Saturday 30 September 2023

CEB එකෙන් නිදහස්වීමේ මග: Urban Microgrid


මේ වන විට ලංකාව දැඩි විදුලි බල අර්බුදයකට මුහුණ දෙමින් පවතී. වරද කා අත වුවත් ඉන් දුක් විඳින්නේ මහජනතාවයි. පාලකයා ගැටළුව නොදුටුවා සේ සිටින විට එයට පිළියම් සෙවීමේ බලතල තමන්ගේ අතට ගැනීමට ජනතාවට සිදුවේ. අපි දකුණු අප්‍රිකාවේ මේ සඳහා පියවර රාශියක් තබා ඇත. Urban microgrid ඒ අතර මුල් තැන ගනියි. ඒ ගැන ලංකාවේ ඔබටත් යම් පණිවිඩයක් දිය යුතු යයි සිතුවෙමි. 

මේ කටයුත්ත ලෙහෙසියෙන්ම ඇරඹිය හැක්කේ නිවාස සංකීර්ණ තුලය. Microgrid සැකැස්ම සහ මෙහෙයුම (design & operation) කිහිප ආකාරයකින් කල හැක. ඉන් එක් ආකාරයක් නම් සංකීර්ණයේ සියළුම නිවාසවලට සුර්ය කෝෂ පද්ධති සවිකර එක් ස්ථානයක රඳවන විශාල battery bank එකක් charge කිරීමයි. මෙයට ප්‍රදේශයේ ස්වභාවය අනුව සුළං මෝල් හෝ කුඩා ජලවිදුලි උත්පදකයන්ද එක් කල හැක. අත්‍යවශ්‍යම අවස්ථාවලදී ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් ජෙනරේටරයක්ද standby තැබිය හැක. මේ සියල්ල ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීමට power management system (PMS) එකක් යොදාගත හැක. 

ඉහත සැකැස්මෙදී අවශ්‍ය වන්නේ එක inverterයක් පමණි. විදුලිබල මණ්ඩලය මේ සඳහා සහයෝගය දෙයි නම් නිවාස සංකීර්ණයට විදුලිය ලබාදෙන distribution board එකේදී auto changeoverයක් මගින් මෙම පද්ධතිය නිවාස සඳහා සම්බන්ධ කල හැක. එම නිවාසවලට smart meter සම්බන්ධ කර ඇති නම් ඉතා පහසුවෙන් මෙම පද්ධතියෙන් විදුලි බලය ගන්නා අවස්ථාවල භාවිතා කරන ඒකක ගණන CEB එකට බැරවීම නවත්වා PMS එක මගින් පාලනය වන පුවරුවක ඇති එක් එක් නිවසට අදාළ ගිණුමකට බැරකල හැක. මාසිකව මෙම පද්ධතියේ නඩත්තුව සඳහා කිසියම් මුදලක් අය කරගත හැකි අතර විදුලි බලය භාවිතා කිරීමේ ප්‍රමාණය අනුව එම මුදල අඩු-වැඩි කල හැක (PMS එක මගින්ම එය ගණනය කල හැක). මෙම මුදල විදුලිය සඳහා කරන අයකිරීමක් නොවන බැවින් ඒ පිළිබඳව නීතිමය ගැටළුවක් ඇති වන්නේ නැත. 

තවත් microgrid සැකැස්මක් නම් සෑම නිවසකම සුර්යකෝෂ පද්ධතියක්, බැටරි පද්ධතියක්, ඉන්වටරයක් සහ චේන්ජ් ඕවරයක් සම්බන්ධ කිරීමයි. ඉන්වටරයෙන් පසු සියලුම නිවාස PMS එක හරහා ජාලගත කරනු ලැබේ. අවශ්‍ය නම් මධ්‍යගත battery bank එකක් සහ ඩීසල් ජෙනරේටරයක්ද මෙම ජාලයට සම්බන්ධ කල හැක. මෙහිදී CEB එකෙන් ස්වායත්තව ඔබට microgrid එක ක්‍රියාත්මක කල හැක. 

නිවාස සංකීර්ණ වලින් ඔබ්බට microgrid සංකල්පය ගෙනයාමේදී අදාළ පළාත්පාලන ආයතනවල අනුග්‍රහය අත්‍යවශ්‍ය වෙයි. දකුණු අප්‍රිකාවේ අප බලාපොරොත්තු වන්නේ PMS එකේ ක්‍රියාකාරිත්වය සහ මුදල් පරිපාලනය පලාත්පාලන ආයතනයට බාරදීමටයි. වසර 2020දී මේ රටේ පලකල ගැසට්ටුවක් මගින් විදුලිය විකිණීමේ බලතල  පලාත්පාලන ආයතන වෙතටද පැවරුණි. 

