Thursday, 6 August 2020

පෙනෙන දෑසින් එපිට


ශ්‍රී ලාංකික ජනතාව මැතිවරණ උණුසුමෙන් රත් වී තිබෙන මොහොතක ලෝකයේ තවත් තැනක අමිහිරි ඛේදවාචකයක් සිදුවිය. තව ටික දිනකින් එය අතීතයට එක්වූ තවත් සිදුවීමක් වනු ඇත. නමුත් මේ සිදුවීමෙන් අප උගත යුතු පාඩම අමතක කර දැමුවහොත් එය නැවත වරක් නව මුහුණුවරකින් සමහර විට අපේ රටේම ප්‍රතිරූපනය විය හැක.

මා කිහිප අවස්ථාවක ජාතික බලශක්ති ප්‍රතිපත්ති ගොඩනැගීමෙහිලා (ලංකාවේ නොවේ) දායක වී ඇත. එසේම මැලේසියාවේදී මගේ අධීක්ෂණය යටතේ සිසුන් කිහිප දෙනෙක්ම සෞඛ්‍ය සත්කාර අපද්‍රව්‍ය (healthcare waste) පිළිබඳව පර්යේෂණ තුලින් තම පශ්චාත් උපාධි ලබාගන්නා ලදී. 

බලශක්ති ප්‍රතිපත්ති ගොඩනැගීමේදී වැඩිම කාලයක් යොමුකරන අංශය පිළිබඳව යමෙක් ඇසුවහොත් මට දිය හැකි සරලම පිළිතුර අපද්‍රව්‍ය බැහැරකරණය යන්නයි. එය විදුලි බලාගාරයක ප්‍රාග්ධනයෙන් සහ මෙහෙයුම් පිරිවැයෙන් විශාලම කොටසකට හිමිකම් කියයි. න්‍යෂ්ඨික බලගාරයකදී මේ තත්වය වඩාත් තීරණාත්මක වෙයි.

සෞඛ්‍ය සත්කාර අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අප දීර්ඝ කාලින සමීක්ෂණයක් කල අතර එහිදී හෙලිවුයේ. යුරෝපයේ සහ වෙනත් දියුණු රටවල සෞඛ්‍ය සත්කාර ආයතනවලට ඇති විශාලම හිසරදය අපද්‍රව්‍ය බැහැර කිරීම බවයි. ඒ රටවල ඇති සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ඔවුන්ට විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවෙයි. නමුත් මැලේසියාව, චීනය, ඉන්දුනීසියාව වැනි රටවල මෙම ප්‍රමිතීන් වලින් රිංගා යාමට සෞඛ්‍ය සත්කාර අංශයට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

මා ඊළඟට කියන්න යන දේ මුලින්ම ලිව්වේ මීට වසර පහළොවකට පමණ පෙර විදුසර හෝ දිවයින පුවත්පතටය. වසර 2000ට ආසන්න වකවානුවක පකිස්ථානයේ පැවතී න්‍යෂ්ඨික බලාගාර ආරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රනයකදී මට බෙල්ජියම් ජාතික විද්‍යාඥයෙක් හමුවිය. සති දෙකක් පමණ කාලයක් බුහුර්බාන් කදුකරයේ ඉතා මනරම් හෝටලයක නේවාසිකව පැවති මෙම වැඩසටහනේදී මට ඔහු ඉතා සමීප මිතුරෙකු විය. ඔහුගේ නම මතක තබා ගත නොහැකි තරම් සංකීර්ණය. එබැවින් මම ඔහු ක්‍රිස් නමින් හඳුන්වන්නම්. ක්‍රිස් න්‍යෂ්ටික බලාගාර අධික්ෂණය පිළිබඳව ජාත්‍යන්තර කමිටු කිහිපයකම සාමාජිකයෙකි. ඔහු කී බොහෝ කාරණා සාරාංශ ගත කරනවා නම් මෙසේය.

සෝවියට් දේශයෙන් බිඳී ගිය රටවල කිහිපයක්ම න්‍යෂ්ඨික විදුලි බලාගාර සහ න්‍යෂ්ඨික අවි වලට හිමිකම් කියයි. මේ බොහෝ රටවල් පසු කාලයක ආර්ථික අවපාතයන්ට ගොදුරු විය. මේ නිසා න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරණය ඔවුනට දරා ගත නොහැකි තරම් වියදම් අධික ක්‍රියාවලියක් බවට පත්විය. 

ඉන් පසු ක්‍රිස් පැවසු සෑම කාරණයක් සඳහාම ඔහු කිහිප විටක් "මම කියන මේ කිසිම දෙයක් තහවුරු වෙලා නැහැ" යයි කීමට වගබලා ගත්තේය. 

මෙවන් වාතාවරණයක න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කිරීමට ලාබදායි ක්‍රමයක් ඔවුන් සොයාගැනීමට ඇති බව ක්‍රිස්ගේ අදහසයි. එනම් ජිවිතාන්තයට ආසන්න වූ නැවක් කුලියට ගෙන එයට එම අපද්‍රව්‍ය පැටවීමයි. ඉන්පසු එම නෞකාව දුර බැහැර මුහුදු සීමාවකදී හදිසි අනතුරක් සේ හඟවමින් එය ගිලවා දැමීම හෝ නැව අතහැර පලා යාමට නැවේ කපිතාන්වරයා එකඟ කරවා ගැනීම ඔවුන්ගේ ක්‍රමවේදයයි. චීනය, යුරෝපය හෝ ඇමරිකාවද මෙම ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැති බවට සහතිකයක් දිය නොහැකි බව ක්‍රිස් පැවසිය. 

"මේ බොහෝ නෞකා කෙලවර වෙන්නේ නුඹලාගේ රටවල් ආසන්නයේ" කියමින් අවසානයේදී ක්‍රිස් සිනාසෙන්න විය. ඔහු එය ඇත්තටම අදහස් කලාද නැත්නම් විහිළුවක් කළාදැයි මම නොදනිමි. 

මා පසු කාලයක දැනගත් කරුණක් නම් මෙලෙස පාවෙන සහ අබලි නැව් ඇදගෙන විත් යකඩ බවට පත්කර විකිණීම කරච්චි නගරයේ පවතින බහු-මිලියන ව්‍යාපාරයක් බවයි. එය ලංකාවේත් සිදු කෙරෙනවාදැයි මම නොදනිමි.

සෞඛ්‍ය සත්කාර අපද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ ක්‍රමවේදය වෙනත් ආකාරයකින් සිදුවෙතැයි මට සිතේ. ඒවා තම රටවලදී බැහැර කිරීමේ මිල අධික ක්‍රමවේදයන් අනුගමනය කරනවා වෙනුවට ඒවා නැවක පටවා දුප්පත් රටකට එවීම ලාබදායකය. මුදල් ලැබේ නම් ඕනෑම කුණු ගොඩක් බාරගන්නා රටවල් ඕනෑතරම් ඇත. සමහර සංස්පර්ශක (contagious) රෝගීන් සඳහා භාවිතා කර ඉවතලන ඇඳන්, මෙට්ට, කොට්ට, ඇතිරිලි, රෙදිපිළි ආදිය පරිත්‍යාග වශයෙන් නොදියුණු රටවලට ලබා දීමද ලාබදායි ක්‍රමයකි. මේ ක්‍රමවේදය වසර දෙසියයකට පමණ පෙර ඉතා සාර්ථක ලෙස අත්හදා බැලූ ඇමරිකාවට පැමිණි සුදු ආක්‍රමණිකයෝ ස්වදේශීය රතු ඉන්දියානුවන් ලක්ෂ ගණනක් වසුරිය වැනි රෝගවලට ලක් කර මරා දැමුහ.

