Sunday, 6 April 2025

JVP බොරුව සහ අපි


පක්ෂයක් ලෙස NPPය ඉතා කෙටි කාලයකදී අධි ත්‍වරණයකින් ඉදිරියට පැමිණ මැතිවරණය තුලින් විශාල ජයග්‍රහණයක් ලැබීය. දශක ගණනාවක් JVP නමින් චන්දය ඉල්ලු පක්ෂයට මා සිතනා අයුරින් 3%-5%ට වඩා කවදාවත්ම චන්ද ගත නොහැකිවිය. අදටත් එසේමය. මේ ලියන මා එදා සිට අදවන තෙක් ජවිපෙ ක්‍රියාමාර්ග මෙන්ම ප්‍රතිපත්ති වලටද දැඩි අකමැත්තක්, විරෝධයක් දක්වන්නෙකි. එහෙත් මම පසුගිය මැතිවරණ දෙකේ දීම NPPයට මට හැකි අයුරින් සහයෝගය දුන්නෙමි. අදටත් මම NPP ප්‍රමුඛ රජයට මගේ දර්ශනය අනුව ධනාත්මක ගමනක් යාමට අවශ්‍ය උපරිම සහයෝගය දෙමි. 

මා සිතනා ආකාරයට NPPයට සහයෝගය දුන් 90% සිටින්නේ මා සිටින තැනය. ඔවුන් කොමියුනිස්ට්-සමාජවාදී පාලන ක්‍රමයක් කෙරේ විශ්වාසය හෝ කැමැත්ත ඇති පිරිසක් නොවේ. ඔවුන් සිටි තැනින් ඉවත්ව NPPය වටා රොක් වීමට ප්‍රධාන වූ කාරණය අසූචි කන්දක් සේ අහස උසට නැගුනු දුෂණය, භිෂණය, වංචාව, නාස්තිය වැනි රට බංකොලොත්බාවයට ඇදගෙන ගිය අවාසනාවන්ත පරාමිතීන්ය. මෙතෙක් සිටි පාලකයන් කතා කල විවෘත ආර්ථික ප්‍රතිපත්ති, නව ලිබරල් ක්‍රමවේදය, වඩා නම්‍යශීලි විදේශ ප්‍රතිපත්ති ආදියට මේ බොහෝ දෙනෙකුගේ අකමැත්තක් ඇතැයි මම නොසිතමි. නමුත් එදා පාලකයා මේ බොහෝ කැරට් අල ජනතාවට පෙන්නුවත්, ඔවුන් ගමන් කලේ ඊට වෙනස් කැලෑ පාරවල්වලය. ඔබට COPE කමිටුවේ episode කිහිපයක් නැරඹීමෙන් හෝ පසුගිය මාස දෙක තුනේදී දෙනු ලැබූ සමහර නඩු තීන්දුවල සමාලෝචන කියවීමෙන් මේ ගැන හොඳ චිත්‍රයක් මවා ගත හැක. 

NPPයට සහයෝගය දීමේදී අප බොහෝ දෙනෙකුට විශාල කුකුසක් නොතිබුණා නොවේ. ඒ ජයග්‍රහණයෙන් පසු NPPයේ නිදහස් මතධාරීන් යටපත් කරගෙන ජවිපෙ දැඩි මතධාරීන් ඉදිරියට එයිද යන සැකයයි. අපි මෙහිදී ඉහල risk එකක් ගත්තෙමු. ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර ලියනු ලැබූ ලිපියක, සමහර විට ඉදිරියේදී අපට අනුරට එරෙහිව හරිනි වෙනුවෙන් සටන් කිරීමට සිදුවනු ඇතැයි මා ලිව්වේ මේ නිසාය. 

දැන් විපක්ෂය මරළතෝනි දෙන්නේ, අදෝනා කියමින් වැලපෙන්නේ ජවිපෙ කලින් කී දේට වඩා වෙනස් දේවල් කරන බව කියමිනි. නමුත් ඔවුන්ට නොතේරෙන්නේ NPPයට චන්දය දුන් 90% ගේ අවශ්‍යද එයම බවයි. මෝඩිගේ ලංකා ගමනාගමනය, ඇමරිකාව සමග මෙන්ම චීනය සමගද ඇතිකරගන්නා නම්‍යශීලී ආර්ථික හා දේශපාලනික සම්මුති, දැඩි ලෙස පාඩු ලබන රජයේ ආයතන විනිවිදපෙනෙන ආකාරයෙන් පෞද්ගලිකරණය කිරීම, අනවශ්‍ය ආකාරයෙන් රජයේ සේවයට පිරිස් බඳවා නොගැනීම, ආදී කරුණුවලදී මේ NPPයට සහයෝගය දුන් බහුතරයට අවශ්‍ය වන්නේ JVPය කලින් කී දේ කිරීම නොව ඊට ප්‍රතිවිරුද්ධ දෙසට රජයක් ලෙස ගමන් කිරීමයි. 

