Friday, 5 December 2025

නාගරික ගංවතුර සහ ග්‍රාමීය ගංවතුර

 


ගමේ ගංවතුර නගරයේ ගංවතුර වලට වඩා හොඳද? මා මේ පිළිබඳව ලිපියක් මීට වසර කිහිපයකට පෙරද ලියා ඇත. නමුත් දැන් ඒ ලිපියේ තිබුනාට වඩා තත්වය වෙනස්ය.

ගංවතුර සම්බන්ධයෙන් සෞඛ්‍ය ගැටළු වැඩිපුරම මතුවන්නේ ගංවතුර බැසගෙන යනවිටය. ජලය ගලායාමෙන්, පොළොවට අවශෝෂණය කරගැනීමෙන් සහ වාෂ්පීභවනය වීමෙන් අනතුරුව මඩ කඩිති, වැව්, පොකුණු, සහ අනෙකුත් කුඩා ජලාශවල ඉතිරිවන්නේ විෂබීජ සහ විෂ රසායනික සාන්ද්‍රණය අධික ජලයයි. 

නාගරික ගංවතුර පරිසරයක කැලිකසළ, රෝහල් සහ කම්හල් අපද්‍රව්‍ය, වැසිකිලි-කැසිකිලි උතුරා යාම ආදියෙන් අපිරිසිඳු වූ ජලය බලාපොරොත්තු විය හැක. මේ ජලයේ microbial සහ toxic chemicals අධි සන්ද්‍රනයෙන් ඇති බව අපට උපකල්පනය කල හැක. මේ නිසා නාගරික ගංවතුර වඩා භයානක බවට මතයක් පැවතුනි.

නමුත් මෑතකදී කල යම් යම් අධ්‍යයන වලදී පෙනී යන්නේ, කෘෂි ආර්ථිකයක් සහිත අඩු දියුණු රටවල ග්‍රාමීය ගංවතුරද අහිංසක නොවන බවයි. වගාවන්ට යොදන ටොන් දහස් ගණනක් වූ රසායනික පොහොර, කෘමි-දිලීර-වල්පැල  නාශක කෙටි කාලයක් තුල ජලය හා මිශ්‍රවීමෙන් ගංවතුරෙහි සාන්ද්‍රණය අධිකවේ. විශේෂයෙන්ම ඉතිරිවන ජලයේ  බැරලෝහ අධික වීමට ඉඩකඩ ඇත. මීට අමතරව ලංකාව වැනි රටවල මී උණ වාහක වැනි රෝග පැතිරීමේ අවධානම් මේ ජලයේ පැවතිය හැක. නාගරික ගංවතුර මෙන් අවපැහැයක් හෝ දුගඳක් නැතිව මාරයා සැඟවුන ග්‍රාමීය ගංවතුර මේ නිසා වඩාත් අන්තරායකර වීම පවා ඉඩකඩ ඇත.

රසායනික විද්‍යාව, microbiology හෝ පාරිසරික විද්‍යාවන් හදාරන පර්යේෂකයෙකුට හෝ කණ්ඩායමකට ඉදිරි දින කිහිපය තුල ආවරණය නොකළ ජලාශ (ළිං පොකුණු වැනි) 40ක පමණවත් (නාගරික ජලාශ 20 සහ ග්‍රාමීය ජලාශ 20ක්) නියැඳි ලබාගත හැකි නම් (නියැඳි ප්‍රමාණය වැඩිවූ තරමට ප්‍රතිඵල වඩා නිරවද්‍ය වේ), ඒ නියැඳි පරීක්ෂණයෙන් සහ දත්ත විශ්ලේෂණයෙන් ඔබට අනිවාර්යයෙන්ම Q1 journal paper එකක් publish කරගත හැක.  


    

Tuesday, 2 December 2025

ආණ්ඩුව අනාගනීද?


ලෝකයේ අති දියුණු රටවල පවා ආන්තික සිදුවීමකදී ඇතිවන හානි ඉතා දරුණු විය හැක. ඇමරිකාවේ, ජපානයේ සහ ඕස්ට්‍රේලියාවේ පවා මෑත කාලයේ සිදුවූ විපත් මීට සාක්ෂි දරයි.

