Thursday 7 April 2022

ඉන් ඉක්බිති ...

බොහෝ දේ පොතේ විදියටම සිදුවෙයි. ආර්ථික වියසනය සිදුවී දැන් මාස හයක් ඉක්ම ගොස් ඇත. ඉන් අනතුරුව පැමිණෙන සමාජ වියසනය පමා කිරීමට ඇති එකම පවුර බිහිවී ඇත. ඒ මහජනතාව තුල ඇති ඉහල සාක්ෂරතවයයි. නූගත් සමාජයක් බිඳ වැටෙන විට මුලින්ම ඇතිවන කඩ සාප්පු ගිනි තැබීම්, මංකොල්ලකෑම් වැනි කාරණා ඉහල සාක්ෂරතාවයක් ඇති රටක සිදුවීමේ සම්භාවිතාව අඩු බව සමාජ මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි. එය දැන් සාක්ෂාත් වෙමින් පවතී. පොතේ තිබුණාට, බොහෝ දෙනෙක් මෙවන් යම් දුරකට සබුද්ධික සහ සංයමයකින් යුත් සමාජ නායකත්වයක් බිහිවෙතැයි බලාපොරොත්තු වුවේ නැත.

ජනතා නායකත්වය සබුද්ධික වුනාට ආණ්ඩුව අබුද්ධිකය. දැන් සමස්ත ආණ්ඩුවම රාජපක්ෂ නඩය සහ ඔවුන්ගේ ඉඳුල් පතට කෙලහලන ජොන්ස්ටන් සහ රත්තරන් වැනි මන්ද බුද්ධික මැරයන් කිහිප දෙනෙකුට ලඝු කල හැක. ඔවුන් මොර දෙන්නේ සිදුවන්නට යන දේ පිළිබඳව මෙලෝ අවබෝධයක් නොමැතිවය. සබුද්ධික ජන සමුහයක් වියරු වැටෙන විට එය ඉතා බිහිසුණු මුහුණුවරක් ගනී. එය පැරකුම් සමුදුරේ වේල්ල බින්දා හා සමාන වනු ඇත. අද හෝ හෙට රතු ඉර පනිනු ඇතැයි මට සිතෙයි. 

"බය වෙන්න එපා ස' මම දෙන්නම් නියමෙට" ආදී වශයෙන් දෙකයි පනහේ බාල කතා කියමින් රාජපක්ෂලාව සනසන ජොන්ස්ටන්ලා තමන් ලෝකල් හොරුන් බවවත් තේරුම් ගෙන නැත. රාජපක්ෂලා තම චංචල දේපල මේ වන විටත් රටින් පිට කර ඇතැයි මට සිතෙයි. ඔවුන්ගේ පවුල්ද දැනටමත් රටින් පිටවී ඇති බවට රාවයක් පවතී. ඔවුන් බලය අත හරින්නේ ඈත එපිට දේශයක සිටය. ජොන්ස්ටන්, රත්තරන්, කෙහෙළිය, බන්දුල ආදීන් සිරිසංඝබෝ චරිතයට පණ දෙනු ඇත. 

රාජපක්ෂලා පිටරටකට ගොස් සතුටින් සාමයෙන් ජිවත් වීමට සිතනවා නම් එය බොඳවන සිහිනයකි. මේ වන විටත් බොහෝ රටවල වෙසෙන ලාංකිකයෝ ඔවුන්ව සාදරයෙන් පිළිගැනීමට සැදී පැහැදී සිටිති. ශාරීරික හානි කෙසේ වෙතත් ඔවුන්ට දැඩි මානසික පීඩනයකින් ජිවිතයේ ඉතිරි කාලය ගත කිරීමට සිදුවනු ඇත. 

