Follow this Blog

Thursday, 13 October 2016

එට්කා විරෝධය සහ ඉන්දීයානු විරෝධය





මෑතකදී එක් ආචාර්යවරයෙක් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එට්කා විරෝධය යනු නොදැනුවත්කම බවයි. ඔහු සමග කල සම්පුර්ණ සංවාදය කියවූ පසු මට හැඟී ගියේ ඔහු වුවමනාවෙන්ම සියල්ලම පටලවා අන්තිමේදී කිසිම ගතයුත්තක් නැති වචන මාලාවක් පවසා ලිස්සා ගොස් ඇති බවයි. මෙය අනිවාර්යයෙන්ම ඔහුගේ නොදැනුවත්කම නම් නොවේ. 

එට්කා ගිවිසුම පිළිබඳව මා හරියටම නොදනී. මා තබා රටේ ඉතා අතලොස්සක් හැර කිසිම කෙනෙක් මේ ගැන හරියටම දන්නා බවක් නොපෙනේ. සියල්ලෝම අඳුරේ අත පත ගායි. නොදන්නා යමක් ගැන පැවසීමත් එතරම් ගුණදායක නොවේ. එහෙත් නේපාලය, බංග්ලාදේශය, භූතානය වැනි රටවල් ඉන්දියාව සමග ගිවිසුම් ගතව අද පත්ව ඇති තත්වය දෙස බලන විට පවතින ආර්ථික පරිසරය තුල කුමන හෝ ආකාරයක බාධක-හල භාණ්ඩ හා සේවා හුවමාරු ගිවිසුමකට යාම ලංකාවට ඉතා අවාසිදායක බව නම් ආර්ථික විද්‍යාව ගැන එතරම් දැනුමක් නැත්තෙකුට වුවද අවබෝධ වන බව මගේ හැඟීමයි. මීට අමතරව මෙතෙක්  මෙම ගිවිසුමට පක්‍ෂ කිසිම කෙනෙකුගෙන් මම මෙයින් ලංකාවට ඇතිවන වාසි පිළිබඳව නිවැරදි සරල පැහැදිලි කිරීමක් නොසුවෙමි. අනෙක් අතට මෙම ගිවිසුමට එරෙහි වන්නන් බොහෝ දෙනෙකු ඉදිරිපත් කරන කරුණු සෑහෙන දුරකට  තර්කානුකුල බව මට හැඟෙයි.  මා එට්කා ගිවිසුමට එරෙහි වන්නේ මේ පදනමේ සිටයි. 

ඉන්දියාව සමග නොව කළාපයේ අනෙකුත් සියලුම රටවල් සමග වුවද නොයෙකුත් ගණුදෙනු උදෙසා ගිවිසුම් ගත වීම යුගයේ අවශ්‍යතාවයකි. විශේෂයෙන්ම කළාපීය යෝධයෙකු අසල සිටින විට ඔහු හා සබැඳියාවෙන් කටයුතු කිරීම නුවණක්කාර කමකි. එහෙත් ගිවිසුම් ගත වූ පසු තමන් සිටින තැනිනුත් පහලට වැටේ නම් එවන් ගිවිසුමකින්  ඈත් වී සිටීම රාජතාන්ත්‍රිකත්‍වයේ පරිණතභාවය පෙන්නුම් කරයි.  