මෙතනින් මම නවතිමි. ඉතිරිය ඔබට බාරය. 



Saturday, 1 August 2020

මැතිවරණය ගැන වදනක්



පුර්ව මැතිවරණ සමය යනු සාමාන්‍යයෙන් දේශපාලකයා සිල් ගන්නා පුණ්‍ය කාලයයි. උපන්ගෙයි මෝඩ අමනයන් මහා ප්‍රාඥයන් සේ පඬි බස් දොඩන,  අමු බේබද්දන් අමද්‍යප සංගම් සභාපතිවරුන් සේ හැසිරෙන, මිනීමරු අපරාධකාරයන් පන්සල්වල ඇබිත්තයන් වන, හොර තක්කඩි වංචාකාරයන් මහා දානපතියන් වන මේ වකවානුව එකම නාඩගම් මඩුවකි.

එහෙත් මෙවර තත්වය ඊට වඩා සෑහෙන වෙනස්ය. බොහෝ දේශපාලුවන් පසුගිය සති කිහිපයක සිට හැසිරෙන්නේ පූර්ව මැතිවරණ සමයකට වඩා ජයග්‍රාහී පශ්චාත් මැතිවරණ මානසිකත්වයකිනි. ඔවුන් මැතිවරණ නීති රීති තියා රටේ සිවිල් හා අපරාධ නීති පිළිබඳව පවා තුට්ටුවකට මායිම් නොකරන සේයකි. මහජන මුදල්, රටේ උරුමයන් සහ පරිසරය මහජනතාව ඉදිරිපිටම විනාශ කර දමමින් මේ දේශපාළුවෝ ඒ පිළිබඳව නොයෙකුත් අමන වදන් පවසති. විරුද්ධ පාක්‍ෂිකයන්ට මඩ ගැසීමේදී ඔවුන් වැටිය හැකි පහත්ම තත්වයට වැටී ඇත. වේදිකාවේ පෙනෙන්නේ රටේ පාලනය සඳහා නියෝජිතයන් තේරීමේ ක්‍රමවේදයකට වඩා රටේ ලොකුම හොරා සහ ලොකුම බොරුකාරයා තේරීමේ තරඟයක් පැවැත්වෙන ආකාරයකි. වෙනස් නොවී ඇති එකම දර්ශනය නම් මල්වට්ටි බෞද්ධයාගේ සිට කුරුස කතෝලිකයා දක්වා සියළුම දේශපාලුවන්ගේ අත බැඳී කඹ වැනි පිරිත් නූල් ගොන්නයි. 

බොහෝ දෙනෙකුට නොපෙනෙන කටුක යතාර්ථය නම් ශ්‍රී ලංකාව මේ වන විට ඇත්තේ ආර්ථික සහ සාමාජීය ගිනි කන්දක් උඩ බවයි. මතුපිටින් පෙනෙන දුම් රොටුවලට පහලින් ලෝදිය විලක් කැකෑරෙමින් පවතී. කවුරුන් බලයට පැමිණියත් කෙටි කලකින් එය පුපුරා යාමට නියමිතය. දීර්ඝ කාලයක් තුල රට පාලනය කල සියළුම ලාංකික දේශපාලකයන්ගේ අමනකම් හේතුවෙන් මේ වන විට රටේ නය බර නාසයෙන් ඉහලට පැමිණි ජලකඳක් බවට පත්වී ඇත. ලංකාව ගෙවිය යුතු නය සහ පොලී වාරිකය සලකා බලන විට රටේ ආදායම යනු විහිළුවකි.  හෙට දින සිට රටේ ආර්ථික දුෂණය සහ නාස්තිය 100% ක් නවතා දැමුවත් රටවැසියා ඉතා දුෂ්කර දශකයක් තරණය නොකර ලංකාව ගොඩ නැගීම සිහිනයක් බව ආර්ථිකය හා ගණිතය පිළිබඳව සරල දැනුමක් ඇති අයෙකුට පහසුවෙන් ගණනය කර පෙන්විය හැක. නමුත් බොහෝ දේශපාළුවන් මේ යතාර්ථය යන්තමින් හෝ අනාවරණය කරන ආකාරයක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ආණ්ඩු පක්ෂය සුරංගනා ලෝක මවන අතර විපක්ෂයේ සමහර දේශපාලුවෝ ඇලඩින්ගේ පුදුම පහනේ භූතයාට කවට ඇඳුම් අන්දවමින් සිටිති. 

ලංකාවේ මෑත කාලයේදී සිදුවූ විශාලම විපත්තිය නම් දේශපාලුවා තම නොහැකියාවේ විලි වසා ගැනීමට ජාතිවාදී කඩතුරාව ඉවක් බවක් නැතිව භාවිතා කෙරිමයි. එහි ප්‍රතිඵල වී ඇත්තේ ජාති-ආගම් බේදයකින් තොරව මෙම වෛරී විඥානය ජනතාව තුල ජාන ගතවීමයි. තමන්ගේ නොහැකියාවට හේතුව අනෙකා බවට ස්වයං-රාමුවක් සකසා ගැනීම අනාදිමත් කාලයක සිට පවතින මිනිස් ගුණයකි. මේ මනෝ විද්‍යාව තේරුම් ගත් පාලකයන් සහ පූජකයන් එකිනෙකා අත්වැල් පටලවාගෙන ජනතාව තම අශ්වයන්, බූරුවන් හෝ කොටළුවන් කරගැනීමට ඇත්තේ දීර්ඝ අතීතයකි. ලොව පුරා ඇතිවූ යුද්ධ සහ ආක්‍රමණ සහ ඉන් මියගිය මිලියන හෝ බිලියන ගණනක් සාමාන්‍ය වැසියන් මෙම ව්‍යායාමයේ ප්‍රතිඵලයන්ය. 

යම් යම් කාල වකවානු වලදී මෙම ජාතිවාදී ජන විඥානයේ විනාශකාරී ස්වභාවය තේරුම් ගත් සමහර රටවල පාලක ප්‍රජාව අඩුම තරමේ තම පාලන ප්‍රදේශය තුල සිටින ජන සමුහ අතරවත් මෙම මනෝභාවය සමනය කිරීමට උත්සුක විය. එවිට එම රටවල් කෙටි කලකදී දියුණුවට පත්විය. පසුගිය සියවස තුල යුරෝපය සහ පසුගිය අඩ සියවස තුල සිංගප්පුරුව මීට උදාහරණ දෙකකි.  

