Monday 22 July 2019

අපිට ඕනේ මොඩල් එක - සිංහල බෞද්ධ මොඩලයද?


වසර 2014 දිනෙක මට උගන්ඩාවේ වික්ටෝරියා විලට යාබද ගරුගා ප්‍රදේශයේදී අප්‍රිකානු බෞද්ධ ග්‍රාමයක සමාජ හමුවකට සහභාගී වීමේ අවස්ථාව ලැබුණි. කාලවර්ණ දේහධාරී මිනිසුන් සන්සුන්ව පන්සිල් ගන්නවා දැකීම මට අලුත් අත්දැකීමක් විය. ඔවුන් ඉතා සුහදය, ප්‍රිය මනාපය. ඔවුන් අතර සිටි පාසල් විදුහල්පතිවරයෙකුගෙන් මම පැනයක් ඇසුවෙමි.

"බෞද්ධයෙක් වීම පිළිබඳව ඔබ සතුටින්ද?"

"මා බෞද්ධයෙක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?" කිසිසේත් බලාපොරොත්තු නොවූ පැනයක් ඔහු මගෙන් පෙරලා ඇසීය.  

"මා ඇසුවේ ඔබ බෞද්ධ දර්ශණය වැළඳගැනීම (embracing Buddhism) පිළිබඳවයි" මම නිවැරදි වචන තෝරාගැනීමේ අපහසුතාවයකට පත් වුනෙමි.

"මම බුදු දහම (Buddhist philosophy) ගැන බොහෝ දේ කියවූවා. ඒ ගැන බොහෝ දෙනෙකු සමග කතා කළා. මට වැටහුණා මෙම ධර්මයෙහි කියා දෙන බොහෝ ක්‍රියා මාර්ග මගින් අපිට සැනසුම ගෙන දෙන බව. මා ඒ අනුව බුද්ධ දර්ශනයේ ඉදිරිපත් කර ඇති කාරණා පිළිපදින්න පටන්ගත්තා. දැන් මට විශාල ආත්ම තෘප්තියක් සහ සිතේ සැනසීමක් තිබෙනවා". විදුහල්පතිවරයා කියාගෙන යයි. ඔහුගේ කතාව අවසන් නැත. 

"අපේ ගමේ එකා දෙන්නා බැගින් මෙම මාර්ගය අනුගමනය කරන්න පටන් ගත්තා. ඒ සමගම ගමේ තිබූ බොහෝ ඍණාත්මක චර්යාවන් අඩුවී ගියා. මේ ගැන අපිට සතුටුයි. අපි කවුරුවත් කාවවත් බෞද්ධ කියා ලේබල් කරන්නේ නැහැ. එවිට නැවතත් අපි ගෝත්‍රිකයන් සේ බෙදීමකට පත්වෙනවා. එම බෙදීම අපව නැවතත් නොසන්සුන්, අසහනකාරී තත්වයකට පත් කරනවා". 

මේ කියන්නේ ගෝත්‍රික චින්තනයෙන් වසර කිහිපයකට පෙර අභිනික්මුණ, ගෝත්‍රය අනුව බෙදී එකිනෙකා මුහුණ නොබලන අසල්වැසි ගම් දනව් වලින් වටවූ ගමක සිටින අප්‍රිකාවේ මිනිසෙකි.

ගමට පැමිණ සිටි උගන්ඩාවේ පළමු භික්ෂුව වන භන්තේ බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේ එදින පුවත්පත් සාකච්චාවක් පැවැත්වීය.

"ඔබගේ උත්සාහය හැකිතාක් උගන්ඩානුවන් හරවා ගැනීමද? (Is it your effort to convert as many Ugandans as possible?)" එක මාධ්‍යවේදියෙක් ඇසීය.

"ඔව් අපි හැකි පමණ උත්සහ කරනවා හරවාගන්න. අකාරුණික මිනිසුන් කාරුණිකයන් බවට හරවාගන්න. වංචනිකයන් අවංක මිනිසුන් බවට හරවාගන්න, ලෝභයන් පරිත්‍යාගශීලින් බවට හරවාගන්න, වෛරයෙන් පෙලෙන්නන් මෛත්‍රීය පතුරුවන්නන් බවට හරවාගන්න". බුද්ධරක්ඛිත හිමියන් පවසයි.

"ඔවුන් බෞද්ධයන් වීම ඔබගේ අභිප්‍රාය නොවෙයිද?" මාධ්‍යවේදියා පසුබසින පාටක් නැත. 

"ඔවුන් බෞද්ධයන් ලෙස ලේබල් වීමෙන් කාටවත් ඇති ඵලය කුමක්ද? තමාටත් සමාජයටත් ඵලක් ඇත්තේ ඔවුන් බෞද්ධ අගයන් (Values of Buddhism) මත හැසිරේ නම් පමණයි. ඒ සඳහා ලේබලයක් තිබීම හෝ නොතිබීම අදාළ නොවෙයි." ස්වාමින්වහන්සේ පවසයි.

අද ලංකාවේ බොහෝ දෙනෙක් සිංහල බෞද්ධ රාජ්‍යයක් පිළිබඳව කතිකාවතක යෙදෙයි. එය කතිකාවතකට වඩා ගර්ජනාවකි.  

ලාංකිකයා තුල "බෞද්ධ" යන වදන තම කුලකය තහවුරු කරගන්නා ලේබලයකින් ඔබ්බට යන අවස්ථා විරලය. බෞද්ධ, සිංහල බෞද්ධ, සිංහල ගොවිගම බෞද්ධ, සිංහල උඩරට ගොවිගම බෞද්ධ ආදී වශයෙන් ඔවුන් උපකුලක වලට බෙදෙමින් සමාජයෙන් විශේෂ සැලකීමක් මෙන්ම සුරක්ෂිත භාවයක්ද බලාපොරොත්තු වෙයි. 

රටක් ලෙස ලංකාවේ "සිංහල උඩරට ගොවිගම බෞද්ධ" රාජ්‍යයක් බිහිකිරීම අසීරුය. ඒ ජන අනුපාතය පිළිබඳව ගැටළු මතුවන නිසාය. එබැවින් ඔවුන් ප්‍රයෝගිකව යා හැකි කුඩාම උපකුලකය වන "සිංහල බෞද්ධ" රාජ්‍යයේ දැනට නතර වී ඇත. මේ ගැන කතාකරන බොහෝ දෙනෙක් සිංහල බෞද්ධ රාජ්‍යයක ඇති විශේෂතා මොනවාදැයි ඇසුවහොත් විපිළිසර වෙයි.


