Tuesday 29 November 2022

තව වසර 2500 කට පසු මානව බුද්ධියට ගෝචර වන බුදු දහම


මානව සමූහයක් විසින් ශිෂ්ඨාචාරයක් ගොඩ නගයි. මෙය ඒකක දහස් ගණනකින් සැදුම් ලත් තනි පද්ධතියකි. මෙම පද්ධතියේ පැවැත්ම රඳා පවතින්නේ තනි තනි ඒකකයන්ගේ පැවැත්ම මතය. එසේම තනි තනි ඒකකයන්ගේ පැවැත්ම පවතින්නේ පද්ධතියේ පැවැත්ම මතය. එනම් මෙම ශිෂ්ඨාචාරයේ පැවැත්ම එක් එක් ඒකකයේ පැවැත්ම මෙන්ම සමුහයේ පැවැත්ම මතද රඳා පවතී. මේ කාරණය මුලින්ම තේරුම් ගන්න උත්සහ කරන්න.

තනි ඒකකයක යහපත් පැවැත්ම රඳා පවතින්නේ ඔහු හෝ ඇය සතුටින්, සැහැල්ලුවෙන් සිටින සහ සමාජයට පලදායි භූතාර්ථයක් වන විටය. සමස්ත පද්ධතියේ පැවැත්ම පවතින්නේ එය එකකයක් ලෙස අවට පරිසරය සමග (එම ඒකකය පවතින පරිසර පද්ධතිය සහ තනි තනි ඒකක) පවත්වන යහපත් සබඳතාවය මතය. 

යම් කාල-අවකාශ රාමුවක් තුල ශිෂ්ඨාචාරයේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා තනි තනි ඒකකය මෙන්ම සමුහයද ක්‍රියාකළ යුතු සුදුසුම ආකාරයක් හෝ ආකාර කිහිපයක් ඇත. ඒ සඳහා තනි තනි ඒකකය මෙන්ම සමුහයද යොමු කරවීමට ක්‍රම තුනක් ඇතැයි මට සිතෙයි.

1. නොපෙනෙන බලවේගයක් මගින් මෙලොව මෙන්ම මරණින් මතු පැවැත්මද පාලනය කරන බවට පිළිගැනීමක් සමාජය තුල ස්ථාපිත කිරීම 

2. සමාජ සංස්ථාව මගින්ම මෙහෙයවන්නා වූ නීති-විනිශ්චය පද්ධතියක් ස්ථාපිත කර පවත්වාගෙන යාම 

3. තනි තනි ඒකකයේ මෙන්ම සමාජ පද්ධතියේද පැවැත්ම උදෙසා තමාගේ කාර්ය බාරය සෑම මානව ඒකකයක් මෙන්ම සමාජ ඒකකයද අවබෝධ කරගැනීම. 

මානව ශිෂ්ඨාචාරය පවත්නා වසර 20,000 ක ඉතිහාසයෙන් වසර දෙතුන් සියයක් හැර අනෙක් මුළු කාලයම ගත වුනේ පළමු ක්‍රමය හෝ පළමු ක්‍රමය මත දැඩිව රඳා පැවති දෙවන ක්‍රමයෙනි. අදත් ඉතා දියුණු යයි පවසන රටවල පවා නීතිය විමසන්නේ අදාළ ආගමික ග්‍රන්ථයක් මත දිවුරා සිටීමෙන් පසුවයි. මෙම නොපෙනන බලවේගය + මරණින් මතු පැවැත්මේ තවමත් පවතින දැඩි අවශ්‍යතාවය ඔබට මෙයින්ම පැහැදිලි වේ.

මගේ කලින් ලිපියට පිළිතුරු අදහස් සපයන කිහිප දෙනෙක්ම පවසන්නේ මරණින් මතු පැවැත්මක් නැත්නම් අපට ජොලියේ ඕනේ දෙයක් කරන්න පුලුවන්නේද යන්නයි. මට හිතෙන ආකාරයට සමාජයේ අති බහුතරය සිතන්නේ මෙලෙසය. එය එසේ වීමේ කිසිඳු අරුමයක් නැත. අප ජීවිතයේ බලාපොරොත්තුවන ජොලිය කුමක්දැයි බොහෝ දෙනෙකුට වැටහීමක් නැත.

