කුඩා අවදියේ මා බොහෝ පෝය දිනවල මගේ මව සමග වජිරාරාමයේ සිල් සමාදන් වීමට ගියෙමි. එහිදී වැඩිහිටියන් අතර ඇතිවුන සමහර දෙබස් මට තවමත් යන්තමින් මතකය. පසු කලෙක මම මේ ආවර්ජනා විශ්ලේෂණය කලෙමි. එහිදී මට හැගුනේ මගේ මවද ඇතුළු එතන සිටි කිසිවෙක් තමන් සිල් සමාදන් වන්නේ "ඇයි" කියා සිතාවත් නැති බවයි. ඔවුන් බොහෝ දෙනෙකුට සිල් ගැනීම කාලයක් තිස්සේ කල නිසාම කලයුතු කර්තව්‍යයක් විය. එක් මසක් හෝ සිල් ගැනීමට නොහැකි වුවහොත් ඔවුන් ඊළඟ පොහොය දිනයේදී වරුවක් පමණ පැමිණ සිටින අය සමග එයට හේතු පාදක වූ කරුණ කියමින් විස්සෝප වෙයි.
නමුත් මේ සිල් සමාදම් වීම තුල මට ලෝකය පිළිබඳව බොහෝ කරුණු රැස් කරගත හැකි විය. නාරද හාමුදුරුවන්ගේ සහ මඩිහේ පඥාසිහ නාහිමියන්ගේ බණ කතන්දරවලට මම බෙහෙවින් ඇලුම් කලෙමි.
ඒ දිනවල අපේ නිවසේ උදවිය නින්දට යන්නේ මධ්‍යම රාත්‍රියට ආසන්නවය. එතෙක් ලෝකේ රටේ සිදුවීම්, දේශපාලනය, මෙන්ම ආගම පිළිබඳව සාකච්චා, සංවාද, විසංවාද ඇතිවෙයි. එකල රුපවාහිනිය ලංකාවට ආගන්තුක විය. මේ නිසා මිනිසුන්ට කතා බස් කරන්නට බොහෝ කාලය තිබුණි.
මම බුදු දහමින් නොනැවතී කිතුනු, හින්දු, ඉස්ලාම් ධර්මයන් පිළිබඳවද තොරතුරු එකතු කිරීමට බොහෝ සේ උනන්දු වුනෙමි. එපමණක් නොව හිප්නොටිසම්, මැස්මරිසම් ආදී මෝහන විද්‍යාවන් පිළිබඳවද හැදෑරුවෙමි. මගේ සීයා සමග එකතුවී යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, හඳහන් බැලීම, සර්ප විසට වෙදකම් කිරීම ආදී කටයුතුවලටද සහභාගී වුනෙමි.
----------------------------
හයවන ශ්‍රේණියට පමණ පා තබන විට මගේ මේ සුන්දර කාල පරිච්චේදය නිම විය. එතැන් සිට තිබුණේ හැල්මේ දිවිල්ලකි. ගෙවුණු හැම දිනකම මම ජීවිතය උපරිම වින්දෙමි. එහෙත් ආගම-දහම පාසල් විෂයකට පමණක් සිමා විය. මේ අතරම පන්සලට අමතරව හින්දු කෝවිලටත්, කතෝලික සහ මුස්ලිම් පල්ලියටත් සමහර අවස්ථාවල ගියෙමි. එහෙත් ආගම-දහම පිළිබඳව ගැඹුරින් සිතීමට උත්සහ නොකලෙමි.
----------------------------
මම ආගම-දහම ගැන නැවතත් හිතන්න වුයේ ඉන් වසර 30 ට පමණ පසුවය. මෙවන විට මම ලෝකය පුරාම සමාජ අත්දැකීම් ලබා සිටියෙමි. ජිවිතය හැලහැප්පීම්, වැටීම්, නැගිටීම් අතරින් සෑහෙන දුරක් ඉදිරියට ගොස් තිබුණි. කුඩා කල පටන් රැස් කල තොරතුරුත්, විවිධ රටවලදී දුටු බුදු දහම ඇතුළු අනෙකුත් සියළුම ආගම් පිළිපදින පුද්ගලයන් ඇසුරු කර ලැබුණු අත්දැකීමත් තුලින් මා මනසින් මුහුකුරා ගොස් තිබුණි.
