Tuesday 24 March 2020

අප සියල්ලන් තැති ගෙන ඇත


පසුගිය සති කිහිපයේ අප උදෑසන නැගිටින්නේද, රාත්‍රී නින්දට යන්නේද, දවසේ වැඩි කාලයක් ගතකරන්නේද එකම ක්‍රියාවලියක් සමගයි. එනම් රටවල්  හතරක පවතින තත්වය සොයා බැලීමටයි. අපේ නෑදෑ හිතවතුන් වැඩි දෙනෙක් සිටින්නේ ලංකාවේය. පොඩි පුතා මැලේසියාවේය. ලොක්කා ස්විඩනයේය. අපි දකුණු අප්‍රිකාවේය. දරුවන් දෙදෙනාම තවමත් සිප්සතර හදාරයි. මට මවකගේ සෙනෙහස පිළිබඳව සැබෑ ලෙසම අවබෝධ වුයේ පසුගිය සති කිහිපයේය. මගේ බිරිඳ දහවල පමණක් නොව රාත්‍රීය පුරාද වරින් වර  දුරකතනයට නෙත් යොමයි. ඒ කුමක් හෝ පණිවිඩයක් ඇවිත්දෝයි යන හැඟීමෙනි. 

මගේ සමීපතම සඟයෝ සහ ගෝලයෝ  ලොව පුරා රටවල් 60 ක පමණ විසිරී ඇත. ඔවුන්ගෙන් දිනකට විද්‍යුත් පණිවිඩ 30-40 මට ලැබේ. මේ නිසා ලොව රටවල් ගණනාවක අභ්‍යන්තර සැබෑ තත්වය මට දැනගන්න ලැබේ. ඒ ජාත්‍යන්තර ප්‍රවෘති කඩතුරාවෙන් ඔබ්බට ගිය සැබෑ තතුය. එබැවින් මම ලෝකය ගැන බොහෝ දෙනෙකුට වඩා අංශු මාත්‍රයක් වැඩිපුර දනිමි. 

මේ ඔබ අප ගතකරන්නේ මෙම ජිවිත කාලය තුල අප කිසිසේත් බලා පොරොත්තු නොවූ ව්‍යසනයක් තුලය. මා වෙතට එන තොරතුරු අනුව මෙය දෙවන ලෝක යුද්ධයට වඩා බෙහෙවින් භයංකාර වාතාවරණයකි. අවි රැගත් අරඟලයකදී එක් පසක් දිනීමෙන් යුද්ධය නිමවේ එහෙත් මෙහිදී මිනිස් වර්ගයා සැලකූ විට එවන් දෙපසක් නැත. ලෝක දේශපාලනයේ දැවැන්තයන් පවා අද අසරණය. මේ යන ආකාරයේ වෙනසක් නොවුවහොත් කොරෝනා වෛරසයේ ගොදුරක් බවට පත් නොවන කිසිවෙක් අප අතර නොසිටිනු ඇත. වෙනස ඇත්තේ ඔබ ඊට ගොදුරු වන දිනයේ ළඟ-දුර මතය. 

ජනතා ඇසින් නම්, ඇමරිකාවේ සිට ඔස්ට්‍රේලියාව දක්වා සෑම රජයක්ම මේ අවස්ථාවේ අසමත්ය. මා හා සංවාදයේ යෙදුනු හැම දෙනෙක්ම තමන්ගේ රටේ කළ යුතුව තිබුණේ මෙය නොව එය බව පවසයි. මෙහිදී මා දකින්නේ රාජ්‍ය පාලනය හෝ අඩුම තරමේ ව්‍යාපාර කළමනාකරණය පවා බහුතරයක් ජනතාව තුල ඇති අනවබෝධයයි. එසේම ඔවුන්ගේ ඇති ඒක කෝණි දෘෂ්ඨියයි. බොහෝ දෙනෙකුගේ පැමිණිල්ල නම් රෝග බීජය තම රටට ඇතුළු වීමට පෙර ගුවන් තොටුපළවල් වසා රටට අගුලු දැමිය යුතුව තිබුණු බවයි. අනෙක් කතාව නම් රටේ රෝගය පැතිර යාමට පෙර රට වසා දැමීමට (lock down) තිබූ බවයි. 