විපක්ෂය දැන් කියන JVP බොරුව ගැන කම්පා වන්නේ කොටස් දෙකකි. ඒ හැමදාම JVPයට චන්දය දුන් hardcore 3% සහ කරකියා ගත හැකි දෙයක් නොමැතිව ඉබාගාතේ යන 30%ක් පමණ වන hardcore විපක්ෂයයි. මෙයින් JVP 3% කෙසේවත් මේ තිබෙන විපක්ෂය හා එක්වන්නේ නැත. කොටස් 30ට පමණ කැඩුණු විපක්ෂයේ 30% තව කාලයක් එලෙසම සිටිනු ඇත. කවදත් වාසි පැත්තට හැරෙන 10% පමණ වූ ජනවාර්ගික පදනම මත ගොඩනැගුණු සුළු පක්ෂ ගන්නා තීරණය මට සිතා ගත නොහැක. 



Thursday, 3 April 2025

අහෝ ඩොනල්ඩ්! නොදිටි මොක්පුර


1960-2000 අතර කාලය තුල ධනවත් රටවල් බොහොමයක් අදටත් දියුණු වෙමින් පවතින ආසියානු, සහ ලතින් ඇමරිකානු රටවලට විශාල වශයෙන් පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව සහ පර්යේෂණ ආධාර (research grants) ලබා දුන්නේය. 80 දශකය වන විට මෙම ප්‍රවාහයට ජපානයත් එකතු විය. මෙම ආධාර දෙස විමසිලිමත්ව බැලීමේදී පැහැදිලිවම පෙනෙන්නේ මෙම දියුණු රටවල් උදව් කලේ ලංකාව වැනි රටවල මූලික පර්යේෂණ (basic research) සඳහා පමණක් බවයි. මෙම රටවලින් ව්‍යවහාරික පර්යේෂකයන් (applied researchers) බිහිවීම මෙම දියුණු රටවල් දැඩි ලෙස අධෛර්යමත් කලෝය. ඉඳහිට මේ බැම්ම කඩාගෙන ගිය පර්යේෂකයන් ඔවුන් තම දියුණු රටවල්වලම තබා ගැනීමට උත්සුක විය. මා මේ ගැන first hand experience ඇති කෙනෙකි.

අප රටවල පර්යේෂකයින් basic research වෙනුවෙන් දිවා රෑ වෙහෙසී කටයුතු කරන විට ඔවුන්ගේ පර්යේෂකයන් තම කාලය සහ දැනුම applied research සඳහා යෙදවීය. අපේ අය ඔවුන් ලබා දුන් නවීනතම spectroscopes වලට පිං දෙමින් සර්ප විෂවල අඩංගු ප්‍රෝටීන් සංඝටක හඳුනාගෙන පත්‍රිකා පළකළහ. ඔවුන් ඒ දැනුම යොදාගෙන ප්‍රතිවිෂ ඖෂධ තනා අප රටවලටම විකිණීය. මෙය සිදු නොවූ ක්ෂේත්‍රයක්  නැති තරම්ය. මේ මග ගිය දියුණු රටවල් තව තවත් දියුණු විය. 

නව සහශ්‍රකයේ පළමු දශකය වන විට මේ ආසියාතික සහ ලතින් ඇමරිකානු රටවලින් බිහි වූ විද්‍යාඥයන් තවදුරටත් basic research වල රඳවා ගැනීම උගහට බව දියුණු රටවල් අවබෝධ කරගත්තෝය. මේ සමගම ඔවුන් මේ රටවලට එතෙක් දුන් ආධාර ක්‍රමයෙන් අඩුකර, තව දුරටත් basic research වල පර්යේෂකයන් සිරකර තැබිය හැකියැයි ඔවුන් සිතූ අප්‍රිකානු මහාද්වීපය දෙසට හැරෙන්න විය. 

මට මේ කතාව සිහියට නැගෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දී ඇති ආනයන බදු දුටු විටය. බදු විශාල ලෙස වැඩි කර ඇති බොහෝ දියුණු වෙමින් පවතින රටවලින් ඇමරිකාවට ආනයනය කරන බඩු ගැන පොඩ්ඩක් සිතන්න. නිමි ඇඳුම් සහ රෙදි, පාවහන්, ලීබඩු සහ දැව, ප්‍රාථමික ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, කුළු බඩු, කෝපි, පළතුරු, එළවලු මින් කිහිපයකි. ඇමරිකාවට hi tech products අපනයනය කරන්නේ චීනය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් කිහිපයකි. 

