Tuesday 25 February 2020

විප්ලවවාදියෙක් හමු වුනෙමි



ඒ ජවිපෙ-එජාප භිෂණය දරුණුවටම පැවති 88/89 වකවානුවයි. එය අප සරසවි සිසුන්යැයි පැවසීමට තබා කෙඳිරීමටද බියවූ සමයකි. දෙමව්පියන්ගෙන් හැම දෙයටම මුදල් ඉල්ලීමට නොහැකි නිසා අප බොහෝ දෙනෙකු කුමක් හෝ අවිධිමත් රැකියාවකට යොමු විය. උපකාරක පන්ති හෙවත් ටියුෂන් මේ අතරින් ප්‍රධාන විය.

අප එදවස බොරලැස්ගමුව පරෝපාකාර මාවතේ නිවසක පදිංචි වී සිටි අතර, මම සතියකට වතාවක් අබේරත්න මාවතේ පිහිටි නිවසක සිසුවෙකුට උපකාරක පන්තියක් පැවැත් වුයෙමි. මේ සඳහා යාමට තිබු  කිලෝමීටර 2-3 ක දුර ඇතුලත පාරවල් වලින් පාගමනින්ම යාමට මම පුරුදු වී සිටියෙමි. එම මාර්ගයේ එක් හරියක පාළු කනත්තක් තිබුණි. එකල එහි වැටවල් කැඩී බිඳී ගොස් තිබුණු අතර ගේට්ටු නොවීය. මේ කනත්ත වටේ පාරෙන් යනවාට වඩා කනත්ත මැදින් යාමෙන් මීටර දෙතුන් සියයක් මාර්ගය කෙටි කරගත හැකි විය.

දිනක් මම සවස් වරුවේ පන්තිය නිමවී පැමිණෙන විට කනත්ත අසලදී වර්ෂාවක් ඇරඹුණි. මේ නිසා මම කනන්තේ පාංශකූලය දීම සඳහා මෘත ශරීරය තැම්පත් කරන කුඩා ශාලාවට දිවගොස් එහි කොට බිත්තිය මත වාඩි වුනෙමි. එවිටම කනත්තේ කැලෑවට ගොස් තිබූ කොටසකින් මතු වූ කිසිවෙකු වේගයෙන් මා සිටින දෙසට දිව ආවේය. ඔහුගේ එක් අතක කුඩා පිහියක්ද, අනෙක් අතේ සිලි මල්ලක්ද විය. එම පුද්ගලයා මගේ වයසේම වාගේ විය. ඔහුද වර්ෂාවෙන් බේරීමට දිව ආ බව පෙනුණි.

මා දෙස බලා සිනාසුනු තරුණයා "මාර වැස්සක්, හිතුවේ වත් නැහැ වහී කියල ඉර පායලා තිබුණු විදියට" යයි කීය.  ඔහු ඇඳ සිටි දුර්වර්ණ වූ ටී ෂර්ට් එකත්, මැහුම් ලෙහුණු කොට කලිසමත්, අඩියටම ගෙවුණු රබර් සෙරෙප්පු දෙකත් ඔහුගේ දරිද්‍රතාවය කියා පෑවේය. එහෙත් මෙම තරුණයා කඩවසම් පෙනුමකින් යුක්ත විය. 

ටික වෙලාවකින් අපි කුළුපඟ කතා බහකට අවතීර්ණ වුනෙමු. ඔහුගේ අතේ ඇති මල්ලේ යම් කොළ වර්ගයක් වැනි යමක් දුටු බැවින් මම "බෙහෙතක් හොයන්න ආවද?" කියා ඇසුවෙමි.

මදක් නිහඬව සිටි තරුණයා "නැහැ මල්ලි, ඇත්තටම මම ආවේ කැලේට වැවිලා තියෙන මැල්ලුම් කොළ ටිකක් කපාගෙන යන්න. රෑට උයන්න" කියා උත්තර දුන්නේය.

එතැන් සිට අපි දෙදෙනා බොහෝ පෞද්ගලික කාරණා කතා බහ කළෙමු. ඔහු සහ දෙමව්පියන් සිටින්නේ කනත්තට යාබද රජයේ ඉඩමක කුඩා පැල්පතකය. නිවස අවට ඉඩමෙහි ඔහුගේ දෙමව්පියෝ මඤ්ඤොක්කා සහ බතල පාත්තියක් වගා කර ඇත. ඔවුන් ඉරිදා කරගම්පිටියේ පොළට මෙහි පලදාව රැගෙන ගොස් විකුණා ඒ ලැබෙන මුදලින් ජිවත් වෙති. තරුණයා ගරාජයක වැඩකර ඇති අතර එයට නිතරම පොලිසියෙන් පැමිණ වැඩකරන තරුණයන්ගෙන් ප්‍රශ්න කරන්නටත් තර්ජන ගර්ජන කරන්නටත් වූ බැවින් තරුණ වියේ පුතුන් සිටි ගරාජය හිමිකරුවා එය වසා දමා ඇත. දැන් ඔහු දෙමව්පියන්ට අත් උදව් දෙමින් ජීවත්වෙයි.

