Monday, 11 February 2019

ලංකාවේ සරසවි පර්යේෂකයන් වෙතට ලියන වග නම්



ඒ 2017 වසරේ දෙසැම්බරයයි. කැලණිය සරසවිය මගින් සංවිධානය කරන මානව සම්පත් සංවර්ධනය උදෙසා වූ  සම්මන්ත්‍රණයක් වන National Summit on People Management-2017 කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වුණි. එහි අධ්‍යයන අංශයේ ප්‍රධාන දේශකයා (academic keynote speaker) ලෙස මට ආරාධනා ලැබී තිබුණි

මගේ දේශනයේ මාතෘකාව වුයේ  "Need-based innovative research" යන්නයි. එහිදී මම අවධාරණය කර සිටියේ ඔබ කුමන පර්යේෂණයක් කලත් එහි ප්‍රතිඵල මුදල් බවට පත්කරගැනීමට මුල සිටම කල්පනාකාරී විය යුතු බවයි. අප වැනි රටක් මූලික පර්යේෂණ (basic research) වලට වඩා ව්‍යවහාරික පර්යේෂණ (applied research) කෙරේ වැඩි අවධානයක් යොමු කල යුතුය. පර්යේෂණ ව්‍යාපෘතියක අවසන් ඵලය පත්‍රිකාවක් හෝ පේටන්ට් බලපත්‍රයක් නොව ව්‍යාපාරික මොඩලයක් විය යුතුය. 

මේ මගේ දේශනයේ සංක්ෂිප්තයයි. 

ඉන් පසුව පැවතුනේ ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන ඇකඩමියේ අධ්‍යක්ෂිකා ආචාර්ය රාජේෂ්වරී නරේන්ද්‍රන් ගේ දේශනයයි. ඇය මා ඉදිරිපත්කල කරුණු තදබල ලෙස විවේචනය කරමින්, අප පර්යේෂණ කල යුත්තේ හිතේ සතුට උදෙසා මිස මුදල් ඉපයීම සඳහා නොවන බවත්, අප වැනි රටවලට අවශ්‍ය මූලික පර්යේෂණ කිරීම බවත් අවධාරණය කර සිටියාය. 

මම මුවින් නොබැන සිතින් දෙඩුවෙමි. 

"අප හිතේ සතුට වෙනුවෙන් පමණක් පර්යේෂණ කරන තාක් කල්; මූලික පර්යේෂණ වලම එල්ලී සිටින තාක් කල්; ඉන්දියාව බොහෝ සේ සතුටු වනු ඇත; යුරෝපය, ජපානය, ඇමරිකාවද සතුටු වනු ඇත............... අප දුකසේ ඔවුන් පසු පස සිගමනේ යනු ඇත".

ජපානය, කොරියාව, තායිවානය, සිංගප්පුරුව දියුණු වුයේ මා පවසන ඉහත ක්‍රමවේදය මතයි. ඔවුහු දශක කිහිපයකට පෙර සිටම ව්‍යවහාරික පර්යේෂණ වලට ජාතික තාක්‍ෂණ වැඩපිළිවෙලේ ඉහල ප්‍රමුඛතාවයක් දුන්හ. මෙහි ප්‍රතිඵලය වුයේ ඔවුන් එකවරම තාක්ෂණයේ ඉහලම තලයට ප්‍රවිෂ්ඨ වීමයි. 

මැලේසියාව පසුකලකදීද වියට්නාමය ඉතා මෑතකදීද මෙම මාර්ගයට පිවිසීය. මේ වන විට ඉන්දියාව මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් පසුවෙයි. ඔවුන් තොරතුරු තාක්‍ෂණය සහ කෘතිම බුද්ධිය ආශ්‍රිත දැනුමෙන් ලොව ජයගැනීමට සැරසෙයි.


මගේ සිත වසර 20ක් පිටුපසට ඇදී යයි. මට ලෙනාර්ට් හැසල්ග්‍රන් සිහිවෙයි. ඔහු එවකට ස්වීඩනයේ ISP ආයතනයේ භෞතික විද්‍යා කටයුතු අංශයේ ප්‍රධානියා විය. ඔහු මගේ අධ්‍යාපන ගමනේ අමතක නොවන චරිතයකි. මට ස්වීඩනයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වය ප්‍රදානය කලේ ISP ආයතනයයි. අපට ලබා දෙන හැම අනුග්‍රහයක්ම ලේනාර්ට්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය. 

අපි දිවා රාත්‍රී වෙහෙසවී මූලික පර්යේෂණ කළෙමු. ඉහල පෙලේ පත්‍රිකා රාශියකට දායක වුනෙමු. ස්වීඩනයේ පමණක් නොව ලංකාවේද අකුණු මගින් ඇතිවන විද්‍යුත් චුම්බක ක්‍ෂේත්‍ර පිළිබඳව ගැඹුරින් හැදෑරුවෙමු. 

ලෙනාර්ට් මා කෙරේ බොහෝ සේ පරිත්‍යාගශීලි විය. ලොව පුරා රටවල් රාශියක පැවති සම්මන්ත්‍රණ වල පත්‍රිකා ඉදිරිපත්කිරීම සඳහා ඔහු මට නොමසුරුව ආධාර කළේය. මෙහිදී මහාචාර්ය චන්දන ජයරත්නයන්ගෙන් ලැබුණු උදව් උපකාර සහ දිරි ගැන්වීමද මම ආදරයෙන් සිහිපත් කරමි. ISP ආයතනය සහ ස්වීඩන් රජයේ නොමසුරු පරිත්‍යාගශීලිත්වය නොවන්නට අද මම මේ සිටින තැනට නොපැමිණෙන බව නම් සහතිකය. ඒ ගැන මම අදටත් ඔවුනට කෘතඥ වෙමි. ISP එක මගින් කෙරුණු මෙම පරිත්‍යාගශීලීත්වය ආචාර්ය උපාධියෙන් පසුවද ටික කලක් නොඅඩුව ලැබුණි. 

එහෙත් 2001 ජනවාරියේ දිනක සියල්ල වෙනස්විය. 

එවකට මම භෞතික විද්‍යා කථිකාචාර්ය වරයෙකු වීමට අමතරව අකුණු ආරක්ෂක උපදේශකයෙකු වශයෙන්ද සෙමෙන් සෙමෙන් රට තුල ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් සිටියෙමි. මෙහිදී ක්ෂේත්‍රයේ මා දකින දේ මගේ හිතට වද දෙන්න විය. 

කොළඹ සරසවියේ පර්යේෂක කණ්ඩායම 1970 ගණන්වල සිට අකුණු පිළිබඳව හදාරමින් සිටියේය. ඒවන විටත් පත්‍රිකා රාශියකට අපේ විද්‍යාඥයන් දායක වී තිබුණි. ඒ මගින් දියුණු රටවල ව්‍යාපාරිකයන් බොහෝ  නිෂ්පාදන බිහි කරන්නට ඇත. එහෙත් එවන විට අපේ රටට අකුණු ආරක්ෂණයට සම්බන්ධ ඇණ මුරිච්චියේ සිටම පිටරටින් ආනයනය කරමින් තිබුණි. විය යුත්තේ මෙය නොවන බව මට වැටහුණි. ඒ මට අපේ දැනුම අපේ රටේ සුගතියට යෙදිය යුතුය යන උණ වැළඳී තිබුණු යුගයයි.


එවන විට මට අධ්‍යයනික පියකු (academic father) මෙන් සිටි ලෙනාර්ට් වෙත මම එදින දීර්ඝ ලිපියක් ලියුවෙමි. ස්වීඩනයේදී මා ලද දැනුම රටේ මුදල් උත්පාදනය සඳහා යෙදිය යුතු බවත් සියලුම ආකාරයේ විද්‍යුත් අකුණු ආරක්ෂණ උපකරණ (surge protectors) ලංකාවේ සෑදීමට අපට දැනුම සහ හැකියාව ඇති බවත් මම ඔහුට ලිව්වෙමි. මෙම උපකරණවල මුලික සහ තත්ව පරික්ෂාවන් සඳහා ධාරා ප්‍රභව සහිත ක්‍රමවත් අධි වෝල්ටීයතා පහසුකම් අවශ්‍ය වෙයි. මේ පිළිබඳව සකස් වුන ධාරිතා ගොඩනැංවීමේ යෝජනාවලියක්ද (capacity building proposal) මම ඊමේලයට ඇමුණුවෙමි 

පසුදා ලෙනාර්ට් මට කන කිස් කන පිළිතුරක් එවා තිබුණි. මා මේ තත්වයට (මා හිතන ආකාරයට මගේ ආචාර්ය පට්ටම) පැමිණුනේ මූලික පර්යේෂණ නිසා බවත්, ලංකාව වැනි රටකට සුදුසු වන්නේ මූලික පර්යේෂණ තුලින් ඉදිරියට යාම බවත්, මා එහි අගය නොදන්නා මෝඩයෙකු බවත් එහි සඳහන් විය. ස්වීඩනය විසින් ISP ආයතනය හරහා  දශක කිහිපයක් තිස්සේ ලංකාවට ලබා දුන් ඉමහත් ධනස්කන්ධය පිළිබඳවද එහි දීර්ඝ වශයෙන් සඳහන් විය. 

තවත් ඊමේල් දෙකක් පමණ හුවමාරු වූ පසු ලෙනාර්ට් සහ මා අතරවූ ගනුදෙනුව සදහටම නැවතුණි. මා ඔහු සොයන පුද්ගලයා නොවන බව ඔහුට වැටහෙන්න ඇත. එතැන් සිට මම මගේ පාඩුවේ මා යන ගමන ගියෙමි.

ඉන් පසු ගෙවුණු වසර 7-8 තුල මම හැකි හැම අයුරකින්ම දේශීය ව්‍යාපාරිකයන්ට අත හිත දුනිමි. සමහර ව්‍යාපාරිකයන් ඉතා ඉහලට එසවුණු අතර සමහරෙක් අතරමග නැවතුණි. මොන හේතුවකට හෝ මේ අවදියේදී මගෙන් වැඩිම ප්‍රයෝජනයක් ගත්තේ ඉන්දියානු සමාගම් කිහිපයක් විසිනි. 

කෙසේ නමුත් මා පර්යේෂණ ප්‍රතිදානයන් (research output) ව්‍යාපාරික මොඩලයන් බවට පරිවර්තනය කිරීමේ කලාව මැනවින් ප්‍රගුණ කලේ මැලේසියාවට පැමිණීමත් සමගමය. දකුණු අප්‍රිකාව, මා උගත් දේ මෙන්ම අත්දැකීම්ද ප්‍රයෝගිකවම වාණිජකරණය කිරීමට තෝතැන්නක් බව පෙනෙයි. 

ලංකාවේ පර්යේෂණ ව්‍යපෘති කීයක් සාර්ථක ව්‍යාපාරික ආකෘති කරා ගොස් වාණිජකරණය කර ඇත්දැයි සොයා බැලීම වටියි. යුරෝපීය හෝ කැනේඩියානු ආධාර යටතේ ක්‍රියාත්මක වූ හෝ ක්‍රියාත්මක වන බොහෝ පර්යේෂණ කණ්ඩායම් සදාකාලිකවම තම අරමුදල් සපයන්නාගේ අවශ්‍යතා සපුරමින් සිටිති. එසේ නොමැති නම් බටහිර රටක සහයෝගිතා පාර්ශවය (collaborative partner) වෙනුවෙන් දත්ත රැස් කරමින් සිටිති. ඉඳහිට පර්යේෂණ පත්‍රිකාවකට දායකවෙති. මින් ඔබ්බට යාමක් නැත. මේ සේවය වෙනුවෙන් ඔවුන්ට ඉඳහිට විදේශ සංචාරයක් ලැබෙයි. 

සමහර ලාංකික මහාචාර්යවරුන් ජිවිතයේ 55 වෙනි වසරට පියනගන්න ආසන්නයේ සිටියදීත් විදේශ සරසවියක සේවය කරන තම ආචාර්ය උපාධි අධීක්ෂකයා (PhD supervisor) ගෙන් ස්වායත්තව කිසිවක් කරගත නොහැකි තත්වයක පසුවෙයි. ඔහුගෙන් තොරව පර්යේෂණ පත්‍රිකාවක් පළකිරීම පවා ඔවුන්ට සිහිනයකි. මේ වහල් චින්තනය පවතින තාක් කල් ලංකාවට සෙතක් සැලසෙන්නේ නැත. 


ලංකාවේ පෞද්ගලික අංශය සරසවි පර්යේෂණ සඳහා අරමුදල් ලබා දීමට ඇති අකමැත්තට ප්‍රධානම හේතුව ලාංකික පර්යේෂකයාගේ පවතින ආකල්පයි. ආයෝජකයා ඵලදායි ප්‍රතිපලයක් (tangible outcome) බලාපොරොත්තු වෙත්දී පර්යේෂකයා සිතන්නේ තමාට අත් කරගත හැකි ඉහලම ජයග්‍රහණය ඉහළ පෙලේ සඟරාවක පත්‍රිකාවක් පළ කිරීම  බවයි. සඟරා පත්‍රිකාවක් හෝ බුද්ධිමය දේපල යනු පර්යේෂකයෙකුගේ ගමනේ එක් සන්ධිස්ථානයක් (milestone) පමණි. 

