Follow this Blog

Monday, 6 August 2018

වික්ටර් සර් (Sir Viktor)



1995 වසරේ ජූලි මාසයේ දිනක මම ස්වීඩනයට ගොඩ බැස්සෙමි. ඒ මගේ බිරිය සහ තෙමස් වයසැති පුතු සමගය (පසුව ඔහු ලොකු පුතා නොහොත් ලොක්කා විය). ඊට පසු දින මම පශ්චාත් උපාධියේ වැඩ කටයුතු ඇරඹීම සඳහා උප්සලා සරසවියේ අධි වෝල්ටීයතා පර්යේෂණ අංශය වෙත ගියෙමි. එකල මෙම ආයතනය පිහිටියේ නගරයෙන් පිටත ඉතා අඩු ජනගහනයක් විසූ හුස්බිබෝරි ප්‍රදේශයේය. එක් පසෙකින් නිතර වාහන ගමන් නොකරන මහා මාර්ගයකි. අනෙක් පසින් තිරිඟු වතු සහ ලඳු කැලෑවෙන් යුත් විශාල භූමි ප්‍රදේශයකි. මේ මායිම් අතර අක්කර ගණනාවක් පුරා පැතිරුණු බිම් කඩක් මධ්‍යයේ තිබූ සුවිසල් අධිවොල්ටියතා අංශ ගොඩනැගිල්ල පැරණි භූත මන්දිරයක් මෙන් දිස්විය. එය ප්‍රෞඩ අධ්‍යාපනික ඉතිහාසයක පිය සටහනක් බඳුය. 

මා ගොඩනැගිල්ලට ඇතුළු වී කලින් මට දැනුම් දී තිබුණු පරිදි තෝමස් හමු විය. ඔහු එවකට තරමක් මුඛරි, කඩවසම් ස්වීඩන් ජාතික තරුණයකු විය. ආයතනයේ අභ්‍යන්තර කටයුතු බාරව සිටි තෝමස් මුලික ගොඩනැගිල්ලෙන් එපිට පිහිටි තවත් ගොඩනැගිල්ලකට මාව රැගෙන ගියේය. ඒ සඳහා යායුතු වුයේ වසර 50 වත් පැරණි  පොළව යටින් වූ උමගකිනි. මීටර් 40ක් වත් දුර නැති මේ කොටසට යාමට පොලව හාරා උමගක් තනා ඇත්තේ කුමකටදැයි මම වික්ෂිප්ත වුයෙමි. තවත් මාස කිහිපයකින් මට එය වැටහුණි. පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 30 ක් පමණ වන ශිත ඍතුවේ ගොඩනැගිලි අතර ගමන් කිරීමට මෙම උණුසුම් උමග දිව්‍ය පථයක් විය. 

තෝමස් මට මගේ කාමරය පෙන්වීය. එදා පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස මට ලබා දුන් ඒ කුටිය, අද මහාචාර්යවරයෙකු ලෙස මට ලැබී ඇති නිල කාර්යාලය මෙන් හතර ගුණයක් පමණ විය.

"ඔබ පැමිණෙන තුරු වර්නන් බලා සිටිනවා" යැයි පැවසු තෝමස් විගසින් පිටව ගියේය.


මහාචාර්ය වර්නන් කුරේ මාගේ සුපවයිසර්වරයා විය. එවකට ඔහු ආයතනයේ උප ප්‍රධානියාය. මා ඔහුගේ කාර්යාලයට ගිය පසු ටික වෙලාවක් ආගිය තොරතුරු විමසු මහාචාර්ය වර්නන් "චන්දිම අපි මුලින්ම රිවීව් පේපර් එකක් ලියමු නේද" යැයි ඇසීය. මම එකවරම "හා ලියමු" කියා කීවෙමි. 

එහෙත් මට ඔහු කී දෙය තේරුණේ නැත. ඔහු අදහස් කර තිබුනේ සමාලෝචන පත්‍රිකාවක් (review paper) පිලිබඳවය. එවකට මට පේපර් එකක් යනු එක්කෝ උදෑසන පළවන ප්‍රවෘති හෝ චිත්‍රකතා පත්‍රයකි නොඑසේ නම් විභාග ප්‍රශ්න පත්‍රයකි. මගේ වික්ෂිප්තභාවය ඉව වැටුණු මහාචාර්ය වර්නන් පත්‍රිකාව සහ එහි මාතෘකාව පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. ඉන් පසු පුස්තකාලයට ගොස් අදාළ ප්‍රකාශිත පත්‍රිකා අධ්‍යනය කරන ලෙස පැවසීය. 