අප රටේ ඉතිහාසය පුරාම අපි ඉන්දියාවෙන් බොහෝ දේ ගත්තෙමු. නමුත් අන් කවර කලෙකටත් වඩා අද අපි ඔවුන්ගෙන් දේවල් ගනිමින් සිටිමු. මා මේ පිළිබඳව අනෙක වාරයක් ලියා ඇත. කාන්තා ජාතික ඇඳුම හෙවත් සාරිය 100%  පාහේ ඉන්දියාවෙන් ආනයනය කරයි. අඩුම තරමින් අපේ හාමුදුරු නමක් අඳින අඳන-කඩය වත් ලංකාවේ සාදන්නේ නැත. එය එන්නේද ඉන්දියාවෙනි. දුප්පතාගේ රථය, බජාජ් ත්‍රී වීලරය එන්නේ ඉන්දියාවෙනි. පිටකොටුව-ආර්ථිකය සම්පුර්ණයෙන්ම පාළනය කරන්නේ ඉන්දියන් ජාතිකයන්ය. ඔබ නොදන්නවාට හොද්දට දාන කහ කුඩු ටිකේ සිට වැඩට යන අශෝක් ලේලන්ඩ් බසය හරහා ජීවිතයේ සෑම අංගයක්ම පවත්වාගෙන යාමේ භාණ්ඩ සහ සේවා වැඩි හරියක් අපි ඉන්දියාවෙන් ලබා ගන්නෙමු. 

අනෙක් අතට ලංකාවෙන් හිරමනයක්වත් ඉන්දියාවට අපනයනය කෙරේදැයි සැක සහිතය. අපට ඉතා අවාසි සහගත මේ වෙළඳ ගනුදෙනු සිදුවන්නේ කිසිඳු ගිවිසුමකින් තොරවය. තවත් ගිවිසුමකින් වන්නේ මහා පරිමාණයෙන් අඩු වේතනයට සේවා ලබා දෙන පහල තලයේ ශ්‍රමිකයන් රටට ඇතුල් වීම පමණි. ඉහල පෙලේ වෘත්තීය විශේෂඥයෙකුට ඉන්දියාවේ පෞද්ගලික අංශය මසකට ගෙවන වේතනය ලංකාවේ ආයතනයකට වසර දෙකකටවත් ගෙවිය නොහැක. මේ නිසා එබඳු විශේෂඥයන් මෙම ගිවිසුම මගින් ලංකාවට ගෙන්වාගත හැකැයි සිතීම විහිළුවකි.  

අප මේ පවත්නා ලෝක සහ කලාපිය ආර්ථික පරිසරය තුල සැලකිය යුතු වේගයකින් ඉදිරියට යාමට නම් අප සිටින තත්වයත් කලාපයේ අනෙක් රටවල් වල තත්වයත් පිළිබඳව මනා දැනුමකින් කටයුතු කලයුතුය. මෙම අවබෝධය පාලකයාගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ ඔලුවල පමණක් නොව සාමාන්‍ය ජන විඥානය තුළද සැබෑ ලෙසම ඇති විය යුතුය.

ඉන්දියාව යනු ලෝකයේ අධිකතම ජනගහණ ඝනත්වයක් ඇති රටකි. සීමිත සම්පත් ප්‍රමානයක් සමග ඔවුන් යන ගමනේදී රටේ සැහෙන ජන කොටසකගේ  අධ්‍යාපනය, පෝෂණය, සෞඛ්‍යය සහ නිවාස වැනි මුලික අවශ්‍යතා සපුරා ලීම වුවද විශාල අභියෝගයකි. මෙහිදී ඇතිවන අඩු පාඩු සහ දුර්වලතා හාස්‍යයට ලක් කිරීම බොහෝ විට සිදුවන්නේ බටහිර මාධ්‍ය හරහාය. ඒ ඔස්සේ යමින් අපිද බටහිරයා සමග සිටගෙන ඉන්දියාවට සිනාසෙමු. එහෙත් අපි නොසිතන කරුණ නම් බටහිරයාට ඉන්දියාව සහ ලංකාව අතර වෙනසක් නොමැති බවයි. ඔවුහු අපටද එලෙසම සිනාසෙති. 

ඔබ වනාතමුල්ල මුඩුක්කු පෙලට ගොස් ඇත්නම්, ඔබ ඉන්දියාවට සිනාසෙන්නේ නැත. කුණුවෙන්න ආසන්න පළතුරු වට්ටිය දාහේ, දෙදාහේ කොළවලට හුවමාරු වෙන කතරගම පුජා භූමියෙන් සැතපුම් 10 ක් ඈතට යන විට දිනකට රුපියල් සියයකවත් ආදායමක් නොලබන කෙසඟ මිනිසුන් සිටින පැල්පත් ඇති බව ඔබ අමතක කරයි. 