ISP ඇතුළු සංවර්ධිත රටවල අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා අරමුදල් සපයන ආයතන රාශියක් මගින් තුන්වන ලෝකයේ රටවලට කල උපකාර සහ එමගින් ඔවුන් ඇතිකළ අධ්‍යයනික ප්‍රබෝධය මම කිසිවිටෙකත් ලඝු කොට නොසලකමි. ඔවුහු මා වැනි බොහෝ දෙනෙකුගේ අනාගතය වෙනුවෙන් අමිල සේවයක් ඉටු කළහ. 

වරද ඇත්තේ අපේ අතේය. අපි හැමදාමත් කවුරුන් හෝ නැගිටින්නට අත දෙන තෙක් බලා සිටිමු. නැගිටගත් පසුද උපකාර කල තැනැත්තාගේ අතේ එල්ලී ඔහුට අවශ්‍ය තැනට යනවා විනා තමන්ගේ දෙපයින් තමන්ගේ ගමනක් යාමට ලංකාවේ සිටින බහුතරයක් පර්යේෂකයන් සුදානම් නැත. මෙය නැගිටින්න ත දුන් කෙනාගේ වරදක් නොවේ. වරද ඇත්තේ අප තුල ඇති අතහැර ගත නොහැකි හීනමානය සහ දුප්පත් මානසිකත්වය තුලයි.

ඔබ ඇමරිකාවේ, කැනඩාවේ, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, ජපානයේ හෝ දකුණු කොරියාවේ උපාධිය හදරුවාට කම් නැත. එහෙත් එය අවසන්ව ලංකාවට පැමිණේ නම් හැකි ඉක්මනින් තම ආචාර්ය උපාධි මූලයෙන් ඔබ්බට ගිය තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න උත්සහ කරන්න. පර්යේෂණ ප්‍රතිඵල සාර්ථකව වාණිජකරණය කල හැකි ව්‍යාපාරික ආකෘතියක් දක්වා පියනගන තෙක් ගමන නොනවත්වන්න. 

.............................................................................

පසුගිය දශක කිහිපයක් තුල බටහිර දියුණු යැයි සම්මත රටවල් බොහොමයක් අනුගමනය කල විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිපත්තියේ පැහැදිලි රටාවක් දැක ගත හැකිය. ඔවුන් 1950 ගණන් වන තෙක් මූලික පර්යේෂණ සඳහා විශාල මුදලක් වැය කළේය. අද ඔවුන් ලබා ඇති තාක්‍ෂණික දියුණුව එහි ප්‍රතිඵලයක් බවට විවාදයක් නැත.

ඉන් පසු ඔවුන්ට වැටහෙන්න ඇත්තේ මේ ගමන තව වේගවත් කිරීමට නම් මූලික පර්යේෂණ හැකි පමණ බාහිරකරණය (outsource) කර තම රටවල් ව්‍යවහාරික පර්යේෂණ  සඳහා වැඩි අවධානයක් යොමු කල යුතු බවයි. මේ අනුව 60 දශකයෙන් පසුව ඇමරිකාව, කැනඩාව, ස්කැන්ඩිනේවියානු  රටවල්, ජර්මනිය, බ්‍රිතාන්‍යය ආදියද 80 දශකය වන විට ජපානයද තරඟයට මෙන් ආසියාතික සහ ලතින් ඇමරිකානු රටවල පර්යේෂණ කණ්ඩායම් බිහි කරන්න විය. 

මෙම පර්යේෂණ කණ්ඩායම් වල ප්‍රධාන කාර්යය වුයේ බටහිර රටවල ඇති සහයෝගිතා පාර්ශවයේ (collaborative partner) මූලික පර්යේෂණ අවශ්‍යතාවය ඉටු කිරීමයි. මෙම කණ්ඩායම් වලින් අදාළ මව් රටවලට යහපතක් නොවුනා යයි මම නොකියමි. එහෙත් වඩාත්ම සිදුවුයේ දියුණු රටවල් අපේ කර මතින් ඉදිරියට යාමයි. 

නමුත් මේ බව කල්තියා හඳුනාගෙන කටයුතු කල රටවල් කිහිපයක්ද විය. චීනය, කොරියාව, සිංගප්පුරුව, තායිවානය, මැලේසියාව සහ තායිලන්තය (තරමක් දුරකට) සහ පසු කලෙක ඉන්දියාවද මේ අතර විය. ඔවුන්  බටහිරයන්ගෙන් ලැබුණු සම්පත් වැළඳ ගන්නා අතරම තමන්ගේම පර්යේෂණ අනන්‍යතාවයක් ගොඩනගාගෙන එක් අංශයකින් හෝ ඉහලම තලයට ලඟා වීමට උත්සුක විය. උදාහරණයක් ලෙස තායිලන්තය සහ මැලේසියාව අද කෘෂි  ජාන තාක්‍ෂණයෙන්  ඉතා ඉහල තලයක සිටිති. 

මේ තත්වය පැහැදිලිවම අවබෝධකරගත් ආසියාතික නායකයන් දෙදෙනෙකු විය. ඒ අබ්දුල් කලාම් (ඉන්දියාව) සහ අතාර්-උර්-රහමාන් (පකිස්ථානය). මින් පළමු තැනැත්තා ඉන්දියාව තුල පැහැදිලි ආකල්පමය වෙනසක් ඇති කල අතර දෙවැන්නාට දේශපාලන අස්ථාවරත්වය හමුවේ යමක් කරගැනීමට නොහැකිවිය. 

අපට කිසිවෙකු නොවීය............ 



          


Friday, 8 February 2019

පට්ටපල් බොරු වාදය


අපේ රට දියුණු වෙන්න නම් මිනිස්සු ඔය මිත්‍යා මතවලින් ඈත්වෙලා විද්‍යානුකූලව හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපේ අය තාම හිතන්නේ දහ අටවැනි ශතවර්ෂයේ ඉඳන් නම් ඒ ගොල්ලන්ට කවදාවත්ම විසිවැනි ශතවර්ෂයේ ජිවත් වෙන්න බැහැ”.
මේ, වසර 40කට පමණ පෙර අපගේ ඥාති වන උපාධිධාරී විද්‍යා ගුරුවරයෙක් පවුලේ කෙනෙකුගේ දානේ ගෙදරක දී දැක් වූ අදහස් ය. එවකට කුඩා දරුවන් වූ අපි නෙත් අයා ඔහුගේ කතාවට සවන් දීගෙන සිටියෙමු. අපට මෙන්ම එතැන සිටි තරුණයන් බොහෝ දෙනෙකුට ඔහු වීරයකු සේ පෙනුන බව නම් ප්‍රත්‍යක්ෂ ය.
මීට කලකට පෙර අපගේ සාම්ප්‍රදායික මත සහ සිතිවිලි රටාවට විද්‍යාව අනුසාරයෙන් බැට දීම සමාජයේ කැපී පෙනිය හැකි කලාවක් විය. මේ “විද්‍යාව”, නවීන විද්‍යාව, නූතන විද්‍යාව හෝ බටහිර විද්‍යාව ආදී විශේෂණ පද යොදා අලංකාරවත් කැරුණි. මෙම “විද්‍යානුකුලව සිතීම” ජනප්‍රිය රැල්ලක්ව වේගයෙන් පැතිරෙන්න විය. පසුව එය සමාජයේ සම්මත කරගෙන ඇති උගත්කම නැමැති හිනිමගේ පහළම ස්ථර (ග්‍රාමීය බස් වහරින් ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටන්) අතරට පත්වන්න වූ විට එහි තිබූ “අභිමානවත් ගතිය” වියැකී ගියේ ය.
අප සරසවියේ අධ්‍යාපනය ලබන 80 දශකයේ අවසාන කාර්තුවේ දී විද්‍යාවට බැටදෙන යුගය තීව්‍රව ඇරඹෙන්නේ ය. ඒ වන විට විද්‍යාව “බටහිර විද්‍යාව” බවට ලේබල් කර තිබුණි. බටහිර විද්‍යාව බොරුවක් හෝ පට්ටපල් බොරුවක් බවට මෙම මතවාදය සඳහන් කරද්දී අපි නැවතත් උද්දාමයට පත් වුනෙමු. සරසවියේ මෙම මතවාදයට නැඹුරු වූ බොහෝ දෙනෙකු එහි ගැඹුර තේරුම් ගැනීමට වඩා එමගින් ලැබුණු නව අභිමානවත් ගතිය ආකර්ශනීය වූ බව පෙනෙන්නට තිබුණි. 
පසුගිය වසර කිහිපය තුළ මෙම පට්ටපල් බොරු වාදය සරසවියෙන් ඔබ්බට පැමිණ, දැන් වතපොත හරහා ගමේ ගොඩේ කුරුට්ටන් අතරට ගමන් කරමින් තිබේ. මේ අනුව තව දුරටත් එම මතවාදය දැරීම සමාජයේ කැපී පෙනීමේ යන්ත්‍රණයක් නොවන තත්වයට පත්වෙමින් පවතී.
යම් ශාස්ත්‍රීය මතවාදයක් බිහිවන විට ඒ පිළිබඳව පුළුල් සාමාජීය පදනමක් තුළ ඵලදායි සංවාදයක් බිහිවනවා වෙනුවට එම මතය දැරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පුද්ගල ප්‍රතිරූප නගා සිටුවීමේ කලාවක් බවට පත් වීම අවාසනාවන්ත තත්වයකි. එය ලංකාවේ පමණක් නොව තව බොහෝ රටවල අපි දකින්නෙමු.
කුමන විශේෂණ හෝ උපසර්ග පද යෙදුවත් අප වර්තමානයේ විද්‍යාව යයි හඳුන්වන ක්‍රමවේදයෙහි එක් සුවිශේෂී ගති ලක්ෂණයක් තිබේ. එය සුවිශේෂී වන්නේ දැනට පවතින සියලු ම ආගම් සහ ආගමික දර්ශනවල එම ගති ලක්ෂණය නො තිබෙන බැවිනි. එනම් විද්‍යාවෙහි “වැරැදීමට සහ වෙනස්වීමට” ලබා දී ඇති පුළුල් ඉඩකඩයි. විද්‍යාව තුළින් යම් සංකල්පයක්, දර්ශනයක් හෝ නිපැයුමක් එළි දකින විටම එයට අනිවාර්යයෙන්ම ඇලවෙන ලේබලය නම් “මෙය වැරැදීමට හෝ වෙනස් වීමට ඉඩ ඇත” යන්නයි.
එහෙත් කිසිදු ආගමක මෙම වැරැදීමට හෝ වෙනස් වීමට ඉඩ ලබා දී නැත.

“දෙවියන් වහන්සේ පැවසූ දේ වැරැදි වීමටත් පුළුවන” හෝ 

“බුදුරජාණන් වහන්සේ පැවසූ දේ වැරැදි වීමටත් පුළුවන” හෝ 

“දෙවියන්වහන්සේ/බුදුරජාණන් වහන්සේ පැවසූ දෙය වර්තමානයට සරිලන ආකාරයට නවීකරණය කිරීමට කාලය එළඹ ඇත” ............

...... යැයි අප පැවසුවහොත් එය සිතීමටවත් නොහැකි තරම් ලොකු කැළඹීමක් සමාජය තුළ සිදු කරනු ඇත. මෙයට සාධාරණ හේතුවක් ඇත. 

ආගමික දර්ශනයක මූලය (දෙවියන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, ජෛන මහාවීර ආදී) ඉදිරිපත් කළ කරුණුවලට වැරැදීමට සම්භාවිතාවක් ඇතැයි අනුමාන කළ පමණින්ම එම ආගමෙහි පදනම කඩා වැටෙයි. ආගමක ඇති ඇදහීම යනු මෙම “වැරදීමට හෝ වෙනස්වීමට” කිසිඳු ඉඩක් නැතැයි කෙනෙකු කරනා නිගමනය ලෙස මම  දකිමි. 

මේ අනුව සියලුම ආගමිකයෝ අදහති.

ලියනාඩෝ ඩාවින්චි ඉදිරිපත් කළ පියාඹන මැෂිමේ ආකෘතියේ සිට එයාර්බස් A380-800 ගුවන් යානය දක්වා විද්‍යාව වෙනස් වෙත් දී සියලු ආගම් කාල යාත්‍රයේ එක් එක් මංසන්ධිවල සිර වී සිටින්නේ විද්‍යාවේ සහ ආගමෙහි ඇති මේ වෙනස නිසාවෙනි. අප දකින ආකාරයට බොහෝ ආගම් පදනම් වන්නේ එම ආගම බිහිවන කාලය හා දේශයට අදාළ දැනුම් සම්භාරය මත ය. එබැවින් ආගම සර්ව-නිරවද්‍ය යැයි අදහන විට කාල-අවකාශ ව්‍යාප්තියේ එක් ලක්‍ෂයක අදහන්නා සිරවෙයි.

බොහෝ ආගම් සහ වර්තමානයේ පවතින ගතික ඥාන සම්භාරය අතර අනේකවිධ ගැටුම් ඇතිවන්නේ සෑම ආගමකම පාහේ පවතින මෙම ඇදහීම හේතුවෙනි. තම ආගම නවීන විද්‍යාවට අනුකූළ බව සනාථ කිරීමට විද්වතුන් දැඩි උත්සහයක් ගන්නේ මේ පටලැවිල්ලෙන් මිදීමට ය. එහෙත් අප දකින ආකාරයට කිසිදු ආගමක් අප දැනට භාවිත කරන විද්‍යාවට අනුකූළ නොවේ. මන්ද මේ කිසිදු ආගමක් තම මූලය පැවසු කරුණු වැරැදීමට හැකි බව හෝ වෙනස් කිරීමට සිදුවිය හැකි බව නො පිළිගන්නා බැවිනි. 

