Follow this Blog

Tuesday, 20 December 2016

නුවණක්කාරයාගේ පරිත්‍යාගය හෙවත් ව්‍යාපාරික ආයෝජනය



එක්දහස් නවසිය හැත්තෑව අග භාගයේ අපිට රුපවාහිණි සංස්ථා සංකීර්ණය ලැබුණි. ඒ ජපානයේ පුර්ණ පරිත්‍යාගයක් ලෙසටයි. එවකට සිටි යූ එන් පී  කාරයෝ මහත් අභිමානයෙන් කියා සිටියේ නවසිය පනස් ගණන් වල ජේ ආර් ජයවර්ධන මහතා ජාත්‍යන්තර සමුළුවකදී ජපානය වෙනුවෙන් කී "නහී වේරෙන වෙරාණී..." කතාවක් නිසා ජපනුන් මහත් ආදරයෙන් අපට මෙය පරිත්‍යාග කල බවයි. 

ඒ රුපවාහිනී යන්ත්‍ර නිෂ්පාදන තාක්ෂණය ජර්මානුවන්ගේ අතින් ජපනුන්ගේ අතට හුවමාරු වෙමින් තිබූ කාලයයි. අපට රුපවාහිනී සංස්ථාව ලැබී ඊළඟට ගතවූ වසර දහය තුල ජපන් රූපවාහිනී යන්ත්‍ර ලක්ෂ ගණනක් ලංකාවට ආනයනය විය. ජපන් රජයේ අනුග්‍රහයෙන් රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ පාඨමාලාද එකල පැවැත් වුනි. වසර කිහිපයකින්, රුපවාහිනී සංස්ථා පරිත්‍යාගය මෙන් කිහිප ගුණයක් ජපනා ලාබ ලබන්න ඇත. වසර 35ට පසුත් තවමත් වැඩිපුරම රුපවාහිනී යන්ත්‍ර ලංකාවට පැමිණෙන්නේ ජපානයෙනි. අපි රුපවාහිනියකට සවි කරන ඇණ මුරිච්චියක්වත් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැත.

එක්දහස් නවසිය පනස් ගණන් වල අත්සන් කෙරුණු චීන-ලංකා රබර්-සහල් ගිවිසුම එවකට මෙම රටවල් දෙකම මුහුණ දී සිටි ආර්ථික අර්බුදයට අස්වැසිල්ලක් විය. කිහිප විටක් අවලංගු වෙමින්, ප්‍රතිෂ්ඨාපනය වෙමින් පැවති මෙම ගිවිසුම 70-77 සමගි රජය සමයේදී පුළුල් තලයක නැවත අත්සන් කරන ලදී. අපට චීනෙන් හාල් ලැබුණු අතර අපේ රබර් චීනයට ගියේය. එවකට සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ආඩම්බරයෙන් කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමාජවාදයට බර නිවැරදි ප්‍රතිපත්ති වලට පැහැදී චීනය අපිට මේ මහඟු අවස්ථාව ලබා දුන් බවයි.

ඒ ස්වභාවික රබර් වෙනුවට ඊට වඩා තත්වයෙන් බොහෝ සේ ඉහළ කෘතීම රබර් වෙළඳ පොලට හඳුන්වා දෙමින් සිටි යුගයයි. අපි චීනෙන් සහල් ලැබෙන බැවින් සහල් නිෂ්පාදන තාක්ෂණය වැඩි දියුණු කිරීමට වෙහෙස නොගත්තෙමු. චීනා හැමදාම රබර් ගනීවි යයි සිතමින් තව තවත් රබර් වවා ඊට කිසිඳු අගය එකතු කිරීමක් නොකර චීනයට පැටෙව්වෙමු. අද අපිට රබරුත් නැත, සහලුත් නැත. චීනය අද සහල් නිපදවීම අතින් ලෝකයේ පළමු තැනය. රබර් නිෂ්පාදන අතින්ද ඔවුන් ලොව ඉදිරියෙන්ම සිටියි.


මේ ගැන ලියන්න මට සිතුණේ "චීනාගේ ණය: උගන්ඩාවෙන් කථාවක්" නමින් මා ලියු ලිපියකට පෞද්ගලික ලැබුණු අදහස් කිහිපයක් සහ පලවූ කොමෙන්ටු කිහිපයක් කියවීමෙන් පසුවයි.

බොහෝ දෙනෙක් එක්කෝ චීනයට දොස් පවරා තිබුණි. නොඑසේ නම් චීනයට මා දොස් පැවරුවා යැයි උපකල්පනය කර මට දොස් පවරා තිබුණි. සමහරු කාට දොස් පවරන්නදැයි සිතාගත නොහැකිව අන්ද මන්ද වී සිටි සේයකි. 

ඇත්තෙන්ම අදහස් දැක්වූ බහුතරයකට සිදු වී තිබුණේ පොදු අතපසු වීමකි. සිද්ධිය දෙස විවෘත මනසකින් බලනවා වෙනුවට, ඔවුන් කරන්නේ මේ සිද්ධියේදී තමා කරගසා ගත් හෝ වලදමා පස්වලට යට කරන්න හදන දේශපාලකයාගේ ප්‍රතිරූපයට සිදුවන දේ අනුව තම දැක්ම සකස් කරගැනීමයි. 

ලිපිය පැහැදිලිව කියෙව්වා නම් ඔබට අවබෝධ විය යුතු යයි මා සිතන්නේ මෙම අවාසනාවන්ත තත්වයට චීනය වගකිව යුතු නොවන බවයි. වැරැද්ද ඇත්තේ උගන්ඩාවේ මෙන්ම අපේ රටේද දේශපාලුවා අතයි. මෙම සංසිද්ධියේ ඇති අපුර්වත්වය නම්  දේශපාලකයන් ඔසවා ගත් කිසිවෙකුටත් තමාගේ එකා සුද්ධ කර අනෙකාගේ වතෙහි මඩ තැවරීමට නොහැකි වීමයි. මන්ද සියල්ලෝම එක වලේ මඩ නාන බැවිනි.

ලෝකයේ කිසිඳු රටක් තව රටකට ප්‍රේමාන්විත හදවතින් යමක් ලබා නොදෙයි. සියළු පරිත්‍යාගවල මිලක් සලකුණු කර ඇත. අප කළ යුත්තේ පරිත්‍යාගය ප්‍රතික්ෂේප කිරීම නොව සලකුණු කල මිළ පිළිබඳව සැලකිලිමත් වීමයි. පරිත්‍යාගයක් බැවින් අපට මිළ නොගෙවා සිටීමට හැකියාව තිබේ.

ජපනා රුපවාහිනී සංස්ථාව ලබා දෙන විට, ඊළඟට එළඹෙන දශක කිහිපයේදී ලංකාවේ රුපවාහිනී යන්ත්‍ර කීයක් අළෙවි වෙත්දැයි අපගේ පාලකයන් හෝ අඩුම ගණනේ පෞද්ගලික අංශයවත් සිතුවා නම්? සුළුවට හෝ රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය ඇරඹුවා නම්? අඩුම ගණනේ රුපවාහිනී යන්ත්‍ර සඳහා අමතර කොටස් හෝ නිෂ්පාදනය කිරීමට උනන්දු වුවා නම්? 

"නම්" වැලකි.

නමුත් අපගේ ව්‍යාපාරික ප්‍රජාව සිතුවේ ඉහළම ලාභයක් තමාට ලැබෙන සේ ජපානයෙන් රුපවාහිනී යන්ත්‍ර ආනයනය කරන ආකාරය පිළිබඳවයි. ලංකාවට වඩා ඉතා කුඩා තායිවානය මෙන්ම දකුණු කොරියාවද මෙම ව්‍යාපාරයට අත ගැසුවේ ජපනා හදන රුපවාහිනියට අඩු මිළට අමතර කොටස් නිපදවීමෙනි. අද ඔවුන් ඔවුන්ටම කියා වෙළඳ පොළවල් බිහි කරගෙන ඇත. පසු කාලයක මැලේසියාව, තායිලන්තය වැනි රටවල්ද ඊට එකතු විය. අපි තාමත් එතැනමය.

චීනය අප සමග බලහත්කාරයෙන් ගිවිසුම් අත්සන් කලේ වත් අපට බලෙන් ණය දුන්නේවත් නැත. චීනයෙන් මෙන්ම IMF, WB හරහාද ණය ලබාගෙන ඉතා ඉහල සාර්ථකත්වයක් ලබා ඇති ව්‍යාපෘති ලොව බොහෝ ඇත.

ව්‍යාපෘතිය සාර්ථක වුවද අසාර්ථක වුවද චීනා සාර්ථකය. ව්‍යාපෘතිය සාර්ථක නම් ඔවුනට ලබා දුන් ණයට ඉහල පොලියක් සමග වාරිකය ලැබේ. එවිට ඔවුන් සාර්ථක බැංකු ව්‍යවසායකයන්ය. ව්‍යාපෘතිය අසාර්ථක නම් ඔවුන්ගේ දීර්ඝ කාලීන සැලසුම් ඔවුන් ක්‍රියාවට නංවයි. එයින් ඔවුනට ලැබෙන වාසි බොහෝමය. ව්‍යාපෘතියට ණය ඉල්ලන මුල් අවස්ථාවේම එහි සාර්ථක හෝ අසාර්ථක බාවය පිළිබඳව ඔවුහු නිගමනයකට පැමිණෙති. මේ සඳහා ඔවුනට ව්‍යපෘති යෝජනාව දෙස බැලීමටවත් වුවමන නැත. අවශ්‍යවන්නේ අදාළ රටෙහි සිටින දේශපාලුවන් පිළිබඳව දැනුමයි. 

කලක සිට වතපොතේ පල කරන සමහර පොස්ට් සහ කොමෙන්ටු දෙස බලන විට ඇතිවන්නේ හාස්‍ය මුසු දුකකි. අප රටේ බොහෝ දෙනෙක් සිතා ගෙන ඉන්නේ පට ජාත්‍යන්තර ප්‍රශ්ණයක් පැන නැගුන හොත් අරයා මෙයා "මාර" සපෝර්ට් එකක් දෙතැයි කියාය. එහෙත් තමන්ගේ ඇජෙන්ඩාවෙන් පිට ඔවුන් අඩුම ගණනේ වචනයකින්වත් වෙන රටකට සහයෝගය දෙන්නේ නැත. සමහර විට අහම්බෙන්, යම් දෙන ලද කාල පරාසයකදී අපි වෙනුවෙන් කතා කිරීම ඔවුන්ගේ ඇජෙන්ඩාවේ කොටසක් බවට විය හැක. එවිට අප සිතන්නේ ඒ අපේ ගැලවුම් කරු කියාය. මෙය මහා මුග්ධ කමකි.

මම පහත දැක්වෙන කරුණත් සමග මෙම ලිපිය අවසන් කරන්නම්.

මා යටතේ ආචාර්ය උපාධිය හදාරණ සිසුන් දෙදෙනෙකුම ඉරාකයේ මොසුල් ප්‍රදේශයෙන් පැමිණි අයයි. පසුගිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ මේ දෙදෙනා මා හමුවීමට පැමිණෙන්නේ හවස් වරුවේය. ඊට හේතුව ඔවුන් මැලේසියාවේ වේලාවෙන් පාන්දර 2-3 වනතුරු අවදිව සිටිමින් මොසුල් හි සිටින තම දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන් පිළිබඳව විපරම් කිරීමයි. ඔවුන්ගේ මුහුණුවල මා මේ දිනවල නිරන්තරයෙන් දකින්නේ බිය, සැක, සාංකාව, තැතිගැන්ම ආදී ඍණාත්මක හැගීම් සමුදායකි. 

ඔවුන් මා සමග බෙදාගත් තම ඥාතීන්ගේ අත්දැකීම් කිහිපයක් මම මෙලෙස ලියා තබමි.


මොසුල් ප්‍රදේශයේ සිටින ISIS කැරළි කරුවන් දරුණු ඝාතකයන්ය. ඔවුන් ලේ පිපාසිතව දහස් ගණනක් වැසියන්ව මරා දමයි. එම ප්‍රදේශයෙන් ISIS හමුදා ඉවත් කිරීමට ඉරාක රජයේ හමුදා ගොඩබිමින් සටන් කරන අතර ඇමරිකාව ප්‍රමුඛ යුරෝපිය හමුදා ගුවන් ප්‍රහාර එල්ල කරති. ඒ මුවාවෙන් විදේශ හමුදා වැඩි පුරාම කරන්නේ එහි ඇති ගොඩනැගිලි වලට පහර දීමයි. 

තට්ටු 20ක බිල්ඩිමක සැගවී, එක් ISIS ස්නයිපර් තුවක්කු කරුවෙක් වෙඩි පහර එල්ල කරයි. ගොඩ බිමින් සටන කරන ඉරාක රජයේ හමුදා ඇමරිකන් කඳවුරට පණිවිඩ යවමින් කියා සිටින්නේ එම ස්නයිපර් තුවක්කු කරු ඊළඟ විනාඩි 20-30 ඇතුලත තමන්ට මරා දැමිය හැකි බවයි. එහෙත් විනාඩි පහක් යන්න මත්තෙන් පැමිණෙන ඇමරිකන් ප්‍රහාරක යානා එම ගොඩනැගිල්ල බිමට සමතලා කර දමයි. එක් ISIS සෙබළෙක් පාලමක් උඩ ඇවිදගෙන යාම මුළු පාලමම විනාශ කර දැමීමට ඇමෙරිකන් හමුදාවලට හේතුවකි. 

මෙහෙම කරන්නේ ඇයි? 