සිංගප්පුරුව සහ චීනය වැනි රටවල් කිහිපයක් හැරුණු කොට ලොව පවතින බොහෝ රාජ්‍යයන් යම් ආගමක් සහ ඒ හා බැඳී ආගමික සංස්කෘතියක් මුල් කරගෙන ගොඩ නැගී ඇත. මේ බොහෝ රටවල ආගමික අගයයන් පිළිබඳව විශාල කතිකාවතක් පවතී. උදාහරණයක් ලෙස මා වසර 10 ක් පමණ ජිවත් වූ මැලේසියාවේ මුස්ලිම් වැසියන් ඉස්ලාම් අගයයන් (Islamic values) පිළිබඳව නිතර කතා බහ කරයි. මෙය ඉස්ලාම් ආගම පාදක කරගත් සියලුම රාජ්‍යයන්ට පාහේ අදාළ වෙයි. සමහර ඉස්ලාමික රටවල සියලු දෙනා ඉස්ලාම් අගයයන්ට අනුකූලව ජිවත් විය යුතුය. මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල ඉස්ලාම් භක්තිකයන්ට පමණක් මෙය අදාළ වෙයි. 


මොනවාද මේ ඉස්ලාමික අගයයන්? 

මුස්ලිම් සමාජය තුල සහෝදරත්වය පැතිරවීම (එකිනෙකාට උදව් කිරීම, වංචා නොකිරීම, බොරු නොකීම, අනෙකා පහත් කර නොසැලකීම ආදී), සියළු මුස්ලිම් වරුන් තම ආදායමෙන් කොටසක් දුප්පතුන් වෙනුවෙන් පිරිනැමීම (zakat), තම දරුවන්ට ඉස්ලාම් ධර්මය කියාදීම සහ ඊට යොමු කිරීම, සිකුරාදා අනිවාර්යයෙන් පල්ලියට ගොස් යාඥා කිරීම, උපවාස සමය පිළිපැදීම, මත්පැන් පානය වැනි හරාම් (දෙවියන් විසින් තහනම් කරන ලද) කටයුතු වල නොයෙදීම, හලාල් (දෙවියන්ගෙන් අවසර ඇති) ආහාර පමණක් ගැනීම සහ එවැනි කටයුතු පමණක් කිරීම මේ ඉස්ලාම් අගයයන් කිහිපයකි.

මේවායේ හොඳ නරක, හරි වැරදි කීමට තරම් මට දැනුමක් හෝ අවශ්‍යතාවයක් නැත. මට අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ ඉස්ලාමීය සමාජය තුල මෙම හර පද්ධති ක්‍රියාවේ නැංවීමෙහිලා සමාජය තුලින්ම මතුවන අවශ්‍යතාවයයි. මෙම ක්‍රියාවලිය  රජය විසින් යම් නීති සහ රීති මාලාවකින් ස්ථාපිත කර ඇති අතර ඊටත් වඩා ප්‍රභල බලගැන්වීමක් සමාජය තුලින් සිදුවේ.

ලංකාව බෞද්ධ රාජ්‍යයක් ලෙස හැඳින්වීමේ වරදක් ඇතැයි මම නොසිතමි. ප්‍රතිශතයක් ලෙස 55% ක් මුස්ලිම්වරුන් සිටින මැලේසියාව ඉස්ලාමීය රාජ්‍යයක් වී ඇත්නම් ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවීමට හේතුවක් මම නොදකිමි. 

එහෙත් ලංකාව බෞද්ධ රාජ්‍යයක් වීම තුල අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද? 

බෞද්ධ අගයයන් (Values of Buddhism) මත පිහිටන බෞද්ධ රාජ්‍යයක් බිහි කිරීමට ඔබ සුදානම්ද? (අඩුම ගණනේ බෞද්ධයන් අතරවත් එම අගයයන් ක්‍රියාත්මක වන).

මොනවාද මේ බෞද්ධ අගයයන්?

බුදු දහම තුල සාමාන්‍ය ගිහි ජීවිතයක යහ පැවැත්ම පිළිබඳව ඉතා පැහැදිලි  අර්ථ දැක්වීමක් ඇත. මෙතුලින් මතුවන බෞද්ධ අගයයන් රාශියකි.

සත්ව හිංසනයෙන් මිදීම, සොරකම් නොකිරීම, දුසිරිතෙන් වැලකීම, බොරු නොකීම සහ මතින් තොරවීම ප්‍රධාන බෞද්ධ අගයයන් පහයි.

මීට අමතරව නොයෙකුත් දේශනා රාශියක අනෙකුත් අගයයන් පිළිබඳව සඳහන් වෙයි. කුසිත නොවීම, මාපියන්ට සැලකීම, යහපත් රැකියාවක හෝ කර්මාන්තයක නිරතවීම, අන් මත ඉවසීම, පරුෂ වචනයෙන් ඈත් වීම, කේලම් සහ දෙලොවටම වැඩ නැති බස් නොදෙඩීම, ප්‍රිය වදන් දෙඩීම, කරුණාව සහ මෛත්‍රිය ප්‍රගුණ කිරීම, සියලු සතුන් කෙරේ මෙත් වැඩීම, උපේක්ෂා සහගතව ජිවිතයට මුහුණ දීම, පරාර්ථකාමී වීම ආදී ගුණාංග  රාශියක් බෞද්ධ අගයයන්ට අයත්වෙයි. මේ සියළු යහ කර්ම සියළු  සත්වයා කෙරෙහිම අදාළ විය යුතු බව බුදු දහමේ සඳහන් වෙයි.

මෙබඳු සමාජයක විසීමට අකමැති අයෙක් ඇත්ද?

නමුත් ගැටළුව වන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඉල්ලා කෑ මොර දෙන ගිහි පැවිදි දෙපක්ෂයම මේ බෞද්ධ අගයයන් පිළිබඳව කිසිඳු සඳහනක් නොකිරීමයි. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ එකම එක දෙයක් පමණක් බව මට හැඟේ.

"යකෝ මේක අපේ සිංහල බෞද්ධ රට. මේකේ අපිට ඕනේ විදියකට ජීවත් වෙන්න පුළුවන්. උඹල අපි කියන විදියට ඉඳපල්ලා. නැත්නම් වෙන තැනකට පලයල්ලා" 

ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ යන ලේබලය වටා රොක් වී සමුහයක් ලෙස සුරක්ෂිත යැයි කල්පිතයක් ගොඩ නගා ගැනීමයි. එයින් රටට කිසිඳු යහපතක් සිදු නොවේ. මෙලෙස මොවුන් පතන සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහි වුනත් එහි ඊළඟ පියවර වන්නේ කුලය, ප්‍රදේශය, ආර්ථික පංතිය, අධ්‍යාපන මට්ටම ආදී නොයෙකුත් උපකුලකවලට සමාජය විසින්ම බෙදී එකිනෙකා කෙරෙහි වෛරය පැතිරවීමයි.

මේ "සිංහල බෞද්ධවාදය" කරපින්නා ගත් ලාංකිකයා ඉල්ලන්නේ උගන්ඩාවේ බෞද්ධ සමාජය ප්‍රතික්ෂේප කල ඒ ගෝත්‍රික සමාජ පද්ධතිය, ලංකාවේ බිහි කිරීමට බව බොහෝ දෙනෙකුට නොපෙනීම ජාතියේ  දුර්භාග්‍යයකි.