බටහිර විද්‍යාව සරළ ය. එය දැනට කරුණු පහක් මත පදනම් වූ ක්‍රමවේදයක් ඉදිරිපත් කරයි. මෙම ක්‍රමවේදය ද අනිත්‍ය වේ. එනම් පසු කාලීනව මෙම ක්‍රමවේදය වෙනස් විය හැක. නැතිනම් නිශේධ විය හැක. පර්යේෂණ ගැටලුවක් තිබීම, පසුබිම් දැනුම හැදෑරීම, නව දැනුම ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් ගොඩනැගීම, ප්‍රතිඵල විශ්ලේෂණය සහ එමගින් නව දැනුම් සම්භාරය ගොඩනැගීම, ගොඩනැගූ දැනුම ලෝකය සමග බෙදා ගැනීම මෙම පියවර පහයි. ඔබ බෞද්ධයෙකු නම් සමහර විට මෙම ක්‍රමවේදයෙහි යම් හුරු බවක් ඔබේ විඥානයට හසුවනු ඇත.

විද්‍යාව එතෙකින් නොනවතී. අමතක නොකරන්න මේ විද්‍යාවට අනුව “දැනුම” නිරවද්‍ය වන්නේ වර්තමානය නමැති කාල පරාසය තුළයි. එය වෙනත් කාල පරාසයක දී නිවැරැදි නො වීමට ඉඩ ඇත. මේ නිසා ලබාගත් දැනුම නැවත නැවතත් පරීක්ෂණයට භාජනය කෙරෙයි. අප විද්‍යාව යොදා ගන්නේ අපට ගැටලුවක් ඇති විට එයට විසඳුමක් සෙවීමට ය. එබැවින් විද්‍යාත්මක ක්‍රමවේදය සඳහා පර්යේෂණ ගැටලුවක් තිබීම අනිවාර්ය වෙයි. එම ගැටලුවට අපි පවතින දැනුම් සහ ඥාන සම්භාරය මත පදනම්ව පිළිතුරු සොයන්නෙමු.

ඉහත පියවර දෙස බලන විට ඔබට යම් වැදගත් කරුණක් ප්‍රත්‍යක්ෂ වනු ඇත. එනම් මෙම ක්‍රමවේදය තුළ දැනුම ලබාගැනීමේ ආකාරය පිළිබඳව හෝ දැනුම භාවිත කිරීම පිළිබඳව සීමා පැනවීමක් නොමැති බවයි. උදාහරණයක් ලෙස ඇල්බර්ට් අයින්ස්ටයින් තම කල්පිත ඉදිරිපත් කිරීමේ දී ඒ සඳහා දැනුම ලබාගත් ආකාරය ගැන පැහැදිලි විග්‍රහයක් සිදු කළේ නැත. එසේම එම සිද්ධාන්ත ඔප්පු කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් ඉදිරිපත් කළේ ද නැත. එවකට පැවති ඥාන සම්භාරය තුළ ඔහුගේ අදහස් තාර්කික වූ බැවින් (වාද විවාද බොහොමයකින් පසු) එම කරුණු පිළිගැනීමට සහ ඒ මත පදනම්ව තව තවත් දැනුම ගොඩ නැගීමට විද්‍යාඥයෝ පෙළඹුනහ. 

එහෙත් මෙහිදී ද අප සැලකිය යුතු වැදගත් කරුණ නම් විද්‍යාව විසින් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සිද්ධාන්ත පිළිගන්නේ ම එය වැරැදීමට ඉඩකඩ ඇති බවට ලේබල් කරමිනි. මේ නිසා ඔහුගේ ඉදිරිපත්කිරීම් මෙන්ම ඒ මත ගොඩ නැගුනු දැනුම ද නිරන්තර පරික්ෂාවට ලක් වුණු අතර සමහර සිද්ධාන්ත සාර්ථකව ඔප්පු කිරීමට සියවසක් ඉක්මවීය. සමහර විට ඉදිරියේ දී එම සිද්ධාන්ත බිඳ වැටෙනු ඇත.
ඉහත කරුණු තුළින් දැන් අපි පසුගිය සමයේ ලංකාවේ සාකච්ඡාවට භාජනය වූ කරුණක් පිළිබඳව නෙත් යොමු කරමු. එනම් දෙවියන්ගෙන් හෝ වෙනයම් භෞතික ලෝකයට ගෝචර නොවන මාධ්‍යයක් මගින් දැනුම ලබා ගැනීමයි. අප සිතන ආකාරයට මෙලෙස දැනුම ලබා ගැනීම විද්‍යා විරෝධී හෝ විද්‍යාව මගින් ප්‍රතික්ෂේප කරන ක්‍රමවේදයක් නොවේ. ඔබට ඕනෑම ආකාරයකින් දැනුම ලබා ගත හැක. එහෙත් ඒ දැනුම ප්‍රඥා ගෝචර විය යුතු ය. එසේම ඒ දැනුම වැරැදීමට හෝ වෙනස් කිරීමකට ඉඩ ඇති බව සැලකිය යුතු ය.
උදාහරණයක් ලෙස නාථ දෙවියන්ගෙන් ලබා ගත් දැනුම ආශ්‍රයෙන් රජරට පවතින වකුගඩු රෝගයට හේතුව පසෙහි හෝ ජලයෙහි ඇති ආසනික් බවට විද්‍යාඥයන් පිරිසක් කලකට ඉහත පළකළ අදහස සලකමු. මා මීට පෙරද පෙන්වා දී ඇති පරිදි එවකට ප්‍රකාශයට පත්ව තිබූ පර්යේෂණ පත්‍රිකා ආශ්‍රයෙන් මෙම රෝගයට එක් හේතුවක් ආසනික් විය හැකි බවත්, ආසනික් ආහාර පානවලට ඇතුළු වීමට ඇති එක් මාර්ගයක් කෘමිනාශක බවත් අනුමාන කළ හැකිව තිබුණි. ඒ කෙසේ වෙතත් මෙම විද්‍යාඥයන් පිරිස ඊළඟට කළ යුතුව තිබුණේ ලබාගත් දැනුම ඔස්සේ පර්යේෂණ කර තම මතය තහවුරු කිරීම සහ එතුළින් ඇති වී තිබෙන ගැටලුවට පිළිතුරු සෙවීමයි. එහෙත් මෙහිදී සිදු වුණේ සියලු සාකච්ඡා සහ නියැදි පරීක්ෂණ පවා දැනුම ලබා ගත් මූලය තහවුරු කිරීම අරඹයා සිදු කිරීම මිස රෝගී තත්වයට පිලියමක් සොයා පර්යේෂණ ඉදිරියට ගෙනයෑම නොවේ. සමාජයට වැදගත් වන්නේ තම ගැටලුවට පිළියමක් මිස දැනුම් මූලය විශ්ලේෂණය කිරීමක් නොවන බව අමතක නො කළ යුතු ය.
මෙම මුළු සංසිද්ධියේම තිබූ ප්‍රඥා ගෝචර නොවන කාරණය නම් දෙවියන්ට හැකියාව ඇත්තේ ආසනික් පිළිබඳව ප්‍රකාශ කිරීමට පමණ ද යන්නයි. වර්තමානයේ ලංකාවේ මෙන්ම මුළු ලෝකයේම බොහෝ සමාජීය සහ භෞතික ගැටලු පවතී. ඒවායින් යම් ප්‍රමාණයකටවත් විසඳුම් ලබාදීමට නාථ දෙවියන්ගෙන් (හෝ වෙනයම් දෙවි කෙනෙකුගෙන්) දැනුම ලබාගත හැකි නම් අප කලින් පැවසූ පර්යේෂණ ක්‍රමවේදය පවා නවීකරණය කිරීමට ජාත්‍යන්තර මට්ටමින් අපට යෝජනා කළ හැකි ය. එහෙත් එවැන්නක් සිදුවන බවක් නොපෙනේ.
දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන චීනය, ජපානය, කොරියාව වැනි පෙරදිග රටවල් බටහිර විද්‍යාව උපයෝගී කරගනිමින් තම ජනතාවට හොඳ ජීවන තත්වයක් ලබා දී ඇත. ඒ ඔවුන් “විද්‍යාව” තම භෞතික ගැටලුවලට විසඳුම් දිය හැකි උපාංගයක් ලෙස තෝරාගෙන ඇති නිසා ය. ඉන්දියාව අද එම මාර්ගයේ වේගයෙන් ඉදිරියට ඇදෙමින් සිටියි. චීනයේ සහ ඉන්දියාවේ වසර 5000-6000 පමණ කාලයකට පෙර සිට ඉතා දියුණු දේශීය තාක්‍ෂණයක් තිබූ බවට හොඳින් සංරක්ෂණය වූ පුරා විද්‍යාත්මක සොයාගැනීම් පෙන්වා දෙයි. මෙම රටවල උසස් දැනුම් සහ ඥාන සම්භාරයක් ද තිබුණු බවට පැහැදිලි සාක්ෂි ඇත. එහෙත් බටහිර විද්‍යාවේ හිනි පෙත්තට නැගීම සඳහා ඔවුන් මෙම “ප්‍රෞඩ අතීතය” බාධාවක් කරගෙන නැත.
සම්මත විද්‍යාත්මක ක්‍රමවලට පරිබාහිරව දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇත්නම් කළ යුත්තේ එම දැනුම උපරිමයෙන් ලබා ගෙන ලෝකය ඉදිරියේ තැබීමයි. එය ලෝකයට මහත් යහපතක් වනු ඇත. එවිට ලෝකයේ සම්මතයන් පවා වෙනස් වනු ඇත. මන්ද විද්‍යාවේ කිසිවක් සදා නො වරදින හෝ සදා නො වෙනස්ව පවතින භූතාර්ථ නොවන බැවිනි. මෙය පසෙක තබා දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනුවෙන් සටන් කරමින්, අන්‍යන්ට දෙස් දෙවොල් තබමින් සිටීමෙන් කිසිවෙකුටත් අර්ථවත් යමක් ලැබෙන්නේ නැත.
අපේම කියා, පවතිනවාට වඩා වෙනස් විද්‍යාවක් ගොඩනගා ගත හැකි නම් සහ එමගින් රටේ ජනතාවට (සහ ඉන් මතු සියලු සත්වයන්ට) සෙතක් සැලසිය හැකි නම් එය ඉතා යහපත් ය. එය එසේ වන තෙක් අනුන්ගෙන් ලබා ගත් විද්‍යාවකින් හෝ හරියට වැඩක් ගැනීමට අප කටයුතු නො කරන්නේ නම්......... 
........වැඩ බැරි ජාතියක් බවට ලෝකයා අපව ලේබල් කිරීම වැළක්විය නො හැකි ය.


දැන් මැටනිටි ලීව් ඉවර වෙන්නත් ලඟයි



“දැන් maternity leave (ප්‍රසුත නිවාඩු) ඉවර වෙන්නත් ලඟයි. අනේ මන්දා මොනවා කරන්නද කියලා. බබාව දාල යන්න කෙනෙක් නැහැ. අපේ අම්මා නංගිගේ බබා බලාගන්නවා. මහත්තයාගේ අම්මවවත් ගෙන්න ගන්න බලන්න ඕනේ” 

මේ මීට වසර වසර හයකට පමණ පෙර අප ලංකාවට පැමිණි විට අපගේ හිතවත් කාර්යාල නිලධාරිනියකගෙන් නැඟුණු අඳෝනාවකි.

එදිනම උදෑසන සිංහල පුවත්පතක පළ වූ සිරස්තලයක් මගේ මතකයට පැමිණෙයි. “යකඩ ඇණ රාශියක් ඇඟට ඇතුළු කර දස වධ දුන් ගෘහ සේවිකාවක් ලංකාවට ගෙන්වා ගනියි”.

මේ කරුණු දෙක දෙස විශ්ලේෂණාත්මකව බලන විට ලංකාව පිළිබඳව ඇතිවන්නේ තදබල පසුතැවීමකි. ඉල්ලුම-සැපයුම දෙකම අතැතිව අපගේ ව්‍යාපාරික ප්‍රජාව අන්ධ වූ දෑසින් සිටිති. රජය පාර්ශවයෙන් විය යුතු දේ සිදු වී නැති සෙයකි. මම සියළු කටයුතු පසෙකලා The Island පුවත්පතට ලිපියක් ලීවෙමි. මගේ හිතවතෙකු වූ දසුන් එදිරිසිංහ මහතා එය ඊට දින කිහිපයකට පසු පුවත්පතේ පළකර තිබුණි. 

මේ වන විට කාන්තා පක්ෂය ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ විශාල කොටසකට හිමිකම් කියයි. මෙය බර වැඩ සහිත කම්කරු පන්තියේ සිට ඉහළ ම විධායක ශ්‍රේණි දක්වා විහිදී යයි. අනෙක් අතට රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන විදේශ ගත ශ්‍රම බලකායේ ජීවනාලිය වන්නේ ද කාන්තාවයි. මේ නිසා කාන්තා උන්නතිය සඳහා හැකි සෑම පියවරක්ම ගැනීම රජයේ මෙන්ම සමාජයේ ද වගකීමකි.

රැකියාවට යන මවකට දරුවා බලාගැනීමට කෙනෙක් නැතිවීමත්, නොරට බැලමෙහෙවරට නුපුහුණු ශ්‍රමිකයන් ලෙස කාන්තාව පිටත්වීමත් අද ලංකාවේ පවුල් ඒකකය දෙදරා යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත. මේ තත්වයට විසඳුමක් ඇත්ද?