පිළිතුර ඉතා සරළය. තව මාස කිහිපයකින් යුද්ධය නිම වනු ඇත. සුන්බුන් බවට පත් වූ ඉරාකයක් ඉතිරි වනු ඇත. පාදමේ සිට නැවතත් මෙම සුවිසල් ගොඩනැගිලි, ඒ තුල තිබිය යුතු උපකරණ ආදී සෑම දෙයක්ම ඉදි කල යුතු වනු ඇත. ඒ සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල කොන්ත්‍රාත් කරුවෝ පැමිණෙනු ඇත. ඔවුන් සුවිසල් මහා නගර තනනු ඇත. පෙට්‍රෝලියම් සම්පතෙන් අනූන ඉරාකය මේ සඳහා ඩොලර් බිලියන ගණනින් ගෙවනු ඇත. ඒ මන්දිර, පාලම්, මහා මාර්ග අතර, අද දින මේ අනාගත ව්‍යාපාර වෙනුවෙන් මිය යන සුවහසක් දරුවන්ගේ, මව් වරුන්ගේ, පිය වරුන්ගේ හඬ නොඇසෙනු ඇත.

තව වසර ගණනකින් නැවතත් ව්‍යසනය එළඹෙනු ඇත. නැවතත් බටහිරයෝ සුන්බුන් අතරින් මහා නගර තනනු ඇත. මෙය නවසිය හැත්තෑ ගණන් වල සිට මැද පෙරදිගකට හුරු පුරුදු කතාන්දරයකි.

ලංකාවට මෙය සිදුවන්නේ නැත. මන්ද අපිට ඒ ගොඩනැගෙන මන්දිර වෙනුවෙන් ගෙවන්න සල්ලි නැත. සල්ලි එන්න තැනකුත් නැත.

නමුත් මගේ කතාව අවසන් වන්නේ මෙතනින් නොවේ. 

මෙම යුද්ධය පිළිබඳව කලක සිට ඇඹරෙමින් සිටි රුසියාව හදිසියේම පෙට්‍රෝලියම් සපිරි සිරියාවෙන් ISIS හමුදා ඉවත්කිරීමට ඉදිරිපත් වෙයි. සිරියාවේ මේ වනවිට සිදුවන ප්‍රහාරයන් සහ යූ ටියුබ් හි ඇති සිරියාවේ අලෙප්පෝ නගරයේ ඛේදවාචකය පෙන්වන ඩ්‍රෝන දර්ශන දුටු විට ඔබට පෙනෙයි කුමක්ද රුසියාවේ අරමුණ කියා?

මැද පෙරදිග සෞභාග්‍ය උලා කෑමට ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන්ට පමණක් නොව රුසියාවටද අයිතියක් ඇත. 




Thursday, 8 December 2016

මා දුටු අවබෝධය


"පිංවතුනි අවබෝධ කරගන්න ලෝකයේ සියලුම දේ නැසෙන සුළු බව". 

යූ ටියුබ් වීඩියෝ පටයෙන් නැගෙන සෝම හිමිගේ ගැඹුරු හඬ මට ඈතින් ඇසෙන්නක් මෙනි. ටික වෙලාවකට මම ජීවිතයේ සැහෙන ඈත අතීතයකට ගියෙමි.

මා කුඩා කල ඉතා ලඟින් ඇසුරු කල මිතුරෙකු විය. මා සිතා සිටියේ ඔහු සදාකාලිකවම මගේ හොඳම මිතුරා වෙතැයි කියාය. අප එකම පාසැලට ගිය අතර ඒ ආගිය ගමන්ද එකටම කෙරුණි. පස් වන ශ්‍රේණියෙන් පසු අප දෙදෙනාගේම පාසැල් වෙනස් වූ අතර අපට යාමට සිදු වුයේද දෙපසකටයි. ඉන් පසු ඔහු වෙනත් කණ්ඩායමකට එක් වූ අතර අපගේ ඇසුර එකවරම දුරස් වී නැතුවම ගියේය. 

මේ ගැන මා ඉතා දුකෙන් පසු වූ අතර අපේ අම්මා දිනක් මා අමතා මෙසේ කීවාය.

"පුතේ ඔයාට මතකද අර ගිය පෝයට අපි සිල් ගන්නකොට නාරද හාමුදුරුවෝ කිව්වා මේ ලෝකේ හැමදේම වෙනස් වෙන සුළුයි කියල"
"ඔව් අම්මේ"
"ඔයාට ඒ කියපු දේ තේරුණාද?"
"ඔව් අම්මේ"
"එහෙනම් ඔයා ඇයි දුක් වෙන්නේ. ඔයාගේ යාළුවත් මේ ලෝකෙම කොටසක්. ඒක නිසා එයා වෙනස් වුණා. ඔයත් ඒ වගේම වෙනස් වෙයි. ඔය ටික ඔයා තේරුම් ගන්න ඕනේ".

මට නාරද හාමුදුරුවන් වගේම  අම්මා පැවසු දෙයද පැහැදිළිවම තේරුම් ගියේය. එහෙත් යහළුවා නැතිවූ දුක නම් කිසි සේත්ම අඩු නොවීය. ජීවිතයේ ගෙවුණු හැම දිනකම පාහේ මේ වෙනස් වීම මම අත්‍ දුටුවෙමි. මිනිසා, සතා සිව්පාවා, ගස් වැල්, මෙන්ම ගල්, වැලි, ලී, ප්ලාස්ටික් ආදී සියලුම සිත්පිත් නැති දේද කාලය සමග වෙනස් විය. ඒ තබා ද්‍රව්‍යමය පැවැත්මක් නොමැති සිතුම්, පැතුම්, හැගීම් පවා අතොරක් නොමැතිව වෙනස් වෙයි. එම වෙනස් වීම් මම මැනවින් තේරුම් ගතිමි. එහෙත් ඒ වෙනස්කම් ගෙන ආ සිනහව මෙන්ම කඳුලද මට පාලනය කරගත නොහැකි විය. වැරදුණේ නාරද හමුදුරුවන්ටද, අපේ අම්මටද, නැත්නම් මටද?

මේ දේ වටහා ගැනීමට මට අඩ සියවසකට ආසන්න කාලයක් ජීවත්වන්නට සිදු විය. 

ජීවිතයක සාර්ථකත්වය පිළබඳව ඉංග්‍රීසි බසින් ලියැවෙන මගේ ඊළඟ පොතෙහි අවසාන පරිච්ඡේද කිහිපය මිනිස් බැදීම් පිළිබඳව සංවාදයක් ගෙනහැර දැක්වීමට මම යොදා ගතිමි. ජීවිතයේ හමුවන අමිහිරි වෙනස් වීම් පිළිබඳව හා ඊට සාර්ථකව මුහුණ දිය හැකි ක්‍රමවේදයන් ගැන මම හදාරන්න වුනෙමි. මුලින්ම ජීවිතයේ මා ලද අත්දැකීම් විග්‍රහයට පාත්‍ර කලෙමි. 

මෙම කර්තව්‍ය මා එදිනෙදා යෙදෙන ඉංජිනේරු පර්යේෂණ කටයුතු වලට වඩා බෙහෙවින් අසීරු විය. එක් පරිච්ඡේදයක් වෙනුවෙන් මට වසරක කාලයක් ගතවිය. ඒ එය ලිවීමට නොව ඒ ගැන සිතීමටය. අන්තිමේදී මා වටහා ගත්තේ ඉතා සරළ වදන් පැටලීමක් නිසා ඊළඟට පියවර තැබිය යුතු මානසික ක්‍රියාවලියක් වෙත අප යාමට උත්සහ නොකරන බැවින් අපට තේරුම් ගත් දෙයින් ප්‍රයෝජන ගත නොහැකි වන බවයි. 

*******************************************

"තේරුම්" ගැනීම සහ "අවබෝධ" කර ගැනීම 

ඉහත වදන් දෙක අප සමාන තේරුම් ඇති වචන ලෙස බොහෝ විට භාවිත කරයි. එහෙත් කාලයක් මේ පිළිබඳව විශ්ලේෂණය කල විට මේ වදන් දෙක තරමක් වෙනස් වූ සංඛල්ප දෙකක් ප්‍රකාශ කිරීමට යොදා ගත හැකි බව මට වැටහුණි. 

තේරුම් ගැනීම යනු යමක් ඇති සැටියෙන් දැකීමයි. මෙම "ඇති සැටිය" ඇති සැටිය වන්නේ යම් රාමුවක් තුල පමණක් බවද කිව යුතුය. තමා යමක් ඇති සැටියෙන් දැක එය පිළිගැනිම (ධාරණය කරගැනීම) අවබෝධ කර ගැනීමයි. මේ අනුව අවබෝධ කරගැනීම, තේරුම් ගැනීමට වඩා පියවරක් ඉදිරියෙන් ඇත. ඒ පියවර කෙතරම් ඈතින් ඇත්දැයි තීරණය වන්නේ යම් කෙනෙකුගේ මානසික මට්ටම අනුවය. 

අප තේරුම් ගන්නා බොහෝ දේ එලෙසින්ම පිළිගැනීමට අප සුදානම් නැත. මේ නිසා අප හුඟක් දේවල් අවබෝධ කරගන්නේ නැත. 

ලබැඳියෙකුගේ වියෝව ලෝක ස්වභාවය ලෙස අපි තේරුම් ගනිමු. එහෙත් එවන් අවස්ථාවක එය පිළිගැනීමට අපි සුදානම් නොවෙමු. වෙනස් වන ලෝකයේ, ආදරය කරුණාව වැනි හැගීම් පවා වෙනස් විය හැකි බව අපි තේරුම් ගනිමු. එහෙත් එය එසේ සිදුවූ විට හැගීම්වල ස්වභාවය එසේ බව පිළිගැනීමට අපි මැලි වෙමු. තමාට සමීපතම ප්‍රියයකුගේ වෙනස් වීමකදී, එය එසේ සිදුවිය නොහැකි යයි ප්‍රතික්ෂේප කිරීමට පවා බොහෝ විට අපගේ සිත පෙළඹේ.  

එපමණක් නොව අදෘෂ්‍යමාන බලවේග, ඇදහිලි, දෙවියන් සහ ලෝකය මැවීම ආදී සමාජීය සහ ආගමික මතවාද පවා යථාර්තයන් නොවන බව අප බොහෝ දෙනෙක් අද පවතින විද්‍යාත්මක රාමුව තුල පැහැදිලිවම තේරුම් ගෙන ඇතැයි මම සිතමි. එහෙත් තමා කුඩාකල සිටම සිරවූ අනෙකුත් රාමු තුළින් එලියට විත් මෙම යථාර්ථයන් අවබෝධ කරගැනීමට බොහෝ දෙනෙක් සුදානම් නැත. 

මේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තත් එය අවබෝධ කරගැනීමට ඇති නොහැකියාව නිසා අපි අපේ සිතේ ඇති සන්සුන් බව සහ සැනසීම නැති කරගනිමු. 

අවශ්‍යතාවයක් ඇත්නම්, යමක් තේරුම් ගැනීම බොහෝ විට පහසුය. වැඩි දෙනෙකුට යමක් තේරුම් ගත නොහැක්කේ, තේරුම් ගැනීමේ ඇති සංකීර්ණ බව නිසා නොව තේරුම් ගැනීමට ඇති අකමැත්ත හෝ වුවමනාවක් නැති කම නිසාය. එහෙත් තේරුම් ගැනීමේ සිට අවබෝධය කරා පියනැගීම සංකීර්ණ මානසික ක්‍රියාවලියකි. එය ප්‍රථම වරට කිරීම අපහසුය. ඒ සඳහා යම් පුරුදු / පුහුණු වීමක් අවශ්‍යය. එහෙත් වරක් අවබෝධ කරගත් පසු එය නැවත නැවත කිරීම අපහසු නැත. 

සියළුම දේ වෙනස් වන බව අවබෝධ කරගත් විට සිතට දැනෙන්නේ ඉතා සැනසිලිදායක සැහැල්ලුවකි. සෝම හිමි මෙන්ම නාරද හිමිද දේශනා කරන්න ඇත්තේ මේ අවබෝධය ගැනයි. 









Tuesday, 22 November 2016

අමානුෂික ට්‍රැෆික් දඩය......




නැවතත් දෙසැම්බරය පැමිණ ඇත. පාර දෙපස හිම කඳු ගොඩ ගැසෙයි. ඝනකම හිම කබාය විනිවිද ඇඟට ඇතුළුවන සීතල සමට ඉඳිකටු අනින්නාක් මෙන් දැනේ. 

මට ගිය දෙසැම්බරය මතක් වෙයි. ස්ටොක්හෝම් නුවර සිටින සිංහල පවුලක් අප කිහිප දෙනෙකුට රාත්‍රී භෝජනයට ආරාධනා කලේ නත්තල් සමයේ ඔවුන් ප්‍රංශයට යාමට සැලසුම් කර සිටි නිසාවෙනි. මට නුවන් හමුවුණේ එහිදීය. ඔහු කිලෝමීටර 150 ක් පමණ දුරක් තම මෝටර් රථය පදවාගෙන සාදයට පැමිණ තිබුණි. 

ස්වීඩනයේ සාදයකට නැතිවම බැරි වොඩ්කා වලින් එම රාත්‍රියද පිරී ඉතිරී ගොස් තිබුණි. තමාට රිය පදවාගෙන යා යුතු බව කියා නුවන් මදු විතින් ඈත්වී සිටියේය. එහෙත් සාදය සංගීතයට පරිවර්තනය වෙත්දී නුවන්ගේ සිල් බිඳුණ බව පෙනුනි. ඔහු වීදුරුවකට පුරවාගත් මත්පැන් මිශ්‍රිත පානයක් තොලගාන්න විය. 

රාත්‍රී 11 පමණ වන විට සාදය නිම වෙමින් පැවතී අතර එකා දෙන්නා පිටව යන්න විය. නුවන්ද තරමක් පමාවී අප සැමට සමු දුන්නේය. කලින් කතා කරගෙන සිටි පරිදි අප සාදය පැවත්වුවන්ගේ නිවසේ එදින රාත්‍රී නතර විය. 

