Monday 14 November 2016

හොල්මන් අවතාර සහ පාතාලය



1993 වසරේ දෙසැම්බර් 11 වනදා මැලේසියාවේ මෑතකදී වාර්තා වූ විශාලම ඛේදවාචකය සිදුවිය. තට්ටු 12කින් යුත් ගොඩනැගිලි තුනක් සහිත හයිලන්ඩ් නිවාස සංකීර්ණයේ එක් ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටුණි. මෙය 48 දෙනෙකුට මරු කැඳවූ අතර අනෙක් ගොඩනැගිලි දෙකේ පදිංචි නිවැසියන් වහා ඉවත් කරන ලදී. ඉන් අනතුරුව මේ ගොඩනැගිළි ක්‍රමයෙන් වල් බිහිවී භූත මන්දිර බවට පත්විය.

නොබෝදා නැවතත් මෙම නිවාස සංකීර්ණය පිළිබඳව කතා බහ ඇතිවන්නේ ඒවා තම අධිරාජ්‍ය කරගත් අපරාධ විශාල ප්‍රමාණයකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කිහිප දෙනෙක් එහිදී පොලිස් වෙඩි පහර වලින් මිය යාමත් සමගය. ප්‍රදේශයේ සිවිල් ජනතාව ඉන් අනතුරුව විශාල උද්ඝෝෂණයක් කරමින් පසුගිය දශකයකට අධික කාලයක් තමා මේ නිවාස සංකීර්ණයට අරක් ගත් අපරාධ කරුවන්ගෙන් විශාල ලෙස පීඩා විඳින බව පවසමින් එම ගොඩනැගිළි සම්පුර්ණයෙන්ම කඩා ඉවත් කරන්න යැයි රජයට බල කරන්න විය. 


මට සිහිවන්නේ මීට වසර තිස් පහකට පමණ පෙර කැලණිය සරසවියේ (මට මතක ඇති විදියට) සමාජ විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් සිදු කල ගවේෂණයකි. මේ පිළිබඳව සති අන්ත පුවත් පතක පලවූ පරිදි ඔවුන් හොල්මන් අවතාර වලට ප්‍රසිද්ධ ලංකාවේ ගම් කිහිපයක් තෝරා ගෙන මෙම අදෘශ්‍යමාන බලවේගවල පසුබිම ගවේෂණය කර ඇත. ඔවුන්ගේ නිගමනය වී තිබුණේ මෙම සංසිද්ධි 100% ම ප්‍රදේශයේ සොරුන්, මංකොල්ල කරුවන්, වැලි සහ දැව ජාවාරම් කරුවන්, ගංජා හේන් වවන්නන්, හොරෙන් පතල් කපන්නන්, දඩ මස් වෙළෙන්දන්, කාම විකෘතිතාවලින් පෙළෙන්නන් ආදී සමාජ විරෝධී කටයුතු වල යෙදෙන්නන් විසින් ගොතන ලද ප්‍රබන්ධ බවයි. ප්‍රදේශයේ සිටින කට්ටඩියන් සහ දේවාලවල කපුවන් මීට පොහොර එකතු කරයි. 


බොහෝ ගම් වල අබිලිං මාමලා දෙතුන් දෙනෙක්වත් සිටින බැවින් ගම බිය වැද්දීම ඉතා පහසුය. අපරාධ කරුවන්ගේ අරමුණ ගම්වැසියන් තම සමාජ විරෝධී කලාප සහ එම කටයුතු සිදු කරන කාල පරාසයන්ගෙන් ඈත් කර නිවාස අඩස්සියේ තැබීමයි.  එය කට්ටඩියන්ට, කපුවන්ට මුදලක් සොයාගත හැකි ක්‍රමවේදයක් බැවින් ඔවුන්ගේ සහය ඊට නොමදව ලැබේ. අබිලින් මාමලා තම චෛතසික තෘප්තිය උදෙසා මේ අපරාධයට හවුල් වෙති. භූතයන්, ප්‍රේතයන් නගරබදට වඩා ගම්බදට විශාල ඇල්මක් දක්වන්නේ මේ නිසා විය හැක. 

මීට පසු ඔබේ ප්‍රදේශයේ අදෘශ්‍යමාන බලවේගයක් පිළිබඳව ආරංචියක් ලැබුණු විට ඔබ කල යුත්තේ කට්ටඩියන්, කපුවන් සොයාගෙන යාම නොව වහාම පොලිසියට දැනුම් දීමයි.  


4 comments:

  1. එක වෙලාවකට පොලිසිය හැසිරෙන්නෙත් කට්ටඩියෝ වගේ තමයි.

    ඔය හොල්මන් වලින් වහලා තියාගන්න හදන්නේ හොරු සහ තක්කඩියන් බව නම් ඇත්ත. හොරු දැන් හොල්මන් වෙලා. හොල්මන් හොරු වෙලා.

    ReplyDelete
  2. ගම් වල අබිලිං මාමලා දෙතුන් දෙනෙක්වත් සිටින බැවින් ගම බිය වැද්දීම ඉතා පහසුය. /////////// True

    ReplyDelete
  3. මලගෙදරකට ගියත් නිදහසේ සඳ තරණය කරන්න කොල්ලො යන්නෙ කනත්තට.ගෙවල් වලට හොරෙන් බොන්න සෙට් වෙන්නෙ කනත්තෙ.එතකොට නම් ඔය මොන හොල්මනක් වත් නෑ.වැඩේ තියෙන්නෙ දැන් පොලිසියට යන්න පූජා වට්ටියකුත් අරන් යන්න වෙලා තියන එකනෙ.හෙහ් හෙහ්.. දැන් ටීවී එකක් දැම්මොත් යන්තර මන්තර බූත කතා පෝලිමයි.උදේට කට්ටඬියෝ පෝලිමයි.
    චූන් රැල්ලක්..
    මොනව උනත් ඔබ තුමා කියපු කතාව නම් ඇත්ත.
    ජයවේවා..!!

    ReplyDelete