ඉහත සඳහන් කල විශේෂ hi-tech හෝ cutting edge technologies ඉතා අවම වශයෙන් අවශ්‍ය වන බව භෝග සහ භාණ්ඩ ඇමරිකාවේම නිෂ්පාදනය කරන්න යෑම මොන තරම් නිෂ්ඵල ක්‍රියාවක්දැයි ඇමරිකානුවන් ඉක්මනින්ම අවබෝධ කරගනු ඇත. මේ නිෂ්පාදන වලට තම දැනුම, කාලය, මිල මුදල්, ඉඩකඩම් වෙන් කරනවාත් සමගම සිදුවන්නේ  මායිම් තාක්ෂණය (frontier technology) තුලින් ඇමරිකාව ඉදිරියට ආ ගමන එකවරම මන්දගාමී වීමයි. මෙය යුරෝපය, චීනය, ජපානය, දකුණු කොරියාව, සිංගප්පුරුව වැනි රටවලට පමණක් නොව ඉන්දියාවට පවා අධි ත්වරණයෙන් ඉදිරියට යාමට කදිම අවස්ථාවකි. 

සමහර විට වැඩේ තේරෙන විට ඇමරිකාව පමා වැඩි විය හැක.



            

Monday, 3 February 2025

Eccentric චරිත



"මිනිහ හරිම eccentric පොරක්. වැඩිය කතා බහට යන්න එපා". මේ කියමන ඔබ බොහෝ දෙනෙකු අසා ඇතැයි සිතමි. 

බටහිර සම්මතයන්ට අනුව Eccentric character (විකේන්ද්‍රික චරිතයක්) යනු සාම්ප්‍රදායික නොවන, අනපේක්ෂිත හෝ අතිශයින්ම පුද්ගලවාදී ආකාරයෙන් හැසිරෙන, බොහෝ විට තමන් කැපී පෙනෙන ආකාරයෙන් සමාජ සම්මතයන්ගෙන් බැහැර වන අයෙකි. ඔවුන් කිසිවිටෙකත් තමා සිටින මතයෙන් ඔබ්බට සිතීමටවත් අකමැති, කවුරු මොනවා කිව්වත් එය තමාට අවශ්‍ය විදියට අර්ථ දක්වා ගන්නා පුද්ගලයෙකි. 

ලංකාවේ අය බොහෝ විට eccentric character යන වදන භාවිතා කරන්නේ ඉහත කරුණු වලට අමතරව ඉතා දැඩිව තනි මතයක සිටින, ඒ වෙනුවෙන් පිස්සු විකාර පවා දොඩවන, තමා පමණක්ම හරි යයි සිතාගෙන අන්‍යන් සමග අනවශ්‍ය වාද වල පැටලෙන පුද්ගලයන්ටය. මෙම වදන නොදන්නා අය මේ පුද්ගලයන් "මැන්ටල්" ලෙසද හඳුන්වති. නමුත් "මැන්ටලේ" යන නූතන භාෂා යෙදුම eccentric චරිතයකට වඩා පුළුල් පරාසයක භාවිතාවේ. වෙනත් ආකාරයකින් කිව හොත් eccentric චරිතයද මැන්ටලයකි. නමුත් සියළු මැන්ටල් eccentric නොවේ.

මට මේ ගැන කියන්න සිතුණේ විදේශගතව සිටින උගත් යැයි සම්මත පුද්ගලයෙකුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කරන විටයි. මේ පුද්ගලයා පිළිබඳව දන්නා කියන ශ්‍රී ලංකාවේ සරසවි කිහිපයකම සේවය කරන අය මම පෞද්ගලිකව හඳුනමි. මා ලංකාවට ආගිය අවස්ථාවල මිතුරන් සමග කෙරුණු සුහඳ කතා බහේදී මේ පුද්ගලයා පිළිබඳවද මාතෘකාව පැමිණි අවස්ථා තිබුණි. 

"අපෝ ඔය හාදය හරිම eccentric character එකක්. තමන්ගේ ආගමයි, දේශපාලන නායකයයි ඇරෙන්න වෙන ලෝකයක් නැහැ. වාදෙට නම් සෙට් වෙන්න එපා. මහා අසූචි ගොඩක්" මේ ඒ බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාරය විය.