පසුදා උදෑසන අපි නිවැසියන්ට ස්තුති කර අපගේ නිවස කරා යාමට එළියට පිවිසියෙමු. එවිටම වාගේ එම නිවසේ ගේට්ටුව අද්දරම පාරේ නවතා තිබු රථයක පිටුපස අසුනෙන් එලියට බැස්සේ නුවන්ය. ඇස් දෙක පිසදමමින් අප දෙස බලා සිටින නුවන්ගෙන් මම මෙලෙස ඇසුවෙමි.

"ආ නුවන් ඔයා එලි වෙනකම් හිටියේ මෙතනද? ඊයේ රෑ ටෙම්ප මයිනස් 20 විතර නේද තිබුනේ", පෙරදින රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍන 20 පමණ බව ප්‍රවෘති වල වාර්තා විය. 

"චන්දිම, ඊයේ මම පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තනේ. පොලිසියට අහුවුණොත් මාසේ පඩියෙන් භාගයක් ෆයින් එකට යනවා. ඒ මදිවට මාස හයක් ලයිෂන් කැන්සල්. මම කරන්නේ ටුවර් ගයිඩින්. ලයිෂන් කැන්සල් වුනොත් මම හම්ඹ කරලත් ඉවරයි. මෙතන රැයක් නිදියන එක ඊට වඩා දාහෙන් සම්පතයි".

මම කිසිවක් නොකිව්වෙමි.

***************************************

මොනැකෝ සහ මික්‍රොනිසියා යන ඉතා කුඩා රාජ්‍ය දෙක හැරුණු විට ලොව අඩුම මෝටර් රථ අනතුරු ප්‍රමාණයක් වාර්තා වන රට ස්වීඩනයයි. ඒ ඉතා කටුක දේශගුණයක්ද පරදවමිනි.  


  


Monday, 14 November 2016

හොල්මන් අවතාර සහ පාතාලය



1993 වසරේ දෙසැම්බර් 11 වනදා මැලේසියාවේ මෑතකදී වාර්තා වූ විශාලම ඛේදවාචකය සිදුවිය. තට්ටු 12කින් යුත් ගොඩනැගිලි තුනක් සහිත හයිලන්ඩ් නිවාස සංකීර්ණයේ එක් ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටුණි. මෙය 48 දෙනෙකුට මරු කැඳවූ අතර අනෙක් ගොඩනැගිලි දෙකේ පදිංචි නිවැසියන් වහා ඉවත් කරන ලදී. ඉන් අනතුරුව මේ ගොඩනැගිළි ක්‍රමයෙන් වල් බිහිවී භූත මන්දිර බවට පත්විය.

නොබෝදා නැවතත් මෙම නිවාස සංකීර්ණය පිළිබඳව කතා බහ ඇතිවන්නේ ඒවා තම අධිරාජ්‍ය කරගත් අපරාධ විශාල ප්‍රමාණයකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කිහිප දෙනෙක් එහිදී පොලිස් වෙඩි පහර වලින් මිය යාමත් සමගය. ප්‍රදේශයේ සිවිල් ජනතාව ඉන් අනතුරුව විශාල උද්ඝෝෂණයක් කරමින් පසුගිය දශකයකට අධික කාලයක් තමා මේ නිවාස සංකීර්ණයට අරක් ගත් අපරාධ කරුවන්ගෙන් විශාල ලෙස පීඩා විඳින බව පවසමින් එම ගොඩනැගිළි සම්පුර්ණයෙන්ම කඩා ඉවත් කරන්න යැයි රජයට බල කරන්න විය. 


මට සිහිවන්නේ මීට වසර තිස් පහකට පමණ පෙර කැලණිය සරසවියේ (මට මතක ඇති විදියට) සමාජ විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් සිදු කල ගවේෂණයකි. මේ පිළිබඳව සති අන්ත පුවත් පතක පලවූ පරිදි ඔවුන් හොල්මන් අවතාර වලට ප්‍රසිද්ධ ලංකාවේ ගම් කිහිපයක් තෝරා ගෙන මෙම අදෘශ්‍යමාන බලවේගවල පසුබිම ගවේෂණය කර ඇත. ඔවුන්ගේ නිගමනය වී තිබුණේ මෙම සංසිද්ධි 100% ම ප්‍රදේශයේ සොරුන්, මංකොල්ල කරුවන්, වැලි සහ දැව ජාවාරම් කරුවන්, ගංජා හේන් වවන්නන්, හොරෙන් පතල් කපන්නන්, දඩ මස් වෙළෙන්දන්, කාම විකෘතිතාවලින් පෙළෙන්නන් ආදී සමාජ විරෝධී කටයුතු වල යෙදෙන්නන් විසින් ගොතන ලද ප්‍රබන්ධ බවයි. ප්‍රදේශයේ සිටින කට්ටඩියන් සහ දේවාලවල කපුවන් මීට පොහොර එකතු කරයි. 


බොහෝ ගම් වල අබිලිං මාමලා දෙතුන් දෙනෙක්වත් සිටින බැවින් ගම බිය වැද්දීම ඉතා පහසුය. අපරාධ කරුවන්ගේ අරමුණ ගම්වැසියන් තම සමාජ විරෝධී කලාප සහ එම කටයුතු සිදු කරන කාල පරාසයන්ගෙන් ඈත් කර නිවාස අඩස්සියේ තැබීමයි.  එය කට්ටඩියන්ට, කපුවන්ට මුදලක් සොයාගත හැකි ක්‍රමවේදයක් බැවින් ඔවුන්ගේ සහය ඊට නොමදව ලැබේ. අබිලින් මාමලා තම චෛතසික තෘප්තිය උදෙසා මේ අපරාධයට හවුල් වෙති. භූතයන්, ප්‍රේතයන් නගරබදට වඩා ගම්බදට විශාල ඇල්මක් දක්වන්නේ මේ නිසා විය හැක. 

මීට පසු ඔබේ ප්‍රදේශයේ අදෘශ්‍යමාන බලවේගයක් පිළිබඳව ආරංචියක් ලැබුණු විට ඔබ කල යුත්තේ කට්ටඩියන්, කපුවන් සොයාගෙන යාම නොව වහාම පොලිසියට දැනුම් දීමයි.  


Monday, 7 November 2016

අශ්වයන් පුහුණු කිරීම හෙවත් අධ්‍යාපනයේ අවුල් ජාලය



ලංකාවේ ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනයේ අවුල් ජාලය ගැන නම් සම්පුර්ණ පොතක් ලිවිය හැකි තරමට කරුණු තිබේ. එහෙත් මේ කතා කරන්නේ උපකාරක පංති (Tuition) පිළිබඳව මීට ටික කලකට පෙර සිදුවූ මිතුරු සංවාදයකදී මතුවූ කරුණක් ගැනයි. එහිදී බොහෝ දෙනෙකුගේ අදහස වුයේ පාසලේදී ලබා දෙන අධ්‍යාපනයේ බොහෝ අඩුපාඩු ඇති බැවින් ටියුෂන් පංති හරහා සිසුන්ගේ දැණුම පුළුල් කරගැනීමට දෙමව්පියන්ට සිදුවන බවයි.  

නමුත් මගේ අදහස ඊට වඩා වෙනස් විය. ලංකාවේ ටියුෂන් කලාව පිළිබඳව මට ඇත්තේ හොඳ දැනීමකි. ඒ මාද කුඩා කල පටන් ජීවිතේ සැහෙන දුරක් එම වෘතියේ විවිධ තලවල ක්‍රියාකාරී වූ බැවිනි. 

අද දෙමව්පියන් දරුවන්ව උපකාරක පංති වලට යොමු කරන්නේ තරඟකාරිත්වයේ පීඩනය දරාගත නොහැකි බැවිනි. මට සහතික කල හැක්කේ ලංකාවේ කිසිම සාර්ථක ටියුෂන් ගුරුවරයෙකු සිසුන්ට ඔය දෙමව්පියන් පවසන විෂය දැණුම හෝ සිතීමේ සහ විශ්ලේෂණය කිරීමේ ශක්තිය ලබා නොදෙන බවයි. ඔවුන් කරන්නේ හුදෙක් සිසුවා සාර්ථකව විභාගයට මුහුණ දිය හැකි පරිදි පුහුණු කිරීමයි. මෙය දරුවාගේ මොළය පරිඝනකගත කිරීමකට හෝ අශ්වයෙකු වේගයෙන් දිවවීමට පුහුණු කරනවාට වඩා වෙනස් නැත. මේ පුහුණුව ලබා දිය නොහැකි නම් ඔබ කොපමණ හොඳ අධ්‍යපනඥයෙක් වුවත් ටියුෂන් ගුරුවරයෙකු ලෙස අසාර්ථක වනු ඇත. මා මෙම ක්ෂේත්‍රයේ දකින යථාර්තය එයයි. 


මෙහිදී ඇතිවන ජාතික ගැටලුව වන්නේ මෙම අධ්‍යාපන ක්‍රමය විසින් බිහි කරන දරුවා රටට අවශ්‍ය ප්‍රයෝගික සේවය ලබා නොදී ජීවිත කාලයම කාගේ හෝ මග පෙන්වීම ඔස්සේ හැල්මේ දිව යන මගක් සෙවීමයි. නිතර සිදුවන රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ මේ මතය සනාථ කරයි. සරසවියෙන් පිටවන ඔවුන් සෑම විටම අසරුවෙක් සොයයි. අසරුවා ලබා නොදීම ගැන රජයට දොස් කියයි. අසරුවා පිට නංවා ගත් කල ඔහු අණ දෙන ආකාරයට ජීවිත කාලයම එක එල්ලේ දිව යයි. 

මේ අනර්ථකාරී ජාතික රෝගී තත්වය මැඩලීමට නොහැකිවන තාක් කල් අප රටේ දහසකුත් ප්‍රශ්න එලෙසම පවතිනු ඇත. ලාංකීය පාසැල් අධ්‍යාපනයේ නොයෙකුත් අඩුපාඩු තිබුනත් මා දන්නා තරමින් එය ලෝකයේ බොහෝ රටවලට වඩා ඉදිරියෙන් පවතියි. එබැවින් වහාම කලයුත්තේ මේ අනවශ්‍ය තරඟකාරී අධ්‍යාපන රටාව වෙනස් කිරීමයි. පාසැල් අධ්‍යාපනයේ අඩු පාඩු කම් පිළිසකර කිරීම කෙරේ දෙවනුවට අවධානය යොමු කල හැක.

ඒ සඳහා කලයුතු දෙය තීරණය කල යුත්තේ අධ්‍යාපනය මෙන්ම තාක්ෂණය, සමාජ විද්‍යාව සහ ආර්ථිකය ගැනද මනා දැනුමක් ඇති පරිපුර්ණ විද්වත් මණ්ඩලයක් මගිනි. දේශපාලුවා එතැනටද ඇඟිල්ල ගැසීමට යාමෙන් තත්වය තවත් බරපතල විය හැක. 


Saturday, 22 October 2016

The Dark Side of Medical Science


වෛද්‍ය විද්‍යාවේ කළුවර පැත්ත 


එඩ්වර්ඩ් ජෙනර්, ලුවී පාස්චර්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්, රොබට් කොක්, ජෝනාස් සොල්ක්, ජෝසෆ් ලිස්ටර්...... මේ ඔබ කුඩා කල අසා පුරුදු නම් වැලක කොටසකි. 

මේ අය ජීවත් වුයේ 18-19 ශත වර්ෂ වලයි. කිහිප දෙනෙක් 19 වන ශත වර්ෂය දකින්නට වාසනා කර තිබුණි. ඔවුන් සියළු දෙනාම අප දන්නේ මිළියන ගණනක් රෝගීන් සුවපත් කිරීමට දායක වූ ජීවකයන් ලෙසයි. ඔවුන්ගේ සොයා ගැනීම්, ඔවුන් මිය ගොස් සියවස් ගණනාවක් යන තුරුම සතට සෙත සලසයි. ලෝකයේ මිනිසුන් වන්දනා මාන කරන ආගම් කර්තෘවරු කී දෙනෙකුගෙන් මේ සේවය සිදුවී ඇත්දැයි ඔබම කල්පනා කර බලන්න.

වසර 1940 වන විට ලෝකයේ එවකට පැවති සෑම රෝගයකටම පාහේ බෙහෙත් සොයාගෙන තිබුණි. වසුරිය, පෝලියෝ, කහ උණ, කළු උණ, මහාමාරිය, මැලේරියාව, ක්‍ෂය රෝගය ආදී නම් වැලක් ඒ අතර වෙයි. මෙයින් සමහර ලෙඩ රෝග මේ වන විට මුළු ලෝකයෙන්ම තුරන් වී ඇත. 


ඉහත නම් සඳහන් විද්‍යාඥයින් පර්යේෂණ සිදු කලේ කුමන පහසුකම් සහිතවදැයි සොයා බැලීම වටීයි. ඔවුන්ගේ පර්යේෂණාගාර අද පවතින පහසුකම් සහ තාක්ෂණික උපාංග සමග සැසඳූ විට හාස්‍ය ජනකය. අද පාසල් විද්‍යාගාර පවා ඒවාට වඩා ඉදිරියෙන් ඇත. මේ අයගෙන් සමහරක් දෙනා මූලික පර්යේෂණ සිදු කලේ තම නිවසේ ඉහල මාලයේ වූ කුඩා කාමරයක, මුළුතැන් ගෙයි හෝ අශ්ව ඉස්තාලයේ බව ඔවුන්ගේ ජීවිත කථා වල සඳහන් කර ඇත. මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ ඔවුහු මිනිස් වර්ගයා වෙනුවෙන් තම යුතුකම් ඉටු කළෝය.