කිහිප දෙනෙකුගෙන් අසා ගෙන මම ආයතනයේ පුස්තකාලය වෙත ගියෙමි. එයද ප්‍රධාන ගොඩනැගිල්ලේ පසෙක විය. මෙය ඔබ හැරී පොටර් චිත්‍රපටි වල දකින පුස්තකාලයකට වඩා වැඩිපුර වෙනස් නොවීය. අඩි දොළහක් පමණ උසට වූ පොත් රාක්ක වල සම් බැඳුම යෙදු පොත් සහ සඟරා එක පෙලට අසුරා ඇත. සුවිසල් පුස්තකාලය තුල සිටියේ තව එක පුද්ගලයෙකු පමණි. ඔහු ආරෝහ පරිණාහ දේහධාරී තරමක වියපත් සුදු මහතෙකි. ඔහු මේසයක් මත වූ යමක් දෙස නෙත් යොමාගෙන සිටියේය. බැලූ බැල්මට ඔහු පුස්තකාල සේවකයෙකු වන්න ඇතැයි මම සිතුවෙමි.  

මහාචාර්ය වර්නන් පැවසු සඟරා තිබුණේ අර පුද්ගලයා සිටි ස්ථානය ආසන්නයේ ඉහලම රාක්ක වලය. ඒවා සඟරා දහය බැගින් සම් බැම්මෙන් බැඳ අසුරා තිබුණි. මේවා ගැනීම මට ප්‍රෙහෙලිකාවක් විය. 

"කරුණාකර මට කියන්න පුලුවන්ද මේ සඟරා ගන්නා ආකාරය" මම අර පුද්ගලයාගෙන් ඇසුවෙමි. 

"අන්න අතන තියෙනවා ඉනිමගක්. එය රැගෙන විත් තමයි ඔබට ඒවා ගන්න වෙන්නේ" ඔහු ඉතා ශාන්ත ස්වරයෙන් ඈත කොනක ඇති ඉනිමගක් පෙන්වීය. 

"බොහෝම ස්තුතියි" කියමින් මා එදෙසට යන විට "ඔබට උදව්වක් අවශ්‍යද" කියා ඔහු ඇසීය.

එබන්දක් අවශ්‍ය නොවන බව ඔහුට කාරුණිකව පැවසූ මම ඉනිමග වෙත ගොස් එය රැගෙන ආවෙමි. 

දැන් මා ඉනිමගට නැග සඟරා තොරයි. අර තැනැත්තා මා දෙස බලා සිටියි. සඟරා ගොනු කිහිපයක් තෝරා ගත් මා ඔබට මේවා අල්ලා ගත හැකිදැයි පහල සිටින මිතුරාගෙන් ඇසුවෙමි.  

"ඔව් එවන්න" ඔහු පැවසීය. මා පහලට දැමු සඟරා ගොනු එකින් එක ඔහු සුරැකිව අල්ලා මේසය මත ගොඩ ගැසීය. 

සඟරා ගොනු හයක් පමණ පහලට එවීමෙන් පසු මම ඉනිමගෙන් බැස්සෙමි. ඉන්පසු ඉනිමග නැවතත් ගෙන ආ තැනින් තබා නව මිතුරාට ස්තුති කර මගේ කාමරයට සඟරා ගොන්න ඔසවාගෙන ගියෙමි.  

එදින දිවා ආහාරයෙන් පසුව මා ප්‍රධාන ගොඩනැගිල්ලට පැමිණෙන අතර මට තෝමස් හමු විය. 

"ඔබට මේ වෙලාවේ ආයත ප්‍රධානියා හමුවිය හැකියි. සාමාන්‍යයෙන් ආයතනයට මුලින්ම පැමිණෙන සියලු දෙනා ඔහුව මුණ ගැසී තමාව හඳුන්වා දෙනවා". තෝමස් මට උපදෙසක් දුන්නේය.

