Follow this Blog

Tuesday, 22 December 2015

Denying Education Rights of Others...!!!



නිදහස් අධ්‍යාපනයේ මළගම




මිනි පෙටියක් කර තියාගත් සරසවි සිසුන් හතරදෙනෙක් වෝඩ් පෙදෙසෙන් හැරී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට ඇදේ. ඒ පිටුපස ගිරිය පුප්පා කෑගසමින් යන පිරිස අතර මාද පෙරමුණේ සිටියේය. මේ ඇදෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගමයි. මිනීපෙට්ටිය නිදහස් අධ්‍යාපනය සංකේත වත් කරයි.

ඒ 87 වසරේ මුල් මාස කිහිපයයි. අපි සරසවියට ඇතුළු වී ඉතා ටික කලකි. පිටිපස්සෙන් දෙන උපදෙස් වලින් ඔබ්බට සිතන්න අපිට ශක්තියක් තිබුනේ නැත.  


වසර 27 කට පසු අදත් ඒ මළගම ඇදෙමින් පවතී. මා වියපත් වී ඇත. එහෙත් තාරුණ්‍ය තවමත් එතැනමය. ඒ සටන් පාඨ, මිනි පෙට්ටි, බැනර් සහ තාරුණ්‍යයේ සුමට නොවූ ජවය තවමත් එහෙමමය.  




"රටක ජීවත්වෙන සියලු දෙනාට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසීම නිදහස් අධ්‍යාපනයයි".  එක් එක් රට වල, එක් එක් යුගවල විවිධ සමාජ ස්ථරයන්ට අධ්‍යාපනය ලැබීමේ ඉඩකට සමාජීය, ආගමික හෝ දේශපාලන රාමු තුලින් අහුරා තිබුණි. 

සමහර ඉස්ලාමීය රටවල කාන්තාන්ගේ පාසල් අධ්‍යාපනයට තහංචි පනවා ඇත. මෙය තලේබාන් පාලන සමයේ ඇෆ්ගනිස්ථානය තුල තදින් පැවතුනි. 90 ට පෙර දකුණු අප්‍රිකාවේ කළු හම සහිත දරුවන් බොහොමයකට නීති මගින්ම අධ්‍යාපනය ලැබීමේ මං අහුරා තිබුණි. ඉන්දියාවේ කාලයක් කුලහීනයන්ට අධ්‍යාපනය ලැබීම සාමාජීය වශයෙන් තහනම් විය. මේ තත්වයට පිලියමක් ලෙස ඉන්දීය රජය කුලහීනයන්ට ලැබෙන විශ්ව විද්‍යාල කෝටාව විශාල වශයෙන් වැඩිකළේය. මෙහි ප්‍රතිපලයක් ලෙස කුලවතුන්ට ලැබෙන විශ්ව විද්‍යාල වරම් විශාල වශයෙන් කප්පාදු වූ අතර බිහාර් ආදී ප්‍රාන්ත වල මෙය විශාල සමාජ අර්බුදයක් කරා දිව ගියේය. එහෙත් 80-90 දශකවල ඉන්දියාවේ සීග්‍රයෙන් බිහිවූ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙම අසහනය සමනය කිරීමට සමත් විය. සමහර අප්‍රිකානු රටවල අදටත් මුදල් නොමැති දරුවන්ට ඉගෙනීමට ඉඩ ප්‍රස්ථාව නැත.  

මේ නිදහස් අධ්‍යාපනය දකින්න නොලැබෙන අවස්ථා කිහිපයකි.

ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තිබේද? 



නුතන අධ්‍යාපන සංකල්පයන් එළිදැක්වුණ 19 වන සියවසේ මුල් සමයේ අපේ රටේ පාසල් අධ්‍යාපනය හිමිවුයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සහ සුපිරි පැලැන්තියේ අතලොස්සක් දරුවන්ටය. මෙය ක්‍රම ක්‍රමයෙන් අනෙක් සමාජීය ස්ථර දක්වා විහිදුන අතර නොමිලේ අධ්‍යාපනය දෙන රජයේ සහ මිෂනාරි පාසල්ද මුදලක් අයකර අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ පාලනය යටතේ වූ පාසල්ද ක්‍රමයෙන් බිහිවිය. 50 දශකයේදී රජයේ පාසැල් බොහොමයක් නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ආයතන බවට පත්වුණි. ඒ සමගම අලුතින් පෞද්ගලික විද්‍යාල කිහිපයක්ද  ඇරඹුනේය. නොමිලේ අධ්‍යාපනය ලබා දෙන රාජකීය, ආනන්ද, නාලන්ද, විශාකා, දේවි බාලිකා වැනි පාසල් රාශියක් සුපිරි තලයට වර්ධනය වූ අතර සමහර පාසල් අසාර්ථක වී වැසී ගියේය. අදත් රජයේ සමහර පාසල් වැසෙමින් පවතී. ශාන්ත තෝමස්, ශාන්ත පීතර, ට්‍රිනිටි, ශාන්ත බ්‍රිජට්, මියුසියස් වැනි පෞද්ගලික අංශයේ මුදල් අයකරන පාසල්ද රටේ ඉතා ඉහල තලයකට නැගුනු අතර පෙම්බ්‍රොක් වැනි සමහර පාසල් අසාර්ථකවී වැසී ගියේය.

90 දශකයේදී හතුපිපෙන්නක් මෙන් රටේ ජාත්‍යන්තර පාසල් විවෘත වූ අතර ඉන් CIS, AIS වැනි පාසල් කිහිපයක් ජාත්‍යන්තරවද පිළිගැනීමකට ලක්විය. සමහර ඒවා අසාර්ථක වී වැසී ගියේය. අප රටේ නොයෙකුත් ආගමික පසුබිම් වලට අයත් පාසල්ද, බාධිත දරුන්වන් සඳහා පාසල්ද ඇත. මේ අනුව සමාජයේ ඕනෑම තරාතිරමක දරුවෙකුට තමන්ට හැකි අයුරින් අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්ථාව ඇත. මෙය සැබෑ "නිදහස් අධ්‍යාපනයයි".  නමුත් එය "නොමිලේ අධ්‍යාපනය පමණක්" නොවන බව අප කාටත් පහසුවෙන් වැටහේ. නොමිලේ අධ්‍යාපනය යනු නිදහස් අධ්‍යාපනයේ එක් වැදගත් අංගයක් පමණි. එම අංගය නොතිබුනානම් මුදල් ගෙවාගත නොහැකි සමාජ පන්තියට අධ්‍යාපනය  අහිමිවේ. එහෙත් "නොමිලේ  අධ්‍යාපනය පමණක්" නිසා මුදල් ගෙවාගත හැකි පන්තියට තමාට මුදල් ගෙවා ලබාගත හැකි  අධ්‍යාපන ඉඩ කඩ ඇහිරෙයි නම් එය නිදහස්  අධ්‍යාපනය නොවේ. 

ලංකාවේ නොමිලේ අධ්‍යාපනය  දෙන පාසල් ටික විතරක් තිබුනානම් අද ඇතිවන තත්වය කුමක්දැයි වටහා ගන්න. මුදල් ගෙවා අධ්‍යාපනය දෙන පාසල් වලින් බිහිවී රට කරවන තැනටම ගිය ඩී එස්, ඩඩ්ලි, එස්. ඩබ්. ආර්. ඩී, සිරිමාවෝ, චන්ද්‍රිකා ආදීන් ගැන සිතන්න.මෙම පාසල් වලින් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෝ, ව්‍යාපාරිකයෝ, කලාකරුවෝ සහ යුද්ධයේදී දිවිදුන් රණ විරුවෝද බොහෝමයකි. ඒ නිදහස් අධ්‍යාපනයේ ඵලයන්ය.

අවාසනාවකට අප රටේ තෘතික අධ්‍යාපනය මෙම "නිදහස් අධ්‍යාපන" සංකල්පයෙන් බැහැරවී "නොමිලේ අධ්‍යාපනය" නම් තැනට තල්ලු විය. මෙහි අහිතකර ප්‍රතිපල රාශියක් අද අපි විඳිමින් සිටිමු. 

මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ, තෘතික මට්ටමේදී නොමිලේ අධ්‍යාපනය පමණක් යන සංකල්පය අද කියුබාව හැර ලොව කිසිම රටක නොමැති බවයි (මා දන්නා තරමින්).  අවාසනාවකට ලංකාවේ එය ඇත්තේද නැත,  නැත්තේද නැත. මේ තත්වය තුල ජනතාව වඩා අසීරු තත්වයකට පත්ව ඇත. කියුබාවේ සරසවි අධ්‍යාපනය ලැබීමට සුදුසු අයුරින් ද්විතීක අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙකුටම එම අවස්ථාව හිමිවේ. එබැවින් පෞද්ගලික සරසවිවල අවශ්‍යතාවයක් නොදැනේ. එහෙත් ලංකාවේ සරසවියකට ඇතුල්වීමට හැකියාව ලැබෙන්නේ උසස් පෙළ විභාගය සමත්වන (එනම් සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන) සිසුන්ගෙන් 15%-20% අතර ප්‍රමාණයකටය. ඉතිරි 80%-85% ට නොමිලේ දෙන සරසවි අධ්‍යාපනයත් නැත. මුදල් ගෙවා සරසවි අධ්‍යාපනය ලබන්නට ඉඩකඩද නැත. මේ කිනම් "නිදහස් අධ්‍යාපනයක්" ද?

මෙහිදී මා භාවිතා කරන පෞද්ගලික සරසවි යන යෙදුම එතරම් සුදුසු නොවේ. මන්ද බොහෝ රටවල රජය මගින් පාලනය වන සරසවිවලද අධ්‍යාපනය සඳහා යම් මුදලක් අයකරන බැවිනි. එහෙත් ලංකාවේ මුදල් අයකරන සරසවි සඳහාම පෞද්ගලික සරසවි යන්න යෙදීම සුලබ බැවින් මමද එය භාවිතා කරමි. 

ලංකාවේ පෞද්ගලික සරසවි කළඑලියට ඒම වැළකීමෙන් මැද මධ්‍යම පන්තියෙන් බිහිවන්න සිටි වියතුන් බොහොමයක් ද්විතික අධ්‍යාපනයෙන් එහා යාමට නොහැකිව අතරමන් විය. ලංකාවේ පෞද්ගලික සරසවි තිබුනානම් මේ බොහෝ අයෙකුට උපාධිධාරීන් හෝ ආචාර්ය වරුන් වීමට තරම් මුදල් වැය කිරීමේ හැකියාවක් තිබුණි. එසේ වුයේ නම් ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහිවන්නට තිබුණි. 50,000 වන හොර දොස්තරලා වෙනුවට නියම දොස්තරලා රටේ සේවය කරන්නට තිබුණි. එහෙත් එය එසේ නොම විය. මන්ද තෘතික අධ්‍යාපනය තුල "නිදහස" නොතිබුන බැවිනි. 

අප රටේ සුපිරි ධනපති පන්තියට කවදාවත් ලංකාවේ විශ්වවිද්‍යාල වල අවශ්‍යතාවයක් නොවිය. ඔවුන්ගේ දරුවන් යුරෝපයේ (විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ) හෝ ඇමරිකාවේ සරසවි වල අධ්‍යාපනය හැදෑරිය. ඉහල මධ්‍යම පන්තිකයාද කෙසේ හෝ තම දරුවන් වෙන රටක උපාධියක් සඳහා පිටත් කර හැරියේය. මුලදී ඔවුන්ද යුරෝපීය සරසවි කෙරේ සිත යොමු කළ අතර පසුව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හරහා මැලේසියාව, තායිලන්තය  සිංගප්පුරුව වෙත ගමන් කළේය. 90 දශකයේදී ලැට්වියාව, ලිතුවේනියාව ආදී පරණ සෝවියට් දේශයෙන් කැඩී ගිය බෝල්කන් රටවල්වල සරසවි ඔවුන් අතර ප්‍රචලිත විය. ඉන්දියාව කවදත් තරමක් හැකියාව ඇති මැද මධ්‍යම පන්තියේ දරුවන්ට සරසවි  වරම් ලැබීමේ මාර්ගයක් විය. අද ඊටත් වඩා ජනප්‍රිය බංගලාදේශයේ සරසවිය. මේවන විට ලංකාවේ සිටින  ධනවත්  වෛද්‍යවරු සැහෙන දෙනෙකුගේ දරුවෝ බංගලාදේශයේ හා ලැට්වියාවේ සරසවි වල වෛද්‍ය විද්‍යාව හදාරති.  

ලංකාවෙන් මැලේසියාවේ සරසවි වලට පමණක් වසරකට සිසුන්ගෙන් ලැබෙන අදායම දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 කට අධිකය. මුළු ලෝකයේම සරසවි වල ඉගෙනුම හදාරන අපේ දරුවන් නිසා රටෙන් ඉවතට ඇදෙන මුදල ඔබට සිතා ගත හැක. මෙම ගණනය කිරීම් වලට විදේශගත වීම සඳහා සහ විදේශයක ජීවත්වීම සඳහා වැයවන මුදල එකතු කර නැති බව සලකන්න.   

2001-2003 වකවානුව තුල නව ප්‍රවණතාවයක් වුයේ විදේශ සරසවි වලට අනුයුක්ත ශාකා සරසවි ලංකාවේ පිහිටුවීමයි. මෙය මැද මධ්‍යම පන්තියට මහත් අස්වැසිල්ලක් විය. වසර 2 හෝ තුනක් ලංකාවේ ඉගෙනීම කර අවසාන වසර හෝ වසර කිහිපය සඳහා වෙන රටකට යාම මෙහිදී සිදුවිය. මුළු උපාධියම වෙන රටක කරනවාට වඩා මෙහිදී දැරිය යුතු වියදම සැහෙන්න අඩුය. කෙසේ නමුත් මෙම ක්‍රමයේදීද වැඩි මුදලක් අපේ රටෙන් ඉවතට ඇදෙයි. 

පෞද්ගලික සරසවි නොතිබුණා කියා අපේ රටේ නොමිලේ අධ්‍යාපනය දෙන සරසවි දියුණුවී තිබේද? 


ප්‍රථමික හා ද්විතීක අධ්‍යාපන ස්ථර වලදී අඩුපාඩුකම් මධ්‍යයේ වුවද අපේ පාසල් පද්ධතිය ලොව බොහෝ රටවල ඉහල ඇගයීමකට ලක්වේ. මෙය රජයේ මෙන්ම පෞද්ගලික පාසල්වලටද එකසේ පොදුය. මා කලින් සදහන් කල ආකාරයට වසර විස්සකට අඩු කාලයකදී බිහිවූ ජාත්‍යන්තර පාසල් කිහිපයක්ම බ්‍රිතාන්‍යයේ පවා හොඳ ඇගයීමකට ලක් වෙමින් පවතී. එහෙත් නොමිලේ අධ්‍යාපනය පමණක් වූ අපේ සරසවි බොහෝ ශ්‍රේණිගත කිරීම් වල ඉතා පහල මට්ටමක පවතී. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් කිහිපයක අපේ සරසවි 1700-2500 අතර අංකනයක් ලබා ගනී. ලොව ඉතා දිළිඳු රටවල් වන බංගලාදේශයේ හා සිම්බාබ්වේ හි සරසවි පවා අපට ඉදිරියෙන් සිටිතී. 

පර්යේෂකයන්ගේ වර්ගීකරණය (H-අංකනය) අනුව ගත්තත් අපේ ජේෂ්ඨ මහාචාර්යවරුන් පවා ඉතා පහල අංකනයක හෝ අංකනයක් නොමැති තත්වයකට පත්ව ඇත. මෙය අපේ රටෙන් බිහිවන විද්වතුන්ගේ හැකියාවේ අඩුවක් ලෙස මා නොදකින්නේ 90 මුල් හා මැද භාගයේ ප්‍රථම උපාධිය අපේ සරසවි වලින් ලබාගෙන ඇමරිකාවට ගිය සමහරුන් මේ වනවිට H-අංකනය 20 ද ඉක්මවා ඇති බැවිනි (මෙය ඉතා ඉහල අගයකි). මෙම තත්වය තේරුම් ගැනීමට මම පහත උදාහරණය ඉදිරිපත් කරමි.

දශක ගණනාවක සිට පැවත එන ලංකාවේ සරසවි වල ඉංජිනේරු පීඨ බොහෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට ඇතුලත්වන්නේද නැත (2000 න් හෝ 3000 න් පහල බැවින්). වසර 1997 දී ආරම්ඹ කළ මා සේවය කරන මැලේසියාවේ පුත්‍රා සරසවියේ ඉංජිනේරු පීඨය මේවනවිට ජාත්‍යන්තර ශේණිගත කිරීම් වල 235 ස්ථානයේ පසුවේ. මෙය රජයේ සරසවියකි. එහෙත් ඉගෙනීම සඳහා සිසුන් මුදල් ගෙවිය යුතුය. මෙහි පශ්චාත් උපාධි හදාරන 75% වැඩි පිරිසක් විදේශීය සිසු සිසුවියෝ වෙති.