----------------------------
"අපට ආගමක් හෝ දහමක් අවශ්‍ය ඇයි"? මම මගෙන්ම ඇසුවෙමි.
මගේ මනසට ලැබුණු එකම පිළිතුර "සතුටින් සහ සැහැල්ලුවෙන් සිටීමට" කියාය. එය ආගමකින් දහමකින් ස්වායත්ත වූ පිළිතුරක් විය.
මම මේ පැනය දන්නා හඳුනන බොහෝ දෙනෙකුගෙන් ඇසුවෙමි. ඔවුන් සෑහෙන පිරිසකට මගේ ප්‍රශ්නය තේරම් ගැනීමද ප්‍රශ්නයක් විය. බොහෝ දෙනෙකුගේ පිළිතුර වුයේ තමන්ගේ ආගම නිවරදි නිසා බවයි. සමහරුන් පැවසුවේ ලෝකයට වැඩදායක පුද්ගලයෙකු වීමට බවයි. මේ අතර දෙවියන්ට සේවය කිරීමට, අනෙක් අයට කරදරක් නොමැතිව ජීවත්වීමට ආදී පිළිතුරුද විය.
මේ සෑම පිළිතුරක් ගැනම ගැඹුරින් සිතා බලද්දී මට පෙනී ගියේ ඔවුන් මේ කියන අරමුණට යද්දී ඔවුන්ගෙන් මුලින්ම ගිලිහෙන්නේ සතුට සහ සැහැල්ලුව බවයි. මේ ගැන තවත් ලිපියකින් මම දීර්ඝව සකච්චා කරන්නම්.
"සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවත්වීමට ආගමක් - දහමක් අවශ්‍යමද? මේ මම ඊළඟට මගෙන්ම ඇසූ පැනයයි.
මෙම ප්‍රශ්නය මට පුළුල් සහ සුවිසල් ලොවකට දොර විවර කර දුන්නීය.
ආගමක් යනු කුමක්ද? ආගම්, දහම්, ඇදහීම්, විශ්වාස ඇතිවුයේ හෝ ඇති වන්නේ ඇයි? ඒවා සමහර විට ලත් තැනම ලොප් වීමටත් සමහර විට සහශ්‍ර කිහිපයක් පවතින්නත් හේතුවන්නේ කුමන සාධකද? එසේ දිගු කල් පැවති ආගම් කලකදී නැතිවෙන්න හේතු මොනවාද? ආගමක සහ දහමක වෙනස කුමක්ද? ආදී ගැටළු රාශියක් මට ඇති විය. මේ ගැන වැටහීමක් ඇති කරගන්න වසර 12ක් පමණ මම වෙහෙසෙන්නෙමි. මේ මොහොත එහි අවසානය නොවනු ඇත. මේ ගැටලුවලට මා සොයාගත් පිළිතුරුද එම පිළිතුරු කාලයත් සමග විපර්යාසයන්ට භාජනය වූ අයුරුද මගේ බ්ලොග් සටහන් කියවන විට ඔබට මැනවින් අවබෝධ වනු ඇත. සමහර කාරණා මා ලිව්වේ ඉංග්‍රීසි බසින් පමණි. එයද හේතුවක් ඇතිවය.
----------------------------
ඉහත ගැටළු එකින් එකට පිළිතුරු මවිසින්ම සපයා ගනිද්දී මට මා ඉන්නා බහළුම හෙවත් පෙට්ටිය ගැන ටිකෙන් ටික අවබෝධ වන්නට විය. ආගම යනු මානවයා ඒකරාශී වීම තුලින් ආරක්ෂාව පැතීමක් බව මට අවබෝධ විය. එය ශිෂ්ඨාචාරය පවත්වා ගැනීමේ ලා මහඟු කාර්යයක් කරන බවත් මට වැටහුණි. එම කාර්යභාරයේ ධනාත්මක ඵල මෙන්ම ආගම-දහම දඩමීමා කරගෙන ඒ තුලින් වැජඹෙන තක්කඩියන් නිර්මාණය කරන ඍණාත්මක ඵලද ඔබට එකසේ ලැබෙනු ඇත.
"ඔබ නිරාගමිකද?" සමහරුන් මගෙන් අසයි.