මේ වන විට මා දකින පරිදි රටේ ඇති දුක්ඛිතම ව්‍යසනයක් නම් සමාජයේ යම් තරමක හෝ උගතුන් ලෙස නාමකරණයට ලක්වූ විශාල පිරිසක් දේශපාලුවා වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල පලකරන අදහස්ය. ප්‍රතිවාදී පිල් වලට ඉතා පහත් ලෙස මඩගැසීම සහ තම පිලේ කටයුතු මන්දබුද්ධික ආකාරයෙන් සාධාරණීකරණය කිරීම තුලින් ඔවුන් තමන්ගේ ප්‍රතිරුපයත් රටේ අනාගතයත් යන දෙකම විනාශ කර දමයි. පුර්ව-ඩිජිටල් යුගයේ සරසවි දේශපාලනය තුල කැන්ටිමේ මේසයක් මතට නැග සිදුකල වාදයකදී තරම්වත් ප්‍රතිපත්තිමය අරඟලයක් දැන් සමාජ මාධ්‍යයක දකින්නට නැත. සමාජ මාධ්‍ය පරිශීලනය කරන බහුතරයක් නොමේරු අවියත් පුද්ගලයන්, වර්තමාන ග්‍රාමය භාෂාවෙන් පවසතොත්, කඩේ යාම, කිලිටි රෙදි සේදීම, අතින් කා හරක් බැලීම හෝ ඇඟේ හලා ගැනීම මම ප්‍රශ්න නොකරමි. එය පුර්ව-ඩිජිටල් යුගයේද එකලට අදාළ සංනිවේදන මාධ්‍ය ඔස්සේ සිදුවිය. එහෙත් ඉහත සියළුම බාල වර්ගයේ ක්‍රියාවන් වියත් යයි සම්මත පිරිස අතින්ද සිදුවීම අතිශයින් ඛේදජනකය.  

ලංකාවේ යම් අවංක බුද්ධිමත් දේශපාලකයෙක් මෙම මැතිවරණය සඳහා තරඟ වැදී සිටියි නම්, ඔහුට හෝ ඇයට මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව පැවතිය හැකි එකම සංකල්පය එය ජනතාව වෙනුවෙන් තමා විසින් පැළඳිය යුතු වේදනාකාරී කටු ඔටුන්නක් බවයි. එසේ සිතන බවට තම කතාවෙන්, අභිනයෙන් සහ ක්‍රියාවෙන් හඟවන අපේක්ෂකයෙකුට ඔබේ චන්දය ලබා දීම මේ අවස්ථාවේදී ඔබට කළ හැකි එකම සත් ක්‍රියාවයි. 



Sunday, 26 July 2020

ඉන්දියාවෙන් කෑ පරිප්පු


මෙතෙක් මා රටවල් හතරක දීර්ඝ කාලීනව ජිවත් වී ඇත. එනම් ලංකාව, ස්වීඩනය, මැලේසියාව හා දකුණු අප්‍රිකාවයි. ඊට අමතරව මා වැඩිම වාර ගණනක් සංචාරය කර ඇති තවත් රටවල් දෙකකි. ඒ ඉන්දියාව හා පකිස්ථානයයි. පකිස්ථානයට මා 18 වරක් ගොස් ඇත. ඉන්දියාවට ගොස් ඇත්තේ ඉන් හරි අඩක වාර ගණනකි. එහෙත් මා ලෝකයේ වෙනත් කිසිඳු රටකට වඩා (ලංකාවද ඇතුළුව) ඉන්දියාවේ ඈත මෑත සංචාරය කර ඇත්තෙමි. මා ඉන්දියාවේ ගොස් ඇති සමහර ප්‍රදේශ වලට මට හමු වූ බොහෝ ඉන්දියානුවන් පවා ගොස් තිබුණේ නැත.

මම මුලින්ම ඉන්දියාවට පා තබන්නේ වයස අවුරුදු 14 දී දෙමාපියන් සමග වන්දනා ගමනක් සඳහාය. එය මාස එකහමාරක් පුරා කල සංචාරයකි. ඉන්පසු නැවතත් එරටට පිය තබන්නේ වයස 34 දීය. එතැන් සිට අවසන් වරට එහි ගිය 2019 වසර තෙක් මගේ ඉන්දියානු ගමන් බොහෝ විට සතියක් හෝ වැඩි කාලයක් පුරා දිවයන ඉතා දීර්ඝ ගමන් වලින් යුත් සංචාර විය.

එදා මෙදා තුර ඉන්දියාව තරම් යහපත් වෙනසකට භාජනය වූ රටක් මා දැක නැති තරම්ය. ඒ ගැන නම් පොතක් ලිවිය යුතුය. කෙටියෙන් කියනවා නම් ඉන්දියාව යනු 21 වෙනි ශතවර්ෂය තුල මා දුටු ලෝකයේ වැඩිම වේගයකින් දියුණු වූ රටයි. ඉන්දියාවට පා තබා නැති සමහර ලාංකික පිරිස් එරට පිළිබඳව සමාජ මාධ්‍යවල පලකරන අදහස් දුටු විට මට එම ලාංකිකයන් පිළිබඳව ඇතිවන්නේ ශෝකයකි. 

ඉතා අධික ජනගහනයක් සිටින ඉන්දියාවේ ආර්ථික ස්ථර රාශියක් තිබීම ස්වභාවිකය. එය ඇමරිකාවට සහ චීනයටද පොදු කරුණකි. එහෙත් ඉන්දීය සමාජයේ පහලම ස්ථරයේ ජීවන තත්වය මුළු ඉන්දියාවටම සාමාන්‍යකරණයකරගෙන පහර ගැසීම හාස්‍යජනකය. මෙලෙස පහරදෙන බොහෝ ලාංකිකයන්ගේ ආදායම් තත්වය ඉන්දියාවේ සාමාන්‍ය වැසියෙකුට වඩා බොහෝ සෙයින් අඩු විය හැක. 

ඉන්දියානුවා තරම් තම රට පිළිබඳව සැබෑ හැඟීමකින් කටයුතු කරන (කතා කිරීම පමණක් නොවේ) වෙනත් ජාතිකයන් මා දැක නැති තරම්ය. එයට ඔහු හෝ ඇය සිටින්නේ ඉන්දියාවේද, එංගලන්තයේද ඇමරිකාවේද යන්න අදාළ නොවේ. එලෙසම එම තැනැත්තා විදේශ රටක ඉපදුන කීවෙනි පරම්පරාවද යන්නද ඉන්දියාවට ඇති බැඳීම තීරණය කිරීමට අදාළ නොවේ. ඔවුන් හැකි සෑම විටම ඉන්දියාව වෙනුවෙන් කල හැකි දෙයක් නොපමාව ඉටු කරයි. එසේම ඉන්දීය රජයද සෑම විටම විදේශයකින් උපකාර හෝ දැනුම ලබාගැනීමේදී එම රටවල සිටින ඉන්දීය ප්‍රභවයක් ඇති අයට ප්‍රමුඛත්වය දෙයි. 

මේ ලිපිය ලියන්න මා අදහස් කල මාතෘකාවෙන් දැන් සම්පුර්ණයෙන්ම පිට පැන ඇත. ඒ නිසා දැන් මම ඒ කාරණයට පැමිණෙන්නෙමි. මම දන්නා බොහෝ ඉන්දියානුවන් නිර්මාංශිකය. එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් ඉතා සෞඛ්‍ය සම්පන්න, ඉහල බුද්ධිමට්ටමක් සහිත පුද්ගලයන්ය. එසේම ඉන්දියාවේ බහුතරයක් දුප්පත් ජනතාව අතර මන්දපෝෂණ ස්වභාවයක් දැකිය නොහැකිය. මීට හේතුව මා වටහා ගත්තේ බොහෝ කලකට පෙරය. 

