Sunday 6 December 2020

ගිනි කඳු සෙවනේ තැනු මාළිගා


"චන්දිම, ඔබ සිතන විදියට ප්‍රභාකරන්ට වැරදුණේ කොතනද?" 

අප මැලේසියාවේ ගත කල කාලයේදී අපගේ හිතවතියකගේ නිවසේදී ඇතිවූ කොටි සටන පිළිබඳව සංවාදයක් මගේ මතකයට නැගේ. කලින් යුධ හමුදාවේ උසස් නිලයක් හෙබවූ, මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහලම තලයේ නිලධාරියෙක් (දැන් අප අතර නැති) එදා මගෙන් ඒ පැනය ඇසීය. 

"මම ප්‍රභාකරන් වුනා නම් වසර 2000 වන විට මම යුද්ධයට කරන වියදම හැකිතාක් අඩුකර ඒ සියලුම මුදල් ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට යොදවනවා" මම ඔහුට පැවසුවෙමි.

90 දශකයේ අග භාගය වනවිට LTTE සංවිධානයට ලොව පුරා විසිරුණු ඉතා ප්‍රභල සාමාජික ජාලයක් සහ මුදල් උපදවන යාන්ත්‍රණයක් පැවතුනි. ඔවුන්ට ජාත්‍යන්තරවද යම් පිළිගැනීමක් විය. එසේම ඔවුන් ලංකාවේ සැහෙන ප්‍රදේශයක් තම අණසකට නතු කරගෙන තිබුණි. මෙතැන් සිට ඔහු කල යුතුව තිබුණේ තම දේශීය සහ ද්විත්ව පුරවැසිභාවය හිමි දමිළ ප්‍රජාව ඔස්සේ ලංකාවේ ඉඩම් මිලයට ගැනීමයි. LTTE සංවිධානයට එවකට තිබූ වත්කම් අනුව ටික කලකින් ලංකාවේ මර්මස්ථාන රාශියක් නිත්‍යානුකුලව අත්පත් කරගැනීමට හැකියාව තිබුණි. මේ අනුව 2009 වන විට ශ්‍රී ලංකා රජය තම අණසකට යට කරගැනීමට පවා ඔවුනට අවස්ථාවක් උදාකර ගත හැකිව තිබූ බව මට සිතෙයි. 

නමුත් ඔවුන්ගේ අවාසනාවට ප්‍රභාකරන්ගේ යුදගාය මීට එරෙහි විය. ඔහුට බලපෑමක් කල හැකි එවකට සිටි එකම පුද්ගලයා වන ඇන්ටන් බාලසිංහම් මේ පිළිබඳව වටහා ගන්නට ඇතැයි මට සිතේ. සමහර විට ඔහුගේ බලපෑම අනුව 2000 මුල් දශකයේ මුල් භාගයේදී කොටහේන, වැල්ලවත්ත ආදී කවදත් ද්‍රවිඩ ජනතාව වැඩි වශයෙන් සිටි ප්‍රදේශවල ඉඩම් විදේශ ගත වූ ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාව විසින් කඩිනමින් මිලදී ගන්න විය. ඉන් පසු කෙටි කලකදී එහි අර්ධ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ වේගයෙන් ගොඩනැගෙන්න විය. එහෙත් එල්ටීටීයේ අවාසනාවකට මෙන් ටික කලකින් අධික ලෙස රෝගාතුර වූ ඇන්ටන් බාලසිංහම්ගේ ග්‍රහණයෙන් ප්‍රභාකරන් ගිලිහී ගියේය. මේ නිසා නැවතත් ඔහුගේ යුදවාදී ක්‍රියාන්විතය ඉස්මතු විය. එහි ප්‍රතිඵලය අද අපි මැනවින් දනිමු. 

මට මේ පරණ කතාව මතකයට ආවේ ඊයේ දුරස්ථ සන්නිවේදන ක්‍රමවේදය මගින් මා හා කතාවට වැටුණු එවකට ගුවන් හමුදාවේ සේවය කල හිතවතකුගේ පැනයක් හේතුවෙනි.

"චන්දිම නැවතත් ත්‍රස්තවාදය හිස එසවුවහොත් එහි ස්වභාවය කුමක් වේද?"