නිරාගමික යනු තවත් ආගමකි. අද සමාජයේ සිටින නිරාගමික ලේබලය ගසා ගත් පුද්ගලයන් සිදුකරන්නේ තවත් එකම විදියට සිතන සමුහයක් ඇති කරගැනීමෙන් සමාජ-පරිසර රැකවරණය පැතීමයි. මට පෙනෙන ආකාරයට ඔවුන් ආගමිකයන්ටත් වඩා බලවත් චිත්ත පීඩාවකින් පසුවෙයි. ඊට හේතුව ඔවුන්ගේ සමුහය කුඩා වීම සහ අසංවිධානාත්මක වීම නිසා ඔවුන්ට දැනෙන අනාරක්ෂිත බවයි. ආගමිකයාට වගේම නිරාගමිකයාටද හිතේ සතුට සැනසීම මදය. මන්ද නිරාගමිකයාද සිටින්නේ පෙට්ටියක් තුල වීමයි. මෙම පෙට්ටියට පහර වැදීම ඔහුව හෝ ඇයව දුකට පත් කරයි. ඔබ පෙට්ටියෙන් ඉවතට පැමිණි විට කවුරු මොන පෙට්ටි කැඩුවත් මොන පෙට්ටි හැදුවත් එය ඔබට අදාළ දෙයක් නොවන බව වැටහෙනු ඇත.
----------------------------
මා මෙතෙක් පැවසුවේ අද ලිපියේ නිදාන කතාවයි.
මෙතෙක් දුරක් මා රැස් කරගත් අත්දැකීම් සහ තොරතුරු දෙස පෙට්ටියෙන් පිටතට විත් බලන විට පෙනෙන දසුන අතිශයින් චමත්කාර ජනකය. ඉංග්‍රීසි බසින් මෙම තත්වයට blissful යන පදය යෙදෙයි. ඔබ විසින්ම එය අත්දකින තෙක් ඔබට එහි ඇති අහ්ලාදය විඳගත නොහැක. බුදු දහමේ නියම චමත්කාරය පෙනෙන්නේ බුද්ධාගම නැමැති පෙට්ටියෙන් ඉවතට විත් ඒ දෙස බලන විටය.
මට ඉතා සරළව මේ කාරණය කීමට හැකි මෙලෙසයි.
"බුදුන් කී දේ අත්විඳීමට නම් ඔබ ඔබේ බෞද්ධකම හලා බුදු දහම දෙස බලන්න".
මේ නිදහස් මනසින් යුතුව මට වසර 30 ක් ඈත අතීතයට සිත යොමු කරන විට ලංකාවේ බෞද්ධයා පිළිබඳව බොහෝ දේ අවබෝධකරගත හැකි විය.
----------------------------
මේ වන විට මානව ඉතිහාසය පුර ආගම්, දහම් ලක්ෂ ගණනක් බිහිවන්නට ඇත. ඒවායින් අද වන විට ප්‍රාදේශීය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ඇත්තේ ආගම් දහයකට වඩා අඩු ගණනකි. ලෝක ඉතිහාසය ගත්තත් දීර්ඝ කාලයක් පැවතී ඇත්තේ ඉතා සුළු ආගම-දහම් ප්‍රමාණයකි. බොහෝ ආගම් බිහිවන්නේ යම් කාල-අවකාශ ලක්ෂයක සාමාජීය අවශ්‍යතාවයක් වෙනුවෙනි. එය කාල-අවකාශ වක්‍රයේ පුළුල් පැතිරිමකට භාජනය වෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ එය භාවිතයට ගන්නා පාලකයන්ගේ අවශ්‍යතාවය සහ හැකියාව මතය. ඒ පිළිබඳව මම වෙනමම පොතක් ලිවීමට අදහස් කරගෙන ඇති බැවින් මෙහි වැඩි විස්තර පල නොකරමි.
ලෝකයේ මානවයා ශිෂ්ඨාරගතවන්න වූ කාලයේ සිටම බිහි වූ අප දන්නා ආගම් විග්‍රහ කල හොත් මම හිතන විදියට ඉන් 99.99% ම මරණින් මතු පැවැත්මක් පිළිබඳව කියනවා. මගේ මතය නම් ඊට හේතුව එසේ නොකියන ආගම් බිහි නොවීම නොව, බිහි වූ ආගම් වැඩි කල් නොපැවතීමයි. ආගමක් බොහෝ විට බිහිවන්නේ සමාජ අවශ්‍යතාවයන් සපුරාලීමටයි. අදාළ සමාජ සංස්ථාවේ (නැතහොත් ශිෂ්ඨාචාරයේ) පැවැත්ම ස්ථාපිත කිරීමට උදව් නොවේ නම් එවන් ආගමකට, දහමකට පැවැත්මක් නැත.
