Follow this Blog

Monday, 7 November 2016

අශ්වයන් පුහුණු කිරීම හෙවත් අධ්‍යාපනයේ අවුල් ජාලය



ලංකාවේ ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනයේ අවුල් ජාලය ගැන නම් සම්පුර්ණ පොතක් ලිවිය හැකි තරමට කරුණු තිබේ. එහෙත් මේ කතා කරන්නේ උපකාරක පංති (Tuition) පිළිබඳව මීට ටික කලකට පෙර සිදුවූ මිතුරු සංවාදයකදී මතුවූ කරුණක් ගැනයි. එහිදී බොහෝ දෙනෙකුගේ අදහස වුයේ පාසලේදී ලබා දෙන අධ්‍යාපනයේ බොහෝ අඩුපාඩු ඇති බැවින් ටියුෂන් පංති හරහා සිසුන්ගේ දැණුම පුළුල් කරගැනීමට දෙමව්පියන්ට සිදුවන බවයි.  

නමුත් මගේ අදහස ඊට වඩා වෙනස් විය. ලංකාවේ ටියුෂන් කලාව පිළිබඳව මට ඇත්තේ හොඳ දැනීමකි. ඒ මාද කුඩා කල පටන් ජීවිතේ සැහෙන දුරක් එම වෘතියේ විවිධ තලවල ක්‍රියාකාරී වූ බැවිනි. 

අද දෙමව්පියන් දරුවන්ව උපකාරක පංති වලට යොමු කරන්නේ තරඟකාරිත්වයේ පීඩනය දරාගත නොහැකි බැවිනි. මට සහතික කල හැක්කේ ලංකාවේ කිසිම සාර්ථක ටියුෂන් ගුරුවරයෙකු සිසුන්ට ඔය දෙමව්පියන් පවසන විෂය දැණුම හෝ සිතීමේ සහ විශ්ලේෂණය කිරීමේ ශක්තිය ලබා නොදෙන බවයි. ඔවුන් කරන්නේ හුදෙක් සිසුවා සාර්ථකව විභාගයට මුහුණ දිය හැකි පරිදි පුහුණු කිරීමයි. මෙය දරුවාගේ මොළය පරිඝනකගත කිරීමකට හෝ අශ්වයෙකු වේගයෙන් දිවවීමට පුහුණු කරනවාට වඩා වෙනස් නැත. මේ පුහුණුව ලබා දිය නොහැකි නම් ඔබ කොපමණ හොඳ අධ්‍යපනඥයෙක් වුවත් ටියුෂන් ගුරුවරයෙකු ලෙස අසාර්ථක වනු ඇත. මා මෙම ක්ෂේත්‍රයේ දකින යථාර්තය එයයි. 


මෙහිදී ඇතිවන ජාතික ගැටලුව වන්නේ මෙම අධ්‍යාපන ක්‍රමය විසින් බිහි කරන දරුවා රටට අවශ්‍ය ප්‍රයෝගික සේවය ලබා නොදී ජීවිත කාලයම කාගේ හෝ මග පෙන්වීම ඔස්සේ හැල්මේ දිව යන මගක් සෙවීමයි. නිතර සිදුවන රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණ මේ මතය සනාථ කරයි. සරසවියෙන් පිටවන ඔවුන් සෑම විටම අසරුවෙක් සොයයි. අසරුවා ලබා නොදීම ගැන රජයට දොස් කියයි. අසරුවා පිට නංවා ගත් කල ඔහු අණ දෙන ආකාරයට ජීවිත කාලයම එක එල්ලේ දිව යයි. 

මේ අනර්ථකාරී ජාතික රෝගී තත්වය මැඩලීමට නොහැකිවන තාක් කල් අප රටේ දහසකුත් ප්‍රශ්න එලෙසම පවතිනු ඇත. ලාංකීය පාසැල් අධ්‍යාපනයේ නොයෙකුත් අඩුපාඩු තිබුනත් මා දන්නා තරමින් එය ලෝකයේ බොහෝ රටවලට වඩා ඉදිරියෙන් පවතියි. එබැවින් වහාම කලයුත්තේ මේ අනවශ්‍ය තරඟකාරී අධ්‍යාපන රටාව වෙනස් කිරීමයි. පාසැල් අධ්‍යාපනයේ අඩු පාඩු කම් පිළිසකර කිරීම කෙරේ දෙවනුවට අවධානය යොමු කල හැක.

