Follow this Blog

Friday, 16 September 2016

ගුණරත්නලාගේ ලෝකය





ඒ 99 වසරේ අන්තිම මාස කිහිපයයි. නිවසේ සැලැස්මට අලුතින් එක් කල කුඩා කොටසකට අනුමැතිය ලබා ගැනීමට මට ඊට අදාළ පළාත් පාලන ආයතනයට යාමට සිදු විය.

දින දෙකක් මගේ සියළු රාජකාරී කටයුතු කල් දමාගෙන අදාළ කාර්යාලයට ගියත් ඉතා සරළ කටයුත්තක් වූ මගේ අවශ්‍යතාවය සම්පුර්ණ කරගත නොහැකි විය. තෙවන දින මා මෝටර් රථය අසල රථ ගාලක නවත්වා පිටතට පැමිණෙන විට තවත් රථයක් අසළ සිටි, දැක පුරුදු ඇති අයෙක්, සිනහවක් මුව රඳවාගෙන මා අසලට පැමිණියේය.

"චන්දිම ගෝමස් නේද?"

කලකට පෙර, එනම් 88-89 කලබල සමයේ, වසර දෙක තුනකට සරසවි වසා දැමුණු බැවින් මම වරළත් ඉංජිනේරු පාඨමාලාව හැදෑරීමට වැල්ලවත්තේ සංගම් ආයතනයට ගියෙමි. මොහොමඩ් නමීස් එම පාඨමාලාවම හැදෑරු මගේ හොඳම මිතුරෙකු විය.

"මචං නමීස්, දැක්ක කල්, කොහොමද ජීවිතේ". මා කලකින් දුටු මිතුරා සමග ආ ගිය තොරතුරු කතා කරන්න විය. අවසානයේ ඔහු මා පැමිණි කාරණය විමසුවේය.

"චන්දිම, ඔය වැඩේ හරි සිම්පල්. ඔතන ඉන්නවා ගුණරත්න කියල හාදයෙක්. මිනිහට රුපියල් දෙසීයක් අත මිට මෙලෙව්වම පැයෙන් වැඩේ කරනවා. එහෙම කලේ නැත්නම් ෆයිල් යට ගහනවා, ඩොකියුමන්ට් මිස් ප්ලේස් කරනවා..... එක විකාරයි. මම දැන් තුන් හතර පාරක් මිනිහට කියල වැඩ කරවගත්ත". නමීස් සුපුරුදු විනෝදශීලි වාග් විලාශයෙන් මට ඉතා වටිනා උපදේශයක් දුන්නේය.

මට ගුණරත්න පසුගිය දෙවරම හමු වූ බව සිහිවිය. කවුන්ටරයේ සිටින නිලධාරිනියගෙන් මගේ අවශ්‍යතාවය පිළිබඳව විමසූ විට "පොඩ්ඩක් අර ගුණරත්නගෙන් අහන්න" කියා ඇය මාව ඔහු වෙතට යොමු කරයි.

"ඒ වැඩේ තාම කෙරිලා නැහැ". මේ ගුණරත්නගේ සුපුරුදු පිළිතුරයි.

"මේක හරි පොඩි වැඩක්නේ, ඇයි මෙච්චර පරක්කු වෙන්නේ".

"ඒක මම දන්නේ නැහැ. ඕවා අනුමත කරන්නේ අපේ සෙක්ෂන් එකෙන් නෙවෙයි. මම කරන්නේ ෆයිල් එක නියමිත තැන් වලට ගෙනියන එක විතරයි". දෙවෙනි දින ගුණරත්න නොසැලකිලිමත් ආකාරයෙන් මට බුරා පැන්නා මතකය.

කොතරම් කරදරයක් වුවත්, පගාව දීම මා පිළිකුල් කල දෙයක් බැවින් නමීස්ගේ වටිනා උපදේශය මම බැහැර කලෙමි. ඒ වෙනුවෙන් මට මාස ගණනක් එම පළාත් පාලන ආයතනයට යාමට සිදු විය. ඒ පාඩුව රුපියල් දහස් ගණනක් වන්නට ඇත.

