Follow this Blog

Tuesday, 22 November 2016

අමානුෂික ට්‍රැෆික් දඩය......




නැවතත් දෙසැම්බරය පැමිණ ඇත. පාර දෙපස හිම කඳු ගොඩ ගැසෙයි. ඝනකම හිම කබාය විනිවිද ඇඟට ඇතුළුවන සීතල සමට ඉඳිකටු අනින්නාක් මෙන් දැනේ. 

මට ගිය දෙසැම්බරය මතක් වෙයි. ස්ටොක්හෝම් නුවර සිටින සිංහල පවුලක් අප කිහිප දෙනෙකුට රාත්‍රී භෝජනයට ආරාධනා කලේ නත්තල් සමයේ ඔවුන් ප්‍රංශයට යාමට සැලසුම් කර සිටි නිසාවෙනි. මට නුවන් හමුවුණේ එහිදීය. ඔහු කිලෝමීටර 150 ක් පමණ දුරක් තම මෝටර් රථය පදවාගෙන සාදයට පැමිණ තිබුණි. 

ස්වීඩනයේ සාදයකට නැතිවම බැරි වොඩ්කා වලින් එම රාත්‍රියද පිරී ඉතිරී ගොස් තිබුණි. තමාට රිය පදවාගෙන යා යුතු බව කියා නුවන් මදු විතින් ඈත්වී සිටියේය. එහෙත් සාදය සංගීතයට පරිවර්තනය වෙත්දී නුවන්ගේ සිල් බිඳුණ බව පෙනුනි. ඔහු වීදුරුවකට පුරවාගත් මත්පැන් මිශ්‍රිත පානයක් තොලගාන්න විය. 

රාත්‍රී 11 පමණ වන විට සාදය නිම වෙමින් පැවතී අතර එකා දෙන්නා පිටව යන්න විය. නුවන්ද තරමක් පමාවී අප සැමට සමු දුන්නේය. කලින් කතා කරගෙන සිටි පරිදි අප සාදය පැවත්වුවන්ගේ නිවසේ එදින රාත්‍රී නතර විය. 

පසුදා උදෑසන අපි නිවැසියන්ට ස්තුති කර අපගේ නිවස කරා යාමට එළියට පිවිසියෙමු. එවිටම වාගේ එම නිවසේ ගේට්ටුව අද්දරම පාරේ නවතා තිබු රථයක පිටුපස අසුනෙන් එලියට බැස්සේ නුවන්ය. ඇස් දෙක පිසදමමින් අප දෙස බලා සිටින නුවන්ගෙන් මම මෙලෙස ඇසුවෙමි.

"ආ නුවන් ඔයා එලි වෙනකම් හිටියේ මෙතනද? ඊයේ රෑ ටෙම්ප මයිනස් 20 විතර නේද තිබුනේ", පෙරදින රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍන 20 පමණ බව ප්‍රවෘති වල වාර්තා විය. 

"චන්දිම, ඊයේ මම පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තනේ. පොලිසියට අහුවුණොත් මාසේ පඩියෙන් භාගයක් ෆයින් එකට යනවා. ඒ මදිවට මාස හයක් ලයිෂන් කැන්සල්. මම කරන්නේ ටුවර් ගයිඩින්. ලයිෂන් කැන්සල් වුනොත් මම හම්ඹ කරලත් ඉවරයි. මෙතන රැයක් නිදියන එක ඊට වඩා දාහෙන් සම්පතයි".

මම කිසිවක් නොකිව්වෙමි.

***************************************

මොනැකෝ සහ මික්‍රොනිසියා යන ඉතා කුඩා රාජ්‍ය දෙක හැරුණු විට ලොව අඩුම මෝටර් රථ අනතුරු ප්‍රමාණයක් වාර්තා වන රට ස්වීඩනයයි. ඒ ඉතා කටුක දේශගුණයක්ද පරදවමිනි.  


  


Monday, 14 November 2016

හොල්මන් අවතාර සහ පාතාලය



1993 වසරේ දෙසැම්බර් 11 වනදා මැලේසියාවේ මෑතකදී වාර්තා වූ විශාලම ඛේදවාචකය සිදුවිය. තට්ටු 12කින් යුත් ගොඩනැගිලි තුනක් සහිත හයිලන්ඩ් නිවාස සංකීර්ණයේ එක් ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටුණි. මෙය 48 දෙනෙකුට මරු කැඳවූ අතර අනෙක් ගොඩනැගිලි දෙකේ පදිංචි නිවැසියන් වහා ඉවත් කරන ලදී. ඉන් අනතුරුව මේ ගොඩනැගිළි ක්‍රමයෙන් වල් බිහිවී භූත මන්දිර බවට පත්විය.

