Follow this Blog

Saturday, 22 October 2016

The Dark Side of Medical Science


වෛද්‍ය විද්‍යාවේ කළුවර පැත්ත 


එඩ්වර්ඩ් ජෙනර්, ලුවී පාස්චර්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්, රොබට් කොක්, ජෝනාස් සොල්ක්, ජෝසෆ් ලිස්ටර්...... මේ ඔබ කුඩා කල අසා පුරුදු නම් වැලක කොටසකි. 

මේ අය ජීවත් වුයේ 18-19 ශත වර්ෂ වලයි. කිහිප දෙනෙක් 19 වන ශත වර්ෂය දකින්නට වාසනා කර තිබුණි. ඔවුන් සියළු දෙනාම අප දන්නේ මිළියන ගණනක් රෝගීන් සුවපත් කිරීමට දායක වූ ජීවකයන් ලෙසයි. ඔවුන්ගේ සොයා ගැනීම්, ඔවුන් මිය ගොස් සියවස් ගණනාවක් යන තුරුම සතට සෙත සලසයි. ලෝකයේ මිනිසුන් වන්දනා මාන කරන ආගම් කර්තෘවරු කී දෙනෙකුගෙන් මේ සේවය සිදුවී ඇත්දැයි ඔබම කල්පනා කර බලන්න.

වසර 1940 වන විට ලෝකයේ එවකට පැවති සෑම රෝගයකටම පාහේ බෙහෙත් සොයාගෙන තිබුණි. වසුරිය, පෝලියෝ, කහ උණ, කළු උණ, මහාමාරිය, මැලේරියාව, ක්‍ෂය රෝගය ආදී නම් වැලක් ඒ අතර වෙයි. මෙයින් සමහර ලෙඩ රෝග මේ වන විට මුළු ලෝකයෙන්ම තුරන් වී ඇත. 


ඉහත නම් සඳහන් විද්‍යාඥයින් පර්යේෂණ සිදු කලේ කුමන පහසුකම් සහිතවදැයි සොයා බැලීම වටීයි. ඔවුන්ගේ පර්යේෂණාගාර අද පවතින පහසුකම් සහ තාක්ෂණික උපාංග සමග සැසඳූ විට හාස්‍ය ජනකය. අද පාසල් විද්‍යාගාර පවා ඒවාට වඩා ඉදිරියෙන් ඇත. මේ අයගෙන් සමහරක් දෙනා මූලික පර්යේෂණ සිදු කලේ තම නිවසේ ඉහල මාලයේ වූ කුඩා කාමරයක, මුළුතැන් ගෙයි හෝ අශ්ව ඉස්තාලයේ බව ඔවුන්ගේ ජීවිත කථා වල සඳහන් කර ඇත. මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ ඔවුහු මිනිස් වර්ගයා වෙනුවෙන් තම යුතුකම් ඉටු කළෝය.

1940-60 යුගය අඳුරු කාල පරිච්චේදයක් විය. දෙවන ලෝක යුද්ධය අවසන් කිරීමට සහ ඉන් අනතුරුව බිඳුණු ලෝක ආර්ථිකය නැංවීමට බොහෝ රටවල කාලය සහ ශ්‍රමය වැය විය. 1960 න් පසු අද වන විට වසර 56 ක් ගතවී ඇත. ලොව පුරා විද්වතුන් කණ්ඩායම් දහස් ගණනක් ඖෂධ වර්ග පිළිබඳව පරීක්‍ෂණ මෙහෙයවයි. ඔවුන් වෙනුවෙන් මහත් ධනස්කන්ධයක් පොම්ප කෙරෙමින් පවතී. තම පර්යේෂණ කටයුතු සඳහා මෙම විද්‍යාඥයන්ට ඇති පහසුකම්, තාක්‍ෂණය, ක්‍රමවේද එඩ්වර්ඩ් ජෙනර්ලා තම අභාව්‍යමය සිහිනවල වත් දකින්නට නැත. එහෙත් ලොව මේ කාල පරාසය තුල මිලියන ගණනක් මිනිසුන් පීඩාවට සහ මරණයට පත් කල ප්‍රධාන රෝග ත්‍රිත්වය, HIV, පිළිකාව සහ දියවැඩියාව සම්පුර්ණයෙන් සුවකිරීමට තවමත් පැහැදිළි අත්දුටු ප්‍රතිකර්මයක් සොයාගෙන නැත.