මේ සඳහා මා ගිය එක් දිනක අදාළ කවුන්ටරයේ නිලධාරිණිය නොසිටි බැවින් තේ කෝප්පයක් බීම සඳහා මම අසළ භෝජනාගාරයකට ගියෙමි.

යාබද මේසයේ තරමක් උස් හඬින් ලොකු සාකච්චාවකි.

"අපේ රට කන්නේ ඔය හම්බ හැත්ත. ඕකුන්ව ඉක්මනින් නැති කලේ නැත්නම් සිංහල ජාතියත් ඉවරයි, බුද්ධාගමත් ඉවරයි" තුන් හතර දෙනෙක්ව වටකරගෙන සිංහ ගර්ජනාව නගන්නේ ගුණරත්නයන්ය.

ඉන් පසු ගතවූ වසර 15 දී ගුණරත්නලා දහස් ගණනක් ලංකාවේ බිහිවිය. ඉන්දියාවෙන් ගෙන්වන බජාජ් ත්‍රීවීලරයේ පිටුපස, චීනයේ මුද්‍රිත "සිංහලේ" ස්ටිකරය ගසාගෙන යන කොළු ගැටයාගේ සිට UNO කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාස කරන විමල් වීරවංශ දක්වා වූ මේ සියළු ගුණරත්නලා සිංහල ජාතියත් බුදු දහමත් බේරා ගැනීමට අවි අමෝරාගෙන සිටිති. එහෙත් බේරාගන්න දඟලන කාරණා දෙකම දිනෙන් දින අභාවයටම යයි.

කොතැනක හෝ සියළුම දේ වැරදී ඇත.


ඉහත දැක්වෙන්නේ 1965 අගෝස්තු 10 වනදා මැලේසියාවේ පලවන ප්‍රධාන පුවත්පතක මුල් පිටුවයි. සිංගප්පුරුව බලහත්කාරයෙන්ම මැලේසියාවෙන් පිටමං කල දිනට පසුදායි. කිසිඳු ඵලදායි ආදායම් මාර්ගයක් තබා බොන්නට වතුර පොදක් හෝ නොමැති බිම් කඩක මිලියන දෙකකට ආසන්න බඩගිනි හමුදාවකගේ නායකයා ලෙස ඔටුනු පැළඳි ලී ක්වාන් යූ දින හතක් තිස්සේ කුසට නිසි අහරක් නොගෙන තම කුටියට වැදී කල්පනා කරන්න වන්නේය. එවකට මැලේසියාවේ බ්‍රිතාන්‍යය තානාපතිවරයා ලී ගේ කිට්ටු මිත්‍රයකු විය. ඔහුගේ දැඩි ඉල්ලීමට හා බ්‍රිතාන්‍යයේ සහයෝගය ලැබෙන බවට කල සහතිකයකින් පසු ලී තම ජනතාව ඉදිරියට පැමිණියේය. ඔහු තම ජනතාව මත දැඩි කොන්දේසි දෙකක් පැමිණ වුයේ එය පිළිපදින්නේ නම් පමණක් තමා රට ගොඩනගන්න ඉදිරිපත් වන බව කියමිනි. 

ඉන් පළමුවැන්න නම් රටේ කිසිඳු ජාතිවාදයක් නොතිබිය යුතු බවයි.

දෙවැන්න නම් රටේ දුෂණය ශුන්‍ය විය යුතු බවයි.