ලංකාවේ මෑත කාලීන ඉතිහාසය (පසුගිය වසර 700 ක පමණ කාලයේදී) පුරාවටම සිදුවුයේ බුද්ධාගම රාජ්‍ය පාලකයාගේ සුරක්ෂිත බාවය තහවුරු කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කිරීමයි. නමුත් විය යුතුව තිබුණේ බුදුදහම (බුද්ධාගම නොව) සාමාන්‍ය ජනතාව තුල රෝපණය කරමින්, බෞද්ධ අගයයන් ප්‍රගුණ කිරීම සඳහා ජනතාව යොමු කිරීමට රාජ්‍ය ක්‍රියා කිරීමයි. බොහෝ රජුන්ට ඒ පිළිබඳව හැඟීමක් තිබුණු බවක් පෙනෙන්නට නැත. රාජ්‍ය අහිමිවෙතැයි ඇති බිය ඔවුන්ගේ මනස නිරන්තර කම්පනයකට ලක් කළා විය හැකි.

පසුගිය දශක තුන හතරේදී පාලකයා ඉතා නිහීන ලෙස සංඝ සමාජය තුල බේද බින්න ඇති කළේය. සංඝයා පක්ෂ වලට බෙදමින්, සංස්ථාපිත කරමින්, බෙන්ස් රථයේ සිට සියලුම ආකාරයේ සුඛ විහරණ වරදාන පුදමින් මුළු සංඝ සමාජයම බුදු දහමින් ඈත් කළේය. මේ අවක්‍රියාව මුළු සමාජයේම පිරිහීම ත්වරණයට ලක් කළේය. අද බෞද්ධ අගයයන් ගැන කතා කිරීමත් දේශ ද්‍රෝහී ක්‍රියාවක් වී ඇත.

බොහෝ බෞද්ධයන් තුල පවා "බෞද්ධ රාජ්‍යයක්" ගැන කතා කරන විට සංඝ පාලනයේ පවතින සෞදි අරබියක් මනසේ මැවෙන්නේ මේ වාතාවරණය නිසාය. මීට සිංහල ප්‍රත්‍යද එකතු වූ විට හැකි ඉක්මනින් විදේශයක පදිංචියට යා යුතුය යන හැඟීම බොහෝ රටවැසියන් තුල ජනිත වෙයි.

රාජ්‍යය ගැන කතා කරන්න නොව බෞද්ධ අගයයන් සමාජය තුල රෝපණය කිරීමට කාලය එළඹ ඇත.  





ඊළඟ කොටස: අපිට ඕනේ මොඩල් එක - අපේම මොඩල් එකක්ද? 

Sunday 21 July 2019

අපිට ඕනේ මොඩල් එක - ස්වීඩන් මොඩලයද?


සමාජවාදය යනු කුමක්දැයි මම සිය දෙනෙකුගෙන් ඇසුවහොත් අඩුම ගණනේ එකිනෙකට වෙනස්  පිළිතුරු 50 ක් ලැබෙනු ඇත. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය එය මේ ලෙස සඳහන් කරයි. 

"නිෂ්පාදනය, බෙදා හැරීම සහ හුවමාරුව යන මාධ්‍යයන් සමස්තයක් ලෙස ප්‍රජාව සතු හෝ නියාමනය කළ යුතු යැයි යෝජනා කරන සමාජ, දේශපාලන හා ආර්ථික න්‍යායකි".

මීට වසර කිහිපයකට පෙර මා කසකස්ථානයේ ගතකල මසක පමණ කාලයකදී මහාචාර්ය ටොල්ගටෝවිච් මගේ කුළුපඟ මිතුරෙක් විය. ඔහු කසකස්ථානය සෝවියට් දේශයට අයත්වූ කාලයේ ජාතික සමාජවාදී නායකයෙකු ලෙස කටයුතු කර ඇත. ටොල්ගටෝවිච්ගේ අර්ථදැක්වීම අනුව;

"සමාජවාදය යනු සමාජයක සියළුම දෙනා විසින්, සමාජයේ සියලුම දෙනාගේ යහ පැවැත්ම සහ අභිවෘද්ධිය පිළිබඳව සමුහයක් වශයෙන් මෙන්ම පෞද්ගලික මට්ටමින්ද වගකීම භාරගන්නා සමාජ, දේශපාලන හා ආර්ථික යාන්ත්‍රණයකි".

ටොල්ගටෝවිච්ට අනුව මෙබඳු යාන්ත්‍රණයක් නීති සම්පාදනයෙන් පමණක් ඇති කල නොහැක. ඒ සඳහා ජනතාවගේ පෞද්ගලික මෙන්ම සාමුහික සිතුම් පැතුම් රටාවේද විශාල පරිවර්තනයක් ඇති කළ යුතුය. පුරෝගාමී සමාජවාදියාගේ ප්‍රධාන කාර්ය භාරය විය යුත්තේ ජනතාවගේ සිතුම් පැතුම් සහ චින්තන රටාව මෙම දිශානතිය ඔස්සේ අනුගත කිරීමයි. එය කල යුත්තේ මානව දයාව, කරුණාව මෙන්ම මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදීම තුලම පුද්ගලයෙකුට හිමිවන යුතුකම් පිළිබඳව සංකල්ප පෙරදැරි කරගෙනය. මේ සඳහා ජනතාව තමන් අදහන ආගම දහමින් ඈත් කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බව ටෝල්ගටෝවිච් ගේ අදහසයි. 

"කසකස්ථානයේ නගරයෙන් ඈත් වූ ප්‍රදේශවල බොහෝ දුරට මේ සමාජවාදය පැවතුනා. එය විනාශ කලේ රුසියානු හා රුසියානු ගැති කසක් පාලකයන්. රුසියාවේ පැවතුනෙත්, රුසියානුවන් සෝවියට් දේශයේ අනෙකුත් රටවල ඇති කිරීමට උත්සහ කලෙත් නීතිය හා බලහත්කාරය මූලික කරගත් නිලධාරීවාදයක් මිසක් අපි බලාපොරොත්තු වුන සමාජවාදය නොවෙයි". ටෝල්ගටෝවිච් කියාගෙන ගියේ තරමක් සංවේගයෙනි.

ඉහත කාරණා නිසාම 80 දශකයේ අග භාගයේදී ටෝල්ගටෝවිච් දැඩි සෝවියට් විරෝධියකු ලෙස කසකස්ථානයේ නිදහස වෙනුවෙන් සටනට පිවිස ඇත. නිදහස් රටක්වී වසර 25 කට පසුවත් කසකස්ථානය තුල රුසියානුවන් ඇති කල නිලධාරිවාදය පරාජය කිරීමට නොහැකිවීම ගැන ඔහු දැඩි ලෙස පසුතැවෙයි.

ටෝල්ගටෝවිච්ගේ අර්ථ දැක්වීම අනුව නම් ලෝකයේ මා දුටු ඉහළම සමාජවාදය ඇත්තේ ස්කැන්ඩිනේවියානු රටවල බව මගේ හැඟීමයි. ස්වීඩනයේ මා ගතකල වසර කිහිපයේදී මට එරට තුල පවතින ආර්ථික හා සමාජීය සහජීවනය පිළිබඳව මැනවින් අවබෝධකරගත හැකිවිය. 

ස්වීඩනය තරම් සමාජ සුබ සිද්ධිය තකා රජය විසින්  මුදල් වැයකරන රටක් තවත් ඇත්නම් ඒ ස්කැන්ඩිනේවියාවේම අනෙක් රටවල් අතරින් එකක් පමණි. 