1940-60 යුගය අඳුරු කාල පරිච්චේදයක් විය. දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට සහ ඉන් අනතුරුව බිඳුණු ලෝක ආර්ථිකය නැංවීමට බොහෝ රටවල කාලය සහ ශ්‍රමය වැය විය. 1960 න් පසු අද වන විට වසර 56 ක් ගතවී ඇත. ලොව පුරා විද්වතුන් කණ්ඩායම් දහස් ගණනක් ඖෂධ වර්ග පිළිබඳව පරීක්‍ෂණ මෙහෙයවයි. ඔවුන් වෙනුවෙන් මහත් ධනස්කන්ධයක් පොම්ප කෙරෙමින් පවතී. තම පර්යේෂණ කටයුතු සඳහා මෙම විද්‍යාඥයන්ට ඇති පහසුකම්, තාක්‍ෂණය, ක්‍රමවේද එඩ්වර්ඩ් ජෙනර්ලා තම අභාව්‍යමය සිහිනවල වත් දකින්නට නැත. එහෙත් ලොව මේ කාල පරාසය තුල මිලියන ගණනක් මිනිසුන් පීඩාවට සහ මරණයට පත් කල ප්‍රධාන රෝග ත්‍රිත්වය, HIV, පිළිකාව සහ දියවැඩියාව සම්පුර්ණයෙන් සුවකිරීමට තවමත් පැහැදිළි අත්දුටු ප්‍රතිකර්මයක් සොයාගෙන නැත.

නමුත් මෙම රෝගියෙකු තවත් එක දවසක් ජීවත් කල හැකි තාවකාලික ඖෂධ වර්ග සහ ප්‍රතිකාරක ක්‍රම දිනපතා වෙළද පොලට හඳුන්වා දෙනු ලැබෙයි. ඔබට මුදල් ඇත්නම් තව දිනකට මෙලොව එළිය දැකිය හැක. නො එසේ නම් ඔබ මිය යනු ඇත. වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය ඔබව සුවපත් කිරීමට නොව ඔබ අපහසුවකින් තොරව සදාකාලික රෝගියකු ලෙස පවත්වාගෙන යාමයි.



Thursday, 13 October 2016

එට්කා විරෝධය සහ ඉන්දීයානු විරෝධය





මෑතකදී එක් ආචාර්යවරයෙක් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එට්කා විරෝධය යනු නොදැනුවත්කම බවයි. ඔහු සමග කල සම්පුර්ණ සංවාදය කියවූ පසු මට හැඟී ගියේ ඔහු වුවමනාවෙන්ම සියල්ලම පටලවා අන්තිමේදී කිසිම ගතයුත්තක් නැති වචන මාලාවක් පවසා ලිස්සා ගොස් ඇති බවයි. මෙය අනිවාර්යයෙන්ම ඔහුගේ නොදැනුවත්කම නම් නොවේ. 

එට්කා ගිවිසුම පිළිබඳව මා හරියටම නොදනී. මා තබා රටේ ඉතා අතලොස්සක් හැර කිසිම කෙනෙක් මේ ගැන හරියටම දන්නා බවක් නොපෙනේ. සියල්ලෝම අඳුරේ අත පත ගායි. නොදන්නා යමක් ගැන පැවසීමත් එතරම් ගුණදායක නොවේ. එහෙත් නේපාලය, බංග්ලාදේශය, භූතානය වැනි රටවල් ඉන්දියාව සමග ගිවිසුම් ගතව අද පත්ව ඇති තත්වය දෙස බලන විට පවතින ආර්ථික පරිසරය තුල කුමන හෝ ආකාරයක බාධක-හල භාණ්ඩ හා සේවා හුවමාරු ගිවිසුමකට යාම ලංකාවට ඉතා අවාසිදායක බව නම් ආර්ථික විද්‍යාව ගැන එතරම් දැනුමක් නැත්තෙකුට වුවද අවබෝධ වන බව මගේ හැඟීමයි. මීට අමතරව මෙතෙක්  මෙම ගිවිසුමට පක්‍ෂ කිසිම කෙනෙකුගෙන් මම මෙයින් ලංකාවට ඇතිවන වාසි පිළිබඳව නිවැරදි සරල පැහැදිලි කිරීමක් නොසුවෙමි. අනෙක් අතට මෙම ගිවිසුමට එරෙහි වන්නන් බොහෝ දෙනෙකු ඉදිරිපත් කරන කරුණු සෑහෙන දුරකට  තර්කානුකුල බව මට හැඟෙයි.  මා එට්කා ගිවිසුමට එරෙහි වන්නේ මේ පදනමේ සිටයි. 

ඉන්දියාව සමග නොව කළාපයේ අනෙකුත් සියලුම රටවල් සමග වුවද නොයෙකුත් ගණුදෙනු උදෙසා ගිවිසුම් ගත වීම යුගයේ අවශ්‍යතාවයකි. විශේෂයෙන්ම කළාපීය යෝධයෙකු අසල සිටින විට ඔහු හා සබැඳියාවෙන් කටයුතු කිරීම නුවණක්කාර කමකි. එහෙත් ගිවිසුම් ගත වූ පසු තමන් සිටින තැනිනුත් පහලට වැටේ නම් එවන් ගිවිසුමකින්  ඈත් වී සිටීම රාජතාන්ත්‍රිකත්‍වයේ පරිණතභාවය පෙන්නුම් කරයි.  



අප රටේ ඉතිහාසය පුරාම අපි ඉන්දියාවෙන් බොහෝ දේ ගත්තෙමු. නමුත් අන් කවර කලෙකටත් වඩා අද අපි ඔවුන්ගෙන් දේවල් ගනිමින් සිටිමු. මා මේ පිළිබඳව අනෙක වාරයක් ලියා ඇත. කාන්තා ජාතික ඇඳුම හෙවත් සාරිය 100%  පාහේ ඉන්දියාවෙන් ආනයනය කරයි. අඩුම තරමින් අපේ හාමුදුරු නමක් අඳින අඳන-කඩය වත් ලංකාවේ සාදන්නේ නැත. එය එන්නේද ඉන්දියාවෙනි. දුප්පතාගේ රථය, බජාජ් ත්‍රී වීලරය එන්නේ ඉන්දියාවෙනි. පිටකොටුව-ආර්ථිකය සම්පුර්ණයෙන්ම පාළනය කරන්නේ ඉන්දියන් ජාතිකයන්ය. ඔබ නොදන්නවාට හොද්දට දාන කහ කුඩු ටිකේ සිට වැඩට යන අශෝක් ලේලන්ඩ් බසය හරහා ජීවිතයේ සෑම අංගයක්ම පවත්වාගෙන යාමේ භාණ්ඩ සහ සේවා වැඩි හරියක් අපි ඉන්දියාවෙන් ලබා ගන්නෙමු. 

අනෙක් අතට ලංකාවෙන් හිරමනයක්වත් ඉන්දියාවට අපනයනය කෙරේදැයි සැක සහිතය. අපට ඉතා අවාසි සහගත මේ වෙළඳ ගනුදෙනු සිදුවන්නේ කිසිඳු ගිවිසුමකින් තොරවය. තවත් ගිවිසුමකින් වන්නේ මහා පරිමාණයෙන් අඩු වේතනයට සේවා ලබා දෙන පහල තලයේ ශ්‍රමිකයන් රටට ඇතුල් වීම පමණි. ඉහල පෙලේ වෘත්තීය විශේෂඥයෙකුට ඉන්දියාවේ පෞද්ගලික අංශය මසකට ගෙවන වේතනය ලංකාවේ ආයතනයකට වසර දෙකකටවත් ගෙවිය නොහැක. මේ නිසා එබඳු විශේෂඥයන් මෙම ගිවිසුම මගින් ලංකාවට ගෙන්වාගත හැකැයි සිතීම විහිළුවකි.  

අප මේ පවත්නා ලෝක සහ කලාපිය ආර්ථික පරිසරය තුල සැලකිය යුතු වේගයකින් ඉදිරියට යාමට නම් අප සිටින තත්වයත් කලාපයේ අනෙක් රටවල් වල තත්වයත් පිළිබඳව මනා දැනුමකින් කටයුතු කලයුතුය. මෙම අවබෝධය පාලකයාගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ ඔලුවල පමණක් නොව සාමාන්‍ය ජන විඥානය තුළද සැබෑ ලෙසම ඇති විය යුතුය.

ඉන්දියාව යනු ලෝකයේ අධිකතම ජනගහණ ඝනත්වයක් ඇති රටකි. සීමිත සම්පත් ප්‍රමානයක් සමග ඔවුන් යන ගමනේදී රටේ සැහෙන ජන කොටසකගේ  අධ්‍යාපනය, පෝෂණය, සෞඛ්‍යය සහ නිවාස වැනි මුලික අවශ්‍යතා සපුරා ලීම වුවද විශාල අභියෝගයකි. මෙහිදී ඇතිවන අඩු පාඩු සහ දුර්වලතා හාස්‍යයට ලක් කිරීම බොහෝ විට සිදුවන්නේ බටහිර මාධ්‍ය හරහාය. ඒ ඔස්සේ යමින් අපිද බටහිරයා සමග සිටගෙන ඉන්දියාවට සිනාසෙමු. එහෙත් අපි නොසිතන කරුණ නම් බටහිරයාට ඉන්දියාව සහ ලංකාව අතර වෙනසක් නොමැති බවයි. ඔවුහු අපටද එලෙසම සිනාසෙති. 

ඔබ වනාතමුල්ල මුඩුක්කු පෙලට ගොස් ඇත්නම්, ඔබ ඉන්දියාවට සිනාසෙන්නේ නැත. කුණුවෙන්න ආසන්න පළතුරු වට්ටිය දාහේ, දෙදාහේ කොළවලට හුවමාරු වෙන කතරගම පුජා භූමියෙන් සැතපුම් 10 ක් ඈතට යන විට දිනකට රුපියල් සියයකවත් ආදායමක් නොලබන කෙසඟ මිනිසුන් සිටින පැල්පත් ඇති බව ඔබ අමතක කරයි. 




අනෙක් අතට ඉන්දියාව තාක්ෂණික සහ ආර්ථික අංශ වලින් ශ්‍රී ලංකාවට වඩා ආලෝක වර්ෂ කිහිපයක් ඉදිරියෙන් සිටින බව බොහෝ දෙනෙකු නොදනී. වසරකට තමිල්නාඩුවේ පමණක් නිපදවෙන ඉන්දීය නොවන වාහන (යුරෝපීය, ඇමරිකානු, ජපන්, කොරියානු ආදී) ප්‍රමාණය ලංකාවට වසරක් තුල ආනයනය කරන මුළු වාහන ප්‍රමාණය මෙන් විසි ගුණයකට වඩා වැඩිය. මුළු ලංකාවම තොරතුරු තාක්ෂණයෙන් (IT Industry) ලබන ආදායම, බැංගලෝර් නගරය එමගින් ලබන ආදායමෙන් 10%ත් වඩා අඩුය. මේ ගැන තව දුරටත් කරුණු අවශ්‍ය නම්  ගුගුල් සෙව්මක් මගින් දත්ත හරියටම සොයාගත හැක. 

කල යුත්තේ ඉන්දියාව හෝ වෙනත් ඕනෑම රටක් සමග විසංවාදයකට අවතීර්ණ වීම නොව උපක්‍රමිකව එම රටවල් සතු දැනුම සහ තාක්ෂණය ලබා ගැනීමත්, එම රටවල වෙළඳ පොලට ඇතුළු විය හැකි නව මං පෙත් සොයා ගැනීමත්ය. 

සරළ උදාහරණයක් දෙනවා නම් ඉන්දියාවේ ඇති බොහෝ ඉන්දීය-යුරෝපීය හවුල් ව්‍යාපාරවල කර්මාන්ත අංශයෙහි තත්ත්ව සහ ප්‍රමිති පාලනයේ ඉහලම ධූරයක ශ්‍රී ලාංකිකයෙකු සිටින බව මම නිරීක්ෂණය කර ඇත්තෙමි. මීට හේතුව ලෙස මා දකිනුයේ, කලාපයේ වෙනත් රටවලට වඩා ශ්‍රී ලාංකිකයා තුල නිමැයුම් අවසානය (product finishing) ඉතා හොඳින් කිරීමට ඇති විඥානාත්මක උනන්දුවයි. මෙය යුරෝපියයා මැනවින් අවබෝධ කරගෙන ඇත. බංග්ලාදේශයේ කර්මාන්ත ශාලා වලද මම මේ තත්වය නිරීක්ෂණය කලෙමි. එහෙත් අපේ රටේ කී දෙනෙක් මෙම ලංකාවට ආවේනික වූ හැකියාව හඳුනාගෙන විදේශ ශ්‍රම වෙළඳපොල ජයගැනීමට කටයුතු කරනවා ඇත්ද? 



මා දින කිහිපයකට පෙර වතපොතේ ලංකාවේ ඇති ජල ප්‍රශ්ණය පිළිබඳව ලිපියක් පළ කරමින් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය මෙයට දී ඇති විසඳුම් සඳහන් කලෙමි. එය විශාල වාර ගණනක් ෂෙයාර් වෙමින් පවතින අතර මා එම අඩවි වල මෙම ලිපියට දැක්වූ අදහස් කියවුයෙමි. කිහිපදෙනෙකුම අපේ අතීතයේ වාරි කර්මාන්තයේ තිබු ශ්‍රී විභුතියත්, මහා පරාක්‍රමබාහු රජු ඉන්දියාවට වැව් පොකුණු සෑදීම කියා දුන් අකාරයත් පිලිබඳ සඳහන් කර තිබුණේ ලිපියේ ඇති කරුණු වලට දෝෂාරෝපණයක් ද එක් කරමිනි. 

මට මතක් වන්නේ මෑතකදී ඉතා ප්‍රසිද්ධියට පත් ටෙලි නාටකයක චරිතයකි. එම චරිතය මේ වන විට පාර්ලිමේන්තුවටද ගොස් ඇත. හීං බබා සීයා වර්තමාන සිංහල ජාතියේ කැඩපත බඳුය.  තම අසරණකම මෙන්ම නොහැකියාවද ඔහු තුනී කරගන්නේ තම නැසී ගිය පියාගේ පුරාජේරුව මෙනෙහි කිරීමෙනි. එය හීං බබා සීයාගේ සිතට නිවනකි. එහෙත් ඉන් ඔබ්බට එම සිතිවිලිවලින් කිසිදු සුගතියක් වර්තමානයට නොලැබේ. සිදු වන්නේ ඔහු කොල්ලෝ කුරුට්ටන්ගේ හාස්‍යයට ලක්වීම පමණි. 