ඔහු තම ගමන ගියේය. ජනතාව ඔහු පසු පසින් ආවේය. ලී බ්‍රිතාන්‍යයෙන් හෝ වෙනත් කිසිඳු රටකින් ආධාර ඉල්ලුවේ නැත. ඔහු ඉල්ලුවේ ආයෝජනයන්ය. ඒ වෙනුවෙන් ඔහු එම රටවලට දුෂණයෙන් සහ වාර්ගික අසමගියෙන් තොර රටක් සහ ජාතියක් ලබා දුනි. අද සිංගප්පුරුව කොතැනදැයි මා අමුතුවෙන් කිවයුතු නැත. ලී මිය යන විට ඔහු ඇතුළු ඔහුගේ මුළු හත්මුතු පරම්පරාවම සිංගප්පුරුවේ සිටින ඉහලම ධනවතුන්ය. එහෙත් කිසිඳු සිංගප්පුරු වැසියෙකු ඔහුට වරදක් නොකියයි. මන්ද ඔහු තම පවුලට කරගත්තේ රටම ගොඩ ගැනීමෙන් පසුව වීමයි. පොලියට ණය ගෙන එම මුදලෙන් පමණක් නොව පොලිය ගෙවීමට පොලියට ගන්නා ණය මුදලෙන්ද වැඩි ප්‍රමාණයක් සාක්කුවේ දා ගන්නා අපේ රටේ දේශපාලකයා සහ ලී ක්වාන් යූ අතර ඇති වෙනස මෙයයි. 

අද සිංගප්පුරුවේ සිටින චීන සම්භවය ඇත්තෝ තම සියලු සංස්කෘතික අංගයන් ඉතා හොඳින් රැකගෙන යති. මුස්ලිම් භක්තික මැලේවරුන්ද, හින්දු භක්තික ද්‍රවිඩයන්ද, සෑම වර්ගයකටම අයත් ක්‍රිස්තියානි භක්තිකයන්ද සිය අනන්‍යතාවයන් ඉතා හොඳින් පවත්වාගෙන යති. එහෙත් තම සිංගප්පුරු ජාතිකත්වය ඒ සැමටම ඉහලින් ඔවුන් ඔසවා  තබති.  


මෑතකදී මා යූ ටියුබ් හරහා ලංකාවේ පැවතී රසවත් රුපවාහිනී සාකච්චාවක් නැරඹීය. එම සාකච්චාවේ මාතෘකාව වුයේ පෙරහරට අලි යොදා ගැනීම පිළිබඳවයි. මෙහිදී සහභාගී වූ දියවඩන නිලමේ වරයෙක් සහ ඇත් හිමියෙක් පුන පුනා කියා සිටියේ පෙරහැර පැවැත්වීමට අලි මදි බැවින් බැවින් කැලයෙන් අලි අල්ලා ගැනීමට රජය අවසර දිය යුතු බවයි.

මෙයට සහභාගී වූ තරුණ පරිසරවේදීන් දෙදෙනෙක් ඉතා හොඳ තර්කයක් ගොඩ නගමින් කියා සිටියේ පින්නවල ඇත් අභිජනන මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කල හැකි බවත් ඉහල කුලවල ඇතුන් අවශ්‍ය නම් ඇත් හිමියන් තමා සතුව ඇති එම වර්ග වල ඇතුන් අභිජනනය සඳහා ලබා දිය යුතු බවත්ය. තව දුරටත් කරුණු දැක් වූ ඔවුන් කියා සිටියේ මද කිපෙන කාලයට කලයුත්තේ ඇතා බැඳ දැමීම නොව සුදුසු ඇතින්නක් ලබා දීම බවයි. පසුගිය දශක ගණනාව තුල මෙය ඉටු කරා නම් මේ වන විට රටේ කිසිම ඇත් හිඟයක් ඇති නොවන බවද ඔවුන් පැවසුවේය. මෑතකදී කොරියාවේ සත්ව උද්‍යානයකට ලංකාවෙන් ලබා දුන් ඇත් යුවලකගෙන් මේ වන විටත් පැටවෙක් ලබාගෙන ඇති බව ඔවුන් පැහැදිලි කළේය.

