Follow this Blog

Wednesday, 28 October 2015

That's the way in SL



ලංකාවේ එහෙම තමයි 





ගෝඨාභය රාජපක්ෂ මහතාව FCIDයට කඳවු දින කොළඹ නගරයේ මහා කලබලයක් ඇතිවිය. මෙම කැඳවීමට විරෝධය පෑ ජනතාව අතර සංඝරත්නය ද  විය. මින් කිහිප දෙනෙකු රාජ්‍ය දේපලවලට හානි කිරීම යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරන ලදී.

අනතුරුව ගෝඨාභය මහතා සෑහෙන වාර ගණනක් FCIDයට පැමිණ කටඋත්තර දී යන්න ගියේය. කිසිවෙකු ඔහු සමග නොආවේය. මුල් දින කලබැගෑනියෙන් නඩු වැටුණු උදවිය නීතිඥ ගාස්තු ගෙවමින් නිතර උසාවියට ඇදෙයි. ගෝඨාභය මහතා හෝ එදා එහි සිටි කිසිවෙක් ඔවුන් ගැන බලන්නේ නැත.

ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතාව FCIDයට කැඳවිය. ඔහු එහි නොගිය අතර FCIDය ඔහුගේ නිවසට පැමිණ කටඋත්තර ලබා ගත්තේය. මෙය මුහුණු පොතේ ඇවිදින සමහරුන්ට වීර ක්‍රියාවක් විය. එහෙත් ශ්‍රීලනිපයට සම්බන්ධ දැන උගත් බොහෝ පිරිසකට මේ ක්‍රියාවෙන් රටට දෙන ආදර්ශය අයහපත් බව පෙනී ගියෝය. සාකච්චා වට කිහිපයකින් පසු ආචාර්ය/මහාචාර්ය පදවි හෙබවූ කිහිප දෙනෙක් මහින්ද මහතාව පෞද්ගලිකව හමුවී මේ ගැන කරුණු කාරනා පැහැදිලි කලෝය. 

ඉන් අනතුරුව පවුලේ ඉතා  සමීප කිහිප දෙනෙකු සමග කතා කර එතුමා තීරණයක් ගනු ලැබිය. ශ්‍රීලනිපය තුල තමාට ලැදි යැයි සිතන එකම පුද්ගලයාව එතුමා කැඳවීය. පළාත් සභාවේ සිට දියවන්නාවට ළඟදී සම්ප්‍රාප්ත වූ මේ ක්‍රිකට් පවුලේ සාමාජිකයා කොළඹ-ගම්පහ අවට සිදු කෙරෙන ඕනෑම දේශපාලන ක්‍රියාවකට දහස් ගණනින් සෙනග රැස් කල හැකි අයෙකු ලෙස ප්‍රසිද්ධය. 

මහින්ද මහතා FCIDයට පැමිණෙන විට 10,000 පමණ රැස්වී එම ආයතනයට යන මග අහුරා පාරේ නිදා ගැනීම සැලසුම විය. මහින්ද මහතා FCID ආයතනය පවතින භූමි භාගයට ඇතුළු වුවහොත් පෙට්‍රල් ගැලුමක් ඇඟේ හලාගන ගිනි තියා ගන්නා බවට තර්ජනය කරන කාන්තාවක්ද තිර නාටකයේ පිටපතට ඇතුළු විය. අවසාන ජවනිකාව වන්නේ මහින්ද මහතා, තමා ඉතා කැමැත්තෙන් FCIDයට කට උත්තරයක් දීමට ආවත් සිදුවීමට යන ව්‍යසනය නිසා තමාට එය කිරීමට නොහැකි බව මාධ්‍යට පවසා නැවත හැරී ඒමය. 

මහින්ද හිතවාදී දේශපාලකයා මේ වන විට සිටියේ යම් තරමකට ව්‍යාකූල ස්වභාවයකිනි. මුලදී මහින්ද මහතාට පණ දීමට කතා කල බොහෝ ශ්‍රීලනිප නායකයෝ ඒ වන විට යහපාලනයේ ගුණ ගායනා කිරීම අරඹා තිබුණි. මහින්ද මහතා වටේට සිටින්නේ ආතක් පාතක් නැති හතර දෙනාගේ කල්ලියත් ශ්‍රීලනිපය වෙනුවෙන් තමා පමණකුත් බව ඔහු වටහා ගෙන තිබුණි. හතර දෙනාගේ කල්ලියද නොයෙකුත් විකාර වැඩ කරමින් හතර අතේ අනාගනිමින් සිටියේය. 