මා නිර්මාංශකයෙකු නොවුවත් ඉන්දියාවේ ගතකරන කාලය තුල මා හැකි සෑම විටම නිර්මාංශික ආහාර වේලක් ගැනීමට දැඩි සේ ප්‍රිය කරමි. ඊට හේතුව ඉන්දීය නිර්මාංශික ආහාර ඉතා රසවත්වීමයි. මේ රසය ලෝකයේ වෙනත් රටක එලෙසම විඳීමට නම් ඔබ අනිවාර්යයෙන්ම ඉන්දීය හින්දු භාක්තිකයෙකුගේ නිවසට යායුතුය. නැත්නම් මගේ නිවසට පැමිණිය යුතුය (මා ඉතා රසවත් ලෙස ඉන්දීය නිර්මාංශික ආහාර පිළියෙළ කිරීමේ දක්ෂයෙකු බව නිහතමානිව පවසමි). මේ කාරණය නිසා ඉන්දියානු නිර්මාංශිකයන් ඉතා සතුටින් තම ආහාර වෙලා භුක්ති විඳියි. ආහාරයක පෝෂණය සිරුරට සම්පුර්ණයෙන්ම ලබාගැනීම සඳහා එම ආහාරය සතුටින් භුක්ති විඳීම ඉතා වැදගත්ය. 

දෙවන කරුණ නම් ඉන්දීය ආහාර වේලට ඇතුලත්වන විශාල ප්‍රබේද ගණනාවකින් යුත් පරිප්පු සහ කඩල වර්ග ප්‍රමාණයයි. සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසුන් ව්‍යංජනයක් ලෙස සකසන්නේ මයිසූර් පරිප්පු (pink lentils) සහ මුං ඇට (mung daal or green gram) පමණකි. මීට අමතරව සුදු කඩල (chickpea) ව්‍යංජනයද ඉඳහිට සාදනු ලැබේ. 

එහෙත් ඉන්දියාවේදී පරිප්පු වර්ග 20ට වැඩිය මා රස විඳ ඇත. කඩල ඇතුළු ව්‍යංජන ලෙස පිළියෙළ කරන ධාන්‍ය වර්ගද ඒ හා සමානවම ඇත. මේ එක් එක් පරිප්පු සහ ධාන්‍ය වර්ගයක් සඳහා පිළියෙළ කරන ක්‍රමවේදය වෙනස්ය. එකම පරිප්පුව රාජස්ථානයේ එක විදියකටත්, බෙංගාලයේ තව විදියකටත්, කේරලයේ වෙනස්ම විදියකටත් සැකසේ. ඒ සියල්ලේම රසයේ අපුරු වූ විවිධත්වයක් ඇත. සමහර කෑම වට්ටෝරු වසර දහස් ගණනක් පැරණිය. අද මේ සියලුම ආහාර පිළියෙළ කිරීමේ ක්‍රමවේදයන් Youtube හරහා ලෝකයට විවෘතය. ඉතා අධික ප්‍රෝටීන වටිනාකමකින් යුත් එමෙන්ම මිලෙන් සෑහෙන අඩු මෙම පරිප්පු සහ ධාන්‍ය වර්ග ඉන්දීය ජනයාගේ පෝෂණය නගා සිටුවයි.

දැන් මම මේ ලිපියේ වැදගත්ම කොටසට පැමිණෙමි. ඉන්දියාවේ ගෙදරක කලාතුරකින් පිසින එහෙත් ලංකාවට නැතුවම බැරි මයිසූර් පරිප්පු සහ කඩල මා දන්නා තරමින් 100% ම ඉන්දියාවෙන් ආනයනය කරයි. මුං ඇට පවා සෑහෙන ප්‍රමාණයක් ආනයනිත ලැයිස්තුවට ඇතුළු වේ. මේ සඳහා වසරකට රටින් පිටවන විදේශ විනිමය ඩොලර් මිලියන ගණනාවකි. එහෙත් ඉන්දියාවේ වැවෙන සියළුම පරිප්පු වර්ග, කඩල වර්ග සහ ධාන්‍ය ලංකාවේ ඉතා පහසුවෙන් වගා කල හැක. ඒ සඳහා සුදුසු  පස, දේශගුණය සහ වෙනත් සාධක ලංකාවේ බොහෝ ප්‍රදේශ වල දැක ගත හැක. මෙම වගාවන්ගේ ඇති වැදගත්ම වාසිය නම් අස්වැන්න දීර්ඝ කාලයක් ගබඩාකර තබා ගත හැකි වීමයි. එළවලු වගාවෙන් මෙය වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන්ම මේ කාරණය නිසාය 

ලංකාවේ කෘෂි ක්‍ෂේත්‍රයේ නිපුණයෝ මෙන්ම රජයද තම දෑස යොමු කලයුත්තේ මෙයට නොවේද? එසේම ලාංකිකයා මෙම විවිධ වූ පරිප්පු සහ කඩල වර්ග වලට හුරු කරවීමද යමක් කළ හැකි අප සියළු දෙනා සතු වගකීමකි. 

එසේම අමතක නොකළ යුතු තවත් කාරණයක් නම් මෙලෙස ලංකාවේ මෙම ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය ඇරඹෙන විට වසර 100 ට වඩා පැරණි පිටකොටුව පසුබිම් කරගත් රුපියල් බිලියන ගණනක තොග ආනයන ව්‍යාපාරයක් කඩා වැටෙන බවයි. ඒ සමගම රැකියා දහස් ගණනක්ද අහිමිවේ. මෙවැනි කාරණා වලට පිළියම් සොයාගෙනම මෙම කර්තව්‍ය ආරම්භ නොකළහොත් එය තවත් සමාජ ප්‍රශ්නයකට මග පාදනු ඇත. 




Tuesday, 21 July 2020

වේදනාව සහ දුක - Pain & Suffering


වේදනාව (pain) සහ දුක් විඳීම (suffering) යනු කාරණා දෙකකි. වේදනාව යනු සත්වයාගේ සුරක්ෂිත භාවයට අත්‍යවශ්‍ය සංවේදනයකි. වේදනාව පංචෙන්ද්‍රියට සංවේදනය වන විට එය භෞතික වේදනාවක් ලෙසද මනසට සංවේදනය වන විට එය මානසික වේදනාවක් ලෙසද හැඳින්වේ. වේදනාව පිළිබඳව නිර්මාණයේ (creation) අරමුණ වන්නේ සත්වයා අන්තරායකර පරිසරයකින් ඈත් කරවීමයි. ඔබගේ අත ගිනි පුපුරක ගැටෙන විට ඔබ අත ඉවතට ගන්නේ වේදනාව නම් සංවේදනය නිසාය. නොඑසේ නම් ඔබේ අත දැවී පිළිස්සෙන තෙක් ඔබට නොතේරේ. සමහර ස්නායු ආබාධ ඇති අයට මේ තත්වය ඇති නොවේ. එබැවින් එවැනි අය පිළිබඳව අන්‍යයන් සැලකිලිමත් විය යුතුය. 

මානසික වේදනාවක් යනුද එසේම කාරණයකි.  එයින් ලබාදෙන පණිවිඩය නම් ඔබ එම වේදනාවට කාරක වන හේතුවෙන් ඉක්මනින් ඈත් විය යුතු බවයි. සත්වයාට පමණක් නොව ගස් වැල් වලට පවා මෙම සංවේදනය ඇත. ඔබ ගසක් එක් පසකින් ආවරණය කරන විට එය අනෙක් පසට වැඩෙයි. මෙහි ඇති වෙනස සත්වයාට වඩා වැඩි කාලයක් ගස් වැල් වේදනාවට දක්වන ප්‍රතිචාරය සඳහා ගැනීමයි. 

මෙහිදී සැලකිය යුතු වැදගත්ම පණිවිඩය නම් වේදනාව යනු සතුරෙක් නොව ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය නිර්මාණයක් බව අවබෝධ කරගැනීමයි.