ලංකාවේ බොහෝ ඇත් හිමියන් අධිමානයෙන් හිස් උදුම්මා ගත් වලව්කාරයන් පිරිසක් බව කවුරුත් දන්නා කරුණකි. එසේම ඔවුන් තමා සතුව ඇති කිසිම ඉහල කුලයක ඇතෙක් අභිජනනය සඳහා ලබා දීමට අකමැති බවද නොරහසකි. ඒ තමාගේ අභිමානය නැතිවේ යැයි යන බයට විය හැක. ඔවුන්ට අවශ්‍යය "ඒ කුලයේ ඇතෙකු සිටින්නේ අපේ වලව්වේ පමණයි" කියා කීමට පමණි.

ඉහත කාරණා රටම ඉදිරියේ ඔප්පු කරමින් ඇත් හිමියන් දෙදෙනා, විශේෂයෙන්ම අහංකාර පරවශව කතා කල නිලමේ වරයා, තාර්කිකත්වය පසෙක තබමින් කිසිඳු තේරුමක් නැති ප්‍රලාප කියමින් පරිසරවේදීන් දෙදෙනාට පහර දෙන්න විය. අවසානයේදී කීමට කිසිවක් නොමැති වූ විට නිලමේ වරයා අද රටේ සුපුරුදු කුණු කාණුවට වැටුනේය. "සිංහල ජාතිය, බුද්ධාගම විනාශ කරන්න ආපු ඩොලර් කාක්කෝ, කුමන්ත්‍රණ කාරයෝ, විදේශ බළල් අත්" ආදී වදන් වලින් පරිසර වේදීන් දෙදෙනාට ඔහු ඉතා පහත් අන්දමින් බැන වැදුනේය. මා මේ අවස්ථාවේදී එම වැඩසටහන වසා දැමුවේ තවත් ඒ සඳහා කාලය මිඩංගු කිරීම අපරාදයක් යැයි සිතුන බැවිනි.

සිංහල ජාතිය සහ බුද්ධාගම අද බැරිකම සහ හොරකම වසා ගැනීමේ රෙද්ද බවට පත්වී ඇත. 


අපට වරදින්න පටන් ගත්තේ සුද්දා යාමටත් දශක කිහිපයකට පෙර සිටමය. සිංහල-දෙමළ කියා වෙනසක් නොමැතිව අප යායුතු මග අනාගත්තේය. බෙදා පාලනය කිරීමේදී පාලකයාට වන පහසුව යුරෝපියයා දැන සිටියේ සැහෙන කලක සිටය. නමුත් අපට වරදින්න වුයේ මේ බෙදා පාලනය කිරීම අපේ දේසපාලුවා බදා ගත් දා සිටය. තමා ගන්නා සෑම වැරදි දේශපාලන තීන්දුවකටම, තමා සිදු කරන සෑම දූෂණයකටම, භීෂනයකටම, වංචාවකටම, රට-ජාතිය-ආගම (ත්‍රිත්වය) පෙන්නා මහජනතාවගෙන් ෂේප් වීමට දේශපාලකයා පුරුදු වුනේ පසුගිය සියවසේ මුල් භාගයේ සිටමය. අවාසනාව වුයේ ජනතාවද ගොනාට ඇඳ ස්ව-කැමැත්තෙන්ම කරත්තයේ බැඳ ගැනීමයි. 

පළාත් පාලන ආයතනයේ ගුණරත්න මේ සමාජයේ අහම්බයක් නොවේ. එය දශක ගණනාවක් පුරා ජනතාව තුල ඇතිවූ සංකල්පමය වර්ධනයක ප්‍රතිඵලයකි.

දේශපාලුවාගේ දුෂණ වැඩිවීමට සමගාමිව ඔහුගේ ත්‍රිත්වයට ඇති ආලයද වැඩි විය. අද එය කුටප්‍රාප්තියට පැමිණ ඇත. පොඩ්ඩක් විපරම් කළහොත් අද ත්‍රිත්වය බේරා ගැනීම වෙනුවෙන් වැඩියෙන්ම කෑගසන්නේ වැඩියෙන්ම දුෂණයේ යෙදුනු එකා බව ඔබට පැහැදිලි වනු ඇත (ඔබත් කරත්තයේ බැඳ නැත්නම්).