තමාගේ සහ තම නෑදෑ හිතවතුන්ගේ ශරීර සෞඛ්‍යය පැත්තෙන් බැලූ විට මෙසේ සිතීම සාධාරණය. නමුත් රජයක් පැත්තෙන් බැලූ විට මෙය ඉතාම දුෂ්කර තීරණයකි. රජයට "කොරෝනාවෙන්-පසු-රට" පිළිබඳව කොරෝනවටත් වඩා සිතිය යුතුව ඇත. දැනටත් ලංකාවේ රජය ගෙන ඇති තීරණවල අහිතකර ආර්ථික ප්‍රතිඵල ඔබට හිතාගැනීමට වත් නොහැකි බව මට හැඟේ. ඒවා ගෙන ඇත්තේ නොගෙනම බැරි අවස්ථාවට පැමිණි විටය. මෙය දියවැඩියාවේ දරුණුම අවස්ථාවට පැමිණි රෝගියෙකුගේ අත පය කපා දැමීම හා සමානය. අපි මේ වගේ අවස්ථාවල "දියවැඩියාව ගැන දැන ගත්ත ගමන්ම දොස්තරට තිබුනේ ලෙඩාගේ අත පය කපල දාන්න නේ" යැයි කියන්නේ නැත.    

මට මේ රජයේ ආර්ථික, විදේශ, සාමාජිය ප්‍රතිපත්ති පිළිබඳව දැඩි විවේචන ඇත. ඒ පිළිබඳව මම පෙර මෙන්ම අනාගතයේද හඬ නගමි. ඒත් මේ අවස්ථාවේ ලක් රජය තම ජනතාව වෙනුවෙන් කරන්නේ හැකි උපරිමය බව මට ලෝකය දෙස බලන විට පෙනෙයි. ඒ ගැන නොකියා සිටීමට තරම් මම කුහකයෙකු නොවෙමි. රජයේ මෙන්ම විපක්ෂයේද දේශපාලකයන් තම "ගොන්කම්" ප්‍රදර්ශනය කරන අවස්ථා නැතුවා නොවෙයි. එය මනුෂ්‍ය ගතියයි. එහෙත් සමාජයක් ලෙස අප සියලු දෙනා මීට වඩා පුළුල් පරාසයක දැක්මක් ඇති කරගත යුතු බව මගේ හැඟීමයි. නොඑසේ නම් මෙය අප සියලු දෙනාගේම අවසානයේ ආරම්භය වනු ඇත.

රජයේ අඩු පාඩු ඇත්නම් එය සංයමයකින් යුතුව පෙන්වා දෙන්න. ඔබගේ සමාජ ජාලා පරිශීලනයේදී පවා හමුදාව හා පොලීසිය, වෛද්‍ය වෘතිකයන්, අත්‍යවශ්‍ය සහ සහන සේවා සපයන්නන් හැකි පමණ ධෛර්යමත් වන ආකාරයෙන් හැසිරෙන්න. ඔබ ධෛර්යමත් කරන්නේ ඔවුන්ව නොව ඔබවම බව සිතන්න.

මුළු මහත් මානව වර්ගයා වෙනුවෙන්ම ඔබට ඔබගේ යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතු හෝරාව පැමිණ ඇත. සමාජයේ යහපත වෙනුවෙන් අප සියලු දෙනාටම කළ හැකි සෑම දෙයක්ම කිරීමට අපි අදිටන් කරගමු.

ඔබගේත් මගේත් දරුවන් වෙනුවෙන් ඔබ අප සැමට වීරයකු වන්න යයි මිහිකත අයැදීයි.


