Follow this Blog

Thursday, 23 February 2017

දුප්පතාණෙනි...! දුප්පතෙකු සේම සිටිනු මැනව....



මහාචාර්ය යමමොටෝ වයෝවෘද්ධ විද්‍යාඥයෙකි. පසුගිය සතියේ ජපානයේ කල සංචාරයේදී මට ඔහුව හුමුවුණේ වැඩමුළුවක දිවා භෝජන විරාමයේදීය. වාසනාවකට අප දෙදෙනා තරමක වෙනස් විෂය පථ වලට අයත් වූ බැවින් අපේ කථාව විද්‍යාවෙන් ඈතට ගියේය.

"ඔබේ රටේ දුප්පතුන් ප්‍රතිශතයක් ලෙස කීයද?" මම ඔහුගෙන් ඇසුවෙමි.

"එහෙම කට්ටියක් අපේ රටේ නැහැ" යමමොටෝ මහතා මෘදු ස්වරයෙන් කිවේය. වියපත් ඔහුගේ කටහඬේ ඇත්තේ වෙව්ලන ස්වරයකි.

"ඔබ කොහොමද එහෙම කියන්නේ. ඕනෑම රටක දුප්පතුන් ප්‍රතිශතයක් සිටිනවා".

"ජපන් ජාතිකයන්ගේ අදහස අනුව දුප්පතා යනු අනෙකෙකුගේ ආර්ථික පිහිටෙන් ජිවත්වන පිරිසක්. අපේ රටේ එහෙම අය දැන් නැහැ"

"කලින් හිටියද?"

"ඔව්, මට මතක ඇති කාලය වන විට මගේ පිය සහ මව දුප්පතුන්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපේ රට ආර්ථික වශයෙන් බිමට සමතලා වුනා", යමමොටෝ මහතා ඉතා සෙමෙන් වචන ගලපයි.

"අපි කෑවේ බිව්වේ රජයෙන් නොමිළේ ලැබුණු ආහාර පාන. ඒ සඳහා අපේ පවුලට සළාක පොතක් දීල තිබුණා. ඇදුම් පැළදුම් පවා සලාකයට අපට ලබා දුන්නා. අපේ තාත්තා මේ ගැන බොහොම ලජ්ජා වුණා. වරක් ඔහු මිතුරෙකු සමග රණ්ඩුවකට පවා පැටලුනා ඔහුව දුප්පතෙකු යයි ඇමතූ නිසා".

"අපේ වැඩිහිටියෝ ඉතාම මහන්සි වෙලා වැඩ කළා. මා කුඩා කාලේ වෘතිය සමිති හෝ වැඩ වර්ජන කියා දෙයක් අසා තිබුණේවත් නැහැ. මම ඒවා ගැන ඉගෙන ගත්තේ රුසියානු පරිවර්තන කියවලා".

"ටික කාලෙකට පස්සේ රජයෙන් ඉල්ලීමක් කළා ඇති හැකි තත්වයට පත්වන අය සළාක පොත් නැවත බාර දෙන ලෙස. අපේ ගමෙන් මුළින්ම සලාක පොත බාර දුන්නේ මගේ පියා. ඒ ගැන ඔහු මැරෙන තුරුම උදම් ඇනුවා. 1950 ගණන්වල මැද භාගේදී මේ සළාක ක්‍රමය සම්පුර්ණයෙන්ම නැති කළා. ඒ තමයි රටේ දුප්පතුන්ගේ අවසන් වීම. ගමේ හැමෝම එදා උත්සව පැවැත්වුවා".

70 දශකයේ අග භාගයේදී ලංකාවේ සළාක කූපනය හෙවත් හාල් පොත අහෝසි කළදා මට තවමත් මතකය. ගුවන් විදුලිය හරහා අයවැය කියවීම අසා සිටි බොහෝ දෙනා මේ ප්‍රවෘතිය කණ වැකෙත්ම දරුණු ලෙස උරණ වුහ. අපගේ අසල්වැසියෙක් මිදුලට පිවිස "ඔය කාලකණ්නි මිනිහගේ ඔලුවට හෙණ හතක් පාත්වෙන්න ඕනේ" කියමින් එවකට සිටි පාලකයාට මහා හඬින් සාප කරන්න විය.



දුප්පත්කම යනු දකුණු ආසියාතික දේශපාලනයේ කප් රුකයි. මා දකින්නේ මෙය සමාජවාදය විසින් ලොවටම කියා දුන් පාඩමක් ලෙසයි. අපේ සෑම දේශපාලකයෙක්ම සටන් වදින්නේ දුප්පතුන් වෙනුවෙනි. ඒ දුප්පත්කම රැකගැනීම සඳහාය. එසේ නොමැතිව දුප්පත්කම තුරන් කිරීම සඳහා නොවේ.

ජපනාට දුප්පත්කම ලැජ්ජාවකි. ලාංකිකයාට එය ආයුධයකි.  

"අපි දුප්පතුන් වෙනුවෙන් මරණය තෙක් සටන් කරමු". 

"දුප්පතාට නොමිළේ දෙන දෙයට අත නොතබනු".

"අපේ ශක්තිය දුප්පත් කමයි".

මේ, ලාංකික දේශපාලකයා දුප්පත්කම උත්කර්ෂවත් කරන සටන් පාඨයි. දුප්පත්කම ආභරණයක් බැවින් එය සදාකාලිකවම ගෙලේ එල්ලාගෙන සිටීමට ඔවුන් ජනතාව පොළඹවයි. 

දුප්පත්කම තදින්ම උත්කර්ෂයට නංවන දේශපාලකයන් සහ ඉහළ පෙලේ වියතුන් කිහිප දෙනෙකුගේ දරුවන් මම පෞද්ගලිකවම හඳුනමි. ඔවුන්ගෙන් සමහරෙක් ඇමරිකාවේය, නැත්නම් යුරෝපයේ, කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේය. ලංකාවේ සිටියත් තරු පහෙන් පහළට සුළු වෙලාවකට හෝ බසින්නේ ඔවුන්ටත් දේශපාලනය කිරීමට අවශ්‍ය නම් පමණි. 

ජපානයත් ලංකාවත්, පටන්ගත් ස්ථානයත් අද සිටින ස්ථානයත් අතර වෙනස තීරණය කිරීමට මේ කාරණය බෙහෙවින් පාදක වන්න ඇති බව මගේ හැඟීමයි.

දේශපාලකයාට දුප්පත්කම ආරක්ෂා කරගත යුතුවන්නේ ඔහුට සාධනීය දේශපාලනයක් කරගැනීමට තරම් හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති වූ විටය. සාධනීය දේශපාලනය කටුකය. එය කල් ගත වන ව්‍යාපෘතියකි. ජපානය මේ සඳහා දශකයක පමණ කාලයක් ඉතා දුෂ්කර ගමනක් ගියේය. සිංගප්පුරුවට, තායිවානයට සහ දකුණු කොරියාවට ඊට වඩා අඩු දුෂ්කරතාවයකින් දශක තුනක් පමණ ගත කරන්න සිදු විය. මැලේසියාව, තායිලන්තය, වියට්නාමය තවමත් ගමන් කරයි. මන්ද ඔවුන්ගේ දේශපාලනයේ යම් කොටසක් තවමත් දුප්පතුන් මත යැපෙන බැවිනි.

සියයට සියයක්ම දුප්පත්කම මත යැපෙන ලාංකික දේශපාලනය තවත් චිරාත් කාලයක් මේ ගමන යනු ඇත.