ගුණරත්නට සිතන්න පුරුදු කර ඇත්තේ ඔහු අගයන දේශපාලුවා වීමට ඇති ඉඩකඩ බොහෝය. ඔහු ජාතිය හෝ ආගම ගැන සැබෑවටම සිතනවා නම් ඔහුගේ සමාජීය / අධ්‍යාපනික මට්ටමින් අපට බලාපොරොත්තු විය හැක්කේ රාජකාරියේදී ඔහු අන්‍ය-ආගමිකයන්ට නොසලකා සිංහල-බෞද්ධයාට ඉහල සේවයක් ලබා දීමයි. මෙය කිසිසේත් අනුමත කල නොහැකි තත්වයක් වුවත් ඔහු එබඳු මානසික ව්‍යුහයක සිටිනවා නම් මනා දැනුවත් කිරීමක් මගින් ඔහුව පහසුවෙන් යහ මගට ගත හැක. 

එහෙත් "පගාව" නම් මඩ ගොහොරුවේදී ගුණරත්නට තමා ඉදිරියේ සිටින්නේ විමලසිරිද, ගනේෂන්ද, මොහොමඩ්ද, බෙන්ජමින්ද කියා වෙනසක් නැත. මෙය ඔහුගේ ප්‍රියතම දේශපාලුවා ඔහුට ලබා දෙන ආදර්ශයයි. අද ත්‍රිත්වය ගැන වේදිකාවේ, රූපවාහිණියේ බෙරිහන් දෙන වැඩි දෙනාගේ පාතාලය සහ නීති විරෝධී කටයුතු මෙහෙයවන්නන් බොහෝ විට අන්‍ය-ආගමිකයන් සහ අන්‍ය-ජාතිකයන් බව ඉඳ හිට කරලියට පැමිණෙන සිද්ධි මාලාවන්ගෙන් පෙනී යයි.        

තම වර්ගයා සමග ජිවත් වීමට ඇති කැමැත්ත, මෙන්ම තම වර්ගයාගේ සෞභාග්‍යය වර්ධනය වීම දැකීමට ඇති කැමැත්තද බොහෝ මිනිසුන්ට පොදු කරුණකි. ඔවුන් කල්ලි ගැසෙමින් අනෙක් වර්ගයාට එරෙහිව කටයුතු කරන්නේද එබැවිනි. 

එහෙත් මා "සිංහල" වර්ගයා තුල මේ හැසිරීමද දැක නැත. වෙනත් රටවලට සංක්‍රමණය වූ ඉන්දියානුවෝ සහ පකිස්ථානුවෝ බොහෝ විට එක් ප්‍රදේශයකට ගාල් වෙමින් තම ආධිපත්‍ය වර්ධනය කරගන්නා අතර මට හමුවූ බොහෝ සිංහලයෝ තවත් සිංහලයෙක් කිට්ටුව පාතකට එනවාටවත් කැමති නැත. තව සිංහලයෙක් තබා තම සහෝදරයා එකම නගරයේ පදිංචියට පැමිණෙන බැවින් වෙනත් ප්‍රාන්තයක පදිංචියට ගිය සිංහලයන් පිළිබඳවද මම පෞද්ගලිකව දනිමි.  

මේ ලිපිය කියවන ඔබ අනිවාර්යයෙන්ම සිංහලයෙකු වනු ඇති බැවින් "තම වර්ගයාගේ සෞභාග්‍යය වර්ධනය වීම දැකීමට සිංහලයාගේ ඇති කැමැත්ත" පිළිබඳව මා අමුතුවෙන් ඔබට කිව යුතු නැත.