 
                 

Wednesday 18 March 2020

භූතයන් පෙන්වීම


මීට වසර 15-16 ට පමණ පෙර මම ඉතාලියේ ට්‍රියෙස්තේ නුවර පිහිටි ICTP ආයතනයේ සතියක වැඩමුළුවකට සහභාගී වන අතර අපූරු සිදුවීමකට මුහුණ දුනිමි. මෙම ආයතනය ඉතා දැකුම්කළු ස්ථානයකි. ඔබ භෞතික විද්‍යාඥයෙක් නම් එකවරක් හෝ ICTP (International Center for Theoretical Physics) ආයතනයේ වැඩසටහනකට සහභාගී වී තිබිය යුතුයැයි මම සිතමි. 

අන්ද්‍රියාතික් මුහුද අසබඩ පිහිටි මෙම ආයතනය මා දුටු ඉතාම මනරම් පරිසරයක පිහිටි ගොඩනැගිල්ලකි. සවස් කාලයට ආයතනයේ එළිමහන් සඳළුතලය වෙත ගිය විට ඈත සිතිජය ඉමේ චමත්කාරජනක වර්ණ සංයෝජනයක් ඇතිවී මනරම් දසුනක් මතුකරයි. ග්‍රීෂ්ම ඍතුව ආසන්න වෙත්ම රාත්‍රී 8-9 වනතෙක් ලා රත් පැහැ එළියක් අහස පුරා දිස්වෙයි. 

එම වැඩමුළුවට සහභාගී වී සිටි බ්‍රිතාන්‍යයේ සේවය කරන අර්ජෙන්ටිනියන් කාන්තාවක් අප සමග කුළුපඟ විය. ඇය ඉතා භක්තිමත් කතෝලික, භෞතික විද්‍යාඥවරියක් වුවාය. ඇයගේ කතා විලාශයෙන් පෙනුනේ ඇය ඉන්දීය පෙනුම ඇති සියල්ලන් යෝගී අභ්‍යාසවල යෙදෙන, විකාරරූපී දේව ප්‍රතිමා සරණ යන, අද්භූත පුද්ගලයන් සේ සිතන බව යැයි මට හැඟුනි. ඇයගේ නම මට හරියටම මතක නැති බැවින් අපි තෙරේසා යයි ඇයව හඳුන්වමු. 

දිනක් රාත්‍රී ආහාරයෙන් පසු සඳළුතලයේ කවයක ආකාරයෙන් තබා තිබු පුටු කිහිපයක ඉඳගෙන අපි කතා බහට වන්නෙමු.  තෙරේසා, අප්‍රිකානු කාන්තාවක් සහ තවත් කිහිප දෙනෙකු එහි විය. අනෙක් අය මට මතක ඇති ආකාරයෙන් නොයෙකුත් ලතින් ඇමරිකානු රටවලට අයත් විය. 

තෙරේසා ඇයගේ ආගම පිළිබඳව කතා කිරීමට බෙහෙවින් ඇල්මක් දැක්වීය. තමා අන් ආගම් වලට ගරු කරන, සාධාරණව සිතන අයෙකු බව හුවා දැක්වීමට ඇය නිතරම උත්සහා කලාය. එහෙත් බොහෝ විට ඇයගේ වාග් විලාශයත් ශරීර බසත් (body language) පලකලේ ඇය අන්‍ය ආගම් පහත් ලෙස සලකන බවයි. විශේෂයෙන්ම මරණින් මතු ආත්ම පිළිබඳව ඇති පෙරදිග ඇදහීම් ඇය ඉතා සුක්ෂම ලෙස අවඥාවට ලක් කරන ලදී.

"චන්දිම ඔබ භූතයන් (ghosts) සිටිතැයි පිළිගන්නවාද?" තෙරේසා එකවරම ඇසුවාය. 

