Monday 11 April 2022

නික්ම යන අතර


ලංකාවේ ගතකල ඉතා අවිවේකී දින දහයක් අවසන්විය. මේ ලියන්නේ ජොහැනස්බර්ග් නගරයට යන අතරතුර කටාර් ගුවන් තොටුපලේ සිටයි. ලංකාවේ සිටි කෙටි කාලය තුල මම රටෙහි සැබෑ තත්වය සැබවින්ම අත්වින්දෙමි. අරඟලකාරයන් මෙන්ම අරඟල කාරකයන් සමගද සංවාදයේ යෙදුනෙමි. ඒ තුලින් මා ලද අවබෝධය මෙලෙස ලියා තබමි.

මේ මොහොතේ අරඟලය කේන්ද්‍රගතවී ඇත්තේ ගෝඨාභය විරෝධය වටාය. ඒ නිසා එම චරිතය පිළිබඳව කියවීමකින් ලිපිය අරඹන්නට සිතුවෙමි.

යුධ සමයේ ගෝඨාභය වටා රොක් වූ think tank කිහිපයක් විය. එහි සාමාජිකයන් වුයේ කිසිඳු දේශපාලන ලාභයක් හෝ ස්වාර්ථයක් නොපැතූ උණ කාරයන් පිරිසකි. ඔවුන් යුධ කටයුතුවලට අදාළ නොයෙකුත් ක්ෂේත්‍රයන්හි නිපුණයන් විය. ගෝඨාභය ඔවුන්ට ඉතා සාවධානව ඇහුම්කන් දුන්නේය. ඉන්පසු ඔහු ඍජු ඉක්මන් තීරණ ගත්තේය. ඔහුගේ අණ රාජ අණ විය. යම් මර්මස්ථානයකට රේඩාර් පද්ධතියක් අවැසි යයි තීරණය වූ විට ඔහු ඒ සඳහා පැහැදිලි අණක් දුනි. කියූ කාලය තුල, අදාළ specifications අකුරටම පවතින රේඩාර් පද්ධතියක් සඳහන් කල ස්ථානයේ ස්ථාපිත විය. රේඩාර් පද්ධතිය සඳහා නියම මිළ ඩොලර් මිලියනය නම් සමහර විට එයට ඩොලර් මිලියන එකහමාරක් වැය වන්නට ඇත. අමතර මිලියන භාගය ගියේ කොතනකටදැයි මම නොදනිමි. කෙසේ නමුත් අවශ්‍ය උපකරණය, අවශ්‍ය දිනට, අවශ්‍ය ස්ථානයේ ස්ථාපිත විය. මේ කරුණු මට දෙවෙනි, තුන්වෙනි පාර්ශව වලින් ලැබුණු information නොවේ.

සංසරණය වූ තොරතුරු අනුව ගෝඨාභය ජනාධිපතිවරණයට පැමිණෙන්නේ කැමැත්තකින් නොවේ. මා සිතන ආකාරයට මේ සඳහා ඔහුට බලපෑ කාරණා දෙකක් තිබුණි. පළමුවැන්න නම් තමාට එරෙහිව ගොනු වූ නඩු හබ වලින් නිදහස් වීමයි (එම චෝදනාවල හරි-වැරදි කීමට මම නොදනිමි). දෙවැන්න නම් රට දියුණු කිරීමට ඔහු තුල වූ අවංක උවමනාවයි. 

අවාසනාවට දේශපාලනය යනු වෙනස් පන්දු කෙළියක් බව ගෝඨාභය අවබෝධ කරගෙන නොතිබුණු බව පෙනෙයි. 

ගෝඨාභය ජනාධිපති වූ පසු සියල්ල ඔහු නොසිතූ ලෙස වෙනස්විය. දේශපාලන කරලියේ ඔහු අත දරුවකු විය. ඔහුගේ මේ නොමේරූ ස්වභාවය ඔහු වටා සිටි අන්ඩපාලයන් මැනවින් කළමනාකරණය කළේය. තම අණසක පතුරනවා වෙනුවට ඔහු ජොන්ස්ටන්ලා සහ අනෙකුත් රාජපක්ෂලාගේ රූකඩයක් බවට පත්වී ඇත. රට වේගයෙන් අගාධයේ පතුලට යන බව තේරුම් ගැනීමටවත් ඔහුට ඉඩක් නොදී ඇති බව මට වැටහෙන කරුණයි. ඔහුව කොතරම් විසුළුරූපී තත්වයකට පත් කර ඇද්දැයි ඔබට වටහා ගැනීමට ඇති හොඳම උදාහරණය පසුගියදා ඔහුව කිසිඳු හේතුවකින් තොරව පාර්ලිමේන්තුවට රැගෙන විත් ජොන්ස්ටන් ප්‍රමුඛ කිහිප දෙනෙක් විසින් කරන ලද බම්මන්නාට ඇන්දවීමයි. ඔහුට කතා කරන්න කරුණු සපයන, ප්‍රසන්නව සිනාසෙන්න, ඇඟේ ඉරියව් සකස් කරගන්න උපදෙස් දෙන අයම ඔහුට ඒවා කරගත නොහැකිව වේදිකාව මත අනාගනිද්දී වේදිකාව පිටුපස සිට ඔච්චම් කරමින් සිනාසෙයි.

