Monday, 11 February 2019

ලංකාවේ සරසවි පර්යේෂකයන් වෙතට ලියන වග නම්



ඒ 2017 වසරේ දෙසැම්බරයයි. කැලණිය සරසවිය මගින් සංවිධානය කරන මානව සම්පත් සංවර්ධනය උදෙසා වූ  සම්මන්ත්‍රණයක් වන National Summit on People Management-2017 කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වුණි. එහි අධ්‍යයන අංශයේ ප්‍රධාන දේශකයා (academic keynote speaker) ලෙස මට ආරාධනා ලැබී තිබුණි

මගේ දේශනයේ මාතෘකාව වුයේ  "Need-based innovative research" යන්නයි. එහිදී මම අවධාරණය කර සිටියේ ඔබ කුමන පර්යේෂණයක් කලත් එහි ප්‍රතිඵල මුදල් බවට පත්කරගැනීමට මුල සිටම කල්පනාකාරී විය යුතු බවයි. අප වැනි රටක් මූලික පර්යේෂණ (basic research) වලට වඩා ව්‍යවහාරික පර්යේෂණ (applied research) කෙරේ වැඩි අවධානයක් යොමු කල යුතුය. පර්යේෂණ ව්‍යාපෘතියක අවසන් ඵලය පත්‍රිකාවක් හෝ පේටන්ට් බලපත්‍රයක් නොව ව්‍යාපාරික මොඩලයක් විය යුතුය. 

මේ මගේ දේශනයේ සංක්ෂිප්තයයි. 

ඉන් පසුව පැවතුනේ ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන ඇකඩමියේ අධ්‍යක්ෂිකා ආචාර්ය රාජේෂ්වරී නරේන්ද්‍රන් ගේ දේශනයයි. ඇය මා ඉදිරිපත්කල කරුණු තදබල ලෙස විවේචනය කරමින්, අප පර්යේෂණ කල යුත්තේ හිතේ සතුට උදෙසා මිස මුදල් ඉපයීම සඳහා නොවන බවත්, අප වැනි රටවලට අවශ්‍ය මූලික පර්යේෂණ කිරීම බවත් අවධාරණය කර සිටියාය. 

මම මුවින් නොබැන සිතින් දෙඩුවෙමි. 

"අප හිතේ සතුට වෙනුවෙන් පමණක් පර්යේෂණ කරන තාක් කල්; මූලික පර්යේෂණ වලම එල්ලී සිටින තාක් කල්; ඉන්දියාව බොහෝ සේ සතුටු වනු ඇත; යුරෝපය, ජපානය, ඇමරිකාවද සතුටු වනු ඇත............... අප දුකසේ ඔවුන් පසු පස සිගමනේ යනු ඇත".

ජපානය, කොරියාව, තායිවානය, සිංගප්පුරුව දියුණු වුයේ මා පවසන ඉහත ක්‍රමවේදය මතයි. ඔවුහු දශක කිහිපයකට පෙර සිටම ව්‍යවහාරික පර්යේෂණ වලට ජාතික තාක්‍ෂණ වැඩපිළිවෙලේ ඉහල ප්‍රමුඛතාවයක් දුන්හ. මෙහි ප්‍රතිඵලය වුයේ ඔවුන් එකවරම තාක්ෂණයේ ඉහලම තලයට ප්‍රවිෂ්ඨ වීමයි. 

මැලේසියාව පසුකලකදීද වියට්නාමය ඉතා මෑතකදීද මෙම මාර්ගයට පිවිසීය. මේ වන විට ඉන්දියාව මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් පසුවෙයි. ඔවුන් තොරතුරු තාක්‍ෂණය සහ කෘතිම බුද්ධිය ආශ්‍රිත දැනුමෙන් ලොව ජයගැනීමට සැරසෙයි.


මගේ සිත වසර 20ක් පිටුපසට ඇදී යයි. මට ලෙනාර්ට් හැසල්ග්‍රන් සිහිවෙයි. ඔහු එවකට ස්වීඩනයේ ISP ආයතනයේ භෞතික විද්‍යා කටයුතු අංශයේ ප්‍රධානියා විය. ඔහු මගේ අධ්‍යාපන ගමනේ අමතක නොවන චරිතයකි. මට ස්වීඩනයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වය ප්‍රදානය කලේ ISP ආයතනයයි. අපට ලබා දෙන හැම අනුග්‍රහයක්ම ලේනාර්ට්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය. 