මෙම microgrid පැකේජයක් ලෙස සැපයීම ඉතා ලාබදායි ව්‍යාපාරයක්ද වෙයි. මෙයට රජයේ අනුග්‍රහය ලැබේ නම් ටික කලකින් විදුලි බල ගැටළුව සාර්ථකව නිමකළ හැකි වනු ඇත. ලංකා විදුලිබල මණ්ඩලය මේ සංකල්පය දෙස කුමන ඇසකින් බලයිද කියා අපි බලාගෙන ඉඳිමු. 





Sunday 17 September 2023

ඇත් මවට පිං අනුමෝදනා කරමු


අද අපට මොලමුරේලාගේ කාලේ මෙන් වන ඇතුන් කොටු කර මදු ගසා අල්ලා ගැනීමට නීතියෙන් ඉඩක් නැත. මා දන්නා තරමට ලංකාවේ හීලෑ ඇතුන් අභිජනනය කිරීමේ තාක්ෂණයක්ද නැත. එසේ නම් හීලෑ කරගැනීමට අලි ඇතුන් ලබා ගත යුත්තේ වනාන්තරයෙන් අලි පැටවුන් හොර රහසේ රැගෙන ඒමෙනි. 

තම පැටවා ස්ව කැමැත්තෙන් මිනිසුන්ට ලබා දීමට කිසිම ඇත් මවක් කැමති නොවන බව යම් හෝ බුද්ධියක් ඇති සැමටම වැටහෙනු ඇත. එසේ නම් අලි පැටවුන් ලබා ගත යුත්තේ කිරි එරෙන මව් ඇතින්න මරා දමාය.

කෙසේ හෝ ආගමික සංස්කෘතිය රැකගත යුතු බවට බහුතරයක් සිතනා රටක මව් ඇතින්න ඝාතනය කර ඇත් පැටවුන් පැහැරගැනීමේ වරදක් නැති විය හැක. ඒ නිසා මම එහි ගුණ දොස් විචාරීමට නොයමි.

ඊළඟ දවසේ පෙරහැරේ ඉතා ආඩම්බරයෙන් සහ ස්ව කැමැත්තෙන් කරඬුව රැගෙන වඩින පිංවත් ඇත් රජා දෙස බලාගෙන බුද්ධාලම්බන ප්‍රීතිය ලබන ඔබ තම ජීවිතය සහ දරුවා දන් දුන් මව් ඇතින්නටද පිං අනුමෝදනා කරන්න. 



Saturday 9 September 2023

නැට්ටෙන් අල්ලා ගත් පෙරහරේ අලි


පෙරහැරේ අලි ඇතුන් ගෙන යාම පිළිබඳව මගේ අදහස කිහිප දෙනෙකුම මගෙන් අසා ඒවා තිබුණි. අලි ඇතුන් නිසා සමාජය ගිනියම් වන අගෝස්තුවේ ඒ ගැන කිසිවක් ලිවිය නොයුතු යැයි මම සිතුවෙමි. ලංකාවේ අනෙක් බොහෝ කාරණා මෙන්ම පෙරහැරේ අලි පිළිබඳවද පක්ෂ විපක්ෂ දෙපිරිසම නැට්ටෙන් අල්ලාගෙන ඇති බව මට හැඟුනි.

ලොව වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් සිටින අගනගරය බැංකොක් නුවරයි. ඒ සංචාරකයන් පිනවීම සඳහාය. වසර 2021 මේ අලි ඇතුන්ටත් ඇත් හිමියන්ටත් තදබල අපල කාලයක් විය. කෝවිඩ් සීමා හේතුවෙන් තායිලන්තයට සංචාරකයන් පැමිණීම ශුන්‍ය විය. මේ නිසා ජීවන වියදම අධික බැංකොක් නගරයේ තව දුරටත් තම අලි ඇතුන් නඩත්තු කිරීම බොහෝ ඇත් හිමියන්ට ඉතා අපහසු කාරණයක් විය. තම අලි ඇතුන්ද රැගෙන ඈත එපිට ගම්බද ප්‍රදේශ වලට යාමට බොහෝ දෙනා තීරණය කළහ. ඒ දිනවල අලි ඇතුන් සිය ගණනක් පාර දිගේ ගමේ යනු සුලබ දසුනක් විය. මේ අලි ඇතුන් බොහෝ දෙනෙකුට විලංගු දමා තිබුණේ නැත. ඇත් ගොව්වන් (ඔවුන් ඔහු හඳුන්වන්නේ ඇත් බාරකරු ලෙසයි) අත තියුණු උල් ආයුධ තිබුනේවත් ඇතුන්ට නොයෙකුත් ආකාරයෙන් තාඩන පීඩන කරනවාවත් කිසිවෙක් දුටුවේ නැත.