තෝමස්ගේ මගපෙන්වීම අනුව මම ආයතන ප්‍රධානියාගේ කාර්යාලය සොයාගෙන ගියෙමි. ඕක් ලීයෙන් (පසුව මා දැනගත් පරිදි) තැනු විශාල දොරක 'මහාචාර්ය වික්ටර් ෂූකා" යනුවෙන් රත්‍රං පැහැ අකුරින් සටහන් කර ඇත. මා දොරට තට්ටු කල විට  පහත් එහෙත් ගාම්බීර හඬින්  "ඇතුලට එන්න" යනුවෙන් ඇතුලෙන් ඇසුනි. මා දොර ඇරගෙන ඇතුලට ගියෙමි. එය බටහිර සිනමා පටයක අප දැක ඇති වික්ටෝරියා යුගයේ ආදිපාදවරයෙකුගේ කාර්යාලයක් වැනි සුවිසල් කාමරයකි. එහි මධ්‍යයේ විශාල ලී මේසයක් පිටුපස අගනා සම් නිමාවෙන් යුතු විසල් විධායක අසුනක් අරා සිටින්නේ මගේ පොත් අල්ලා ගත් සඟයාය.


"ඇවිත් වාඩිවන්න" අන්දමන්දව සිටි මා හට මහාචාර්ය වික්ටර් ෂූකා විධානය කළහ. 

"ඔබ ගෝමස් විය යුතුයි". 

මා 2009 දී ඔහුව අවසන් වතාවට මුණ ගැසෙන තුරුම ඔහු මට කතා කලේ ගෝමස් කියාය. චන්දිම කියනවාට වඩා පෘතුගීසි ගෝමස් යන නම ඔහුට පහසුවෙන් උච්චාරණය කල හැකි වුවා විය හැක.

"ඔව් සර්" එවන විටත් අන්ද මන්ද බව පහව ගොස් නොසිටි මම පිළිතුරු දුනිමි. 

මහාචාර්ය ෂූකාගේ මුහුණ රතු විය.

"කවදද මිනිහෝ මට නයිට් පදවිය ලැබුනේ?" ඔහු ගුගුලේය.

මට මගේ දෑස් නිලංකාර වනු දැනුනි. මොනවා කියන්නද මොනවා කරන්නද කියා සිතා ගත නොහැකිව මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. 

මුවඟට සිනහවක් නගා ගත් මහාචාර්ය ෂූකා නැවතත් ඉතා ශාන්ත ස්වරයෙන් කතා කරන්න විය.

"මම දන්නවා ඔබේ රටවල මෙම සර් ආමන්ත්‍රණය තිබෙන බව. එහෙත් ඔබ දැන් සිටින්නේ ස්වීඩනයේ. මෙහි සර්ලා තබා මහත්ම මහත්මියන් වත් නැහැ සියලු දෙනාම ආමන්ත්‍රණය කරන්නේ නමින් පමණයි". 

එදා පටන් ඔහු මට වික්ටර් විය. අද දක්වාම මගේ සුපවයිසර් වරයා මට වර්නන්ය. එතන සිටි හැමෝම බෙන්ජමින්, උල්ෆ්, රෝල්ෆ්, මර්කුස්, ගුනේලා, සබ්‍රිනා විය. බෙන්ජමින් මහත්මයා හෝ සබ්‍රිනා මහත්මිය අප අතර නොසිටියේය. 

වසන්ත සමයේ අග භාගයේ සිට සරත් සමයේ මුල් භාගය වනතෙක් ආයතනයේ සියලු දෙනා සැමදාම උදෑසන තේ පානය (කෝපි පානය කිවහොත් වඩා නිවැරදිය) සඳහා එළිමහනේ රැස් වෙයි. එක පෙලට පිහිටවූ මේස වටේට පුටු තබාගෙන අපි හිරු එළියෙන් නැහැවෙමින් කෝපි කෝප්ප තොලගාමු. ආයතනයේ අතුගෑම සහ වැසිකිලි පිළියෙළ කිරීමට පැමිණෙන ලීනා කෝපි සාදයට එක් වන්නේ තරමක් ප්‍රමාදවය. ඇය සැමදාම "හායි වික්ටර්" කියා වික්ටර් ෂූකාගේ පිටට පහරක් ගසමින් කෝපි කෝප්පය සමග ඇගේ අසුනට යයි. 