අනෙක් අතට ඉන්දියාව තාක්ෂණික සහ ආර්ථික අංශ වලින් ශ්‍රී ලංකාවට වඩා ආලෝක වර්ෂ කිහිපයක් ඉදිරියෙන් සිටින බව බොහෝ දෙනෙකු නොදනී. වසරකට තමිල්නාඩුවේ පමණක් නිපදවෙන ඉන්දීය නොවන වාහන (යුරෝපීය, ඇමරිකානු, ජපන්, කොරියානු ආදී) ප්‍රමාණය ලංකාවට වසරක් තුල ආනයනය කරන මුළු වාහන ප්‍රමාණය මෙන් විසි ගුණයකට වඩා වැඩිය. මුළු ලංකාවම තොරතුරු තාක්ෂණයෙන් (IT Industry) ලබන ආදායම, බැංගලෝර් නගරය එමගින් ලබන ආදායමෙන් 10%ත් වඩා අඩුය. මේ ගැන තව දුරටත් කරුණු අවශ්‍ය නම්  ගුගුල් සෙව්මක් මගින් දත්ත හරියටම සොයාගත හැක. 

කල යුත්තේ ඉන්දියාව හෝ වෙනත් ඕනෑම රටක් සමග විසංවාදයකට අවතීර්ණ වීම නොව උපක්‍රමිකව එම රටවල් සතු දැනුම සහ තාක්ෂණය ලබා ගැනීමත්, එම රටවල වෙළඳ පොලට ඇතුළු විය හැකි නව මං පෙත් සොයා ගැනීමත්ය. 

සරළ උදාහරණයක් දෙනවා නම් ඉන්දියාවේ ඇති බොහෝ ඉන්දීය-යුරෝපීය හවුල් ව්‍යාපාරවල කර්මාන්ත අංශයෙහි තත්ත්ව සහ ප්‍රමිති පාලනයේ ඉහලම ධූරයක ශ්‍රී ලාංකිකයෙකු සිටින බව මම නිරීක්ෂණය කර ඇත්තෙමි. මීට හේතුව ලෙස මා දකිනුයේ, කලාපයේ වෙනත් රටවලට වඩා ශ්‍රී ලාංකිකයා තුල නිමැයුම් අවසානය (product finishing) ඉතා හොඳින් කිරීමට ඇති විඥානාත්මක උනන්දුවයි. මෙය යුරෝපියයා මැනවින් අවබෝධ කරගෙන ඇත. බංග්ලාදේශයේ කර්මාන්ත ශාලා වලද මම මේ තත්වය නිරීක්ෂණය කලෙමි. එහෙත් අපේ රටේ කී දෙනෙක් මෙම ලංකාවට ආවේනික වූ හැකියාව හඳුනාගෙන විදේශ ශ්‍රම වෙළඳපොල ජයගැනීමට කටයුතු කරනවා ඇත්ද? 



මා දින කිහිපයකට පෙර වතපොතේ ලංකාවේ ඇති ජල ප්‍රශ්ණය පිළිබඳව ලිපියක් පළ කරමින් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය මෙයට දී ඇති විසඳුම් සඳහන් කලෙමි. එය විශාල වාර ගණනක් ෂෙයාර් වෙමින් පවතින අතර මා එම අඩවි වල මෙම ලිපියට දැක්වූ අදහස් කියවුයෙමි. කිහිපදෙනෙකුම අපේ අතීතයේ වාරි කර්මාන්තයේ තිබු ශ්‍රී විභුතියත්, මහා පරාක්‍රමබාහු රජු ඉන්දියාවට වැව් පොකුණු සෑදීම කියා දුන් අකාරයත් පිලිබඳ සඳහන් කර තිබුණේ ලිපියේ ඇති කරුණු වලට දෝෂාරෝපණයක් ද එක් කරමිනි. 

