Wednesday 23 February 2022

ඔබ දෑස් අරින තුරු ඇය බලා සිටින්නීය

"ජනවාරියේ ඔබ කියූ පරිදි රට වැටුනාද?"

කිහිප දෙනෙකු මට inbox කල පණිවිඩයකි මේ. එහි තිබුණේ සමච්චලයකි. 

මම කිසිම විටෙක ජනවාරියේදී ලංකාව ආර්ථික වශයෙන් වැටෙන බවක් නොකියුවෙමි. ඊට හේතුව වැටෙන්න නම් නොවැටුණු රටක් තිබිය යුතු බැවිනි. ලංකාව ආර්ථික වශයෙන් වැටෙන්නේ 2022 ජනවාරියට මාස කිහිපයකට පෙරය. ජනවාරියේ වෙන්න තිබුණේ බහුතරයක් ජනතාව වැටි ඇති රටක සිටින බව අවබෝධ කරගැනීමයි. නමුත් අවාසනාවකට එය සිදු වුයේ නැත. මහා බැංකු අධිපතිගේ සහ වාචාල ඇමතිවරුන් කීපදෙනෙකුගේ ගජබින්න, බහුතරයක් කෙසේ වෙතත් සැලකිය යුතු පිරිසක් වැළඳු බව ඔවුන්ගේ අදහස්වලින් ගම්‍ය විය.

"රටක ආණ්ඩුවක් දෛනික අභ්‍යන්තර කටයුතු පවත්වා ගැනීම සඳහා මුදල් අච්චු ගසයිද, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආනයනය සඳහා විදේශවලින් ණය ඉල්ලා සිටියිද, එසේ නම් එම රට ආර්ථික වශයෙන් ඇදවැටී (economically collapsed) ඇත". මේ බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ මිනුම් දණ්ඩකි.

පසුගිය වසර දෙක තුල වූ කාල රේඛාවේ එක් ලක්ෂයකදී ලංකාව ආපසු හැරිය හැකි කඩඉම පසු කළේය. මේ නොහැරවුම් ලක්ෂයට රට ළඟාවන විට මා වැනි නොවැදගත් සොච්චමුන් පමණක් නොව ආර්ථික විද්‍යාව පිළිබඳව හසල දැනුමක් ඇති වියතුන්ද ඇතිවන්න යන අනතුරේ දිග පළල පෙන්වා දුන්නේය. ඒ අවස්ථාවේදී බහුතර ජනතාවක් තම හඬ අවදි කලේ නම් බොහෝ දේ වෙනස් වන්නට ඉඩ තිබුණි. සිදුවිය යුතුව තිබුණේ ආණ්ඩුව තුල පෙරලියක් මිස ආණ්ඩු පෙරලියක් නොවේ. මන්ද විපක්ෂය එවිට තිබුණේ (අද කියා ලොකු වෙනසක් නැත) ඉතා දුබල බෙලහීන තත්වයක නිසාය. නමුත් මෙය වටහා ගැනීමට තරම් බහුතරයක් බුද්ධිමත් නොවීය.

ඉතා කෙටි කාලයක් තුල රුපියල් ට්‍රිලියන ගණනින් මුදල් අච්චු ගසන විට, මාස දෙකෙන් තුනෙන් ගෙවන පදනම යටතේ තවත් දුප්පත් රටවල් වලින් ණය ලබා ගන්නා විට ඔබ සරල යතාර්ථය දැකිය යුතුව තිබුණි. නමුත් ඔබේ දේශපාලන අන්ධතාවය ඔබ දෑසට කඩතුරාවක් විය. 

වරායට එන තෙල් නැවකට මුදල් ගෙවීම අදට වඩා හෙට අපහසු වනු ඇත. මන්ද අන් රටවල් ණයට මුදල් දීමේද සීමාවක් ඇති බැවිනි. 

මුදල් ඇමති සහ මහා බැංකු අධිපති කටින් බතල හිටෙව්වාට අල බහින්නේ නැති බවත්, මසකට සංචාරකයන් විසි තිස් දාහක පැමිණියාය කියා ඩොලර් අර්බුදය විසඳෙන්නේ නැති බවත්, දවස් දෙක තුනක් මහා වැසි වැටුණාය කියා විදුලිබලය ලැබෙන්නේ නැති බවත් ඔබට දැන් වටහුනාට වැඩක් නැත. 

ආර්ථික අගාධයේ පතුලටම වැටුණු රටක් ඉන් ගොඩ ඒමට මාස කිහිපයක්, වසර කිහිපයක්, දශක කිහිපයක් හෝ සියවස් කිහිපයක් ගතවිය හැක. මේ recovery period එක නිර්ණය වන්නේ අනාගතයේ රටට ලැබෙන නායකත්වයේ හැකියාව මතයි. ඔබට දැන් කිරීමට ඇත්තේ මේ නායකත්වය සොයා යාම පමණකි. 