ලංකාවේ පෙරහැරේ යන අලියාට මෙන්ම පන්සලේ සිටින අලියාටද දෙපය ඈත් කල නොහැකි පරිදි යෝධ දම්වැල් දමා ඇත. බොහෝ අලි ඇතුන්ගේ දෙපාවල මෙන්ම සිරුරේ වෙනත් තැන්වලද දම්වැල් වලින් සහ හෙණ්ඩුවෙන් ඇනීමෙන් වූ තුවාල රාශියක් ඇත. ඇත්ගොව්වන් අලින්ට ඉතා කෲර ආකාරයෙන් සලකන වීඩියෝ පටි ගණනාවක් යූ ටියුබයේ සැරිසරයි. ඔවුන් බොහෝ විට සිටින්නේ අධික බීමතිනි.

වරද කොතනද?

ලංකාවේ ඇත් හිමියා සහ ඇත්ගොව්වා අතර ඇත්තේ ආර්ථික-සමාජීය වශයෙන් අහසට පොලව වැනි වෙනසකි. බොහෝ ඇත්ගොව්වන්ගේ ජීවන තත්වය ඉතා දුක්ඛිතය. ඔවුන් ඇත්ගොව්වන් වී ඇත්තේ එක්කෝ පරම්පරාවෙන් ලද රැකියාව නිසාය. නොඑසේ නම් වෙනත් රැකියාවක් නැති නිසාය. බොහෝ ඇත් හිමියන්ට ඇත්ගොව්වා ප්‍රවේණිගත දාසයකු පමණි. ඇත් ගොව්වාගේ ජීවන තත්වය ඉහල දැමීමට ඇත් හිමියන් කිසිවිටක උත්සහ නොගන්නේ මේ නිසාය. 

ගෘහස්ත කරගත් අලි ඇතුන් හෙණ්ඩුවෙන් ඇන, තලා පෙලා වැඩ කරගැනීම තායිලන්තය වැනි රටවල නවත්වා දැන් දශක ගණනාවකි. ඒ වෙනුවට අලි ඇතුන් හීලෑ කර පුහුණු කිරීමේ තාක්‍ෂණය ප්‍රගුණ කිරීම සඳහා පාසැල් සහ ආයතන ඇරඹිණි. සතුන්ට වද හිංසා නොකර ඔවුන් කීකරු කරගැනීමේ කලාව එහිදී ඔවුන් ඉහලටම ඉගෙන ගනියි. මෙම සමහර පාසල් විශ්ව විද්‍යාල තත්වයට උසස් කිරීමට දැන් තායි රජය කටයුතු කරයි. බොහෝ අවස්ථාවල ඇත් ගොව්වා සහ ඇත් හිමියා එක් පුද්ගලයෙකි. මේ නිසා ඔහු ඇතාව ආදරයෙන් රැක බලා ගනියි. දැන් මෙම පාසල් වලින් පුහුණුව ලැබු කාන්තා ඇත් ගොව්වන්ද ඔබට තායිලන්තයේදී දැකගත හැක. 

පෙරහැරේ අලි ඇතුන් ගෙනයාම තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවෙන් සමාජ මාධ්‍යවල මාරාන්තික සටන් කරන පිරිසටද ඊට එරෙහිව මහා දිග පදවැල් රචනා කරන පිරිසටද මම මෙසේ කියමි.

ඔබට හැකිද රජයට බලකරන්න ඇත්ගොව්වකු වීමට නම් ඒ සඳහා අනිවාර්ය පුහුණුවක් තිබිය යුතු බවට නීති ගෙන ඒමට 

ඔබට හැකිද ඇත් හිමියන්ට බලකර සිටින්න තම මුදලින් ඇත්ගොව්වන් තායිලන්තයට හෝ යවා පුහුණු කරවිය යුතු බවට 

ඔබට හැකිද ඇත්ගොව්වන්ගේ සේවය වෙනුවෙන් ඉහල වැටුපක් ගෙවා එය ගෞරවාන්විත රැකියාවක් කිරීමට බලකරන්න 

පෙරහැරේ ගියත්, පන්සලේ සිටියත්, සංචාරකයන් පිටේ තබාගෙන ගියත්, අලි ඇතුන් අවම සත්ව කරුණාවක් යටතේවත් ජීවත්වෙනවා දකින්න ඔබ කැමති නැද්ද?  එසේම ඇත්ගොව්වා ඔබත් මාත් මෙන්ම සමාජයේ පිළිගත් රැකියාවක් කරන යහපත් ජීවන තත්වයක් තිබෙන පුද්ගලයෙකු විය යුතු යැයි ඔබට සිතෙන්නේ නැද්ද?  

