Monday 27 February 2023

මට පෙනෙන - කලයුතු දේ


අප බොහෝ දෙනෙකුට අමතක වන කාරණයක් නම් අප මේ ගෙවන්නේ ඉතා සාර්ථක අරගලයකින් මාස කිහිපයකට  පසු සමය බවය. එම අරගලය ඇරඹුණේ "Go Home Gota" තේමාව යටතේය. අරගලකරුවා එම ඉලක්කය කරා මාස කිහිපයකින් ළඟාවිය. අරගල ප්‍රස්තුතය ගෙදර නොව රටෙන්ද පලා ගියේය. එම අරගලය අති සාර්ථක වන්නේ මේ නිසාය. මෙවැනි අරගල මෑත ඉතිහාසයේ තිබී ඇත්තේ අතේ ඇඟිලි ගානටය. අරගලයෙන් පසු සිදුවූ විකාරයට වගකිව යුත්තේ දේශපාළුවාය. අරගලකරුවා ඉටු කල කාර්ය භාරය ඉදිරියට ගෙනයාමට තරම් හයියක් හෝ ප්‍රඥාවක් දේශපාලකයා සතු නොවීය. එය අරගලකරුවාගේ දෝෂයක් නොවේ.

නමුත් මේ අරගලය ලාංකීය ජනතාවගේ මනෝබාවය විශාල වශයෙන් වෙනස් කල බව ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි. ඉන් එක කාරණයක් දේශපාලන විරෝධතාවයන්ට ඍජුවම බලපායි. එනම් "කොළඹ වටලන විරෝධතාවයක්" කී පමණින් දැන් ජනතාව එය සංසන්දනය කරන්නේ අරගලයේ ප්‍රතිපල සමගය. මේ නිසා එදා දහස් ගණනක් කොළඹට පැමිණ ගාලුමුවදොර පිටිය පුරවා ගෙදර යාම දේශපාලන පක්ෂයකට විශාල ජයක් වුවත් අද එය එතරම් ගණන් ගත නොහැකි සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. ඇඟට දැනෙන ප්‍රතිඵලයක් නොමැති විරෝධතාවයක් අද ජනතාවගේ ඇසින් නිෂ්ඵල ක්‍රියාවකි. මා කියන දෙය ඔබට වැටහෙන්නේ ඔබ ඊළඟ විරෝධතාවයට ජනතාව කැඳවන විටදීය.

වේගයෙන් ඉදිරියට පැමිණෙන රැඩිකල් පක්ෂ පැහැදිලි අරමුණක් හෝ ප්‍රතිදානයක් නැති විරෝධතාවලින් දියවී යනු මා මැලේසියාවේදී, තායිලන්තයේදී, සැම්බියාවේදී, පකිස්ථානයේදී, සහ දකුණු අප්‍රිකාවේදී first hand experience තුලින් නිරීක්ෂණය කර ඇත. මීට අමතරව තවත් රටවල් කිහිපයක සිදුවනු අසා ඇත.  

රටක් ආගාධයට වැටුණු මොහොතක පක්ෂයක් වටා බොහෝ විට එක්වන්නේ තරුණ සහ මුල්-මැදිවියේ පිරිසයි. මේ බොහෝ දෙනෙක් තුල උගත්-නූගත් බේදයකින් තොරව යම් අඩුපාඩුවක් ඇත. එනම් ලෝකය පිළිබඳව ඇති අනවබෝධය සහ අවස්ථාව ගැඹුරට විශ්ලේෂණය කිරීමට ඇති නොහැකියාවයි. ඔවුන්ගේ කෝප වූ මනස නිරවුල් චින්තනයට වැට කඩුළු බඳී. රාජපක්ෂලා මෙතෙක් සිදුකළේද, රනිල්, සජිත් ඇතුළු හරිත පක්ෂ සහ වාමවාදී පක්ෂ සිදුකළේද මේ නොමේරු - වියවුල් මනස තම දේශපාලන උන්නතියට යොදා ගැනීමයි. 