මුදල් ගෙවා අධ්‍යාපනය ලබන සිසුවෝ හැමවිටම තමා ගෙවන මුදලට සරිලන තත්වයක තම සරසවිය තිබෙනවාදැයි සොයති. මෙහිදී සියලු සිසුන් සරසවියේ ශ්‍රේණිගත අංකනයත් පශ්චාත් උපාධි අපේක්ෂකයෙක් නම් සිය පර්යේෂණ මහාචාර්යවරයාගේ H-අංකනයත් සොයා බැලීමට උත්සුක වෙති. මේ නිසා හැකි ඉක්මනින් සිය අංකනයන් ඉහලට ගෙන ඒමට බලධාරීන්ද කථිකාචාර්ය වරුන්ද නිබඳ උත්සහ දරති.  අපේ සරසවි වලට මේ සඳහා අවශ්‍යතාවයක් නැත. මන්ද උසස්පෙළ සමත්ව සරසවි වරම් ලබන සිසුන්ට වෙන විකල්පයක් නොමැති බැවිනි. ඉතා කුඩා රටවල් වන සිංගප්පුරුවෙත්, හොංකොං හිත් විශ්වවිද්‍යාල අද ලෝකයේ ඉහලම තලයේ පසුවනු දකින විට දීර්ඝ කාලීන අධ්‍යාපන පද්ධතියක් ඇති ලංකාවේ සරසවි වල තත්වය ගැන ඇතිවන්නේ සංවේගයකි.  

තත්වය එසේ නම් පෞද්ගලික සරසවි විරෝධයේ හරය කුමක්ද? 


පෞද්ගලික සරසවි විවෘත කිරීමෙන් අපේ දැනට සරසවි වරම් ලබන සිසු ප්‍රමාණයේ වර්ධනයක් මිස අඩුවීමක් නොවේ. මෙය රටට යහපත් වාතාවරණයකි. 

පෞද්ගලික සරසවිවල ප්‍රමිතිය පාලනය කිරීම සඳහා රජය මැදිහත් විය යුතුය. කෙසේ වුවත් මෙම සරසවි වලට නිරතුරු තම ප්‍රමිතිය ඉහලට ගෙන ඒමට සිදුවේ. නොඑසේ නම් ටික කලකින් ඔවුන් ගේ පැවැත්ම නිම වනු ඇත. ඔවුන්ට සෑම විටම අනෙකුත් සරසවි සමග තරඟයක් දීමට සිදුවේ. මේ නිසා ඉහල H-අංකනයක් ඇති කථිකාචාර්ය වරුන් බදවා ගැනීමටත් සිටින අයගේ අංකනය වැඩි කරගන්නා ලෙස ඔවුන් ධෛර්යමත් කිරීමටත් (වැඩිවන අංකනය සඳහා ගෙවීමක් හෝ වර ප්‍රදානයක් කිරීමෙන්) මෙම සරසවි බලධාරීන්ට නිරතුරුව සිදුවේ. සරසවියේ ශ්‍රේණිගත වීම සඳහා වඩාත්ම බලපෑමක් සිදුවන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලය මගිනි. 

මේවන විට ඇමෙරිකාවේ හා කැනඩාවේ පදිංචිව සිටි ඉන්දියානුවන් විශාල  සංඛ්‍යාවක් දිනපතා සිය රටට එමින් පවතී. මෙය ඉන්දියාවේ ඇතිවී තිබෙන ආර්ථික ප්‍රබෝධයත් ඇමෙරිකාව ආදී රටවල ඇතිව තිබෙන ආර්ථික අර්බුදයත් නිසාවෙනි. අප මේ තත්වය දෙස සැලකිල්ලෙන් බැලිය යුතුය. රට තුල අධ්‍යාපන ප්‍රබෝධයක් ඇතිවේ නම් ඇමෙරිකාවේ සහ අනෙකුත් දියුණු රටවල සරසවි බබළවන අපේ වියතුන්ද මෙරටට නැවත ගෙන්වා ගැනීමට නොහැකි නොවනු ඇත.  

මා දකින ලෙස මෙහිදී සිදුවිය හැක්කේ පෞද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පහල මට්ටමක තිබීම නොව එය කෙටි කලකින්ම රජයේ සරසවි අභිබවා ඉහලට යාමයි. මෙය පැහැදිලි කිරීමට මම අද පවතින ද්විතික අධ්‍යාපනයෙන් උදාහරණයක් ගනිමි. 

සමීක්ෂණයක් කළහොත්, මේ වනවිට රාජකීය විදුහලෙන් අස්වී CIS සහ AIS ජාත්‍යන්තර පාසල් වලට පමණක් ඇතුළුවන සිසුන් ගණන සැහෙන්න ප්‍රමාණයක් බව පෙනෙනු ඇත. මේ තත්වයට හේතුව රාජකීය විදුහලේ අධ්‍යාපන තත්වය බාලවීම නොවේ. ඒම පාසලේ අධ්‍යාපන මට්ටම පෙර දිනටත් වඩා වැඩිවී ඇති බව මගේ හැඟීමයි. නමුත් සිදුවී ඇත්තේ මෙම ජාත්‍යන්තර පාසල් ඉතා ඉහල ප්‍රගතියක් සීග්‍රයෙන් අත්පත් කරගැනීමයි. මෙය මා දකින ආකාරයට අධ්‍යාපනයේ ඇතිවී තිබෙන හොඳ සෞඛ්‍ය සම්පන්න තත්වයකි. දැන් කලයුත්තේ රාජකීය විදුහලේ ප්‍රගතිය වැඩි දියුණු කිරීමද නැතිනම් ජාත්‍යන්තර පාසල් වසා දැමීමද යන්න ඔබ කල්පනා කර බලන්න.
  
ලෝක ශ්‍රේණිගත කිරීම්වල හෝ ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ඉහලම ඇති සරසවි 100 දෙස බලන්න. ඉන් එකක්වත් නොමිලේ අධ්‍යාපනය දෙන සරසවි නොවේ. දකුණු ආසියාවේ ශ්‍රේණිගත කිරීම් වල ඇති මුල් සරසවි 7 ම මුදල් අයකර අධ්‍යාපනය ලබාදෙන ඉන්දියාවේ සරසවිය. මුදල් අයකර අධ්‍යාපනය ලබාදෙන සරසවි වල ප්‍රමිතිය පාලනය කල නොහැකි නම් මේ තත්වය ඇතිවුයේ කෙසේදැයි කල්පනා කර බලන්න. 



රජයේ සරසවි වල සිටින සාර්ථක කථිකාචාර්යවරු එයින් ඉවත් වී මෙම පෞද්ගලික සරසවි වලට එක්වෙතැයි යන තර්කයද මා පිළිගන්නේ නැත. ඔවුන් එසේ එක්වෙයි නම් එසේ වන්නේ ඔවුන්ගේ සේවයට සරිලන වැටුපක් පෞද්ගලික සරසවි වලින් ගෙවන බැවිනි. මේ සඳහා පිළියම පෞද්ගලික සරසවි තහනම් කිරීමද? 

අපේ කලාපයේ ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය වැනි අනෙකුත් රටවල්වල නොමිලේ තෘතික අධ්‍යාපනය දෙන රජයේ සරසවිද, මුදලට අධ්‍යාපනය දෙන රජයේ මෙන්ම පෞද්ගලික සරසවිද ඇත. මේ රටවල සිදු නොවන දෙයක් ලංකාවේ පමණක් සිදුවිය හැකිද. 

අනෙක් අතට වෛද්‍ය වෘතිය සලකන්න. අද ඉතා ඉහල තත්වයේ පෞද්ගලික රෝහල් ගණනාවක් ලංකාවේ ඇත. මේ නිසා රජයේ රෝහල්වල සේවය කරන හොඳ වෛද්‍යවරු එයින් ඉවත් වී පෞද්ගලික රෝහල්වල සේවයට යන්නේ නැත. ඔවුන් බොහෝවිට රජයේ රෝහලේ මෙන්ම පෞද්ගලික රෝහලේද සේවය කරයි. සිදුවන්නේ වෛද්‍යවරයාගේ සේවය රජයේ රෝහලටත් පෞද්ගලික රෝහලටත් දෙකටම ලැබීමයි. අන්තිමට සිදුවී ඇත්තේ රටේ සිටින වෛද්‍ය වරයාගේ සේවය උපරිම අයුරින් රටට ලැබීමයි. සිදුවිය යුත්තේ මෙයද නැත්නම් සියලු පෞද්ගලික රෝහල් වසා දැමීමද?