නමුත් මෙම රෝගියෙකු තවත් එක දවසක් ජීවත් කල හැකි තාවකාලික ඖෂධ වර්ග සහ ප්‍රතිකාරක ක්‍රම දිනපතා වෙළද පොලට හඳුන්වා දෙනු ලැබෙයි. ඔබට මුදල් ඇත්නම් තව දිනකට මෙලොව එළිය දැකිය හැක. නො එසේ නම් ඔබ මිය යනු ඇත. වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය ඔබව සුවපත් කිරීමට නොව ඔබ අපහසුවකින් තොරව සදාකාලික රෝගියකු ලෙස පවත්වාගෙන යාමයි.



24 comments:

  1. ඔබ කියන කතාවේ දෙපැත්තක් තියනවා...මෙතනට මැලේරියාවත් එකතු කරන්න කැමතියි...මේ පහසුකම් වැඩි තරමටම මේ රෝග කාරකයිනුත් පරිසරයට අනුගත වෙලා තියනවා...ඒ නිසයි පාලනය කිරීම මිසක් ඉවත් කිරීම අමාරු වෙලා තියෙන්නේ...විශේෂයෙන් HIV වගේ ගත්තොත් වෛරසයට පුළුවන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපන කරන්න...

    මේ සඳහා මුලික පර්යේෂණ කරන්නේ සාමාන්‍ය මියෝ හෝ වඳුරන් යොදාගෙන...මොකද මේවා මිනිස්සු යොදා ගෙන පර්යේෂණ කරන්න බැරි රෝග කාරක නිසා...මියෝ වඳුරෝ වැනි සත්තු යොදාගෙන කරන පර්යේෂණ වල ප්‍රථිපල මත පදනම් වෙලා ඒවා මිනිසුන්ට ආදේශ කිරීමේදී සාර්ථකත්වය ඇත්තේ 50% ක පමණ..මොකද මියෝ/වඳුරෝ සහ මිනිසා අතර ජෛව සැකැස්මේ තියන වෙනස් කම් නිසා...ඒ නිසා phase III clinical Trial එකකට යද්දී මේ පර්යේෂණ අසාර්ථක වෙනවා...

    ඒ නිසා තමයි මෑත කාලීනව බිහිඋන Humanized mice කියන සංකල්පය බිහි වෙන්නේ...මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ අනෙකුත් සමහර මිනිස් සෛල ඇති මීයන්..මම ඇමෙරිකානු නාවික හමුදාවේ වසර 5 ක් පර්යේෂණ කලේ මේ සම්බන්ධයෙන්...දැන් ඒ මිනිස් මියන් HIV ඩෙංගු වැනි පර්යේෂණ කටයුතු සඳහා යොදා ගන්නවා...ඒක ලොකු පිම්මක් නමුත් බොහොම ටික දෙනාටයි ඒ සඳහා පහසුකම් තියෙන්නේ...

    දැනට පවතින බෙහෙත් වර්ග මේ මට්ටමින් අත්හදා බලන්න පවා මේ මූලික පර්යේෂණ බොහොම වැදගත් වෙලා තියනවා...බෙහෙතක් වෙළඳ පොලට එනවා කියන්නේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්...එය මුලින් සතුන් හරහා කරන පර්යේෂණ වලින් සාර්ථක වන බව ඔප්පු කල යුතුයි...

    ඉන් පසු මිනිසා තුල මට්ටම් තුනකින් පර්යේෂණ කල යුතු ඉතා විශාල කාර්ය භාරයක්...ඇමෙරිකාවේ නම් FDA එකත් යුරෝපිය රටවල නම් වෙනත් පාලන අධිකාරිනුත් මේ සඳහා කෙලින්ම සම්බන්ධ වෙනවා...

    ඒ සඳහා නිපදවන බෙහෙත් හෝ එන්නත් ඉතා සුවිශේෂ වූ cGMP කියන ක්‍රම වේදය යටතේ සකස් කල යුතුයි...එවැනි දේ නිපදවන ආයතනයක පැවැත්ම ඕනෙම එක් පුද්ගලයෙකුගේ ක්‍රියාව මත රඳා පවතිනවා...එක් අයෙකුගෙන් සිදු වන වරදකින් මුළු ආයතනයම වසා දැමිය හැකියි...

    පළමු මට්ටමේදී මිනිසුන් 30 කට අඩු ප්‍රමාණයක්ද, දෙවන මට්ටමේදී 100ක් දක්වා ප්‍රමානයක් සහ අවසාන තෙවන මට්ටමේ මිනිසුන් සියයට වැඩි දෙනෙක් යෝදාගෙනයි මේ පර්යේෂණ සිද්ධ වෙන්නේ...ප

    ළමු මට්ටමේදී කරන්නේ බෙහෙත කොතරම් අරක්ශාකාරිද යන්න සොයා බලනවා... කොතැනක හෝ සිදුවන සුළු වරදකින් ඒ clinical trial එක කරන ආයතනයම වසා දමන්න පාලනාධිකාරි වලට අයිතිය තිබෙනවා..ඒ නිසා කවුරුත් ව්‍යාපාරයක් ලෙස කලත් ඒ දේවල් ආසාවට නම් කරන්නේ නැහැ...මොකද මේ ඊයේ පෙරේදා ලෝකේ ප්‍රසිද්ධම එන්නත් නිපදවන ආයතනයක් ඒ වගේ තෙවැනි මට්ටමේ පර්යේෂණය අසාර්ථක වීමෙන් එම ආයතනය වැසි යාමේ තර්ජනයකට මුහුණ දීල තියනවා...