මා කුමක් පැවසුවත් NPP වැනි පක්ෂයකට ඉහත පිරිසෙන් ස්වායත්ත විය නොහැක. එම නායකයන්ටද මෙම වියවුල් මනස සන්තර්පණය කිරීමට සිදුවේ. මා සිතන ආකාරයට මේ විරෝධතාවල අරමුණ එයයි. එහෙත් ඉන් සිදුවිය හැකි හානිය බොහෝ විශාලය.

අද ජනතාව බලාපොරොත්තුවන්නේ පවතී අරගලය පන්නයේ ගාමක බලවේගයකින් තම දරිද්‍රතාවයට ආමන්ත්‍රණය කරන operation එකකි. එනම් යම් ඉලක්කයක් අර්ථ දක්වා නොනවතින රැල්ලකින් එය සාක්ෂාත් කරගැනීමයි. මෙම operations කිහිපයක් තිබිය හැක. මට පෙනෙන pathways දෙකක් ඇත. මීට වඩා හොඳ මාර්ග පිළිබඳව ඔබ සිතන්න.

- මුළු රටේම ජනතාව (අඩුම ගණනේ බහුතරයක්) සංවිධානාත්මකව සේවා බිල් නොගෙවා සිටීම (බැංකු ණය වාරික නොගෙවීමට මම යෝජනා කලත් එයට එරෙහිවන ඉහල මධ්‍යම පාන්තිකයන් බොහෝ ඇති බව පෙනෙයි).

- දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් කැඳවීම.


Sunday 26 February 2023

අරගලයක වෙනස

ගෝඨාභයට ගෙදර යාමට සිදු වුයේ මහජනතාව දරිද්‍රතාවයට එරෙහිව වීථියට බට නිසාය. එයට නායකත්වයක්, අරමුණක්, ඉලක්කයන් තිබිය යුතු බව මම නැවත නැවතත් ලිව්වෙමි. එම අරගලය ඇරඹුණේ හරි තැනිනි. එහෙත් එයට ඒ ආකාරයටම යම් කාල ලක්ෂයකින් ඔබ්බට යා නොහැකි බව එහි නියමුවෝ අවබෝධ කර නොගත්හ. අද අරගලයේ පෙරමුණ ගත් සමහරෙක් ඉන්න තැන් දුටු විට මට පෙනී යන්නේ මහින්ද+ජොන්ස්ටන් ඔලමොට්ටල කෙලිය නොවන්නට එම නැගිටීම තව සති කිහිපයකින් වියැකෙන්නට තිබූ බවයි. 

අද වීථි බැස ඇත්තේ යම් පාක්ෂිකයන් පිරිසකි. එය ඉතා විශාල විය හැක. නමුත් එය ජන නැගිටීමක් නොවෙයි. එසේම මේ නැගිටීම පාලකයා විසින් පාගා දමන මැතිවරණ අයිතියට එරෙහිවය. එය ඉතා සාධාරණය. එහෙත් එය සමස්ථ ජනතාවට දැනෙන අර්බුදයක් නොවෙයි. මේ නිසා එදා ජනතාව අතර තිබුණ එකමුතුකම අද නැත. 

රාජපක්ෂලාට තිබුණේ මැරකම සහ උද්දච්චකම සංකලනය වූ ක්‍රමවේදයකි. ඔවුන්ට සැබෑ මහජන නැගිටීමකට මුහුණ දීමට තරම් ප්‍රඥාවක් නොවීය. වත්මන් පාලකයා තක්කඩිකම සහ උගුල් ඇටවීම පිළිබඳව පරිණත දේශපාලකයෙකි. එසේම ඔහු දැනීම් හැඟීම් නැති පුද්ගලයෙකි. 

අවසාන වශයෙන් මම දකින්නේ ජවිපෙ අද විශාල වරදක් කරගත් බවයි. වත්මන් පාලකයා එරෙහිව යම් කිසි මට්ටමකින් හෝ වීථියේ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි එකම ආකාරය නොනවතින ජන රැල්ලක් ඇති කිරීමය. එනම් පසුගිය අරගලය පන්නයේ ජන රැල්ලක් සමග කොළඹට විත් කඳවුරු බැඳගැනීමයි. පාක්ෂිකයාට වුවත් නැවත නැවත රැළිවලට පැමිණීම වදයක් වෙයි. දිනක් ජීවිතය ගැටගසා ගැනීමත් අභියෝගයක් වූ මේ කාලයේදී එය විශේෂයෙන්ම බලපායි. ඊළඟ විරෝධතාවය දියාරු සටනක් වීමට බොහෝ විට ඉඩ ඇත.