සැබැවින්ම මෙම තත්වය රටේ බොහෝ පාර්ශවයන්ට සෙත ගෙනෙනා මහා ව්‍යාපාර ජාලයකට දොරටු විවෘත කරයි. ඉහත ගැටලු දෙකට ම ගැලපෙන පියවරක් නම් නවීන තාක්‍ෂණයෙන් පිරිපුන් ළදරු සේවා මධ්‍යස්ථාන (baby care centers) රට පුරා බිහි කිරීම ය. තම කාර්යාලයේ සිට බොත්තමක් එබීමෙන් පරිගණක තිරයක් මත තම ළදරුවා නිදියන හැටි, කන බොන හැටි, සෙල්ලම් කරන හැටි දකින්නට හැකි නම්, දරුවා සමග කිහිප විටක් තිරය මත කතා කළ හැකි නම්, මවකට ඊට ඉහළින් යමක් ඇත්ද?

යුරෝපය, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය ආදී දියුණු ලෝකයේ මෙබඳු ළදරු මධ්‍යස්ථාන බොහෝ ය. මේවා පිහිටුවීමේ දී වැදගත්ම කාරණය වන්නේ ඒවාට තිබිය යුතු අවම ප්‍රමිතීන් නීතිගත කිරීමයි. ළදරු සේවා මධ්‍යස්ථානයක ප්‍රධාන පාර්ශවකරුවන් කිහිපදෙනෙකි. ඒ එහි අයිතිකරු, මධ්‍යස්ථාන පාලිකාව, දරුවන් රැකබලා ගන්නියන් (සේවා මව්වරුන්) සහ අනෙකුත් සේවකයන්ය (පිරිසිඳු කිරීම්, නඩත්තු කිරීම්, ප්‍රවාහන කටයුතු ආදිය සඳහා). 

මේ සියලු දෙනාටම තම කාර්යභාරයන් සඳහා සුදුසුකම් ප්‍රමිතිගත කළ යුතු ය. අදාළ තනතුර සඳහා තිබිය යුතු අවම වයස, පොලිස් වාර්තාව සහ මනෝ වෛද්‍ය වාර්තාව සියලුම දෙනාට අදාළ වෙයි. මීට අමතරව මධ්‍යස්ථාන පාලිකාව සහ සේවා මව්වරුන් සඳහා ළදරු සේවා පුහුණු සහතික, ප්‍රථමාධාර ලබාදීමේ පුහුණු සහතික වැනි දෑ අත්‍යවශ්‍ය අංග ලෙස ප්‍රමිති ගත කළ යුතු ය. අනෙකුත් සේවකයන් සඳහා අඩුම වශයෙන් ග්‍රාමසේවක සහතිකය සහ චරිත සහතිකයක් ඇතුළත් කළ යුතු ය.

එක් සේවා මවක් සඳහා යොමු කළ යුතු උපරිම ළදරුවන් ගණන දරුවාගේ වයස අනුව වෙනස් වේ. බොහෝ යුරෝපිය රටවල ප්‍රමිතිය වන්නේ වයස මාස 12ට අඩු නම් දරුවන් 3 දෙනෙක්, මාස 13-24 අතර නම් දරුවන් 5 දෙනෙක් සහ මාස 24ට වැඩි නම් දරුවන් 6 දෙනෙක් ලෙසටයි. මිට අමතරව තවත් ප්‍රමිතිගත කරුණු රාශියකි. 

සේවා මධ්‍යස්ථානයේ ඉඩකඩ සහ අභ්‍යන්තර නිර්මාණය, පිරිසිඳු කම, ආරක්ෂක කඩුළු, උෂ්ණත්වය, දුරකථන පහසුකම් ආදිය පමණක් නොව එය තුළ ඇති භාණ්ඩ පවා ළදරුවන්ට යෝග්‍ය ලෙස ප්‍රමිතිගත කර ඇත්දැයි සලකා බැලිය යුතු ය. මේ සියලු කරුණු රජයේ නිරතුරු අධීක්ෂණයට යටත් විය යුතු ය.

මෑතක දී දෙමාපියන් අතර ඉතාමත්ම ජනප්‍රිය වූ අංගය නම් ස්කයිප් (Skype) තාක්‍ෂණය ඔස්සේ තම ළදරුවා සේවා මධ්‍යස්ථානයේ සිටින මුළු කාලය පුරාම දැකබලා ගත හැකි වීමයි. මේ සඳහා සේවා මධ්‍යස්ථානයේ ළදරුවා රදවා සිටින සියළුම ස්ථානයන්හි සවි කළ කැමරා ජාලයක් යොදා ගැනේ. දෙමව්පියන්ට ලබා දී ඇති මුර පදයක් ආශ්‍රයෙන් ඕනෑම වෙලාවක තම ස්මාර්ට් ජංගම දුරකථනය හෝ පරිගණකය ඔස්සේ ළදරුවා නැරඹිය හැක. 

මෙමගින් දෙමව්පියන් තුළ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව ඇති බිය සම්පුර්ණයෙන්ම පහවෙයි. දරුවා කතා බහ කරන වයසේ නම් ඔහු හෝ ඇය සමග ඉඩකඩ ලැබෙන පරිදි වචන හුවමාරුවකට ද ඉඩකඩ සැලසිය හැක. මේ වන විට ස්කයිප් තාක්‍ෂණයට අමතරව තව නොයෙකුත් මෙවලම් ආශ්‍රයෙන් ඉතා පහසුවෙන් සහ නොමිළේ (අන්තර්ජාල පහසුකම් ඇතිනම්) මෙම සේවය ලබාගත හැක.

ලංකාවේ මෙම ළදරු සේවා මධ්‍යස්ථානවල අවශ්‍යතාවය ඇති මව්වරුන් ගණන අති විශාල බව අපට ස්ථිරවම කිව හැක. මෙම සේවා ලබාදීම සඳහා රජය නිර්දේශ කරන පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීමට පිළිගත් ආයතන බිහි කළ යුතු ය. මෙය තවත් ව්‍යාපාරයකට මුල් ගල තබයි. මෙහි දී රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ආයතන බිහි කළ යුතු අතර ඒවා නිරතුරුව ම නියාමනය විය යුතු ය. රජයේ සහ පෞද්ගලික යන අංශ දෙක සඳහාම පාඨමාලා ගාස්තුවක් අය කළ යුතු අතර අයදුම්කරුගේ ආර්ථික මට්ටම අනුව රජය විසින් යම් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ප්‍රදානය කළ යුතු ය. නොඑසේ නම් මෙය තවත් බරක් ජනතාව මත පැටවීමක් වනු ඇත.

නුපුහුණු ශ්‍රමිකයන්ට මැද පෙරදිග දී ලැබෙනවාට වඩා හොඳ වේතනයක් මෙරටේදීම පුහුණු මධ්‍යස්ථාන පාලිකාවන් සහ සේවා මව්වරුන්ට ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි. එසේම මෙසේ පුහුණුව ලබන යම් පිරිසකට ඉහළ සේවා මට්ටමක් සහ වැඩි වැටුපක් සඳහා විදේශ ගතවීමට ද හැකි ය. එවිට ඔවුන් ගුවන් තොටුපොළින් නික්ම යනු ඇත්තේ තැතිගත් “හවුස් මේඩ්ලා” ලෙස නොව, අභිමානවත් පුහුණු සේවා මව්වරුන් ලෙස ය.

මගේ ලිපිය පලවී සති කිහිපයකට පසු මට ඊමේලයක් ලැබුණි. ඒ පිලිපීන කාන්තා කාර්යාංශයේ සභාපතිනියගෙනි. ඇය මගෙන් ඉල්ලා සිටියේ ලිපියේ මුල් පිටපත WORD document එකක් ලෙස ලබා දිය හැකිද කියාය. මම නොපැකිලව එය වහාම ඇයට යැව්වෙමි. 

පිලිපීනය මීට වසර කිහිපයකට පෙර මේ කාර්ය ඇරඹීය. අද එරට ජනාධිපතිවරයා පිලිපීනයෙන් කාන්තා ශ්‍රමිකයන් ලබාගැනීමේදී වෙනත් රටවල හාම්පුතුන් අනුගමනය කලයුතු පිළිවෙත් පිළිබඳව දැඩි ස්ථාවරයක හිඳී. එහෙත් එම ශ්‍රමිකයන්ට මැදපෙරදිග, සිංගප්පුරුව මෙන්ම යුරෝපයේද විශාල ඉල්ලුමක් ඇත. 

පිලිපීනය ගිය මාවතේ යාමට ලංකාව තවමත් පමා වී නැතැයි අපි සිතමු.


Tuesday, 5 February 2019

සහජීවනය සහ යහජීවනය



ඒ ස්වීඩනයට වැඩියෙන්ම හිම වැටෙන ශීතල පෙබරවාරියේ මුල් සතියයි. හරියටම මීට දශක දෙකකට පෙර උප්සලා නගරයේ පිහිටි අප නිවසේ සිට මම ජනේලයෙන් පිටත බලාගෙන උනිමි. අඩි ගණනක් උසට හිම වැටුණු තණ පිට්ටනියේ ඉතා තද පාට ශීත ඇඳුම් පැළඳි දෙමව්පියෝ දරුවන් සමග සන්ධ්‍යාවේ ඇවිදින්න යති. ගිම්හානයේ පිට්ටනිය පුරා දුව පැන ඇවිදිමින් ගමන් කරන පොඩිත්තෝ අද කීකරු මුව පොව්වන් සේ දෙමව්පියන් පිටුපසින් සීරුවට ඇවිද යති. ටික වෙලාවක් බලා සිටින විට මෙම පොඩිත්තන්ගේ ගමන පිළිබඳව මට අවබෝධ කරගත හැකි විය. 

දෙමව්පියන් තම විශාල පාදවලින් ඉදිරියේ ඇති හිම පතනය තලාගෙන ගමන් කරයි. තමන්ගේ කුඩා කකුල් වලින් අඩියක් දෙකක් උස් වූ හිම තට්ටුව තලාගෙන යනවාට වඩා දෙමව්පියන්ගේ පා සටහන් මත ඇවිද යාම ඔවුනට ඉතා පහසුය. කිසිවිටෙකත් දෙමව්පියන් දරුවන් පිටුපසින් ගමන් නොකරයි. 

සංචාරක විද්‍යාඥයන් පිරිසක් ඉන්දුනීසියාවේදී කල නිරීක්ෂණයක් කලකට ඉහත මාධ්‍යයේ පලවිය. ඔවුහු පොකුණක් අසල දිය කෙලින වඳුරු රැලක් නිරීක්ෂණය කරමින් වුන්හ. එහි ඉතා කුඩා පැටවුන්ගේ සිට මහා වදුරන් දක්වා විශාල පිරිසක් සිටියෝය. හදිසියේම ඉතා ආසන්නයේ වෙඩි හඬක් ඇසුණු අතර තත්පර කිහිපයකදී වදුරෝ සියළුම පැටවුන් රැගෙන අසල තිබූ විශාල ගසකට ගොඩ වුහ. 

ඉන් පසු ගස නිරීක්ෂණය කරන විද්‍යඥයන් දුටුවේ අමන්දානන්දනීය දසුනකි. ගසට නැගගත් වදුරෝ එකිනෙකා අතර පැටවුන් හුවමාරු කරගනිමින් සිටියහ. අනතුරක සේයාවක් දුටු සැනින් ඔවුන් ලඟම සිටින පැටියා රැගෙන ආරක්‍ෂිත ස්ථානය කරා දිවගොස් ඇත. තමාගේ පැටියා සොයමින් සිටියා නම් වඳුරු රැලට පැයකටවත් මේ ගමන සිදු කල නොහැක. 

අධිවොල්ටියතා විද්‍යුත් විද්‍යාවේදී අපි නිතරම ප්‍රශස්තිකරණ තාක්ෂණය (optimization techniques) යොදාගනිමු. මෙහිදී Particle swarm optimization (PSO) අපි බොහෝ විට භාවිතයට ගැනෙන්න ක්‍රමවේදයකි. මෙය කුරුල්ලන්ගේ සමුහ පියෑම්බිම නිරීක්ෂණයෙන් ගොඩනගා ගත් සංකල්පයක් බව කියැවේ. මේ නිසා මම දිනක් මේ කුරුළු පියෑඹිම පිළිබඳව තතු කියවුයෙමි.

සමහර කාල වලදී අහසේ පියඹා යන සංක්‍රමණික කුරුල්ලන් සමුහ ඔබ දැක ඇතුවාට සැක නැත. ඔවුන් බොහෝ විට පියඹන්නේ V අකුරේ හැඩයටය. මීට හේතුව කුමක් විය හැකිද?

කුරුල්ලෙක් පියඹන්නට අත්තටු සලන විට හරියටම උගේ පිටුපසින් වා තලයක් පහලට තල්ලු වන අතර ගමන් මාර්ගයේ සිට අංශක 45ත් 60ත් අතර කෝණයක අඳින සරළ රේඛාවක් තුලින් වා කඳක් ඉහලට එසවෙයි. එබැවින් එම කුරුල්ලාට පිටුපසින් මෙම රේඛාව මත මදක් ඉහලින් පියාඹන තවත් කුරුල්ලෙකුට නිතැනින්ම ඉහලට එසවීමක් සිදුවෙයි. මේ නිසා එම දෙවෙනි කුරුල්ලා අත්තටු ගැසිය යුත්තේ අඩුවෙනි. මෙහිදී ඉදිරියෙන් යන කුරුල්ලාට අමතර පීඩනයක් (back pressure) නොදෙන පරිදි ඉහලට තෙරපුම උපරිම වන දුරක් ඇති අතර එය පිටුපස සිටින කුරුල්ලා සංවේදනය කරගනී. මීට අමතරව පිටුපස සිටින කුරුල්ලන්ට රෑන යන දිශාව සහ රෑනේ සාමුහිකත්වය රැකගැනීමටද මෙම පිහිටුම උපකාරී වෙයි. 