    අද වෙද්දී මම පුද්ගලිකව අත්දකිනවා මිනිසෙකුගේ ජිවිතයක් වෙනුවෙන් බොහෝ පිරිසක් තම ශ්‍රමය කාලය පමණක් නොවේ තම සෞඛ්‍ය පවා අවදානමකට ලක් කරනවා...

    ඒ නිසා ඔබ කියා ඇතුවා වගේ සරල නිගමනයකට එන එක සුදුසු නැහැ...නමුත් ව්‍යාපාරික අරමුණු වලින් ඒ දේ කෙරෙන පාර්ශවයනුත් බහුලයි...

    ReplyDelete
    Replies
    1. I respect and honour your comment. What you say is quite true. However, the question asked by many people who criticise the medical research sector is "with all these constraints of research ethics, still there are hundreds of temporary cures introduced into the market on daily basis. Whether it is temporary cure or permanent cure the research procedures are the same. And all these temporary cures are highly expensive. Isn't this problematic?"

      Delete
    2. පොකුරු,

      ස්තූතියි ඔබටත් අගනා කරුණු දැක්වීමක් වෙනුවෙන්.

      Delete
    3. මේ පොකුරු කියනවා වගේ නොයෙකුත් පර්යේෂන සඳහා බිලියන් ගනන් මුදල් යෙදවෙනවා. ඒ නිසාම වෙන්න ඇති බෙහෙතක් වෙලඳ පොලට ආපුවහම ලොකු මුදලක් නියම වෙන්නේ. මට GSK ආයතනයත් එක්ක අත්දැකීමක් තියෙනවා ක්ලිනිකල් ට්‍රයල් එකකදි වොලන්ටියර් කෙනෙක් හැටියට. පලමුවරට ඒ බෙහෙත මිනිසුන්ගෙන් ට්‍රයි කරා. ටැබ්ලට් එකක්. ඒක වෙලඳ පොලට ආවද නැද්ද දන්නේ නැහැ. මම මේ ටික සඳහන් කරේ ඒ වෙනුවෙන් දරන වියදම්, පහසුකම් සහ වගකීම් ගැන දැකපු නිසා මාසයකට අධික කාලයක්.

      Delete
    4. ඒ කියන්නේ ඔයා සුදුපාට මියෙක් උනාද මාසයක්

      Delete
    5. චන්දිම මහත්මයා, බෙහෙත් සහ එන්නත් පර්යේෂණ සිදු කරන විවිධ ආයතන ව්‍යාපාරික අරමුණු සඳහාම ඒවා සිදු කරනවා වෙන්න පුළුවන්...ඒ සඳහා දේශපාලන මැදිහත් වීම් පවා ඇති...ඒ පිළිබඳව මට පුද්ගලික අත්දැකීම් නැහැ...සමහර පර්යේෂණ කණ්ඩයාම් අතර ලොකු තරඟයක් තියනවා...එය මා පුද්ගලිකව අත් දැක ඇති දෙයක්...ඒ තරඟය පසෙක ලා සියල්ලෝම එක්කාසු වුනා නම් සමහර සොයා ගැනීම් ඉක්මන් විය හැකියි...නමුත් අවසානයේ වෙළඳ පොළට නිකුත් වන මිල සම්බන්ධයෙන් එය සෘජුව බලපෑමක් වෙන්නේ නැහැ...