දුක් විඳීම යනු සත්වයාට කිසිසේත් අවශ්‍ය නොවන මානසික තත්වයකි. එය ඇතිවන්නේ වේදනාව නැවත නැවත මෙනෙහි කිරීමෙනුයි. සමහර පුද්ගලයන් දුක් විඳීම පුරුද්දක් ලෙස පවත්වාගෙන යයි. උදාහරණයක් ලෙස; තුවාලයක් ඇති වූ විට දැනෙන වේදනාව මගින් එයට ප්‍රතිකාර කල යුතු බවට පණිවිඩයක් ලබා දෙයි. එවිට අප ඒ සඳහා ප්‍රතිකර්මයක් යොදන අතර තවදුරටත් වේදනාවේ අවශ්‍යතාවය නොමැති බැවින් වේදනාව ක්‍රමයෙන් දුරුවී යයි. මෙය නිර්මාණයේ අලංකාරයි. 

සමහර දෙනෙක් මෙම තුවාලය සනීප වෙමින් පවතින විට එහි කබොල කඩා එය පාරවා ගනී (අප සිතනවාට වඩා සමාජයේ සිටින බොහෝ දෙනෙක් මේ ක්‍රියාව කරයි). එවිට පෑරෙන තුවාලයෙන් සමහර විට රුධිරය වහනය වීමටද පටන් ගන්නා අතර අධික වේදනාවක් දැනෙයි. ඉඳ හිට මේ ක්‍රියාව අතක් පයක් කපා දැමීම දක්වා ඔඩු දුවන තුවාලයක් ඇති කරන අවස්ථා ඇත. 

මානසිකව දුක් විඳීමද මීට සර්ව සමය. වේදනාව විසින් දෙනු ලබන පණිවිඩයට දැක්විය යුතු එකම ප්‍රතිචාරය වන්නේ වේදනා කාරකයෙන් ඈත් වීමයි. ඉන් නොනැවතී නැවත නැවතත් එම කාරකය පිළිබඳව සිතීම දුකට හේතුවෙයි. 

නිර්මාණයේ සෑම අංගයක්ම මිනිස් චින්තනයේ සීමා රාමුවට සාපේක්ෂව අති සංකීර්ණය. එහෙත් එම අංගයන්ගේ අරමුණ බොහෝ විට ඉතා සරලය. උදාහරණයක් ලෙස ඔබ භාවිතා කරන ස්මාර්ට් ජංගම දුරකථනය ගැන සිතන්න. සමාජයේ බොහෝ දෙනෙකුට එහි පරිපථය ප්‍රෙහේලිකාවකි. එහෙත් එහි අරමුණ නොදන්නා අයෙක් නොමැති තරම්ය. වේදනාවද එබඳුම, භුතාර්ථයක් ලෙස අති සංකීර්ණ වූත්, අරමුණ ඉතා සරල වුත් නිර්මාණයේ අංගයකි (component of creation). මේ සරල අරමුණ අවබෝධ කරගැනීමට නොහැකි වීම දුකට හේතුවෙයි. 

මට සිතෙන ආකාරයට සත්‍යාලෝකය ලැබූ තැනැත්තෙක් (enlightened being) යනු වේදනාව දුරු කල තැනැත්තෙක් නොවේ. එලෙස වේදනාව දුරුකිරීම ජිවිතයේ පැවැත්මට හානිකරය. එබඳු අයෙකු කරන්නේ වේදනාවෙන් පසු ඇතිකරගන්නා අනවශ්‍ය දුක් විඳීම දුරු කිරීමයි. 

මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් මේ කාරණය තේරුම් ගනු ඇත. එහෙත් අසීරු ක්‍රියාව නම් එම තේරුම් ගැනීම අවබෝධ කරගැනීම බවට පරිවර්තනය කරගැනීමයි. 

   


Wednesday, 15 July 2020

දුරකථන සම්ප්‍රේෂණ කුළුණු සහ අකුණු අනතුරු



ඊයේ දිනයේ නිරෝධ රණසිංහ මහතා FB එක හරහා පණිවිඩයක් එවමින් මගෙන් අසා සිටියේ සන්නිවේදන කුළුණු නිසා අවට නිවාසවලට අකුණු අනතුරු ඇතිවේද කියාය. මේ සමගම එතුමා හිරු TV නාලිකාවේ රතු මිනිත්තුව නැමැති වැඩසටහනක කොටසක්ද එවා තිබුණි. එහි දක්වා තිබුණේ තැටිල්ලවල ප්‍රදේශයේ ගමකට දුරකථන සම්ප්‍රේෂණ කුළුණක් නිසා ඇතිවන විනාශකාරී තත්වයක් පිලිබඳවය.

දුරකථන සම්ප්‍රේෂණ කුළුණු නිසා අසල ප්‍රදේශයට අකුණු අනතුරු වැඩිවේද යන පැනය කරලියට එන්නේ අනුව දශකය අග භාගයේදීය. ඉන් පසු දෙදදහස මුල් දශකයේදී මම ශ්‍රීලංකා විදුලි සංදේශන නියාමන කොමිසම (SLTRC) සමග මේ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ලංකාව පුරා දේශන සහ වැඩමුළු පැවැත්වුයෙමි. වසර 2007 දී පමණ TRC ආයතනය මගින් සන්නිවේදන කුළුණු පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශන මාලාවක් ගොඩනැගීම ඇරඹු අතර මම එහි අකුණු ආරක්ෂණය පිලිබඳ කොටසෙහි මූලිකත්වය ගෙන කටයුතු කලෙමි. වසර 2008 හෝ 2009 මුල් භාගයේදී මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි මූලික වැඩ අවසන් වුනු අතර එම වසර අවසානයේ මම ලංකාවෙන් නික්මුනෙමි.

සම්ප්‍රේෂණ කුළුණක් වැනි උස ලෝහ සැකිල්ලක් ඉදිකළ විට වෙනදා ඒ අවට වෙනත් ස්ථානවලට යොමු වූ අකුණුද එම සැකිල්ලට ආකර්ශණයවේ (මෙහිදී ආකර්ෂණය යන වචනය යෙදීම තාක්ෂණිකව නුසුදුසුය). කුළුණ කඳු ගැටයක් වැනි උස් ස්ථානයක පිහිටියේ නම් මෙම වපසරිය තවත් වැඩිවිය හැක. මේ නිසා ඇත්තෙන්ම සම්ප්‍රේෂණ කුළුණක් අවට ඇති නිවසකට ඍජු අකුණු ප්‍රහාරයක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩුවේ.

නමුත් මෙහිදී ඇති වැදගත්ම කාරණය නම් වෙනදාට වඩා වැඩි අකුණු ප්‍රමාණයක් කුළුණ ඇති ස්ථානයට ඇදී ඒමයි. මේ අනුව කුළුණට ඉතා ආසන්නයේ (මීටර 20-30 දුරින්) ඇති නිවාස සහ ගොඩනැගිලි වලට නොයෙකුත් අතුරු අන්තරා ඇතිවිය හැක. ඒ බොහෝ විට පොළව හරහා ගමන් කරන ධාරාව හා  නිවසේ විදුලි රැහැන් පද්ධතියේ ඇතිවන ප්‍රේරිත වෝල්ටීයතාවයන්  නිසාය. 

