Follow this Blog

Tuesday, 3 November 2015

මට හිතෙන හැටි


මට හිතෙන හැටි 


පනස් ගණන් වල දේශපාලන නායකයෝ සිංහල භාෂාව පාසල්වල එකම අධ්‍යාපන මාධ්‍ය කළහ. දෙමළ පාසල් වල දෙමලෙන් උගැන්විය. 

එම දේශපාලන නායකයන් තම දරුවන් පිටරටවලට යවා ඉංග්‍රීසි උගතුන් කළේය. රටේ ධනපති පන්තිය ඔවුන්ව අනුගමනය කළේය. ඉහළ මධ්‍යම පන්තිය දරුවා සිංහලෙන් උගන්වන පාසැලට යැවුවත් ගෙදරට ගුරුවරුන් ගෙන්වා ඔවුනට ඉංග්‍රීසිය හුරු කළේය. නාගරික පහළ මධ්‍යම පන්තියේ ඉහළ කොටසද හැකි පමණින් මුදල් වැය කර තම දරුවා "එලකියුෂන්" පන්තියට රැගෙන ගියේය. 

පහල මධ්‍යම පන්තියේ පහළ කොටසත්, ගොවි - කම්කරු පන්තියත් සිංහලෙන්ම ඉගෙනුම ලද්දේය. 

ලංකාවේ හොඳම සිංහල සාහිත්‍ය කෘති බිහිවුනේ 60-70 දශක වලයි. ඒ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලද පිරිස අතිනි. ඔවුන් ඉංග්‍රීසියේ මෙන්ම සිහල බසෙහිද නිපුණයෝ වුහ. අසුව දශකය පමණ වනතෙක් ලංකාවේ රාජ්‍ය සේවයේ මෙන්ම බොහෝ පෞද්ගලික සේවා ආයතනවලද ඉහළ පුටු දැරුවේ ගම්බද පෙදෙස්වලින් ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා ඉහලට ආ පිරිසයි. 


ක්‍රමයෙන් මෙම පරපුර වඳවී ගියේය. අදවන විට රටේ වැඩි පිරිසකට ඉංග්‍රීසි බස කතා කිරීමට නොහැකිය. සිංහල බසද හරියාකාරයෙන් හැසිරවිය නොහැකිය. අනෙකක් තබා රාජ්‍ය අමාත්‍යංශ වලින් නිකුත් කරණ චක්‍රලේඛන වල පවා සිංහල බස මරා දමා ඇත.

එහෙත් ධනපතියන්ගේද, ඉහල මධ්‍යම පාන්තිකයන්ගේද දරුවෝ මැනවින් ඉංග්‍රීසිය හදාරා රටේ ඉහලම තනතුරුවල රැඳී සිටිති. පහළ මධ්‍යම පන්තියේ ඉහල තලයේ දරුවෝද කෙසේ හෝ මේ ගොඩට බඩගාති. එහෙත් බහුතරයක් වන රටේ ජනතාව සිංහල පමණක් උගෙන නියමාකාර රැකියාවක් නොමැතිව වැලපෙති.  

සරසවි සහ වෙනත් උසස් අධ්‍යාපන සහතික ලබා ගෙන සමාජ ගත වන තරුණ පරපුරේ තත්වයද මෙයයි. ඉංග්‍රීසි බස මැනවින් හසුරුවන එකා ඉහල රැකියාවකට යන අතර එකම සරසවියේ උගෙන ඉහල සාමාර්ථයක් ලබන ඉංග්‍රීසි බැරි එකා කලින් එකාගේ යටතේ රැකියාව කරයි. 


අද අප දකින සමාජ වෛරය මේ අභාග්‍යයේ ප්‍රතිඵලයකි. පෙළපාලි යන සිසුන් කෑගසන්නේ පෞද්ගලික සරසවි ප්‍රමිතිගත කරන්න කියා නොවේ, ඒවා වැසීමට කියාය. ඒවා වැසුවා කියා ධනපති හෝ ඉහළ මධ්‍යම පන්තියට දැනෙන්නේ නැත. ඔවුන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ වෙනත් රටවලය. ඒවායේ ඉගෙනුම අවසන්කර පැමිණෙන විට ඔවුන්ට ඉහල රැකියාවක් සහතිකය. 

මෙරට ඇති පෞද්ගලික සරසවි වලට තම දරුවන් ඇතුල් කරන්නේ අමාරුවෙන් මුදල් සරිකරගන්නා පහළ මධ්‍යම පන්තියේ ඉහල කොටසයි. මේවා වසන්න කියා පහළ මධ්‍යම පන්තියේ පහලින් සහ ගොවි-කම්කරු පන්තියෙන් පැමිණි සරසවි සිසුන් මොර දෙන්නේ ඔවුන්ට යන්තමින් හෝ තරඟ කල හැක්කේ මේ පන්තිය සමග පමණක් බැවිනි. 

මේ අවාසනාවන්ත අසහනකාරී තරඟය ඇතිවන්නේ සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසිය කරන කොටගෙනය. අපි සුද්දාගේ භාෂාව රටේ බහුතරයකගෙන් මකා දමා ඔවුන්ගේ වහල් චින්තනය පමණක් සිංහලෙන් කරගසා ගෙන යමින් සිටිමු. මේ තත්වය ඇති කල දේශපාලකයා අයිති වුනේ ධනපති පන්තියටයි. අද ඔහුගේ අභිප්‍රාය සම්පුර්ණයෙන්ම සාර්ථක වී ඇත.



උගුර ලේ රස වනතුරු කෑගසමින්, පොලිස් බැටන් පහර කමින්, ලේ හලා ගනිමින් ඇදෙන සරසවි සිසුවා දකින මේ ධනපති පන්තිය  "stupid idiots, they are wasting our tax money" යැයි පිළිකුලෙන් පවසති. 

ඒ ගමන්ම තම අධ්‍යාපන කඩවේයිදෝ කියා බියෙන් තැතිගෙන සිටින පෞද්ගලික සරසවි සිසුවා දෙස බලන ඔවුන් "I feel sorry for these poor buggers. They should understand that they cannot reach our levels" යයි ඔලොක්කුවෙන් කියති. 

මේ උභතෝකෝටිකය කෙටි කලකින් විසඳීමත් පහසු නැත. ඉංග්‍රීසිය යලිත් ගමේ පාසලට ගෙනයාමට ඉංග්‍රීසි උගත් ගුරුවරුන් අවශ්‍යය. එබඳු ගුරුවරුන් තැනීමට ගමේ ඉස්කෝලයෙන් ඉංග්‍රීසි උගත් දරුවන් බිහිවිය යුතුය. 

සැමටම කලින් රටේ බහුතරයක් ජනතාවගේ ඇස් පෑදිය යුතුය.