මේ වන විට ආණ්ඩුව තුල මෙන්ම විපක්ෂයේද ඇත්තේ අති සංකීර්ණ තත්වයකි. ආණ්ඩුවේ සිටින තක්කඩියන් බහුතරයකට තම අනාගතය අස්ථිරය. මේ නිසා ඔවුන්ට ගෝඨාභයගේ පැවැත්ම අත්‍යවශ්‍යය. එය මැක්කාට බල්ලාගේ අවශ්‍යතාවය වැනිය. විපක්ෂයේ සිට ජනාධිපති සූට්‌ මසන කිහිපදෙනෙකුටද මේ අවස්ථාවේ ගෝඨාභයගේ නික්ම යාම අවාසි සහගතය. ඔවුන්ට තම ඇඳුම සකස්කරගැනීමට තව කල් අවශ්‍යය. අනෙක් අතට බැසිල් හා ඔහුගේ හෙන්චයියන් බොහෝ විට ගෝඨාභයගේ නික්ම යාම පතනවා විය හැක. ඒ ඔවුන් තුල බැසිල් ජනපති ලෙස නම් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කැමැත්ත ලබා ගත හැකි යයි පවතින දැඩි විශ්වාසය නිසාවෙනි. 

ජනතාවගේ පසින් #Gotagohome ව්‍යාපාරය ඉතා වැදගත්ය. ගෝඨාභයගේ ඉලක්ක හෝ අරමුණු කෙසේ වෙතත් කිසිවක් කරගත නොහැකි රූකඩයකින් රටකට ඇති කිසිම වැඩක් නැත. ගෝඨාභය ඉවත්කිරීම තුලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මුළු රාජපක්ෂ පවුලම නෙරපා හැරිම (බොහෝ විට දඟ ගෙයි ලැම) බව පෙනෙයි. නමුත් ඔවුන් අතිශයින්ම කල්පනාකාරී විය යුත්තේ ඔවුන් තවත් රාජපක්ෂ කෙනෙකුගේ මනදොළ පුරවන ඉත්තන් බවට පත්වී නොසිටිමටයි. 

දැනට සිටින සහ ළඟදී තනතුරු අතහැරිය ඇමතියන් සියළු දෙනාම පාහේ කිසිඳු දැක්මක් හෝ ප්‍රතිපත්තියක් නැති ගන්ධබ්බයන් පිරිසකි. ඔවුන් බලා සිටින්නේ තමන්ට තව ටික දිනක් හෝ සොරා කෑමට හැකි ගර්භාෂයක් ගැන ඉව අල්ලමින්ය. විපක්ෂයේ සිටින බහුතරයක්ද මීට නොදෙවෙනිය. කවුරු කෙසේ කීවත්, පැතුවත් ඉදිරියේ යම් කාලයක් රට ඉදිරියට ගෙන යා යුත්තේ මේ අසමත්ජාතියන් (අසමජ්ජතියන්) සමගය. 

රට මේ වන විට ආර්ථික සහ සාමාජීය පුපුරා යාමකට ආසන්නය. නමුත් තවමත් සෑහෙන පිරිසකට රාජපක්ෂලා සමග මෙම ගමන යාමට නොහැකි බව නොපෙනෙයි. රාජපක්ෂලා කරලියෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කල යුතුය. පිළිකාව ඉවත් නොකර පිටත ඇති වණයට පැලැස්තර දැමීමෙන් පලක් නොමැත. 

විය යුත්තේ කුමක්දැයි මට හැඟෙන සංකල්පය නිවෙසට ගිය පසු මා ලියා ඉදිරිපත් කරන්නම්. 


3 comments:

  1. ගෝමස් මහතාගේ අදහස් විමසා බැලීමේදී අපට පෙනී යන්නේ මෙම අර්බුධය සදහා විසදුමක් ලෙස අප සියලු දෙනා එකතුව මෙම වලෙන් ගොඩ ආ යුතු බවය. එයට එකග වෙමු. ස්තුතියි.

    ReplyDelete