අපි දිවා රාත්‍රී වෙහෙසවී මූලික පර්යේෂණ කළෙමු. ඉහල පෙලේ පත්‍රිකා රාශියකට දායක වුනෙමු. ස්වීඩනයේ පමණක් නොව ලංකාවේද අකුණු මගින් ඇතිවන විද්‍යුත් චුම්බක ක්‍ෂේත්‍ර පිළිබඳව ගැඹුරින් හැදෑරුවෙමු. 

ලෙනාර්ට් මා කෙරේ බොහෝ සේ පරිත්‍යාගශීලි විය. ලොව පුරා රටවල් රාශියක පැවති සම්මන්ත්‍රණ වල පත්‍රිකා ඉදිරිපත්කිරීම සඳහා ඔහු මට නොමසුරුව ආධාර කළේය. මෙහිදී මහාචාර්ය චන්දන ජයරත්නයන්ගෙන් ලැබුණු උදව් උපකාර සහ දිරි ගැන්වීමද මම ආදරයෙන් සිහිපත් කරමි. ISP ආයතනය සහ ස්වීඩන් රජයේ නොමසුරු පරිත්‍යාගශීලිත්වය නොවන්නට අද මම මේ සිටින තැනට නොපැමිණෙන බව නම් සහතිකය. ඒ ගැන මම අදටත් ඔවුනට කෘතඥ වෙමි. ISP එක මගින් කෙරුණු මෙම පරිත්‍යාගශීලීත්වය ආචාර්ය උපාධියෙන් පසුවද ටික කලක් නොඅඩුව ලැබුණි. 

එහෙත් 2001 ජනවාරියේ දිනක සියල්ල වෙනස්විය. 

එවකට මම භෞතික විද්‍යා කථිකාචාර්ය වරයෙකු වීමට අමතරව අකුණු ආරක්ෂක උපදේශකයෙකු වශයෙන්ද සෙමෙන් සෙමෙන් රට තුල ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් සිටියෙමි. මෙහිදී ක්ෂේත්‍රයේ මා දකින දේ මගේ හිතට වද දෙන්න විය. 

කොළඹ සරසවියේ පර්යේෂක කණ්ඩායම 1970 ගණන්වල සිට අකුණු පිළිබඳව හදාරමින් සිටියේය. ඒවන විටත් පත්‍රිකා රාශියකට අපේ විද්‍යාඥයන් දායක වී තිබුණි. ඒ මගින් දියුණු රටවල ව්‍යාපාරිකයන් බොහෝ  නිෂ්පාදන බිහි කරන්නට ඇත. එහෙත් එවන විට අපේ රටට අකුණු ආරක්ෂණයට සම්බන්ධ ඇණ මුරිච්චියේ සිටම පිටරටින් ආනයනය කරමින් තිබුණි. විය යුත්තේ මෙය නොවන බව මට වැටහුණි. ඒ මට අපේ දැනුම අපේ රටේ සුගතියට යෙදිය යුතුය යන උණ වැළඳී තිබුණු යුගයයි.


එවන විට මට අධ්‍යයනික පියකු (academic father) මෙන් සිටි ලෙනාර්ට් වෙත මම එදින දීර්ඝ ලිපියක් ලියුවෙමි. ස්වීඩනයේදී මා ලද දැනුම රටේ මුදල් උත්පාදනය සඳහා යෙදිය යුතු බවත් සියලුම ආකාරයේ විද්‍යුත් අකුණු ආරක්ෂණ උපකරණ (surge protectors) ලංකාවේ සෑදීමට අපට දැනුම සහ හැකියාව ඇති බවත් මම ඔහුට ලිව්වෙමි. මෙම උපකරණවල මුලික සහ තත්ව පරික්ෂාවන් සඳහා ධාරා ප්‍රභව සහිත ක්‍රමවත් අධි වෝල්ටීයතා පහසුකම් අවශ්‍ය වෙයි. මේ පිළිබඳව සකස් වුන ධාරිතා ගොඩනැංවීමේ යෝජනාවලියක්ද (capacity building proposal) මම ඊමේලයට ඇමුණුවෙමි 

පසුදා ලෙනාර්ට් මට කන කිස් කන පිළිතුරක් එවා තිබුණි. මා මේ තත්වයට (මා හිතන ආකාරයට මගේ ආචාර්ය පට්ටම) පැමිණුනේ මූලික පර්යේෂණ නිසා බවත්, ලංකාව වැනි රටකට සුදුසු වන්නේ මූලික පර්යේෂණ තුලින් ඉදිරියට යාම බවත්, මා එහි අගය නොදන්නා මෝඩයෙකු බවත් එහි සඳහන් විය. ස්වීඩනය විසින් ISP ආයතනය හරහා  දශක කිහිපයක් තිස්සේ ලංකාවට ලබා දුන් ඉමහත් ධනස්කන්ධය පිළිබඳවද එහි දීර්ඝ වශයෙන් සඳහන් විය. 