ලෝකයේ කිසිම රටකින් (අපේම විපක්ෂය හැර) ලංකාවේ සිදුවූ මානව විපත ගැන ආණ්ඩුවට දෝෂාරෝපණ එල්ල වුයේ නැත. එය කිරීමෙන් ඵලක් නොමැති බව ලෝකය දනියි. ලෝක ප්‍රජාව රටක සාර්ථකත්වය මනින්නේ ආන්තික සිදුවීමක පසු-කළමනාකරණය (post-event disaster management) මතය. මේ රජයට දැන් ඇති දැවත්තම අභියෝගය එයයි. ලංකාවට ඉදිරියේදී ලැබෙන ආධාර සහ අන්තර්ජාතික සහයෝගී තාවය මේ පසු-කළමනාකරණ සාර්ථකත්වය මත ඉතා දැඩිව රඳා පවතී.

ආන්තික සිදුවීමකින් රටකට බරපතල මානව විපතක් සිදු වූ විට (විශේෂයෙන්ම එම රාජ්‍යය ජාත්‍යන්තරය තුල යහපත් සබඳතා පවත්වාගෙන යා නම්) එරටට විදේශ ආධාර ගලාගෙන පැමිණෙයි. මෙවර රාජ්‍ය මට්ටමින් ලැබෙන ආධාරවලට අමතරව පිටරටවල පදිංචි ලාංකික සම්භවය ඇත්තන් සහ අනෙකුත් දානපතියන්ගෙන් ලැබෙන ආධාරද ඉතා ඉහල අගයක පවතින බවට ආරංචි ලැබෙමින් පවතී. කුඩා ශ්‍රී ලාකික සමුහයක් වෙසෙන දකුණු අප්‍රිකාවේ පවා මේ වන විට බලාපොරොත්තු වුවාට වඩා විශාල මුදලක් එකතු වෙමින් පවතී. 

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ තත්වය පහළ ආර්ථිකයක් ඇති බොහෝ රටවලට වෙස් වළාගත් ආශීර්වාදයක් වන බවයි. බොහෝ විට රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය හොඳින් කළමනාකරණය කරගතහොත් ඒ තුලින්ම රටේ අභිවෘද්ධිය ලඟා කරගත හැක. 

මේ ආකාරයේම තත්වයක් 2005 වසරේදී ලංකාව උදාවිය. සුනාමි ව්‍යසනයෙන් කෙටි කලකට පසු ඩොලරයේ අගය සැහෙන ප්‍රමාණයකින් පහත වැටුණු බව ඔබ සමහර දෙනෙක්ට මතකය. එහෙත් ඒ ගලාගෙන ආ විදේශීය ආධාර නැවතුනේ කොහෙද කියා ඔබ බොහෝ දෙනෙකු හොඳින් දනියි. ඔබට මේ ගැන පවසන විටම "සුනාමි සහන අරමුදල", "සිරිලිය ගිණුම" මතකයට නැගෙන්නේ මේ නිසාය.

මෙවරවත් අපට මේ වෙස් වලාගත් ආශීර්වාදය ධනාත්මක මාවතකට යොමු කල හැකිද?

අපි බලාගෙන ඉඳිමු....

Monday, 1 December 2025

සුබසෙත කිව්වොත් කිව්වමයි

 


අපි පොඩි කාලේ මට මතක හැටියට ජ්‍යෝතිෂය පුවත්පතකට තිබුණේ සුබසෙත විතරයි. අපේ සීය හැම සතියෙම සුබසෙත මිළදී ගන්නවා. හැම පාරම පත්තරේ headline එක නම් ත්‍රාසජනකයි.  "රටට මහා දරුණු ස්වභාවික විපතක්", "රටම ආදරය කරන ප්‍රසිද්ධ කලාකරුවෙකුට මාරක අපලයක්", "රටම හෙල්ලෙන දේශපාලන පෙරලියක්" ආදිය මේ කීපයක්. පත්තරේ අරගෙන දවස් දෙකක් තුනක් යනකල් අපේ ආචිචිලගේ ගෙදර කතාව ඔය ගැනමයි. හොඳට ඉන්න මිනිස්සුන්වත් මරනවා, කඳු නාය යවනවා, පතාක දේශපාලන නායකයන්ව විරුද්ධ පැත්තට පන්නනවා, එක වැඩයි.