  

Friday 11 February 2022

කුරුළු පාඩම

මේ දකුණු අප්‍රිකාවයි. ඉඳහිට ගඟ තරණය කර හිපපොටේමස් කෙනෙක් පාරේ ඇවිදගෙන යෑම මෙහි එතරම්ම අරුමයක් නොවේ. අපේ වත්තේ මේ රටට ආවේනික කුරුල්ලන් බොහෝ දෙනෙක් දැකිය හැක. අප මේ නිවසේ පදිංචියට ආවේ මීට මාස කිහිපයකට පෙරය. ඒ පැමිණි කාලයේ සිටම මම පුරුද්දක් ලෙස සෑමදාම උදෑසන 6 ට පමණ වත්තේ එක් තාපයක් දිගේ කුරුල්ලන්ට ආහාර තැබීම සිදු කරමි. දැන් ඔවුන් ඊට පුරුදු වී ඇත. උදෑසනම තාප්පය අද්දර ගස්වල රැස්වෙන මගේ යහළුවන් නොනවත්වා කිචි බිචි හඬ නගයි. 

මේ කුරුල්ලන්ගේ හැසිරීම් දෙස බලා සිටීම ඉතා සැනසුම්දායකය. ඔවුන් අතර පෙම්වතුන්, මව සහ දරුවන් මෙන්ම තරහකරුවන්ද ඇත. සමගියෙන් කෑම කන අවස්ථා මෙන්ම හොට ෆයිට්, තටු ෆයිට්, කකුල් ෆයිට් සහ ඒරියල් කම්බැට් ලෙස මා සහ මගේ බිරිඳ හඳුන්වන සටන් විද රාශියක්ද නිතර දැකිය හැක. ඉඳහිට එකෙක් දරුණු ලෙස පහර කන විට මම සමාදාන විනිසුරුවෙක් ලෙස මැදිහත්වන අවස්ථාද ඇත. 

මේ කුරුල්ලන් අපට ඉමහත් සතුටක් සහ සැනසුමක් ගෙන දෙන මුත් ඔවුන් සහ අප අතර කිසිඳු පෞද්ගලික බැඳීමක් නැත. ඒ අපට ඔවුන්ව වෙන කර හඳුනාගත නොහැකි බැවිනි. හෙට එන්නේ අද ඇවිත් රණ්ඩුවක් පටලවාගත් කුරුල්ලාමදැයි අපට වැටහීමක් නැත. සමහර විට අප පාරේ සක්මන් කරන විට සිය පුර්ණ ආයු වළඳා හෝ හදිසි අනතුරකින් මිය ගොස් සිටින කුරුල්ලෙකුගේ සිරුරක් අප නෙත ගැටේ. ඒ සමහර විට එදින උදෑසන අපේ වත්තේ ආහාර ගැනීමට පැමිණි කුරුල්ලෙක් විය හැක. එහෙත් කුරුළු මළකුණක් යන හැඟීම හැරුණු කොට මට කිසිම වේදනාවක් ඒ සම්බන්ධයෙන් දැනෙන්නේ නැත. ඒ එම කුරුල්ලා සමග මට කිසිඳු බැඳීමක් නැති බැවිනි. 

වේදනාව උපාදානය මුල් කරගෙන ඇතිවෙයි. කුරුල්ලා කියා දෙන පාඩම එයයි. 


   

Wednesday 9 February 2022

ලංකාවේ සංචාරක කර්මාන්තයක් ඇති කිරීමට - 1

 


මේ ලිපි පෙළ මතු උපයෝගීතාවයටයි.

ලංකාවට සංචාරකයන් පැමිණෙයි. ඒ හැරෙන්නට ලංකාවේ සංචාරක කර්මාන්තයක් (tourism industry) ඇත්ද යන්න සැක සහිතය. සංචාරක කර්මාන්තයකදී සිදුවන්නේ රටකට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා තරඟකාරී ආකෘති නිපදවා ඒවා මනා කළමණාකාරිත්වයකින් යුතුව ක්‍රියාත්මක කිරීමයි. ලංකාවේ මෙතෙක් මෙලෙස කර්මාන්තයක් තිබුණා නම් ඒ ඉතා සීමිත ප්‍රමාණයකි. "ලංකාව ඉතා සුන්දර, උතුම්, අලංකාර තැනක් නිසා සංචාරකයන් එහි පැමිණිය යුතුය" වැනි ආකල්පයක් බොහෝ ලාංකිකයන් තුල දැකිය හැක.  එය යතාර්ථයක් නොවේ. 

අප්‍රිකානු රටවල් කිහිපයකම සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මා යම් තරමකට දායක වී ඇත. එබැවින් සංචාරක ව්‍යාපාරය පිළිබඳව හසල දැනුමක් නොතිබුණත් යම් පමණකට ඒ හා සම්බන්ධ ක්‍රියාන්විතයන් පිළිබඳව මට වැටහීමක් ඇත.