මට මතක් වන්නේ මෑතකදී ඉතා ප්‍රසිද්ධියට පත් ටෙලි නාටකයක චරිතයකි. එම චරිතය මේ වන විට පාර්ලිමේන්තුවටද ගොස් ඇත. හීං බබා සීයා වර්තමාන සිංහල ජාතියේ කැඩපත බඳුය.  තම අසරණකම මෙන්ම නොහැකියාවද ඔහු තුනී කරගන්නේ තම නැසී ගිය පියාගේ පුරාජේරුව මෙනෙහි කිරීමෙනි. එය හීං බබා සීයාගේ සිතට නිවනකි. එහෙත් ඉන් ඔබ්බට එම සිතිවිලිවලින් කිසිදු සුගතියක් වර්තමානයට නොලැබේ. සිදු වන්නේ ඔහු කොල්ලෝ කුරුට්ටන්ගේ හාස්‍යයට ලක්වීම පමණි. 

අතීතයේ බැඳී වැව් පොකුණු ගැන පාරම් බෑමෙන් වර්තමානයට කිසිඳු යහපතක් නොවේ. 

තව ටික කාලයකින් ඌවට වසිනු ඇත. නියගයක් තිබුණා වත්දැයි අපට අමතක වනු ඇත. වසර දෙක තුනකින් නැවත නියගය පැමිණෙනු ඇත. සරසවි නැවතත් වසනු ඇත. අප නැවතත් මුතුන් මිත්තන් ගැන පම්පෝරි ගසනු ඇත. 


ගංවතුර ගැනද එසේමය. මීට මාස කිහිපයකට උඩදී මුළු කොළඹම යටවී විනාශයක් සිදු වුවා කිසිවෙකුටත් දැන් මතක නැත. එබඳු අවස්ථාවක් නැවත එළඹුන හොත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කිසිඳු වගකිව යුත්තෙක් කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. 

ගංවතුර නැවත පැමිණෙනු ඇත. දහස් ගණනක් අවතැන් වනු ඇත. අවතැන් නොවුවෝ නිවසේ සිට රූපවාහිනියෙන් ව්‍යසනය නරඹමින් කෙසෙල් ගෙඩි බෙදන පොලිටික්කන්ට සරදම් කරනු ඇත.....


**************************************************
මීට ටික කලකට පෙර මා උපදේශක කටයුත්තක් සඳහා චෙන්නායි නගරයට ගොස් සිටියදී අදාළ ආයතනය මගින් මට තාවකාලිකව දෙන ලද කාර්යාලයේදී මාත් මගේ ඉන්දියානු මිතුරෙකුත් අතර රසවත් දෙබසක් ඇතිවිය.

සවස වැඩ කටයුතු නිමවීමෙන් පසුව ලංකාවේ එදින සිදුවීම් වෙබ් පිටු හරහා නැරඹීම මගේ පුරුද්ද විය. ඉතා සෙමෙන් ස්පීකරය දමාගෙන මා ප්‍රවෘති කොටස් බලන අතර මගේ මිතුරා පැමිණ යාබද අසුනේ වාඩිවී මගේ කොම්පියුටර් තිරය දෙසට එබුණේය. මේ අවස්ථාවේ මා නරඹමින් සිටියේ එදින කොළඹ පැවති ඉන්දීය විරෝධී රැලියකට නායකත්වය දුන් ලංකාවේ "ප්‍රකට" දේශපාලකයෙක් අතින් ගත් ශබ්ද විකාශන යන්ත්‍රයකින් ගිරිය පුප්පා ඉන්දියාවට බැන වදින ආකාරයයි. 

"මොකද මේ හාදය මේතරම් තරහෙන් කෑගහන්නේ?" මගේ මිතුරා ඇසීය.

"ඔහු ඉන්දියාවට බැන වදිනවා ලංකාවේ වැඩ වලට අත පොවනවා කියලා" මම සිනාසෙමින් ඔහුට ඇත්තම කීවේ ඔහු මගේ ඉතා කුලුපඟු මිතුරෙකු බැවිනි. 