පෞද්ගලික සරසවි විවෘත කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අදාළ පාර්ශව දැනුවත් විය යුතුය. ප්‍රයෝගික පුහුණුව සඳහා ශික්ෂණ රෝහලක් නොමැතිව අරඹන වෛද්‍ය විද්‍යාලයක් අසාර්ථක වන බව නොකිවමනාය. ලෝකයේ සාර්ථක වෛද්‍ය විද්‍යාල සියල්ලටම පහේ තමාගේම වූ ශික්ෂණ රෝහලක් ඇත. ඒම රෝහල් බොහෝ විට තත්වයෙන් උසස් බැවින් තමා සිසු අධ්‍යාපනයට උදව් විය යුතු බව දැන ගත්තත් බොහෝ රෝගීන් ඒම රෝහල් වෙත පැමිණේ. ඇමරිකාවේ බොහෝ වෛද්‍ය විද්‍යාල වල වැඩිම ආදායමක් ලැබෙන්නේ සිසුන්ගෙන් නොව ශික්ෂණ රෝහලෙනි. වෛද්‍ය විද්‍යාලය සමගම ශික්ෂණ රෝහලක් ඇති කිරීමෙන් සිසුන්ට මෙන්ම රටටද වන්නේ යහපතකි. 

ලංකාවේ නිදහස් අධ්‍යාපනය තෘතික මට්ටමේදී ස්ථාපිත කිරීමට නම් ගත යුතු ක්‍රියා මාර්ග දෙකකි. ඉන් පළමුවැන්න නම් සුදුසුකම් ලබන සියලුම සිසුනට නොමිලේ සරසවි අධ්‍යාපනය ලබා දීමයි. දෙවැන්න සරසවි වරම් නොලබන සිසුන්ගෙන් යම් කොටසකට හෝ උපාධියක්  ලැබීමට හැකිවන අයුරින් පෞද්ගලික සරසවි ඇති කිරීමයි. රජය හෝ වෙනයම් ආයතන වලින්  මෙම සරසවි සඳහා සිසුන්ට පුර්ණ සහ පාර්ශ්වික ශිෂ්‍යත්ව ලබා දීම මගින් සරසවි වරම් ලබන සිසුන් ගණන තව වැඩිකළ හැක.

මිලියන 11 ක් ජනගහනය සහිත කියුබාවේ සරසවි ධාරිතාව ලංකාවේ මෙන් 5 ගුණයකට ආසන්නය. එසේනම් මිලියන 23 ක ජනගහනයක් සිටින ලංකාවේ සරසවි සුදුසුකම් ලබන සිසුන් සියල්ලටම උපාධිය ලබාගැනීමේ අවස්ථාව නොමිලේ ලබාදීමට අපි තව කොපමණ දුර යා යුතුදැයි ඔබට සිතා ගත හැක. ප්‍රයෝගිකව මෙය කළ නොහැක්කකි. කළ හැකි නම් ඊට කලින් කලයුතු දේ තව බොහොම ඇත. සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබා එයට වරම් නොලැබෙන සිසුන්ගෙන් කොටසකට හෝ අවස්ථාවක් ලබා දීමට නම් පෞද්ගලික සරසවි හැරෙන්නට අපිට වෙන විසඳුමක් නැත.

"නිදහස් අධ්‍යාපනය රැකගනිව්" යන්න පසුගිය වසර තිහක පමණ කාලයක පටන් අද දක්වා හොඳ සටන් පාඨයකි. සටන් පාඨ වලින් රටක් දියුණු කළ හැකි නම් අද ලංකාව ලෝකයේ දියුණුම රටවලින් එකක් විය යුතුය.

මෙහිදී අප සැලකිය යුතු කරුණ නම් තෘතික මට්ටමේදී අපේ රටේ කිසි දිනක නිදහස් අධ්‍යාපනයක් නොතිබුණ බවයි. නැවතත් මා අවධාරණය කරන්නේ සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් 85% ට පමණ සරසවි යාමට නොහැකි නම් එහි නිදහස් අධ්‍යාපනයක් නොමැති බවයි. 

"නිදහස් අධ්‍යාපනය" ලෙස නම් කළ මිනි පෙට්ටිය ඔසවාගෙන යන දරුවන්ට මම මෙසේ කියමි. ඔබේ සටන "නොමිලේ අධ්‍යාපනය පමණක්" ලෙස වෙනස් කළහොත් ඔබට ඔබ යන ගමනට යම් හරයක් එකතු කළ හැක. එහෙත් ඉන් රටට ප්‍රයෝගික සුගතියක් වෙත් දැයි ඔබ කල්පනා කර බලන්න. 

නොඑසේ නම් ඔබ ඇත්තටම ඔසවාගෙන යන්නේ "නිදහස් අධ්‍යාපනයේ තිඹිරිගෙයිහිම මළගම" බව ඔබ තේරුම් ගන්න.

අවසාන වශයෙන් මම ඔබට යමක් පවසමි. ඔබට ඔබගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමට පැහැදිලි අයිතියක් ඇත. එහෙත් ඔබට අනෙකාගේ අධ්‍යාපනය නවතන්න යැයි ඉල්ලීමට කිසිඳු අයිතියක් නැත. එය මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන සාපරාධී ක්‍රියාවක් බව තේරුම් ගන්න. 

................................................................................................
Following is my reply to a comment made with a name 'Aka'. Please check in the "comments" section for his/her comment.

ඔබගේ අදහස් වලට බොහොම තුති. එය හොඳ සංවාදයකට ආරම්භයකි.

ප්‍රථමයෙන්ම කිව යුත්තේ ඔබ සඳහන් කරන බොහෝ (සෑම කීවත් නිවැරදිය) මහජන / ජාතික විශ්ව විද්‍යාලයක්ම සිසුන්ගෙන් මුදල් අය කරන බවයි. උදාහරණයකට ඔබ සඳහන් කරන University of California (Berkeley) හි ප්‍රථම උපාධිය සඳහා වන ගාස්තු චක්‍රය පහත දිගුවෙන් බලන්න.

http://admissions.berkeley.edu/costofattendance

මා රජයේ සහ පෞද්ගලික ලෙස විශ්වවිද්‍යාල වර්ග කිරීම කෙරෙහි දැඩි අකමැත්තක් දක්වන්නේද මේ නිසාය. එය බොහෝ දෙනා නොමග යවන සුළුය. රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය සන්තකය, රාජ්‍ය දායකත්වය, රාජ්‍ය මැදිහත්වීම සහ රාජ්‍ය අධීක්ෂණය යටතේ විශ්ව විද්‍යාල පාලනය වීම වඩාත් ඵලදායකය. පුර්ණ පෞද්ගලික අංශයේ සරසවි පවා UGC අධීක්ෂණය යටතේ පැවතිය යුතු බව මගේ වැටහීමයි. නමුත් මේ ආයතන වලින් සියලු දෙනාටම නොමිලේ අධ්‍යාපනය දිය යුතු යැයි මා පවසන්නේ නැත. ඇත්තටම සියළු සරසවි නොමිලේ අධ්‍යාපනය ලබාදීම යනු හුදෙක් රට අගාධයකට ඇද දමන සංඛල්පයකි. මා එරෙහි වන්නේ එයටයි. මෙතෙක් එවන් අධ්‍යාපනයක් ලබාදීමෙන් අප රටට අත්වූ සෙතක් ඇත්දැයි කල්පනා කර බැලීම වටියි.

මා මෙහිදී බලන්නේ මේ ප්‍රශ්ණයේ විසල් දර්ශණය (big picture) දෙසයි. SAITM, වැනි ආයතන අධ්‍යාපනයේ නිදහස (Freedom of Education) සමග ඇතිවන ප්‍රාථමික අවස්ථාවයි. මෙබඳු ආයතනවල බොහෝ අඩු පාඩුකම් ඇති අතර එම වැරදි නිවැරදි කරගැනීමට සටන් වැදීමේ කිසිඳු වරදක් නැත. ඔබ සඳහන් කරන මුදල් අයකරන ඉහල ප්‍රමිතියේ මහජන / ජාතික / පෞද්ගලික විශ්ව විද්‍යාල දක්වා ගමන් කිරීමට යම් කාලයක් ගතවේ. නමුත් එහි ප්‍රාථමික අවධිය අප පසුකල යුතුය. මෙම SAITM / SLIIT යුගය අප පසුකල යුතුව තිබුනේ 80 / 90 දශක වලයි. එසේ නම් මේ වන විට අප NUS, Monash යුගයක ඉන්නට තිබුණි. අවාසනාවට එසේ සිදු වුයේ නැත.