කුළුණේ භූගත කිරීම නියමාකාරයෙන් සිදුවී නැත්නම් (භූගත ප්‍රතිරෝධය ඉහල නම්) අවට නිවාසවලට වන හානිය හා පුද්ගල අනතුරුද වැඩි වෙයි. මෙබඳු අවස්ථාවක අවට නිවාසවල ඇති පේනුගත විදුලි උපකරණ හානි වීම, විදුලි පැනලය තුල පිපිරීම් ඇතිවීම හෝ ගිනි පුපුරුම් පැනීම, විදුලි උපකරණ භාවිත කරමින් සිටින්නන් අවදානමට ලක්වීම ආදී තත්වයන් ඇතිවිය හැක. මීට අමතරව එළිමහනේ සිටින පුද්ගලයන් (විශේෂයෙන්ම පාවහන් නොපැළඳගෙන) පියවර විභවයට පාත්‍ර වීම නිසා ක්ලාන්ත වී වැටීමට (සමහර විට මරණයට පවා පත්වීමට) ඉඩ ඇත. 

ඉහත තත්වයන් සැලකිල්ලට ගෙන, සම්ප්‍රේෂණ කුළුණු වලට ඉතා ආසන්නයේ ඇති නිවෙස් හෝ අනෙකුත් ගොඩනැගිලි සම්බන්ධයෙන් සම්ප්‍රේෂණ කුළුණු හිමිකරු විසින් ගත යුතු ක්‍රියා මාර්ග පිලිබඳව TRC මාර්ගෝපදේශන මාලාවේ කරුණු ඇතුලත් කර ඇත. මේ අනුව කුළුණ අයත් පරිශ්‍රයට අදාළ භූගත පද්ධතිය පිලිබඳ තත්ව සහතිකයක් ආවර්තිකව ලබා ගැනීම, කුළුණේ සිට නිවසක් හෝ පාසලකට තිබිය යුතු අවම දුර පවත්වාගැනීම, කුළුණට යාබද නිවෙස්වලට අකුණු ආරක්ෂණ පද්ධති (surge protection devices) සවිකර දීම ආදී කරුණු මෙම මාර්ගෝපදේශන මාලාවට ඇතුලත් විය.

එහෙත් මැලේසියාවට සංක්‍රමණය වූ පසු මා එරට බලධාරීන්ගේ ඉල්ලීම පරිදි මේ පිළිබඳව පර්යේෂණ කිහිපයක්ම සිදුකල අතර එහිදී හෙළි වුයේ කුළුණකට වැදෙන අකුණක් නිසා සමහර විට කිලෝමීටර කිහිපයක් ඈතින් ඇති ගොඩනැගිලිවලට පවා අනතුරු සිදුවිය හැකි බවයි. මෙය සිදුවන්නේ කුළුණට විදුලිය ලබා දෙන ට්‍රාන්ස්ෆෝමරය මගින්ම අවට ඇති නිවාස හෝ අනෙකුත් ගොඩනැගිලි වලටද විදුලිය සපයන විටයි. 

කුළුණ අයත් පරිශ්‍රයේ භූගත පද්ධතිය නිසි පරිදි නඩත්තු කර නැති විට විශාල අකුණු ධාරාවක් එහි ඇති අකුණු ආරක්ෂණ පද්ධතිය හරහා උදාසීන (neutral) වයරයට ප්‍රවිෂ්ඨ වේ. මේ ධාරාව සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ෆෝමරයේ භූගත පද්ධතිය හරහා පොලවට ඇදී යයි. එහෙත් ට්‍රාන්ස්ෆොමරයේ භූගත පද්ධතියද නිසි පරිදි නොමැති නම් එම ධාරාව එම ට්‍රාන්ස්ෆෝමරයෙන් විදුලිය ලබාදෙන නිවසකට පිවිස එහි භූගත පද්ධතිය හරහා පොළොවට ගමන් කරයි. එම නිවසේ අකුණු ආරක්ෂණ පද්ධතියක් නොමැති නම් සිදුවන්නේ එහි විදුලි පුවරුවක් හෝ පේනුගත කර ඇති උපකරණයක් (හෝ කිහිපයක්) හරහා විද්‍යුත් පුලිගුවක් ලෙස උදාසීන වයරයේ සිට භූගත වයරයට (earth wire) අකුණු ධාරාව පැනීමයි. විදුලි පුවරුවේ පිපිරීම් හෝ උපකරණ වල විනාශය සිදුවන්නේ මේ හේතුවෙනි. 

මා දන්නා ආකාරයට ලංකාවේ සම්ප්‍රේෂණ කුළුණු සඳහා වන මාර්ගෝපදේශන මාලාවේ මේ කාරණය සලකා නැත. මේ නිසා අදාළ වීඩියෝවේ නිවැසියන් පෙන්වාදෙන උපකරණ හානි කුළුණ වදින අකුණු නිසා සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එහෙත් කුළුණ නිසා අකුණු විසිකරනවා යන්නෙහි නම් කිසිඳු විද්‍යාත්මක පදනමක් නැත. නිවසකට ඍජු අකුණු පහරක් වැදී හානි සිදුවී ඇත්නම් එය කුළුණ නිසා සිදු වුවක් නොව කුළුණ තිබුනත් නැතත් එම නිවසට සිදුවන අනතුරක් බව කිව මනාය. 







Monday, 13 July 2020

ඇයගේ ඇඳුම


මළහිරු බසින යාමයේ රූමත් අනිෂා පාළු මාවත දිගේ නිවෙස කරා හනි හනිකට පියවර මැන්නාය. ඇයගේ එක් අතක නෙලාගත් වන පලතුරු මල්ලකි. අනෙක් අතේ දර කෝටු මිටියකි. එතරම් උස් නොවූ, දීප්තිමත් රෝස පැහැයකින් ඡවි කල්‍යාණය හැඩවූ අනිෂා දිගු තද දුඹුරුවන් වරලසකට හිමිකම් කිව්වාය. ඇයගේ පිරිපුන් ලැමද වැසුනේ පටු රෙදිකඩකින් පමණි. පුළුලුකුලේ සිට දණහිසට මදක් ඉහලින් නිමාවන තවත් රෙදිකඩකින් ඇඟේ යටි කය වැසී තිබුණි. දිගු නීල නෙත් සඟලකින් හා රත ලවනතින් අලංකාර වූ පිරිපුන් වතක් සතු වූ ඇය යන්තම් දහනව වන විය පසු කළා පමණි. 

ඇය විසූ කුඩා නගරය දැන් බොහෝ සෙයින් කලහකාරීය. දස වසක් මුළුල්ලේ ඇදී ගිය යුද්ධය යන්තම් නැවතී ඇත. බොහෝ විට එය තාවකාලික විරාමයක් විය හැක. යුද්ධයෙන් හෙම්බත් වූ සොල්දාදුවෝ නැවතත් ගම්බිම් බලා පැමිණ ඇත. රැකියාවක් හෝ උපයාගත් කිසිවක් ඉතිරිකරගෙන නොමැති ඔවුන් වීථි පුරා අයාලේ ඇවිදී. දැන් සොරකම්, මංකොල්ල කෑම් සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇත. සුළු බහින්බස් වීමක් පවා කෙලවර වන්නේ කිහිප දෙනෙකු මාරාන්තික තුවාල ලබාය.  

මාවත අසල වන රෝඳක දූ කෙළිමින් සිටි පුරුෂයන් සිව් දෙනාට ඈතින් පැමිණෙන අනිෂා ඇස ගැටුනේය. ලතාවට පියනගන ඇයගේ අඟපසඟ මැදිවියට පාතබමින් සිටි මේ සේවයෙන් ඉවත් වූ යුද බටයන්ගේ නෙතඟ පිනවිය. ඇය අසලට පැමිණෙන විට මේ ගිනිගත් හැඟීම් ඇවිස්සුනු පිරිසට තමන්ව පාලනය කරගත නොහැකි විය. වහා මාවතට පිනූ ඔවුහු බියෙන් තැති ගත් අනිෂාව කැලෑ රෝඳට ඇදගෙන ගොස් අමානුෂික ලෙස දුෂණය කළහ. 

