Monday 31 January 2022

දියුණු රටක් ලැබීමට තරම් ලාංකික ජනමනස දියුණුද?


ස්වීඩන් ගිය පසු මුල් මාස කිහිපයේ අප එහිදී දුටු සමහර දේවල් තරමක් නුහුරු විය. දිනක් උදෑසන මා බයිසිකලය පැදගෙන උප්සලා සරසවියට යන අතර තරමක් ඈතින් බයිසිකලයේ ගිය තරුණියක් ඇදගෙන වැටුණි. මා ඒ අසලට යන විටත් කිහිප දෙනෙක් ඇයව පසෙක පිහිටි බංකුවක් මත හිඳවා තිබුණි. ඇයගේ එක අතක වැලමිටට පහතික් සීරුම් තුවාලයක් විය. විනාඩියක් යන්න මත්තෙන් සයිරනය නාද කරමින් එතැනට ගිලන් රථයක් පැමිණ ඇයව රැගෙන ගියේය. ඔවුන් විසින්ම ඇයගේ සයිකලය අසල පිහිටි කනුවකට යදම් මගින් බැඳ අගුල් දැමීය. 

සරසවියට ගිය මම එහි සිටි මගේ අනෙක් ලාංකික සඟයා සමග කියා සිටියේ "අපෝ මේ මිනිස්සු අධෝ වාතයක් ගියත් ඇම්බියුලන්ස් ගෙන්න ගන්නවා" කියාය. ඒ ලංකාවේ පාර අයිනේ තොග පිටින් මල සිරුරු දැවෙනවා දැක සත් වසරකට වඩා ගත නොවූ සමයකි. එබැවින් මේ ස්වීඩන් ජාතිකයන්ගේ ගති පැවතුම්වල අප දුටුවේ යම් බොළඳ ස්වභාවයකි. සිවිල් සමාජය පරිපුර්ණ වෙමින් ජන විඥානය ඉහල තලයකට දියුණු වන විට මිනිසා විසින් පරිසරය කෙරේ පවතින සංවේදීතාවයද ඊට සමානුපාතිකව වැඩිවන බව තේරුම් ගැනීමට මට තවත් ටික කලක් ගතවිය.  

මෝනා සලින් (Mona Sahlin) සිද්ධිය ස්වීඩනය තුල කරලියට එන්නේද මේ කාලයේය. එවකට උප අගමැති ධුරය දැරූ මෝනා එවකට ස්වීඩනයේ සිටි ජනප්‍රියම දේශපාලකයා යයි කීවොත් නිවැරදිය. ඇය ඊළඟ අගමැති බව බොහෝ දෙනාගේ පිළිගැනීම විය. නමුත් එකවරම ඇයට එරෙහිව දුෂණ චෝදනාවක් මතුවිය. එනම් ඇය රාජකාරි වියදම් සඳහා ඇයට ලබා දී තිබු ණයවර කාඩ් පතෙන් විටින් විට ඇයගේ පෞද්ගලික භාවිතය සඳහා (grocery expences) ක්‍රෝනර් 50,000 පමණ මුදලක් (USD 5000 පමණ) භාවිතා කර ඇති බවයි. පුවත්පත් සාකච්චාවකට පැමිණි ඇය කියා සිටියේ තමාට පෞද්ගලික කාඩ්පත ගෙන ඒමට අමතක වූ කිහිප වතාවක ඇය රාජකාරි කාඩ්පත භාවිතා කර එය නියමිත දිනට ගෙවා දැමු බවයි. ඒ සමගම ඇයට එරෙහිව තවත් චෝදනාවක් එල්ල විය. එනම් ඇයගේ සිඟිති දියණියගේ පෙරපාසල අසල වාහන නැවත්වීම සඳහා නියමිත මුදල් (parking ticket fee) ඇය නියමිත දිනට පෙර ගෙවා නැති බවයි. 

ස්වීඩන් ජනතාව වෙතින් ඇයට එරෙහිව ඉතා දැඩි විරෝධයක් එල්ල විය. උප අගමැතිකමින් ඉල්ලා අස්වූ මෝනා සලින් කුඩා මාධ්‍ය ආයතනයක් ඇරඹුවාය. එතැන් පටන් ඇයට වඩා බොහෝ පහලින් සිටි දේශපාලකයන් පිටුපස මයික් එකක් හෝ කැමරාවක් ඔසවාගෙන දිව යන මෝනා ස්වීඩන රුපවාහිනි වැඩසටහන් වල නිතර දකින්න හැකි විය.

දියුණු රටවල් සියල්ලේම පාහේ මා දකින පොදු ලක්ෂණයක් නම් සමාජ විරෝධී කටයුත්තු පිළිබඳව සමාජයේ ඇති ඉතා දෘඩ මිනුම් ලක්ෂයයි (bench marking). ඔවුන් දුෂණය, භිෂණය, වංචාව පිළිබඳව ගොඩනගා ගත් සංකල්ප තුල කිසිඳු සෙලවීමකට ඉඩ දෙන්නේ නැත. 