"බයයි මල්ලි ඉන්න, රස්සාවක් කරන්නේ නැහැ කිව්ව ගමන් පොලිසියෙන් ගෙනිහින් නෙලනවා", ඔහුගේ දෙනෙතේ ඇත්තේ අසරණ කමකි. මගේ තත්වයද ඔහුගෙන් ඒ හැටි වෙනස් නොවන බව මම නොකියා සිටියෙමි.

"අපි පවුල් දොළහක් විතර වත්තේ ඉන්නවා ගෙවල් අටවාගෙන. හැමෝම කරන්නේ ඔය එළවළුවක් පලාවක් වවාගෙන පොලට ගිහින් විකුණගන්න එක. ඒකත් ඉතින් සතියට එක පාරයිනේ".

මම මදක් කල්පනා කලෙමි. මම ඔහුගේ තැන සිටියා නම් කරන්නේ මොනවද කියා සිතුවෙමි. ඉන් පසු මම ජිවිතේ පලවෙනි ව්‍යාපාරික උපදේශනය මෙම තරුණයාට ලබා දුනිමි.

"ජයන්ත, ඔයා මෙහෙම කරන්න. පුලුවන්නම් කොහෙන් හරි බයිසිකල් කට්ටක් හොයාගෙන ඒකෙ ලගේජ් එකට ලොකු ලී පෙට්ටියක් හයි කරගන්න. ඔයගොල්ලන්ගේ වත්තේ කට්ටිය වවන දේවල් ඔයාට උදේට නයට ඉල්ලගන්න පුළුවන්නේ. ඊට පස්සේ ඒවා මේ පැත්තේ ගෙවල් වලට විකුනන්න බලන්න. හැබැයි ටිකක් කෑගහන්න, චාටර් වෙන්න වෙනවා".

"මේ දවස්වල මිනිස්සු වැඩිය එහෙ මෙහෙ යන්නත් කැමති නැති නිසා ගේ ළඟටම ගෙනත් දෙන එක ගන්න කැමති වෙයි" මම කතාව අවසාන කලෙමි.

"නියම වැඩේ මල්ලි, බයිසිකල් කට්ටක් තියෙනවා එක මාම කෙනෙකුගේ ගෙදර. ලී පෙට්ටිය ගහගන්න මට පුළුවන්. වැඩ කරපු ගරාජ් එකේ මහත්තයගෙන් ලී පතුරු ටිකක් ඉල්ලා ගන්න පුළුවන්" ජයන්ත මා සිතුවාට වඩා බොහෝ සෙයින් සතුටු වන බව පෙනුනි. ඔහු තව විනාඩි කිහිපයක් මා සමග කතා කලත් ඔහු සිටියේ බොහෝ දුර කල්පනාවකය.

වැස්ස තුරල් වන විට "මම තව වැල් කොහිල දළු ටිකක් කපාගන්න දුවන්නම්. කළුවර වැටුනොත් අමාරුයි" කී ජයන්ත පඳුරු අතරින් නොපෙනී ගියේය.

නැවතත් මට ජයන්තව හමු වුයේ ඊට වසරකට පමණ පසුවය. එවිට රටේ තත්වය සන්සුන් වී සරසවි විවෘත වී තිබුණි. මම සරසවියට යාම පිණිස උදෑසන බස් නැවතුම් පොළ වෙත පියනගමින් සිටියෙමි. මා පසුකර ගිය C-90 යක් එකවරම නැවැත්විය. බයිසිකලයේ පිටුපස විශාල ලී පෙට්ටියක් විය. මා අසලට යන විට හෙල්මටය ගැලවූ පුද්ගලයා "මල්ලි මාව මතකද?" කියා විමසීය.

ජයන්ත දැන් බිත්තර වෙළදාමක් කරයි. උදේට පළාතේ නිෂ්පාදකයන්ගෙන් බිත්තර ලබාගන්නා ජයන්ත ඒවා කඩ වලට බෙදයි. එමගින් ඔහුට හොඳ ආදායමක් ලැබෙන බව ජයන්ත නිහතමානිව කීය. මෝටර් බයිසිකලයද ඔහුගේමය. පාවිච්චිකළ රථයක් ගත් බවත්, එහි මිලත් ජයන්ත මා සමග කීය. දැන් පාපැදියේ එළවලු රස්සාව කරන්නේ ඔහුගේ පියාය. එළවලු කොටුවලට සාත්තු කිරීමටත්, අවට වගා කරුවන්ගෙන් පලදාව එකතු කිරීමටත් ඇති බැවින් ඔහුගේ මව දැන් පොලෙහි වෙළඳාමට නොයන බව ඔහු කීය.

"මල්ලිගේ පැලෑන් එක නම් නියමයි. ඉන්නකෝ පොඩ්ඩක්, මම හිතුවා කවද හරි හම්බ වෙයි කියල" කියමින් මෝටර් සයිකලයෙන් බට ජයන්ත බෑගයක් ගෙන පෙට්ටියෙහි තිබු බිත්තර එහි අසුරන්න විය.

"මේ මොකටද" මම ඇසුවෙමි. 

"මල්ලිට මේ බිත්තර ටිකක් දෙන්න. හම්බ වුන එක කොච්චර දෙයක්ද".