මේ සිදුවීම නගරයේ වැසියන් බොහෝ සෙයින් තැති ගැන්වීය. තරුණ දූවරුන් සිටි දෙමව්පියෝද, රූමත් භාර්යාවන් සිටි ස්වාමිපුරුෂයෝද තම කාන්තාවන්ට දෑස් හැරෙන්නට මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳගෙන නිවසින් පිටතට යාමට බල කළහ. තැති ගෙන සිටි නගරයේ බොහෝ තරුණියන් මේ ඇඳුම් කැමැත්තෙන්ම පැළඳීමට ඉදිරිපත්විය. 

ඒ සමගම තරුණියන්ට වන අතවර බොහෝ සෙයින් අඩු විය. මීට කාරණා දෙකක් බලපෑවේය. දිගු ලෝගුවෙන් වැසුණු තැනැත්තා හෝ තැනැත්තිය පිළිබඳව කිසිඳු කාමුක හැඟීමක් පුරුෂයන් තුල ඇති නොවීම පළමු කාරණයයි. දෙවෙනි කාරණය නම් ලෝගුව ඇතුලේ සිටින තැනැත්තිය කාගේ කවරෙක්දැයි නොවැටහීමයි. සමහර විට ඇය නගර ප්‍රධානියෙකුගේ හෝ රණශුරයෙකුගේ ඥාතියෙක් විය හැක. එවන් අයෙකුට හිරිහැර කිරීම මරණයට අත වැනීමකි. 


-----------------------------------

ඔබ ඒ කියවුයේ දින කිහිපයකට කෙටි කල, මානව ඉතිහාසයේ දශක හෝ සියවස් කිහිපයක් තුල රඟ දැක්වුණු  සිදුවීමකි. 

මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම සහ ගලා යාම මැනවින් නිරීක්ෂණය කරන්නෙකුට යම් කරුණක් පැහැදිලිවේ. එනම් ආහාර-පාන, ඇඳුම්-පැළඳුම්, ගෙවල්-දොරවල්, යාන-වාහන පමණක් නොව ආගම-දහම පවා සැකසෙන්නේද ඉන් අනතුරුව විකාශය වන්නේද සමාජයේ අවශ්‍යතාවය අනුව බවයි. සාමාන්‍යයෙන් මෙම සංකල්පවල විකාශය දීර්ඝ කාලීනව සිදුවන්නකි. එහෙත් සමාජ අවශ්‍යතාවය තීව්‍ර වූ විට රජ අණින් හෝ දේව අණින් (ආගම් හරහා පැමිණෙන) මේ වෙනස්කම් ඇතිවීම අධි ත්වරණයකට ලක් කල හැක.

මා දකිනා ආකාරයට කාන්තා ඇඳුම ශිෂ්ඨාචාරයක මානව සුරක්ෂිතභාවය කියාපාන කැඩපතක් බඳුය. ඉතා දියුණු සාමකාමී රාජ්‍යයන් පැවතුනු කාල වකවානු වල කාන්තාව ඉතා අලංකාර දුහුල් සළුපටින් ගත වසා ගෙන සිටි බව ඉතිහාසය පැහැදිලිව පෙන්වා දෙයි. මැද පෙරදිග මිසර අධිරාජ්‍ය (ක්ලියෝපැට්‍රා දක්වාම), ග්‍රීක සහ රෝම අධිරාජ්‍යය, චීනයේ අධිරාජ්‍ය යුග කිහිපයක්ම, ඉන්දියාවේ ස්වර්ණමය යුගයන් කිහිපයක්ම මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක. මේ යුගවල ලියැවුණු පොත පත සහ ශිලා ලේඛනයන්හි, ඇඳි චිත්‍ර සහ බිතුසිතුවම් වල, මූර්ති හා කැටයම් ශිල්පයන්හි මේ කාන්තා ඇඳුම අපූරුවට ගෙත්තම් කර ඇත. ලංකාවේ පවා කාශ්‍යප යුගයේ බිතුසිතුවම් මේ පිළිබඳව සාක්ෂි දරයි.

සමහර යුගවල ඉතා අලංකාර සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි මැද පෙරදිග කාන්තාව ප්‍රථමයෙන් මුළු ගතම වසා ගන්නේ ඉස්ලාම් දහම බිහි වන්නට බොහෝ කලකට පෙරය (වසර 4000ට පමණ පෙර). මෙයට හේතුවන්නේ එම කාල වකවානුවල එම ප්‍රදේශය තුල හටගත් අවිචාරී, අරාජික ස්වභාවයයි. එය කාන්තාව අනාරක්ෂිත කළේය. මේ නිසා ගතම වසාගෙන නිවසින් පිටතට යාම කාන්තාවට සුරක්ෂිත වාතාවරණයක් ඇති කළේය. 

මගේ අරාබි මිතුරන් කිහිප දෙනෙකුම පැවසුවේ කළු පැහැති ලෝඟුව ස්වාභාවිකවම කාන්තාව ගෙදරට සිමා කර තබන බවයි. ස්වාමියා දවසේ වැඩ කටයුතු සඳහා නිවසින් නික්ම යන දිවා කාලයේ කාන්තාවන් නිවසෙන් පිටතට පැමිණීම මෙම කළු කබාය විසින් අහුරා දමයි. ඉතා උෂ්ණාධික මැද පෙරදිග ප්‍රදේශයේ දහවලක කාල වර්ණයෙන් සැරසී ඔබට වැඩි දුර ඇවිදගෙන යාමට නොහැක. මේ බව මම මැනවින් අත්දැක ඇත්තෙමි (කළු පැහැති ඇඳුමින් සැරසී සෞදි අරාබියේ දහරාන් නගරයේ ඇවිදීමට ගොස්).

එසේම ඉතිහාසයේ යම් යම් කාලවකවානු වල මැදපෙරදිග මෙන්ම ඉන්දියාවේද ගණිකාවෝ මුළු ශරීරයම වැසෙන පරිදි ලෝගුවක් පැළදීමට පුරුදු වී සිටියහ. ඒ ගණිකා නිවාසයෙන් පිටතට යන එන විට තමා හඳුනා ගැනීමට නොහැකි වීම සඳහාය. මෙම සිරිතද සහශ්‍ර කිහිපයක් ඈතට දිව යයි.
----------------------------------

ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව "ඇඳුම" මානවයා නිපදවාගන්නේ මූලික කාරණා දෙකක් සන්තර්පණය කරගැනීම සඳහාය. ඉන් පළමුවැන්න විලිවසා ගැනීමයි. දෙවැන්න සැප පහසුව පිණිසයි. මෙහි සැප පහසුව යනු කාළගුණයට ඔරොත්තුදීම, රළු පෘෂ්ඨ හා ගැටීමේදී ඇතිවන අපහසුව මගහරවා ගැනීම, සෞඛ්‍යාරක්ෂිත වීම ආදී කරුණුයි.