රටක, නගරයක, ගමක පමණක් නොව සංචාරක නිකේතනයක පවා සාර්ථක ව්‍යාපාරයක් ලෙස සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් අප පටන් ගත යුත්තේ ස්වයං-ප්‍රශ්ණයකිනි. 

"අපේ තැනට සංචාරකයන් පැමිණිය යුත්තේ ඇයි"

ලංකාවේ මුහුදු වෙරළට බැක් පැකර්ස්ලා පැමිණෙද්දී මාල දිවයිනට ධනවත් පිරිස් ඇදෙන්නේ ඇයි දැයි අපි අපෙන් අසා ඇද්ද?

වසර 2019 දී ලංකාවට සංචාරකයන් මිලියන 1.9 පැමිණෙද්දී ලංකාවෙන් 200 න් පංගුවකටත් වඩා කුඩා මාල දිවයිනට සංචාරකයන් මිලියන 2 ක්  පැමිණියේය. 

විශේෂයෙන් කීමට තරම් ස්වභාවික සෞන්දර්යයක් නැති මැලේසියාව සංචාරක චුම්බකයක් (Tourism magnet) බවට පත් වුයේ කෙසේද? 

වියට්නාමය අද සංචාරක ගමනාන්තයක් ලෙස වේගයෙන් ජනප්‍රිය වන්නට හේතු මොනවාද? 

ඉතා සුවිශේෂී භූ පිහිටීමක් සහ පාරිසරික සුන්දරත්වයක් ඇති නේපාලයට සංචාරක කර්මාන්තයෙන් ගොඩ යා ගත නොහැකි වුයේ ඇයි?

සංචාරක කර්මාන්තයේ හැඩතල පසුගිය දශක දෙකේදී බෙහෙවින් වෙනස් විය. පසු-කොවිඩ් වකවානුව තව බොහෝ වෙනස්කම් සිදු කරනු ඇත. 

ලංකාව යනු සංචාරක චුම්බකයක් වීමට හැම අතින්ම සුදුසුකම් සහිත දේශයකි. නමුත් මේ සඳහා ලංකාවේ මෙන්ම විදේශ ගතවද සිටින විෂය පිලිබඳ දැනුම සහ පළපුරුද්ද ඇති සියලු දෙනාගේ සහය අවැසිය.

මේ සඳහා ගත යුතු පියවර එකින් එක අපි ඉදිරි ලිපි පෙලේදී සලකා බලමු. 



Friday 4 February 2022

ආදරයක බර


රන් හුයකින් හදවතේ වෙලාගෙන  

මගේම යැයි සිතමින් ලොබ බැඳගෙන 

ඔසවා ගෙන ආ බොඳ පෙම් සිතුවම 

සීගිරි ගලටත් වඩා විසල් බව 

දැනුණේ රන් හුය කඩා දැමූ දින 


කඳුළු රැගෙන මා මෙතුවක් ආ දුර 

දෑස් අගින් ඔබ බලා සිටිය වග 

දනිමි එයට කම් නැත පිය සොඳුරිය 

ඔබට නොමැත මින් මතුවට අවසර 

සිහිනෙන් විත් මා තව රිදවන්නට 


සසර පුරා හුරුවූ පෙම් සුවඳට 

රොඳ බැඳගෙන භව ගණනක් මේ ලෙස 

හමුවී පියනගනා සඳ දිවි මග 

නොසිතු නිමේෂෙක පැමිණි කුණාටුව 

දෙකඩ කරන්නට ඇති පෙම් සිතුවම 


වෙන්නට ඇති පෙර බවයේ හුරුවට

ඔසවන් ආවේ ආදරයක බර 

අත්හල මොහොතේ දැනෙනා නිදහස 

විඳගමි නැවතත් හමු වී භවයක 

අහිමි වෙනතුරා ඔබේ ආදරය 











සසර පුරා හුරුවූ පෙම් සුවඳට 

බව ගණනක මේ ලෙස අප හමුවී 

අතරමගදි දෙපසකට යන්න ඇති  

කතරක නැගු පිය සටහන් වියැකී 

කාලයේ ධුලි කුණාටු අතරින් 

වැලිතලා අතර සැඟවෙන්නට ඇති 

කල්ප ගණනකට පෙර බවයක සිට 

අත් වැල් පටලා පියනගනා සඳ  

නොසිතූ මොහොතක හැමූ කුණාටුව 

අතරමගදි දෙපසකට වන්න ඇත  


කතරක නැගු පිය සටහන් වියැකී 


කාලයේ ධුලි කුණාටු අතරින් 


වැලිතලා අතර සැඟවෙන්නට ඇති