බෞද්ධ දෙමාපියනට දාව උපන් මා කුඩා කල සිටම බෞද්ධයෙකු ලෙස ලෝකයා හැඳින්වීය. එහෙත් මගේ දෙමාපියෝ නිදහස් මනස්ධාරින් වීමට තරම් මා භාග්‍යවන්ත විය. ඔවුන් මගේ දර්ශණය මටම තෝරාගැනීමට අවස්ථාව ලබාදුන්නේය. එහි ප්‍රතිඵලය වුයේ මා ලංකාවේ පවතින ප්‍රධාන ආගම් සතරම යම් තාක් ගැඹුරකට හැදෑරීමයි. හැදෑරුවා පමණක් නොව මම යම් යම් කාල වකවානුවල එම ආගම් තුල ජීවත් වුනෙමි. අවසානයේදී මගේ නිගමනය වුයේ බෞද්ධ දෙමාපියනට දාව මා ඉපදීම අති-වාසනාවක් බවයි. 

සමුද්දේශ රාමුවකින් පිටතට විත් ලෝකය දෙස බැලීමට තරම් මනරම් අවස්ථාවක් අනෙක් බොහෝ ආගම් වලට අයත් දෙමාපියනට දාව ඉපදෙන දරුවෙකුට ලැබෙන්නේ කලාතුරකින් බව මගේ නිරීක්ෂණයයි.  මා මේ ගැන මිතුරු චීන ජාතිකයෙකුට පැවසු කල ඔහු කියා සිටියේ මා වැරදි බවත් නිදහස් චින්තකයන්ට (free thinkers) දාව උපදින දරුවන්ට ඊට වඩා නිදහසේ සිතන්න අවස්ථාව ලැබෙන බවත්ය. සෑහෙන නිදහස් චින්තකයන් පිරිසක් ඇසුරු කර ඇති මට ඔහුගේ ප්‍රකාශය නිවැරදි නොවන බව පෙනෙයි. මේ නිදහස් චින්තකයන් යයි කියා ගන්නා බොහෝ දෙනා තවත් ස්වයං රාමුවක හිරවෙයි. ඔවුන් සියලු ආගම් දෙස බලන්නේ සැකයෙන් සහ අවඥාවෙනි. මෙය නිදහස් චින්තනයෙන් බොහෝ සේ ඈත වුවකි.  


මා ඉහත සඳහන කලේ බෞද්ධ සමාජයකට මා දක්වන ඇල්ම පිළිබඳව පෞද්ගලික මතය පැවසීමටයි. ලංකාවේ බෞද්ධ සමාජයක් පැවතීම ම අගය කරමි. සැබෑ බෞද්ධ සමාජයක සියළු සත්වයෝ නිදුක් වෙති, සියලු දෙන අනෙකාගේ අභිවෘද්ධිය පතති, ජනතාව අසීමිත ආශාවන් පිටුපස ලුහු නොබඳිති...... මන්ද ඒ සියලු කාරණාවන්ගේ ප්‍රතිඵලය සමස්ත සමාජයේම සෞභාග්‍යයට හේතු වන බැවිනි. 

එබඳු සමාජයක් නැතිවී යාම සංවේගයට කරුණකි. මේ වෙනුවෙන් බුද්ධාගම රැක ගැනීමට ඔබ ඉදිරිපත් වෙනවා නම් එය මහත් පුණ්‍යකර්මයකි. ඒ සඳහා කලයුත්තේ කුමක්දැයි මේ ලිපිය සිහි බුද්ධියෙන් කියවූ ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි වනු ඇත. ඒ නිසා මම "යා යුතු මග" කුමක් දැයි පුන පුනා නොකියමි.

අවාසනාවකට අද බොහෝ දෙනෙක් රට-ජාතිය-ආගම බේරාගන්න යැයි කියමින් සිදු කරන්නේ දුෂිත දේශපාලුවාගේ අනාරක්ෂිත අනාගතය සුරක්ෂිත කර දීමයි.

.................................................................................................

නියමිත ගාස්තුව අය කර මාර්ග නීති පිළිපදිමින් මගියෙකුට සේවය ලබාදීමට වඩා වාහනයේ පිටුපස "සිංහලේ" ස්ටිකරයක් අලවාගෙන සිටීම ත්‍රිරෝ රථ රියදුරාට පහසුය. 