මා ඔබට සුළු උදාහරණයක් දෙන්නම්. 80 දශකයේදී දී බිහි වූ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැත්ත විරෝධයක් මතුවූ බැවින් එය රජයට පවරා ගෙන නොමිළේ අධ්‍යාපනය දීමේ තත්වයට පත් කළේය. එමගින් කී දහසකට නොමිළේ අධ්‍යාපනය ලැබුණා දැයි කියමින් සමහරුන් සතුටු වෙති. නමුත් මෙහිදී බොහෝ දෙනෙකුට අමතක වන්නේ එම නොමිළේ අධ්‍යාපනය වෙනුවෙන් රටේ දුප්පතුන් කී දෙනෙකු මත බර පැටවුනාද යන්නයි. 

නොමිළේ අධ්‍යාපනය ඉල්ලා කෑගසන අයම ඒ වෙනුවෙන් බඩු මිල වැඩිවන විට, මාසේ අන්තිමට ලැබෙන බිල් පත් දෙස බලන විට නැවතත් මරහඬ තලති. සියලු දෙනාටම නොමිළේ අධ්‍යාපනය දිය හැකි තරම් මුදල් ඇත්නම් කිසිම රජයක් එය නොකර සිටිනු ඇතැයි මම නොසිතමි. එහෙත් ලංකාව වැනි රටක් දිවිය යුත්තේ අතිශයින්ම ඇහිරුණු මුදල් පසුම්බියකිනි. ඔබගේ පියාට ලැබෙන මාසික පඩිය මෙන් දෙගුණයක් ඔබ වෙනුවෙන් වියදම් කරන්න කියා ඔබ මොන තරම් අඬා වැලපුනත් වැඩක් වේද?

හැමදේම නිකම් දීපියව් කියා හඬ තැලීම වියත් නොවූ සමාජයක අනාගත දේශපාලකයෙක් වීමට ඇති කෙටිම මගයි. පසු කලෙක මේ හඬ තලන්නෝ බොහෝ දෙනෙක් නතර වන්නේ ප්‍රති විරුද්ධ තලයකයි. එදා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට පෙරමුණේ සිටි ක්‍රියාකාරී නායකයා අද SAITM හි උප කුලපතිවරයාය.


ඔබ යතාර්ථයෙන් බැහැරව සිටින තාක් කල් ලංකාව පසු පසට ඇදී යාම වැළකිය නොහැක. 


Tuesday, 3 November 2015

මට හිතෙන හැටි


මට හිතෙන හැටි 


පනස් ගණන් වල දේශපාලන නායකයෝ සිංහල භාෂාව පාසල්වල එකම අධ්‍යාපන මාධ්‍ය කළහ. දෙමළ පාසල් වල දෙමලෙන් උගැන්විය. 

එම දේශපාලන නායකයන් තම දරුවන් පිටරටවලට යවා ඉංග්‍රීසි උගතුන් කළේය. රටේ ධනපති පන්තිය ඔවුන්ව අනුගමනය කළේය. ඉහළ මධ්‍යම පන්තිය දරුවා සිංහලෙන් උගන්වන පාසැලට යැවුවත් ගෙදරට ගුරුවරුන් ගෙන්වා ඔවුනට ඉංග්‍රීසිය හුරු කළේය. නාගරික පහළ මධ්‍යම පන්තියේ ඉහළ කොටසද හැකි පමණින් මුදල් වැය කර තම දරුවා "එලකියුෂන්" පන්තියට රැගෙන ගියේය. 

පහල මධ්‍යම පන්තියේ පහළ කොටසත්, ගොවි - කම්කරු පන්තියත් සිංහලෙන්ම ඉගෙනුම ලද්දේය. 

ලංකාවේ හොඳම සිංහල සාහිත්‍ය කෘති බිහිවුනේ 60-70 දශක වලයි. ඒ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලද පිරිස අතිනි. ඔවුන් ඉංග්‍රීසියේ මෙන්ම සිහල බසෙහිද නිපුණයෝ වුහ. අසුව දශකය පමණ වනතෙක් ලංකාවේ රාජ්‍ය සේවයේ මෙන්ම බොහෝ පෞද්ගලික සේවා ආයතනවලද ඉහළ පුටු දැරුවේ ගම්බද පෙදෙස්වලින් ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා ඉහලට ආ පිරිසයි. 


ක්‍රමයෙන් මෙම පරපුර වඳවී ගියේය. අදවන විට රටේ වැඩි පිරිසකට ඉංග්‍රීසි බස කතා කිරීමට නොහැකිය. සිංහල බසද හරියාකාරයෙන් හැසිරවිය නොහැකිය. අනෙකක් තබා රාජ්‍ය අමාත්‍යංශ වලින් නිකුත් කරණ චක්‍රලේඛන වල පවා සිංහල බස මරා දමා ඇත.

එහෙත් ධනපතියන්ගේද, ඉහල මධ්‍යම පාන්තිකයන්ගේද දරුවෝ මැනවින් ඉංග්‍රීසිය හදාරා රටේ ඉහලම තනතුරුවල රැඳී සිටිති. පහළ මධ්‍යම පන්තියේ ඉහල තලයේ දරුවෝද කෙසේ හෝ මේ ගොඩට බඩගාති. එහෙත් බහුතරයක් වන රටේ ජනතාව සිංහල පමණක් උගෙන නියමාකාර රැකියාවක් නොමැතිව වැලපෙති.  

සරසවි සහ වෙනත් උසස් අධ්‍යාපන සහතික ලබා ගෙන සමාජ ගත වන තරුණ පරපුරේ තත්වයද මෙයයි. ඉංග්‍රීසි බස මැනවින් හසුරුවන එකා ඉහල රැකියාවකට යන අතර එකම සරසවියේ උගෙන ඉහල සාමාර්ථයක් ලබන ඉංග්‍රීසි බැරි එකා කලින් එකාගේ යටතේ රැකියාව කරයි. 


අද අප දකින සමාජ වෛරය මේ අභාග්‍යයේ ප්‍රතිඵලයකි. පෙළපාලි යන සිසුන් කෑගසන්නේ පෞද්ගලික සරසවි ප්‍රමිතිගත කරන්න කියා නොවේ, ඒවා වැසීමට කියාය. ඒවා වැසුවා කියා ධනපති හෝ ඉහළ මධ්‍යම පන්තියට දැනෙන්නේ නැත. ඔවුන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ වෙනත් රටවලය. ඒවායේ ඉගෙනුම අවසන්කර පැමිණෙන විට ඔවුන්ට ඉහල රැකියාවක් සහතිකය. 

මෙරට ඇති පෞද්ගලික සරසවි වලට තම දරුවන් ඇතුල් කරන්නේ අමාරුවෙන් මුදල් සරිකරගන්නා පහළ මධ්‍යම පන්තියේ ඉහල කොටසයි. මේවා වසන්න කියා පහළ මධ්‍යම පන්තියේ පහලින් සහ ගොවි-කම්කරු පන්තියෙන් පැමිණි සරසවි සිසුන් මොර දෙන්නේ ඔවුන්ට යන්තමින් හෝ තරඟ කල හැක්කේ මේ පන්තිය සමග පමණක් බැවිනි. 

මේ අවාසනාවන්ත අසහනකාරී තරඟය ඇතිවන්නේ සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසිය කරන කොටගෙනය. අපි සුද්දාගේ භාෂාව රටේ බහුතරයකගෙන් මකා දමා ඔවුන්ගේ වහල් චින්තනය පමණක් සිංහලෙන් කරගසා ගෙන යමින් සිටිමු. මේ තත්වය ඇති කල දේශපාලකයා අයිති වුනේ ධනපති පන්තියටයි. අද ඔහුගේ අභිප්‍රාය සම්පුර්ණයෙන්ම සාර්ථක වී ඇත.



උගුර ලේ රස වනතුරු කෑගසමින්, පොලිස් බැටන් පහර කමින්, ලේ හලා ගනිමින් ඇදෙන සරසවි සිසුවා දකින මේ ධනපති පන්තිය  "stupid idiots, they are wasting our tax money" යැයි පිළිකුලෙන් පවසති. 

ඒ ගමන්ම තම අධ්‍යාපන කඩවේයිදෝ කියා බියෙන් තැතිගෙන සිටින පෞද්ගලික සරසවි සිසුවා දෙස බලන ඔවුන් "I feel sorry for these poor buggers. They should understand that they cannot reach our levels" යයි ඔලොක්කුවෙන් කියති. 

මේ උභතෝකෝටිකය කෙටි කලකින් විසඳීමත් පහසු නැත. ඉංග්‍රීසිය යලිත් ගමේ පාසලට ගෙනයාමට ඉංග්‍රීසි උගත් ගුරුවරුන් අවශ්‍යය. එබඳු ගුරුවරුන් තැනීමට ගමේ ඉස්කෝලයෙන් ඉංග්‍රීසි උගත් දරුවන් බිහිවිය යුතුය. 