අතීතයේ බැඳී වැව් පොකුණු ගැන පාරම් බෑමෙන් වර්තමානයට කිසිඳු යහපතක් නොවේ. 

තව ටික කාලයකින් ඌවට වසිනු ඇත. නියගයක් තිබුණා වත්දැයි අපට අමතක වනු ඇත. වසර දෙක තුනකින් නැවත නියගය පැමිණෙනු ඇත. සරසවි නැවතත් වසනු ඇත. අප නැවතත් මුතුන් මිත්තන් ගැන පම්පෝරි ගසනු ඇත. 


ගංවතුර ගැනද එසේමය. මීට මාස කිහිපයකට උඩදී මුළු කොළඹම යටවී විනාශයක් සිදු වුවා කිසිවෙකුටත් දැන් මතක නැත. එබඳු අවස්ථාවක් නැවත එළඹුන හොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කිසිඳු වගකිව යුත්තෙක් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. 

ගංවතුර නැවත පැමිණෙනු ඇත. දහස් ගණනක් අවතැන් වනු ඇත. අවතැන් නොවුවෝ නිවසේ සිට රූපවාහිනියෙන් ව්‍යසනය නරඹමින් කෙසෙල් ගෙඩි බෙදන පොලිටික්කන්ට සරදම් කරනු ඇත.....


**************************************************
මීට ටික කලකට පෙර මා උපදේශක කටයුත්තක් සඳහා චෙන්නායි නගරයට ගොස් සිටියදී අදාළ ආයතනය මගින් මට තාවකාලිකව දෙන ලද කාර්යාලයේදී මාත් මගේ ඉන්දියානු මිතුරෙකුත් අතර රසවත් දෙබසක් ඇතිවිය.

සවස වැඩ කටයුතු නිමවීමෙන් පසුව ලංකාවේ එදින සිදුවීම් වෙබ් පිටු හරහා නැරඹීම මගේ පුරුද්ද විය. ඉතා සෙමෙන් ස්පීකරය දමාගෙන මා ප්‍රවෘති කොටස් බලන අතර මගේ මිතුරා පැමිණ යාබද අසුනේ වාඩිවී මගේ කොම්පියුටර් තිරය දෙසට එබුණේය. මේ අවස්ථාවේ මා නරඹමින් සිටියේ එදින කොළඹ පැවති ඉන්දීය විරෝධී රැලියකට නායකත්වය දුන් ලංකාවේ "ප්‍රකට" දේශපාලකයෙක් අතින් ගත් ශබ්ද විකාශන යන්ත්‍රයකින් ගිරිය පුප්පා ඉන්දියාවට බැන වදින ආකාරයයි. 

"මොකද මේ හාදය මේතරම් තරහෙන් කෑගහන්නේ?" මගේ මිතුරා ඇසීය.

"ඔහු ඉන්දියාවට බැන වදිනවා ලංකාවේ වැඩ වලට අත පොවනවා කියලා" මම සිනාසෙමින් ඔහුට ඇත්තම කීවේ ඔහු මගේ ඉතා කුලුපඟු මිතුරෙකු බැවිනි. 

"ආ එක බොහොම රසවත් දෙයක්". ඔහු මගේ අසුනේම කොනක ඉඳගෙන ඉතා උනන්දුවෙන් දේශපාලකයාව නිරීක්ෂණය කරන්න විය.

"චන්දිම මෙතන පොඩි කොස්සක් තියෙනවා. මෙයා ඉන්දියාවට බනින්නේ ඉන්දියාවේම හදපු ස්පීකර් එකකින්නේ". ඔහු දේශපාලකයා අත වූ ශබ්ද විකාශන යන්ත්‍රයේ වෙළඳ නාමය හඳුනා ගනිමින් කීවේ මහා හඬින් සිනාසෙමිනි. රැස්වීමෙන් අනතුරුව සහභාගී වූ සමහරු බජාජ් ත්‍රිරෝද රථවල එල්ලී කොඩි වන වනා ගමන් කරණු පෙන්වන ලදී...... 






Friday, 16 September 2016

ගුණරත්නලාගේ ලෝකය





ඒ 99 වසරේ අන්තිම මාස කිහිපයයි. නිවසේ සැලැස්මට අලුතින් එක් කල කුඩා කොටසකට අනුමැතිය ලබා ගැනීමට මට ඊට අදාළ පළාත් පාලන ආයතනයට යාමට සිදු විය.

දින දෙකක් මගේ සියළු රාජකාරී කටයුතු කල් දමාගෙන අදාළ කාර්යාලයට ගියත් ඉතා සරළ කටයුත්තක් වූ මගේ අවශ්‍යතාවය සම්පුර්ණ කරගත නොහැකි විය. තෙවන දින මා මෝටර් රථය අසල රථ ගාලක නවත්වා පිටතට පැමිණෙන විට තවත් රථයක් අසළ සිටි, දැක පුරුදු ඇති අයෙක්, සිනහවක් මුව රඳවාගෙන මා අසලට පැමිණියේය.

"චන්දිම ගෝමස් නේද?"

කලකට පෙර, එනම් 88-89 කලබල සමයේ, වසර දෙක තුනකට සරසවි වසා දැමුණු බැවින් මම වරළත් ඉංජිනේරු පාඨමාලාව හැදෑරීමට වැල්ලවත්තේ සංගම් ආයතනයට ගියෙමි. මොහොමඩ් නමීස් එම පාඨමාලාවම හැදෑරු මගේ හොඳම මිතුරෙකු විය.

"මචං නමීස්, දැක්ක කල්, කොහොමද ජීවිතේ". මා කලකින් දුටු මිතුරා සමග ආ ගිය තොරතුරු කතා කරන්න විය. අවසානයේ ඔහු මා පැමිණි කාරණය විමසුවේය.

"චන්දිම, ඔය වැඩේ හරි සිම්පල්. ඔතන ඉන්නවා ගුණරත්න කියල හාදයෙක්. මිනිහට රුපියල් දෙසීයක් අත මිට මෙලෙව්වම පැයෙන් වැඩේ කරනවා. එහෙම කලේ නැත්නම් ෆයිල් යට ගහනවා, ඩොකියුමන්ට් මිස් ප්ලේස් කරනවා..... එක විකාරයි. මම දැන් තුන් හතර පාරක් මිනිහට කියල වැඩ කරවගත්ත". නමීස් සුපුරුදු විනෝදශීලි වාග් විලාශයෙන් මට ඉතා වටිනා උපදේශයක් දුන්නේය.

මට ගුණරත්න පසුගිය දෙවරම හමු වූ බව සිහිවිය. කවුන්ටරයේ සිටින නිලධාරිනියගෙන් මගේ අවශ්‍යතාවය පිළිබඳව විමසූ විට "පොඩ්ඩක් අර ගුණරත්නගෙන් අහන්න" කියා ඇය මාව ඔහු වෙතට යොමු කරයි.

"ඒ වැඩේ තාම කෙරිලා නැහැ". මේ ගුණරත්නගේ සුපුරුදු පිළිතුරයි.

"මේක හරි පොඩි වැඩක්නේ, ඇයි මෙච්චර පරක්කු වෙන්නේ".

"ඒක මම දන්නේ නැහැ. ඕවා අනුමත කරන්නේ අපේ සෙක්ෂන් එකෙන් නෙවෙයි. මම කරන්නේ ෆයිල් එක නියමිත තැන් වලට ගෙනියන එක විතරයි". දෙවෙනි දින ගුණරත්න නොසැලකිලිමත් ආකාරයෙන් මට බුරා පැන්නා මතකය.

කොතරම් කරදරයක් වුවත්, පගාව දීම මා පිළිකුල් කල දෙයක් බැවින් නමීස්ගේ වටිනා උපදේශය මම බැහැර කලෙමි. ඒ වෙනුවෙන් මට මාස ගණනක් එම පළාත් පාලන ආයතනයට යාමට සිදු විය. ඒ පාඩුව රුපියල් දහස් ගණනක් වන්නට ඇත.

මේ සඳහා මා ගිය එක් දිනක අදාළ කවුන්ටරයේ නිලධාරිණිය නොසිටි බැවින් තේ කෝප්පයක් බීම සඳහා මම අසළ භෝජනාගාරයකට ගියෙමි.

යාබද මේසයේ තරමක් උස් හඬින් ලොකු සාකච්චාවකි.

"අපේ රට කන්නේ ඔය හම්බ හැත්ත. ඕකුන්ව ඉක්මනින් නැති කලේ නැත්නම් සිංහල ජාතියත් ඉවරයි, බුද්ධාගමත් ඉවරයි" තුන් හතර දෙනෙක්ව වටකරගෙන සිංහ ගර්ජනාව නගන්නේ ගුණරත්නයන්ය.

ඉන් පසු ගතවූ වසර 15 දී ගුණරත්නලා දහස් ගණනක් ලංකාවේ බිහිවිය. ඉන්දියාවෙන් ගෙන්වන බජාජ් ත්‍රීවීලරයේ පිටුපස, චීනයේ මුද්‍රිත "සිංහලේ" ස්ටිකරය ගසාගෙන යන කොළු ගැටයාගේ සිට UNO කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාස කරන විමල් වීරවංශ දක්වා වූ මේ සියළු ගුණරත්නලා සිංහල ජාතියත් බුදු දහමත් බේරා ගැනීමට අවි අමෝරාගෙන සිටිති. එහෙත් බේරාගන්න දඟලන කාරණා දෙකම දිනෙන් දින අභාවයටම යයි.

කොතැනක හෝ සියළුම දේ වැරදී ඇත.


ඉහත දැක්වෙන්නේ 1965 අගෝස්තු 10 වනදා මැලේසියාවේ පලවන ප්‍රධාන පුවත්පතක මුල් පිටුවයි. සිංගප්පුරුව බලහත්කාරයෙන්ම මැලේසියාවෙන් පිටමං කල දිනට පසුදායි. කිසිඳු ඵලදායි ආදායම් මාර්ගයක් තබා බොන්නට වතුර පොදක් හෝ නොමැති බිම් කඩක මිලියන දෙකකට ආසන්න බඩගිනි හමුදාවකගේ නායකයා ලෙස ඔටුනු පැළඳි ලී ක්වාන් යූ දින හතක් තිස්සේ කුසට නිසි අහරක් නොගෙන තම කුටියට වැදී කල්පනා කරන්න වන්නේය. එවකට මැලේසියාවේ බ්‍රිතාන්‍යය තානාපතිවරයා ලී ගේ කිට්ටු මිත්‍රයකු විය. ඔහුගේ දැඩි ඉල්ලීමට හා බ්‍රිතාන්‍යයේ සහයෝගය ලැබෙන බවට කල සහතිකයකින් පසු ලී තම ජනතාව ඉදිරියට පැමිණියේය. ඔහු තම ජනතාව මත දැඩි කොන්දේසි දෙකක් පැමිණ වුයේ එය පිළිපදින්නේ නම් පමණක් තමා රට ගොඩනගන්න ඉදිරිපත් වන බව කියමිනි. 

ඉන් පළමුවැන්න නම් රටේ කිසිඳු ජාතිවාදයක් නොතිබිය යුතු බවයි.

දෙවැන්න නම් රටේ දුෂණය ශුන්‍ය විය යුතු බවයි.

ඔහු තම ගමන ගියේය. ජනතාව ඔහු පසු පසින් ආවේය. ලී බ්‍රිතාන්‍යයෙන් හෝ වෙනත් කිසිඳු රටකින් ආධාර ඉල්ලුවේ නැත. ඔහු ඉල්ලුවේ ආයෝජනයන්ය. ඒ වෙනුවෙන් ඔහු එම රටවලට දුෂණයෙන් සහ වාර්ගික අසමගියෙන් තොර රටක් සහ ජාතියක් ලබා දුනි. අද සිංගප්පුරුව කොතැනදැයි මා අමුතුවෙන් කිවයුතු නැත. ලී මිය යන විට ඔහු ඇතුළු ඔහුගේ මුළු හත්මුතු පරම්පරාවම සිංගප්පුරුවේ සිටින ඉහලම ධනවතුන්ය. එහෙත් කිසිඳු සිංගප්පුරු වැසියෙකු ඔහුට වරදක් නොකියයි. මන්ද ඔහු තම පවුලට කරගත්තේ රටම ගොඩ ගැනීමෙන් පසුව වීමයි. පොලියට ණය ගෙන එම මුදලෙන් පමණක් නොව පොලිය ගෙවීමට පොලියට ගන්නා ණය මුදලෙන්ද වැඩි ප්‍රමාණයක් සාක්කුවේ දා ගන්නා අපේ රටේ දේශපාලකයා සහ ලී ක්වාන් යූ අතර ඇති වෙනස මෙයයි. 

අද සිංගප්පුරුවේ සිටින චීන සම්භවය ඇත්තෝ තම සියලු සංස්කෘතික අංගයන් ඉතා හොඳින් රැකගෙන යති. මුස්ලිම් භක්තික මැලේවරුන්ද, හින්දු භක්තික ද්‍රවිඩයන්ද, සෑම වර්ගයකටම අයත් ක්‍රිස්තියානි භක්තිකයන්ද සිය අනන්‍යතාවයන් ඉතා හොඳින් පවත්වාගෙන යති. එහෙත් තම සිංගප්පුරු ජාතිකත්වය ඒ සැමටම ඉහලින් ඔවුන් ඔසවා  තබති.  