ඔහුගේ මේ ව්‍යාකුල තත්වයේ ප්‍රතිඵලය වුයේ මහින්ද මහතා FCIDයට පැමිණි දින බෝර්ඩ් කෑලි ඔසවා ගත් සාපේක්ෂව සුළු පිරිසකුත්, විප්‍රකාර කරමින් පොලිස් අත්අඩංගුවට පත් වූ පළාත් සභා මන්ත්‍රීවරයෙකුත් ඇරෙන්නට මාධ්‍යවල පළකිරිමටවත් විශේෂ දෙයක් නොවීමයි. මහින්ද මහතාට බලාපොරොත්තු නොවූ විලස FCIDයේ ප්‍රශ්ණ කිරීම් වලට මුහුණ දෙන්න සිදුවිය. FCIDයද ඉතා සූක්‍ෂම උපාය මාර්ගයක් මගින් මහින්ද මහතා තම දැලට කොටු කරගත්තේය. ඔවුන් මහින්ද මහතාගේ ප්‍රශ්ණ කිරීම තේ පැන් සංග්‍රහයකින් අවසන් කළේය. සිනහමුසු මුහුණෙන් මහින්ද මහතා එය භුක්ති විඳිනු මාධ්‍යවල පලවිය. නැවත FCIDයට නොඒමට මහින්ද මහතාට තිබුණු එකම තුරුම්පුව නම් FCIDයේ නිලධාරින් හිටපු ජනාධිපතිවරයෙකුට සිදු නොකල යුතු ආකාරයෙන් තමන්ට ආඩම් තේට්ටම් කළා යැයි චෝදනා කිරීමය. FCID නිලධාරින් එම තුරුම්පුවද සොරාගෙන ඇත. දැන් ඉතින් ගැලවීමක් නැත. 

මහින්ද මහතා ඊට පසුවද FCIDයට කට උත්තර දීම සඳහා පැමිණියද කිසිවෙකු ඒ ගැන වැඩි තැකීමක් නොකරනු පෙනෙන්න තිබුණි. 

බොහෝ දෙනෙකු සිතුවේ මේ රජය පත්වී ටික දිනකින් 2010 දී ජෙනරාල් සරත් ෆොන්සේකාට අත් වූ ඉරණම රාජපක්ෂ පවුලටද අත්වේ යයි කියාය. මෛත්‍රී - රනිල් හවුල ඊට වඩා ඉතා සටකපට සේයකි. ඔවුන් ලාංකික ජන විඥානය හොඳින් හඳුනන බව පෙනේ. තව FCID වාර කිහිපයකින් පසු මහින්ද ඇතුළු පවුලේ උදවිය එකිනෙකා අත්අඩංගුවට ගනු ඇතැයි මට සිතේ. එහෙත් ඒ වන විට එම සිදුවීම් සාමාන්‍ය තත්වයකට ජනතාව දකින ලෙස විඥානය හැඩගැසී (හෝ හැඩ ගස්වා) තිබෙනු ඇත. එය ලංකාවේ ස්වභාවයයි.

ඇමරිකාවට ගොස් විදුලි පුටුවේ ඉදගන්න වුනත් ලැහැස්ති යයි කියමින් වහසි බස් දෙඩු මහින්ද රාජපක්ෂ මහතා FCIDයට ගොස් කුෂන් පුටුවේ ඉඳ ගැනීමටත් බිය විය. මහින්ද මහතා වෙනුවෙන් ගිනි තියා ගෙන මිය යන්නට සුදානම් මුහුණු පොතේ වීරයෝ එකෙකු වත් මහින්ද මහතා වෙනුවෙන් FCIDය ඉදිරියට නොගිය බව නම් සක් සුදක් සේ පැහැදිළිය. ලංකාවේ හැටි එහෙමය. 

තව ටික දිනකින් මහින්ද මහතා සිර ගෙදරට පිය නගන විටද මේ වීරයෝ මුහුණු පොතේ පෝස්ට් වපුරනු ඇත. මන්ද එය වඩාත් පහසුදායක, කිසිඳු වියදමක් නොයන, ආරක්ෂාකාරී ක්‍රියාව නිසාය. ඉන් ඉක්බිති මෙම පෝස්ට් ක්‍රමයෙන් වියැකී යනු ඇත. 

ලංකාවේ දැනට සිටින සහ ඉඳිරියට පැමිණෙන සියළු පාලකයන්ට මෙය හොඳ පාඩමකි. 


***********************

Tuesday, 27 October 2015

Before the floodgates are opened......