Eccentric පුද්ගලයන් සෙසු ලෝකය හොඳ හා නරක කියා ලේබල් කරයි. මෙය මනෝවිද්‍යාවේ හැඳින්වෙන්නේ "personal branding" ලෙසයි. ඔබ essentric චරිතයේ නරක පුද්ගලයෙකු ලෙස ලේබල් වුනොත් ඔබට අයිස්ක්‍රීම් වෙළෙන්දෙකු වුවත් ඔහුගෙන් හොඳක් ඇසිය නොහැක. මෙබඳු පුද්ගලයෙකු ඔබගේ සමාජ මධ්‍යයේ සිටියි නම් මා කියන දේ ඔබට පහසුවෙන් ඔප්පු කරගත හැක. 

මා මේ ලිපිය ලියන්නේ ඔබට යම් පණිවිඩයක් දීමටයි. මේ eccentric චරිත පිළිබඳව අද උදෑසන මා අපේ සරසවියේ මනෝවිද්‍යාව පිළිබඳව ආචාර්යවරයෙකු සමග සාකච්චා කලෙමි. ඔහු ප්‍රකාශ කලේ වියවුල් මනෝභාවයන් අතර "Eccentricity" යන්න  සුව කිරීමට අපහසුම තත්වයක් බවයි. එය දීර්ඝ කාලින ප්‍රතිකාරයකින් පසු යථා තත්වයට ගත හැකි (එයද තාවකාලික වියහැකි) මානසික ගැටළුවකි. මේ නිසා එක අතකින් ඔබ මෙවන් පුද්ගලයන් සමග ගැටීමට යාමෙන් හැකිතාක් වළකින්න. ඔවුන්ගේ කිසිම අදහසකට ප්‍රතිචාර නොදක්වන්න. මුලදී ඔබ ඔවුන් හා සංවාදයකට ගියත් මේ eccentric ගතිගුණ අවබෝධ කරගත් වහාම සංනිවේදනය නවත්වන්න. 

අනෙක් අතට ඔබ, ඔබ ගැනද නිතරම කල්පනාවෙන් සිටින්න. මන්ද තමාටත් නොදැනී තමා ක්‍රමයෙන් eccentric චරිතයක් වෙත යා හැකි නිසාය. 


                               


Friday, 31 January 2025

එහෙ වුනේ මෙන්න මෙහෙමයි


"1965-70 සමයේ ජිවත් වූ සිංගප්පූරු වැසියකු සමග කතා කරන්න. එම යුගය වර්තමාන ලංකාවේ තිරගතවන බව ඔබට දැනේවි".

මා ඉහත පෝස්ට් එක පළකලේ මේ ලිපියට ප්‍රවිෂ්ඨයක් ලෙසය. මා සිතුවා සේම මා දෙන පණිවිඩය නිවැරදිව කියවා ගත හැකි අය වුයේ ඉතාම අල්පයකි. එයට හේතුව ලංකාවේ ඇති "ලේබල්ගත කාරයන්" මානසිකත්වයයි. 

කමෙන්ට් දැමූ බොහෝ දෙනෙක් සිංගප්පුරු වැසියන් දීර්ඝ කාලයක් ඇසුරු කර ඇති හෝ සිංගප්පුරුවට නිතර ආ ගිය අය නොවේ.  ඔවුන් තුල ඇත්තේ සිංගප්පුරුව යනු පාරාදීසයක් වැනි පුරවරයක් යන මනෝ දර්ශනයයි.

NPP කාරයන් සිතුවේ මම මේ රජය විසින් ලංකාව මේ පාරාදීසය කරා කැඳවාගෙන යන බව ප්‍රකාශ කරන බවයි. ඔවුන් ඉමහත්සේ සතුටු විය. NPP විරෝධීන් (UNP, SJB, පොහොට්ටු සහ අනෙකුත් ත්‍රී වීලර් කාරයන්) සිතුවේ මා රජයට කඩේ යන බවයි. ඔවුන් මේ කරුණ ක්‍රෝධයටත් උපහාසයටත් ලක් කරන්න විය. 

මා සඳහන් කලේ ඊට වඩා ඉතා ගැඹුරින් අල්ලා ගත යුතු අනාගත තත්වය පිළිබඳවයි. 

1965 ලී ක්වාන් යූ (LKY) අතට ගත්තේ කන්න අන්නාසි හැර වෙන යමක් නැති, බොන්න වතුර නැති, මෙලෝ ස්වභාවික සම්පතක් නැති භූමි භාගයක් සමග මිලියන දෙකක කුසගිනි හමුදාවකි. ලංඩන් - කේම්බ්‍රිජ් අධ්‍යාපනය ලද ප්‍රජාතන්ත්‍රවාදයේ තෝතැන්නෙහි දේශපානය කියවූ ලී සිය පළමු වසර ඉතා සංසුන්ව සාමකාමිව සමානාත්මතාවයෙන් පාලනය කිරීමට උත්සහ කල බව එකල යමක් තේරෙන වයසේ වූ අද වයෝවෘද්ධ පුරවැසියන් සඳහන් කරයි. 