තවත් ඊමේල් දෙකක් පමණ හුවමාරු වූ පසු ලෙනාර්ට් සහ මා අතරවූ ගනුදෙනුව සදහටම නැවතුණි. මා ඔහු සොයන පුද්ගලයා නොවන බව ඔහුට වැටහෙන්න ඇත. එතැන් සිට මම මගේ පාඩුවේ මා යන ගමන ගියෙමි.

ඉන් පසු ගෙවුණු වසර 7-8 තුල මම හැකි හැම අයුරකින්ම දේශීය ව්‍යාපාරිකයන්ට අත හිත දුනිමි. සමහර ව්‍යාපාරිකයන් ඉතා ඉහලට එසවුණු අතර සමහරෙක් අතරමග නැවතුණි. මොන හේතුවකට හෝ මේ අවදියේදී මගෙන් වැඩිම ප්‍රයෝජනයක් ගත්තේ ඉන්දියානු සමාගම් කිහිපයක් විසිනි. 

කෙසේ නමුත් මා පර්යේෂණ ප්‍රතිදානයන් (research output) ව්‍යාපාරික මොඩලයන් බවට පරිවර්තනය කිරීමේ කලාව මැනවින් ප්‍රගුණ කලේ මැලේසියාවට පැමිණීමත් සමගමය. දකුණු අප්‍රිකාව, මා උගත් දේ මෙන්ම අත්දැකීම්ද ප්‍රයෝගිකවම වාණිජකරණය කිරීමට තෝතැන්නක් බව පෙනෙයි. 

ලංකාවේ පර්යේෂණ ව්‍යපෘති කීයක් සාර්ථක ව්‍යාපාරික ආකෘති කරා ගොස් වාණිජකරණය කර ඇත්දැයි සොයා බැලීම වටියි. යුරෝපීය හෝ කැනේඩියානු ආධාර යටතේ ක්‍රියාත්මක වූ හෝ ක්‍රියාත්මක වන බොහෝ පර්යේෂණ කණ්ඩායම් සදාකාලිකවම තම අරමුදල් සපයන්නාගේ අවශ්‍යතා සපුරමින් සිටිති. එසේ නොමැති නම් බටහිර රටක සහයෝගිතා පාර්ශවය (collaborative partner) වෙනුවෙන් දත්ත රැස් කරමින් සිටිති. ඉඳහිට පර්යේෂණ පත්‍රිකාවකට දායකවෙති. මින් ඔබ්බට යාමක් නැත. මේ සේවය වෙනුවෙන් ඔවුන්ට ඉඳහිට විදේශ සංචාරයක් ලැබෙයි. 

සමහර ලාංකික මහාචාර්යවරුන් ජිවිතයේ 55 වෙනි වසරට පියනගන්න ආසන්නයේ සිටියදීත් විදේශ සරසවියක සේවය කරන තම ආචාර්ය උපාධි අධීක්ෂකයා (PhD supervisor) ගෙන් ස්වායත්තව කිසිවක් කරගත නොහැකි තත්වයක පසුවෙයි. ඔහුගෙන් තොරව පර්යේෂණ පත්‍රිකාවක් පළකිරීම පවා ඔවුන්ට සිහිනයකි. මේ වහල් චින්තනය පවතින තාක් කල් ලංකාවට සෙතක් සැලසෙන්නේ නැත. 


ලංකාවේ පෞද්ගලික අංශය සරසවි පර්යේෂණ සඳහා අරමුදල් ලබා දීමට ඇති අකමැත්තට ප්‍රධානම හේතුව ලාංකික පර්යේෂකයාගේ පවතින ආකල්පයි. ආයෝජකයා ඵලදායි ප්‍රතිපලයක් (tangible outcome) බලාපොරොත්තු වෙත්දී පර්යේෂකයා සිතන්නේ තමාට අත් කරගත හැකි ඉහලම ජයග්‍රහණය ඉහළ පෙලේ සඟරාවක පත්‍රිකාවක් පළ කිරීම  බවයි. සඟරා පත්‍රිකාවක් හෝ බුද්ධිමය දේපල යනු පර්යේෂකයෙකුගේ ගමනේ එක් සන්ධිස්ථානයක් (milestone) පමණි. 