වාන් දොරටු ඇරීමට පෙර 




වසර 2003 දී මම යුනෙස්කෝ ආයතනයේ සහයෙන් ජාත්‍යන්තර වැඩමුළුවක් ලංකාවේ සංවිධානය කලෙමි. එය අවසාන වුයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයට කල සංචාරයක් සමගිනි. උද්‍යානයේ වූ අතු පතර විසිරී ගිය සුවිසල් වෘක්ෂයක් අභියසදී ඉන්දියානු විද්‍යාඥයෙක් කියා සිටියේ එම ගස දුටු විට ඔහුට ඉන්දියාව සිහිවන බවයි. ඔහු අදහස් කර තිබුණේ එබඳුම වෘක්ෂයක් ඔහුගේ නිවස අසලත් තිබෙනවා යන්නයි. 

මේ අසාගෙන සිටි වැඩසටහනට සහභාගී වූ නේපාල ජාතිකයෙකුගේ (අද අප දෙදෙනා ඉතා කුළුපඟ මිතුරන්ය) මුවගින් ඉබේම පිට වුයේ, "අරක දකින විට මට නේපාලය සිහිවෙනවා" යන්නය.

ඔහු ඇඟිල්ල දිගු කර පෙන්වන දෙස බැලූ අප දුටුවේ සුවිසල් වෘක්ෂයේ වදුල නිසා කනාටු වී, පත්‍ර කහ පැහැ ගැන්වුණ කුඩා ගසකි. 

එදා එතන සිටි බොහෝ දෙනෙකුට මෙම සිද්ධිය තවමත් මතක ඇතැයි මම සිතමි. සියල්ලෝම සිනහවකින් එම සිදුවීම අවසන් කලත්, එහි යටි අරුත අවට සිටි දකුණු ආසියාතිකයින් සැම දෙනාටම ඉතා තදින් හිතට වැදුන බව නම් මට සහතිකය. 


ලොව පුරා 70-80 දශක ගෙවුණේ සිනමා තිරයේ රජකළ ඇමරිකානු වීරයාත් සමගය. ඊළඟ දශක කිහිපයේදී ගෙන ඒමට තිබු ඇමරිකානු ආක්‍රමණවාදය ආදරයෙන් වැළඳ ගැනීමට ඇමරිකාව විසින් ලෝ වැසියන්ගේ හදවත් සකස් කලේ හොලිවුඩ් තිරය සහ කොකා කෝලා බෝතලය හරහාය. ලොස් ඇන්ජලීස් නුවර සිට බංග්ලාදේශයේ හද්දා පිටිසර පැල් කොටය තෙක් තාරුණ්‍ය ඇමරිකන් ගැති කලේ මේ කාරණා දෙකයි.

අනූව දශකයේදී මේ ආක්‍රමණ යාන්ත්‍රණයේ අයිතිය පැහැදිලිවම නව හිමිකරුවෙකු අතට මාරුවිය. ඒ හිමිකරු ඉන්දියාවයි. මේ වන විට ලොව බොහෝ රටවල ධනපති පන්තිය අතරට පැමිණීමට සංක්‍රමණික ඉන්දියානුවෝ සමත් වී සිටියහ. ඔවුන් හරහා ආසියාවෙන් පිටත රටවලටද, ඉන්දියානු සම්භවයක් ඇති ව්‍යාපාරිකයන් හරහා දකුණු ආසියාතික රටවලටද ඉන්දියාව තම සංස්කෘතිය අපනයනය කළේය. 

ඔවුන්ගේ අභිප්‍රාය ඇමරිකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් විය. ඇමරිකාව තම බාහුවේ සවිය ලොවට පෙන්වන කවටයාගේ තත්වයට ඇද වැටෙද්දී ඉන්දියාව තම සංස්කෘතියේ අපනයනය හරහා විශාල ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩ නගා ගත්තේය. 

ඔබ ලංකාව දෙස පමණක් බලන්න.......


දැනට වසර 20ක පමණ සිට අපි සන්ධ්‍යා කාලයෙන් වැඩි වෙලාවක් කා දමන්නේ කුමකටද? ඒ ඉන්දියන් සංස්කෘතිය සිප වැළඳ ගැනීමට නොවේද? එකකට පසු එකක් දිග හැරෙන සිංහල හඬ කැවූ ඉන්දියානු බොල් ටෙලි වෘතාන්ත අපගේ නිවස වෙලාගෙන ඇත. ඉන්දියානු සම්භවයක් සහිත ව්‍යාපාරිකයෙකුගේ නාලිකාවකින් මෙම ඇබ්බැහිය ලබා දුන් අතර එය ශීග්‍රයෙන් වෙනත් නාලිකා අතරද පැතිර ගියේය. 