ඔය කියන දේවල් ලේසියෙන් සිද්ධ වෙන්නෙ නැහැ. ටික දවසක් යනකොට ඕක  සුබසෙතට මතකත් නැහැ. ඊළඟ සතියේ හෙඩිම කියෙව්වට පස්සේ කොහොමටත් පරණ කතාව  මිනිස්සුන්ට මතකත් නැහැ, 

ඉඳල හිටලා මෝසම් වැස්ස වැඩිවෙලා ඇලක් දොළක් ගලලා ලංකාවේ ගමක් යටවෙනවා, එහෙම නැත්නම් මහා ඇලෙක්සැන්ඩර් නාටකේ අස්සයගේ පස්ස කකුලට ඇට් කරන මනුස්සයා මැරෙනවා, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී කෙනෙක් ආණ්ඩු පක්ෂයේ ඉඳගන්නවා.

ඊළඟ සතියේ පොල් ගෙඩි අකුරින් පළවෙනවා "සුබසෙත කිව්වොත් කිව්වමයි"



Sunday, 30 November 2025

ඇත්ත මෙන්න


වර්තමානයේ අපි කොයි තරම් දියුණු යයි කීවත් සති ගණනකට කලින් natural extreme event එකක නිශ්චිත ස්ථාන ගතවීම, තීව්‍රතාවය සහ පවත්නා කාල පරාසය ගැන අපිට කියන්න පුළුවන් තාක්ෂණයක් නැත. දින කිහිපයකට කලින් අපිට යම් යම් කරුණු පිළිබඳව අනාවැකි පලකිරීමට හැකියාව පවතී. නමුත් එසේ වූ පමණින් අපට ජනතාව හිතෙන හිතෙන අවස්ථාවල වාසස්ථාන වලින් ඉවත් කරන්න නොහැකිය. සාමාන්‍යයෙන් වසරකට මේ කලාපයට සුළි කුණාටු 6-7 පමණ පැමිණෙයි. ඒ ගැන යම් කෙටි කාලයකට පෙර අපිට අනාවැකි කිව හැකියි. ඉන් බොහොමයක් ලංකාවට දින කිහිපයක් තරමක තද වැසි ඇතිකරනවා පමණයි. නමුත් වසරකට 6-7 පාරක් මිනිස්සුන්ව ජනාවාස වලින් ඉවත්කරන්න ගියොත් ඔය බනින මිනිසුන්ම ආණ්ඩුවට පිස්සුද කියා පවසන්න පුළුවන.  

ආන්තික සිදුවීමකදී ජනතාව වාසස්ථාන වලින් ඉවත්කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් ඇත. මේ සඳහා නොයෙකුත් මට්ටම්වල අනතුරු ඇඟවීම් ප්‍රථමයෙන් සිදුකල යුතුය. මේ ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා පණ්ඩිතයන් නොයෙකුත් විකාර පවසයි. යමක් වුනාට පසු පඬි ටෝක් දෙන්න ලේසිය. මෙයාල කියන විදියට දින කිහිපයකට පෙර මිනිස්සු දහස් ගණනක් ඉවත් කර, ආන්තික තත්වයක් උදානොවුනොත් මේ අයව සොයා ගන්නත් නැත.

තාක්ෂණය අතින් අපිට වඩා ගව් ගණනක් ඈතින් සිටින ඇමරිකාවේ හරිකෙන මගින් වසරකට ජිවිත 150-200 පමණ බිලිගනියි. ජපානය, දකුණු කොරියාව, තායිලන්තය මැලේසියාව ආදී අපට වඩා තාක්ෂණයෙන් ඉදිරියේ ඉන්න රටවල පසුගිය වකවානුවේදී සිදුවූ ජිවිත අනතුරු ගණන දෙස බලන්න.  