මා සරසවියට යන බැවින් බිත්තර ගෙනයාමට නොහැකි බව ඉතා අසීරුවෙන් මම ජයන්තට පැහැදිලි කර දුන්නෙමි. "එහෙනම් මම ගෙදරට ගෙනත් දෙන්නම්" යයි ජයන්ත කීවත් මම කෙසේ හෝ ඒ කතාවත් මග හැරියෙමි. කතා කිරීමට බොහෝ දේ තිබුණත් මගේ හදිස්සිය නිසා අපට ඉක්මනින් සමුගන්න සිදුවිය.

ඉන් පසු වසර දහයක් දොළහක් පමණ ගත විය. ජිවිතයේ බොහෝ වෙනස්කම් සිදුවිය. ජයන්තව මට අමතකම වී ගියේය.

දිනක් යම් කටයුත්තකට ගොස් එන අතර මම අත්තිඩිය ප්‍රදේශයේදී තැඹිලි ගෙඩියක් බිමට සිතා මෝටර් රථය නවත්වා අසල පිහිටි කඩයකට පිය නැගුවෙමි.

එය තරමක විශාල හාල්, සීනි, පිටි වැනි සාමාන්‍යයෙන් අවශ්‍ය වන භාණ්ඩ රාශියක් තිබෙන සිල්ලර සහ කුඩා තොග වෙළඳ සලකි. එහි  එළියේ මනාවට එළවලු ඇතුරූ  විශාල ලී තට්ටුවකි. ඒ අසල තැබූ තැඹිලි වලු කිහිපයකි. වයස අවුරුදු 18 ක පමණ කොලු ගැටයෙක් එහි අඩු එළවලු පුරවයි. 

බීමට තැඹිලි ගෙඩියක් කපන්න යැයි කොලු ගැටයාට කියූ මම කඩය තුලට දෑස යොමු කලෙමි. එහි  කුඩා ඉනිමගකට නැග තවත් තරුණයෙක් පෙට්ටි වගයක් රාක්කයක තැම්පත් කරයි. අනෙක් කෙලවරේ ඇති කැෂියර් මේසය පිටුපස කඩේ හිමිකරුවා යයි සිතිය හැකි අයෙක් මුදල් ගණන් කරමින් කොලයක යමක් ලියයි. ඔහුගේ කරේ ඝනකම රත්‍රං මාලයකි. තරමක තරබාරු මේ පුද්ගලයා ජයන්ත වත් දෝයි මට නිකමට සිතුණි. මා අවසන් වරට දුටු නව යොවුන් තාරුණ්‍යයෙන් සැහෙන එපිටට පිය නගා තිබුනද ඒ මුහුණේ හැඩරුවෙන් නම් ජයන්තමය. 

ඒ සමගම යම් සමාගමකට අයත් ලොරියක් ඇවිත් කඩය ඉදිරිපිට නැවැත්වුනි. ඉන් පිටතට බට, අත් කොට කමිසය හැඳ, ටයි පටියක් දා ගත් අලෙවි නියෝජිතයෙක් කඩය තුලට පිය නැගීය. බාහිර අයට ඇතුළු විය නොහැකි සේ සකස් කර තිබු කෙටි පියන්පත් අසලට ගිය අලෙවි නියෝජිතයා "ජෑන්ත මුදලාලි" යයි තරමක හඬින් කතා කලේ මගේ සැකය තහවුරු කරමිනි. හිස ඔසවා බලු ජයන්ත හිනිමගේ සිටි ගැටයා අමතා පියන්පත් අරින ලෙස සංඥාවක් කළේය. ඔහු මා දෙස නොබැලීය. ඒ සමගම තැඹිලි ගෙඩිය කැපූ ගැටයා එය මට පිළිගැන්වීය. 

තැඹිලි ගෙඩිය පානය කල මම ගැටයා අතට මුදල් දී වාහනයට පැමිණියේ ලොවක් ජයගත්තා වැනි සතුටකිනි. ඉන් පසු මම කවදාවත් ඒ කඩයට නොගියෙමි. ජයන්ත මාව හැඳින ගැනීමක් මට අවශ්‍ය වුනේ නැත. මා දෙසවත් නොබලා ඔහු ඔහුගේ ජයග්‍රාහී කතාව අග ඉදන් මුලටම මට පහදා දුන් බව මට වැටහුණි. කවුරුවත් නොදන්නා නමුත් ඒ ජයග්‍රහණයේ කෙළවරක මගේ නමත් ලොකු අකුරෙන් ලියවී ඇති බව මට සිතුනි. 

අද ජයන්ත කොතැනක සිටිනවාදැයි මම නොදනිමි. මම ඒ පලාතෙන් බොහෝ දුර ඈතකය. එහෙත් මට කනත්තේ දී හමුවූ ජයන්තට වඩා බොහෝ සෙයින් හොඳ ජීවන තත්වයක් ජයන්ත විසින් තව විසි තිස් දෙනෙකුට වත් ඍජුව මෙන්ම වක්‍රවද ලබා දී ඇති බව මට නොඅනුමානය.