ඒ වන විට අප දැන හඳුනාගෙන දින කිහිපයක් ගතවී තිබුණු බැවින් ඇයගේ ක්‍රමවේදය පිළිබඳව මට යම් වැටහීමක් විය. එකල මම රැකියාවෙන් භෞතික විද්‍යාඥයෙක් වුයෙමි. මා කුමන පිළිතුරක් දුන්නත් ඇය අන්තිමට පෙන්වා දෙන්නේ එවකට තිබු  මගේ ආගමික මතවාදය භෞතික විද්‍යාඥයෙකුට නොගැලපෙන බවයි.  

තරමක කල්පනාවක නිරත වූ මම, එම පැනයට පිළිතුරු දෙන්න පෙර මට ඇයගේ අධ්‍යාත්මික වටපිටාව (spiritual environment) නිරීක්ෂණය කල හැකිදැයි අසා සිටියෙමි. මා කියන්නේ කුමක්දැයි ඇයට තේරුණේ නැත (මට තේරුණේද නැත). එහෙත් ඇය ඊට එකඟ වුවාය. මේ වන විට පරිසරය අඩ අඳුරේ පැවතුනි.

ඇයට ශරීරය සැහැල්ලුවෙන් තබාගෙන මා දෙස බලා සිටින්න යැයි මම පැවසුවෙමි. ඉන් පසු මම ඇයගේ හිස වටේට නිරීක්ෂණය කරන ආකාරයක් පෙන්වා, ඇයගේ හිසට වම් පසින් අඟල් හයක් පමණ ඈතින් මගේ දෙනෙත ස්ථානගත කලෙමි. දැන් සියල්ලෝම මා දෙස බලාගෙන හිඳිති.

"තෙරේසා ඔබේ වම් උරහිසට සිහින් බර ගතියක් දැනෙනවාද" මම අනපේක්ෂිත ලෙස තරමක ගැඹුරු හඬකින් ඇසුවෙමි.

"නැහැ. කොහෙත්ම නැහැ" ඇය මාව ගණන් නොගන්නා ස්වරයෙන් කීවත් ඇයගේ කටහඬේ සියුම් කැළඹීමක් ඇති බව පෙනුනි. 

ඉන් පසු මම තැම්පත්, එහෙත් ගුප්ත ස්වරයකින් මෙලෙස පැවසුවෙමි.

"ඔබගේ වම් පසින් ඔබට පිටුපස යම් තැනැත්තියක් සිටගෙන සිටිනවා මට පෙනෙනවා. ඇය සුදු පැහැති අත් දිග ගවුමක් හැඳගත් වයසක කාන්තාවක්. ඇයගේ ඉනෙන් පහල කොටස අපැහැදිලියි. ඇයට තඹවන් රැලි වැටුණු කොණ්ඩයක් තිබෙනවා. ඇය එය මුහුණ පුරා විදහාගෙන සිටිනවා. ඇයගේ ඇස් යටට ගිලිලා, මුහුණ, අත් සුදුමැලියි, රැලි වැටිලා. දිගු නහයක්, දිගු ගෙලක් මෙන්ම රතු පැහැ තොල් යුගලයක් තිබෙන බව පෙනෙනවා. ඇයගේ හකුපාඩා ගිලා බැහැලා. පපුව මත ලී කුරුසයක් එල්ලෙමින් තිබෙනවා". 

තෙරේසාගේ ඇස්වල භීතිය ඇතිවන අයුරුත්, මුව සුදුමැලිවී අතැඟිලි වෙව්ලන අයුරුත් මම ඉහත ප්‍රකාශය කරන අතරම නිරීක්ෂණය කලෙමි.

මගේ විස්තරය මදක් නතර කල මම, ඇය දෙස බලා "ඒ කාන්තාව දැන් ඔබ දෙස බලාගෙන, ඔබගේ මුහුණට එබෙනවා. දැන්වත් ඔබේ උරහිසට බරක් දැනෙන්නේ නැද්ද?" යැයි ඇසුවෙමි. 