මා සිතන විදියට "මරණින් මතු පැවැත්මක් හෝ එය පවතින ආකාරය තීරණය කරන බලවේගයක් නැත" යන යථාර්තය අවබෝධකරගෙන, තුන්වෙනි ක්‍රමවේදය හරහා සමාජ පද්ධතිය ස්ථාවර කරගැනීම පිළිබඳව පැවසු දහම් කිහිපයෙන් තවමත් රැඳී ඇත්තේ බුදුදහම පමණකි (සහ බුදු දහමේ ආභාෂයෙන් පෝෂණය වූ චීන-ජපන් දහම්).

නමුත් මෙම යථාර්තය අවබෝධයෙන් යහපත් වූ සමාජයක් බිහිවීමට තරම් මානව බුද්ධිය වර්ධනය වීමට තවත් වසර දෙදහස් පන්සියක පමණවත් කාලයක් ගතවනු ඇති බව මගේ හැඟීමයි. මේ අනුව බුදුන් තමන් අවබෝධකරගත් යථාර්තය පවසා ඇත්තේ වසර 5000 පමණ in advance ය.

බුදුන්ගේ කාලයෙන් සියවස් දෙක තුනක් යන විටම පාලකයන්ට සහ පුජ්‍ය-පූජකයන්ට මෙම දර්ශනය සමාජ පාලනයට හිතකර නොවන බව පෙනෙන්නට ඇත. මේ අනුව වසර තුන් හාරදහසක් ස්ථාපිතව තිබූ වෛදික දර්ශනය, සහ ඒ ආශ්‍රිතව ගොඩනැගු කතන්දර බුදුදහම නමින් එලි දක්වන්න ඇත. එය එසේ නොවුනා නම් අශෝක අධිරාජ්‍යයා කිසිසේත් මෙම දහම ප්‍රවර්ධනය කරන්නේ නැත. බුදු දහම මේ දක්වා කාලයක් පැවතුණේ  මෙම වෛදික ප්‍රවිෂ්ඨය නිසා බව මම සිතමි.

වෛදික පෝෂණය ඉවත්කළ විට මට පෙනෙන්නේ බුදු දහම යනු තනිකරම ක්‍රමවේදයකි. ඒ මරණින් මතු පැවැත්මක හෝ නොපෙනෙන බලවේගයක බිය ගැන්වීමකින් තොරව ස්ථාවර මානව ඒකකයක් සහ සමාජ පද්ධතියක් පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයයි. එසේම එයින් ඈත්වන විට තනි තනි ඒකකය මෙන්ම සමාජ සංස්ථාවද බිඳ වැටෙන ආකාරයයි. 

තව වසර 2500 කින් බිහිවන මානවයෙක් සිතන ආකාරයට ඔබටත් සිතිය හැකිද? 



Saturday 26 November 2022

මා සොයා ගිය මගේ ගමනේ නිමාව


බුදු දහම නමින් ඔබ ඉගෙනගත් සියළු දේ මදකට අමතක කරන්න. එසේම මොළය හා සම්බන්ධ වූ මතකය (memory) සහ පරිකල්පනය (imagination) යන හැකියාවන් නැතැයි උපකල්පනය කරන්න. 

දැන් ඔබ කවුද? 

පංචෙන්ද්‍රිය මගින් ලැබෙන සංඥා මත ක්ෂණයෙන් ක්ෂණය වෙනස්වන සිතුවිලි සමුදායක් පමණකි. 

"මම" නමින් භූතාර්ථයක් ඇතැයි යන හැඟීම ඇතිවන්නේ මතකය (අතීතය) සහ පරිකල්පනය (අනාගතය) යන හැකියාවන් නිසාය. 