ජයන්ත මට සැබෑ විප්ලවවාදියෙකි. අවි අතට ගෙන සමාජය වෙනස් කිරීමට කියා සමාජය සතු දේම විනාශ කල ජයන්තගේ සමකාලිනයෝ බොහෝ දෙනෙක් සමාජයට තබා තම දෙමව්පියන්ටවත් යමක් නොකර අකාලයේ මිය ගියෝය. ඔවුන් මුළු සමාජයම වසර ගණනාවකින් ආපස්සට ගෙන ගියහ. අදටත් ඔවුන්ගෙන් ඉතිරි වූ අතලොස්ස ඒ විනාශය අභිමානයෙන් සමරති. අළුතෙන් සමාජයට පිය නගන තාරුණ්‍යයද ඒ මගම ගෙන යති. 

ලිප්ටන් වට රවුමේ, වෝඩ් පෙදෙසේ, පිටකොටුවේ දවස් ගණන් තම කාලයද අනුන්ගේ කාලයද කා දමන තාරුණ්‍ය පිළිබඳව අසන දකින හැමවිටම මට ජයන්තව මතක් වෙයි. ඔවුන්ගේ සටන ජයන්තගේ සටන වුණා නම්….. 

ජපානයේ, දකුණු කොරියාවේ, තායිවානයේ සිදු වුනේ, අද වියට්නාමයේ මෙන්ම බංගලාදේශයේ පවා සිදුවන්නේ මේ විප්ලවය නොවේදැයි මට සිතේ. 

මේ ලිපිය කියවා තව එක විප්ලවවාදියෙක් බිහිවේ නම් එය මට රජකම ලැබුනාට වඩා අගනේය. 





Saturday 22 February 2020

මේ කොයි යන්නේ


ඒ පක්‍ෂ දේශපාලනය මිනිසුන්ගේ ඇට මිදුළු තුල ස්ථාපිත වී තිබූ 70-80 වකවානුවයි. ජිනදාස නියතපාල යනු එවකට සිටි ප්‍රකට දේශපාලන චරිතයකි. ඔහු ප්‍රසිද්ධ වී තිබුණේ කාලයෙන් කාලයට පක්‍ෂ මාරු කිරීම සම්බන්ධයෙනි. සාමාන්‍යයෙන් ඔහු එක් පසකින් අනෙක් පසට මාරු වුයේ මහා මැතිවරණයක් ආසන්නයේදීය. නමුත් නියතපාල මහතාට බොහෝ විට වැරදුනි. ඔහු අළුතින් එක්වන පක්ෂය හැමවිටම පාහේ චන්දය පැරදුණි. මේ නිසා ඒ දවස්වල ප්‍රකට  කියමනක් විය. එනම් "නියතපාල ඇති තැන ආණ්ඩුව නැත. ආණ්ඩුව ඇති තැන නියතපාල නැත" යන්නයි. 

රොනී ද මේල් මහතාද මෙලෙස පක්ෂ මාරු කල අයෙකි. සමහරු මේ නිසා ඔහුව හැඳින්වුයේ "පනී ද පිල්" යනුවෙනි. නියතපාලට මෙන් නොව රෝනීට නම් හැමවිටම වාසනාව තමා ළඟ රැඳුනි.

මගේ මව් පස ඥාතීන් අතර උග්‍ර යූ එන් පී කාරයන් මෙන්ම ශ්‍රී ලංකා  කාරයන්ද විය. වාමවාදින් කිහිප දෙනෙක්ද සිටියේ නැතුවාම නොවේ. මොවුන් හමුවන බණ, දානේ, මගුල්, අවමගුල් කටයුතු වලදී බොහොම තදින් වාද විවාද ඇති වෙයි. මෙහිදී නියතපාල වැනි චරිත දැඩි දෝෂාරෝපණයකට හෝ ප්‍රශංසාවකට බඳුන් විය. ඔහු තම පක්ෂයේ සිටින තෙක් ඉතා ඉහලින් ගුණ කී පිරිස් ඔහු අනෙක් පසට ගිය විගසින් දරුණු අපරාධකරුවෙකුගේ තත්වයට දමා බැන වැදුනහ. මේ පක්‍ෂ දේශපාලනය 90 දශකයේද යම් පමණකට තිබුණි.

මට මතක ඇති වකවානුවට පෙර ලංකාවේ යම් පමණක ප්‍රතිපත්ති දේශපාලනයක් තිබුණු බව වැඩිහිටියන්ගේ අදහස් වලින් මෙන්ම පොත පතින්ද මම අවබෝධ කර ගතිමි. මිනිසුන් සැබෑ ලෙසම යම් දර්ශණයක් කෙරේ විශ්වාසය තැබුවේ මේ යුගයේදී යයි මට සිතේ. එවකට මිනිසුන් වාමාංශිකයන්, දක්ෂිනාංශිකයන් ආදී වශයෙන් ජීවිත කාලය පුරාම ලේබල් ගසා ගෙන ඉන්න ඇත. එවිට ජනතාවට වැදගත් වුයේ පක්ෂය හෝ දේශපාලනය නොව ප්‍රතිපත්තිය වන්නට ඇතැයි මට සිතේ. මේ අනුව  දේශපාලකයා පක්ෂය මාරු කලත් ඔහුගේ ප්‍රතිපත්තිය නොවෙනස් නම් ඔහුගේ ආධාරකරුවන් ඔහු සමග සිටීමටත්, ඔහු ප්‍රතිපත්ති වෙනස් කල හොත් ඔහු පක්ෂය තුලම සිටියත් ඔහුව අත්හැර යාමටත් මිනිසුන් පෙළඹුන අවස්ථා ඇති බව එවකට චන්ද ප්‍රතිඵල මගින් පෙනී යයි. 