එහෙත් ඔහුගේ විරුද්ධවාදීන් මාධ්‍ය සමග එකතු වී විශාල රාජ්‍ය විරෝධයක් රට තුල ගොඩනගන්න විය. මේ අතර අන්ත කොමියුනිස්ට්වාදීන්, මුස්ලිම් අන්තවාදීන්, මෙන්ම එතෙක් කල් නොමනා අන්දමින් ධනය ඉපයූ ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය සේවකයන්ද විය. අතරින් පතර ඔහුගේම රජයේ සමීපතමයෝද ඔහුට වක්‍රාකාරයෙන් අරියාදු කරන්න විය. 

සිංගප්පූරුව මැලේසියාවෙන් නෙරපා හැරීමෙන් වසරකට පමණ පසු එනම් 1966 වන විට, ඔහුට තව දුරටත් තමා ගමන් කල බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ යා නොහැකි බව අවබෝධ විය. රටේ බහුතරයක් කුමන තත්වයක් යටතේ වුවද තමන් සමග සිටින බව ඔහුට තහවුරු වී තිබුණි  (ඒ ඔවුන්ට වෙන අතක් නොතිබූ බැවිනි). ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට වඩා ආර්ථික සංවර්ධනය, සමාජ ස්ථාවරත්වය සහ ජාතික පැවැත්මට ප්‍රමුඛත්වය දෙමින් ඉහළ සිට පහළට, ඒකාධිපති පාලන ආකෘතියක් සම්පූර්ණයෙන්ම වැළඳ ගත්තේය. ඔහුගේ ඒකාධිපතිවාදය, දෘෂ්ටිවාදී නොව ප්‍රායෝගික - විනයගරුක, සමෘද්ධිමත් සහ ගෝලීය වශයෙන් තරඟකාරී සිංගප්පූරුවක් පිළිබඳ ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමේ ආයුධයක් විය.

සිංගප්පූරුව එවකට මුහුණ දෙන ආර්ථිකය එකතැන පල්වීම, වාර්ගික ආරවුල් සහ භූ දේශපාලනික තර්ජන ඔහුගේ ප්‍රධාන අවධානයන් විය. මේ ගැටළුවලට පිළිතුරු සෙවීමට1966 දී ඔහු තම වෙස් මුහුණ වෙනස් කරගත්තේය.

LKY රජය අභ්‍යන්තර ආරක්ෂක පනත (ISA) යොදාගෙන දේශපාලන විරුද්ධවාදීන් සහ ක්‍රියාකාරීන් විධිමත් චෝදනාවලින් තොරව රඳවා තබා ගැනීම බහුලව සිදු කළේය. බරිසාන් සොසියාලිස් (Barisan Sosialis) වැනි විරුද්ධ පක්ෂ සාමාජිකයින් සිරගත කිරීම හෝ පිටුවහල් කිරීම, සමහර දේශපාලන ව්‍යාපාර දුර්වල කරමින් දැඩි මාධ්‍ය වාරණය සහ පාලනය මෙකල සාමාන්‍ය තත්වයක් විය. පුවත්පත් සහ මුද්‍රණාල පනත මගින් සියලුම පුවත්පත් රාජ්‍යයට පක්ෂපාතීව පවතින බව සහතික විය යුතු යයි අණ කෙරුණි. රජය විවේචනය කරන විදේශීය මාධ්‍ය ආයතන සීමා කරන ලදී. LKY විශ්වාස කළේ දේශපාලන අස්ථාවරත්වය, අභ්‍යන්තර ව්‍යාකූලත්වයට හෝ විදේශීය මැදිහත්වීමට හේතු විය හැකි බවයි.

ගම්බද සහ නාගරික පැල්පත් නගරවල පදිංචිකරුවන් සහ පැල්පත්වාසීන් රජය විසින් ඉදිකරන ලද නිවාස සංවර්ධන මණ්ඩලයේ (HDB) මහල් නිවාස වෙත බලහත්කාරයෙන් ගෙන යන ලදී. වාර්ගික වාසස්ථාන වැලැක්වීම සඳහා, සිංගප්පූරුව HDB මහල් නිවාසවල වාර්ගික කෝටා ක්‍රියාත්මක කළ අතර, මැලේ, චීන සහ ඉන්දියානුවන් මිශ්‍ර ප්‍රජාවන් තුළ ජීවත් වීම සහතික කළේය. LKY විශ්වාස කළේ වෙන් වූ ප්‍රජාවන් වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇති කරන බවයි. මුඩුක්කු සහ ජනාකීර්ණ ගම්මාන ආර්ථික ප්‍රගතියට බාධාවක් ලෙස ඔහු සැලකීය. ඒ වෙනුවට ජනතාව උස් මහල් නිවාස වෙත ගෙන යාමෙන් සංවිධිත නාගරික සංවර්ධනයට සහ යටිතල පහසුකම් සැලසුම් කිරීමට ඉඩ සැලසෙන බව ඔහු විශ්වාස කළේය. 