මේ ලොව නොමිලේ ආහාර කියා දෙයක් නැත. ඔබ නොමිලේ ලබන සෑම දෙයකටම කවුරුන් හෝ මිල දැරිය යුතුය. ස්වීඩනයේ මේ සුබ සාධනය සඳහා මිල දරන්නේ කවුරුද? ඒ සමාජය විසින්මය. අඩු ආදායම්ලාභියාගේ (ස්වීඩනයේ ආදායම් මට්ටමින්) සිට ඉහලම ආදායම්ලාභියා දක්වා සියළුම දෙනා ක්‍රමයෙන් වැඩි වෙමින් 50% පමණ වනතෙක් තම ආදායමෙන් බදු ගෙවයි. 

ලොව සෑම රටකම පාහේ මෙම බදු ක්‍රමය ඇත. එහෙත් ස්වීඩනයේ ඇති වෙනස නම් සමාජයේ සෑම පුරවැසියෙකුම මෙම බදු ගෙවීම තම යුතුකමක් සහ වගකීමක් ලෙස තරයේ සැලකීමයි. නීතියේ සිදුරු අතරින් රිංගා යාමට හෝ බදු උපදේශකයන් යයි කියා ගන්නා පෞද්ගලික ආයතන වලින් ආදායම අඩු කර පෙන්වීම සඳහා උපදෙස් ගැනීමට ඔවුන් උත්සුක වන්නේ නැත. 

ඉහල  ආදායම් බදු ගෙවන පුද්ගලයන් සමාජයේ වැඩි ගෞරවයට පාත්‍රවේ. ඒ ඔවුන් විසින් රටේ සුබ සිද්ධියට වැඩි දායකත්වයක් ලබා දීම වෙනුවෙනි. රටේ පැවැත්ම ඇත්තේ තමන් බදු සඳහා වන දායකත්වයෙන් බව ඔවුහු තරයේ අදහති. එසේම සියළු රටවැසියෝ කාගේ මුදලින් ලබා ගත්තත් සියළු සම්පත් පරිභෝජනයෙහි ලා බොහෝ සෙයින් අරපරිස්සම් වෙති. පාසලේදී, රෝහලේදී, සරසවියේදී, භෝජනාගාරයේදී ඔවුහු තම යුතුකම් උපරිමයෙන් ඉටු කිරීමට වෙහෙසෙති. නාස්තිය අවම කරගැනීමට සැලකිලිමත් වෙති. 

පාසල් දරුවා මෙන්ම සරසවි සිසුවාද තමාට හැකි උපරිම අයුරින් අධ්‍යාපන කටයුතු වල යෙදෙයි. එමගින් තමන් නොමිලේ ලබන අධ්‍යාපනයට සාධාරණය ඉටුකරයි.

රෝහලෙන් නොමිලේ ලැබෙන වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ඔවුන් නියමිත මාත්‍රාවට නියමිත ආකාරයෙන් ලබා ගනියි. එමගින් නැවත අසනීප වීමෙන් රට සිදුවන පාඩුව අවම කරගනියි. 

ආහාර ගැනීමේදී ඔවුන් නාස්තිය හෝ අධි පරිභෝජනය ශුන්‍ය කරගැනීමට කැපවෙයි. "මුදල් මගේය, එහෙත් ආහාර සැමගේය" යන සංකල්පය නොදන්නා ස්වීඩන් ජාතිකයෙකු නැති තරම්ය. එසේම අධිපෝෂණය හේතුවෙන් නොයෙකුත් ලෙඩ රෝග සෑදීම පිළිබඳව ඔවුහු බොහෝ සේ අවධානය යොමු කරති

කෙටියෙන් කිවහොත් ඔවුන්ගේ පාරිභාෂිකයේ  "යුතුකම් සහ වගකීම්" සඳහා ප්‍රධාන තැනක් හිමිවෙයි. "අයිතිවාසිකම්" සඳහා ඇත්තේ ඊට වඩා බෙහෙවින් අප්‍රධාන ස්ථානයකි. නමුත් ඔවුන් සියළු දෙනාටම තම අයිතිවාසිකම් නිතැනින්ම හිමි වෙයි.

මේ සිතුම් පැතුම් රටාව ස්වීඩනයේ, මාර්ග පිරිසිඳු කරන කම්කරුවාගේ සිට රටේ අග්‍රාමාත්‍ය වරයා දක්වා මුළු සමාජ පරාසය පුරාම විහිදෙයි. එය උඩ සිට පහළට ආවාද නැත්නම් පහළ සිට උඩට ගියාද, එසේත් නැත්නම් එකවරම මුළු සමාජ පරාසය පුරාම ඇතිවුනාදැයි මම නොදනිමි. 

ඕනෑම රටක අවසාන අරමුණ විය යුත්තේ මේ ස්වීඩන් මොඩලය කරා ළඟාවීම බව මගේ හැඟීමයි. නමුත් ලංකාව වැනි රටකට මේ කරා ලඟාවීමට අසීරු විශාල බාධකයක් ඇත.

ඒ ලාංකීය ජන විඥානයයි. 

වසර 2500 ක "ප්‍රෞඩ" ඉතිහාසයෙන් අප ලබාගෙන ඇත්තේ කුමක්ද?

මම ඔබව සමාජවාදයට බරවූ 70-77 රජය පැවති සමයට ගෙනයමි. 

එකල පාන් බෙදා හැරුනේ කෝටා ක්‍රමයටයි. ඔබට පාන් මිලදී ගත හැක්කේ පවුලේ සාමාජිකයන්ගේ ගණන අනුවය. අද ප්‍රමිතියෙන් නම් මෙම පාන්, පාන් යයි ඔබට හඳුන්වා දිය නොහැක. ගල් ගෙඩියක් වැනි තරමක් ඇඹුල් රසැති පිම්බුණ පිටිගුලියක් පාන් මිලදී ගන්නා ඔබට ලැබේ.  

මෙම පාන් විකිණීමේ බලතල ලබා දී තිබුණේ ප්‍රදේශයේ සමසමාජ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු අත්තකටය. මේ හැමතැනකම පාහේ සිදු වුනේ බේකරියෙන් පාන් ලැබුණු පසු හොඳම පාන් ගෙඩි ටික තමාගේ සහ තම පවුලේ නෑදෑ හිත මිතුරන් වෙනුවෙන් වෙන් කර තැබීමයි. ප්‍රදේශයේ අනෙකුත් පිරිස දිගු පෝලිමක සිටියදී, මෙම විශේෂ පුද්ගලයෝ පැමිණ පස්ස දොරෙන් පාන් ලබාගෙන ගියහ. සමහර දේශපාලන විරුද්ධවාදීන්ට හැමදාම ලැබුනේ බාගෙට පිපුණු විකෘති වූ පාන් ගෙඩියකි. 