ISP ඇතුළු සංවර්ධිත රටවල අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා අරමුදල් සපයන ආයතන රාශියක් මගින් තුන්වන ලෝකයේ රටවලට කල උපකාර සහ එමගින් ඔවුන් ඇතිකළ අධ්‍යයනික ප්‍රබෝධය මම කිසිවිටෙකත් ලඝු කොට නොසලකමි. ඔවුහු මා වැනි බොහෝ දෙනෙකුගේ අනාගතය වෙනුවෙන් අමිල සේවයක් ඉටු කළහ. 

වරද ඇත්තේ අපේ අතේය. අපි හැමදාමත් කවුරුන් හෝ නැගිටින්නට අත දෙන තෙක් බලා සිටිමු. නැගිටගත් පසුද උපකාර කල තැනැත්තාගේ අතේ එල්ලී ඔහුට අවශ්‍ය තැනට යනවා විනා තමන්ගේ දෙපයින් තමන්ගේ ගමනක් යාමට ලංකාවේ සිටින බහුතරයක් පර්යේෂකයන් සුදානම් නැත. මෙය නැගිටින්න ත දුන් කෙනාගේ වරදක් නොවේ. වරද ඇත්තේ අප තුල ඇති අතහැර ගත නොහැකි හීනමානය සහ දුප්පත් මානසිකත්වය තුලයි.

ඔබ ඇමරිකාවේ, කැනඩාවේ, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, ජපානයේ හෝ දකුණු කොරියාවේ උපාධිය හදරුවාට කම් නැත. එහෙත් එය අවසන්ව ලංකාවට පැමිණේ නම් හැකි ඉක්මනින් තම ආචාර්ය උපාධි මූලයෙන් ඔබ්බට ගිය තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න උත්සහ කරන්න. පර්යේෂණ ප්‍රතිඵල සාර්ථකව වාණිජකරණය කල හැකි ව්‍යාපාරික ආකෘතියක් දක්වා පියනගන තෙක් ගමන නොනවත්වන්න. 

.............................................................................

පසුගිය දශක කිහිපයක් තුල බටහිර දියුණු යැයි සම්මත රටවල් බොහොමයක් අනුගමනය කල විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිපත්තියේ පැහැදිලි රටාවක් දැක ගත හැකිය. ඔවුන් 1950 ගණන් වන තෙක් මූලික පර්යේෂණ සඳහා විශාල මුදලක් වැය කළේය. අද ඔවුන් ලබා ඇති තාක්‍ෂණික දියුණුව එහි ප්‍රතිඵලයක් බවට විවාදයක් නැත.

ඉන් පසු ඔවුන්ට වැටහෙන්න ඇත්තේ මේ ගමන තව වේගවත් කිරීමට නම් මූලික පර්යේෂණ හැකි පමණ බාහිරකරණය (outsource) කර තම රටවල් ව්‍යවහාරික පර්යේෂණ  සඳහා වැඩි අවධානයක් යොමු කල යුතු බවයි. මේ අනුව 60 දශකයෙන් පසුව ඇමරිකාව, කැනඩාව, ස්කැන්ඩිනේවියානු  රටවල්, ජර්මනිය, බ්‍රිතාන්‍යය ආදියද 80 දශකය වන විට ජපානයද තරඟයට මෙන් ආසියාතික සහ ලතින් ඇමරිකානු රටවල පර්යේෂණ කණ්ඩායම් බිහි කරන්න විය. 

මෙම පර්යේෂණ කණ්ඩායම් වල ප්‍රධාන කාර්යය වුයේ බටහිර රටවල ඇති සහයෝගිතා පාර්ශවයේ (collaborative partner) මූලික පර්යේෂණ අවශ්‍යතාවය ඉටු කිරීමයි. මෙම කණ්ඩායම් වලින් අදාළ මව් රටවලට යහපතක් නොවුනා යයි මම නොකියමි. එහෙත් වඩාත්ම සිදුවුයේ දියුණු රටවල් අපේ කර මතින් ඉදිරියට යාමයි. 