මෙබඳු කුරුළු රෑනක නායකයෙකු නැති අතර ඉදිරියෙන් යන කුරුල්ලා වෙහෙසට පත්වන විට ඔහු පසුපසට යන අතර තවත් වැඩිහිටි කුරුල්ලෙක් ස්වේච්චාවෙන් ඉදිරිය ගනී. කුඩා සහ දුර්වල කුරුල්ලන් හැමවිටම පිහිටීමේ පසු පසින් පියාඹයි.  

මේ කතා තුනම මට ලියන්න සිත් වුනේ ලාංකිකයා පටලවා ගත් තවත් තැනක් පිළිබඳව නිතර දකින හෙයිනි. 

ලංකාවට අද අත්ව ඇති ඉරණමට ප්‍රධාන හේතුවක් වන්නේ ලාංකිකයා බොහෝ දේ ස්ව-කැමැත්තෙන්ම ව්‍යාකූල කරගැනීමයි. මේ සඳහා දේශපාලකයගේද නොමද සහය ලැබේ. 

බොහෝ ලාංකිකයන්ට ආගම ධර්මය අවශ්‍ය වන්නේ එය පිළිපැදීමට නොව ඒ හා බැඳුනු අනන්‍යතාවය රැකගැනීමටයි. ඒ වෙනුවෙන් ඔවුන් රට ඛේදවාචකයක් කරා ඇදගෙන යයි. 

ලංකාව ස්වභාවික සෞන්දර්ය අතින් බොහෝ රටවලට නොදෙවෙනිය. එහෙත් අප කරන්නේ එය ලෝකෙන් ලස්සනම, හොඳම, උතුම්ම රට යයි විශේෂණ පද යොදමින් උඩඟු වී සිටීම පමණකි. ඩුබායි දේශයේ වැලි කාන්තර නැරඹීමට අද දහස් ගණනින් ධනවතුන් ඇදෙද්දී අපේ රටේ සංචාරක ව්‍යාපාරය පණ අදී. 

සහජීවනයද ඒ හා සමානවම පොට පටලවා ගත් තවත් සංඛල්පයකි. සත්ව ලෝකය මෙන්ම කුඩා දරුවාද ස්වභාවයෙන්ම අවබෝධ කරගන්නා මේ යහ-සංකල්පය ලාංකිකයාට අපභ්‍රංශයක් වී ඇත. 



සහජීවනය යනු විවිධ හැඩතල සහිත පුද්ගලයන්ගෙන් සැදුම් ලත් සමාජ කුලකයක් එකිනෙකාගේ හැකියාවන් තම තමන්ගේ උන්නතිය උදෙසා සමුහයක් වශයෙන් ක්‍රමවත්ව සහ උපක්‍රමිකව යොදා ගැනීමයි. 

මෙය රටක මුළු මහත් ජනතාවම ඉහලට එසවෙන ක්‍රමවේදයකි. 

යථාර්තය ලාංකිකයා අප්‍රිය කරයි. ඒ වෙනුවට ඔවුන් කැමති පුහු ආටෝප වලින් අලංකාර කල මුරුංගා අතුවලටය. ඒ නිසා මේ කියන්න යන්නේ බොහෝ දෙනෙකුට පත්‍ය නොවන කතාවකි.

මම ලංකාවේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ වැඩමුළු කිහිපයක් පැවැත්වීමට උර දී ඇත්තෙමු. මේ හැම අවස්ථාවකම පාහේ අපි විදේශීය අමුත්තන්ට රාත්‍රී සාදයක් පවත්වමු. මෙහි ප්‍රධාන තැනක් ගන්නේ එහිදී පැවැත්වෙන සංස්කෘතික අංගයයි. මේ සඳහා අපි ත්‍රිවිධ හමුදාවල, පොලිසියේ හෝ වෙනත් නැටුම් ආයතනයක කණ්ඩායමක් ගෙන්වමු. 

විදේශීකයන් උදෙසා පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයක් යැයි කියූ පමණින් ඔවුන් කරන්නේ එකම කාර්යයකි. එනම් බෙරගැසිම සහ පිරිමි නැට්ටුවන් පිරිසක් උඩ පනිමින් නැටීමයි. බොහෝ දෙනෙකු ඉතා උනන්දුවෙන් මෙම අංග නැරඹීම ඇරඹුවත් ටික වෙලාවකින් එකිනෙකා සමග පිළිසඳරේ යෙදීමට හෝ ජංගම දුරකතනයේ  මුණ හොවා ගැනීමට පටන් ගනී. එම රංගනයන් මනරම්ය, එහෙත් ඒකාකාරිය. 

විදේශීය අමුත්තන් බොහෝ දෙනෙකුගෙන් එම රංගනයන් පිළිබඳව ඇසු විට ඔවුන් බොහොම හොඳයි කියා පවසයි. එහෙත් ඔවුන්ගේ හැසිරීම් රටාව මෙන්ම ශරීර භාෂාවද (body language) කියන්නේ එය මහා කන්දොස්කිරියාවක් බවයි. 

වරක් ඇමරිකන් ජාතික විද්‍යාඥයෙක් මගෙන් කෙලින්ම ඇසුවේ "බෙරගනවා, උඩ පනිනවා සහ හිනා නොයන විහිළු වැනි යමක් කරනවා ඇරෙන්න ඔබලාට වෙන සංස්කෘතික අංග නැද්ද" කියාය. ඔහු හිනා නොයන විහිළුවක් ලෙස හැඳින්වුයේ සළුපාලියයි.

ඇත්තෙන්ම අපි ලංකාවට පැමිණෙන අයට සංස්කෘතික සංදර්ශණයක් යනුවෙන් පෙන්වන්න හදන්නේ ලංකාවේ එක්තරා කාලයක තිබූ සිංහල රාමුවට කොටුවූ අංග කිහිපයකි. මෙහි ඇත්තේ බෙර වාදන පමණි. මෙම සංස්කෘතියේ තත් භාණ්ඩ (string instruments), වා භාණ්ඩ (wind instruments), කාන්තා ගයනා සහ රංගන නැත. 

මීට දශක තුන හතරකට පෙර කවුරුත් බලන්න පුන පුනා සිටි උඩරට නැට්ටුවාගේ පිනුම් සෙට් එක අද පේමන්ට් එකට පැමිණ ඇත. ඇමරිකාවේ පදික වේදිකා රඟන්නන් මීට වඩා ඉතා ඉහල පෙලේ කරණම් ගසයි. එහෙත් උඩරට නැට්ටුවා තවමත් එතැනමය.

අපි හැමවිටම සිතන්නේ අපේ දේ ඉතා ඉහල බවත් සියළු විදේශිකයන් එය අනිවාර්යයෙන්ම රස විඳිය යුතු බවත්ය. එහෙත් යතාර්ථය මින් බොහෝ ඈතය. අවශ්‍යවන්නේ සංස්කෘතික අංග නාමයෙන් අපේ ඒවා කියා අපම ලේබල් ගසා ගත් ඒවා බලෙන්ම පෙන්වීම නොවේ. ඒ වෙනුවට, ලංකාවේ නොයෙකුත් උප-සංස්කෘතියන්ගෙන් උකහා ගත් විවිධාංග ඇතුළත් නරඹන්නා පිනවිය හැකි දර්ශනයක් ඉදිරිපත් කිරීමයි.  

ඔබ මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර ඇති සලෝමා බිස්ට්‍රෝ (දැන් වාව් කේඑල් ) භෝජනාගාරයට රාත්‍රී ආහාරය සඳහා ගොඩ වදින්න, එහි සැමදා රාත්‍රී 8 සිට 10 තෙක් සංස්කෘතික සංදර්ශණයක් පැවැත්වේ. මෙහිදී ඔවුන් තම සංස්කෘතික අංග ලෙස මැලේ නැටුම්, චීන නැටුම්, ඉන්දියානු නැටුම්, අරාබි නැටුම්, බෝර්නියෝ නැටුම්, පෘතුගීසි නැටුම් ආදී තම රටට යන්තම් හෝ ගෑවී ගිය සියළුම ජන කොටස් වලට අදාළ අංග ඉදිරිපත් කරයි. බොහෝ දිනවල රුපියල් 4500 ට ආසන්න මුදලක් ගෙවා රාත්‍රී ආහාරය සඳහා සියගණනින් මෙම අවන්හලට රොක්වේ. මේ අතර විදේශිකයන් පමණක් නොව මැලේ  ජාතිකයන් පවා විශාල වශයෙන් සිටියි. 

හඳුනාගන්න මෙයයි සහජීවනය තුලින් යහජීවනයට යන පාර.


ලාංකික දෙමළ පිරිස් විශාල වශයෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ ව්‍යාපාර පවත්වාගෙන යයි. මේ අතර තොරතුරු තාක්‍ෂණය (IT) පැත්තෙන් මහා පරිමාන ව්‍යාපාර අධිරාජ්‍යයන් හිමි පුද්ගලයන් ඇත. ලංකාවේ සියළු ජාතිකයන් අතර තොරතුරු තාක්‍ෂණය පරතෙරට හැදෑරුවන් ඇත. මේ දෙපිරිස අතර පාලමක් තැනිය හැකි නම් එයයි සහජීවනය.

මේ වන විට ලංකාවේ ඇඳුම් පැළඳුම් වෙළඳාම් අංශයෙන් මුස්ලිම් ජාතිකයන් ඉදිරියෙන් සිටියි. ඔවුන්ගේ ව්‍යාපාර කඩාකප්පල් කිරීම සඳහා නොයෙකුත් විකට ස්වරූපී මුසාවාද ප්‍රචාරය කිරීම නවතා එම ව්‍යාපාර වලට ඔබටත් දායක විය හැකි තැන් සොයන්න. රටක කුමන ජාතියක්, ආගමක්, සමාජ මට්ටමක් හරහා හෝ ව්‍යාපාරයක් බිහිවේ නම් එය රටට ආශිර්වාදයකි. එය කඩා බිඳ දැමීමට නොසිතා එයින් තමන්ටත් යමක් ලබා ගත හැකි ආකාරයක් ගැන හිතන්න. 

උතුරේ නිෂ්පාදන පමණක් නොව මත්ස්‍ය අස්වැන්නද දකුණේ වෙළඳපොළට එන්නේ මද වශයෙනි. මෙයින් උතුරේ දෙමළා මෙන්ම දකුණේ සිංහලයා මරක්කලයාද යහපතක් අත් කරගන්නේ නැත. මේ පරතරය නැති කල හැකි නම් එයයි සහජීවනය.

සිංගප්පුරුවේ හෝ මැලේසියාවේ කෙනෙකු සමග ඔබ කුමක් කතා කරන්න ගියත් ඔබට නිතරම ඇසෙන්නේ win-win situation යන්නයි. එය සිංහලට පෙරලද්දී මම ජය-ජය මග ලෙස සඳහන් කරමි. යමක් කිරීමේදී අදාළ පාර්ශව දෙකටම ජය ලැබෙනසේ (වාසි සැලසෙන සේ) යමක් කිරීම ජය-ජය මගයි. ඔබ යෝජනා කරන්නේ ජය-ජය මගක යාමට නම් කිසිවෙකු ඔබ හා යාමට පැකිළෙන්නේ නැත. එවිට ජාති, කුලමල, ආගම්, කරලියට පැමිණෙන්නේ නැත. 

දැනටත් ඉතා හොඳ සහ ජීවනයකින් ජය-ජය මගේ ජයටම යන පිරිසක් ලංකාවේ සිටියි. ඒ දේශපාලකයන් සහ ජාවාරම් කරුවන්ය. ලංකාවේ අද සිටින බොහෝ දේශපාලකයන් ආගම ජාතිය කුලය වැනි බොහෝ බෙදුම් සාධක වලින් ස්වායත්තව නෑදෑ කම් වලින් බැඳී ඇත. 

මේ මහා සිංහලයාගේ නංගි අර හැඩි දෙමළා සමග විවාහවී ඇත. අර දෙමලාගේ දූවරු මේ සිංහල බෞද්ධ දේශපාලන රත්නයන්ගේ පුතුන් හා විවාහවී ඇත. අරයාගේ බිරිඳ කතෝලික, මෙයාගේ මල්ලි බැඳලා ඉන්නේ අර මුස්ලිම් ඇමතිතුමාගේ දුවව. එතැන ඇත්තේ අපූරු සහජිවනයකි. ඒ සහජීවනය තුලින් ඔවුන් යහජීවනය උදා කරගෙන ඇත. නමුත්  අවාසනාවට ඒ යහජීවනය සාමාන්‍ය ජනතාවට ලැබෙනවාට එරෙහිව වැට කොටු පවුරු බඳින්නේද මේ දේශපාලුවාමය.

කුඩු මුදලාලිලා, මිනිස් ජාවාරම් කරුවන්, පාතාලයන් අතරද මෙම සහජීවනය උපරිමයෙන් ඇත. නමුත් එයින් ජනතාවට ලැබෙන්නේ අයහපත පමණි. 