උරහිස මත ඇති යමක් ගසා දමන්නාක් මෙන් දකුණු අතින් එය පිස දැමු තෙරේසා, එකවරම යටිගිරියෙන් හඬක් නගාගෙන අසල වුන් අප්‍රිකානු කාන්තාව වෙත පැන, ඇයව බදා ගත්තාය. සියල්ලෝම තුෂ්නිම්භූත වූ අතර තෙරේසා වෙව්ලමින් හඬන්න වුවාය. මාද මෙතරම් ප්‍රතික්‍රියාවක් ඇයගෙන් කිසිසේත් බලාපොරොත්තු වුවේ නැති බැවින් මදකට නිරුත්තරව බලා සිටියෙමි.  

"තෙරේසා ඔබට මා බොරුවක් කලේ. බයවෙන්න එපා. එහෙම කිසිම දෙයක් මම දැක්කේ නැහැ" ඇය අස්වසාලමින් මම ඇය වෙතට පිය නැගුවෙමි. 

"නැහැ ඔබ දැන් කියන්නේ බොරු. ඔබ මා ලඟට එන්න එපා. ඔබ යක්‍ෂයා ඇසුරු කරන්නෙක්. ඔබට භූතයන් පෙනෙනවා" ඇය හොඳටම බියවී සිටියාය. අනෙක් අයද, විශේෂයෙන්ම අප්‍රිකානු කාන්තාව, මා දෙස බැලුවේ දරුණු යක්ෂයකු දෙස බලන ආකාරයෙනි.

"මම දන්නවා. මම දන්නවා. ඔහු දැක්කේ මගේ මියගිය නැන්දනියගේ භුතයාවයි. ඇය මට බොහොම ආදරය කළා. මට තේරුණා ඇය මියගිය පසු මා පසුපස එයි කියා" තෙරේසා වෙව්ලමින්, අනෙක් අය දෙස නෙත් යොමා, කියාගෙන යයි. අප්‍රිකානු කාන්තාව කුමක් හෝ යාඥාවක් කරන්න වුවාය. වාසනාවට එවන විට අවට දෙතුන් දෙනෙකු හැර අන් කිසිවෙකු නොවීය.   

ඇත්තෙන්ම මම කලේ තෙරේසාව යම් මානසික ව්‍යාකුලත්වයකට පත් කිරීමයි. මා අදිසි භූතයාගේ හැඩරුව ලෙස විස්තර කලේ තෙරේසාගේම ස්වරූපයයි. ඊට වියපත් අයෙකුගේ අංග ලක්ෂණ කිහිපයක් එකතු කලෙමි. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට තමන්ගේ හැඩරුවට සමාන වියපත් ඥාතීන් වෙති. ඔවුන් මියගිය විට, බොහෝ අවස්ථාවල කාන්තාවක් නම් අන්දන්නෙ දිග සුදු ඇඳුමකි. සුදු පැහැ අයෙකුගේ මළමිනියක මුහුණ අතපය සුදුමැලිය. බොහෝ කතෝලික පවුල්වල (විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවල) කෙනෙකු මිය ගිය විට මෘත ශරීරයේ පපුව මත ලී කුරුසයක් තැම්පත් කරයි. මේ අනුව මම මනසින් තෙරේසාව ඇය දන්නා කෙනෙකුගේ අවමංගල්‍ය උත්සවයට ගෙන ගියෙමි. 

මගේ අරමුණ වුයේ තෙරේසා වෙතින්ම උරහිසට බර ගතියක් ඇතිවන බව පැවසීමට සලස්වා ඕනෑම භූතයෙක් මනසින් සෑදීමට හැකි බව ප්‍රයෝගිකව පෙන්වීමයි. නමුත් අවාසනාවකට මගේ සැලැස්ම හිතුවාට වඩා ව්‍යාකූල විය. මා එවෙලේ කෙතරම් පැහැදිලි කරන්න උත්සහ ගත්තත් ඇය මා බොරුවක් යැයි කියන්නේ බොරුවක් බව කීවාය. ඇයට ඇගේ උරහිස මතට භූතයා බරවෙන බව හොඳින්ම දැනී තිබුණු අතර ඒ කතා කරන අවස්ථාවේද භුතයාගේ හුස්ම ඇයගේ බෙල්ලට වදින බව කීවාය.  මේ කතා කරන්නේ ක්වොන්ටම් විද්‍යුත් ගතිකය පිලිබඳ ආචාර්ය උපාධිධාරිනියක් නොවේදැයි මට එවෙලේ සිහියට නැගුණි. ඇය හුස්ම ගන්නා භූතයෙක් පිළිබඳව දොඩවයි.