මේ පාලකයා දණ ගැස්වීමට දැනට ඇති අතිශයින් සාමකාමී වූ හොඳම ක්‍රමවේදය ලෙස මා දකින්නේ ජනතාවගේ දරිද්‍රතාවයම ඒ විරෝධය සඳහා උපයෝගී කරගැනීමයි. ඒ ගැන මම පෝස්ට් එකක් පලකලෙමි. එම සටන් කලාවේදී වීරයන් බිහි නොවීම යම් යම් පක්ෂවලට අවාසියක් විය හැක. 



Friday 17 February 2023

රජුන් ගිය මග ගිය මහැඳුරු නලීන්


"නලීන් ද සිල්වා ගෙන් යමක් ගත්තේ ඔහු වටා සිටි ගෝලබාලයන් නොව ඔහුට එරෙහිව එදා මේස පුටු උඩ නැග කෑගැසූ විරුද්ධවාදීන්ය" 

මෑතකදී හිතමිතුරු සේනක වෙත්තසිංහ විසින් පලකළ තිබූ මේ අදහස දුටු විට මගේ මනස වසර 37ක අතීතය පුරා ඔබමොබ දිවයන්න විය. අපේ සරසවි අතීතය මනසේ අනිත්‍ය ස්වභාවය මනාව පිළිබිඹු කරන කැඩපතක් බඳුය. එදා නොයෙකුත් මතවාද සහ ලේබල්වලට ගොනුවී සිටි මිතුරු පසමිතුරු උදවිය අද චෙස් පෙතක ඉත්තන් සේ හැමතැනම විසීරී ඇත. මේ අතර බිෂොප්ලා කිහිප දෙනෙක්ද නොසිටින්නේම නැත. 

මහාචාර්ය නලීන් (අපිට නම් ඩොක්ටර් නලීන්) මට ජිවිතයේ හමු වූ අමතක නොකළ හැකි චරිතයකි. මා ජිවිත කාලයේදී ගුරුවරයෙකුට එරෙහිව සටනක් කල එකම පුද්ගලයා ඔහුය. එසේම මම ජීවිතයේදී තවත් කෙනෙකුගෙන් වැඩියෙන්ම යමක් ගත්තාද ඒද ඩොක්ටර් නලීන්ගෙන්මය. ඔහුගෙන් ගත යුතු දේ ගෙන නොගත යුතු දේ පෙරා දැමීමට තරම් හැකියාවක් තිබීම ගැන මම අදටත් සතුටු වෙමි.

ඩොක්ටර් නලීන්ගේ කතාවේ අපි දකින්නේ එක්තරා තැනක සිටය. ඒ කතාව ජාතික චින්තනය ලෙස ලේබල් ගත වූ (හෝ ලේබල් ගත කල) තැන සිටය. නලීන් නැමති තරුණ සමාජවාදියා ගැන අපගේ පරම්පරාව දන්නේ නැත.