අතුල (කලගුණේ DG) හරි වෙනත් කලගුණේ ප්‍රකාශකයෙක් හරි ආන්තික සිදුවීමක් ඇතිවෙන බවට යම් අනාවැකියක් ලැබුණු විගස ඒ පිළිබඳව මාධ්‍ය නිවේදන නිකුත් කිරීම සාමාන්‍ය සිරිතයි. අතුලගේ සාකච්චාව ඇසුවා නම් ඔබට තේරෙයි ඔහු කරන්නේ general statement එකක් බව. මා කලින් කිව් ආකාරයටම මෙය වසරකට 6-7 පාරක් ලංකාවේ සිද්ධ වෙයි. 

ලංකාවේ මේ වගේ අවස්ථාවක ක්‍රියාත්මක වීමට විශේෂ සුදානමක් අවශ්‍ය නැත. ඒ සඳහා බොහෝ ආයතන තිබේ. Disaster Management Centre (DMC), District Disaster Management Coordination Units (DDMCU), National Building Research Organisation (NBRO), Department of Meteorology, Department of Irrigation, Coast Conservation and Coastal Resource Management Department, Asia-Pacific Alliance for Disaster Management Sri Lanka (A-PAD SL), Janathakshan GTE Ltd සහ ත්‍රිවිධ හමුදාවලම හදිසි අපදා සේවා පුහුණු බලකායයන් මින් කිහිපයකි. මේ කිසිවක් මේ රජය මගින් ඇතිකළ දේවල් නොව මෙතෙක් පැවති සියළුම ආණ්ඩුවල යහ ප්‍රතිඵලය. 

ඇමරිකාවේ, ජපානයේ, මැලේසියාවේ, තායිලන්තයේ මීටත් වඩා සුදානමක් ඇත. නමුත් ආන්තික සිදුවීම් වලදී ශුන්‍ය ජිවිත හානියක් ඇති කරගැනීමට මේ කිසිවෙක් අසමත්ය. 

මේ රජය නොව කොයි රජය පැවතුනත් තත්වය මෙයමය. නමුත් ඉවක් බවක් නොමැතිව පහත් බිම් ගොඩකිරීම, කඳු මුදුන් සමතලා කිරීම, ඇළ මාර්ග සහ rain water runoff passages වසා ගොඩනැගිලි ඉදිකිරිම ආදිය දශක ගණනාවක් තිස්සේ සිදුවන විට ඇහැ කණ පියාගෙන බලා සිටීම හෝ ඒ සඳහා ඍජු හා වක්‍ර වශයෙන් ආධාර කිරීම පැවති සියලු රජයන්ගේ තක්කඩි කමකි. මේ තත්වය රිවර්ස් කිරීමට තව දශකයක් වත් ගතවනු ඇත. ඒත් මේ රජයට වසරක් ඉක්ම ගොස් ඇතත් මේ සඳහා මුල් පියවක් හෝ නොගැනීම ඔවුන්ගේ දුර්වල කමකි. 

මේ ලිපිය කියවා එහි වැරදි ඇත්නම් නිර්දය ලෙස විවේචනය කරන්න. ඔබගේ චමත්කාරය ප්‍රදර්ශනය කරන ගොබ්බ comment දැමීමටද ඔබට පුර්ණ අයිතියක් ඇත. 


   

Thursday, 6 November 2025

No one is worng


Some people die without knowing the comfort of a lover's embrace during difficult times.

Some people die without ever hearing their lover say, "I'm sorry, I hurt you."

Some people die without ever receiving appreciation for their sacrifices in life.

Some people have to close their eyes listening to their lover say, "I am always right."



Tuesday, 14 October 2025

අතීතයෙන්වත් පාඩමක් ඉගෙන ගත්තා නම්


"බලය යුක්තිය වේ". මේ ස්වභාවධර්මයේ නීතියයි. 21 වන සියවසේ මනෝභාවයට කෙතරම් ගෝචර නොවුණත් ලෝක යථාර්තය මෙයයි. දුබලයා විනාශකර ප්‍රභලයා නැගී සිටීම ස්වභාවධර්මයේ අවශ්‍යතාවයකි. ඒ ශක්තිමත් වර්ගයක් ඉදිරියට ගෙනයාමටය.