මුලදී අධික දරිද්‍ර තත්වයෙන් පෙලෙන ජනතාව කැමැත්තෙන් මේ ව්‍යාපෘතියට එකඟ වුවත් තමන්ට යම් භූමි අයිතියක් ඇතැයි සිතූ සමහර මුඩුක්කු සහ පැල්පත් වාසින් අතරින් පසුව යම් විරෝධතාවයක් මතුවිය. නමුත් පොලිසිය හා හමුදාව හමුවේ ඔවුන් නිහඬ විය. 

ශ්‍රම පිරිවැය අඩු මට්ටමක තබා ගැනීමට සහ විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට රජය වැටුප් වැඩිකිරීම් යටපත් කළේය. සාමාජික ස්වාධීන කම්කරු සංගම් අහෝසි කරමින් ජාතික වෘත්තීය සමිති සම්මේලනය (NTUC) රාජ්‍ය පාලනයට යටත් කළේය.

වැඩ වර්ජන සාපරාධී ලෙස සලකනු ලැබූ අතර, වැඩ වර්ජන කරන කම්කරුවන් සිරගත කිරීම් ඇතුළු දැඩි දඬුවම්වලට මුහුණ දුන්හ. LKY සිංගප්පූරුව වේගයෙන් කාර්මීකරණය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේය. ශ්‍රමය ලාභදායී ලෙස තබා ගැනීම සහ බාධා කිරීම් වැළැක්වීම නිසා රට බහුජාතික සමාගම් (MNCs) වෙත ආකර්ශනීය කළේය. පාලනය නොකළ කම්කරු ක්‍රියාකාරකම් සහ රජයේ වැරදි කළමනාකරණය හේතුවෙන් අලුතින් ස්වාධීන වූ බොහෝ ජාතීන් (උදා: අප්‍රිකාවේ) දුක් විඳිති. සේවක නිදහස වෙනුවට ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම මගින් සිංගප්පූරුව මෙම උගුල් මග හැරියේය.

ඉංග්‍රීසි භාෂාව පාසල්වල ප්‍රාථමික භාෂාව බවට පත් කළ අතර මැන්ඩරින්, මැලේ සහ දෙමළ යන භාෂා දෙවන භාෂා ලෙස ඉගැන්වීය. චීන තරුණයින් අතර ඇතිවිය හැකි රැඩිකල් හැඟීම් මැඩපැවැත්වීම සඳහා රජය චීන මාධ්‍ය පාසල් වසා දැමීය. විනයගරුක සමාජයක් නිර්මාණය කිරීම සඳහා කෙළ ගැසීම, කුණු දැමීම සහ චුයින්ගම්වලට දැඩි දඩයක් පැනවීය නැත්නම් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. දැඩි මත්ද්‍රව්‍ය නීතිවලට සුළු ජාවාරම් සඳහා පවා මරණ දණ්ඩනය ඇතුළත් විය.

සිංගප්පූරුව මූල්‍ය හා තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට මෙම භාෂා ප්‍රතිපත්තිය උපකාරී විය. LKY සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍යය ජාතික වටිනාකම් ලෙස විශ්වාස කළේ  විනය, අධිකාරියට ගරු කිරීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම බවයි. මේ දැඩි නීති මගින් සිංගප්පූරුව අවුල් සහගත පශ්චාත් යටත් විජිත රාජ්‍යයන්ගෙන් වෙනස් කරමින් පිරිසිදු, කාර්යක්‍ෂම සහ මනා පිළිවෙළක් ඇති සමාජයක් සහතික කළේය.

LKY විසින් උසස් අධ්‍යාපනය ලබන කාන්තාවන්ට වැඩිපුර දරුවන් සිටිය යුතු බවට යෝජනා කළ අතර, අඩු අධ්‍යාපනය ලැබූ කාන්තාවන් ප්‍රජනනය කිරීම අධෛර්යමත් කිරීමට වැඩසටහන් දියත් කළේය. ඔහු විශ්වාස කළේ එක් පරම්පරාවක බුද්ධිය (intelligence) වර්ධනය කල විට එය පාරම්පාරිකව ඉදිරියට යන බවයි. සිංගප්පූරුවේ දිගුකාලීන ප්‍රගතිය රඳා පවතින්නේ බුද්ධිමත් ජනගහනයක් මත බව LKY ගේ අදහස විය.