ලංකාවේ මේ සහජීවනය වෙනුවෙන්ම නඩත්තු කෙරුණ ඇමතිවරයෙකු තම ධුර කාලයටම කලේ විවිධ ජාතීන්ට අයත් කොල්ලෝ කුරුට්ටන් පිරිසක් සමග ගෝල්ෆේස් පිටියේ සරුංගල් ඇරිමයි. එය ඔහුගේ සහජීවනය අර්ථ දැක්වීමයි. සමහරුන්ට අනුව අන්‍යාගමිකයන් බෞද්ධ පිළිම කැඩීම හෝ සිංහලයන් අන්‍යාගමිකයන්ගේ ගෙවල් ගිනිතැබීම වැනි කාරණා පිළිබඳව මුවින් නොබැන ඉවසා වදාරා සිටීම සහජීවනයයි. මෙය නීතිය හා සහජීවනය සම්පුර්ණයෙන්ම පටලවා ගැනීමකි. නීතිය, නීතිය ලෙස ක්‍රියාකරවීමට දේශපාලකයා මැලිවීම සහජීවනයට ඇති විශාලම බාධාවයි. 

සහජීවනය වෙනුවෙන් මුලින්ම කල හැකි සරලම ක්‍රියාව නම් කිසිම ආකාරයකින් (කතාවෙන්, ලිවීමෙන්, ඇඳීමෙන්, ඉදිරිපත් කිරීමෙන්) අනෙකෙකුගේ ජාතිය, ආගම හෝ කුලය මත පදනම් වූ අනන්‍යතාවයට රිදවීම නැවැත්වීමයි. බදුරුදීන් කරන වන විනාශයට එරෙහිවිය යුත්තේ එය කරන්නේ බදුරුදීන් නිසා නොව වන විනාශය ඛේදවාචයක් වන බැවිනි. බදුරුදීන් ගේ විල්පත්තු වන විනාශය දකින බොහෝ දෙනෙක් සිංහරාජයට, යාලට, රූමස්සලට, මුතුරාජ වෙලට සිංහල දේශපාලකයන් කර ඇති විනාශය නොදකී. මෙයත් මහා ඛේදවාචකයකි.



                           








                                             


Monday, 21 January 2019

අපි නොදන්න මාර්කටින්


ශ්‍රී ලංකාව 1996 වසරේදී ක්‍රිකට් ලෝක කුසලාන දිනා ගත්තේය. ඉන් අනතුරුව පැවති පළමු තරඟාවලිය සඳහා නවසීලන්තයට ගිය ලෝක ශූර ශ්‍රී ලංකා පිල හිස් ප්‍රේක්ෂකාගාර වලට ක්‍රීඩා කළේය. මා දන්නා කාලයක සිට ශ්‍රී ලංකා පිල යනු බොහෝ රටවලින් පහල ඉල්ලුමක් තිබූ කණ්ඩායමකි. සෑහෙන කලක්  සංචාරයකදී අපට ටෙස්ට් වරම් ලාබී රටවල් එක් ටෙස්ට් තරගයකට වඩා නොදෙන බවට අපි මැසිවිලි නගමින් සිටියෙමු. 

ලෝක කුසලාන ශූරතා සහ අනුශූරතා මෙන්ම අති දක්‍ෂ ක්‍රීඩකයන් අතින්ද ලංකාවට අහේනියක් නොවීය (මෑතක් වන තෙක්). එහෙත් ක්‍රීඩා වේදිකාවේදී අප හොඳ ඉල්ලුමක් සහිත පිලක් වුයේ නැත.

ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව මොන අතින් බැලුවත් ලංකාව අන්තර්ජාතික ප්‍රජාව අභියස යම් තරමකට පසුගාමිය. ලොව ඉස්තරම්ම තේ නිපදවනේ ලංකාවයි. එහෙත් තවමත් එයින් විශාලම ආදායම ලබන්නේ බ්‍රිතාන්‍යයි. මේ වන විට කෙන්යාව, ඉන්දියාව (විශේෂයෙන් Darjeeling Tea) පමණක් නොව මැලේසියාව පවා තේ වලට හොඳම සැපයුම් කරුවන් වී සිටිති. ලංකාව ලෝකයේ හොඳම මුහුදු වෙරළ තීරයන් ඇති රට බවට දෙවරක් පත්වෙද්දී (Lonely Planet) ලංකාව මෙන් 200 ගුණයකටත් වඩා කුඩා මාල දිවයිනේ මුහුදු වෙරළට, ලංකාවට එනවා මෙන් 200 ගුණයකටත් වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ඇදෙයි. ලංකාවේ නිල් රතු පසිංගල් ගැන අපි පුරාජේරු කියමින් සිටින අතරේ තායි සහ චීන ජාතිකයෝ එම මැණික් කැටවලින්ම ලංකාව ලබන ආදායම මෙන් දස ගුණයක් උපයා ගනී.

..................................................................................

මේ ලිපිය මා ලියන්නේ ඉන්දියාවේ භූබනේශ්වර් නුවර පැවැත්වෙන අකුණු සහ වායු ගෝල කැළඹීම් පිළිබඳව සම්මන්ත්‍රණයකට සහභාගී වන අතරතුරයි. විරාමයක් අතර මම මිතුරු ආචාර්ය ක්‍රිෂ්ණා ගෞඩා සමග ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පිළිසඳරකට වන්නෙමි. ලංකාවේ ක්‍රිකට් පිළිබඳවද දැන් වැඩිපුර කතා කලයුතු දෙයක් නැත. එබැවින් මම වඩාත් නොසිතාම ක්‍රිෂ්ණා ගෙන් මෙසේ ඇසුවෙමි. 

"කොහොමද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙන රටවලට වඩා ඉන්දියාවෙන් හමුවෙන්නේ".

මෙය වෙනත් ඉන්දියන් ජාතිකයෙකුගෙන් ඇසුවා නම් මට ඊළඟ පැය පුරා ඉතා ගැඹුරු විග්‍රහයකට ඇහුම්කන් දිය යුතු වනු ඇත. එය බොහෝ විට පුරාණ ඍෂිවරුන්ගේ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් ලෙස හේතු දැක්වීමටද බැරි නැත. එහෙත් ක්‍රිෂ්ණා වෙනස් ලෙස සිතන ඉන්දියානුවෙකි.

"කවුද කියන්නේ ඉන්දියාවේ වෙන රටවලට වඩා දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා කියා". ඔහු ගත් කටටම කීය.

"වෙනස තියෙන්නේ වෙන රටවලට වඩා ඉන්දියානු ක්‍රීඩකයන්ගේ අලෙවිකරණය (marketing) හොඳයි. ක්‍රීඩකයන්ගේ විතරක් නෙවෙයි ඒ හා සම්බන්ධ සියළු දෙනාගේ. රටවැසියාගේ පවා". ක්‍රිෂ්ණා කියාගෙන යයි.

ක්‍රිෂ්ණා කියන දේ මට පිළිගත යුතුව ඇත. මුරලිදරන් ලෝකයේ සිටි වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත්  ක්‍රීඩකයාය. එහෙත් ඔහුට වඩා කපිල් දේව් පිළිබඳව ලෝකය කතා කරයි. අංශ රාශියකින් සචින් තෙන්ඩුල්කාර්ට වඩා සංගක්කාර ඉදිරියෙන් සිටියි. එහෙත් සංගක්කාරට වඩා සචින්ගේ ප්‍රතිරූපය බොහෝ සෙයින් ඉහලය. යථාර්තය මෙයයි. 

"ඉන්දීය ක්‍රීඩකයන්ගේ කැරිස්මාව (charisma; මෙයට නියමාකාරයෙන් සිංහල වදනක් නැතැයි මට සිතෙයි) ඉතා ඉහලයි. ඒ වගේම  ඉන්දියන් ක්‍රීඩා විචාරකයන්, නිවේදකයන් වගේම මාධ්‍යයත් ඔවුන්ව ඔසවා තබනවා".

බෞද්ධ කොඩිය හඳුනන්නේ නැති, ඕස්ට්‍රේලියාවෙන් මැටි ගෙන්වා තණතිලි හදන්න යෝජනා කරන, පිටරට ක්‍රීඩකයෙක් තට්ටුවක් ඇල්ලුවත් අතිශයෝක්තියෙන් වර්ණනා කරන අපගේ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයන් මට මතක් වෙයි. 

..................................................................................

ස්වයං-අලෙවිකරණය (self-marketing) අද පමණක් නොව මිනිසා පැවතෙන දා පටන් නායකත්වයේ සහ ස්වයං-වර්ධනයේ  ප්‍රබල සාධකයක් විය.  ප්‍රාග්-ඓතිහාසික මිනිසා සතෙකු මරාගත් විට දෑතින් පපුවට ගසා ගනිමින් අත් පා ඔසවමින් මහා හඩින් කෑගසා තම අභිමානය සෙස්සන්ට පෙන්විය. මෙය ඔහුගේ නායකත්වය පිළිබඳව අනෙකාට දුන් ඉඟියකි.  අද දක්වා මෙහි වෙනසක් නැත (අද ලාංකික දේශපාලන වේදිකාව තුල පවා මෙය දෘශ්‍යමාන වෙයි). තම හැකියාවන් පිළිබඳව පෞද්ගලිකව මෙන්ම සාමුහිකවද ඵලදායි ලෙස (effectively) ලෝකයට දැනුම්දිය හැකි පුද්ගලයා හෝ සමාජය තම ජයග්‍රහණ ආර්ථික වර්ධනයන් බවට පරිවර්තනය කරගනී.

විනිසුරු දැනුම් දීමටත් පෙර තම දැවී යාම පිළිගෙන පිටියෙන් ඉවත්වන ලාංකික ක්‍රීඩකයන් සිටි සමයක් විය. තමා කඩුල්ලක් ලබාගත් විට හෝ ශතකයක් ලබාගත් විට ඉතා සංසුන්ව ජයග්‍රහණය සමරන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා පිලේ අඩුවක් නැත. එය අපගේ නිහතමානි කම බව සමහරුන්ගේ මතයයි. නමුත් ලොවට අවශ්‍ය මේ ඕලාරික හැසිරීම් රටාව නොවේ. ලොවට අනවශ්‍ය දේ මාධ්‍යටත්, මාධ්‍යට අනවශ්‍ය දේ ආර්ථිකය හසුරුවන්නන්ටත් අවශ්‍ය නොවේ. අවසානයේදී අපිට ඉතිරිවන්නේ නිහතමානීකම සහ දුප්පත්කම පමණකි. 

ෂහිඩ් අෆ්රිඩි කඩුල්ලක් ලබා ගත් විටත්, විරාත් කොහොලි ලකුණු 50 ක් ගැසූ විටත්, දක්වන නර්තන ඔවුන්ගේ ස්වයං-අලෙවිකරණයේ අංගයන්ය. එය ඔවුන්ව මාධ්‍ය චුම්බක (media magnets) බවට පත් කරයි. පිටියේදී නිතර කිපෙන සුළු බවක් පෙන්වන, ලංකාවට ආරියාදු කතා කියන විරාත්, ශ්‍රී ලංකාවේදී පාරක් අයිනේ ලෑලි විකට්ටුවක් ඉදිරිපස කොල්ලෝ කුරුට්ටන් සමග ක්‍රිකට් ගැසීය. අපි ඔහුගේ අලෙවිකරණයේ මාධ්‍ය ප්‍රවර්ධකයන් වූයෙමු. ඔහුගේ ප්‍රකෝපකාරී හැසිරීම් හමුවේ ඔහුට බණිමින් සිය ගණනක් පෝස්ට් සමාජ මාධ්‍ය තුල සංසරණය විය. ඊටත් වැඩි ප්‍රමාණයක් ඔහුගේ පාරේ ක්‍රිකට් ගැන පලවිය. ඔහුගේ අලෙවිකරණයේ සාර්ථක බව මෙයින්ම සහතිකවේ. අවසානයේ විරාත් කොහොලි ක්‍රීඩා කරන තරඟ බැලීමට හැම රටකම ජනතාව වැල නොකැඩී පැමිණෙයි. 

අද මේ අලෙවිකරණය පිළිබඳව අප ඉගෙන නොගත් පාඩම් බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය පවා හොඳින් හදාරා තිබේ. බංග්ලාදේශයේ නයා අපි ලෝකය වටේ අරන් ගියෙමු. බංග්ලාදේශය සහ වෙනත් රටවල් අතර තරඟ වලදීද එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙම නයා පෙන්වීම කරන බව මම පෞද්ගලිකව දනිමි. ඔවුන් දැන හෝ නොදැන බංග්ලාදේශයට අති විශිෂ්ඨ සේවයක් ඉටු කරයි. 

..................................................................................

ක්‍රිකට් යනු ජාතික පෞරුෂය වර්ධනය කළ හැකි උත්තේජකයක් මෙන්ම ඉතා හොඳ ව්‍යාපාරික මොඩලයකි. ඉන්දියාව තරම් මෙම ව්‍යාපාරික ආකෘතිය ඥානාන්විතව සහ අති දක්ෂ ආකාරයෙන් හැසිරවූ වෙන රටක් නැති තරම්ය. අද එය ඉන්දියාවට ධන උල්පතක් වී ඇත. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් දක්ෂතාවයෙන් ඔබ්බට ගිය කැරිස්මාවක් තිබූ එකම ක්‍රීඩකයා ලෙස මා දකින්නේ ලසිත් මාලිංගයි. මෙරට තුල පමණක් නොව වෙන රටවලද නරඹන්නන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ශාරීරිකව අනුකරණය කිරීමට උත්සහ කළා නම් ඒ මාලිංගව පමණකි. එහෙත් මාලිංගගේ මේ කැරිස්මාව අලෙවි කරගත්තේ ලංකාව නොව මුම්බායි ඉන්ඩියන්ස් පිළයි. ලංකාවේ ශෝචනීය තත්වය පැහැදිලි කිරීමට මීට වඩා උදාහරණයක් නැති තරම්ය.