නව සහශ්‍රකයේ මුල් භාගය පසු කරද්දී ප්‍රතිපත්ති සහ පක්‍ෂ දේශපාලනය පසුකරගෙන ආ ලාංකික ජන මනස පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක් කරා ඇදී යන්න විය. ඇත්ත වශයෙන්ම මෙය ඇරඹෙන්නේ 90 මැද භාගයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අරඹයාය. සෑහෙන ආධාර කරුවන් පිරිසකට ඇය තම ආගම විය. වසර 2005න් පසු මේ තත්වය ඉතා තදින් පැතිරුනේ මහින්ද රාජපක්ෂ මහතා කේන්ද්‍ර කොට ගෙනයි. පුද්ගල කේන්ද්‍ර පාක්ෂිකත්වයක් පමණක් නොව පුද්ගල කේන්ද්‍ර වෛරයක්ද සංකල්පමය වශයෙන් බිහිවිය. මහින්ද සහ රනිල් යන දේශපාලකයන් මෙහි පෙරමුණේ සිටියෝය. 

පුද්ගල කේන්ද්‍රීය දේශපාලනය යනු යම් ආකාරයක ඇදහීමකි. ඇදහීමක ඇති සුවිශේෂී ලක්ෂණය නම් ඇදහීමට භාජනය වන්නා අතින් කිසිඳු වරදක් සිදුවිය නොහැක යන දැඩි මතය අදහනු ලබන්නන් විසින් ධාරණය කරගැනීමයි. පුද්ගල කේන්ද්‍ර වෛරයේදීද මේ හා සමානම ඍණාත්මක මතයක් ගොඩනැගෙයි. 

මේ පුද්ගල කේන්ද්‍රීය දේශපාලනය රටක් ඉතා දරුණු අගාධයකට ගෙන යා හැක. හිට්ලර්, පොල්පොට්, ස්ටාලින්, ඉඩි අමීන්, රොබට් මුගාබේ ආදී නායකයන් බිහිවන්නේ අන්තගාමී පුද්ගල කේන්ද්‍ර වාදයක් පෙරටුකොට ගෙනය.

පුද්ගල කේන්ද්‍ර වාදයට තම මනස බිලි දෙන තැනැත්තෙකු ක්‍රමයෙන් තම විශ්ලේෂණ හැකියාවන් මොට කරගනී. මේ තත්වය දිගටම පැවතුන හොත් ටික කාලයකින් මෙම පුද්ගලයා අඳ බාලයකු බවට පත්වෙයි.  තම දේශපාලන ආගමික නායකයා කුමන පියවරක් ගත්තත් එය නිවැරදි ලෙස සිතීමටත් ඒවා සමාජය ඉදිරියේ සාධාරණීකරණය කිරීමටත් ඔහු පෙළඹෙයි. මේ සමගම තම අදහස් වලට ප්‍රතිවිරෝධී මත ඉදිරිපත් කරන්නන් සතුරන් ලෙස  සලකා කටයුතු කිරීමටත් අර  පුද්ගලයා පුරුදු වෙයි. මුලදී උපහාස, අපහාස වලින් ඇරඹෙන තම අප්‍රසාදය පළකිරීම අන්තිමේදී ගුටිබැට හුවමාරු හෝ මිනීමැරුම් වලින් කෙලවර වීමටද ඉඩ ඇත. 

ලංකාව  මේ වන විට පසුකරන්නේ පුද්ගල කේන්ද්‍ර වාදයේ හාස්‍යජනක අවධියයි. තම දේශපාලන විරුවා අද කරන දෙය සාධාරණිකරණය කරන්න පොලවේ පස් කමින් හැපෙන අනුගාමිකයන්ට දින කිහිපයකින් තම වීරයා අංශක 180 කින් දිශානතිය මාරු කරනු පෙනෙයි. එවිට ඔවුන්ට සිදුවන්නේ ඉතා බොළඳ තර්ක විතර්ක  ඉදිරිපත්කරමින් තමන්ටද ඒ දෙසට හැරීමටයි. මේ ක්‍රියා නිසා මේ පුද්ගලයන් සමාජය ඉදිරියේ විකටයන් සහ අමනයන් බවට පත් වෙයි. පසුගිය කාලයේදී විදේශයන්හි අධ්‍යන කටයුතු කරනා උගත් යයි සම්මත පුද්ගලයන් පවා මේ ආකාරයෙන් ඉතා අසරණ කවටයන්ගේ තත්වයට පත්වනු දැකීම ඇත්තෙන්ම වේදනාකාරීය.