      මිනිසාගේ පරිභෝජයනය සඳහා අනුමත කරන තාවකාලික හෝ ස්ථීර බෙහෙත්/එන්නත් ඕනෑම දෙයක් මා ඉහත කියූ ක්‍රියා පටිපාටියට යටත් විය යුතුයි...මුදල් හෝ දේශපාලන වාසි තකා ඒ ක්‍රම මග හැරියොත්, අවසානයේ ජිවිත ගණනාවක් විනාශ වීමේ ඉඩකඩ වැඩියි...අද මිලෙන් අඩු වෙළඳ පොලට නිකුත් වන බෙහෙත් වර්ග FDA අනුමත නොකලයි කියන විශේෂ වාක්‍ය අඩංගු වෙනවා...සමහර වෙලාවට සතුන් සමඟ පමණක් පර්යේෂණ කර ඇති බව සඳහන් වෙනවා...එහි තේරුම ඒ බෙහෙත් වර්ග clinical Trial මට්ටමෙන් පරික්ෂා කර නොමැති බවයි...මා එවැනි බෙහෙත් කිසිම කෙනෙකුට අනුමත කරන්නේ නැහැ...මොකද මා හොඳින්ම දන්නවා බොහෝ කාරනා වලදී සතුන්ගේ සහ මිනිසාගේ පද්ධති ක්‍රියා කරන අයුරු වෙනස් වග...අපි නවත්තන්න ඕනේ අන්න ඒ වගේ බෙහෙත් වර්ග වෙළඳ පොලට එන එකයි..ඒවායේ මිල පාලනය කෙසේ වෙනවාද කියා මා දන්නේ නැහැ...ඒවා නම් හුදෙක්ම ව්‍යාපාරික අරමුණු සඳහා සිදු වන දේවල්...

      අරුණ මහත්මයා ඉහත සඳහන් කර ඇතුවා වගේ clinical trial එකක් වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා...මොකද අදට තුන් වන මට්ටමේ ඇති එකම මැලේරියා trial එක වන RTS/S සඳහා මගේ දායකත්වය සපයද්දී ඒ බව හොඳින්ම දුටුවා..බොහෝ විට මේ වොලන්ටියර්ස්ලා සඳහා අපි නවාතැන් සපයන්නේ තරුපහේ හෝටල් වල...පරීක්ෂණ කාල සීමාව තුල ඔවුන්ව 24/7 නිරීක්ෂණය කල යුතු නිසා..ඒ වගේම ඔවුන්ට සැලකිය යුතු මුදලක් ඒ සඳහා ලබා දෙනවා...ඔවුන් තමන්ගේ ජීවිතය අවදානමකට ලක් කරනවා මෙතනදී...සමහර වෙලාවට ඔවුන් වඩා වැඩි කාලයක් හෝටල් වල නොමිලේ හිඳීමට ඇති වුවමනාව නිසා තමන්ගේ රෝග ලක්ෂණ කියන්නට පවා මැලි වෙනවා...අප පිටින් හිඳ දකිනවාට වඩා ඉතා සියුම් සහ සංකීර්ණ ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා...අනිත් අතින් අනතර්ජාතික මට්ටමින් මේ දේවල් කරද්දී සමහර රටවල පරිපාලනයෙන් ඒ සඳහා නිසි සහයෝගයක් ලැබෙන්නේ නැහැ...මේ සියල්ලම අවසානයේ වැය වෙන මුදල් එක්ක ආයතනයක් බැඳිලා ඉන්නවා නියමිත මිලක් ඇතුලේ තමන්ගේ එන්නත හෝ බෙහෙත් පවත්වා ගන්න...මිලට අමතරව, එම බෙහෙත්/එන්නත් ප්‍රවාහනය, එන්නත් කිරීමේ ක්‍රම, නොදියුණු රටවල ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇත්ද යන්න සොයා බැලීම, මේ වගේ බොහොමයක් කරුණු මුලසිටම සැලකිල්ලට ගත යුතුයි...ඒ නිසා සමහර වෙලාවට පරීක්ෂණ කණ්ඩායම් වලට බෙහෙත්/එන්නත් වල සැකැස්ම වෙනස් කරන්න වෙනවා...ඒ සියල්ලේම ප්‍රථිපලයක් තමයි වෙළඳ පොළ මිල...මා දැනට ක්‍රියාකාරිව මිනිසුන් සඳහා එන්නත් නිපදවීමේ ක්‍රියාවට සහභාගී වන නිසා එහි ඇති බරපතල කම පිටතින් බලන කිසිවෙකුට නොවැටහෙන බව මා පැහැදිලිව දන්නවා...

      අප සායනයකට ගොසින් එන්නතක් ලබා ගන්නට ගත වෙන්නේ එක තත්පරයක් වුවත්, ඒ සඳහා මිනිසුන්, මියන්, වදුරන් සිය දහස් ගණනක් තමන්ගේ ජිවිත අවදානමකට ලක් කරන බව අප බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්...ඒ අවදානම, ශ්‍රමය, බුද්ධිය ඒ සියල්ලම වෙනුවෙන් තමයි අපට ඒ මිල ගෙවන්න සිදු වී ඇත්තේ...ඒ මිල ගෙවා ලබා ගන්න ඖෂධ හිතේ කුකුසකින් සහ අතුරු ප්‍රථිපල ගැන අවබෝධයෙන් අපට ගිල දමන්නට හැකි වී ඇත්තේ, ඊට කලින් අප වගේම මිනිසුන් කණඩායමක් ඒ අතුරු ප්‍රථිපල වින්දායින් පසුව, ඒ ගැන නිර්ණායක වලට එළඹීමෙන් පසුවයි...ඒ වගේම මීයන් සිය ගණනක් තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවූ නිසයි...