වසර 1400 කට පමණ පෙර මැදපෙරදිග කර්කශ භූමියේ සතුරු උවදුරුවලින් බැටකා ඉතා අඩු පිරිමි අනුපාතයක් සහිතවූ දුර්වල ප්‍රජාවකට නායකත්වය දීමට ඔහුට සිදුවිය. ස්වභාවධර්මයේ රීතියට අනුව දුර්වලයන් ලෙස වැනසී යනවාද නැත්නම් ශක්තිමත් ප්‍රජාවක් ලෙස නැගී සිටිනවාදැයි තීරණය කිරීමට ඔහුට සිදුවිය. ඔහු දෙවැන්න තෝරා ගත්තේය. ඔහු එතෙක් පැවති ආගමික මතවාද තම කාල-අවකාශ රාමුවට සරිලන ලෙස ප්‍රතිනිර්මාණය කළේය. සියළු ආන්තික යුධ උපක්‍රම වලින් තම ප්‍රජාව සන්නද්ධ කළේය. ප්‍රජාව වේගයෙන් බෝ කිරීම සඳහා අණ පනත් නිකුත් කළේය. සියල්ලෝම එක අරමුණක පිහිටා වෙලාවට වැඩ කරන්න ඔහු තම පිරිස පුහුණු කළේය. එදා කාලයට ගැලපෙන නිවැරදි ආහාර ගැනීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න වත්පිළිවෙත්ද අනිවාර්ය කළේය. කාන්තාවන් සුරක්ෂිත කරගැනීම සඳහා බහුවිවාහ නිර්දේශ කළේය. මේ සියල්ලම සඳහා ඔහුට වසර ගණනක් ගතවිය. එහෙත් ඔහු තම අරමුණ කරා ළඟාවිය. ඔහු පමණක් නොව ඔහුගේ අණ පනත් අනුව කටයුතු කල බොහෝ දෙනෙක් සියවස් ගණනාවක් පුරා ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබා රාජ්‍යයන් අධිරාජ්‍යයන් පිහිටවීය. 

අද ඔහුගේම අනුගාමිකයන් පිරිසකට මේ පාඩම අමතකවී ඇති සැටියකි. දශක ගණනාවක් ඔවුහු දැඩි අසාධාරණයකට පීඩනයකට ලක්වුහ. ලෝකයා ඔවුන් දෙස බලා "පව් අනේ" කියනවායින් ඔබ්බට ගියේ නැත. ඔවුන්ගේම අසල්වැසි සහෝදර ප්‍රජාව පවා ඔවුන්ට සිදුවන අසාධාරණය දෙස උපේක්ෂා සහගතව බලා සිටියෝය. ඉඳහිට හෙලාදැකීමේ නිවේදන නිකුත් කළහ. ඒ "බලය යුක්තිය" වන බැවිනි. 

දශක ගණනාවක් ඔවුන් තමන් අයුක්තියට එරෙහිව සන්නද්ධ වෙනවා වෙනුවට අනෙක් අයගේ සහ නොපෙනෙන බලවේගවල පිහිට ලැබේ යැයි බලාපොරොත්තු වුවා විය හැක. අවසානයේදී ඔවුන් කිසිඳු සුදානමකින් තොරව සතුරා වෙත කඩා පැන්නේය. ප්‍රතිඵලය දැන් අතීතයට එක්වී ඇත. 

තම අහිංසක ජනතාව 60,000ක් පමණ ඝාතනය වී තම ගෙවල් දොරවල් බිමට සමතලා වනතෙක් ඔවුන්ට කළහැකි දෙයක් නොවීය. අද ඔවුන් සතුරාගෙන් ඉල්ලා සිටින්නේ තමන්ව නොමරන ලෙසය. අවසානයේදී ඔවුන් සිටියාටත් වඩා අන්ත තැනක නතර වී ඇත. 