නමුත් මේ බව කල්තියා හඳුනාගෙන කටයුතු කල රටවල් කිහිපයක්ද විය. චීනය, කොරියාව, සිංගප්පුරුව, තායිවානය, මැලේසියාව සහ තායිලන්තය (තරමක් දුරකට) සහ පසු කලෙක ඉන්දියාවද මේ අතර විය. ඔවුන්  බටහිරයන්ගෙන් ලැබුණු සම්පත් වැළඳ ගන්නා අතරම තමන්ගේම පර්යේෂණ අනන්‍යතාවයක් ගොඩනගාගෙන එක් අංශයකින් හෝ ඉහලම තලයට ලඟා වීමට උත්සුක විය. උදාහරණයක් ලෙස තායිලන්තය සහ මැලේසියාව අද කෘෂි  ජාන තාක්‍ෂණයෙන්  ඉතා ඉහල තලයක සිටිති. 

මේ තත්වය පැහැදිලිවම අවබෝධකරගත් ආසියාතික නායකයන් දෙදෙනෙකු විය. ඒ අබ්දුල් කලාම් (ඉන්දියාව) සහ අතාර්-උර්-රහමාන් (පකිස්ථානය). මින් පළමු තැනැත්තා ඉන්දියාව තුල පැහැදිලි ආකල්පමය වෙනසක් ඇති කල අතර දෙවැන්නාට දේශපාලන අස්ථාවරත්වය හමුවේ යමක් කරගැනීමට නොහැකිවිය. 

අපට කිසිවෙකු නොවීය............ 



          


15 comments:

  1. Yes, they want us to migrate and work for them, not try and build our own things (because they lose their market) Nationalism is bad only in Sri Lanka.

    I have a question about limiting lightning damage to CCTV systems, not sure this is the right place?

    ReplyDelete
    Replies
    1. 100% agreed.

      For LP issue you can write me at chandima.gomes@gmail.com

      Delete
  2. මම ආචාර්ය උපාධිය හදාරන්නෙත් දකුණු කොරියාවේ. මගේ මහාචාර්ය වරයා නිතරම කියන්නේ නිකං රිසර්ච් කරලා වැඩක් නෑ. අනිවාර්යයෙන් අවසාන ප්‍රතිඵලය වානිජකරණය කළ යුතුමයි කියලා. ඒ හින්දම මෙහෙදී පොඩි දෙයක් හොයාගත්තත් එහි යෙදවීම් දක්වා පහසුවෙන් යන්න පුළුවන් වෙලා තියෙනවා. අනික් අතට පර්යේෂණ සඳහා රාජ්‍ය මුදල් ලැබෙනකම්ම බලන් ඉන්න ඕනේ නෑ. ඕන තරම් පෞද්ගලික සමාගම් රිසර්ච් වලට ආයෝජනය කරන්න කැමැත්තෙන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පෞද්ගලික අංශය සරසවි පර්යේෂණ සඳහා අරමුදල් ලබා දීමට ඇති අකමැත්තට ප්‍රධානම හේතුව ලාංකික පර්යේෂකයාගේ පවතින ආකල්පයි. ආයෝජකයා ඵලදායි ප්‍රතිපලයක් (tangible outcome) බලාපොරොත්තු වෙත්දී පර්යේෂකයා සිතන්නේ තමාට අත් කරගත හැකි ඉහලම ජයග්‍රහණය ඉහළ පෙලේ සඟරාවක පත්‍රිකාවක් පළ කිරීම බවයි.

      You understand the situation well as you study in South Korea

      Delete
  3. පර්යේෂණ අංශයට අදාළ නොවුනත් ජාතික ව්‍යාපාර ලෙස ඉහලම තාක්‍ෂණ තලයට අහසින් බැසීම (parachuting to the top layer) සාර්ථකව සිදු වූ අවස්ථා ලෙස මම සිංගප්පුරු හා ඩුබායි ගුවන්තොටුපළ/වරාය ව්‍යපෘති සඳහන් කරන්න කැමැත්තෙමි. මා දකින ආකාරයට ලංකාවේ නිදහසින් පසු ඉතිහාසයටම එවැනි කාර්යක් ලෙස ආරම්බ කර ඇත්තේ ඇත්තේ මෙගාපොලිස් ව්‍යාපෘතිය පමණකි.