භෞතික ශරීරයේ පැවැත්ම නැති වූ විට මතකය, පරිකල්පනය මෙන්ම සිතුවිලි සමුදායද නැතිවී යයි. එතෙක් "මම" නමින් ඔබ ගොඩ නගාගෙන සිටි පැවැත්මේ අවසානයද එය වෙයි.  

මට වැටහෙන පටිච්ච සමුප්පාදය මෙයයි. මෙය අවබෝධ කරගත් විට (තේරුම් ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ) මමත්වය අහෝසි වී ඔබ වර්තමානයේ ජිවත්වන (අතීතය  සහ අනාගතය මෙනෙහි කරමින් දුකට පත් නොවන), ඉතා සැහැල්ලු, තෘප්තිමත් සහ ප්‍රීතිමත් කෙටි කාලීන පැවැත්මක් බවට පත්වෙයි. 

මේ සරල සංසිද්ධිය තේරුම් ගත නොහැක්කේ ඔබ මරණින් මතු පැවැත්මක් ගැන ඉතා ස්ථාවර පදනමක් ප්‍රාථමිකවම ඇති කරගන්නා බැවිනි. බුදුන් තම මූලික ඉගැන්වීම් තුලින් පැවසුවේ එවැනි පැවැත්මක් නොමැති බවයි. එහෙත් බුදුන්ට වසර දෙතුන් දහසක පෙර සිට පැවත ආ වෛදික මතවාද ඉතා කෙටි කාලෙකින් නැවතත් බුදු දහමට එක්වී ඇති බව මගේ වැටහීමයි. එය එසේ නොවුනා නම් බුදු දහමට දශක කිහිපයකට වඩා පැවැත්මක් තිබෙන්නේ නැත. වෛදික මූලධර්ම ගොඩ නැගෙන්නේම ශිෂ්ඨාචාරයේ පැවැත්ම ස්ථාවර කරගැනීම සඳහාය. එය රජුන්ට සහ පූජ්‍ය-පූජකයන්ට අත්‍යවශ්‍ය උපකරණයකි. මේ වෛදික ප්‍රවිෂ්ඨය බුදුදහමට අවතීරණය වී නොතිබුනා නම් අශෝක අධිරාජ්‍යයා එය ප්‍රවර්ධනය කරන්නේ නැත. 

බුදු දහම නමින් අද අපි සියළු දෙනාම ඉගෙන ගන්නේ ඉතා සුළු වෙනසකට බඳුන් වූ වෙදාන්තයයි. මම එහි වරදක් නොදකිමි. එය ශිෂ්ඨාචාරයේ පැවැත්ම උදෙසා අවශ්‍ය වෙයි. 

බුදුන් කියූ යථාර්තය අවබෝධ කරගෙන ස්ථාවර ශිෂ්ඨාචාරයක් පවත්වා ගත හැකි බුද්ධි මට්ටමකට මානවයා එළඹීමට තවත් වසර දෙදහසක් වත් යා යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි. එතෙක් ඔබ වේදාන්ත මොඩලයට අනුයුක්ත වීමේ වරදක් නැත. 



            




Wednesday 23 November 2022

පලිඟු බෝලයෙන් පෙනෙන ඊළඟ කතාව



"රනිල් ජන මනස කියවාගෙන ඇත - බහුතරයක් ජනතාව රනිල් කියවාගෙන නැත"

මාස තුනකට පෙර මා කී අනාවැකි සනාථ වෙමින් පවතී. රනිල් යටතේ ටිකෙන් ටික රට යථා තත්වයට පත්වනවා යන මායාව බහුතරයක් ජනතාව වෙලාගෙන ඇත. උද්ඝෝෂණ, පෙළපාලි, වැඩ වර්ජන, වීථි සටන් පුස්සක් බවට පත්වෙමින් ඇත. සිංහල-බෞද්ධ අභිමානය යැයි කියාගෙන වසර 70ක් 80ක් ඔසවාගෙන ආ වික්ටෝරියානු සංස්කෘතියේ අංග එකින් එක ගලවා ඉන්දියන් සාගරයට විසිකිරීමට වැඩ සැලසෙමින් පවතී. ඉන්දු-ඇමරිකන් සහයෝගීතාවය සුමටව සහ සුවපහසු සහිතව ලංකාව නතු කරගනිමින් සිටියි. චීනය යන යකා කොරහත් බිඳගෙන යන තත්වයක් මතුවෙමින් ඇත. 