මේ සමුල ඝාතන සිදුවෙද්දී ලොව බොහෝ සහෝදර රාජ්‍ය ඉතා උදාසීන ප්‍රතිපත්තියක සිටියෝය. ජගත් සංවිධාන පවා ක්‍රියාකළ ආකාරය ඔබ දකින්න ඇත. බලය යුක්තිය බව ඔවුන්ද වටහාගෙන ඇති සේය. විවධ රටවල මෙම ඝාතනයන්ට එරෙහිව පාරට බැස වරුවක් උද්ඝෝෂණය කල ජනතාව රෑට බුරියානි එකක් කා ගෙදර ගොස් සුවෙන් නිදියගත්තෝය. ලෝක යථාර්තය මෙයයි.

හිංසනය දැඩි ලෙස අයුක්ති සහගත නම් ප්‍රතිප්‍රහාරයේ සාධාරණත්වය විමසීමට කිසිවෙකුටත් අයිතියක් නැත. ඔවුන්ට බුද්ධියක් තිබුණා නම් දශක ගණනාවක් තිස්සේ ඔවුන්ට dirty weapons ඕනෑ තරම් එකතුකරගන්න තිබුණි. 


        

Tuesday, 7 October 2025

Indian Ocean Maritime Diplomacy සහ රජයේ කාර්යභාරය


මේ කතාව දන්නා දකුණු පළාතේ, දැන් වයෝවෘද්ධ බොහෝ දෙනෙක් ඇතැයි සිතමි. 1960 ගණන් වල දකුණු පළාතේ, පිරිමි දරුවන් පස් දෙනෙකුගෙන් සහ ගැහැණු දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පොහොසත් ඉඩම් හිමි ගොවි පවුලක් විය. තම දේපළ දරුවන්ට නිත්‍යානුකූලව පැවරීමකින් තොරව පියා මියගියේය. තරමක් ඉහලට අධ්‍යාපනය ලබා සිටි වැඩිමල් සොහොයුරන් මෙන්ම සහෝදරියන්ද වාද විවාද මැද තම පියාගේ ඉඩම් අත්පත් කරගත්තේය. ඔවුන්ගේ තරඟය තිබුනේ සාරවත් කුඹුරු ඉඩම් සහ කුරුඳු වත්තේ කොටස් අත්පත් කරගැනීමටයි. අඩු අධ්‍යාපනයක් ලද තරමක සෙල්ලක්කාර පුද්ගලයෙකු වූ බාලයාව ඔවුන් නොසළකා හැරියේය. අවසානයේදී තමන් ජීවත්වූ නිවසත් එක සොයුරියක විසින් අත්පත් කරගන්නා ලද අතර කිසිවෙක් උනන්දු නොවූ නිසරු මුඩු බිමක් පමණක් බාල පුතාට හිමිවිය. එහි කිසිඳු වගාවක් කල නොහැකි වූ අතර අඩියක් පමණ වූ පස් තට්ටුවට යටින් විශාල ගල් පරයක් තිබූ බැවින් නිවසක් තැනීමටද නොහැකි විය. මේ නිසා මුඩු බිමේ පැල් කොටයක් තනා ගත් බාල පුතා කරකාරයක්ද කරගත්තේය. ඔහුගේ ජීවිකාව වුයේ අසල්වැසියන්ගේ මෙන්ම තම සොයුරු සොයුරියන්ගේද ඉඩකඩම් වල කුලී වැඩ කිරීමයි. 

1970 දශකයේ මැද භාගයේදී ඔහුගේ ඉරණම එක වරම වෙනස් විය. මෙම ප්‍රදේශයෙන් ගමන් ගත් කොළඹ ප්‍රදේශයෙන් පැමිණි ව්‍යාපාරිකයෙක්ට මෙම ඉඩමේ ගල් කොරියක් ලෙස ඇති වටිනාකම පෙනී ගියේය. ඔහු ඉඩමේ අයිතිකරු සමග කතා කර හවුලේ ගල් කොරියක් පටන් ගත්තේය. 