..................................................................................

මට පෙනෙන හැටියට නම් ලාංකිකයා තුල ජාතියක් වශයෙන් නිහතමානී කමක් නැත. අපි නිවසේ සිට සමාජයේ ඉහලම කෙලවරට යන තෙක් පුරාජේරුවට (නයා ඇරීමට) ඉතා කැමැත්තෙමු. එහෙත් අප නයි ඇරීමේ කලාවේ අන්තිම අදක්ෂයෝය. අප පුරාජේරු කියවන්නේ ස්වයං-සන්තුෂ්ඨිය හෙවත් හිත සනසා ගැනීම සඳහාය. ඒ වෙනුවෙන් අපි බොහෝ දෙනාගේ හිත් පාරමු. එය පෞද්ගලිකව මෙන්ම ජාතියක් හැටියටද අපි නිරන්තරයෙන් කරමු. මේ පිළිබඳව මම "ධනවතෙකු වීමේ මග" පොතෙහි පරිච්චේදයක්ම වෙන් කලෙමි. 

අපි නයා ඇරිය යුත්තේ පැහැදිලිවම එයින් අපට පල ප්‍රයෝජනයක් ඇත්නම් සහ එමගින් අනෙකාගේ හිත නොරිදේ නම් පමණකි. 

ඔබට ආචාර්ය උපාධියක් ඇත්නම් එමෙන්ම ඔබ වෘතියමය උපදේශකයෙක් (consultant) නම් ඔබට ඔබගේ අධ්‍යාපන සුදුසුකම නිරන්තරයෙන් ඔසවා තැබිය යුතුවෙයි. ඔබගේ සේවාලාභියා (client) ඔබ පිළිබඳව ඉහල ඇගයීමක් කිරීමෙහි ලා මේ නයි ඇරීම ඉමහත් සේ හේතුවෙයි. 

අනෙක් අතට ඔබට විවාහ උත්සවයකදී කලකට පසු අපොස උසස් පෙළවත් සමත් කරගැනීමට නොහැකි වූ ඔබේ ඥාති සහෝදරයා, මිතුරා, පැරණි අසල්වැසියා හමුවෙයි. ඔහු ඉදිරියේ ඔබගේ "ඩොක්ටරේට්" එක ගැන මහා ඉහලින් වර්ණනා කිරීමට යාම ඔබගේ සහෘදයා කණගාටුවට පත් කරනු ඇත. ඒ අතරම ඔබ බොහෝ විට විහිළුවක් බවට පත්වනු ඇත. 

ජාතියක් ලෙසද මේ පාඩම ඉගෙන ගන්නවා නම් අපට බොහෝ දේ හිමිකරගත හැකි වනු ඇත.




****************











Sunday, 13 January 2019

පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ



මට මුණගැසී ඇති විදේශිකයන් අතුරින් ශාලොම් රෝසන්බර්ග් (shalom Rosenberg) තරම් ලංකාව පිළිබඳව දැන සිටි අයෙක් නැති තරම්ය. ඔහු ඉතා කඩවසම් ස්වීඩන් ජාතිකයෙකි. උස අඩි හයකට වඩා වැඩි, ආරෝහ පරිනාහ දේහයකින් හෙබි ඔහු මට හමුවුයේ ක්වාලාලම් පූර් නගරයේදීය. එය අහඹු හමුවීමකි. මා ආචාර්ය උපාධිය සඳහා සැහෙන කාලයක් පදිංචිව සිටි ස්වීඩනයේ උප්සලා නගරය ඔහුගේ උපන් ගම වීම අපගේ කතා බහ ඇරඹීමට හේතු විය. 

ශාලොම්ගේ පියා යුදෙව් ජාතික (ස්වීඩන් - යුදෙව්) මහාචාර්යවරයෙකි. ශාලොම් කරන රැකියාව කුමක්දැයි මට අදටත් හරියටම නොතේරෙයි. ඔහු කිහිප වරක්ම ලංකාවට පැමිණ ඇත. ඒ ප්‍රධාන වශයෙන්ම මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශයේ දොඩම් සහ දෙළුම් වගාව ආරම්බ කල හැකිදැයි ශක්‍යතා අධ්‍යනයක් සඳහාය. 

"ලංකාවේ මේ ප්‍රදේශ ෂමොටි දොඩම් (Shamouti orange) සඳහා ඉතා සුදුසු බව අපිට හැඟෙනවා. නමුත් අපේ තාක්‍ෂණය නොමැතිව ඔබගේ රටට මෙම දොඩම් වගා කරගන්නවත් විකුනගන්නවත් බැහැ" ඔහු අපේ යයි පවසන්නේ ඇමරිකානු-ඊශ්‍රායෙල් ආයතනයකට බව මට පසුව වැටහුණි.

ශාලොම් මට අදටත් ප්‍රෙහේලිකාවකි. ඔහු මට මුණ ගැසෙන්නේ අධි විද්‍යුත් වෝල්ටීයතා සම්මන්ත්‍රණයකදීය.  ඔහු විද්‍යුත් ආම්පන්න නිෂ්පාදනයේ ලා ප්‍රසිද්ධ ස්වීඩන් කොම්පැනියක ඉහල නිලයක් දරයි. ඒ අතරම ඔහු ලංකාවේ දේශගුණය, පස, කෘෂිකර්මය පමණක් නොව දුෂිත දේශපාලකයන් ගැනද පරතෙරටම දනී.

.....................................................................

ඊශ්‍රායලය දොඩම් අපනයනය කරන රටවල් අතර පළමු 15 දෙනාටවත් අයත් වන්නේ නැත. ඒ ඔවුන්ගේ රට කුඩා නිසා ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව වැනි දැවැත්ත රටවල නිෂ්පාදන ධාරිතාවයට ඔවුන්ට කිට්ටු විය නොහැකි බැවිනි. එහෙත් ඔවුහු දොඩම් වලින් සැලකිය යුතු තරම් විශාල ආදායමක් ලබති. ඒ ඊශ්‍රායලය තුල වැවෙන විශේෂ රසයෙන් යුතු දොඩම් වර්ග විකිණීමෙනි. ඒ සඳහා අන්තර්ජාතික වෙළඳ පොලේ ඔවුන්ට ඉතා ස්ථාවර ඉල්ලුමක් ඇත. මට ශාලොම් ගේ කතාවෙන් තේරුණේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල මෙම ඊශ්‍රායලයට වැදගත්වන පලතුරු වර්ග වැවිය හැකි ප්‍රදේශ පිළිබඳව ඉතා ඉහල සැලකිල්ලක් දක්වන බවයි. 

.....................................................................

මේ මීට කලකට පෙර අපි බොහෝ දෙනෙක් අසා ඇති කතාවකි. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සහතිකයක් දීමට මට නොහැක. එහෙත් බොහෝ දෙනෙක් මෙය සත්‍ය බව මා සමග පවසා ඇත.

බිබිලේ දොඩම් ගැන අපි කුඩා කල කවි පවා ගායනා කර ඇත. 1960-70 ගණන් වන විට බිබිල ප්‍රදේශය දොඩම් වගාවෙන් ඉතා ඉහල ආදායමක් ලබාගෙන ලංකාවේ ධනවත්ම ප්‍රදේශයක් වන බවට අනාවැකි පලවිය. වගාව අන්තර්ජාතික තත්වයට ගෙන එම සඳහා එවකට පැවති රජය තෝරාගත් කුඩා කෘෂි විශේෂඥයන් කණ්ඩායමක් වැඩිදුර අධ්‍යනය සඳහා විදේශ රටකට යැවීය. මාස කිහිපයකට පසු ඔවුන් අධ්‍යනය නිම කර ලංකාවට පැමිණියේය. ඉන්පසු ගතවූ ඉතා කෙටි කාලයක් තුල බිබිලේ දොඩම් වගාව හඳුනා නොගත් රෝගයකින් සහමුලින්ම විනාශ වී ගියේය. 

මෙම විශේෂඥ කණ්ඩායමේ කිහිප දෙනා ඉන්පසු ඇමරිකාවේ නිත්‍ය රැකියා හිමිව ලංකාවෙන් සදහටම නික්ම ගිය බව සමහරු පවසයි.

.....................................................................

මා අපොස සාමාන්‍ය පෙළ හදාරන සමය වන විටත් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග තේ, රබර්, පොල් විය. වසර 1970 අවසන් භාගය වන විට ලංකාවද ඇතුළු ලොව බොහෝ රටවල ඉතා තදින් පැතුරුණු මතයක් නම් පොල් තෙල් ඉතා අධික කොලෙස්ටරෝල් සහිත මේදයක් බැවින් හදවත් රෝගවලට ඉමහත් සේ ඉවහල් වන බවයි. ලංකාවේ පාසල්වලද ගුරුවරු මේ කතාවම ඉගැන්වීය. මෙහි ප්‍රතිඵලය වුයේ ලොව පුරා පොල් සඳහා වූ ඉල්ලුම පහල වැටීමයි. ලංකාවේද ඇති හැකි තැන්වල උදවිය පොල් තෙල් වෙනුවට, එළවලු තෙල් භාවිතා කරන්න විය. ඒ ගැන උජාරුවෙන් අසල් වැසියන් සමග උදම් අනන්න විය. 

ලංකාවේ පොල් ගස් යායවල් පිටින් සිදී ගියේය. ඒ වෙනුවට ඉඩම් කට්ටි කර විකුණන බෝර්ඩ් හැම අස්සක මුල්ලකම දකින්න හැකි විය. මේ අතර ඇමරිකාව ප්‍රමුඛ කරගත් බහු ජාතික සමාගම් පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ හෙක්ටෙයාර මිලියන ගණනක පොල් සිටුවන්න විය. 

.....................................................................

මේ වන විට අප දන්නේ පොල්තෙල් යනු දැනට ලොව භාවිත කරන ගුණාත්මකම තෙල් විශේෂය බවයි. මුළු ලොව පුරාම පිරිසිඳු  පොල් තෙල් වලට අති විශාල ඉල්ලුමක් ඇත. එය සපුරා ලීමට බහු ජාතික සමාගම් දැන් අප්‍රිකානු සමුද්‍රාසන්න රටවලද ඉඩම් සොයයි. එහෙත් අපේ පොල් බිම් සිඳී ගොස් ඇත. පසුගිය සමයක ලංකාවට පැමිණි විට මා සුපිරි වෙළඳ සැලක රාක්කයක ඇති මැලේසියාවෙන් ආනයනය කල සුදු පොල්තෙල් බෝතලයක් දුටුවෙමි. දැන් එය ඇති හැකි අයගේ ආඩම්බරයි.



.....................................................................

සේනා ආවේ කොහොමදැයි අපි දන්නේ නැත. හෙට අනිද්දාට ගොයමට, බුලත් කොටුවට, කොස් ගෙඩියට පවා අමුත්තන් පැමිණෙනු ඇත. ඒ පසුපස කෘමි නාශක කන්ටේනර්ද සැපත් වනු ඇත.

.....................................................................

අපේ පොලිටික්කන් කෑගසන විදේශ කුමන්ත්‍රණ අද ලෝකයේ නැත. ඒවා ඇත්තේ පොලිටික්කා මවන සිහින ලෝක වල පමණකි. එහෙත් පසුගිය දශක තුන හතරක සිට ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාපාරික කුමන්ත්‍රණ ඉතා සුක්‍ෂම සහ තීව්‍ර අන්දමින් ක්‍රියාත්මක වේ.  ඒවා අවබෝධ කරගෙන නිසි ආරක්ෂක පියවර ගැනීමට තරම් අපේ දෙසපාලුවා බුද්ධිමත් නොවෙයි.

විපක්‍ෂයේ සිටින විට බහුජාතික බූවල්ලා හොඳ සටන් පාඨයකි. බලයට පැමිණි විට බූවල්ලා හා පැටියෙකු බවට පත්වෙයි.  




Sunday, 6 January 2019

පරාජයේ සීතල, සදාචාරය සහ ක්‍රිකට්



ඒ  අපගේ තරුණ කාලයයි. බ්ලුම් ෆීල්ඩ් සහ සී සී සී ක්‍රීඩා සමාජ අතර ක්‍රිකට් තරගයක් රීඩ් මාවතේ පිහිටි බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙමින් තිබුණි. එකවරම යම් පුවරුවක් ඇඟේ එල්වා ගත් (කවුරුන් විසින් හෝ එල්වූ) දඩාවතේ යන බල්ලෙක් පිටිය මැදට දිව ආවේය. බල්ලා සමීපයට එන විට ලියා ඇති දේ කියවිය හැකි විය. එහි ලියා තිබුනේ "අබු ෆුවාඩ්" යන නමයි. බොහෝ දෙනෙකුට මෙය දැක සිනහ පහලවූ අතර සමහරුන් විසිල් ගසමින් කෑ මොර දෙන්න විය. එසැනින්ම ක්‍රියාත්මකවූ ක්‍රීඩාංගනය බාර සේවකයෙක් දිවැවිත් සෑහෙන උත්සහයකින් පසු පුවරුව ගලවා බල්ලාව එම ගැහැටෙන් මුදා හළේය.