මෙහි ද්විතික අවස්ථාව වුයේ මෙම ටෙලි නාටක ලංකාවේ නිපදවීමයි. ඒවායේ රඟන්නේ ලංකාවේ නළු නිළියන්ය. කතා බස් කරන්නේ සිංහලෙනි. එහෙත් ඇඳුම් පැළදුම් වල සිට දෑසින් කරන ඉඟි බිඟිය දක්වා සියලුම නාටක ඉන්දියන් පිටපතේ කාබන් කොපිය. 

මෙහි ප්‍රතිඵලය කුමක්ද?

මේ ආනයනිත ඉන්දියන් සංස්කෘතිය හරහා පිරිහෙන ලාංකීය අනන්‍යතාවයත්, කා දමන කාලයත්, මන:කල්පිත චරිත මුහුණ දෙන කරදර කම්කටොළු තමන්ගේ කරගෙන මනස විකල් කරගන්නා කාන්තා පක්‍ෂයත් අපි මදකට අමතක කරමු. 


අද මධ්‍යම පන්තියේ විවාහ උත්සවයක් දෙස බලන්න. එය තනිකරම ඉන්දියන් බසාර් එකකි. සමහරුන් ඉන්දියාවටම ගොස් ඉතා මිල අධික සාරි මිලදී ගෙන එති. ගුජරාටි, මරාටි, පන්ජාබ් ආදී නම් යොදා ගත් නොයෙකුත් විකාර ඇඳුම් සඳහා විශාල මුදලක් ඉන්දියාවට පුද දෙති. 

ගැහැණු පිරිමි දෙපක්ෂයම එකසේ මේ කාර්යට දායක වෙති. එදා ජපානෙන් හෝ වෙනත් රටකින් පැමිණෙන රෙද්දක් මිලදී ගෙන හන්දියේ ටේලර්ගෙන් කලිසම මසාගත් මනමාලයා අද ඉන්දියන් රෙද්දක් මිලදී ගෙන වැල්ලවත්තේ හෝ පිටකොටුවේ සිටින ඉන්දියන් ටේලර්වරු සොයාගෙන යයි. අද මා දන්නා තරමින් බොහෝ ප්‍රධාන පෙළේ ඇඳුම් මසන ආයතන විශාල පඩියක් ගෙවා ඉන්දියන් ටේලර්වරුන් මෙරටට ගෙන්වාගෙන සිටිති. නොඑසේ නම් ඔවුනට ඉල්ලුමක් නැත.

බොහෝ කලක සිට ලංකාවේ කෙරෙන විශාල වරදක් මම දකිමි. ශ්‍රී ලාංකික කාන්තාවගේ නිල ඇඳුම ලෙස සළකන්නේ සාරියයි. රජයේ සේවය කරන සියළුම කාන්තාවන්ට (විශේෂ තත්ත්ව යටතේ නොවේ නම්) සාරිය අනිවාර්ය වේ. පෞද්ගලික ආයතන බොහොමයකද තත්වය එසේමය. පන්සලටත්, මගුලටත්, අවමගුලටත් පිළිගත් ඇඳුම සාරියයි.

එහෙත් 77 න් පසු ලංකාවේ කිසිඳු තත්වයක සාරියක් නිෂ්පාදනය වුවා යැයි මම නොසිතමි (ඊට කලින් නිපදවුයේද  භූමිතෙල් සුවඳ හමන බාල වර්ගයේ සාරිය). තමන්ගේ රටේ නිපදවන්නේ නැති ඇඳුමක් සාමාජීය ලෙස ප්‍රමිතිගත කරගත් එකම රට ලංකාව විය හැක. ලංකාවට ගෙන්වන සාරි වලින් 99% පැමිණෙන්නේ ඉන්දියාවෙනි (සුළු ප්‍රමාණයක් බංග්ලාදේශයෙන් පැමිණේ).

සාරි ඇඳගෙන ඉන්දියන් විරෝධී බැනර් ඔසවාගෙන ගිනි අව්වේ කෑගසමින් පෙළපාලි යන කාන්තාවන් දෙස මම බල සිටින්නේ සංවේගයෙනි.