මේ අතින් බලන කල බුදු දහම කිසිසේත්ම කාල - අවකාශ වක්‍රයේ කුඩා වපසරියකින් එපිටට යාමට හැකියාව නොතිබූ දහමක් ලෙස මම දකිමි. මට හැගෙන ආකාරයට බුදු දහම ව්‍යාප්ත වීමට මූලික හේතුව වන්නේ අශෝක රජු විසින් එය තම අධිරාජ්‍යයේ ප්‍රසාරණය සඳහා භාවිතා කිරීම යයි මට සිතේ. එවන විට සියවස් තුනකට ආසන්න කාලයක් තුල බුදුන් දෙසු දහම යම් යම් වෙනස් කම් වලට භාජනයවී ඊට වසර දෙතුන් දාහකට පෙර සිට පැවතී වෛදික දර්ශනයන් සමග මිශ්‍ර වී තිබෙන්නට ඇත. ඊට සියවස් කිහිපයකට පසු අද්වෛත වේදාන්ත ලෙස එළි බසින්නේ මෙම බුදු දහමෙහි වඩාත් සිත්ගන්නා සුළු (විශේෂයෙන්ම පාලක සහ පූජක පක්ෂයට) පිටපත (version එක) බව මට සිතෙයි.
----------------------------
නොපෙනෙන බලවේගයක් මගින් සමාජ සංස්ථාව ස්ථාවරව පවත්වාගෙන යාම මානව ශිෂ්ඨාචාරයේ මූලිකම පාලක උපකරණයයි. නමුත් මෙහි තිබූ අඩුපාඩුව විවිධ ආගම් අදහන පුද්ගලයන්ට අහඹුව ලැබෙන භාග්‍ය-අභාග්‍ය ගැටලුවක්වීමයි. X-ආගම අදහන පුද්ගලයෙක් ඉතා යස ඉසුරින් ජිවත් වෙද්දී Y-ආගම අදහන පුද්ගලයා ඉතා අවාසනාවන්ත ජිවිතයක් ගත කරයි. මෙය සමහර විට සමාජ පද්ධතියකටම ව්‍යාප්තවේ. එනම් සමස්තයක් ලෙස X-ආගම අදහන සමාජ පද්ධතිය සැප විඳින අතර Y-ආගම අදහන සමාජ පද්ධතිය දුක් විදියි. මෙය අද දක්වාම පවතින ගැටළුවකි. අති බහුතරයක් යම් ආගමක් අදහන රටවල් සමහර විට අන්ත දුප්පත් අතර වෙනත් ආගමක් අදහන රටවල් පොහොසත්ය. මීට එකම විසඳුම ඇත්තේ මරණින් මතු පැවැත්මක් පිළිගනිම තුල පමණි. එවිට, දුක් විදින මිනිසා "මරණෙන් පස්සේ එයා අපායේ, මම දිවිය ලෝකේ" යන ස්වයං-සැනසීමට පත්වේ. අදත් එය එසේමය.
වසර 20,000 ට වැඩි මානව ශිෂ්ඨාචාර ඉතිහාසයේ මේ සම්බන්ධයෙන් සිදු වූ එකම වෙනස සමාජ පාලනය යම් පමණකට නොපෙනෙන බලවේගය යන උපකරණයෙන් නීතිය යන උපකරණයට මාරුවීමයි. එහෙත් මේ නීතියට පවා තවමත් ආගමේ උපකාරයෙන් මිදීමට නොහැකි වී ඇත. උසාවියේ සාක්කි දෙද්දී තවමත් ආගමික පත පොතේ අත තබා දිවුරීමට බල කරන්නේ මේ නිසාය. තවමත් මානවයා නීතියට වඩා නොපෙනෙන බලවේගයට බියය. ඊට හේතුව නීතියට නොපෙනෙන තැන් super-human බලවේගයට පෙනෙන බව ඔවුන් විශ්වාස කිරීමයි.