අප සියළු දෙනා තුල එකිනෙකා කෙරෙහි ඉතා තද ගෞරවයක් විය. වික්ටර්, වර්නන්, රජීව් වැනි ආචාර්ය මහාචාර්ය වරුන් කෙරේ අප තුල තිබුණේ ඉතා ඉහල ගුරු බැතියකි.  එය අදද අප තුල එලෙසම පවතී. වික්ටර් 2010 දී මෙලොවින් සමු ගත්තේය. වර්නන් සහ රජීව් සමග මම තවමත් පර්යේෂණ සහයෝගිතා පවත්වමි. ඔවුන් අපගේ ගුරු දේවයෝය. 

අපේ සරසවි සිසුන් "කොහොමද සර්" කියා දෙකට නැමුණු, අපට වද පීඩන දුන් ගුරුවරු පිළිබඳව, ඔවුන් නැති තැන කතා බහ කල හැටි මට සිහිවෙයි. මට අදටත් සිතෙන්නේ  "සර්" යනු වහල් යුගයෙන් බින්නවී විත් තවමත් අප අතර පවතින විකටරූපී නෂ්ටාවශේෂයක් බවයි. 





9 comments:

  1. අපේ ඔය සර් මිස් මානසිකත්වය යටත්විජිත පාලන ක්‍රමය හරහා අපිට දායාද කරවපු උඹල අපිට වඩා පහත් කියන මානසිකත්ව බලපෑමේ දිගුවක් වෙන්න බැරිද...

    ඔබ ලිපි අග ඔබගේ නමට ඉදිරියෙන් "මහාචාර්ය චන්දිම ගෝමස්" ලෙස සටහන් කරන්නේ නැතිකම මට සිහි කරවන්නේ පිරුණු කළේ දිය නොසැලේ කියන උපහැරණය...

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි දී ඇති ධනාත්මක ප්‍රතිචාරයට.

      Delete
  2. සමාන අත්දැකීම් දෙකක්-

    QUOTE
    ලාංකිකයින් වෙන අපටද, ආසියානු රටවලින් පැමිණෙන අයටද මේ සමානත්වය එක්වරම ග්‍රහණය කරගැනීම අසීරු බව කිව යුතුය. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මගේ පර්යේෂණ ප්‍රධානියාට මා මුලින්ම හමුවූ දින ඇමතුවේ "සර්" කියායි. "මට ඇන්ඩෲ කියන්න!" යැයි ඔහු කියූවද, මා අද වෙනතුරු ඔහුට "ඩොක්ටර් වර්ත්" කියා මිස වෙනත් අයුරකින් අමතා නැත.

    මගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ දී මුලින් ම සේවයට ගිය ස්ථානයේ ප්‍රධානියා වූ දොස්තර ඒබඩ් (සහ අන් සියලු දෙනා) එම රෝහලේ සනීපාරක්‍ෂක කම්කරුවන් ද සමග එකම මේසයේ දිවා ආහාරය ගනු දැක ඇය විස්මයට පත් වූවා ය.

    වෙනත් සමාජයක හැදී වැඩුණු අපට එය පුදුමයක් වුවද, මේ ක්වොසි-ඉගලිටේරියන් සමාජයේ ම හැදී වැඩුණු අයෙකුට පුදුමයට කාරණයක් වෙනු ඇත්තේ එසේ නොවී විවිධ මට්ටමේ සේවකයින්ට වෙනත් ආකාරයක පහසුකම් සලසා තිබුණොත් සහ වෙනස් ආකායට සැලකුම් ලැබෙනවා දැකීමයි.
    ENDQUOTE

    සම්පූර්ණ ලිපිය (30 June 2015)
    http://rasikalogy.blogspot.com/2015/06/what-hell-is-egalitarianism.html

    .

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි ප්‍රතිචාරයටත් link එකටත්.

      Delete
  3. මේ ලිපිය කියවා සසිරිබර සිරිලක බොහෝ දෙනෙකුගේ නෙත් ඇරේවා !

    ReplyDelete
  4. There are many indications of an advanced civilization. The one you have written about is one of the most important aspects.
    Btw, this is a lovely piece of writing.

    ReplyDelete
    Replies
    1. You are spot on. Thanks for the last comment.

      Delete
  5. ස්තුතියි කවදාවත් මෙි තරමි උසකට නොගිය මා එතනට මණසින් මාව යොමුකලාට.

    ReplyDelete