ඔහුගේ දැක්ම සහ ප්‍රායෝගික හැසිරීම පිළිබඳව කෙටි ලිපියකින් සාකච්ඡා කිරීම උගහටය. එබැවින් මෙහිදී මම ඒ ගැන වැඩි ගැඹුරකට නොයමි. මට හැඟෙන ආකාරයට සියළුම ආටෝප, ආභරණ (lipstick, powder & paint) අයින් කල විට ඩොක්ටර් නලීන් පවසන්න උත්සුක වූයේ "විශ්ව ස්වභාවය පිළිබඳව වෙනත් බොහෝ සමුහයන්ට වඩා ලංකාවේ ජිවත් වූ බෞද්ධයන් තුල අවබෝධයක් තිබුණා" යන පණිවිඩයයි. නමුත් ඔහු එය ඉදිරිපත් කල ආකාරයෙන් ගම්‍ය වුණේ "සිංහල බෞද්ධයා ලෝකයේ සියල්ලන්ට වඩා අති උතුම්, පරම පවිත්‍ර, නිර්මල, ශ්‍රේෂ්ඨ ....... ජාතියක්" වැනි හැඟීමකි. ඔහුට ගෝලබාලයන් වශී වුනේද මේ නිසාවෙනි. මේ අදහසට අනුයුක්ත වූ විට තමන්ට තමන්ම ගසා ගන්නා සිංහල-බෞද්ධ ලේබලය මේ ගෝලබාලයන්ට "ගැම්මක්" විය. අද දක්වා මේ ප්‍රවණතාවය මම ඔහු පසු පස යන්නන් තුල දකිමි. මේ හැඟීම ඩොක්ටර් නලීන්ටත් ගැම්මක් වුණාදැයි මට සැක සිතෙයි. 

ඩොක්ටර් නලීන්ගේ මූලික පණිවිඩය යයි මට හැඟෙන සංකල්පය ඔස්සේ සිතන විට ඔබව ක්‍රමයෙන් කුඩා වෙමින් ගොස් නොපෙනෙන අංශු මාත්‍රයක් බවට පත්වේ. මේ තුල ඔබ අහ්ලාදජනක (blissful) නිරවුල් වසමක් (domain) තුලට පිවිසෙයි. යමක් අල්ලා ගැනීමෙන් හෝ යමක් තුලට ලේබල් ගතවීමෙන් තොරව එය විශ්ලේෂණය කිරීමේ හැකියාව ඒ සමගම මතුවෙයි. මට මානසික අවස්ථිතිය යන සංකල්පය පිළිබඳව හැඟීම ඇතිවන්නේද මේ ඔස්සේ කල්පනා කරන විටය. භෞතික විද්‍යා ආචාර්යවරයෙකුගෙන් පටන් ගෙන අධි-වෝල්ටීයතා ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකු දක්වා පැමිණි ගමනේදී මට මේ සංකල්පය ඉතා ප්‍රයෝජනවත් විය. මම ආ ගමන ගැන මට ඇත්තේ විශාල සතුටකි. එහෙත් එහි ආඩම්බරවීමටවත් අන් අයට වඩා මා උසස් යයි සිතීමටවත් කිසිවක් නොමැති බවත් මම පැහැදිලිවම අවබෝධකරගනිමි. මම කෙතරම් කුඩා දැයි මම නිතර සිහි කරමි. කුඩා වීම විශාල භාග්‍යකි. එයත් ඩොක්ටර් නලීන් විසින් දුන් දේ තෝරා බේරා පෙරා ගැනීමේ ප්‍රතිඵලයකි. 

අනෙක් අතට ඩොක්ටර් නලීන්ගේ ගෝලයන් යයි ලේබල් ගසා ගත් බොහෝ දෙනා ගමන් කලේ මීට වඩා අංශක 180 පරස්පර දිශානතියකය. ඔවුන් කෙමෙන් විශාල වන්න විය. ප්‍රෞඩ සිංහල-බෞද්ධ ඉතිහාසයකට ලේබල් ගතවී ඒ පිළිබඳව ආඩම්බර වීම හැරෙන්න ඔවුන් ඩොක්ටර් නලීන්ගෙන් ගත් දෙයක් නැතැයි මට සිතෙයි. අදත් ඔවුන් එසේමය. ලේබල ගත වී ආඩම්බරයෙන් සිත පුරවා ගෙන විශාල වූ විට සිතට දැනෙන බර, වේදනාව, ක්‍රෝධය, වෛරය වැනි ආවේග සමග ඔවුන් දැඩි ලෙස ගැටෙති. සිදුවිය නොයුත්තක් සිදුවිය. එය අවාසනාවකි. ඩොක්ටර් නලීන්ගෙන් ගත යුතු බොහෝ දේ ලබා නොගෙනම අපතේ ගියේය. ඒ වෙනුවට ඔහුගෙන් නොගත යුතු දේ බොහෝ දෙනෙක් ලබා ගත්තෝය. මෙය ඩොක්ටර් නලීන්ගේ communication skills වල අඩුපාඩුවක්ද නැත්නම් ඔහුගේ පෞරුෂයේ අඩුපාඩුවක් දැයි මට නොතේරේ.