"අබු ෆුවාඩ්" යනු එවකට ක්‍රිකට් පරිපාලනයේ සිටි දැවැත්ත චරිතයකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජයග්‍රහණ රාශියක් (පිටියේ මෙන්ම ඉන් පිටතදීද) පිටිපස අබු ෆුවාඩ් මහතා සිටි බව බොහෝ දෙනෙක් පිළිගනී. ජාතික පිල තේරීමේදී ඔහුගේ තීරණයන් හැමවිටම ප්‍රමුඛස්ථානය ගන්නා බව අප සැමගේම මතය විය. අවුල තිබුනේ ඔහු ජාතික පිල තේරීමේදී බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ (විශේෂයෙන්ම නාලන්දාවෙන් පැමිණෙන) ක්‍රීඩකයන් කපා දමන බවට පැතිර ගිය රාවයයි. එය කෙතරම් ක්‍රීඩා ලෝලීන් තුලට කා වැදී තිබුණේද යත් "අබු ෆුවාඩ්" නම ඇසුණු සැණින් කෝපාවිෂ්ඨ වන බ්ලුම් ෆීල්ඩ් රසිකයන් විය. නාම පුවරුව එල්ලා ගත් බල්ලා මෙම රසික වෛරයේ තරම කියා පෑවේය.

මට මේ කතාව මතක් වුයේ මීට මාස කිහිපයකට පමණ පෙර ලංකාවට පැමිණි අවස්ථාවේ මුණ ගැසුණු මිතුරෙකු කී කරුණක් නිසාය. ඔහු මට හමුවුයේ වසර 30ට පමණ පසුවය. ප්‍රබල බ්ලුම් ෆීල්ඩ් රසිකයෙකු වූ ඔහු එවකට එන් සී සී පිලට යම් ලබැඳියාවක් තිබු මා සමග පැය ගණන් ඉතා දරුණු ආකාරයෙන් වාද කල අවස්ථා විය. නාම පුවරු බල්ලා පිටිය පුරා දුවන විට මා සමග සිටි මේ මිතුරා අමන්දානන්දයට පත්ව උඩ පනිමින් ඔල්වරසන් දෙන්න විය. 

"අපෝ ක්‍රිකට් ගැන නම් අහන්නවත් එපා බන්, මේ බුකිකාරයෝ සෙට් වෙලා ඒක විනාශ කළා. තිලංගල එක්ක තිබ්බහම අබු ෆුවාඩ්ලත් හෙණ ජෙන්ටෝ මචන්" මිතුරා කියාගෙන යයි.

ඔහු වසර දෙක තුනකින් ක්‍රිකට් තරඟයක් රුපවාහිනියේ වත් නරඹා නැත. එදා අහවල් දින, අහවල් තරඟයේදී, අහවල් ක්‍රීඩකයා ලබා ගත් ලකුණු ප්‍රමාණයත්, එම පිතිකරු ක්‍රීඩා කල ආකාරයත් මැනවින් විස්තර කල හැකි මතකයක් තිබූ ඔහු අද පිලේ සිටින ක්‍රීඩකයන් වැඩි දෙනෙක් නමින් වත් දන්නේ නැත. 

මේ අද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දුක්බර තත්වයයි.



ක්‍රිකට් යනු සුද්දා අපිට දුන් කමකට නැති, විජාතික ක්‍රීඩාවක් බව කෙනෙකුට තර්ක කල හැක.  එහෙත් ඔබ විදේශ සංචාරයෙහි නිරත වන අයෙකු නම් මෙම ක්‍රීඩාව ඔබට අත් කරදෙන ස්ථානය මැනවින් අවබෝධ වනු ඇත. ඇමරිකානුවෙක්ට, ජර්මනුවෙක්ට, ඔස්ට්‍රේලියනුවෙක්ට, ජපනෙක්ට විදේශයකදී තම රට පිළිබඳව හැඳින්වීමක් කල යුතු නැත. තමා කුමන ජාතිකයෙක්දැයි කියූ පමණින් ඔවුන්ට ඉහල පිළිගැනීමක් ලැබේ. ව්‍යාපාරික මෙන්ම වෘතිය කටයුතු සඳහාද මෙම පිළිගැනීම කෙතරම් වැදගත්දැයි දන්නෝ දනිති.  

ලොව මට හමුවූ බොහෝ මිනිසුන් ලංකාව යනුවෙන් රටක් ඇති බව අසා තිබුණේවත් නැත. තිත්ත ඇත්ත මෙයයි. නමවත් අසා නැති රටක මිනිසෙක් ඔවුන්ට කිසිසේත්ම වැදගත් වන්නේ නැත. ලංකාව ගැන දන්නා පිරිසෙන් 99% ම දැනුවත්ව සිටියේ කාරණා තුනක් පිළිබඳවයි. ඒ සනත් ජයසුරිය, සිරිමාවෝ බණ්ඩාරනායක (විශේෂයෙන් වියපත් පිරිස) සහ LTTE ත්‍රස්තවාදයයි. 

ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටක්ම ලංකාව පිළිබඳව දනී. මුරලිදරන්, ජයසුරිය, අරවින්ද, අර්ජුණ, සංගා, මහේල ගැන ඔවුහු ඉහලින් කතා කරති. මේ ඉහල ඇගයීමෙන් කොටසක් ඔබටද ලැබෙයි. එය ලබාගෙනම අත්දැකිය යුතු කරුණකි. 

මා සමහර රටවලදී මාව හඳුන්වා දෙන්නේ මැලේසියාවෙන් පැමිණියකු ලෙසයි. මට මැලේසියාවේ නිත්‍ය පදිංචිය ඇති බැවින් මෙහි අසත්‍යතාවයක් නැත. එහෙත් සමහර රටවලදී මෙය අවාසියකි. උදාහරණයක් ලෙස දකුණු අප්‍රිකාවේ බොහෝ දෙනෙක් මැලේසියාව පිළිබඳව අසා නැත. එහෙත් ශ්‍රී ලංකාව යැයි කී පමණින් එම රට නොදන්නා අයෙක් මට තවමත් හමුවී නැත. ඒ අන් කිසිවක් නිසා නොව ක්‍රිකට් ක්‍රීඩාව නිසාය.

නමුත් අවාසනාවකට දැන් මට සමුවන බොහෝ දකුණු අප්‍රිකානුවන් අසන පොදු ප්‍රශ්නයක් ඇත.

"What has happened to your cricket, man".


ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය ඇරඹෙන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සමගිනි. එතෙක් කල් ක්‍රීඩා පරිපාලනයට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරයක් දැක්වූ අයයි. ඔවුන් අතර තම ප්‍රතිරූපය ඉහල නංවා ගැනීමේලා ධූරය උපයෝගී කරගත් ගාමිණී දිසානයකලාද, තම හිතවත් ක්‍රීඩා සමාජය සඳහා යම් පක්ෂග්‍රාහී තීරණ ලබා දුන් අබු ෆුවාඩ්ලාද සිටියෝය. නමුත් ඔවුන් සියල්ලෝම ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අතිශයින්ම වැදගත්වන කාර්යභාරයක් ඉටු කල අතර ඒ කිසිවෙක් තම තනතුරු පෞද්ගලික මුදල් උත්පාදනයෙහි ලා ක්‍රියාත්මක කර වුයේ නැත. එසේම ඔවුන්ගේ රැකියාවන් හෝ ව්‍යාපාර ක්‍රිකට් ක්‍රීඩාව සමග කිසිසේත්ම සම්බන්ධ වුයේද නැත. 

අපි 1996 වසරේ ලෝක කුසලානය දිනා ගතිමු. ඉන් සමසක් යාමට පෙර එම ජයග්‍රහණයෙහි ලා සුවිසල් කාර්යභාරයක් ඉටුකළ ක්‍රිකට් සභාපති ආනා පුංචිහේවා මහතා ගෙදර යැවීය. ඒ ක්‍රිකට් ආයතන නිලවරණයේ චන්ද දායකයන් ගත් තීරණයයි. ඒ වෙනුවට පත්වන්නේ ක්‍රිකට් පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා ව්‍යාපාරිකයන් පිරිසකි. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව හරහා උපයා ගත හැකි පෞද්ගලික ධනස්කන්ධය පිළිබඳව ඉව වැටී සිටි හයිනාවන් රැලක් විය. එහි කූට ප්‍රාප්තිය සිදුවන්නේ ඉතා පහල මට්ටමෙන් යන්තම් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වූ, මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සිරගත වූ, පරම්පරාවෙන් සූදුව ව්‍යාපාරයක් කරගත් අයෙක් ක්‍රිකට් සභාපති පුටුවට පත්වීමෙනි.

එතෙක් බොහෝ විට නිතරඟයෙන් හෝ සුහඳ චන්දයකින් තේරුණු ක්‍රිකට් පාලක මණ්ඩලය, බලූ  බල පොරයක් බවට පත්විය. චන්දය සඳහා පමණක් වූ කාඩ්බෝර්ඩ් ක්‍රීඩා සමාජ බිහිවන්න විය. ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා වසරකට වැයකරන මුදලටත් වැඩි ප්‍රමාණයක් ක්‍රිකට් පාලක මණ්ඩල චන්ද විමසීම පවතින යුගයේදී විසිවෙන බව දන්නෝ කතා කරන්න විය. වරක් ලංකාවේ ධනවත්ම ක්‍රීඩා ආයතනය වී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රටට බරක් වූ ණයකාරයෙකු විය. 

අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම ක්‍රීඩකයන් වෙතද දරුණු චෝදනා එල්ලවෙමින් පවතී. ඉතා තීව්‍ර ලෙස තරඟ පාවා දීම් සහ වෙනත් වංචාවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. 

හිටපු සභාපති වරයා මෙම චෝදනාවලට වැරදිකරුවෙක්ද නැත්ද යන්න අනාගතය තීරණය කරනු ඇත. නමුත් ගැටළුව ඇත්තේ එතැන නොවේ. සූදුව පවුලේ ව්‍යාපාරයක් වූ, අපරාධ චෝදනා මත සිරභාරයට පත් වූ පුද්ගලයෙක් ක්‍රීඩා ආයතනයක ඉහලම පුටුව හෙබවීමට ඇති සදාචාරය කුමක්ද යන්නයි? එවන් පුද්ගලයෙකු මුල් පුටුවට පත් කරගැනීමට කටයුතු කල ක්‍රීඩාවට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන්ගේ සදාචාරය කුමක්ද?

"සදාචාරය"- ලංකාවට විහිළුවක් වැනිය.

සදාචාරාත්මක නොවන පාලකයෙක් මුල් පුටුවේ තබාගෙන ඊට පහල නිලධාරීන්ගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් සදාචාරාත්මක ක්‍රියාකාරිත්වයක් බලාපොරොත්තුවන ජනතාවද විහිළුවකි. 

...........................................................................................

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නිරීක්ෂණය කරන අයෙකුට පැහැදිලිවම පෙනෙන කාරණයක් නම් ඔවුන් තනි තනිව ගත් කල ඉතා ඉහල කෞශල්‍යයක් ඇති ක්‍රීඩකයන් බවයි. උදාහරණයක් ලෙස ඔවුන් වෘතිය බොක්සිං ක්‍රීඩකයන් වුවා නම්, බොහෝ තරඟ ඔවුන් ජයගනු ඇත. අවාසනාවකට ඔවුන් කණ්ඩායමක් ලෙස එකතුවන්නේ එකිනෙකා කෙරේ කිසිඳු විශ්වාසයක් තැබිය නොහැකි පසුබිමකය. මුල් පුටුවේ සූදු නියාමකයෙක් සිටින විට ඔවුන්ට කිසිවෙකු සහෝදරත්වයෙන් පිළිගත නොහැක. 

ජාතික කණ්ඩායමෙන් පිටතදී මාලිංග පන්දු යැවූ ආකාරයත් (මුම්බායි ඉන්දියන් පිළ සඳහා), සංගක්කාර පිති හරඹයේ යෙදුනු ආකාරයත් (සසෙක්ස් පිළ සඳහා) අධ්‍යනය කරන්න. මීට ආසන්න වකවානු වලදී ඔවුන්ගේ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වූ දායකත්වය ඊට වඩා බොහෝ සෙයින් පහල මට්ටමක විය. මේ පිළිබඳව බොහෝ දෙනා මත පල කලේ ඔවුන් මුදල් වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි. එහෙත් කිසිවෙක් ගැටළු මූලය පිළිබඳව දැඩි අවධානයක් යොමු කලේ නැත.

අද සූදු නියාමක සභාපතිවරයා නැත. එහෙත් ඔහුගේ දැවැත්ත සෙවණැල්ල ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව වසාගෙන ඇත. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත දෙපයින් නැගී සිටීමට නම් මේ පුද්ගලයා සිය කැමැත්තෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත යුතුය. ඉන් පසු තවත් ටික කලක් යන තෙක් ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම සඳහා වැඩ සටහන් දියත් කල යුතුය. 

නොඑසේ නම් අපිට තව ටික කලක් තරගාවලිය පැරදුන පසු අවසන් තරඟය දිනා සැනසෙන්න සිදුවනු ඇත. ඒ ටික කලද ඉක්ම ගිය පසු සුදු ශෝදනය දායාද කරගන්න වනු ඇත.

දැනටමත් අපි ආසියාවේ අන්තිමයා වී ඇත.