මේ තත්වය තුල විශාලම අකරතැබ්බයකට මුහුණ දෙන්නේ දෙවන පෙළ දේශපාලකයන්ය. ඔවුන්ට තම නායකයා බේරාගැනීමට ඇඳි වත උනා දමා සකල විද නර නාටක රඟපෑමට සිදුව ඇත. මෙය වර්තමානයේ හාස්‍යජනක මෙන්ම ජුගුප්සාජනක රංගනයන් බවට පත්ව ඇත. ඒවා අනාගතයේ ඇති වීමට නියමිත ත්‍රාසය හා භීතිය දනවන ජවනිකාවල පෙරනිමිති ලෙස හඳුනා ගැනීමට ඔබට නොහැකිවුවහොත් එය ජාතියේම අභාග්‍යයක් වනු ඇත. 

රටක ජනතාව බහුතරයක් කුසීත විට, සොරකමට වංචාවට ලැදි විට, තම යුතුකම් ඉටු කිරීමට මැළිවන විට, මුළු සමාජයම  සමස්තයක් වශයෙන්  පිරිහී යයි. එවැනි සමාජයක් හැමවිටම උත්සහ කරන්නේ තම පිරිහීමේ වරද කා මත හෝ පැටවීමටය. නැතිනම් යම් අද්භූත බලවේගයක් හෝ පුද්ගලයකු විසින් තමන් බේරා ගනිතැයි සිතා ඒ පසුපස දිවයාමය. විදේශ කුමන්ත්‍රණ, ආක්‍රමණකාරී බලවේග, රාවණා නැගිටින තෙක් බලා සිටීම, ජ්‍යෝතිර්වේදීන්, නොයෙකුත් වහන්සේලා සහ තුමන්ලා සරණ යාම, ලෝහ කැබලි, පාෂාණ, නූල් කෑලි ඇඟ දැරීම තුලින් අපල දුරුවේ යයි සිතීම, ආදිය මේ සමාජ පරිහානියේ පැහැදිලි ගති ලක්‍ෂණයන්ය. මේ ආගාධයට රටේ ඉහලම තැන සිට පහලම තැන දක්වා මුළු සමාජයම වැටී ඇත. යමෙක් ඉන් මිදී ඇත්නම්, ඒ සමාජය මේ නාරා වලට තල්ලු කරමින් සිටින මාධ්‍ය ජාලා හිමිකරුවන්ය. 

දැන් පුද්ගල කේන්ද්‍රවාදය පසෙක දමා ප්‍රතිපත්තිමය වශයෙන් රටට අවශ්‍යදේ කුමක්දැයි තම තම නැණ පමණින් වටහා ගන්න. දේශපාලකයා වෙනුවෙන් නොව රටට අවැසි දෙය වෙනුවෙන් පෙනී සිටින්න. දේශපාලකයා යන "මිනිසාව" හැමවිටම හරි මගට යොමු කරන්න. එය ඔහුට හෝ රටට එරෙහි වීමක් නොවේ. ඔහු හා රට වෙනුවෙන් පෙනී සිටීමකි. මෑත අතීතයේ සමාජය මේ ලෙසින් සිතුවා නම් ලංකාව අද වෙනත් තලයකය. එසේම කෙටි කලකට දේශපාලන ආගම් බවට පත්වී පසුව ද්‍රෝහීන් ලෙස කොන් වූ සමහර දෙනෙක් අදටත්  වීරයන්ය.

නොඑසේ නම් අද වීරයාද හෙට ද්‍රෝහියෙක් වෙනු නොඅනුමානය.






Thursday 20 February 2020

වෛරසයේ නොපෙනෙන පැත්ත


විසිවන සියවසේ මුල් කාලයේදී උතුරු රුසියාවේ ප්‍රදේශ කිහිපයක පිනිමුවන් මිලියනයකට වඩා ඇන්ත්‍රැක්ස් (anthrax) රෝගයෙන් මියගියේය. ඒ සමගම පිනිමුවන් ඇතිකිරීම ජීවිකා වෘත්තීය කරගත් රුසියානුවෝ බොහෝ දෙනෙක්  වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය විය.  මියගිය පිනිමුවන්ගේ සිරුරු කාලයත් සමග අයිස් තට්ටු වලින් වැසී නොපෙනී ගියේය.

ඊට දශක ගණනාවකට පසු නැවතත් මිනිසුන් මේ ප්‍රදේශවල වාස භූමි ඇතිකරගත්හ. වසර 2016 යේ දිනක, දොළොස් හැවිරිදි බොරිස් පාසැල් ගොස් එන අතර දියවෙමින් පවතින අයිස් ස්ථරයක් තුලින් මතුවූ අං තට්ටුවක් දුටුවේය. කුතුහලය නිසාම ඔහු අයිස් ඉවත් කරමින් අං තට්ටුව මතුකරගැනීමට උත්සහ දැරීය. ක්‍රමයෙන් අයිස් පතුරු ගැලවෙද්දී  ඔහුට දැකගත හැකිවුයේ මරණයට පත්වී සිටි පිනිමුවෙකුගේ සම්පුර්ණ මලසිරුරකි. අං තට්ටුව ගැනීමේ අදහස අත් හැර දැමු බොරිස් ගෙදර ගියේය. දින කිහිපයකින් එම දරුවා මරුමුවට පත්විය. ඒ ඇන්ත්‍රැක්ස් රෝගය වැළඳීම නිසාය. ටික කලකදී පළාතේ පිනිමුවෝ දහස් ගණනින් මෙම රෝගය නිසා මිය යන්න විය. රුසියානු රජයේ මැදිහත්වීම නොවන්න එය ඉතා භයානක තත්වයක් වන්නට තිබුණි. කෙසේ නමුත් අද වන විට ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව නොයෙකුත් පර්යේෂණ සහ බලගැන්වීම් තුලින් ප්‍රබල ජෛව විද්‍යාත්මක අවියක් බවට පත්වී ඇත.  

ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු සඟරාවක් කොරෝනා වෛරසයට අදාලව අනාගත ලෝකය පිළිබඳව සංකල්ප පත්‍රයක් (concept paper) ලියන ලෙස මට ආරාධනා කළේය. සෑහෙන දිග සමීක්ෂණයකින්  පසු මම "Future biological warfare threat - In the eyes of a scientist" (අනාගත ජීව විද්‍යාත්මක යුද තර්ජනය - විද්‍යාඥයෙකුගේ ඇසින්) යන මාතෘකාවෙන් ලියන ලද ලිපිය සඟරාව වෙත යොමු කලෙමි. ඊයේ ඔවුන් මට ලියා එවා තිබුණේ එහි අඩංගු කරුණුවල සමාජ සංවේදීතාවය අධික බැවින් ලිපිය පළකිරීමට ඔවුන් පියවර නොගන්නා බවයි. ඒ පිළිබඳව ඔවුන්ගේ බලවත් කණගාටුවද පළකර තිබුණි. 

ඊයේ රාත්‍රියේදී මම ඒ පිළිබඳව සිතුවෙමි. බටහිර විද්‍යාව හැදෑරු ඕනෑම විද්‍යාඥයෙකුගේ ඇති පොදු ලක්‍ෂණයක් පිළිබඳව බොහෝ දෙනෙක් විශ්වාසය තබති. එනම් ඔවුන් සියළු දෙනාම යම් ගැටළුවක් විසඳීමට ගනු ලබන මූලික පියවර සමාන බවයි. එහෙත් ඔවුන්ගේ ක්‍රමවේදයන් සහ ප්‍රතිඵල එකිනෙකට වෙනස් විය හැක. මෙය සමහර විට හුදෙක් පොදු මතයක් මිස යථාර්තයක් නොවීමටද ඉඩ ඇත. නමුත් සාමාන්‍යයෙන් මෙය සත්‍යයකි. 

මේ අනුව මේ ලිපියේ ලියා ඇති කරුණු මේ වන විටත් ලොව බොහෝ විද්‍යාඥයන් කල්පනා කර තිබෙනු ඇත. සමහර විට ක්‍රියාවේ යොදවා ප්‍රතිඵලද ලබාගෙන ඇතුවා විය හැක. එබැවින්, මේ ලිපිය පලකලාය කියා අමුතුවෙන් යමක් සිතීමට විද්‍යාඥයන් පෙළඹේ යයි මම නොසිතමි. එබැවින් එම ලිපියෙහි සාරාංශයක් සිංහල බසින් මෙසේ පළකිරීමට සිතුවෙමි.

කොරෝනා වෛරසය ජීව විද්‍යාත්මක අවියක හදිසි කාන්දුවීමක් හෝ සිතා මතා කරන ලද පහරදීමක ඵලයක් බව ඒ සිද්ධිය පුරාම ලියැවී ඇති කාරණයකි. ගෝලීය උෂ්ණත්වය ඉහල යාමත් සමගම පසුගිය දශක කිහිපය තුල ලොව පුරා නොයෙකුත් අයහපත් වෙනස් කම් සිදුවෙමින් පවතී. මේ අතර වේගවත්ව සිදුවන ග්ලැසියර දියවීම ඉතා අනිසි ප්‍රතිපල ගෙන දෙන්නකි. ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව මෙන්ම කොරෝනා වෛරසයද මෙලෙස අයිස් දියවීම නිසා මතු වුවාදැයි යන සැකය බැහැර කල නොහැක. එහෙත් රෝගය පැතිරීම ඇරඹුණු කලාපය දෙස බලන විට එය අයිස් දියවීම නිසා මතුවුවක් බව සිතීම උගහටය. 

විද්‍යාඥයන් පවසන්නේ අද පවතින ගෝලීය දේශගුණික විපර්යාස අනුව නුදුරු අනාගතයේදී වසර මිලියන ගණනකට පෙර පෘතුවියෙන් තුරන් වූ වෛරස හා බැක්ටීරියා පවා නැවත මතුවීමට ඉඩ ඇති බවයි. නමුත් ඊටත් වඩා භයානක කාරණය නම් මිනිසුන් මෙම විෂබීජ උවමනාවෙන්ම මතුකරගෙන ඒවා පවතින තත්වයටත් වඩා භයංකාර ජීව විද්‍යාත්මක අවි බවට පත්කිරීමට ඇති ඉඩකඩයි. 