      නමුත් ඒ කිසිවක්ම නොතකා පටු ව්‍යාපාරික අරමුණු මත්තෙම යැපෙන කණ්ඩායම් ඕනෑ තරම් දකින්නට පුළුවන්...

      ඒ කොහොම වුනත් ඔබ තුමා මතු කලේ ඉතා වටිනා කරුණක්...මේ වගේ සංවාදයක් ගොඩ නැගෙන්න අපි හැමෝගෙම අදහස් බොහොම වැදගත්...

      Delete
    6. //////අරුණ මහත්මයා ඉහත සඳහන් කර ඇතුවා වගේ clinical trial එකක් වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා...මොකද අදට තුන් වන මට්ටමේ ඇති එකම මැලේරියා trial එක වන RTS/S සඳහා මගේ දායකත්වය සපයද්දී ඒ බව හොඳින්ම දුටුවා..බොහෝ විට මේ වොලන්ටියර්ස්ලා සඳහා අපි නවාතැන් සපයන්නේ තරුපහේ හෝටල් වල...පරීක්ෂණ කාල සීමාව තුල ඔවුන්ව 24/7 නිරීක්ෂණය කල යුතු නිසා..ඒ වගේම ඔවුන්ට සැලකිය යුතු මුදලක් ඒ සඳහා ලබා දෙනවා...ඔවුන් තමන්ගේ ජීවිතය අවදානමකට ලක් කරනවා මෙතනදී...සමහර වෙලාවට ඔවුන් වඩා වැඩි කාලයක් හෝටල් වල නොමිලේ හිඳීමට ඇති වුවමනාව නිසා තමන්ගේ රෝග ලක්ෂණ කියන්නට පවා මැලි වෙනවා..////////////////

      හරියටම හරි. මේක බොහොම අවදානමක් දෙපැත්තටම. වොලන්ටියර් සහ පර්යේෂකයා දෙපාර්ශවයටම. අපේ දුව සයන්ටිස්ට් කෙනෙක්. මගේ තියෙන උවමනාවටම ඇය ඒ ගැන සොයා බලා..අම්මාගේ අකැමත්ත මත ඕකේ කරලා දුන්නා.

      ඔවුන් ඒ සඳහා මහා වැඩ කොටසක් කරනවා. ඒක මම අගය කරන්නේ ඒ අත්දැකීම් මතයි. සිගරට් දහයකට වඩා දවසකට බොන අය සහ නිරෝගි සෞඛ්‍ය තතවයක් ඇති අය තමයි මේ වැඩේට තෝරා ගත්තේ. ඒක රසවත් කතාවක්.

      මටත් සල්ලි ප්‍රමානයක් ලැබුනා. ඒ සල්ලි වලින් අපි තුන්දෙනා හොඳ වැඩක් කරා. ඒක නොලියා ඉන්නම්. ඒක අතිශය පුද්ගලික යුතුකම්ක්. පිංකමක් නෙමේ. මට එතනදි මහා උතුම් වොලන්ටියර්ස්ලා ටිකක් හමුවුනා. අපේ දුව මේ ලඟදි බෝන් මැරෝ ප්‍රදානයකට ටෙස්ට් එකක් කරා . මටත් ඕන නම් කරන්න කිව්වා. නමුත් මගේ වයස කානඩය ගැලපුනේ නැහැ. මම මේක අවස්තාවක් කරගන්නවා, මෙවැනි දේවල් වලට දායක වෙන්න කියලා ඉල්ලා සිටින්න.

      Delete
    7. මට හිතා ගන්න පුළුවනි ඔබේ අත්දැකීම්...ඔබේ දුව සහ ඔබ යන දෙදෙනාම ගැන ආඩම්බරයි...ඒ වගේම ස්තුති වන්ත විය යුතුයි ඔබට අවදානමක් ගෙන ලැබූ මුදල් යහපත් දෙයක් වෙනුවෙන් යෙදවූ එක සම්බන්ධයෙන්...

      Delete
    8. මම හිතනවා මම ලොකුවට ඉගෙණ්ගත්ත කෙනෙක් නොවුනත්, වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් මම ලොකු යුතුකමක් ඉටුකරා කියලා ඒ විදිහට හරි. කවදා හරි ඒක තව කෙනෙකුට ප්‍රයෝජනයක්,හෝ මොන මගුලක් හරි වෙයි . මේ ලෝකේ ඉන්න සියලුම ක්ෂේත්‍රයන්හී පර්යේෂකයන්ට මගේ ප්‍රණාමය බොක්කෙන්ම!!!!!!