නිසි ලෙස රාජකාරිය ඉටු කරමින් ජනතාවට සතුටුදායක සේවයක් ලබා දීමට වඩා කැන්ටිමේදී, බස් රියේදී රට ජාතිය බේරාගැනීමට සිංහ ගර්ජනා නැගීම රජයේ සේවකයාට පහසුය. 

තම වර්ගයාගේම සුබ සිද්ධිය තකා නැති බැරි එකාට අත හිත දෙනවාට වඩා වතපොතේ "සිංහල ජාතිය, බුද්ධාගම, පර හම්බයන්ගෙන් බේරා ගනිව්" කියා පෝස්ට් පල කිරීම සිංහල බෞද්ධයාට පහසුය. 

පහසු දේවල් තිබියදී අපහසු දේවල් කරන්න යයි කියන එකා විදේශ බළල් අත් වලින් නැටවෙන, ඩොලර් වලට වහල් වූ, කුමන්ත්‍රණ කාරයෙක් වීමට ඇති ඉඩකඩ බොහෝය. 




Wednesday, 14 September 2016

පොලිස් කොත්තුව



චමින්ද හා හා පුරා කියල වැඩට ආවේ එදා. පන්නිපිටිය පැත්තේ දිවා රාත්‍රී කෑම සපයන කඩේක. මිනිහගේ රාජකාරිය වුනේ එන කට්ටිය කෑම කාල ඉවර වුනහම ඉඳුල් පිගන් ටික ගෙනියල සුද්ධ පවිත්‍ර කරන එක. ඔන්න මිනිහා පිගන් දෙක තුනකුයි දීසියකුයි ගෙනල්ල එකේ තියන ඉතුරුවෙච්ච කෑම ටික කුස්සිය අයිනේ තිබුණ කුණු බාල්දියට හලන්න හදනවා. 

එතකොටම කඩේ හැම වැඩකටම ඇඟිල්ල දාන මුදලාලිගේ ඥාතියෙක් වෙන ඇන්ටන් අයියා දුවගෙන ආව.

"චමින්ද මල්ලි ඕකේ ඔය මාළු කෑල්ලෙන් බාගයකටත් වඩා ඉතුරු කරලා නේද. අපෝ ඒක විසි කරන්න එපා අර පොලිස් පෙට්ටියට දාන්න". 

ඇන්ටන් අයියා කුණු බක්කිය ළඟ තිබුණ කාඩ්බෝර්ඩ් පෙට්ටිය පෙන්නුවා. එකේ අපිරිසිඳු පාට ප්ලාස්ටික් භාජන හතරක් පහක් තියෙනවා. 

"මේක ඉතුරුවෙන මාළුවලට, මේක චිකන් වලට, මේක ගෝදම්බර රොටී කෑලි වලට, මේක බත්වලට, මේක ඉතුරු වෙන කොත්තු වලට" ඇන්ටන් අයියා කියාගෙන යනවා.

"ඒ මොකටද අයියේ" චමින්ද යටහත් පහත්ව ඇහුවා.

"මේකනේ මල්ලී. රෑට පැට්ටෝල් යන පොලිස් කාරයෝ සෙට් එකක් එනවා. බඩ පැලෙනකම් කාලා සත පහක් දෙන්නේ නැතුව යනවා. සල්ලි ඉල්ලුවොත් අපිටයි කන්න වෙන්නේ. ඒක නිසා උන්ට ඕවගෙන් තමයි කොත්තු, නාසි එහෙම හදල දෙන්නේ. රෑ දහයෙන් විතර පස්සේ ඉතුරුවෙන ටී, ප්ලේන් ටී එහෙමත් එකතු කරන්න ඕනේ".

"චිකන් කොත්තු, මාළු කොත්තු එහෙම වෙන වෙනම එකතු කරන්න ඕනෙද?"

"අපෝ නැහැ මල්ලි, මික්ස් කොත්තු වලට පොලිස් මෑන්ස්ලගෙන් පුල් ඩිමාන්" 

...............................................................................................

නිළතල මගින් ඔබට බොහෝ දේ නොමිළේ ලබාගත හැක... 
ඔව් බොහෝ දේ...