---------------------------------------

මේ බංකොලොත් හිඟන දීන තත්වයට පාර කැපුවේ රාජපක්ෂලා බව අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් තවමත් බහුතරයක් රාජපක්ෂ ගැත්තන්ට පහළවී නැත. එම තත්වය රනිල් විසින් ඉතා සුක්ෂමව උත්ප්‍රේරණය කරන බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් රනිල්වාදීන්ට නැත. 

ලංකාවේ බහුතරයක් ඉදිරියේ සිදුවන ව්‍යසන ඉවකරගැනීමට සමත් පිරිසක් නොවේ. ඒ වෙනුවට ඔවුන් ලැබෙනා ඉතා සුළු පහසුකමක් වෙනුවෙන් රටට හෙණ වැදුනත් කම් නැතැයි සිතන ජාතියකි. රනිල් මේ ජන විඥානය මැනවින් හඳුනා ගෙන ඇත.

---------------------------------------

ලංකාවේ නාගරික මධ්‍යම පංතිය නැගී සිටියේ ගැඹුරු පද්ධති-ප්‍රතිපත්ති වෙනසකට නොවන බව මගේ හැඟීමයි. ඔවුන් වියරු වැටුණේ තමන් ගතකල සුව පහසු දිවිපෙවෙත කඩා වැටුණු හෙයිනි. රනිල් මේ ජන මනස මැනවින් කළමනාකරණය කළේය. රට බංකොලොත් බව රජය ප්‍රකාශ කර ඇත. මේ අනුව දැන් ලංකාව සියළු ණය හිමියන්ට ණය හෝ පොලිය ගෙවීම අත් හිටුවා ඇත. මේ නිසා ඉතිරි වන මුදලින් ඉන්ධන, ගෑස්, සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා කෙසේ හෝ යාන්තමින් හිග පියවයි. මේ නිසා දැන් මධ්‍යම පංතියට අරගලය අමතකවී ඇත. සමහරුන්ට එය අරහං වී ඇත. 

නමුත් ගෙවෙනා සෑම පැයකම ලංකාව ගෙවිය යුතු ණය හා පොලිය වේගයෙන් ඉහල යයි. එක් අවස්ථාවකදී තව දුරටත් මේ ගමන යා නොහැකිව රට සමාජ ව්‍යසනයකට ඇද වැටෙයි. ලංකාව සතු වත්කම් විකිණීමෙන් මේ ලක්ෂයට ලඟා වීම යම් තරමකට පමා කරගත හැක. ලාංකිකයා දිය සැලිය නටන තෙක් එහි කෙලින කකුළුවා වැනි බව රනිල් දනී. 

"විකිණිය යුත්තේ ලාභ ලබන ආයතනයි" ඔහු දැන් හඬ නගා පාර්ලිමේන්තුවේදීම පවසයි. ජනතාව මීක් නැත. මන්ද දැන් ඔවුන්ට යාන්තම් ඉන්ධන බින්දුවක්, ගෑස් සිලින්ඩරයක්, ආහාර ටිකක් අහස උසට මුදල් ගෙවා හෝ මිලදී ගත හැක. 