      Delete
    9. මේ ලිපියත් පොකුරු ගේ කොමෙන්ටුවත් දෙකම වැදගත් අදහස් මතු කරනවා.

      Delete
  2. /වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය ඔබව සුවපත් කිරීමට නොව ඔබ අපහසුවකින් තොරව සදාකාලික රෝගියකු ලෙස පවත්වාගෙන යාමයි./

    චන්දිම,

    තර්කානුකූල අදහසක් පළකිරීමට පමණ අදාල ක්ෂෙත්‍රය පිළිබඳව නොදනිමි.එහෙත් ඔබගේ ලිපිය ඒ විෂයය අරභයා තව දුරටත් හැදෑරීමක් කරන්නට පොළඹවයි.

    ReplyDelete
    Replies
    1. රවී, මා හැම විටම උත්සහ ගන්නේ යමක් කියා දීමට වඩා යමක් හිතන්න පොඩි තල්ලුවක් දීමටයි. මා කතාකරන්නේ මගේ දැනුම් සම්භාරය සහ මගේ විශ්ලේෂණ දැනුමේ ප්‍රමාණයටයි. එබැවින් මගේ නිගමනවල නොයෙකුත් අඩුපාඩු තිබිය හැක. මෙය තේරුම් ගන්න ඔබ, පොකුරු මෙන්ම අනෙක් හැම දෙනාටම බොහොම ස්තුතියි.

      Delete
    2. චන්දිම, මා පැවසූයේ අදාල ක්ෂේත්‍රය පිළිබඳ මගේ දැනුම මද බවයි...:)

      Delete
    3. It is well understood Ravi. I just made a general comment. I just wanted to thank all you for your kind words and encouragement

      Delete
    4. Thanks Chandima, Ok then, I thought you misunderstood what I said...;)

      Delete
    5. මා හිතන්නේ ෆාමසි කාරයන්ට ඕනේ අපිව සදාකාලික රෝගීන් කරලා තියා ගන්න.

      Delete
  3. බොහොම අපූරු සංවාදයක්. මෙහි අදහස් පල කරලා තියෙන වෛද්‍ය විද්‍යා පරීක්ෂණ කරන බුද්ධිමතුන්ගේ හැගීම මට තේරුම් ගන්න පුළුවන්. ඒ එක්කම මට මගේ අත් දැකීමත් ලියන්න හිතුන.

    මම පළමු උපාධියෙන් ඉහල ඉගෙන ගෙන නැහැ. ඒත් රැකියාව විදියට (එක රැකියාවක්. මෙහෙ එක රස්සාවක් කරලා ජීවත් වෙන්න අමාරුයි) කැනඩාවේ විශ්ව විද්‍යාල දෙකක පර්යේෂණ කටයුතු පිටපත් කිරීම් වලට උදව් කරනවා. මින් එක සරසවියක ඉතා හොඳ විශ්වවිද්‍යාල - පෞද්ගලික අංශ (university - Industry ලින්ක්) සහයෝගිතාවයක් තියනවා. ලෝකයේ ඉහලම බෙහෙත් කොම්පැණියක් මේ සරසවියේ පරීක්ෂණ කණ්ඩායමක් එක්ක එකට වැඩ කරනවා. ඔවුන්ගේ තෙමාසික රැස්වීම බොහොම වෙලාවට ආවරණය කරන්නේ මම.

    මෙහිදී මුළින්ම පශ්චාත් උපාධිය හදාරණ සිසුන් තම නිරීක්ෂණ ඉදිරිපත් කරනවා. ඉන්පසු මහාචාර්යවරු ඒවා විස්තර කර දෙනවා. මේ කොටසින් පසුව සිසුන් සහ අනෙකුත් ආචාර්යවරුන් ඉවතට යන අතර පර්යේෂණ ප්‍රධානියා (principal investigator) සහ කොම්පැණි ප්‍රධානින් අතර සාකච්චා පැවැත්වෙනවා. මෙහිදී ඔවුන් කතා කරන්නේ තනිකරම මුදල් ප්‍රමාණය සම්භාන්ධයෙනුයි. ඉදිරි වසර කිහිපයේදී දියවැඩියාව ඩොලර් බිළියන කීයක ව්‍යාපාරික අවස්ථාවක්ද ආදී වශයෙන් ඔවුන් අදහස් දක්වනවා (මේ ගැන මහාචාර්යතුමාගේ වෙබ් අඩවියේ තවත් කෙනෙක් අදහස් පළකර තිබුන). ඔවුන්ගේ එකම අරමුණ තාවකාලික සුවයන් සඳහා බෙහෙත් ද්‍රව්‍ය නිපදවීමයි. පුර්ණ සුවය දෙන ක්‍රම වේද වලට ඔවුන් කිසිම අනුග්‍රහයක් දෙන්නේ නැහැ. මේ ගැන කතා කරන ඉහලම පෙලේ විද්යග්නයන්වත් ඔවුන් අවඥාවට ලක් කරනවා. මට සහතිකයි සිසුන්ට සහ පහල මට්ටමේ පරීක්ෂකයන්ට මේ කාරණා ගැන අදහස් ගලා නොයන බව.