ලංකා අශෝක් ලේලන්ඩ් කියා බෝඩ් ලෑල්ලක් ගසා තිබුනාට හැමදෙනාම යන ලංගම බසයට ලංකාවේදී කෙරෙන්නේ බෝඩියට ඇණ රිවට් කිරීම පමණි. පාරේ අඩියක් අඩියක් ගානේ බජාජ් ත්‍රි රෝද රථ, හීරෝ හොන්ඩා යතුරු පැදි, මරුටි වාහන, ටාටා ලොරි හා බස් රථ පිරිලාය. උදැසන නැගිට බුරුසුවට මිරිකන දන්තාලේපයේ සිට රාත්‍රී නින්දට පෙර කට සේදීමට වතුර ටික දාගන්නා ප්ලාස්ටික් කෝප්පය දක්වා අපගේ දෛනික ජිවිතයේ බොහෝ දේවල් ලැබෙන්නේ ඉන්දියාවෙනි (නැතහොත් චීනයෙනි). 

දහසකුත් වැඩ අතර මට මේ ලිපිය ලියන්න සිතුනේ ආන්දෝලනයකට තුඩු දී ඇති වෙළඳ හා සේවා හුවමාරු ගිවිසුම මේවන විට නැවතත් කරලියට පැමිණ ඇති නිසාවෙනි. 

වසර 2004 සිට 2009 දක්වා කාලය තුල මා කලාපීය වැඩසටහනක නායකත්වය දැරූ බැවින්, සියලු දකුණු ආසියාතික රටවලට නිතර ආගිය හැකි විය. නේපාලයේදී, භූතානයේදී, පකිස්ථානයේදී මට නිතරම අසන්නට ලැබුනේ එක දෙයකි.

"ඔබ හරිම වාසනාවන්තයි. ඔබට ඉන්දියාව සමග ගොඩබිම් දේශ සීමාවක් නැහැ. අපිටත් එහෙම වුනා නම් මේ කරදර කිසිවක් නැහැ".

පකිස්ථානයේදී මම එහි රාජ්‍ය නායකයන් ඇතුළු ඉහල පෙලේ නිලධාරින් කිහිප දෙනෙකු සමගම කතා බස් කර ඇත්තෙමි. ඔවුන් සියලු දෙනාගේම මතය වුයේ "අපට ඉන්දියාව සමග මිතුරු කමක් අවශ්‍ය නැහැ. සතුරු කමක් නොතිබුනාම හොඳටම ඇති" යන්නය.

මෙහි අදහස නේපාලීය හා භූතාන ජාතිකයන්ට හොඳින්ම වැටහෙන බව මම දනිමි. ඉන්දියානු මිතුරු හස්තය සමග පැමිණෙන ව්‍යාපාරික ගංවතුරෙන් ඔවුන් හොඳටම යටවී ඇත. ගොඩබිම් දේශ සීමා නිසා ඔවුන්ට මේ ජල ගැලීම පාලනය කරගැනීම අසීරුය. 


ඉංදීය වෙළඳපොළ ඉතා විශාලය. එහෙත් එයට අලුතෙන් කෙස් ගසක්වත් රිංගවීමට  ලංකාවට හැකියාවක් ඇතැයි මම නොසිතමි. ඔවුන්ට එක ගඩොලක් වුවමනා වන විට ගොඩොල් දහසක් තැනීමට මැටි අනා ගත් කුසගිනි හමුදාවක් බලා සිටින බව අප අමතක නොකළ යුතුය. ඉන්දියාවේ වසරකට තනන ගෙවල් ප්‍රමාණය ගණනය කර මුළු මීගමුවේම මැටි කැපුවත් මේ ඉල්ලුම සැපයිය නොහැකි යැයි පවසන ආර්ථික විශේෂඥයන්ද ලංකාවේ සිටින බව නම් කිව මනාය. 

සේවා සැපයීම ගැනද තත්වය මෙසේමය. ලංකාවේදී ඔබට රුපියල් අසුදහසක පඩියකට සේවය ලබාගත හැකි පරිගණක සැලසුම් කරුවෙක් ඉන්දියාවේදී ඔබට රුපියල් 8000 කට බඳවා ගත හැක. ඒ සඳහාද ඔබ අයදුම්පත් ලක්ෂ ගණනක් අතරින් එකක් කුසපත් ඇදීමේ ක්‍රමයට තෝරා ගත යුතුය. 

ස්වභාව ධර්මයා විසින් කුමක් හෝ හේතුවක් නිසා වසර දහස් ගණනක් පුරාවට අපව වෙන් කර ඇත. වාන් දොරටු හැරීමට පෙර ඒ ගැන සිතුවොත් යහපත්ය.