ඒ සඳහා කලයුතු දෙය තීරණය කල යුත්තේ අධ්‍යාපනය මෙන්ම තාක්ෂණය, සමාජ විද්‍යාව සහ ආර්ථිකය ගැනද මනා දැනුමක් ඇති පරිපුර්ණ විද්වත් මණ්ඩලයක් මගිනි. දේශපාලුවා එතැනටද ඇඟිල්ල ගැසීමට යාමෙන් තත්වය තවත් බරපතල විය හැක. 


3 comments:

  1. අපි අඬන්න අඬන්න ගහනවා....ගහන්න ගහන්න අඬනවා. මේවා වහා විසඳුම් සෙවිය යුතු ප්‍රශ්න. ඒත් ඒ මුකුත් නොකරන බලදාරීන් අඬමින්, ගහමින් කල් ගෙවනවා.

    ReplyDelete
  2. "ඒ සඳහා කලයුතු දෙය තීරණය කල යුත්තේ අධ්‍යාපනය මෙන්ම තාක්ෂණය, සමාජ විද්‍යාව සහ ආර්ථිකය ගැනද මනා දැනුමක් ඇති පරිපුර්ණ විද්වත් මණ්ඩලයක් මගිනි. දේශපාලුවා එතැනටද ඇඟිල්ල ගැසීමට යාමෙන් තත්වය තවත් බරපතල විය හැක"

    පළමුව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කරුණ ගැන හඬක් නගන්න ඉදිරිපත්වීම සම්භන්ධයෙන්.. මතුකරලා තියන කාරනාව කාලීනව දීර්ඝ වශයෙන් සාකාච්චා කලයුතු කාරනාවක්. මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිකරන දරුවන් අනාගතයේ කුමන ආකාරයෙන් රටේ සංවර්ධනයට දායක වෙන්නද කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒත් එව ගැන තීන්දු තීරණ ගන්න ඉහලින්ම අතපොවන්නේ අට පාස් ඇමතියෙක් වීම ඇත්තටම කනගාටුදායක තත්වයක්. මේ තියන කසිකබල් දේශපාලන ක්‍රමය පහසුවෙන් ඉදිරියට ඇදගෙන යන්න බුද්ධිමය නොවන මොට්ට මෝල් අධ්‍යාපන ක්‍රමයක් විසින් බිහිකරන දරුවන්ගේ අඳබාල තත්වය වෙස්වලාගත්තු ආශිර්වාදයක් වෙලා.

    ධනය සහ බලය මොලය අභිභවා ගිහින් ඉවරයි චන්දිම සර්..අයෙත් අපේ රට ඇතුලේ ධනය බලය යටකරගෙන මොලය උඩට එන දවසක් කවදා එයිද කියල හිතාගණන් බැහැ. මොකද කියනවනම් විවුර්ත ආර්ථිකයක් එක්ක අනාතවුණු අපේ රටේ බුද්ධිය කොතැනදී හරි මුදල් ලන්සුවකට යට වෙනව. වෙනස තියෙන්නේ පාරේ ඉන්න ට්‍රැෆික් රාලහාමි පන්සීයේ දාහේ ලංසුවට යට වීම සහ බුධිමත් විද්වත් උදවිය කෝටි ප්‍රකෝටි ගණනින් ලැබෙන දහසින් බැඳී පියලි වලට යට වීම පමණයි.



    ReplyDelete
  3. ඇත්ත. මෙමඟින් මනාව පුහුණු කරන ලද සිසුන් මිසක් බුද්ධිමත් චින්තකයන් බිහි නොවෙයි.

    ReplyDelete