අප මේ ගත කරන්නේ සංක්‍රාන්තික හෝරාවකි. මේ සමුද්දේශ රාමුවේ සිට ඔබට අනාගත වැඩපිළිවෙල හෝ නායකත්වය නිර්ණය කල නොහැක. සුනුවිසුණු වන දේශපාලන අධිකාරිය සහ දුෂිත දේශපාලකයාගේ ඉරණම දකින අනෙකුත් අමන දේශපාලුවන් බියෙන් තැති ගෙන ඉබේටම දේශපාලන කරලියෙන් විසිවනු ඇත. අභීත, අවංක පිරිස පමණක් ඉදිරියට පියමන් කිරීමට දිරිය ලබනු ඇත. 

ඉන් ඉක්බිතිව අප කුමක් කල යුතුදැයි සිතමු. 



3 comments:

  1. මම හිතන්නේ ඔය කියන තරම් කේස් එකක් වෙන එකක් නෑ මොකද ලංකාවේ උද්ඝෝෂණ ව්‍යාපාර වලට නායකත්වයක් දිය හැකි ශක්තිමත් කෙනෙක් තවම බිහි වී නෑ, ඒ වගේම ත්‍රාඩ පක්ෂ හොර හැත්ත එලවලා බලය බාර ගන්න ලංකාවේ දේශපාලන ක්ශේත්‍රයේත් පිටත් කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ, එහෙම එන්න තරම් හැකියාවක් ඇතොත් රනිල් සහ පාඨලී චම්පික රණවක විතරයි නමුත් ඒ දෙදෙනාටත් විශාල ජන ආකර්ෂණයක් නෑ. ඒ නිසා රාජ පක්ෂලා යම් යම් නිලධාරීන් දාගේන අයි එම් එෆ් සහ ඇමරිකන් ඉන්දියන් යුරෝපීය කලාපීය න්‍යාය පත්තර වලට අනුව වැඩ කරයි, කොහොමත් එක්සත් ජනපදයට සහ ඉන්දියාවට ඕන ඉතාමත් දුර්වල රජයක් සහ දුර්වල ආර්ථිකයක් සහිත පාලිත ලංකාවක්; මේ කලාපයේ චීන ව්‍යාප්තවාදය පාලනය කිරීමට, ඒ නිසා ණය බරෙන් මිරිකෙන අයි එම් එෆ් පාලනය සහිත දුබල ලංකාවක් පවතීවි තව දශකයක්වත් යනකම්. රාජ පක්ෂලා ඇමරිකන් සහ ඉන්දියන් ආණ්ඩු සමග හොඳින් ඩීල් දමාගෙන දැනටමත් අවශ්‍ය තරම් ආරක්ෂාව සලසාගෙන තියෙන්නේ, කොහොමත් ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙම මගුලක් සති දෙකෙන් අමතකයි නේ, ආණ්ඩුව මාරු වුණත් ඊළඟ ආණ්ඩුවත් වැඩි කල් තියෙන එකක් නෑ, මේ සෙතේම තමයි, එහෙම රටින් පැනල ගියත් තව වසර කීපයකින් 2025 විතර වෙද්දි ආයෙත් නාමෝලා පිට රට ඉඳන් 94 චන්ද්‍රිකා ආව වගේ ආයෙත් ආවොත් දියසෙන් කියලා පාවඩ දාල පිළිගන්න අප්පුලා ඉන්න රටක්, ඒ නිසා වැඩිය බලාපොරොතු තියා නොගෙන උපේක්ෂාවෙන් බලන් ඉමු.

    ReplyDelete
  2. //ජොන්ස්ටන්, රත්තරන්, කෙහෙළිය, බන්දුල ආදීන් සිරිසංඝබෝ චරිතයට පණ දෙනු ඇත. //