නොබෝදා නැවතත් මෙම නිවාස සංකීර්ණය පිළිබඳව කතා බහ ඇතිවන්නේ ඒවා තම අධිරාජ්‍ය කරගත් අපරාධ විශාල ප්‍රමාණයකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කිහිප දෙනෙක් එහිදී පොලිස් වෙඩි පහර වලින් මිය යාමත් සමගය. ප්‍රදේශයේ සිවිල් ජනතාව ඉන් අනතුරුව විශාල උද්ඝෝෂණයක් කරමින් පසුගිය දශකයකට අධික කාලයක් තමා මේ නිවාස සංකීර්ණයට අරක් ගත් අපරාධ කරුවන්ගෙන් විශාල ලෙස පීඩා විඳින බව පවසමින් එම ගොඩනැගිළි සම්පුර්ණයෙන්ම කඩා ඉවත් කරන්න යැයි රජයට බල කරන්න විය. 


මට සිහිවන්නේ මීට වසර තිස් පහකට පමණ පෙර කැලණිය සරසවියේ (මට මතක ඇති විදියට) සමාජ විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් සිදු කල ගවේෂණයකි. මේ පිළිබඳව සති අන්ත පුවත් පතක පලවූ පරිදි ඔවුන් හොල්මන් අවතාර වලට ප්‍රසිද්ධ ලංකාවේ ගම් කිහිපයක් තෝරා ගෙන මෙම අදෘශ්‍යමාන බලවේගවල පසුබිම ගවේෂණය කර ඇත. ඔවුන්ගේ නිගමනය වී තිබුණේ මෙම සංසිද්ධි 100% ම ප්‍රදේශයේ සොරුන්, මංකොල්ල කරුවන්, වැලි සහ දැව ජාවාරම් කරුවන්, ගංජා හේන් වවන්නන්, හොරෙන් පතල් කපන්නන්, දඩ මස් වෙළෙන්දන්, කාම විකෘතිතාවලින් පෙළෙන්නන් ආදී සමාජ විරෝධී කටයුතු වල යෙදෙන්නන් විසින් ගොතන ලද ප්‍රබන්ධ බවයි. ප්‍රදේශයේ සිටින කට්ටඩියන් සහ දේවාලවල කපුවන් මීට පොහොර එකතු කරයි. 


බොහෝ ගම් වල අබිලිං මාමලා දෙතුන් දෙනෙක්වත් සිටින බැවින් ගම බිය වැද්දීම ඉතා පහසුය. අපරාධ කරුවන්ගේ අරමුණ ගම්වැසියන් තම සමාජ විරෝධී කලාප සහ එම කටයුතු සිදු කරන කාල පරාසයන්ගෙන් ඈත් කර නිවාස අඩස්සියේ තැබීමයි.  එය කට්ටඩියන්ට, කපුවන්ට මුදලක් සොයාගත හැකි ක්‍රමවේදයක් බැවින් ඔවුන්ගේ සහය ඊට නොමදව ලැබේ. අබිලින් මාමලා තම චෛතසික තෘප්තිය උදෙසා මේ අපරාධයට හවුල් වෙති. භූතයන්, ප්‍රේතයන් නගරබදට වඩා ගම්බදට විශාල ඇල්මක් දක්වන්නේ මේ නිසා විය හැක. 

මීට පසු ඔබේ ප්‍රදේශයේ අදෘශ්‍යමාන බලවේගයක් පිළිබඳව ආරංචියක් ලැබුණු විට ඔබ කල යුත්තේ කට්ටඩියන්, කපුවන් සොයාගෙන යාම නොව වහාම පොලිසියට දැනුම් දීමයි.  