"ආ එක බොහොම රසවත් දෙයක්". ඔහු මගේ අසුනේම කොනක ඉඳගෙන ඉතා උනන්දුවෙන් දේශපාලකයාව නිරීක්ෂණය කරන්න විය.

"චන්දිම මෙතන පොඩි කොස්සක් තියෙනවා. මෙයා ඉන්දියාවට බනින්නේ ඉන්දියාවේම හදපු ස්පීකර් එකකින්නේ". ඔහු දේශපාලකයා අත වූ ශබ්ද විකාශන යන්ත්‍රයේ වෙළඳ නාමය හඳුනා ගනිමින් කීවේ මහා හඬින් සිනාසෙමිනි. රැස්වීමෙන් අනතුරුව සහභාගී වූ සමහරු බජාජ් ත්‍රිරෝද රථවල එල්ලී කොඩි වන වනා ගමන් කරණු පෙන්වන ලදී...... 






8 comments:

  1. මෙහි අදහස් සමග එකඟ විය හැකියි. හොඳ ලිපියක්.

    ///ප මේ පවත්නා ලෝක සහ කලාපිය ආර්ථික පරිසරය තුල සැලකිය යුතු වේගයකින් ඉදිරියට යාමට නම් අප සිටින තත්වයත් කලාපයේ අනෙක් රටවල් වල තත්වයත් පිළිබඳව මනා දැනුමකින් කටයුතු කලයුතුය. මෙම අවබෝධය පාලකයාගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ ඔලුවල පමණක් නොව සාමාන්‍ය ජන විඥානය තුළද සැබෑ ලෙසම ඇති විය යුතුය.///////////

    (චන්දිම.. බබා අප්පු සීයා....හීන් බබා සීයා ලෙස හදලා දාන්න.)

    ReplyDelete
  2. /"චන්දිම මෙතන පොඩි කොස්සක් තියෙනවා. මෙයා ඉන්දියාවට බනින්නේ ඉන්දියාවේම හදපු ස්පීකර් එකකින්නේ"./

    So what? it's called cutting pig's fish on pig's back.. :)

    "ඌරගෙ මාලු ඌරගෙම පිටේ තියල කපනවා"

    සුපුරුදු ලෙස ඔබගේ අපක්ෂපාතී කරුණු දැක්වීමට බොහොම ස්තූතියි චන්දිම...

    ReplyDelete
  3. ඉන්දියන්කාරයාගේ බඩු කොලිටි නැත. අපිට සාරිය ආවාය, බුද්ධාගම ආවාය කියා හැම මගුලම ගන්න ඕනැද ? ඉන්දියන් ස්පීකර්වලට වඩා චීන බඩු හොදයි !

    ReplyDelete
  4. සමබර සහ අපක්ශපාතී විස්තරයට බොහොම ස්තූතියි.
    ජයවේවා..!!

    ReplyDelete
  5. හොඳ ලිපියක්,
    මා මිතුරු ප්‍රියක රංගනගේ මුහුණු පොත් පොස්ට් එකක් හරහා ඇවිත් කියවීමි.
    බොහෝ සාකච්චාවට බඳුන් විය යුතු මාතෘකාවක්.

    ReplyDelete
  6. විලි ලැජ්ජයි

    ReplyDelete
  7. ලිපියේ මුල ඔබ පවසන ආචාර්යවරයා විදුලි සංදේශ ක්ෂේත්‍රයට සම්බන්ධ විශේෂඥයෙක් ලෙස ප්‍රසිද්ධ පුද්ගලයෙක් නේද ? ඔබ පවසන්නේ පසුගියදා ඔහු රාවයට ලබා දුන් සාකච්ඡාව ගැන විය යුතුයි - එය කියවූ මට වැටහුනේ ඔහු කිසිදු සෘජු කරුණක් නොපවසමින් වැල්වටාරම් පවසන බවයි
    හොඳ ලිපියක්

    ReplyDelete