LKY ට හරිගියාද වැරදුනාද යන්න මේ වන විට ඉතිහාසය විසින් තීරණය කර ඇත. 

තඹුත්තේගම මාධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණ පේරාදෙණිය සරසවියෙන් උපාධිය ලැබූ අනුර කුමාර දිසානායක යන ගමන දෙස අපි බලා ඉඳිමු. 


                



Sunday, 5 January 2025

වින්ඩ් ස්කිරීමේ කතාව


නව මෝටර් රථ මොඩලයක ඉදිරිපස වීදුරුව හෙවත් වින්ඩ් ස්ක්‍රීන් එක නිර්මාණය කිරීම ඉතා බරපතල කටයුත්තකි. සුරක්ෂිත ධාවනය සඳහා වන ප්‍රමිතීන් අතර එය ඉහලින්ම තිබෙයි. මෝටර් රථයේ මානයන්, තිරිංග පද්ධතිය සහ උපරිම වේගය මත වින්ඩ් ස්ක්‍රීන් එකේ වපසරිය ඉතා නිවැරදිව තීරණය කල යුතුය. මේ සඳහා වර්තමානයේ බොහෝ නිෂ්පාදකයන් AI තාක්ෂණය උපයෝගී කරගනී. 

බොහෝ රටවල අත්‍යවශ්‍ය ප්‍රදර්ශක (වාහන බලපත්‍රය, ආබාධිත ලාංඡනය, ප්‍රවිෂ්ඨ වීමේ අවසරපත්) සඳහා සුක්කානමට ප්‍රතිවිරුද්ධ පැත්තේ යට කෙලවරින් පමණක් කුඩා කොටසක් වෙන් කරන්නේ මේ නිසාය.

දියුණු රටවල ජනතාව වාහනයක ඉදිරිපස පැහදිලිව නොතැබීමේ අධි-අවදානම පිළිබඳව හොඳින්ම දැනුවත්ය. නමුත් බුද්ධිය අභිබවා හැගීම් සහ විශ්වාස ඉදිරියට ආ බහුතරයක් සිටින සමාජයක මෙවැනි මූලික ආරක්ෂණ සිද්ධාන්තයක් පවා ක්‍රියාවට නැගීමේදී විරෝධතා පැන නැගීම ස්වභාවිකය. 

වරදක් නිවැරදි කිරීම පහල සිට ඉහලට, ඉහල සිට පහලට හෝ මැද සිට දෙපැත්තට සිදුකල හැක. වැදගත් වන්නේ කොහෙන් හෝ පටන් ගැනීමයි. 


Friday, 3 January 2025

ධාර්මිෂ්ඨ සමාජයක් හරහා


ජේ ආර් 1977 බලයට පැමිණෙන්නේ රටේ ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරන බවට පොරොන්දු දෙමිනි. ඔහු බලයට පැමිණ මාස කිහිපයක් යන තෙක් පංසල් පල්ලි කෝවිල්වල නොයෙකුත් වැඩසටහන් පවත්වමින් ඒ ගැන රජයේ හොරණෑ වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් සහ ලේක්හවුස් පුවත්පත් වලින් ඉමහත් ප්‍රසිද්ධියක් ලබාදුන්නේය. මුද්දර නිකුත් කළේය. රට වටා උත්සව පැවැත්වූයේය. 

ජේ ආර් ගේ සමය මෙන්ම ඉන්පසු බලයට පැමිණි ඔහුගේ ගෝලයාගේ රාජ්‍ය පාලනයද අවසන් වූ අයුරු අපි දුටුවෙමු. එය අධාර්මිෂ්ඨවයේ ඉහලම කෙලවරකින් කෙලවර විය. චන්ද්‍රිකාගේ සාම තවලම, රනිල්ගේ Regaining Sri Lanka, මහින්ද චින්තනය, මෛත්‍රී-රනිල් දෙකට්ටුවේ යහපාලනය, ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්ම මේ ලෙසම ලොප් වූ සංකල්පය. මේ බොහොමයක් කෙලවර වන්නේ සංකල්පීය අරමුණේ ප්‍රතිවිරුද්ධ පසිනි.

මේ සියළුම slogans ආරම්භයේදී අදාළ නායක නායිකාවන්ගේ අන්ධ අනුගාමිකයන්ට කර්ණ රසායන විය. ඒ පිළිබඳව වචනයක් හෝ විවේචනාත්මකව කතාකරන්නන්ට එරෙහිව ඔවුන් අවි අමෝරා ගත්තෝය. 

අද "Clean Sri Lanka" වැඩපිළිවෙල පිළිබඳවද අනුගාමික දැක්මෙහි වෙනසක් මම නොදකිමි.