සැමටම කලින් රටේ බහුතරයක් ජනතාවගේ ඇස් පෑදිය යුතුය. 





Wednesday, 28 October 2015

That's the way in SL



ලංකාවේ එහෙම තමයි 





ගෝඨාභය රාජපක්ෂ මහතාව FCIDයට කඳවු දින කොළඹ නගරයේ මහා කලබලයක් ඇතිවිය. මෙම කැඳවීමට විරෝධය පෑ ජනතාව අතර සංඝරත්නය ද  විය. මින් කිහිප දෙනෙකු රාජ්‍ය දේපලවලට හානි කිරීම යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරන ලදී.

අනතුරුව ගෝඨාභය මහතා සෑහෙන වාර ගණනක් FCIDයට පැමිණ කටඋත්තර දී යන්න ගියේය. කිසිවෙකු ඔහු සමග නොආවේය. මුල් දින කලබැගෑනියෙන් නඩු වැටුණු උදවිය නීතිඥ ගාස්තු ගෙවමින් නිතර උසාවියට ඇදෙයි. ගෝඨාභය මහතා හෝ එදා එහි සිටි කිසිවෙක් ඔවුන් ගැන බලන්නේ නැත.

ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතාව FCIDයට කැඳවිය. ඔහු එහි නොගිය අතර FCIDය ඔහුගේ නිවසට පැමිණ කටඋත්තර ලබා ගත්තේය. මෙය මුහුණු පොතේ ඇවිදින සමහරුන්ට වීර ක්‍රියාවක් විය. එහෙත් ශ්‍රීලනිපයට සම්බන්ධ දැන උගත් බොහෝ පිරිසකට මේ ක්‍රියාවෙන් රටට දෙන ආදර්ශය අයහපත් බව පෙනී ගියෝය. සාකච්චා වට කිහිපයකින් පසු ආචාර්ය/මහාචාර්ය පදවි හෙබවූ කිහිප දෙනෙක් මහින්ද මහතාව පෞද්ගලිකව හමුවී මේ ගැන කරුණු කාරනා පැහැදිලි කලෝය. 

ඉන් අනතුරුව පවුලේ ඉතා  සමීප කිහිප දෙනෙකු සමග කතා කර එතුමා තීරණයක් ගනු ලැබිය. ශ්‍රීලනිපය තුල තමාට ලැදි යැයි සිතන එකම පුද්ගලයාව එතුමා කැඳවීය. පළාත් සභාවේ සිට දියවන්නාවට ළඟදී සම්ප්‍රාප්ත වූ මේ ක්‍රිකට් පවුලේ සාමාජිකයා කොළඹ-ගම්පහ අවට සිදු කෙරෙන ඕනෑම දේශපාලන ක්‍රියාවකට දහස් ගණනින් සෙනග රැස් කල හැකි අයෙකු ලෙස ප්‍රසිද්ධය. 

මහින්ද මහතා FCIDයට පැමිණෙන විට 10,000 පමණ රැස්වී එම ආයතනයට යන මග අහුරා පාරේ නිදා ගැනීම සැලසුම විය. මහින්ද මහතා FCID ආයතනය පවතින භූමි භාගයට ඇතුළු වුවහොත් පෙට්‍රල් ගැලුමක් ඇඟේ හලාගන ගිනි තියා ගන්නා බවට තර්ජනය කරන කාන්තාවක්ද තිර නාටකයේ පිටපතට ඇතුළු විය. අවසාන ජවනිකාව වන්නේ මහින්ද මහතා, තමා ඉතා කැමැත්තෙන් FCIDයට කට උත්තරයක් දීමට ආවත් සිදුවීමට යන ව්‍යසනය නිසා තමාට එය කිරීමට නොහැකි බව මාධ්‍යට පවසා නැවත හැරී ඒමය. 

මහින්ද හිතවාදී දේශපාලකයා මේ වන විට සිටියේ යම් තරමකට ව්‍යාකූල ස්වභාවයකිනි. මුලදී මහින්ද මහතාට පණ දීමට කතා කල බොහෝ ශ්‍රීලනිප නායකයෝ ඒ වන විට යහපාලනයේ ගුණ ගායනා කිරීම අරඹා තිබුණි. මහින්ද මහතා වටේට සිටින්නේ ආතක් පාතක් නැති හතර දෙනාගේ කල්ලියත් ශ්‍රීලනිපය වෙනුවෙන් තමා පමණකුත් බව ඔහු වටහා ගෙන තිබුණි. හතර දෙනාගේ කල්ලියද නොයෙකුත් විකාර වැඩ කරමින් හතර අතේ අනාගනිමින් සිටියේය. 

ඔහුගේ මේ ව්‍යාකුල තත්වයේ ප්‍රතිඵලය වුයේ මහින්ද මහතා FCIDයට පැමිණි දින බෝර්ඩ් කෑලි ඔසවා ගත් සාපේක්ෂව සුළු පිරිසකුත්, විප්‍රකාර කරමින් පොලිස් අත්අඩංගුවට පත් වූ පළාත් සභා මන්ත්‍රීවරයෙකුත් ඇරෙන්නට මාධ්‍යවල පළකිරිමටවත් විශේෂ දෙයක් නොවීමයි. මහින්ද මහතාට බලාපොරොත්තු නොවූ විලස FCIDයේ ප්‍රශ්ණ කිරීම් වලට මුහුණ දෙන්න සිදුවිය. FCIDයද ඉතා සූක්‍ෂම උපාය මාර්ගයක් මගින් මහින්ද මහතා තම දැලට කොටු කරගත්තේය. ඔවුන් මහින්ද මහතාගේ ප්‍රශ්ණ කිරීම තේ පැන් සංග්‍රහයකින් අවසන් කළේය. සිනහමුසු මුහුණෙන් මහින්ද මහතා එය භුක්ති විඳිනු මාධ්‍යවල පලවිය. නැවත FCIDයට නොඒමට මහින්ද මහතාට තිබුණු එකම තුරුම්පුව නම් FCIDයේ නිලධාරින් හිටපු ජනාධිපතිවරයෙකුට සිදු නොකල යුතු ආකාරයෙන් තමන්ට ආඩම් තේට්ටම් කළා යැයි චෝදනා කිරීමය. FCID නිලධාරින් එම තුරුම්පුවද සොරාගෙන ඇත. දැන් ඉතින් ගැලවීමක් නැත. 

මහින්ද මහතා ඊට පසුවද FCIDයට කට උත්තර දීම සඳහා පැමිණියද කිසිවෙකු ඒ ගැන වැඩි තැකීමක් නොකරනු පෙනෙන්න තිබුණි. 

බොහෝ දෙනෙකු සිතුවේ මේ රජය පත්වී ටික දිනකින් 2010 දී ජෙනරාල් සරත් ෆොන්සේකාට අත් වූ ඉරණම රාජපක්ෂ පවුලටද අත්වේ යයි කියාය. මෛත්‍රී - රනිල් හවුල ඊට වඩා ඉතා සටකපට සේයකි. ඔවුන් ලාංකික ජන විඥානය හොඳින් හඳුනන බව පෙනේ. තව FCID වාර කිහිපයකින් පසු මහින්ද ඇතුළු පවුලේ උදවිය එකිනෙකා අත්අඩංගුවට ගනු ඇතැයි මට සිතේ. එහෙත් ඒ වන විට එම සිදුවීම් සාමාන්‍ය තත්වයකට ජනතාව දකින ලෙස විඥානය හැඩගැසී (හෝ හැඩ ගස්වා) තිබෙනු ඇත. එය ලංකාවේ ස්වභාවයයි.

ඇමරිකාවට ගොස් විදුලි පුටුවේ ඉදගන්න වුනත් ලැහැස්ති යයි කියමින් වහසි බස් දෙඩු මහින්ද රාජපක්ෂ මහතා FCIDයට ගොස් කුෂන් පුටුවේ ඉඳ ගැනීමටත් බිය විය. මහින්ද මහතා වෙනුවෙන් ගිනි තියා ගෙන මිය යන්නට සුදානම් මුහුණු පොතේ වීරයෝ එකෙකු වත් මහින්ද මහතා වෙනුවෙන් FCIDය ඉදිරියට නොගිය බව නම් සක් සුදක් සේ පැහැදිළිය. ලංකාවේ හැටි එහෙමය. 

තව ටික දිනකින් මහින්ද මහතා සිර ගෙදරට පිය නගන විටද මේ වීරයෝ මුහුණු පොතේ පෝස්ට් වපුරනු ඇත. මන්ද එය වඩාත් පහසුදායක, කිසිඳු වියදමක් නොයන, ආරක්ෂාකාරී ක්‍රියාව නිසාය. ඉන් ඉක්බිති මෙම පෝස්ට් ක්‍රමයෙන් වියැකී යනු ඇත. 