    මා සිතනවා මේ කොමෙන්ටුව කිසිවෙකුත් ඉංග්‍රීසියට පරිවර්තනය නොකරාවි කියල. මගේ රැකියාව වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. මොන සාපරාදී වැඩද

      Delete
    2. ඔබගේ රැකියාව පවා අවදානමෙහි ලමින් ඔබ කල විවරණයට ස්තූතියි ඔබට..

      ඇත්තෙම්ම මෙතනදී මා අදහස් කලෙත් මේ ඉහළම තලයේ සිදුවන අකටයුත්ත පිළිබඳවයි. බොහෝ විට පශ්චාත් උපාධිය හදාරණ සිසු සිසුවියන් හා කණිෂ්ඨ පර්යේෂකයන් ඉතා වෙහෙසකර කර්තව්‍යයක යෙදෙන අතර ඔවුන් සංවේදනය කරන්නේ තමාට ඉහලින් සිටින ජේෂ්ඨ පර්යේෂකයන් සමගයි. මේ නිසා ඔවුන්ට බොහෝ විට පෙනෙන්නේ මේ පර්යේෂක-ව්‍යාපාරික පවුරෙන් මෙපිට ඇති කොටස පමණයි. මා මේ ගැන ඔවුන්ට දොස් පවරන්නේ නැහැ.

      මේ කණිෂ්ඨ මට්ටමේ පර්යේෂණ පර්ෂදය තම කටයුතු සිදු කරන්නේ තමාට ඉහළින් ලැබෙන උපදෙස් වලට අනුවයි. ඔවුන්ට බොහෝ විට තම සිතැඟි පරිදි කටයුතු කල නොහැක. එසේම පර්යේෂණ කටයුතුවල ඇති අපහසුතා සහ එයට යන වියදම් දෙසද ඔවුන් බලන්නේ තමාගේ අත්දැකීම් වලට අනුරුපීවන මිණුම් දර්ශක තුලිනි. මෙතැනදී වඩාත්ම වැදගත් වන්නේ මෙම ව්‍යාපාරික ප්‍රජාවගේ ඇති පර්යේෂණ අරමුණයි (Research focus). එය ඉතා වෙහෙස මහන්සි වී පර්යේෂණ කටයුතු කරන කනිෂ්ඨ පර්යේෂකයන්ගේ සිතිවිලි සමුදායෙන් බොහෝ දුරස් වන බව මගේ හැඟීමයි.

      ඖෂධ අළෙවිකරණයේ යෙදෙන අන්තර්ජාතික සමාගම් වල ලාභාංශය දෙස බැලුව හොත් ඔබට තේරේවි, මොන තරම් අධික ලාභයක් ඔවුන් ලබනවාද යන බව. ඔබට කනිෂ්ඨ පර්යේෂකයෙකු ලෙස මේ පර්යේෂණ සඳහා යන වියදම් විශාල ලෙස පෙනුනත් සමාගම් මට්ටමෙන් ඒවා ඉතා සුළු වියදම් බව හොඳින් බැලුවහොත් පෙනෙනු ඇත.

      තමා ප්‍රධාන පර්යේෂකයා ලෙස අරමුදල් ලබාගෙන යම් රෝගයක නිදානය සොයා ඊට පුර්ණ ප්‍රතිකාරයක් සොයා පර්යේෂණ සිදු කරන (ජාත්‍යන්තර තලයේ) කෙනෙක් සිටියි නම් ඔබගේ අත්දැකීම් විස්තර කරන මෙන් ඉල්ලා සිටිමි.