    ReplyDelete
  4. මහාචාර්ය චන්දිම මහත්තය ට මතක ඇති එකම එක දවසක් අපි මුණගැහුනා මැලේසියාවේ එක්තරා සාදයකදි.ඒ මං ආචාර්ය උපාධිය ආරම්භ කල කාලෙ. ඒ කාලෙ මට ලොකු උවමනාවක් තිබුණා මූලධර්ම සම්බන්ධ පර්‍යේෂණ ඉහළටම කරගෙන යන්න. නොහිතපු ලෙසකට මගේ මූල්‍ය ප්‍රතිපාදන නැතිවෙලා මගේ නිබන්ධන උපදේශකවරයා හා මා ගැටළු බොහොමයකට මුහුණදුන්නා.අවසානයේ අපි තීරණය කලා ව්‍යවහාරික පන්නයට මගේ පර්‍යේෂණය වෙනස් කරන්න. අපි එමගින් බොහෝ දේ ලැබුවා. මේ වෙනකොට අන්දුරු වලා අස්සෙන් රිදී රේඛාවක් වගේ යම් පැහැදිලි දිශානතියකට මා යොමු වෙලා තියෙනවා.ඊට හේතු උනේ අර මුලින් කීව දේට වඩා දැන් මගේ පර්‍යේෂයේ මූල්‍යමය වටිනාකම වැඩි වීම.ඇත්තටම හිතුවාම මං හිතන්නෙ පත්‍රිකා ගාණකට වඩා මූල්‍ය උත්පාදනය කෙරෙන සොයාගැනීමකට ජනසමාජය වෙනස් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සඟරා පත්‍රිකාවක් හෝ බුද්ධිමය දේපල යනු පර්යේෂකයෙකුගේ ගමනේ එක් සන්ධිස්ථානයක් (milestone) පමණි. වැදගත් වන්නේ එතැනින් නතර නොවීමයි.

      Delete
  5. Thanks for the great insight.

    ReplyDelete
  6. One of the best advises that helps to research students. Many thanks professor Gomes!

    ReplyDelete
  7. man piligannawa mudal paramarthaya nathuwa paryesana karana eka therumak naha ada aagam pawa yata aramuna mudal ekathu kirimai model eka wenas ee unata ewwa hamotama hondai

    ReplyDelete
    Replies
    1. පර්යේෂකයා රුපියලක් සොයන විට එය ඔහුගේ සාකුවට පමණක් නොව මුළු රටටම ලැබෙන දෙයක් ලෙස සිතීමට හැමෝටම හැකිවූ දාට ලංකාව බොහෝ සේ වෙනස් වනු ඇත.

      Delete
  8. මානව සංහතියේ දියුණුව උදෙසා පරියේෂණ කරන්නන්ට වඩා වැඩි බහුතරයක් සිටින්නේ තමුන්ගේ පුද්ගලික අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා පරියේශයන්හි නියැලෙන්නන්. පුද්ගලික අරමුණු වෙනුවෙන් පරියේෂණ කරන්නන් තමුන්ගේ දැනුම අනෙකා සමග බෙදාගැනීමට ඇති දැඩි අකමැත්තත්, තමුන් සිටිනා ක්ෂේස්ත්රයේහි අනෙකා අභිභවා යාමේ පටු ආශාවත් නිසා ලෝකයේ සිදුවන පරියේෂණ බොහොමයක ප්‍රතිඵලයන් මානව සංහතියට ලැබෙන්නේ නැහැ. පරියේෂණ කරනා මුවාවෙන් මුදල් සහ සම්පත් අවභාවිතාකරන්නන්ද, තමුන්ගේ පැවැත්ම වෙනුවෙන්ම පමණක් පරියේෂණය යොදාගනිමින් සම්පත් සහ කාලය නිකරුනේ නාස්ති කරන්නන්ද බහුලයි. පළමු ගල ගසන්නට ඉදිරිපත් වීමට කෙනෙකු නොමැති නිසාත්, සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යයන්ට ඇස නොගැසෙන මානයක සිට සිදුකෙරෙනා විෂයන් නිසාත්, ලොව පිළිගත් ඉහලම බුද්ධි මට්මක සිටිනා වෘත්තිකයින් අතර කිසිදා හොර, බොරු, වංචා, කකුලෙන් ඇදිලි නොමැතියයි සාමාන්‍ය ජනයා උපකල්පනය කරන නිසාත්, ලෝකයේ සිදුවන පරියේෂනයන්හි කළු පැත්ත කිසිදා ලොව ඉදිරියේ හෙළිවන්නේ නැත..

    ReplyDelete
    Replies
    1. පර්යේෂණ ක්‍ෂේත්‍රය තරම් එකිනෙකා අතර තරගයක් ඇති වෘතියක් තවත් නැති තරම්ය. එහි සුදු මෙන්ම කළු පැතිද ඇත.

      Delete