බොහෝ කුඩා මිනිසුන් බොහෝ විශාල දේ අදටත් අපට ඉතිරිකර මතුපිට පස බවට පත්ව ගියෝය. ඔවුන්ගේ නම් ගම් කිසිවක් ඔවුන් සඳහන් කර නැත. සුවිසල් විශ්වය තුල ඔවුන් දුහුවිලි කැට බව ඔවුන් වටහා ගන්න ඇත. මේ විසල් ඉඳිකිරීම්වල අයිතියට නම් ගසා ගත්තෝ රජුන්ය. ඔවුන් හැකි තාක් විශාල වීමට උත්සහ කළහ. නමුත් පතුපිට පසේදී ඔවුන්ගේ වෙනසක් නැත. 

මම කිහිපවරක්ම කී කතාවක් නැවත කියමි. අදාළ උදවිය උරණ නොවී ඒ ගැන යථාවාදීව සිතන්න. 

"නලීන් ද සිල්වා විසින් කඩා බිඳ දමන බටහිර චින්තනයේ තාප්පවල ගල් වැලි වලින්ම ඔහුගේ ගෝලබාලයෝ තවත් විශාල පවුරක් තමන් වටා බැඳ ගෙන එහි සිරකරුවන් බවට පත්විය".






Wednesday 15 February 2023

පහර දීමේ කලාව


විල්බර් ස්මිත්ගේ නවකතා පොතක මවක් තම පුතාට දෙන අපූරු අවවාදයක් මට කිසි කලෙකත් අමතක වන්නේ නැත. දකුණු අප්‍රිකාවේ 19 වන ශත වර්ෂය යනු ඉතා අසීරු කටුක යුගයකි. සිය පැවැත්ම සඳහා විවිධ පුද්ගලයන් සමග නිතර ආරවුල් වලට පැටලෙන තම පුතුට ඇය මෙසේ කියයි 

"සටනකට කෙනෙකු කැඳවන විට ඉවසන්න. තමන්ගේ භූමියේ තමන්ගේ නීතිරීති වලට අනුව සටන කල හැකි අවස්ථාවට පැමිණෙන තෙක් පහර නොදෙන්න.". 

තවත් තැනක ඇය මෙසේ කියයි "ජයග්‍රහණය කල නොහැකි යුද්ධයක් කිසි විටෙක අරඹන්න එපා". 

යුද්ධය ඇරඹීමට පෙර ජයග්‍රහණය කල හැකි නොහැකි බව දැනගන්නේ කෙසේදැයි කෙනෙකුට ඇසිය හැක. සාමාන්‍ය මිනිසෙකුගේ සහ ජයග්‍රාහී රණශුරයකු අතර ඇති වෙනස මෙයයි.

පහර දීම කලාවකි. මානව ඉතිහාසයේ ඇරඹුමේ සිට සිදු වූ කඩු, කිනිසි, දුනු ඊතල, අතින් පයින් කල පහර දීම් අදටත් පවතී. එහෙත් බොහෝ තැන්වල සටන් මාධ්‍ය වෙනස් වී ඇත. එදා තිබූ සාම්ප්‍රදායික  අවි වෙනුවට අද ඊමේල, සමාජ මාධ්‍ය, බ්ලොග් සටහන්, විද්‍යුත් මාධ්‍ය ආදී ක්‍රමවේද රාශියක් බිහිවී ඇත. මීට අමතරව වාග් ප්‍රහාරය එදා සිට අද දක්වා තියුණු සටන් ක්‍රමවේදයක් ලෙස පවතී. 

--------------------------------------------

පහරදීමේ කලාව පරතෙරටම හදාරා තිබූ ජන සමුහයක් වුයේ ජපානයේ සිටි සමුරායිවරුන්ය. පහත විස්තර මට කිව්වේ සමුරයිවරුන්ගෙන් පැවත එන පරපුරකට අයත් මහාචාර්යවරයෙකි.