"එකා සැමටත්, සැම එකාටත්" පාඨය යටතේ බිහිවූ සමුපකාරය මේ සමයේදී එහෙම පිටින්ම හොර ගුහාවක් විය. සමුපේ මැනේජර් යනු එවකට සිටි සමාජ ප්‍රභලයෙකි. "තමා තමාටත්, තමාගේ එකාටත්" යන්න බොහෝ සමුපකාර කළමනාකරුවන්ගේ තේමා පාඨය විය. 

මෙයින් මා කීමට උත්සහ කලේ 70-77 රජයේ වැරදි පෙන්වීම නොවෙයි. එම රජයේ ධනාත්මක ලක්‍ෂණ බොහොමයක් තිබුණි. අප අවධාරණය කරගත යුත්තේ ලාංකීය සමාජවාදියාගේ විඥානයද මෙය නම් අනෙක් ය පිළිබඳව කියනුම කවරේද යන්නයි?

ස්වීඩන් මොඩලයට අපට තව බොහෝ දුර ඇත. 


ඊළඟ කොටස: අපිට ඕනේ මොඩල් එක - සිංහල බෞද්ධ මොඩලයද? 

Friday 19 July 2019

අපිට ඕනේ මොඩල් එක - ලාංකීය සමාජවාදී මොඩලයද?



ලංකාවට සමාජවාදය පැමිණෙන්නේ එංගලන්තයෙනි. එන් එම්, ලෙස්ලි, පිලිප්, රොබට්, කොල්වින් ආදීන් ට්‍රොස්කි දකින්නේ සුද්දාගේ ඇසෙනි. ඔවුන් රුසියාවේ සමාජවාදය කොතරම් ගැඹුරට හා ප්‍රායෝගිකව දුටුවාදැයි යන්න ගැටළුවකි. එස් ඒ වික්‍රමසිංහ කොමියුනිස්ට් පක්ෂය ගොඩනගන්නේද එංගලන්තයෙන් ඉගෙනගත් සමාජවාදයෙන් මිස චීනයේ හෝ රුසියාවේ සිදුවන බිම් මට්ටමේ සැබෑ වෙනස් කම් දැක නොවෙයි. 

මම ඉහත දේශපාලකයන්ට වඩා තරමක් වයසින් අඩු, වයෝවෘද්ධ බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරුන් දෙදෙනෙකු සමග මේ පිළිබඳව කතා කර ඇත්තෙමි. ඔවුන් විස්තර කරන ආකාරයට එකල (1930-1950 කාලය තුල) සමාජවාදය ධනවත් බ්‍රිතාන්‍ය පවුල් වල තරුණ පැලැන්තියේ විලාසිතාවක් වී ඇත. යටත් විජිත වලින් පැමිණි ධනවත් තරුණ තරුණියන්ද මේ රැල්ලට අසුවිය. එකල සවස් වරුවේ ලංඩනයේ හයිඩ් පිටිය ආසියාතික තරුණ තරුණියන්ගේ ජනප්‍රියම සම්මුඛ ස්ථානය වූ බව ඔවුන් දෙපලම පැවසීය. කුඩා වේදිකාවක් මතට නැග සමාජවාදය පිළිබඳව ව්‍යක්ත දේශනයක් පැවැත්වීම ආසියාතික තරුණයන්ට තම රටෙන් පැමිණි තරුණියන් වශී කරගැනීමේ මූලික ක්‍රමෝපායක් බවට පත්වී ඇත. 

"පසු කාලයක තම රටවලට ගිය මේ සමහර තරුණ තරුණියෝ ඔවුන් දුටු එංගලන්ත සමාජවාදය එම රටවල ස්ථාපිත කරන්න උත්සහ ගත්තා. බොහෝ දෙනෙක් ඒ රටවල නායකයන් බවට පත්වුනා" එක් මහාචාර්ය වරයෙකු පැවසීය.

එංගලන්තයේදී ඔවුන් දකින්න ඇත්තේ රුසියාවේ හෝ චීනයේ වූ කර්කශක රළු සමාජවාදය නොව, බටර් තැවරූ මෘදු සමාජවාදයක් බව මට සිතේ. පුරෝගාමී සමාජවාදී  නායකත්වයෙන් පසු පැමිණි ඊළඟ සාම්ප්‍රදායික වමේ නායකයන්ද මේ පරාසයෙන් එපිට ලෝකයක් නොදුටු බව පෙනෙයි. මේ වන විට මහළු වියේ පසුවන මේ දෙවන පරපුරේ සමාජවාදී නායකත්වයට අදටත් මාර්ක්ස්, එංගල්ස්ලාගේ පොත් වලින් එහාට ගොස් යථාර්තය වටහා ගැනීම අපහසු වී ඇති බව මගේ හැඟීමයි.

මෙම දේශපාලකයන් සමාජවාදය බිහිවූ රුසියාවේ හෝ චීනයේ කාලයක් වාසය කර එම දේශපාලන තන්ත්‍රයේ රසය දැනගෙන සිටියා නම් ඔවුන් ඉතා ඉක්මනින් යමක් අවබෝධ කරගත යුතුව තිබුණි. එනම් ඒ සමාජවාදී මොඩලය ලංකාවට කිසිසේත් ගැලපෙන්නේ නැති බවයි. 

කෙසේ  නමුත් මේ සාම්ප්‍රදායික සමාජවාදී නායකයන් වෙතින් සූරිය මල් ව්‍යාපාරය ඇතුළු ධනාත්මක සමාජ කර්තව්‍යයන් රාශියක් සිදුවූ බව නම් නොකියාම බැරිය. ඔවුන් අතරින් හොරදෙටුවන් හෝ භීෂකයන් ඇති නොවීමම ජාතියේ භාග්‍යයකි. 

ලාංකීය ද්විතීක සමාජවාදී යුගය සනිටුහන් කරමින් රුසියාවේ ඉගෙනුම සඳහා යන විජේවීර ලංකාවට සංකල්පයක් ගෙන එයි. ඒ එම යුගයේදී එහි තිබු සමාජවාදය නොව, 1917 දී සිදු වුයේ යයි ඔහු අසා තිබූ හෝ ඔහු සිතා සිටින සිද්ධාන්තය බව මගේ හැඟීමයි. එය වෛරී චින්තනයක් මිස එවකට අඩසියවසක් පරිණත වී තිබූ රුසියානු  සමාජවාදය නොවේ. මන්ද රුසියානුවන් බොහෝ දෙනෙකු මට කියූ පරිදි රුසියානු සමාජවාදයේ ස්වර්ණමය යුගය ඇතිවුයේ 60 දශකයේ දෙවන භාගයේදීය. 

රුසියාවේදී තමාට මුහුණ පෑමට සිදුවූ යම් යම් අමිහිරි සිදුවීම් සහ අතරමගදී ලංකාවට පැමිණි පසු නැවත තම අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට පිවිසීමට එරට රජය තහනම් කිරීම මේ වෛරයට හේතු පාදක වන්න ඇත. 

ලංකාවේ තරුණයන් එදා සිට අද වන තෙක් "සමාජවාදය" නමින් දකින්නේ අඩු වැඩි වශයෙන්  මේ විජේවීර දායාද කල වෛරී චින්තනය බව මට වැටහේ. සරසවියේ වසර 4 ක උපාධිය සඳහා වසර 7 ක් ගතකල 88/89 සරසවි යුගයට අයත් අපේ පරපුරට මේ ගැන හොඳ අත්දැකීමක් ඇති බව මම දනිමි. 