මෑතකදී මා යූ ටියුබ් හරහා ලංකාවේ පැවතී රසවත් රුපවාහිනී සාකච්චාවක් නැරඹීය. එම සාකච්චාවේ මාතෘකාව වුයේ පෙරහරට අලි යොදා ගැනීම පිළිබඳවයි. මෙහිදී සහභාගී වූ දියවඩන නිලමේ වරයෙක් සහ ඇත් හිමියෙක් පුන පුනා කියා සිටියේ පෙරහැර පැවැත්වීමට අලි මදි බැවින් බැවින් කැලයෙන් අලි අල්ලා ගැනීමට රජය අවසර දිය යුතු බවයි.

මෙයට සහභාගී වූ තරුණ පරිසරවේදීන් දෙදෙනෙක් ඉතා හොඳ තර්කයක් ගොඩ නගමින් කියා සිටියේ පින්නවල ඇත් අභිජනන මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කල හැකි බවත් ඉහල කුලවල ඇතුන් අවශ්‍ය නම් ඇත් හිමියන් තමා සතුව ඇති එම වර්ග වල ඇතුන් අභිජනනය සඳහා ලබා දිය යුතු බවත්ය. තව දුරටත් කරුණු දැක් වූ ඔවුන් කියා සිටියේ මද කිපෙන කාලයට කලයුත්තේ ඇතා බැඳ දැමීම නොව සුදුසු ඇතින්නක් ලබා දීම බවයි. පසුගිය දශක ගණනාව තුල මෙය ඉටු කරා නම් මේ වන විට රටේ කිසිම ඇත් හිඟයක් ඇති නොවන බවද ඔවුන් පැවසුවේය. මෑතකදී කොරියාවේ සත්ව උද්‍යානයකට ලංකාවෙන් ලබා දුන් ඇත් යුවලකගෙන් මේ වන විටත් පැටවෙක් ලබාගෙන ඇති බව ඔවුන් පැහැදිලි කළේය.

ලංකාවේ බොහෝ ඇත් හිමියන් අධිමානයෙන් හිස් උදුම්මා ගත් වලව්කාරයන් පිරිසක් බව කවුරුත් දන්නා කරුණකි. එසේම ඔවුන් තමා සතුව ඇති කිසිම ඉහල කුලයක ඇතෙක් අභිජනනය සඳහා ලබා දීමට අකමැති බවද නොරහසකි. ඒ තමාගේ අභිමානය නැතිවේ යැයි යන බයට විය හැක. ඔවුන්ට අවශ්‍යය "ඒ කුලයේ ඇතෙකු සිටින්නේ අපේ වලව්වේ පමණයි" කියා කීමට පමණි.

ඉහත කාරණා රටම ඉදිරියේ ඔප්පු කරමින් ඇත් හිමියන් දෙදෙනා, විශේෂයෙන්ම අහංකාර පරවශව කතා කල නිලමේ වරයා, තාර්කිකත්වය පසෙක තබමින් කිසිඳු තේරුමක් නැති ප්‍රලාප කියමින් පරිසරවේදීන් දෙදෙනාට පහර දෙන්න විය. අවසානයේදී කීමට කිසිවක් නොමැති වූ විට නිලමේ වරයා අද රටේ සුපුරුදු කුණු කාණුවට වැටුනේය. "සිංහල ජාතිය, බුද්ධාගම විනාශ කරන්න ආපු ඩොලර් කාක්කෝ, කුමන්ත්‍රණ කාරයෝ, විදේශ බළල් අත්" ආදී වදන් වලින් පරිසර වේදීන් දෙදෙනාට ඔහු ඉතා පහත් අන්දමින් බැන වැදුනේය. මා මේ අවස්ථාවේදී එම වැඩසටහන වසා දැමුවේ තවත් ඒ සඳහා කාලය මිඩංගු කිරීම අපරාදයක් යැයි සිතුන බැවිනි.

සිංහල ජාතිය සහ බුද්ධාගම අද බැරිකම සහ හොරකම වසා ගැනීමේ රෙද්ද බවට පත්වී ඇත. 


අපට වරදින්න පටන් ගත්තේ සුද්දා යාමටත් දශක කිහිපයකට පෙර සිටමය. සිංහල-දෙමළ කියා වෙනසක් නොමැතිව අප යායුතු මග අනාගත්තේය. බෙදා පාලනය කිරීමේදී පාලකයාට වන පහසුව යුරෝපියයා දැන සිටියේ සැහෙන කලක සිටය. නමුත් අපට වරදින්න වුයේ මේ බෙදා පාලනය කිරීම අපේ දේසපාලුවා බදා ගත් දා සිටය. තමා ගන්නා සෑම වැරදි දේශපාලන තීන්දුවකටම, තමා සිදු කරන සෑම දූෂණයකටම, භීෂනයකටම, වංචාවකටම, රට-ජාතිය-ආගම (ත්‍රිත්වය) පෙන්නා මහජනතාවගෙන් ෂේප් වීමට දේශපාලකයා පුරුදු වුනේ පසුගිය සියවසේ මුල් භාගයේ සිටමය. අවාසනාව වුයේ ජනතාවද ගොනාට ඇඳ ස්ව-කැමැත්තෙන්ම කරත්තයේ බැඳ ගැනීමයි. 

පළාත් පාලන ආයතනයේ ගුණරත්න මේ සමාජයේ අහම්බයක් නොවේ. එය දශක ගණනාවක් පුරා ජනතාව තුල ඇතිවූ සංකල්පමය වර්ධනයක ප්‍රතිඵලයකි.

දේශපාලුවාගේ දුෂණ වැඩිවීමට සමගාමිව ඔහුගේ ත්‍රිත්වයට ඇති ආලයද වැඩි විය. අද එය කුටප්‍රාප්තියට පැමිණ ඇත. පොඩ්ඩක් විපරම් කළහොත් අද ත්‍රිත්වය බේරා ගැනීම වෙනුවෙන් වැඩියෙන්ම කෑගසන්නේ වැඩියෙන්ම දුෂණයේ යෙදුනු එකා බව ඔබට පැහැදිලි වනු ඇත (ඔබත් කරත්තයේ බැඳ නැත්නම්).

ගුණරත්නට සිතන්න පුරුදු කර ඇත්තේ ඔහු අගයන දේශපාලුවා වීමට ඇති ඉඩකඩ බොහෝය. ඔහු ජාතිය හෝ ආගම ගැන සැබෑවටම සිතනවා නම් ඔහුගේ සමාජීය / අධ්‍යාපනික මට්ටමින් අපට බලාපොරොත්තු විය හැක්කේ රාජකාරියේදී ඔහු අන්‍ය-ආගමිකයන්ට නොසලකා සිංහල-බෞද්ධයාට ඉහල සේවයක් ලබා දීමයි. මෙය කිසිසේත් අනුමත කල නොහැකි තත්වයක් වුවත් ඔහු එබඳු මානසික ව්‍යුහයක සිටිනවා නම් මනා දැනුවත් කිරීමක් මගින් ඔහුව පහසුවෙන් යහ මගට ගත හැක. 

එහෙත් "පගාව" නම් මඩ ගොහොරුවේදී ගුණරත්නට තමා ඉදිරියේ සිටින්නේ විමලසිරිද, ගනේෂන්ද, මොහොමඩ්ද, බෙන්ජමින්ද කියා වෙනසක් නැත. මෙය ඔහුගේ ප්‍රියතම දේශපාලුවා ඔහුට ලබා දෙන ආදර්ශයයි. අද ත්‍රිත්වය ගැන වේදිකාවේ, රූපවාහිණියේ බෙරිහන් දෙන වැඩි දෙනාගේ පාතාලය සහ නීති විරෝධී කටයුතු මෙහෙයවන්නන් බොහෝ විට අන්‍ය-ආගමිකයන් සහ අන්‍ය-ජාතිකයන් බව ඉඳ හිට කරලියට පැමිණෙන සිද්ධි මාලාවන්ගෙන් පෙනී යයි.        

තම වර්ගයා සමග ජිවත් වීමට ඇති කැමැත්ත, මෙන්ම තම වර්ගයාගේ සෞභාග්‍යය වර්ධනය වීම දැකීමට ඇති කැමැත්තද බොහෝ මිනිසුන්ට පොදු කරුණකි. ඔවුන් කල්ලි ගැසෙමින් අනෙක් වර්ගයාට එරෙහිව කටයුතු කරන්නේද එබැවිනි. 

එහෙත් මා "සිංහල" වර්ගයා තුල මේ හැසිරීමද දැක නැත. වෙනත් රටවලට සංක්‍රමණය වූ ඉන්දියානුවෝ සහ පකිස්ථානුවෝ බොහෝ විට එක් ප්‍රදේශයකට ගාල් වෙමින් තම ආධිපත්‍ය වර්ධනය කරගන්නා අතර මට හමුවූ බොහෝ සිංහලයෝ තවත් සිංහලයෙක් කිට්ටුව පාතකට එනවාටවත් කැමති නැත. තව සිංහලයෙක් තබා තම සහෝදරයා එකම නගරයේ පදිංචියට පැමිණෙන බැවින් වෙනත් ප්‍රාන්තයක පදිංචියට ගිය සිංහලයන් පිළිබඳවද මම පෞද්ගලිකව දනිමි.  

මේ ලිපිය කියවන ඔබ අනිවාර්යයෙන්ම සිංහලයෙකු වනු ඇති බැවින් "තම වර්ගයාගේ සෞභාග්‍යය වර්ධනය වීම දැකීමට සිංහලයාගේ ඇති කැමැත්ත" පිළිබඳව මා අමුතුවෙන් ඔබට කිව යුතු නැත.


බෞද්ධ දෙමාපියනට දාව උපන් මා කුඩා කල සිටම බෞද්ධයෙකු ලෙස ලෝකයා හැඳින්වීය. එහෙත් මගේ දෙමාපියෝ නිදහස් මනස්ධාරින් වීමට තරම් මා භාග්‍යවන්ත විය. ඔවුන් මගේ දර්ශණය මටම තෝරාගැනීමට අවස්ථාව ලබාදුන්නේය. එහි ප්‍රතිඵලය වුයේ මා ලංකාවේ පවතින ප්‍රධාන ආගම් සතරම යම් තාක් ගැඹුරකට හැදෑරීමයි. හැදෑරුවා පමණක් නොව මම යම් යම් කාල වකවානුවල එම ආගම් තුල ජීවත් වුනෙමි. අවසානයේදී මගේ නිගමනය වුයේ බෞද්ධ දෙමාපියනට දාව මා ඉපදීම අති-වාසනාවක් බවයි. 

සමුද්දේශ රාමුවකින් පිටතට විත් ලෝකය දෙස බැලීමට තරම් මනරම් අවස්ථාවක් අනෙක් බොහෝ ආගම් වලට අයත් දෙමාපියනට දාව ඉපදෙන දරුවෙකුට ලැබෙන්නේ කලාතුරකින් බව මගේ නිරීක්ෂණයයි.  මා මේ ගැන මිතුරු චීන ජාතිකයෙකුට පැවසු කල ඔහු කියා සිටියේ මා වැරදි බවත් නිදහස් චින්තකයන්ට (free thinkers) දාව උපදින දරුවන්ට ඊට වඩා නිදහසේ සිතන්න අවස්ථාව ලැබෙන බවත්ය. සෑහෙන නිදහස් චින්තකයන් පිරිසක් ඇසුරු කර ඇති මට ඔහුගේ ප්‍රකාශය නිවැරදි නොවන බව පෙනෙයි. මේ නිදහස් චින්තකයන් යයි කියා ගන්නා බොහෝ දෙනා තවත් ස්වයං රාමුවක හිරවෙයි. ඔවුන් සියලු ආගම් දෙස බලන්නේ සැකයෙන් සහ අවඥාවෙනි. මෙය නිදහස් චින්තනයෙන් බොහෝ සේ ඈත වුවකි.  


මා ඉහත සඳහන කලේ බෞද්ධ සමාජයකට මා දක්වන ඇල්ම පිළිබඳව පෞද්ගලික මතය පැවසීමටයි. ලංකාවේ බෞද්ධ සමාජයක් පැවතීම ම අගය කරමි. සැබෑ බෞද්ධ සමාජයක සියළු සත්වයෝ නිදුක් වෙති, සියලු දෙන අනෙකාගේ අභිවෘද්ධිය පතති, ජනතාව අසීමිත ආශාවන් පිටුපස ලුහු නොබඳිති...... මන්ද ඒ සියලු කාරණාවන්ගේ ප්‍රතිඵලය සමස්ත සමාජයේම සෞභාග්‍යයට හේතු වන බැවිනි. 

එබඳු සමාජයක් නැතිවී යාම සංවේගයට කරුණකි. මේ වෙනුවෙන් බුද්ධාගම රැක ගැනීමට ඔබ ඉදිරිපත් වෙනවා නම් එය මහත් පුණ්‍යකර්මයකි. ඒ සඳහා කලයුත්තේ කුමක්දැයි මේ ලිපිය සිහි බුද්ධියෙන් කියවූ ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි වනු ඇත. ඒ නිසා මම "යා යුතු මග" කුමක් දැයි පුන පුනා නොකියමි.

අවාසනාවකට අද බොහෝ දෙනෙක් රට-ජාතිය-ආගම බේරාගන්න යැයි කියමින් සිදු කරන්නේ දුෂිත දේශපාලුවාගේ අනාරක්ෂිත අනාගතය සුරක්ෂිත කර දීමයි.

.................................................................................................

නියමිත ගාස්තුව අය කර මාර්ග නීති පිළිපදිමින් මගියෙකුට සේවය ලබාදීමට වඩා වාහනයේ පිටුපස "සිංහලේ" ස්ටිකරයක් අලවාගෙන සිටීම ත්‍රිරෝ රථ රියදුරාට පහසුය. 