කෙසේ හෝ ඒ සිදුවීම පිළිබඳ තතු අප කිහිප දෙනාගෙන් එපිටට නොගියේය. වැඩමුළුව පැවතුන ඉදිරි දින කිහිපයේ තෙරේසා හෝ අප්‍රිකානු කාන්තාව මා සමග කතාකලේ නැත. ඔවුන් උවමනාවෙන්ම මා මග හැරියෝය.

එදා මෙදා තුර මට භූතයන් ප්‍රේතයන් වැනි අමනුෂ්‍ය බලවේග දුටුවා යයි කී පිරිස් බොහෝ හමුවී ඇත. ඔවුන් පවසන්නේ සත්‍යක්ද නැත්ද යන්න මට අදාළ නැත. මන්ද එයින් මට ඵලක් නොවන බැවිනි. එහෙත් මා එක දෙයක් ස්ථිර වශයෙන්ම දනිමි. එනම් මේ සමාජයේ බොහෝ දෙනාට භූතයන් පෙන්වීමේ හැකියාව මට ඇති බවයි. 



   

Tuesday 3 March 2020

නූගතෙක් ගැන කතාවක්


අද බොහෝ දෙනා උගතුන් ගැන කතා කරති. උගතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි කියති. නූගතුන් තමන් පාලනය කිරීම ගැන දුක්වෙති.

උගතා යනු කවුදැයි සමාජය විසින්ම අර්ථ දක්වාගෙන තිබේ. සමාජ සම්මත උගතෙක් වීමට නම් පාසල් යා යුතුය, ඉන්පසු විශ්වවිද්‍යාලයට යා යුතුය, උපාධි, පශ්චාත් උපාධි ලබා ගත යුතුය. ඉන් පසු ඔබට උගතා යන ලේබලය සමාජය විසින් ලබා දෙනු ලැබේ. මේ කතාව එසේ නොවූ, විසිවන ශතවර්ෂය මුල් භාගයේ එංගලන්තයේ ජිවත් වූ, නූගතෙකු ගැනය. 

විලියම්ට පල්ලියේ රැකියාව ලැබුණේ ප්‍රධාන පියතුමා නිසාමය. ඒ කාලයේ පල්ලියේ ඕනෑම රැකියාවකට ගත්තේ පාසලේ මුල් වසර තුනවත් ඉගෙනුම ලැබූ අයවයි. විලියම් පාසැල් ගියේ එකේ පන්තියට පමණි. විලියම් කුඩා කලදීම ඔහුගේ පියා මියගිය අතර විලියම්ව පාසැල් යැවීමට මවට වත්කමක් නොවීය. පාසල් යාමට විලියම්ටද කිසිඳු කැමැත්තක් නොවීය. මේ නිසා දුප්පත් විලියම්ගේ ළමා කාලය මනරම් විය.

විලියම්ව පල්ලිය අතුගාන වැඩේට ගැනීමට ප්‍රධාන පියතුමා නීතිය නැමීය. ඒ විලියම්ගේ මව සහ පියතුමා අතර තිබූ ඇයි හොඳයිය නිසාය. වයස 14 දී පටන්ගත් පල්ලිය පිරිසිඳු කිරීම වසර විසි පහක් පුරා විලියම් ඉතා සතුටෙන් කරගෙන ගියේය. විලියම්ගේ රැකියාවට කණකොකා හැඬුවේ ප්‍රධාන පියතුමා විශ්‍රාම ගිය පසුවයි. නව ප්‍රධාන පියතුමා නීති කාරයෙකි. ඔහු විලියම් කැඳවා මෙලෙස විධානය කළේය.