      Delete
    3. කැනඩාවේ සිටි එක්තරා පර්යේෂකයෙක් වතුර හා තෙල් කලවම් කර ඉන්ධනයක් නිපදවා තිබෙනවා. ඔහු හදිසියේම මිය ගියා. මෙය අනූ ගණන්වල සිදුවුනේ. ඔහුගේ යහළු විද්‍යාඥයා තමා අපට කාරණය කිව්වේ. ඔහු මෙවැනි කතාවකුත් කීව . ඔහුගේ පර්යේෂක කණ්ඩායමක් කිසියම් වකුගඩු හා අක්මාව සම්බන්ධ ලෙඩ වලට සොයාගත් බෙහෙත් විනාශ කරන ලද බව. ඔහුත් අන්වර්ථ නාමයකින් ඉතා දුකසේ ජිවත් වෙන බවයි අපේ අන්තර්ජාල ගෘප් එකකට ඇවිත් කිව්වේ. මම ඒ දවස් වල හිතුවේ එතන ඉන්න ගැහැණුන්ගේ අනුකම්පාව ගන්න බොරු කියනවා කියලයි. අනික කැනඩාව වගේ ලිබරල් රටක ඒක වෙන්නේ කොහොමද කියලත් හිතුන. ඔහු කිවේ අමෙරිකානුන් පැමිණ යහළුව ඝාතනය කළ බව. මට ලඟදි කෙනෙක් කිව්වා ඔහුත් අතුරුදහන් කියල දැන්. ඉහත කොමෙන්ටුව නිසා ඒ කතා ඇත්ත කියා දැන් හිතෙනවා.

      Delete
  4. මට මෙහෙම හිතෙනවා. එකක් මේක ව්‍යාපාරික මාෆියාවක්ද කියලා. අනිත් එක තමයි, මේ මාෆියා එකත් නැත්නම් මේ මෙලෝ බෙහෙතක් ,( අනවශ්‍ය ගැබ් ගැනීම්වලට පොඩි ස්ටොප් එකක්ප්‍රතිකර්මයක්, ජුන්ඩා නග්ගන ව්‍යාග්‍රා එකක්, පැපොල් ඇපල් කරන මොකක් හරි එකක් )මාකට් එකට එන්නේ කොහොමද. අඩුම ගානේ පැරසිටමොල් පෙත්තක් හෝ...
    මාකට් එකට එන්නේ කොහොමද.
    මාර්කෙටින්ග් විතරක් නෙමෙයි එතික්ස් ඇන්ඩ් එඩියුකේශන්සුත් පැටලිලා. ජීවත් කරනවාට වඩා විඳවන්න දෙන එක ඩ්‍රග්ස් මාෆියා එකට මරු පහසුයි. ඒක මිනි පෙට්ටි සාප්පු කාරයාට වාතයක්. මේක ඇතුලේ....මේක විතරක් නෙමේ...මේ ලෝකය නම්වූ චූටි ඉඩකඩේ අපි ඔක්කොම කෙලින්නේ පිස්සු. මේ පිස්සු නැවතෙන ඊලඟ මිනිත්තුවේ මේ සියල්ල කඩා වැටෙනවා. මේක මේ විදිහට යන්න පුලුවන් තරම් යයි. මේක හෙමින් හිතන්න.බොරුව සහ ඇත්ත....හොඳ සහ නරක....යුක්තිය සහ අයුක්තිය...ප්‍රේමය සහ වෛරය මේ සියල්ලම පවතිනවා...ඒ සියල්ල වෙනස් නොකල හැකි දේවල්. හැබයි අපි කවුරුත් ලාභය සහ අලාභය කියන තැන ආපුවහම අර මුලින් කියපු සියල්ල ජරා විදිහට අමතක කරනවා.

    මේ ලෝකය ඇතුලේ හියුමන් වැලියූස් කියන ඒවාගෙන් වැලියුස් කියන ඒවා නැතිවෙලා, හියුමන් කියන මස් කඳ විතරක් ඉතිරිවෙනවා. ගෙදර හදන බල්ලෝ, බලල්ලු වගේ සත්තු වලිගේ වනලා,,ඥාව්..ඥාව්,,,හරි බුහ්..බුහ්...කියලා යයි. අපි කොහෙද යන්නේ......මට එහෙම හිතෙනවා චන්දිම.

    ReplyDelete
  5. තිත්ත ඇත්ත....

    //ඔබට මුදල් ඇත්නම් තව දිනකට මෙලොව එළිය දැකිය හැක. නො එසේ නම් ඔබ මිය යනු ඇත. වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය ඔබව සුවපත් කිරීමට නොව ඔබ අපහසුවකින් තොරව සදාකාලික රෝගියකු ලෙස පවත්වාගෙන යාමයි.//

    ඒ අතරම සුව කල හැකි යම් විකල්ප වෛද්‍ය ක්‍රමයක් වේනම් එවාද විනාශ කිරීමයි.

    ReplyDelete
  6. මේ වාර්තාමය චිත්‍රපටියේ කියනවා ඔබ ඔය කියන කතාව උදාහරණ සහිතව http://www.imdb.com/title/tt1528734/

    ReplyDelete