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් බහුතරය කැපුවත් ජොන්ස්ටන්. හේතුව ඔවුන්ගෙන් බර ගාණකට ත්‍රීවිල් අරං දී ඇත්තේ ජොන්ස්ටන් ‍වීම. ජොන්ස්ටන් ඇමතිකම් ගත් හැම අමාත්‍යාංශයක්ම කුරුණෑගල මිනිස්සුන්ගෙන් පිරෙව්වා. ජොන්ස්ටන්ගේ ගෙදර ගිය මිනිහෙක් නොකා නොබී ආවේ නැහැ. තහඩුවේ, සිල් රෙද්දේ සිට සල්ලි බෙදීම දක්වා සියල්ලම ජොන්ස්ටන් කර ඇත. ජොන්ස්ටන් හැමදාම දින්නේ එබැවිනි. සිස්ටම් එක යනු මෙයයි. ජනතාවගේ මුදල් සොරකම් කර එයින් උකුණු පු|ක|ක ප්‍රතිලාභයක් ජනතාවට දී දේශපාලන අධිකාරය පවත්වා ගැනීමයි. ඒ උකුණු පු|ක|ක් තරමේ ප්‍රතිලාභය රැකියාවක් ලෙස, සිල් රෙද්දක් ලෙස, තහඩුවක් ලෙස සමහර විට රුපියල් 5000ක්, අරක්කු බෝතලයක් ලෙසද පැමිණේ. නමුත් ඒ මස් කට්ට මිස මස් නොවේ. මස් රස නොදන්නා මිනිස්සු මස් කට්ටද මස් යැයි සිතා රැවටෙති. දැන් සිදුවී ඇත්තේ මිනිස්සුන්ට මස් කට්ටද අහිමිවීමයි. අප අරගල කල යුත්තේ මස් රාත්‍තලම ජනතාව සතු බව ජනතාවට ඒත්තු ගැන්වීමට මිස ජනතාවට මස් කටු ලබාදීමට නොවේ. මේ නිසා මම හිතන්නේ මේ කියන විදිහට ජොන්ටාට මුකුත් වෙන එකක් නෑ ඌට තාමත් විශාල පිරිසක් ගෙන ගොස් පිරිස් බලය පෙන්වන්න පුළුවන්. නමුත් ආණ්ඩුව මේ රැල්ල පාලනය කිරීමට උපක්‍රමශීලී ලෙස පහු බහින බව පේනවා. වැඩේ අල වෙනවා නම් ජොනියාගේ මැර බලය යොදා ගැනීමට පුළුවන් වේවි. ජොන්ස්ටන්, රත්තරන්, කෙහෙළිය, බන්දුල ආදීන් අනිත් පැත්තෙන් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර වැනි අය සමග හොරෙන් ඩීල් දාගෙන ඉන්න නිසා 2015 -19 කාලේ ලංකාවේ කරපු බොරු මාධ්‍ය සංදර්ශන වගේ දේවල් ටිකක් පෙන්වා තත්වය සමනය වූ පසු නිදොස් කොට නිදහස් කරන එක තමයි අපට ගොඩක් වෙලාවට දකින්න වෙන්නේ ලංකාවෙ තත්වය ලිබියාවේ ගඩාෆි මැරුවා වගේ වෙන එකක් නෑ.

    #GoHomeGota2022
    #gohomerajapaksas
    #මාරවැඩේලංකාවටෞනේ

    ReplyDelete
  3. හැමෝම කියන්නේ රටේ වියවස්ථාවෙන් පිට දේවල් කරන්න, ඒ කියන්නේ වල් බුරු තර්ක. එහෙමනම් හමුදා ආණ්ඩුවක් තමය් විකල්පය, එකට සජිත් අනුර කැමැතිද?

    වුර්තිකයන් රට බාරගෙන ගොඩගනී කියලා හිතන්න බෑ.

    වුර්තිකයන් ලංකාවේ දේශපාලනයට කවදත් එන්නේ නැත්තේ අපහාස නිසා, තිරුකුමාර් නඩේසන් පරම්පරාවෙන්ම පොහොසත් කෙනෙක්, UNP කාරයෙක් , මහරාජා එකේ කොටස් කරුවෙක්, නිරුපමා ගේ දේශපාලනය නිසා අද තිරුකුමාර් හොරෙක් වී ඇත.

    ReplyDelete