"විලියම් නුඹ වහාම පාසැල් අධ්‍යාපනය පටන් ගනින්. නුඹ තුන්වෙනි පන්තිය සමත් වෙනකම් නුඹට ලැබෙන්නේ මෙතෙක් ගෙව් පඩියෙන් බාගයයි. ඊට පස්සේ ආයෙමත් මුළු පඩියම ලැබෙයි. හැබැයි ඉස්කෝලේ යන්න පටන් ගත්තේ නැත්නම් මාස තුනකින් නුඹව අයින් කරනවා"

එදින සවස වැඩපල අවසන් කල විලියම් පල්ලිය වත්තේ කොනක වූ ලී අසුනක් මත ඉඳගෙන ගැඹුරු කල්පනාවක නිමග්න විය. මැදි වයසට පියමං කර සිටින විලියම්ට කුඩා දරුවන් සමග අකුරු ඉගෙනීම සිහිනෙන්වත් සිතා ගත නොහැකි කාරණයකි. කල හැකි එකමදේ රැකියාවෙන් අයින් වීමයි. ප්‍රධාන පියතුමා ළඟ බැගෑපත් වීමෙන් පලක් නොවන බව ඔහු දනී. වසර විසි පහක්ම ඔහුට ජිවිතේ බරක් නොවුයේ පල්ලියෙන් ලැබෙන දෙයින් ඔහු මෙන්ම පසු කලෙක ජිවිතයට සම්බන්ධ වූ බිරිඳ සහ දරුවාද සෑහීමකට පත් වූ බැවිනි. සැමදා පල්ලියෙන් ලැබෙන දහවල් කෑම වේලද, පාස්කුවටත්, නත්තලටත් ලැබෙන අමතර තෑගීද ඔහුට මෙනෙහිවිය. 

ඔහුටත් නොදැනීම අඳුර වැටීගෙන එමින් තිබුණි. වෙනදා මේ වෙලාවට ඔහු නිවසේ ඇති අබලන්වූ හාන්සි පුටුවේ දිගෑදී පුතුගේ සෙල්ලම් බලමින් සිටින්නේය.  ඔහු සැමදා ගෙදර යන විට අතරමග තිබෙන කුඩා කඩයෙන් පාන් ගෙඩියක් ගෙන යන්නේය. එය ඔහු සහ පවුලේ රාත්‍රී කුසගින්න නිවීය. එදින ඔහු කඩය අසලට යන විට දුටුවේ එය වසා ඇති බවයි. බේබද්දෙකු වූ කඩේ අයිතිකරු සැමදාම හවස පහේ කණිසම වැදෙද්දී කඩය වසා අසල ඇති තැබෑරුමට රිංගයි. ඔහු පාන් ගෙන එන්නේ උදෑසන පමණි. සවසට විකුණන්නේද එම පාන්මය. සමහර විට ඒවා පසුදාටද අලෙවි කරයි. 

පවුලම කුසගින්නේ තැබීමට නොහැකි බැවින් විලියම් සැතපුම් දෙක තුනක් ඈතින් පිහිටි බේකරිය වෙත පිය නැගීය. එවන විටත් බේකරියේ හවස සෑදු පාන්වල රස්නේ ගතිය තිබුණි. එතැන් සිට ගෙදර යන ගමන් විලියම් කල්පනා කරන්න විය. 

ඒ ප්‍රදේශයටම පාන් ගැනීම සඳහා ඇත්තේ බේබදු මුදලාලිගේ කඩය පමණි. එයින්ද පාරිභෝගිකයන්ට යහපත් සේවයක් නොලැබේ. මේ නිසා පාන් විකිනීමට කුඩා කඩයක් අටවා ගතහොත් ජීවිකාව සරි කරගත හැකි වෙතැයි විලියම්ට සිතුනි. 