මේ විජේවීර චින්තනය පෙරටු කොට ගත් මුල් කාලීන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිත්වය සහ එහි තිබූ පුහු බව පිළිබඳව විග්‍රහ කරන විට එම පිලේ අරටු බැසගත් (hardcore) සාමාජිකයන් බොහෝ විට කියන කතාවක් ඇත. එනම් 60 දශකය අග භාගය වනවිට ලංකාවේ පැවති සමාජ අසාධාරණයන් සහ දේශපාලන වාතාවරණය පිළිබඳව අපට අංශු මාත්‍රයක දැනුමක් නැති බවයි. මෙම ප්‍රකාශය පරාජිතයාට ඉතා පහසුවෙන් සැඟවිය හැකි නවාතැනකි.

60-70 යුගය තුල දකුණු කොරියාව, සිංගප්පුරුව, මැලේසියාව, වියට්නාමය ආදී රටවල් පමණක් නොව ජපානය සහ සමහර යුරෝපා රටවල්ද ගත කලේ ඉතා දුෂ්කර පරිච්චේදයන්ය. ඉන් බොහෝ රටවල  වාතාවරණය ලංකාවේ එවකට තිබූ තත්වයට වඩා බෙහෙවින් පහල තිබුණි. ඔබ දකුණු කොරියාවේ සහ ජපානයේ මෙන්ම පසුකාලයක වියට්නාමයේ පිබිදීම පිළිබඳවද සොයා බලන්න. එවිට ඔබට සරල යථාර්තය වැටහෙනු ඇත. 

මෙම රටවල  නාගරික රැකියා විරහිත සහ දුෂ්කර ගම්බද තාරුණ්‍ය ප්‍රාදේශීය වශයෙනුත් ඉන්පසු ජාතික තලය තුලත් සාමුහිකව ක්‍රියාත්මක වන්නවිය. ඒ එකමුතුව විසින් ග්‍රාමීය සහ දුප්පත් නාගරික ස්ථර වල රැකියා උත්පාදනයට උර දුන්නේය. ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ නායකත්වයකින් තොරව ඔවුන් කෘෂිකාර්මික කටයුතු සහ ඒ හා සබැඳි වාරි සහ කුඩා මාර්ග සංවර්ධනය කරන්න විය. රජයේ අවධානය ඒ කෙරේ යොමු වුයේ මේ තරුණ ක්‍රියාන්විතය ඉදිරියට යනු දැකීමෙනි. වියට්නාම්, දකුණු කොරියානු මෙන්ම තායිලන්ත රජයන්ද මේ කර්තව්‍යයට යොමු වුයේ එසේ නොකර සිටීමෙන් ඔවුන් ඉබේටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන තත්වයක් ඇතිවෙමින් තිබුණු බැවිනි. 

"මගේ හිසට මගේ අතින් තල් අත්ත ඔසවාගෙන වැසි දියෙන් බේරී, මම අනෙකුත් අය වෙනුවෙන් තල් අතු කැපුවෙමි". මෑතකදී මැලේසියාවේ යොවුන් හමුවක් ඇමතූ වියට්නාමයේ 80-දශකයේ ක්‍රියාකාරී වූ තරුණ නායකයෙක් එවකට තම ක්‍රියාකාරිත්වය පිළිබඳව ප්‍රකශ කලේ ඒ ආකාරයෙනි.

අවශ්‍ය නම් රජයේ හෝ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ කිසිඳු සහයෝගයක් නොමැතිව රට වෙනුවෙන් කැපවීමට ජනතාව එකතුකළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණ දෙවරක් ප්‍රයෝගිකවම පෙන්වීය. 

එහෙත් දකුණු කොරියාවේ, වියට්නාමයේ, ජපානයේ තාරුණ්‍ය එම එකමුතුව තුලින් ජාතික සම්පත් ගොඩනගන විට ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ  මහජන සම්පත් විනාශ කර දැමුහ. 

ඔවුන් ජනතාව ජිවත් කරවන්න උර දෙන විට මොවුහු ජනතාව මරා දැමුහ. 

ඔවුන් දුප්පතුන් පොහොසතුන්ගේ ලොවට කැන්දාගෙන යන්න යත්ත දරන විට මොවුහු දුප්පතුන්ගේ දුප්පත්කම උත්කර්ෂවත් කළහ. 

ඔවුන් තමන්ගේ දැණුම, ශක්තිය සහ සමාජ චින්තනය පිළිබඳව දැඩි ලෙස විශ්වාසය තබද්දී මොවුහු ඈත එපිට රටක දශක ගණනාවකට පෙර අනුගමනය කල අසාර්ථක ක්‍රමවේදයක් දේවත්වයේ ලා සැලකූහ.

අන්තිමේදී මොවුන් තමා විසින් පරාජය කිරීමට වලි කෑ තක්කඩි ධනපති දේශපාලන ප්‍රවාහය වෙනුවෙන්ම වීල්බැරෝව තල්ලු කරන කුළී කාරයන්ගේ තත්වයට පත්වුහ. මෙය අතිශයින් ඛේදජනක වෘතාන්තයකි.  

විජේවීර විසින් බිහිකළ ජනතා විමුක්ති පෙරමුණට හෝ ඉන් කැඩී ගිය ශාකා වලට තවමත් රාජ්‍ය පාලන තන්ත්‍රය  පිළිබඳව පැහැදිලි චින්තනයක් හෝ අරමුණක් නොමැති බව මට සිතෙයි. නමුත් අවශ්‍ය නම් එය ඔවුනට ඉතා කෙටි කාලයකදී ගොඩනගා ගත නොහැකි යයි මම මින් අදහස් නොකරමි. 

මෙම වාමවාදී නායකත්වය රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේදී යම් යම් පරිවර්තනයන්ට භාජනය වෙමින් විටින් විට නව ලිබරල්වාදී චින්තනයක සේයා මතුකරයි. නමුත් සරසවි තුල ඔවුන්ගේ දේශපාලනය තවමත් 70 දශකයේ විජේවීර චින්තනයෙන් මිදී ඇති බවක් නම් නොපෙනෙයි. 

එහෙත් ලංකාවේ දැනට ඇති, හදවතට අවංකව දේශපාලනයෙහි නිරතවන එකම පක්ෂය ලෙස මම ජනතා විමුක්ති පෙරමුණ දකිමි. ලංකාවේ සිටින අන් සියළුම දේසපාලුවන්ට වඩා ඔවුන් සත්‍යවාදිය, දුෂණයෙන්, වංචාවෙන් තොරය. එහෙත් සමුහයක් ලෙස ඔවුන් තුල ලංකාව මුහුණ දී ඇති ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා වූ යථාර්තවාදී හා ප්‍රායෝගික රාජ්‍ය පාලන මොඩලයක් ඇතැයි මම නොසිතමි. 