විද්‍යුත් චුම්භක ත්‍රස්තවාදය පිළිබඳව මා මේ දිනවල ලියන පර්යේෂණ පත්‍රිකාවක් වෙනුවෙන් මම මෙම පැනයට පිළිතුරු විය හැකි බොහෝ කාරණා පිළිබඳව පසුගිය කාලයේ  අධ්‍යනය කෙරුවෙමි. 

"LTTE සංවිධානය හෝ ඔවුන්ගේ අරමුණම ඇති වෙන යම් ත්‍රස්තවාදී සංවිධානයක් නැවතත් ලංකාවට බලපෑමක් කරයි නම් ඔවුන්ගේ ක්‍රමෝපායයන් මීට වසර එකොළහකට පෙර තිබුනාට වඩා බොහෝ සෙයින් වෙනස් වනු ඇත." මම පිළිතුර ඇරඹුවෙමි.

පසුගිය දශකය තුල ලෝකයේ හැඩතල විශාල වෙනසකට බඳුන්විය. එය තාක්‍ෂණය, ක්‍රමෝපායයන් මෙන්ම දේශපාලන කරලියේද සිදුවිය. මේ නිසා වසර එකොළහකට පෙර ලැබූ ජයග්‍රහණයක් පිළිබඳව නැවතත් සිහින දැකීම අතිශයින් භයංකාර සිතුවිල්ලකි.

එදා ලොව කොතැනක සිට හෝ යුද්ධයට කැපවුණු දමිළ තරුණයාට සාපේක්ෂව අද එම ප්‍රජාවේ අධ්‍යාපන පසුබිම, සමාජීය සහ ආර්ථික මට්ටම, වෘතිය නිපුණතාවය සහ දේශපාලන හැකියාව  ඉතා ඉහල මට්ටමක ඇත. මෙය සමාජ මාධ්‍යවල විප්‍රකාර දසුන් මවන ලංකාවේ බොහොමයක් සිංහලයන්ට සිතා ගැනීමටවත් නොහැක.

බොහෝ විට ලංකාවට ඇති කරන බලපෑම සඳහා ඔවුන් වසර 5 ක පමණ කාලයක සිටවත් සුදානම් වනු ඇත. මෙහිදී ඉඩම් හා ව්‍යාපාර මිලදී ගැනීම මොවුන්ගේ එක් උපාය මාර්ගයක් පමණක් වනු ඇත.  

ඔවුන් ඉතා සුක්‍ෂම ලෙස සමාජයේ මර්මස්ථාන වන බැංකු, විදුලි බලය, සන්නිවේදන ආයතන, ආර්ථික වශයෙන් ඉහල වැදගත්කමක් ඇති ව්‍යාපාර ආදියෙහි ඔවුන්ගේ සාමාජිකයන් ස්ථාන ගත කරනු ඇත. ජන මාධ්‍ය ආයතන ක්‍රමයෙන් තමන් නතු කරගැනීමද ඉතාමත්ම වැදගත් කාර්යයකි. ඔවුන්ගේ අරමුණට ලැදි පුද්ගලයන් මෙන්ම මුදලට විකිනෙන සියලුම ජාතීන්ට අයත් පුද්ගලයන්ද ඔවුන්ගේ අභිප්‍රායන් සාර්ථක කරගැනීම සඳහා යොදාගත හැක. 

තවත් වැදගත් ක්‍රමවේදයක් විය හැක්කේ පවතින පහසුකම් අනුව ඔවුන් හැකිතාක් තම සඟයන් පාලන තන්ත්‍රයට ඇතුළු කිරීමයි. මෙය පළාත් සභාවල සිට පාර්ලිමේන්තුව දක්වා සියළුම ආයතන නියෝජනය වන පරිදි සිදුකල හැක. මෙහිදීද ද්‍රවිඩ බහුතරයක් ඇති ප්‍රදේශවල මෙන්ම ද්‍රවිඩ ඝනත්වය වැඩි ප්‍රදේශ ඇති කොළඹ දිස්ත්‍රික්කයේද ඔවුන් සාර්ථක වනු ඇත. මුදල් මත දිවෙන ලංකාවේ මැතිවරණ ක්‍රමය යටතේ ඔවුනට සිංහල චන්ද පවා බා ගැනීම අපහසු නොවනු ඇත. විදේශයන්හි පවා ඉහල දේශපාලන තලයක සිටින ඔවුන්ගේ පිරිසට මේ ලාංකීය දේශපාලනයේ නියෝජිතයන් එක් වූ විට ඔවුන්ගේ හඬ ඉතා ප්‍රභල වනු ඇත.