පුද්ගලයෙකුට, සංවිධානයකට හෝ ආණ්ඩුවකට පවා ජීව විද්‍යාත්මක අවියක් ගොඩනැගීමට විශාල තාක්ෂණ පහසුකම් අවශ්‍ය නොවන බව මගේ හැඟීමයි. මෙහිදී මගේ අවධානය යොමු වන්නේ තෝරාගත් ජන කණ්ඩායමකට හෝ සමුහයකට පමණක් පහරදිය හැකි අවියක් තැනීමේ හැකියාව පිළිබඳවයි. උදාහරණයක් ලෙස යම් ආගමික කණ්ඩායමක් ලොව කොතැනක සිටියත් වැඩි වශයෙන්ම ඔවුන් පමණක් මිය යන පරිදි ජීව විද්‍යාත්මක අවියක් තැනිය හැකිද යන්න සලකා බලමු? 

බැලූ බැල්මට මෙය පහසු දෙයක් නොවන බව ඔබට හැඟෙනු ඇත. එහෙත් මෙය පර්යේෂණ ගැටළුව ලෙස සලකා ක්‍රමානුකුල තත්ව විශ්ලේෂණයක යෙදෙන විට මේ සඳහා මාර්ගයක් තනා ගත හැක. 

ඔබගේ අවශ්‍යතාවය අන්‍ය ආගමිකයන් බේරා එක් ආගමකට අයත් පුද්ගලයන් පමණක් වෛරස් ප්‍රහාරයට ගොදුරු කිරීම නම් මූලික වශයෙන් කලයුත්තේ එම ආගමිකයන්ට පමණක් අනන්‍ය වූ හැසිරීම් රටා හඳුනා ගැනීමයි. 

අපි උදාහරණයක් ලෙස පහත දැක්වෙන චර්යා රටා ඇති ජන සමුහයක් සලකමු.

ඔවුන් මත්පැන් පානය නොකරයි
යම් මස් වර්ගයක් නොකයි
නිතරම හිස බිමට නමාගෙන යාඥා කරයි


දැන් ඔබට තමා ගොඩනගන වෛරසය හෝ බැක්ටීරියාව තුල පැවතිය යුතු ගුණාංග පිළිබඳව තර්කනයක් ඇත. එය මත්පැන් හෝ අදාළ මස් වර්ගය කෑමේදී නිකුත් වන රසායනික ද්‍රව්‍යයක් (හෝ එන්සයිමයක්) මගින් මිනිස් සිරුර තුලදී විනාශ විය යුතුය. එනම් මත්පැන් බොන සහ අදාළ මස් වර්ගය බුදින මිනිසුන්ට රෝග කාරකයෙන් පීඩාවක් සිදු නොවේ.  එසේම නිතරම ඔළුව පහලට නැමිමේදී රෝග කාරකය මොලය දෙසට ඇදී ගොස් එහි ක්‍රියාකාරිත්වය අඩපන කිරීම වේගවත් විය යුතුය. ඒ අනුව මේ ආගමික චර්යාවේ යෙදෙන්නන් රෝගය නිසා පීඩාවට පත්වීමේ ශීග්‍රතාවය අධිකය.

දැන් මේ ගුණාංග සහිත විෂබීජයක් හඳුන්වා දුනහොත් එය ලොව කොතැනක සිටියත් අදාළ ආගමිකයාට පහරදෙයි. වෙනත් කිසිවෙකුටත් ඉන් බලපෑමක් නොමැති බව මින් නොකියවේ. මන්ද අදාළ කරුණු පිළිපදින අන්‍ය ආගමිකයන්ද සිටිය හැකි බැවිනි. එහෙත් සමස්ථයක් වශයෙන් ඉලක්ක ජන සමුහය ලොව කොහේ සිටියත් මෙම වෛරසය මගින් ඝාතනය වීමට ඇති ඉඩකඩ ඉතා අධිකය. 

ඉහත උදාහරණයේ විලෝමයද සත්‍ය විය හැක. එනම් ඉහත චර්යා රටා පිළිපදින ජන සමුහය සුරක්ෂිත වෙද්දී අනෙකුත් ජනයා රෝගයට බිලිවෙන ආකාරයෙන්ද මෙලෙසටම වෛරසයක් තැනිය හැකි බව පහසුවෙන් තේරුම් ගත හැකි තර්කනයකි. 

ඉහත දැක්වූ සරල උදාහරණයෙන් ඔබ්බට ගිය ඉතා සංකීර්ණ ඇල්ගොරිතම මගින් යම් ජන සමුහයක් ඉලක්ක කර ජීව විද්‍යාත්මක අවි නිපදවීමේ හැකියාවද ඇත. මේ සඳහා යම් ජාතියකට හෝ සමුහයකට අදාළ DNA විශ්ලේෂණයක් තුලින් අවශ්‍ය තර්කනය ගොඩනැගිය හැක. මෙලෙස ඇතිවන පහර දීමක තාර්කික පදනම තේරුම් ගැනීමට ජනතාවගෙන් අති විශාල ප්‍රතිශතයකට නොහැකිවනු ඇත. එබැවින් ඒවා බොහොමයක් දේව ශාප වලට බැරවනු ඇත. 

මේ තත්වය තුල ලොව කිසිවෙකුත් ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක ගොදුරක් වීමට ඇති අවධානමෙන් මිදෙන්නේ නැත.