"නැවතත් අරගලයක් පැමිණිය හොත් හදිසි නීතිය දමා, හමුදාව යොදවා එය මර්දනය කරනවා" නැවතත් ඔහු කියන්නේ පාර්ලිමේන්තු ගැබ දෙවනත් කරමිනි. සමහර මිනිසුන් මෙයට හුරේ දමා පෝස්ට් පලකරනු දුටුවෙමි. ඔවුන්ට දැන් අරගලය කරදරයකි. අරගලය ඇරඹුණේ කුමන කාරණයක් පාදක වීමෙන්ද කියාවත් ඔවුන්ට මතකයක් නැත. මේ පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයයි. 

මෙතෙක් කිසිම ජනාධිපතිවරයෙක් විවෘතව පැවසීමට මැලි වූ ඉහත කරුණු ඔහු දැන් නිබයව පවසයි. ලංකාවේ බහුතරයක් දීන මනසින් යුතු බව ඔහු කියවාගෙන ඇත. 

ඉදිරියේදී සියල්ල විකුණා අවසන් වුවත් ජනතාවගේ බඩගින්න නිවීම අපහසු බව රනිල් දනී. එවිට සුළුතරයක් ඔහුට එරෙහිව නැගී සිටියහොත් කල යුතු දෙයට ඔහු සුදානම් වෙයි. එවිට බහුතරයක් දීන මනස් ඔහු සමග සිටින බවටද ඔහු වග බලා ගනී. 

-----------------------------------------

ඊළඟ චන්දය හෝ චන්ද පෙළ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විශිෂ්ඨ ආකාරයෙන් ජයග්‍රහණය කරන බව මගේ හැඟීමයි. ඒ ජවිපෙ ප්‍රතිපත්ති හෝ ඉදිරි වැඩපිළිවෙල සලකා නොවේ. ඔවුන් මේ වන විට දියත්කර ඇති ක්‍රියාන්විතය සලකා බලාය. ලංකාවේ සියළුම පක්ෂ අභ්‍යන්තර ගැටළු විසඳ ගැනීමට එකිනෙකා කුළල් කාගන්නා අතර ජවිපෙ ඉතා සුමටව මහජනතාව දැනුවත් කරමින් සිටියි. මෙය මේ අවස්ථාවට උචිතම ක්‍රියාන්විතයයි. මැතිවරණයක් පැමිණෙද්දී ඔවුන් පැහැදිලිවම අනෙක් පක්ෂවලට වඩා ඉදිරියෙන් සිටිනු ඇත. අභියෝගය වන්නේ ඇත්තෙන්ම චන්ද දිනීම නොව ඊට පසු කරන්නේ කුමක්ද යන්නයි. 

අනෙකුත් විකල්ප බලවේගවලටද තවමත් කාලය ඇත. ඔවුන් ජවිපෙන් ස්වායත්තව තම මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමේ කිසිඳු වරදක් නැත. සිදුවිය හැකි හොඳම දේ ජාතික ජන බලවේගය සහ ප්‍රගතිශීලි විකල්ප කණ්ඩායමක් අතර මූලික ගැටුම ඇතිවීමයි. අසූචි ආයුධ ලෙස භාවිතා කරන විමල් වීරවංශ සහ හරීන් ප්‍රනාන්දුගේ වාදයක් වෙනුවට ප්‍රතිපත්ති  සහ වැඩපිළිවෙලවල් ආයුධ කරගත් චතුරංග අබේසිංහගේ සහ පැතුම් කර්නර්ගේ සටනක් බැලීමට මම පෙරුම් පුරමි. 




     

Thursday 17 November 2022

අපි නිර්මාණිලාව තනි නොකරමු



මියගිය නිර්මාණි ජිවත් වූ නිර්මාණිට වඩා බලවත් බව කවුදෝ මගේ FB පිටුවේ සඳහන් කර තිබුණි. එය සැබෑවකි. ජිවත් වුවත් මළකඳන් වැනි මිනිසුන් අතර මියගිය පසු තවත් උස් හඬින් හදවත් අමතමින් යුග පෙරලි කරන චරිතද කලාතුරකින් දැකිය හැක. 