ලංකාවේ දැනට සිටින සහ ඉඳිරියට පැමිණෙන සියළු පාලකයන්ට මෙය හොඳ පාඩමකි. 


***********************

Tuesday, 27 October 2015

Before the floodgates are opened......


වාන් දොරටු ඇරීමට පෙර 




වසර 2003 දී මම යුනෙස්කෝ ආයතනයේ සහයෙන් ජාත්‍යන්තර වැඩමුළුවක් ලංකාවේ සංවිධානය කලෙමි. එය අවසාන වුයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයට කල සංචාරයක් සමගිනි. උද්‍යානයේ වූ අතු පතර විසිරී ගිය සුවිසල් වෘක්ෂයක් අභියසදී ඉන්දියානු විද්‍යාඥයෙක් කියා සිටියේ එම ගස දුටු විට ඔහුට ඉන්දියාව සිහිවන බවයි. ඔහු අදහස් කර තිබුණේ එබඳුම වෘක්ෂයක් ඔහුගේ නිවස අසලත් තිබෙනවා යන්නයි. 

මේ අසාගෙන සිටි වැඩසටහනට සහභාගී වූ නේපාල ජාතිකයෙකුගේ (අද අප දෙදෙනා ඉතා කුළුපඟ මිතුරන්ය) මුවගින් ඉබේම පිට වුයේ, "අරක දකින විට මට නේපාලය සිහිවෙනවා" යන්නය.

ඔහු ඇඟිල්ල දිගු කර පෙන්වන දෙස බැලූ අප දුටුවේ සුවිසල් වෘක්ෂයේ වදුල නිසා කනාටු වී, පත්‍ර කහ පැහැ ගැන්වුණ කුඩා ගසකි. 

එදා එතන සිටි බොහෝ දෙනෙකුට මෙම සිද්ධිය තවමත් මතක ඇතැයි මම සිතමි. සියල්ලෝම සිනහවකින් එම සිදුවීම අවසන් කලත්, එහි යටි අරුත අවට සිටි දකුණු ආසියාතිකයින් සැම දෙනාටම ඉතා තදින් හිතට වැදුන බව නම් මට සහතිකය. 


ලොව පුරා 70-80 දශක ගෙවුණේ සිනමා තිරයේ රජකළ ඇමරිකානු වීරයාත් සමගය. ඊළඟ දශක කිහිපයේදී ගෙන ඒමට තිබු ඇමරිකානු ආක්‍රමණවාදය ආදරයෙන් වැළඳ ගැනීමට ඇමරිකාව විසින් ලෝ වැසියන්ගේ හදවත් සකස් කලේ හොලිවුඩ් තිරය සහ කොකා කෝලා බෝතලය හරහාය. ලොස් ඇන්ජලීස් නුවර සිට බංග්ලාදේශයේ හද්දා පිටිසර පැල් කොටය තෙක් තාරුණ්‍ය ඇමරිකන් ගැති කලේ මේ කාරණා දෙකයි.

අනූව දශකයේදී මේ ආක්‍රමණ යාන්ත්‍රණයේ අයිතිය පැහැදිලිවම නව හිමිකරුවෙකු අතට මාරුවිය. ඒ හිමිකරු ඉන්දියාවයි. මේ වන විට ලොව බොහෝ රටවල ධනපති පන්තිය අතරට පැමිණීමට සංක්‍රමණික ඉන්දියානුවෝ සමත් වී සිටියහ. ඔවුන් හරහා ආසියාවෙන් පිටත රටවලටද, ඉන්දියානු සම්භවයක් ඇති ව්‍යාපාරිකයන් හරහා දකුණු ආසියාතික රටවලටද ඉන්දියාව තම සංස්කෘතිය අපනයනය කළේය. 

ඔවුන්ගේ අභිප්‍රාය ඇමරිකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් විය. ඇමරිකාව තම බාහුවේ සවිය ලොවට පෙන්වන කවටයාගේ තත්වයට ඇද වැටෙද්දී ඉන්දියාව තම සංස්කෘතියේ අපනයනය හරහා විශාල ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩ නගා ගත්තේය. 

ඔබ ලංකාව දෙස පමණක් බලන්න.......


දැනට වසර 20ක පමණ සිට අපි සන්ධ්‍යා කාලයෙන් වැඩි වෙලාවක් කා දමන්නේ කුමකටද? ඒ ඉන්දියන් සංස්කෘතිය සිප වැළඳ ගැනීමට නොවේද? එකකට පසු එකක් දිග හැරෙන සිංහල හඬ කැවූ ඉන්දියානු බොල් ටෙලි වෘතාන්ත අපගේ නිවස වෙලාගෙන ඇත. ඉන්දියානු සම්භවයක් සහිත ව්‍යාපාරිකයෙකුගේ නාලිකාවකින් මෙම ඇබ්බැහිය ලබා දුන් අතර එය ශීග්‍රයෙන් වෙනත් නාලිකා අතරද පැතිර ගියේය. 

මෙහි ද්විතික අවස්ථාව වුයේ මෙම ටෙලි නාටක ලංකාවේ නිපදවීමයි. ඒවායේ රඟන්නේ ලංකාවේ නළු නිළියන්ය. කතා බස් කරන්නේ සිංහලෙනි. එහෙත් ඇඳුම් පැළදුම් වල සිට දෑසින් කරන ඉඟි බිඟිය දක්වා සියලුම නාටක ඉන්දියන් පිටපතේ කාබන් කොපිය. 

මෙහි ප්‍රතිඵලය කුමක්ද?

මේ ආනයනිත ඉන්දියන් සංස්කෘතිය හරහා පිරිහෙන ලාංකීය අනන්‍යතාවයත්, කා දමන කාලයත්, මන:කල්පිත චරිත මුහුණ දෙන කරදර කම්කටොළු තමන්ගේ කරගෙන මනස විකල් කරගන්නා කාන්තා පක්‍ෂයත් අපි මදකට අමතක කරමු. 


අද මධ්‍යම පන්තියේ විවාහ උත්සවයක් දෙස බලන්න. එය තනිකරම ඉන්දියන් බසාර් එකකි. සමහරුන් ඉන්දියාවටම ගොස් ඉතා මිල අධික සාරි මිලදී ගෙන එති. ගුජරාටි, මරාටි, පන්ජාබ් ආදී නම් යොදා ගත් නොයෙකුත් විකාර ඇඳුම් සඳහා විශාල මුදලක් ඉන්දියාවට පුද දෙති. 

ගැහැණු පිරිමි දෙපක්ෂයම එකසේ මේ කාර්යට දායක වෙති. එදා ජපානෙන් හෝ වෙනත් රටකින් පැමිණෙන රෙද්දක් මිලදී ගෙන හන්දියේ ටේලර්ගෙන් කලිසම මසාගත් මනමාලයා අද ඉන්දියන් රෙද්දක් මිලදී ගෙන වැල්ලවත්තේ හෝ පිටකොටුවේ සිටින ඉන්දියන් ටේලර්වරු සොයාගෙන යයි. අද මා දන්නා තරමින් බොහෝ ප්‍රධාන පෙළේ ඇඳුම් මසන ආයතන විශාල පඩියක් ගෙවා ඉන්දියන් ටේලර්වරුන් මෙරටට ගෙන්වාගෙන සිටිති. නොඑසේ නම් ඔවුනට ඉල්ලුමක් නැත.

බොහෝ කලක සිට ලංකාවේ කෙරෙන විශාල වරදක් මම දකිමි. ශ්‍රී ලාංකික කාන්තාවගේ නිල ඇඳුම ලෙස සළකන්නේ සාරියයි. රජයේ සේවය කරන සියළුම කාන්තාවන්ට (විශේෂ තත්ත්ව යටතේ නොවේ නම්) සාරිය අනිවාර්ය වේ. පෞද්ගලික ආයතන බොහොමයකද තත්වය එසේමය. පන්සලටත්, මගුලටත්, අවමගුලටත් පිළිගත් ඇඳුම සාරියයි.

එහෙත් 77 න් පසු ලංකාවේ කිසිඳු තත්වයක සාරියක් නිෂ්පාදනය වුවා යැයි මම නොසිතමි (ඊට කලින් නිපදවුයේද  භූමිතෙල් සුවඳ හමන බාල වර්ගයේ සාරිය). තමන්ගේ රටේ නිපදවන්නේ නැති ඇඳුමක් සාමාජීය ලෙස ප්‍රමිතිගත කරගත් එකම රට ලංකාව විය හැක. ලංකාවට ගෙන්වන සාරි වලින් 99% පැමිණෙන්නේ ඉන්දියාවෙනි (සුළු ප්‍රමාණයක් බංග්ලාදේශයෙන් පැමිණේ).