ඉතා කෙටි කාලයකදී බාල පුතා ප්‍රදේශයේ පොහොසත්ම පුද්ගලයෙක් විය. අද ඔහුගේ දරු මුණුපුරන් ලංකාවේ සිටින ධනවත්ම ව්‍යාපාරිකයන්ය. අදද ඔබට පරණ ගාලු පාරේ ගමන් කරන විට මේ ගල් කොරියේ කොටස් දැක ගත හැකැයි සිතමි. 

------------------------------

ලංකාව වටා ඇති ලංකාව මෙන් 8 ගුණයකට වඩා විශාල සාගර ප්‍රදේශයක් ලංකාව සතුව පවතී (Extended Continental Shelf). මෙහි වටිනාකම පිළිබඳව තවමත් කිසිවෙකුටත් නිවැරදි වැටහීමක් නැත. සමහර විට අප නොදන්නවාට මේ වන විට ලෝකයේ ඇති ධනවත්ම රාජ්‍ය ශ්‍රී ලංකාව විය හැක. 

මෙම මුහුදු තීරයේ ඇති ස්වභාවික සම්පත් පිළිබඳව අපට තවමත් හරි අවබෝධයක් නැත. ඉතා විශාල කොබෝල්ට් නිධියක් පවතින බව පමණක් අපි දනිමු. නමුත් මීට අමතරව මෙම මුහුදු තීරය අනාගත ලෝකයේ ශක්ති-ජීවනාලිය වන හයිඩ්‍රෝකාබන් මුලාශ්‍ර සහ දුර්ලබ ලෝහ (hydrocarbon and mineral potential) වලින් අනුන බව ලාංකිකයා නොදන්නවාට ලෝකයේ ඇති mining industry එකේ අති දැවැන්ත බහුජාතික කොම්පැණි හොඳින් වටහාගෙන ඇත. එම ආයතන හා මා අත්සන් කර ඇති NDA නිසා මට මීට වඩා දෙයක් කිව නොහැක. 

මීට අමතරව මෙම මුහුදු තීරයෙන් අපට ගත හැකි ප්‍රයෝජන අනුනය. පාවෙන ඉන්ධන ගබඩා (floating fuel storages), පාවෙන භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන (floating exchange centres), මුහුදු මංකොල්ලකරුවන්ට සහ සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනවලට එරෙහි ජංගම ආරක්‍ෂක මධ්‍යස්ථාන (mobile security posts against ocean piracy and non-traditional security threats), පාවෙන මත්ස්‍ය තොරතුරු අංගනයක් සහ කාලගුණ මධ්‍යස්ථානයක් (floating fisheries information hub and weather surveillance centre) මෙන්ම පාවෙන සමුද්‍ර පර්යේෂණ මධ්‍යස්ථාන හෝ විශ්වවිද්‍යාල (flaoting maritime research centres or universities) සහ ගැඹුරු කිමිඳුම් පුහුණු පාසැල් (deep diving training schools) මෙම ප්‍රදේශය තුල ඇති කල හැක. 

මෙම සියලු කටයුතු සඳහා ලංකාවට Indian Ocean Maritime Diplomacy පිළිබඳව විශේෂඥ දැනුම ඇත්තන් දැඩි ලෙස අවශ්‍යය. මා දන්නා තරමින් මේ පිළිබඳව පශ්චාත් උපාධිධාරීන් අපට ඇත්තේ අතලොස්සකි. ඔවුන්ද බොහෝ දෙනෙක් රට හැර ගොස් ඇත. මේ නිසා අවාසනාවන්ත ලෙස අපට ඉන්දීය විශේෂඥයන්ගේ සහය ගැනීමට සිදු වී ඇත. නමුත් ඔවුන්ගේ අභිප්‍රාය ඉන්දියාවට උපරිම වාසි අත්කර දීමයි.

මේ බව අවබෝධ කරගෙන හැකියාව සහ අත්දැකීම් ඇති diplomatic නිලධාරින් අදාළ පශ්චාත් උපාධි සඳහා නොපමාව යොමු කිරීම රජයේ යුතුකම බව මතක් කර දෙමි.