නිර්මාණිගේ මරණයට පසු අපට දැක ගන්නට ලැබුණේ ඇයගේ දර්ශණයට ඉඳුරාම පටහැනි හෘද සාක්ෂියක් ඇති එවුන්ගේ මානසික කම්පනයයි. නොඑසේ නම්, වැරදි තීරණ ගෙන, ඒවා සාධාරණීකරණය කරමින්, ඒවා පාරාවළලු වෙමින් පැමිණෙන විට ඉන් මිදීමට පඹ ගාල් අතර දුවමින්, ඒවායේ පැටලෙමින්, පණ අදින සමහරුන්ගේ විලාපයයි. 

මිසරය, ග්‍රීසිය, රෝමය, චීන මින්ග් අධිරාජ්‍යය ආදී දැවැත්ත ශිෂ්ඨාචාර ඒවායේ අවසානයට ලඟා වන විට තිබූ සමාජ හැසිරීම් රටාවල ඉතා කිට්ටු සමානකම් ඇත. ඓතිහාසික මුලාශ්‍ර විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ මේ ශිෂ්ඨාචාර කෙලවරට පැමිණෙන විට සමාජය අතිශයින් විෂමාචාර තත්වයකට පත්වී ඇති බවයි. සමහර විට සමාජය ඒ තත්වයට පත්වුන නිසා ශිෂ්ඨාචාරය විනාශ වුවාද විය හැක. 

පාලක ස්ථරය සහ ඔවුන් අවට සිටි ප්‍රභූ පැලැන්තිය අසීමාන්තිකව ධනය සහ බලය හඹා යමින් බහුතර ජනයා පෙලන්න විය. ඔවුන්ගේ ජරා ජීර්ණ ජිවිත ක්‍රියාවලිය සහ තාඩන පීඩන හමුවේ ජනතාව නැගී සිටීම යම් තරමකට පමා කලේ ආගම පලිහක් ලෙස යොදාගත් පූජක පන්තියයි. ඔවුහු පාලකයාට දේවත්වයක් ආරෝපණය කරමින් සහ නොයෙකුත් අළුත් මිත්‍යා මතවාද වපුරමින් ජනතාව භීතියට පත්කළහ. මේ වෙනුවෙන් ඔවුන්ට බොහෝ යස ඉසුරු පාලක පැලැන්තියෙන් ලැබුණි. ඔවුන්ගේ මතවාද වැපිරීමට සමාජය තුලම සුළුතර පිරිසක් විය. ඔවුන් බොහෝ දෙනෙක් බුද්ධි හීන අඳබාලයන් විය. ඔවුන්ව මිත්‍යා මතවාද තුලින් බියවැද්දීම පහසු විය. අනෙක් පිරිස පූජකයන්ගෙන් යම් යම් ලාබ ලැබූ අධම තක්කඩියන් විය. ඔවුන් දෙපිරිසම පුජකයන් සහ පාලකයන් වෙනුවෙන් ජනතාව මිත්‍යාවේ වලලා තැබීමට උපරිම උත්සහයක් දැරීය. අවසානයේදී සියළුම දෙනා සමගින් මේ ශිෂ්ඨාචාර වැනසී ගියෝය. 

ඒ දැවැත්ත සමාජ පද්ධතිවලට අලඟු තියන්නවත් නොහැකි ලංකාව, අද පත්ව ඇත්තේ තවත් කුඩා කෙටි කාලීන ශිෂ්ඨාචාරයක අවසානයට බව මට හැඟෙයි. 