නිසි ලෙස රාජකාරිය ඉටු කරමින් ජනතාවට සතුටුදායක සේවයක් ලබා දීමට වඩා කැන්ටිමේදී, බස් රියේදී රට ජාතිය බේරාගැනීමට සිංහ ගර්ජනා නැගීම රජයේ සේවකයාට පහසුය. 

තම වර්ගයාගේම සුබ සිද්ධිය තකා නැති බැරි එකාට අත හිත දෙනවාට වඩා වතපොතේ "සිංහල ජාතිය, බුද්ධාගම, පර හම්බයන්ගෙන් බේරා ගනිව්" කියා පෝස්ට් පල කිරීම සිංහල බෞද්ධයාට පහසුය. 

පහසු දේවල් තිබියදී අපහසු දේවල් කරන්න යයි කියන එකා විදේශ බළල් අත් වලින් නැටවෙන, ඩොලර් වලට වහල් වූ, කුමන්ත්‍රණ කාරයෙක් වීමට ඇති ඉඩකඩ බොහෝය. 




Wednesday, 14 September 2016

පොලිස් කොත්තුව



චමින්ද හා හා පුරා කියල වැඩට ආවේ එදා. පන්නිපිටිය පැත්තේ දිවා රාත්‍රී කෑම සපයන කඩේක. මිනිහගේ රාජකාරිය වුනේ එන කට්ටිය කෑම කාල ඉවර වුනහම ඉඳුල් පිගන් ටික ගෙනියල සුද්ධ පවිත්‍ර කරන එක. ඔන්න මිනිහා පිගන් දෙක තුනකුයි දීසියකුයි ගෙනල්ල එකේ තියන ඉතුරුවෙච්ච කෑම ටික කුස්සිය අයිනේ තිබුණ කුණු බාල්දියට හලන්න හදනවා. 

එතකොටම කඩේ හැම වැඩකටම ඇඟිල්ල දාන මුදලාලිගේ ඥාතියෙක් වෙන ඇන්ටන් අයියා දුවගෙන ආව.

"චමින්ද මල්ලි ඕකේ ඔය මාළු කෑල්ලෙන් බාගයකටත් වඩා ඉතුරු කරලා නේද. අපෝ ඒක විසි කරන්න එපා අර පොලිස් පෙට්ටියට දාන්න". 

ඇන්ටන් අයියා කුණු බක්කිය ළඟ තිබුණ කාඩ්බෝර්ඩ් පෙට්ටිය පෙන්නුවා. එකේ අපිරිසිඳු පාට ප්ලාස්ටික් භාජන හතරක් පහක් තියෙනවා. 

"මේක ඉතුරුවෙන මාළුවලට, මේක චිකන් වලට, මේක ගෝදම්බර රොටී කෑලි වලට, මේක බත්වලට, මේක ඉතුරු වෙන කොත්තු වලට" ඇන්ටන් අයියා කියාගෙන යනවා.

"ඒ මොකටද අයියේ" චමින්ද යටහත් පහත්ව ඇහුවා.

"මේකනේ මල්ලී. රෑට පැට්ටෝල් යන පොලිස් කාරයෝ සෙට් එකක් එනවා. බඩ පැලෙනකම් කාලා සත පහක් දෙන්නේ නැතුව යනවා. සල්ලි ඉල්ලුවොත් අපිටයි කන්න වෙන්නේ. ඒක නිසා උන්ට ඕවගෙන් තමයි කොත්තු, නාසි එහෙම හදල දෙන්නේ. රෑ දහයෙන් විතර පස්සේ ඉතුරුවෙන ටී, ප්ලේන් ටී එහෙමත් එකතු කරන්න ඕනේ".

"චිකන් කොත්තු, මාළු කොත්තු එහෙම වෙන වෙනම එකතු කරන්න ඕනෙද?"

"අපෝ නැහැ මල්ලි, මික්ස් කොත්තු වලට පොලිස් මෑන්ස්ලගෙන් පුල් ඩිමාන්" 

...............................................................................................

නිළතල මගින් ඔබට බොහෝ දේ නොමිළේ ලබාගත හැක... 
ඔව් බොහෝ දේ...





Friday, 19 August 2016

මගේ උණ



ඒ 90 දශකයේ අවසාන භාගයයි.  මම සියළු අධ්‍යාපන කටයුතු නිම කොට ලංකාවට පැමිණ කොළඹ සරසවියේ ජේෂ්ඨ කථිකාචාර්ය ධූරයේ ස්ථිර පත්වීම ලැබුවෙමි.  ඒ වන විට මා ජීවිතයේ තෙවන දශකය පසු කර තිබුණි.

ස්වීඩනයේ ගත කල කාලයේදී මා දුටු එහි වැසියාගේ සෞභාග්‍යයත්, සැහැල්ලු විවේකී ජීවන රටාවත්, මානසික සුවයත් ලක් වැසියාටත් ලබා දීමට උවමනා නොවේදැයි මගේ සිතුවිලි මට නිරන්තරයෙන් වධ දෙන්න විය. මෙය දරුණු උණ රෝගයක් බව තේරුම් ගැනීමට මට තවත් සෑහෙන කාලයක් ගත විය.

දෙදහසේ මුල් දශකය ලංකාවේ ගත කිරීමට ලැබීම ජීවිතයේ ලද විශාල භාග්‍යයක් යයි මම සිතමි. ඒ ජීවිතය පිලිබඳ, ආචාර්ය උපාධි තුනකින් වත් ලබාගත නොහැකි දැනුම් සම්භාරයක් රැස් කරගැනීමට මට ඒ කාලය තුල හැකිවූ බැවිනි. 

ඒ වකවානුවේදී සිදුවූ එක් සිදුවීමක් මට තවමත් මතකය. 

අකුණු ආරක්ෂණ දැනුම ව්‍යාප්ත කිරීම සඳහා කිහිප වරක් බංග්ලාදේශයේ සංචාරය කල මට එහි ජීවන රටාවේ ස්වභාවය අනුව දියත් කල හැකි ව්‍යපෘති කිහිපයක් පිළිබඳව යෝජනා මාලාවක් ගොඩ නැගීමට හැකිවිය.

ඉන් එකක් නම් තෝරාගත් ජන සමුහයකට ඔවුන්ට අත්‍යාවශ්‍ය වූ සේවාවන් ලබාදීම සඳහා එම සමුහයෙන්ම තෝරාගත් ව්‍යවසායකයන් පිරිසක් පුහුණු කර ඔවුනට ව්‍යාපාරයක් ඇරඹීම සඳහා ණය මුදලක් ලබා දීමයි. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය නොවන සංවිධානයක් හරහා දියත් වූ අතර ව්‍යාපාර ඇරඹීමෙන් පසු ඒවායේ ප්‍රගති නියාමනයද එම සංවිධානය මගින් සිදු විය. 

එක් උදාහරණයක් ලෙස බංග්ලාදේශයේ ඇති විශාල ජලාශ ආශ්‍රිතව සිදුවන මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සලකමු (මෙම උදාහරණය ගත්තේ එය පසු විස්තරයකටද අවශ්‍ය බැවිනි). 

මෙම කර්මාන්තය කෙරෙන්නේ ගම්මානයක හෝ ගම්මාන කිහිපයක ජීවත්වන ධීවරයන්, සමුහයක් වශයෙනි. මෙහිදී අප ධීවර ගම්මාන කිහිපයක අවශ්‍යතාවයන් හදුනා ගෙන (එම ගම්මාන තුල සති දෙකක් පමණ රා.නො.ස. යේ පිරිසක් රැදී සිට ලබා ගන්නා දත්ත අනුව) එහි සිටින තෝරාගත් ව්‍යවසායකයන් පිරිසකට ධීවර අංශයේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා පුහුණුව ලබාදෙනු ලැබේ. 

මෙම පුහුණුව ලබා දෙන විෂය පථය ප්‍රදේශයේ අවශ්‍යතාවය අනුව වෙනස් වේ. එයට දැල් ආම්පන්න අලුත්වැඩියාව, බෝට්ටු සහ ඔරු අලුත් වැඩියාව, ශීතාගාර අලුත් වැඩියාව, ධීවර මලු තැනීම, මත්ස්‍ය වියලනය සඳහා විජලක සහ වියලන කුටි සෑදීම, කෙටි දුර මත්ස්‍ය ප්‍රවාහණය සඳහා එන්ජින් රහිත වාහන සෑදීම ආදී පුළුල් පරාසයක ක්‍රියාකාරකම් ඇතුලත් වේ. පුහුණුවෙන් පසුව ග්‍රාමීන් බැංකුව හරහා ව්‍යාපාරික ණයක් ගැනීමටද රා.නො.ස. ය කැප වී කටයුතු කරයි. 

මෙම ව්‍යාපෘතිය අති සාර්ථක වෙමින් බංග්ලාදේශයේ ක්‍රියාත්මක වූ අතර කැනේඩියානු රජයේ ආධාරද ඒ සඳහා ලබාගැනීමට මගේ ඉතා කිට්ටු මිතුරෙකු වූ මෙම ව්‍යාපාරය දියත් කල බංගලාදේශයේ ටාරා ආයතනයේ සභාපති ආචාර්ය මුනීර් අහමඩ් සමත් විය.

මගේ සහජාත දරුවකු වූ මෙම ව්‍යාපෘතිය ලංකාවේද දියත් කිරීමට මට දැඩි ලෙස උවමනා විය. එවන විට මම ශ්‍රී ලංකා ජාතික විද්‍යා හා තාක්‍ෂණික ආයතනයේ (NASTEC) ක්‍රියාත්මක වන තරුණ විද්‍යාඥයන්ගේ පර්ෂදයේ (YSF) සභාපති වරයා ලෙස කටයුතු කලෙමි. NASTEC ආයතනයේ එවකට අධ්‍යක්ෂක ලෙස කටයුතු කලේ ආචාර්ය නොබෙල් ජයසූරිය මහතාය. 

මා මේ පිළිබඳව පැවසු විට ඉතා උනන්දුවෙන් අසා සිටි එතුමා පසුදාම මා කැටිව එවකට විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යවරයාව සිටි ආචාර්ය තිස්ස විතාරණ මහතා හමු වීමට ගියේය. කලින් NASTEC ආයතනයේ සභාපතිවරයාව සිටි බැවින් තිස්ස විතාරණ මහතාව මා පෙර සිටම දැන සිටියෙමි. 

නියාමක ව්‍යාපෘතියක් ලෙස දකුණු පළාතේ ධීවර ගම්මානයක් හෝ ගම්මාන කිහිපයක් තෝරාගෙන ව්‍යවසායක පුහුණුව ලබා දීම සඳහා සකස් කල සවිස්තරාත්මක ව්‍යපෘති යෝජනාවක් මා අත විය. ඊට අවශ්‍ය විදේශ ආධාර ලබා ගැනීමට පවා සැලැස්මක් මා එවන විටත් සකස් කර තිබුණි. 

මගේ යෝජනාව ඉතා ඉහළින් පිළිගත් ඇමතිතුමා ප්‍රකාශ කලේ, හිතවතුන් තරහ නොකරගෙන එය ක්‍රියාත්මක කරමු කියාය. එබැවින් මේ සඳහා දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශ නියෝජනය කල එවකට ධීවර ඇමතිවරයාගේ අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඔහු යෝජනා කළේය. 

ඉන් පසුව තිස්ස විතාරණ මහතාගේ උපදෙස් හා යොමු කිරීම් සමග මම ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා හමු වීමට ගියෙමි. ඔහුට මා මෙම ව්‍යාපෘතිය පිළිබඳව විස්තර කර දකුණු පළාතේ ගම්මාන කිහිපයක සතියක පමණ කාලයක් නිරීක්ෂණ චාරිකාවක් කල යුතු බව පැවසුවෙමි. 

"හා එහෙම නම් ඔයා මේ මාසේ අන්තිමට ලැහැස්ති වෙන්නකෝ යන්න. මම ට්‍රාන්ස්පෝර්ට්, ෆුඩ් ඇන්ඩ් ලොජින් අරේන්ජ් කරන්නම්" ඔහු එතරම් උනන්දුවක් නැතුව ප්‍රකාශ කළේය. 

ගමනට දින කිහිපයක් තබා මම ධීවර අමාත්‍යංශයට නැවතත් පිය නැගුවේ ගමනේ විස්තර ස්ථිර කර ගැනීමටයි. 

"ආ ඔයා අර රස්සාවල් දෙන්න යෝජනා කරන එක්කෙනා නේද? ඔයා එන සෙනසුරාද යන්න මාතර අපේ වෙහිකල් එකේ. එහෙ අපේ ඇමති තුමාගේ සංවිධායක ඔයාව අවශ්‍ය තැන් වලට එක්ක යයි. සඳුදට කොළඹ එන වාහනේක එන්න පුළුවන්".

"මේ සර්වේ එක දවස් දෙකකින් නම් කරන්න බැහැ. අඩුම ගණනේ දවස් පහක්වත් එහෙ ඉන්න ඕනේ".

"ඔයා මේ එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඇමතිතුමාගේ උපදෙස් පිට ගමේ සියයකට දෙසීයකට විතර රස්සාවල් දෙනවා කියල එහෙ මිනිස්සුන්ට කිව්වහම ඇති. ඕනේ නම් කියන්න අපි රස්සාව කරගෙන යන්න මාස් පතා මුදලකුත් දෙනවා කියල". 

මා ඒ ගමන යෑම තබා නැවතත් ඒ අමාත්‍යාංශය පැත්තටවත් ගියේ නැත. කළකිරිම කොතරම්ද යත් එම ව්‍යපෘති යෝජනාවේ මෘදු කොපිය පැවති pre-Pentium පරිඝනකය අභාවයට යද්දී එහි කොපියක් ලබා ගැනීමටවත් මට උනන්දුවක් නොවීය. 

ඒ ව්‍යාපෘතිය ඉවත දැමුවත් මගේ උණ රෝගයේ අඩු වීමක් සිදු වුයේ නැත. ලංකාවේ වැසියන් වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු යුතුකම් බොහෝ සෙයින් ඇති බව මට නැවත නැවත මෙනෙහි විය.  