සමුරායිවරුන් අතර පහරදීමේදී අනුගමනය කරන දැඩි රීති සම්ප්‍රදායක් තිබුණි. ඔවුන් පහර නොදිය යුතු අවස්ථා හතරක් අර්ථ දක්වා තිබුණි.

පහර නොදීමෙන් ඇතිවන අවාසියට වඩා එයින් ඇතිවන වාසිය වැඩි විට පහර දීමෙන් වලකින්න 

පහරදීමෙන් ඇතිවන වාසියට වඩා එයින් සිදුවන අවාසිය වැඩි විට පහර දීමෙන් වලකින්න 

කිසිම වාසියක් හෝ අවාසියක් නොමැතිව විනෝදයට පහර දීමෙන් වලකින්න 

ඊර්ෂ්යාව සහ ක්‍රෝධය සමහන් කරගැනීමට පහර දීමෙන් වලකින්න 

ඔවුන් ආත්ම අභිමානය උදෙසා පහර දීම උත්තරීතර කර සැලකීය එහිදී ඔවුන් වාසි අවාසි පිළිබඳව තැකීමක් කරන්නේ නැත. 

ඉහත කරුණු අදටත් පහර දීමේ කලාව ප්‍රගුණ කරන අයට ඉතා වැදගත් වේ. 

--------------------------------------------

පහර දීමේ කලාව ගැන සම්පුර්ණ අධ්‍යයනයක් කල හොත් ඒ ගැන පිටු හත් අටසීයක් පොතක් ලිවිය හැක. මේ නිසා මම සමාජ මාධ්‍ය හරහා පහර දීම පිළිබඳව පමණක් කෙටි සටහනක් තබමි. 

ඔබ කෙනෙකුගේ සමාජ මාධ්‍ය අඩවියකට ගොස් ඔහුට පහර දීමේදී ඉහත මව විසින් කියා දුන් පාඩම හොඳින් මතක තබා ගන්න. කෙනෙකුගේ සමාජ මාධ්‍ය අඩවියේ පරිපාලනය එම පුද්ගලයා සතුය. එම අඩවියේ පලවිය යුත්තේ හෝ නැත්තේ කුමක්ද යන්න තීරණය කිරීම ඔහු හෝ ඇය සතුය. මේ නිසා ඔබ කෙනෙකුගේ අඩවියක අදහස් පලකිරීමට යාමේදී ඉතා සැලකිලිමත් වන්න. නැත්නම් ඔබට එය පාරාවළල්ලක් විය හැක. 

සමහරුන් සමාජ මාධ්‍ය තුල fake account හෝ anonymous ලේබලයේ සැඟවී පහර දීමට උත්සුක වෙයි. මෙයද ඉතා භයානක සෙල්ලමකි. නුතන ලෝකයේ AI algorithm වැනි තාක්‍ෂණික මෙවලම් හරහා කෙනෙකුට fake profile එකේ සැඟවී සිටින ඔබව සොයාගත හැක. විශේෂයෙන්ම ඔබ සමාජ මාධ්‍ය තුල නොයෙකුත් නම් වලින් මෙන්ම ඔබගේ නියම ස්වරුපයෙන්ද සැරිසරයි නම් ඔබගේ භාෂා හැසිරීම සහ යෙදුම් ආශ්‍රයෙන් ඔබව track කිරීම පහසුය. මෙහිදී ඔබව නිරාවරණය කරගත් පුද්ගලයාට ඔබට එදිරිව දැවැත්ත ප්‍රහාරයක් එල්ල කල හැක. ඒ ඔබ කව්දැයි ලොවට කීමෙන් නොවේ. ලෝකයටම ඔබ කවුදැයි ව්‍යංගයෙන් හැඟවෙන පරිදි ඉතා දරුණු ආකාරයෙන් ඔබගේ චරිතය ඝාතනය කිරීමෙනි. මෙහිදී බොහෝ විට පහර දෙන්නාද නිර්නාමිකව පැමිණිය හැකි බැවින් ඔබට කිසිවක් කරකියාගත නොහැකි වනු ඇත.  