පසුගිය දොළොස් වසරක පමණ කාලය තුලදී බුදු දහම සහ සිංහල සංස්කෘතිය රාජපක්ෂ දේශපාලනය සමග සාර්ථකව පූට්ටු කිරීමට රාජපක්ෂලා වටා සිටි හෙංචයියන් සමත්විය. මොවුන් අතර දේශපාලකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් මෙන්ම ඉහල පෙලේ වෘත්තිකයන්ද සිටියෝය. මෙම පූට්ටුව ජනගත කිරීමට රාජපක්ෂලාගේ සොරකම් මත යැපුණු මාධ්‍ය ජාලයන් කිහිපයක්ම විය. එහි උච්චතම අවස්ථාව එළැඹෙන්නේ 2019 ජනාධිපතිවරණය සමයේය. නාග ධාතු, වලින් ඇරඹුන ගමන සාරි අන්දන බෝගස් සහ චෛත්‍ය, රහතන්වහන්සේලා, බුදුවරුන්, මුක්කුන්වහන්සේලා, සඳ කුමරුන්, ප්‍රියමාලිලා හරහා දැන් කිරුළු පලන් දියසේන දක්වා පැමිණ ඇත. මේ ගමන මෙතෙකින් නතරවන්නේ නැත. මෙය දැන් බෝවෙන ලෙඩක් තරමට උත්සන්න වී දේව බලයෙන් ෆෝන් චාර්ජ් කරන, ක්‍රීඩා තරඟ දිනවන පාෂ්ටර්ලාද බිහිවෙමින් පවතී. කාඩිනල්වරයා පවා මේ තත්වය ඇති කිරීමට මුලදී සෑහෙන සහයෝගයක් දුන්නේය. 

මෙලෙස පිස්සන්, තක්කඩියන්, සොරදෙටුවන් පසු පස සාදු කියමින් යාමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බව කෙනෙකුට තර්ක කල හැක. එහෙත් එහි ප්‍රතිඵලය අත් විඳීමට සිදුවන්නේ මුළු සමාජයටම බව අප අමතක කල යුතු නැත. දැන් දැන් සාදුන්වහන්සේලා කාන්තාවන්ගේ ඇඳුම, පාසැල් දරුවාගේ ලිංගික අධ්‍යාපනය, පවුලක දරුවන් ගණන තීරණය කිරීම පමණක් නොව අඹු සැමි යුවලක් සයනයේදී කටයුතු කල යුතු ආකාරය ගැනද අණ සහ උපදෙස් දීමට ඉදිරිපත්වී ඇත. 

අබුද්ධික, නිවට, නොන්ජල් බහුතරයක් සිටින සමාජයක සිතන්නට හැකි පුළුල් මනසක් ඇති සුළුතරය අසරණ වෙයි. ඔවුන්ට එවිට ගත හැකි ක්‍රියාමාර්ග ඇත්තේ දෙකකි. එකක් නම් රට හැර යාමයි. එයින් සමාජ පද්ධතියේ කඩා වැටීම තවත් ඉක්මන් කරයි. දෙවැන්න බහුතරයක් අබුද්ධිමත් ප්‍රජාව දැනුවත් කර ඔවුන් නැවතත් ප්‍රකෘති සිහියට ගැනීමයි. මෙය කිරීමට ගිය විගසින් මෙම අබුද්ධික බහුතරය මෙලෝ තේරුමක්  නැති ඉතා අමනෝඥ සහ විකටරූපී තර්ක නගමින් අපහාස අවලාද කිරීමට පටන් ගනියි. ඔවුන් මිත්‍යාවට එරෙහිවන්නාට බුදු දහමට ගරහනවා යයි කියමින් වෛර කරන්නේ ඇත්තටම බුදු දහම පිළිබඳව හැඟීමකින් නොව ඔවුන් බුදු දහම හා පූට්ටු කල තම දේශපාලන පක්ෂය බිඳ වැටේ යයි ඇති බිය නිසාය. බොහෝ දෙනෙකු මෙය අවිඥානිකව සිදු කරයි. 

මා දකින ආකාරයට මෙහි ඊළඟ පියවර බෞද්ධ-තලේබාන් රාජ්‍යයකි. නිර්මාණිලා වෙහෙස වුයේ මේ ගමන නැවත්වීමට යයි මට සිතෙයි. 

අපි නිර්මාණිලාව තනි නොකරමු. එසේ නොමැති නම් හැකි සියලු දෙනාම රටින් පිට වී ගිලෙන නැව දෙස බලා සිටිමු. 