පසුදා පල්ලියට ගිය විලියම් ප්‍රධාන පියතුමා හමුවී තමා පල්ලියේ රැකියාවෙන් ඉවත්වන බව පැවසීය. ප්‍රධාන පියතුමා නීතිකාරය වුනාට හිත හොඳ පුද්ගලයෙකි. ඔහු විලියම්ට මාස තුනක පඩිය දුන්නේය. ඒ මුදලත් වසර විසිපහක් තිස්සේ ඉතුරු කරගෙන තිබූ කුඩා මුදලකුත් යොදා විලියම් පාර අයිනේ පෙට්ටි කඩයක් අටවා ගත්තේය. 

දැන් ඔහු හිමිදිරියේ කුඩා අත් කරත්තයකුත් තල්ලු කරගෙන බේකරියට ගොස් පාන් රැගෙන එයි. උදේ දහය පමණ වන විට ඔහුගේ පාන් විකිණී අවසන් වෙයි. ඉන්පසු ගෙදර යන විලියම් බිරිඳගේ වැඩපල වලට උදව් වෙයි. නැවතත් හවස තුනට පමණ ඔහු බේකරියට ගොස් පාන් ගෙන එයි. මේ ගමනට සමහර දිනවල ඔහුගේ බිරිඳ සහ පුතාද එකතුවෙයි. ඊළඟට ඔවුන් ගෙදර එන්නේ රෑ හතට පමණය. 

ක්‍රමයෙන් විලියම්ගේ පාන් ව්‍යාපාරය සරුවිය. කඩයට පැමිණෙන කිහිප දෙනෙකු සමග කතා බස් කරන විට තේරුණේ ඔවුන් එහා ටවුමේ සිට පැමිණෙන බවයි. මේ අනුව ඒ ටවුමේද කඩයක් දැමීමට විලියම්ට සිත් විය. එය තම බිරිඳ සහ පුතාට ඔහු බාර දුන්නේය. 

වසරක් යන විට විලියම් පෙට්ටි කඩයෙන්  තරමක විශාල ස්ථිර ගොඩනැගිල්ලකට මාරු විය. බිරිඳගේ කඩයත් එසේම මාරු විය. තව ටික කලක් යද්දී ඔහු තමාගේම බේකරියක් සුළුවෙන් ඇරඹීය. එය බේකරි දෙකක් තුනක් වශයෙන් වැඩි විය. වසර දහයක් යන විට "විලියම් බේකර්ස්" මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් බවට පත් වී තිබුණි.  

නිෂ්පාදනය දිනෙන් දින ඉහල යන බැවින් අඛණ්ඩ තිරිඟු පිටි සැපයුමක අවශ්‍යතාවය විලියම් මහතාට තදින් දැනෙන්න විය. මේ සඳහා ඔහු ස්කොට්ලන්තයේ තිරිඟු පිටි නිපදවන්නන්ගේ සංගමය සමග ගිවිසුමකට පිවිසුණි. ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට එඩින්බර්ග් නුවර පුරපතිද සහභාගී විය. කිසිඳු අකුරක් ලිවීමට හෝ කියවීමට නොහැකි විලියම් ගිවිසුම්ගත වුයේ මහපට ඇඟිලි සලකුණ තැබීමෙනි. මේ පිළිබඳව එඩින්බර්ග් පුරපති තුමා යම් උපහාසයක් මුසුවූ හඬකින් මෙසේ කීවේය.

"විලියම් මහත්මයා, ඔබ විධිමත් අධ්‍යාපනයක් ලබා සිටියා නම් අද මොනවා කරනවා ඇත්ද?"

මුවඟට සිනහවක් නගා ගත් විලියම්, "පල්ලිය අතුගානවා" යැයි සැමටම ඇසෙන්න කීය.