ගතවූ එම දශකය තුල මා අමාත්‍යංශ කිහිපයකම ව්‍යපෘති වලට උදව් කලෙමි. කොමිෂන් සභා ගණනාවක වැඩ කලෙමි. ජාතික ප්‍රතිපත්ති කිහිපයක්ම ගොඩනැගීමට කර දුන්නෙමි. සමහර ආයතනවල මෙම කාර්යයන් සඳහා ගෙවීම කේක් කෑල්ලක්, කට්ලට් එකක් සමග තේ කෝප්පයකි. NASTEC, TRC වැනි ආයතනවල මීට අමතරව එක් හමුවකට රු. 500 - 1000 පමණ ලබා දුනි. මේ හැම දෙයකින්ම මම අතිශයින් තෘප්තිමත් වුනෙමි. කථිකාචාර්යවරයෙකු ලෙසත් අකුණු ආරක්ෂණ තාක්ෂණය පිළිබඳව ඉංජිනේරු උපදේශකයෙකු ලෙසත් මට හොඳ ජීවන තත්වයක් තිබුණි. එබැවින් ස්වේච්ඡා සේවයේ යෙදීමෙන් මම ආත්ම තෘප්තිය ඇරෙන්න කිසිවක් නොපැතුවෙමි.

එහෙත් අමාත්‍යංශ මට්ටමේ කටයුතු වලදී ඇතිවුනේ බොහෝ විට කලකිරීමකි. සමහර දේවල් කලකිරීමකට වඩා මෙම සමාජය ගැන තදබල අනුකම්පාවක් මා තුල ඇති කෙරුවේය.

වරක් ලෝක පරිසර දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයක ආරාධිත දේශනයක් පැවැත්වීමට මට ආරාධනා ලැබුණි. මතුගම ප්‍රදේශයේ පාසලක පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ මෙම උළෙල සංවිධානය කල අමාත්‍යංශයේ අමාත්‍යවරයා විය. 

දේශනය පැවැත්වෙන ශාලාවේ රැඳී සිටි අයට මාව හඳුන්වා දීම බාරව තිබුණේ එම අමාත්‍යංශයට අයත් ආයතනයක ප්‍රධාන නිලධාරිනියකටයි. ඇය ජීව විද්‍යාව පිළිබඳව පශ්චාත් උපධි ධාරිනියක් බව කතා බහේදී හෙළිවිය. 

ඇමතිවරයාගේ පැමිණීම පැය දෙකකටත් වඩා පමා වූ බැවින් මගේ දේශනයද ඊට අනුරූපව පමා කිරිමට සිදුවිය. දැන් ශාලාව තුල කුඩා කාලගෝට්ටියකි. එක්කෙනා දෙන්නා අසතුටු මුහුණින් යුතුව ශාලවෙන් පිටවෙනු දක්ට ලැබේ. 

"අපි එහෙනම් ලෙක්චර් එක පටන් ගමු" සැහෙන වෙලාවක් නොසන්සුන් ආකාරයෙන් ඔරලෝසුව දෙසත් ලූවර් අතරින් ශාලාවේ සිටින පිරිස දෙසත් බලමින් සිටි අර නිලධාරිනිය අවසානයේදී මෙසේ  කියමින් මාද කැටුව දේශන ශාලාවේ පිවිසුම වෙතට ගමන් කලාය.

"අන්න ඇමතිතුමාගේ ලේකම්තුමා ඇවිල්ල" කවුදෝ පිටිපසින් පැමිණ නිලධාරිනියට පැවසුවේය.

"අනේ ඇත්තද?" ඇයට මාවද අමතකවී පණිවිඩ කරුවා පසු පස දුවන්න පටන් ගත්තාය. 

සාරියක් ඇඳ සිටි ඇයට වැඩි දුර දිවීමට නොහැකි විය. හොඳින් වැඩුනු කෙසෙල් ගසක් මුලින් කපා දැමුවාසේ ඇය සාරිය පැටලී බොරළු පොළවේ මුනින් අතට ඇදන් වැටුණාය. මාත් අසල සිටි කිහිප දෙනෙකුත් විගසින් ඒ දෙසට ගියේ ඇයට නැගී සිටීමට උපකාර කිරීමටයි. එහෙත් අප පැමිණීමටත් පෙර ඇය ස්වෝත්සාහයෙන්ම නැගිට ගත්තාය. ඇයගේ අත්ල මෙන්ම වැලමිටද හොඳටම සීරි තිබුණි. සමහර විට දණහිස් සහ පාදද තුවාල වී තිබෙන්න ඇත.  

වහා අත් බෑගයෙන් ලේන්සුවක් ගත් ඇය ඉන් තුවාල පිසිමින් නැවතත් ගමන පටන් ගත්තේ "මේක එච්චර අමාරු නැහැ" කියමිනි. 

කල යුත්තේ කුමක් දැයි සිතාගත නොහැකි වූ බැවින් මමද ඇය පසු පස පිය මැන්නෙමි.

සුඛෝපභෝගී මෝටර් රථයක් අසල සිටි මැදි වියේ අහංකාර පෙනුමැති මහත්මයෙක් වටා පස් හය දෙනෙක් රැස්ව සිටියහ. ඒ ඇමති ලේකම් යැයි මම අනුමාන කලෙමි.

මා සමග මහත් අභිමානයෙන් යුතුව කතා කරමින් සිටි නිලධානිරිය "ආ සර් දැන්ද ආවේ" යයි ඉතා යටහත් පත්ව කියමින්, සමහර විට ඇයට වඩා ඉතා පහළ අධ්‍යාපන සුදුසුකම් ඇති, ලේකම් වරයා ලඟට ගියේය. 

"ආ මිසිස් ----------, ඇමතිතුමා එන්නත් කලින් ප්‍රෝග්‍රෑම් එක පටන්ගන්න වගේ ලැහැස්තිය නේද?" ලේකම් උපහාසාත්මකව අයගෙන් ඇසීය. ඒ විනාඩි කිහිපයට, මෙම නිලධාරිනිය මා කැටුව දේශණය ඇරඹීමට ශාලාව වෙත යන බව ලේකම්ගේ කණට ගොස් ඇත. 

"අනේ නැහැ සර්. මම මේ ගෙස්ට්ලා හැමෝටම කිව්වේ ඇමතිතුමා ඇවිල්ලා පහණ පත්තු කරන කම් කිසිම වැඩක් පටන් ගන්න බැහැ කියල". ඇය අසරණ හඬින් කීවාය. 

ඇමතිවරයා පැමිණි විට තත්වය තවත් විකට ස්වරූපී විය. අමාත්‍යංශයට අයත් ආයතනවල ප්‍රධානීන් ඔවුනොවුන් පරයමින් ඇමතිවරයාට මුහුණ පෙන්නා කුමක් හෝ ආදර බසක් පැවසීමට දැඩි උත්සහයක් ගත්තේය. මේ සමහර ඇත්තෝ ආචාර්ය, මහාචාර්ය පදවි ලාභියෝය. 

"ඔබතුමා කාර් එකෙන් බහින කොට තමයි පැත්තටම එලිය වැටුණේ. මෙච්චර වෙලා හරිම වැහි අන්ධකාරයක් තිබුනේ" මේ ගජබින්නය ඇද බෑව පුද්ගලයා අදටත් රූපවාහිනී තිරයේ සිංහයෙකුසේ නාද කරනු මා යූ ටියුබ් ඔස්සේ දකින්නෙමි. 

මේ තත්වය මා විශාල වාර ගණනක් දැක ඇත. හැම විටම පහල සිටින නිලධාරින් ඉහළ සිටින අයට චාටු බස් පවසමින් ඔවුන්ගේ සිත් ඇදගැනීමට උත්සහ කරයි. එහෙත් අවස්ථාවක් ලැබුණ පමණින් ඉහළ නිලධාරියා කපා දමා තමන් ඒ තනතුරට එසවීමට උත්සහ කරයි. ඇමතිවරයා හැම විටම තමාගේ චන්ද පදනම ගැනත් අවට සිටින තම පක්ෂයේම සඟයන්ගේ පිහි පහරින් ගැලවෙන අයුරු ගැනත් නිතර මෙනෙහි කරයි. ජනාධිපතිවරයා සතුටු කිරීමද ඔහුගේ ප්‍රමුඛත්වයක් විය යුතුය. 

මේ සියළු කාරණා අතරේ මහජන සේවය ප්‍රමුඛතා ලැයිස්තුවේ අන්තිමයා බවට පත්වේ. එහෙම දෙයක් කල යුතුද යන්නවත් සමහර රජයෙන් වැටුප් ලබන අයට නොතේරේ. නොඑසේ නම් නොදැනේ. 

එදා මගේ මෙන්ම පැමිණ සිටි අනෙකුත් විද්වතුන්ගේ දේශන පවත්වන විට ඇමතිතුමා පිටව ගොස් තිබුණි. ඒ සියලු දේශන මහජනතාවගේ එදිනෙදා ජීවිතයට ඉතා වැදගත් දේවල් වුවත් දේශන ඇසීමට "මහජනතාව" සිටියේ නැත. පැය ගණනක් බලා  සිටි ඔවුන් ඇමතිතුමා ආ පසු ලැබුන කේක් කෑල්ලත් සෑන්ඩ්විච් එකත් කා කුඩා හයිලන්ඩ් කිරි පැකට් එකෙන් උගුර තෙමා ගෙන ගෙදර ගොස් තිබුණි. දේශනයට සහභාගී වුවේ කොළඹින් ගිය අමාත්‍යංශයේ රියඳුරන් සහ අත්උදව් කාරයනුත්, තව කෑම ලැබේදැයි ඉවකරමින් සිටි ප්‍රදේශයේ කොල්ලෝ කුරුට්ටන් කිහිප දෙනෙකුත් පමණි. 

සමහර ඇමතිවරුනට මෙන්ම රජයේ නිලධාරීන්ටද රට වෙනුවෙන් යමක් කරන්නට සැබෑ උවමනාවක් ඇති බව කිහිප විටෙකම මට වැටහුණි. මාව ආචාර්ය උපාධියෙන් පසු ලංකාවේ රඳවා ගත්තේ මේ නිරීක්ෂණයයි. එහෙත් එම අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීමට තරම් සුදුසු මානුෂීය පරිසරයක් හෝ දේශපාලන ක්‍රමවේදයක් ලංකාවේ නැති බව තේරුම් ගැනීමට මට දශකයක් ගත විය.

අද ලංකාවේ රජුන් තනන්නේද රජුන් නසන්නේද මාධ්‍ය මුදලාලිය. රට කරවන ජනාධිපතිවරයාගේ  සිට රෝද පුටුවේ සැතපී රුපවාහිනිය නරඹන අත්තම්මා දක්වා සමස්ථ ජනතාවම මෙම මාධ්‍ය මාෆියාවේ සිරකරුවන් වී ඇති සේයකි. 

අන්තර්ජාල සමාජ වෙබ් අඩවි නිසා අද බොහෝ රටවල ජනතාව මාධ්‍ය අයිතිකරුවාගේ හස්තයෙන් මිදෙමින් පවතී. එහෙත් ලංකාවේ එම තත්වය මම තවමත් නොදකිමි. තම ස්වයං අදහස් පවසනවා වෙනුවට නැවතත් අර මාධ්‍ය අයිතිකරුවා විසින්ම වපුරන අනේක වූ විප්‍රකාර තම සමාජ වෙබ් පිටුවල ස්ථානගත කරගැනීමටත් ඒවාට අඩු වැඩි වශයෙන් ඌන පූර්ණ යෙදීමටත් උත්සුක වන තරුණ පෙළක් අද අපිට දැකගත හැක. සංකල්ප-කේන්ද්‍රීය දේශපාලනයක් වෙනුවට පුද්ගල-කේන්ද්‍රීය දේශපාලනයක් කරපින්නාගෙන ඉන්නවා මදිවාට ඒ වෙනුවෙන් තම ප්‍රතිරූපය පවා විනාශ කරගන්නා මට්ටමකට උගත් නුගත් බේදයකින් තොරව අද ලාංකික සමාජය පිරිහී ඇත.  

තව බොහෝ දේ ලිවීමට ඇතත් කාලය ඊට හරස් වේ. 

වසර දහයක් ලංකාව වෙනුවෙන් යමක් කරන්නට වෙහෙසුන මට 2009 වන විට දැන් නික්ම යන්නට කාලය පැමිණ ඇති බව වැටහුණි. ඉන් පසු එළැඹි වසර හත පුරා මා, මගේ පවුල වෙනුවෙන්, මැලේසියාව වෙනුවෙන්, තව බොහෝ රටවල් වෙනුවෙන් මෙන්ම ලංකාව වෙනුවෙන්ද, ලංකාවේ සිටියා නම් වසර 30 කින් වත් කල නොහැකි යමක් කලෙමි. ඒ සියල්ල කරන අතර මට විවේක සුව විදීමට පමණක් නොව මෙලෙස බ්ලොග් සටහන් ලිවීමට පවා කාලය ප්‍රමාණවත් වී ඇත. ලංකාවේ සිටියදී මට දවල් ආහාරය ගැනීමට කාලය ලැබෙන්නේ රාත්‍රී දහයටත් පසුවය. 

මා එදා සිටි මා මය. මගේ දැනුම් සම්භාරයේ හෝ නිපුණතාවයන්ගේ මහා වෙනසක් සිදු වීද නොමැතිය. සිදුවී ඇති එකම වෙනස නම් මට අවට සිටින "අපේ අයගෙන්" කොයි මොහොතේ ගැහැටක් වේදැයි සිතීමට තත්පරයක්වත් කාලය වැය නොවීමයි. 

ඒ වෙනස මොනතරම් සුන්දරදැයි එය විඳින තෙක් ඔබට නොවැටහෙනු ඇත.