සෝවියට් දේශය බිඳ වැටුණු සැණින් මිනිසුන් තුල වසර 70 වකට වඩා යටපත් කර තිබූ මිනිස් ස්වභාවය මතුවන්න විය. සාමූහික ආර්ථික ක්‍රමවේදයන් අත හැර දමා ඔවුන් පෞද්ගලික ආර්ථිකයකට වේගයෙන් ප්‍රවිෂ්ඨ විය. ආගම ජාතිය වැනි සංකල්ප දිය යට තෙරපාගෙන සිටි රබර් බෝල මෙන් උඩ මතුවිය. ජන සමුහයේ උන්නතිය වෙනුවට පවුලේ යහ පැවැත්ම පෙරමුණ ගත්තේය. 

මෙය මිනිස් ස්වභාවයයි. වසර දහස් ගණනක් ක්‍රමිකව විකාශනය වූ මිනිස් සිතුම් පැතුම් සමුදායන් යටපත් කල හැක්කේ කෙටි කාලයකට පමණකි. කූඩු කරන ලද ව්‍යග්‍රයාගේ ව්‍යග්‍ර ස්වරුපය ඉඩ ලද විගසින් යලි මතුවන්නා සේ මිනිසා තම මනස සහ දෑත බැඳී යදම් වලින්  නිදහස් වූ සැණින් ඔහුගේ මිනිස් ගති ගුණ මතුවෙයි.

රටක් ගොඩ ගැනීමට දෑත දැරිය යුත්තේ උදළු, නගුළු, මිටි, දෑකැති මිස AK47, T56, ගල් කටස්, ග්‍රෙනේඩ් නොවන බව පොල් පොට් පරපුරේ උදවිය ලෝකයට පෙන්වාදී ඇත. නූතන යුගයේ පරිඝනකය සහ මෘදුකාංග රටක් නොව ලෝකයක් ගොඩනගයි. අසාධාරණය, අසමානතාවය ජයගත හැක්කේ තමාටත්, රටටත් වැඩදායක යමක් කිරීමෙන් මිස කිසිවක් හෝ කිසිවෙක් විනාශ කිරීමෙන් නොවන බව ඉතිහාසය නැවත නැවතත් පුනරුච්චාරණය කරයි. 

ලාංකීය සමාජවාදී මොඩල් කිහිපයක් මේ වන විට ඇතිවී නැතිවී ගියත් ඒ එකක්වත් ලංකාවට ගැලපෙතැයි මට නොසිතේ. මෙහිදී මා ලාංකීය සමාජවාදයක් ගැන කතා කරන්නේ එය රුසියානු හෝ මා අසා ඇති අනෙකුත් සමාජවාදයන්ට තරමක් වෙනස් වන බැවිනි. මේ ගැන පහදන්න අප සමාජවාදයේ අර්ථ දැක්වීම් විග්‍රහ කල යුතුය. අපි ඒ පිළිබඳව ඊළඟ ලිපියෙන් කතා කරමු. 



ඊළඟ කොටස: අපිට ඕනේ මොඩල් එක - ස්වීඩන් මොඩලයද? 


          


Wednesday 17 July 2019

අපිට ඕනේ මොඩල් එක - සිංගප්පුරු මොඩලයද?


අපි පස්වරු 2ට පමණ ගෙදරින් පිටත් වන අතර කිලෝමීටර 300 කට වඩා දුරගෙවා පස්වරු 6ට පමණ ජෝහොර් බාරු වෙත ලඟා වෙමු. එහි හෝටලයක රාත්‍රිය ගතකරන අප පසුදා උදෑසනින් අවදි වී ගමන ආරම්භ කර වුඩ්ලන්ඩ් පාලම හරහා සිංගප්පුරුවට වන්නෙමු. 

අපි මැලේසියාවේ ගතකල වසර දහයක කාලය තුල මම පස්වරක් සිංගප්පුරුවට ගොස් ඇත්තෙමි. මේවන විට මම හරියටම ලෝකයේ ඇති රටවල් 50 කට පා තබා ඇත. ඉන් මා යාමට අකමැතිම රට සිංගප්පුරුවයි. ප්‍රථම වර මා එහි ගියේ එහි සුන්දරත්වය නැරඹීමට කීවොත් සත්‍යයකි. අනෙක් සෑම වරකම ගියේ අත්‍යවශ්‍ය වූ කාරණාවකට පමණකි. 

සිංගප්පුරුව ලොව ඇති පිරිසිඳුම රටකි. එහි අගය කිරීමට බොහෝ දේ ඇත. අහස සිඹින ගොඩනැගිළි, විනෝද උයන්, තරු ගණනාවක හෝටල්, ඉතා ක්‍රමවත් මාර්ග පද්ධති,  ඕනෑම ක්‍රියාවලියක ඇති ක්‍රමවත්භාවය ආදී ධනාත්මක කරුණු රැසකින් හෙබි මේ නුවර මා යාමට අකමැතිම ස්ථානයක් වන්නේ කෙසේදැයි ඔබ විමතියෙන් අසනු ඇත. 

සිංගප්පුරුව පුරාම මා දකින්නේ හැඟීම් දැනීම් නැති රොබෝවරුන් පිරිසකි. ඔවුන් තුල කලාත්මක චින්තනයක්, ස්වභාවධර්මය පිළිබඳව සුන්දර හැඟීමක් හෝ අඩුම තරමේ හාස්‍ය රසය විඳගැනීමේ හැකියාවක් හෝ මා දකින්නේ නැත. බස් රථයකට හෝ දුම්රියකට ගොඩ වන ඔබට තම ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ දෙනෙත් ඔබා නොගත් පුද්ගලයෙකු දැකිය හැකි නම් එය පුදුමයකි. 

තෝකියෝවේ හෝ  හොංකොන්  නුවරදීද ඔබ මීට සමාන මිනිසුන් දකිනු ඇත. එහෙත් ඔවුන් ඉතා ආචාරශීලි වන අතර ඔවුන්ගෙන් කලාත්මක වින්දනය සම්පුර්ණයෙන් ගිලිහි ගිය බවක් නොපෙනේ. වරක් සිංගප්පුරුවේ උමං දුම්රිය පොළකදී අතපසු වීමකින් වයස 16 ක පමණ දැරිවියකගේ  ජංගම දුරකතනයේ මගේ අත යාන්තමින් වැදුණු අතර ඇය ඉතා උස් හඬින් මට බැන වැදුනාය. එවන විට වසර 8 ක් පමණ මැලේසියාවේ ලයාන්විත මිනිසුන් සමග දිවි ගෙවා තිබු මම ඇය දෙස තුෂ්නිම්භූතව බලා සිටියෙමි. 

1965 ට පෙර මැලේසියාව සහ සිංගප්පුරුව එකම රටකි. එහි වාසය කලේ එකම ජන කොට්ඨාශයකි (මැලේ, චීන, ඉන්දියන් මිශ්‍ර). වසර 50කදී ආර්ථික වශයෙන් මැලේසියාවට වඩා බොහෝ දුර ගමනක් සිංගප්පුරුව ගියේය. දරුණු නීති රීති යටතේ සිංගප්පුරුව විශාල ආර්ථික ප්‍රගතියක් අත්පත් කරගත්තේය. එහි දුෂණය බිංදුවක් ලෙස බොහෝ දෙනා දකිති. සිංගප්පුරු ජාතිකයන් බොහෝ දෙනෙකු අතර ආගම, ජාතිය, වර්ගය වැනි සංකල්ප පිළිබඳව හැඟීමක් නැත. මේ නිසා මෙම බෙදීම් මත පදනම් වූ ගැටුම් එහි නැත. 