ඔවුන්ගේ තුන්වන ක්‍රමවේදය විය හැක්කේ ඉතා බරපතල (critical) අවස්ථාවල රට අකර්මන්‍ය කිරීමයි. මේ සඳහා ඔවුනට සම්ප්‍රදායික අවි ආයුධ තවදුරටත් අවශ්‍ය නොවේ. බැංකු ඇතුළු වැදගත් ආයතනවල පරිඝනක පද්ධති අක්‍රිය කිරීම, විදුලි සහ සන්නිවේදන ජාලය අවුල් කිරීම, රටේ ආරක්‍ෂණ පද්ධති බිඳ දැමීම මින් කිහිපයකි. මේ සඳහා ඇතුලතින් පැල කල සේවකයන්ගේ මෙන්ම පිටත සිට ක්‍රියාත්මක වන විද්‍යුත් චුම්භක ප්‍රහරකයන්ගේ සහයද ඔවුනට ලබාගත හැක. 

මේ අනුව බහුතරයක් සිංහලයන් ජිවත්වන අධි-මානි සිහින ලෝකය පුපුරා යාමට ගතවන්නේ ඉතා කෙටි කාලයක් බව සිතට ගන්න.  මා දකින ආකාරයට මේ එළඹෙන තත්වයට මුහුණ දීමට අප රට කිසිසේත් සුදානම් නැත. මගේ මතය නම් මෙවැනි තත්වයක් ඇතිවීම වැලැක්වීම සඳහා කල හැකි එකම කාර්යය දෙමල ජනතාව තුල තව දුරටත් ක්‍රෝධය වෛරය මතුවීමට ඉඩ නොදී ඔවුන්වද අපගේ කරගැනීමයි.

මළවුන් සැමරීමත් අපරාධයක් කර ඇති යුගයක එබඳු සහජීවනයක් අපිට බලාපොරොත්තු විය හැකිදැයි යන්න ප්‍රශ්නාර්ථයකි ?




6 comments:

  1. ඔබතුමා කියන කතාවේ මුල් කොටස හරියන්න පුළුවන්.
    ඒත් අන්තිම ඡේදය කියෙව්වාම විශ්වාසය භංග වුනා.
    ඒක හරියට චන්ද්‍රිකාගේ කාලේ කිව්ව කතාව වුන
    “එල්ටීටීඊ එක කියන්නේ හරි භයානක සංවිධානයක් එයාලා තරහා වුනොත් ලොකු විනාශයක් කරයි. ඒ නිසා ඉල්ලන දෙයක් දීලා ශේප් වෙමු“ කියන කතාවමයි.

    ඔබ කියන විදියට ස්මාර්ට් ත්‍රස්තවාදයකට දෙමෙල්ලු එනවානම් කරන්න තියෙන හොඳම දේ සිංහලයන්ව දැනුවත් කරලා ඒක සමඟ සටන් කරන්න සිංහලයන්ව සුදානම් කිරීම.
    අනිත් අතට දෙමෙල්ලු කියන්නෙත් දෙවිවරු නෙමෙයි. එයාලාගාවත් දුර්වලකම් තියෙනවා.
    ඒ දුර්වලකම් ගැනත් සිංහලයන් දැනුවත්කල යුතුයි.
    ඔයාගාව තියෙන එකම උත්තරේ පරණ තවලම් සුදුනෙළුම් බයිලාවමයි.
    ඕක තමයි ඔයාලා වගේ උගත්තුන්ට තියෙන අඩුපාඩුව.

    කලයුත්තේ සතුරා පරාජය කිරීමම පමණයි. සතුරාට ප්‍රේමකල අයට කවදාවත් හරිගිහින් නෑ.