Monday, 7 November 2016

අශ්වයන් පුහුණු කිරීම හෙවත් අධ්‍යාපනයේ අවුල් ජාලය



ලංකාවේ ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනයේ අවුල් ජාලය ගැන නම් සම්පුර්ණ පොතක් ලිවිය හැකි තරමට කරුණු තිබේ. එහෙත් මේ කතා කරන්නේ උපකාරක පංති (Tuition) පිළිබඳව මීට ටික කලකට පෙර සිදුවූ මිතුරු සංවාදයකදී මතුවූ කරුණක් ගැනයි. එහිදී බොහෝ දෙනෙකුගේ අදහස වුයේ පාසලේදී ලබා දෙන අධ්‍යාපනයේ බොහෝ අඩුපාඩු ඇති බැවින් ටියුෂන් පංති හරහා සිසුන්ගේ දැණුම පුළුල් කරගැනීමට දෙමව්පියන්ට සිදුවන බවයි.  

නමුත් මගේ අදහස ඊට වඩා වෙනස් විය. ලංකාවේ ටියුෂන් කලාව පිළිබඳව මට ඇත්තේ හොඳ දැනීමකි. ඒ මාද කුඩා කල පටන් ජීවිතේ සැහෙන දුරක් එම වෘතියේ විවිධ තලවල ක්‍රියාකාරී වූ බැවිනි. 

අද දෙමව්පියන් දරුවන්ව උපකාරක පංති වලට යොමු කරන්නේ තරඟකාරිත්වයේ පීඩනය දරාගත නොහැකි බැවිනි. මට සහතික කල හැක්කේ ලංකාවේ කිසිම සාර්ථක ටියුෂන් ගුරුවරයෙකු සිසුන්ට ඔය දෙමව්පියන් පවසන විෂය දැණුම හෝ සිතීමේ සහ විශ්ලේෂණය කිරීමේ ශක්තිය ලබා නොදෙන බවයි. ඔවුන් කරන්නේ හුදෙක් සිසුවා සාර්ථකව විභාගයට මුහුණ දිය හැකි පරිදි පුහුණු කිරීමයි. මෙය දරුවාගේ මොළය පරිඝනකගත කිරීමකට හෝ අශ්වයෙකු වේගයෙන් දිවවීමට පුහුණු කරනවාට වඩා වෙනස් නැත. මේ පුහුණුව ලබා දිය නොහැකි නම් ඔබ කොපමණ හොඳ අධ්‍යපනඥයෙක් වුවත් ටියුෂන් ගුරුවරයෙකු ලෙස අසාර්ථක වනු ඇත. මා මෙම ක්ෂේත්‍රයේ දකින යථාර්තය එයයි. 


මෙහිදී ඇතිවන ජාතික ගැටලුව වන්නේ මෙම අධ්‍යාපන ක්‍රමය විසින් බිහි කරන දරුවා රටට අවශ්‍ය ප්‍රයෝගික සේවය ලබා නොදී ජීවිත කාලයම කාගේ හෝ මග පෙන්වීම ඔස්සේ හැල්මේ දිව යන මගක් සෙවීමයි. නිතර සිදුවන රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ මේ මතය සනාථ කරයි. සරසවියෙන් පිටවන ඔවුන් සෑම විටම අසරුවෙක් සොයයි. අසරුවා ලබා නොදීම ගැන රජයට දොස් කියයි. අසරුවා පිට නංවා ගත් කල ඔහු අණ දෙන ආකාරයට ජීවිත කාලයම එක එල්ලේ දිව යයි. 

මේ අනර්ථකාරී ජාතික රෝගී තත්වය මැඩලීමට නොහැකිවන තාක් කල් අප රටේ දහසකුත් ප්‍රශ්න එලෙසම පවතිනු ඇත. ලාංකීය පාසැල් අධ්‍යාපනයේ නොයෙකුත් අඩුපාඩු තිබුනත් මා දන්නා තරමින් එය ලෝකයේ බොහෝ රටවලට වඩා ඉදිරියෙන් පවතියි. එබැවින් වහාම කලයුත්තේ මේ අනවශ්‍ය තරඟකාරී අධ්‍යාපන රටාව වෙනස් කිරීමයි. පාසැල් අධ්‍යාපනයේ අඩු පාඩු කම් පිළිසකර කිරීම කෙරේ දෙවනුවට අවධානය යොමු කල හැක.

ඒ සඳහා කලයුතු දෙය තීරණය කල යුත්තේ අධ්‍යාපනය මෙන්ම තාක්ෂණය, සමාජ විද්‍යාව සහ ආර්ථිකය ගැනද මනා දැනුමක් ඇති පරිපුර්ණ විද්වත් මණ්ඩලයක් මගිනි. දේශපාලුවා එතැනටද ඇඟිල්ල ගැසීමට යාමෙන් තත්වය තවත් බරපතල විය හැක.