මේ සියළුම යහඵල වෙනුවෙන් අඩසියවසක් තුල සිංගප්පුරුව විශාල ගෙවීමක් කර ඇත. එනම් රටේ සංවර්ධනය භුක්ති විඳීමට මිනිසුන් වෙනුවට යන්ත්‍ර බිහි කිරීමයි. ඔබට වුඩ්ලන්ඩ් පාලමෙන් මෙපිට මැලේසියාවට පා තබන විට මේ වෙනස සැබවින්ම දැනෙනු ඇත.

මම හැමදාම කියන කළු සහ සුදු ලෝකය වෙතට මම නැවතත් ඔබව රැගෙන යමි. කළු කළු වන්නේද සුදු සුදු වන්නේද දකින්නාගේ විඥාණය මතය. මා සිංගප්පුරු ජාතිකයන් කිහිප දෙනෙකු සමගම ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳව කතා කර ඇත්තෙමි. ඔවුන් සියළු දෙනාම එම ජීවිතය පිළිබඳව තෘප්තිමත්ය. ඔවුන් සැම දෙනෙකුගේම සතියේ රටාව එක හා සමානය. ගමන, රැකියාව, රෙදි සේදීම, ආහාර පිසගැනීම සහ අනුභව කිරීමට අමතරව ඔවුන් කරන්නේ සිකුරාදා සවස පබ් එකකට ගොස් බියර් වීදුරුවක් බීමත්, රුපවාහිනිය නැරඹීමත්ය. 

මිතුරු හෝ නෑදෑ ඇසුර, අසල්වැසියා සමග සතුටු සමිච්චිය, ආගමික හෝ සංස්කෘතික කටයුතුවල යෙදීම, විනෝද ගමන් යාම, චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හෝ නැටුම් දර්ශන නැරඹීම ආදී ක්‍රියා ඔවුන්ගේ කාල සටහනේ නැත.

දුප්පත් සමාජ පන්තිවල බොහෝ දෙනාට මේ සිංගප්පුරු ජාතිකයා නොකරන දේවල් කිරීමට ශක්තියක් නැත. එහෙත් ආර්ථික ශක්තිය තිබියදීද එයින් ඈත්වීම ඛේදයක් ලෙස මම දකිමි. සමහර ආගමික සමාජ තුලද මේ තත්වය ඇත. එබඳු තමා විසින් තමාගේ මනසට විලංගු දමාගත් ප්‍රජාවන් පිළිබඳව මම මෙහිදී කතා නොකරමි.

සිංගප්පුරු ජාතිකයෙක් උපතේ සිට මරණය දක්වා ඔහුගේ ජීවිතය ක්‍රමලේඛනය (programmed) කර ඇති බව මට හැඟෙයි. මිනිස් ජීවිතයක් යනු මෙම රජයේ ක්‍රමලේඛන රාමුවෙන් ඔබ්බට ගිය භුතාර්ථයක් විය යුතුයැයි මම සිතමි. මෙම ක්‍රමලේඛනය සහ සමහර ආගමික-සංස්කෘතික රාමු තුල බලහත්කාරයෙන් යොදන මානසික විලංගුවක් අතර ලොකු වෙනසක් මට නොපෙනේ. විලංගු ලාගත් සිංගප්පුරු ජාතිකයා මෙන්ම ආගමික අනුගමිකයාද තම විලංගුව සැපයක් බව සිතයි. මට සිංගප්පුරුව පෙනෙන්නේ, ලෝකයේ ඇති සුවපහසුම සිපිරි ගෙය ලෙසයි. මෙය සමහර විට මගේ චින්තන දෝෂයක් විය හැක. 

ලී ක්වාන් යූ බාරගත් සිංගප්පුරුව පිලිබඳ ඉතිහාසය දන්නා ඕනෑම අයෙක් ඔහුගේ ක්‍රියා මාර්ගය පසසනු ඇත. මමද එතැන සිටිමි. 

පැය 24ක් තුල මැලේසියාව විසින් පසු පසට පයින් ගසා සිංගප්පුරුව තම ෆෙඩරේෂනයෙන් (Malaysian Federation) එලවා දැමුයේ එහි වෙසෙන මිලියන දෙකක ජනතාව පිළිබඳව කිසිඳු තැකීමක් නොකරය. ජලය නැති, වගා බිම් අඩු, කිසිඳු ආදායම් මාර්ගයක් පිළිබඳව හෝඩුවාවක් නැති බිම් කඩක මේ පියා දරුවන් මිලියන දෙකක් සමග තනිවිය. ඔහුට තිබුණේ තේරීම් දෙකකි. එකක් සිය දරුවන් සමග මිය යාමයි. නැතිනම් ඉතා කර්කෂක රළු පථයක දිවි පරදුවට තබා ජාතිය ඉදිරියට ගෙන යාමයි. ඔහු දෙවෙනි මාර්ගය තෝරාගත්තේය. 

ඒ ගමන සඳහා ඔහු තම දරුවන් යන්ත්‍ර බවට හැරවීය. යන්ත්‍රවලට රිදවිය නොහැක. මාර්ගයෙන් පිට පනින යන්ත්‍ර ඔහු අක්‍රිය කර කොටස්වලට ගලවා දැමිය. ඒ ගැන අනෙක් යන්ත්‍ර කිසිඳු හඬක් නොනැගීය. ඒ ඒවා යන්ත්‍ර නිසාය. වසර 50 ක පමණ දිගු ගමනකින් පසු ලී ක්වාන් යූ නික්ම ගියේ ඔහුගේ පොරොන්දු දේශය යථාර්තයක් වූ බව මැනවින් පසක් කරගනිමිනි. එහෙත් එහි සිටින දරුවන් යන්ත්‍ර බව ඔහු අවබෝධ කරගත්තාදැයි මම නොදනිමි.   

මේ කතාව මට කීමට සිත් වුයේ ලංකාවට අවශ්‍ය රාජ්‍ය පාලන මොඩලය හෙවත් ආකෘතිය පිළිබඳව යම් කතිකාවතක් ඇතිවී ඇති නිසයි. 

ලංකාවට අවශ්‍ය සිංගප්පුරු මොඩලයද? මගේ පෞද්ගලික අදහස නම් අනිවාර්යයෙන්ම එය නොවන බවයි.

1965 දී ලී ක්වාන් යූ බාරගත් සිංගප්පුරුවත්, අද පවතින ලංකාවත් සංසන්දනය කිරීම ඔබට බාරය.

කෙසේ නමුත් අපේ මොඩලයකට සිංගප්පුරුවෙන් ගත හැකි දේ බොහෝ ඇත. 

........ ඊළඟ කොටස: අපිට ඕනේ මොඩල් එක -ලාංකීය සමාජවාදී මොඩලයද?