Wednesday 2 November 2022

කල යුත්තේ කුමක්ද? මට හිතෙන හැටි



දිගු ලිපියක් ලිවීමට කල් ගතවන බැවින් කෙටියෙන් කියමි.

ඔබට වසන්ත ඇතුළු වද බන්ධනයට ලක්වන පිරිස මුදා ගැනීමේ අවංක චේතනාවක් ඇත්නම් ජූලි චංග්, IMF/WB නියෝජිතයන් සහ බටහිර, ජපානය, ඉන්දියාව ඇතුළු  හැකි සෑම රටකම තානාපතිවරුන් හමු වී සාකච්චා කරන්න. ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කරන්න. හැකි සෑම අවස්ථාවකම ලැබෙන තීන්දු පිළිබඳව නොසිතා නීතිය හමුවට ඔබේ දුක් ගැනවිලි ගෙන යන්න. ඒ ගැන අන්තර්ජාතික මාධ්‍ය අමතන්න.

ඔබට රටේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය නම් අඩුම තරමින් සිතන්න හැකි බුද්ධියක් හා යම් තර්ක ඥානයක් තිබෙන පිරිස්වත් හැකිතාක් එකතුවන්න. ඔබේ මතවාදීමය හෝ න්‍යායාත්මක වෙනස්කම් ටික කලකට ලාච්චුවට දමා වසන්න. චන්දයක් පැමිණෙන තෙක් හැකි සෑම අයුරකින්ම සිදුවූ සහ සිදුවන දුෂණය, භිෂණය, වංචාව, තක්කඩිකම් ගැන ජනතාව දැනුවත් කරන්න. මේ සඳහා සමාජ මාධ්‍ය, කුඩා රැස්වීම්, සමූහ සාද, මාධ්‍ය සාකච්චා, කලා වේදිකාව ආදිය පමණක් නොව කඩමණ්ඩිය, කන්තෝරුවේ කෑම පැය, පොදු ප්‍රවාහන භාවිත කරන අවස්ථාව, මංගල-අවමංගල උත්සව, බණ ගෙදර, දානේ ගෙදර ආදී සමාජය හමුවන සෑම අවස්ථාවක්ම යොදාගන්න.  

රටේ උන්නතිය සඳහා අවධානය යොමු කල යුතු වැදගත්ම අංග 12 ක් හෝ 15 ක් අර්ථ දක්වා ගන්න (අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, සන්නිවේදන ක්‍රමවේද, පර්යේෂණ සහ නව නිපැයුම්, කෘෂිකර්මය සහ වාරි කර්මය, පරසර සංරක්ෂණය ආදී). ඉන් පසු එම අංශ දියුණු කිරීමේ මාර්ග පිළිබඳව සංවාදයක් ගොඩනගන්න. රටේ මේ වන විට ඉතා දරුණු තත්වයකට පත්ව ඇති ඍණාත්මක මනෝභාවයන් වෙනස් කිරීමට මෙය බෙහෙවින් ඉවහල් වනු ඇත.

මම නැවතත් කියමි. සාම්ප්‍රදායික උද්ඝෝෂණ නැවත නැවතත් කිරීම තුලින් අරගලය දිනා දුන් බොහෝ දේ ඔබට නැවතත් අහිමි වනු ඇත. මිනිසුන් වේගයෙන් අරගල බිමින් ඈත්වෙමින් පවතී. ඒ බව ඔබට සමාජ වටපිටාව තුලින් නිරීක්ෂණය කල හැකිය. එදා ගෝල්ෆේස් එකට පැමිණ ඔබ වෙනුවෙන් මැරයන්ට පහර දුන් ජනතාවම ඊළඟ උද්ඝෝෂණයේදී ඔබට පහරදීමට හැක. 

රනිල් ලාංකීය ජන මනස හැසිරෙන ආකාරය කියවා ඇත. නමුත් සමාජයේ බොහෝ  දෙනෙක් රනිල්ව කියවා නැත.