Sunday 5 July 2020

ඔවුනට සදාචාරයක් ඇද්ද?



මෑත කාලයේදී ජාතිවාදයෙන්, ආගමිකවාදයෙන් හෝ ස්වාර්ථයෙන් පවා තොරව දේශපාලකයෙක් යම් ප්‍රකාශයක් කලේද, මගේ මතය අනුව නම් ඒ රංජන් රාමනායක පමණි. නොගැඹුරු, නොමේරු, ජනප්‍රිය දේශපාලනයේ යෙදෙන මේ රංග ශිල්පියා කියා සිටියේ "මේ රටේ කවර දේශපාලන කණ්ඩායමක් බලයට ආවත් හොරු මිනීමරුවන් අල්ලන්නේ නැති බවයි". මේ සරලව පෙනෙන, එහෙත් ගැඹුරු වූ යතාර්ථය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් කොඳු නාරටියක් තිබුණේ ඔහුට පමණි.

වංචනිකයන් සහ අපරාධකාරයන් අල්ලා ගෝල්ෆේස් පිට්ටනියේ එල්ලා මරණ බව ජනතාවට පවසා 1994 දී බලයට පැමිණි චන්ද්‍රිකා රජය මේ ජන මුලාවට අත්තිවාරම දැමිය. ඊට පෙර ගතවූ දශකය තුල ලංකාවේ සිදු වූ අනේක විද නොපණත්කම් වලට වගකිවයුත්තන් කවුදැයි ලංකාවේ බහුතරයකට රහසක් නොවීය. එබැවින් ජනතාව මේ චූදිතයන්ට දඬුවම් ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේය. 

කාලය ගතවිය. බලාපොරොත්තු වූ කිසිවක් සිදු නොවීය. දරුණු අපරාධවලට වගකිව යුතු බවට ජනතා අධිකරණයේ තීන්දු වූ චූදිතයන් පවා පසු කලකදී චෝදනා පත්‍ර සකස්කළ පුද්ගලයන් සමග කරට අත දාගත්තේය. බොහෝ සිද්ධීන් අතර මම "නාලන්ද එල්ලාවල" නාමය පමණක් සිහි කරමි. 

දිගින් දිගටම සිදුවූ මේ ජන මුලාවේ කූටප්‍රාප්තිය පැමිණියේ 2015 මැතිවරණයේදීය. එය චෝදනාවලින් පිරි ඉතිරී ගිය මැතිවරණයක් විය. රත්තරන් අශ්වයන්, හෙලිකොප්ටර්, විදේශ බැංකු ගිණුම්, ක්‍රිෂ් ගනුදෙනුව, තජුඩීන් ඝාතනය, රටපුරා සිදුවූ උද්ඝෝෂකයන් ඝාතනය, වනාන්තර විනාශය ආදී දහසක් චෝදනා කරලියට පැමිණියේය. මැතිවරණය දිනූ සැණින් ගුවන්තොටුපළවල් වසා වගකිව යුත්තන්ට දඬුවම් දෙන බවට රනිල්-සිරිසේන වේදිකාව ගිගුම් දුනි.  

ඔවුන් ජය ලැබිය. වසර පහකට ආසන්න කාලයක් ගතවිය. කිසිම චූදිතයෙකුට දඬුවමක් ලැබුණේ නැත. කිසිඳු අපරාධ චෝදනාවක් අරඹයා නිසි නීතිමය ක්‍රියාපටිපාටියක් අනුගමනය නොවීය. තාජුඩින් දේහය මැතිවරණ සමයට පමණක් ගොඩ ගන්නා ප්‍රදර්ශකයක් විය. කැළෑ පාලුවෝ ආණ්ඩුව සමග අත්වැල් බැඳ ගත්හ.  

මෙය මහජනතාවට පමණක් නොව, චූදිතයාටද කරන ලද බරපතල අපරාධයක් ලෙස මට පෙනෙයි. ඔබ යමෙකුට චෝදනා කරයි නම් එය සනාත කිරීමට නිසි ක්‍රියාමාර්ග ගැනීමද ඔබ විසින් අනිවාර්යයෙන්ම කල යුතුය. නොඑසේ නම් ඔබ කරන ලද චෝදනා ප්‍රසිද්ධියේ ඉල්ලා අස් කරගෙන චූදිතයාගෙන් සමාව ගත යුතුය. එපමණකුදු නොව බොරු චෝදනා කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාදාමයන්ට මුහුණ දීමටද සූදානම් විය යුතුය. 

රනිල්-සිරිසේන රජයට සම්බන්ධ කිසිවෙකුටත් මේ ක්‍රියා මාර්ගය නොගෙන නැවතත් ජනතාව අතරට පැමිණ චන්දය ඉල්ලීමට ඇති සදාචාරාත්මක (වෙනත් දියුණු රටක නම් නීතිමය) අයිතිය කුමක්දැයි මම අසමි.

පසුගිය රජයට එරෙහිව පවතින මහා බැංකු වංචාව ඇතුළු අනෙකුත් සියළුම චෝදනා පිළිබඳවද කිව යුත්තේ එපමණකි. චූදිතයා, චෝදකයා සමග අත්වැල් බැඳ ගනී දැයි අසරණ වූ ජනතාව බලා සිටියි. 

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉතාම අකාලීනව, පැහැදිලිවම පෙනෙන පටු පරමාර්ථ හමුවේ චෝදනා එල්ල වන විට ජනතාවට දැනුනු වේදනාව, මියගිය තාජුඩින් ක්‍රීඩකයාගේ දේහය හමුවේ දේශපාලකයන් කරන විප්‍රකාර නිසා එම පවුලටද ඇතිවන බව අප අවබෝධකරගත යුතුය. නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව දේශපාලකයන්ට මැතිවරණ හමුවේ එල්ල කරන චෝදනාද එම පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කෙතරම් සිත්වේදනා ගෙනදේ දැයි අප කල්පනා කර බැලිය යුතුය.   

රංජන් රාමනායකගේ ප්‍රකාශය සදාකාලීන යතාර්ථයක් නොවන බවට වග බලා ගැනීමට නීතිමය අණපනත් පැමිණවිය යුතු යැයි මම යෝජනා කරමි. මන්ද එම ප්‍රකාශයේ නියමාර්ථයෙන්ම ගත් කල මෙහිදී ජනතාව අතිශයින්ම අසරණ වන බැවිනි.

 


2 comments:

  1. එකඟයි. ගෝඨා ගැන යම් බලාපොරොත්තුවක් ඇතත් මහින්දට/නඩයට අකමැතිය. රනිල්/සිරිසේන ඩබලට ඊටත් වඩා අකමැතිය.

    ReplyDelete
  2. 'රන්ජන් රාමනායකට ජයවේවා!' ප්‍රතිලෝම.blogspot.com.

    ReplyDelete