    ReplyDelete
  2. David Wood කියන ඇමරිකානු පාස්ටර් වරයා මගේ වීරයෙක්.
    එයා කුරානයේ පිටුවලින් ඔරිගාමි ඌරෝ හදනවා.
    කුරානය කනවා. කුරානයේ හිල් විදිනවා (Holely quran)

    බැලූ බැල්මට මෙව්වා සිඟිති ආතල් වගේ පෙනුනට ඒ පිටිපස්සේ දර්ශණයක් තියෙනවා.
    ඔහු මුස්ලිම් ආගම බටහිර ශිෂ්ඨාචාරයේ සතුරෙක් හැටියට දකින කෙනෙක්.
    එහෙනම් කලයුත්තේ සතුරා විනාශ කිරීම. එහි එක අංගයක් තමයි සතුරා වටේ තියෙන රැස් වළලු ගලවා සතුරා සාමාන්‍ය මිනිහෙක් කියන එක තමන්ගේ පැත්තේ අයට ඒත්තු ගැන්වීම. ඩේවිඩ් වුඩ් කරන්නෙ ඒක. ඔයාට නම් කවදාවත් ඩේවිඩ් වුඩ් වෙන්න බෑ.
    උම්මග්ග ජාතකය ලියපු කෙනත් කරලා තියෙන්නේ ඒක.

    නමුත් ලංකාවේ දෙමල ප්‍රශ්නෙදි වුනේ සිංහලයට, දෙමලා දෙවියෙක් කියලා උගන්වන තත්වයක් තියෙන්නේ. සමාජ ජාල එන්න කලින් මේ තත්වය ඉතා පැහැදිලිව තිබුනා. ඒකෙන් හොඳක් වුනේ නෑ.
    සිංහලයෝ මේ තත්වයෙන් ඉඳීමගැනත් මම ආඩම්බර වෙනවා.

    කල යුත්තේ සිංහලයන් අතර වඩා බුද්ධිමත් සහ හැකිතාක් සැලසුම් සහගත ජාතිවාදයක් ගොඩනගා දෙමළ අභියෝගයට මුහුණදීමයි.

    ReplyDelete
  3. ඔබේ තුන්වන ක්‍රම වේදය බොහෝ දුරට දැනට රටවල් විසින් වැඩි දියුණු කරන යුධෝපක්‍රම නේ. දෙවන එකේ කොටසකුත් රුසියාව, චීනය වගේ රටවල් බටහිර රටවල් තුල ක්‍රියාත්මක කරනවා. ප්‍රභාකරන් ගේ අධ්‍යාපන ත්තව්‍ය හරස් වුන කියලයි මම හිතන්නේ. සොල්හෙයිම් පවා අන්තිම කාලේ ඒක තේරුම් ගත්ත. සම ගිවිසුම අරන් ගියා නම් මෑන් තවමත් ජිවතුන් අතර.

    ReplyDelete
    Replies
    1. කේවල් කිරීමේ හැකියාව අතින් ප්‍රභාකරන් ඉතා දුර්වල පුද්ගලයෙක්. අනෙක් අතට තමන් අභිබවා තව කෙනෙක් LTTE ය වෙත ජයග්‍රහණ ලබා දෙනවාට ඔහු බොහෝ සෙයින් අසතුටු වූ බව ඔහු ගැන පසුව අත් අඩංගුවට පත් වූ පුද්ගලයන් කිහිප දෙනෙකුම පවසා තිබෙනවා. මෙය ඔහුගේ මානසික ව්‍යකුලත්වයේ එක් ප්‍රතිඵලයක්.

      Delete
  4. "චන්දිම, ඔබ සිතන විදියට ප්‍රභාකරන්ට වැරදුණේ කොතනද?"

    හුඟක් ඇති , ඒත් ලොකුම හා fatal වැරදීම - රජීව් ගාන්ධි ඝාතනය

    ReplyDelete
    Replies
    1. රජීව් ගාන්ධි ඝාතනය හැරවුම් ලක්ෂයක් බව ඇත්ත. අමන පළිගැනීමේ චේතනාවක් මිස LTTE සංවිධානයට එහි වෙනත් කිසිම පැහැදිලි වාසියක් මා දකින්නේ නැහැ. නමුත් ඒ 1991 සිට 2003 පමණ වනතෙක් LTTE සංවිධානය තවදුරටත් ඉදිරියට පැමිණියා. මම දන්නා විදියට BJP ශේෂයන් මේ ඝාතනය පිටුපස තිබුණා. ඔවුන්ට මධ්‍යම රජයට වඩා තමිල්නාඩුවෙන් බලපෑම් ඇති වුණේ මේ නිසයි. කෙසේ නමුත් මා දකින විදියට LTTE සංවිධානයට 2000 වනවිට මාර්ගය වෙනස් කරමින් සාර්ථක ගමනක් යාමට අවස්තාව තිබුණා.

      Delete