වෛදික පද්ධතිය තුල ඉතා සංකීර්ණ සමාජ-පාලන තන්ත්‍රයක් නිර්මාණය කරගෙන තිබුණි. එය දෙවිවරුන් ගණනාවක් + කර්මය යන නොපෙනෙන බලවේගවලින් සහ ක්‍රමවත් සමාජ ධූරාවලියකින් (social hiarachy) සමන්විත් විය.
බුදුන් තම අනාත්ම වාදය ඉදිරිපත්කරන්නේ මෙවන් පසුබිමකය. "මම" යනු මතකය නිසා පවතී යයි හැඟෙන නැවත නැවත අළුත් වන සිතිවිලි සමුහයක් (මේ සඳහා ඔබට ඕනෑම වදනක් භාවිත කල හැක) පමණකැයි බුදුන් කියූ බව මගේ හැඟීමයි. මෙය වැරදි නම් මා ඉදිරිපත් කරන ප්‍රවාදයද වැරදි වෙයි. සිත, සිතීම, සිතුවිලි ආදී සියල්ලම මොළය හා සම්බන්ධ ක්‍රියාදාමයකි. මේ නිසා මරණයේදී "මම" යයි අදහස් කරගෙන සිටි භූතාර්තයද නැතිවී යයි. මෙයට එරෙහිව ඔබට ඇදහීමක් ගොඩනැගිය හැක. එනම් මරණින් මතු තවත් උත්පත්තියක් අල්ලා ගන්නා යමක් ඇති බවයි. නමුත් එය ඇදහීමක් පමණකි. එයට මොඩලයක් තැනිය හැකිද යන්න පවා ගැටළු සහගතය.
----------------------------
මා පසුගිය ලිපි කිහිපයකම පෙන්වා දුන්නේ සමාජය යම් බුද්ධි මට්ටමකට එළඹෙන තෙක් ඉහත සංකල්පය (දහම හෝ දර්ශනය) ඉතා භයානක බවය. එය මේ පිළිබඳව අදහස් පළකල බොහෝ දෙනා අසන ප්‍රශ්නයෙන්ම පිලිබිඹු වෙයි. සාමාන්‍යයෙන් මානව මනස සකස්වී ඇත්තෙම දඬුවමක් නැත්නම් අපට ඕනෑම දෙයක් කල හැකි බවට වන පූර්ව නිගමනයකින්. එය වසර විසි තිස් දහසක සිට සකස්වන්නකි. සමාජයේ බහුතරයකගේ අදහස පෙන්වා දෙන්නේද එයයි. මට පෙනෙන ආකාරයට බුදුන් දෙසු දහම පුරාම ඇත්තේ එසේ ප්‍රතිවිපාක (consequences) දෙන බලවේගයක් නොමැතිව මානවයා සතුටින්, සැහැල්ලුවෙන්, සමාජ-ස්ථාවරත්වය පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි. ඇත්තෙන්ම එය ඉතා අසීරු ගැඹුරු දහමකි. නමුත් මේ ගැඹුර ඇත්තේ අති බහුතරයක් දකින ළිං පතුලේ නොවේ යයි මට සිතෙයි.
----------------------------
අවසානයේදී කිව යුත්තේ යම් කාල-අවකාශ රාමුවකදී මම තේරුම් ගන්නේ මගේ දැනුම් සම්භාරයට සහ විශ්ලේෂණ හැකියාවට ග්‍රහණය වන පරිමාවයි. එයිනුත් වදනට නැගෙන්නේ මගේ මානසික අවස්ථිතිය තරණය කිරීමට හැකිවන හැඟීම් පෙළයි. මා කුමක් කිව්වත් ඔබ තේරුම් ගන්නේ ඔබගේ දැනුම් සම්භාරයට සහ විශ්ලේෂණ ශක්තියට ගෝචර වන වපසරියයි. එයිනුත් ඔබට කරුණු කාරණා අවබෝධ වන්නේ ඔබගේ මානසික අවස්ථිති රාමුවේ දිග පළල උස අනුවයි.
මේ නිසා මා ලියන කාරණා ඔබගේ අවබෝධයෙන් ස්වායත්ත බව ඔබ අවබෝධ කරගනිත්වා.