මේ මූලික කාරණා දෙකට අමතරව කාන්තා ඇඳුමෙහි අමතර දිග පළල තීරණය වන්නේ ඇය ජිවත්වන සමාජයේ ශිෂ්ඨත්වය මතයි. පිරිමියා සංවර වූ සහ හික්මුණු, එමෙන්ම මනසින් උසස් වූ සමාජයක කාන්තාවට ඇඳුම පිළිබඳව මුලිකවම සැලකිලිමත් විය යුත්තේ විලිවසා ගැනීම සහ සැප පහසුව යන කාරණා දෙක උදෙසා පමණි. එතනින් ඔබ්බට ඇඳුමෙහි ස්වභාවය සහ හැඩ වැඩ තීරණය කිරීම ඇය සතුය. 

එහෙත් යම් කාල-දේශ රාමුවක් තුල පිරිමියා මානසිකව දුර්වල නම් හා ශිෂ්ඨසම්පන්න ගුණාංග වලින්  පහල තැනක සිටියි නම් ඇයට මේ අයිතිවාසිකම අහිමිවේ. සිගිරි කාශ්‍යප යුගයේ කුලවමියන් බුදුපුදට ගිය ආකාරයට අද කාන්තාවට පන්සල් යාමට නොහැක්කේ මේ නිසාය. ඇය මේ බව පහන් සිතින් තේරුම් ගත යුතුය.








       




Sunday, 5 July 2020

ඔවුනට සදාචාරයක් ඇද්ද?



මෑත කාලයේදී ජාතිවාදයෙන්, ආගමිකවාදයෙන් හෝ ස්වාර්ථයෙන් පවා තොරව දේශපාලකයෙක් යම් ප්‍රකාශයක් කලේද, මගේ මතය අනුව නම් ඒ රංජන් රාමනායක පමණි. නොගැඹුරු, නොමේරු, ජනප්‍රිය දේශපාලනයේ යෙදෙන මේ රංග ශිල්පියා කියා සිටියේ "මේ රටේ කවර දේශපාලන කණ්ඩායමක් බලයට ආවත් හොරු මිනීමරුවන් අල්ලන්නේ නැති බවයි". මේ සරලව පෙනෙන, එහෙත් ගැඹුරු වූ යතාර්ථය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් කොඳු නාරටියක් තිබුණේ ඔහුට පමණි.

වංචනිකයන් සහ අපරාධකාරයන් අල්ලා ගෝල්ෆේස් පිට්ටනියේ එල්ලා මරණ බව ජනතාවට පවසා 1994 දී බලයට පැමිණි චන්ද්‍රිකා රජය මේ ජන මුලාවට අත්තිවාරම දැමිය. ඊට පෙර ගතවූ දශකය තුල ලංකාවේ සිදු වූ අනේක විද නොපණත්කම් වලට වගකිවයුත්තන් කවුදැයි ලංකාවේ බහුතරයකට රහසක් නොවීය. එබැවින් ජනතාව මේ චූදිතයන්ට දඬුවම් ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය. 

කාලය ගතවිය. බලාපොරොත්තු වූ කිසිවක් සිදු නොවීය. දරුණු අපරාධවලට වගකිව යුතු බවට ජනතා අධිකරණයේ තීන්දු වූ චූදිතයන් පවා පසු කලකදී චෝදනා පත්‍ර සකස්කළ පුද්ගලයන් සමග කරට අත දාගත්තේය. බොහෝ සිද්ධීන් අතර මම "නාලන්ද එල්ලාවල" නාමය පමණක් සිහි කරමි. 

දිගින් දිගටම සිදුවූ මේ ජන මුලාවේ කූටප්‍රාප්තිය පැමිණියේ 2015 මැතිවරණයේදීය. එය චෝදනාවලින් පිරි ඉතිරී ගිය මැතිවරණයක් විය. රත්තරන් අශ්වයන්, හෙලිකොප්ටර්, විදේශ බැංකු ගිණුම්, ක්‍රිෂ් ගනුදෙනුව, තජුඩීන් ඝාතනය, රටපුරා සිදුවූ උද්ඝෝෂකයන් ඝාතනය, වනාන්තර විනාශය ආදී දහසක් චෝදනා කරලියට පැමිණියේය. මැතිවරණය දිනූ සැණින් ගුවන්තොටුපළවල් වසා වගකිව යුත්තන්ට දඬුවම් දෙන බවට රනිල්-සිරිසේන වේදිකාව ගිගුම් දුනි.  

ඔවුන් ජය ලැබිය. වසර පහකට ආසන්න කාලයක් ගතවිය. කිසිම චූදිතයෙකුට දඬුවමක් ලැබුණේ නැත. කිසිඳු අපරාධ චෝදනාවක් අරඹයා නිසි නීතිමය ක්‍රියාපටිපාටියක් අනුගමනය නොවීය. තාජුඩින් දේහය මැතිවරණ සමයට පමණක් ගොඩ ගන්නා ප්‍රදර්ශකයක් විය. කැළෑ පාලුවෝ ආණ්ඩුව සමග අත්වැල් බැඳ ගත්හ.  

මෙය මහජනතාවට පමණක් නොව, චූදිතයාටද කරන ලද බරපතල අපරාධයක් ලෙස මට පෙනෙයි. ඔබ යමෙකුට චෝදනා කරයි නම් එය සනාත කිරීමට නිසි ක්‍රියාමාර්ග ගැනීමද ඔබ විසින් අනිවාර්යයෙන්ම කල යුතුය. නොඑසේ නම් ඔබ කරන ලද චෝදනා ප්‍රසිද්ධියේ ඉල්ලා අස් කරගෙන චූදිතයාගෙන් සමාව ගත යුතුය. එපමණකුදු නොව බොරු චෝදනා කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාදාමයන්ට මුහුණ දීමටද සූදානම් විය යුතුය. 

රනිල්-සිරිසේන රජයට සම්බන්ධ කිසිවෙකුටත් මේ ක්‍රියා මාර්ගය නොගෙන නැවතත් ජනතාව අතරට පැමිණ චන්දය ඉල්ලීමට ඇති සදාචාරාත්මක (වෙනත් දියුණු රටක නම් නීතිමය) අයිතිය කුමක්දැයි මම අසමි.

පසුගිය රජයට එරෙහිව පවතින මහා බැංකු වංචාව ඇතුළු අනෙකුත් සියළුම චෝදනා පිළිබඳවද කිව යුත්තේ එපමණකි. චූදිතයා, චෝදකයා සමග අත්වැල් බැඳ ගනී දැයි අසරණ වූ ජනතාව බලා සිටියි. 

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉතාම අකාලීනව, පැහැදිලිවම පෙනෙන පටු පරමාර්ථ හමුවේ චෝදනා එල්ල වන විට ජනතාවට දැනුනු වේදනාව, මියගිය තාජුඩින් ක්‍රීඩකයාගේ දේහය හමුවේ දේශපාලකයන් කරන විප්‍රකාර නිසා එම පවුලටද ඇතිවන බව අප අවබෝධකරගත යුතුය. නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව දේශපාලකයන්ට මැතිවරණ හමුවේ එල්ල කරන චෝදනාද එම පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කෙතරම් සිත්වේදනා ගෙනදේ දැයි අප කල්පනා කර බැලිය යුතුය.   

රංජන් රාමනායකගේ ප්‍රකාශය සදාකාලීන යතාර්ථයක් නොවන බවට වග බලා ගැනීමට නීතිමය අණපනත් පැමිණවිය යුතු යැයි මම යෝජනා කරමි. මන්ද එම ප්‍රකාශයේ නියමාර්ථයෙන්ම ගත් කල මෙහිදී ජනතාව අතිශයින්ම අසරණ වන බැවිනි.