වෙන කරන්න දෙයක් නැත.