"ධර්මිෂ්ඨ සමාජයක්" අසමත් වුණේ ඇයිද යන්න සරලව විග්‍රහ කළහොත් ඔබට ඉතිරි සියල්ලම fail වීමේ හේතුව සොයාගත හැක.  එදා එජාප රජයේ බලවතුන්ට මේ සංකල්පය තම චන්ද ගොඩ වැඩි කරගැනීමේ වචන දෙකකින් එහාට වූ හැඟීමක් හෝ අවබෝධයක් නොවීය. බලයට පැමිණි පසු එම සංකල්පය පාටි දැමීමේ නිමිත්තක් පමණක් විය. 

ධර්මිෂ්ඨ සමාජයක් බිහි කිරීමට නම් ඒ සඳහා වූ පුළුල් ජාතික වැඩපිළිවෙලක් මුලින්ම ඉදිරිපත් කල යුතු විය. එදා එවැන්නක් නොවීය. ඉන් පසු වැඩ පිළිවෙලේ අරමුණු කරා යාමට දේශපාලන අධිකාරිය, රාජ්‍ය සිවිල් සේවා අංශය, පෞද්ගලික ව්‍යාපාරික අංශය, විවිධ වූ ජාතික-ආගමික නායකත්ව, සහ සිවිල් පුරවැසියාගේ යුතුකම්, වගකීම්, සහ කාර්යභාරය අර්ථ දැක්විය යුතුය. ඉන්පසු එම වැඩපිළිවෙල බලගැන්වීම සඳහා වූ ක්‍රියාන්විතය දියත්කල යුතුය. ඒ සඳහා කාල රාමුවක් ඉදිරිපත් කල යුතුය. අවසානයේදී අරමුණු එකිනෙක බලාපොරොත්තු වූ පරිදි සාක්ෂාත්  කරගත්තා දැයි තක්සේරුවක් කල යුතුය. මේ මුළු වැඩපිළිවෙල තුලම ක්‍රියාන්විතයේ තිරසාර බව පිළිබඳව මනා ඇගයීමක් නිරන්තරයෙන් කල යුතුය. 

මෙතෙක් ලංකාවේ දියත් වූ කිසිඳු සංකල්පීය වැඩසටහනක මේ සැලැස්ම තිබුණේ නැත. මෑත කාලයට පැමිණියහොත්, ගෝඨාභය සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කලත් එහි ජාතික ප්‍රතිපත්තියක්, ක්‍රියාන්විත සැලසුමක් නොවීය. මේ නිසා බොහෝ තරුණයන් තාප්පවල බලිරූප ඇඳීමෙන් සෞභාග්‍යයට යාමට උත්සහ කළහ, සමහරු නාගරිකව පැවති අධික මිල තක්සේරුවක් සහිත ඉඩකඩම්වල කුඹුරු කොටන්න පටන්ගත්තෝය. මේ විකාරරූපී ක්‍රියා කිසිවක් තිරසාර නොවන බව ඔවුන්ට අවබෝධ නොවූ අතර දේශපාලන අධිකරියෙන්ද කිසිඳු මග පෙන්වීමක් නොවීය. 

අද අපි "Clean Sri Lanka" අඬ හැරය අසමින් සිටිමු. පෙර රජයයන් ඉන්දිරිපත් කල සංකල්ප මෙන්ම මේ වැඩපිළිවෙලද බැලූ බැල්මට යහපත්ය. නමුත් මේ ක්‍රියාන්විතය පිළිබඳව ජනතාව දැනුවත්ද? වැඩසටහනේ අරමුණු කරා යාමට සමාජයේ එක් එක් ස්ථරයේ කාර්යභාරය ගැන ඔවුන්ට වැටහීමක් ඇත්ද? එම කාර්යභාරය සාක්ෂාත් කරගැනීම සඳහා එක් එක් පාර්ශව ගත යුතු ක්‍රියා මාර්ග, ඒ සඳහා වන කාල රාමුව, සහ අවසාන ඵල පිළිබඳව ජනතාව දැනුවත්ද?

පෙනෙන මානයක ඇත්තේ කුමන හෝ අවාසනවකින් මේ රජය අසාර්ථක වුවහොත් ලංකාවේ අනාගතය පිළිබඳව සිතීමටවත් නොහැකි තරමට විරූපී වූ විපක්ෂයකි. එබැවින් මේ ගැන සිතීමට අන්ධ-අනුගාමිකයන් නොවන බුද්ධිමත් ජනතාවට මම ආරාධනා කරමි. නැත්නම් Clean Sri Lanka ද ගැම්මෙන් තාප්පවල රාවණා ඇන්දාට නොදෙවෙනි වනු ඇත.