එතැන් සිට ලංකාව වැනි නොදියුණු සමාජ සංස්ථාවකට පැමිණෙන කල අපට දකින්නට ලැබෙන්නේ මෙහි සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ සලකුණුය. රටේ ජනගහනයෙන් 95% ම දේශපාලකයාගේ වංචාව සලකුණු කරන්නේ තමන් සහයෝගය දක්වන පක්ෂය මතය. දේශපාලකයා "අපේ කෙනා"  කරගෙන ඇත්නම් ඔහු රුපියල් ට්‍රිලියන ගණනක් මහජන මුදල් කොල්ල කෑවත් අවුලක් නැත. කිසිම තේරුමක් නැතුව දේශපාලකයෙක් හෝ පක්ෂයක් තමාගේ කරගෙන ඇත්තේ ඇයිද කියාවත් තේරුම් ගැනීමට බහුතරයකට බුද්ධියක් නැත. ලංකාවෙන් දියුණු රටවලට විගමනය වී ඇති බහුතරයක් ලාංකිකයන් තුලද දශක කිහිපයක් ගත වුවත් මේ ලාංකික බෙන්ච් මාර්ක් එක වෙනස් නොවීම සුලබ සංසිද්ධියකි. ලංකාව පමණක් නොව සුඩානය, නයිජීරියාව, සෝමාලියාව වැනි වෙනත් නොදියුණු රටවලින් පැමිණෙන ජනතාව තුලද මේ තත්වය පවතී. සමහර විට ඔවුන්ගේ තෙවන පරම්පාරව මේ ශෝකාන්තයෙන් අත්මිදෙනු ඇත. 

සන්ධ්‍ය එක්නැලිගොඩ මහත්මියට අපහාස කරමින් පලකරන පෝස්ට් දකින මට සිතෙන්නේ ලංකාව දියුණු රටක් වනවා තබා ලාංකිකයා තුල ඒ දෙසට යාම ඇරඹීමට සුදුසු ජනමනසක් බිහි වීමටද තව සියවසක් ගතවිය හැකි බවයි. ඔවුන්ට දියුණු රටක වාසය කිරීමට තරම් සංවේදී සහ මානව දයාවෙන් පිරිපුන් වූ මනසක් නැත. තම දේශපාලුවා කල දහසකුත් නොපනත්කම් ඇස් පනාපිට පෙනියදී ඒ සඳහා සාක්කි ඉල්ලන මිනිසුන් එක්නැළිගොඩ මහතා කොටි සංවිධානයට ඔත්තු සැපයුවා කියා පොස්ට් දමන්නේ බුද්ධි අංශ ඔස්තාර්ලා මෙනි. මෙවන් ලාමක අඳබාලයන් සමග යා හැකි ගමනක් නොමැති බව ප්‍රගතිශීලි බලමුළු පවා අවබෝධකරගන්නා දිනය වැඩි ඈතක නැත.  

Monday 24 January 2022

සංචාරක ව්‍යාපාරංඡ විනාසානංච සංවද්ධානං


මට පාසැල් විවාද කණ්ඩායමේ සිටි කාලය සිහිවෙයි. කාන්තා විදුහලක සාහිත්‍ය දිනය දා ඔවුන් සමග සුහඳ විවාදයකට අපට ඇරයුම් ලැබුණි. මාතෘකාව "සංචාරක ව්‍යාපාරය මගින් ලංකාව සංවර්ධනය කල හැකිද?" යන්නයි. ගැහැණු ළමයි "ඔව්" කියූ අතර අපි "බැහැ" කීවෙමු.

අපේ පිළේ අංක එක අද ඔබ මාධ්‍යයෙහි දකින නීතිය පිලිබඳ මහාචාර්යවරයෙකි. දෙක අද කොළඹ සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳව මහචාර්යවරයෙකි. තුන මමය. හතර අද සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත විශේෂඥ වෛද්‍යවරයෙකි. 

අපේ හැකියාවන් කෙසේ වෙතත් අවසාන අංකයට යන විට අපි හොඳටම ඇනගෙන සිටියෙමු. කාන්තා හඬ ඉතා ප්‍රබල විය. දරුණු නෝන්ඩියකට ආසන්නය.

අපේ අංක හතර නැගිට්ටේය. ඉතා ගැඹුරු ධර්මාන්විත හඬකින් ඔහු පහත පාඨය ප්‍රකාශ කළේය. 

"සංචාරක ව්‍යාපාරංඡ විනාසානංච සංවද්ධානං" 

"බුදු බනෙත් තියෙනවා සංචාරක ව්‍යාපාරය නිසා රටක සංවර්ධනය විනාශ වෙනවා කියලා. ඉතින් මේ සහෝදරියෝ කොහොමද ඒක එහෙම නෙවෙයි කියන්නේ". 

මුළු ශාලාවම නිහඬවිය. ප්‍රතිපිලේ සොහොයුරියන් කලබල වී එකිනෙකාට කොඳුරන්න විය. අංක හතර තම ගැඹුරු හරබර පච ටික කියා නිමවන විට අපේ ජාම යන්තම් ගොඩ ගොස් තිබුණි.

මට මේ අතීත කතාව මතක් වෙන්නේ අද දිනයේ දේශපාලකයන්ගේ පමණක් නොව සංඝ සමාජයේද සාරගර්බ ගජබින්න ඇසෙන විටය. අප පාසලේ දමා ආ ඒ සොඳුරු පලාප මේ පැසුණු ඇත්තෝ තවමත් කිසිඳු පැකිලීමකින් තොරව මාධ්‍ය ඉදිරියේ දමා ගසා ලිස්සා යයි. රටේ බහුතරයක් ඒ වදන් දේව වදන් සේ හිස් මුදුනින් පිළිගනී.