සාරි ඇඳගෙන ඉන්දියන් විරෝධී බැනර් ඔසවාගෙන ගිනි අව්වේ කෑගසමින් පෙළපාලි යන කාන්තාවන් දෙස මම බල සිටින්නේ සංවේගයෙනි.


ලංකා අශෝක් ලේලන්ඩ් කියා බෝඩ් ලෑල්ලක් ගසා තිබුනාට හැමදෙනාම යන ලංගම බසයට ලංකාවේදී කෙරෙන්නේ බෝඩියට ඇණ රිවට් කිරීම පමණි. පාරේ අඩියක් අඩියක් ගානේ බජාජ් ත්‍රි රෝද රථ, හීරෝ හොන්ඩා යතුරු පැදි, මරුටි වාහන, ටාටා ලොරි හා බස් රථ පිරිලාය. උදැසන නැගිට බුරුසුවට මිරිකන දන්තාලේපයේ සිට රාත්‍රී නින්දට පෙර කට සේදීමට වතුර ටික දාගන්නා ප්ලාස්ටික් කෝප්පය දක්වා අපගේ දෛනික ජිවිතයේ බොහෝ දේවල් ලැබෙන්නේ ඉන්දියාවෙනි (නැතහොත් චීනයෙනි). 

දහසකුත් වැඩ අතර මට මේ ලිපිය ලියන්න සිතුනේ ආන්දෝලනයකට තුඩු දී ඇති වෙළඳ හා සේවා හුවමාරු ගිවිසුම මේවන විට නැවතත් කරලියට පැමිණ ඇති නිසාවෙනි. 

වසර 2004 සිට 2009 දක්වා කාලය තුල මා කලාපීය වැඩසටහනක නායකත්වය දැරූ බැවින්, සියලු දකුණු ආසියාතික රටවලට නිතර ආගිය හැකි විය. නේපාලයේදී, භූතානයේදී, පකිස්ථානයේදී මට නිතරම අසන්නට ලැබුනේ එක දෙයකි.

"ඔබ හරිම වාසනාවන්තයි. ඔබට ඉන්දියාව සමග ගොඩබිම් දේශ සීමාවක් නැහැ. අපිටත් එහෙම වුනා නම් මේ කරදර කිසිවක් නැහැ".

පකිස්ථානයේදී මම එහි රාජ්‍ය නායකයන් ඇතුළු ඉහල පෙලේ නිලධාරින් කිහිප දෙනෙකු සමගම කතා බස් කර ඇත්තෙමි. ඔවුන් සියලු දෙනාගේම මතය වුයේ "අපට ඉන්දියාව සමග මිතුරු කමක් අවශ්‍ය නැහැ. සතුරු කමක් නොතිබුනාම හොඳටම ඇති" යන්නය.

මෙහි අදහස නේපාලීය හා භූතාන ජාතිකයන්ට හොඳින්ම වැටහෙන බව මම දනිමි. ඉන්දියානු මිතුරු හස්තය සමග පැමිණෙන ව්‍යාපාරික ගංවතුරෙන් ඔවුන් හොඳටම යටවී ඇත. ගොඩබිම් දේශ සීමා නිසා ඔවුන්ට මේ ජල ගැලීම පාලනය කරගැනීම අසීරුය. 


ඉංදීය වෙළඳපොළ ඉතා විශාලය. එහෙත් එයට අලුතෙන් කෙස් ගසක්වත් රිංගවීමට  ලංකාවට හැකියාවක් ඇතැයි මම නොසිතමි. ඔවුන්ට එක ගඩොලක් වුවමනා වන විට ගොඩොල් දහසක් තැනීමට මැටි අනා ගත් කුසගිනි හමුදාවක් බලා සිටින බව අප අමතක නොකළ යුතුය. ඉන්දියාවේ වසරකට තනන ගෙවල් ප්‍රමාණය ගණනය කර මුළු මීගමුවේම මැටි කැපුවත් මේ ඉල්ලුම සැපයිය නොහැකි යැයි පවසන ආර්ථික විශේෂඥයන්ද ලංකාවේ සිටින බව නම් කිව මනාය. 

සේවා සැපයීම ගැනද තත්වය මෙසේමය. ලංකාවේදී ඔබට රුපියල් අසුදහසක පඩියකට සේවය ලබාගත හැකි පරිගණක සැලසුම් කරුවෙක් ඉන්දියාවේදී ඔබට රුපියල් 8000 කට බඳවා ගත හැක. ඒ සඳහාද ඔබ අයදුම්පත් ලක්ෂ ගණනක් අතරින් එකක් කුසපත් ඇදීමේ ක්‍රමයට තෝරා ගත යුතුය. 

ස්වභාව ධර්මයා විසින් කුමක් හෝ හේතුවක් නිසා වසර දහස් ගණනක් පුරාවට අපව වෙන් කර ඇත. වාන් දොරටු හැරීමට පෙර ඒ ගැන සිතුවොත් යහපත්ය. 








Sunday, 13 September 2015

Being Hurt: the Beauty and the Beast

---- From the book to be published: The Happy Winner





A good old friend of mine, now a caring wife and a mother, asked me recently while we were chatting on the skype,

“Chandima, how can I refrain from being hurt?”

Instead of giving an answer, I passed her a counter question “why should you want to be refrained from being hurt?”

“That’s a ridiculous question Chandima, who wants to be hurt? Shouldn’t it always be avoided?”

“The answer to your first question is; most people. For the second; not always, because it may not be that bad”

“I can’t understand your point Chandima. Sometimes, he (referring to her husband) tells things that really hurt me. I make long faces and keep unusually quiet, fill my eyes with tears or pretend that I am in a state of depression or in deep thoughts. However, he doesn’t bother at all even to ask me what the problem is or at least pat on my shoulder and say something soothing”.

“OK, my dear, now let’s talk, ‘cause you got a point there”

…………………………………………………………………………………………………………


Why do we get hurt? That is the big question to start with.

When I was in Sri Lanka, while I was driving along the congested Colombo roads, it was not infrequent that I make some rude gestures to the unruly drivers who make crazy moves. Most often these drivers also react violently. Sometimes, they lower the shutter, and shout at me in utter filth. 

I get mad, angry, frustrated, depressed…., but I never get hurt. Do you ever get hurt when a stranger becomes unkind to you? The answer is “No” for sure.

On the other hand, for a single undesired word, uttered by a loved one, your heart may break into pieces. This is termed “being hurt”.

You get hurt simply because you love someone; your mother, father, siblings, partner, friend, neighbor or even your pet dog.

What is your reaction when you get hurt?

Let me tell you; in 99% of the cases, when you get hurt, you try to show the person that hurt you that you are hurt.  That show comes in many forms as my friend described above as what she does. 

Sometimes the other end may know why the subject is hurt. Sometimes the reason may genuinely be unknown.

In the first case, if you are the cause of being hurt, make a loving gesture as per the relationship; a hug, a kiss, a pat on the shoulder, a touch on the hand etc. and say that ‘I am sorry dear” in the best affectionate way as per your relationship.

In the second case, you first make a loving gesture as above, and then very gently ask “what troubles you dear?”. 

Then you will see that flowers are blooming everywhere, even in the mid-winter....... and you both will find that “being hurt” is one of the most beautiful sensations that you may come across in your life. 

All living beings, need attention and caring, especially, when they are hurt and very especially, from those who have hurt them. Be a beautiful person who is ready to give that caring when it is needed.




Now the other side.

If you ignore the unusual behavior of the loved one or abruptly ask “what’s the matter”, that will wither even the last few flowers in the heart........ and soon both of you will find the ugly side of being hurt. It will really be an ugly beast.

…………………………………………………………………………………………………………

To experience the beautiful side of being hurt you essentially need to shed the ego, as it is the worst enemy of being happy. To shed the ego, you need to be strong. We have discussed this in detail in several previous chapters.

In a love affair (husband-wife or lovers), if you figure out that your partner is no longer taking any notice that you are hurt, it is a sign that she/he is interested in someone else. Thus, you need to address the issues in a new dimension.

If your partner doesn’t care when you are hurt, from the right beginning of your affair, then try to explain what you need from her/him when you are hurt. If you don’t have the courage to tell the partner that straight, then ask her/him to read this chapter. 

If the partner repeatedly ignores what you asked for, even after you repeatedly give the same back to her/him when she/he is hurt, then just STOP BEING HURT

Never get hurt for a person who doesn’t care that you are hurt. 

This is much easier to be said than done, but it is quite possible if you have the will. 

Let’s discuss that in the next chapter.