Friday 30 April 2021

අට වසර ගණිත ගැටළුවක් විසඳන්න පුලුවන්ද?


අසර්බයිජානේ හාදයෙක් මොංගෝලියාවෙන් ශීතකරණ ගෙන්වල තමන්ගේ රටේ විකුනන්න තීරණය කරනවා. ආනයනය කරන ශිතකරණයකට අසර්බයිජාන් ආණ්ඩුවෙන් 100% බදු ගහනවා. හැබැයි පොත්පත්වලට ඒ රටේ ආනයන බදු අයකරන්නේ නැහැ. අසර්බයිජාන්කාරය මොංගෝලියානු කොම්පැනියෙන් එකක් ඩොලර් 100 වන ශීතකරණ 1000 ක් ගෙන්නලා එකකින් ඩොලර් 40ක් ලාබ තියාගෙන විකුනන්න සුදානම් වෙනවා. ඒ කියන්නේ එක ශීතකරණයක් ඩොලර් 240 කට. ශීතකරණ දාහක් විකුණන කොට ඩොලර් 40,000 ක් ලාබයි. නරක නැහැ නේද?

මේ හාදයාගේ හොඳ යාළුවෙක් ඉන්නවා මොංගෝලියාවත් එක්ක නිතර ගනුදෙනු කරන. යාළුවට වැඩේ ආරංචි වෙලා මිනිහ ඇවිත් අපේ හාදයට යස උපදෙසක් දෙනවා. ඒක මොනතරම් අපූරූ අදහසක්ද කියල මේ හාදයට තේරෙන්නේ වැඩේ කෙරිලා ලාභය අතට එනකොට. මෙන්න මෙහෙමයි වැඩේ කෙරුණේ.

යාළුවගේ උපදෙස් අනුව අසර්බයිජාන් හාදය මොංගෝලියන් කොම්පැනියේ සේල්ස් මැනේජර්ට කතා කරලා මෙහෙම කියනවා.

"මට එකක් ඩොලර් 20 ගණනේ ශිතකරණ 1000 කට ඉන්වොයිස් කරන්න. ඒ එක්කම මොංගෝලියාවේ තියෙන එකක් ඩොලර් 1 ක් වෙන පොත් ලෝඩ් එකකටත් ඉන්වොයිස් කරන්න, එක පොතක් ඩොලර් 9 ගණනේ දාල. පොත් ලෝඩ් එක තීරණය කරන්න ඔයගොල්ලගේ කොම්පැනියට එකක් ඩොලර් 100 ගණනේ ශීතකරණ 1000 ටයි  පොතක් ඩොලර් 1 ගණනේ පොත් ලෝඩ් එකටයි මුදල් ලැබෙන විදියට". 

මොංගෝලියන් සේල්ස් මැනේජර්ට තේරුණා මේකෙන් ඒගොල්ලන්ට කිසිම පාඩුවක් නොවෙන වග. අනෙක මොංගෝලියාවේ රට ඇතුලේ නීතිරීති බොහොම තදට තිබුණට මොංගෝලියානු කොම්පැනි රටෙන් පිටත අයත් එක්ක කරන ගනුදෙනු වලදි ඇති වෙන ඔය සුළු සුළු අංක ගණිත ගැටළුවලට රජය අතගහන්නේ නැහැ.

ඉතින් අන්තිමේදී අසර්බයිජාන් හාදය ඉන්වොයිස්වල තිබුණ විදියටම බදු ගෙවල බඩු ටික ක්ලියර් කරගත්තා. 

දැන් ඔයාලගේ වාරේ.  

පොත් ලෝර්ඩ් එකේ පොත් කීයක් තිබුනද?

මිනිහ පොතක් ඩොලර් එක ගණනෙයි (ගත්තු ගානටම), ශීතකරණයක් කලින්  හිතපු මිලටමයි වික්කොත් මිනිහගේ ලාභය කොච්චරද?

මිනිහ පොත් ටික සීනි ඔතන්න සිල්ලර කඩවලට නොමිලේ ගෙනියන්න කියල ශීතකරණයක් කලින් හිතපු මිලටම වික්කොත් මිනිහගේ ලාභය කොච්චරද?


                                           


Tuesday 6 April 2021

සුහුරුව හිතන්න - Think smart

බැංකුවකට පැමිණි තරුණයෙක් තමාට මුදල් හදිස්සියක් ඇති බැවින් ඩොලර් 500ක් ණයට ගත හැකිදැයි කළමණාකරුගෙන් ඇසුවේය. ඒ සඳහා ඇපයට තම BMW ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථය තැබිය හැකියයි ඔහු පැවසීය. ඩොලර් 400,000ක්  පමණ වටිනා මෙම රථය ඇපයට තබා ගැනීම හොඳටම ප්‍රමාණවත් බව හැඟුණු බැවින් මුදල ලබා දීමට කළමණාකරු එකඟවිය. එහෙත් මසකට පොලිය 10% බව ඔහු පැවසීය.  මෙය ඉතාමත්ම අධික පොලියක් වුවත් (වසරකට වැල් පොලිය නොසලකා හැරියත් පොලිය 120%) තරුණයා කිසිඳු පැකිලීමක් නොමැතිව ඊට එකඟ විය. කාරය බැංකුවේ යටි මහලේ විශේෂ ආරක්‍ෂිත කලාපයේ ගාල් කිරීමෙන් පසුව ඔහු ඩොලර් 500 ද රැගෙන යන්න ගියේය.

මසකට පසු පැමිණි තරුණයා ඩොලර් 550 ලබා දී මෝටර් රථය රැගෙන යන්න හදද්දී, මේ ගනුදෙනුව සඳහා ලියකියවිලි සකස් කල තරුණ නිලධාරියා ඔහු වෙතට පැමිණ මෙසේ ඇසීය. 

"මහත්මයා මට සමාවෙන්න ඔබගෙන් පුද්ගලික පැනයක් අසනවාට. මෙතරම් වටිනා රථයක් තිබෙන ඔබට ඇයි මෙතරම් සුළු ණයක් ලබාගැනීමට සිදුවුයේ, මේ වගේ රථයක් ඇපයට තියල". 

සිනහවකින් මුව සරසා ගත තරුණයා මෙසේ කීය.

"මම ගිය මාසේ මගේ නිවස විකුණුවා ඉතා හොඳ ඉල්ලුමක් ලැබුණු නිසා. ඉන්පසු මම ලොව පුරා මාසයක් සංචාරය කිරීමට සිතුවා. සංචාරයෙන් පසු නව නිවසක් කුලියට ගැනීම මගේ අරමුණ වුණා. නමුත් ප්‍රශ්නය මම බොහොම ආදරය කරන මගේ මේ කාර් එක. මාසයක් කලින් ගේ ගත්තා නම් මට ඩොලර් 8000 ක් වැඩිපුර ගෙවන්න වෙනවා. වාහනය මාසයක් සුරැකිව රදවා ගැනීමට BMW සමාගම ඩොලර් 6000 ක මුදලක් ඉල්ලුවා. නමුත් ඔබේ බැංකුවට පිං සිද්ධ වෙන්න මම ඩොලර් 50 ගෙවා ඉතා සුරක්ෂිත තැනක කාරය තබා සැනසිල්ලෙන් ගමන ගොස් පැමිණියා".