Wednesday 8 February 2023

13A



මම 13 වන සංශෝධනයට එකඟද විරුද්ධද යයි අසමින් පණිවිඩ ගණනාවක් අද මගේ inbox එකට ඇවිත් ඇත. ඔවුන් ප්‍රශ්ණය අසා ඇති අයුරින්ම මට හැඟෙන්නේ ඔවුන් මේ කුමක්ද කියාවත් නොදන්නා බවය. 13 පිළිබඳව විද්වත් සංවාදයක් ඇතිවිය යුතුය. එය මහ පාරේ විසඳා ගත හැකි ගැටළුවක් නොවේ. එසේම බදු හෝ දේශපාලකයාගේ දුෂණය මෙන් එය පොදු ජනතාවට අරගල කර විසඳාගත හැකි ගැටලුවක්ද නොවේ.  

මා දකින ආකාරයට ලංකාවේ ෆෙඩරල් ක්‍රමයට ආසන්න පාලන තන්ත්‍රයක් ඇතිවීම ඉන්දීය මධ්‍යම රජයේ හෝ ලංකාවේ කොළඹ දේශපාලනයේ හෝ දෙමළ සුළුතරය ඇතුළු සමස්ත ලාංකික ජනතාවගේ අභිලාශය නොවේ. එය උතුරු - නැගෙනහිර ද්‍රවිඩ දේශපාලකයාගේ සහ තමිනාඩු දේශපාලනයේ අවශ්‍යතාවයයි. නමුත් දෙමළ ජනතාවට ලබා දිය යුතු බොහෝ දේ ඇත. ඒ ෆෙඩරල් ක්‍රමයක් නොව සැනසිල්ලේ අභිමානවත් මිනිසුන් ලෙස ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම් ටිකයි. දෙමළ දේශපාලකයා කවදාවත් දෙමළ ජනතාවට මේ දේ දිනා දීමට උත්සහ කලේ නැත. ඔවුන්ට අවශ්‍ය වුණේ දෙමළ සමාජයේ ඇති කුල ක්‍රමය දඩමීමා කරගෙන යහතින් වැජබෙන්නය. ඔවුන් සිංහල දේශපලුවාගෙන් වෙනස් නැත. 

සුද්දා දකුණු ඉන්දියාවෙන් වතු කම්කරු වැඩ සඳහා ලංකාවේ මධ්‍යම කඳුකරයට මිනිසුන් ගෙන ආ කාලයේම ඒ මානව සම්පත් ප්‍රභවයෙන්ම දකුණු අප්‍රිකාවටද කම්කරුවන් රැගෙන ආවේය. ඔවුන් බොහෝ දෙනෙක් නැවට නගින තෙක් තමාව රැගෙන යන්නේ කොතැනටදැයි දැන සිටියේ නැත. ලංකාවට යන නැවට ගොඩවූ අවාසනාවන්තයන් අදටත් වතු කම්කරුවන් ලෙස දුක්ඛිත ජීවිත ගත කරති. ඔවුන්ගේ ඉතා සුළුතරයක් දේශපාලකයන් වී සියළු යස ඉසුරු ලබති. දකුණු අප්‍රිකාවට ගිය නැවට ගොඩ වුවන්ගේ හතරවෙනි හෝ පස්වෙනි පරම්පරාව මේ වන විට මෙරට ධනවත්ම වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් බවට පත්ව ඇත. 

මම හෝ වෙනත් කිසිවකු හෝ 13A ට පක්ෂද විරුද්ධද ආදී ප්‍රශ්න ඇසීමෙන් කිසිවෙකුටත් පලක් නැත. ඒවා අරුත් සුන් ප්‍රශ්නය. මුලින්ම 13A හොඳින් කියවන්න (පහත ඒ සඳහා link එක ඇත). ඉන් පසු අවශ්‍ය නම් එහි එක් එක් වගන්තිය පිළිබඳව ඔබේ අදහස් දක්වා ඉන්පසු මගේ අදහස අසන්න.


https://www.lawnet.gov.lk/thirteenth-amendment-to-the-constitution-2/