ඔබ සටන් කල යුත්තේ මේ සඳහා නොවේද?


Sunday 3 September 2023

මහරගම පිළිකා රෝහලේ ඛේදවාචකය


මීට වසර 10ට පමණ පෙර මම ගිලන්ව සිටි මගේ සමීපතම ඥාතියකු බැලීම සඳහා මහරගම පිළිකා රෝහලට ගියෙමි. එවකට අප මැලේසියාවේ පදිංචි වී සිටි අතර රෝගියා වෙනුවෙන්ම අපි සති දෙකකට මැලේසියාවේ සිට ලංකාවට පැමිණියෙමු. ඥාතියා බැලීමෙන් පසු මගේ බිරිඳ නෑදෑ හිතමිතුරන් කිහිප දෙනෙක් සමග කතාබහට වැටුණු අතර මම හදිසි දුරකථන ඇමතුමක් දිය යුතුව තිබුණු බැවින් මෝටර් රථය වෙත පැමිණියෙමි.

රියඳුරු අසුනේ හිඳ දුරකථන ඇමතුමෙහි යෙදී සිටින විට මට අසල බිත්තියක වූ දසුනක් නෙත ගැටුණි. වහා වාහනයෙන් පිටතට පැමිණි මම එහි ඡායාරූපයක් ලබා ගතිමි. එහි වුයේ ගොඩනැගිල්ලේ අකුණු සන්නයකයේ සිට පැමිණෙන down conductor එක ආධාරකය ලෙස ගෙන සවි කර ඇති විදුලි රැහැනකි. බැලූ බැල්මට එම විදුලි රැහැන අළුතෙන් සවි කරන ලද්දකි. මෙය අකුණු ආරක්ෂණයේ මූලික සිද්ධාන්තයක් කඩ කරන ඇතුලේ ඇති උපකරණ වලට බලවත් හානි පැමිණිය හැකි ක්‍රියාවකි.

නිවසට පැමිණි විගස මම එවකට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කල මගේ බිරිඳගේ නැගණිය අමතා මේ බව පැවසුයෙමි. ඇය පවසා සිටියේ බාහිර පෙනුමෙන් බොහෝ විට මේ ගොඩනැගිල්ල ඊට ටික කාලයකට පෙර ඉතා අධික මිලක් ගෙවා මිලදී ගත් sychrotron යන්ත්‍රය සවිකළ ස්ථානය විය හැකි බවයි. ඉන් පසු මම සියලු වැඩ පසෙකලා ඇය ලබා දුන් ඊමේල් කිහිපයකට මේ සිද්ධිය සහ එහි බරපතල කම පිළිබඳව දන්වා යැව්වෙමි. ඒ එම ආයතනයේ ඉහලම නිලධාරින් කිහිප දෙනෙකුටය. ඒ කිසිවෙකුගෙන් මට පිළිතුරක් හෝ ලැබුණේ නැත.

අප මැලේසියාවට යාමට දිනකට පෙර පුවත්පත් සිරස්තලය වුයේ පෙරදින කොළඹ ප්‍රදේශයට බලපෑ ප්‍රබල අකුණු කුණාටුව නිසා මහරගම පිළිකා රෝහලේ ඉතා වටිනා උපකරණයකට රුපියල් කෝටි ගණනක හානි සිදුවී ඇති බවයි. මගේ නෙතට කඳුලක් මෙන්ම හිතට යම් වරදකාරී හැඟීමක්ද මතුවිය.

මේ අනතුර පිළිබඳව අදටත් මහරගම පිළිකා රෝහලේ නිලධාරීන්ට මතක ඇතැයි මම සිතමි. කිසිවෙකුට වරද පැටවිමටවත් කිසිවෙකු අපහසුවට පත් කිරීමටවත් මට අවශ්‍ය නැත. මේ පිළිබඳව මෙතෙක් ආරක්ෂණ පියවරක් ගෙන නැත්නම් ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි පමණක් මම ඉල්ලා සිටිමි.